Thursday, 31 December 2009

ආච්චි ලා ගේ බබා ලා ගේ නම් - IV


අද මෙන්න මගේ බබා ලා ගේ නම් සීරීස් එකේ "අන්තිම ලාස්ට්" කතාව.

මේක නං අමුතුම ආකාරයේ එකක්. මේ කතන්දරේ අස්සේ තව හොඳ හොඳ කතා තියෙනවා වගේ මට හිතෙන්නේ.

ගිය පාර කිව්ව ආච්චි ගෙ නම තියෙන මිණිපිරී ගැන කතන්දරේ මතකයි නේද? ඒක මගේ යාළුවෙක් සම්බනධ එකක්.

මේකත් ඒ කතාව වගේමයි. හැබැයි මං මේ කෂ්ටිය අඳුනන්නේ නං නෑ. වෙබ් එකෙන් හොයාගත්තේ.

වෙබ් එකේ තියෙන කතා සේරම ඇත්ත නෙමේ. හැබැයි මෙතන බලන්න.

http://www.anusha.com/daya.htm

දැක්ක නේද? ඒ අම්මගෙ නම "රන්කොත් පේඬිගෙදර දයාවතී". ඒ අම්මගෙ එක දුවෙකුගෙ නම අනුෂා.

http://www.anusha.com/anusha.htm

ඒ නම දාල තියෙන්නෙ බබා ගෙ ආච්චිව මතක් වෙන්නලු.

ආච්චිගෙ නම අනුෂා. අම්මගෙ නම දයාවතී. මිණිපිරී ගෙ නමත් අනුෂා.

වෙන්න බෑ නේද? අනුෂා කියල නමක් තියෙන කෙනෙක් තමන්ගෙ ළමයට දයාවතී කියල නම දායිද?

ඔය වෙබ් සයිට් එකේ තව හොඳ ලස්සන කතන්දර තියෙනව වගේ. හොඳට කියවල බලන්නකෝ.

ජොලි ගුඩ් නව වසරක් වේවා!

කතන්දරකාරයා

Wednesday, 30 December 2009

අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර III කොටස


මං ලියාගෙන යන බබා ල ගෙ නම් ගැන කතන්දර වලින් මේක තමා මං කැමතිම කතන්දරේ.

කලින් කොටස් වලට ලින්ක්ස් මෙන්න.
1. පලමුවෙනි කොටස
2. දෙවෙනි කොටස

සිංහල අපේ නම් වල බොහෝ විට තියෙන එක ලක්‍ෂණයක් තමා, මුල් නමෙන් තමන් ඉපදුනු කාල සීමාව හඳුනා ගන්න බොහෝ විට පුළුවන් වීම.

උදාහරණයක් විදියට, ලංකාවෙ නිදහසට කලින් ඉංගිරිසි ආණ්ඩු කාලෙ බොහෝ විට තිබුනෙ එක්කෝ සයිමන්, කරෝලිස්, ඇසිලින් වගේ විදේශීය නම් නැත්තං සිරිවර්ධන, සුමනදාස, කරුණාවතී වගේ දිග නම්.

ඊට පස්සෙ පරම්පරාවලට, ආනන්ද, නිමල්, සමන්, මල්ලිකා, රංජනී වගෙ කෙටි නම් වැටුන. හෂාන්, කුෂාන්, ඉෂිනි, ශෂිකා වගේ සොෆිස්ටිකේටඩ් නම් ආවෙ ඊටත් පස්සෙ පරම්පරාවලටයි.

හැබැයි මේ මොන නං සෙට් එක උනත් නගරයෙන් ගමට කාන්දුවෙන්න පරම්පරාවක් දෙකක් විතර ගියා. නමුත් මාපිය - දූ පුත් පරම්පරා වෙනස එහෙමමයි.

මේ හින්ද, මගෙ යාළුවෙක් ලියපු කෙටි කතාවක අම්මගෙ නම නිෂානි කියලත් දුවගෙ නම රංජනී කියලත් දාල තියෙනව දැක්කම මං කෙලින්ම කිව්ව ඒක අතාත්විකයි කියල. ඕක වෙන්න පුළුවන් අනිත් පැත්තටයි.

බටහිර ක්‍රිස්තියානි ක්‍රමය අනුව බොහෝ විට බයිබලයේ තියෙන ඩේවිඩ්, මැතිව්, මේරි වගේ නමක් දානවාමයි. දැන් දැන් අළුත් නම් පවා හදාගන්නව. නමුත් බොහෝ විට එකම නම් සෙට් එක තමයි කැරකෙන්නේ.

සම්ප්‍රදායානුකූලව බයිබලයේ නම් දාන අය කරන්නේ තමන්ගේ තාත්තා, අම්මා, මාමා, නැන්දා කෙනෙකුගේ නමක් ළමයින් ට දාන එකයි.

මේකයි අද කතාව.

මං අඳුණන සිංහල පොරක් ඉන්නව විදේශීය කාන්තාවක් බැදපු. දෙන්නම ඉන්නෙ පිටරටක. මේ දෙන්නගෙ පොඩි දුවගෙ නම මොකක්ද දන්නවද?

මල්ලිකා!

අවුරුදු පහක විතර ළමයෙකුට ඒ වගෙ නමක් තියෙන්න විදියක් නෑනෙ ලංකාවෙ ගම්බද පලාතක වුනත්.

පස්සෙ අහල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ. පොර දාල අම්මගෙ නම දුවට. වයිෆ් ලංකාවෙ නොවෙයි නිසා ඒ මනුස්සයට ඕව තේරෙන්නෙ නෑනෙ.

කොහොම හරි අන්තිමේදි වෙලා තියෙන්නෙ ශානුක වගේ හොඳ පොෂ් නමක් තියෙන මගේ යාළු පොර ගෙ දුවගෙ නම මල්ලිකා කියන පරණ පරම්පරාවෙ එකක් වීමයි.

-කතන්දරකාරයා

මෙන්න බබා ලගේ නම් ගැන කතන්දරෙ සීරිස් එකේ හතරවෙනි කොටස
ආච්චීලා ගේ බබා ලා ගේ නම්

Friday, 25 December 2009

බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස


සිංහල බ්ලොග්කරුවන්ගේ සාදයට එන අතරතුර පළ කරපු "පබා ල ගෙ සහ බබා ල ගෙ නම්" ගැන ලියවුනු බ්ලොග් පොස්ට් එකේ දෙවෙනි කොටසයි මේ.

මෙන්න අද තව පොඩි කතන්දර දෙකක්.

2.
මගෙ හොඳ යාළු කපල් එකක් තමන් ගෙ දුවට දාල තියෙන නම තමා හඳුණි!

මේක අහපු වෙලේම මට ඒ නමේ මොකක් හරි වැරුද්දක් තියෙන බව හිතුනා.

සඳුනි කියන නම නං නිතරම ඇහෙනව. ඒත් හඳුණි?

මේ නම ස්පිට්ල් ගෙ කතාවකින් ගත්තු එකක් කියලයි මට දැනුනෙ! ඒකයි අවුල.

මොකක්ද ඔහේලට හිතෙන්නෙ?

3.
තව මං දන්න කපල් එකක් හිටිය. ගෑනු මනුස්සයගෙ නම සැන්ඩි. මිනිහගෙ නම ජෑම්.

ටිකක් කල් යනකොට තමයි දැනගත්තෙ මේ කාන්තාවගෙ නම සඳලතා. එච්චර ලස්සන නමක් සැන්ඩි කියල විකෘති කර ගත්තු එක නං ප්‍රාණ ඝාතයකට සමානයි මට හිතෙන විදියට.

පිස්සු ඩබල් වුනේ ජෑම් කියන පොරගෙ නම ජයම්පති කියල දැන ගත්තට පස්සෙයි.

මේ ඇමරිකාවෙ හරි යුරෝපයෙ හරි වෙච්ච කතාවක් නෙමේ. ලංකාවෙ නගරබද තැනකදි මට හමුවුණු පවුලක් මේ දෙන්න.

ටික දවසකින් ආයෙ හමුවෙමු.

කතන්දරකාරයා

-මෙන්න තුන්වන කොටස:
මගේ අම්ම ගේ නම මගේ දුවට

Friday, 18 December 2009

පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක් - මුල් කොටස


ලංකාවෙ අපි හුඟ දෙනෙකුගෙ නමේ අඩු වශයෙන් කෑලි දෙකක් තියෙනවා. මුල් නම -ඒ කියන්නෙ අපේ ම නම සහ වාසගම - ඒ කියන්නෙ පරම්පරාවෙ නම. ඒ මදිවට සෑහෙන්න පිරිසකට තවත් නමක් තියෙනවා ඔය තමන්ගෙ නමයි වාසගමයි මැද්දෙන්.

ඉන්දුනීසියාව වගේ රටවල් වල නං එක නමක් විතරක් තියෙන අයත් ඉන්නවා. උදාහරණයක් විදියට හිටපු නායකයො වෙන සුකර්ණෝ සහ සුහර්තෝ දෙන්නම ඒක නාමධාරීන්.

තමන්ගෙ නම ඉස්සෙල්ල දාල, පරම්පරාවෙ නම අන්තිමට ලියන එක යුරෝපීය ක්‍රමයයි.

ඉස්සර කාලෙ අපේ ඇත්තො ලිව්වෙ පරම්පරාවෙ නම මුලින් ම -ගේ යන්නක් එක්ක. ඊ ලඟට තමන්ගෙ නම. දෙමල අයගෙ නං සම්ප්‍රදායික ලෙස මුලින් එන්නෙ තාත්තගෙ නම. ඊලඟට තමන් ගෙ නම. පරම්පරා නාමයක් නෑ. සමහර විට තාත්ත ප්‍රසිද්ධ කෙනෙක් වුණාම, ඒ නම වාසගම විදියට අරගෙන ඉස්සරහට අරං යන අයත් ඉන්නව.

ඔය පරම්පරා නමින් එහෙම නැතිනම් වාසගමින් පරම්පරාවෙ ඉතිහාසය හොයාගන්න පුළුවන්. ඉස්සර මට මතකයි පත්තර වල පොඩි තීරුවල පල කරනව තමන්ගෙ වාසගම වෙනස් කරල මිනිස්සු දාන දැන්වීම්. ඒ නොයෙකුත් කුල පිළිබඳ ප්‍රශ්ණ නිසයි.

මේ ලඟදි ටැබූ ගෙ ලිපියක් කියවල එතනින් මෙතනට ගිය මට වාසගම් ගොඩක් වර්ගීකරණය කරල තියෙනව දකින්න ලැබුණ.

හැබැයි මං මේ සැරසෙන්නෙ ඒ වාසගම් ගැන කතන්දර ලියන්න නෙමේ. මුල් නම් ගැන කියන්නයි.

මෙන්න මුල් නම් ගැන කතන්දර පොදියෙන් මුල් එක.

1.
වාසගමෙන් විතරක් නෙමේ මුල් නම් පවා කාලෙකට ඉස්සර වර්ගීකරණය කෙරිල තිබුණු බව මට කුසල් පෙරේරා ගෙ ලිපියක් කියෙව්වට පස්සෙ තේරුණේ.

මේ ලිපියෙ තියෙනව මෙන්න මෙහෙම. ඉස්සර ග්‍රීලන්ඩ්ස් (දැන් ඉසිපතන) විද්‍යාලෙ ඉගෙන ගත්තු ළමයෙකුගෙ නම හිරාන් කියල කිව්වහම ගුරුවරය අහනව ඔයා ක්‍රිස්තියානි නේද කියල?

ඒ කියන්නෙ අවුරුදු පනහකට, හැටකට ඉස්සර හිරාන් කියන එක බෞද්ධ පවුලක ළමයෙකුට දාන නමක් නෙමේ. දැන් නම් ඒ විශ්ලේෂණය වලංගු නෑ.

පුදුමයි නේද?

තව මේ ජාතියෙ නං ගැන කතන්දර ගොඩක් තියෙනව. ටික ටික දාන්නං.

කතන්දරකාරයා

මෙන්න දෙවන කොටස.
බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස

Tuesday, 15 December 2009

කැම්පස් කවි සහ චිත්තරපටි - දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 3



සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු ගැන කතන්දර කීපයක් තමා මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස අයි ඩෝන්ට් නෝ වයි ඔන්න මෙතනින් බලන්න. දෙවන කොටස වීසා ඔන් ඇරයිවල් ලියමින් ඉන්න වෙලේ කැම්පස් ඉන්න කාලෙ ලියපු කවියක් මතක් වුනා.

මෙන්න ඒක.

මවඃ
මිදුණු කඳුළැලි දෙනෙත වසාගෙන සිරවෙලා
නැමුණු හිස වකුටු වුනු සිරුර තුල සැඟවිලා
ගැමුණු ඔබ කිමද පුත නිදන්නේ ගුලිවෙලා
කියණු කිම කාරණා, කියනු නොම සඟවලා

පුතාඃ
එක පසෙක තුවක්කුය හිසට ඇත එල්ල කර
අනෙක් පස කැන්ටිමය කුසම ඇත මෙල්ල කර
අනෙක් පස ෆැකල්ටිය සිහිය ඇත විකල් කර
මා කෙලෙස නිදන්නද සුවෙන් අත පය දිගැර

ගියපාර දාපු දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2: වීසා ඔන් ඇරයිවල් කතාවෙදි මං කිව්ව නේද දුටුගැමුණු කොළු ගැටය කාලෙ තාත්ත එක්ක ඔරොප්පු වෙලා තාත්තව කිච කරන්න බ්‍රෙෂියර් පාර්සලයක් ඇරිය කියල.

මං දන්න තරමින් 1979 දී විතර, ලංකාවෙ මුල්ම කාටූන් චිත්‍රපටිය හැදුවෙ දුටුගැමුණු ගැනයි. අධ්‍යක්‍ෂණය කලේ ප්‍රියසාද් සහ අර්ථසාද් කියන දෙසොහොයුරෝ. හැබැයි ඒ ෆිල්ම් එක එක දවසෙන් ම තහනම් කළා ආණ්ඩුවෙන්. හේතුව ඔය තාත්තට බ්‍රෙෂියර් පාර්සලේ යවපු සීන් එක වගේ ඒව වෙන්න ඕනැ. කොහොම වුනත් දුටුගැමුණු ලොක්ක වගෙ කෙනෙක් ගැන කාටූන් චිත්‍රපටියක් හදන එක හොද නැහැයි කියලත් සමහරු හිතන්න ඇති.

දන්නව නේද? පහුගිය දවස්වල දුටුගැමුණු ගැන ෆීචර් ෆිල්ම් එකක් ම හදන්න පටන් ගත්තු බව. මේක අධ්‍යක්‍ෂණය කරන්නේ "දඬුබස්නාමානය", "අකාල සන්ධ්‍යා", "අග්නි දාහය" වගේ ඓතිහාසික පසුබිම ඇති නිර්මාණ ගොඩක් කරපු ජයන්ත චන්ද්‍රසිරි.

ඒ විත්‍රපටියෙ රඟපාන නිළියො ටික තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ!

එලාර ට ඉන්නෙ "අබා" හදපු ජැකා ලු.

බලමු මොනව වෙයි ද කියල!

දුටුගැමුණුල ගැන තව කතන්දරයක් තියෙනව. ලඟදීම ලියන්නං.

මෙන්න හතරවෙනි කොටස:

http://kathandara.blogspot.com/2011/03/blog-post_11.html

කතන්දරකාරයා -
දෙසැම්ර් 19 සාදයේ දී හමුවෙමු.

Saturday, 12 December 2009

[කතන්දරකාරයා] චාල්ස් ඩයනා - පිට රට දේ, සිරි සැප දේ!


සිංහල භාෂාවෙ තියෙනව හරි අරුම පුදුම කියමන්. ඒව පොතේ තියෙන කොට හරි ලස්සනයි. හොඳ අදහස්. හැබැයි ක්‍රියාවට නැංවීම නම් විරලයි. ඒ ප්‍රායෝගික බවක් නැති නිසා.

මේකට හොඳ උදාහරණයක් තමා - "සිය රට දේ, සිරි සැප දේ" කියන කියමන. ලස්සන වචන ටික. හොඳට රයිම් වෙනවා අර "කළ කළ දේ - පල පල දේ" කියන වාක්‍ය ඛණ්ඩය වගේ.

හැබැයි රටින් එන ෆොරීන් බඩු වලට කැමති අපට නං ඔය "සිය රට දේ, සිරි සැප දේ" කියන කියමන නිකං විහිළුවක් විතරයි. අපේ උදාන වාක්‍යය තමා "පිට රට දේ - සිරි සැප දේ" කියන එක. එකම අඩු පාඩුවකට තියෙන්නෙ මුල් වාක්‍ය ඛණ්ඩය වගේ හොදට රයිම් වෙන්නෙ නෑ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං මීට අවුරුදු පහලොවකටත් වඩා ඉස්සර දවසක ගියා දන්න අඳුනන ගෙදරක. ලොකු ගෙදරක්. හැබැයි සාලෙ හරිම පොඩියි. ඒ ගෙදර හදපු කාලෙ තිබුණු ක්‍රමයලු ඒක.

සාලෙ ට ගිය මට මුලින්ම පෙනුනෙ එතන මූලික තැනකින් තියල තිබුන මගුල් ෆොටෝ එකක්. මේ ගෙදර ලොකු පුතා බැඳල ඒ වෙන කොට. හැබැයි ඒ කපල් එකේ ෆොටෝ එකක් නම් නෙමේ ඒ තිබුනෙ. ඊට වඩා වැදගත් දෙන්නෙකු ගෙ එකක්.

හිතාගන්න පුළුවන්නේ, ඩයන ගෙයි, චාලි ගෙයි මගුලෙ ෆොටෝ එක තමයි එතන ප්‍රධාන ඡායාරූපය විදියට වැඩ හිටියෙ.

අර මේ ගෙදර පවුලෙම බැඳපු හාදයගෙ ෆොටෝ එකකුත් තිබුන, හැබැයි ඒ බඳින්න කලින් ගත්තු එකක්.

මෙයෙම ටික කලක් ගියාම, මේ ගෙදර තව ළමයෙක් කසාඳ බැන්ද. ඒ මගුල් ගෙදරට නම් මාත් ගියා මට මතකයි.

හැබැයි, අළුත් කපල් එකේ ෆොටෝ එකක් නම් සාලෙට ආව කියල පෙනුනෙ නෑ.

මං අන්තිමට දකින කොටත් ඩයනයි, චාලි යි තමයි සාලෙට වෙලා අපූරුවට හිටියෙ. උන් දෙන්නගෙ මගුලත් කැඩිල ගිහින් ඒ වෙනකොට එංගලන්තෙ.

ගෙදර උන්ගෙ මගුල් ෆොටෝ වගේ ද, රාජ කුමාරයින් ගෙ, කුමාරියන් ගෙ රාජකීය ගණයේ ඒවා!

පිට රට දේ - සිරි සැප දේ!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා සාදයේ දී හමුවෙමු!
මගේ පරණ කතන්දර බලන්න
1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Thursday, 10 December 2009

දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල් - Visa on Arrival


සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු කතන්දර කීපයක් තමා මං මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස "අයි ඩෝන්ට් නෝ වයි?" බලන්න මෙතනින්. දන්නවනෙ, ඒ මුල්කොටස මං එඩිට් කළ බව ළමා කෂ්ටියගෙ සිත් සතුටු කරන්න.

දුටුගැමුණු රජතුමා තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම් කියල මං කිව්වනේ. ඒකට හේතුව පොර ගැන අපිට කියල දීල තියෙන, තාමත් අපේ මතකයේ තියෙන කතන්දරයි.

ඕනැම කතන්දරකාරයෙක් කියන්නෙ තමන්ට කියන්න අවශ්‍ය, තමන් කැමති කතන්දර, තමන්ට ඕනැ විදියටයි. එදත් එහෙමයි. අදත් එහෙමයි.

දීපවංස, මහාවංස, චූලවංශ ඔය කොයි කොයි වංසෙ අය වුනත් කතන්දරකාරයෝ කතන්දරකාරයෝ ම යි.

මෙතනදි අපි මතක තියාගන්න ඕනැ දෙයක් තමයි කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන. ඇත්තම කියනව නං මං ඔය කියමන මුලින්ම ඇහැව්වෙ ළමා කාලෙදි අපේ ආච්චිගෙන්. මසුරං කතාව. හැබැයි අර එඩ්වඩ් ජයකොඩි කියනවා වගේ "හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා"!

මං මේ කතන්දරේ මුල් කොටසින් කිව්ව වගෙ අපි නොදැනුවත්වම අමතක කරන සත්‍යයක් තමයි දුටුගැමුණු ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2200 කට විතර ඉස්සරයි කියන එක. ඒ දවස්වල සමාජ දේශපාලනික තත්වය අදින් කොච්චර වෙනස්ද? අද තියෙන සංයුතියේ සිංහල ජනකොටසක් වත් අද ලංකාවෙ කතා කෙරෙන සිංහල භාෂාවක්වත් එදා තිබුණ කියල හිතන එක විහිළුවක්.

ඒ දවස්වල ලංකාව නිකං කටුනායක වගේ. ඔන්න විජය ල එනව, ඊලඟට පඬුවස්දෙව් ල එනව, බද්දකච්ඡායනා ල එනව, පස්සෙ මිහිඳු ල එනව, සංඝමිත්ත ල එනව. හරියට අද සුද්දො, යුරෝපාකාරයො, ඕස්ටේ්‍රලියන්කාරයො, ඇමරිකානුවො ලංකාවට එනව වගේ.

වීසා ඔන් ඇරයිවල්.

ඇත්තටම කියනව නං වීසා තියා "පාස්පෝට්" වත් නෑ. කෙලින්ම ගොඩ බහිනව. සමහර විට "පූස්-පාට්" එකෙන්. සමහර විට "රැස්පොට්" එකෙන්. නමුත් බොහෝ විට "බයි-ෆෝස්" එකෙන්.

මේ කෂ්ටිය ආවෙ මුළුමනින්ම ඉන්දියාවෙන් බව කියන්න ඕනැ නෑනෙ. ඉන්දියාවෙත්, ඒ කියන්නෙ ඒ දවස්වල තිබුනු ජම්බුද්වීපයෙත්, එදා සමාජ දේශපාලන තත්වය අද වගේ නෙමේනෙ. කොහොමටත් ඉන්දියාව විවිධ ජනවාර්ගික කොටස් ඉන්න රටක්. වීසා ඔන් ඇරයිවල් අරගෙන ජම්බුද්වීපයෙ ඉඳල ලංකාද්වීපයට ගොඩබැස්ස විවිධ කොටස් සමහර විට මව් රටේ ඉඳිද්දිම වලි දාගත්තු වලියට බර අය වෙන්න ඕනැ.

ඇයි ඒ මදිවට මෙහෙ හිටපු කෂ්ටිය. සුමන සමන් ල වගෙ උපාසක පොරවල් හිටිය තමා. නමුත් චුලෝදර ල, මහෝදර ල, මණිරක්ඛිත ල වැනි අති බහුතරය කවදත් වලියට බර පොරවල් නේ.

ඒ දවස්වල වලියක් ආවොත් ඔස්ලෝ යන්නෙ නෑ. කෙලින්ම කඩු ෆයිට් තමා.

ඉතිං මට හිතෙන හැටියට වෙන්න ඇත්තෙ මේකයි. විජය ඉන්දියාවෙන් ඇවිල්ල කුවේණිව ඩබල් ක්‍රොස් කරල රටෙන් කොටසක් අල්ලගත්ත. එදා ඉඳල කවදත් එහෙං මෙහෙං වලි තිබුණ රටේ එක එක පැති පාලනය කරපු අය අතර. සුභ සහ යස කොමඩියෙන් පස්සෙ සේන ල ගුත්තික ල වීසා ඔන් ඇරයිවල් අරං ලංකාව ට ඇවිත් රටේ රජකමට සෙට්වුනා.

අවුලක් නෑ, විජය ල, පඬුවස්දෙව් ල ත් කළේ එහෙමනෙ.

ටික කාළෙකට පස්සෙ එලාර සීන් එකට එන්ටර් වෙලා දැහැමෙන් සෙමෙන් ඒ පැත්ත පාලනේ කරන්න පටන්ගත්ත. එලාර රටේ අනෙකුත් පලාත්, ඒ කියන්නෙ, කැලණිතිස්ස ල ගෙ කැලණිය යි, කාවන්තිස්ස ල ගෙ මාගම යි යටත් කරගන්න හැදුවයි කියල නං මං අහල නෑ. කෂ්ටිය සාමකාමී සහජීවනයෙන් ද මොකක්ද එකෙන් ඉන්න ඇති.

අම්මගෙ පැත්තෙන් සීයයි, තමන්ගෙ තාත්තයි තම තමන්ගෙ පාඩුවෙ රජ කරගෙන හිටියට අපේ ගැමුණු කොල්ල පොඩිකාලෙ ඉඳලම ඒකට කැමති වුනේ නෑ.

දන්නවනෙ තාත්තට බ්‍රෙෂියර් යවපු කතාව?

අන්තිමේදි කොහොම හරි පොර ඉස්සෙල්ල රජවෙලා පස්සෙ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය එක් රැස්කරගෙන විජිතපුරය වට කළා. බර අවි යොදා ගෙන සම්ප්‍රදායානුකූල යුද්ධයක් කළොත් සිවිලියන් කැෂුවලිටීස් වැඩි වෙන නිසා එලාරයි දුටුගැමුණුයි ද්වන්ධ සටනක් කරල වැඩේ අවසානයක් කලා.

නමුත් එලාරව පරදල මුළු රටම අල්ලගත්ත කියල වීසා ඔන් ඇරයිවල් වැඩේ නැවතුනේ නෑ. චෝරනාග, මහානාග ල, නිශ්ශංකමලල ල, කන්දසාමි ල විතරයැ ලොරෙන්සෝ ද අල්මේද ල, වී.ඕ.සී ල, ජුසේ වාස් ල, ටොරිංටන් ල,.. ... ...

බුදු අම්මෝ ලැයිස්තුවෙ දිග.

අනික ඔය ආපු අය ආවෙ ට්‍රෑන්ගල් එකයි, බීච් එකයි බලල තැඹිලි ගෙඩියක් බීල ආපහු යන්න නෙමේ.

වීසා ඔන් ඇරයිවල් විතරක්යැ, ඒ දවස්වල ආපු ගමන් ග්‍රීන් කාඩ් එකත් දෙනව!

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ!

දුටුගැමුණු ල ගෙ වැඩ කිඩ ගැන තව කතන්දරයක් දෙකක් තියෙනව. ඒවත් ලඟදීම ලියන්නං.

මෙන්න තුන්වෙනි කොටස:
http://kathandara.blogspot.com/2009/12/3.html

කතන්දරකාරයා

- December 19 සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ සාදයේ දී හමුවෙමු.
http://groups.google.com/group/sinhala-bloggers

Tuesday, 8 December 2009

ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ?


ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයැයි මට සිතේ.

මෙය නිකං විහිළු කතන්දරයක් නොවේ. සිරාම සිරා ටෝක් එකකි.

පොඩ්ඩක් සිතා බලන්න.

ලංකාවේ දේශපාලනය අද වැටී ඇති මඩ ගොහොරුව ගැන සුනිල් පෙරේරා තරම් හොඳින් සොයා බලා, විශ්ලේෂණය කර, එය ඉතා සරලව නමුත් ප්‍රභල ලෙස ජනතාව අතරට ගෙන ගිය වෙනත් කෙනෙක් ලංකාවේ අද සිටිනවාද?

සුනිල් පෙරේරා මෑත ඉතිහාසයේ ලියු, සංගීතය, තනුව සකසා ගායනා කළ, රඟ පෑ සියළුම ගීත සහ රංගන සැමෙකක්ම පාහේ පදනම කොට ගෙන තිබුනේ ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව ගැනම නොවේද?

මේ ගැන ඔහු ඉදිරිපත් කළ මතවාදය සමග රටේ බහුතරයක් ජනතාව එකඟ වෙනවා නොවේද?

දූෂිත යැයි පැවසෙන අද දේශපාලනය පිරිසිදු කර ටර නිසි මාර්ගයට යොමු කිරීම සඳහා ජිප්සීස් නායක සුනිල් පෙරේරා තරම් සුදුස්සෙක් නොමැති තරම්ය.

කොටින්ම සුනිල් සොමි පොරකි. නායකයෙකි. රුවුල ද තිබේ.

ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි මා පවසන්නේ එනිසාය.

ඔබ මා සමග එකඟ නම් ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට යන මූණු පොත් (Facebook) අඩවිය හා එකතු වන්න.

http://www.facebook.com/n/?group.php&gid=219679882151&mid=186eb45G28bf1e60G4337077G6

නිර්පාක්‍ෂික සුනිල් පෙරේරා ට ජයවේවා!!!

අපි සුනිල් ට සුනිල් අපි ට!!!

කතන්දරකාරයා

Sunday, 6 December 2009

ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම


ඇත්තම කියන්නම්. මේ කතන්දරේ ලියන්න ඕනැයි කියල හිතුන වෙලේ ඉඳලම මගේ හිතේ වැඩ කළේ කතන්දරේ ලියන්න ඕනැ කොහොමද කියන එකට වැඩිය, මේ කතන්දර පෝස්ට් එකට දාන පින්තූරය මොකක්ද කියන එකයි.

හිකිස්!

අන්තර්ජාලයෙ නං මේකට අවශ්‍ය පින්තූර ඕනැ පදං තියෙනව. ඒත් ඉතිං බහු ජන හිතාය බහු ජන සුඛාය කියල හිතල ඔන්න ඔය ඓශ්චර්යා ළමයගෙ ෆොටෝ එක තෝරා ගත්ත.

දැං අද කතන්දරේ ට යමුකෝ.

පහුගිය දවස්වල වී.සී.ඩී. බණක් ආව මතකයි නේද අර ජොලි කතා කියන හාමුදුරුකෙනෙකු ගේ? මං දැක්ක යූ ටියුබ් එකෙත් තියෙනවා.

ඒකෙ තිබුණ එක සොමිම සොමි කෑල්ලක් තමා අර කෙල්ලො අඳින ඇඳුම් ගැන තියෙන උඩත් ඒ.සී. යටත් ඒ.සී. සායෙ දෙපැත්තෙන්ම පලල එතන ඩබල් ඒ.සී. කියන එක.

ඇත්තම කියමු තමන්ට කැමති ඇඳුම අඳින්න තමන්ට අයිතියක් තියෙන්න ඕනැ. මයි කාර්, මයි පැට්‍රොල්.

අපි කාගෙ කාගෙත් අකමැත්තක් නෑ, ඕනැ කෙල්ලෙක් ඕනැ ඇඳුමක් ඇඳන් ඕනැ තැනක ගියාට. හැබැයි, ඒ අපේ නංගි හරි, දුව හරි නං, ඒක වෙනනම විසඳගන්න ඕනැ කාරණාවක්.

ප්‍රශ්ණෙ මේකයි. අපි හිතමු කෙල්ලෙක් ලෝ කට් බ්ලවුස් එකක් ඇඳන් යනව කියල තමන්ට ඕනැ විදියට. මේ තැනැත්ති හොඳට පුද්ගලික වත්කම් තියෙන කෙනෙක් නම්, ඔන්න උඩින් බලන කොට ළය මඩලේ සුන්දර දැක්මක් ලැබෙන එක වලක්වන්න බෑ. මූණ දිහා කෙලින් බලාගෙන කතාකරන කොට වුනත් අපේ ඇස් දෙක ක්‍ෂණයකට වත් ඒ පැත්තට දුවන එක වලක්වගන්න පුදුමාකාර වෙහෙසක් වෙන්න ඕනැ.

නමුත් ඇයි ඒ වගේ අහක බලන්න මහන්සි වෙන්නෙ? වත්කම් හෙලිවෙන බව නොදැනයැ ඇඳන් යන්නෙ?

ඉතිං අද කතන්දරේ මේකයි.

ඔන්න ටික දවසකට ඉස්සර තිබුණ පොඩි සාදයක්. එකම ෆීල්ඩ් එකේ වැඩ කරන අය එකට එකතු වෙන. අපි එක්ක එකට ඉගෙන ගත්තු ගොඩ දෙනෙකුත් එතැනට එන බව දන්න නිසා ඔන්න මාත් ගියා.

ආප්ප පිච්චෙන කං කෝක් එකක් බීබී හිටපු මං දැක්ක, අපිත් එක්ක එක කාලෙ ඉගෙන ගත්තු ගීතිකා යි, ශමීන්ද්‍රාණි යි කතා කර කර ඉන්නව. හුඟ කාලෙකින් නෙ මේ දෙන්නව දැක්කෙ. මාත් එතනට ගියා හලෝ කියන්න.

ඉතිං අපි විනාඩි කිහිපයක් ආගිය තොරතුරු කතා කර කර හිටිය. ශමීන්ද්‍රාණි ඇඳල හිටියෙ කළු පාට සිල්ක් බ්ලවුස් එකක් පපුවෙ මැද හරියට විතර වෙනකං පලපු. මේ වගෙ ඇඳුමක් ඇඳන් ඉන්න කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ලැබෙන දර්ශනය එතන තිබුන මං දැක්ක.

සමහර විට මං ඒ බව තුන් හතර පාරක් විතර දකින්න ඇති!

වෙනත් වචන වලින් කියනව නං, මං උවමනාවෙන් ඒ දිහා බැළුවෙ නෑ. අනිමිසලෝචනයක් දැම්මෙත් නෑ. ඒ එක්කම, මගෙ ඉදිරියෙ තියෙන දර්ශනයෙන් මගෙ ඇස් වෑයමකින් අයින් කරගන්නත් මං අමුතු මහන්සියක් ගත්තෙ නෑ.

විනාඩියක් දෙකක් යනකොට මෙන්න බොලේ ශමීන්ද්‍රාණි හිමිහිට අර සුන්දර දර්ශනය තමන්ගෙ අතින් කවර් කළා! එක අතකින් එයාගෙ මාලෙ අල්ලමින් කතා කරන්න පටන් ගත්ත.

ඒකෙ අවුලක් මට ආවෙ නෑ.

ඊලඟට උනේ මෙන්න මේකයි. ශමීන්ද්‍රාණි අතින් තමන්ගෙ ක්ලිවේජ් එක වහගන්න හැටි දැකපු ඒ ලඟින් හිටිය ගීතිකා එක පාරටම කලබල වෙලා අතින් එයා ඇඳන් හිටපු බ්ලවුස් එකේ කොලර් එක වහ ගත්ත.

මට ඇතිවුනේ ලැජ්ජාවටත් වැඩිය කේන්තියක්.

හේතුව මේකයි. ගීතිකා ඇඳල හිටියෙ බෙල්ල ලඟටම උඩටම බොත්තං දාපු බ්ලවුස් එකක්. ඒ කොහොම උනත්, සමාවෙන්න මෙහෙම කියනවට, ඒ පලාතෙ ඇස් යන විදියෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.

ඇත්තම කියනව නං සමහර විට ගීතිකා කවදාවත් ලෝ කට් බ්ලවුස් අඳින කෙනෙකුත් නොවෙන්න හේතුව ඒකයි මං හිතන්නෙ.

මට හිතෙන විදියට පස් පව් කියන ඒව පව් වෙන්නෙ, අපි ඒව කළාම වෙනත් අයට ඒකෙන් අයහපතක් වෙන නිසයි. පර පණ නැසීම, හොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම කියන පව් හතර ඉතා පැහැදිලියි. මත් පැන් බීම වුනත් බීල සිත විකල් වෙලා අනුන්ට කරදරයක් වෙන දෙයක් නෙ. ඒකයි පව. (හැබැයි රෑට රෑට පොඩි ෂොට් එකක් දාලා නිදාගන්න එකෙන් නං වැඩි පවක් නෑ වගේ. රෑට වයින් බීපු ජේ.ආර් කාරය මේ ආත්මෙන් ම නිවන් යන්න සෙට් වුනේ ඒ හින්දනෙ.)

ඉතිං මගේ තර්කය මේකයි. තමුන් කරන දෙයකින් අනුන්ට කරදරයක් වෙනව නං ඒක පාප ක්‍රියාවක්.

අර සොමි බණ හාමුදුරුවෝ කිව්ව වගේ ඩබල් ඒ.සී. දාල යන යන එන කොට අහල පහල ඉන්න සීලාචාර කොල්ලන් ට වැර වෑයමෙන් තමන් ගෙ ඇස් හසුරුවන්න කරදර වෙන්න වෙන එකත් මේ ආකාරයට වර්ග කරන්න බැරිද?

කතන්දර කාරයා
- අපි දෙසැම්බර් 19 සිහල බ්ලොග් කරුවන් ගේ සංගමයේ සාදයේ දී හමුවෙමු.

Friday, 4 December 2009

කතන්දර රහ අඳුනන සන්නසකාරයා


රාජකීය සාහිත්‍ය සම්මානලාභී කතන්දර ශූරින් ලියන කතන්දර වල රහ මුලින් ම හඳුනා ගත් පොරක් තමා සන්නසකාරයා.

සන්නසකාරයා ඉන්නේ Australia වේ මෙල්බර්න් වල. සන්නස කියන්නේ මෙල්බර්න් වල මාසිකව කෙරෙන සඟරාවක්. අන්තර්ජාලය හරහා මුළු ලෝකෙ පුරාම ඉන්න සිංහල කියවන්න කැමති දස දහස් ගණනකට ඒකෙන් සාහිත්‍ය සේවයක් සැලසෙනව. සන්නස සඟරාව වැඩියෙන් ජනප්‍රිය ලංකාවෙන් පිටත සිටින අය අතරයි.

කෙසේ වෙතත් සන්නසකාරයා මගේ බ්ලොග් එකේ පලවුනු කතන්දරය බැගින් තම සඟරාවේ දාන්නට පටන් ගත්ත.

මුලින් ම අගෝස්තු වල.

ඊ ලඟට සැප්තැම්බර් මාසෙයි ඔක්තෝබර් මාසෙයි.

මේකෙන් සන්නස බලන කීපදෙනෙකුට හරි කතරන්දර බ්ලොග් බලන්න ඉඩ ලැබුනා.

මාත් කළේ ඔය ආරංචිය කතන්දර බ්ලොග් එකේ දාපු එකයි. ඒකෙන් කතන්දර බලන ලෝකෙ පුරාම ඉන්න අයට සන්නස හඳුන්වා දෙන්න මට පුළුවන් වුනා.

ඔන්න මේ නොවැම්බර් මාසෙ සන්නසකාරයා කතන්දර එකක් නෙමේ දෙකක් ම දාල සන්නස සඟරාවේ.

එකක් අර බන්ස්, පාන්ස් සහ බෑග්ස් කතන්දරේ. අනික බේසික්, ෆෝට්‍රාන් සහ ජාලිය කියන කතන්දරේ.

මෙන්න ලින්ක් එකඃ http://sannasa.sinhalajukebox.org/2009/Nov/2009Nov_page33.pdf

අවුරුදු පහක සන්නස සඟරා මෙතනින් බලන්නඃ http://sannasa.sinhalajukebox.org/

සන්නස වෙබ් එක මේකයිඃ http://www.sannasa.net/

සන්නසකාරයා ට ත්, සන්නස සඟරාවටත් ජයෙන් ජය වේවා!

කතන්දරකාරයා
(මතකනේ දෙසැම්බර් 19 Sinhala Bloggers Union හමුවීම)

Thursday, 3 December 2009

දුටුගැමුණු කෙසේ වෙතත් මම නම් පොරක් මි. - "සාහිත්‍ය" සම්මානයේ සතුට!


මං දුටුගැමුණු රජතුමා පොරක් කියල හිතන් හිටිය එක නිවරද කරගෙන ඒ ගැන පෝස්ට් එකක් දාල විනාඩියක් දෙකක් ගියා විතරයි මෙන්න එනවා ඊ මේල් අසෙනිය කුසුම සම්මානයක් ගැන සුභ පැතුම් එක්ක.

මුලදි මගෙ මීටරේ ට වැටුනෙ නෑ මේ මොකක්ද කියල.

පස්සෙයි කතන්දරේ තේරුනේ - කතන්දර බ්ලොග් එකට සම්මානයක් ලැබිල.

මෙන්න මෙතන බලන්න කෝ.
http://www.sahithya.lk/2009/12/01/aseniya-kusuma-2009-3/

මං මේ කතන්දර කියන්න පටන් ගත්තෙ 2009 ජූලි වල. මුලින්ම සින්ඩියට සෙට් වුනා. එතනින් ගොඩ දෙනෙක් මාව අඳුන ගත්ත.

ටික කාලයක් ගියාම මගෙ කතන්දර තව දුරටත් බෙදා හදා ගන්න ඕනි නිසා තමයි සාහිත්‍ය එකෙත් රෙජිස්ටර් වුනේ. එදාම මං පරණ කතන්දර වලට අළුත් ලින්ක් දාන්න පටන් ගත්ත. ඒ අළුතින් කතන්දර කියවන්න එන අයගේ ප්‍රයෝජනයටයි.

කොහොමින් කොහෙමින් හරි අන්තිමේදි මට හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය ලැබිලා.

අනේ සාදු!

මේ විනිශ්චය දුන්නෙ කවුද කියලනම් පැහැදිලි නැහැ. සමහට විට සාහිත්‍ය සංගමයේ කෂ්ටිය වෙන්න ඕනැ.

කොහොම හරි ඉතින් සම්මානය දුනනෙ සාහිත්‍ය සංගමයක් නිසා මේ සම්මානය සාහිත්‍ය සම්මානයක්.

මේ සාහිත්‍ය සංගමය රාජකීය විද්‍යාලයේ සංගමය නිසා - මේක රාජකීය සාහිත්‍ය සම්මානයක්.

පුහ්ඃ ලේසි පාසු නෑ.

රාජකීය සාහිත්‍ය සම්මානයක් ලැබුන කියන්නෙ - මං පොරක්!

දුටුගැමුණු ගෙ අඩුව මං පිරිමහන්නංකො!

එළාරගෙ භෂ්මාවශේෂ ටික හොයාගන්න ඕනැ ඉස්සෙල්ලාම.

ඒ වගත් මෙසේම,

හොඳම සිංහල වින්දනාත්මක බ්ලොග් අඩවියේ නිර්මාතෘ
රාජකීය සාහිත්‍ය සම්මානලාභී කතන්දරකාරයා

ප/ලිඃ
දැං ඉතිං සම්මානෙකුත් ලැබුන නිසා කතන්දරකාරයා කියල හඳුන්වා ගැනීම හොඳ මදි නේද?

"කතන්දර ශූරින්" කියමු හොඳේ.

Tuesday, 1 December 2009

දුටුගැමුණු රජෙක් මිස පොරක් නෙමේ - කතන්දරේ එඩිට් කළෙමි



මං දුටුගැමුණු "රජතුමා" ගේ පුත්‍ර රත්නය වන සාලිය "කුමාරයා" ගැන ලියූ කතන්දර බලා ළමුන් කීප දෙනෙකුට දුක හිතී ඇති බව ඔවුන් එවූ කමෙන්ට් අනුව පැහැදිලිය. ඒ එතුමාට "පොර" යැයි කීම නිසා බව පෙනේ.

මං එතුමා ට "පොර" කියා ලිව්වේ එතුමා "පොරක්" යැයි විශ්වාස කළ නිසාය.

නමුත් මගේ කතන්දර මගින් කිසිවෙකුගේ සිත රිදවීමට මට අවශ්‍ය නොවන නිසා මං මගේ කතන්දරය Edit කළෙමි.

සංස්කරණය කරන ලද කතාව මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post_30.html

මින් පසු මගේ කතන්දර වල දුටූගැමුණු යනු රජෙක් මිස පොරක් නොවනු ඇත.

කතන්දරකාරයා

Monday, 30 November 2009

දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!


මේ කතන්දරේ සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ එකක්. ඔන්න අද තමයි ලියවුනේ!

දුටුගැමුණු "රජ්ජුරුවෝ" තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං "එතුමා" [පොර] ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ.

ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් "එතුමා" [පොර] ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් "එතුමා" [පොර] ගැනම විතරක් නෙමේ. කැළණිතිස්ස ල, ගෝටයිම්බර ල ත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවටම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු "රජ්ජුරුවන්" ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලිය කාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇතිවුනු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුනනේ.

තමන් ගෙ තාත්ත එලාර ට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊලඟ ට, ඌව වෙල්ලස්ස යි මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුනෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කලා. අපේ ලව් සික් කාරයෝ සාලිය වීරයෙක් විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල. කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුනෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුනනෙ, අද වගෙයැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ - අයි ඩෝන්ට් නෝ වයි!

දුටුගැමුණු "රජ්ජුරුවො" සහ "එතුමා" ගෙ [පොර ගෙ] පවුලෙ කෂ්ටිය ගැන තව කතන්දර කීපයක් ම තියෙනව. ඒව ලඟදීම ලියන්නං.

දෙවෙනි කොටස මෙන්න.
http://kathandara.blogspot.com/2009/12/2-visa-on-arrival.html

-කතන්දරකාරයා

Saturday, 28 November 2009

[කතන්දර] - යුග දිවියක් "ගායනා කිරීම"....?


අරුම පුදුම මාතෘකාවක් නේද? යුග දිවියක් කොහොමද ගායනා කරන්නේ?

ඒක ම තමයි ප්‍රශ්ණය. ඒක ම තමයි අද කතන්දරයත්.

අර මගේ ඉන්දියන් උපාධිකාර යාළුවා මතකයි නේද? නෑ, නෑ, ගෙදරින් උපන් දින සුභපැතුම් කාඩ් එකක් ලැබුණු ඉන්දියන් කාරයා නෙමේ. අර අරක්කු ඕනා කෝක් වානා කතාවෙ ප්‍රධාන චරිතය. මතකයිනේ? අන්න මෑන්ස් තමයි අද කතන්දරේ ප්‍රධාන චරිතයත්. එදා කියන්න අමතක වුනා - පොරගෙ නම දුමින්ද. දුමින්ද සිරිවීර.

ඔන්න අපේ පොඩි පාටියක් තිබුණා. කිහිප දෙනෙක් වෙන්වී රට යෑම නිමිත්තෙන්. අපේ පොරත් එක් කෙනෙක්.

එදා හවස කට්ටියම පාටියට සෙට් වුනා. දුමින්ද ආවෙ තමන්ගෙ ප්‍රියම්භිකාවත් එක්කයි. පොර බැඳල ඒ වෙන කොට අවුරුද්දක් විතර ඇති මයෙ හිතේ.

දුමින්ද මියුසික් වලට කැමති කෙනෙක්. කී බෝඩ් එක ගහන්න පුළුවන් ඉතා හොඳට. ගායනයටත් හැකියාවටත් වඩා යන උනන්දුවක් තියෙනව.

ඉතිං ඔන්න, බීමෙන්, කෑමෙන් පස්සෙ සින්දු කියන වෙලාවත් ආව. දෙතුන් දෙනෙක් ඉස්සරහට ගිහින් මයික් එකත් අරගෙන සින්දු කිව්ව. මට හොදට මතකයි සුදාකරන් කියන අපේ යාපනෙන් ආපු හිතවතා කිව්ව "අකුරු මැකී නෑ" කියන සින්දුව නිකං ඇට්ටි හැලෙන්න. කොහොමටත් පරණ හෝඩි පොතේ වාක්‍ය ඒ විදියටම තියෙන හින්ද ද කොහෙද අකුරක් වත් වැරුද්දුවෙ නැහැ.

ඔන්න දුමින්ද ගෙ ටර්න් එක ආව. පොර ලස්සනට කිව්ව මා බාල කාලේ කියන සින්දුව.

ඒක ඉවර වුනාට පස්සෙ හැමෝම සුපුරුදු පරිදි වන් මෝ, වන් මෝ කියල කෑ ගහන්න ගත්ත. කොහොමටත් විස්කි පදමට ඇවිල්ල ඒ වෙලාව වෙනකොට බීපු උන්ගෙ.

ඔන්න අපේ එකෙක් කියපි එහෙනං දුමින්ද සුරංගි එක්ක යුග ගීතයක් ම කියන්න කියල. සුරංගි කියන්නෙ දුමියගෙ වයිෆරේ.

ඒක ඇහුණු මෙන්න බොලේ දුමින්ද කාරය මයික් එකෙන් මහ හයියෙං කිව්ව, "ආ! යුග ගීතයක් කියන්න අවුරුදු බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනැ නෙ. අපි බැඳල තාම අවුරුද්දක් වත් ගියේ නෑ. දැන්ම ම මොන යුග ගීත ද?" කියල.

අපි බැරිවුනා විනාඩි ගාණක් යනකං දුමින්ද කිව්ව හරුපෙ තේරුම් ගන්න.

ඔන්න තේරුණාට පස්සෙ මල පනින්න හිනා හැමෝටම.

කතාව මෙහෙමයි. දුමින්ද කොහොමටත් කඩු කාරයා. පොර ඉගෙන ගෙන තිබුණෙත් ඉන්දියාවෙනෙ? ඉතිං මෑන් දන්නෙ නෑ "යුග ගීතයක්" කියන එකේ තේරුම. ඒ හින්ද පොරට අපේ ඉල්ලීම ඇහිල තේරුම් අරං තියෙන්නෙ යුග ගීතයක් කියල නෙමේ, "යුග දිවියක්" කියලයි.

ඒ මදිවට පොර යුග දිවිය කියන යෙදුමේ සැබෑ තේරුමත් හරියට දැනගෙන ඉඳල නෑ. සමහර විට දෙමව්පියන් ගෙ අවුරුදු විසිපහේ යුග දිවි සංවත්සරය ගැන මතක් වෙන්න ඇති. ඒකයි පොර අර කිව්වෙ යුග දිවියක් වෙන්න බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනෑනෙ කියල.

ඔන්න ඔහොමයි දුමින්ද යුග දිවියක් ගායනා කළේ!!!

දැන් අවුරුදු කිහිපයක් ගිහිල්ලත් අපිට තමවත් හිනා ඔය කතාව මතක්වෙන කොට.

කතන්දර කාරයා
දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

[ SBU කට්ටියගේ හමුවීම : 2009, දෙසැම්බර් මස, 19වැනි සෙනසුරාදා, උදේ 11am සිට සවස 3වන තුරු. Excel World හිදී.]

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Wednesday, 25 November 2009

[කතන්දර කාරයා] ලංකේන්ඩියා Lankendia - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්


මට මේ කතාව කිව්වෙ පිටරට ඉගෙන ගත්තු මගෙ යාළුවෙක්. නෑ, නෑ, මේ කියන්නෙ අර අරක්කු ඕනා කෝක් වානා කතන්දරේ කතා නායකයා වුනු ඉන්දියාවෙ ඉගෙන ගත්තු මගෙ යාළුව නෙමේ.

මේ කියන පොර රුසියාවෙයි ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි මේ කතාවට ඉන්දියන්කාරයෙකුත් සම්බන්ධයි. එයත් අර බර්ත් ඩේ කාඩ් එක ගැන කතන්දරේ හිටිය ඉන්දියන්කාරය නං නෙමේ. වෙනිං එකෙක්.

ඔන්න ඉතිං මගෙ හිතවතා ගියා රුසියාවෙ ඉගෙන ගන්න ස්කොලර්ෂිප් එකක් ලැබිලා. මිනිහ එහෙදි නතරවුණු විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ හිටියෙ ඉන්දියන්කාර රූම් මේට් කෙනෙක්.

මුලදි, මුලදි දෙන්න කතාබහ කළේ දන්න ඉංගිරිසියෙන්. ටික ටික රුසියන් භාෂාව ඉගෙන ගන්න කොට නොදන්න රුසියන් වලිනුත් කතා කරන්න හැකිවුනා.

හැබැයි විවිධ අවස්ථා ඇවිල්ල තියෙනව මේ දෙන්නට, රුසියන් සහ ඉංගිරිසි වලට අමතරව වෙන භාෂාවකින් කතාකරන්න අවශ්‍ය වුනු. ඒ අනිත් අයට, විශේෂයෙන් ම රෂියන්ලටයි, ඒ එක්කම ඉංගිරිසි දන්න අයටයි නොතේරෙන්න.

මේ වෙනකොට දෙන්නට තේරිලා තිබුනෙ, ඉන්දියන්කාරයගෙ හින්දි භාෂාවටයි, ශ්‍රී ලාංකිකයගෙ සිංහල භාෂාවටයි පොදු සංස්කෘත භාෂාවෙ වචන තියෙන බව. හොඳම උදාහරණය තමා භාෂා කියන වචනයම. මේ සංස්කෘත වචන ඉන්දියන්කාරයටයි, අපේ පොරටයි දෙන්නටම තේරෙනව, හැබැයි වෙන උන්ට අණ්ඩර දෙමල!

ඉතිං මුං දෙන්න දන්න දන්න වචන පාවිච්චි කරමින් හදාගත්ත මං මේ කියන ලංකේංඩියා භාෂාව. (මේ නම දැම්මෙ මමයි 2009 නොවැම්බර් වල).

ඔන්න උදාහරණෙකට හිතමු මුං දෙන්න කොහෙ හරි ගිහින් ඉන්න කොට පිටි පස්සෙ ඉන්නව කියල හොඳ ලස්සන කෙල්ලෙක්. මේ බව මුලින් දකින එකා අනිකට කියනව මෙන්න මෙහෙම.

දක්‍ෂිණ දිශා, සුන්දර් ස්ත්‍රී.

හොරුහෙන් ඒ දිහා කාටවත් නොතේරෙන විදියට බලන අනිකා උත්තර දෙනව මෙහෙම.

උත්කර්ෂ ස්ත්‍රී! විශාල් පයෝධර්. චිත්තහ් ප්‍රීතී!

වැඩේ තේරුණා නේද?

මුං දෙන්න ඔය ආකාරයට මේ ලංකේන්ඩියා භාෂාවෙන් කතාකර කර හරි ජොලියක් වින්ද. භාෂාවත් එන්න එන්නම දියුණු වුණා. හැබැයි ඔන්න එක දවසක් වැඩේ වැරදුණා.

ඒ කතාව පස්සෙ දවසක කියන්නම්!

- කතන්දර කාරයා -
දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Saturday, 21 November 2009

[කතන්දර කාරයා] - දිනපොතේ රහස්


අපි හැමෝම වගේ දින පොත් ලියල තියෙනව කෙටි කාලෙකට හරි මගෙ හිතේ. සමහර දිනපොත් ලෝක ප්‍රසිද්ධ කෘති බවට පත්වෙලාත් තියෙනව. හොඳම උදාහරණය තමයිඃ නාට්සි ජර්මනියේ ඇන් ෆ්‍රෑන්ක් ලියූ දිනපොත.

මං ඉස්සෙල්ලාම දිනපොතක් ලියන්න පටන් ගත්තේ හයේ පන්තියෙ ඉඳිද්දී වගෙයි මට මතක. ඒ දිනපොත අඟල් 4*3 විතර කුඩාම කුඩා ප්‍රමාණයේ අර කුඩා සටහන්, ඇපොයින්ට්මන්ට්ස් වගෙ දේවල් ලියන්න ගන්න ජාතියෙ එකක්. ඒ මදිවට ඒක ඊට කලින් අවුරුද්දෙ එකක්. ඉතිං හැම සටහනක් ම ලිව්වෙ දවස වෙනස් කරලායි.

අපි කුලියට හිටපු ගෙදර අයිතිකාරයින් ගේ ගෙදර තිබුනෙත් ඒ අක්කර දෙකක් විතර විශාල වත්තේ ම යි. ගෙවල් දෙක මැද්දෙ හරියෙ තිබුන විශාල වෙරළු ගහක්. මං ඉස්සෙල්ලාම දිනපොතේ සඳහන් කරන්න පටන් ගත්තෙ හැමදාම උදේට නැගිටල ගිහින් ඇහිඳපු වෙරළු ගෙඩි ගණනයි.

වෙරළු අවාරෙ ආවහම ඒ දින පොත ලිවීමත් ටිකෙන් ටික අඩුවෙලා අන්තිමේ දී නතර වෙලා ගියා.

එහෙම වුනත්, ඊලඟ අවුරුද්දෙත් මට පරණ දිනපොතක් හම්බ වුනා. වැඩිහිටියෙක් පාවිච්චි කරපු. ඉඳහිට දවසක ඉලක්කං කීපයක්, වියදම් වුණ ගණන් විය යුතුයි, විතරයි ලියල තිබුනෙ.
ඒව කටු ගාල ආයෙත් මං දිනපොත ලියන්න පටන් ගත්ත. වෙරළු ගැන, අඹ ගැන, පාසල් ගියා, ගියේ නෑ වගේ කෙටි සටහන්.

ඔහොම අවුරුදු කීපයක් ගතවුනා.

මගේ දිනපොත් ලිවීමේ උච්ඡතම අවස්ථාව එළඹුනේ මං ඒ ලෙවල්ස් කලාට පස්සෙ අවුරුද්දෙයි.

විභාගෙන් පස්සෙ අම්මලගෙ ගමේ ගිහින් සැප්තැම්බර්, ඔක්තෝම්බර් කාලෙ ගත කරපු මට ආපහු ගෙදර එන්න කලින්ම ගමේ අංකල් කෙනෙකුගෙන් තෑගි ලැබුනා ඊලඟ අවුරුද්දෙ අළුත් ම අළුත් දිනපොතක්. බී.සී.සී. කියන කොම්පැණියෙ එකක්.

ජීවිතයේ පලමු වතාවට ජනවාරි පලමුවෙනිදා දවසක, ඒ අවුරුද්දේම දින පොතක ලියන්න මට වරම් ලැබුණා.

ඒක එසේ මෙසේ දින පොතක් නෙමේ. විශාල එකක්. සතියේ දිනකට පිටුවයි. ඉරිද සෙනසුරාදට පිටු බාගෙ ගානේ. එක පිටක පේලි 25 ක් රූල් ගහල තිබුනා. මං කොච්චර ලියන්නෙක් වුනාද කියනව නම්, ඒ රූල් අතරත්, මාජින් වලත් ලියල එක පිටක පේලි 55 ක් පිරෙන්න ලිව්ව. වචන 500 ක් විතර එක දවසකට විතරක්.

එදා දවසෙ වුනු දේවල්. කෝච්චියෙදි, ටියුෂන් පන්තියෙදි දැක්ක, නොදැක්ක කෙල්ලො ගැන විස්තර, සිත් තැවුල්, දුක් අඳෝනා විතරක් නෙමේ හැමදාකම මා සිත් ගත් සින්දුවක පදමාලාවත් ලිව්ව.

ඒ දින පොත අද තිබුන නම්, මගේ විශාලතම මැනුස්ක්‍රිප්ට් එක වෙන්නෙ ඒක.

එච්චර ලොකු දිනපොත් ඊට පස්සෙ කාගෙන්වත් හම්බ උනේ නෑ. ඒ නැතිවුනත්, මීට අවුරුද්දකට විතර පස්සෙ වෙන කොට වෙනත් විනෝදාංශවල පැටලීම නිසා තිබුණු පොඩි පහේ දින පොත් වුනත් පිරවුනේ යාන්තමට පේලි දෙක තුනකින් විතරයි.

නමුත් ලියපු දිනපොත් පුච්වන්නයි, අළුතින් ඒ වාගේ පෞද්ගලික විස්තර, සිත් තැවුල්, දුක් වේදනා, සංතාප, අඳෝනා යනාදී මෙකී නොකී දේවල් ආයෙ නොලියන්නයි හේතුව උනේ, අපේ ගෙදර කට්ටිය හොරෙන් මගේ දින පොත බලනව කියල තේරුණාට පස්සෙයි. අම්ම විතරක් නෙමේ මල්ලිලත්!

බුදු අම්මෝ, වස ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

අර එක එක කෙල්ලො ගැන සිහින මවමින් සිත ඇතුලෙ තියාගෙන ඉඳල අන්තිමේ දී උන් කොල්ලො එක්ක සෙට් වෙලා ඉන්න හැටි දැකල ලියපු දේවල්, පස්සෙ ඇඟ පුරා බූට් කාල දුකෙන් ලියපු අඳෝනා සේරම ගෙදර අය කියෙව්ව කියල දැන ගත්තහම ඇතිවුනේ මහ මුස්පේන්තු හැඟීමක්.

දින පොත් ලිවිල්ල මං අල්ලල දැම්මා සදහටම.

හැබැයි පුච්චපු දිනපොත් ගැන නං මට දැං හොඳටෝම දුකයි.

අපරාදෙ නේද? දවසට එක ගානෙ කතන්දර ලියල බ්ලොග් එකට දාන්න තිබුන ඒව ආශ්‍රයෙන්.

කතන්දර කාරයා
- දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Thursday, 19 November 2009

වලිය ට බර පොරවල්


සමහරු වලියට බරයි. ඒ කියන්නෙ නිතරම රණ්ඩු වල පැටලෙනවා. ගහ ගන්නව කියන එක සාමාන්‍ය එදිනෙදා සිදුවීමක්. තේ බොනව බත් කනව වගේ.

මේ වගේ අයට කියනව අපේ අම්ම නං කියන්නෙ රණ්ඩු කෙකි කියල. හැම තිස්සෙම මොකක් හරි රණ්ඩුවක පැටලෙන්නමයි බලන්නේ.

මං නං පොඩි කාලෙ තියා අදවත් වලියට බර පොරක් නෙමේ.

අවංකවම කියනව නං මං මගේ මල්ලිලා දෙන්න එක්ක ගහ ගත්තු දෙතුන් පාරට අමතරව කා එක්ක වත් රණ්ඩුවක පැටලිලා නෑ.

රංඩු වල ට මූලික හේතුව කණ්ඩායම් ගැසීම. එහෙම නැත්තං ගැන්සි වලට එකතු වීම.

හොඳටම හිතවත් යාළුවො කීප දෙනෙක් එකතු වෙනව. බස් එකේ, කෝච්චියේ, ඉස්කෝලේ, ග්‍රවුන්ඩ් එකේ, ටියුෂන් ක්ලාස් එකේ නිතරම එකට හැසිරෙනව. කෙල්ලන්ට ලයින් දානව. කෙල්ලන් ව අයිති කරගන්න යනව.

ඔන්න වලි පටන් ගන්නව. වෙනත් කොල්ලො එක්ක. වෙනත් ගැන්සි එක්ක.

මම නම් ඔය වැඩ කරන්න ගියේ තට්ට තනියමයි. ගැන්සි තිබුනෙත් නෑ. වලි තිබුනෙත් නෑ.

ඒත් එකම එක දවසක් පොරක් මට ගහන්න ආව.

ඒක උනේ මෙහෙමයි.

අපේ ගමට වැඩ කලේ එකම එක බස් එකයි. ඒකෙ කොන්දොස්තර ල දෙන්නම සාමාන්‍යයෙන් ගමේ හැමෝවම අඳුනනව. අපේ සීසන් ටිකට්ස් චෙක් කරන්නේ නෑ.

ඔන්න අපේ ගමේ කොල්ලෙක් ගියා ටවුමෙ කෙල්ලෙකුට ලයින් එකක් දාන්න. උගෙ සපෝට් එකට ටවුමෙන් කොල්ලො කිපදෙනෙකුත් සෙට් වුනා.

දවසක් මං ගෙදර යන්න බස් එකට නගින කොට ගමේ කොල්ලයි, ටවුමෙ ගැන්සි නායකයි බස් එකේ. ගමේ කොල්ලට සීසන් එකක් තිබුන. ඌ ඒක ටවුමෙ එකාට දීල. මොකද කොන්දොස්තර සාමාන්‍යයෙන් ගමේ කොල්ලන් ගෙ සීසන් බලන්නෙ නෑනෙ.

නමුත් එදා වැඩේ වැරදුනා.

එකට වාඩි වෙලා හිටපු දෙන්න ගෙන් ටවුමෙ එකා සීසන් එක පෙන්නුව. මේක දැන ගෙනද කොහෙද කොන්දොස්තර ඉල්ලුව ගමේ කොල්ලගෙනුත් සීසන් එක මාක් කරන්න. ඉතිං ඌ කිව්ව අමතක වෙලා කියල. ඒත් ටිකට් ගන්න ඌ ලඟ සල්ලි නෑ. ටවුමෙ කොල්ල අතේ හරි ගානට සල්ලි තිබුනනෙ. ඌ ඉල්ලුව ටිකට් එකක්. කොන්දොස්තර ගෙන්.

මේ ජවනිකාව බලා හිටපු මට බකස් ගාල හිනා ගියා.

ඔන්න ඒ සති අන්තයෙ මං ටියුෂන් එකකට යන්න ඉන්නව ස්ටේෂන් එකේ. මට වෙනද යන කෝච්චිය වැරදිලා. තනියමයි හිටියෙ. අනිත් පැත්තට යන කෝච්චියකින් බැස්ස ටවුමෙ ගැන්සි නායකය. මාව දැක්ක ගමන් ඌ කෙලින්ම ආව මා ලඟට.

අඩෝ! උඹ එදා අපිට නක්කලේ දැම්ම නේද බස් එකේ දී. ඕව තියා ගන්න එපා හරිද?

මූ මගේ කොලර් එකෙන් ඇදල නොගත්ත විතරයි.

මගෙ කට වේලිල, දිව ගොත ගැහුණ. මූ මට වැඩිය එච්චර ලොකුත් නෑ. ඒත් ඉතිං, ගැන්සියක ලීඩර් කෙනෙක්නෙ. අද ගහගෙන දිනුවත් හෙට පැරදෙනවා. ජීවිතය පුරාම බයෙන් තමයි ටවුන් එකට එන්න වෙන්නෙ.

නෑ, නෑ, ඔයාට වැරදිලා, මං ඔයාට හිනා වුනේ නෑ.
මං යන්තං ගොත ගහ ගත්ත.

ඌට තේරෙන්න ඇති මේ හාල්දණ්ඩෙක් මරල ඇති වැඩක් නෑ කියල. ආයෙත් මට තර්ජනය කරල ඌ යන්ඩ ගියා.

මං ලැජ්ජාවෙන් වට පිට බැළුව. කවුරුවත් දැක්ක බවක් පේන්න තිබුනෙ නෑ. කොහොම වුනත් වෙනද ඉරිද ට ටියුෂන් යන්න ස්ටේෂන් එකට එන කෙල්ලො රැල කලින් කෝච්චියෙ ගිහින් නෙ ඒ වෙනකොට.

උන් ටික හිටිය නං වස ලජ්ජාවයි!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Tuesday, 17 November 2009

අනේ අපොයි අංකල් ගෙ බයිලා



මං කවියෙක් වුනු හැටියි, මං පෙම් කවියක් ලිව්ව හැටියි ගැන ලියපු කතන්දර දෙක මතකද?

ඔය ගැන හිත හිතා ඉන්න වෙලේ, මට හදිස්සියෙම මතක් වුනා අපේ අංකල් කෙනෙක් ලියපු කවියක්. මේක ඇත්තටම අංකල් ලියපු කවි හතර පහක් තිබුණු කවි පන්තියකින් මට මතක එකම එක කවිය.

මෙන්න කියවලා බලන්නකො ඒ කවිය.

කන්න නොමැතිව බොන්න නොමැතිව අපට ඇතිමුත් පුරුදු වී දුක
බැන්ද බලකොටු රැකිය යුතු වෙමු තවත් බලකොටු තනමු සිරි ලක
පන්තියේ උවමනාවන් මත රටම ඇති සැරසෙමින් නෑ සැක
කන්දසාමි ගෙ සෝමපාල ගෙ නමින් සහතික කරමු ඒ ටික

අපුරු කවිය. හොඳ අදහස. එහෙම නේද?

හැබැයි ඕක නිකං බයිලා එකක්.

මේ අංකල් ගැන මං කලින් කතන්දරයක් ලියල තියෙනවා.

මෙන්න ඒකට ලින්ක් එක. http://kathandara.blogspot.com/2009/08/blog-post_06.html

කලින් ඒ පරණ කතාව කියවලා නැති අය කියවලා බලන්න. එතකොට තේරෙයි, අර කවිය බයිල එකක් වෙන්නෙ ඇයි කියලා!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු.

එතකං මගේ පරණ කතන්දර බලන්න.

ජූලි කතන්දර

අගෝස්තු කතන්දර

සැප්තැම්බර් කතන්දර

ඔක්තෝබර් කතන්දර

නොවැම්බර් කතන්දර

Monday, 16 November 2009

ෆිෆ්ටි පර්සන්ට් (50%) ආදරේ නිසා ලියවුනු කවිය


ෆිෆ්ටි පර්සන්ට් (50%) ආදරේ නිසා ලියවුනු කවිය

මෙන්න නිවරදි Link එක.

http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා SBU සාදයේ දී හමුවෙමු.

Saturday, 14 November 2009

කතන්දර කාරයා පෙම් කවියක් ලියූ වගයි!


ඔය ළමා ගායකයො ඉන්නව නේද? උදාහරණයක් විදියට හර්ෂන දිසානායක වගේ අය. (මට මතකයි ඉස්සර කාලෙ හිටිය රුවන් දල්පතාදු කියල පොඩි කොල්ලෙකුත් ලස්සනට සින්දු කියන.)

ළමා ගායකයින් ට තියෙන එක ප්‍රශ්ණයක් තමයි හැමදාම ළමා කාලෙ ඉන්න බැරි එක. කවුරු කවුරුත් ලොකු වෙනවා නේ. ඉතිං ලොකු උනාට පස්සෙ, අර පොඩි කාලෙ වගේ ළමා ගී කියන්න බැරි වෙනවා තව දුරටත්.

අකමැත්තෙන් වුනත් පෙම් ගී තමයි කියන්න වෙන්නෙ. හැබැයි පරණ ළමා ගී රසිකයින් ට ඉතිං මේක අල්ලන්නෙ නෑ.

අනික උගුරු ගැටේ කැඩිල කටහඬ වෙනස් වුනාට පස්සෙ කියන සින්දු වලින් මේ ගොල්ලන්ව කෙලින්ම අඳුනගන්නත් බැරි වෙනව. ඉතිං ජනප්‍රිය ළමා ගායකයො වැඩිහිටි ගායකයො විදියට වැඩිය නැගල යන්නෙ නෑ. ඉස්සර ජනප්‍රියව හිටපු ළමා ගායකයො වැඩි දෙනෙක් ගැන දැන් දැන් අහන්නවත් නැත්තෙ මේ හින්ද වෙන්න ඇති.

ළමා ගී වලින් පෙම් ගී වලට පනින්න තියෙන පිම්ම ලේසි පාසු පිම්මක් හෙම නෙමේ!

මටත් ඔය වගෙ වැඩක් වුණා. පොඩි කාලෙ සින්දු කියල නෙමේ. කවි ලියල. ඒ කතන්දරේ මෙන්න මෙහෙමයි.

මං තුනේ පන්තියෙදි ලියපු මුල්ම කවිය මිහිර පත්තරේ පලවුනු හැටි ගැන කියපු කතන්දරේ මතකයි නේද? මෙතන බලන්න අමතක නම්.
http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html

ඒ කවිය ලිව්වෙ මුහුදු වෙරල ගැන. ඊට පස්සෙ මං කවි ලියන්න ගියේ නෑ. හයේ පන්තියෙදි ලොකු ඉස්කෝලෙට ගියාට පස්සෙ සිංහල පාඩමට අවුරුද්දකට එක සිව්පද කවියක් විතර ලියන්න උනත් ආයෙත් කවි ලිවීම ගැන සීරියස් උනන්දුවක් ඇතිවුනේ අවුරුදු දාසයේ දී එකලොස් වෙනි වසරෙ ඉගෙන ගන්න කාලෙයි.

අර මීට කලින් ලියපු කතන්දර වලින් කියපු පහේ හයේ පන්තිවල සංසිද්ධි වුන කාලෙට වඩා ලොකු වෙනසක් තිබුණ.

මේ, ටෙස්ටෙස්ටොරන් හෝමෝන ටික ටික මෝරලා ඇවිත් හිතට වද කරන කාලෙ.

කෝච්චියෙ යද්දි එද්දි දකින කෙල්ලන් ගැන අමුතු සිතුවිලි එන කාලෙ.

ආදර සිතුවිලි හොඳටම සිතට වදින කාලෙ වීම.

උදේ හවස කෝච්චියෙ යන එන කොට දකින සම වයසෙ කෙල්ලෙක් ගැන කතන්දරගෙ හිත ගියා. ඉතිං ඒක පාර්ශවික ආදර කතන්දරයක් ඇරඹුනා.

මෙන්න බොලේ දන්නෙම නැතුව කතන්දර අතින් ලියවුනා කවියක්. පෙම් කවියක්. මෙන්න ඒ කවිය.

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය

ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය

මුහුදු වෙරළ ගැන මිහිර පත්තරේට කවි ලියපු කතන්දර කාරයා පෙම් කවියෙක් වුනේ ඔන්න ඔහොමයි. ඔය මුල්ම පෙම් කවිය ලියන කොට වයස කියනව නම් හරියටම අවුරුදු දාසයයි මාසයයි!

මේ කවිය පත්තරේට දැම්මට උන් පල කළේ නෑ!

ඉතිං කතන්දරගෙ මේ මුල්ම පෙම් කවියට වස්තු බිජය සපයපු ඒ බාලිකාවිය ගැනත්, අත් දෙකේ ඇඟිලි මදිවෙන තරමේ ගණනාවක් තවත් මානවිකාවියන් ගැනත් තවත් කවි ටොන් ගණනාවක් ලියවුනා.

ඒ කවි ටීනේජර් අකුරෙන් ලියපු පරණ ඇක්සයිස් පොත් ටික විතරක් තාම මා ලඟ තියෙනවා!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා හමුවෙමු.

Wednesday, 11 November 2009

නොට්ටිගෙ පුතා - තාත්ත ගෙන් පුතාට


තාත්ත කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා ලු!

මේ කතාවෙන් කියවෙන්නෙ පුතාලා තාත්තලා වගෙයි කියලනෙ. මේ කතාව ඇත්තද?

අපේ සීයට තිබුන උඩු රැවුලක්. ඒත් තාත්තත් ඇතුළුව සීය ගෙ පුතාල කවුරුවත් ම රැවුල වැව්වෙ නෑ. ක්ලීන් ෂේව් කරල තමයි ඉන්න කැමති හැමෝම.

අපේ තාත්ත දිනපතා රැවුල කැපුවට තාත්ත ගෙ පුතාල නම් හැමෝම රැවුල වවනව!

අපේ තාත්ත මත්පැන් කට හරියෙ තියන්නෙ නෑ.

ඒකට එයා ගෙ පුතාල. තාත්ත ගෙ පාවිච්චි නොකරපු කෝටා එකත් අරගෙන වගෙ වැඩකිඩ නම්. ඒ කෝටා එකයි, තමන් ගෙ කෝටා එකයි මදිවට ඊලඟ පරම්පරාවෙ කෝටා එකත් දැම්මම ඉවර කරයි ද මන්ද?

මේ සේරටමත් වැඩිය තාත්තගෙයි මගෙයි තියෙන වෙනස් කම තමයි දේශපාලන අදහස්.

ඕක මට තේරුණේ එක සැරයක් ඡන්දයක් කාලෙ අපේ ගෙදරට කැන්වසිං ආපු යූ.ඇම්.පී. කාරයො දුන්න ලීෆ්ලට් තොගේ ගන්නෙ නැතුව බිමට වැටෙන්න ඇරල, මං කාමරේට වැදුන වෙලේ තාත්තට තද වෙච්ච හින්දයි.

තාත්ත ඒ වෙලාවෙ නං කිව්වෙ, ගෙදරට ආපු මිනිස්සුන් ට එහෙම කරපු එක වැරදියි කියලයි. ඒ වුනාට මං හිතන්නෙ ඒකෙන් තේරුණේ තාත්තගෙ හැංගිලා තියෙන යූ.ඇම්.පී කමයි.

හොඳ වෙලාවට තාත්තයි මායි කවදාවත් ලංකාවෙ දේශපාලනය ගැන කතා කරල නෑ. ඒ වගේම තාත්තා කවදාවත් මට අනවශ්‍ය දේශණා දෙන්න ගිහිල්ලත් නෑ ඒ වගෙ මාතෘකා ගැන.

මේ කතන්දරේ ලියන්න ගත්තට පස්සෙ මට මතක් වෙච්ච එකක් තමයි, ජනවාර්ගික ප්‍රශ්ණය ගැනත් තාත්තයි මායි කවදාවත් කතා කරල නැති බව. ඇත්තටම කියනව නම්, ඒ සම්බන්ධයෙන් තාත්තගෙ අදහස් මොනවගේද කියල මට අනුමානයක් මිසක් කිසිම පැහැදිලි අදහසක් නෑ.

සමහර විට මං නොට්ටිගෙ පුතෙක් වෙන්න ඇති!

(මේ කතන්දරය පල කෙරෙන්නේ අද නොවැම්බර් 11 දිනට යෙදී ඇති මගේ තාත්තා ගේ උපන් දිනය වෙනුවෙනි.)

-කතන්දරකාරයා

Sunday, 8 November 2009

මං කවියෙක් වුනු හැටි


මං ඉස්-ඉස්සෙල්ලාම කවියක් ලිවුවෙ තුනේ පන්තියෙදි. එතකොට මගෙ වයස අවුරුදු හත හමාරක් විතර ඇති. ඇයි මට හිතුනෙ ඒ විදියට එදා කවියක් ලියන්න කියල නං දැන් මතක නෑ. කොහෙම වුනත්, මෙන්න මේකයි මට මතක හැටියට ඒ පුංචි කවිය.

මූදු වෙරල


රැල්ල ගහනවා
වැල්ලෙ වදිනවා
මාළු ඉන්නවා
මුහුදේ පීනනවා
ළමයි ඉන්නවා
සරුංගෝල යවනවා
රෑ බෝ වෙනවා
අපි ගෙදරට එනවා

ලියපු කවිය මං කාටවත් පෙන්නුවෙ නෑ. කවියක් ලිව්ව කියල කාටවත් කිව්වෙත් නෑ. මං කලේ හොරෙන්ම කවිය පොස්ට් කාඩ් එකක ලියල, මේකට තාත්තගෙ තීන්ත පෑන හොරෙන් පාවිච්චි කරන්න වුනා, තුනේ පන්තියේ ළමයි ලිව්වෙ පැන්සලෙන් නෙ, මිහිර පත්තරේට තැපැල් කල එකයි.

මිහිර කියන්නෙ ඒ දවස් වල තිබුණු එකම ළමා පත්තරේ. ලේක් හවුස් එකෙනුයි ගැහැව්වෙ.

සති දෙක තුනක් ගියාම මෙන්නෙ බොලේ මගේ කවිය පත්තරේ පලවෙලා තිබුණ. හරිම ජොලි එදා. හැමෝගෙන් මට පැසසුම්. ලියපු මුල්ම කවිය පත්තරේක පලවෙනව කියන්නේ කොච්චර ලොකු දෙයක්ද?

මේ ගැන සිහි කරන මෙවෙලෙ මට හිතෙන්නෙ, එදා ඒ මට ආපු ජොලිය මං ජීවිතේ ඉස්-ඉස්සෙල්ලාම හූරණ ලොතරැයියක් ගත්තු දවසෙ ඒකට දිනුමක් තිබුණ වෙලේ ඇතිවුනු ජොලියට සමානයි කියල. තමන් ගත්තු මුල්ම ලොතරැයියෙන් දිනල තියෙන්නෙ කීයෙන් කී දෙනාද? එදා ඉඳල ගත්තු කිසිම ලොතරැයියක් ඇදිල නෑ. ඒක වෙනම ම කතාවක්.

කොහොම හරි මගෙ කවිය මිහිර පත්තරේ ගිය එකෙන් එක හොඳක් උනා. ඒක තමයි, අපේ පන්තියෙ කීප දෙනෙක් ම කවි කියන්නට හැදීම. හැබැයි ඒ නිකං ආසාවට නෙමේ, කෙලින් ම මිහිර පත්තරේට දාන්නයි.

මට තවමත් මතකයි එක ළමයෙක් එයා පත්තරේට දාන්න යන පෝස්ට් කාඩ් එක මට පෙන්නුව. ඉස්කෝලෙ ගැන ලියල තිබුණු ඒ එලිසමය සහිත සිව්පද කවියෙ අන්තිම පදේ විතරයි මට මතක.

"පාසල් මවුනි වඳිනෙමි ඔබ පා තඹර"

මේ කොළුව මට වැඩිය මාස කිහිපයක් වැඩිමල් ඇති වැඩිම උනොත්. අවුරුදු අටක ළමයෙක් කොහොමද ඔච්චර දෙයක් ලියන්නේ?

කවිය හදල තිබුනෙ විතරක් නෙමේ පොස්ට් කාඩ් එකේ ලියල තිබුනෙත්, අටේ පන්තියෙ හිටපු උන් ගෙ අක්කා!

පෝස්ට් කාඩ් එකේ ලියල තිබුණු නම විතරයි තුනේ පන්තියෙ මල්ලි ට අයිති.

මං දැක්ක මේ එකම එක කවියවත්, අපේ පන්තියෙ හරි ඉස්කෝලෙ හරි ළමයෙක් ලියපු වෙන කිසිම කවියක් වත් මං දන්න තරමින් මිහිර පත්තරේ පලවුනේ නෑ.

මාත් ඊට පස්සෙ කවියක් ලිව්ව නං ලිව්වෙ හතේ පන්තියෙ විතර ඉඳිද්දී, සිංහල පාඩමේ අභ්‍යාසයක් විදියට කවියක් ලියන්න ජයසෝම ටීචර් ගෙන් අණ ලැබුණු වෙලාවල් වලට විතරයි.

බ්ලොග් කාරයෙක් වෙන එක වගේ නෙමේ, කවියෙක් වෙන එකනම් ලේසි පාසු වැඩක් නෙමේ!

මෙන්න මං හතේ පන්තියෙ දි විතර ලියපු කවියක්

සුලඟ

දොරකට ලඟ ලොවි ගහේ
මල් පිපිලා සුවඳ හමයි
හැම තැන යන සුලඟ ඇවිත්
බඹරිඳු හට එය පවසයි
පොඩි ළමයා අවදි වෙයි
කැරකෙන පෙත්තක් හදයි
හැම තැන යන සුලඟ ඇවිත්
විගහට එය කරකවයි
හිරු රැස් වැඩි වී ගොසින්
පීඩා එයි දස අතින්
හැම තැන යන සුලඟ ඇවිත්
අපගේ ගිම් රැස් නිවයි
(තව පදයක් තිබුනේය. දැන් අමතකයි.)

හැබැයි පොඩි කාලෙ ඉඳලම කොච්චර පොඩි පොඩි ක්‍රෂ් තිබුනත් මුලින් ම කෙල්ලෙක් ගැන කවියක් ලිව්වෙ නං අවුරුදු දාසයේ දි විතර.

ඒ කතන්දරේ වෙනම ලියන්නං පස්සෙ දවසක.

කතන්දර කාරයා.

Friday, 6 November 2009

යුනිකෝ සහ මේඝ - අපේ කාලයේ වීරයෝ


මං පොඩි කාලෙ අපේ වයසෙ කොල්ලන් ගෙ වීරයො හිටියෙ ටෙලිවිෂන් එකේ නෙමේ චිත්‍රකතා පත්තර වලයි. ඒ දවස් වල ජනප්‍රිය වෙලා තිබුණු සතුට කියන චිත්‍රකතා පත්තරේ අපේ කාලේ වීරයෝ දෙන්නෙක් තමා යුනිකෝ සහ මේඝ කියන චිත්‍ර කතා චරිත දෙක.

යුනිකෝ කියන්නෙ බැට් මෑන් වගේ ඇස් දෙක වහගත්ත, ආදි යුරෝපීය යුගයකට අයිති චරිතයක්. කෑවෙ මස් පුච්චලා. සටන් කළේ කෘර රජවරුන්, නපුරු සෙනෙවියන් එක්ක. නමුත් මිනිහ සේරම කලේ මසල් පවර් එකෙන්. කඩු ෆයිට් කෝටියයි. කොහොම හරි කුමාරි ව බේරගන්නව අන්තිමේදි.

මේඝ කියන්නෙ ටාසන් වගේ කැලෑවක ඉන්න වීරයෙක්. හැබැයි තනිකරම දේශීය චරිතයක්. කෑවෙ පලතුරු තමා බොහෝ විට. සටන් කළේ කෑලේ වනසන්න එන අය එක්ක. පොදුවේ දුෂ්ඨයො එක්ක. බාහු බලේ තමයි නැවතත්. රූමතියෙක් දෙන්නෙක් බේර ගන්න එකත් රූටින්ලි කළා.

ඔය දවස්වල මං හතේ පන්තියෙ විතර හිටියෙ ලොකු ඉස්කෝලෙ. අපේ පන්තියෙ හිටිය උසට මහතට කැපිල පේන කොල්ලො දෙන්නෙක්. එකෙක් සුනිල්. අනිකා පියතිලක. මේ දෙන්නම එකම ගමේ එක ලඟ ගෙවල් දෙකක ඉඳලයි ඉස්කෝලෙ ආවෙ. සුනිල් ගෙ තාත්ත පුද්ගලික සමාගමක කල ජොබ් එකමයි පියතිලක ගෙ තාත්ත ආණ්ඩුවෙ සංස්ථාවක කලේ. පවුල් දෙක හිතවත්. ඒ හින්දද කොහෙද මුලිං යාළුවො වුනු මුං දෙන්න අතර මේ වෙන කොට ඇතිවෙලා තිබුණ ටිකක් නෙමේ සෑහෙන්න තරහක්.

සුනිලුයි, පියතිලකයි දෙන්නම අපේ පන්තියෙ අනිත් කොල්ලො එක්ක ගත්තහම නිකං යෝධයො වගේ. උසින් මහතින් දෙකෙන් ම. ඉතිං ටික දවසකින් ම මුං දෙන්නට නම් දෙකක් පට බැඳුණ.

සුනිල් තමා යුනිකෝ. පියතිලක මේඝ.

වෙන සරදම් නම් වලට වගේ නෙමේ, යුනිකෝ, මේඝ වගේ වීරයින් ගෙ නම් වලට කවුද අකමැති වෙන්නේ.

ඒ විතරක් නෙමේ පන්තියෙ හිටපු කොල්ලො කීප දෙනෙක් නීරෝ සහ මේඝ වටේ කල්ලි ගැහුණ.

චිත්‍රකතාවෙ යුනිකෝ ගෙ හොඳම යාළුවා ගෙ නම ඔමෙගා. සුනිල් ගෙ හොඳම සගයා තමන් ට ඒ නම දා ගත්ත.

කැලේ හිටිය මේඝ ගෙ යාළුවො සේරම අලි, කොටි, වඳුරො වගේ වන සත්තු. ඒ නිසා, අපේ පන්තියෙ මේඝ ගෙ පිලේ උන්ට වෙනත් නම් තිබුනෙ නෑ.

කාලය ගෙවී ගියා. අපි ඉස්කොලෙන් විසිරිලා ගියා ඕ ලෙවල් වලින් පස්සෙ. ඔහොම කාලයක් ගතවෙලා, අවුරුදු හතකට පස්සෙ මට සුනිල් ව යි, පියතිලක ව යි දෙන්නව වෙන වෙනම හම්බ වුනා අහම්බෙන් වගේ.

එදා හයේ පන්තියෙ දි උස මහතට හිටපු, යුනිකෝ සහ මේඝ කියන වීරයින් ගෙ නම් වලින් හැඳින්වුනු වීරයො දෙන්න, අනේ අවුරුදු නමයකට පස්සෙ බැලින්නම් අඩි පහේ මිට්ටො දෙන්නෙක් විතරයි.

දෙන්නම මා එක්ක කතා කලේ ඔළු උඩට උස්සගෙන. මට තේරුණේ මං උං දෙන්නට වැඩිය අඩියක් විතර උසයි කියල. ඒ කෙසේ වෙතත් මං දෙන්නටම වැඩිය අඟල් අටක් විතර උසයි.

සුනිල් ගෙ යි, පියතිලක ගෙ යි ශරීර වර්ධනය නමයේ පන්තියෙන් නැවතිලා වගේ. උං දෙන්න එදා යෝධයෝ අද කුරුමිට්ටෝ.

එදා කුරුමිට්ටා, මං, අද යෝධයෙක් වෙලා.

අනේ පව් යුනිකෝ!

අනේ පව් මේඝ!!

අපේ කාලයේ වීරයන් කී දෙනෙකුට ඕක උනාද? ශාරීරීකව විතරක් ම නෙමේ!

ඉස්සර සමහර සිංහයෝ දැන් හුරතල් බැටළු පැටවු වෙලා ඔය ඉන්නෙ.

කතන්දරකාරයා

Tuesday, 3 November 2009

තිතට මත!!! ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්! නෑ, නෑ, නෑ, නෑ, නෑ!!




බොහොමයක් කන්තෝරුවල තවමත් ඉන්නව "පියන්" කියන සේවයේ නිරත වෙන පිරිසක්. මේ තමයි සාමාන්‍යයෙන් කාර්්‍යාල සේවාවේ තියෙන පහලම මට්ටමේ රැකියාව. ඒ වගෙම ඉතිං පඩියත් අඩුයි.

මේ පියන් කියන ජොබ් එක සුද්දගෙ කාලෙ ඉඳල තියෙන රැකියාවක් මං දන්න හැටියට. ටී.බී. ඉලංගරත්න ගෙ "තිලක" නවකතාවෙ තියෙන හැටියට ඒ කාලෙ ප්‍රධාන පියන් ගෙ පඩිය මූලික තලයේ ලිපිකරුවා ගේ පඩියට වඩා වැඩියි.

පියන් ල ගෙ ප්‍රධාන රාජකාරිය ඔෆීසියේ එක එක අංශ අතර ලිපි එහා මෙහා ගෙන යෑම. මීට අමතරව සුළු සුළු කඩේ යෑම් කිරීමත් කළ යුතුව තිබුණ.

කොළඹ විස්ස විජ්ජාලෙ සරත් විජේසූරිය ලොක්ක ගෙ "මගේ නඩුව ඉවරයි" කියන නවකතාවෙ අපූරුවට විස්තර කරල තියෙනව ලොක්කන් ගෙ ජඩ වැඩ වලට පියන් ල ව යොදා ගන්න හැටි, නිළ බලය පෙන්නල පියන් ල ගෙ අසරණ කමෙන් අනිසි ප්‍රයෝජන අරගෙන.

අපි හුඟ දෙනෙක් දන්න විදියට පියන් කියන ඉංගිරිසි වචනය වෙනුවට භාවිතා වෙන සිංහල නම තමයි කා.කා.ස. එහෙම නැත්නම් කාර්යාල කාර්ය සහායක. ඔෆිස් ඇසිස්ටන්ට් කියල කියන්න පුළුවන් ව්‍යවහාරික භාෂාවෙන්.

අද මං කියන්න යන්නෙ මං වැඩ කරපු තැනක හිටිය කාර්යාල කාර්ය සහායක ගැනයි.

ජයසේන හරිම හොඳ මනුස්සය. වයස හතලිස් පහක් විතර ඇති. අපේ ඔෆිස් එක තිබුනෙ කොළඹින් පොඩ්ඩක් දුර පලාතක. මිනිහ වැඩට ආවෙ පොඩි මෝටර් සයිකලේක. මිනිහ කසාඳ බැඳල. පාසැල් යන දරුවො තුන් දෙනෙකුත් උන්න.

ජයසේනට ආවේණික වුනු හරිම අපූරු ලක්‍ෂණයක් තමා මිනිහ ගෙ කටේ කවදාවත් ඔව්, නෑ, බෑ, හා වගේ කෙටි වචන තිබුණෙ නෑ. මිනිහ මේ වචන පාවිච්චි කළේ කිසි ලෝබ කමක් නැතුවයි.

ජයසේන හෙට වැඩට එනවද?
ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්.

ජයසේන මේ ලියුම ගිහින් එකවුන්ට් ඔෆිස් එකට දෙන්න පුළුවන්ද?
හා, හා, හා, හා, හා.

ඔය විදියට තනි වචනෙ කතාවක් මිනිහ ගෙ තිබුනෙම නෑ.

නමුත් එක හොඳක් තිබුනෙ ඇත්තටම අපි එක පාරක් ඔව් කියන්න කලින් මිනිහට පුළුවනි පස් පාරක් ඔව් කියන්න ඒ විදියට. ඒ වේගෙන් එක පාරක් විතරක් ඔව් කිව්ව නම් අපිට නොතේරෙන්නත් ඉඩ තිබුණ.

ජයසේන ගෙ නරක පුරුද්දකට තිබුණෙ නිතරම බුලත් විට කන එක විතරයි කියලයි මං හිතන් හිටියෙ. ඒත් ඔන්න එක දවසක, එදා ඔෆිස් එකේ සැලරි ඇඩ්වාන්ස් දෙන දවස, මිනිහ ගාවින් පොඩි සුවඳක් ආව. දන්නවනෙ මොන සුවඳද කියල. මිනිහ පොඩ්ඩක් පාවිච්චි කරල හිටිය බවකුයි මට හිතුනෙ.

ඊට පහුවදා ඔෆිස් එකේ දි, ඇතුළුවෙන දොර ලඟම තිබුණු ජයසේන ගෙ මේසෙ ලඟින් යන ගමන් මං නිකමට වගේ කිව්ව මෙහෙම.

ඊයෙ ජයසේන ලඟින් පොඩි සුවඳක් ආව නේද?
මිනිහ සද්ද නෑ.

පොඩ්ඩක් පාවිච්චි කරල නේද හිටියෙ?
නෑ, නෑ, නෑ, නෑ, නෑ!

එහෙම කියපු මිනිහ මෙන්න බොලේ එක පාරටම මං නොහිතපු විදියට පරල වුනා.

සර්, මං කිසිම දෙයක් කට හරියෙ තිබ්බෙ නෑ. සර් ට සැක හිතුන නං ගුණසිංහ මහත්තයට කියල මාව මෙඩිකල් එකකට යවන්න තිබුණනේ!

මං මිනිහට කිව්ව මෙහෙම.

මේ ජයසේන මේ, මට වැඩක් නෑ ඔයා බිව්වත් නැතත්. මං නිකමට මතක් කලේ හිතවත් කමට. මට ඔහේව මෙඩිකල් ගන්න යවන්න ඕනැ නම් අද වෙනකං ඉන්නවද මේක කියන්න? හැබැයි මතක තියා ගන්න එක දෙයක්. රෑ වෙලාවකට, එහෙම නැත්නං සති අන්තයට බොනව වගේ නෙමේ මේ මහ දවාලෙ ඔෆිස් එකේ දි බොන එක.

මිනිහ කට වහ ගත්ත.

රජයේ ආයතනික සංග්‍රහය අනුව සේවා වේලාවේ බීමත් ව සිටීම වැරද්දක්. වෛද්‍ය පරීක්‍ෂණයකින් ඔප්පු උනොත් වැඩ තහනම් වෙන්නත් පුළුවනි. එදා ජයසේන කලබල වුනේත්, මට චැලේන්ජ් කරල පොර ටෝක් දුන්නෙත් ඒකයි.

මේ කතාවෙ අවසානය දුකයි. අපේ කාර්යාල කාර්ය සහායක ජයසේන මේ සිද්ධියෙන් මාස කීපයකට පස්සෙ මැරුණ.

ජයසේන මැරුණෙ කොහොමද කියල හිතාගන්න පුළුවන් නේද?

එදා ටිකක් පොද වැස්සකුත් තිබුණු රාත්‍රියක, ජයසේන මෝටර් සයිකලෙන් ගෙදර යද්දි බස් එකකට ඉස්සර කරන්න යනකොට ඉස්සහට ආපු ලොරියක හැප්පිලා. ඒ තුවාල නිසා ඉස්පිරිතාලෙට ගෙනියන කොටමත් මිනිහ මැරිල.

එදා රෑ අනතුර වෙනකොට ජයසේන ගෙදර යමින් හිටියේ යාළුවෙකු ගේ අම්මගෙ මළ ගෙදර ගිහින් ඉඳලයි. දුකටත් එක්ක වගෙ එදා කට්ටිය පොඩ්ඩක් පාවිච්චි කරල තියෙනව. ඒ කික් එකත් එක්කයි ජයසේන ගෙදර යන්න පිටත් වෙලා තියෙන්නේ.

මාර්ග අනතුරු වලට එකම හේතුව ඩ්‍රයිවර්ල මත්පැන් බීල වාහන පදවන නිසාම නෙමේ. නමුත් බීල කාර් එලවන්න, මෝටර් සයිකල් පදින්න ගියා ම අනතුරකට ලක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි වෙනව. රෝද දෙකේ වාහන වල අනතුරුදායක කම කොහොමටත් වැඩියිනේ රෝද හතරේ ඒවට වඩා.

අන්තිමේදි ඉතින් මල හිරු බසිනා සැන්දෑ යාමෙක ජයසේන අපෙන් සමුගෙන අවසන් ගමන් ගියා. බිරිඳ වැන්දඹු වුනා. දරුවො තුන් දෙනෙක් අසරණ වුනා.

එදා ජයසේන දවල් වරුවෙ ඔෆිස් එකේ බීල ඉන්න ගඳ මට දැනුන වෙලේ මං ලොක්කට පැමිණිලි කරල විනය පරීක්‍ෂණයක් තිබ්බ නම් සමහර විට ජයසේන ට මේ ඉරණම අයිති නොවෙන්න තිබුණ කියල මට හිතුණ.

ජයසේන හිටිය නම් කියයි සමහර විට ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව් කියල.

ඒත් ඒක නිකම් කල්පිත සිතුවිල්ලක් මිස කිසිම ප්‍රයෝජනයකට ඇති එකක් නෙමේ.

කතන්දර කාරයා
I am Facebook. Add me.

Saturday, 31 October 2009

කතන්දර - ගුණරත්න සර් ගෙ ටියුෂන් පන්තිය


මේක මං අටේ පන්තියෙ ඉගෙන ගන්න කාලෙ ගැන කියවෙන පරණ කතාවක්.

අපිට ගණිතය ඉගැන්නුවෙ ගුණරත්න සර්. පොර තමයි හයේ පන්තියෙ ලොකු ඉස්කෝලෙට ගිය දා ඉඳල අපේ පන්තිබාර ගුරුතුමා උනෙත්. හොඳ මනුස්සය.

අපේ පන්තියෙ හිටිය රෝහණ කියල කොල්ලෙක්. රෝහණ ගෙ අක්ක හිටිය අපිට ඉහල පන්තියෙ. ඒ දෙන්නම ගුණරත්න සර්ගෙ ටියුෂන් පන්තියට යනව කියල මිනිහ මට දවසක් කිව්ව. ගණිතය සහ ඉංග්‍රීසි.

එතෙනට ගොඩක් ළමයි එනවළු. එක එක පන්ති වල. ඇත්තටම කියනව නං ඒක ටියුෂන් ඉස්කෝලයක්. හය, හත, අට, නමය හැම පන්තියක්ම තියෙනව. සතියෙ දවස් පහේම. හැබැයි එකම ගුරුවරය තමයි ගුණරත්න සර්.

රෝහණ කිව්ව මට හැම දාම කොල්ලො ටික එකතු වෙලා ක්‍රිකට් ගහනව කියල. මට මාර උනන්දුවක් ඇතිවුනා ඒක අහල. ඒත් ඉතිං මට එච්චර ටියුෂන් යන්න අවශ්‍යතාවයක් තිබුනෙ නෑ. ගණිතය මට අවුලක් තිබුනෙ නෑ. මතකනෙ අල්ලපු පන්තියෙ පබසරා ට ත් ඕනැ වුනු හැටි මගෙන් ගණං අහගන්න. ඉංග්‍රීසි නං ඕනි වුනොත් ගෙදර තාත්ත හිටියනෙ.

ඉතිං මාස දෙක තුනක් ඔහොම ගතවෙලා ගියා. එක දවසක් මට ඉස්කෝලෙදි පන්තියෙන් පිටත දි කතා කරපු ගුණරත්න සර්, එයා හවස පන්තියක් දාල තියෙන බවත්, ළමයි ගොඩක් එන බවත් කියල මටත් කැමති නං එන්නැයි කිව්ව. ගාස්තුව සුළු ගාණක්.

මං ගෙදර ගිහිං කිව්ව මේ කතාව. අම්මයි තාත්තයි දෙන්නම කැමති වුනා, කිසිම ප්‍රශ්ණයක් නැතුව. පහුවදා ඉඳලම මං හවස පන්තියට යන්න පටන් ගත්ත. අපේ ඉස්කෝලෙ එක හමාරට ඇරිල මං ගෙදතර එන කොට එකයි හතලිස් පහ විතර එනවා. කාපු ගමං මං කරන්නේ විනාඩි පහලොවක් විතර ඇවිදගෙන යන දුරින් තියෙන ගුණරත්න සර් ගෙ පන්තියට යනව. රෝහණ ල හෙම බස් එකෙන් යන දුර ඉන්න අයනෙ. උං, ගෙදරින් ගේන කෑම ඉස්කෝලෙදි කාල හෙමින් සීරුවෙන පන්තියට සෙට් වෙනව.

පන්තියක් කිව්වට මේක නිකං ටකරං මඩුවක්. ඒ වත්ත අයිති ගුණරත්න සර් ට වගෙයි පෙනුනෙ. මිනිහ පවුල එක්කම හිටියෙ ලඟ ගෙයක කුලියට. මේ වත්තෙ තමයි පොර ගෙයක් හදමින් හිටියෙ. ඒ වෙන කොට තිබුනෙ පරණ වෙච්ච අත්තිවාරමක් විතරයි. මාස ගාණක් මං එතන පන්තියට ගියත් ඒක උඩට ඉස්සුනනේ නං නෑ. පව්!

දෙකට විතර එතනට සෙට් වෙච්ච වෙලේ ඉඳන් අපි කරන්නෙ ක්‍රිකට් ගහන එකයි. මං මුලින් කිව්වනෙ හයේ පන්තියෙ ඉඳල නමයෙ දහයෙ පන්තිය වෙනකං ගණනුයි, ඉංග්‍රීසියි දෙකම උගන්නන්නෙ ගුණරත්න සර් ම යි කියල.

මෙහෙමයි ඒක කරන්නෙ.

ඔන්න අපි පැය බාගයක් විතර ක්‍රිකට් ගහන කොට පොර එනව අල්ලපු වත්තෙ ගෙදර ඉඳල පන්තිය තියෙන තැනට. සතියෙ දින පහෙන් සඳුදා, අගහරුවාදා, සිකුරාදා ට ගණං, අනිත් දවස් දෙකට ඉංගී්‍රසි. මුලින් ම හයේ පන්තියෙ ළමයින් ව ගන්නව පන්තිය අස්සට. පාඩමක් කියල දීල කරන්න වැඩ බාර දෙනව, ඊලඟට හතේ පන්තියෙ ළමයින් ව ගන්නව. මං හිටියෙ අටේ. අපේ ටර්න් එක එනකොට හවස හතරත් පහුවෙලා, ක්‍රිකට් ගහල අපි ට හොඳටම හති.

මං පන්තියට ගිය මාස හතර පහේ කාලයෙදී දවස් දෙක තුනක දී ම අපි කිසිම පාඩං වැඩක් කලේ නෑ, ක්‍රිකට් මිස.

නමේ පන්තියට ගියාම අපේ පන්ති බාර ගුරුවරයා විදියට ආවෙ නුගේරා සර්. ඒ මදිවට මිනිහ ගෙත් විෂයය ගණිතය. ඉතිං ගුණරත්න සර් ගෙ ටියුෂන් පන්තියට යෑම අටේ පන්තියේ අවසානයෙන් ම නතර වුනා.

එදා ගුණරත්න සර් තමන් ගෙ ටියුෂන් පන්තියට මට එන්න කීම කිසිසේත් ම සදාචාරාත්මක දෙයක් නෙමේ.

මට අමතර ටියුෂන් වල කිසි අවශ්‍යතාවයක් තිබුණෙ නෑ. ඒක පොරත් හොදට දන්නව හයේ පන්තියෙ ඉඳලම මං හිටපු පන්ති බාර සහ ගණිත ගුරුවරයා විදියට.

නමුත් එකක් කියන්න ඕනැ. පන්තියට එන්න ලැබුණු ආරාධනය මට ඉබ්බ දියේ දැමීමම වගෙ එකක්. හවසට එතන ක්‍රිකට් ගහන්න සෙට් වෙන්නෙ කොහෙමද කියල මං දුක් වෙවී යි හිටියෙ. තාත්තත් ඇහැව්ව ගමං ෆස් නොකර කැමති උනා. වැඩි මුදලක් වියදම් කරගන්නෙ නැතුව, සතියෙ දවස් පහේම හවස් වරුවෙ මාව ගෙදරින් පිටත් කරල තියන්න පුළුවන් හින්දද මන්ද ඒ?

කොහෙම උනත් මෙතන ඉල්ලුම සැපයුම සමපාත වීම හැර අන් කිසි වරදක් නෑ කියලයි මගේ අදටත් හැඟීම.

කතන්දර කාරයා

Friday, 30 October 2009

කතන්දර කාරයා - සැප්තැම්බර් පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස් මෙන්න!



එන්න! කියවන්න!! ප්‍රීතිවන්න!!!

1. ලොකු වෙලා තාත්ත කෙනෙක් වෙන්න ආසයි

2. මයි ෆර්ස්ට් ක්‍රෂ් - ලව් ලෙටර් කතාවට අතුරු කතාවක්

3. අක්කිගෙ ණුවන - සුනේත්‍රා හෙවත් අවිචාර සමය

4. මාස දෙකයි - වැඩේ පබා වෙයිද?

5. ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද?

6. ශිෂ්‍ය නායකයෝ කාගේ නායකයෝ ද? - අවලාද වලට පිලිතුරු

7. ප්‍රින්සිපල් ඩ්‍රයිවින් ස්කෝඩා

8. කතන්දර බ්ලොග් එක ආයෙත් සන්නසේ ගිහින් - ප්‍රීතියි, ප්‍රීතියි, ප්‍රීතියි!!!

9. බන්දුල ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව

10. ලඬ්කාණ්ඩුවේ අටපට්ටම් පැන්සල

යන්න! කියවන්න!! ප්‍රීතිවන්න!!!

කතන්දර කාරයා

Wednesday, 28 October 2009

කතන්දර - සුලි දෙකේ බලි කටා












සුලිය කියන්නේ එකතැන කැරකැවෙන දෙයකටයි. දිය සුලි තියෙනවා, සුලි සුලං තියෙනවා, ඒ එක්කම ඔළුවෙ කෙස් වලත් සුලි තියෙනවා.

කෙස් වල එක සුලියක් නම් ඕනෑම කෙනෙකු ගේ තියෙනවා ඔළුව පිටුපස්සේ. මීට අමතරව, සමහරුන් ගේ ඉස්සරහ කෙස් වලත් සුලියක් තියෙනවා. ඒත් පිටුපස්සේ සුලි දෙකක් තියෙන්නේ එහෙමත් එක් කෙනෙකුටයි.

ඒ විදියට පිටිපස්සේ සුලි දෙකක් තියෙන කොල්ලන් ට ඉස්සර අපි පුංචි කාලේ හිනාවුනේ, "සුලි දෙකේ බලි කටා, පොල්කටු හැන්දෙන් ගුටි කකා" කියලයි. ඒකෙ තේරුම තමයි සුලි දෙකක් තියෙන කොල්ලෝ ලොකු වෙලා කසාද බැන්දට පස්සේ ගෑනි ගෙන් පොල්කටු හැඳි පාර කන්න වෙනවාය කියන එක.

මං හයේ පන්තියට ලොකු ඉස්කෝලෙට ගියාම, අපේ පන්තියට වැටුනු ළමයෙක් තමා ජයතිස්ස. මිනිහ ගෙ ඔළුව පිටුපස්සෙ හිස කෙස් වල සුලි දෙකක් තිබුන. ඉතිං, "සුලි දෙකේ බලි කටා, පොල් කටු හැන්දෙන් ගුටි කකා" කියන කතාව කිය කිය අපි අනිවාර්යයෙන් ජයතිස්ස ට හිනා වුනා.

ජයතිස්සල ගෙ පැත්තෙන් ම අළුතින් අපේ ඉස්කෝලෙට ආපු කොල්ලෙක් තමයි ජයශාන්ත. එකම ප්‍රාඨමික පාසලේ ඉඳල ආපු හින්ද ද කොහෙද මේ දෙන්නගෙ තිබුණ පොඩි තරහක්. ජයතිස්ස ගෙ අම්ම, ජයශාන්ත ගෙත් ටීචර් කෙනෙක් වීමත් ඒකට එක හේතුවක් වෙන්න ඇති.

කොටින් ම ජයතිස්සගෙ අම්මට ඉස්කෝලෙදි කොල්ලො කියන්නෙ "තල්මහ" කියල බවත් ජයශාන්ත මාත් එක්ක කිව්ව.
ජයතිස්ස ගැන, ජයශාන්ත කිව්වෙ එකම එක කතාවයි. "සුලි දෙකේ බලි කටා, ඕක මැරෙන්නෙ දියේ ගිලිල!" ජයශාන්ත එක දවසක් මා එක්ක කිව්ව.

මං එදා හිතුවෙ ජයශාන්තය එහෙම කිව්වෙ ජයතිස්ස එක්ක තියෙන කෝන්තරේ හින්ද කියලයි. සුලි දෙකක් තියෙන එකයි මරණයයි අතර තියෙනවායි කියපු සම්බන්ධය කොහොම විශ්වාස කරන්නද?

ඒත් ජයශාන්ත කිව්ව වගේ ම, අපි හතේ පන්තියෙ ඉන්දැද්දි හොදටම වැස්ස කාලෙ දවසක වෙලේ ගංවතුර බලන්න ගිහිං වේල්ලට ඇදගෙන වැටිල ජයතිස්ස ඉතාමත් අවාසනාවන්ත විදියට මිය ගියා.

අපි පාසලෙන් අවමගුල් ගෙදරට ගියේ අතර මග ගමනාවසාන කරපු බස් එකෙන් බැහැල අඩි දෙකක් විතර ගැඹුරු වතුරෙ බැහැල ඇවිදගෙන බව මට තාමත් මතකයි.

මේ දුක්බර කතාව නැවතත් මගෙ සිහියට ආවේ පසුගිය දා ක බ්ලොග් එකට ලියපු සුසන්ත සිස්සස්සෙස යනවද? කතන්දරේ ට ආපු කමෙන්ට් එකකට උත්තර කියන කොටයි.

කතන්දර කාරයා

Tuesday, 27 October 2009

කතන්දර කාරයාඃ පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස් II



මං පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස් දාන්න පටන් ගත්තේ සාහිත්‍ය.එල්කේ (sahithya.lk) එකේ ලයිස්තුවට කතන්දර බ්ලොග් එක ඇතුලත් කරවා ගත් නිසා එහි සින්ඩිකේටරය ද, ඊ මේල් වලට ද එකතු වෙයි කියා සිතා, අළුතින් කතන්දර බලන්නට එන කෂ්ටියට පහසු වෙන්නයි.

කතන්දර බ්ලොග් එකට ලින්ක් එකක් sahithya.lk එකේ දකුණු පස ලයිස්තුවේ ඇතත් කතන්දර බ්ලොග් RSS ෆීඩ් එක නොලැබෙන හැඩයි.

කෙසේ වෙතත්, මෙන්න අගෝස්තු කතන්දර වලට ලින්ක්ස්.

1. ඔන්න සිංහල තලිබාන් ලා ඇවිත්!

2. ලව් ලෙටර් එකක කතාවක්

3. අංකල්ල ගෙ කතා

4. ප්‍රීතියි! ප්‍රීතියි!! ප්‍රීතියි!!! මගේ Blog එක උස්සලා

5. අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී

6. අරක්කු ඕනා, කෝක් වානා

7. අරක්කු ඕනා, කෝක් වානා - ගිෆන් භාණ්ඩ

8. මීමැස්සියකඝෙන් කතන්දර කාරයාට ලිපියක්

9. ගෙදර එක්ක තරහ වුනා

10. තුන්වැන්නී නොහොත් සහායට ඩැනී ගෙන් කතන්දර කාරයාට ලිපියක්

11. ලෙඩුන් බැලීම - තුන්වැන්නී එවූ කතාව

12. ඉන්දියන් කාරයාට ලැබුණු බර්ත් ඩේ කාඩ් එක

කතන්දර කාරයා
මං Facebook එකේ ඉන්නවා. Add Me!

Monday, 26 October 2009

කතන්දර කාරයා - පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස්


මේ සුමානේ මගේ කතන්දර බලන්න අමුත්තන් ගොඩක් ඒමට ඉඩ ඇති නිසා මට හිතුනා මගේ පරණ කතන්දර වලට අළුත් ලින්ක්ස් දාන්න.

පරණ පුරුදු customers ලාටත් මේ ලින්ක්ස් පාවිච්චි කරන්න තහනමක් නෑ.

මෙන්න ජූලි මාසෙ post කරපු කතන්දර ලයිස්තුව.

1. කාලෝ ෆොන්සේකා ට සීට් එක දුන්න දා

2. සුද්දට පාර කියපු හැටි

3. සීලවතී සිල් අරගෙන

4. සුසන්ත සිස්සස්සෙට යනවද?

5. සුදා ල ගෙ කඩේ ප්‍රේමේ - මූදෙන් ගෙම්බෙක්

6. පන්සල් යන්න සරොං අඳින්න ඕනෑද?

අගෝස්තු මාසෙ ලයිස්තුව හෙට දාන්නං.

කියවන කතන්දර වලට කැමති නම් comment එකක් දාන්න. කැමතිනම් eMail එකක් එවන්න. [kathandara@gmail.com]

කතන්දර කාරයා.
මං Facebook එකේ ඉන්නවා. Add Me!

Saturday, 24 October 2009

බන්ස්, පාන්ස් සහ බෑග්ස් - Buns, Pãns and Bags


මේක නං ඉතාමත් කෙටි කතන්දරයක්. කොච්චර ඇත්තක් ද කියල මං හරියට දන්නෙත් නෑ. හැබැයි මට අවුරුදු ගානකට ඉස්සෙල්ල මේ කතාව කියපු පොර නම් කිව්වෙ මේක සහතික ඇත්ත කියලයි.

මං ඒ ලෙවෙල් කරන කාලෙ අපි ගිය කෝච්චියෙම ගියා කෙල්ලෙක් සෙන්ට් පෝල්ස් එකට. මාර ලස්සනයි. හැබැයි ඒ අර ලංවෙන්න හිතෙන්නෙ නැති විදියේ ලස්සනක්.

ඒ කියන්නෙ කෙල්ලගෙ ලස්සනත් එක්කම හරිම සොෆිස්ටිකේටඩ් ගතියක් තිබුණා. දැක්කහම හිතෙන්නෙ නෑ ට්‍රයි එකක් දෙන්න. සිරා වැඩියි කියල හිතෙනව.

ඈත ඉඳන් බලා ඉන්න හොඳයි. ලඟට ගියොත් පිච්චෙයි කියල බයයි.

අපේ ස්ටේෂන් එක ලඟ කඩ පේලියක් තියෙනවා. මේකෙ තියෙනව බේකරි කඩයක්. දවසක් මේ කතන්දරේ කියපු මගේ යාළුවා මෙතන ඉන්න කොට කඩේට ආවළු මේ කෙල්ල.

මෙන්න මට වාර්තා වුනු විදියට එතන මුදලාලි යි කෙල්ලයි අතර වුනු දෙබස.

කෙල්ලඃ මුදලාලි, බන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, පාන්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, බෑග්ස් තියෙනවද?
මුදලාලිඃ ඔව්!

කෙල්ලඃ මුදලාලි, බන්ස් දෙකකුයි, පාන්ස් එකකුයි, බෑග්ස් එකක දාල දෙනවද?

මේ කතාව මතක්වෙන මතක්වෙන වාරයක් පාසා අපිට හිනා ඒ දවස්වල. තාමත් එහෙමයි.

කතන්දර කාරයා

පරණ කතන්දර බලන්න මෙන්න ලින්ක්ස්.
ජූලි මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_07_01_archive.html

අගෝස්තු මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_08_01_archive.html

සැප්තැම්බර් මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_09_01_archive.html

ඔක්තෝබර් මාසේ කතන්දර: http://kathandara.blogspot.com/2009_10_01_archive.html

Tuesday, 20 October 2009

බේසික්, ෆෝට්‍රාන්, ජාලිය


ඉස්කොලෙ යන කාලෙ විතරක් නෙමේ අදත් මට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමා විෂයය කරුණක් ගැන අළුත් වචන දෙක තුනක් එකපාර ඔළුවට දා ගත්තම, ඒව එකිනෙකින් වෙන් කරල හඳුන ගන්න එක.

මේක අපි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්ණයක්. උදාහරණ විදියට, 1/2, 3/2 වගේ භාග සංඛ්‍යාවක ඉරෙන් උඩ තියෙන්නේ ලවය ද හරය ද? හෘදය වස්තුවේ උඩ කුහර කර්ණිකා ද, කෝෂිකාද? කෝණයක සයින් අගය එන්නේ විරුද්ධ පාදය කර්ණයෙන් බෙදුවාම ද, බද්ධ පාදය කර්ණයෙන් බෙදුවාම ද, ඔන්න ඔය වගේ අති සරල, නමුත් ඉතා අසීරු ප්‍රශ්ණ.

අපි හුඟ දෙනෙක් දන්නව වගේ මේව මතක තියාගන්න පොඩි පොඩි උපක්‍රම තියෙනව.

ලවය හරය කියන උභතෝකෝටිකය විසඳන්නේ ලවයට ළමයාත්, හරයට හරකාත් ආදේශ කිරීමෙන්. හරකා ගෙ පිට උඩ ළමයා මිස ළමයා ගේ පිට උඩ හරකා වෙන්න බෑනෙ. ඉතිං ජීවිතේට ලවය හරය මාරුවෙන්නෙ නෑ.

මතකද, ආවර්තිතා වගුවෙ එක් එක් මූල ද්‍රව්‍ය තියෙන පිළිවෙල මතක තියාගන්න තිබුණ උපක්‍රම. බෝතලේ ඇලී, ගැලී ඉන්නා තැලියා. නිමල්ගෙයි පද්මිගෙයි ආස්සරේ ඇන්ටි බින්දා වගේ සරල ක්‍රම.

මේ කතන්දරයත් ඔන්න ඔය ලයින් එකේ එකක්.

ඔන්න එක පන්තියක දි පාඩම යන වෙලේ, එක කොල්ලෙක් නිදා ගෙන ඉන්නව වගේ දැක්ක ගුරුවරයා එක පාරටම ඌට දමල ගැහැව්ව ප්‍රශ්ණයකින්.

හා කියනව බලන්න, මොනවද තුන්වෙනි පරම්පරාවෙ පරිගණක භාෂා වලට උදාහරණ කිහිපයක්.

අපේ යාළුව අඩ නින්දෙන් ඇහැරුණා. පොරට යාන්තං මතකයි මේකට උත්තරේ. එකක් බේසික්, තව එකක් ෆෝට්‍රාන්. තුන් වෙනි එක මොකක්ද කියල එක පාරට කටට ආවෙ නෑ.

ඔන්න, ගඟෙන් එහා පැත්තෙ ඉස්කෝලෙ කොල්ලෙක් හිටිය උගෙ නම කීර්ති. කවුරුත් පොරට කීවෙ පැස්කුවල් කියලයි, ඒ කීර්ති පැස්කුවල් කියන ගායකයා හින්දයි. පැස්කුවල් එක්ක නිතරම ගැවසුන පැස්කුවල් ගෙ හොඳම යාළුවෙක් තමා ජාලිය.

ඔන්න සර් බලන් ඉන්නව අපේ පොර උත්තර දෙනකං. එක පාරටම උත්තරේ කටට ආව.

බේසික්, ෆෝට්‍රාන්, ජාලිය!

මුළු පන්තියම හිනාවෙන කොටයි මෑන් ට තමන් ට වුනු වරද තේරුණේ.

ඉස්සර සයන්ටිෆික් වැඩ වලට පාවිච්චි කරපු කම්පියුටර් ලැන්ග්වේජ් එකක් තමයි පැස්කාල්. අපේ යාළුවා ලේසියට මේක මතක තියා ගෙන ඉඳල තියෙන්නෙ පැස්කුවෙල් කියලයි. පැස්කුවෙල් කියන්නෙ ගඟෙන් එගොඩ ඉස්කෝලෙ කොල්ලෙක් නේ. ඉතිං, නිදිමත පිටම එක පාටරම කටට ආවෙ පැස්කුවෙල් ගෙ නම නෙමේ පැස්කුවෙන්ගෙ හොඳම යාළුව ජාලිය ගෙ නම යි.

තව ටිකක් නිදිමත තිබුන නං කියයි ක්‍රිෂ්ණජිනා කියල!

-කතන්දර කාරයා

Sunday, 18 October 2009

ජනප්‍රිය 100 දිනය පසු කළා....!!!


කතන්දර බ්ලොග් එක අද ඔක්තෝම්බර් 18 දින සිය සාර්ථක සියවන (100) දිනය පසු කරයි. පසුගිය ජූලි 11 දින දා සිට ආ මේ ගමන සතුටුදායක එකක් බව අමුතුවෙන් කිව යුතුද?

මට ආපු feedback අනුව කතන්දර කියවීමට හුඟ දෙනෙක් ඛැමති බව පේනවා. දැනට page hits 10,500 පමණ ඇත. එයින් unique visitors 5,000 ද ඉක්මවයි. මගේ Facebook එකේ ද මිතුරන් 300 ක් පමණ ඇත.

අමතක වෙන්නට කලින් මගේ Blog මිතුරු මිතුරියන් සියළු දෙනාටම ස්තුති කරන්නට ඕනෑ. Thank You වේවා!

මේ සතුටුදායක දිනයේ මං අධිෂ්ඨාන කිහිපයක් කරන්නටයි මේ යන්නේ.

1. අද සිට දින තුනකට වරක් එක කතන්දරයක් ලියා පල කරමි. නැත්නං දැනට ඇති කතන්දර ටික කියන්නට මට මුළු ජීවිතේම ගතවෙනු ඇත.

2. මට ලැබෙන comment වලට reply කරන්නට ද මම අදහස් කරමි. මෙච්චර කල් එසේ කලේ අවශ්‍ය පරිදි පමණි. ඒ ද අළුත්ම පෝස්ට් දැමීමෙනි.

3. තවත් එකක් ඇත. එය දැනට මගේ හිතේ තබාගෙන ඉන්නම්. නිසි වෙලාවට, සමහර විට දෙසැම්බරයේ පමන, ඒ ගැන ලියන්නම්.

කතන්දරකාරයා.

පරණ කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com

Wednesday, 14 October 2009

අත්සන් කිරීම තහනම්











යුතනේසියා (Euthanasia) කියන්නේ සුඛිත, අනායාස මරණය කියන එකයි. ඒ කියන්නේ අසාධ්‍ය ලෙස මාරාන්තික රෝගයකින් දුක් විඳ විඳ ඉන්න කෙනෙකුට ඉක්මනින් මරණය ලඟා කර දීමයි. සමහර විට හොර රහසේ වෙන දෙයක්. හැබැයි නීතියෙන් තහනම්. මිනී මැරුමකට සමානයි පවතින නීතිය හමුවේ. යුතනේසියා කියන වචනය කලින් අහල පුරුදු නැති, තේරුම දන්නෙ නැති අයට මේක ඇහෙන්නෙ, යූත් ඉන් ඒසියා (Youth in Asia) කියලයි.

යූත් ඉන් ඒසියා ඊස් අ වෙරි කන්ට්‍රවර්ෂල් ටොපික් (Youth in Asia is a very controversial topic) කියල කවුදෝ කතාවකදි කියනව ඇහැණු කෙනෙක් මගෙන් ඇහැව්ව ආසියාවෙ තරුණයො කියන මාතෘකාව ඔච්චර විවාදාත්මක එකක් වෙන්නෙ කොහොමද කියල. මට මේ අවුල තේරුම් ගන්න සෑහෙන්න වෙලාවක් ගියා.

ඒක නෙමේ අද කතන්දරේ.

ඉස්සර අපි කුලියට හිටිය ගෙදරකට යන්න තිබුණු කෙටි පාරක් වැටිල තිබුනෙ වෙනත් ගෙවල් වගේකට යන පාරක් හරහා. මේකෙ බෝඩ් එකක් ගහල තිබුණ, දිස් ඉස් අ ප්‍රයිවෙට් රෝඩ් (This is a private road) කියල. මං පොඩි කාලෙ මෙතනින් යන එන කොට මේක කියවන්නේ දිස් ඉස් අ ෆේවරිට් රෝඩ් (This is a favourite road) කියලයි. සෑහෙන්න කාලයක් ගියා හරි වචනෙ හරි විදියට පෙන්න.

ඒකත් නෙමේ අද කතන්දරේ.

මං මුලින් කිව්ව කතා දෙකම ඉංගිරිසි වචන ඇහෙන හැටි, පෙනෙන හැටි ගැන කතා. ඒ සේරටම වඩා හොඳ කතාවක් මෙන්න. මේක සිංහල කතාවක්.

මං පොඩි කාලෙ, කෝච්චි ටිකට් එකක් දැක්ක ගමං කරන්නේ ඒකෙ පිටිපස්ස අත්සන් කරන එකයි. මේ මං දෙකේ තුනේ පන්තිවල ඉන්න කාලෙ. ඇත්තටම කියනවනම් මං අම්මගෙනුත් අහල ඉස්-ඉස්සෙල්ලාම අත්සන් කරන්න පුරුදු වුනෙත් මේ කෝච්චි ටිකට් වල පස්ස පැත්තෙ අත්සන් කරන්න ඕනැ වුනු හින්දමයි.

අත්සනක් ගහන්න, ඒ තරම් උනන්දුවක් ඇතිවුනේ ඇයි කියල දන්නවද?

හැම කෝච්චි ටිකට් එකක ම පිටු පස්සෙ ගහල තියෙනව "අන්සන්තක කිරීම තහනම්" කියල. ඒ කියන්නෙ තමන් ගත්ත ටිකට් එක වෙන කෙනෙකුට දීම තහනම් කියන එකයි. ඒ, කෝච්චි ටිකට් නිකුත් කල දවස පුරා වලංගු නිසා එක ටිකට් එකෙන් දෙතුන් දෙනෙක් යන එක වලක්වන්නයි. හුඟක් ස්ටේෂන් වල ටිකට් එකතු කරන්නෙ නෑනෙ ඒ දවස් වල.

අන්සන්තක කියන වචනෙ අහල පුරුදු නැති, තේරුම නොදන්න මං අන්සන්තක කිරීම තහනම් කියන වගන්තිය කියවන්නෙ "අත්සන් කිරීම තහනම්" කියලයි.

මගේ ඒ ඒකල විිරෝධතා ව්‍යපාරය ඉලක්ක වුනේ, මට තේරුණු විදියට, ඒ විදියට ටිකට් එකේ අත්සන් කිරීමට විරුද්ධව පණවා තිබුණු මෝඩ නීතියට එරෙහිවයි.

කතන්දර කාරයා
(add me as a friend in Facebook)

සේරම කතන්දර කියවන්නඃ http://kathandara.blogspot.com/

Monday, 12 October 2009

සන්නස කාරයාට ජයවේවා!




පොලිටික්ස් ගැන ලියවෙන සිංහල බ්ලොග් රාවය පත්තරේ පලවෙයි.

මම රාවය සඟරා කාලයේ සිට ටැබ්ලොයිඩ් කාලය දක්වාම බලා ඇත්තෙමි. දැං රාවය බ්‍රෝඩ් ෂීට් පත්තරයකි. මගේ කතන්දර බ්ලොග් එක වැනි සරල විෂයයන් ගැන ලියවෙන බ්ලොග් වලට රාවයේ ඉඩ ලැබේ යැයි සිතිය නොහැක.

ඒකට අපේ සන්නස කාරයා!!!

සන්නස කාරයා හොඳ පොරකි. http://www.sannasa.net/

අපි ඉතින් කාට හරි හොඳයි කියන්නේ අපිට වාසියක් උනාම නොවැ!

සන්නස කාරයා මගේ කතන්දර බ්ලොගය දිගටම තම පත්තරයේ පල කරයි. මෙවර සන්නසේ 37 වෙනි පිටුවේ පල කර ඇත්තේ මගේ සුනේත්‍රා නොහොත් අක්කිගෙ ණුවන පෝස්ට් එකය.

පලමුවෙනි වරට සන්නස කාරයා එසේ කළේ කතන්දර කාරයා කවුද යැයි නොදැනය. ඉන් පසු දවසක මම සන්නස කාරයාට කෝල් එකක් දුන්නෙමි. මා කවුදැයි හඳුන්වා දුන්නෙමි. සන්නස කාරයා මගේ කතන්දර තම පත්තරයේ දිගටම පල කරයි.

සන්නස කාරයා හොඳ පොරකි.

සන්නස කාරයා ට ජයවේවා!

මීට

කතන්දර කාරයා.
මගේ කතන්දර සේරම කියවන්නඃ http://kathandara.blogspot.com/

(I am now in Facebook)

Saturday, 10 October 2009

ඒ ඉන්නේ කෘවෙලා - That is Cruela!



මං දවස් තුනකට කලින් දාපු ඇන්ටිලා ගේ කතා පෝස්ට් එක එක්ක තියෙන කාටූන් එකේ ඉන්නේ - කෘවෙලා - Cruella de Ville - කියන චරිතයයි.

මේ චරිතය අපට මුණ ගැසෙන්නේ 101 Dalmatians නමැති Disney කාටුන් චිත්‍රපටෙයේ ය.

එහි කෘවෙලා ඩැල්මේෂියන් බලු පැටවුන් 101 මරා උන් ගේ සමින් කෝට් එකක් මැසීමට සැලසුම් කරයි.

මා කියු ඇන්ටිලා ගේ කතාවේ ප්‍රධාන චරිතය නියෝජනය සඳහා මේ කෘවෙලා හොඳ යයි මට සිතුනි.

- කතන්දරකාරයා
(දැන් දින 100 ට ලංවෙලා!)

See me now in Facebook.


(http://www.disneydreaming.com/2013/10/05/disney-announces-live-action-cruella-de-vil-movie/)

Wednesday, 7 October 2009

ඇන්ටි ලා ගෙ කතා


මුල කාලෙම මං අංකල් ල ගෙ කතා කිහිපයක් ම ලිව්ව එකේ ඇන්ටි ල ගැන නොලියා හිටියොත් ඒ ගොල්ලො තරහ වෙයිනෙ. ඒ හින්දයි මේ කතන්දරය ලියන්න හිතුවෙ.

ඇත්තටම කියනවනං ගමේ ගොඩේ පුරුද්දටයි ඇන්ටි කියන්නෙ. පොෂ් විදියට කියන්න ඕනෙ ආන්ටි කියල නේ. ඔය නම් දෙකම ඉස්සර ගමේ ඉන්න කාලෙ නං භාවිතා උනේ නෑ. නෑකම ටයි හිතවත් කමටයි දෙකටම කිව්වෙ නැන්ද කියලයි. පුංචි අම්මල, ලොකු අම්මල, කුඩම්මල, මහම්ම ල වෙනම හිටිය. ඒ අය නෑයො වෙන අය. ඉංගිරිසියෙන් නං ඒ සේරම ඇන්ටි ලා, එහෙම නැත්තං ආන්ටි ලා තමයි.

ඉතිං කතාව කියන්න නම් පුළුවනි. හැබැයි, මුලින් ම ලොකු අනතුරු හැඟවීමක් කරන්න තියෙනවා. මේක කියවල පපුවෙ අමාරු හෙම හදාගන්න එපා. සත්‍යය කටුකයි කියන එක මතක තියාගෙන කියවන්න.

ජාතිවාදී කලබල වලින් පස්සෙ අනාථ වෙච්ච දෙමල මිනිස්සු කට්ටියක් මහා විද්‍යාලෙ කඳවුරක් දාල රඳවල තිබුණ. දවසක් මේ ලඟින් ගිය අපේ කතා නායිකා ඇන්ටි ඒ ගැන මෙන්න මෙහෙම තව කට්ටියක් එක්ක කියනව මට ඇහුණ.

"මං අද කෑම්ප් එක ලඟින් යන කොට දැක්ක අර දෙමල හැතිකරේ ගාල් කරල ඉන්නව. කාලකණ්ණි. මුංව මොන එකකට ආරක්‍ෂා කරං ඉන්නනවද මංද? එලෝල දාන්නෙ නැතුව යාපනේ ට ම."

"මං දැක්ක එතන පොඩි පොඩි දෙමල පැටවුනුත් ඉන්නව. මට හිතුණ ඇත්තටම, අපේ පොඩි එවුන් ව දාල ටොකු ඇණල මරංඩයි ඕනැ කියල එවුන්ව."

"සර්පයො පොඩි පැටියොයි කියල විස අඩුයි යැ!"

මේ කියන ඇන්ටිට ඒ කාලෙ අවුරුදු පහක විතර පොඩි දරුවෙකුත් හිටිය. දෙවෙනි දරුව බඩේ.

විශ්වාස කරන්න පුළුවන්ද? අමාරුයි නේද?

අනිත් කාරණේ තමයි, මේ සිද්ධිය වුනේ, අද ඊයෙක නෙමේ. අවුරුදු 26 ක ට කලින් 1983 දී.

මේ ඇන්ටි ගැන වෙනත් කතාත් වෙනත් ඇන්ටිල ගැන තවත් කතාත් ලියන්න පුළුවන්. නමුත් මේ කතන්දරේ එක්ක සසදන කොට ඒව නිකං හුලං විස්කෝත්තු වගේ කතා. ඒ හින්ද ඒව වෙනම ලියන්නම්.

එතකං බලන්න කෝ අංකල් ල ගැන ලියපු කතා.

අංකල් නම්බර් වන්.

අංකල් නම්බර් 2 සහ නම්බර් 3.

කතන්දරකාරයා http://kathandara.blogspot.com/

I am now in Facebook.

Saturday, 3 October 2009

පුංචි පහේ මං - Smarter than a fifth grader?



මතකයි නේ ද මං ටික දවසකට කලින් කියපු ලඬ්කාංඩුවේ අට පට්ටම් පාට පැන්සලේ කතන්දරේ. ඒ මං පහේ පන්තියේ ඉගෙන ගනිද්දී වෙච්ච සිද්ධියක්. අද කතාවත් ඒ වගේම පුංචි පහේ මං එකක්!

ඒ අවුරුද්දේ අවසානයේ තිබුණා පලාතේ ජනප්‍රිය විදුහල් වලට ළමයි ඇතුලත් කර ගැනීම සඳහා පොදු තරග විභාගයක්. අර ශිෂ්‍යත්ව විභාගෙට වගේ, සිංහල, ගණිතය සහ බුද්ධි පරීක්‍ෂණය කියන විෂයයන් තුන තමයි විභාගයේ කොටස්.

ඒ දවස්වල ඔය විභාග වලට අපේ ගමේ අය ටියුෂන් ගියේ නෑ. අපේ ටීචර් ගෙනාව උපකාරක ප්‍රශ්ණ පත්‍ර තියෙන පොතක් - අර බුද්ධි පරීක්‍ෂණය කියන කොටසට. අපි ඉගෙන ගත්තෙ ඒකෙන්. සිංහල සහ ගණිතය නම් ටීචර් උගන්නපු ටික තමයි. අමුතුවෙන් පොත් බැලිල්ලක් තිබුනෙ නෑ.

ප්‍රථිපල ඇවිත් බලන කොට මං තමයි අපේ ඉස්කෝලෙ මුල් තැන අරගෙන හිටියෙ. මගේ ලකුණු 261 යි. ඒ කියන්නේ සාමාන්‍ය ගණන (ඇවරේජ් එක) 87 යි.

මේ තමයි මං ජීවිතේටම ගත්තු හොඳම ලකුණු සංඛ්‍යාව. වෙනත් වචන වලින් කියනව නං, මගේ අධ්‍යාපන ජීවිතයේ උච්ඡතම අවස්ථාව මේකයි.

ශ්‍රිතයක උපරිමයෙන් පස්සෙ එන්නෙ මොකක්ද කියල දන්නවනෙ? ඩවුන් ද පල්ලම් තමා!

මේ 261 හොඳ ලකුණු නිසා මාව තේරුණා, අපේ පැත්තේ තිබුණු හොඳම ඉස්කෝලෙට. ඔන්න දෙසැම්බර් නිවාඩුව ඉවරවෙලා, මං හයේ පන්තියේ එතන ඉගෙන ගන්න පටන් ගත්තා.

හයේ පන්තියේ මුල් වාර විභාගයේ දී, මගේ ඇවරේජ් එක 84 යි. අවගමනය පටන් අරගෙන. මං ඒ ඉස්කෝලෙ ඉගෙන ගත්ත අවුරුදු හතරක්. අන්තිමේදි, නමය පන්තියේ අවසාන විභාගෙදි මගේ ඇවරේජ් එක වුනේ 63 යි. කොහොමද ප්‍රගතිය?

මේකෙ තියෙන කණගාටුදායක ම තත්වය වාර විභාග ලකුණු වලින් මැනුණු මගේ අධ්‍යාපන මට්ටම එන්න එන්නම පහලට බැසීම නෙමේ.

එදා, හයේ පන්තියේ 84 ක ඇවරේජ් එකක් අරගෙන පන්තියේ පලමුවෙනිය වුණු මං, අවුරුදු හතරකට විතර පස්සෙ, ඒ ළමයින් ම හිටිය ඒ පන්තියෙම, ලකුණු 63 ක අඩුම අඩු ඇවරේජ් එකක් අරගෙන පලමුවෙනිය වෙච්ච එකයි.

මගේ අවගමනය, අපේ මුළු පන්තියේම අවගමනය නිරූපනය කරලා, එහෙම බලන කොට.

හැබැයි මගේ අවගමනය නම් මදකට නතර වුනා. ඇවරේජ් එක 63 අරං අවුරුදු හතරකට විතර පස්සෙ මට පුළුවන් වුනා ඒක ආපහු 70 විතර දක්වා (නිවරද අගය 69.25) වැඩි කරගන්න. ඒ උසස් පෙල විභාගෙදි.

මගේ උසස් පෙල ලකුණු එළිදරව් වුණ නිසා මේකත් කියන්නම්. ඒ 69.25 කියන්නේ ශ්‍රිතයේ ලෝකල් ඔප්ටිමම් (local optimum) එකක්. එතන ඉඳන් ආයෙත් ඩවුන් ද පල්ලම් තමයි ගියේ අවුරුදු හතරක් පුරාම. ග්ලෝබල් මැක්සිමම් (Global Maximum) එක අදටත් පහේ පන්තියේ දී ගත්තු 87 ඇවරේජ් එකම තමා.

මගේ නම කතන්දර කාරයා. මං පහේ පන්තියේ පුංචි කතන්දර කාරයාට වඩා දක්‍ෂයෙක් නෙමේ.

My name is Kathandara Kaarayaa and I am not smarter than the Kathandara kaaraya in the fifth grade.

පරණ කතන්දර මෙතතනින් කියවන්නඃ http://kathandara.blogspot.com/

Tuesday, 29 September 2009

ලංකාණ්ඩුවේ අටපට්ටම් පැන්සල


සියඹලාංඩුව කියන ගම දන්නව නේද? ඒක තියෙන්නෙ අම්පාරෙ ඉඳල පහලට එනකොට රත්නපුර පාරෙ. මුලින්ම මං මේ ගමේ නම ඇහුව දා මට හිතුනෙ ඒ, අපි අහල පුරුදු ලංකාණ්ඩුව වගේ, තවත් ආංඩුවක් කියලයි.

ලංකාණ්ඩුව කියන්නෙ ලංකා ආංඩුව කියන වචන දෙකේ සන්ධි වීමෙන් හැදුන වචනයක් බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. ඇත්තටම මේක ඒ දවස්වල ලිව්වෙ ලඬ්කාණ්ඩුව කියලයි. මේ වචනෙ මූලිකවම දකින්න ලැබුණෙ ආංඩුවෙ ලියකියවිලි වලයි, ෆෝර්ම් කොල වලයි. ඒ එක්කම, ඒ දවස්වල ආංඩුවෙ ඔෆිස් වල භාවිතා කරපු නිල් පාට සහ රතු පාට පැන්සල් වලත් ඒක සුදු පාටින් කොටවල තිබුණ මට මතකයි.

මේ නිල් පාට, රතු පාට පැන්සල් හැඩයෙන් අටපට්ටම්. වට ප්‍රමාණයෙන් සාමාන්‍ය පැන්සල් වලට වඩා මහතයි. ආණ්ඩුවෙ කාර්යාල වල මේව පාවිච්චි කරන්න ඇත්තෙ, 8:00 ට නිල් ඉර ගහන්න යි 8:05 ට රතු ඉර ගහන්නයි වෙන්න ඕනැ. පාට පැන්සල් වලින් ලියන්න බෑනෙ.

ඉස්කෝලවලටත් මේව දීල තිබුණ, ඒ ළමයින් ගෙ අභ්‍යාස ලකුණු කරන්න වෙන්න ඕනැ.

අපිට ඒ දවස්වල මේ පැන්සල් හරිම අගේ ඇති වස්තු. හැමෝටම නැති බඩුනෙ. අර කූරු හතරක් තියෙන කාබන් පෑන් වගේ.

ඉතිං අද කතාව මේකයි.

මං පහේ පන්තියෙදි එක වාර විභාගයක් ඉවර වෙලා (ඒ දවස්වල වාර විභාග තුනක් තිබුණ) රිපෝට් කාඩ් දෙන දවසෙ ලොකු මහත්තය, ඒ කියන්නෙ ප්‍රින්සිපල්, අපේ පන්තියට ආව. "කවුද මේ පන්තියෙ පලමුවෙනිය?" මෑන් ඈහුව අපේ පන්ති බාර මුණසිංහ ටීචර් ගෙන්.

මේ කතන්දරකාරය තමයි ඒ අවුරුද්ද පුරාම පලමුවෙනිය. ඒ බව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ?

ටීචර් මාව පෙන්නුව. "බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය මට සාක්කුවෙන් අරං දුන්න අර සුවිශේෂී අටපට්ටම් ලඬ්කාණ්ඩුව පැන්සලක්, තෑග්ගක් විදියට.

අපේ ටීචර් ට හිතෙන්න ඇති ඒ තෑග්ග පොඩි වැඩිය කියල. මගේ අගය තවත් වැඩි කරන්නද කොහෙද ටීචර් කිව්ව "කතන්දරකාරයා ගේ මුළු ලකුණු පන්තියෙ දෙවෙනියා වුන ළමයට වැඩිය එකසිය පණහක් වැඩියි!" කියල. පහේ පන්තියෙ පොඩි උන් උනාට අපිට සබ්ජෙක්ට්ස් දහයක් තිබුණ. එකසිය පණහක් වැඩි ලකුණු කියන්නේ මගේ ඇවරේජ් එක පන්තියෙ දෙවෙනියට වඩා පහලොවකින් වැඩියි.

"ංආ! ඇත්තද?" ලොකු මහත්තය ඇහැව්ව "කව්ද දෙවෙනිය වුනේ?" ඉතිං අපේ ටීචර් පෙන්නුව පුෂ්පිකාව.

"බොහෝම හොඳයි!" කියපු ලොකු මහත්තය සාක්කුවෙන් තවත් ලඬ්කාණ්ඩුව පැන්සලක් අරගෙන පුෂ්පිකාට දුන්න.

ඒ තෑග්ග දුන්නෙ පුෂ්පිකා පන්තියෙ දෙවෙනිය වුනාට ද නැතිනම් මට වඩා ලකුණු එකසිය පණහක් අඩුවෙන් ගත්තට ද කියල මට හිතාගන්න බැරිවුනා.

එකේ පන්තියෙ ඉඳල දහය පන්තිය වෙනකං තිබුණු වාර විභාග විසිපහකින් මං විස්සකින් ම පලමුවෙනිය උනා.

ඒ කොහොම වුනත්, එදා පහේ පන්තියෙදි ලැබුණ ලඬ්කාණ්ඩුව පැන්සල තමයි පන්තියෙ පලමුවෙනිය වුනාට ඉස්කෝලෙකින් මට හම්බවෙච්ච එකම තෑග්ග.

දුකයි නේද?

කතන්දර කාරයා (I am in Facebook now)

පරණ කතන්දර මෙතනින් බලන්න. http://kathandara.blogspot.com/

Friday, 25 September 2009

බන්ධුල ගුණවර්ධන සහ ආර්ථික විද්‍යාව


පසුගිය දාක ගිෆන් භාණ්ඩ ගැන බ්ලොග් post එක ලියවුනු විදිය ගැන මට පස්සෙ පොඩි ජොලියක් ආව.

සිංහල බ්ලොග් බලන අය හුඟ දෙනෙක් ඉස්කෝලෙ දි මැත්ස් කරපු, දැන් IT කාරයො බව අමුතුවෙන් කියන්න ඕනැ නෑනෙ? මේ කෂ්ටියට ආර්ථික විද්‍යාව කියල දෙන්න තවත් ඒ විදියෙ කතන්දරයක් දෙකක් ලියන්න ඕනි කියල මට එදාම හිතුන. මෙන්න ඒකෙ මුල් ප්‍රතිපලය.

පසුගිය දවසක බන්දුල ගුණවර්ධන කියන හිටපු ටියුෂන් මාස්ටර් එහෙම නැත්නං සයිමන් නවගත්තෙගම ගෙ නවකතාව ආශ්‍රයෙන් ධර්මසිරි බණ්ඩාරනායක අධ්‍යක්‍ෂණය කරපු සුද්දිල ගෙ කතාව චිත්‍රපටියෙ නිෂ්පාදක, එහෙමත් නැත්තං සුමිත්‍රා රාහුබද්ධ ගෙ කතාව ඇසුරෙන් පරාක්‍රම නිරිඇල්ල අධ්‍යක්‍ෂණය කරපු සිරි මැදුර චිත්‍රපටියෙ නිෂ්පාදක, (මීට අමතරව, මිනිහ දුසිං දහයක් ඇමතිලා ගෙන් එක් කෙනෙක් බවත් මං දන්නවා) බඩු මිල ගැන කියල තිබුණු කතාව මතකයි නේද?

පොර කියල තිබුනෙ ඕනෙම කාලෙක පාරිභෝගිකයො වශයෙන් අපි කරන්න ඕනැ, ඒ කාලෙ ගණං ගිහිල්ල තියෙන එලවළු වෙනුවට ඒ කාලෙට ලාබෙට තියෙන එලවළු කන එක කියල යි.

මේ කතාවට පත්තරකාරයො, කාටූන් කාරයො, දේශපාලන විශ්ලේෂකයො හුඟ දෙනෙක් හිනා වුනා. ජයවර්දෙනපුර බී.කොම්. උපාධි ගත්තු ශ්‍යාම් ගනේවත්ත වගේ ආර්ථික විද්‍යාව ගැන දන්න විශේෂාංග උපකතුවරු හිටියත් දිවයින පත්තරේ බන්දුල ට සරදම් කරල කතු වැකි පවා ලිව්ව. අණුවන කම ද, ලාබ විහිළු ඕනැ කම ද මන්ද?

බන්දුල ගුණවර්ධන කිව්වෙ ඉතා සරල කතාවක්. ඇත්තටම අපි හුඟ දෙනෙක් නිරායාසයෙන් ම කරන්නෙත් ඕකම තමයි. මොකක්ද? තමන් ට ගන්න පුළුවන් බඩු ගන්න එක.

ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි අඩු සම්පත් ප්‍රමාණයක් වැඩි පිරිසක් අතර බෙදන්නෙ කොහොමද කියන එක. මේ සදහා තියෙන එතාමත් සාධාරණ ඒ වගේම ඉතාමත් අකාර්යක්‍ෂම ක්‍රමය තමයි අවශ්‍ය සියළු දෙනාටම සමානව බෙදා දීම. මේක නිකං වෙන්නෙ නෑ. රාජ්‍ය යාන්ත්‍රණයක් ඕනැ. ඉතිං අකාර්යක්‍ෂමතාවය, දූෂණය, කළුකඩ අනිවාර්්‍යයෙන්ම බලපානව.

මේ ප්‍රශ්ණෙට තියෙන හොඳම විසඳුම තමයි භාණ්ඩයකට පාරිභෝගිකයන්ගෙන් තියෙන ඉල්ලුම සහ භාණ්ඩයේ නිෂ්පාදකයො කරන සැපයුම අනුව වෙළද පොලේ ගණුදෙනු මගින් වැඩේ වෙන්න දෙන එක. අනිවාර්්‍යයෙන්ම ඒක අසාධාරණ ක්‍රමයක්. භාණ්ඩයක සැපයුම අඩුවෙන කොට මිල ඉහල ගිහින් ඒක දරන්න හැකි ටික දෙනෙකුට විතරයි ගන්න පුළුවන් වෙන්නෙ. සල්ලි නැති අයට හුලං තමයි. නමුත් වැඩේ කාර්යක්‍ෂමව වෙනව. ආණ්ඩුවට තියෙන්නෙ කූල් එකේ ටැක්ස් එක එකතු කරගන්න විතරයි. ඒකෙන් පුළුවන් දුප්පත් අයට සහන දෙන්න.

දැන් බන්දුල ගුණවර්ධන කිව්වෙ ගනං ගිය එලවළු වෙනුවට ඒ කාලෙට ලාබ එලවළු ගන්න කියලනෙ. මේක විශේෂයෙන් ම එලවළු, පලතුරු වගේ සීසනල් (සෘතුමය) භාණ්ඩ වලට බලපාන දෙයක්. සමහර එලවළු ජාතිත් එහෙමයි. අඹ වාරෙට සප්ලයි එක වැඩියි. ඉතිං මිල අඩුයි. හුඟ දෙනෙකුට අඹ කන්න පුළුවන්. අවාරෙට අඹ හිඟයි. ඇත්තටම හොයා ගන්නත් නෑ. ඒ කාලෙටත් අඹ වාරෙ වගේ අඹ කන්න ගියොත් අඹ ඉන්දියාවෙන් ගෙන්නලා ගෙඩියක් රැපියල් දාහට විතර දෙන්නයි වෙන්නෙ. හොඳම වැඩේ අඹ නැතුව වෙන පලතුරු කන එකයි.

මේ විදියටම, ඕනෑම එලවළුවක් ගනං කාලෙට (අවාරෙට), ඒ වෙනුවට ඒ වාරෙ හොඳට වැවෙන එලවළු කන්න පුළුවන්. එකක් අනිකට ආදේශ කරන්න පුළුවන් කොච්චර එලවළු ජාති තියෙනව ද රටේ? මේවට කියනව අනුපූරක භාණ්ඩ කියල මට මතක හැටියට.

හැබැයි ඉතිං, පරිප්පු වෙනුවට මුං ඇට කන්න බැරි, අර්තාපල් වෙනුවට බතල කන්න බැරි උන්නැහෙලට නං මේව කරන්න බෑ.
පත්තරකාරයො හිනාවුනාට, බන්දුල කිව්වත් නොකිව්වත් අපි සාමාන්‍ය මිනිස්සු හැමදාම කරන්නෙ ඕක තමා. ගිහාන් කාරය ගෙ ඩොට් එල් කේ ඩෝමේන් ගණං හින්දනෙ අපේ කෂ්ටිය හුඟ දෙනෙක් ඩොට් කොම් නැත්තං ඩොට් නෙට් ගන්නෙ.

අවසාන වශයෙන් එකක් කියන්න ඕනෑ. බන්දුල කාරයගෙයි මගෙයි කිසිම සම්බන්ධයක් නෑ. ජීවිතේට මං මිනිහව ඇස් දෙකෙං දැකල තියෙන්නෙ එකම එක දවසයි. ඒ අවුරුදු දහයකට විතර කලින් පොර ඉන්ටර්කූලර් එකක යනව නුගේගොඩ හරියෙ. මං හිටියෙ අනිත් පැත්තට යන 138 බස් එකක.

කතන්දර කාරයා

I am in Facebook now. Search for and add KATHANDARA as a friend.

මගේ පරණ කතන්දර මෙතනින් කියවන්න. http://kathandara.blogspot.com/

මට කෙලින්ම ඊ-මෙල් එවනවා නම්: kathandara@blogspot.com