
අලි ගැට පේර හෙවත් ඇවකාඩෝ ගැන ඉතිං අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕනෑ නෑනේ. නුවර පැත්තේ හැදෙන පලතුරු වලින් මං කැමතිම ජාතියක් තමයි මේවා.
පේරාදෙනිය-නුවර පැත්තේ යන එන කොට පාර දෙපැත්තේ කඩවල පුරෝලා තිබුණත් හොඳට පැහිච්ච, ගෙදර ගිහින් හෙට විතර කන්න පුළුවන් ගෙඩියක් තෝරා ගන්න එක තමයි අපිට නොතේරෙන දේ.
හැබැයි කොළඹ අවට කඩවල නම් සමහර වෙලාවට උදේ බලන කොට කඩේ තියෙන අමු ගෙඩි හවස් වෙන කොට හොඳ ගානට මෙලෙකට ඉදිලා.
ඒ වෙන හේතුවක් හින්දා නෙමේ, දවස තිස්සේම කඩේ ලඟින් යන එන නෝනලා අලි ගැට පේර ගෙඩි ටික චුට්ට චුට්ට වගේ මිරිකලා බලනවානේ ඒවා ඉදිලා ද කියලා. අන්න ඒකයි ඒ.
සමහරු ඉඳුණු අලිගැට පේර, හුරලා අරගෙන ඩෙසරට් එකක් වගේ කෝප්පෙකට දාලා සීනි දාලා කනවා.
ඇත්තටම කියනව නං, කෝප්ප වල ගාන්න ඕනෑ නෑ. තැඹිලි කුරුම්බා බීලා, ලොඳ කනවා වගේ ආණ්ඩුවෙන් දීල තියෙන කෝප්පෙම කන්නත් පුළුවනි.
තවත් සමහරු කැමති, කිරි, අයිස් ක්‍රීම් හෙමත් දාලා, අලිගැට පේර බීමක් වගේ හදාගෙන බොන්න, නිකං අයිස් කෝපි බොනවා වගේ.
සැන්විචස් වල ගාන්නත් හොඳයි ලු. මං නං ට්‍රයි කරලා නෑ.
අද කතන්දරේ, මීට අවුරුදු ගණනාවකට කලින් මං කතන්දර කුමාර කාලේ වෙච්ච එකක්.
ඔන්න මායි, මගේ ඇන්ටි කෙනෙකුයි, තවත් ඇන්ටි කෙනෙකු ගේ ගෙදර ගියා. පහුවදා මගුල් ගෙදරක යන්න සෙට් වෙන්නද කොහෙද වගෙයි මතක.
අපි එහේ ඉන්න අතරේ, තවත් අපේම ඇන්ටි කෙනෙක්, එයා බැඳපු අංකල් කාරයාත් එක්ක ඒ ගෙදරට නෑගම් ආවා.
ඔන්න ඉතිං ගෙට ගොඩ වෙලා කතා බහ පටන් ගෙන ටික වෙලාවක් යන කොට මේ ඇන්ටි තමන් ගේ බෑග් එකෙන් ගත්තා පොඩි පහේ බ්‍රව්න් පේපර් බෑග් එකක්.
"මෙන්න මං ඔයාට ගෙනාවා නංගී හොඳ ගුණදායක බඩුවක්" එයා කිව්වේ ඒ බෑග් එක මේ ගෙදර ඇන්ටි ට දෙන ගමන්.
"මොනවද අක්කී?"
"බලන්නකෝ, ඔය අලි ගැට පේර වගයක්. මං කැමතිම පලතුරු ජාතිය."
"කොහෙන්ද අක්කී මේවා?"
"අපි ඊයේ නුවර ගියා නේ නංගී. එහෙන් ගෙනාවේ. අනේ නුවර පැත්තේ අලි ගැට පේර හරීම ලාබයි නංගී. මට හිතුණා ගෝනියක් ම ගේන්න. ඒ තරමට ලාබයි කොළඹ එක්ක බලන කොට."
ඔය කතාව අහගෙන හිටපු මට හිතුනේ මගුල් ගෙදර ඉවරවෙලා ආපහු යන ගමන් අපිටත් ගෙදර ගෙනියන්න තරමට ඇන්ටි අලි ගැට පේර ගෙනත් ඇති කියලයි.
හැබැයි බ්‍රව්න් පේපර් බෑග් එක නං එච්චර ලොකුවට පෙනුනේ නෑ.
මං කියන්නං කෝ මේව හදන හැටි. ඇන්ටි බෑග් එකත් අරගෙන ගෙදර ඇන්ටිත් එක්ක ගියා කුස්සියට.
පැය කාලකට විතර පස්සේ ඔන්න ඇන්ටිලා දෙන්නා කුස්සියෙන් එලියට ආවා වීදුරු වගයක් අරගෙන. ඒවායේ තිබුනේ අලිගැට පේර බීම!
අලිගැට පේර මදය අරගෙන ක්‍රෂ් කරලා, කිරිපිටි දිය කරලා දාලා, ඊට උඩින් වැනිලා අයිස් ක්‍රීම් දාලා.
හරියට අර පිටකොටුව බස් ස්ටේෂන් එක හරියේ කඩවල්වල තියෙන පලතුරු බීම වගේ. එකම වෙනස ගස් ලබු නෑ!
මං රහ කර කර බිව්වා. හරිම රහයි, වැනිලා අයිස් ක්‍රීම් නේ වැඩි හරිය තිබුනේ. එකම ප්‍රශ්ණය වුනේ මට හම්බ වුනේ එක පොඩි වීදුරුවක් විතරක් වීමයි.
එදා හවස ඇන්ටියි, අංකලුයි ආපහු ගියාම තමයි මං දැන ගත්තේ, හරිම ලාබයි, හරිම ලාබයි කියලා කයිය ගැහැව්වට එයා නුවර ඉඳලා ගෙනත් තියෙන්නේම අලිගැට පේර ගෙඩි දෙකක් විතරයි කියලා.
ඒ ගෙඩි දෙකයි මේ නෑගම් එනකොට අරං ඇවිත් තියෙන්නේ. ඇන්ටිලා තුන් දෙනායි, අංකලුයි, සීයයි, ආච්චියි, ඒ මදිවාට මායි, අපි සේරම වැලඳුවේ ඒ අලිගැට පේර ගෙඩි දෙක තමයි.
වෙරලු ගෙඩියකුත් හත් දෙනෙක් බෙදා ගෙන කෑවයි කියනවනේ. ඉතිං, ඕක මොකක්ද නේද?
ඒත් මට හිතාගන්න බැරිවුනේ, අලි ගැට පේර නුවර හරිම ලාබයි කියලා දහ පාරක් විතර කියපු ඇන්ටි ඇයි එහෙම නං, ගෙඩි දෙකක් විතරක් ගෙනාවේ කියලයි!
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතන්දරේ වැඩි ගතියක් නැති හින්දා -කියවන සමහර අයට හිතෙයි මෙලෝ රහක් නෑ කියලා.
අලි ගැට පේර ගැන කතන්දරේ මෙහෙම වුණාට හැබැයි අලි ගැට පේර නං මට හැමදාම මාර රහයි!
කෝකටත් ඉතිං මෙන්න උඩින් දාගන්න වැනිලා අයිස් ක්‍රීම් ටිකක්.
තොටගමුවේ රාහුල ලියපු සැලළිහිණි සන්දේශයේ ද කොහෙද ඒ කාලේ ලංකාවේ උන්නු ගෑනුන් ගේ රූපය විස්තර කරන්නේ "සිසි වන වුවන, ඉඟ සුඟ ගත හැකි මිටින, නිසි පුළුලුකුල රිය සක'යුරු, තිසර තන" කියලයි.
ඒ කියන්නේ ඉඟෙන් පහල කොටස කරත්ත රෝදයක් වගේ!
අද කාලේ නං ගෑනු කෙනෙක් ගේ ඉඟෙන් පහල ටයර් එකක් වගේ කිව්වොත් ගුටි කන්නයි වෙන්නේ. මොකද එදා ටයර් එක තිරසට, අද සිරසට නේ අපේ හිතේ මැවෙන්නේ.
සාමාන්‍යයෙන් කාන්තා රූපය ගැන ඉංගිරිසියෙන් කතා කරන කොට උපයෝගී කර ගන්නා උපමාවක් තමයි -පෙයාර්ස් ගෙඩිය. ඒ පෙයාර්ස් ගෙඩියේ හැඩය නිසායි. ඒ කියන්නේ "ඉඟ සුඟ ගත හැකි මිටින, රිය සක'යුරු නිසි පුළුලුකුල" වගේ කේස් එකක් ම තමයි!
හැත්තෑ ගනං වල ආපු සුළි සුලඟින් පස්සේ ලංකාවේ කාලයක් තිස්සේ පොයාර්ස් හැදුණු නුවර-එලියේ තව දුරටත් පොයාර්ස් හැදෙන්නේ නෑ. හැදෙන ඒවයෙත් මේ කියන නාරී දේහ විලාශය නෑ. නිකං රවුං ඒවා -නාසි පෙයාර්ස්!
මට මේ නිකමට හිතුනේ ඇයි අපි නාරී දේහය අලි ගැට පේර වලට සමාන නොකරන්නේ කියලයි.