Showing posts with label හේමාල් ජයවික්‍රම. Show all posts
Showing posts with label හේමාල් ජයවික්‍රම. Show all posts

Thursday, 19 September 2013

ආහ්චර්යලන්තයේ සුදු වෑන්වලින් යන පොලිස්කාරයින්, බිළිඳුන් ජාවාරමේ යෙදෙන දුෂිත දේශපාලුවන් සහ මරා දැමෙන පුවත්පත් කලාවේදීන් ගැන - A story from "Marvel-land"


අන්න මන්දනාත් රටින් ගිහිල්ලා. අහන්න දෙයක්යැ? ලසන්ත ගිය පාරේ යන්න කවුද කැමති, නේද?

සුදු වෑන් ගැන, ජාවාරම්කාර දේශපාලුවන් ගැන, මරා දැමෙන පත්තරකාරයින් ගැන, ඇස් කන් ඇරගෙන ජීවත්වෙන අයට අමුතුවෙන් කියන්න ඕනෑ නෑ නේ.

නමුත් ඒ කියපු දේවල් ගැන ලියවුණු නවකතා නම් මං කියවලා තියෙන්නේ හරිම අඩුවෙන්. එයින් එකක් තමයි හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" කියන නවකතාව.

හේමාල් ජයවික්‍රම පේරාදෙනියේ ඉගෙන ගත්තු ඉංජෙක්. පොර නැගී එන ගායකයෙක්. කවි, කෙටිකතාත් ලියනවා. දැන් මේ ලඟදී ඉඳලා අංකුර නවකතාකාරයෙක්.

මෙන්න සාහිත්‍ය මාසය වෙනුවෙන් පලවෙන පොත්-කතන්දර සීරීස් එකේ අද එපිසෝඩ් එක විදියට හේමාල් ජයවික්‍රම ගේ "මනුලී" නවකතාව ගැන පොඩි විචාරයක්.


සාහිත්‍යමය නිර්මාණයන් හි බොහෝ දුරට අඩංගු වන්නේ රචකයාගේ ප්‍රථමික හෝ ද්විතීය අත්දැකීම් වේ. තමන් ගේ අත්දැකීම්වලට වඩා මුළුමින්ම පරිබාහිර පසුබිමක් හෝ වස්තුබීජ හෝ පදනම් කරගෙන නිර්මාණකරනයේ යෙදෙන්නෝ ද සිටිති. හේමාල් ජයවික්‍රමට තම "මනුලී" ප්‍රබන්ධය සඳහා මූලික වස්තු බීජ සපයා ඇත්තේ, දරුවන් මුදලට විකිණීම, පාතාල ලෝකයේ අවි ජාවාරම් සහ මෙහෙනි සස්න යන, මා සිතන අයුරින්, ඔහුට කෙලින්ම අත්දැකීම් නොමැති කාරණා කිහිපයකි.

මෙවැනි ප්‍රබන්ධයක් රචනාකරන නවකතාකරුවා ට, තම නිර්මාණය සැබෑ ලෝකයට පරිබාහිරව තිබෙන සංසිද්ධීන් මාලාවක් පමණක් වීමේ අනතුරෙන් මුදවාගෙන යතාර්ථයට හැකිතාක් දුරට සමීප කිරීමට අවශ්‍යතාවයක් ඇතිවේ. එසේ නොවුණු විට, එනම් නිර්මානය යතාර්ථයෙන් දුරස් වූ විට, පාඨක චිත්ත සන්තානය තුල නිර්මාණය පිළිබඳව ඇතිවන්නේ අවිශ්වාසයකි.

මේ අවශ්‍යතාවය හොඳින් හඳුණාගෙන, ඒ සමගම, ඒ සඳහා නිර්මාණකරුවෙකු ට උපයෝගී කරගැනීමට ඇති විධිධ ක්‍රම මැනවින් ග්‍රහණය කරගෙන ඇති හේමාල් ජයවික්‍රම, තම නිර්මාණයේ දී එහි කතා වස්තුවට පරිසරය වී ඇති ශ්‍රී ලංකාවේ තත්කාලීන සමාජමය සංසිද්ධීන් හැකි සෑම තැනම අවශ්‍යය පරිදි සාර්ථකව යොදාගෙන ඇති බව පෙනේ.

කූප්‍රකට සුදු වෑන් වලින් ගමන් බිමන් යමින් සාක්ෂි සපයන්නන් එක්කෝ අනවශ්‍ය පරිදි බියගන්වා හෝ නැතිනම් සටකපටකම් මගින් රවටා හෝ විවිධ ආර්ථික වාසි ලබා ගන්නා පොලිස් නිළධාරීන්, අමානුශික ළදරු ජාවාරමක් මෙහෙයවන දේශපාලඥයින්, පක්ෂග්‍රාහීව, හිතවත්කම් මත පදනම්ව සහ ඊටත් වඩා තුන්වන සහ පස්වන සිල්පද කඩමින් ක්‍රියාත්මක වෙන දේශපාලකයින් සහ ඔවුන් විසින් නිදහස් කරගන්නා ලබන පොලිස් නිළධාරීන් මේ ප්‍රබන්ධයේ එන චරිත කිහිපයකි. ඔවුන් වටා ගොඩ නැගෙන සංසිද්ධීන් මගින් මේ ප්‍රබන්ධය නවකතාකරුවා ඉතා අගනා අයුරින් තාත්වීයකරණය කර ඇත.

"මනුලී" නවකතාවේ එන පුවත්පත් කලාවේදිනිය ගේ ඝාතනය මා සිත සසල කළේ ය. අප දන්නා පරිදි පසුගිය දශක දෙකක පමණ කාලය ඇතුලත ලංකාවේ පුවත්පත් කලාවේදීන් විසි දෙනෙක් පමණ ඝාතනය කර තිබේ. මීට අමතරව, පසුගිය වසර පහක පමණ කාලය තුල පැහැරගෙන ගොස් වද හිංසන වලට ලක් කරන ලද පුවත්පත් කලාවේදීන් සංඛ්‍යාව ද පනහ ඉක්මවයි. මින් බොහෝ දෙනෙකුට තම ජීවිත ආරක්ෂාපව පතා රටින් පැන යාමට සිදුවී ඇත.

ලංකාව පසුබිම් කොට ගෙන රචනා කෙරෙන ප්‍රබන්ධයක් තාත්වීයකරණය කිරීමට අද උපයෝගී කරගත හැකි මෙයට වඩා වෙනත් තත්කාලීන සත්‍යයක් තවත් නොමැති තරම් ය.

මා දකින ආකාරයට, හේමාල් ජයවික්‍රම ලියූ "මනුලී" නවකතාව, රචකයෙකුගේ ප්‍රථම නිර්මාණයකට වඩා ඉතා ඉහලින් පවතින්නකි. මේ ප්‍රබන්ධය ගොඩ නගා ඇති ආකාරය, චරිත නිර්මාණය, දෙබස් සහ භාෂා රටාව ගැන සලකන විට ඉස්මතු වී පෙනෙන්නේ නවකතාකරුවා ගේ පරිනතභාවය සහ කුසලතාවයි. මෙම කෘතියේ පසුවදනේ ද සඳහන්වෙන පරිදි, දීර්ඝ කාලයක් තිස්සේ සාහිත්‍ය නිර්මාණ ඇසුරින් හේමාල් ජයවික්‍රම ලබා ඇති පරිචය ”මනුලී” නවකතාවෙන් හොඳින් විදහා දැක්වේ යැයි මම සිතමි.


මෙය මාසික සඟරාවක (2011) පළවුණු ලිපියකි.

කතෘ ප්‍රකාශනයක් වන මනුලී නවකතාව සරසවි, ලේක් හවුස් සහ ගොඩගේ පොත්හල්වල විකිණීමට ඇති බව සැළයි.

-කතන්දරකාරයා