
ඔන්න මං දෙකේ පන්තියෙ ඉගෙන ගනිද්දි අපේ පන්ති බාර ගුරුතුමිය වුනේ මාලවතී ටීචර්. ලාබාල කෙල්ලෙක් දැන් හිතල බලන කොට. ඒත්, ඒ දවස්වල නම් අපිට කොයි ටීචරුත් ලොකුම ලොකුයි. දෙකේ පන්ති දෙකෙන් අනිත් පන්තිය බාරව උන්නු ටීචර් නම් ටිකක් වයසක කොණ්ඩෙ සුදු සැර කෙනෙක් බවයි මට මතක.
අපේ මාලවතී ටීචර් නම් හරිම ශාන්ත දාන්ත පාටයි.
ඒ දවස්වල අපේ පන්තියෙ කොල්ලො ටීචර්ට හොරෙන් කියපු කවියක් තමයි මෙන්න මේක.
සීලවතී සිල් අරගෙන,
මාලවතී මල් අරගෙන,
කට්ට කුමංජල් අරගෙන,
පන්සල් යනවා!
ඉස්කෝලෙ හෝඩියෙ පන්තියයි, දෙකේ පන්තියයි අනිත් පන්තිවලට ඉස්සෙල්ල ඇරෙනවා. පන්තිය ඉවර වෙලා අපි "යෝවද තම්පව" කියන අතරේ මාලවතී ටීචර් හැමදාම කරන්නෙ, ඉක්මන් ගමණින් මහ පාරට යන එකයි. අපේ පාරෙ බස් වැඩ කරන්නෙ පැයකට එක පාරයි එක පැත්තකට. ටීචර් මේ යන්නෙ ඒ බස් එක අල්ල ගන්නයි. ඇයි බස් එක වැරදුනොත් එක්කෝ පැයක් ම ඉන්න ඕනැ, නැත්නම් හැතැප්මකටත් වැඩිය පයින් යන්න ඕනැ.
දවසක් පන්තියෙ හිටපු මං දැක්ක මාලවතී ටීචර් ඉස්කෝලෙ ඉඳල, ගුරු පාර දිගේ, මහපාර දිහාවට දුවනව. බස් එක එන සද්දෙ ඇහෙන්න ඇති. අනේ, එක පාරටම ටීචර් ඇදගෙන වැටුණ. අර සාරියකුත් පටලවගෙන කොහොම දුවන්නද? ගෑණි නැගිට්ට, ලැජ්ජාවෙන් වගෙ වටපිට බැළුව, පොත් පත් බෑග් ටික ඇහිඳගත්ත, ආයෙත් දිව්වෙ නැතිවුනත් හයියෙන් හයියෙන් පාර පැත්තට ගියා.
මාලවතී ටීචර් වැටෙනව දැක්කහම මට ඇතිවුනේ තරමක විනෝදාත්මක හැඟීමක් කියල කියන්න ඕනැ නෑනෙ.
මීට පසු කාලෙක අනූව දශකයේ දි මම දැක්ක ලංකාවෙ ටෙලිවිෂන් එකේ පෙන්නනව "ඇමෙරිකාස් ෆනියස්ට් හෝම් වීඩියෝස්" කියල වැඩ සටහනක්. ඒ ප්‍රෝග්‍රැම් එක පුරාම තිබුනෙ මිනිස්සු වැටෙන ඒවට හිනා වෙන එක තමයි.
මං පස්සෙ දවසක තමයි දැනගත්තෙ, මාලවතී ටීචර් ඒ දවස් වල කලබලෙන් දුවල ගිහින් තියෙන්නෙ යුනිවසිටි එකට යන්නයි කියල. අනේ පව්. උදේ වරුව උගන්නල, හවසට විතරක් යුනිවසිටි ගිහින් ඒ මනුස්සය කොච්චර මහන්සි වෙන්න ඇද්ද ඒ දවස් වල.
හැබැයි මාලවතී ටීචර් එදා වැටෙන්න ප්‍රධානම හේතුව තමයි ඇඳන් හිටපු සාරිය. ගවුමක් හරි, කලිසමක් හරි ඇඳල හිටිය නම්, වැටෙන්නෙ නැතිව දුවන්න විතරක් නොවෙයි, එදා බස් එක අල්ලගන්නත් තිබුණ.
ඒත් ටීචර් ල කොහොමද ගවුම් හරි, කලිසම් හරි අඳින්නෙ වැඩට. එක්කො සාරිය, නැත්නම් ඔසරිය. ඒක පත්වීමෙ ලිපියෙ තියෙන කොන්දේසියක් ද නැතිනම් ගෑනුන්ම හදාගත්ත එකක් ද කං දන්නෙ නෑ. සමහර විට නීතිගත කරල ඇති අර පාර්ලිමේන්තුවෙ ඇඳුම වගේ.
පිරිමි ගුරුවරුන් ට නම් කලිසම්, සරං, වේට්ටි, රෙදි එක්ක කොලර් ඇති, කොලර් නැති කමිස ඕනෑම සංයෝජනයකින් අඳින්න පුළුවනි. ඇයි සිවුරු, බුෂ් කෝට්, සෆාරි සූට්. බුදු අම්මෝ මිනිස්සුන් ට තියෙන චොයිසස්.
හරිම අසාධාරණයක් නේද ගුරු සේවයෙ ගෑනුන් ගෙ ඇඳුම සාරියටයි ඔසරියටයි විතරක් සීමා කරල තියෙනව නම්. ගවුමක්, කලිසමක් ඇන්දහම මොකද වෙන්නෙ? ඇයි සල්වාර් කමීස්!
දැන් කියන්නම් හොඳම කතාව. පස්සෙ කාලෙ මං ගිය ඉස්කෝලෙක හිටිය ඉංගිරිසි උගන්වන බර්ගර් ජාතික ටීචර් කෙනෙක්. නම ටානියා වෑන් ඩයික් වගෙයි මතක.
එයත් වැඩට ආවෙ සාරි ඇඳගෙන.
මහ ජාතියෙ ඇඳුම් සුළු ජාතියකට පැටවීමක් ද, ඒ?
මේ කතන්දරේ කියවන කෙනෙකුට පුළුවන් මෙන්න මේ කරුණු ටික හොයල කියන්න.
1. කාන්තා ගුරුවරියන් ට පත්වීමෙ ලිපියෙම කියල තියෙනවද වැඩට අඳින්න ඕනැ ඇඳුම?
2. ගවුම්, ස්කර්ට් සහ බ්ලවුස්, සල්වාර් කමීස් ඇන්දොත් මොකද වෙන්නෙ?
3. අර ඉන්ටර්නැෂනල් ඉස්කොල වල තත්වෙ මෙයිට වෙනස්ද?
තව දින කිහිපයකින් ආයෙත් ලියන්නම්.
- කතන්දරකාරයා
ප/ලි:
මෙන්න ඇත්තටම පස්සේ ලියපු කතාවක්.
මං මාලවතී ටිචර් ගේ දෙකේ පන්තියේ ඉඳලා තුනේ පාන්තියට පාස් වුණු හැටි.
(image: http://lankapura.com/)