
ඇනෝනිමස් ආතල් බ්ලොගය සංවිධානය කළ 2011 සිංහල බ්ලොග් අවකාශයේ මහා කක්කා සම්මාන උළෙලේ ජොකා සම්මානය හා රුපියල් 25,000ක මුදල් ත්‍යාගය දිනාගත් කතන්දරය. (16/12/2011)
http://anonymousaya.blogspot.com/2011/12/2011.html

බොරු කියන්නේ මොකටද, මං පොඩි කාලේ පාසල් යන කොට ජොක්කු නං ඇන්දේ නෑ, කෙලින්ම සිවිල් පිට තමයි ගියේ!
මේක නිවරදිව කියනවා නං මගේ අම්මා මට ජොක්කු ඇන්දුවේ නෑ. අන්දන්න මට ජොක්කු තිබුනෙත් නෑ.
මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ඒ දවස්වල පාසල් නිල ඇඳුමක් තිබුනේ නැති නිසා, ඉස්කෝලේ ගිය මුල් අවුරුදු දෙක ම ඇන්දේ පොප්ලින් වලින් මහපු ඉලාස්ටික් කලිසම් විතරයි යටට. ඒවා අම්මා මහපුවා. උඩට ඇන්ද කමිසත් ගෙදර අම්මා මහපුවා.
මේ සමහර කමිස වල අත් නැහැ, ඒ මදිවට සමනල්ලු ඇප්ලික් කරලා තිබුණා. දෙකේ පන්තියේ දී මට මතකයි කොල්ලෙක් මට විහිළු කරනවා බ්ලවුස් අඳිනවා කියලා!
ඇත්තටම කියනවා නං බ්ලවුස් පතරොම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි අම්මා අපිට කමිස මැහැව්වේ.
හැබැයි මං කවදාකවත්, කොල්ලෝ කිචේ දානවා, මට මේවා අඳින්න බෑ කියලා ගෙදර වලි දාලා දෙමව්පියන්ට කරදර කෙරුවේ නං නෑ. කට්ට කාගෙන තියෙන දෙයක් ඇඳගෙන පාසල් ගියා.
ඒ හින්දා තමයි මට දැන් වුනත් පුළුවන්, ඇනෝවා මට නාසිසිසම් කියා කිච කරද්දීත් කූල් එකේ ඉන්න.
පළමුවන වසරේ ඉඳිද්දී අපේ පන්තියේ කෙල්ලෙක් ගවුමට යටින් යට ඇඳුමක් අඳින්නේ නැතුව ඇවිල්ලා දවසක් වෙච්ච දේ මං මීට කලින් කියලා තියෙනවා නේ, මතකද මන්දා?
ගවුම් අඳින කෙල්ලන්ට එහෙම නීති තිබුණා වුණාට, මං තුනේ පන්තියේ වගේ ඉඳලා පොප්ලින්-ඉලාස්ටික් කලිසම් වෙනුවට ඩ්‍රිල් රෙදිවලින් ටේලර් ෂොප් එකෙන් මහපු කලිසම් ඇන්දත් ජොක්කු ගැහැව්වේ නං නෑ.
මේ කාලේ වෙන කොට මං ඇන්දේ අත් කොට සාමාන්‍ය කමිස. ඒවාත් ගෙදර මහපුවා. හැබැයි ඒ තාත්තා ගේ වැඩ. ඒ නිසා බ්ලවුස් කතාව ආවේ නෑ.
හැබැයි ඒත් කලිසමයි, කමිසෙයි විතරයි. නෝ ජොක්කු.
ඔන්න පහේ පන්තියේ තරග විභාගෙන් පාස් වෙලා, හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යන්න පටන් ගත්තා.
දැන් අපේ පන්තියේ කොල්ලෝ බහුතරය ජොක්කු අඳිනවා.
මේ සේරම වවුල් ජොක්කු, එහෙම නැත්තං ලන්කට්!
ජොක්කු ගහන, නොගහන කොල්ලන් කවුද කියලා තේරෙන්නේ වූ කරන්න ටොයිලට් ගියාමයි. ජොක්කු නැත්තෝ කලිසමේ බොත්තම් (මේ කාලේ සිප් තිබුනේ නෑ, මට මතක විදියට) විතරක් ගලෝලා වූ කරනවා.
වවුල් ජොක්කු අර සමහර බිකිනි වගේ එක පැත්තකින් ගැට දෙකක් ගහන්න ඕනෑ ඒවා නිසාත්, අද කාලේ ජොක්කුන් වගේ මේවායේ ඉලාස්ටික් නොතිබුණු නිසාත්, ජොක්කු ගහන කොල්ලන්ට චූ කරන්න කලින් මුලින්ම කලිසම උඩින්ම ගලවන්න වෙනවා ගැට ලෙහන්න. ඊටත් පස්සෙයි වූ කරන්න පුළුවන් වෙන්නේ.
මේ හේතුව නිසා ජොක්කු අඳින නොඅඳින අය ටක් ගාලා කැපී පේනවා.
මේකේ නරකම වැඩේ මේකයි.
ජොක්කු අඳින්නේ නැති උන්ට අඳින උන් කිච කරන්නේ "ඔන්න ගොනා කානුවේ!" කියලයි.
මාත් ඉතිං "ගොනා කානුවේ" දා ගෙන තවත් අවුරුද්දක් විතරම ඉස්කෝලේ ගියා. ඊටත් පස්සේ තමයි තාත්තා මට ජොකෙක් මහලා දුන්නේ.
ඒකත් අර "වවුල්" වර්ගයේ ලන්කට් එකක්.
ඒකේ පිහිටෙන් මං ගොනා කානුවෙන් ගොඩට අරං හරි පාරට දා ගත්තා!
-කතන්දරකාරයා
ප/ලි:
මේ කතාව පලකරන්නේ මෙය කියවන වැඩිහිටි පිරිමින් ටික දෙනෙකුට හෝ අතීතකාමයේ ගිලෙමින් සතුටක් ලබන්නට හැකි වේ යැයි සිතාය.
උපන් දිනයේ සිට ජොක්කු ඇඳි අය සොරි.කොම් බලන්න.
මෙන්න තවත් ජොක්කු ගැන කතන්දර.
1. සරොම් අස්සේ ජොකා බලකාය
2. ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
3. ජොලි සීයගෙ කතන්දරේ
(image: http://www.switched.com/2008/07/10/buzzing-cell-phone-turns-out-to-be-live-bat-in-bra/)

