Showing posts with label ශිෂ්‍යයෝ. Show all posts
Showing posts with label ශිෂ්‍යයෝ. Show all posts

Wednesday, 19 October 2011

ලන්කට් එකක් හෙවත් වවුල් ජොකෙක් නැතුව "ගොනා කානුවේ"! - Batman Jocks


ඇනෝනිමස් ආතල් බ්ලොගය සංවිධානය කළ 2011 සිංහල බ්ලොග් අවකාශයේ මහා කක්කා සම්මාන උළෙලේ ජොකා සම්මානය හා රුපියල් 25,000ක මුදල් ත්‍යාගය දිනාගත් කතන්දරය. (16/12/2011)
http://anonymousaya.blogspot.com/2011/12/2011.html



බොරු කියන්නේ මොකටද, මං පොඩි කාලේ පාසල් යන කොට ජොක්කු නං ඇන්දේ නෑ, කෙලින්ම සිවිල් පිට තමයි ගියේ!

මේක නිවරදිව කියනවා නං මගේ අම්මා මට ජොක්කු ඇන්දුවේ නෑ. අන්දන්න මට ජොක්කු තිබුනෙත් නෑ.

මං ගිය කණිෂ්ඨ විද්‍යාලයේ ඒ දවස්වල පාසල් නිල ඇඳුමක් තිබුනේ නැති නිසා, ඉස්කෝලේ ගිය මුල් අවුරුදු දෙක ම ඇන්දේ පොප්ලින් වලින් මහපු ඉලාස්ටික් කලිසම් විතරයි යටට. ඒවා අම්මා මහපුවා. උඩට ඇන්ද කමිසත් ගෙදර අම්මා මහපුවා.

මේ සමහර කමිස වල අත් නැහැ, ඒ මදිවට සමනල්ලු ඇප්ලික් කරලා තිබුණා. දෙකේ පන්තියේ දී මට මතකයි කොල්ලෙක් මට විහිළු කරනවා බ්ලවුස් අඳිනවා කියලා!

ඇත්තටම කියනවා නං බ්ලවුස් පතරොම් පොඩ්ඩක් වෙනස් කරලා තමයි අම්මා අපිට කමිස මැහැව්වේ.

හැබැයි මං කවදාකවත්, කොල්ලෝ කිචේ දානවා, මට මේවා අඳින්න බෑ කියලා ගෙදර වලි දාලා දෙමව්පියන්ට කරදර කෙරුවේ නං නෑ. කට්ට කාගෙන තියෙන දෙයක් ඇඳගෙන පාසල් ගියා.

ඒ හින්දා තමයි මට දැන් වුනත් පුළුවන්, ඇනෝවා මට නාසිසිසම් කියා කිච කරද්දීත් කූල් එකේ ඉන්න.

පළමුවන වසරේ ඉඳිද්දී අපේ පන්තියේ කෙල්ලෙක් ගවුමට යටින් යට ඇඳුමක් අඳින්නේ නැතුව ඇවිල්ලා දවසක් වෙච්ච දේ මං මීට කලින් කියලා තියෙනවා නේ, මතකද මන්දා?

ගවුම් අඳින කෙල්ලන්ට එහෙම නීති තිබුණා වුණාට, මං තුනේ පන්තියේ වගේ ඉඳලා පොප්ලින්-ඉලාස්ටික් කලිසම් වෙනුවට ඩ්‍රිල් රෙදිවලින් ටේලර් ෂොප් එකෙන් මහපු කලිසම් ඇන්දත් ජොක්කු ගැහැව්වේ නං නෑ.

මේ කාලේ වෙන කොට මං ඇන්දේ අත් කොට සාමාන්‍ය කමිස. ඒවාත් ගෙදර මහපුවා. හැබැයි ඒ තාත්තා ගේ වැඩ. ඒ නිසා බ්ලවුස් කතාව ආවේ නෑ.

හැබැයි ඒත් කලිසමයි, කමිසෙයි විතරයි. නෝ ජොක්කු.

ඔන්න පහේ පන්තියේ තරග විභාගෙන් පාස් වෙලා, හයේ පන්තියට සෙන්ට්‍රල් එකට යන්න පටන් ගත්තා.

දැන් අපේ පන්තියේ කොල්ලෝ බහුතරය ජොක්කු අඳිනවා.

මේ සේරම වවුල් ජොක්කු, එහෙම නැත්තං ලන්කට්!

ජොක්කු ගහන, නොගහන කොල්ලන් කවුද කියලා තේරෙන්නේ වූ කරන්න ටොයිලට් ගියාමයි. ජොක්කු නැත්තෝ කලිසමේ බොත්තම් (මේ කාලේ සිප් තිබුනේ නෑ, මට මතක විදියට) විතරක් ගලෝලා වූ කරනවා.

වවුල් ජොක්කු අර සමහර බිකිනි වගේ එක පැත්තකින් ගැට දෙකක් ගහන්න ඕනෑ ඒවා නිසාත්, අද කාලේ ජොක්කුන් වගේ මේවායේ ඉලාස්ටික් නොතිබුණු නිසාත්, ජොක්කු ගහන කොල්ලන්ට චූ කරන්න කලින් මුලින්ම කලිසම උඩින්ම ගලවන්න වෙනවා ගැට ලෙහන්න. ඊටත් පස්සෙයි වූ කරන්න පුළුවන් වෙන්නේ.

මේ හේතුව නිසා ජොක්කු අඳින නොඅඳින අය ටක් ගාලා කැපී පේනවා.

මේකේ නරකම වැඩේ මේකයි.

ජොක්කු අඳින්නේ නැති උන්ට අඳින උන් කිච කරන්නේ "ඔන්න ගොනා කානුවේ!" කියලයි.

මාත් ඉතිං "ගොනා කානුවේ" දා ගෙන තවත් අවුරුද්දක් විතරම ඉස්කෝලේ ගියා. ඊටත් පස්සේ තමයි තාත්තා මට ජොකෙක් මහලා දුන්නේ.

ඒකත් අර "වවුල්" වර්ගයේ ලන්කට් එකක්.

ඒකේ පිහිටෙන් මං ගොනා කානුවෙන් ගොඩට අරං හරි පාරට දා ගත්තා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාව පලකරන්නේ මෙය කියවන වැඩිහිටි පිරිමින් ටික දෙනෙකුට හෝ අතීතකාමයේ ගිලෙමින් සතුටක් ලබන්නට හැකි වේ යැයි සිතාය.

උපන් දිනයේ සිට ජොක්කු ඇඳි අය සොරි.කොම් බලන්න.

මෙන්න තවත් ජොක්කු ගැන කතන්දර.
1. සරොම් අස්සේ ජොකා බලකාය
2. ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
3. ජොලි සීයගෙ කතන්දරේ

(image: http://www.switched.com/2008/07/10/buzzing-cell-phone-turns-out-to-be-live-bat-in-bra/)

Wednesday, 28 September 2011

අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons


මං කාලෙකට කලින් ලියල පලකළ කඩ්ඩ හොර අයට දෙන එංගලන්තේ යන ශිෂ්‍යත්වයක් ගැන කතන්දරේ මතකයි නේද? ඒ වගේ තවත් කතාවක් කියන්නයි මේ සැට් වෙන්නේ.

අපේ පරණ ගම් පලාත කිට්ටුව හිටියා අංකල් කෙනෙක්. ඒ අංකලුයි, ඇන්ටියි දෙන්නම යුනිවසිටි හෙම ගිය දෙන්නෙක්. අංකල් ප්‍රයිවෙට් සැට්ටරේ තමයි වැඩ කරන්නේ. ඇන්ටි නං මං හිතන්නේ ආණ්ඩුවට කඹුරනවා කොළඹ දෙපාර්තමේන්තුවක. මේ දෙන්නම ලොකු මැනිජර් ලා.

මේ ජෝඩුවට හිටියා පුත්තු දෙන්නෙක්. (අංකල් හොඳ හපනෙක් වගේ, නේද?). මං මේ කොල්ලෝ දෙන්නාව පොඩි කාලේ ඉඳලා දන්නවා.

ඉතිං ඔහොම කාලයක් ගිහින් ලොකු කොල්ලා පහේ පන්තියේ ශිෂ්‍යත්ව විභාගය හොඳින් පාස් වුණා. ඒ අනුහසින් ඊළඟ අවුරුද්දේ ඉඳලා කොල්ලා යන්න පටන් ගත්තා කොළඹ පැත්තේ ලොකු ජනප්‍රිය ඉස්කෝලෙකට.

ඊට අවුරුදු දෙකකට පස්සේ ඔන්න පොඩි එකා ගේ වාරේ ආවා සිස්සස්සේ කරන්න. ලොකු එකාව වගේම ඉතිං පොඩ්වාවත් ටියුෂන් පන්තිවලට ඇරියා. උපකාරක පොත් පත් ගෙනල්ලා ගෙදරදීත් උදව් පදව් කළා.

අනේ ඒත් කොල්ලා එච්චරම හොඳට පාස් වුනේ නෑ. කොළඹ ලොකු ඉස්කෝලෙකට තියා තරමක් ජනප්‍රිය එකකටවත් යන්න.

කොල්ලට යන්න පුළුවන් කම තිබුනේ ගෙදරින් කිලෝමීටර් දෙක තුනක් දුරින් තිබුණු මහා විද්‍යාලයට විතරයි.

ඒකත් හැබැයි ඒ ගම් පලාතේ හොඳම ඉස්කෝලයක්.

නමුත් අංකල්ගෙයි, ඇන්ටිගෙයි හිතට හරි නෑ. අයිය යන්නේ කොළඹ හොඳ නම ගිය ඉස්කෝලෙකට නේ.

ජෝඩුව හොඳ ජොබ් කරන නිසා, ආර්ථිකේ එච්චර අවුලකුත් නෑ. ඉතිං දෙන්නා තීරණය කළා පොඩි කොලුවා ව දාන්න පෞද්ගලික පාසලකට. අර ඉන්ටර්නැෂනල් ඉස්කෝල කියලා හැඳින්වෙන දේශීය පාසල් වලින් එකක්. ඉගැන්වීම ඉංගිරිසියෙන්. නිල ඇඳුම සුදු නෙමේ අවපාටක්. විභාග එංගලන්තේ ඒවා.

දැන් ලොකු පුතා ස්කූල් බස් එකේ ආණ්ඩුවේ ඉස්කෝලෙට යනවා.
පොඩි පුතා තාත්තා එක්ක කාරෙකේ ප්‍රයිවේට් ඉස්කෝලෙට යනවා.

ඔහොම අවුරුදු තුන හතරක් ගතවුණා.

ලොකු එකා උසස් පෙළ විභාගේ ඉතා හොඳින් සමත් වෙලා යුනිවසිටියට තේරුණා. පොර ගෙදර ඉඳන්ම ඉතිං බස් එකේ දුර ගෙවාගෙන යන්න පටන් ගත්තා කැම්පස්.

ඔය අව් අස්සේ පොඩි එකාත් ඇඩ්වාන්ස් ලෙවල් කළාය කියමුකෝ. පොඩි එකා කෙරුවේ නිකං ලපයි සිපයි ගේ ඇඩ්වාන්ස් ලෙවල් නෙමේ, හොඳ රට ෆොරීන් එක!

ඌත් ඒක පාස් වුණා ඉතාම ඉහලින්.

දැන් ඉතිං මොකද කරන්න වෙන්නේ? පොඩි එකාව යවන්න ඕනෑ පිටරට යුනිවසිටි එකකට!

මට අන්තිමට මේ අංකල්ව මුණ ගැහෙන දවසේ එයා මේ වැඩේට ලක්‍ෂ ගානක් හොයනවා. ඉඩමක් විකුණන්නයි අදහස් කරගෙන හිටියේ.

ලොකු එකා ඒ වෙනකොට යුනිවසිටියේ තුන්වන වසරේ. ගෙදර ඉඳන් බස් එකේ කට්ට කාලා කට්ට එපා වෙලා මේ වෙනකොට යුනිවසිටිය අහල පහල බෝඩිමකට ද කොහෙද සෙට් වෙලාලු!

දැන් නං අංකල්ගෙයි ඇන්ටිගෙයි පොඩි කොල්ලා පිටරට යුනිවසිටියට ගිහින් ඇති මට හිතෙන විදියට.

ලොකු එකා බෝඩිමේ වාතවෙන කොට සමහර විට ඌට හිතෙනවාත් ඇති අනේ මාත් ශිෂ්‍යත්වේ ෆේල් වුනා නං කියලා!

-කතන්දරකාරයා

ප/ලි:
තමන්ගේ දරුවන්ට කෙසේ හෝ හොඳ අධ්‍යාපනයක් ලබාදෙන්නට තැත් කරන දෙමව්පියන්ට මේ කතන්දරේ උපහාරයක් වේවා!

මං මේ කතන්දරේ ලිව්වේ දෛවයේ සරදම පෙන්වන්නයි.

(image: Microsoft Clip Art)

Tuesday, 6 September 2011

පේරාදෙනියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ සිට ලියමි : Homesickness


මේ කවියත් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගතකළ මුල් සති දෙක ඇතුලත ලියපු එකක්.

මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේයි. එතන ඉඳන් ගඟෙන් එගොඩ ෆැකල්ටියට යනවා කියන්නේම මාර රැග් එකක්.

ඇයි ඕයි, අක්බාර් එකේ ඉන්න වුන්ට විනාඩි දෙකක්වත් යන්නේ නැති ගමනට අපිට විනාඩි විස්සක් යනවා. තද වෙනවා, නේද?

ඒ මදිවට මාකස් ප්‍රනාන්දු ශාලාවේ කැෆටේරියා එක නොහොත් භෝජනාගාරය වහලා එලියේ පොඩි කඩ කෑල්ලක් විතරයි තිබුනේ. කියල වැඩක් නෑ.

ඉතිං ළමයි, ඔය හේතු නිසාද මන්දා මං ගිය බ්‍රහස්පතින්දා දාපු කවිය වගේම මේ කවියත් ටිකක් දුකෙන් ලියපු එකක්. හැබැයි හැමදාම ඔහොම ඔය දුක තිබුනේ නෑ. එක්කෝ මං දුකට හුරු වුණා, නැත්තං අට්ට ලෝක චක්කරේ කැරකුණා අනිත් පැත්තට.

දැන් කියවන්න කෝ පදවැල.

ජීවිතය

භෝජනාගාරයේ පෝලිමේ හිරවෙලා
ලැබගන්න බත්පතින් කුසගින්න නිවෙනවා
රස නහර පිනා යන ගෙදර බත සිහිවෙලා
නොදැනුවත්වම වගේ නෙත කඳුළු පිරෙනවා

කඳු නැගල, කඳු බැහැල ගත වෙහෙස දැඩි කරන්
උදයෙන්ම පෝලිමේ කම්මලට ඇදෙනවා
පරබසින් උගැන්වෙන දෙසුම් සවනෙහි හෙලන්
දේශණාගාරයේ නිදිකිරා වැටෙනවා

ඇල්මැරුණු තේ එකෙන් ගත වෙහෙස නිවාගෙන
හිරු බසින සැඳෑවේ කුටිය වෙත ඇදෙනවා
හිත වෙහෙස කෙසේ හෝ නිවන්නට සිතා ගෙන
හැකිතරම් ඉක්මනින් ගුලිවෙලා නිදනවා

සීතලේ මිරිකෙමින් රෑ කලේ නිදන විට
සිහිනයෙන් ගෙදර ගොස් ඉන්න හැටි පෙනෙනවා
පූරුවේ පවක් යැයි සිතාගෙන සැනසිලා
ජීවිතය දුකක් බව පසක්කර ගන්නවා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
සාහිත්‍ය මාසය පිටින් දාලා මං ලියපු කවි විතරක් පල කර කර ඉන්නේ නැතුව පොත් ගැනත්, පොත්වල කවි ගැනත් ලියන්නට හිතී ඇති බව සතුටින් දන්වමි.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.dailynews.lk/2010/03/27/fea60.asp)