Friday, 11 July 2014

පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!


මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප්‍රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා.

හෝඩියේ පන්තියේ දී මුණ ගැසුණු සිත්තරාවිය,
ඒ පන්තියේ මෙන්ම දෙවෙනි පන්තියේ හිටිය නපුරු ටීචර් ලා,
දෙකේ පන්තියේ මාලවතී ටීචර් දුවන කොට ඇද වැටුණු හැටි,
තුනේ පන්තියේ දී පළමුවෙනියා වෙලා හතරට පාස් වෙච්ච හැටි,
හතරේදී සිදුවුණු "මයි ෆස්ට් ක්‍රෂ්" අවස්ථාව,
මගෙ ලේ සෙලවුණ විදුහල්පති වේවැල් පාර,
හතරෙන් පහට පාස් වුණු හැටි,
පහේ පන්තියේ දී පන්ති නායකයා වුණු හැටි,
එතකොට පහේ පන්ති නායිකාව ගේ කතාව,
පන්තියේ පළමුවෙනියා වෙලා අටපට්ටම් පැන්සලක් තෑගි ලැබුණු හැටි
යනාදී වශයෙන් ලියවුණු කතන්දර ගණනාවක්ම ඒ ගොඩේ තියෙනවා.

මොනවා වුණත් පහේ පන්තිය තමයි මං ප්‍රාථමික පාසලේ ගතකරපු හොඳම අවුරුද්ද.

තුන්වාරෙම පළමුවෙනියා වුණු එක, පන්ති නායකයා වුණු එක විතරක්ම නෙමෙයි ඒකට හේතුව. ඉගෙන ගත්තු දේවල් වගේම, උගන්නපු ටීචර් ගැනත් තියෙන්නේ හරිම සුන්දර මතකයක්.

එච්චර කල් පන්තිය බාර චීචර්ලා සෙට් කරපු විභාග කරපු අපිට පහේ පන්තියේ දී ලොකුම ලොකු ආණ්ඩුවේ විභාගයකට මුහුණ දෙන්න වුණා.

හයේ පන්තියේ සිට ඉගෙන ගන්න වරම් ලැබෙන්නේ මේ විභාගේ ප්‍රතිපල අනුව තමයි කියලා අපේ චීචර් අපිට කිව්වා.

අප දන්නා හුරු පුරුදු ගණිතය සහ සිංහල භාෂාවට අමතරව බුඩ්ඩි පරීක්‍ෂණය ද මොකක්ද මන්දා විෂයකිනුත් එක ප්‍රශ්ණ පත්තරයක් තියෙනවා ලු කියන එක තමයි අපිට ලැබුණු අනිත් අළුත් ආරංචිය වුනේ.

මෙන්න මේ බුඩ්ඩි පරීක්‍ෂණය විභාගෙට අපිව ලෑස්ති කරන්න අපේ ටීචර් ටවුමේ කඩෙන් පොතක් ගෙනවා මට මතකයි.

ඒ පොතෙන් බලන කොට තමයි මට තේරුණේ මේ බුඩ්ධි පරීක්‍ෂණය කියන්නේ විවිධාකාර බෝල, ඉරි, කොටුවලින් සමන්විත ජ්‍යාමිතික රූප පිළිවෙලට හදන ගේම් එකක් බව!

ඒ බුඩ්ඩි පරීක්‍ෂණය පොතෙන් විවිධ ප්‍රශ්ණ අරගෙන අපේ චීචර් පන්තියේ සාකච්ඡා කෙරුවා. ඒ විතරක් නොවෙයි, පොත සති අන්තයට ළමයින්ට ගෙදර ගෙනියන්න දෙන බවත් කීවා.

මුලින්ම ඒ පොත ගෙදර ගෙනියෑමේ වරප්‍රසාදය ලැබුණේ පන්තියේ පළමුවෙනියාටයි!

කොහොමද සනීපේ?

මේ කියන විභාගෙන් මට මතක එකම එක ප්‍රශ්ණයයි.

පුර්ණ සංඛ්‍යා සහ භාග ඉලක්කං පහක් දීලා ඒවා අවරෝහණ ක්‍රමයට සැකසු විට එන ආකාරය ගැන බහුවරණ ප්‍රශ්ණයක් තිබුණා ගණිතය ප්‍රශ්ණ පත්තරේ. නමුත් මට පෙණුනු විදියට ඒවා ඒ වෙනකොටත් තිබුණේ අවරෝහණ ක්‍රමයටම තමයි.

කොහොම හරි ඒ ප්‍රශ්ණයට මං සාර්ථකව මුහුණ දුන්නා වුණාට, ඊට අමතරව තව ප්‍රශ්ණ රාශියක් තියෙනවා මට දන්නාව කියලා හිතුණාට ඇත්තටම මං නොදැන හිටපු. ඒ් හින්දා මට ගණිතයට ලකුණු ලැබිලා තිබුණේ සීයෙන්ම 86 යි.

බුඩ්ඩි පරීක්‍ෂණයට 87 කුත්, සිංහලවලට 88 කුත් ලැබී තිබුණා.

ඒ කියන්නේ සාමාන්‍යය අගය 87% යි.

මේ තමයි මං මගේ ජීවිතයේ පස්තාච්චි කාලේ වෙනකම්ම විභාගෙකට හොඳින් ම මුහුණ දුන්නු, වැඩියෙන්ම ලකුණු ගත්තු අවස්ථාව!

කලින් දවසක ලිව්වා වගේ එතැන ඉඳන් උසස් පෙල විභාගේ දී 69.25% ක් ගන්න දවස වෙනකල්ම ඩවුන් ද පල්ලන් තමයි ගියේ.

කොහොම හරි ඔය විභාගෙන් ඒ ආකාරයට ඉහලින් ම ලකුණු අරගෙන තමයි මං හයේ පන්තියට පාස් වුණේ.

බ්ලොග් එක සම්බන්ධව මගේ විභාග ප්‍රතිපල කියනවා නම්, 2009 ජූලි 11 දින පටන් අරගෙන, කතන්දර 1,033 ක් ලියලා, ෆලෝවර්ස් ලා 1,300 ක් එකතු කරගෙන, හිට්ස් මිලියන් දෙකයි පොඩ්ඩක් අරගෙනයි මං මේ මගේ කතන්දර බ්ලොගයේ පස්වෙනි වසර මේ විදියට අවසාන කරන්නේ!

පහේ පන්තිය ඉවර වුණාම අවුරුද්ද අන්තිමේ මට ලැබුණා දිග නිවාඩුවක්. නිවාඩුවෙන් පස්සේ මට සිදුවුණා හයේ පන්තියේ ඉඳලා ඉගෙන ගැනීම සඳහා ටවුන් එකේ මධ්‍ය විද්‍යාලයට යන්න.

ඊට පස්සේ මං වැස්සකටවත් ඒ කණිෂ්ඨ විද්‍යාලයේ පස් පාගලා නෑ! එදා මා එක්ක ඉගෙන ගත්තු සමහර යාළුවෝ අද වෙනතුරු ඇහැට දැකලාවත් නෑ.

ඒ අනුව කියනවා නම් කතන්දර බ්ලොග් එකේ මගේ කාලයත් අදින් අවසන්. මින් පසු මේ බ්ලොග් එකේ නඩත්තු කටයුතු සහ කොස්මෙටික් අළුත් කිරීම් හැර වෙනත් කතන්දර පලවීමක් නොවෙනු ඇති.

අවුරුදු පහක් කියන්නේ දිගු කාලයක්. මේ බ්ලොග් එක කියවන සමහර අයගේ ජීවිතවලින් ඒ කාලය 10% පමණ වුනාට, බොහෝ දෙනෙකුගේ ජීවිතවලින් අවුරුදු පහක් කියන්නේ ඊට වඩා ලොකු ප්‍රතිශතයක්. සමහර විට 25% ටත් වඩා!

දිගු කාලයක් එකම වේගෙන් යම් කාර්යයක නිරව වෙනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නේ.

ඒ ජයග්‍රහණයේ තවත් කොටස්කාරයෝ ඉන්නවා. පසුගිය වසර පහ තුල මට දැක්වූ සහයෝගයට ඒ සියළු දෙනාටම මගේ ස්තුතිය පිරිනැමෙනවා.

බ්ලොග් එක නවත්වනවාය කියන එක ඉතිං දුකයි තමයි! ඒත් නැට්ට එක්ක අලි මැරෙන එකේ, මේ බ්ලොග් කට්ටක් ගැන කවර කතාද?

දන්නෙම නැතුව වැහිලා අන්තර්ධාන වෙලා යන බ්ලොග්, ලියවීම අඩුවෙලා, අඩුවෙලා අමතක වෙලා යන බ්ලොග් අතරේ මෙහෙම කලින්ම කියලා බ්ලොගයක් නතර කරන එක එක අතකට හොඳ තත්වයක් කියලා මට හිතෙනවා.

එහෙනම් ඉතිං, ආයුබෝවන්!

-කතන්දරකාරයා

ප/ලි:
ඔබේ කමෙන්ටු තව පැය කිහිපයකින් මෙහි පලවෙනු ඇත.

Wednesday, 9 July 2014

මළා තමයි..! - When you reach the end of the road


එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මට හිතුණා මරණය ගැන කතන්දරයක් ලියන්න.

ඔන්න එක ආච්චී කෙනෙක් ගියාලු එයා ගේ හිතවතියක ගේ මළ ගෙදරකට, ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් "මර්ඩර් හවුස්" එකකට. ඒ ගිහිල්ලා ආපහු ඇවිල්ලා කේන්තියෙන් පිපිරි පිපිරී ගෙදර හිටිය උන්දෑ ගේ ළමයින්ට කියලා තියෙන්නේ මේකයි.

"මං දැක්කා අර සිරියාවතී ගේ මිනියේ අත්වලටයි, කකුල්වලටයි මේස් දාලා තියෙනවා. ඔන්න නොකිව්වැයි කියන්න එපා, මං මැරුණු දාක නං ඒ කෝලං කරන්න හිතනවා නෙමෙයි! මට එහෙම ඒ විදියට මේස් දාන්න ආවොත් මගෙන් හොඳවෑයින් දෙකක් අහගන්න පුළුවන් වෙයි උඹලාට!"

අපි පොඩි කාලේ අපේ ගමේ විවිධ මරණ වෙන්න ඇති. නමුත් මගේ හිතේ හොඳින් ම රැඳිලා තියෙන මුල්ම මළ ගෙදරක මතකය අපේ බාප්පා ගේ මරණයයි.

බාප්පා මැරුණේ අපේ සීයලා, ආච්චිලා කිසිම කෙනෙක් මැරෙන්න කලිනුයි. ඒ කියන්නේ ඒ මරණය, ස්වභාවික රෝගී තත්වයක් නිසා සිදුවුණත්, හදිසි මරණයක්.

බාප්පා හිටියේත්, ආච්චීත්, සීයාත් එක්ක, අපි පොඩි කාලේ හිටිය තාත්තා ගේ මහ ගෙදරමයි. එක දවසක් මං මහ රෑ හදිසියේ කළබල සද්දයක් නිසා නැගිටලා බලන කොට බාප්පාට අසනීප වෙලා හොස්පිටිතාලේ ගෙනිහිල්ලා.

අපි වෙනදා වගේ පාසල් ගියා. මං හිටියේ හතේ පන්තියේ.

එදා හවස අපි පාසල් බසයේ ඇවිත් ගෙදර ලඟින් බහින කොට බස් එකේ කොන්දොස්තර අපෙන් ඇහැව්වා "බාප්පා මැරුණාලු නේද?" කියලා.

ඒ කතාවෙන් අපි ගල් ගැහුණා වගේ වුණත් මල්ලියි, මායි ගෙදරට ගොඩ වෙලා එතැන රැස්වෙලා හිටිය අය ගේ විකාර රූපී මුණත් තහඩු දකින කල්ම ඒ කතාව විශ්වාස කෙරුවේ නෑ.

එදා තමයි මං දැනගත්තේ මළ ගෙදරක් වුණාම බිත්තිවල එල්ලලා තියෙන බුද්ධ රූප ඇරුණාම අනිත් සියළුම ෆොටෝ අනිත් පැත්ත හරවනවාය කියලා.

බාප්පාගේ අවසන් ගෞරවය දක්වන්න ආපු අයට සංග්‍රහ කරන්න එලිෆන්ට් හවුස් බීම, බුලත් විටවලට අමතරව, සිගරැට් බන්ඩල් පිටින් ගෙනත් තිබුණා මට මතකයි.

අපේ පන්තියේ ඉස්සර හිටපු මදාවි කොල්ලෙක් (පොර මේ වෙනකොට ගියේ වෙනත් ඉස්කෝලෙකටයි) තවත් ලොකු කොල්ලන් දෙන්නෙක් එක්ක ඇවිත් මේ සිගරැට් දෙක තුනක් අරන් දෙන්න කියලා මගෙන් ඉල්ලනවාත් මට මතකයි.

බාප්පා ගේ අවසන් කටයුතු කෙරුණේ සාමාන්‍ය චාරිත්‍රාණුකුලවයි. මං පසුව සහභාගී වුණු අවමංගල්‍යවලට වඩා තිබුණු එකම වෙනස තමයි බාප්පාව ආදාහනය කෙරුණේ අපේ ඉඩමේ ම වීම. ඇත්තටම ඊට අවුරුදු හතකට පස්සේ මැරුණු සීයාව ආදාහනය කෙරුණේත් එතැනමයි.

මේ දෙන්නා ගේ ම අළු කැළණි ගඟට දැම්මා මිස සොහොන් හැදීමක් කෙරුණේ නෑ.

මේ විස්තරය ලියන්න හිතුණු සුවිශේෂී හේතුව දැනට නොකියා වෙනත් කාරණයක් කියන්නම්.

ඒ තමයි මාතලන් ගොයියා ලියපු අවමගුල් ගැන ලිපිය කියවා මං එතැන ලියපු දේ.

තමන් මලාම මොකක්ද කරන්න ඕනෑ කියලා තමන්ගේ ඥාතීන්ට කියලා මැරෙන්න අපිට පුළුවන් නේද?

මේ ලඟදී මං දන්නා කියන කෙනෙකුගේ ඥාතියෙක් මිය ගියාම පහුවදාම අවසාන කටයුතු කෙරුණා. ඒ මිය ගිය අයගේ ඉල්ලීම අනුව. ඒ වගේම තවත් මැණියෙකු ගේ සිරුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට බාර දුන්නා.

එහෙම ඉල්ලීම් නැතුව යමෙක් මැරෙන්නේ තමන්ගේ මරණයෙන් පසු කෙරෙන අවසාන කටයුතු කෙසේ කෙරුණත් තමන්ට ඉන් ප්‍රශ්ණයක් නැති නිසා විය යුතුයි.
මා මල පසු සොහොන් කොතේ දුක් ගීයක් ලියනු මැනවි
එතකොට ඒ ගී රාවය හීන් හඬින් මට ඇසේවි
කියලා මහගම සේකර ලිව්වා.
මා මල පසු සොහොන් කොතේ බලු බැටියෙක් බඳිනු මැනවි
එතකොට ඌ රෑ ජාමෙට හීන් හඬින් මට බුරාවි
කියලා ඉවාන් පවුලූෂා ලියා තිබුණා.

රොබරෝසියා ගසුත් මැරෙන එකේ අපි ගැන මොන කතාද, නේද?

මට නං කියන්න තියෙන්නේ මා මල පසු සොහොන් කොතේ ස්මයිලි ෆේස් එකක් අඳිනු මැනවි කියලයි.

එහෙම කිව්වාට දුක් ගීයක් ලිව්වා කියල මං අර මේස් දානවට විරුද්ධ ආච්චී වගේ ඔහෙලා එක්ක තරහ වෙලා, ඒ කමෙන්ට් කපලා දාන්නේ හෙම නෑ හොඳේ?

-කතන්දරකාරයා

ප/ලි:
සුවිශේෂී හේතුව ඊලඟ දවසේ ලියන්නම්!

(image: http://zenwords.com/?attachment_id=497)

Monday, 7 July 2014

වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers


අර ලාංකික කාන්තාවන් ගේ නිල ඇඳුම වෙන "හවුස් කෝට්" නමැති ගවුමට "හුචක්කුව" යැයි කියමින් කතාවක් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් විජේසූරිය දන්නවා නේද?

අප සමහරු "අවිඳු අඳුර" කාලේ ඉඳලාම ලේඛකයෙක් යැයි විදියට දැනගෙන හිටියාට, ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරණ බොහෝ දෙනෙක් සරත් විජේසූරියව දැන ගන්නට ඇත්තේ ඔය "හුචක්කුව" වීඩියෝව හින්දායි.

සරත් විජේසූරිය දැන් සිංහල භාෂාව ගැන මහාචාර්යවරයෙක්. පොත් ප්‍රකාශකයෙක්. ජනප්‍රිය දේශකයෙක්. හොඳ කෙටිකතාකාරයෙක්. ඒ වගේම වෙනත් විවිධ මාතෘකා ගැනත් පොත් රාශියක් ලියලා තියෙනවා. ඔහු ලියා ඇති පොත්වලින් මා ගාව තියෙන දුසිමක් විතර පොත් අතරින් මා වඩාත් කැමතිම කෘතිය නම් "මගේ නඩුව ඉවරයි" යන්නයි.

මා මේ කියන්න යන්නේ ඒ පොත් ගැන කතන්දරයක් නම් නොවෙයි.

අර මුලින් සඳහන් කළ හුචක්කුව වීඩියෝවට පස්සේ සරත් විජේසූරිය කරපු කතා ගොඩක් යූ ටියුබ් එකේ නැගලා ගියා. මට මතක හැටියට මේවායින් එක වීඩියෝවක තිබුණු කතාවක් තමයි වර්තමාන ලාංකික ගායකයින් සමහර දෙනෙකුට පුරුෂ කටහඬක් නැතිය, ඔවුන් ගී ගයන්නේ වෙනත් ආකාරයක කටහඬකින් ය කියන කතාව.

මට ඒ කතාව මතක් වුනේ විකිපීඩියාවේ තියෙන ඉතාලියේ සිටි කැස්ට්‍රාටෝ නම් ගායකයින් ගැන විස්තරයට සබැඳියක් මිතුරෙකුගෙන් ලැබී කියවූ වෙලාවේයි.

මේ කියන කැස්ට්‍රාටෝ ගායකයින් ගේ කටහඩ යුරෝපීය සම්භාව්‍ය ගායනාවේ යෙදෙන (ඒ කියන්නේ ලයනල් රන්වල ගේ වචනවලින් හූ කියන) සොප්‍රානෝලා ගේ කටහඬට සමාන බවයි කියවෙන්නේ.

නමුත් මෙතැන තියෙන අවාසනාවන්ත කාරණය තමයි මේ කැස්ට්‍රාටෝ ගායකයෙක්ව බිහිකරන්නේ පිරිමි ළමයෙක් කුඩා කාලයේදීම ඔහු ගේ වෘෂණ කෝෂ අයින් කිරීමෙන් වීමයි.

වැඩිවියට පත්වෙන්න පෙර මෙසේ කිරීමෙන් ඒ ළමයා ගේ පරාසයෙන් වැඩි ළමා කටහඩ එලෙසම වාගේ පැවතෙන අතර, පිරිමි හෝමෝන නිපදවීමක් සිදු නොවන නිසා අස්ථි දිගෙන් වැඩී හුස්ම අල්ලාගෙන ගායනා කිරීමේ වැඩි හැකියාවක් ද ලැබේ ලු!

මේ ආකාරයට ඌරන් ගේ වෘෂණ කෝෂ අයින් කීරීම ගැන පසුගිය දවස්වල අපි බ්ලොග් ලෝකයේ දැක්කා. ඒ වගේම හරකුන් ගේ වෘෂණ කෝෂ අයින් කරලා කිරි පුස්සන් හදන බව නම් කාලෙකට කලින් ඉඳලාම මං අහලා තිබුණා අර ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය ගීතය නිසා.

ඒ මොනවා වුණත් මේ ළමයින් ගේ වෘෂණ කෝෂ ඉවත් කරන කතාව නම් තරමක් විශ්වාස කරන්නත් අමාරුයි වගෙයි දැනුනේ!

රජකාලේ දඬුවම් ලෙස හෝ සතුරන්ගෙන් පළිගැනීම් ලෙස මේ වැඩේ කරලා තිබුණාට, ගායකයෙක් හදන්න ළමයෙකුට මේ වගේ අතවරයක් කරන්නේ මොන හිතකින්ද?

හැබැයි, ඒ එක්කම මතක් වෙන්නේ විකාෂ් ස්වරූප් ගේ "කිව් ඇන්ඩ් ඒ (Q and A) කෘතියේ සහ ඒ අනුසාරයෙන් හැදු "ස්ලම් ඩෝග් මිලියනර්" චිත්‍රපටයේ තිබුණු අන්ධ ගායකයින්ට හොඳින් හිඟමන් ලැබෙන නිසා ගී ගයන්න හැකි ළමයෙකුව අන්ධයෙක් කරන සිද්ධියයි.

"හන්ච්බැක් ඔෆ් නොට්‍රැඩෑම්" පොතේ හෝ එවැනි තැනක, මධ්‍යතන යුරෝපයේත් ළමයින් ගේ අත් කකුල් පොඩි කාලේම විකෘති කර සර්කස් යනාදියේ ප්‍රදර්ශණ භාණ්ඩ කරන තිරිසන් ක්‍රියාවන් ගැනත් සඳහන් වී තිබුණා මට මතකයි.

කෙසේ වෙතත් ඉතාලියේ මේ කැස්ට්‍රාටෝ කිරීම 1870 දී නීතියෙන් තහනම් කර තියෙනවා.

මෙන්න විකිපීඩියාවේ එන කැස්ට්‍රාටෝ ගායකයින් ගැන විස්තරයට පාර නැවතත්.
http://en.wikipedia.org/wiki/Castrato

-කතන්දරකාරයා

ප/ලි:
ඉංගිරිසියෙන් හී හැස් ගොට් නෝ බෝල්ස් යැයි කීමෙන් අදහස් කෙරෙන්නේ මොකක්ද කියා දන්නවාද?
http://www.urbandictionary.com/define.php?term=you%27ve+got+no+balls

තමන්ට විරුද්ධ මතයක් දරන අයෙකුව මතවාදීව පරාජය කරන්නට නොහැකි වූ විට පුද්ගලිකව මඩ ගසන්නට අසත්‍ය ප්‍රචාර කරන අයටත් "දේ හැව් ගොට් නෝ බෝල්ස්!" යැයි කිව හැක.

(image: http://upload.wikimedia.org/wikipedia/commons/9/90/Scalzi_by_Flipart.jpg)

Friday, 4 July 2014

දොස් පිරි, දොස්-තරයෙක් ගේ කතාවක් - What's up doc?


මේක කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙයි, මේ ඊයේ පෙරේදා දවසක, මුලින් ෆේස් බුක් හරහා ආපු මැසේජ් එකක් ඔස්සේ ගිහින් දුරකතනයක් හරහා වාචිකව අහන්නට ලැබුණු කේස් එකක්.

"මේ කතන්දරේ උඹේ බ්ලොග් එකට හොඳයි නේද?" කියලාම යෝජනාව ලැබුණු නිසා හිතුණා ලියලා දාන්න. කොහොමටත් මේ කතන්දරේ මේ දවස්වල සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ තියෙන අවුල් අස්සට හොඳට ගැලපෙනවා.

මට අහන්න ලැබුණු ආකාරයෙන්ම කතාව නැවත ලියන්නම්.
මචං, කතන්දර, මේකයි කේස් එක!

දැන් මාස දෙකකට විතර කලින් දවසක අපේ නැන්දම්මා නාන වෙලාවේ කොන්ද රිදෙන්න පටන් අරං තියෙනවා. ඉතිං වයිෆ් ගේ නංගිත් එක්ක පහුවදා හවස ගමේ ගෙවල් ලඟ ඩිස්පැන්සරියක් දාගෙන ඉන්න දොස්තර ලඟට ගිහින්.

පොර ආණ්ඩුවේ මූලික රෝහලක වැඩ කරන ඩොකෙක්, වැඩ ඇරිලා හවසට මේ දිස්පැන්සරියට එනවා පොල් කඩන්න. වයසත් නිකං හතලිස් පහක් විතර ඇති.

අම්මා කොන්ද රිදෙනවාය කියපු ගමන්ම ඩොකා කියලා තියෙනවා, "ආ, එහෙනං ඕක කැන්සර් එකක් වෙන්න ඉඩ තියෙනවා. වහාම එක්ස් රේ එකක් අරගෙන බලන්න ඕනෑ" කියලා.

මොකුත් බේතක් හේතක් දීලාත් නෑ අමාරුවට, හැබැයි ඉතිං අම්මා පොඩි පෙනඩෝල් පාරක් දාලා ජාම් බේරාගෙනයි ඔය ගමන් ගිහින් තියෙන්නේ.

ඉතිං මොකද කරන්නේ පහුවදාම උදේ ගිහින් ඔය කියන එක්ස්-රේ එක ටවුමේ කඩේකින් අරගෙන, ඒක ලැබුණු වහාම ගිහින් තියෙනවා ඩොකා ලඟට ආපහු.

පොර එක්රේ එක අතට ගත්තු ගමන්ම කිව්වාලු, "මං හිතුවා හරියට හරි! කැන්සර් එකක් තමයි, මේ තියෙන්නේ කළු පැල්ලමක් කොඳු ඇට පෙළ දිගටම!" කියලා.

"මේකට කරන්න නං ඉතිං බේතක් නෑ. වේදනාව අඩුවෙන්න කොන්දට මැෂිමක් හයි කරන්න වෙනවා. ඒක මට පුළුවන් ඇරේන්ජ් කරන්න!" කියලාත් කිව්වාලු.

ඊට පස්සේ අම්මාව දිස්පැන්සරියට එක්කගෙන ගිය නංගිවයි, එයාගේ හස්බන්ඩ්වයි පැත්තකට කරලා කිව්වලු, "දැන් ඉතිං අම්මා තව මාස කීපෙකට වඩා ජීවත් වෙන්නේ නැති වේවි, මගේ තාත්තාටත් ඔය වගේම නාන කොට ආපු කොන්දේ අමාරුවකින් තමයි අසනීපේ පටන් ගත්තේ, ඒ වෙනකොට කැන්සර් එක ඔඩු දුවලා, ඊට පස්සේ මාස දෙකකට වඩා ජීවත් වුණේ නෑ!" කියලාත්.

ඉතිං නංගි කලබල වෙලා අඬ අඬා වයිෆ්ට කෝල් එකක් දුන්නා එදා රෑම. එහෙමයි මට ආරංචි වුණේ.

කතාව අහලා මං නං කිව්වේ, "කැන්සර් එකක් කොහොමද ඔය විදියට එක පාරටම එක්ස්-රේ එකකින් හොයා ගන්නේ? අනික ඔය මනුස්සයා ස්පෙෂලිස්ට් කෙනෙකුත් නෙමෙයි නේ!" කියලයි.

කොහොම හරි දැන් සේරම කට්ටිය හොඳටම බයවෙලා. අපි කෙරුවේ ඒ සති අන්තයේදීම මහරගම කැන්සර් හොස්පිටල් එකේ ස්පෙෂලිස්ට් කෙනෙක්ව චැනල් කරලා අම්මාව පෙන්නපු එකයි.

අන්තිමට බැලින්නං අම්මට මේ පොඩ්ඩක් කොනද ඇවිලිලා මිසක් ඇති කැන්සර් එකක් නෑ. ස්පෙෂලිස්ට් එක්ස් රේ එක බලලා හිනා වුණා විතරයි.

තව දවස් දෙක තුනකින් ඒ කොන්දේ ඇවිලිල්ලත් මග හැරිලා ගියා.

අන්න නැන්දම්මා දැන් ඉන්නව වෙනදාටත් වඩා හොඳට!

මං හොයලා බැලුවාම මේ දොස්තරයා අර කාලෙකට කලින් රාගම තිබුණු ප්‍රයිවේට් මෙඩිකල් කොලේජ් එකේ ඉගෙන ගත්තු පොරක් ලු
!
මගේ හිතවතා කතාව කියලා ඉවර කලේ එහෙමයි.

මේ කතාව අහලා මට හිතුනේ අනේ අපොයි අර කැන්සර් එකක් හැදිලා මිය ගියාය කියන (මේ දොස්-තර ගේ) තාත්තා කියලයි.

-කතන්දරකාරයා

(image: http://emoryhealthcare.org/spinal-radiosurgery/index.html)

Wednesday, 2 July 2014

බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ ගේ කතාවක් සහ ඒ බ්ලොග්කාරයා ගේ මතකයන් සමගින් තත්කාලීන කේස් එකකට සම්බන්ධ කතන්දර කීපයක ආරම්භය - Here we go!


මේ දවස්වල වින්නඹු-හෙදි සටනක් යනවනේ ජයටම. ඕකට දොස්තරලාත් එහෙන් මෙහෙන් හෝ කෙලින්ම සම්බන්ධයි ලු.

මේ ගැන බ්ලොග්කාරයින් දෙතුන් දෙනෙක්ම ලිපි ලියා තිබුණා. එක්කෙනෙක් රාජ්. ඊලඟට පැරා. මේ ලිපිය ලියලා පලකරන අතරේ මාතලනුත් එකතුවෙලා.

පැරා නම් අදත් ලිපියක් ලියා තිබුණා, ඒ අර කලින් ලිපියක කමෙන්ට් එකක් දාපු ඇනෝවෙක් උපුටා දක්වලා තිබුණු දිවයින වාර්තාවට හරියටම ගැලපෙන විදියටයි. ඒ ඇනෝලා ගේ යටි අදහස ලෙස පෙනුණේ බ්ලොග්කාරයින් ගේ ලිපිවලින් කියවෙන මතය ඔවුන්ගේ බිරින්දෑවරුන් ගේ රැකියාව අනුව සැකසී ඇති බවකුයි.

අපි ඕනෑම කෙනෙකුට රටේ ලෝකේ ප්‍රශ්ණ ගැන මතයක් තියෙනවා. ඒක අපේ අත්දැකීම්, දැනුම සහ අපි අගය කරන වටිනාකම් ඒ කියන්නේ වැලිව්ස් මත පදනම් වෙච්ච දෙයක්. එය අපේ කලත්‍රයා ගේ රැකියාවට අදාල වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්.

විවාහ වෙලා ඉන්න දෙපලකට ඕනෑම දෙයක් ගැන දෙයාකාරයක අදහස් තියෙන්න පුළුවන්. මතවාද දෙකක් දරන්න පුළුවන්. සමහර විට මේ මතවාද එකිනෙකට අතිශයෙන් ප්‍රතිවිරුද්ධ වෙනකොට නං වැඩේ අංජබජල් වෙන්න ඉඩ තියෙනවා. නමුත් බොහෝ වෙලාවට ඔය අදහස්වල තියෙන සුළු සුළු වෙනස් කම් නම් සුළු සුළුම තමයි!

මේ බ්ලොග් බලන අස්සේ මටත් මතක් වුණා පරණ සහ අලුත් කතන්දර දෙක තුනක්.

ඒවායින් සමහර කතන්දරවලට අදාල දේ මීට කලිනුත් මං අතින් ලියවිලා තියෙනවා.

මුලින්ම මතකද මං ලියපු පේරාදෙනිය ද කටුබැද්ද ද කියන කතන්දරේ?

ඒ කතන්දරේ කියවුණා වගේම වැදගත් තීරණයක් මට ගන්න සිදුවුණා අපි දහයේ පන්තියේ ඉඳලා එකොළහේ පන්තියට යන දවසේ.

"මැත්ස් කරන ළමයි මේ පේලියට එන්න, බයෝ කරන ළමයි අර පේලියට යන්න!" අපේ අංශබාර ප්‍රධානියා කීවා. ඒ වෙනකොට අපි හැමදෙනාම වගේ ඒ තීරණය අරගෙනයි හිටියේ.

ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අනුව විභාග ප්‍රතිපල අනුව ශිෂ්‍යයින් හැදෑරිය යුතු විෂයන් මොනවාද කියන එක කලින්ම තීරණය වෙලායි තියෙන්නේ.

හොඳට ඩිෂ්ටින්ෂන් තියෙන අය එක්කෝ මැත්ස් නැත්නම් බයෝ. ඊලඟට ස්ථතරය යන්න ඕනෑ කොමර්ස් කරන්න. අන්තිම ස්ථරයට, ඒ කියන්නේ ගණිතයට, විද්‍යාවට ඩිෂ්ටින්ෂන් හෝ ක්‍රෙඩිට් නැති අයට කලා විෂය ධාරාවේ අබ සරණ පමණයි.

ඔය කලාව කිරීම ගැන තවත් මං ලියපු කතන්දරයක් තමයි මේක.
http://kathandara.blogspot.com/2012/01/disaster-strikes-kathandara-household.html

ඒ වගේම මිණිවන් පී තිලකරත්න ලියපු "කුඩා දොස්තර, මහ දිසාපති" කියන කෙටිකතාවත් මේ කේස් එක මත පදනම් වුණු එකක්. මං ලියපු "මං ලියන්නේ මට ඕනෑ දේවල්, ඇයි උඹ ලියන්නේ කාට ඕනෑ ද?" කියන කතන්දරේ පෙර කතාවේත් ඔය වගේ සම්බන්ධයක් තිබුණා.

ඒ මොනවා වුණත්, මං එදා අම්මා ගේ කැමැත්තටත් පිටුපාලා, මැත්ස් පන්තියට යන පෝලිමට එකතු වුණේ අර පවිත්‍රා වන්නිආරච්චි වගේ මැත්ස්වලට විශිෂ්ඨ සාමාර්ථයක් තිබුණු නිසාම නොවෙයි. ඊට වඩා මට ජීව විද්‍යා විෂයයන් ගැන ඒ වෙනකොට ඇතිවෙලා තිබුණු අප්‍රසන්නකම නිසයි.

කූප්‍රකට බ්ලොග්කාරයෙකුගේ වයිෆරේ ගේ නයෙක් කියලා මං ලියපු කතන්දරේ කියවුණු කේස් එකේදී මේ කියන වයිෆරේට සාමාන්‍ය පෙළට ගණිතයට විශිෂ්ඨ සාමාර්ථයක් තිබුණාට විද්‍යාවට තිබුණේ ක්‍රෙඩිට් එකක් විතරක් නිසා ඇගේ අම්මා වගේම පාසලේ ගුරුවරියනුත් උපදෙස් දිලා තියෙන්නේ ඒ ලෙවල්වලට මැත්ස් කරන්න කියලයි. නමුත් ඇය බයෝ පන්තියටයි ගිහින් තියෙන්නේ. ඒ මොනවා වුණත් ගණිතයට ඇති බය හින්දා වෙන්න ඕනෑ!

මට කියන්න ඕනෑ එක කරණයක් නම්, අද සෞඛ්‍ය ක්‍ෂේතයයේ රැකියාවන් කරන අති බහුතරය ඒ තැන්වලට ගිහින් තියෙන්නේ මේ ලෙඩ්ඩුන්ට සලකන්න තියෙන පින් අතේ සිතුවිලි හින්දා නොවෙයි. වෙනත් සමාජ, ආර්ථික කරුණු හින්දයි.

මතකද මං ලියපු ලොකු වෙලා තාත්තා කෙනෙක් වෙන්න ආසයි කියන කතන්දරේ?
http://kathandara.blogspot.com/2009/09/blog-post.html

එදා තමයි මං තීරණය කලේ ලොකු වෙලා මැවිසුරුවෙක් වෙනවා කියලා. ඒ තීරණයට හේතුව මේ මැවිසුරුකමට කිසිසේත්ම අදාල දෙයක් නොවෙයි.

ඒ වගේම තමයි, අද දොස්තර ලා, නර්ස් ලා, මිඩ් වයිෆ්ලා වෙලා ඉන්න අයත්.

බහුතරයක් එහෙම වුණාට සුළුතරයක ගේ පසුබිම් කතාව ඊට වෙනස් වෙන්න පුළුවනි.

මං පොඩි කාලේ ගමේ ගිය වෙලාවක අපේ ඇන්ටිලා මගේ අහපු ප්‍රශ්ණයම, අපි හතේ පන්තියේ විතර ඉගෙන ගන්න කාලේ අපිට සමාජ අධ්‍යයනය උගන්නපු සුගතදාස ගුරුවරයා අපෙන් ඇහැව්වා.

පන්තියේ කොල්ලෝ, කෙල්ලෝ සාමාන්‍ය ටිපිකල් උත්තර දුන්නා. දහයේ පන්තියෙන්ම ඉස්කොලෙන් කැපිලා තාත්තා වගේ ඩ්‍රෑයිවර් කෙනෙක් වෙන්න ගිය සුනිල් පවා දුන්නේ වෙනත් උත්තරයක් මට මතක විදියට.

ඒ උත්තර අසා අවසානයේ සුගතදාස සර් මෙහෙම කිව්වා.

"මගේ දුව නම් පොඩි කාලේ කියන්නේ එයා ලොකු වෙලා නර්ස් කෙනෙක් වෙලා ලෙඩ්ඩුන්ට සාත්තු කරන්යි කැමති කියලා. මං එහෙම කතාවක් වෙනත් ළමයෙක් කියනවා තාම අහලා නෑ!"

කතාව ඇත්ත නේද?

මාත් තාම අහලා නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
සෞඛ්‍ය සේවයේ අය ඒ ක්‍ෂේත්‍රවලට යොමුවෙලා තියෙන්නේ රෝගීන්ව සනීප කරන්නට, රැකබලා ගන්නට, උපස්ථාන කරන්නටය කියා සිතීම, අද දවසේ දේශපාලුවන් දේශපාලනයට එන්නේ මහජනයාට සේවය කිරීමටය කියා සිතීම වගේ දෙයකි!

(image: http://www.dreamstime.com/royalty-free-stock-photography-hospital-staff-standing-row-over-white-image8564507)

Monday, 30 June 2014

කෙල්ල ගේ ගෙදරින් අහන්නට කොල්ලන් බය ඇයි? - Meet the parents (Sri Lankan Version)


විශ්ව විද්‍යාලයේ මා උගත් කෑල්ලේ ගෑල්ළමයි ගහණය ඉතා අඩු මට්ටමක පැවතුණි. මෙනිසා, අපේ වරිගේ කොල්ලෝ බොහෝ දෙනෙකු ගඟෙන් එහා පැත්තේ වඩා කොල පැහැති තණ බිම් වෙත හෙවත් "ග්‍රීනර් පාස්චර්ස්" වෙත ඇදී ගියහ.

මගේ එක් මිතුරෙක් මේ ආකාරයට එක්තරා අධ්‍යාපන අංශයක උගෙනුම ලැබූ මානවිකාවිකාවියක් කෙරෙහි සිතක් ඇති කරගෙන, එක් දිනක් ඇය හමුවී කතා බස් කර තම සෙනෙහස හෙළිකර ඇගේ අදහස් විමසූ වෙලාවේ, ඇය ක්‍ෂණයකින් පවසා ඇත්තේ, ඒ ගැන කතාබහ කිරීමට ඇගේ නිවසට පැමිණ දෙමව්පියන් හමුවන ලෙසයි.

බුදු අම්මෝ!

දෙමව්පියන් හමුවෙන්නට යන්නේ සාමාන්‍යයෙන් විවාහයට දින නියම කර ගැනීමට නොවැ!

ඒ "මීට් ද පේර්න්ට්ස්" කතාව ඇසූ අපේ බැචාලා බොහෝ දෙනෙකු ද භීතියට පත් වූ බව කිව හැක.

ඒ වී නමුත් සත්‍ය ප්‍රේමය ඔය වාගේ සුළු සුළු භාධක හමුවේ පසු බසින්නේ නැත.

මා මිතුරා අර ගෑල්ළමයා ගේ නිවසට ගොස් නිසි අවසර ගත්තේය. ඉන් පසු ලයිෂන් සහිතව පෙම් කිරීම ඇරඹීය.

ඒ ලව් පලහිලව්ව පසු කාලයක අංජබජල් වී ගිය බව වෙනත් කරුණකි. නමුත්, ඒ ආකාරයට ලයිෂන් ගැනීමේ ලොකු අප්සෙට් එකක් නැති බව ඔහුගේ ඒ වීර ක්‍රියාවෙන් අපට වැටහිණි.

ඔය ආදර පලහිලව්ව තිබූ සමයේ අපට ආරංචි වූයේ, කෙල්ලෙකුගෙන් අදාල ප්‍රශ්ණය ඇසූ විට, මෙසේ ගෙදරට ඇවිත් අම්මා සහ තාත්තා හමුවී මේ ගැන මුලින් විමසිය යුතු යැයි කොන්දේසි පැනවෙන්නේ මේ අධ්‍යයන අංශයේ ගෑල්ළමයින් සියළු දෙනාගේ සම්මුතියකට අනුව බවයි.

මා මිතුරා මේ බව දැන ගත්තේ ඔහු ගේ පෙර කී ආදර සම්බන්ධය පැවතෙන අතරතුරදී අසන්නට ලැබුණු එවැනිම තවත් සිදුවීම් කීපයක් නිසාය.

ගෑල්ළමයින් ගේ චින්තනයට අනුව මේ කොන්දේසිය නිසා නිර්භීත, අවංක සැබෑ පෙම්වතා ජය ගනී. කොල්ලන් ගේ විහිළු කතා විශ්වාස කරනවා නම් මෙහිදී අමාරුවේ වැටෙන්නේ මෝඩ, අමන, එස්පීබීආර් ලා ය.

කෙල්ලගේ දෙමව්පියන් හමුවීමට සමහර කොල්ලන් කෙතරම් බියද යන්න දැක්වෙන තවත් කතාවක් මෙසේය.

එක්තරා විශ්ව විද්‍යාලයක දී හමුවුණු එකම කණ්ඩායමේ තරුණ යුවලක් මද කලකින්ම පෙමින් බැඳුණහ. තවත් ටික කලකට පසු කෙල්ලගේ නිවසේ දානමය පිංකමක් පැවති දිනයක එහි ගිය බැචාලා, බැචීලා කණ්ඩායම අතර කොල්ලා ද විය.

තම මෑණියන්ට විශ්ව විද්‍යාලයෙන් පැමිණි මිතුරු මිතුරියන් පිරිස හඳුන්වා දෙන අතරවාරයේ අපේ කතා නායිකාව තම කැම්පස් පෙම්වතා පෙන්වා "මෙන්න මෙයා ගැන තමයි අම්මේ මං අර කිව්වේ!" යන වදන් කීපයද පැවසුවා ය.

අපේ වීර කතා නායකයා ඒ කතාවෙන් ඉතා කැළඹිල්ලට පත්වුණු අතර, ඒ ගැන පසුව ඇතිවුණු කතාබහ සහ නොහොඳ නෝක්කාඩු නිසා, ඔවුන් දෙදෙනාගේ ආදර සම්බන්ධයද ඉන් ටික කලකට පසු නිමාවිය.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය උඩින් තියෙන පෝස්ටර් එකට අදාල "මීට් ද පේර්න්ට්ස්" යන්න මා දැන් කලකට පෙර නැරඹු ඉතා හාස්‍යජනක චිත්‍රපටයකි. මීට කලින් මා මේ පෝස්ටරය පාවිචිකරමින් මෙන්න මේ කතන්දර කීවා මතකද?
http://kathandara.blogspot.com/2010/06/blog-post_05.html

(image: http://www.coolchaser.com/graphics/tag/Meet%20the%20parents)

Friday, 27 June 2014

පරණ බඩු සහ අළුත් බඩු - Old is gold?


පොඩි කාලේ අප අසා ඇති තේරවිලි මතකද?

කපන්න කපන්න දික් වෙන්නේ මොකක්ද? යැයි ඇසීම එවැන්නකි.

මෙයට නිවරදි පිළිතුරු දෙකකි.

එකක් "අගල" යන්නය. අනෙක් පිළිතුර "රැවුල" යන්නය.

හෝදන්න හෝදන්න කිළුටු වෙන්නේ මොනවාද? යන්න මේ ආකාරයේ තවත් තේරවිල්ලකි. එයට නිවරදි පිළිතුර "වතුර" යන්නය.

අද මා මේ කතන්දරය ලියන්නේ එවැනි වෙනත් වැදගත් කරුණක් ගැන කතා කරන්නයි.

මේ තේරවිල්ල බලන්න.

පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ මොන බඩුද? වෙනත් වචනවලින් අහනවා නම් අළුත් බඩුවලට වඩා පරණ බඩු හොඳ වෙන්නේ මොනවා සම්බන්දයෙන්ද?
දැන් පොඩි පරණ කතාවක් කියන්නම්.

එකෝමත් එක දවසක මගේ හිතවතෙක් අපේ නිවසට පැමිණ ගමණක් යන්නට මා ඔහුගේ වාහනයට නංවා ගත්තේය.

එදා මා සිටියේ තරමක හෙබ්බා තත්වයකිනි.

වාහනය නුගේගොඩ හරියට ලඟාවෙන විට වාහනයේ ඒ.සී. එක නිසාදෝ මගේ නහය පුරා උතුරා යන්නට පටන් ගත්තේය.

කොරේ පිටට මරේ කීවාක් මෙන් මංතුමා නිවසින් පිටව තිබුණේ කලිසම් සාක්කුවේ වෙනදාට දැහැමෙන් සෙමෙන් වැජඹෙන ලේන්සු රාජයෙක් නැතුවය!

කාර් එකේ කඩදාසි ටිෂු තිබුණේද නැත.

දැන් ඉතිං මෙනවා කරන්නද?

මම වහාම කාරය පාර අයිනේ නවත්තන්නට යැයි කියා, බිමට පැන අසල තිබුණු පේව්මන්ට් අයිල තට්ටුවකින් ලේන්සුවක් මිළට ගතිමි.

යළි අසුණේ හරි බරි ගැසී වාඩි වී රාජ ලීලාවෙන් හොටු හූරන්නට සැට් වී, අළුත් ගත් ලේන්සුව නැහැයට තැබූ විට මට දැණුනේ හරියට නම්බර් සීරෝ වැලිකඩදාසියකින් නහය පිසදා ගන්නා ආකාරයේ සුව පහසුවකි.

වෙනදා හොටු හූරද්දී මගේ නැහැ පුඬු කිතිකවා ඔකඳ කරවන ලේන්සු කිහිපයේ සුසිනිදු සුමුදු මුදු පහස සිහිවී මගේ නහයෙන් හොටු පමණක් නොව ඇසෙන් කඳුළු ද වැගිරෙන්නට පටන් ගති.

මා කලින් ඇසූ තේරවිල්ලට පිළිතුරු දැන් පැහැදිළියි නේද?

පරණ වෙන්න පරණ වෙන්න හොඳ වෙන්නේ ලේන්සු වේ! අළුත්ම කිරි කිරි ටොයියා ලේන්සුවලින් ඒ නැහැ පුඬු කිතිකවා ඔකඳ කරවන සුසිනිදු සුමුදු මුදු පහස කිසිසේත්ම ලබාගත නොහැක!

-කතන්දරකාරයා

ප/ලි:
පරණ ලේන්සු අළුත් ඒවාට වඩා හොඳ වූවාට, පරණ ජොක්කු සම්බන්ධයෙන් ඒ තියරිය අදාන නොවන බව මා මිත්‍ර දොස්තර ප්‍රේමකුමාර මින් ටික කලකට පෙර පුවත්පතකට පවසා තිබුණි.
http://kathandara.blogspot.com/2012/04/serious-medical-advice-from-dr.html


(image: http://www.indiamart.com/voratextiles/mens-hankies.html)

Wednesday, 25 June 2014

වැටකොළු, පතෝල කතන්දරයක් - Hidden treasure!


මං අවුරුදු තුනේ විතර පොඩි එකෙක් කාලේ අපේ අම්මා මට බත් කවන්න ගිහිල්ලා වෙච්ච කේස් එකක් ගැන කතන්දරයක් මං මීට අවුරුදු දෙකකට විතර කලින් ලියා පල කළා.

අද කියන්න යන්නේ ඒ වගේ ඇම්ඩන් කතාවක් නොවෙයි, මේක ඇත්තටම ඒකේ අනිත් පැත්ත!

දැන් සතියක් තිස්සේ විහිළුවට වගේ වෙජිටේරියන් ට්‍රයල් එකක නිරතවෙලා හිටියා වුනාට, මොකක් හරි හේතුවක් හින්දා මංතුමා පොඩි කාලේ ඉඳලාම සමහර එළවළු ජාති කන්න අකමැතියි.

වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු ජාති ගැවුණු බත් ටිකක්වත් මං කන්නේ නෑ අම්මා කොච්චර කන්නැයි කියලා යාප්පු වුණත්.

පොඩි කාලේ ඉඳලාම මගේ ප්‍රියතම වෑංජනේ තමයි පරිප්පු. මං හිතන්නේ පරිප්පුවලට කැමති අය අප අතර එමටයි. කොටින්ම මං අද වෙනකොට පරිප්පු ඉවීම ගැන විශේෂඥයෙක්!

කලින් කියපු එළවළු ජාති මං නොකා හිටින්න හේතු මොන මොනවාද කියලා මට දැන් මතකයක් නෑ. සමහරවිට මුලින් ම ඒවා කාපු දවසේ ටිකක් විතර සැර වැඩි වෙන්න ඇති! නැත්තං පොඩි තිත්තක් වගේ දැනෙන්න ඇති.

ඔහොම තව අවුරුදු දෙක තුනක් ගිහින් මං පාසල් යන සමයත් එළැඹුණා. ඔන්න ඔය කාලේ දවසක අපි ගියා අම්මලාගේ ගමේ. එහේ තමයි අර පහු කාලෙක තමන්ගේ සී නයින්ටියට ගහන්න රුපියල් විස්සට පෙට්‍රල් ගන්න පෙරුම් පුරාගෙන හිටිය ඇන්ටි හිටියේ.

අපේ ඇන්ටි මට හරිම ආදරෙයි. ඒ හින්දාම ඒ දවස්වල ඇන්ටි මට හැමදාම වගේ බත් අනලා කවනවා. මං ඒ වෙනකොට ඉස්කෝලේ යන්න පටන් අරගත්තු ලොකු ළමයෙක් වුණාට මාත් ඒකට කවදාකවත් අකමැති වුණේ නෑ. මොකද, මල්ලිලා අම්මා එක්ක හුරතල් වෙනවා වාගේ, මාත් කැමතියි පොඩ්ඩක් හුරතල් වෙන්න.

අනික මේ ඇන්ටි බත් කවන අතරේ අපිට අහගෙන ඉන්න හරීම ලස්සන කතන්දර කියන්නත් දන්නවා. කතන්දර වගේම ඇන්ටි අනලා බත් කවන කොට හරීම රහයි, මං පිඟානට බෙදාගෙන අනාගෙන කනවා වගේ නොවෙයි!

මුලින් පිඟානට බෙදලා ගෙනත් හොඳට අනලා ගුලි කරලා මට කවන බත් මං සේරම වගේ කනවා. එහෙම වුණාම ඇන්ටි ආපහු කුස්සියට ගිහින් තවත් බත් බෙදාගෙන ඇවිත් මට කවනවා.

එක දවසක්, බත් පිඟාන ඉවර වුනේ ඇන්ටි මට කියමින් උන්නු කතන්දරේ හොඳම හරිය යද්දීයි.

ඒ හින්දා මාත් කතාව දිගටම නොනවත්වා කියන්න කියලා ඇන්ටිගෙන් ඉල්ලමින් ඇන්ටි එක්කම කුස්සියට ගියා බත් බෙදාගෙන එන්න යනකොට.

දෙවෙනි බත් පිඟාන අරගෙන ආපහු ඇවිත් ඔන්න ඇන්ටි ආයෙමත් කතන්දරේ කියමින් මට කවන්න පටන් ගත්තා.

මට හොඳට මතකයි, එදා ඒ කතාවත් දුක්මුසු අවසානයකින් තමයි ඉවර වුණේ. ඊටත් වඩා වැදගත් දෙය තමයි අර දෙවෙනියට බෙදාගෙන ආපු බත් පිඟානේ අර කලින් එකේ තිබුණු රහම රහ ගතිය තිබුණේම නෑ.

මීට සෑහෙන කාලෙකට පස්සේ තමයි මං දැනගත්තේ ඇන්ටි මට අනලා කවන බත්වල රසයට සැබෑ හේතුව නම්, බත්වලට යටින් හොරෙන් බෙදලා, බත්වලින් වහලා තිබුණු වැටකොළු, පතෝල, කැරට්, බීට්රූට්, එළබටු, රාබු, කතුරුමුරුංගා, කැකිරි, මුරුංගා, කරවිල වගේ එළවළු වෑංජනය කියන එක.

මේ දෙවෙනි පිඟාන රහ නැතිවුණු දවසේ එහෙම වෙන්න හේතුව තමයි, බත් බෙදාගන්න මාත් කුස්සියට ගිය හින්දා, ඇන්ටි වෙනදා බත් යටින් හොරෙන් හංගලා මට කවපු, මං සාමානයෙන් නොකන එළවළු වර්ග එවෙලේ මගේ බත් පිඟානට බෙදුවේ නැතිවීමයි!

-කතන්දරකාරයා

ප/ලි:
එදා නොකාපු එළවළු ජාතිවලින් මේ වෙනකොට වැටකොළු, කැරට්, බීට්රූට්, රාබු, කතුරුමුරුංගා කනවා.

කරවිලත් කනවා, හැබැයි ඒ උයලා නොවෙයි, බැදලා සම්බෝල හදලා!

(image: http://daenyo.de/photos/asia/sri-lanka/)

Monday, 23 June 2014

හොඳයි කොරලා කෝ බලමු එහෙනං - Who dares wins..!


මගේ දෙමව්පියන් සහ ඥාති පරම්පරාව වගේම මංතුමාත් සාමාන්‍යයෙන් මාංශ භක්‍ෂකයෙක්. හැබැයි අපි පොඩි කාලේ හැමදාම වගේ කෑවේ හාල්මැස්සෝ, කීරමින්, කට්ට, පරා වගේ කරෝල තමයි වැඩි වශයෙන්ම.

ඉඳලා හිටලා දවසක, පාරේ යන මාළු කාරයාව අල්ලා ගන්න ලැබුණොත් (තාත්තා ගේ මහ ගෙදර ඉඳලා බස් පාරට ටිකක් දුරයි) මූදු මාළු කෑවා.

මහනායකලාත් අබෞද්ධ වැඩක් කියා පස්සෙන් පහු තීරණය කරපු මිරිදිය මාලු නං කෑවෙම නෑ වගේ. ඔන්නං එක දවසක් කාලා ඇති.

මස් කෑවෙත් මගුල් ගෙවල්වල හරි නෑදෑ ගෙදරක හරි ගියාම විතරයි. ඒත් ඉතිං බොහෝ විට චිකන් විතරයි. හරක් මස්, ඌරු මස් වගේ ජාති තාමත් අපේ මහ ගෙවල්වල උයන්නේ නෑ සාමාන්‍යයෙන් අද වුණත්.

ඒත් විස්ස විජ්ජාලෙට යන්න ගෙදරින් පිටවුණාට පස්සේ ඒ සේරම වෙනස් වුණා. මස් නැත්තං කොහොමද අර අක්බාර් හෝල් එකේ මුදලාලි ගේ බත් පිඟාන කන්නේ? මුං ඇටයි, රාබුයි, කොල ගෝවා මැල්ලුමයි!

පස්සෙන් පහු මස් හෝ මාළු ජාතියක් නැතුව බත් කෑමක් නැති වුණා, හාල්මැස්සෝ සහ කරවල ජාති කියන්නේ කලාතුරකින් කන ඩෙලිකසි එකක් බවට පත්වුණා!

අර පින්වන්ත කුමාරියෙක් ගැන කතන්දරේත් මේකට කෙළින්ම සම්බන්ධයි.

ඉතිං අද කතන්දරේ මේකයි.

පසුගිය බ්‍රහස්පතින්දා අපිට තිබුණා ගමේ පන්සලට දානයක් දෙන්න. මේ පන්සලේ හාමුදුරුවරු වෙජිටේරියන් නිසා උම්බලකඩවත් නොදා තමයි අපි පරිප්පු පවා ඉව්වේ.

ඔය උඩ තියෙන්නේ බුද්ධ පූජාව ලැහැත්ති කළ හැටියි.

සාංගීක දානෙන් පස්සේ අපි ගිහි කෂ්ටිය වැළදුවේත් ඒ වෙජිටේරියන් කෑම ම තමයි. ඒ එක්කම මට පන්සිල් නොගෙන සිටියා කියා බැන්න අපේ සීයා කළා වගේ මද පමණින් දෂ්ථ කිරීම් වගේ ඒ පරම්පරාවට අදාළ දානමය කටයුතු තිබුණේත් නෑ අපේ ගෙදර.

සාංගීක දානෙකට සාමාන්‍යයෙන් කෑම ජාති දුසිමක් විතර හදන නිසා, අර කලින් දවසක බම්බලපිටියේ ඉන්දියානු වෙජිටේරියන් කඩේකින් කාපු දවසේ වගේ ම හොඳ රසට තිබුණා!

එදා රාත්‍රියටත් කෑවේ ඒ දානෙට උයපු කෑම ම තමයි.

ඔන්න එදා රාත්‍රියේ මට අපූරු සිතුවිල්ලක් පහළ වුණා.

ඒ තමයි මේ වෙජිටේරියන් ජීවිතය සතියක් විතර ට්‍රයි කරලා බලන්න ඕනෑ කියන එක.

ඉතිං පහුවදා සිකුරාදා ඔෆිස් ගිහින් දවල්ට කෑවේත් වෙජිටබල් සහිත කෑම. උදේට නං කොහොමටත් ජෑම් එක්ක පාන් නේ කන්නේ.

සිකුරාදා රාත්‍රියත්, සති අන්තයත් වෙජිටේරියන් වෘතයෙන්ම ගෙවී ගියා. බත් විතරක්ම නොවෙයි වෙන වෙන රස කෑම ජාතිත් තියෙනවා වෙජිටේරියන් ඒවා!


අද සඳුදා උදේ වෙනකොට මංතුමාත් හොඳ පළපුරුදු එළෝළු ජීවිතයක් බවට පත්වෙලා!

මුලින් සතියක් මේ වෙජිටේරියන් ජීවිතේ කොරලා බලන්නයි අදහස.

මීට කලින්:

1. මං මාසයක්ම අමද්‍යප වෙලා හිටියා වගේ,
2. සතියක්ම බුකියෙන් ඈත්වෙලා හිටියා වගේ,
3. බ්ලොග් ලෝකයෙනුත් ඈත්වෙලා හිටියා වගේ

මේ ඉදිරි දවස් තුනත් අල්ලං ඉන්නයි බලාපොරොත්තුව!

ඔහොම යං, ඔහොම යං!

-කතන්දරකාරයා

ප/ලි:
බිත්තර කියන්නේත් වෙජිටේරියන් නේද?

Saturday, 21 June 2014

ගණංකාර කතන්දර දෙකහමාරක් - Anyone for "user pays"?


අද මට කියන්න හිතුණා පොඩි ගණංකාර කතන්දර දෙක හමාරක් විතර.

මීට කලින් 2011 ඔක්තෝබරයේ දී ත් මං මේ වගේ කතන්දරයක් ලිව්වා ලස්සෙට කොඩිය නම් බිලියනේට දාන්නේ මොකක්ද? කියන නමින්.

ඊට පස්සේ ඒක දෙගුණයක් කරලා තවත් කතන්දරයක් ලිව්වා 2012 අගෝස්තුවේ දී කැකිරි, පිපිඤ්ඤා, චීන පටස් රතිඤ්ඤා සහ මිලියනය කියන නමින්.

මේකත් ඒ කැටගරියේ එකක් තමයි.

ඔන්න මං පස්තාච්චි කුපාඩි කරන කාලේ (මේ වචන සැට් එක මේ දක්වාම නොදන්නා අයට- මේ කියන්නේ පස්චාත් උපාධි කියන එකයි) අපේ ආයතනයේ ස්ටුඩන්ට් යුනියන් බිල්ඩිමේ තිබුණා පොඩි පහේ ජිම් එකක්. ඒකේ තිබුණා ටේබල් ටෙනිස් මේස දෙකක්. මෙතන ටේබල් ටෙනිස් සෙල්ලම් කරන්න පොඩි පහේ තරගයකුත් තිබුණා ඉල්ලුම සහ සැපයුම අතර ප්‍රශ්ණය නිසා.

අපි ලාංකික සිස්සයෝ නම් ඒ දවස්වල හවසට වැඩිපුර කෙරුවේ වොලිබෝල් ගහපු එකයි. මේ දක්වා ම ඒ ගැන නොදන්නා අයට - වොලිබෝල් කියන්නේ ලාංකික අපේ ජාතික ක්‍රීඩාවයි!

ටේබල් ටෙනිස්වලට කැමති සිස්සයෝ තමන්ම අවශ්‍ය පිති සහ පිංපොං බෝල මිලට අරගෙන තිබුණා. නමුත් ඉඳලා හිටලා ඉඩෝරෙට වගේ ටීටී පාරක් ගහන්න හිතෙන අපේ පිළිසරණය වුනේ ස්ටුඩන්ට් යුනියන් එකේ තිබුණු පිති සහ බෝල සෙට් එක.

මේ පොදු භාණ්ඩ පාවිච්චි කරන කොට තියෙන ප්‍රශ්ණය තමයි ඒවා කැඩුණාම, අස්ථානගතවුණාම කොහොමද ආපහු ගන්නේ කියන එක. අනික කවුද ඒ භාණ්ඩවලට වග කියන්නේ?

මේ ප්‍රශ්ණයට විසඳුමක් ඉදිරිපත් කළා අපේ යුනියන් එකේ ලේකම්. පොර කිව්වේ, මේ පොදු භාණ්ඩ පාවිච්චියට ගන්නා අයගෙන් ඒකට බාට් එකක් වගේ පොඩි ගාණක් හෝ අයකරන්න ඕනෑ කියලයි.

මේ යෝජනාව සාධාරණීකරණය කරන්නට ගෙනා පොර ගේ තර්කය වුනේ පොඩි මුදලක් හෝ අයකරගැනීම මුදල් පිළිබඳ කාරණයක් වීම නිසා, ඒ මුදල් සඳහා ලදුපතක් නිකුත් කරන්නට වෙන බවත්, එනිසාම ඒ භාණ්ඩ ගැන වගකීම පිළිබඳ ප්‍රශ්ණයද විසඳෙන බවත්. (ඒ සමගම පාට් ටයිම් කැෂුවල් ජොබ් එකක් ද ඇති වෙනවානේ!)

ටීටී ගහන නොගහන සැවොම ඒ සඳහා යන වියදම දරණවාට වඩා මේ "යුසර් පේ" නොහොත් පාවිච්චි කරන්නා ගෙවන ක්‍රමය එක අතකට මේ වගේ අවස්ථාවක දී සාධාරණ ක්‍රමයක් බව කියන්න ඕනෑ!

මෙන්න දෙවන කතාව.

කාලය: මීට වසර පහකට පමණ පෙර.

ස්ථානය: කතන්දර නිවස

"මොනවද අනේ ඔය ඔයා කම්පියුටරේ ලඟට වෙලා කරන්නේ?"

"මං මේ බ්ලොග් එකක් පටන් ගන්නයි යන්නේ මං ලියන කතන්දර පල කරන්න."

"මොකක්ද අනේ ඔය බ්ලොග් එකක් කියන්නේ?"

"බ්ලොග් එකක් කියන්නේ තමන්ගේ කවි හරි කතන්දර හරි වෙනත් නිර්මාණ හරි අන්තර්ජාලයේ පලකරන්න පුළුවන් මාධ්‍යයක්. ඒක පත්තරේක පලකරගන්නවා වගේ අමාරු වැඩක් නොවෙයි. ඒ වුණාට ඒ වගේ නොවෙයි ලෝකයේ වටේම ඉන්න අයට කියවන්නත් පුළුවන්, කියවලා ප්‍රතිචාර දක්වන්නත් පුළුවන්!"

"ඉතිං ඕකෙන් මොකක්ද ඔයාට තියෙන ප්‍රයෝජනේ?"

"ප්‍රධානම ප්‍රයෝජනය තමයි විශාල පිරිසක් අතරට තමන්ගේ නිර්මාණයක්, ලියවිල්ලක් ගෙනියන්යන හැකිවීම. අනික බ්ලොග් පිටුවක් අර පත්තර පිටුවක් වගේ කියවලා ඉබර වුණාට පස්සේ, දෙවනුව බත් ඔතලා, තෙවනුව කුණු ගොඩට දාන්න ක්‍රමයක් නැති නිසා අපේ ජීවිත කාලයෙන් පසුවත් පැවතෙන්න ඉඩ තියෙනවා."

"ඉතිං ඕයාගේ බ්ලොග් එක කියවන්න සෙනග ඒවිද?"

"අපොයි ඒවි. දැනටත් හොඳ රසවත් බ්ලොග් කීපයක්ම තියෙනවා මං නිතරම කියවන. අපි මෙහෙම කරමු. මගේ බ්ලොග් එකේ කතන්දරයක් කියවන්න එක් කෙනෙක් එක පාරක් ආපුවාම ඔයා මට රුපියලක් දෙන්නකෝ!"

"අපොයි සුළු දෙයක්!"

මගේ අවාසනවාට මං එදා ඒ පොරොන්දුව ලිඛිතව මුද්දරයක් උඩ අත්සන් කරලා ගත්තේ නෑ.

එහෙම කළා නම් මං අද විසි ලක්‍ෂපතියෙක්!

ඒ විසි ලක්‍ෂය පසුපස ඇත්තේ මෙය කියවන ඔබේ ඇඟිලි සළකුණු බව අමුතුවෙන් කිවයුතු නොවේ. ඔබට මගේ ස්තුතිය! උපහාර සහ අභිමාන ගැන නම් කලින් දවසක ලිව්වානේ!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්නම මං සෑහෙන කාලෙකට කලින් ලියපු තවතඒ කතන්දර දෙකහමාරක්!
http://kathandara.blogspot.com/2010/06/blog-post_22.html


(image: https://scontent-a-hkg.xx.fbcdn.net/hphotos-xfp1/t1.0-9/p526x296/10403002_890621927620532_7577624367914134873_n.jpg)

Thursday, 19 June 2014

කඹේ පාගපු ගොනා ගැන කතන්දරයක් - Silly me!


අපේ මතකයේ යට හැංඟිලා තියෙන එච්චර වැදගත්කමක් නැති දේවල් සමහර වෙලාවට එකපාරටම උඩට එනවා නේද?

සමහරවිට එහෙම වෙන්නේ මොකක් හරි දෙයකින් ඒ මතකය නැවත උත්තේජනයවීම හින්දා වෙන්න ඇති, එහෙම නැත්තං ඒක නිකම්ම නිකං අහඹු සිදුවීමක් වෙන්නත් පුළුවන්.

අද කියන්න යන මේ කතන්දරේට සම්බන්ධ සිද්ධිය හදිසියේම මගේ මතකයට ආවේ ඇත්තටම ඇයි කියලා මට තාම හිතාගන්නට බෑ.

අර මං කලින් දවසක ලියපු කූණිස්සෙකුගේ මතකය වගේ නොවිසඳුණු කේස් එකක් මේකත්.

මේකයි කතන්දරේ.

මං අටේ පන්තියේ ඉන්න කාලේ අපි හිටියේ කුලියට ගත්තු ගෙයකයි. මං මේ කියන කාලේ කලින් ගමේ ඉස්කෝලෙට යනකොට වගේම ඉස්කෝලෙට ගියේ පයින් ඇවිගෙන.

අපේ කුලී ගෙදර තිබුණේ අක්කරයක් විතර විශාල, පොල්, කොස්, කජු වගේ ගස්වලින් පිරුණු, වත්තකයි. කුලී ගෙදර අයිතිකාර ලෑන්ඩ්ලෝඩ්ලා ගේ ගෙදරත් තිබුණේ මේ වත්තේමයි. මේ කාලේ මේ ගෙදර එළදෙනෙකුත් හිටියා. අපි කාලයක් උදේට එළකිරි බිව්වාත් මතකයි.

ගෙවල් දෙකටම වතුර ගන්න තිබුණා ලොකු ලිඳක්. මේ ලිඳ බඹ හය හතක් ගැඹුරයි. හොඳට වතුර තිබුණා. බොලොක්කයක් හරහා දිග කඹයක් දාලා, ඒකේ පණිට්ටුවක් බැඳලා තමයි වතුර ගත්තේ.

මං කලින් කිව්වා වගේ මේ වත්තේ කොස් ගස් තිබුණා, එකක් දෙකක් නොවෙයි, හය හතක්ම. කොස් වාරෙට අපිට බඩකට පුරා කොස් තම්බලා, පොලොස් පැහි හදලා කන්න ලැබුණා ඒ නිසා.

ඒ විතරක් නොවෙයි, ඇයි, වැල සහ වරකා?

හැබැයි මේ කොස් වාරෙදී ඒ සම්බන්ධයෙන් එකම එක ප්‍රශ්ණයක් තිබුණා.

වෙන අයට නොවෙයි මට!

ඒක තමය, අපේ හෙවල් අයිතිකාරයෝ සමහර දවස්වලට කොස් ගස්වල උඩ ඉඳලා වැල හරි වරකා හරි ගෙඩි කඩලා බිමට බාන්න ඕනෑ වුණාම ඒකට අර වතුර ගන්න ලිඳේ තියෙන කඹය ගලවලා ගන්න එක!

මට මේ වැඩේ ඇල්ලුවේම නෑ, සෞඛ්‍යමය හේතු නිසා.

අනිත් කාරණය තමයි, වැල, වරකා ගෙඩි බාගෙන ඊට පස්සේ කඹේ ගහේම තියලා යන එක.

සමහර දවස්වලට අපේ ඇන්ටිගේ ජා-ඇල මොලේ වැඩසටහනට අනුව මං ගෙදරට වතුර ගේන්න ලිඳ ලඟට ගියාම ලිඳේ කඹේ නෑ.

කඹේ තාම කොස් ගහේ!

මෙහෙම එක දවසක් මං බලන කොට කඹේ කොස් ගහෙත් නොවෙයි, ගහ යට බිම!

ඒ කාලේ මං පොඩි එකා වුණාට, මට අර පුෂ්ප විකසිත වීමද මොකක්ද මන්දා වුණා!

මං අයිතිකාරයින් ගේ ගෙදර පැත්ත බලන කොට මෙන්න ඉන්නවා අයිතිකාරයාගේ ලොකු දුව ගෙදර එලියේ. අපි එයාට අක්කා කියලයි කිව්වේ, හැබැයි එයා අපේ අම්මාට කිව්වේ අක්කා කියලයි. (ප/ලි- මේ කියන්නේ අයිතිකාරයා ගේ දුව මට වඩා දෙගුණයක් විතර වයසයි කියන එකයි).

"ඇයි මේ ලිඳේ කඹේ බිම දාලා?" මං කැ ගහලා ඇහැව්වා. "මේ අපි බොන වතුර ගන්න ලිඳට දාන කඹේ නේ. මේකේ ජරාව ගෑවෙනවා නේද? ෂිහ් විතරක්!"

"ඕකට කෑ ගහන්න ඕනැද කතන්දර කුමාර, කඹේ ගිහින් ලිඳේ බොලොක්කෙට දාගත්තාම ඉවරයි නේ!" මට උත්තර ලැබුණා.

"මං කියන්නේ මේ වැඩවලට වෙන කඹයක් ගන්න ඕනෑ නේද කියලයි. අනික ඇයි මෙහෙම කඹේ බිම දාන්නේ, මෙතන කුණු අදහ ජරාව, ගොම තියෙන්නත් පුළුවන්. අනික අපි යන එනකොට මේ බිම තියෙන කඹ අපිට පෑගෙන්නත් පුළුවන්."

"මෙන්න මේ වගේ!"

මං අර බිම තිබුණු කඹේ හොඳට කකුල් දෙකෙන්ම පාගලා පෙන්නුවා.

"ඔන්න, කතන්දර කුමාර, ඔන්න මටත් කේන්ති යනවා!" ගෙවල් අයිතිකාර පවුලේ දුව කෑ ගහගෙන මං හිටිය පැත්තට ආවා.

මං බය වෙච්ච පාර දුවලා ගිහින් ගෙට රිංගුවා.

පස්සේ අපේ අම්මයි, ගෙවල් අයිතිකාරයොයි ප්‍රශ්ණේ විසඳා ගන්න ඇති.

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාවේ නැති සැඟවුණු අරුත් හොයන්න යන්න එපා. එහෙම කිසිවක් මෙතන නැහැ!

(image: http://www.cherrymortgages.com/sustainable_zero_carbon_housing/water_wells_sustainable_production_drinking_heating_human_life_support.htm)

Tuesday, 17 June 2014

අඩෝ මරක්කලයා! - Hey you seafarer!


අවිහිංසාව, මෛත්‍රිය, කරුණාව වැනි අතිශය මානුශික සංකල්ප අනුව තම ජීවිතය හැඩගසා ගන්නට අපට හොඳින් උදව්කර ගත හැකි බුද්ධ ධර්මයට නිගා දෙන ගණින්නාන්සේලා පිරිසක ගේ උසි ගැන්වීම් සහ එයට වක්‍රාකාරව උල්පන්දම් දෙන ඇතැම් දේශපාලුවන් ගේ ක්‍රියාදාමය නිසා රටම නැවතත් අගාධයට වැටෙන්නට යන මේ මොහොතේ, එකී එක් ගණයෙකු ගේ අධෝ මුඛයෙන් පිටවූ වදන් වැලක් මට අන්තර්ජාලය හරහා අසන්නට ලැබුණි.

එහිදී ඔහු කීප විටක්ම පැවසු වචනයක් වූයේ "මරක්කලයින්" යන්නයි.

"මරක්කලයින්" යන්නද "හම්බයින්" යන වචනයද සාමානයෙන් මුස්ලිම් ජාතිකයින් යැයි හැඳින්වෙන ඉස්ලාම් ආගම අදහන ජන කොටසට එක්තරා ආකාරයකට නිග්‍රහ කිරීම සඳහා වර්තමානයේ දී භාවිතා වෙන බව අපි දනිමු.

එසේ වුවද, අප සමහරුන් සමහර විට නොදන්නා කරුණක් නම්, මේ "මරක්කලයින්" හම්බ "හම්බයින්" යන වචන වලට මුල්වී ඇත්තේ මුහුදු තරණය සඳහා යොදා ගන්නා ලද බෝට්ටු වර්ග දෙකක් බවයි.

මා අසා ඇති පරිදි මෑත ඉතිහාසය දක්වාම විදේශීය වෙළෙන්දන් ලංකාවට පැමිණ ඇත්තේ "සම්පන්" නමින් හැඳින්වුණු මේ කුඩා බෝට්ටුවලිනි. අද අප හම්බන්තොට නමින් හඳුන්වන්නේ ඒ සම්පන් බෝට්ටු ගොඩට ලඟා වූ "සම්පන්තොටයි".

ඒ සම්පන් බෝට්ටු වැනිම වූ වෙනත් මුහුදු යාත්‍රා වර්ගයක් හැඳින්වී ඇත්තේ "මරක්කාර්" යන නමිනි. අරාබි සම්භවයක් ඇති මරක්කාර් බෝට්ටු කේරලයේ සහ තමිල්නාඩු ප්‍රදේශවල භාවිතා වී ඇති බව කියවේ. ඉහල ඡායාරූපයේ දැක්වෙන්නේ ඒ ආකාරයේ මරක්කාරයකි.

ඒ සමගම මේ ආකාරයේ මුහුදු තරණය සඳහා යොදාගත් යාත්‍රාවල කප්පිත්තන් හැඳින්වී ඇත්තේ ද "මරක්කාර්" යන නමිනි.

මඩොල්දූව නවකතාවේ කතානායක උපාලි ගිනිවැල්ලේ, කාමේසු මිච්ඡාචාරා ඉස්කෝලේ මහතාගේ නිවසින් පැන ගොස් වෙරලේ නවතා තිබූ බෝට්ටුවක නිදා සිටි අතරතුර, ඒ බෝට්ටුව ගැඹුරු මුහුඳට ගිය අවස්ථාව මතකද? මට යාන්තමට මෙන් මතක ඇති පරිදි ඒ බෝට්ටුවේ නායකයා හැඳින්වූයේ මරක්කලහේ යන නමිනි.

එපමණක් නොවේ.

මරක්කල යන නම අම්බලන්ගොඩ යනාදී දකුණු දිග ප්‍රදේශවල වෙසෙන පවුල් ගණනාවකම පෙළපත් නාමය ද වේ.

මරක්කල යනුවෙන් යෙදෙන වාසගම් හෙවත් පෙළපත් නාමයන් කිහිපයක් මෙසේය.

මහ මරක්කලගේ,
අරස මරක්කලගේ,
ආන්ද්‍ර මරක්කලගේ,
කොඩි මරක්කලගේ,
ලොකු මරක්කලගේ,
මරක්කල හෙන්නඩිගේ
සන්ද්‍රා මරක්කලගේ.

මේ කියන මරක්කල ලා සිංහලයෝ ය, ඉන් බහුතරයක් බෞද්ධයෝය. කතෝලිකයින් ද ඉන්නවා විය හැක. ඒ මිස ඔව්හූ මා දන්නා තරමින් මුස්ලිම් ජාතිකයෝ නොවෙති.

එසේ වෙතත් වර්තමානයේ දී මේ මරක්කල යන වචනයට ලැබී ඇති පටු අර්ථකතනය සහ එහි නිග්‍රහශීලි භාවිතය නිසා මේ මරක්කල වාසගම ඇති අයගෙන් කොටසක් හෝ තම සැබෑ පෙළපත් නම භාවිතයෙන් ඉවත් කර දමා ඇති බව පෙනේ. සමහරු තම මරක්කල යන නම භාවිතා කරන්නේ මුලකුරක්, එනම් ඉනීෂියල් එකක්, ලෙස පමණි.

උදාහරණයක් ලෙස, මහ මරක්කලගේ සුනිල් ශාන්ත යන්න එම්. එම්. සුනිල් ශාන්ත යනුවෙන් ලියවේ. ඒ එය ඔවුන්ගේ කැමැත්තයි.

මේ මරක්කල යන පෙලපත් නාමය ගැන නොදන්නා සමහරු එය ඉංගිරිසියෙන් ලියා තිබෙනු දැක ටපලාගෙන එය මාරැක්කගේ ලෙස කියවනවාද මා දැක ඇත. යම් ස්වේච්ඡා කටයුත්තක් සඳහා අප නම් ලයිස්තුවක් සාදමින් සිටි මොහොතක මගේ තවත් හිතවතෙක්, මුල් හිතවතා ගේ නම එහි සඳහන් කළේ සුනිල් ශාන්ත මාරැක්කලගේ වශයෙනි!

මේ කතාව මට සිහිපත් විමට නිමිත්ත වූ, පෙර කී ගණින්නාන්සේ මරක්කලයින් කියා බැණ අඬ ගසන දරශණ දකිනා විට මේ මරක්කල වාසගම ඇති සිංහල පිරිස් කුමක් සිතනවාදැයි නොදනිමි.

-කතන්දරකාරයා

සැ/යු:
අධෝ මුඛය යනු කිසිසේත්ම කුණුහරුපයක් නොවේ!

(image: http://upload.wikimedia.org/wikipedia/commons/1/15/Stamp_Issued_by_Government_of_India.jpg)

Sunday, 15 June 2014

නපුරු පෙම්වතෙකු ගේ චූල්ල කතා වස්තුව - Cruelty defined!


මේ නපුරු පෙම්වතා මට මේ කතන්දරේ කිව්වේ දැන් සෑහෙන කාලෙකට කලින්. දශක දෙකක් විතර වගේ ගෙවිලා ගිහින් තිබුණත්, කතන්දරේ සාරාංශය එදා වගේම අදත් ඒ විදියටම වැදගත් කියලයි මට හිතෙන්නේ.

ඒ හින්දා තමයි මට හිතුනේ මෙච්චර කාලයක් පොරොත්තු ලේඛනයටවත් දාන්නේ නැතුව හිටපු මේ ඉතා කෙටි කතන්දරේ අද ලියලා දාන්න.

කතා නායකයාට නමක් අවශ්‍යම නෑ, හැබැයි ඕන්නම් කියමුකෝ ආසිරි කියලා.

ආසිරි මේ කියන කාලේ ලව් කේස් එකක පැටලිලා හිටියා ප්‍රියානි කියලා කෙල්ලෙක් එක්ක. දෙන්නාම විසි ගණංවල මුල හරියේ හොඳ තරුණ වයසේ.

පොඩි ප්‍රශ්ණයකට තිබුණේ ආසිරි තාම ඉගෙන ගන්නවා. කැම්පස් නොගිය ප්‍රියානීත් ඉගෙන ගත්තත් ෆුල් ටයිම් (පුහුණු) ජොබ් එකක් කරනවා. හැබැයි ලංකාවෙන් බාගයක් විතර දුර නගර දෙකක -දෙන්න දෙපොලේ. අනික මේ කියන්නේ මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස් අරවා මේවා නැති අපි පොඩි කාලේ.

කැම්පස් නිවාඩු කාලවල තමයි ආසිරි ප්‍රියානි දෙන්නා බොහෝ විට හමුවුණේ. ඒ අතර විටින් විට කැම්පස්වලට අමතර නිවාඩුත් ආණ්ඩුවෙන් ලබා දුන්නු හින්දා දෙන්නාට හමුවෙන්න තියෙන අවස්ථා ගණනත් වැඩි වුණා.

අර දුර ඉඳලා, මුලිකවම ලියුම්වලින් සහ මාසෙකට විතර පාරක් පෙරුම් පුරලා හමුවෙලා ඔය පාක් එකක කතා කරමින් ඉඳලා හරි, චිත්තරපටියක් බලන්න කියලා හෝල් එකකට රිංඟාගෙන ඉඳලා හරි කරපු ආදරේ මේ නිතර හමුවෙන කාලේ තරමක හැල හැප්පීම්වලට භාජනය වුණා.

"මට ඇත්තටම මේ වැඩේ දැන් එපා වෙලා මිස්ට කතන්දර!" එක දවසක් ආසිරි මා එක්ක කීවා. "මට හිතෙනවා එයා මාව මග හරිනවාද කියලාත්!"

කොහොම හරි එක්තරා ෆේට්ෆුල් දවසක ආසිරි සහ ප්‍රියානි අවසාන වරට හමුවුණා.

"මං හිතන්නේ අපි දෙන්නා තව දුරටත් මේ සම්බන්ධය ගෙනියන එකේ තේරුමක් නෑ!" ආසිරි කිව්වාලු "ඔයාට වුණත් තේරෙන්න ඇතිනේ පසුගිය මාස හතර පහ ඇතුලත අපි දෙන්නා අතර ඇති වුණු නොහොඳ නෝක්කාඩු, අමනාපකම්, අර අපි අඳුණා ගත්තු මුල දවස්වලට වඩා දැන් අපි දෙන්නා කොච්චර වෙනස් වෙලාද කියලා".

ප්‍රියානි වැඩිපුර මොකවත් කිව්වේ නැතිලු.

දෙන්න එදා මුණ ගැහුණු කොළඹ මහ බස් නැවතුමේ ඉඳලා ප්‍රියානි නැවතිලා හිටිය නෑ ගෙදර තියෙන නගරට බස් එකක යන අතරේ තමයි ඔය සමුදීමේ කතාව කෙරිලා තියෙන්නේ.

දැන් බස් එක ගමනාන්තයටත් ලඟාවෙලා, ප්‍රියානි බහින්න නැවතුමත් අත ලඟට ආවාලු. තව සුළු මොහෙතකින් ප්‍රියානි බස් එකෙන් බැහැලා යනවා. දෙන්නා ගේ ආදර සම්බන්ධය නතර වෙනවා. බොහෝ විට දෙන්නාට දෙන්නා ආපහු කිසිම දවසක ඇස නොගැසෙන්නත් ඉඩ තියෙනවා!

මේ අවස්ථාවේ තියෙන සංවේගජනක තත්වය හින්දාම මොනවා කළත් ප්‍රියානිට කඳුළු ඇවිත්, කඳුළු බින්දු දෙකක් ඇස්වල ඉඳලා ගලාගෙන ඇවිත් තොල් උඩට.

මේක දැක්ක ආසිරියා මොකද දන්නවාද කියලා තියෙන්නේ?

"ප්‍රියානි ඔයාට දාඩිය දාලා නේද? ඔන්න මූණේ දාඩිය බින්දු බේරෙනවා!"

ඔය කතාව මුලින් අහපු වෙලේ මට හිතුණේ මූ වගේ පර බල්ලෙක් කියලයි.

හැබැයි ආසිරි මට කිව්වේ මෙහෙමයි.

"මිස්ට කතන්දර, එවෙලේ මං එහෙම කිව්වේ අපේ වෙන්වී යාමේ දුක අඩු කරන්නයි. එහෙම නැතුව මං ප්‍රියානි ගේ කඳුළු දැකලා සැලිලා කඳුළු පිහදාන්න ගියා නම් අපේ ආදර කතාවේ අනිවාර්ය අවසානය තවත් කල් යන විතරයි වෙන්නේ!"

ඌ හරිද, වැරදිද කියලා මට තාමත් හිතා ගන්න බැරි වුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මීලඟ කතන්දරය- චපල පෙම්වතියක ගේ කතා වස්තුව.

(image: http://wallpaper.pickywallpapers.com/samsung-galaxy-tab/demi-lovato-crying.jpg)

Friday, 13 June 2014

සිංහල ළමයින් ට දෙමල ආරේ නම්? - Is this a new trend?


ළමයින් ගේ නම් ගැන මං මීට කලින් කතන්දර කීපයක්ම ලියලා තියෙනවා.

ඒවායින් මං කැමතිම කතන්දරයක් තමයි අර එක පවුලක මුලින් උපන්න කෙල්ලෝ තුන්දෙනාට නියම ලස්සනට රයිම් වෙන නම් දාපු දෙමව්පියෝ හතරවෙනියා පුතෙක් වුනාම ඒ තමන්ගේ නීතිය තමන්ම කඩලා අංජබජල් නමක් දාපු කේස් එක.

නම් ගැන කතාකරන කොට සිංහල අයට සාමාන්‍යයෙන් වාසගමක් කියලා එකක් තියෙනවා නේ.

අපේ තාත්තලා ගේ සහ ඊට උඩ පරම්පරාවල මේ වාසගම ආවේ සාමාන්‍ය ක්‍රමයට නමේ මුලටයි. අපේ කාලේ වෙනකොට ඒක ඉංගිරිසි ක්‍රමයට නමේ අගට එකතු වුණා. සමහරු තාමත් මුලටයි අගටයි දෙකටම පාවිච්චි වාසගම කරනවා.

ඒ එක්කම පෙරේරා, සිල්වා යනාදී විදේශීය නම් ගත්තු පවුල්වල අයටත් සාමාන්‍යයෙන් වාසගමක් එහෙමත් නැත්නම් පෙළපත් නමක් තියෙනවා.

එන්. එම්. පෙරේරාට තිබුණා, නලින් ද සිල්වාටත් ඇති.

කොටින්ම ඊලියන් ද සිල්වා ගේ මල්ලී ටයිටස් තොටවත්ත වෙන්නේත් ඒ හින්දානේ.

ඒ කොයිහැටි වුණත්, මං මේ මෑත කාලයේ දැකපු දෙයක් තමයි අපේ තරුණ පිරිස් තමන්ගේ වාසගම නැතිනම් පෙළපත් නම නමේ මුලිනුත් අගිනුත් දෙකෙන්ම හලා දාලා නිකං "පියදාස සිරිසේන" ලා වෙලා තියෙන බව!

මේක පටන් ගත්තේ ලසිත් මාලිංග වගේ වයසේ ඉන්නා අය විය යුතුයි.

ලසිත් මාලිංග ඇරුණාම, අද ඉන්නා ක්‍රිකටර්ස්ලා ගෙන් දිනේෂ් චන්දිමාල්, ශමින්ද එරංග, නුවන් ප්‍රදීප්, ධම්මික ප්‍රසාද්, අශාන් ප්‍රියන්ජන්, සුරංග ලක්මාල් වගේ සෑහෙන්න පිරිසක් මේ මුල් නම් දෙකේ වාසගම් නැති "පියදාස සිරිසේනලා" වෙලා!

ඒ විතරක් නොවෙයි, මං මේ ගිය සතියේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් එකේ කෑල්ලක් බලන වෙලාවේ තමයි දැක්කේ, එතැන අද ඉන්න පස් හය දෙනාගේම නම් මේ වගේ නේද කියන එක!

හර්ෂ ධනෝෂ්, චමිල මධුෂාන්, ලහිරු ප්‍රභාත්, ගයානි කෞශල්‍යා, විශ්මිත සචින්තන!

ඒ කියන්නේ හයෙන් පහක්ම නම් දෙකේ ඈයෝ.

සිංහල ක්‍රමයට තියෙන වාසගම පවුලේ ඉස්සරහට අරගෙන ගියාට, දෙමල නම් තැබීමේ ක්‍රමයට අනුව හැම තිස්සේම තාත්තාගේ නම තමයි ළමයින් ගේ මුල් නම වෙන්නේ. ඒ අනුව පෙළපත් නමක් ඉස්සරහට යෑමක් නෑ.

දැන් මට ආපු ප්‍රශ්ණය තමයි:

ඔය "සුරංග ලක්මාල්" වගේ නමක් තියෙන කොල්ලෙක් තාත්තෙක් වුණු දාට තමන්ගේ පුතෙකුට "විහඟ ලක්මාල්" වගේ නමක් දාලා, ලක්මාල් කියන නම වාසගම වගේ ඉස්සරහට ගෙනියයිද, නැතිනම් "ලක්මාල් විහඟ" වගේ නමක් දාලා සාමාන්‍ය දෙමල සිරිත අනුව රෝල් වෙවී යන නම් ක්‍රමයට එකතු වෙයිද කියන එක!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න මා ලියා ඇති නම් පිළිබඳ කතන්දර

1. තමන්ගෙ මැට්ටම් තම්මැට්ටම් හෙවත් පුත් කුමරුට නම් තැබීම - Breaking the trend is trendy!
http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

2. පොඩි කුමාරිහාමි ට ලොකු පිලිතුරක්!
http://kathandara.blogspot.com/2011/03/blog-post_19.html

3. පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක්
http://kathandara.blogspot.com/2009/12/kathandara.html

4. බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස
http://kathandara.blogspot.com/2009/12/ii.html

5. අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර
http://kathandara.blogspot.com/2009/12/blog-post_30.html

6. ආච්චි ලා ගේ බබා ලා ගේ නම්
http://kathandara.blogspot.com/2009/12/iv.html

7. පූස් පැටියන්ට නම් තැබීමේ කලාව (උදාහරණ සහිතයි) - Naming Kittens (with examples)...!
http://kathandara.blogspot.com/2014/03/come-see.html

8. ඔය කලිසමේ නම මොකක්ද?
http://kathandara.blogspot.com/2010/11/blog-post_06.html

9. ඉස්කෝලේ නම හංගන්නේ ඇයි? I have nothing to hide
http://kathandara.blogspot.com/2011/09/i-have-nothing-to-hide.html

10. ස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs
http://kathandara.blogspot.com/2013/11/nepotistic-tribalism-and-obas.html

11. දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!
http://kathandara.blogspot.com/2010/12/dr-hewas-real-identity-revealed.html

12. උංගු පුතා සහ ගංගි බේබි - Not grown up yet?
http://kathandara.blogspot.com/2013/08/not-grown-up-yet.html

13. ඔහේලා ගේ තීන්දුව කුමක්ද? (නමක වත) - You are the Jury (name change)
http://kathandara.blogspot.com/2012/05/you-are-jury-name-change.html

14. තඩි ප්‍රියන්ත, ලොකු අතුල සහ හොඳ සුරන්ජිත්
http://kathandara.blogspot.com/2010/03/blog-post_08.html

(image: https://www.youtube.com/watch?v=-Pp6Mdrb7Nk)

Tuesday, 10 June 2014

නිරුවත් රූමතියෝ - Naked Beauties


ඉංගිරිසියෙන් ටීනේජ් (teenage) යැයි පොදුවේ හැඳින්වෙන ගැටවරවිය යනු අප ළමාවියෙන් තරුණ වැඩිහිටි වියට යන ගමනේ දී ගතකරන එක්තරා ආකාරයක සංක්‍රාන්ති සමයක් ලෙසින් හැඳින්විය හැකිය.

ගැටවර වියේ මුල් අඩවියේ දී අපේ හැසිරීම් ළමා කාලයට වඩාත් සමීපවද, ගැටවර වියේ අවසාන අඩවියේ දී අපේ හැසිරීම් තරුණ වැඩිහිටි කාලයට වඩාත් සමීපවද ක්‍රියාත්මක වෙන බව අපි අත්දැකීමෙන් ම දනිමු.

උසස් පෙළ හදාරන කාලයේදී මේ ගැටවර හෝමෝන උතුරා යන්නට පටන් ගත් විට, සිරුරේ ඇතිවන වෙනස්කම් සමගම සිතේ ද අමුතු සිතුවිලි හට ගන්නට පටන් ගනී. සාමාන්‍ය පෙළ සෞඛ්‍ය පාඩමේදී කියා දුන් පොඩි පොඩි ලිංගික කරුණු වලට අමතරව වෙනත් ක්‍රමවත් අධ්‍යාපනික පැහැදිලි කිරීමක් අපට කිසි විටක පාසලෙන් හෝ නිවසෙන් හෝ නොලැබුණු නිසා ඒ බෝට්ටුවේම සිටින සම වයසේ මිතුරන්ගෙන් ලැබෙන අනිසි අදහස් සහ උපදෙස් මත අපේ සිත් තරමක් දුරට හෝ හැඩ ගැසීම වැලැක්විය නොහැකිය. අප හැදුණු වැඩුණු සමාජය මේ සම්බන්ධයෙන් අපේක්ෂා කළේ ද එය විය හැකිය.

කෙල්ලන් පිළිබඳ ආදර සිතුවිලි මෙන්ම සෘංගාරාත්මක සහ රාගාධික සිතුවිලි ද අපේ සිත්වලට මේ ගැටවරවියේ අග කාලයේදී කෙමෙන් කෙමෙන් කාන්දු වේ. "වැඩිහිටියන්ට පමණයි" යනුවෙන් වර්ගීකරණය කරන ලද සිනමාපටවල අඩංගු විවිධ දේ ගැන පන්ති කාමර වල නිරතුරු කතා බහ කෙරේ. එදා අප "වැඩිහිටියන්ට පමණයි" ලේබලය ලද චිත්‍රපටයක ප්‍රචාරක පුවරුවක ඇඳ තිබූ චිත්‍රයක් බලා වින්දනයක් ලැබුවෙමු. අපේ පන්තියේ සිටි උස්-මහත් සිරුරෙන් වැඩී සිටි සමහර ළමෝ කෙසේ හෝ චිත්‍රපට ශාලාවලට රිංගා මේ සිනමා සිත්තම් සමහරක් නරඹා තිබුණහ. මේ චිත්‍රපට වනාහී නීතියෙන් තහනම් අශ්ලීල නිල් වර්ගයේ ඒවා නොව, නිරුවත් දර්ශන නිසා පෙරකී "වැඩිහිටියන්ට පමණයි" ලේබලය ලද ඒවා විය.

තාක්ෂණයේ දියුණුවත් සමගම අද වන විට මේ සම්බන්ධ තත්වය එදාට වඩා වඩා අති මහත් දියුණු තත්වයට පත් වී අන්තර්ජාලය, ඩී.වී.ඩී, ජංගම දුරකතන යනාදිය හරහා තහනම් අශ්ලීල දේ දක්වා විහිදී යමින් ඇති බව ද මෙහිදී කිව යුතුය.

එවැනි චිත්‍රපට වලට අමතරව නිරුවත් රූමතියන් ගේ ඡයාරූප අඩංගු පොත්-පත් තිබෙන බව අප අසා තිබුණෙමු. නමුත් එවැන්නක් අහම්බයකින් මෙන් මා නෙත ගැටුණේ මිතුරන් ගේ මාර්ගයකින් නොව මා හොඳින් දන්නා හඳුනන නිවසක පැරණි පුවත්පත් ගොඩක් අතර තිබී ය.

කුඩා කළ සිටම පුවත්පත්, පොත් කියවීමට ඇබ්බැහි වී සිටි මා, කොතැනක වුවද පොත් අල්මාරියක් හෝ පරණ පත්තර ගොන්නක් තිබෙනු දුටුව හොත් එතැනට ඇදී යන්නේ වන "මලකට ඇදෙන බඹරෙකු" ලෙසිනි. මේ කියන දිනයේ දී මා එකී පරණ පත්තර ගොන්න අවුස්සන්නට ඇදී යාම විස්තර කිරීමට නම්, වඩාත් නිවරදි උපහැරණක් වන්නේ, "ගිනි සිළුවකට ඇදී යන පළගැටියෙක්" ලෙසින් යන්න හෝ එසේ නැතිනම්, "පැණි හැලියකට ඇදී යන ඇඹලයෙක්" ලෙසින් යන්න හෝ වඩාත් නිවරද බව අද මට අපරදෘෂ්ටියෙන් යුතුව පැවසිය හැක.

එදා මගේ හිත ඇදී ගිය පරණ පත්තර ගොන්න "දවස" ප්‍රකාශනයක් වූ "රසකතා" ද, "ලේක්හවුස්" ප්‍රකාශනයක් වූ "යොවුන් ජනතා" ද එසේ නොමැති නම්, "විජය" ප්‍රකාශනයක් වූ "තරුණයා" ද යන්න මට මතක නැත. එසේ වුවද, ඒ පත්තර ගොන්න අතරේ සැඟවී මුත් දිදුලමින් තිබී මා නෙත ගැටුණු මනරම් වරණයෙන් ඔප කඩදාසියේ මුද්‍රිත සඟරාව නම් මගේ මතකයේ සදා රැඳී ඇත.

මේ සඟරාවේ බැලූ විටම කැපී පෙනෙන වෙනස් කම් රාශියක් තිබුණි. එහි මුද්‍රණය කෙතරම් හොඳින් කර තිබුණේද යත්, මා එවැනි නිමාවකින් යුතු සඟරාවක් ඉන් පෙර දැක තිබුණේ නැත. සඟරාවේ නම ඉංගිරිසි නමක් නොවිණි. එය ජර්මන් භාෂාව යැයි පසුව මට සිතුණි. පිට කවරයේ මුද්‍රිත ඡායාරූපයේ සිටි රූමතිය සිටියේ ද මා පෙර දැක නොතිබුණු අමුතුම ආකාරයේ විලාසයක් මවමිණි.

මම සඟරාවේ මුල් පිටු කිහිපය පෙරලූවෙමි. තේරුම් ගත නොහැකි භාෂාවකින් කතුවැකියක් වැනි යමක්, වෙළඳ දැන්වීම් වැනි පිටු කිහිපයක් එහි විය. මා ඒ නීරස සඟරාව පසෙකට ලා පත්තර ගොන්නේ තිබූ ඊළඟ පුවත්පත කියවිය යුතු යැයි සිතන අසුරු සැණින් මා අතින් පෙරලූනේ සඟරාවේ අපූරු පින්තූර කිහිපයකින් යුතු පිටුවකි.

එහි සිටියේ මා ජීවිතයේ මුලින්ම දුටු "නිරුවත් රූමතියන්" ය.

ඒ මොහොතේ සිට ඇසි පිය නොහෙලා සඟරාවේ එතැන් සිට මුද්‍රණය කර තිබූ "නිරුවත් රූමතියන්" ගේ ඡායාරූප "කියවන්නට" පටන්ගත් මා එය නිම කළේ වරක් දෙවරක් නොව කිහිප වරක්ම ඒවා කියවීමෙන් පසුවයි.

කොටින්ම, ඒ ඡායාරූප සමග මුද්‍රණය කර තිබූ ජර්මන් අකුරු පවා තේරෙන තරමට පරිචයක් අවසානයේ මට ලැබී තිබුණි.

අපේ කැමැත්ත ඇතිවෙන ඕනැම දෙයක් පිළිබඳව අපේ හිත තුළ පැන නගින ආසාවත් සමගම අපට ඇතිවෙන්නේ ඒ දෙය අයිති කර ගැනීමේ අවශ්‍යතාවයකි. මෙය සිත දමනය නොකළ වැඩිහිටියෙකුට පවා බොහෝ විට සත්‍යයක් වෙන සඳ, වයස දාහතක ගැටවරයෙකු ගැන කුමන කතාද?

මා ඊළඟට කළේ අද පවා මා කණගාටුවට පත්වන ආකාරයේ ක්‍ර්‍රියාවකි.

හිමින් සීරුවේ සඟරාව අමුණා තිබූ ස්ටේපල්ස් කටු ඇතුළතින් බුරුල් කළ මම, සඟරාව මධ්‍යයේ හරස් අතට මුද්‍රණය කර තිබූ ඡුායාරූපය මග හැර ඉන් ඇතුළු පිටුවල තිබූ නිරුවත් රූමතියන් ගේ ඡුායාරූප පොදියක් ම අහුවන සේ පිටු කිහිපයක් ගලවා ගතිමි. ඉන්පසු නැවත මැද පිටුව එකතු කර, ස්ටේපල්ස් කටු වසා හොඳින් වසා දැමුවෙමි. දැන් පිටු අංක පිරිසන්නෙකුට මිස මා ගැලවූ කොළවල අඩුව නොතේරේ.

ඒ මහානාර්ඝ වස්තුව නිවසට ගෙන ආ මා, "නිරුවත් රූමතියන්" මගේ පොත් ගොඩක් අතරේ සඟවා තබා ගෙන විටින් විට බලා රස වින්දෙමි.

එහෙත් එසේ ගතවූයේ දින දෙක තුනක් පමණි. පොත හිමි ඈයෝ පිටුවල අඩුව සොයාගත්හ.

"පුහුල් හොරා කරෙන් දැනේ"!

පරණ පත්තර අවුස්සන්නේ මා හැර වෙන කවරෙක්ද? මම කර මුලටම සැකකරුවා වීමි.

නමුත් මගේ වාසියට සිටියේ වෙනත් උපහැරණයකි. එය නම් ”කුඩු කෑ කතාවයි”.

මා කළ වරද ප්‍රසිද්ධියේ පැවසිය හැක්කක් නොවේ. එවිට සොර බඩු ද හෙළිවේ. මේ නිසා, මගේ දෙමව්පියන් මේ හොරකම පිළිබඳව තව දුරටත් අඳුරේම තබා ගනිමින්, හොර බඩු බාර දී අත් හිටවූ සිර දඬුවමක් පමණක් ලබා ගැලවෙන්නට මට ඉඩකඩ ලැබුණි.

"නිරුවත් රූමතියෝ" මා අතහැර යළි තම නිවසට ම ගියහ.

(image: )

Sunday, 8 June 2014

විජ්ජාවෙන් හොඳම විජ්ජාව ගැලවිජ්ජාව! - Gelavijja Stage Drama by Nishman Ranasinghe


මට මතකයි මං නමයේ පන්තියේ ඉන්න කාලේ තමයි අන්තිමට තාත්තාගෙන් ගුටියක් කෑවේ.

ඒ ඉස්කෝලෙන් පස්සේ නාට්‍ය තරගයක් බලන්න ගෙදරට නොකියා නතරවෙලා පරක්කු වෙලා ආපු හින්දයි.

එදා ඒ නාට්‍යයේ රඟපාපු අපේ පාසලේ උසස් පෙළ ශිෂ්‍යයින්ගෙන් අඩු වශයෙන් දෙන්නෙක් අද ලංකාවේ සුප්‍රසිද්ධ නළුවෝ.

ඒ ගුටි කෑමෙන් පස්සේ (ඇත්තටම නිකං ටොක්කක් සහ කණ මිරිකීමක් විතරයි) මං ඒ නාට්ට කලාවට තිබුණ ඇල්ම පොඩ්ඩක් පස්සට දැම්මා. ඒ විස්තර පසුව ලියන්නම්.

ඊට පස්සේ පේරාදෙනියේ කම්මලේ ඉන්න කාලේ ඔය "ෆෙෂර්ස් වෙල්කම්", "ෆැකල්ටි ඩේ" වගේ දවස්වල පොඩි පොඩි විනාඩි දහයේ ස්කිට් ලියලා රඟපෑවට ලොකු ප්‍රොඩක්ෂන් එකකට සෙට් වෙන්න ට්‍රයි කරපු දෙපාරම ඒ චාන්ස්වලට කෙල වුණා!

මේ සේරම අතීත පරාජයන් මට මතක් වුනේ මේ ලඟදී නිශ්මං රණසිංහ කියන බ්ලොග්කාරයා විසින් ලියා නිෂ්පාදනය කරන අළුත්ම නාට්ටියක් ගැන ආරංචිය ලැබුණු වෙලේයි.

මට නිස්මං මුලින්ම හමුවුනේ පසුගිය අප්‍රියෙල් මාසයේ තිබුණු සයිබර් සිහින අළුත් අවුරුදු උත්සවයේ දී යි. මට මතක විදියට ඔහු ඇවිත් හිටියේ දැන් නැවතී තිබෙන ප්‍රහාරය බ්ලොගය ලියූ සුමිත් නිරිඇල්ල එක්කයි.

නිශ්මං කියන නම ඇහුණු වෙලේ මට හිතුණේ "මොකක්ද බොලේ ඒ නම?" කියලයි, මොකද ඒක ලියන්නේ නිෂ්මන් වගේ ඉන්දීයානු විදියකට නොවෙයි, නිකංම නිකං නිශ්මං.

මං ඊයේ තමයි දැනගත්තේ මේ නිශ්මං කියන්නේ නිශ්ශංක සහ මංජුල කියන නම් දෙක එකතු කරලා හදාගත්තු කොම්පොසිට් නමක්ය කියන එක.

කොහොම වුණත් පළපුරුදු නාට්‍යකාරයෙක් සහ මාධ්‍යයකාරයෙක් වෙන වෙන නිශ්මං ගේ අළුත්ම නාට්‍යය තමයි ගැලවිජ්ජා!

මෙන්න ගැලවිජ්ජා ගැන විස්තරක්.
http://chiththapata.blogspot.com/2014/05/blog-post_22.html

නාට්‍යයේ පුහුණුවීම් දැන් ඇරඹිලා - මෙන්න මුහුරත් උළෙෙල් පින්තුර!.

මේ කලාබර වැඩේ ඉස්සරහට අරං යන්න නිශ්මං අපෙන් පොඩි සපෝර්ට් එකක් ඉල්ලලා තිබුණා ඔහුගේ බ්ලොග් එකේ.
http://chiththapata.blogspot.com/2014/05/blog-post_18.html

පොඩ්ඩක් ගිහිල්ලා බලන්න මොනවද කරන්න පුළුවන් කියලා.

-කතන්දරකාරයා

ප/ලි:
අපිට ඉතිං රඟපාන්න තියෙන්නේ අර විලියොං ගොයියා කියපු විදියට ජීවිත වේදිකාවේ තමයි!


(image: http://chiththapata.blogspot.com/2014/05/blog-post_18.html)

Friday, 6 June 2014

කඩල ආච්චී - Gram seller (ඇනෝනිමස් පාඨකයෙකු ගේ තර්ජනයකට බියෙන් ලියන ලද කතන්දරයකි!)


මා ගමේ කණිෂ්ඨ පාසලේ උගත් කාලයේ එක්සත් ජනපදයේ ආධාර ක්‍රමයක් යටතේ නිපදවුණු විස්කෝත්තු තුන බැගින් අපට විවේක කාලයේ දී නොමිලේ ලැබුණි. ඇදිහැස (එනම්, ඇමරිකන් දීමනා හැමට සමානව) නමින් හැඳින්වුණු මේ විස්කෝත්තු වර්ගය රසයෙන් කෙසේ වුවද හැඩයෙන් නයිස් විස්කෝත්තු සේ විය. එකල බහුතරයක් පාසල් සිසුන් දිවා කාලයේ තම කුස පුරවා ගත්තේ මේ විස්කෝත්තුවල පිහිටෙනි.

විස්කෝත්තු කෑමෙන් පසු මා පානය කළේ අම්මා උදෑසන මිශ්‍රකර ප්ලාස්ටික් බෝතලයක් පුරවා දෙන හැලිබොරේන්ජ් නම් වූ කෝඩියල් වර්ගයයි. කෝඩියල් නැති දවස්වල පාසලේ ළිදෙන් වතුර පනිට්ටුවක් ඇදගෙන රිසි සේ බීවෙමු. පහේ පන්තියේ දී පාසලේ ලිඳ සිඳී ගිය නිසා දෝ අපට පන්තියේ දී ම බොන්නට කලගෙඩියක් පුරා වතුර තිබුණි.

එසේ වුවද මගේ හිත ගියේ කලාතුරකින් දිනයක විවේක කාලය අවසාන වීමට සීනුව වැදීමට විනාඩි කිහිපයකට පෙර පාසලේ වැට අසලට එන ජංගම අයිස්පලම් කාරයා වෙත ය. දුරාවාරේ පැමිණෙන ඔහු මෙන් නොව සෑම සතියේ දිනකම පාසල අසලට කෑම බඳුනක් ද රැගෙන එන්නියක් ද වූවා ය. ඇය නම්, අප සියලූ දෙනා විසින් කඩල ආච්චී නමින් හඳුන්වනු ලැබූ වයසක වෙළෙන්දියයි.

පාසල අසල නිවසක විසූ කඩල ආච්චී තැම්බූ කඩල සහිත බේසමක් රැගෙන විවේක කාලය ඇරඹීමට පෙර තම සැමියා වූ සීයා ද සමග පාසල අසලට එයි. සීයා කළේ පරණ ඇක්සයිස් පොත් කොළවලින් කෝණාකාර ගොටු ගැසීම පමණකි. අපෙන් මුදල් රැගෙන ගොටුව පිරෙන්නට හැන්දකින් කඩල පුරවා අප අතට පත්කර ගනුදෙනුව කරන්නේ කඩල ආච්චී ය. කඩල ගොට්ටක මිල ශත පහක් විය.

කඩල කෑමට තිබූ ආශාව කෙසේ වුවද මා කඩල ආච්චි ළඟට මුලින්ම ගියේ පාසල් යාම අරඹා දෙවසරක් පමණ ගතවීමෙන් පසු කාලයක දී බව මගේ මතකයයි.

එයට හේතු කීපයකි. හෝඩියේ පන්තියේ දී කුඩා අප දහවල් දොළහ වෙත්ම දවසේ ඉගෙනුම නිමවා නිවෙස් බලා යන බැවින් මුල් වසරේ කඩල කෑමට මට ඉඩ නොලැබුණි. ඉන් පසුව වුවද, කඩල කෑමට මා තුළ තරමක අකමැත්තක් ඇතිවෙන්නට හේතුවක් වූයේ කඩල ආච්චී සුදු කබර නම් වූ චර්ම රෝගය වැළඳී සිටි අයෙක් වීමයි. ඇගේ මුව ප්‍රදේශයේ සහ විශේෂයෙන් ම අත්වල මේ රෝග ලක්ෂණ දකින්නට ලැබීම, ඒ රෝගය පිළිබඳව කිසිදු වැටහීමක් නොමැති කුඩා දරුවෙකු වූ මට තරමක අප්‍රසන්න දෙයක් විය.

එහෙත්, ගෙදරින් ශත පහක් ලැබීමට පින් කර තිබූ සිසුන් විවේක කාලයේ දී කඩල ආච්චී වටා රොක් වූයේ පොරි ගොඩකට පොර කන කුකුල් පැටවුන් රංචුවක් මෙනි. මා ද ක්‍රමයෙන් ගෙදරින් ලැබෙන ශත පහක් වෙතොත් එයින් කඩල කෑමට පුරුදු වුණෙමි.

එක් දිනයක මා අතින් ගත් තඹ පැහැති හතරුස් ශත පහේ කාසියද රුගෙන කඩල ආච්චී වටා පොරකමින් සිටි සිසුන් අතරට වැදුණෙමි. මුලින් එන්නාට මුල් තැන නොව අත දිග ඇත්තාට මුල් තැන ලැබීම මේ ආකාරයේ පොරකෑමේ ප්‍රතිඵලය විය.

කඩල පිරවූ බේසමට පිටුපසින් බිම වාඩිවී සිටින කඩල ආච්චී ගේ කෝණයෙන් බැලූවහොත් ඇයට ඉහළින් ඇය වෙත යොමු කෙරෙන කුඩා අත් රාශියකි. මේ බොහොමයක ශත පහේ කාසි රැඳී ඇත. සමහර අත්වල ඊට වඩා ලොකු කාසි ද තියෙන්නට ඇත. ඇය එක අතකින් ඇය වෙත දිගු කෙරෙන එක් කාසියක් ගත යුතුය. එය තම සල්ලි මල්ලට එක්කර ගෙන අවශ්‍ය නම් ඉතුරු සල්ලි දිය යුතුය. ඉන්පසු කඩල ගොට්ටක් රැගෙන එයට හැන්දෙන් කඩල පිරවිය යුතුය. දැන් මේ කඩල ගොට්ට තමන් සල්ලි ගත් අත මත තැබිය යුතුය.

ඉන්පසු මේ ක්‍රියාවලියම ඊළඟට ඇය නෙත ගැටෙන කුඩා අත සමග කළ යුතුය.

එය සිදුවූයේ කෙසේ දැයි මම නොදනිමි. මම කඩල ආච්චී වගේ තුන් දිශාවලින් පොදිකමින්, තෙරපෙමින් සිටි සිසුන් පිරිස අතරට ගොස් මගේ ශත පහ ඇය වෙත දිගු කළෙමි. මද වේලාවකට පසු ඇය මගේ ශත පහ ගත්තාය. සමහර විට දිගු කරගෙන සිටි මගේ අත කෙඩෙත්තුව නිසා තමරමක් පහත වැටෙන්නට ඇත. පෙර තිබූ ස්ථානයෙන් වෙනස් වන්නට ඇත. ඒ කෙසේ හෝ වේවා මා දන්නේ මගේ අතට කඩල ගොට්ටක් නොලැබුණු බව පමණකි.

දැන් ඉතින් කුමක් කරන්නද? දෙකේ පන්තියේ සිටි වයස හයක කුඩා දරුවෙකු වූ මා හට ඇඬුම් යන්නට ද ආසන්න විය.

මට කළ හැකිව තිබුණේ එකම එක දෙයකි. එනම් කඩල ආච්චී දෙසට අත දිගු කරගෙනම සිටීමයි.

අන් සියලූ දෙනාටම කඩල විකුණා අවසානයේ කඩල ආච්චී සහ සීයා යුවළ අසල ඉතුරු වූයේ මා පමණයි.

"කඩල ඕනැද?" ආච්චී ඇසුවාය.

"මං ශත පහක් දුන්නා, කඩල ගොට්ටක් හම්බ වුණේ නෑ", මා හැඬුම්බර ස්වරය නොසඟවාම පිළිතුරු දුන්නෙමි.

කඩල ආච්චී කඩල බේසම දෙස බැලූවාය.

නැවත මගේ මුහුණ දෙස බැලූවාය.

ඉන්පසු කඩල ගොට්ටක් බෙදා මා අතට දුන්නාය.

සිංහල භාෂාවට තරමක ආගන්තුක වචනයක් වන "ස්තුතියි" යන්න එකල අපට උගන්වා තිබුණේ නැත. මා කඩල ගොට්ට රැගෙන ඉතා සතුටින් පිට්ටනිය දෙසට දිව ගියෙමි.

එදා කඩල ආච්චී සමහර සිතන්නට ඇත්තේ ඇය මට කඩල නොමිලේ දෙනවාය කියා විය යුතුයි. මා නිසැකවම සිතුවේ මට හිමි කඩල ගොට්ට අවසානයේ කෙසේ හෝ මට ලැබුණාය කියායි.

ඒ කෙසේ වෙතත්, ඉන් දශක කිහිපයකට පසුවද එදා මෙන් සිහිපත් කරන්නට හැකිවෙන පරිදි මේ සිදුවීම මගේ මතකයේ රැඳී ඇත.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය ඊයේ ඇනෝනිමස් පාඨකයෙක් මට කළ තර්ජනයකට/අභියෝගයකට ඇතිවුණු බිය නිසා රචනා කරන ලද්දක් බව සලකන්න.


(image: http://www.indiamart.com/majesticagrofoods/pulses-and-oilseeds.html)

Wednesday, 4 June 2014

දුක යනු කුමක්ද? - No time to do anything!


චතුරාර්ය සත්‍යය ඕපන් සෝස් සංකල්පයකි යන මැයෙන් මම කලකට පෙර කයි-කතන්දරයක් ලියුවෙමි. ඒ මාත්‍යකාව හුදෙක්ම මා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගත කළ මුල් කාලයේ ලියූ කවියකට පෙරවදනක් සැපයීම පිණිස සකසන ලද්දක් වූවද, මගේ ඒ ඕපන් සෝස් සංකල්පයකි යන හැඳින්වීමට අදාල කයි-කතන්දරය එය කියවූ කීප දෙනෙකු ගේ විවේචනයට ද ලක්විය.

අද නම් මම එවැනි බඹරුන්ට ගල් ගැසීමක් කරන්නට අදහස් නොකරමි.

මට කියන්නට අවශ්‍ය වී ඇත්තේ, දුක යනු කුමක්ද යන්නය. මෙය වර්තමාන කාලයේ මගේ පුද්ගලික අත්දැකීම් මත පදනම් වූ අර්ථ දැක්වීමක් පමණි. එසේම මෙය කවියක් හෝ කවියක් වගේ එකක් හෝ නොවේ.
  • දුක යනු-වාර්ෂික වැටුප් වර්ධක පසුගිය වසරේ සිට අවසන් වීමයි.
  • දුක යනු-වසරකට වරක් සිදුවන වැටුප් වැඩිවීමේ ප්‍රතිශතය පසුගිය වසරේ සිට අඩුවීමයි.
  • දුක යනු-වඩා හොඳ ජොබ් තුනකට බැල්ම හෙලුවද ඒ බලාපොරොත්තු සුන්ව යාමයි.
  • දුක යනු-කලින් සිටි එක බොස් වෙනුවට දැන් බොස් ලා දෙදෙනෙක්ම (බොස් සහ බොස් ගේ බොස්) සිටීමයි.
  • දුක යනු-වෙසක් මාසයේ ලයිට් සංදර්ශනය බලන්නට යෑමට නොහැකිවීමයි.
  • දුක යනු-ටෙලිවිෂනයේ නොයෙකුත් වැදගත් මාතෘකා ගැන නිපදවුණු ඩොකියුමෙන්ටරි සහ වෙනස් ආකාරයේ නාටක යානදිය තිබුණද, ඒවා නරඹන්නට කාලය නැතිවීමයි.
  • දුක යනු-උසස් කලා කෘති යැයි සම්මත චිත්‍රපට කිහිපයකම ඩීවීඩි තිබුණද ඒවා නරඹන්නට කාලය නැතිවීමයි.
  • දුක යනු-අළුතින් ගත් පොත් සීයකටත් වඩා අත ලඟම තිබුණද ඒවා කියවන්නට වෙලාවක් නැති වීමයි.
  • දුක යනු-ලියන්නට කතන්දර සීයකටත් වඩා තිබුණද, ඒවා ලියා කතන්දර බ්ලොගයේ පලකරන්නට වෙලාවක් නැති වීමයි.
දුක ඇතිවීමට හේතු ද සොයා ගත් යුතුයි!

-කතන්දරකාරයා

(image: http://irondance.blogspot.com.au/2011/06/enlightened-buddhist-master-nagarjuna.html)

Monday, 2 June 2014

සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාව – A geriatric joke


රෝහල් සායනක පොරොත්තු කාමරයක සීයලා තුන් දෙනෙක් කතා බහක නිරතව සිටියහ.

එක් සීයා කෙනෙක් මෙලෙස පැවසීය.

"මගේ වයස දැන් අසූවයි. මට තියෙන ප්‍රශ්ණේ තමයි මේ චූ කරන්න අමාරු එක. ඔන්න මං උදේ හතට නැගිටිනවා. එතැන ඉඳලා උදේ අට විතර වෙනකං කරන්නේ ටිකෙන් ටික චූ දාන එකයි. එක පාරට දාන්නත් බෑ. කොච්චර දැම්මත් ඉවරයක් නෑ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක්!"

ඒ ඇසූ දෙවෙනි සීයා මෙසේ පැවසීය.

"මගේ ප්‍රශ්ණේ ඊට වැඩිය දරුණුයි. මට දැන් වයස අසූ පහක් වෙනවා. මං උදේ හතට නැගිටලා, උදේට කාලා බීලා, උදේ අටට විතර ටොයිලට් යනවා කක්කා කරන්න. ඒත් කරගන්නම බෑ. කොච්චර කළත් ඉවර වෙන්නෙත් නෑ. අන්තිමේ දී උදේ නමය වෙනතුරුමත් ටොයිලට් එකේ ඉඳලා තමයි වැඩේ ඉවරයක් කර ගන්නේ. මේ නාකි වෙන එක නං හරිම ලෙඩක් තමයි! මොකට කියනවාද ඒක?"

දැන් තුන්වෙනි සීයා ගේ වාරයයි.

"මගේ වයස දැන් අනූවයි. මට නං ඔය කිසි ප්‍රශ්ණයක් නෑ!"

"මොනවා. තමුසේ හරිම වාසනාවන්තයි නේ එහෙනං!" අනෙක් සීයලා දෙන්නාගෙන් පළමු සීයා පැවසීය.

"ඒ කියන්නේ චූ කරන එක සහ කක්කා කරන එක ඔහේට හොඳට, නිසි පිළිවෙලට, වෙනවාද?" දෙවෙනි සීයා ඇසීය.

"ඔව්, ඔව්, කිසි අවුලක් නෑ. මං උදේ හතට විතර චූ කරනවා. උදේ අටට විතර කක්කා කරනවා. උදේ නමයට විතර මට ඇහැරෙනවා!"

මේ කතාව ලිව්වේ වයසක පොරවල්වලට අපහාස කිරීමට හෝ රෝගී තත්වයන්ට සිනාවීමට හෝ නොවේ.

ඇත්තටම මෙය වයසක අයගේ රෝගාබාධ පිළිබඳව කටයුතු කරන වෘද්ධචිකිත්සක විශේෂඥයින් (Geriatricians) ගේ කලාපීය සම්මන්ත්‍රණයක රාත්‍රී භෝජන සංග්‍රහක දී එහි මාස්ටර් ඔෆ් සෙරමොනි විසින් කළ කතාවේ අන්තර්ගත වූ යාන් හෑල්ලක් නොහොත් කතන්දරයකි.

ඉන්දික උපශාන්ත සහෘදයා තමන්ගේ සැහැල්ලුව බ්ලොගයේ ලියූ "සුනිල් පෙරේරාගේ දුන්තෙල් බත් දන්සැල" කියන ලිපියේ ඔහුට කෙලින්ම සම්බන්ධ කොටස් හිතා මතා කපා ඉවත් කළ ස්ටැන්ලි ප්‍රනාන්දු නමැත්තෙක් එයට තමන්ගේ නම යොදා එවූ විට එම කතාව තම පුවත් පතේ පළකළ ලක්බිම ඉරිදා සංග්‍රහයේ සංස්කාරකවරුන්ට අනුව ඉන්දික ඒ ලිපියේ මුල් රචකයා පමණි. අයිතිකරු නොවේ!

ඒ අනුව, ස්ටැන්ලි ප්‍රනාන්දු එහි දෙවෙනි රචකයා ය. ඔහු ගේ රචනා කර්තව්‍යය වී ඇත්තේ ඉන්දික ගේ ලිපියේ ඉන්දිකට සම්බන්ධ කොටස් කපා ඉවත් කිරීම පමණක් වීම ප්‍රශ්ණයක් නැත!

ලක්බිම තර්කයට අනුව බලන විට මා මේ "සීයලා තුන් දෙනා ගේ චූ සහ කක්කා කතාවේ" දෙවෙනි රචකයා විය යුතුය.

-කතන්දරකාරයා

පලි:
අනිත් අතට බලන විට මා මේ කතාව ලියූයේ අර අයීබීඑම් කම්පැටිබල් කොම්පියුටර් සෑදූ වා යැයි කියවෙන ක්‍රමයට තරමක් සමාන විදියකට යැයි සිතමි.

තිලක සිත බ්ලොගයේ ඊයේ පළවූ "කහ පාට කොඩි කතාව" ද ඒ ආකාරයේ එකකි.

(image: http://othersiderainbow.blogspot.com.au/2011/03/hyuk.html)

Saturday, 31 May 2014

කයි කතන්දර ලිවීමත් කලාවක් ද? - How to become an artiste?


තුනේ පන්තියේ දී මුහුදු වෙරළ ගැන කවියක් ලියා මිහිර පත්තරේට දැම්මා වුණට, මගේ කවි ජීවිතේ නැගලා යන්න පටන් ගත්තේ අවුරුදු දාසයේ දී විතර ඉඳලායි.

ඒ කාලේ මං ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ මරදානට යනවා ඉස්කොලේ. හෝමෝන් වැඩිවීගෙන ආපු නිසාම ඔන්න කවි ලියවෙන්න පටන් ගත්තා.

ඒ ලියපු මුල් කවිය ගැන කතන්දරේ කලින් දවසක මං කියලා තියෙනවා.
http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

පසු කාලෙක ඔය කවි ලිවීම ගැන මං හිතවතෙකුට ලියා යැව්වේ මෙහෙමයි.

අවුරුදු දාසයෙදි දුම්රියෙ යන කාලේ
කෙල්ලන් දුටිමි බැන්දෙමි කවි මනමාලේ
ඒ කවි ලියූ පොත් ගොඩ විතරයි රාලේ
මගෙ කවිකමට ඉතුරුව ඇත්තේ සාලේ!


ඒ දවස්වල මං පරණ පොත්වල, කටුවැඩ කොළවල තමයි කවි ලිව්වේ. උසස් පෙළට පාඩම් කරන කාලේ මං එහෙම ලියපු කවි සිය ගාණක් එකතු වුණා.

මං ඊලඟට කෙරුවේ ඒවා පොත් වශයෙන් ඇක්සයිස් පොත්වල ලිවීමයි.

පෙරවදන, පිළිගැන්වීම, පටුන යනාදී සියළුම දේ සහිතවයි ඒ පොත් සැකසුණේ. දෙවෙනි, තුන්වෙනි පොත්වලදී කතෘ ගේ වෙනත් කෘති කියලා තවත් කෑල්ලක් එකතු වුණා.

ඒ විදියට මං කවි පොත් හතරකුයි, කෙටිකතා පොත් දෙකකුයි, නවකතාවකුයි හස්තද්වාරයෙන් එළිදක්වලායි තිබුණේ විශ්ව විද්‍යාලයට යන කාලේ වෙනකොට.

එයින් එක කවි පොතකුයි, කෙටිකතා දහයක එකතුවකුයි දැන් අස්ථානගත වෙලා.

මෙන්න මා ගාව තාමත් තියෙන ඒ කවි පොත්වල නම්.

ගී පදමාලා 25 (පද්‍ය)
සය දිනක සටහන් (පද්‍ය)
වාසනා හෙවත් සැබෑවුණු සිහිනය (පද්‍ය)


ඔය කවි පොත් ලියපු එකෙන් මට එකම ප්‍රයෝජනයයි වුණේ.

මගේ කවි පොත් දැකපු අපේ පුංචි අම්මා ඒවා අරගෙන ගිහින් එයා ගේ ඔෆීසියේ ඒ දවස්වල හිටපු කවියෙකුට බලන්න දුන්නා. පොර පසු කාලෙක ජනප්‍රිය ගීත රචකයෙකුත් වුණා.

මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයට යනවාය කියා දැනගත් මේ කවියා කෙරුවේ ඒ දිනවල ඒ තිප්පොලේ ඉගෙන ගත්තු අද කාලේ නං කවිවලට වඩා ගද්‍ය රචනයේ යෙදී සිටින ශිෂයෙකුට මා ගැන හැඳින්වීමක් කිරීමයි.

ඒ හින්දා තමයි මට විශ්ව විද්‍යාලයට ගිය ගමන්ම වගේ ඉංජිනේරු පීඨ කලා කවයේ කටයුතුවලට සහභාගී වෙන්න ලැබුණේ.

කලා කවයෙන් කරපු ප්‍රධාන වැඩේ තමයි සිසුන් ගේ නිර්මාණ එළි දැක්වීම සඳහා නිර්මාණ පුවරුවක් පවත්වාගෙන යෑම. මං ඒකට කවි ලිව්වේ පේරාදෙනියට ගිය මුල් සතියේ ඉඳලාමයි. ඒ වාගේ කවි ලියන අය කීප දෙනෙක්ම ෆැකල්ටියේ හිටියා. කවි මිසක්, කෙටිකතා වගේ නිර්මාණ නම් එතැන පලවුණේ නෑ කියලයි මගේ මතකය.

ඔය උඩ ඡායාරූපයේ තියෙන්නේ ඒ එදා තිබුණු නිර්මාණ පුවරුවම තමයි.

අවුරුදු ගාණකට පස්සේ වුණත් ඔතනට ගියාම තාමත් පොඩි සොඳුරු හැඟීමක් දැනෙනවා.

ඒ කෙසේ වෙතත් මට අද තියෙන ප්‍රශ්ණ තමයි, කවියක් දෙකක් ලිව්වාට කලාකාරයෙක් වෙනවාද? කලා කවයේ කමිටු සාමාජිකයෙක් හෝ සංස්කාරක හෝ ලේකම් වුණාට කලාකරුවෙක් වෙනවාද කියන එක.

හැබැයි කතන්දරයක් දෙකක් ලියලා තියෙනවා නම් කතන්දරකාරයෙක් කියලා හඳුන්වා ගන්න පුළුවනි මට හිතෙන විදියට.

-කතන්දරකාරයා

ප/ලි:
සමහරවිට කවියක් තියා කිසිම නිර්මාණයක් නොකලත් කලාකරුවෙක් වෙන්න පුළුවන් ඇති.

මොකද කියනවා නම් අපේ කාලේ ෆැකල්ටියේ හිටි එක සීනීයර් පොරකගේ අන්වර්ථ නාමය වුණේ "නිහඩ කලාකරු" කියන එකයි.

හැබැයි පොර කවියක් ලියපු බවක් හෝ සින්දුවක් කියපු බවක් හෝ මං දැකලා නෑ.

නමුත් ඇත්තටම පොර කලාකරුවෙක් කෙසේ වෙතත් හොඳ කලා රසිකයෙක් කියලා කියන්න පුළුවනි.

මිනිහා එකතු කෙරුවේ චිත්‍රපටිවලට කේමදාසලා වගේ අය කරපු පසුබිම් සංගීතය තියෙන කැසට් වගේ සම්භාව්‍ය කලා නිර්මාණයි.

Thursday, 29 May 2014

ලොකේ හතර දිග්බාගෙම ඉන්න හස්බන්ඩලාට (සහ වයිෆරේලාට) ප්‍රශ්ණයක් - ඇයි එහෙම වුණේ? : For all husbands (and wives) out there!


මාර වැඩේ!

මට අමතක වුණා!

හැබැයි, හොඳ වෙලාවට මට විතරක් නොවෙයි, හාමිනේටයි මටයි දෙන්නටම අමතක වුනා.

මොකක්ද දන්නවාද?

අපි දෙන්නගේ ඇනිවර්සරි එක, එනම්, විවාහ සංවත්සරය.

දැන් මාසයක විතර කලින් දවසක දි නම් මැයි 28 දිනයේ එළැඹීමට නියමිත ඔය වෙඩින් ඇනිවර්සරි දවස ගැන මගේ මතකයට ආවා.

එදා මං හාමිනේට ඉතා වැදගත් යෝජනාවකුත් කළා වගේ මතකයි, විවාහ සංවත්සරය සැමරීම ගැන.

නමුත් අන්තිමේදී මොකද දන්නවාද වුණේ.

හදිසියේම සම්මන්ත්‍රණයකට සහභාගීවීම සඳහා හාමිනේට ගෙදරින් බැහැරව යන්න වුණා. හාමිනේ දවස් දෙක තුනකට ගෙදර නැති වුණාම ගෙදර රාජකාරී කටයුතු කෙරෙන්නේ කොහොමද කියලා සැලසුම් කරන අතරතුරේ දී, අපේ ඇනිවසරි එක ගැන මතකය බැක්බර්නර් එකට ගිහින්.

කලින් කිව්වා වගේ මගේ විතරක් නොවෙයි, අපි දෙන්නාගේ ම මතකය අවුල් වෙලා.

මට මතකයි 2010 අවුරුද්දේ මං අපේ ඇනිවසරිය වෙනුවෙන් හාමිනේට සින්දුවක් ලිව්වා.

ඊළඟට 2011 දී නම් මේ කාලයේ නොදැනුවත්වම වගේ ලියවුනේ තරමක වැරදි කතන්දරයක්. වැරදිමත් නොවෙයි, නොගැලපෙන එකක්.

ඒකටත් එක්ක 2012 දී මං අපේ ව්ව්ඩින් ඇනිවසරිය සමරන්න හොඳම පිස්සු කවියක් ලිව්වා. මේ කවිය ජොනී වෝකර් විස්කි ගැනයි.

ගිය අවුරුද්දේ (2013) මං ලියපු ආදරබර ෆ්‍රයිඩ් රයිස් කතාව නං බොහෝ දෙනෙකු ගේ සිත් ගත්තා.

ඇනිවසරිය වෙනුවෙන් හාමිනේ ගැන ගිය වසරේ මං ලියපු කවි පන්තිය මං පල කෙරුවේ නොවැම්බරයේ දී යි.

නමුත් 2014 නිකම්ම බ්ලාස් වෙලා ගියා නොව, චැහ්!

මං කලින් දා දවල් ඉඳලා අපේ කොම්පැනියේ මාසික රැස්වීමේ වැඩවලට හිරවෙලා. ඇනිවසරි දවසේත් උදේ ඉඳලා හවස වෙන කල්ම.

හාමිනේ අල්ලපු රටේ!

ඒ නිසා දවසට ම එක පාරයි අපි දෙන්නාට කතා කරන්න ලැබුණේ. එක එස්එම්එස් එකයි හුවමාරු වුණේත්.

කොහොම හරි මේ වැඩ රාජකාරි හින්දාමද කොහෙද ඇනිවසරි එක ගැන මතකය දුරස්ත වෙලා!

ටිකක් හිතට දුකයි. ඒත් මක්කැයි කොරන්නේ? සිකුරාදා හවස වෙනකං ඉවසලා ඉන්න වෙනවා!

-කතන්දරකාරයා

ප/ලි:
මෙලෝ හතුරෙකුටවත් මෙහෙම අමතකවීමක් නොවේවා!

(image: http://www.jantoo.com/cartoons/keywords/brainstorms)

Tuesday, 27 May 2014

බුද්ධාගමේ අයිතිකාරයින්ට ම කියාපු හොඳ වටිනා බණ කතාවක් - An ant and a honey drop


පෙරේදා මං දාපු "පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද?" කියන කතන්දරේ ලියන වෙලාවේ සහ ඒකට ලැබුණු විවිධ ප්‍රතිචාරවලට පිළිතුරු ලියන කොට මට මතක් වුණා පොඩි කාලේ බුද්ධාගම ඉගෙන ගත්තු හැටි ගැන.

බුද්ධාගම විෂයක් විදියට අපි මුලින්ම ඉගෙන ගන්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි. අපේ පන්තියේ සිටි කතෝලික සිසුවාටත් ඒ හැර වෙනත් විකල්ප විෂයක් තිබුණේ නෑ.

හතේ පන්තියේ දී විතර තමයි මට අර මිගදායේ කේස් එක වුණේ.

ඒ වගේ බුද්ධාගම ගුරුවරු අතරේ අටේ පන්තියේ බුද්ධාගම උගන්වපු ටීචර් වගේ හොඳ ගුරුවරුත් හිටියා.

ඒ ආකාරයට විෂයක් විදියට කරපු බුද්ධාගම ඉගෙනීම ජෙනරල් එඩියුකේෂන් සර්ටිෆිකේට් විභාගේදී (අර පවිත්‍රා වන්නිආරච්චි ගණිතය ගැන කිව්වා වගේ) ඩිෂ්ටින්ෂන් එකක් එක්ක පාස් වෙන කල්ම කරන්න වුණා.

ඔය අතරේ මං හතරේ පන්තියේ විතර කාලේ දී අපේ ගමේ පන්සලේ දහම් පාසලක් ඇරඹුණු දා ඉඳලා අපි ඒ ගමෙන් පිට ගමකට ගිය කාලේ වෙනකං මං ඉරිදා දහම් පාසලටත් ගියා. දිගටම දහම් පාසල් ගිය නාලන්ද පියතිලකලා නම් එතැන විභාගත් පාස් වුනා ද කොහෙද?

මගේ බුද්ධාගම දැනුම එච්චරයි!

ඒ කොහොම වුනත් මං දන්නා ටික අනුව මං දකින විදියට බුද්ධාගමේ තියෙන හොඳම කොලිටිය තමයි, ඒකේ අන්ධානුකරණයෙන් විශ්වාස කළ යුතු යැයි බල කෙරෙන කිසිම දෙයක් නොතිබීම.

බුදු හාමුදුරුවොත් කියලා තියෙන්නේ හැම දෙයක්ම ප්‍රශ්ණ කරන්න කියලායි.

නමුත් අපේ සමහර බුද්ධාගමේ අයිතිකාරයෝ ඔය කතාව දන්නේ නෑ!

ඒ කොයි වෙතත් මං මේ කියන්න යන්නේ වෙනත් දෙයක්.

මං මීට කලින් මං අහපු බණක් ගැන කතන්දරයක් කියලා තියෙනවා, ඒක තමයි හොම්බට අණින බණ ගැන කතන්දරේ.

මේ ළඟදී දවසක මං අහපු තවත් කතාවක් තමයි අර සිටුවරයා සහ බිරින්දෑවරු හතර දෙනා ගැන කතන්දරේ.

බණ අහනගෙන ඉන්න කොට සාමාන්‍යයෙන් ඔය වගේ හොඳ හොඳ කතා ඇහෙනවා.

දැන් වසර කීපයකට කලින් පන්සලට දානයක් දෙන්න ගිය වෙලේ ඇසුණු බණක තිබුණු, බුද්ධාගම ගැන ඉතාම හොඳ උදාහරණයක් තමයි මෙන්න මේක. මං මෙතුවක් කාළෙකට අහපු හොඳම උදාහරණය කියලා කියන්න පුළුවනි.

අපේ හාමුදුරුවෝ කිව්වේ බුදු දහම මී පැණි බින්දුවක් වගේ කියලයි.

දන්නවානේ මී පැණි බින්දුවක් පැතලි තලයකට දැම්මාම මීපැණීවල දුස්ස්‍රාවීතාව වැඩි නිසාත්, පෘෂ්ඨික ආතතිය නිසාත්, ඒක තවදුරටත් වටකුරුව තරමක් ගෝලාකාරව පවතිනවා.

දැන් ඔහේලා අපි වගේ කූඹියෙක් ඒ මී පැණී බින්දුව දිහා ඕනෑම පැත්තකින්, ඕනෑම කෝණයකින්, බැලුවාම පේන්නේ එකම දර්ශණයයි. අපි කොයි පැත්තෙන් ඇවිල්ලා මී පැණි බින්දුවෙන් ටිකක් තොළ ගාලා බැලුවාම එන්නේ එකම මී පැණි රසයයි!

මං හිතන්නේ මේ ගැන විස්තර කරන්න එක්කෝ පාලි කවියක් ණැත්නම් සංස්කෘත ස්ලෝකයක් කිව්වා හාමුදුරුවෝ. ඒක නං දැන් මට මතක හිටියේ නෑ.

ඔය උදාහරණයෙනුත් වැටහෙන විදියට මගේ අදහස නම් බුදු දහම දිහා විවිධාකාරයෙන් බලන එක, ප්‍රශ්ණ නගන එකේ කිසි අවුලක් නෑ ය කියන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
පවිත්‍රා වන්නිආරච්චි ගේ වීඩියෝ එක මෙන්න.





(image: https://www.flickr.com/photos/mghro0r_w_mdala3/2467609291/)

Sunday, 25 May 2014

පන්සිල් පදයක් ඩිංගිත්තක් වෙනස් කරමුද? - Killing Vs Torture


කලබල වෙන්න කාරි නෑ!

මේක අර "සුභද්‍ර ගේ අභද්‍ර වචනය" වගේ කේස් එකක් නොවෙයි.

මං මේ යෝජනා කරන්න යන්නේ පන්සිල් පදේකට පොඩි වෙනසක්. හැබැයි, නරකට නොවෙයි හොඳට.

දැන් ඔය පන්සිල්වල මුල්ම ශික්‍ෂා පදය තියෙනවා නේද? පාණාතිපාතා වේරමණී, එහෙම නැත්තං පර පණ නැසීමෙන් වළකිමි කියලා.

මං දැන් අවුරුදු විස්සකට විතර කලින් නැරඹුවා, රූපවාහිනී චැනල් එකක ගිය හද්දා පරණ ඉංගිරිසි ඩොකියුමෙන්ට්‍රියක්. මේකේ නැරේටර් සුද්දාට භාෂා පරිවර්තක කටයුතු කෙරුවේ ආචාර්ය නන්දසේන රත්නපාල.

පොර ඔය පාණාතිපාතා කියන එක සුද්දාට විස්තර කෙරුවේ "අයි විල් නොට් කිල් ඇනිමල්ස්!" කියලයි. අපි සාමාන්‍යයෙන් ඇනිමල්ස් ලා කියන්නේ මිනිස්සු හැර අනිත් සත්තුන්ට පමණක් නිසා මට නම් ඒක පොඩ්ඩක් අවුල් විදියටයි දැනුණේ. "අයි විල් නොට් කිල් ලිවින් බීන්ස්!" වගේ දෙයක් කීවා නම් වඩා නිවැරදියි කියලයි මට හිතුණේ.

ඒ කොහොම වෙතත් මං මේ යෝජනා කරන්න යන්නේ මෙන්න මේ පාණාතිපාතා, පර පණ නැසීම කියන ශික්‍ෂා පදයට පොඩි සංශෝධනයක්.

මට හිතෙන්නේ ඕකට, "මම වෙනත් ප්‍රාණීන්ට හිංසා ද නොකරමි", කියලා වැඩිපුර කෑල්ලක් එකතු වෙන්න ඕනෑ කියලයි.

එළියකන්ද වද කඳවුර ගැන පොතක් කියෝලා දුකෙන් මං ලියපු කතන්දරේට ආපු කමෙන්ටුවක තිබුණා ඌරෙකුට වද දෙන කොට අඬන හැටි?

මං හිතන්නේ සතෙක් එක පාර මරනවාට වඩා මහා පාපයක් තමයි වද දෙන එක. ඒක නිසානේ එළියකන්ද, බටලන්ද, අබු ග්‍රේ, ගන්තනමෝ බේ වගේ වද කඳවුරු දැම්මේ.

මාව මරන්න හැබැයි චරිත ඝාතනය කරන්න එපාය කියලා හිටපු ජනාධිපති ප්‍රේමදාසත් කිව්වා නොවැ!

පන්සලක අලියෙකුට වද දෙන එක ගැන දැක්වෙන වීඩියෝවක් එක්ක මං කාලෙකට කලින් කතන්දරයක් ලිව්වා මතකද?

අන්න ඒ වගේම සීන් එකක් මට දකින්න ලැබුණා දැන් මාසෙකට විතර කලින් නුවර ඉඳලා නුවරඑළිය බලා යන ගමනේ අතරමග දී.

අපි කන්ද නගින කොට අලි පටවන් එන ලොරි දෙක තුනක් හමුවුණා. මං හිතන්නේ ඒ පැත්තේ පෙරහැරකට අරගෙන ගිහින් ආපහු ගෙදර ගේන සත්තු වෙන්න ඕනෑ. එහෙම නැතිනම්, නුවර පැත්තේ පෙරහැරකට ලොරි මතින් වඩම්මන සත්තු වෙන්න ඕනෑ.

මේ සත්තු එක වනාන්තරයකින් තවත් එකකට ස්ථාන මාරු ලබපු වල් අලි කියලා නම් පෙනුණේ නෑ.

ඔහොම අලි ලොරි තුන හතරක් අපිව පාස් කරගෙන කන්ද බැස්සාට පස්සේ තමයි මෙන්න මේ සීන් එක දැක්කේ නුවරඑළිය නගරයට ඉතා කිට්ටුව.


මේ ලොරියේ අලි ඩබලක්ම පටවලා.

ලෝඩ් එක වැඩිකමටද කොහෙද ලොරිය කැඩිලා.

මොකද අර එක බස් එකක් කැඩුණාම මිනිස්සුන්ව පස්සෙන් එන බස් එකක පටෝලා අරිනවා වගේ අලි දෙන්නෙක්ව දාලා අරින්න කියලයැ.

ඉතිං මේ අලි දෙන්නාට ලොරියේ හිරවෙලා අපා දුක් විඳින එකට අමතරව වෙනත් විකල්පයක් නෑ!

ඔන්න ඔය වගේ හේතු නිසයි මං කියන්නේ මම පර පණ නැසීමෙන් වැළකෙමි කියන පන්සිල්වල පළමු ශික්‍ෂා පදයට මම වෙනත් ප්‍රාණීන්ට හිංසා ද නොකරමි කියලා ඌන පුර්ණයක් කරලා සංශෝධනය කළ යුතුයි කියලා මං යෝජනා කරන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
පානාතිපාතා වලට අදාල සත්වයින් අතරට කතන්දරකාරයා ද අයිති යැයි සිතමි!

http://dontpaniconline.com/magazine/radar/improvements-that-could-be-made-to-football

Friday, 23 May 2014

සම-සෞඛ්‍ය ශිෂ්‍යයින් සමග විනාඩි පහක් - Equals and unequals!


විශ්ව විද්‍යාල සම-සෞඛ්‍ය (Allied Health Sciences) කේස් එක ඇදි ඇදි ගිහින් අන්තිමේදී ශිෂ්‍යයින් පිරිසක් ලඟදී දවසක පොලිස් "මිනිමම් ෆෝස්" පහරදීම්වලට ලක්වෙලා ය කියලා පත්තරවලින් ආරංචි වුනා. හරිම කණගාටුදායක, නමුත් පුදුමයක් නැති පුවතක්!

එදත්, අදත් කවදත් විශ්ව විද්‍යාලවල විවිධ ප්‍රශ්ණ තිබුණා!

අපේ කාලේ තිබුණු උං ගේ ආණ්ඩුවෙන් ඒ ප්‍රශ්ණ විසඳුවෙත් දැන් කාලේ ඉන්න මුං ගේ ආණ්ඩුවෙන් ප්‍රශ්ණ විසඳනවා වගේම ඉතාම සුමුදු සුසිනිදු "මිනිමම් ෆෝස්" ක්‍රමවේදවලින් තමයි.

උනුයි, මුනුයි නැතුව අරුං ආණ්ඩුවක් පිහිටෙව්වා වුනත් ඔය ප්‍රශ්ණ විසඳිල්ලේ වැඩි වෙනසක් වේවි ය කියලා මං හිතන්නේ නෑ.

සමහරවිට උනුයි, මුනුයි නැතුව අරුං ආවොත් ඔය වගේ ප්‍රශ්ණ ඇති වෙන එකක් නෑ ය කියලා කෙනෙකුට කියන්න පුළුවනි. නමුත්, ඇත්තටම කියනවා නං අරුං ආවොත් කොහොමටත් ඔය තියෙන නිදහසවත් නැති වෙන බවයි මගේ අදහස. මොකද අරුං යටතේ (ඉස්සර විදියට නං) තියෙන්න පුළුවන් එක මතයයි, ඒකට විරුද්ධතාවයක් තියෙන්න කිසිම විදියක් නෑ!

ඒ වල්පල් මොනවා වුණත්, මෙන්න මං කියන්න පටන් ගත්තු කතන්දරේ.

දැන් සති තුන හතරකට විතර කලින් දවස්වල මං ගියා පේරාදෙනිය පැත්තේ ඔය පරණ ජෙට් එන්ජිමක් හෙම නරඹලා එන්නයි කියලා. ඔය අතරේ, ගලහා හන්දිය ඉස්සරහිනුත් තුන්-හතරපාරක්ම යන්න ඉඩ ලැබුණා.

ඒ යන අතරේ දී තමයි මං දැක්කේ ගලහ හන්දියේ පැවැත්වෙන ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාරය.

අන්තිම දවසේ දී මට පොඩි ඉඩක් ලැබුණා ඒ ලඟට ගිහින් විනාඩි පහක් විතර මේ උපවාසකරුවන් සත්‍යග්‍රහකාරයින් එක්ක කතා කරන්න. මෙන්න අපේ දෙබස මට මතක හැටියට.

මම- මොකක් ගැනද මේ විරෝධතාවය?

ශිෂ්‍යයෙක්- මෙහෙමයි, දැන් අපේ සම-සෞඛ්‍ය පීඨයේ දෙවෙනි තුන්වෙනි අවුරුදුවල ඉන්න අයියලා අක්කලාට අවුරුදු හතරේ පාඨමාලාව කරන්න දෙන්නේ නෑ. ඒක වෙනස් කරන්න කියලයි අපි මේ උපවාසය සත්‍යග්‍රහය ගෙනි යන්නේ!

මම- ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ පවුල්වල අයියලා, අක්කලා මේ පාඨමාලාව කරන හින්දා ද ඔය අයත් මේ පාඨමාලාව තෝරා ගත්තේ.

වෙනත් ශිෂ්‍යයෙක්- නෑ, අංකල්, අපි විශ්ව විද්‍යාලේ සීනියර්ස්ලාට කියන්නේ අයියලා අක්කලා කියලයි. ඒ අය අපේ පවුල්වල අය නොවෙයි

මම- එතකොට මට අංකල් කිව්වේ ඇයි? අංකල් කියන්නේ විශ්ව විද්‍යාලයෙන් අවුට් වෙච්ච අයටද? කොහොමද ඔය අයියලා සහ අංකල් ලා වෙන් වෙන විදිය තීරණය කරන්නේ? අයියා කෙනෙක් අවුට් වෙලා අවුරුදු කීයක් ගියාමද අංකල් කෙනෙක් වෙන්නේ?

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- දැන් ඔය සම-සෞඛ්‍ය විද්‍යා පීඨය (Faculty of Allied Health Sciences) මං මෙහේ ඉන්න කාලේ තිබුණේ නෑ. ඒකේ ඉගෙන ගන්න අය මොනවාගේ රැකියාවලටද යොමුවෙන්නේ.

ශිෂ්‍යයෙක්- සෞඛ්‍ය සේවයේ හෙදියන් සහ දොස්තරලා අතර තියෙන හැම සේවාවකටම පිරිස් පුහුණු කරන්නේ මේ සම සෞඛ්‍ය පීඨ පාඨමාලාවලින් තමයි.

මම- එතකොට, මේ සම-සෞඛ්‍ය පීඨ පිහිටුවන්න කලින් ඒ ජොබ්වලට පිරිස් පුහුණු වුනේ කොහොමද?

ශිෂ්‍යයෙක්- ඒ අය රැකියාවලදීම පුහුණු වුනා!

මම- ඇයි, දැන් එහෙම කරන්න බැරිද?

ශිෂ්‍යයෙක්- නමුත් හැම දෙයක්ම දියුණු වෙන්න ඕනෑ නේ.

තවත් ශිෂ්‍යයෙක්- මෙහෙමයි, මීට අවුරුදු හතරකට(?) කලින් A/L කෙමිස්ට්‍රි පේපර් එකේ ලකුණුවල පොඩි වරදක් සිද්ධ වුණා. ඒ නිසායි, මේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨ පිහිටෙව්වේ!

මම- ඒ කියන්නේ මේ සම-සෞඛ්‍ය විද්‍යා පීඨ පටන් අරගෙන තියෙන්නේ වැරදීමකින් එහෙනම්?

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- පුතා, ඔයගොල්ලෝ මීට වඩා හෝම් වර්ක් කරලා එන්න ඕනෑ මේ වගේ ප්‍රශ්ණවලට උත්තර දෙන්න.

ශිෂ්‍යයෝ- හි, හි, හි!

මම- හොඳයි එහෙනං ජයවේවා. මං ගියා!

මට තිබුණු විනාඩි පහ ඉවර වුණු නිසා මං එතැන තිබුණු ආධාර පෙට්ටියට සල්ලි කොලයක් ඔබලා ආපහු එන්න ආවා.

-කතන්දරකාරයා

ප/ලි:
කෝකටත් කියලා, මං එතැනදී ගත්තු ෆොටෝ එකේ කොල්ලන් ගේ මුණු තියෙන හරිය කපලා දැම්මා.

Wednesday, 21 May 2014

ඇති පදං බස් තියෙද්දී කාර් එකේ ගෙදර යෑම - Free and easy travel plan goes crazy!


සාමාන්‍යයෙන් කතාවට කියන්නේ "බස්තියං ඇයි පයින් යන්නේ?" කියලනේ.

හැබැයි මේ මගේ කතන්දරේ නං බස්තියං කාර් එකේ ගිය කතාවක්. කාර් එකේ ගිහිල්ලා අම්බානක පරිප්පුවක් කාපු සිද්ධියක් ගැන කතන්දරයක්!

දැන් ටික කාලෙකට ඉස්සර මං වැඩ කළා කොළඹ නුවර පාර අයිනේ පිහිටා තියෙන එක්තරා තිප්පොලක.

මේ කාලේ හාමිනේයි මායි, අපි දෙන්නා, අළුත බැඳපු ජෝඩුව, අර සත්ගුණවත් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ ගෙදර කුලියට ගන්න වැඩේ හරි ගියේ නැති නිසා, කතන්දර හාමිනේ ගේ ගමන් පහසුව පිණිස පදිංචි වෙලා හිටියේ ගම්පහ අර රිමෝට් කොන්ට්‍රොල් ඇන්ටි ගේ ඇනෙක්සියේයි.

ඔය කියන කාලේදීම තමයි මං කලින් දවසක කියපු "අඩෝ! උඹ බැඳලා නේද යකෝ?" කියන කේස් එක වුණෙත්.

ඔය දවස්වල මං උදේට කරන්නේ ඇනෙක්සියේ ඉඳලා ගම්පහ ප්‍රධාන බස් නැවතුමට ඇවිදගෙන ගිහින් කොළඹ යන බස් එකක නැගලා හුලං වැදි, වැදී ෂපාන් එකේ ඉඳගෙන යන එකයි.

උදේට එහෙම වුණාට හවසට වැඩපොල ලඟ ඉඳලා ගම්පහට එන එක නං ටිකක් අමාරු වැඩක්.

මොකද, කොළඹ ඉඳලා එන ගම්පහ බස් මේ හරියට එන කොට කට කපලායි එන්නේ. යන්තං ඇඟිල්ලක් දෙකක් ගහ ගන්න විතරයි ඉඩ තියෙන්නේ!

නමුත් ඉතිං, වැඩ ඇරුණම ගෙදර නොයා මක් කරන්නද?

අනික, මේ බැඳපු අළුත!

ඔය දවස්වල අපේ වැඩපොලේ හිටියා තවත් හාදයෙක් ගම්පහ පැත්තේ ඉඳලා වැඩට එන. ඒ මදිවාට පොරට සමහර දවසට ගෙදර යන්නේ කාර් එකකයි.

සමහර දවස්වලට ඔන්න ඉතිං මටත් පොට්ට චාන්ස් එකක් වදිනවා ඒ කාර් එකේ නැගලා ගෙදර යන්න.

දවසක් මං දැක්කා, මංතුමා වැඩ ඉවර කරළා පිටත් වෙන්න හදන කොටම අපේ කාර්කාර පොරත් පිටත් වෙනවා.

"මිස්ට මලිත් ගම්පහ නේද යන්නේ?" මං ඇහැව්වේ බලාපොරොත්තු නිකං ඔලිම්පික් පහනක් වගේ දල්වාගෙනයි.

"ගම්පහ තමයි යන්නේ, බැහැයි ඊට කලින් වෙනිං ගමණක් යනවා පාදුක්කේ, ටිකක් පරක්කු වෙයි!" මලිත් කිව්වා කාර් එකට නගින ගමන්.

"හා කමක් නෑ! කොහොම හරි අන්තිමට ගම්පහ හරහා නේ යන්නේ". මං පුරුදුකාරයා වාගේ කාර් එකට පැන්නා.

"හැබැයි අපි පරක්කු වෙනවා!" පොර ආයේ පොඩි වෝනිං එකක් දුන්නා.

මං බැලුවා වෙලාව. හවස හතර හමාරයි. මේ වෙලාවට කොළඹ ඉඳලා එන බස් ගැන කියලා වැඩක් නෑ.

මං "ඕ.පු. මොනවා වුණත් කාර් එකේ යන එක තරම් සැපක් කොහෙද බස් ගමනේ?" කියලා හිතලා තවත් හරි බරි ගැහිලා වාඩි වුණා.

කාර් එක යන්න පිටත් වුණා.

එහෙනං මං කියන්නං පොඩි කතාවක් අපේ කාර්කාර මලිත් පොර කතන්දරයක් කියන්න පටන් ගත්තා.
ඔන්න දවසක් අපි යාළුවෙක්ව ඩ්‍රොප් කරන්න වෑන් එකේ කටුනායක එපාපෝට් එකට ගියා හවස් වරුවක. එතනින් ආපහු එන්න එන කොටම එයාපෝට් එකේ වැඩ කරන දන්න කියන ගම්පහ මනුස්සයෙක් මුණ ගැහුණා වැඩ ඇරිලා ගෙදර යන්න යන.

මිනිහා ඇහැව්වා ගම්පහට නේද යන්නේ? මටත් එන්න පුළුවනිද කියලා.

මං කිව්වා, ගම්පහ තමයි යන්නේ හැබැයි අපි මුලින් අනුරාධපුරේ ගිහින් තමයි ගෙදර යන්නේ කියලා.

ඒත් මෑන් හිනාවෙලා කාරෙකට නැග්ගා. අපි මීගමුව පහු කරලා යන කොට පොර තරමක් නිදි.ඒ් වෙනකොට නං මෑන්ට තේරිලායි තිබුණේ කර ගත්තු වැරැද්ද. අන්තිමේදී අපි පුත්තලම හරහා අනුරාධපුරේට ගිහිල්ලා ඒ ගිය වැඩේ පැයකින් දෙකකින් විතර කරගෙන ආපහු ගම්පහට එන කොට රෑ එකත් පහුවෙලා!

ඉතිං ගම්පහින් දාන්නේ නැතුව අපි මෑන්ව ගෙදර ලඟටම ගිහින් බැස්සුවා.
මලිත් ගේ ඒ කතාව කියලා ඉවරවෙන කොට මටත් ටිකක් සැකයක් ඇති වෙලායි තිබුණේ මං කර ගත්තේත් අර මලිත් කියපු කතනාදරේ වගේම ගොං වැඩක් ද කියලා!

මගේ සැකය හරියටම හරි.

ඔන්න ඉස්සෙලාම මලිත් කාර් එකේ ගියා පාදුක්ක ට.

ඒ යන අතරේ අතර මග කඩේක පැය බාගයකටත් වැඩිය කල් ගත කලා.

පාදුක්කේ මලිත් ලා ගේ නෑ කෙනෙකුගේ ඉඩමක් බලන්නයි මේ ගමන ගිහින් තිබුණේ.

එතැනින් පිටත් වුනේ හවස හතත් පහුවෙලා.

ඒ වෙනකොට වැඩිය ට්‍රෑෆික් තිබුණේ නැති හින්දා ගම්පහට ආවා යාන්තං අටහමාර විතර.

වැඩපොළ ලගින් බස් එකක කොළඹට ගිහින් එතැනින් ආපහු බස් එකක (ඉඳගෙන) ආවත්, මට ගෙදර එන්න තිබුණා මීට පැයකට දෙකකට කලින්!

"බස්තියං කාර් එකේ යනවා" කියන්නේ මෙන්න මේ වගේ පරිප්පු කෑම්වලටයි.

කොහොම වුනත් කටුණායක ඉඳලා අනුරාධපුරය හරහා ගම්පහ යන එකට වඩා කිරිබත්ගොඩ ඉඳලා පාදුක්ක හරහා ගම්පහ යන එක තරමක් හෝ හොඳයි, නැද්ද මං අහන්නේ!


-කතන්දරකාරයා

(image: http://tvaraj.com/2012/08/18/six-word-saturday-august-14-2012-mad-guy/)