Showing posts with label indranama. Show all posts
Showing posts with label indranama. Show all posts

Thursday, 6 January 2011

W3Lanka ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ


ඔය දිග ටයිටල් එක ඇත්තටම මේ කතන්දරේ මාකටින් වල කොටසක්. ඒකේ තේරුම සහ අරමුණ ඔහොම කියවගෙන යන කොට මීටර් වෙයි.

කාලයක් තිස්සේ W3Lanka බ්ලොග් එකේ ගිය ලිපි බැලුව මිසක් ඒවා ලියන්නේ කවුද කියල මං දැනගෙන හිටියෙ නෑ. දවසක් ඊ-මේල් එකක කූඹියා ද කොහෙද ලියල එව්ව ඒ බ්ලොග් එක කරන්නේ පරා කියල පොරක් කියල. අසෙනිය කුසුම 2009 වීඩියෝ ක්ලිප්ස් බලද්දි තමයි දැක්කේ මේ කවුද කියල හරියටම. එදා පරා ගේ බ්ලොග් එකට හොඳම කාලීන බ්ලොග් අඩවියට ලැබෙන සම්මානය ලැබුණ නේ.

ඔය අතරේ, ගිය අවුරුද්දේ අග හරියේ දවසක ඒ W3Lanka බ්ලොග් එකෙන් ම තමයි දැනගත්තේ මේ පරා නවල් එකක් ලියල කියල. මේක අහපු මට පොඩි පහේ ජොලියක් ගියා. මොකද පොතක් ලියනව කියන්නේ ලෙසි පාසු දෙයක් නෙමේ නේ, ජීවිත කාලයක් පෙරුම් පිරිය යුතු දෙයක්. මැරෙන්න කලින් කරන්න ඕනැ දෙයක්.

ඔය සේරම කතා එක්ක කතන්දර පෝස්ට් එකක් දැම්මේ ඒ ජොලිය නිසායි.

ටැබූ කාරයා නං හිතන්නේ පොත් ලියන එක බොරු වැඩක් කියලා. පොර ඔය කතාව තැන් දෙක-තුනකම ලියල තිබුණ.

ඩෙස්මන්ඩ් මොරිස් ගේ අනුගාමිකයෙක් වෙන ටැබූ ගේ පොඩි තියරියකට අනුව බඳින්න කලින් මොන තරම් ලව් කළත්, අන්තිමේදී ප්‍රපෝසල් එකකින් බඳින එකා තමන්ටම සහකරුවෙක් හොයාගන්න බැරි වුණු පරිනාමිකව දුබලයෙක්. ඒ තියරියේ ම පොත් ලිවීම සඳහා වූ දිගුව තමයි, ටැබූ කියන්නේ පොතක් ලියාගන්න තරම් නිර්මාණ ශක්තියක් නැති, ධෛර්යක් නැති, දුබලයෙක් ය කියන එක. ඇයි පොර කවදාකවත් පොතක් ලියන්නේ නැහැල්ලු නේ!

ඉතිං, පරා ලියපු පොතේ නම ශාස්තෲ. ඒකෙ ප්‍රධාන චරිතය ඉන්ද්‍රනාම. ඉන්ද්‍රනාම කියන්නේ හිටපු ජෙප්පෙක්.

ශාස්තෲ දොරට වැඩීමේ උත්සවයට යන්න වෙන්නේ නැති බව මං කලින් ම දැනගෙන හිටිය. යන කෙනෙකුට කියල පොතක් ගෙන්න ගන්න කියල හිටියත්, එදා මහ අනෝරා වැස්සෙ ඒක කරගන්න බැරිවුණා.

පස්සෙ තමයි දැක්කෙ තැපැල් මගිනුත් ශාස්තෲ පොත ගෙන්න පුළුවන් කියල. මනි ඕඩර් එක තැපැල් කරල පොත තැපෑලෙන් එන්න කලින් මං ගියා මරදානේ ගොඩගේ ල ගෙ, ජයකොඩි ල ගෙ, සුරිය ල ගෙ කඩ ටික වන්දනා කරගෙන එන්න. එදාම තමයි පරා ත් ශාස්තෲ පොත් පිටපත් පොත් කඩවල්වලට දාන්නේ.

බ්ලොග් එකේ තිබුණු මොබයිල් එකට කෝල් එකක් දීල, මරදානෙදි පොර හම්බවෙන්න පුළුවන් වුණා. සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගත්ත තවත් ශාස්තෲ කොපියක්. ආනන්ද මාවතේ තිබුණු පොඩි කඩේකට ගොඩවෙලා පොඩි බීම කුප්පියක් බොන ගමං පරා එක්ක පොඩි පහේ චැට් එකක් දාන්නත් පුළුවන් වුණා.

පොර අර 2009 වීඩියෝ එකේ හිටිය වගේ නෙමෙයි, දැන් පෝනි ටේල් එක කපලා!

එදා ගෙදර ඇවිත් බැලින්නං, තෑපෑලෙනුත් ශාස්තෲ පොතක් ඇවිත්. ඒ වැඩිපුර ශාස්තෲ පිටපත මං දුන්න රසික සුරියආරච්චිට පුළුවන් නං විචාරයක් වගේ එකක් ලියන්න කියල.

මගේ ශාස්තෲ පිටපත ගිය සතියේ කෝච්චියේ යද්දි, එද්දි කියවල ඉවර කළා.

වචන දෙක තුනකින් කියනව නං, ශාස්තෲ කියන්නේ කියවන්න වටින පොතක්. පරා ට හොඳ නිර්මාණ ශක්තියක්, භාෂා පරිචයක් වගේම, ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව ගැන පැහැදිලි අදහසකුත් තියෙන බවයි මට හිතෙන්නේ.

ඒ සේරටමත් වැඩිය, ආදරය කිරීම සහ රමණය ගැන මේ පොතේ තියෙන හොඳ සෘංගාරාත්මක කෑලි ටිකක් තියෙනව. තමන් ගේ හාමිනේට පවා කියවන්න දෙන්න හොඳ පොතක්, ඒ අතින්.

කුලය සහ මව් කෙසේ වෙතත්, කාලය, දීපය, දේශය අතින් ශාස්තෲ නවකතාවට සමාන නවකතාවක් වන ලියනගේ අමරකීර්ති ලියපු අටවක පුත්තු ගැන හොද පොසිටිව් විචාරයක් ලියපු ටැබූ කාරයා, පරා ගේ ශාස්තෲ නවකතාවට නිකං දෙඤ්ඤං බැටේ ආකාරයේ විවේචනයක් කලේ ඇයි ද කියන එක මට සෑහෙන්න ප්‍රශ්ණයක්.

සමහර විට ඩෙස්මන් මොරිස් ගේ හරි, ලියෝන් ට්‍රොට්ස්කි ගේ හරි තියරියකින් ඒ ප්‍රශ්ණයට නිවරදි විශ්ලේෂණයක් හොයා ගන්න පුළුවන් වෙයි.

ඊට මීට වැඩිය හොඳයි මට ආයෙ පාරක් ශාස්තෲ කියවන එක.

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න ශ්‍රාස්තෲ නවකතාවෙන් පොඩි පොඩි ඇපිටයිසර් කෑලි කීපයක්

(පිටු 24, 25 සහ 26)
ලජ්ජාශීලීත්වයට සහ නිදහස් ලිංගිකත්වයට එක ගෙයි විසිය නො හැකිය. මගේ රාගී උමතු දෑස සතු දිව්‍යමය බලය හැර යාමේ සමත් කමක් නෙළුම් තුල තවමත් ඇතැයි මට සැක සිතිණි. එහෙත් මගේ ගුප්ත බලය පිළිබඳව මා තුල ඇති විශ්වාසය තහවුරු කරමින්, මොහොතකට පසුව, ඇය මද සිනා පා දෙපයම මා දෙස දිගු කළා ය.

මම බංකුව පාමුලට ඇදී ගොස් .. .. ඇගේ පා මගේ උරහිස් මතින් පහතට ඇද දමා කලවා යුග්මය මැදින් මුහුණ හොවා ගතිමි. මුදු උණුසුම්, තුනී කපු කලිසමට යටින් ඇගේ වසා රොද අග්ගිස්ස මගේ මුහුණෙහි තැවරිණි.

මම ඇය වෙනුවෙන් ප්‍රේමයේ පුජාව පැවැත්වීමි. සත්තකින්ම ඇයට සිහි නැති විය. ඇය දෙවියන් දකින්නට ඇත. සුරාන්තය අපේ ආගම අනුව දෙවියන්ට සමීප ම මොහොතකි. ඒ නිමේෂයේදී පෙම්වත්තු සියලු ලෞකික බැඳීම්වලින් විනිර්මුක්ත ව දෙවියන් සමග සරති. ඇතමෙක් දෙවියන් දුන් බිජුවට ද ගැබෙහි පැළ කර ගනිති.


ප/ප/ලි:
මං ලියපු මේ කතන්දරේ නොතේරුණු අය සඳහා මෙන්න පැහැදිලි කිරීම.
http://kathandara.blogspot.com/2011/01/blog-post_08.html