Friday, 6 June 2014

කඩල ආච්චී - Gram seller (ඇනෝනිමස් පාඨකයෙකු ගේ තර්ජනයකට බියෙන් ලියන ලද කතන්දරයකි!)


මා ගමේ කණිෂ්ඨ පාසලේ උගත් කාලයේ එක්සත් ජනපදයේ ආධාර ක්‍රමයක් යටතේ නිපදවුණු විස්කෝත්තු තුන බැගින් අපට විවේක කාලයේ දී නොමිලේ ලැබුණි. ඇදිහැස (එනම්, ඇමරිකන් දීමනා හැමට සමානව) නමින් හැඳින්වුණු මේ විස්කෝත්තු වර්ගය රසයෙන් කෙසේ වුවද හැඩයෙන් නයිස් විස්කෝත්තු සේ විය. එකල බහුතරයක් පාසල් සිසුන් දිවා කාලයේ තම කුස පුරවා ගත්තේ මේ විස්කෝත්තුවල පිහිටෙනි.

විස්කෝත්තු කෑමෙන් පසු මා පානය කළේ අම්මා උදෑසන මිශ්‍රකර ප්ලාස්ටික් බෝතලයක් පුරවා දෙන හැලිබොරේන්ජ් නම් වූ කෝඩියල් වර්ගයයි. කෝඩියල් නැති දවස්වල පාසලේ ළිදෙන් වතුර පනිට්ටුවක් ඇදගෙන රිසි සේ බීවෙමු. පහේ පන්තියේ දී පාසලේ ලිඳ සිඳී ගිය නිසා දෝ අපට පන්තියේ දී ම බොන්නට කලගෙඩියක් පුරා වතුර තිබුණි.

එසේ වුවද මගේ හිත ගියේ කලාතුරකින් දිනයක විවේක කාලය අවසාන වීමට සීනුව වැදීමට විනාඩි කිහිපයකට පෙර පාසලේ වැට අසලට එන ජංගම අයිස්පලම් කාරයා වෙත ය. දුරාවාරේ පැමිණෙන ඔහු මෙන් නොව සෑම සතියේ දිනකම පාසල අසලට කෑම බඳුනක් ද රැගෙන එන්නියක් ද වූවා ය. ඇය නම්, අප සියලූ දෙනා විසින් කඩල ආච්චී නමින් හඳුන්වනු ලැබූ වයසක වෙළෙන්දියයි.

පාසල අසල නිවසක විසූ කඩල ආච්චී තැම්බූ කඩල සහිත බේසමක් රැගෙන විවේක කාලය ඇරඹීමට පෙර තම සැමියා වූ සීයා ද සමග පාසල අසලට එයි. සීයා කළේ පරණ ඇක්සයිස් පොත් කොළවලින් කෝණාකාර ගොටු ගැසීම පමණකි. අපෙන් මුදල් රැගෙන ගොටුව පිරෙන්නට හැන්දකින් කඩල පුරවා අප අතට පත්කර ගනුදෙනුව කරන්නේ කඩල ආච්චී ය. කඩල ගොට්ටක මිල ශත පහක් විය.

කඩල කෑමට තිබූ ආශාව කෙසේ වුවද මා කඩල ආච්චි ළඟට මුලින්ම ගියේ පාසල් යාම අරඹා දෙවසරක් පමණ ගතවීමෙන් පසු කාලයක දී බව මගේ මතකයයි.

එයට හේතු කීපයකි. හෝඩියේ පන්තියේ දී කුඩා අප දහවල් දොළහ වෙත්ම දවසේ ඉගෙනුම නිමවා නිවෙස් බලා යන බැවින් මුල් වසරේ කඩල කෑමට මට ඉඩ නොලැබුණි. ඉන් පසුව වුවද, කඩල කෑමට මා තුළ තරමක අකමැත්තක් ඇතිවෙන්නට හේතුවක් වූයේ කඩල ආච්චී සුදු කබර නම් වූ චර්ම රෝගය වැළඳී සිටි අයෙක් වීමයි. ඇගේ මුව ප්‍රදේශයේ සහ විශේෂයෙන් ම අත්වල මේ රෝග ලක්ෂණ දකින්නට ලැබීම, ඒ රෝගය පිළිබඳව කිසිදු වැටහීමක් නොමැති කුඩා දරුවෙකු වූ මට තරමක අප්‍රසන්න දෙයක් විය.

එහෙත්, ගෙදරින් ශත පහක් ලැබීමට පින් කර තිබූ සිසුන් විවේක කාලයේ දී කඩල ආච්චී වටා රොක් වූයේ පොරි ගොඩකට පොර කන කුකුල් පැටවුන් රංචුවක් මෙනි. මා ද ක්‍රමයෙන් ගෙදරින් ලැබෙන ශත පහක් වෙතොත් එයින් කඩල කෑමට පුරුදු වුණෙමි.

එක් දිනයක මා අතින් ගත් තඹ පැහැති හතරුස් ශත පහේ කාසියද රුගෙන කඩල ආච්චී වටා පොරකමින් සිටි සිසුන් අතරට වැදුණෙමි. මුලින් එන්නාට මුල් තැන නොව අත දිග ඇත්තාට මුල් තැන ලැබීම මේ ආකාරයේ පොරකෑමේ ප්‍රතිඵලය විය.

කඩල පිරවූ බේසමට පිටුපසින් බිම වාඩිවී සිටින කඩල ආච්චී ගේ කෝණයෙන් බැලූවහොත් ඇයට ඉහළින් ඇය වෙත යොමු කෙරෙන කුඩා අත් රාශියකි. මේ බොහොමයක ශත පහේ කාසි රැඳී ඇත. සමහර අත්වල ඊට වඩා ලොකු කාසි ද තියෙන්නට ඇත. ඇය එක අතකින් ඇය වෙත දිගු කෙරෙන එක් කාසියක් ගත යුතුය. එය තම සල්ලි මල්ලට එක්කර ගෙන අවශ්‍ය නම් ඉතුරු සල්ලි දිය යුතුය. ඉන්පසු කඩල ගොට්ටක් රැගෙන එයට හැන්දෙන් කඩල පිරවිය යුතුය. දැන් මේ කඩල ගොට්ට තමන් සල්ලි ගත් අත මත තැබිය යුතුය.

ඉන්පසු මේ ක්‍රියාවලියම ඊළඟට ඇය නෙත ගැටෙන කුඩා අත සමග කළ යුතුය.

එය සිදුවූයේ කෙසේ දැයි මම නොදනිමි. මම කඩල ආච්චී වගේ තුන් දිශාවලින් පොදිකමින්, තෙරපෙමින් සිටි සිසුන් පිරිස අතරට ගොස් මගේ ශත පහ ඇය වෙත දිගු කළෙමි. මද වේලාවකට පසු ඇය මගේ ශත පහ ගත්තාය. සමහර විට දිගු කරගෙන සිටි මගේ අත කෙඩෙත්තුව නිසා තමරමක් පහත වැටෙන්නට ඇත. පෙර තිබූ ස්ථානයෙන් වෙනස් වන්නට ඇත. ඒ කෙසේ හෝ වේවා මා දන්නේ මගේ අතට කඩල ගොට්ටක් නොලැබුණු බව පමණකි.

දැන් ඉතින් කුමක් කරන්නද? දෙකේ පන්තියේ සිටි වයස හයක කුඩා දරුවෙකු වූ මා හට ඇඬුම් යන්නට ද ආසන්න විය.

මට කළ හැකිව තිබුණේ එකම එක දෙයකි. එනම් කඩල ආච්චී දෙසට අත දිගු කරගෙනම සිටීමයි.

අන් සියලූ දෙනාටම කඩල විකුණා අවසානයේ කඩල ආච්චී සහ සීයා යුවළ අසල ඉතුරු වූයේ මා පමණයි.

"කඩල ඕනැද?" ආච්චී ඇසුවාය.

"මං ශත පහක් දුන්නා, කඩල ගොට්ටක් හම්බ වුණේ නෑ", මා හැඬුම්බර ස්වරය නොසඟවාම පිළිතුරු දුන්නෙමි.

කඩල ආච්චී කඩල බේසම දෙස බැලූවාය.

නැවත මගේ මුහුණ දෙස බැලූවාය.

ඉන්පසු කඩල ගොට්ටක් බෙදා මා අතට දුන්නාය.

සිංහල භාෂාවට තරමක ආගන්තුක වචනයක් වන "ස්තුතියි" යන්න එකල අපට උගන්වා තිබුණේ නැත. මා කඩල ගොට්ට රැගෙන ඉතා සතුටින් පිට්ටනිය දෙසට දිව ගියෙමි.

එදා කඩල ආච්චී සමහර සිතන්නට ඇත්තේ ඇය මට කඩල නොමිලේ දෙනවාය කියා විය යුතුයි. මා නිසැකවම සිතුවේ මට හිමි කඩල ගොට්ට අවසානයේ කෙසේ හෝ මට ලැබුණාය කියායි.

ඒ කෙසේ වෙතත්, ඉන් දශක කිහිපයකට පසුවද එදා මෙන් සිහිපත් කරන්නට හැකිවෙන පරිදි මේ සිදුවීම මගේ මතකයේ රැඳී ඇත.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය ඊයේ ඇනෝනිමස් පාඨකයෙක් මට කළ තර්ජනයකට/අභියෝගයකට ඇතිවුණු බිය නිසා රචනා කරන ලද්දක් බව සලකන්න.


(image: http://www.indiamart.com/majesticagrofoods/pulses-and-oilseeds.html)

113 comments:

  1. ඔය බිස්කට් වලින් සීට්ටුත් දැම්මා ඒ කාලෙ.

    ReplyDelete
    Replies
    1. මේක දෙකේ පන්තියේ විතර කතාවක්.
      ඔය කියන්නේ ඔසු කාලෙක වෙච්ච දෙයක් වෙන්න ඕනෑ!

      Delete
  2. අපේ ඉස්කොළේ කඩලේ ගැන ලියාපු දවසේ ඉඳලා කියපු කඩල ආච්චිද මේ.?

    ඔය ඉස්කෝතු ගැන නම් පොතක් ලියන්න පුළුවන්. ඕවා කන්නම ඉස්කෝළේ ආපු උන් උන්නා. අදත් 40% මන්දපෝෂණය. ඒත් මේක ආසියාවේ ආස්චර්යයද මක්කද එක.

    මේ පෝස්ට් එකේ තව පෝස්ට් දහයකට ඕන කරුණු තියෙනවා.

    ReplyDelete
    Replies
    1. සුද්දො නැත්නම් උඹලටත් මන්දපෝෂනේ තමා....

      Delete
    2. අපේ අම්මලත් කියනවා සමහර ළමයි ඉස්කෝලෙ ආවෙ කිරිපිටි බොන්නයි, බිස්කට් බනිස් කන්නයි කියලා..

      Delete
    3. මාතලන්
      මේ කතන්දරේ ලියලා අවුරුදු කීපයක්. මුල් වර්ෂන් එක මං එදාම "අරූ"ට යැව්වා. පොඩ්ඩක් සංස්කරණය කරලා මෙතන දැම්මා.

      ඔය කියන කරුණු දහය මොනවාද? මං කලින් ලියපු කතාවලට සබැඳි කීපයක් දාලා තියෙනවා.

      Delete
    4. හරී
      පල්ළෙහා තිසර කියලා තියෙනවා, අම්මා එක්ක ඇය ඉගැන්වූ ඉස්කෝලෙට ගිහින් විස්කෝත්තු හත අටක් කනවා කියලා.

      Delete
  3. අපිත් ඕන තරම් කඩල ආච්චිලා ළඟ පොරකාල ඇති. හැබැයි වැඩි කාලයක් ඕවා පස්සේ පන්නන්න ලැබුනේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඇයි ඊට පස්සේ එකපාරට ලොකු වෙලා කෙල්ලෝ පස්සේ පොරකන්න පටන් ගත්තාද?

      Delete
  4. ඇදිහැස නම් මදහසකි.මටනම් වැඩිපුරම මතකය ඇත්තේ වෙරළු ආච්චිලා ගැනය.හැමදාම වෙරළු නොවිකුනද ඇය මොනවා හෝ රැගෙන පැමිණියේය.විකුන්නේ මොනවා වුව ද නමුත් ඇය වෙරළු ආච්චි විය.මම ශිෂ්‍යත්වයෙන් ධර්මපාලයට පැමිණ සිටි අවුරුද්දක කාලයේ දී ඇය බොහෝ සෙයින් සිත් ගන්නට වූ හේතුව පිට්ටනියේ හවස් වන තුරා රස්තියාදු වන මගේ වත ගොත අසා රත්නපුරේ බව දැන ගැනීමෙන් ඈ තුළ උපන් අනුකම්පාවය.ඒ නිසා මා අත මුදල් නැති වුව ද ඇති වුව ද හිසෙන් අඩ ගසා අත වෙරළු හෝ අඹ හෝ නැතිනම් වෙන විකුණන මුරුක්කු කිහිපයක් හෝ අත තැබීම ඈ පුරුද්දක් කර ගෙන උන්නාය.

    ReplyDelete
    Replies
    1. රත්නපුරේ සිට ඇයි ඔච්චර දුර එන්නේ?

      මොනවා කළත් ආච්චිලා බහුතරයක් පොඩි ළමයින්ට ආදරෙයි.

      Delete
    2. රත්නපුරේ ඉදං නෙමෙයි ආවෙ.ඒත් රත්නපුරේ නිසා අම්මා තාත්තගෙන් දුරස්වෙලා ඉන්න පොඩි එකා කියලා ආච්චිට දුක හිතිලා දුන්නා

      Delete
  5. කාගේත් කයි කතන්දර මතක් කරන ලිපියක්.....

    ReplyDelete
    Replies
    1. කෙන්ජිත් කඩල කාලා තියෙනවා වගෙයි.

      Delete
  6. කතන්දරගෙන් හිතට දැනෙන කතන්දරයක්. මාව මගේ පුංචි කාලෙ මතක අතරෙ අතරමං කලා. දැන් මට ආපහු එන්න පාර හොයල දෙන්න.

    ReplyDelete
    Replies
    1. ඕකට කියනවා නොස්ටැල්ජියා හෙවත් අතීතකාමය කියලා. වයසට යන්න යන්න වැඩියි.

      Delete
  7. කඩල ආච්චි, වෙරළු ආච්චි, අච්චාරු ආච්චි නම් වලින් එන ඔය චරිත බලන් ගියාම අපි හැමෝම අතර ඉදලා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ගම්බද ආර්ථිකයේ කොටසක්. ඉන්ෆෝමල් සෙක්ටර්.

      Delete
  8. කකාගේ කඳුළු කතාව කියෙව්වම මතක් උනේ මේක. කියෝලා බලන්න.

    ReplyDelete
    Replies
    1. කඳුළු කතාවේ නිමක් දකිමු!

      Delete
  9. මං හිතන්නෙ මේකට ගොඩක් අයගෙ මතක ගොනු අවුස්සන්න පුළුවන් වෙයි කියල...
    ඒක නෙමේ ඇයි මේ....////විස්කෝත්තු තුන බැගින් //// විස්කෝත්තු කියන්නෙ ඇයි...
    මං හිතං හිටියෙ විස්කෝතු කියල

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි බිස්කට් වලට සිංහලෙන් බිස්කට්ටු කියා කියනවා.

      විස්කෝත්තු කියා සර්ච් කර බලන්න. විස්කෝතු තරම් නැති වුණත් සෑහෙන්න භාවිතා වී තියෙනවා මේ වචනය.

      Delete
  10. මම ඉස්කෝලේ යන්න පටන් ගන්න කලින්, අම්ම ඉගැන්වූ ගේ ලඟ තිබ්බ පොඩි ඉස්කෝලෙට උදේට අම්මත් එක්කම යනවා. ගිහින් ඉස්කෝලේ වටේ ඇවිද ඇවිද ඉන්නවා. දවල් වුණාම ඇදිහැස විස්කෝතු 7, 8 කනවා. මට මතක තියෙන්නේ ඇදිහැස ක්‍රීම්ක්‍රැකර් වගේ ඊට වඩා ටිකක් පොඩි හතරැස් හැඩයක් කියලයි. පොඩි පැණි රසක් තිබ්බා.

    ReplyDelete
    Replies
    1. අම්මලා ගුරුවරු වුනාම වගේ අමතර වාසි නෑ තාත්තලා ගුරුවරු වුණාම!

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. කකා විලි ලැජ්ජ නැද්ද අරුණිට කඩේ යන්න....

    ReplyDelete
    Replies
    1. මං හිතන්නෙ ඇනෝ අදහස් කරන්න ඇත්තෙ "ඇමරිකන්" දීමනා ගැන.
      ඇදිහැස = CARE
      හැමට සමානව?

      Delete
  13. අපේ කාලේත් දුන්නා ලොකු මාරි වගයක් තව ත්‍රිපොෂ එහෙම එවා දුන්නෙ ලොක අහාර වැඩ සටහන කියලා එකකින් ,දැන් නම් ඉස්කොල වලට එවා දෙනව ද දන්නෙ නෑ ....

    ReplyDelete
    Replies
    1. පස්සේ ඕවා මුංඇට කව්පී වෙලා ආහාර මුද්දර වෙලා අහෝසි වුණා නේද?

      Delete
  14. කතන්දරකාරයා කාලයකට පසු කතන්දරයක් ලියා තිබේ. ප්‍රීතියි මහරජ, ප්‍රීතියි!

    ReplyDelete
  15. දැන් අග නගරය අසල පදින්චි වී සිටියත්, කුඩා කල දිවි ගෙවූ මහ නුවර සහ මාතලේ අතර පිහිටා ඇති රමනීය කුඩා ගම්මානයේ 5 වසර තෙක් දැනුම ලැබූ පාසැල සිහි විය.....
    ස්තූතියි....

    ReplyDelete
    Replies
    1. මෙහෙමයි, ඔබ දැන් ඉන්නා මහරගමත් ඒ කාලේ ගමක්!

      Delete
    2. ගම කියලා ගමේ නමේම තියනවා නේ..

      Delete
    3. ඇත්ත...කොළබ අවට දිවි ගෙවූ අයට...

      Delete
  16. //ඇනෝනිමස් පාඨකයෙක් මට කළ තර්ජනයකට/අභියෝගයකට ඇතිවුණු බිය නිසා රචනා කරන ලද්දක්//

    අඩේ, එහෙමත් පුලුවන්නේ?
    ඒ ක්‍රමවේදය පැහැදිලි කලොත් පොඩ්ඩක්?
    ඒක අනුගමනය කරල අපිටත් අපි කැමති පෝස්ට් ලියව ගන්න පුලුවන්ද?
    PM මොනවද කැමති?
    පිල්ලි දෙක, රාජ්, සහ පිරිස?



    ReplyDelete
    Replies
    1. kenji කැමති මොනවද කියල හිතා ගත්තහැකි.
      @ කෙන්ජි, ලියන්නෙ නැද්ද ලගදි?

      Delete
    2. මම කැමතියි කකා ගත්ත අලුත් ගෙදර ගැන කතන්දර කීපයක් ලියෝ ගන්න. කොහෙද ඒක මතක් කර විතරයි කකා වලියට ආවනේ .. මම ලියන්නේ මම කැමති කතා විතරයි ඩෝ!! කියල . මං බයේ දිව්වා. :)

      Delete
    3. ටයිටලය සහ ප/ලි ය එකතු කලේ කතන්දරය පළවී පැය දෙක තුනකට පසුව මාකටින් ස්ට්‍රැටජියක් ලෙසය.

      මුලින් කියවූ අය ඒවා දකලින්නට නැත. ඇත්තටම මෙය සම්‍යක්ප්‍රයෝගයකි.

      Delete
    4. ප්රා ජේ .. මං නං කැමතියි කකා විෂ්කි.. ජින් ගැන ලියනවනං .. කකා තිතට මත තියපු හැටි.. කොහෙද කකා ඇදබාන්නේ සෙන්ටිමීටරයයිනේ ප්‍රා ජේ.අපිට නං අඩිය බලන්ඩම ඕනැ,

      අද පෝස්ට් එක බයිට් එක ගැනනේ,ඒකත් හොඳයි,හැබැයි කඩල කාල නං බෑ කකා, අඩුම ගානෙ ඔම්ලට් එකක් වත් ඕනෑ :D

      Delete
    5. ඇත්තද ඒක සම්යක් එකක් නම් බය කරල ලියව ගන්න අපහසු වෙයි නේ? අපිට එහෙනම් වෙන ප්‍රයෝගයක් යොදා ගන්න්න වෙයි ඒකට PM

      Delete
    6. මං කියන්ඩද ප්‍රා ජේ .. අපි කකාගෙ ලින්ක් ටිකක් දාගෙන දාගෙන යං.. කකා කරත් කරන්නෙ ඒකනේ.එතකොට කකාට සතුටු හිතිල සුටුස් ගාල ලියයි !!!!!

      Delete
    7. PM සම්‍යක් නම් සම්මජ්ජාතියෙවත් හරියන්නෙ නෑ මෙතන. ලින්ඛ්‍යක්ප්‍රයොගයක් ට්‍රයි කරල බලන්න

      Delete
    8. ඕ යේස්.. මං හිතන්නෙ ඒකට නං කකා කැමති වෙයි,

      ක සු ජා ස හරහා පොඩි ඉල්ලීමක් කරල බලමු,.!!

      Delete
    9. මේ කතාවේ සඟරා වර්ෂන් එක කලින් කියවුූ අය ඇත. අරූ ගේ අඩවිය ලියන අරූ එක් අයෙකි.

      Delete
  17. /මෙය ඊයේ ඇනෝනිමස් පාඨකයෙක් මට කළ තර්ජනයකට/අභියෝගයකට ඇතිවුණු බිය නිසා රචනා කරන ලද්දක් බව සලකන්න./

    මෙන්න මේකයිලු ඔය තර්ජනේ.

    /ඔබ එවැනි අයෙකු නොවේ නම් වැදගත් ලිපියක් හෝ වැදගත් නිර්මාණයක් පලකොට එය ඔප්පු කොට පෙන්වන්න/

    කකා, දැන් මගේ ප්‍රශ්නය මේකයි.

    මේක වැදගත් ලිපියක්ද? වැදගත් නිර්මාණයක්ද?

    ReplyDelete
    Replies
    1. මේක අර රජ්ජුරුවන්ගෙ ඇඳුම වගේ.... වැදගත් අයට විතරයි ඒකෙ වැදගත් කම පේන්නෙ....

      Delete
    2. ටයිටලය සහ ප/ලි ය එකතු කලේ කතන්දරය පළවී පැය දෙක තුනකට පසුව මාකටින් ස්ට්‍රැටජියක් ලෙසය.

      මුලින් කියවූ අය ඒවා දකලින්නට නැත. ඇත්තටම මෙය සම්‍යක්ප්‍රයෝගයකි.

      Delete
  18. ඇදිහැස ගේන්න තිබ්බේ ලොකු ලී පෙට්ටිවලට දාගන. විදුහල්පතිගේ කාමරයට ගිහින් දෙන්නෙක් ඕකට අවශ්‍ය ප්‍රමාණය දාගන එනවා. අපට ඒ කාලේ 5ක් ලැබුණා. එයින් දෙකක් සිට්ටු දාන්නත් ගත්තා.

    ReplyDelete
    Replies
    1. ආ නාකි මනමාලයා....

      Delete
    2. මටත් ලොකු පන්තියක දී ඔය බිස්කට් ගේන ජොබ් එක ලැබී තිබුණා මතකයි.

      Delete
    3. ඇනෝ ඇවිත් ඉන්නේ අපූර්විද සිරා ද

      Delete
  19. අපිත් පොඩි කාලෙ කාල තියෙන්නෙ කිරි රස හතරැස් විස්කෝතු ජාතියක්. ඕව ගේන්න ඔෆිස් එකට යන දෙන්නට වැඩිපුර කන්න චාන්ස් හම්බඋනා. සිට්ටු දැමිල්ලක් ගැනනං මතක නෑ. හැබැයි ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ කිරි පැකට් එකයි බනිසයි දෙනකොටනං ඒක විකුණල කැන්ටිමෙන් කාපු එව්ව‍ො හිටිය.

    ReplyDelete
    Replies
    1. කාටද ඒ කිරි විකුණන්නේ? පැකට් දෙකක් ඕනෑ අයටද?

      Delete
    2. උන්ට පැකට් දෙකක් ඕනිද දන්නෑ. ඒත් සමහර උං ගන්නව.

      Delete
  20. අපේ අම්මත් බිස්කට් සීට්ටු කතාව කියලා තියෙනවා.අනේ අපි ඉස්කෝලේ යද්දී ඔය කිසිම දෙයක් දුන්නේ නැහැ. ප්‍රින්සි කියලා ඇන්ටි කෙනෙක් ආවා රුපියලේ අයිස් ,පාන් එක්ක සම්බෝල හදාගෙන එන. ඉන්ටර්වල් එක බාගයක් යනකල් සමහරදාට ගන්න වෙන්නේ නැහැ. ඒ වගේම සමහර ළමයින්ගේ ගොඩක් නිල්දාපු යුනිෆෝර්ම් වලින් එන දාඩිය මිශ්‍ර ඒ ගඳ අම්මේ ඒකෙත් අමුතුම මෙවුවා එකක් තියෙනවා

    ReplyDelete
    Replies
    1. මං හිතුව ඒ මෙව්ව සුවද එන්නෙ නිල් දාපු ෂර්ට් ඇන්ද boys ලාගෙන් විතරයි කියල.... දාඩිය දැම්මම....

      Delete
    2. මං ලියපු කැන්ටදමෙන් මාළු පාන් කාපු හැටි ගැන කතන්දරයකුත් තියෙනවා. ඒක පස්සේ දවසක දාන්නම්.

      Delete
    3. පුක කොතනද අමුඩෙත් එතන.

      Delete
  21. චැහ් කකා, ඉස්කෝල ළඟ කඩල විකුනල කාටදහරි ගියේ.. ඕං බලන්ඩ බාබුල් ටිකක්.. මලක්..කෝ#ක්ස් බෝතලයක් දෙකක් පිස්සු පෙත්තක් කාරිය ෂේප් එකේ ඉෂූ කරගත්තනං දවසටම ඇති,මේ ආච්චිලට මංඥං කකා.. එයාල දන්න මගුල..මේ ඇවිල්ල යං ජෙනරේශන් එකනේ කකා,කඩල වෙරළු ඇවිල්ලා කොමන් නේ..

    අපේ ඉස්කෝල වල ලොකු අයියල ඉන්ටවල් එකෙන් පස්සෙ කිසී කරදරයක් නැතුව වහලෙ උලු ගනිනවා පොල් ගස් දිහා බලං ඉන්නවා ආන්න හොඳ ළමයි..ඔය කඅල කාල හෑස් හූස් ගානව වගේද 2 ට ඉස්කෝලෙ ඇරෙනකං සුපුන් සඳේ ඉන්නවනේ ළමයි ටික.. !!

    ReplyDelete
    Replies
    1. අවුරුදු දහතුනහමාරක් පසල් ගියත් ඔය වගේ සීන් නම් දැකලා නෑ. සිගරැට් බීපු අය නම් හිටියා!

      Delete
    2. ඒ කකාගෙ කාලෙ. අද මලක් කියන්නෙ සාමාන්‍ය දෙයක්. මං දන්න රෝයල් එකේ ඔහොම මල් ගහපු පොරක් ඒ ලෙවෙල් වලින් කොමර්ස් වලට ඒ තුනක් අරගෙන ඇමෙරිකාවෙ විශ්ව විද්‍යාලෙකටත් ගියා.

      Delete
  22. ඔබ තවමත් සාමාජිකත්වය ලබා නොගත්තේද?
    ▪ තාක්ෂණික ගැටළු
    ▪ එදිනෙදා ජිවිතයේ පැන නගින ගැටළු
    ▪ අන්තර්ජාල මුදල්
    ▪ ඇතුළු අනෙකුත් ඕනෑම ගැටළුවලට පිළිතුරු පහසුවෙන් එකමතැනකින්. LKTips.com
    ඔබත් දැන්ම එකතුවන්න, අන් අය සමග දැනුම බෙදාගන්න

    http://lktips.com

    ReplyDelete
    Replies
    1. මෙතන ඇඩ් දාන්න එපා.... හොඳින් කියන්නේ.... කකාගෙ බ්ලොග් එක කියන්නෙ ඕනෑම ගැටළුවකට පිළිතුරු පහසුවෙන් හොයාගන්න පුළුවන් තැනක් තමයි..... මේකෙ නැති දෙයක් තියනවද.....

      උඹේ මගුල බලන්න අපි එන්නෙ නෑ......

      Delete
    2. නිකං අයිඩියල් සමාජ සේවා අමාත්‍යාංශයක් වගේ තැනක්?

      Delete
  23. ඉස් ඉස්සෙල්ලම බෙදුවෙ මාරි බිස්කට්,ඊට පස්සෙ ප්‍රමිතිය අඩුවෙන්නට ගත්තා,මුලින්ම කෙනෙකුට බිස්කට් පහ බැගින් ලැබුණා.කොල්ලො බිස්කට් සීට්ටු දාන්නත් ගත්තා.
    කකාගෙ කඩල ගොඩ හරියට මුඩ්ඩත් එක්ක ලෙලි ගහපු පොල් ගොඩක් වගේ.

    ReplyDelete
  24. අ‍පේ ඉස්‍කෝ‍ලෙ කා‍ලෙ සිහිවුනා.
    අපිට හිටිය ආච්චිල ‍දෙන්‍නෙක්. ‍දෙන්නම වික්කෙ ව‍ඩේ සහ නාරං කැවුම් වගේ ගුලි ජාතියක්. අපි කිව්‍වෙ ගුලි කියල. එක්‍කෙ‍නෙකුට අපි කිව්‍වෙ අයිඑස්ඕ කියල. එයා‍ගෙ ව‍ඩේ මාර රසයි. නමුත් ටිකක් අකරුණාවන්තයි. අ‍නෙක් ආච්චි නං ණයට උනත් ‍දෙනව. ඒ කාලෙ තමයි ඉන්දියා‍වෙ මහාමාරිය පැති‍රෙන්න ගත්‍‍තෙ. ප්‍රින්සිපල් ආච්චිලව තහනම් කලා. ඒක නං ඕනවට වැඩි ‍දෙයක් මං හිතන්‍නෙ. නමුත් ‍ගේට්ටු‍වෙන් එලි‍යෙ ඉඳ‍ගෙන බිස්නස් එක කලාද ‍කො‍හෙද.

    ReplyDelete
    Replies
    1. රාජ්, දැන් අර ටැබූ ගැන අහ අහ පස්සෙන් එන හාදයාගේ කරදරේ ඉවරද?

      Delete
    2. ඔය වඩේ කියන්නේ සිංහල වඩේ නේද?

      Delete
  25. අතීතයට ගියහැකි කතන්දරයක්. ඒත් මං හිතුවේ පොඩි පංතිවලදී ගොඩක් අය සල්ලි දීල කඩල වෙරලු කෑවට, උසස් පෙල වෙනකොට සල්ලි නොදී කාල කොච්චරනම් මාරු වෙලා යන්න ඇත්ද කියල.

    ReplyDelete
    Replies
    1. මම නම් කවදාවත් ඔය වගේ මනුස්සයෙකුගෙන් හොරාට කාලා නැහැ. මගේ හොඳ කමකට නෙවෙයි. මේ අයගෙ දුප්පත්කම ගැන පොඩිකාලෙ ඉඳන්ම හැඟීමක් තිබුණු නිසා.

      Delete
    2. බඩගින්නට කන්න සල්ලි නැති හින්දද හොරෙන් කෑවේ, නැත්තං ආතල් එකටද?

      Delete
  26. අපි ඔය බිස්කට් එක්ක කන්න කොච්චි අරගෙන ගියා මතකයි..5 පන්තිය වෙනකන් දුන්නා..එතනින් පස්සෙ නෑ..

    ReplyDelete
    Replies
    1. කොච්චි, බුදු අම්මෝ! අර හැලපෙගෙ කතාවේ තිබුණා වගේ ඒවාද?

      Delete
  27. //සිංහල භාෂාවට තරමක ආගන්තුක වචනයක් වන "ස්තුතියි" යන්න එකල අපට උගන්වා තිබුණේ නැත. මා කඩල ගොට්ට රැගෙන ඉතා සතුටින් පිට්ටනිය දෙසට දිව ගියෙමි.//

    මෙකතව මොකක් වුනත් ලන්කවෙ මිනිස්සු මෙ වචනෙ දන්නෙ නෑ තමය්

    ReplyDelete
    Replies
    1. උඹ එන්ගලන්තෙද ඇමරිකාවෙද?

      Delete
    2. මේ අර මාතලන් මුලින් කියා ඇති කාරණා දහයෙන් එකක්.

      මං හිතන්නේ ඉස්සර නං ස්තුතියි වෙනුවට මද සිනාව, ගිහිල්ලා එන්නම් වගේ කෑලි තිබුණා, දැන් නං ඉතිං බුම්මට්ටම් තමයි.

      Delete
  28. අපිට හම්බුනේ නෑනේ ඇදිහස :(
    කොටු කපන කාර්ඩ් එකක් නම් දුන්නා සමුපෙන් බඩු ගන්න. අම්ම ඒකෙන් මොනවා හරි අරන්, ඒ වෙනුවට මට කතන්දර පොත් අරන් දෙනවා :)

    ReplyDelete
    Replies
    1. දැන් ඔදිහැස ද ලැබෙන්නේ?

      Delete
  29. අනේ අපි ඉස්කෝලෙ යද්දි ඔය මොන කෑමක්කත් නිකන් දුන්නෙ නෑ නෙව. හරි අසාධාරණයි. :(

    හැලිබොරේන්ජ් නම් මගෙත් ප්‍රියතම බීමක්. දැන් ඒව හොයාගන්නවත් නෑ නේද?

    ReplyDelete
    Replies
    1. මාත් වැඩි කාලයක් බීවේ නෑ, ඔය දෙකේ තුනේ පන්තිවලට වෙනකං විතරයි. ඊට පස්සේ ඇල්වතුර!

      Delete
  30. හැලිබොරේන්ජ් බිව්වනං මටත් කකා වගේ ඉන්ජෙක් වෙන්න තිබුනා... දැංවත් නැද්ද කකා ගැලුමක් දෙකක් එකපාර බීල දාන්ඩ නිවාඩුවක් දාල..?
    චැහ් අපේ ගෙදර එව්වො මට ඕක දුන් නෑනෙ ..ඕං බලන්ඩකො ඒකෙ හැටි ! ඕ යේස්.

    ReplyDelete
    Replies
    1. දැන් නං ඉතිං වයින් තමයි නේද? මං ඉතාලියේ රෙස්ටෝරන්ට් එකකට ගියාම ජෝග්ගුවලින් තමයි වයින් ඕඩර් කරන්න තිබුණේ.

      Delete
    2. මෙහෙ උන්ට ඉතිං කන්ඩ නැතත් ව්‍යින් එපෑ කකා.. ජෝග්ගුවක්ම බිව්වද අප්පා ???

      Delete
  31. අඩේ හැලි බොරේන්ජ් නම් හැලි ගණන් වලින් බොන්න පුළුවන්, අපේ ඉස්කෝලේ ගාව හිටියා අයිස්ක්‍රීම් වෙළෙන්දෙක්, එයා තමයි අපේ නිල නොලත් සිකුරිටි අන්කල්, අපිට මාරම ගාඩ් එකක් දුන්නේ, වාන් වල යන ළමයින්ව හරියටම ඒ වාන් එකටම දුන්න, පස්සේ මනුස්සයා බීල රේල් පාරේ නිදන් ඉඳලා කොචිචියට කකුලක් අහු වෙලා අබ්බගාත උනා, මනුස්සයාගේ ප්‍රියතම වර්ණය කළු, දැන් එයා සිඟන ජීවිකාවට වැටිලා. අදටත් රාජගිරිය, බොරැල්ල, බත්තරමුල්ල පැත්තේ සිඟා කණ කොන්දේ ක්රෙල්ම ක්‍රේල් මනුස්සයෙක් සමහර විට ඔබත් දකින නැති කිහිලි කරු වලින් යන එක කකුලක් අහිමි. මට ඒ මනුස්සයා හම්බ උනාම අතේ ඇති ගානක් දීල අහන ප්‍රියතම ප්‍රශ්නේ දෙකේ අයිස් පාලමක් නැද්ද අන්කල් කියලා තමා. මනුස්සයාට දුන්න ගානට වඩා හිත පිරෙනවා ඒ ප්‍රශ්නේ ඇහුවම. ජය.

    ReplyDelete
  32. ඔය බාලපන්කෝ අපි යන කාලේ බිස්කට් තියා මොන ලබ්බක් වත් දුන්නේ නෑනේ!

    ReplyDelete
    Replies
    1. ඔක්කොටම කලින් කියපන් උඹ ඉස්කෝලේ ගියාද කියලා...

      Delete
    2. ඉස්කෝලේ ගියේ කොහෙද කියලා අහන්න, හැබැයි ස්ටඩි කලේ කොහෙද කියලා අහන්න එපා!

      http://kathandara.blogspot.com/2011/03/blog-post_23.html

      Delete
  33. කකා......මේ කතාව කකා එවපු ලින්ක් එකකින් මම කියෙව්වා. ඇත්තටම හරියට හිතට වදින කතාවක්. සාංකාවක්, අසරණ කමක් දැණුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අරූ, ඒක ලිව්වේ අවුරුදු දෙකතුනකට කලින්. ඊයේ පොඩ්ඩක් සංස්කරණය කළා අද කතන්දරයක් විදියට පබ්ලිෂ් කරන්න.

      Delete
  34. කාලයෙ වෙනස,අපි නම් කලෙ සත 25ක් අරගෙන බිම පැකට් විකුනපු සීය ලග හිටපු එක
    අපිට දුන්න ආන්ඩුවෙන් කිරියි බනිසුයි.පස්සෙන්පහු රුපියල් 3ගානෙ දෙන්නත් ගත්ත මුද්දර කාඩ් එකක් විදියට

    ReplyDelete
    Replies
    1. උඹලට කිරි අපිට කැකිරි කියන්නේ ඒකනේ!

      Delete
  35. බිස්කට් කන්න , බිස්කට් සීට්‍ටු දාන්න අපිට හම්බුනේ නෑ නේ...

    හැලිබොරේන්ජ් නම් මගෙත් ආසම බීමක්.. දැන් හැලිබොරේන්ජ් නෑ නේද ?

    ReplyDelete
    Replies
    1. හැලිබොරේන්ජ් තියෙනවා, නමුත් දැන් අපි ලොකු වැඩියි!

      http://www.seven-seas.com/haliborange


      Delete
  36. නොස්ටැල්ජියා තියන අය ගොඩක් ඉන්නවද කොහෙද, බලාගෙන යනකොට.

    ReplyDelete
    Replies
    1. නොස්ටැල්ජියා කිව්වාම ලෙඩක් කියලයි හිතෙන්නේ.

      ඒත් නොස්ටැල්ජියාව නැති නම් ඒකයි ඇත්තටම ලෙඩේ!

      Delete
  37. ඇදිහැස මටත් මතකයි. අපේ කාලේ බිස්කට් අටක් ද කොහෙද දුන්නා. ආයේ ස්කෝලෙන්ම කඩල, කැඳ වගේ දෙන ප්‍රජෙක්ට් එකකුත් තිබුනා. බනිස් හා කිරිත් මතකයි.

    මම පොඩි කාලේ කවදාවත් කඩෙන් කාලා නෑනේ. ඔය ස්කෝල ළඟ හිටපු අයගෙනුත් එහෙමම තමයි. මට මතක විදියට අපිට උදේට ගෙදරින් කෑම හදලා දෙනවා 11 ට විතර කන්න. ගෙදරිනුත් උදේට තව මොනවා හරි කාලත් ගියා වෙන්න ඕනේ. ආයේ හවස ගෙදර එනකම් මොකුත් කෑවේ නෑ.
    ඒකටත් එක්ක හවස ගෙදර ඉන්න ගමන් නම් පොලි හකුරුයි, විස්කිරිඥ්ඥයි, ඉඟුරු ඉස්කෝතුයි, වගේ ඒ කාලේ තිබ්බ කඩචොරු කෑවා.

    ReplyDelete
    Replies
    1. අම්මෝ බිස්කට් අටක්?
      එහෙම කන්න තිබුනා නම් අපිට අද මේ මන්දපෝෂණේ නෑ නේ!

      Delete
  38. කඩල ගොට්ට ඉල්ලගෙන දික් කරගෙන ඉඳලා, මහන්සියට පහලට දාපු, ඒ පොඩි අතට දුක හිතුණා...:)

    ReplyDelete
    Replies
    1. ඔයාටත් දුකයි, මටත් දුකයි!

      Delete
  39. ඇදිහැස (එනම්, ඇමරිකන් දීමනා හැමට සමානව) නමින් හැඳින්වුණු මේ විස්කෝත්තු පෙට්ටි අපේ ගෙදර මුල්ලක ගොඩගහල තිබුණෙ වැඩි ආරක්ෂාවට.
    ආරක්ෂාව කොහොම වෙතත් තාත්තට හොරෙන්, හැබැයි අම්මගෙ අනුදැනුම ඇතිව පෙට්ටි හිල් කරල හොරෙන් බිස්කට් කෑ හැටි මතක් වුණා. කතන්දරකාරය අවදි කළේ දශක ගණනාවකට පෙර අතීත මතකයක්.

    ReplyDelete
    Replies
    1. මට මතක තියෙන අතීතයක් ඔබටත් මතක වගෙයි?

      Delete
  40. ලස්සන කතවක්.. මටත් මගෙ පොඩි කාලෙ මතක් උනා...

    ReplyDelete
  41. දැං ඉස්කෝල ගාව කෙසේවෙතත් බාර් එක ගාවනං කඩල අාච්චිලා ඉන්නවා..

    මට මතක හැටියට අපිටත් සත පහේ සයිස් බිස්කට් කෝප්පයක් ලැබුණා 2 පන්තියේදි විතර...

    ජය වේවා!!

    ReplyDelete
  42. මම පෙරේදා දැක්කා කොළඹ වෙස්ලි ග්‍රවුන්ඩ් එක ගගාව තරමක වයසක කෙනෙක් ඉටි කොළයක් එළා ගෙන තලපු කොට්ටම්බා මද විකුණනවා.මට මේ ලිපිය මතක් වුණා.ස්කෝලෙ අැරිච්ච වෙලාවෙ පැටව් ඒ මනුස්සය වට කරගෙන

    ReplyDelete
  43. // ගෙදරින් ශත පහක් ලැබීමට පින් කර තිබූ සිසුන් //
    අපේ කාලේ ළමයෙක්ට ගෙදරින් දුන්නු සාමාන්‍ය ගාන රු.5යි.

    මං පොඩි කාලේ ඉස්කෝලේ ගියේ වෑන් එකක.. ඉතිං ඉස්කෝලේ මොනවා හෝ ගෙවීමකට ඇරෙන්න ගෙදරින් මුදල් දුන්නේ නෑ. සමහර යාලුවෝ මගෙන් සල්ලි තියෙනවද අහපු වෙලාවල් වල නෑ කිව්වම "දවසකට රු.5ක් ලැබෙන් නෑ..." කියාගෙන ඇස් ලොකු කරන මන් දිහා බලපු හැටි මතකයි. ඒ කාලේ පොඩි පන්ති වල හිටපු ගොඩක් එවුන්ට ගෙදරින් දවසකට රු.5ක් ලැබෙනවා ඉස්කෝලේ එනවට.. මන් දැන් නෑ එක මොන හේතුවකට හැදුනු චාරිත්‍රයක් ද කියලා..
    හැබැයි කකා'ගේ කාලේ සත 5න් කර දේ'ම තමා අපේ කාලේ රු.5න් කරෙත්.. දැන් නම් මන් හිතන්නේ ඒ ගාන 50ක් විතර වෙලා ඇති...

    කාලය මැව් වෙනසක අරුමේ...

    ReplyDelete
    Replies
    1. තිලී@ හි හි මොන 50 ද අපේ මල්ලිට 200 ක් නොදුන්නොත් යන්නේ නැහැ.මොකද අපිට තිබ්බ අවශ්‍යතා නෙමේනේ දැන් ෆෝන් කාර්ඩ් එකක් දාගන්නත් 50 ක් ඕනෙනේ,, හි හි

      Delete
    2. අපොයි...
      කාලය මැව් වෙනසක අරුමෙක අරුමේ...
      :)

      Delete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.