Showing posts with label සාරි. Show all posts
Showing posts with label සාරි. Show all posts

Wednesday, 29 December 2010

කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!


බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටේ දුවේ උඹට නැත කාරිය

ඔය විරිදු පදේ අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු විරිදු පෙලක කොටසක්.

දැං ඔය සාරි කිව්වාම ජාති දෙකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් සාරිය කියන්නේ ඉන්දියානු සාරියටයි. ඒ කියන්නේ අර අනාදිමත් කාලෙක ජයා බහදූරිලා, හේම මාලිනී ලා වගේ අය හින්දි චිත්‍රපටිවල ඇඳපු සාරියයි. දැන් ඉන්න හින්දි නිලියෝ නං අඳින්නේ අමුතුම සාරි ජාතියක්. තාමත් සෝනියා ගාන්ධි ලා අඳින්නේ ඒ පරණ සාරියම තමයි.

සිංහල සාරියට කියන්නේ ඔසරිය කියලයි. අර මාල හතක් දාන්නේ ඒ ඔසරිය අඳින කොටයි.

අපේ ආච්චී, අම්ම ගේ අම්මා ඇන්දේ ඔසරිය. එයාගේ ගම හොරණ පැත්තේ. හැබැයි අපේ අම්මා අපි ලොකු කාලේ වෙනකම්ම ඇන්දේ ඉන්දියානු සාරියයි.

කොළඹ පැත්තේ ඉපදුණු අනිත් ආච්චී, තාත්තා ගේ අම්මා, ඇන්දේ ඉන්දියානු සාරිය. එයා ගේ දූවරු, අපේ නැන්දලා, ඇන්දෙත් ඒ ඇඳුම ම යි.

කතන්දර හාමිනේ නං සාරි අඳින්නෙම නෑ හා සමානයි. අපේ වෙඩිම දවසෙයි, හෝම් කමින් එක දවසෙයි ඇන්දට පස්සේ ආයෙ සාරියක් ඇන්දේ මාස හයකට විතර පස්සේ යාළුවෙකු ගේ මගුල් ගෙදරක යන්නයි.

මං හා හා පුරා කියල එයාට තෑග්ගකට අරං දුන්නු සාරිය නං එයා කවදාවත් ඇන්දෙ නෑ!

මේ අපි බඳින්න ඉස්සර කාලේ. ඒ සාරිය ටික දවසකින්ම මාත් අඳුනන ඇන්ටි කෙනෙකුට තෑගි දුන්නා මං කඩෙන් ගන්න කොට දාල දුන්නු බ්‍රව්න් පේපර් බෑග් එකේ තියෙද්දීම.

මල් පොඩි වැඩියි කියන්නෙ!

අනේ පව් කතන්දරකාරයා නේද?

එතකොට ඒ ඇන්ටිට ඒ මල් පොඩි වැඩි නැද්ද, අනේ මන්දා?

මගේ ඒ දවස්වල මාසෙක පඩියෙන් පහෙන් එකක් ම (20%) දීල සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුවයි ඒ තෑග්ග ගත්තෙ.

ඒ පාඩුව ගැන හිතේ ඇතිවුණු දුකයි, තෑග්ග රිජෙක්ට් වීම ගැන දුකයි දෙකම වසං කරගෙන, තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නේ දෝ කියල මං ඔන්න ඔහේ හිත හදා ගත්ත.

-කතන්දරකාරයා

ප/ලි
මං ලියන්න ගියේ මේ කතන්දරේ නෙමෙයි, වෙන එකක්. ලියන්න ගියේ සුදු සාරි ඇඳීම ගැනයි. ලියවුනේ කහ සාරිය ගැනයි.
සුදු සාරි කතාව ඊලඟට බලාපොරොත්තු වන්න.

ඒක සුදු කොඩි කතන්දරේට වඩා ඒක වෙනස් එකක්.