

පොඩි කුමාරිහාමී බ්ලොග් එක ලියන ප්‍රවීනා පළිපාන ගැන නොදන්න අය ඉන්නවා ද මන්දා?
මේ කියන පොඩි කුමාරිහාමි පසුගිය දිනයක ඇගේ "ගෙඹි කුමාරයා" එක්ක විවාහ වුණු බවයි එයා ගේ බ්ලොග් එක කියවන අපි හැමෝටම තේරුණේ.
ගෙම්බෝ ගැන කතා කරන කොට අනිවාර්යෙන්ම මතක් වෙන නමක් තමයි "ගාමිණී ගේ විජිතය" ලියන ගාමිණී විජිත් සමරකෝන් කියන බ්ලොග්කාරයා. ගාමිණී කියන්නේ එසේ මෙසේ පොරක් නොවෙයි, තමන්ගේ නමින් පඳුරු මැඩියෙක් (ඔව්, ඒ කියන්නේ ගෙම්බෙක් තමයි) නම් කිරීමෙන් උපහාර ලබපු කීපදෙනාගෙන් එක් කෙනෙක්.
ඒ "සමරකෝන් ගෙම්බා (Pseudophilautus samarakoon)" ගැන විස්තරේ මෙතනින් බලන්න.
http://gaminievijith.blogspot.com/2013/03/37.html
ගාමිණී මං දන්න තරමින් වනාන්තර ගැන පොත් දෙක තුනක්ම ලියලා තියෙනවා.
ඉන් එකක් තමයි "යාල නැගෙනහිර අහිමි වනමං" කියන පොත.
මෙන්න ඒ පොත ගැන පොඩි කුමාරිහාමි ලියපු විචාරය හෙවත් පොත්-කතන්දරය.
ගාමිණී විජිත් සමරකෝන් ගේ "යාල නැගෙනහිර අහිමි වනමං" (පොඩ්ඩිගේ මුල්ම ග්‍රන්ථ විචාරය)
වනාන්තරය කියන කොටම හිතට එන්නේ නිශ්ශබ්දතාවයයි. ඒ නිශ්ශබ්දතාවයට ඇහුම්කන් දුන්නොත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න හැකියි.
හිස එක එල්ලේ ඔසවා අඳුර තුළින් දඩයක්කරුවෙකු ඒවිදැයි බලමින් අවදානමට සූදානම් වීම, හිතට පමණක් නොව ගතටත් දැනෙනා බිය, නිහඬව කරන කුරුමානම් ඇල්ලීම, උගුරු දඬු ඉරා ගනිමින්, ලේ වගුරුවමින්, ජීවත්වීම සඳහා කරන සටන් වගේ ගොඩාක් දේවල්.
වනාන්තරය තුළ තියෙන්නේ ගුප්ත මායාකාරී, හිත ඇදගන්නා ගතියක්.
ඒ වගේම උදේට ගස් අතුරින් අඳුර මකමින් ගලා එන හිරු රැස් පොකුරු, උදෑසන සීතලින් තෙත්වුණු මල් කැකුළු, දේදුන්නෙන් ආවා වැනි සමනල රෑන්, උස් කන් ඔසොවා බලා හිඳිනා මුව පැටව්, සුළඟේ ගීතයට නටනා නිල් මොනරු වගේ හිත සතුටින් පුරවන දේවලුත් වනාන්තරයේ අනන්තවත් තියෙනවා.
පොඩි කාලේ ආර්.එල්. ස්පිටල්ගේ Wild White Boy (සුදු වැද්දා ) සහ Where the White Sambhur Roams (සුදු ගෝනා) කතා දෙක නර්තනයෙන් ඉදිරිපත් කරලා පෙන්නුවේ අම්මා.
සුදු වැද්දා, කිඹුල්ලු සතුන්ගේ මස් කන්නේ නැහැයි කියලා හිතාගෙන වතුරට බැස්ස හැටි, රනී කොහෙන්දෝ හොයාගත් මල් හිසේ දවටගෙන සුදු වැද්දා එක්ක දීග යන හැටි, වැදි පවුලේ කෙනෙක් සුදු වැද්දා උයපු කෑම කාලාකැලේට ගිහින් ඇවිත් "අපරාදේ හොඳ කෑම ටික අපතේ ගියා!" කියමින් දුක් උණු හැටි තාමත් හිතේ ඇඳිලා තියෙන්නේ ඒ කතාව තුළ ජීවත් වුණු හන්දා වෙන්ට ඇති.
ඒ මතකයට යළිත් පණ ලැබුණේ ගාමිණී විජිත් සමරකෝන් ගේ "යාල නැගෙනහිර අහිමි වනමං" පොත තුළින්.
ගාමිණි විජිත් සමරකෝන් මුලින්ම මා දැනගත්තේ බ්ලොග් රචකයකු ලෙසින්. ඔහු වනජීවී සංරක්ෂණ නිලධාරියකු වගේම වන ජීවීන්ට,වනයට ආදරේ කරන්නෙකු බවත්, තමන් ලද අත්දැකීම් අප හා බෙදාගැනීමට තරම නිහතමානී සොඳුරු මිනිසෙකු බවත් දැන ගත්තේ ඔහුගේ "යාල නැගෙනහිර අහිමි වන මං" පොත කියවීමෙන් පසුව.
මුලින්ම ඔහු කොළඹ කොටුවෙන් මඩකලපුව බලා දිවෙන තැපැල් දුම්රියට නගින්නේ අපවත් රැගෙනයි. එතැන් සිට ඔහු යන හැම තැනකම අපව ගෙන යා හැකි සරල, සුගම භාෂා විලාසයක් ඔහු සතුයි. එකම රටේ වුවත්, දෙමළ හා මුස්ලිම් ජනයා වාසය කරනා පෙදෙස් හා සංස්කෘතික ලක්ෂණ ඔහු විස්තර කරන්නේ අතීතයේ එක් දිනෙක සැවොම එක්ව ජීවත්වූ අපූරුවත් එදා සහ අද අතර වෙනස සිහිවීමෙන්, සිත් තුළ දුකකුත් ඇති කරමින්.
මේ ග්‍රන්ථයේ විශේෂ ලක්‍ෂණයක් හැටියට මා දකින්නේ ගම් වැසියන් ගැන විස්තර කිරීමේදී ගාමිණී සමරකෝන් දක්වන කරුණාවයි.
ගම්වැසියනට මූණ දීමට සිදුවන ගැහැටවලට හොඳම උදාහරණය තමයි දැවැන්ත වල් අලියකගේ පහර කෑමට අසුවී මියයන, අසරණ මහලු කාන්තාව.
"මීටර දෙතුන් සීයක් ඉදිරියට ගිය අපට මදක් දුරින් දැවැන්ත දිවුල් ගසක් දකින්නට ලැබිණි. ඉදිරියේ සිටියකුගේ සංඥාව අනුව නැවතී සැලකිල්ලෙන් බැලු අපට දිවුල්ගස යට පොහොර මල්ලක් සහ රෙදි කඩමාලු පොදියක් තිබෙනු පෙනිණි. පිරිස නවතා, දෙතුන් දෙනෙකුසමග දිවුල් ගස යටට සෙමින් ළඟාවු මා දුටුවේ මගේ රාජකාරි ජීවිතයේදී දුටු අවාසනාවන්තම දසුනයි." (පිටුව 41)
ඒ වගේම වන ජීවීන් ගැන වුවත් ඔහු තුළ ඇත්තේ එබඳුම කරුණාවක්.
ගම්වැසියන්ගේ කඨෝර ජීවිතය වගේම වනජීවින් ජීවත්වීම සඳහා කරන අරගලයත් මේ පොතන් මොනවට පිළිඹිබු වෙනවා.
"මහත් වූ හඬක් නගමින් ජීප් රිය එන දිශාවක් නොදුටු කැලය තුළ සිටි ඇතින්න, පැටවාද පෙරටු කොටගෙන දුවයන්නට ඇත්තේ ඉන් ගැලවීගන්නට ය. පාරට දුව ආ ඇතින්න ජීප් රිය දැක්කේ අහම්බෙනි. පැටවාට එළඹිය හැකි අනතුරක් සේ හඳුනාගත් ජීප් රිය වළකාගන්නට ඇතින්න නිබයව ඊට පහර දුන්නා ය. පහර දෙන්න්ට දුව එද්දී හෝ ආපසු දුවයද්දී, ඇතින්න කිසිදු හඬක් නොනැගුවා ය." (පිටුව 73)
හිත සසල කරනා ලෙසින් කල තවත් සටහනක් නම් අත් හරිනා ලද පතලක සිටි ඇතින්නක් හා ඇගේ පැටවා ද ගොඩට ගන්නා අයුරුත් මව් ඇතින්නගේ හැසිරීමත් ය. රචකයා එය අහවර කරන්නේ මෙලෙසිනි.
"ගොඩට පැමිණි ඇතින්න පළමුව පැටවා ඉවරකර බැලුවා ය. අනතුරුව මුදුව කකුලෙන් පැටවා තල්ලු කළ ඇය ඊට ද ප්රුතිචාරයක් නොවූයෙන් සෙමින් ඔය දෙසත පියවර මැන්නා ය. පැටවකු බිහිවන මොහොතේ සිට මව් ඇතින්නක සහ පැටවා අතර ඇතිවන්නේ ලයාන්විතවූ දැඩි බැඳීමකි. එම බැඳියාව බිඳ දැමිය හැක්කේ මරණයට පමණි." (පිටුව 77)
තවත් මා අගය කල කරුණක් නම් සෑම පරිච්ඡේදයක දී ම එක් වන ජීවියෙකුගේ විස්තර පාඨකයා ඉදිරියේ තබන අපූරු ආකාරයයි.
කථාවෙන් විස්තර කර ඇති ප්‍රදේශයේ සංචාරය කර නැති මා වැනි අයට මීට වඩා විස්තර සහිත සිතියම් අඩංගු උනා නම් කියලා කතාව කියවාගෙන යද්දි සිතුණු වාර එමටයි. ඒත් එය කථාවේ රසයට කොහෙත්ම බාධාවක් නෙමෙයි.
පොත කියවීමෙන් අනතුරුව මගේ සිතට කරුණු දෙකක් නැගුණා.
ඉන් එකක් මේ අසරණ ගම්වැසියන් මෙන්ම වන ජීවින්ටද කළහැකි සියල්ල කෙරෙනවාද යන්නය.
දෙවැන්න නම් මිනිසා, වන සතුන් සමග වනය සාමයෙන් බෙදා හදා ගත යුතු බවයි.
එමෙන්ම අවසානයේ ඉතිරි වූයේ, හිතේ සතුටකුත් එක්ක හීනියට ඉතිරි කරලා ගිය ශෝකයක්.
"යාල නැගෙනහිර අහිමි වනමං" කෘතිය ශ්‍රී ලාංකික හැම දෙනෙක් විසින් අනිවාර්යයෙන් ම කියවිය යුතු පොතක් ලෙස නිර්භයව හඳුන්වන්න පුළුවනි.
ශ්‍රී ලංකාවේ පොතකට සම්මාන පිරිනමන්නේ කොහොමද කියලා මා දන්නේ නැහැ. ඒත් මේ පොත නම් එවැනි සම්මානයකට සුදුසු බව මගේ හැඟීමයි.
අවසානයට කියන්නට තියෙන්නේ ගාමිණී විජිත් සමරකෝන් නැමැති රචකයාට අපේ ජනතා සම්මානය මින් පිරිනැමෙන බවයි.
තමන් ලියපු මේ ග්‍රන්ථ විචාරය මගේ පොත්-කතන්දරයක් විදියට පලකරන්න එවපු ප්‍රවීනා පළිපාන ට මගේ ස්තුතිය.
-කතන්දරකාරයා
ප/ලි:
මීට කලින් කතන්දර බ්ලොග් එකේ තමන් ලියන කතන්දර පලකරන්න කියලා ගෑල්ළමයි මගෙන් ඉල්ලලා තියෙනවා. ඒ ගැන විස්තර (සහ කතන්දර කීපයක්) මෙන්න.
1. කතන්දරකාර මී මැස්සියක ගෙන් කතන්දරකාරයාට ලිපියක්
2. මෙන්න මී මැස්සිය ගේ බ්ලොග් එකේ ලිපිනය
3. තුන්වැන්නී නොහොත් සහායට ඩැනී ගෙන් කතන්දරකාරයාට ලිපියක් ඇවිත්!
4. තුන්වැන්නී - කතන්දර කාරයාට ලියා එවූ කතන්දරය - ලෙඩුන් බැලීම
5. තුන්වැන්නී ට තමන් ගේ ම බ්ලොග් එකක්.....!!!
6. චූටි ටීචර් කෙනෙක් එවූ චූටි කතන්දර කීපයක්- I
7. චීචර් කෙනෙක් විසින් කතන්දරකාරයාට ලියා එවූ දෙවෙනි කතන්දරය
8. චූටි ටීචර් ලියා එවන චූටි කතන්දර - 3
9. ගුරු සේවයේ තවත් රස කතන්දර - චූටි ටීචර් ලියයි
10. යෝවද තම්පව රෝමනු ජේසූ - චූටි ටිචර් ලියයි