මට තියෙන එක ප්‍රශ්ණයක් තමයි එක කතාවක් කියන්න යනකොට වෙනත් අතුරු කතාවලට පැටලෙන එක. දැං දවස් දෙක තුනකට කලින් අර අරක්කු ඕනා කෝක් වානා කතාව කියන්න ගිහිනුත් ඒකමයි උනේ. කතාව දික් වුනා. ඉතුරු හරිය දෙවෙනි කොටසකට කල් දාන්නත් වුනා. මෙන්න ඒ දෙවෙනි කොටස අද.
ලංකාවෙ යුනිවසිටි කොල්ලන් ට අරක්කු බොන්න සල්ලි තියෙනවනං ඒ අරක්කු ෂැන්ඩි කරන්න කෝක් ගන්න සල්ලි නැත්තෙ ඇයි කියන එක ඉන්දියාවෙ ඉගෙන ගත්තු අපේ යාළුවෙකු ට තේරුනේ ම නෑ.
ආර්ථික විද්‍යාවෙ තියෙන ගිෆන් භාණ්ඩ කියන සංකල්පය මේ අරක්කු ඕනා, කෝක් වානා සංසිද්ධියට සෑහෙන්න සමාන කම් තියෙනව කියල මට හිතුන. ඒ විස්තරේ මෙන්න මෙහෙමයි.
ඔන්න දහඅටවෙනි සියවසේ ද කොහෙද කාලෙක අයර්ලන්තෙ අර්තාපල් වගාවට හෙනහුරා ලැබුව. වගා විනාශ වුනා. අර්තාපල් ගනං ගියා. එහෙ බත් කන්නෙ නෑනෙ. අර්තාපල්, තිරිඟු වලින් තමා කාබෝහයිඩ්‍රේට් ලැබුනෙ.
මෙතනදි අර්තාපල් මිල වැඩි වෙන්න හේතු වුනේ, අස්වැන්න අඩුවීම, ඒ කියන්නෙ සැපයුමේ, සප්ලයි එකේ අඩුවීම නිසයි. සාමාන්‍ය පාරිභෝහික භාණ්ඩ වල නම් මිල වැඩි වුනාම බඩු විකිණෙන එක අඩුවෙනව. ඒ කියන්නෙ ඉල්ලුම, ඩිමාන්ඩ් එක, අඩුවෙනව. තියෙන පොඩි අර්තාපල් ගොඩ කාර්යක්‍ෂමව බෙදල දෙන්න පුළුවන් ධනවාදී ආර්ථික ක්‍රමයෙ තියෙන ක්‍රමය ඒකයි. ඒ කියන්නෙ, මිල වැඩි වෙනව. ඇති හැකි අය ගන්නව. නැති බැරි අයට හුලං.
එහෙම කියන කොට තේරෙනව නේද වැඩේ අසාධාරණයි කියල?
මේ භාණ්ඩයේ මිල මත පදනම් වූ ක්‍රමයට තියෙන විකල්පය තමයි ස්ථාවර මිලකට සලාක ක්‍රමයට හැමදෙනාටම අර්තාපල් ගෙඩි දෙක තුන ගානෙ වෙන්න බෙදල දෙන එක. හැබැයි ඕක මේ සෙනසුරාදා පොලේ දි කරන්න පුළුවන් එකක් නෙමේ. ආංඩුව සේරම අර්තාපල් ටික අරගෙන, සමූපකාර හරහා, කූපන් පොතට අර්තාපල් ගෙඩිය දෙක ගානෙ දෙන්න වෙනව. මේ අතර කළු කඩ ඇතිවීම වලක්වන්නත් ඕනැ. ගමින් ගමට අර්තාපල් පොළු දාන්නත් ඕනැ. වැඩ කෝටියයි නේද?
ආපහු දහ අටවන සියවසේ අයර්ලන්තය ට යමු. අර්තාපල් කියන්නෙ සාමාන්‍ය පාරිභෝගික භාණ්ඩයක් නෙ. ඉතිං මිල වැඩි වෙන කොට විකිණෙන එක අඩුවෙන්න ඕනැ. නමුත් එදා අයර්ලන්තෙ හිටිය ගිෆන් කියන ආර්ථික විද්‍යාඥයට තේරුණා එහෙ වෙන්නෙ ඒකෙ අනිත් පැත්ත කියල. අර්තාපල් ගනං යන්න, ගනං යන්න ඉල්ලුම තව තවත් වැඩිවුනා.
ගිෆන් කාරය මේ ගැන හොව්ව. මෙන්න මිනිහ ගෙ පැහැදිලි කිරීම.
අයර්ලන්තෙ හිටියෙ දුප්පත් මිනිස්සු. ආදායම සීමා සහිතයි. මස් සහ අර්තාපල තමයි ප්‍රධාන ආහාරය. අර්තාපල් ගනං යන කොට මේ ගොල්ලන්ට ඉස්සෙල්ල අර්තාපල් අරං ඉතුරුවෙන සල්ලි වලින් කොහොමටත් මස් ගන්න බෑ. ඉතිං ගොඩ දෙනෙක් කලේ ඒ ඉතිරි මුදලෙනුත් අර්තාපල් ම ගන්න එකයි. මේකෙන් අර්තාපල් ඉල්ලුම වැඩි වුනා!
මිල වැඩි වෙනකොට ඉල්ලුම වැඩි වෙන භාණ්ඩ වලට එනිසා ගිෆන් භාණ්ඩ කියල කියනව.
ලංකාවෙ කැම්පස් කොල්ලො කෝක් දාල ෂැන්ඩි කරන්නෙ නැතුව අමුවෙම අරක්කු බීවෙත් මේ අයර්ලන්ත කතාවෙ වගේම හේතු හින්දයි. උන්ගෙ තියෙන තුට්ටු දෙක අරක්කු වලට ගියාම, කෝක් ගන්න සල්ලි නෑ!
හැබැයි අරක්කු කියන්නෙ ගිෆන් වර්ගයේ පාරිභෝගික භාණ්ඩයක් නම් නෙවේ. මිල වැඩි වෙන කොට විකිණීම වැඩි වීමක් වාර්තා වෙලා නෑනෙ.
මට හිතෙන විදියට එදා අයර්ලන්තෙ අර්තාපල් කේස් එකට කිට්ටුවෙන් යන ලංකාවෙ ගිෆන් භාණ්ඩය නම් ළදරු කිරි පිටි. ළදරු කිරි පිටි ගණං යන කොට අම්මලා ට තමන් ට පෝෂ්‍යදායී ආහාර ගන්න සල්ලි නැති වෙනව. ඉතිං, අම්මල ගෙ පෝෂණය අඩු වුනාම වෙන්නෙ, තව තවත් ළදරු කිරි පිටි වලට ඉල්ලුම වැඩි වෙන එක විතරයි.
තවත් කතන්දරයක් සමග ලඟදීම හමුවෙමු.
කතන්දර කාරයා ට කමෙන්ට්ස් දැමූ, ඊ මේල් එවූ හැම දෙනාටම ස්තුතියි.
හති වැටෙන කොට ඒව නිකං ග්ලූකෝස් වගේ.