
රටේ ලෝකේ කීර්තිය ඉතිරිලා පැතිරිලා ගිය අයට තමයි සෙලිබ්‍රිටීස් එහෙම නැත්තං කීර්තිමත් පුද්ගලයෝ කියන්නේ. මේ සෙලිබ්‍රිටි ලා ගැන නොවැදගත් විස්තර පවා, ඒ කියන්නේ සෙලිබ්‍රිටි ගොසිප් අහන්න, කියවන්න, දැකගන්න කැමති ඈයෝ කොට්ඨාශයකුත් ඉන්නවා.
ඒ අයගේ අවශ්‍යතාවය සපුරන්න පත්තරවල පිටු ගණන්, වෙබ් සයිට්ස් විතරක් නෙමේ මුළුමණින්ම සතිපතා හෝ මාසිකව පලවෙන සඟරා පවා තියෙනවා.
පිපා ගේ තොප්පිය, කේට් ගේ යට සාය, සින්ටා ගේ කිස් එක වගේම රායි-බච්චන් ගේ සාරිය ගැනත් අපි දන්නේ ඔය මාකට් එකේ පවර් එකට අහක ඉඳල වුනත් ගොදුරු වෙන නිසයි. පැපරාට්සි කියන වෘත්තියක්ම ඇතිවෙලා තියෙන්නෙත් මේ හා සමගාමීවයි.
මාත් මේ යන්නේ ඒ වගේ සෙලිබ්‍රිටි ගොසිප් එකක් ලියන්නයි.
මූලික අරමුණ පැහැදිලියි නේ? සමහරු කියලා තිබුණු විදියට අඩුවෙලා ගිහින් තියෙන කතන්දර බ්ලොග් එකේ ජනප්‍රියතාවය වැඩි කරගන්නයි මේ වෑයම.
ඒකේ මුල් පියවර වුනේ පිරිමි සෙක්ස් ගැන හිතන වාර ගණන, වයි-ෆයි මගින් ශුක්‍රාණු මැරෙනවද හොයපු හැටි වගේ දැනුම් සාගර වර්ගයේ ලිපි පල කිරීමයි. දෙවන පියවර සෙලිබ්‍රිටි ගොසිප්.
කතන්දර ජෝඩුව බැඳපු අළුත ඇනෙක්සි හොයලා හොයලා, අන්තිමේදී ඇන්ටිගේ ඇනෙක්සියට පදිංචියට ගියා. නමුත් ඉතිං හැම ජෝඩුවේ ම වගේ අපේ හිතේ වැඩ කළෙත් අපේම කියලා කූඩුවකට යන එකයි.
දෙමව්පියන් ගේ පිහිටෙන් උරුම වුණු ඉඩං කෑලි දෙකක් ගං පලාත් දෙකේ තිබුණු නිසා, ඒකෙන් එකක් විකුණලා "කොඹළ හරියෙන්" ගෙයක් ගන්නයි අදහස් කළේ.
ඉතිං කාලයක් තිබුණා, මං හැම ඉරිදාම සන්ඩේ ඔබ්සෝවර් එකේ ක්ලැසිෆයිඩ් ඇඩ්වටීස්මන්ට් කියවලා අයිතිකාරයින්ට කෝල් කරන.
ඔන්න එක ඉරිදාවක බැලින්නම් තිබුණා නුගේගොඩ හරියේ ගෙයක් ඇඩ්වර්ටයිස් කරලා. පරචස් මෙච්චරයි, ගේ මෙහෙමයි, අනුලා එක මෙච්චර ලඟයි යනාදී වශයෙන් විස්තර ගොඩයි.
හිතට අල්ලා ගිය හින්දා මං දැම්ම කෝල් එකක්. ගෑනු කෙනෙක් තමයි අනිත් පැත්තෙන් උත්තර දුන්නේ.
විකුණන්න තියෙන ගේ ගැන කතාබහ කරන අතරේ මෙන්න බොලේ මේ මනුස්සයා එක පාරට කියපි "මේක මේ අමරදේව මාස්ටර් ගේ ගෙදර!" කියලා.
"තන්ඩරින් ටයිපුන්ස් ඇන්ඩ් බ්‍රිස්ටරින් බානකල්ස්!" කිව්වලු. මං මේ කතාකරලා තියෙන්නේ විමලා අමරදේව එක්ක.
"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.
"අපි මේ හදන්නේ මේ ගේ විකුණලා ටිකක් ඈතින් ගෙයක් ගන්නයි", විමලා පෙරේරා කිව්වා.
"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.
වයසට යනකොට කලාකාරයින්ට ඕනෑ වෙනවා වගේ නගරයේ කළබලෙන් පලා යන්න. අතීත කාලෙක චිත්‍රසේන සහ වජිරා කොල්ලුපිටියේ ගෙදර විකුණලා කිරිබත්ගොඩ පැත්තට ගිය බව මං පත්තරේක කියවලා තියෙනවා. මේ මෑත කාලෙක වික්ටර් රත්නායකත් නාවින්නේ ගෙදර විකුණලා කඩුවෙල පැත්තට පසුබැස්සා මයෙ හිතේ.
"කොහෙද මේ මාස්ටර් කැමති නෑනේ, දේශපාලකයින්ගෙන් උදව් ගන්න, නැත්තං මේ ගේ විකුණන්න නෙමෙයි මං හිටියේ." විමලාවෝ එහෙමත් කිව්වා මට මතකයි.
"ආ ඇත්තද?" මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.
දැන් නං හිතෙනවා වෙලාවක් කතා කරගෙන ගිහින් ගෙදර බැලුවා නම් හොඳයි කියලා. නමුත් ඉතිං අමරදේවලා ගෙදර විකුණන්න හිතාගෙන හිටපු ගාණ අපි ගාව තිබුණු ගාණට වඩා දෙගුනයක් විතර වුණු නිසා මට හිතුනේ නෑ එහෙම බොරුවට ඒ මනුස්සයින් ගේ කාලය නාස්ති කරන්න.
ඔන්න ඔහොමයි මගේ සෙලිබ්‍රිටි ගොසිප් කතාව!
-කතන්දරකාරයා
තවත් ඕන්නං ලියන්නං මේ වගේ ගොසිප් ඕනෑ තරම්.
හැබැයි මෙන්න මේවා නං ගොසිප් කියලා සලකන්න එපා.
1. කැසට් මුදළාලි මාව රවට්ටලා මගේ සින්දු රැප් කළා - රෝහණ බැද්දගේ කියයි
2. භාතිය-සන්තූෂ් ලා ව මල්මාලා දාලා පිළිගන්න ඕනෑ - ජැක්සන් ඇන්තනි
3. පවතින රජයෙන් හෝ එහි නායකත්වයෙන් හෝ රටට, ජනතාවට, අපේ කමට, මහා විනාශයක් සිදුවේ යැයි ඉදිරියේ දී මට වැටහුණොත්, ඉදිරියේ දී මා එයට විරුද්ධව කතා කරනවා - සෝමරත්න දිසානායක
4. මල්ලී මං අද වෙන කොට ගායකයෙකුත් නෙමේ, සිනමා නළුවෙකුත් නෙමේ, වේදිකා නළුවෙකුත් නෙමේ! - කමල් අද්දරආරච්චි
පොඩ්ඩක් හෝව්, ඔය අන්තිම සෙලිබ්‍රිටි ගොසිප් නිවුස් එක වගේ එක තාම ලියලා නෑනේ.
දැන් ඉතිං කම්මැලිකම අතහැරලා ඒක ලියන්න වෙනවා!
(image: http://www.dailynews.lk/2011/07/06/art02.asp)