Showing posts with label කයි-කතන්දර. Show all posts
Showing posts with label කයි-කතන්දර. Show all posts

Sunday, 19 January 2014

මෙන්න තවත් (අ)සාර්ථක වෑයමක් - Robber poetry


මා කුඩා කාලයේ කුමක් හෝ හේතුවක් නිසා අපේ එක් ආච්චී කෙනෙකුගේ ගෙදර ගොස් රාත්‍රියක් ගතකරන්නට සිදුවිය.

අර එංගලන්තෙන් ආ අංකල් හමුවූයේ එදා යැයි අනුමාන කරමි.

ආච්චී ගේ නිවසේ තිබූ පොත් අල්මාරියක තිබී මට කාලයකට කලින් මුද්‍රණ්‍ර කරන ලද "උදය" නම් වූ ළමා සඟරා එකතුවක් හමුවිය. මේවා අපේ එංගලන්තේ අංකල් ලා පොඩි කාලේ කියවපුවා විය යුතුයි.

ඒ එක් සඟරා කලාපයක පලවු තිබූ එක්තරා ලිපියක් මගේ සිත ගත්තේය. ඒ ලිපියෙන් කියවුනේ කුඩා ළමුන්ට කවි ලිවීමට උපදෙස් ය.

මේ සඟරා පලවූ කාලයට අදාලව මේ උපදෙස් දී තිබුණේ එලිසම සහිත සඳැස් කවි ලිවීමටයි. ඒ ලිපියේ උදාහරණ ලෙසට සැන්දෑ වරුවක නිවසේ ඉදිරිපසට වී බැස යන හිරු සහ පොල් ගස් දෙස බලමින් සිටි ළමයෙකු විසින් ලියවෙන්න ඉඩ ඇති කවි පන්තියක් ද එකතු කර තිබුණි.

එදා ආච්චිලා ගේ නිවසෙන් ආපසු අපේ ගෙදරට පැමිණි විගසම මා කළේ පොතක් සහ පැන්සලක් රැගෙන ඉස්තෝප්පුවට වී මිදුලේ තිබූ ලොවි ගස්, තැඹිලි ගස්, පොල් ගත් දෙසත් බලමින් කවියක් ලියන්ට උත්සාහ කිරීමයි.

ගස් තිබුණු පලියට කවි පල හට නොගන්නා බව මට එදා වැටහුණි.

කවි ලිවීමට හොඳ කෝෂ්ඨාගාරයක් මෙන්ම කවි සිතුවිලි ද උවමනා වේ.

මට ඔය දෙකම තිබුණේ නැත.

පණ නම් තණ අග පිණි බිඳු වැන්නේ යන ප්‍රසිද්ධ කියමන ආශ්‍රයෙන් මා වයස දාසයයි මාස දෙකේදී කවියක් ලියූ බව මා පෙර දිනයක කීවෙමි.

ඒ කාලයේ මා කවි සටහන් කර තිබූ පරණ දින සටහන් පොත දිගටම පිරික්සීමේ දී මට තවත් එවැනි ප්‍රසිද්ධ අදහසක් අනුසාරයෙන් මා ලියූ කවියක් හමුවිය.

මෙන්න ඒ කවිය.

නෙලන්න බැරි මල්

කිසිවෙකු හට නෙලා ගන්න
බැරි ලෙස අතු අග්ගිස්සේ
ලඟවෙන්න බැරි ලෙසිනේ
දණක් එරෙන වගුරු බිමේ
වනලැහැබෙන් එයා ඉමේ
විසපිරි කටු ඇති පඳුරේ
සුවඳ හමන ලස්සන මල්
නෙලන්න බැරි පියකරු මල්
ඇයිද පිපෙන්නේ?

අඳුරුව තිබූ මගේ දිවිය
එළිය කරපු නිල්මිණ වෙත
මගෙ හදවත තිබු පාළුව
මකා දැමූ මිහිරිය වෙත
කිසි දිනයක හිමි නොවෙනා
මට අහිමිවූ වස්තුවකට
මටත් හොරෙන් ඇයි මගෙ සිත
ඇදිලා යන්නේ?


මේ නෙලන්න බැරි මල් කවිය මා ලියා ඇත්තේ පෙර කී තණ අග පිණි බිදු කවිය ලියා විනාඩි පාළහකට පසුව බව සටහන් පොත කියයි.

මා මේ අදහස සොරා ගත්තේ කරුණ්රත්න අබේසේකර රචනා කර, මිල්ටන් පෙරේරා ගැයූ ගීයක මුල් දෙපදයෙනි.

නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ
ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ


දැන් මෙන්න අද ඉරිදා ඔබේ රස වින්දනයට ඒ මිල්ටන් පෙරේරා ගැයූ ගීතයේ යූ ටියුබ් වීඩියෝව.



තාත්තා ගේ සින්දු පුතා කන හැටි අහන්න ඕනෑ නං මෙතනින් පුළුවනි.



-කතන්දරකාරයා

ප/ලි:
මා ලියූ මේ කවි සටහන් පොතෙන් මුල්වරට එළියට එන්නේ අද බවත් අදාල මූලාශ්‍ර සපයා ඇති බවත් කරුණාවෙන් සළකන්න.


(image: http://archives.dailynews.lk/2010/10/20/art02.asp)

Friday, 20 December 2013

ෂිහ් විතරක්! - අවුරුදු දාසයක කොල්ලෙකු ගේ ප්‍රේමාලාපයක් - Hot sixteen?


දැලි රැවුල එන, ෂරට් මැදලා අඳින, කොණ්ඩේ පීරණ කාලේ දී සහමර කොල්ලන්ට කවි ලියන්නත් හිතෙන බව මං කලින් දවසක කිව්වා.

මේ කවි අති බහුතරයම ඉතිං ලියවෙන්නේ කෙල්ලෝ ගැන තමයි.

මෙන්න ඒ වගේ කවියක්.

මේක ලියපු කුකවියා ගේ එදා වයස අවුරුදු දාසයයි, මාසයයි ලු.

එපා!

තණපත් අග හිමිදිරියේ
තුෂාරයක් වෙන්න එපා
සුදු මල් ඇති රෝස ගසක
විස කටුවක් වෙන්න එපා

අහසෙ ඈත කොණකට වුණු
තනි තරුවක් වෙන්න එපා
අනුෂාවෙනි කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා

අනන්තයට විහිදී ඇති
මහ සයුරක් වෙන්න එපා
මඩින් පිරුණු විලක පිපිණු
නෙළුම් මලක් වෙන්න එපා

බෙල්ලෙකු ගේ කටු අතරේ
මුතු කැටයක් වෙන්න එපා
ආදරයේ වටිනාකම
මුදලින් විමසන්න එපා

යොවුන් සිතක නැවුම් හැඟුම්
නොතකන සේ ඉන්න එපා
ඔබ වෙත යොමුවෙන දෙනෙතට
රත් යවුලක් වෙන්න එපා

ඔබ වෙනුවෙන් ගැයෙනා ගී
වලකන්නට හදනු එපා
අනුෂාවෙනි කිසි කෙනෙකුගෙ
හිතට දුකක් දෙන්න එපා


මේ කුකවියා මේ එපා කවිය ලියන්නට දින දෙක තුනකට කලින් ලියපු ඔහුගේ මුල්ම පෙම් කවිය ගැන කතන්දරය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

-කතන්දරකාරයා

ප/ලි:
මේ කයි-කතන්දරය කියවා "පත්තර මල්ලී"ට මතක් වුණු සින්දුව මෙන්න.




(image: http://www.celebuzz.com/2012-09-13/justin-bieber-gets-mobbed-by-screaming-crying-fans-in-london-photos/)

Monday, 4 November 2013

මුලින් උතුම් සුපෙම් කුසුම් පස්සේ උලව් ලව් හෙවත් මල ඉලව් වූ විට - When the tide turns


ඔය ලව් කරනවාය කියන මැන්ටල් සංසිද්ධිය තියෙනවා නේද? ඕක බොහෝ වෙලාවට කොරන කොට හරීම චෝක්. හැබැයි, එහෙන් මෙහෙන් චොර වෙලා, දියාරුවෙලා ගිහින් ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා.

ලව් එක නැගලා යන කාලේ පෙනුණු සුන්දර මල් ගොමු පස්සේ නිකං බුර බුරා නගින් ගිණි ජාලා වගේ වෙනවා.

කලින් ඇසුණු සවන සනසන ඒ කොවුල් ගී නාදය පස්සේ නිකං මාලිගාවත්ත ලී මෝලේ සද්දේ වගේ වෙනවා.

මුළු ලෝකෙම කණපිට ගහනවා.

කොල්ලා අනාථ වෙනවා.

මෙන්න නෝනාවරුණි මහත්වරුණි, ඒ වගේ අවස්ථාවක් අළලා මිට වසර ගණනාවකට කලින් ලියවුණු කවියක්.

ළඳේ ඔබේ ආදරේ - හරිම මළ වදේ!

ඈත ඉඳන් බලන වෙලේ
පීත වර්ණයෙන් පූර්ණ පුෂ්ප මාලයක්
ලඟට ඇවිත් සිඹින කලේ
බුරා නගින රක්ත වර්ණ අග්නි ජාලයක්
ළඳේ ඔබේ ආදරයත්
මට තේරුම් ගන්නට බැරි ඉන්ද්‍ර ජාලයක්

දුර ඈතට රසාලිප්ත ගීත ඇසෙන්නේ
ලඟ මෑතට කර්ණ කටුක විලාප වැන්නේ
ළඳේ ඔබේ ආදරයත්
ස්‍රෘතියෙන් පිට ගැයෙනා දුක් ගීයක් වැන්නේ

සුවඳයි ගව් ගනන් දුරට පිච්ච මල වගේ
වැනසෙයි බඹරුන් ඔබ බාඳුරාවකි ලඳේ
ළඳේ ඔබේ ආදරයත්
හද පාරන, හිත හූරන පතොක් මල වගේ


මේ කයි-කතන්දරය එක්ක පිරිමි බහුතරය එකඟ වෙන බව මට හොඳටෝම විශ්වාසයි!

ඒ වගත් මෙසේම

-කතන්දරකාරයා

ප/ලි:
ඒ වගේම මේ කයි-කතන්දරයේ වචන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා, උපමා ටික වෙනස් කරලා අපේ ගෑල්ළමයින්ට එකඟවෙන්න පුළුවන් නිර්මාණයක් කරන්නත් පුළුවන් බව කිව යුතුයි.

මට නං එහෙම එකක් ලියන්න ටිකක් විතර අමාරුයි. මෙන්න හේතුව.
http://kathandara.blogspot.com/2013/10/blog-post.html

ඇහැකි කෙනෙක් ලියන්න.

ඇ/ප/ලි:
මෙන්න කාන්තා පිළිතුරක් ලිව්වා!

සුහද ඔබේ ආදරේ - හරිම මළ වදේ!

ඈත දුරට පෙනෙන කලේ
ආදරයෙන් මුසපත් වූ බෲංග රාජයෙක්
ලඟට ඇවිත් සිඹින කලේ
දුම්බොන, මත්පැන් බොන ඔබ හරිම වාතයෙක්
සුහද ඔබේ ආදරයත්
මගෙ කරුමෙට මට හිමි පූරුවේ පාපයක්

දුර ඈතට ගුම් ගුම් බිඟු ගීත ඇසෙන්නේ
ලඟ මෑතට කැහි සෙම හොටු නාදය එන්නේ
සුහද ඔබේ ආදරයත්
ලී මෝලෙන් නැග එන සංගීතය වැන්නේ

පණ දෙන්නට කතා බහෙන් හරිම සූරයා
පොඩි දේටත් කෑ කොස්සන් ගහන මාරයා
සුහද ඔබේ ආදරයත්
කරුණාකර අරන් යන්න යලිත් මට එපා



(image: http://adambrettocean.wordpress.com/2012/10/26/tide-turns-a-wave-painting-by-adam-brett/)

Sunday, 20 October 2013

හා, මෙන්න තවත් එකක් - Yet another one of those!


"ගෑණු විදියට හිතන්න පිරිමන්ට බැරිද?" කියන නමින් සිකුරාදා මං පලකරපු කයි-කතන්දරේට තරමක හොඳ ප්‍රතිචාර ලැබුණා. එහෙම හිතලා, "මම, මගේ, මට" භාෂාවෙන් කවි, කෙටිකතා, නවකතා ලියපු පිරිමි මං හිතුවට වැඩියේ ගොඩක් ඉන්න බවයි කතා බහෙන් පෙණුනේ.

මෙන්න තවත් කාන්තාවකගේ අත්දැකීමක් ගැන, කාන්තාවක් ගේ වචනවලින්ම ලියවුණු කවියක්. මේ කවියේ වස්තු බීජයෙන්ම මං මීට අමතරව වෙනත් නිර්මාණයකුත් කරලා තියෙනවා.

නොපිපි මල

තුන් මසක සිහිනයක් බොඳ වුනා
රතු ලෙයින් සිහිවටන
සිත පුරා ඉතිරි කර
නොපිපි මල් පොහොට්ටුව පරවුනා
ජීවිතය නැවතුනා
තෙවන වරටත් ලොවේ
කුරිරු බව පසක් කර
ජීවිතය නැවතුනා!

රුධිර බිදු එකින් එක එකතු කර
කුස පුරා කළලයක් සැදූයේ
මේ ලෙසින් දුක් සුසුම් හෙලන්නද?
සිහිනයක දුටු බිළිඳු රුව කෙදින
අනේ මා සැබෑ ලොව දකින්නද?
තව කොතෙක් කල් මෙලෙස තැවෙන්නද?
මගේ ඉරණම සදා කඳුළු බිඳු අතර දිවි ගෙවන්නද?

හෙට දිනේ යලිත් හිරු නැගේදෝ?
අඳුරු මා ලොව මිලින මල් අතර
සුදෝ සුදු රෝස මල පිපේ දෝ?
කඳුළු බිඳු මැකේ දෝ?
සුසුම් රුළි නැසේ දෝ?
උපදිනා ආත්මෙන් ආත්මෙට
මෙවැනි දුක් යලිත් ඇති නොවේ දෝ?


(මෙය 2006 දී පමණ ලියූවකි).


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න අර මේ හා සමාන අදහසක් තියෙන අනිත් නිර්මාණයට පාර.
http://kathandara.blogspot.com/2012/06/blog-post.html

(image: http://fineartamerica.com/featured/abstract-art-original-circle-painting-flaming-desire-by-madart-megan-duncanson.html)

Friday, 18 October 2013

ගෑණියෙක් විදියට හිතන්න පිරිමින්ට බැරිද? - Cross thinking!


සාමාන්‍යයෙන් පිරිමි ලියන කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිතය වෙන්නේ පිරිමි චරිතයක්මයි. විශේෂයෙන්ම ඒ නිර්මාණවල "මම, මා, මගේ" කියලා කියවෙනවා නම් ඒ පිරිමියෙක් කියන කතාවක්ම තමයි.

ඒ වගේම කාන්තාවන් විසින් ලියන ලද කවිවල, කෙටිකතා, නවකතාවල ප්‍රධාන චරිත බොහෝ විට කාන්තා චරිතමයි. ඒවායේ "මම, මා, මගේ" කියලා ලියවෙනවා නම් ඒ කාන්තාවක් ගැනම තමයි.

මේකට හේතුව තමයි බොහෝ දෙනා ලියන්නේ තමන් ගේ අත්දැකීම් වීම.

මේ කතාවට ප්‍රතිවිරුද්ධ උදාහරණ නැතුවාම නොවෙයි.

මා කියවා නැති "පොදු පුරුෂයා" නවකතාව කාන්තාවක් පිරිමි ඇසින් ලියූ එකක් ය කියා මිතුරෙක් කිව්වා. මීට අමතරව ටෝල්ස්ටෝයිි ගේ මුල් කෘතියකුත් තියෙනවාලු ගැහැණු චරිතයක ප්‍රධාන කොට "මම, මා, මගේ" භාෂාවෙන් ලියවුණු.

ඔය සේරම කිව්වේ මෙන්න මේ කවියට හැඳින්වීමක් විදියටයි.

මේක පිරිමියෙක් විසින් ගැහැණියක ගේ අත්දැකීමක් ඒ ගැහැණු ඇසින් බලා "මම, මා, මගේ" භාෂාවෙන් ලියූ එකක්.

සමු ගැනුම

හිමි සඳුනි කිමද ඔබ
වෙනස් වී මේ ලෙසින?
තුන් වසක් පිරූ පෙම අමතකද?
විවාපත් වී පැමිණ
ඔබ සමග ගෙවාලූ
තුන් වසක යුග දිවිය අමතකද?
කිමද ඔබ මේ ලෙසින
මා පෙලන කාරණා?

උපන් බිම හැර දමා
දෙමව්පිය සහෝදර නෑසියන් හැර දමා
නුහුරු නුපුරුදු ලොවක
ඔබේ උණුසුම පතා
ආවෙමිය මා එදින!

මේ සීත සිසිරයේ
ඔබේ උණුසුම් සුවේ මට ඇවැසි මේ පැයේ
පාළු කුටියක අඳුර
පමණි මා නොතනියට
කොතැනකද ඔබ මෙදින?

සමභාහනාගාරයක පුරඟනක තුරුලේද?
පවිටු මිතුරන් සමග දාදු කැට කෙලියේද?
බමන දෙනෙතින් යුතුව මධුවිතක පතුලේද?

ඔබ පැමිනෙනා තෙක් නිවස වෙත
රුය පහන් වෙන තුරා නිදි වරමි
ඔබේ නළලත සිඹිමි
එකම වරයක් යදිමි

නොහැක මට තවත් දුක උහුලන්න
ඉතිං අවසර දෙන්න
මේ බැඳුම හැර යන්න



ඒ වගත් මෙසේම

-කතන්දරකාරයා


(image: http://www.newgrounds.com/art/view/zela/sayonara)

Sunday, 20 January 2013

නේද? නේද? Questions, questions!


මේ ඊයේ පෙරේදා දවසක ටෙලිවිෂන් නිවුස් අයිටම් එකකට දාපු ක්ලිප් එකක මංතුමා ළාවට ඉඳලා තියෙනවා තත්පර දෙකකට විතර. තනියම නෙමෙයි තවත් පිරිසක් මැද්දේ.

නමුත් ඉතිං කතන්දරකාරයා කියන්නේ කැපිල පෙනෙන හාදයා නේ. ඒ මදිවට මේ නිවුස් අයිටම් එක දෙතුන් පාරක්ම නිවුස්ෆ්ලෑෂ්වලට පෙන්නලා තියෙනවා.

ඉතිං මාව දැක්කා ටිවී එකේ ලියලා මං දන්න අඳුණන අයගෙන් කෝල්ස් එන්න පටන් ගත්තා පට්, පට් ගාලා.

ඔය ගැන කියන කොටම මතක් වුනේ ඔන්න එක දවසක් මං යාළුවෙකු ගේ ගෙදර පාටි එකකට ගිහින් ඉන්න වෙලාවේ, මං තරමක් අඳුණන ගෑල්ළමයෙක් මාව දැකලා "නේද? නේද?" කියන්න පටන් ගත්තා.

මං මුලින්ම හිතුවේ එයා "ඥාව්, ඥාව්" කියනවා කියලයි.

පස්සේ තමයි තේරුනේ සීන් කෝන් එක.

මගේ කවියක් පත්තරේක පලවෙලා.

මෙන්න ඒ කවිය අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාව විදියට!

නේද?

ඔබ සිසිල් සුළඟකිය රුදුරු ගිම්හානයේ
සිසිල් සුව විඳගන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සිසිල වියැකේද?
නැහැ නේද?

ඔබ සුනිල් කෙම්බිමය වියලි කාන්තාරයේ
සුවෙන් සැතපී ඉන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා ඔබ සෙවන අඩු වේද?
නැහැ නේද?

ඔබ නිමල් සඳ වතය පාළු ආකාසයේ
හද අඳුර දුරලන්න
මදක් මට ඉඩ දෙන්න
මා නිසා සඳ එලිය රළු වේද?
නැහැ නේද?

ඔබේ ලොව මගේ ලොව එකක් නොව දෙලොවක්ය
එපා ඔබ දුක් වෙන්න
එපා මට දුක් දෙන්න
අද මෙන්ම සිනාසෙමු හෙට දිනද
හා! නේද?


-කතන්දරකාරයා

(image: http://venturebeat.com/2012/10/02/why-you-should-never-ever-use-a-question-mark-on-twitter-or-linkedin-infographic/)

Tuesday, 6 November 2012

පෙම්වතිය ගේ මරණය - This should not happen to anyone


මරණයක් ගැන අහන්න ලැබීම කියන්නේ මාර දුක හිතෙන කේස් එකක්.

ඒ මැරිලා තියෙන්නේ තමන් ගේ පෙම්වතිය නම්?

කියලා වැඩක් නෑ නේද?

ඒ දවස්වල අපේ සීනියර් පොරක් (අපේ කාලේ අයියලා හිටියේ නැත!) ගඟෙන් එගොඩ කෙල්ලෙක් එක්ක යනවා මං දැකලා තියෙනවා.

කෙට්ටු උස, දිග ඇස් තියෙන, කළු ස්ටේ‍ර්ට් කොට කොණ්ඩයක් තියෙන ගෑල්ළමයෙක්ව හිතේ මවා ගන්න.

අන්න ඒ වගේ තමයි මේ කියන පෙම්වතිය.

හදිසියේම එක දවසක ආරංචි වුණා ඒ ළමයා මිය ගියාය කියලා.

මට මාර දුකක් දැණුනේ. ඒ එක්කම මට හිතුනේ අපේ සීනියර් පොරට කොච්චර දුකක් දැනෙනවා ඇතිද කියලයි.

සනත් නන්දසිරි ගයන "එදා මෙදා තුර කඳුලට විවරවු" කියන සින්දුවේ කියවෙන්නේත් මේ වගේ දුක්බර කේස් එකක්.

මේ සිද්ධියෙන් ටික කලකට පස්සේ මා අතින් ලියවුණු කවියක් මෙන්න.

පෙම්වතිය ගේ මරණය

ඈත එපිට එක් සුන්දර උදයක
මා නෙත හමුවී
ලැජ්ජාවෙන් බිමවෙත යොමුවුණු ඒ
මා හද සැනසූ
මා සිත නැලවූ
     නිල් මහනෙල් පෙති
     සුන්දර නෙත් යුග
වැසී සදහටම
යලි නොඇරෙන්නට

කුරිරු ලෝකයෙන් හෙම්බත්වීලා
මා දුක්වෙන සඳ
සිසිල් දිය පොදක් සේ වූ වදනින්
මුහුණ පුරා විහිදුණු මදහාසෙන්
මා සුවපත් කළ
මට සැනසුම දුන්
     නා දළු තොල් පෙති
     මුතු ඇට දත් පෙල
වැසී සදහටම
යලි නොඇරෙන්නට!


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් එළිදක්වන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
එවැනි දුකක් කිසිවෙකුටත් නොලැබේවා!

(image: http://www.freshflowersandgifts.com.au/white-sympathy-flower-wreath-224.asp)

Saturday, 13 October 2012

නාඹර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට අවවාදයක් - An important advice to all young people out there


තිස් හතලිස් ගණංවල ඉන්ණ අයත් තරුණ තමයි හැබැයි මෙතන මං නාඹර තරුණ කියන එකෙන් අදහස් කරන්නේ දහ අට පන්නලා විසි ගණංවල ඉන්න කොලු කුරුට්ටන්වයි.

පොතකින් පිටුවක් කියන්නේ ජීවිතයෙනුත් කොටසක්.

පිටු පෙරලෙනවා, වයසට යනවා.

පිටුවල සටහන් කරපු පරණ දේවල් පස්සේ කාලෙකදී කියවන කොට දැනෙන්නේ අමුතුම ආකාරයක නවතාවයක්. රසයක්. ආශ්වාදයක්. ජොලියක්.

හැකි හැම වෙලාවකම මේ විදියට අතීතයට ගිහිල්ලා ඒ රසය විඳගන්න අපි හුඟ දෙනෙක් කැමතියි.

දැන් නාඹර තරුණ වයසේ ඉන්න අයට මගේ අවවාදය තමයි හැකි තරම් තමන් ගේ ජීවිත ගැන සටහන් තියන්න. ඒවා අර විස්කි වගේ එන්න එන්නම අගේ වැඩි වෙනවා.

මෙන්න මායාවෝ පොතෙන් තවත් පිටුවක්

කොයිබටද?

නදුන් උයන් කොණ
විසල් වැලි කතර
කම්මල තුල සිරගත වී දුක සේ
කල් ගත කරණා
අතුරු සැනේ
සිත නිදි ගැන් වූ
රොකට් එන්ජිමේ
බියකරු සිහිනය
නිමාව එළැඹී
විරාමයක්

තනිවී

නිහඬව සිටි සිත
දාහය ඉවසනු නොහැකිව තවදුර
සිසිල් පැන් පොදක්
සොයා අවට ලොව
දෙස බැලුවා!

යලිත් වරක්..
සිත නිදි ගන්වා
සෙමෙන් සෙමෙන්
හිරු ගිණිගත් මැදියම් වේලේ
තවත් සිහිනයක්

මම + මම = ?

විසඳනු නොහැකිවු
ප්‍රශ්ණ වැළක්
ඩීසල් එන්ජිමේ
සුන්දර සිහිනය

රැය දිගු නැත අප
සිතන තරම්


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
අර සින්දුවකත් තියෙනවා නේද "ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා!" ය කියලා?




(image: http://pingu000.edu.glogster.com/pablo-picasso/?voucher=4f57969d83e890d24f76e7002ca78fc4)

Monday, 1 October 2012

රෑ ඉස්කෝලේ හාමිනේ - Lady of the evening



රෑ ඉස්කෝලේ හාමිනේ කියලා කියන්නේ ලොව පැරණිම රැකියාව කරන ලාංකික කාන්තාවන්ටයි. රෑ බෝ වී ගෙන එන වෙලාවට හොඳින් ඇඳ පැළදගෙන සේවය සඳහා පිටත්ව යන නිසයි ඒ අන්වර්ථ නාමය පටබැඳිලා තියෙන්නේ.

එක දවසක් රාත්‍රියක මිතුරන් දෙදෙනකු සහ මම නුවර එළිය නගරයේ ඇවිදගෙන යන අතරතුරේ ඒ සේවා යෝජකයකු එනතුරු බලා සිටින රෑ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් දැක්කා.

ඒ ගැන ලියවුණු කවියක් තමයි මේ.

අම්බපාලී

කඩා වැටෙන කලුවරය දස අතින්
මීදුම් කඳු මැද
සීතල නගරය
දුම්වැටියෙන් නැත
සීතල මිදුණේ
උණුසුම ලැබුණේ

කහ එළි විසිරුණු පාළු මාවතේ
සෙමෙන් සැලෙන එක්
අඳුරු රුවක්

කඩා දැමූ මුදු කෙහෙරැල්ලයි
ගත සිත පොළඹන නෙතු කැල්මයි

කෝමල ඉඟි බිඟි
සිත තුල කැළඹිලි
නුපුරුදු සිතුවිලි
ආශාවක්
බියක්
?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ අවසානය සැමරීම පිණිස පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා


(image: http://minivannews.com/politics/sri-lankan-prostitution-ring-busted-in-male-27649)

Saturday, 29 September 2012

බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages


සාදු කියන්න පින්වතුනී,
සාදු, සාදු, සාදූ

මංතුමා ඉතිං තායිලන්තේදී මහණ වෙස් අරගෙන පවා හිටිය පොරක් නේ, ඒ හින්දා අද මේ පෝය දවසේ හිතුණා පොඩි බණ පදයක් (දෙකක්, තුනක්) කියලා දාන්න.

හැබැයි ඉතිං මේවා අපි නොදන්න ඒවාත් නොවෙයි, බණමත් නොවෙයි.

වැඩි විස්තර මොකටද? අපි කෙලින්ම කවියට බහිමු!

අනවබෝධය

දුකින් පිරි ජීවිතේ සුවය ආදරයයැයි
සිතා මුසපත් ලෙසින්
ආදරෙන් බැඳෙද්දී
නොසිතුණිද කිසි විටෙක
ප්‍රේමතී ජායතී ශෝකෝ?

පැමිණි දුක් පැණි රසයි මුසාබස් දොඩාලා
හැඟුම්බර සිත සිතම රවටවා ගනිද්දී
නොසිතුණිද කිසි විටෙක
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග?

දොලොස් මසකට පසුව ඉරිතලා බිඳෙන්නට
සිත් දෙකක් ආදරේ මාළිගා තනද්දී
නොසිතුණිද කිසි විටෙක
සබ්බේ සංඛාරා අනිච්ඡා?

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි
නිකිණි පෝයටත් බණ පදයක් දාන්නං කෝ!

(image: http://www.inspirational-friendship-poems.com/love-and-sad-poems.html)

Thursday, 27 September 2012

ලෝක විනාශය කවදා ද? (ලව් කේස් එකකි) - End of the world : A young lovers point of view


ලෝක විනාශය වෙන්නේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා.

මං පොඩි කාලේ අපේ සීයා නං කිව්වේ කල්පාන්තයේදී සූර්යයන් හත් දෙනෙක් පායන දවසේ ලෝකෙට බඩු සෙට් වෙනවා කියලයි.

හැබැයි අපේ සීයා නම් ඒකට බය වුනේ නෑ.

මොකද සෑහෙන්න කල් තියෙනවානේ!

පස්සෙන් පහු ආරංචි වුණා මායා කෂ්ටිය ගේ කැලැන්ඩර් එක ඉවරවෙන දවසේදී අපිට වැඩේ සෙට් වෙනවාය කියලා.

මං අවුරුදු විසි එකේ දී ලියපු මේ කවියෙනුත් කියවෙන්නේ ලෝක විනාශයට කිට්ටු කේස් එකක් ගැනයි.

ලෝකාන්තය

ගිනියම් වූ හිරු
වියරු සිනාවෙන් මුව සරසාගෙන
ලොවම දවාලයි
වියලි සුලං රැල්
මරුවෙකු විලසින් දූවිලි පිසගෙන
කුරිරු ලෙස හමයි
වැට අද්දර පිපි
නිදිකුම්බා මල
පෙති අකුලාගෙන බලා සිටින්නේ
සිසිලස අහිමිව

ගත
සිත
කකියයි

මුව මත හසරැල් නැත
සුසුමන් මිස

සත් දිනකින් නැත ඇය හමුවූයේ
සත් දිනකින් නැත
හසුනක් ලැබුනේ
සත් දිනකින් නැත
පිණි බිඳුවක්වත්
පොළොවට වැටුණේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා



(image: http://econintersect.com/b2evolution/blog2.php/2012/06/17/the-end-of-the-world-as-we-know-it)

Tuesday, 25 September 2012

පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?


මං ඊයේ දෙහිවලින් 119 ක නැගිලා මහරගම පැත්තට එන කොට එකපාරටම බස් එකේ හිටිය සෙනග ගොඩෙන් බාගයක් විතර නිකං බහින්න වගේ සෙට් වුණා.

හැබැයි තත්පරෙන් ආපහු වාඩි වෙලා සැට්ල් වුණා.

පස්සේ බැලින්නම් මේ පන්සල් කේස් එකක්. අර ශ්‍රද්ධාවද, බට්ටිය ද මොකක්ද එක පෙන්නන්නයි සීට්වල ඉඳන් ඉන්න අය ලාවට වගේ පස්ස උස්සන්නේ.

හිටගෙන ඉන්න අසරණයින් ගේ නං කොහොමටත් පස්ස ඉස්සිලා නේ තියෙන්නේ!

තවත් විනාඩි පහකින් විතර පාරෙන් අනිත් පැත්තේ සාමාන්‍ය තර්ඩ් ක්ලාස් පන්සලක් පහු වුණා. මෙතන මං තර්ඩ් ක්ලාස් කිව්වේ බස් එකේ ඉඳන් හිටපු එකෙක්වත් පස්ස ඉස්සුවේ නැති හින්දයි.

මං නං කවදාකවත් පස්ස උස්සන්නේ නෑ තර්ඩ් ක්ලාස්, සැකන්ඩ් ක්ලාස් තියා ෆර්ස්ට් ක්ලාස් පන්සලක් ළඟදීවත්.

මෙතන ෆර්ස්ට් ක්ලාස් කියන්නේ පස්ස උස්සනවාට අමතරව පඬුරු පාක්කුඩම් දාන තැන්වලටයි.

ඔය 119 දෙහිවල-මහරගම ගමන නිසා මට මතක් වුණේ මං කැම්පස් ඉන්න කාලේ ලියපු කවියක්.

මෙතනදී කම්පෙයා වෙන්නේ ගැටඹේ පන්සලයි, තව ටිකක් නුවර පැත්තට වෙන්න පාරෙන් අනිත් පැත්තේ තියෙන පන්සලයි. ඔය දෙවෙනි එක ඒ කාලේ දුප්පත් පාට පොඩි පන්සලක්. පස්සේ නං ටිකක් පොර වැටිලා දළු දාලා ආවා.

කතන්දරේ ඒකයි. දැන් මෙන්න කයි-කතන්දරේ අනිත් කෑල්ල, එනම් කවිය.

මේක පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ යද්දී ලියවුණු කවියක්.

ශ්‍රද්ධාව

ගැටඹේ පන්සල පසුවෙද්දී
නැගිටිති සුදනෝ
දෑතම බැඳගෙන
ශ්‍රද්ධා සීලය හිසෙහි තබාගෙන
පඬුරු පුදති
පින් ලබන සිත් ඇතිව

සැතපුම් කාලක් ගෙවීයන්න පෙර
දුප්පත් පෙනුමැති
පන්සල පසුවෙයි

නිහඬය නිසලය
බස් රිය සුදනෝ
නැත සම්මාදම්

පසුපස බොදුකම හංගා
බලා සිටිති හිස් අහස දිහා


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි:
පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ මාර්ග අංකය මොකක්ද? ඒක 484 ද?

(image: http://www.weloveitstudio.com/tripbag/thingstosee.php?seeid=9)

Monday, 17 September 2012

එහෙමත් කාලයක් තිබුණා! - That was the time that was!


ඇත්තටම දැන් නං හිතා ගන්නත් බෑ, නමුත් එහෙම කාලයකුත් තිබුණා.

ගම් පලාතේම ටෙලිෆෝන් තියෙන්නේ ටවුමේ තැපැල් කන්තෝරුවේ විතරයි.

මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ඊ-මේල්, ස්කයිපි ගැන අහලා තිබුණේ ටයිම් ට්‍රැවල් කරලා ආපහු ඇවිල්ලා හිටපු අය විතරයි.

හැම දේටම ලියුම්. එහෙම නැත්තං ටැලිග්‍රෑම්. ගමට ලියුම් අරං බයිසිකලෙන් එන පියුං කාරයා නිකං දෙයියෙක් වගේ පොරක්.

මෙන්න ඒ කාලේ ලියපු කවියක්.

බවුන් වැඩීම

සීතල පිණිපොද වරුසා මැඩගෙන
වෙළට ඉහල කඳුවැටිය දිහාවෙන්
අළුයම හිරු රැස් කැරලි නැගෙද්දී
බලාපොරොත්තුව
සිතෙහි පිබිද එයි පියුමක් විලසින්
අදවත් ලිපියක් ඒ වී දෝ?

පිබිඳුණු හිරු රැස් වලළු විහිදමින්
කන්දෙන් ගොඩවී වෙළට උඩින් විත්
ටික ටික ලොව උණුසුම පතුරද්දී
බලාපොරොත්තුව
සිතෙහි දැඩිව ඇත තව ටික මොහොතයි
අදවත් ලිපියක් ඒ වී දෝ?

සෙවනැලි මකමින් දා බිඳු ගෙනෙමින්
වැඩිවුණු හිරු ගෙමිදුළටම අවුදින්
ඔච්චම් දෑසින් බලා සිටිද්දී
බලාපොරොත්තුව
කැඩී බිඳී යයි සුසුමන් සමගින්
හෙටවත් ලිපියක් ඒ වී දෝ?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.sundayobserver.lk/2011/12/18/jun08.asp)

Thursday, 13 September 2012

තවත් පඬිවදනක් (කෙමිස්ට්‍රි අරහං අයට නොවේ!) - A Chemistry lesson


මට මේ ළඟදී හම්බ වුණා හද්ද පරණ සටහන් පොතක්. මේක මං ඒ ලෙවල් කරන කාලේ ලියපු එක කවි එකතුවක්. අර ඇන්තලොජි ඔෆ් පොයම්ස් කියන්නේ. අන්න ඒවායිං එකක්.

මට පරණ පවක් පළ දීලා නිරපරාදේ දෙවෙනි පාරට ඒ-ලෙවල් කරන්න වුණු කතාව කලින් දවසක කිව්වානේ. මේ කාලයේ දවස් හයක් ඇතුලත ලියපු කවි (වගේ ඒවා) හැට තුනක් මේ පොතේ තියෙනවා.

පොතේ නම- වසන්ත පුර්ව නිර්මාන සංග්‍රහය හෙවත් සය දිනක සටහන්.

මෙන්න ඒකේ මං ලියලා තියෙන කවියක් උණ පුරුකක දාලා, ඇද ඇරලා, දිග හැරලා, මං අද හදාගත්තු පඬිවදනක්.

රසායන විද්‍යා පාඩමකි

ජිවිතය සැදී ඇත්තේ
දුක් සුසුම්
සෝ තැවුල්
කනගාටුව
පරාජය
කඳුළු බිඳු
ඉකි බිඳුම්
නම් වූ අපි හොඳින් හඳුනන මූල ද්‍රව්‍යයන්ගෙන් ය.

ජීවිතය කැඩුණු බිඳුණු පසු ඒ මූල ද්‍රව්‍ය බවට පෙරළේ.

යළිදු ජීවිත සංයෝගය හදා ගත හැක්කේ ඒ මූල ද්‍රව්‍යවලින් පමණකි.

සතුට
සැනසුම
මිහිර
යනුවෙන් හැඳින්වෙන්නේ අස්ථායි සංයෝග කීපයක් පමණි.

ඉතා සුළු කම්පනයකින් පවා ඒ සංයෝග බිඳී ගොස්
දුක් සුසුම්
සෝ තැවුල්
කනගාටුව
පරාජය
කඳුළු බිඳු
ඉකි බිඳුම්
යනාදී වූ
මූල ද්‍රව්‍යවලට පෙරළේ.


ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි
මෙන්න පඬිවදන-1: Nothing else to do today!

පඬිවදන-2: හැමෝටම ඇහැකියැ වෝල්ටෙයාර්ල වෙන්න?

තවත් කෙමිස්ට්‍රි කවියක්: http://kathandara.blogspot.com.au/2012/09/point-of-no-return.html

(image: http://www.bazaardesigns.com/6958-basic-nature-elements/)

Tuesday, 11 September 2012

ප්‍රොජෙක්ට් මීටිමේ දී ලියූ සංයුක්ත මෙව්වා එකක් - What a boring meeting!


සංයුක්ත කවි කියන ඒවා මං මුලින්ම දැක්කේ අජිත් තිලකසේන ගේ පොතකිනුයි. ඔය උඩින් තියෙන්නේ ඒවායින් එකක්.

මෑත කාලයේ දී බූන්දියෙන් අච්චු ගහපු අක්‍ෂර සෙනඟ පොතෙත් සංයුක්ත කවි කීපයක් ම පළකරළා තිබුණා.

අද සාහිත්‍ය මාසයේ මගේ කයි-කතන්දර ෂෙනාරය යටතේ මං පළකරන්නේ මං දැන් අවුරුදු තුනකට විතර කලින් හදපු සංයුක්ත කවියක්.

මේක හැදුණේ මාර බෝරිං ප්‍රොජෙක්ට් මීටිමක පැයක් වාත වෙන්න වෙච්ච වෙලාවකයි.



කලින් දවසක කියපු කතාවක් ආයේ කියනවා නම්, සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්නයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://dileepaj.blogspot.com.au/2012/02/blog-post.html)

Monday, 10 September 2012

ඒ ලෙවල් කරපු කාලේ කේස් එකක් - Point of no return?


මං ඒ ලෙවල් කරපු අවුරුද්දේ විභාග ප්‍රතිපල එන්නත් කලින් අපිට ඊලඟ විභාගෙට සෙට් වෙන්න වුණා. ඒක නං මහ එපාම කරපු වැඩක්.

අන්තිමේදී ඒ දෙවෙනි පාර කරපු දේවල්වලින් කිසිම වැඩක් නැතුව ගියා.

අපදාරේ!

ඒ මොනවා වුනත් අවුරුදු ගාණක් මහන්සි වෙලා, ඉස්කෝලේ ගිහින්, ටියුෂන් ගිහින්, ගණං හදලා, පොත් කියෝලා අන්තිමේදී විභාගේ ඉවර වුණාම නිකං ඩීටොක්ස් වුණා වගේ තමයි. ආපහු පුරුදු ජීවිතේට පුරුදු වෙන එකත් සෑහෙන්න අමාරු වැඩක්.

මෙන්න ඒ ගැන මං අවුරුදු දහ අටයි මාස හතරේ දී ලියපු කවියක්.

කළ නොහැකි පරිවර්තනයක්?

පාසලේදී ඉගෙන ගතිමි
ඔක්සිකරණ පරිවර්තන
ඔක්සිහරණ පරිවර්තන

වනපොත් කෙරුවෙමි දින දින
පරිවර්තන කරනා හැටි

මධ්‍යසාර අම්ල බවට
අම්ලය කීටෝන බවට
කීටෝනය පෙරලූවෙමි
යළිදු මධ්‍යසාර බවට

පීනෝලය ඇල්කොහොලෙට
ඇල්කොහොලය පීනෝලෙට
තුත්තනායගම් දමලා
ආපසු බෙන්සීන් බවට

සියළු දේම වනපොත් කර
විභාගයට ඒ ලිව්වෙමි
එතුවක් කල් සිතේ තිබුණු
සියළු දේම හිස් කෙරුවෙමි

පරිවර්තන ඉගෙන ගන්න
කලින් උන්නු මගේ තත්වෙට
මාවම පෙරළා ගන්නට
යාන්ත්‍රණය අමතක වී
ගොළු වීලා බලා හිඳිමි


(උසස් පෙළ විභාගය නිමවා ගන්ධබ්බ ජීවිතයක් ගතකරමින් සිටි කාලයේ ලියන ලදුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "සයදිනක සටහන් - වසන්ත පූර්ව නිර්මාණ සංග්‍රහය" කෘතියට අඩංගු කරන ලදී)

මෙන්න තවත් ඒ වගේ ඒ-ලෙවල් කාලේ කයියක්!
අවකලනය සහ අවනීතිය: http://kathandara.blogspot.com.au/2010/03/level.html

-කතන්තරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


(image: http://www.brilliantdreams.com/product/famous-dreams.htm)

Saturday, 8 September 2012

ඒ කාලේ අපි සහ මේ කාලේ චීන්නු - Oh, my goat!


ඔය උඩින් දාලා තියෙන පින්තුරේ මං මේ ඊයේ හවස බලපු පත්තරේක ගිය නිවුස් එකක්.

ඒකේ තියෙන්නේ ලොකු චීනේ ඉන්න චීන විස්ස විජ්ජාල කොල්ලන් කෙල්ලන් ගැන පුදුම හිතෙන කතන්දරයක්. උඩ ඉමේජ් එක පැහැදිලි නැති අයට සහ වැඩි විස්තර ඕනෑ අයට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවනි.

http://www.dailymail.co.uk/news/article-2199381/Chinese-students-break-university-night-grab-best-seats-days-lecture.html

අනිත් අයට මෙන්න සරල සිංහල අනුවර්තනයක්.

චීනයේ ෂැන්ඩොන් ප්‍රාන්තයේ තියෙන ෂින්ඩාවෝ විශ්ව විද්‍යාලයේ දේශනවලට එතන ඉගෙන ගන්න කොල්ලන්, කෙල්ලන් ගෙන් කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවාද කියනවා නම්, පහුවදා ලෙක්චර්ස්වලට හොඳ සීට් එකක් අල්ලා ගන්න සමහරු කලින් දවසේ රෑ එළිවෙන තුරු දොර ලඟ නිදාගන්නවා ලු.

ඒ අතරේ ඊටත් වඩා ගැට්ටක් තියෙන සෙට් එකක් ජනෙල් කඩාගෙන ඇතුලට පැනලා!

මේ නිවුස් අයිටම් එක දැකපු ගමන් මට මතක් වුනේ මං පේරාදෙනිය කම්මලේ හිටිය තුන්වෙනි අවුරුද්දේ ලියපු කවියක්.

තුන්වෙනි අවුරුද්ද ලබපු ගමන් මං හිතුවා සෙකන්ඩ් ඉයර් එකේ වගේ නැතුව හැම දේශනයකටම යනවාය කියලා. නමුත් විවිධ බාහිර වැඩ නිසා ලෙක්චර්ස් කට්වෙන්න පටන් ගත්තා. ඉතිං මං කෙරුවේ දිනපොතේ ඒ කට් වෙන ලෙක්චර්ස් ගාන ගණං තියන එකයි.

හැබැයි අන්තිමේදී එකතුව සීය පැන්නාම මං ඒ වැඩේ අත හැරලා දැම්මා!

මෙන්න ඒ කාලේ මං ලියපු සංයුක්ත කවියක්, මාතෘකාව දේශන.

සංයුක්ත කවි තියෙන්නේ ගායනා කරන්න, කියවන්න නොවෙයි, බලන්නයි. සංයුක්ත කවි ගැන දන්නේ නැති අය මේ සටහන බලන්න.

http://kathandara.blogspot.com.au/2011/10/composite-poetry.html


     දේශන

     .
     .
     .
     .
     .
     කළු ද?                                               
     .
     .
     .
     .
     .
     සුදු ද?
     .
     .
     .
     .
     
     



(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

Friday, 7 September 2012

චක්කරේ ආපහු මුල් තැනටම? - Back to square one!


දැන් අර අට ලෝ දහම කියන එක තියෙනවා නේද?

ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ ටිකයි.

සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංශා, යස, අයස කියන සෙට් එක එකක් පස්සේ එකක් අපිට සෙට් වෙනවා. හරියට අර කන්දකට පස්සේ පල්ලමක් එනවා වගේ.

කාලයක් ජොලියේ හිටියායින් පස්සේ මොකක් හරි වාත කේස් එකක සෙට් වෙලා චාටර් වෙන්න වෙනවාමයි. බැක් ටු ස්ක්ව්‍යා වන් කියන්නේ ඔන්න ඕකටයි.

හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි.

අන්න ඒකයි අද කතන්දරය.

මෙන්න අද කයිය.

ඉනික්බිතිව එළඹියේ වසන්තයයි

රුදුරු විලාසෙන් ගිණිගෙන දැවෙනා
කුරිරු ලෝකයෙන් පැන දුවනා සඳ
මියුරු සිනාවෙන් කෝල කතාවෙන්
සොඳුරු රුවෙන් යුතු ඔබ මුණ ගැසුණා

කුසුම් පිපී හිනැහුණු ඒ මොහොතේ
සිතුම් දහක් සිත පැන නැගුණා
පෙරුම් පුරා සිටි වදන් ගලද්දී
පැතුම් හදවතේ පිළිසිඳුණා


ඔය කෑලි දෙකම එකතු කළාම තමයි කයි-කතන්දරය හැදෙන්නේ.

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.fantasticfailures.com/?p=37)

Tuesday, 4 September 2012

කවියෙන් පණිවිඩ ඇරීම - Message in a Poem


කවියෙන් පණිවිඩ අරිනවා කියන එක මේ අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි.

කාලිදාස කියන ඉන්දියානු කවියා තමන්ගේ පෙම්වතියට ශෝක පණිවිඩයක් යවලා තියෙන්නේ මේඝ දූතය කියන කාව්‍ය නිර්මාණයෙන්. පණිවිඩකරුවා වලාකුළක්.

හංස, ගිරා, සැළලිහිණි වගේ සිංහල සංදේශ කාව්‍ය ලියවෙලා තියෙන්නේත් එක එකාට පණිවිඩ අරින්නයි සත්තු අතේ.

"දිලීප පොඩි පුතු" ගේ තාත්තා කරුණාරත්න අබේසේකර, දිලීපලැයි අම්මට පණිවිඩයක් යවලා තියෙන්නේත් සින්දුවකින්, ඒ සින්දුව තමයි "එන්න මදනලේ - ගොස් පවසන්න දුක මගේ".

එහෙව් එකේ අපිටත් නරකද පණිවිඩයක් යවන්න කවියකින්. හැබැයි ඉතිං අපිට කොහෙන්ද ඔය සොෆිස්ටිකේටඩ් දූතයෝ? නිකම්ම කවිය ලියලා ප්‍රදර්ශනයක කරනවා මිසක්.

ආයාචනයක්

අඩිතාලම සවි නොවූ නිසාවෙන්
අකලට වියැකී ගරා වැටී ගිය
ප්‍රථම ප්‍රේමයේ නටඹුන් අබියස
තවමත් මුනිවත රකින ළඳේ

හැරදා මිය ගිය අතීත සැමරුම්
හද පාරවනා සිත පාරවනා
ඔබේ ආදරය අයැදින හදකට
ලැගුම් දෙනු මැනවි ඔබේ හදේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


(image: http://www.indianetzone.com/36/kalidasa_indian_litterateur.htm)

Saturday, 1 September 2012

කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!


ලිට්රේචර් කියලා කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් මාර සිරා ගේම් එකක් තියෙනවා, කවුද දන්නේ? මේක දිනන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනෑ. අන්තිමට මං ලිට්රේචර් සෙල්ලං කෙරුවේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර දවසකයි.

හැබැයි අපි සාමාන්‍යයෙන් ලිච්රේචර් කියන්නේ සාහිත්‍යයට නේ. අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට සාහිත්‍යය වෙනනම විෂයයක් විදියට ඉගෙන ගන්න නොලැබුනත්, දෙකේ පන්තියේ පොතේ තිබුණු ඩෙංකුටු පෙරහැර කවිය, තුනේ හතරේ පහේ පන්තිවල පද්‍යා රසය පොත්, පහේ පොතේ තිබුණු සුබලයා ගේ පින කතාව වගේ ඒවායින් අපේ සාහිත්‍යය ගැන ඇල්ම ඇතිවුණාය කියලා හිතෙනවා.

අද සිට ඇරඹෙන සැප්තැම්බරය අපේ රටේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදියටයි පනස් ගණංවල ඉඳලා. ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පටන් ගත්තා "කයි-කතන්දර" කියලා අළුත් ෂෙනාරයක කතන්දර පල කරන්න.

ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.

අන්තිමේදි මට මේ කයි-කතන්දර කොච්චර නැගලා ගියාද කියනවා නං, අපේ ඔබාමා දැන් සැප්තැම්බර් ඉවරයි, ඔක්තෝම්බර් උදාවුණා කියලා මට දැනුම් දෙන තුරුම මං කයි කතන්දර දාගෙන ගියා.

ගිය අවුරුද්දේ කයි-කතන්දර විදියට මං දැම්මේ මං පේරාදෙනිය තිප්පොලේ හිටිය මුල් අවුරුදු දෙකේ ලියපු කවි ටිකයි.

මේ අවුරුද්දේ හිතන් ඉන්නේ තුන්වන සහ හතරවෙනි අවුරුදු දෙකේ ලියපු කවි ඇතුලත් කරලා කයි-කතන්දර ගොතන්නයි.

කවි ලියනවා ගැන කිව්වාම මට මතක් වුනා මං පරණ ශ්‍රී සඟරාවක කියවපු කතන්දරයක්.

ඔන්න යාළුවෝ හතර දෙනෙක් ගමණක් යනවාලු. මේ අය ඉස්සරහින් ඇවිත් තියෙනවා කකුලක් නැති මනුස්සයෙක්.

අපේ සදාචාරය අනුව මේ වගේ අය කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ "කොටා" කියන සුරතල් නාමයෙන්. මේ හතර දෙනා දැකලා මේ කොටා පාර තිබුණු වලක වැටෙනවා.

දැන් ඉතිං මොකද කරන්න තියෙන හොඳම දේ?

ඔව්, අන්න ඒක තමයි!

යාළුවෝ හතර දෙනා කතා වුණා අපි මේ සිද්ධිය ගැන කවියක් කියමුය කියලා.

ඔන්න එකෙක් පටන් ගත්තා,

    එක දවසක් කොටා

දෙවෙනියාත් එකතු වුණා,

    ගමනක් යන කලටා

තුන් වෙනියා ගේ වාරය,

    වැටුණි ඌ වලටා

දැන් අන්තිමයා ගේ වාරය, නමුත් ඉතිං මුළු සිද්ධියම කවි පද තුනෙන් කියවිලා ඉවරයි.

ඒ කියලා කවිය සම්පුර්ණ වෙන්නේ නෑ නේ පද හතරක් නැතුව. පොරත් අත ඇරියේ නෑ. අන්තිම පදේ එකතු කළා මෙන්න මෙහෙම.

    හුටා!

දැන් මෙන්න ඒ අසහාය සාහිත්‍ය නිර්මාණය සම්පූර්ණයෙන්ම.

එක දවසක් කොටා
ගමනක් යන කලටා
වැටුණි ඌ වලටා
හුටා!


-කතන්දරකාරයා

ප/ලි:
මං ආපහු කයි-කතන්දර ලියනවාය කියලා දැක්කාම සමහරුන්ට ඔය අන්තිම පදේ කියවෙන්න ඉඩ තියෙනවා.


(image: http://www.lakehousebookshop.com/pdesc.php?id=599)