Followers

Friday, December 18, 2009

පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක් - මුල් කොටස


ලංකාවෙ අපි හුඟ දෙනෙකුගෙ නමේ අඩු වශයෙන් කෑලි දෙකක් තියෙනවා. මුල් නම -ඒ කියන්නෙ අපේ ම නම සහ වාසගම - ඒ කියන්නෙ පරම්පරාවෙ නම. ඒ මදිවට සෑහෙන්න පිරිසකට තවත් නමක් තියෙනවා ඔය තමන්ගෙ නමයි වාසගමයි මැද්දෙන්.

ඉන්දුනීසියාව වගේ රටවල් වල නං එක නමක් විතරක් තියෙන අයත් ඉන්නවා. උදාහරණයක් විදියට හිටපු නායකයො වෙන සුකර්ණෝ සහ සුහර්තෝ දෙන්නම ඒක නාමධාරීන්.

තමන්ගෙ නම ඉස්සෙල්ල දාල, පරම්පරාවෙ නම අන්තිමට ලියන එක යුරෝපීය ක්‍රමයයි.

ඉස්සර කාලෙ අපේ ඇත්තො ලිව්වෙ පරම්පරාවෙ නම මුලින් ම -ගේ යන්නක් එක්ක. ඊ ලඟට තමන්ගෙ නම. දෙමල අයගෙ නං සම්ප්‍රදායික ලෙස මුලින් එන්නෙ තාත්තගෙ නම. ඊලඟට තමන් ගෙ නම. පරම්පරා නාමයක් නෑ. සමහර විට තාත්ත ප්‍රසිද්ධ කෙනෙක් වුණාම, ඒ නම වාසගම විදියට අරගෙන ඉස්සරහට අරං යන අයත් ඉන්නව.

ඔය පරම්පරා නමින් එහෙම නැතිනම් වාසගමින් පරම්පරාවෙ ඉතිහාසය හොයාගන්න පුළුවන්. ඉස්සර මට මතකයි පත්තර වල පොඩි තීරුවල පල කරනව තමන්ගෙ වාසගම වෙනස් කරල මිනිස්සු දාන දැන්වීම්. ඒ නොයෙකුත් කුල පිළිබඳ ප්‍රශ්ණ නිසයි.

මේ ලඟදි ටැබූ ගෙ ලිපියක් කියවල එතනින් මෙතනට ගිය මට වාසගම් ගොඩක් වර්ගීකරණය කරල තියෙනව දකින්න ලැබුණ.

හැබැයි මං මේ සැරසෙන්නෙ ඒ වාසගම් ගැන කතන්දර ලියන්න නෙමේ. මුල් නම් ගැන කියන්නයි.

මෙන්න මුල් නම් ගැන කතන්දර පොදියෙන් මුල් එක.

1.
වාසගමෙන් විතරක් නෙමේ මුල් නම් පවා කාලෙකට ඉස්සර වර්ගීකරණය කෙරිල තිබුණු බව මට කුසල් පෙරේරා ගෙ ලිපියක් කියෙව්වට පස්සෙ තේරුණේ.

මේ ලිපියෙ තියෙනව මෙන්න මෙහෙම. ඉස්සර ග්‍රීලන්ඩ්ස් (දැන් ඉසිපතන) විද්‍යාලෙ ඉගෙන ගත්තු ළමයෙකුගෙ නම හිරාන් කියල කිව්වහම ගුරුවරය අහනව ඔයා ක්‍රිස්තියානි නේද කියල?

ඒ කියන්නෙ අවුරුදු පනහකට, හැටකට ඉස්සර හිරාන් කියන එක බෞද්ධ පවුලක ළමයෙකුට දාන නමක් නෙමේ. දැන් නම් ඒ විශ්ලේෂණය වලංගු නෑ.

පුදුමයි නේද?

තව මේ ජාතියෙ නං ගැන කතන්දර ගොඩක් තියෙනව. ටික ටික දාන්නං.

කතන්දරකාරයා

මෙන්න දෙවන කොටස.
බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස

9 අදහස්:

  1. හපොයි, මතක් උණු වෙලාවේ කියන්නම්, ලමයින්ට නම් දානකොට එක නමයි වාසගමයි දාන්න..
    මගේ නම ලොකු වැඩියිලු. මෙහේ රෙජිස්ටර් වෙනකොට, නමේ මුල් කෑල්ලයි, අග කෑල්ලයි විතරයි දැම්මේ.. දැන් හරිම හුටප්පරේ.. මම ඒ නම් දෙකම පාවිච්චි කරන්නේ නෑ, සාමානයයෙන්.. ඉතිං මේක මහා ජංජාලයක් වෙලා තියෙන්නේ..

    මට 'හිරාන්' ගේ කතාව තේරුනේ නෑනේ.. ඒකේ තේරුම මොකද්ද? ඇයි ක්‍රිස්තියානිද අහලා තියෙන්නේ?

    ReplyDelete
  2. ඕක මචං හැටේ දශකයේ නෙමේ, මේ ලඟ කාලෙකදීත් තිබුනා කියලා මට හිතෙනවා මගේ නම තියෙන්නෙත් අර කිව්වා වගේ වාසගම මුලින්, නම අගින්. අන්තිම නම තමා 'ජනක'. ඕක කඩ්ඩෙන් ලිව්වහම 'ජනක' කියන්නත් පුලුවන් 'ජානක' කියන්නත් පුලුවන්නේ!
    ඔය දෙකේ වෙනසක් තියෙනවා කියලා හිතුනේ මම දෙකේ පන්තියේ ඉන්න කොට. මිස් මගේ නම කියවන්නේ ජානක කියලා. මම ගියෙත් කතෝලික ඉස්කෝලෙකට. මටත් ඉතින් ඕකෙ අමුත්තක් තේරුනේ නැහැ. දවසක් මොකක් හරි දේකට මිස් මගෙන් ඇහැව්වා 'ඉතින් පුතා ඔයා පල්ලි යන්නෙ නැද්ද?' හරි එ වගෙ මොකක් හරි කතාවක්. මම කිව්වා 'මිස් මම බෞද්ධ කියලා'. මිස් ඒ වෙනකම් හිතන් ඉඳලා තියෙන්නේ මමත් කතෝලික කියලා.
    එහ්ඩා ඉඳන් නම කියපු හැටිත් වෙනස් වුනා.
    අපේ අම්මත් කියන්නේ 'ජානක' කියන්නේ කතෝලික නමක් කියලා. මගෑ කරුමෙට මම දන්න ඔක්කොම 'ජනක' ලා ටිකත් බුද්ධාගමේ. කවුරුහරි දන්නවනම් කියන්න ඒක එහෙමද කියලා.
    මට හිතෙනවා දැනටත් නමේ බෙදීම් තියනවා කියලා.
    උදා:
    - ඇන්තනි: ක්‍රිස්තියානි/කතෝලික
    - ෆ්‍රැන්සිස්: ක්‍රිස්තියානි/කතෝලික (ගොන් උදාහරණ දෙකක්, දෙකම සුද්ද ගෙ නම් නේ )
    - ශෙහාන්: මම දන්න ඔක්කොම ශෙහාන් ල ක්‍රිස්තියානි/කතෝලික
    - මම දැනන් හිටපු ඔක්කොම නිශාන් ලත් කතෝලික. ඒ වුනාට මූණුපොතේ තව බෞද්ධ කියලා හිතන්න පුලුවන් කට්ටියකුත් හම්බ වුනා.

    ප:ලි:
    නරකද මේකෙ http://www.ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html එකට ලින්ක් එකක් දැම්මොත්? හැමෝටම ලේසියිනෙ?

    ReplyDelete
  3. ආයුබෝවන්, අද ඔබතුමා අඳුනාගන්න ලැබීම සතුටක් !

    දැන් පවා සමහර මුල් නම් දුටු විගස හිතෙන්නේ කතෝලිකයෙක් කියල නේද?
    හැබැයි බෞද්ධ ප්‍රනාන්දුලා ඉන්න බව මම ඇත්තටම දැන ගත්තේ ලඟදි :)

    ReplyDelete
  4. මල කෙලියයි... මගේ නමේ ඔය වාසගමක් කියල නමට ඉස්සරහින් තඩි හෑල්ලක් නෑ නොවැ... හුටා එකියන්නෙ මට පරම්පරාවක් නැද්ද දන්නෙ නෑ...

    මට ලඟදි අහන්න ලැබුනා වාසගම කොට උන් අඩුකුලේ උන් කියලා සමහර පලාත් වල සලකනවා කියලා... ඒක ඇත්තක්ද???? එහෙම උනොත් මට කෙල වෙන්නෙ කවදාහරි කසාදයක් කොරගන්න ගිය කලෙකට තමා... ;)

    ReplyDelete
  5. එක මුල් නමක් (first name)හා එක වාසගමක් (family name) විතරක් තියෙන එකේ වටිනකම නම් කියලා වැඩක් නෑ.

    අපේ නම් වල දිග හින්දා මාර චාටර් කන්න වෙනවා අප්පා! පිස්සාට වුන වැඩේට සමාන වැඩක් නේ මටත් වෙලා තියෙන්නේ..

    ReplyDelete
  6. තාමත් පත්තර වල නම් වෙනස් කරා කියලා දාන දැන්වීම් තියනවා.. හරි ‍හරි නම් තියනවා ඒවයේ.

    ReplyDelete
  7. De Alwis ක්‍රිස්තියානිද කියල මගෙන අහලා තියෙනවා. ඒ ඇර නම් ඔය ගැන වැඩිය අත්දැකීමක් නැහැ.

    ReplyDelete
  8. මගෙත් දිග හෑල්ල අයින් කරලා පුලුවන් තරන් ෂෝට් කරලා මේ පාවිච්චි කරන්නෙ...
    ඇත්තටම බෞද්ධ ප්‍රනාන්දු ලා ඉන්නවද? අදමයි ඇහුවෙ...

    ReplyDelete
    Replies
    1. ඔව්... බෞද්ධ ප්‍රනාන්දු ලා ඉන්නවා. මගෙ යාළුවෙක් ඉන්නවා එයාගෙ අන්තිම නම ප්‍රනාන්දු. ඒත් නමේ මුලට එන වාසගම වෙන සිංහල එකක්.

      Delete

කතන්දරේ ගැන මොකද හිතෙන්නේ? ලියන්න! Any comments, please?
(Comments are moderated and those with inappropriate content will be deleted).