Showing posts with label Speaking in English. Show all posts
Showing posts with label Speaking in English. Show all posts

Wednesday, 15 July 2009

සුද්ද ට පාර කියපු හැටි - My job as a tourist guide


මේකත් ටිකක් පරණ කතාවක්. මං ඇඩ්වාන්ස් ලෙවල් කරන කාලෙ වෙච්ච සිද්ධියක්.

මං එදා ගොඩගේ පොත් සාප්පුව පැත්තෙ ඉඳල මරදාන ස්ටේෂන් එක දිහාවට ඇවිදගෙන යනව. මෙන්න බොලේ සුද්දෙක්, ටුවරිස්ට් කෙනෙක්, මට කතා කලා.

මිනිහ ඇහෙව්වෙ "මං ටවුන් හෝල් එකට යන්නෙ කොහොමද? " වගෙ සරල ප්‍රශ්ණයක්. මගෙ තරම ගැන හිතල ද කොහෙද ඉතාමත් හෙමින්, පැහැදිලිව කතා කරපු හින්ද ද කොහෙද මට හොඳට තේරුණා අහපු දේ.

මරදානෙ ඉඳල ටවුන් හෝල් එකට යන හැටි නොදන්නෙ කවුද? ඒත් ඉතිං, කොහොමද ඕක මං ඉංගිරිසියෙන් කියන්නෙ.

මගෙ කටට ආවෙ එකම උත්තරයයි.

අයි ඩෝන්ට් නෝ!

සුද්ද කට ඇඹුල් කරගෙන යන්න ගියා.

ඉතිං මෙතන ප්‍රශ්ණෙ මෙන්න මේකයි. මං ඒ දවස්වල ඉස්කෝලෙ දි ඉංගිරිසි ඉගෙන ගත්තට, පන්තියෙ දි තියා වෙන කොහේදිවත්, කා එක්ක වත් ඉංගිරිසියෙන් කතා කරල නෑනෙ.

ඇත්තටම කියනව නං, මට සාමාන්‍ය පෙල ඉංගිරිසි වලට ඩිෂ්ටිංෂන් එකක් තිබුන. අපේ පන්තියෙ හිටපු අනිත් කොල්ලො සේරම ෆේල්. එක කෙල්ලෙකුට ක්‍රෙඩිට් එකක් තිබුන. තව දෙන්නෙක් පාස්. අනිත් උනුත් හැමෝම ෆේල්.

අපේ පන්තියෙ එකම ඩිෂ්ටිංෂන් එක ගත්තු එකාටත් කියන්න පුළුවන් උනේ "අයි ඩෝන්ට් නෝ" කියල විතර නම් ඒ ඉංගිරිසි ඉගෙනීමෙ ඇති වැඩේ මොකක්ද?

ඇඩ්වාන්ස් ලෙවල් කරල රිසල්ට් එනකං ඉන්න කාලෙ ලාල් සර් ගෙ "ස්පෝකන් ඉංග්ලිෂ්" පන්තියට ගියාට පස්සෙ තමයි පොඩ්ඩක් හරි ඉංගිරිසියෙන් කතා කරන්න ගටක් ආවෙ.

අවුරුදු දෙකකට විතර පස්සෙ ඉංගිරිසියෙන් කතා නොකර බැරි තැනකට වැටුණු වෙලේ, ඒ ගට හින්දයි ජාම් බේරගත්තෙ.

අයි ඩෝන්ට් නෝ මෙලෝ දෙයක් සිංහලෙන් නං ඕනැ දෙයක්!

-කතන්දරකාරයා

(image: http://kgsgoodfight.blogspot.com/2011/04/admit-when-you-dont-know.html)