Tuesday, 30 March 2010

මට මතක තියෙන අතීතයක් ඔබට මතක නෑ


කතන්දරකාරයාගෙ මතකය සාමාන්‍යයෙන් ඉතා හොඳයි. නැත්තං කොහොමද මේ පරණ කතන්දර ලියන්නේ ලවක් දෙවක් නැතුව? උදාහරණයක් විදියට කියනව නං 1992 මැයි 28 වෙනිදා වගේ ඈත දවසක මොනවද කලේ වගේ දේවල් පවා මට හොඳට මතකයි. සමහර විට මගේ පරණ මිත්‍රයො පුදුම වෙනව මං කියන පරණ කතා අහල.

නමුත් ඉතිං කාට කාටත් අමතක වෙන දේවල් තියෙනවනේ!

ඔන්න පහේ පන්තියෙදි තිබුණු ජනප්‍රිය පාසැල් තරග විභාගෙදි ගණං වලට තිබුුණ එක ප්‍රශ්ණයක් තමයි, භාග සංඛ්‍යා කිහිපයක් අවරෝහණ ක්‍රමයට සකසන්න. පොදු ගුණාකාරය අරගෙන ඔය වැඩේ කරන විදිය නොදන්නේ කවුද? ඒත් පොඩි ප්‍රශ්ණයකට තිබුණෙ අවරෝහණ කියන්නේ වැඩිවීගෙන යන පිළිවෙලටද, අඩුවේගෙන යන පිළිවෙලටද කියන එක මට අමතක වීමයි. භාග සංඛ්‍යාවක උඩ තියෙන්නේ ලවය ද නැත්තම් හරය ද, හෘදය වස්තුවේ උඩින් තියෙන්නේ කර්ණිකාව ද නැත්තම් කෝෂිකාව ද, පිරිසිදු ලේ යන්නේ ධමනිවල ද නැත්තම් ශිරාවල ද වගෙ දේවල් තමා මට නිතරම අමතකවෙන්නේ.

හැබැයි පුතෝ ඕව පොඩි පොඩි දේවල්. හොඳ හොඳ විසඳුම් පවා තියෙනවනේ!

හැබැයි ක්‍රමාණුකූලව අමතක වෙන්න පටන් ගන්නේ නම් කසාද බැන්දට පස්සේ කියලයි මට හිතෙන්නේ. ඔන්න ඉස්සෙල්ලාම ගෙදර බොස් ගේ බර්ත් ඩේ එක අමතක වෙනව. ඊලඟට වෙඩින් ඇනිවර්සරි එක අමතක වෙනව.

හැබැයි පුතෝ ඕව නං අන්තිම දරුණු දේවල්. අර ආරෝහණ, අවරෝහණ, ශිරා, ධමනි වගේ නෙමේ!

ඉතිං දැන් ටික කාලෙකට කලින් මටත් ආව ඔය අමතක වෙන ලෙඩේ. කෙටිකාලීන මතකය හොරයි. මේකට හේතුව නම් දිගු කාලීන මතකය ලියන්න හාඩ් ඩිස්ක් එකේ හැම සෙක්ටර් එකක්ම, හැම ක්ලස්ටර් එකක්ම වගේ පාවිච්චිකරල තියෙන නිසා බවයි මගේ අදහස.

මේකට ඉතිං, හාඩ් ඩිස්ක් එක ඩී-ෆ්‍රැග්මන්ට් කලාට මදි, ජන්ක් ෆයිල්ස් අයින් කරල, පරණ ෆයිල් ටිකක් සිප් කරලවත් දාන්න ඕනැ.

ඔය අමතකවීම් පටන් ගත්තු මුල් කාලෙ දවස් තුන හතරක්ම ඔෆිස් එකෙන් පිටත්වෙලා කෝච්චියෙන් ඇවිල්ල බැස්සහමයි මතක් වුනේ යතුරු කැරැල්ල ඔෆිස් එකේ බව. මේකට හේතුව තමයි මගේ යූ.එස්.බී. ඩ්‍රයිව් එක අමුණල තිබුනෙ ඒ යතුරු කැරුල්ලට වීම.

දැං ඒක වෙනම බෙල්ලෙ එල්ලගෙනයි ඉන්නෙ මාලයක් වගේ.

ඉතිං අද කතන්දරේට මුල් වුණු සිද්ධිය මේකයි.

දැන් මාස නමයකටත් වැඩිය ඉස්සර දවසක මං ඔෆිස් එක ලඟ පාරේ ඇවිදගෙන යන ගමං ගොඩ වුනා පොත් කඩේකට. එතනදි මං දැක්කා අපූරු පොතක්.

"ඔබේ මතකය දියුණු කරගන්න!"

එහෙං මෙහෙං පෙරලල පොත බලන කොට දැක්ක විවිධ ක්‍රම සහ විධි, චාට්, බුද්ධි පරීක්‍ෂණ ප්‍රශ්ණ වගේ වැඩ කෝටියක් තියෙනව.

ඉතිං සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගත්ත පොත සුද්ද වගේ.

ඔන්න දැං මාස පහකට විතර කලින් බෑග් එකක් අස්කරන කොට හම්බ වුනා මේ පොත ඒක අස්සෙ තිබිල.

වහාම අරගෙන හොඳට පේන්න මේසෙ උඩ තියාගත්ත, එදාම රෑට කියවන්න පටන්ගන්න හිතාගෙන.

මේ කතාව ලියන්නේ වැඩ ඇරිල ගෙදර යන ගමං කෝච්චියේදි.

ගෙදර ගිය හැටියෙම අර "ඔබේ මතකය දියුණු කරගන්න!" පොත හොයාගෙන බලන්න ඕනැ.

කතන්දරකාරයා

14 comments:

  1. කියලා වැඩක් නෑ බං .... මටත් අම්බානක short term memory loss එකක් තිවුනා... දන්නා අඳුරන පොඩිඋන් පවා හිනාවෙවී උපදෙස් දෙන්න ගත්තා... කාලා වරෙන් කියලා ලිව්වා විභාගයක්.... බොලේ මෙන්න ඊට පස්සේ බඩු ගොඩ...? මට හිතෙන්නේ මචෝ ඒකාකාරී වැඩ වල දීර්ඝ කාලයක් නිරතවුනොත් අර mind mapping ද මොකද්ද කියන ගතියට කෙලවෙනවා.... මට කෙලම වෙච්චි case එකක් ...උඹ හරියටම හරි...

    ReplyDelete
  2. හත් ඉලව්වයි මේක කිව්වමයි මතක් උනේ අයියගේ දුවව පන්තියෙන් අරන් එනව කියල කිව්ව කියල. දැන් ඉතින් දුවපන්කො.

    ReplyDelete
  3. ඔයාල පිරිමි හින්දයි මම මේ කියන්නේග ඇත්තටම පිරිමින්ගෙ කෙටි කාලීන මතකය බොහොම දුර්වල බව විද්‍යාඥයෝ සොයා ගෙන තියනවගකොල්ල කාලේ නම් අමාරුවෙන් හරි මතකතියා ගත්තත් විවාහවුනාට පස්සෙ ලෙඩේ දරුණූ වෙනව.

    ඒත් ආදරෙත් එක්ක ඒක ටිකක් විතර වෙනස් වෙනවග හොදම උදාහරණය තමයි ගග මගේ තාත්තග තාත්තාගේ උපන් දිනයවත්ල පවුලේ කාගෙවත් නම්වත් (සුරතල් නම් නෙමෙයි )මතක නැහැ කවදාවත්, ඒත් ආණ්ඩුවෙ රැකියාවක් කරපු නිසා පුරවන පෝම්වල වැටියට ඒවා නැතිවම බැරි නිසා මම තමයි අවුරුද්දමුලදිම ගන්න දිනපොතේ ඒ සියල්ල ලියල දෙන්නෙග

    හැබැයි තාත්තට එක්කෙනෙක්ගෙ නමත් උපන් දිනයත් හොදමට මතකයිගගගගගග ඒ වෙන කාගෙද මගේ තමයි.....
    ඊයේ නම ඇහුව වගේ දැන් ඉතින් අහන්න එපා උපන් දිනේ කවදද කියල ......

    ReplyDelete
  4. කොයි මේ කතාවෙ දෙවෙනි කොටස?
    අමතක වුනාද? නැත්තන් හිතා මතාම අමතක කළාද ?

    http://kathandara.blogspot.com/2009/11/lankendia.html

    ReplyDelete
  5. අයියෝ මේ ගගගගගගගගගගගගගගගගග කියල තියෙන්නෙ තිත් පේළි හොදද. දැන් බලන්න ගැහැණු අපේ දිගු කාලීන මතකය වගේම කෙටි කාලීන මතකයත් හොද වුනාට ..ඇස් දෙක ඉස්සරහ තියෙන දේ හරියට අදුන ගන්න බැරි වුනානේ ..........

    ReplyDelete
  6. ela...matath tiyenawa oya lede....habai smaharunata amathaka wenne waaasiyata witharai...

    ReplyDelete
  7. මම හිතාගෙන හිටියේ මේ උපන්දින, ඇන්වසරි අමතක වෙන එක මට විතරක් විශේෂ වූ ලෙඩක් කියලා . . බලාගෙන ගියාම පොදු ලෙඩක් නෙ ද බං. . හික් හික් . .

    ReplyDelete
  8. Wooooooow . . .
    අපේ කසූ ගේත් හිට්ස් 50,000ක් පැනලා . . .
    හුරේ . .. .
    අපිට පර්ටියක් ඔනේ . . . .

    ReplyDelete
  9. සමහරුන්ට තමන්ට අමතක වෙන ලෙඩක් තියනවා කියන එකත් අමතක වෙලානේ තියෙන්නේ...........

    ReplyDelete
  10. @ All
    සියළුම ප්‍රතිචාර වලට ස්තුතියි.

    @මකරා
    දාඤ්ඤං, දාඤ්ඤං, ඉවසා හිටිං!

    @දුකා
    මෙන්න පාටිය
    http://kathandara.blogspot.com/2010/02/blog-post.html

    ReplyDelete
  11. අපොයි දැන් ඉවසන් හිටියා මදිද?
    මාස 6කුත් වුනා, කතාවෙ දෙවෙනි කොටස තවම නෑ

    ReplyDelete
  12. LOL.. මරු මතකෙ... :D
    මටත් ඔය රෝග ලක්ෂණම පොඩ්ඩ පොඩ්ඩ තියෙනවා.. ;)
    හැබැයි අවුල කියන්නෙ Short Term, Long Term ‍Memory 2ම අවුල.. :(

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.