Wednesday 31 July 2013

අයියා, මල්ලී ආමන්ත්‍රණය "හයිරංකාර - බලු ගැත්තර" සංස්කෘතියක ලක්‍ෂණක් ද? - Superiority and inferiority complexes


පසුගිය දිනක මට ෆේස් බුක් එක හරහා පණිවිඩයක් ලැබුණි. එහි සිංහල පරිවර්තනයක් මෙසේය.

කතන්දර අයියේ

අයියා ට මාව මතකද?
මං අහවල් බැච් එකේ හිටියේ.
මට නං අයියාව මතකයි.
ඉතිං කොහොමද තොරතුරු?

සී යූ ලේටර්.

මීට අහවලා

ෆේස් බුක් එකේ විස්තර සොය බලන විට මේ අහවලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උගත් මැවිසුරුවෙක් බව පෙනුණි. නමුත් අවාසනාවකට මෙන් අහවලා ගේ ෆේස් බුක් ප්‍රොෆයිලයේ තිබූ නමේ අග කොටස ඔහු ගේ වාසගම නොව මට හිතුණු විදියට නික් නේම් එකක් විය. ඒ නම සහ ඔහු ගේ ප්‍රොෆයිල් ඡායාරූපය දුටු මට කිසිවෙකු සිහි නොවුණි.

ඔහු ගේ සම්පුර්ණ නම තිබුණේ වුවද තත්වය ඊට වඩා වෙනස් වන්නට ඉඩ නොතිබුණි.

ඒ මගේ ප්‍රශ්නයක් නිසා නොව කාලය මැවූ අරුමය නිසාය.

අද සිටින්නේ, අර එදා සිටි අප නොවේ!

ඒ කෙසේ වෙතත් මේ කියන අහවලා එදා අපේ කාලයේ පේරාදෙනියේ සිටියෙක් දැයි මට ඇතිවුණේ සැකයකි.

ඒ සැකයට හේතුව නම් අහවලා මා ඇමතුවේ නමින් නොව "අයියේ" කියා වීමයි!

අයියා-මල්ලී (හෝ අක්කා-නංගී) කියා එකිනෙකා ඇමතීමේ විහිළුව අපේ කාලයේ විශ්ව විද්‍යාලයේ නොතිබුණි.

එය පසු කාලයේ සිදුවුණු පරිහානියේ ලක්‍ෂණයක් බව මම කලින් දිනයක මා ලියූ "අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි)" නම් කතන්දරයේ සඳහන් කළෙමි.

අපේ කාලයේ නම් ජ්‍යෙෂ්ඨයින් සහ කණිෂ්ඨයින් වෙනසක් නොමැතිව අප එකිනෙකා ඇමතූවේ බොහෝ විට මුල් නමිනි. සමහර විට වාසගමෙනි. නැතිනම් ඒ නම්වල කෙටි යෙදුමකිනි.

විශ්ව විද්‍යාලයේ වසර දෙක තුනක් අඩු වැඩිව ගතකර තිබීම යමෙකු අයියෙකු හෝ මල්ලියෙකු කරවන හේතුවක් නොවීය.

මා පේරාදෙනියේ කල් ගත කළ වසර හතරයි මාස දෙක තුල කිසිවෙකුට අයියා හෝ මල්ලී කියා අමතා නැත. ඒ සමගම මා කිසිම ගෑල්ළමයෙකුට අක්කා හෝ නංගී කියා අමතා ද නැත. (අයියා මල්ලී විහිළුව අහවලා ඇතුළු පිරිසට බෝ වී ඇත්තේ පසු මා නොදන්නා පසු කලෙක දී බව අප අතර ෆේස් බුකිය හරහා පසුව ඇතිවුණු කතා බහෙන් මට පැහැදිලිවිය).

විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨත්වය මතම අයියා හෝ මල්ලී කීමේ විහිළුව තවත් රසවත් කරවන කාරණයක් නම් උසස් පෙළ තුන්වන වරට සමත් වී විශ්ව විද්‍යාලයට එන්නන් ද සිටින නිසාය.

මගේ එක බැචෙකු ගේ අයියා විශ්ව විද්‍යාලයට ඇතුලත් වුනේ අපට වසරකට පසුවය.

තවත් බැචෙකුගේ අයියා ආවේ අප විශ්ව විද්‍යාලයෙන් නික්ම යාමට මාසයකට පමණ පෙරය, එනම්, වසර හතරකට පසුවය.

ඒ අපේ මල්ලිලා ද ?

එදා "අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි)" කතන්දරයේ දී මා කියූවේ විශ්ව විද්‍යාලයක් හෝ එවැනි උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙන ගන්නා අය මේ ආකාරයට අයියා-මල්ලී-අක්කා-නංගී සමාජයක් බිහිකරගෙන ජීවත් වීම සමාජ පරිහානියේ ලක්‍ෂණයක් බවයි.

අද මට මෙලෙස සිතේ.
ඔබට කණිෂ්ඨ අය ඔබේ නමෙන් නොව ඔබට අයියා කියා ඇමතිය යුතු යැයි ඔබට සිතෙන්නේ නම් එය හයිරංකාර මානසිකත්වයකි.

ඔබට වඩා ජ්‍යෙෂ්ඨ අයෙකුට නමින් නොව අයියා යැයි අමතන්නට ඔබට සිතේ නම් එය බලු ගැත්තර මානසිකත්වයකි.
-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් අයියා මල්ලී කතන්දර දෙකක්.

1. අයියා මල්ලී වාගේ අයියා මල්ලී - කෙල්ලන්ට ඇඩ්‍රස් දීම
http://kathandara.blogspot.com/2010/08/blog-post_16.html

2. අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා
http://kathandara.blogspot.com/2011/03/blog-post_31.html

(image: http://www.imdb.com/media/rm3291975168/tt0096320)

Monday 29 July 2013

කැම්පස් ගිය කොල්ලෙක් ගේ කතාවත් හෙවත් "වැරදිද ඇය? ඔබ කියන්න!" - Fate


මේක දැන් දශක දෙක තුනකට කලින් වෙච්ච ලව් කේස් එකක කතන්දරයක්. අද කාලේ නං, මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ෆේස් බුක් සහ ඊ-මේල් ආදිය නිසා මෙහෙම කේස් වෙනවා අඩුයි මගෙ හිතේ!

අපේ කතා නායකයා, නම බණ්ඩාර කියමුකෝ, ගම්බද පලාතක දුප්පත් පවුලක කොල්ලෙක්. හොඳ මීටරේ. කොටින්ම මං හිතන්නේ පොඩි කාලේම සිස්සස්සේ පාස්වෙලා ඒ පලාතේ තියෙන සෙන්ට්‍රල් එකකට ගිහින් තියෙනවා ඉගෙන ගන්න. පස්සේ උසස් පෙල කරන්න ඊටත් වඩා නගරබද මහා විද්‍යාලෙකට ගිහින්.

ඒ දවස්වල, ඒ පලාත්වල ඉස්කෝලවලින් පළමුවෙනි පාරට ළමයින් විශ්ව විද්‍යාලේ යන්න පාස් වෙන්නේ නෑ. හැබැයි, විශ්ව විද්‍යාලවල නම් ඒ පැත්තෙන් ආපු කොල්ලෝ කෙල්ලෝ අඩු නැතුව ඉන්නවා. ඒ හැමෝම දෙවෙනි පාරට උසස් පෙල කරපු අය.

ඒ විදියට දෙවෙනි පාර විභාගේ කරන්නේ එක්කෝ මහනුවර, නැත්නම් කොළඹ පලාතේ ටියුෂන් පන්ති ගිහින්.

ඉතිං අපේ කතා නායකයාත් පළමුවෙනි පාර විභාගෙ කරපු නොකරපු ගමන්ම මහනුවර ආවා ටියුෂන් යන්න. ඒ ඇවිල්ලා මහනුවරට ටිකක් නුදුරින් ගමක ගෙදරක බෝඩිං වුණා. පොර ගේ අයියලා තමයි මං හිතන්නේ බෝඩිමටයි, ටියුෂන්වලටයි වියදම් කෙරුවේ.

ඒ බෝඩිං වෙච්ච ගෙදරදී තමයි බණ්ඩාරට දීපිකා හම්බ වුනේ. දීපිකාත් ඒ දවස්වල උසස්පෙල කරනවා.

අධ්‍යාපනය අතරේම ලව් එකත් නැගලා ගියා!

විභාගෙට බණ්ඩාර ගමේ ගියා. විභාගේ ඉවර වුනත් ආපහු බෝඩිමට එන්න හේතුවක් තිබුණේ නෑ නේ.

මේ කාලයේ දෙන්නා ලව් එක ගෙනිච්චේ ලියුම් මගින්. මෙහෙන් ලියුමක් දානවා. ඒක දවස් දෙකකින් ලැබුණාම, එදාම උත්තරයක් දැම්මොත් සතිය ඇතුලට ලියුම් තුනක් එහා මෙහා යනවා.

නමුත් ටික දවසක් යනකොට දීපිකා ගේ ගෙදරට කේස් එක අහුවුණා. කෙල්ලට ගෙදරින් හොඳටම වලි දැම්මා.

මේ අතරේ පන්සලක පිරිවෙනේ ගණිතය උගන්නන්න තාවකාලික රැකියාවකුත් ලැබුණා බණ්ඩාරට.

එක පාරටම වගේ දීපිකාගෙන් ලියුම් ලැබෙන එක නතර වුණා.

අන්තිමට ලැබුණු ලියුමේ තිබුණේ ගෙදරින් මේ සම්බන්ධය නවත්තන්න කියලා බල කරන බවයි.

හැමදාම පිරිවෙනේ වැඩ ඉවරවෙලා බණ්ඩාර ගෙදර එන්නේ දීපිකාගෙන් අදවත් ලියුමක් ඇවිත් ඇතිය කියා බලාපොරොත්තුවෙන්. නමුත් ආයේ කවදාකවත් ඉස්සර වගේ ලියුම් ආවේ නෑ.

නමුත් බණ්ඩාර තමන් ගේ බලාපොරොත්තු අත හැරියේ නෑ. ලඟදීම විශ්ව විද්‍යාල ශිෂයෙක් විදියට දීපිකා ගේ ගෙදරට ගිහින් කෙලින්ම කේස් එකට බහින්නයි පොර ප්ලෑන් කලේ.

හිතුව වගේම බණ්ඩාර පේරාදෙනියේ විශ්ව විද්‍යාලයට තේරුණා.

විශ්ව විද්‍යාලයට ඇවිත් නේවාසිකාගාරයේ පදිංචි වෙච්ච මුල් දවසේ හවසම පොර කෙරුවේ නුවර ටවුමට ගිහින් බස් එකක නැගිලා කෙලින්ම දීපිකා ගේ ගෙදරට යන එකයි.

"එන්න බණ්ඩාර මල්ලී ගෙට, ඇවිත් වාඩි වෙන්න" බණ්ඩාර දීපිකා ගේ ගෙදරට යනකොට මිදුලේ හිටිය දීපිකා ගේ අක්කා කිව්වා.

පොර ගේ ඇතුලට ගිහින් පුටුවක වාඩි වුණා.

එතැන ඉඳලා බලනකොට ගෙදර සාලේ හොඳට පේනවා.

බණ්ඩාර මොකක්ද දන්නවාද දැක්කේ?

මගුල් ෆොටෝ එකක්!

දීපිකා ගේ මගුල් ෆොටෝ එක.

අක්කා කියපු විදියට දීපිකාව ඊට මාසෙකට කලින් බන්දලා දීලා!

හිතාගන්න පුළුවන් නේද ඒ මොහොතේ බණ්ඩාරට හිතෙන්න ඇති දේවල්?

පස්සේ බැලින්නම් වෙලා තියෙන්නේ මේකයි.

දීපිකා බණ්ඩාරට එවපු ලියුං සේරම බණ්ඩාර ගේ අම්මා අරගෙන කඩලා බලලා පුච්චලා දාලා.

"අම්මා, ඇයි එහෙම කලේ?" බණ්ඩාර ඒ සතියේ ගෙදර ගියාම අම්මගෙන් ඇහැව්වා.

"ඒ ලියුම් උඹ කියෙවවා නම් පුතේ, උඹ ගිහින් ඒ කෙල්ලව අරගෙන පැනලා යන්න ඉඩ තිබුණා. එහෙම වුණා නම් උඹ මේ විශ්ව විද්‍යාල ගමන පැත්තකට දානවා. උඹට හැමදාම පිරිවෙනේ උගන්නවන්න තමයි වෙන්නේ!"

අම්මා කිව්වා.

වැරදිද ඇය? ඔබ කියන්න!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න ලව් ලෙටර් සම්බන්ධ පරණ කතන්දර කීපයක්.

1. කතන්දරකුමාරට ලව් ලෙටර් එකක්
http://kathandara.blogspot.com/2009/08/blog-post_04.html

2. ලව් ලෙටර් එකක් ගැන කතාවක්
http://kathandara.blogspot.com/2010/06/blog-post_07.html

3. තවත් ලව් ලෙටර් එකක තවත් කතාවක්
http://kathandara.blogspot.com/2010/06/blog-post_08.html

4. ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!
http://kathandara.blogspot.com/2011/11/longest-love-letter-world-record-set-in.html

5. මයි ෆර්ස්ට් ක්‍රෂ් (My first crush) ලව් ලෙටර් කතාවට අතුරු කතාවක්
http://kathandara.blogspot.com/2009/09/my-first-crush.html

6. ලව් කිරීමට කොල්ලන් ට උපදෙස් - පාඩම් අංක 2 : Advice for novice lovers (males only, please!)
http://kathandara.blogspot.com/2011/07/2-advice-for-novice-lovers-males-only.html

ඒ එක්කම මේකත් කියවන්න

7. තාත්තා කතන්දරකුමාර ට ආ ලියුමක් කඩා බලයි
http://kathandara.blogspot.com/2010/01/blog-post_31.html


(image: http://www.mommymanders.com/2012/10/15/a-mothers-credo-i-believe-in-love/)

Saturday 27 July 2013

"සොමියට වරෙන් පුතා - ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ" සින්දුව ප්‍රබුද්ධ ගීතයක් කරමුද? - From pop to classical


මේ ලඟදී අපේ මිතුරන් කණ්ඩායමක් අතරේ අර දශක ගණනාවකට කලින් දිවයින පත්තරේ ගිය ආකාරයේ ප්‍රබුද්ධ ගීතය සහ පීචං ගීතය අතර වෙනස ගැන ඊ-මේල්වලින් පොඩි විවාදයක් ගියා.

ඔය කියන "ප්‍රබුද්ධ - පීචං" විවාදයෙන් මට මතක කෑලි දෙකයි.

ජෝතිපාල කිව්වා පත්තරෙන් ඉන්ටර්වීව් කරන්න ආපු පොරට මෙහෙම.

"මල්ලී, ඒ මාස්ටර් ලා කියන්නේ ප්‍රබුද්ධ ගී. අපි කියන්නේ පීචං සින්දු!"

ඊලඟ සුමානේ සම්මුඛ සාකච්ඡාවක් දුන්නු නිහාල් නෙල්සන් කිව්වා මෙහෙම.

"මල්ලී ඔවුන් ගේ ගී ප්‍රබුද්ධ නම්, අපේ සින්දු සුප්‍රබුද්ධයි!"

ඉතිං මේ ගැන මතක් වෙලාද කොහෙද අපේ ඊ-මේල් වාදයට සහභාගී වුණු මගේ මිතුරෙක් වෙන දීපාල් ද සිල්වා මෙහෙම ලියා එව්වා.

"නිහාල් නෙල්සන් ගේ මේ සින්දුව බලන්න.

සොමියට වරෙන් පුතා
අගුල දාල නෑ දොරේ
අහපන් රියල් කතා
ගුණෙ අයියගෙ කාමරේ


ඒ ගීතයම මේ ලෙස ලිවුවොත් එය ප්‍රබුද්ධ ගණයට වැටේද?

සතුටු වන්නට එන්න මා පුත
ගුණේ අයියන්ඩියගෙ කුටියට
අගුලු ලා නැත දොර පියන් පත
නිර්ව්‍යාජයට දෙන්න සවනත
"

කොහොමද වැඩේ?

දැක්ක නේද පීචං සින්දුවක් ප්‍රබුද්ධ ගීයක් වෙන හැටි!

මෙන්න නිහාල් නේල්සන් ගේ ඔරිජිනල් සින්දුවේ පද මාලාව. දැන් ලියමු බලන්න සම්පූර්ණ සින්දුවම ප්‍රබුද්ධ ස්ටැයිල් එකෙන්!

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

පච්ච සිරා ලා එතකොට කොච්චි ඇලා ලා
ගුෂ්පි රොබාලා එහි මෙහි සොමිය සොයාලා
සැප විඳලා මෂා වෙලා පීචං වීලා
කැපිල යන්නෙ සක්විති සුව මෙහෙන් වළඳලා

නළුමන්ට්ස් ලා නිලිමන්ට්ස් ලා කැමර කටා ලා
අලි වංශෙං වැඩ පෙන්නන සුපර් මෑන්ස් ලා
බර පොරවල් ෆොරීන් කකුල් එකට වැටීලා
ටූ තව්සන්ඩ් ත්‍රී තව්සන්ඩ් යයි විසිකරලා

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ

ටින්කිරි ටින් එකෙන් නැතිනම් ටොනික් ඩප්පියෙන්
පේස්ටු පේස් එනවා නම් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක් කෙරුවොත් තෙල් වීදාගමින්
ගල් වැලි කටු බොරු නෑ මගෙ වැඩ රාත්තලෙන්

කොත නං කොත කුරුස වලට මගෙ ළඟ ඉඩ නැත
ඔය කාගෙත් වත ගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරු පොත
බ්ලේඩ් වලින් කැපෙන්නෙ නෑ කෙනෙකුගෙ හොඳ හිත

සොමියට වරෙන් පුතා අගුළු දාලා නෑ දොරේ
අහපන් රියල් කතා ගුණෙ අයියගෙ කාමරේ
හිටපන් සයිඩ් එකෙන් වාඩි වෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනව මගෙ කාමරේ

මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ
(ඒ) මේක ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ




-කතන්දරකාරයා

(image: http://www.divaina.com)

Thursday 25 July 2013

රෝහණ විජේවීර සින්දු කියයි! - Rohana Wijeweera Musical Show in Moratuwa


මේ සිද්ධිය මං අහලා තියෙන ලූ කතාවක් මිස හරියටම දන්න කේස් එකක් නොවෙයි.

මේක වෙලා තියෙන්නේ මං පෙරේදා දාපු කවියේ දෙවෙනි කොටසින් කියවුණු මරණය වගේ මරණ රාශියක් සිද්ධවුණු 1988-89 කාල වකවානුවේ යි.

මගේ කවියේ මුල් කොටසින් කියවුණු 1983 ජූලි සිදුවීම්වලට සම්බන්ධයැයි චෝදනා කරලා ඉන් දවස් දෙක තුනකට පස්සේ ජේ.ආර්. පප්පා ගේ ආණ්ඩුව ජේවීපී එක තහනම් කළා.

ඒ එක්කම බාහු ගේ නසසපයත්, කේපී ගේ කොපයත් තහනම් කෙරුණා. (මෙතන කේපී කියන්නේ ඔය අද ඉන්න කේපී නොවෙයි, මෙයා කේ.පී.ද සිල්වා!)

කොපයේ අය නං වහාම කේස් එක ෂේප් කර ගත්තා.

බාහු ලා, වාසු ලා, සිරිතුංග ලා , ලීනස් ලා මුලින් වෙස්වාලගෙන හැංගිලා හිටියත් පස්සේ විජය කුමාරතුංග එක්ක පොලිසියට බාරවෙලා පක්‍ෂ තහනම අයින් කර ගත්තා.

නමුත් ජේවීපී එක කෙලින්ම භූගත වෙලා ගියා. තහනමට කලින් හිටපු රැවුල වවා ගත්තු රෝහණ විජේවීරව ආයේ ජීවිතේට කවුරුවත් ප්‍රසිද්ධියේ දැක්කේ නෑ.

අවුරුද්දකට විතර පස්සේ "බෙදුම්වාදීන් ට කප්පම් නොදෙනු! ජනතාවට අයිතීන් දෙනු!!" කියාගෙන ජේවීපී එක එලියට ආවා.

තවත් අවුරුදු තුනකට විතර පස්සේ ඉන්දියන් සාම සාධක හමුදාව ලංකාවට ආවාම, ඉන්දියන් විරෝධය සහ දේශප්‍රේමය ඉස්සරහට දාගෙන කෙලින්ම ආණ්ඩුව එක්ක සටනට බැස්සා.

සටන් තිබිලා තියෙන්නේ දවල් නොවෙයි, හිරු බැස ගිය රාත්‍රියේ. කොහොම හරි ජිවිත දස දහස් ගණනක් විනාශ වුණා. වැඩිපුරම තරුණ කොල්ලෝ.

මේ කාලේ රෝහණ විජේවීර කියන්නේ ආණ්ඩුවේ මෝස්ට් වොන්ටඩ් ලිස්ට් එකේ අංක එක.

ඔය කාලේ එක දවසක් මොරටුව පැත්තේ තාප්පවල, ලයිට් කණුවල, බෝක්කුවල ඔය උඩින් තියෙන පෝස්ටරේ ගහලා තිබුණලු.

මේක දුරට දැක්ක බස්වල, මෝටර් සයිකල්වල යන එන අයට අදහගන්න බැරුව ගිහින් තියෙනවා.

හොඳින් ලංවෙලා බලපු අයට තමයි වැඩේ තේරිලා තියෙන්නේ!



-කතන්දරකාරයා

Tuesday 23 July 2013

ජූලි-ගණේමුල්ල-දොලේකනත්ත-1983-1989 : Some wounds never heal


ජූලි

යකඩ යකු නැවතුමේ
අරලියා ගස් අතර
දෙකකුලෙන් එල්ලාපු
නිරුවතින් කළු ගැහුණු මල සිරුර
තවම මා සිත දවයි!
පුරා තිස් වසරක්ම පසු වුවද
තවම මා සිත දවයි!

මං තුනක් මුණ ගැහෙන හන්දියේ
සොහොන් බිම එක් කොනක
පිටු පසින් හිස තුලට ගිණි බිඳුණු
නිසල වූ මල සිරුර
තවම මා සිත දවයි!
වසර විසි හතරක්ම පසු වුවද
තවම මා සිත දවයි!



මතක පොතේ පරණ පිටු ගැන මේ කවිය ලිව්වේ ඊයේ. මේකට තුන්වෙනි කොටසක් එකතු කර ගන්න නම් කිසිම අදහසක් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
සාමාන්‍යයෙන් මං කවි විතරක් පල කරන්නේ නෑ බ්ලොග් එකේ, කයි-කතන්දර මිස.

අද කවිය විතරක් දාන්නේ, මේකේ කතන්දර දෙකම ඔහේලා අහලා, අහලා ම හොඳින් දන්න නිසායි.


Sunday 21 July 2013

අනුලා දේවිය ගේ සළුපට අහසට! - Written, directed and produced by Kathandarakaraya


කතන්දරකාරයා සිනමා අධ්‍යක්‍ෂණයට පිවිසෙයි!

තව ටික කාලෙකින් සරසවිය වගේ සිනමා පත්තරවල, දිනපතා සහ ඉරිදා පත්තරවල සිනමා අතිරේකවල, මාසික සඟරාවල දකින්න ලැබෙන හෙඩ් ලයින් නිවුස් එකක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ.

ඇත්තටම නං මං චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්න හිතුවේ මීට අවුරුදු දහයකට විතර ඉස්සර දවසක. ඒ ප්ලෑන් එක හරි ගියා නම් අර බොක්ස් ඔෆීස් වාර්තා බිඳ හෙලමින් තිරගත වුණු අබා විත්‍රපටියේ අධ්‍යක්‍ෂ වෙන්නේ මංතුමායි.

මෙන්න ඒ ගැන විස්තර කියවෙන අතුරු කතාව.
http://kathandara.blogspot.com/2010/03/blog-post_05.html

ගිය දේ ගියා!

චිත්‍රපටියක් නිෂ්පාදනය කරනවා කියන්නේ කවුරු හරි ලියපු තිර රචනයකට අනුව කවුරු හරි අධ්‍යක්‍ෂණය කරන චිත්‍රපටියකට සල්ලි වියදම් කරන එකනේ?

දැන් ඉතිං කතන්දර බ්ලොග් එක අවුරුදු හතරක් කරගෙන ගිහිල්ලා, කතන්දර 850 ක් විතර ලියලා දාලා හොඳ ඇක්ස්පීරියන්ස් ලැබිලා තියෙන එකේ මට හිතුණා, එක එකාට කියලා චිත්‍රපටි ලියෝලා හදෝලා ගන්නේ නැතුව මංතුමාම කතාවක් ලියලා, අධ්‍යක්‍ෂණය කරලා, නිෂ්පාදනය කරගන්න.

මෙන්න මගේ විත්‍රපටියේ මාතෘකාව.

අනුලා දේවිය ගේ සළුපට අහසට

මේක අබා, පැරකුම්, සිද්ධාරථ, කුවේණී, අජාසත්ත ජොන්රා එකට අයිතිවෙන ඓතිහාසික කතන්දරයක්.

අනුලා දේවිය කියලා අපි කිව්වට ඇත්තටම ඇය අනුලා රැජින. ක්‍රිස්තු පූර්ව පළමුවෙනි සියවසේ ලංකාවේ අවුරුදු පහක් විතර රජකම් කරපු එයා තමයි ලංකාවේ මුල්ම රාජ්‍ය නායිකාව. ඔය කාලෙම තමයි මිසරයේ ක්ලියෝපැට්රා රජකම් කරලා තියෙන්නේත්.

රැජිනක් වුනත් අනුලා ට බිසව කියන්නට හේතුව තමයි ඇය මුලින්ම රජවරු හතර පස් දෙනෙකු ගේ බිසව විදියට ඉඳීමයි. ඒ හැම රජෙක්ම හරියට අර මේ කාලේ අපරාධකාරයෝ පොලීසියට ආයුධ පෙන්නන්න යන කොට පැනලා යන්න ගිහිල්ලා මැරෙනවා වගේ, ආහාර විස වෙලායි මිය ගිහින් තියෙන්නේ. අන්තිමේදී අනුලා රැජින වෙලා මාස හතරක් විතර රජකම් කළ ලු!

ඒ මාස හතරේ රැජින කාලයේ ඇයට සේවා සපයන්න රජවාසල භටයෝ තිස් දෙන්නෙක් හිටියා ය කියලයි කියවෙන්නේ.

හොඳ කතා වස්තුව නේද?

නිකං පිළිහුඩු පියාමැස්සෝ ගැන ජාතිභ්‍රෂ්ඨ චිත්‍රපටි හදන්න ගිහින් රජවරු තරහා කරගන්නේ නැතුව මෙන්න මේ වගේ අපේ වැදගත් ඓතිහාසික කතන්දර ගැන නේ හසන්ත සිනමා සිත්තම් හදන්න ඕනෑ!

අනුලා ගේ රෝල් එකට ඉන්දියාවෙන් හොඳ නිළියෙක් තෝරා ගන්නයි අදහස් කරන්නේ. අනුලා ගේ මුල් සැමියන් පස් දෙනා ගේ රෝල්ස් වලට දැනටම ඉල්ලුම් පත්තර ඇවිත් තියෙන්නේ.

අර රැජින කාලේ සේවය සලසපු රාජ පුරුෂයෝ තිස් දෙනා ගේ චරිතවලට නං අයැදුම් පත්තර බාර ගන්නවා.

-කතන්දරකාරයා

ප/ලි:
Flying Fish හෙවත් ඉගිල්ලෙන මාළුවෝ චිත්‍රපටිය ගැන ලියවුණු මා කියවූ ලිපි මෙන්න.

1. විකිපීඩියා ලිපිය
http://en.wikipedia.org/wiki/Flying_Fish_(film)

2. ප්‍රියන්ත ෆොන්සේකා ගේ අළු බ්ලොගයේ පලවුණු "ඔහු හරිම කොට ය!"
http://priyanthaf.blogspot.com/2013/07/blog-post_18.html

3. අළු බ්ලොගයේම "ජගත් චමිලගේ ගෙයි බිත්තියට මුවා වී සංජීව පුෂ්පකුමාරට වෙඩි තැබීම"
http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_15.html

4. මාතලන් ලියූ "ඉගිලෙන මාළුවාගේ, මාළු කෑම - Flying Fish, Smells Bad"
http://maathalan.blogspot.com/2013/07/flying-fish-smells-bad.html

5. තහනම් වචන බ්ලොගයේ පලවුණු "තොට පිස්සුද යකෝ!! | Are You Fucking Crazy?"
http://thahanamwachana.blogspot.com/2013/07/are-you-fucking-crazy.html

6. අමිල චතුරංග අන්සතු දින පොතේ ලියූ "flying සංජීව (ඉගිලෙන පරවියෝ)"
http://ansathudinapotha.blogspot.com/2013/07/flying.html

7. ජනසංසදය බ්ලොගයේ පලවුණු තහනමෙන් පසු ජගත් පුෂ්ප කුමාර කළ ප්‍රකාශය
http://peoplesforumsl.blogspot.com/2013/07/flying-fish.html

8. ලංකා නිවුස් වෙබ් හි පලවූ තහනමට විරෝධය පෑමට පැවැත්වුණු පුවත් පත් සාකච්ඡාව ගැන විස්තරය
http://sinhala.lankanewsweb.com/news/9202-2013-07-18-07-47-07

9. ලංකා නිවුස් වෙබ් හි පලවූ ගාමිණී වියන්ගොඩ ලියූ "‘ඉගිල්ලෙන මාළුවෝ’ චිත‍්‍රපටය සහ ආණ්ඩුවේ නිරුවත"
http://sinhala.lankanewsweb.com/features/9206-2013-07-18-13-40-04

10. දයානන්ද රත්නායක ගේ අස්වැන්න බ්ලොගයේ ඔහු ලියූ "කන්තලෙන් ලෝකයට ඉගිල්ලෙන මාලුවෝ Flying Fish" ලිපිය
http://aswanna.blogspot.com/2013/07/fling-fish.html

11. දයල් බතී ලියූ "ඉගිලෙන්න මාලුවනට Flying Fish ඉඩ දෙන්න, බලධරයිනි, පිළිකුල් කිරීමට පෙර කරුණාකර චිත්‍රපටය නැරඹුවාද?"
http://dayal-bathee.blogspot.com/2013/07/flying-fish_18.html

12. අශෝක හඳගම රන්දොර වෙබ් අඩවියට ලියූ ලිපිය
http://www.randora.lk/index.php/latest-news/item/1442-hadagama
(මේ අඩවියේ හදගම සහ හදයා කියන්නේ හඳගම සහ හඳයා ට බව පෙනේ!)

13. ලංකා නිවුස් වෙබ් හි පලවූ පසන් ජයතිලක ලියූ "විමුක්තිගෙන් පාඩම් ඉගෙන, සංජීව පුෂ්පකුමාර ප්‍රශ්ණ කිරීම"
http://sinhala.lankanewsweb.com/art-news/9216-2013-07-19-10-14-34

14. තෙලා ගේ සටහන් හෙවත් idea365 ලියන භාරත තෙන්නකෝන් ලියූ "සංජීව පුෂ්පකුමාරගේ ‘ඉඟිලෙන මාළුවෝ’ වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඇයි?"
http://idea365.blogspot.com/2013/07/blog-post.html

15. Loopholes බ්ලොගයේ ලියවුණු "පියාමැස්සෝ විකාරය"
http://www.loopholesblog.org/2013/07/blog-post.html

16. ප්‍රියන්ත ෆොන්සේකා ගේ අළු බ්ලොගයේ පලවුණු "අපි කවදාවත් දන්නෙ නැහැ ඊළඟ මිනිත්තුවෙ මොනව වෙයිද කියල" සම්මුඛ සාකච්ඡාව
http://priyanthaf.blogspot.com.au/2013/07/blog-post_23.html

17. බූන්දි වෙබ් අඩවියේ පල වූ විකුම් ජිතේන්ද්‍ර ගේ "සොල්දාදුවෝ සහ ඉගිල්ලෙන මාළුවෝ"
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3570

18. බූන්දි වෙබ් අඩවියේ නැවත පළ වූ ෂෙහාන් ධර්මකීර්ති ගේ "උල්කාපාතත් එක්ක ඉගිල්ලෙන මාළුවෝ සහ කිලින් ෆීල්ඩ්ස්" (මූල් ලිපිය ෂෙහාන් ගේ "රෑ අහස" බ්ලොගයේ පළවිය)
http://www.boondi.lk/CTRLPannel/BoondiArticles.php?ArtID=3567

19. හරක'ගෙ බ්ලොග් එක ලියන තිලින පෙරේරා ගේ "හොටැන් ස් පයිසි ප්ලයිං පිෂ්" http://harakageblogeka.blogspot.com.au/2013/07/blog-post_6255.html

20. සංවේදී බ්ලොගයේ පලවුණු ඉගිල්ලෙන මාළු සංවේදී ඇසින් විචාරය http://sanwedi.blogspot.com/2013/10/21.html

21. බස්සිගේ නවාතැන බ්ලොග් අඩවියේ බල්සී ලියූ මාලුවෝ ඉගිල්ලෙනු කියැවූවෙමි නමැති විචාරය http://bassigenawathana.blogspot.com/2013/09/flying-fish.html

22. ලූප් හෝල්ස් බ්ලොග් අඩවියේ පලවූ විචාරය - ගයේෂා මුදා හැර මාළුවෝ තවදුරටත් පිහිනීම
http://www.loopholesblog.org/2013/10/blog-post_17.html

(image: http://en.wikipedia.org/wiki/Flying_Fish_(film))

Friday 19 July 2013

බොදු බාල සෙනාව සෙක්සිස්ට් ද - Is Bodu Bala Senna, Sexist?


විජය කුමාරතුංග කියන නළුවා මං පොඩි කාලේ මට පෙන්නන්න බැරි එකෙක්.

මට මතකයි පොර ඒ කාලේ සිරි ලංකා එකේ දේශපාලන රැස්වීමක කතාකරන්න ආවා. කොල්ලෝ කෙල්ලෝ හෙම පොර පස්සේ දිව්වා.

මං නෙමෙයි නිකමටවත් සැලුනේ.

මගේ යාළුවෙක් වෙච්ච සරත්චන්ද්‍ර ආපහු ඇවල්ලා කිව්වා ඌ විජය ගේ ෂර්ට් එක ඇල්ලුවා ය කියලා. මට හිතුනේ අනේ පව් කියලා විතරයි!

ටික කාළෙකට පස්සේ මටත් යම් දේශපාලනමය සිතුවිල් පහල වෙන්න පටන් ගත්තා. පස්සෙන් පහු විජය කුමාරතුංගත් මට හිතුණ විදියට නිවරදි දේශපාලනයක් පටන් ගත්තා.

අන්න එතකොට තමයි මට තේරුනේ "යකෝ, මූ කොච්චර සුපිරි නළුවෙක් ද?" කියලා.

ඒ විතරක් නොවෙයි!

මුල් කාලේ මට ඇහුණු විජය ගේ ගොරහැඩි කටහඬින් ගැයෙන "රැල්ලෙන් රැල්ලට" වගේ සින්දුවලින් මාර රස වින්දනයක් ලැබෙන්න පටන් ගත්තා.

අන්තිමට විජය කුමාරතුංගව ජාතිවාදීන් විසින් මරල දාලා ය කියලා ආරංචි වුණු වෙලේ මහා සංවේගයක් දැණුනේ!

ඔය සංසිද්ධියේම අනිත් පැත්ත තමයි මේක.

ඒ දවස්වල යූඇම්පී වේදිකාවල බයිල කියපු ගායක ගායිකාවෝ, ඩෙඟා නටපු නළු නිළියෝ ගැන මගේ කිසිම කැමැත්තක් තිබුණේ නෑ. කොටින්ම උන්ගේ ඒ දේශපාලනට තිබුණු අකමැත්ත නිසාම, මට උන් ගේ සින්දු, රඟපෑම්වලත් මෙලෝ රහක් දැණුනේ නෑ.

ඒ සමහරු (ජෝතිපාල ලා වගේ අය) මිය ගියාමත් කිසිම දුකක් වගේ එකක් හිතට ආවේ නෑ, සාමාන්‍යයෙන් හිතෙන "අනිච්චාවත සංඛාරා - සියලු සයන්ස්කාරයෝ මැරෙන සුළුය!" වගේ දෙයක් හිතුණා මිසක.

ඔය පරණ කතා මතක් වුනේ අද ආපු ඊ-මේල් එකක තිබුණු ලින්ක් එකක් ඔස්සේ ගිහින් බොදු බාල සෙනා නඩයේ තේමා ගීතය අහන්න ලැබුණු වෙලේයි.

මේක කියන්නේ සුනිල් එදිරිසිංහ.

මෙන්න යූ ටියුබ් ක්ලිප් එක.



දැන් ඉතිං සුනිල් එදිරිසිංහ ගේ සින්දු අහලත් හමාරයි. වැරදිලාවත් ඇහෙන ඇහෙන හැමෙ වෙලේම මේ කේස් එක මතක් වෙලා ඔක්කාරෙට ඒවි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ පදමාලාවේ තියෙනවා මෙහෙම.

බිඳී එරන් කොත, නිවී පහන් වැට, අන්දකාරයි සාසනේ
කාහල නාදය නගනට කාලය
ඇවිත්, අවදිවෙමු සොයුරනේ
ඉතිං අවදිවෙමු සොයුරනේ

මෙතන සොයුරන් ගැන මිස සොහොයුරියන් ගැන කිසිම කතාවක් නෑ.

ඒ කියන්නේ නිදාගෙන ඉන්නේ පිරිමි විතරද? ගෑණු අවදියෙන් ද ඉන්නේ?

නැත්තං මේ සින්දුව සහ බොදු බාල සේනාව සෙක්සිස්ට් ද?


(image: https://www.facebook.com/SGaminiFonseka)

Wednesday 17 July 2013

ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia


අප හුඟ දෙනෙක් සිතින්වත් ඉස්කෝලෙ ගිය කාලෙට ආපහු යන්න කැමතියි.

ඒකට විවිධාකාර හේතු තියෙන්න පුළුවනි. එදාට වඩා හොඳට ඉස්කෝලේ වැඩ කරන්න, අර කියා ගන්න බැරි වුණු ඒවා කියා ගන්න, නපුරු ටීචර් ලා ගෙන් බේරිලා ඉන්න. ලයිස්තුව තව දිගයි!

මාත් විටින් විට ඉස්කෝලේ ගිය කාලේ ගැන කතන්දර ලියලා තියෙනවා.

ඒත් අද මං මේ කියන්න යන්නේ ඉස්කෝලේ කාලේ ගැන ලියවුනු පොතක් ගැනයි. මේක මං සඟරාවකට ලියපු පොත් විචාරයක්.


ඉස්කෝලෙ කාලේ
සුන්දර ළමා වියට අප යළි ගෙනයන ජගත් ජේ. එදිරිසිංහ සෑදූ මැජික් දොරටුව

කුඩා දරුවන් මල් මෙන් යැයි අපි නිතර කියමු. ඔවුන් ගේ දසුන සුන්දරය. වර්ණවත්ය. අහිංසකත්වයේ, අවංකත්වයේ සහ අව්යානජත්වයේගුණ සුවඳ ඔවුන්ගෙන් විසිරේ. ඔවුන් ගේ බස් අප සවනට පිය තෙපුල් ය. ඔවුන් ගේ චර්යාව, හැසිරීම, ගති පැවතුම සුසිනිදු මල් පෙත්තකමටසිලිටු බව සිහි ගන්වයි.

නමුත් මේ මල් වැනි කුඩා දරුවන් හැදෙන්නේ, වැඩෙන්නේ ඕජස් ගලන ගුජුප්සාජනක කුණු කන්දලින් පිරී ගිය මේ අශීලාචාර සමාජයේ බවඅපට අමතක කළ නොහැක.

පොහොට්ටුවෙන් සුපිපි කැකුලට පෙරළෙන මේ සුන්දර, පියකරු, මටසිලිටු, සුවඳ විහිදුවන මල් සමූහය චණ්ඩ හිරු රැස් මැද පීඩා විඳිති. සැඩ සුළඟට හසුව සැලෙති. බඹර පහරට අසුව කිලිටි වෙති. නැඩ වර්ෂාවෙන් පීඩා විඳිති. අවසානයේ ඒ සුපිපි පුෂ්පයෝ මුකුලිතව මිලානව ගොස්තමන් සිටින පෙරකී පරිසරයටම එකතු වෙති.

මේ ලෝක ස්වභාවය මිනිස් සමාජයද පොදුය. තමා වෙසෙන සමාජය විසින් මිනිසා හදනු ලබන බව කියවෙන්නේ නිකමට නොවේ.සමාජයේ ගොදුරක් වීමෙන් ගැලවී සදහටම වර්ණවත්ව බබළමින් ගුණ සුවඳ විහිදන්නෝ ඉතා අල්පය.

මේ හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, සුන්දර ළමා විය පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ චිත්ත සන්ථානයන් හි යට ස්ථරවල ස්ථිරව තැන්පත් වී ඇති මිහිරි මතක නිධානයන් කිරිමුහුද කළඹවා කල්ප වෘක්ෂතය මතුකරගත්තාක් සේ පාදාගන්නට ඉවහල්වෙන, තත්වයෙන් මහාමේරු පර්වතයක් සේ සැලකිය හැකි නමුදු ප්‍රමානයෙන් කුඩා, නවකථා පොතක් පිළිබඳව ඔබට පවසන්නටයි.

කුඩා පාසලක, කුඩා පන්තියක ඉගෙනුම ලබන කුඩා කොලු ගැටයෙකුගේ ජීවිත කථාවේ රසබර, දුක්බර, ප්‍රීතිජනක, ශෝක ජනක කතාන්දරය අපට කියන මේ කුඩා නවකතාව "ඉස්කෝලෙ කාලේ"
නම් වේ. එය ලියා ඇත්තේ ජගත් ජේ එදිරිසිංහ නම් කෘතහස්ත ලේඛකයාය.

ජගත් ජේ. එදිරිසිංහ ගේ අසුර අඩවිය, ගිම්හාන සුළඟ, තාරුකා විජිතය සහ අදිසි යන නවකථා අප කියවූයේ දයාවංශ ජයකොඩි ප්‍රකාශන ලෙසිනි. ඉස්කෝලෙ කාලේ නවකතාව අප අතරට එන්නේ ගොඩගේ සමාගමේ යොවුන් නවකතාවක් ලෙසටය. යොවුන් නවකතා යනු සිංහල ප්‍රභන්ධ කලාවේ එක් ප්‍රධාන උප අංගයක් විය යුතු නමුදු තරමක් නොසලකා හරින ලද අංශයකි.

මඩොල්දූව, අඹ යහළුවෝ, වනගත දරුවෝ සහ තුන් යහළු වික්‍රමය වැනි නවකථාවලින් මග සලකුණු තැබූ සිංහල යොවුන් සාහිත්‍යය යනු සිංහල නවකතාවේ උපත සහ පෝෂණය සිදුවූ පසුගිය සියවසක පමණ කාලය තුළ එතරම් දියුණුවට පත් නොවූ අංශයකි. අප දන්නා බටහිර ඉංගිරිසි යොවුන් සාහිත්‍යය හා සසඳා බලන කල මෙය ඉතා හොඳින් කැපී පෙනේ. මෙයට හේතුව විශ්ලේෂණය කිරීම වෙනමම මාතෘකාවක් නිසා ඉතා සරලව පැවසිය හැක්කේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණයත්, සිංහල යොවුන් සාහිත්‍යයේ මන්දපෝෂණයත් එකම කාසියේම දෙපැත්ත බවයි. ශාරීරික මන්දපෝෂණයට අඩු තරමේ ත්‍රිපෝෂවත් ලැබේ.

මෙවන් පසුබිමක් යටතේ ජගත් ජේ. එදිරිසිංහ, ඉස්කෝලෙ කාලේ රචනා කිරීමෙන් පොදුවේ සිංහල සාහිත්‍යයටත්, සුවිශේෂීව බටහිරයොවුන් සාහිත්‍යය කෘතිවල සරල පරිවර්තන කියවීම වෙනුවට වෙනත් විකල්ප හිඟයෙන් පෙළෙන යොවුන් නවකථා පාඨකයින් ට කරඇත්තේ කාලීන මෙන්ම අගනා සේවාවක් බව නොබියව කිව හැක.

මා එලෙස යොවුන් නවකතාවක් ලෙස ඉස්කෝලෙ කාලේ කෘතිය හඳුන්වා දුන්නද, මේ නවකතාවේ රසය උපරිම වශයෙන් විඳින්නටලැබෙන්නේ තම ළමා කාලය කලකට ඉහත ගත කළ අප වැන්නන්ට යැයි මම සිතමි.

ඒ එසේ වන්නේ, ඉස්කෝලෙ කාලේ නවකතාවේ පිටු අතරින්, පරිච්ඡේද අතරින්, ඡේද අතරින්, වාක්යං අතරින්, අකුරු අතරින් අපට දැන්දැන් මතකාබාද වැලි තලාවෙන් වැසීයන අපේ සුන්දර ළමා කාලයට යළි පිවිසෙන්නට, යළිත් සුදු අත් කොට කමිසයකින් සහ කොටකලිසමකින් හෝ සුදු රැළි ගවුමකින් සැරසී පාසල් යන්නට අපට මානසිකව ඉඩ ලැබෙන බැවිනි.

ඉස්කෝලෙ කාලේ නවකතාව ගෙතී ඇත්තේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන කුඩා දරුවෙකු වන සමන් ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ඇසුරිනි. මෙහිදී සමන් ගේ පාසලේ කතා මෙන්ම, ඔහුගේ පවුලේ කතා ද, ඔහු වසන ගම්මානය පසුබිම් කරගත් කතා ද, එකිනෙකසම සමව මුසුකරමින්, වරෙක හාස්‍යය ද, වරෙක අනුකම්පාව ද, වරෙක සංවේගය ද, වරෙක කෝපය ද, වරෙක සතුට ද පාඨක සිත් සතන් තුල ජනිත කරමින් නිදහසේ ගලායන නවකතාවක් රචනා කීරීමට ජගත් ජේ. එදිරිසිංහ සමත්වී ඇත.

සම වයසේ යහළු යෙහෙළියන් සමග සමන් සිසුවා පාසලේ ඉගෙන ගන්නා හැටි, කොල්ලන් සමග ගම පුරා කරක් ගහනා හැටි මෙන්ම සමාජ අසාධාරණයන් සහ නපුරු ගුරුවරුන් නිසා තබ්ලාව වැයීම ඉගෙන ගන්නට, විවිධ ප්‍රසංගයන් හි නාට්‍ය , ගායනා යනාදිය ඉදිරිපත් කිරීමට, දිස්ත්‍රික් ගායනා තරග සඳහා සහභාගීවන්නට සමන්ට ඉඩ ඇහිරෙන අයුරු ජගත් ජේ. එදිරිසිංහ සරල සිංහල බසින් විස්තර කරන්නේ පාඨක සිත නවකතාවේ අවසානය දක්වාම බැඳ තබා ගනිමිනි.

සමස්ත කතා වස්තුව සලකා බලන කල, මා මේ ලිපිය ආරම්භයේ භාවිතා කළ මල් සහ පරිසරය පිළිබද උපමාව මෙහිදී තරමක් නොගැලපෙතැයි මට සිතේ. එසේ වන්නේ, ළමුන්ට අසාධාරණකම් කරන ගුරුවරුන් අතර තම යුතුකම් සහ වගකීම් නිසි අයුරින් ඉටු කරන හොඳ ගුරුවරුන්ද, තබ්ලා ඉගෙනුම අහිමි වු පුතුට ඩෝලැක්කියක් හෝ ගෙනැවිත් දෙන දෙමව්පියන් ද ඉස්කෝලෙ කාලේ නවකතාවේ සිටින බැවිනි.

එය එසේ වුවද, ජගත් ජේ. එදිරිදිසිංහ මේ නවකතාව අවසානයේ නපුරු සමන්මලී ගුරුතුමිය ක්ෂගණිකවම හොඳ චරිතයකට පරිවර්තනයකරමින් ද, සමන් ට කවි ගායනා තරගයේ ජය ලබා දෙමින් ද කර ඇත්තේ පැවති සහ පවතින සමාජීය යථාර්ථයෙන් ඉවත්ව යෑමක් බව නම් මම ඉඳුරාම පවසමි.

”අවසානයේ යුක්තිය, සත්යභය සැමවිටම ජය ගනී” යන ලොව පිළිගත් මිත්යා විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙමගින් නවකතාකරුවා අනියම්ව සහය දෙන බව මගේ විචාරක ඇසට පෙනේ. කෙසේ නමුත් එලෙස සුඛාන්තයක් සහිතව නවකතාව අවසාන කිරීමමගේ පාඨක සිතට නම් මහත් වූ අස්වැසිල්ලක් ම විය.

හැත්තෑව දශකය පමණ නුදුරු අතීතයක් මත පදනම් වූ ඉස්කෝලෙ කාලේ නවකතාවේ කතානායක සමන් දිවි ගෙවන්නේ මිරිහාන, මාදිවෙල, ඇඹුල්දෙණිය වැනි මුළුමනින්ම නොවූවද බොහෝ දුරට සම්ප්‍රදායානුකූල ග්‍රාමීය පරිසරයකයි. අද හතළිස් වසරක් ලබන විට ඒ ප්‍රදේශ කෙතරම් දුරට නාගරීකරණය වී ඇතිද, දුෂණය වී ඇතිද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

කෝට්ටේ කලාලේ කිසිල්ලේ ද?

ප්‍රධාන කතා පුවතෙන් බාහිරව නවකතාවේ වාක්‍යය පේළි අතර සැකෙවින් ලියවී ඇති ඒ ගම්පෙරළියේ කතාව ද මා මෙහිදී පාඨකයින්ගේ විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

අවසාන වශයෙන් කිව යුත්තේ, ජගත් ජේ. එදිරිසිංහ රචනා කරන ලද ඉස්කෝලෙ කාලේ නවකතාව සුන්දර ළමා වියට අප යළි කැටුව යන මැජික් දොරටුවක් ම බවයි. ඒ දොරටුවෙන් ඔබ්බට ගොස් රිසි පරිදි අතීතකාමයේ ගැලෙන්නට මම ඔබට ආරාධනා කරමි.

-කතන්දරකාරයා

ප/ලි: (12:30pm)
සියළු දොනටම ආදරයෙනි.

අද උදේ සිට ඔෆීසියේ වැඩ රාජකාරි අධික දිනයකි. තේ බිව්වේ ද දවල් කැම කන අතරය. කමෙන්ට්ස් කියවා අනුමත කිරීමට වේලාවක් නොතිබුණි.

මේ ගැන විරෝධය පාමින් ඇනෝනිමස් පාඨකයෙකු (හෝ දෙන්නෙකු) දිගින් දිගටම ප්‍රතිචාර දක්වා ඇති බව දැක්කෙමි. එවැන් ප්‍රතිචාරවලින් ඇති ප්‍රයෝජනයක් නැත. මට කමෙන්ට්ස් කියවා අනුමත කළ හැක්කේ විවේකයක් ලද විටදී පමණි!

Monday 15 July 2013

හරියටම අවුරුද්දකට පසු "සුඋදිවේකහා" කේස් එක නැවතත් ඇවිල්ලා! - HBDKH returns in verse!


දින තුනක ට්‍රිප් එකකින් පස්සේ වැඩ ගොඩවුණු හින්දාත් තවත් කේස් එකක් හින්දාත් මේ කවි ටික ලියලා පල කරන්නත් වෙනදාට වඩා පැය එකොළහක්ම පරක්කු වුණා.

ඒ කේස් එක (සුඋදිවේකහා) මොකක්ද කියලා දන්නෝ දනිති.

අද පෝස්ටුවේ අග හරියේ ලින්ක් එකක් ද ඇත!

සුඋදිවේකහා

නෙත ගැටුණ දා විසි එක් වසරකට පෙර
වත මදහස දිටිමි පෙර නොම දුටු අයුර
සිත මා සසල විය හදවත කර විවර
කත ඔබ මගෙම බව දැන ගත්තෙමි එවර

යා දෙක රතය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුරම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දිනම

හෝරා අටක් මහජන සේවය සලසා
දිව විත් නිවස වෙත නොමගෙන කිසි වෙහෙසා
පිස දෙයි අමරසැති අහර ද මා සනසා
ඔබ දෙව්දුවකි මට නැත කිසි ලෙස කුකුසා

දින පෙර ලෙසින හෙට දිනයෙද පෙම් කරමු
යන දිනයක එකට අපි දෙව්ලොවට යමු
පින ගෙවුණ දා ආපහු මනුලොවට එමු
පණ ඇති තුරා යලි යලි සසරේ බැඳෙමු


-කතන්දරකාරයා

මෙන්න ගිය අවුරුද්දේ කතන්දරේට පාර:
http://kathandara.blogspot.com/2012/07/hbd2ukh.html


(image: http://ashfaqueshah-photography.blogspot.com.au/2011/07/i-will-love-you-forever.html)

Saturday 13 July 2013

පහේ පන්තියට පාස් වීමේ ජොලිය බෙදා ගැනීම - Wishing for smooth sailing from here


මං ඉස්කෝලේ යන කාලේ එක පන්තියක ඉඳන් අනිත් පන්තියට පාස් වෙන එකේ ජොලිය දැනුණේ එක පාරටම නොවෙයි, ටික ටිකයි.

ඔන්න ඉස්සෙල්ලාම මාසෙක විතර දිග නිවාඩු කාලයක් එනවානේ. ඉතිං අපිට මේ කාලෙට ලැබෙනවා නෑදෑ ගෙවල්වල යන්න. ගිහින් නතර වෙලා සතියක් දෙකක් ඉන්න.

ඒ කාලේ මං වැඩියෙන්ම කැමති ආච්චී ලා ගේ ගෙදර යන්නයි. ඒ කියන්නේ මගේ අම්මා ගේ දෙමව්පියන් ගේ ගෙදරයි.

එහේ තමයි අර පරණ රසවාහිනී සහ ශ්‍රී සඟරා එකතු කරලා පෙට්ටගමක දාලා තිබුණේ!

ආච්චි ලා ගේ ගෙදර තිබුණේ රත්නපුරයෙනුත් එහා කලවාන කියන පැත්තේ. ලොකු කන්දක් පාමුල, වෙලක් අයිනේ. කන්දේ උඩ ඉඳලා ගලන සුන්දර දිය දහරක් මේ වත්ත මැද්දෙන් ගලාගෙන යනවා.

වත්ත කිව්වාට මේක මේ පර්චස් තිහක විතර කෑල්ලක්. ඒකෙනුත් බාගයක්ම කුඹුරු කෑල්ල.

වත්තේ මැද්දෙන් ගලන පොඩි ඇල්ලට අමතරව එක සීමාවකිනුත් පොඩි වතුර පාරක් ගලාගෙන ගියා. මේ දෙකේම පොඩි පොඩි මාලු ඉන්නවා. දණ්ඩි, තිත්තයෝ, හඳයෝ වගේ උන්. ඇල්ලේ වතුර එකතුවෙලා තියෙන එක තැනක ගල්පරයක් යට ලුල්ලු දෙන්නෙකුයි, මගුරෙකුයි හිටියත් එක්ක.

දැන් අපේ ළමයින්ට නම් ඒ මාලු හම්බ වෙන්නේ එක්කෝ සින්දුවක, නැතිනම් කතන්දරේක විතරයි.

මොකද ටික කාලෙකට පස්සේ ආච්චී ලාගේ ගෙදර පිටිපස්සේ තිබුණු කන්ද උඩ ගෙවල් හැදෙන්න පටන් ගත්තාම අර වතුර පාරවල් ටික ටික හිඳිලා මාලුවෝ සේරම නිවන් ගියා!

නිවාඩු කාලේ ලොකුම ජොලිය එන්නේ අළුත් අවුරුද්දේ අළුත් පන්තියට යන්න අළුත් පොත් ගන්න යන දවසේ ඉඳලායි.

මේ සඳහා අපි ගියේ කඩවත මහජන පොත් සාප්පුවට, ඒ ගොල්ලන් ගේ බ්‍රාන්ච් එකක් කිරිබත්ගොඩත් තිබුණා මගෙ හිතේ.

පොත් ගන්න හැමෝටම සාප්පුවෙන් නොමිලේ කාලසටහනක් දෙනවා. රුපියල් සීයකට වඩා පොත් ගත්තොත් සියල් කියන ජාතියේ පෑනකුත් දෙන කාලයක් තිබුණා වගේත් මතකයි.

ඒ විතරක් යැ? අළුතින් සපත්තු හරි පටි සපත්තු හරි කුට්ටමක් ගත්තාමත් නොමිලේ කාලසටහනක් දෙනවා. මිහිර පත්තරේ එක්කත් එකක් ලැබෙනවා.

අළුතින් පොත් ගත්තාම ඒවාට පිටකවර දාන්න ඕනෑ. ගෙදරින් අපිට බ්‍රව්න් පේපර් අරන් දෙනවා ඒ සඳහා. නමුත් අපි කැමති බිස්කට් පැකට් ඔතලා තියෙන ප්ලාස්ටික් වගේ කොලවලින් පිටකවර දාන්නයි.

අපේ පන්තියේ හිටපු එක කොල්ලෙක් පොර ගේ තාත්තා වඩ කරපු කොම්පැනියෙන් විකුණපු සබන් වගේ ජාතියක් ප්‍රචාරණය සඳහා ප්‍රින්ට් කරපු පෝස්ටර් වගයක් අපිට ඒ දවස්වල ශත පහ ගානේ විකුණුවා. ටිකක් ඕෆ්සෙට් ප්‍රින්ටින් වගේ ගතියක් තිබුණු ඒ කොලවලටත් අපි හරි ආසයි.

කවර දැම්මට පස්සේ තමයි පොත් කියවන්නේ.

අළුත් පන්තියට අළුතින් ගන්න පොත්වලින් මං ඉස්සෙල්ලාම කියවන්නේ සිංහල පොතයි.

පහේ පන්තියේ සිංහල පොතේ තිබුණු රකුසු හාමි පරදවපු සුබලයා ගේ පින, එතකොට පිඹුරා ගේ ඇඟ උඩ පැලවෙලා තිබුණු පොල් ගහේ නැගිලා පොළොන්නරුවේ ගිහින් ආපු සිංහල මැන්චෝසන් සාමි ගේ කතාව හෙම මට තාම මතකයි.

ඉතිං පහේ පන්තියට පාස් වීමේ ජොලිය බෙදා ගන්නයි ඔය මතක සටහන ලිව්වේ.

මේ බ්ලොග් එක කියවන, කමෙන්ට් කරන, ෂෙයා කරන සියළු දෙනාටම පොදුවේ මං එදා ස්තුති කළා.

ඒ මගේ ලිපියට කමෙන්ටුවක් දාපු බුද්ධි ළමයා තමන් ඇඳපු සිත්තර කීපයකට සබැඳි දාලා තිබුණා. ඉතිං මට හිතුණා ඒ සේරම ආපහු මෙතන පළ කරන්න. ස්තුතියි බුද්ධි.

අද ඉඳන් පහේ පන්තියේ සිස්සස්සේ කඩඉම දක්වා යන මේ ගමන හැලහැලැප්පීම්වලින් තොරව කරගන්න ලැබේවි යැයි හිතනවා.

අළුත් කතන්දරයක් සමග ලබන සතියේ නැවත හමුවෙමු.

-කතන්දරකාරයා

මෙන්න බුද්ධි ගේ සිත්තර ටික.






Thursday 11 July 2013

කතන්දරකුමාර හතරෙන් පහට පාස්වෙයි - Grade five, here I come! [Kathandara Blog]


මං තුනේ පන්තියෙන් හතරට පාස් වුනේ කලර්ස් එක්ක. ඒ ගැන කතන්දරේ මීට අවුරුද්දකට විතර කලින් දවසක ලියා පලකළා මතකයි.

හතරේ පන්තියේ දී වුණු සිද්ධි කීපයක් ගැන කතන්දරත් මං හිතන්නේ මං මීට කලින් ලියලා තියෙනවා.

එයින් මුල් කතන්දරේ තමයි මයි ෆර්ස්ට් ක්‍රෂ් හෙවත් කතන්දරකුමාර ට මුල්ම පෙම් සිතුවිලි පහලවුණු කේස් එක.

ඒ සිද්ධියට අදාල ශානිකා කිරිබත්ගොඩයි, කතන්දර දෙක තුනකම චරිත මවපු නාලන්ද පියතිලකයි දෙන්නම මේ පාර වැටිලා තිබුණේ හතරවෙනි ශ්‍රේණියේ මං වැටුණු 4-A පන්තියටමයි.

නපුරු ගුරුවරයෙකු ගේ දරුණු වේවැල් පහරකට අසාධාරණ ලෙස ලක්වුණු කතන්දරකුමාර ගේ ඇඟේ ලේ සෙලවුණේත් මේ හතරවෙනි ශ්‍රේණියේ දී ම යි.

ඔය අතරේ පළමුවෙනි වාර විභාගය තිබුණා.

තුනේ පන්තියේ අන්තිමවාරයේ දී ප්‍රීතිකා සුබෝධිනී නම් ගෑල්ළමයා ගේ අවාසනාව නිසා පන්තියේ පළමුවෙනියා වුණු මංතුමා මෙන්න බොලේ දෙවෙනියා වෙලා!

වස ලැජ්ජාවයි. පන්තියේ පළමුවෙනියා වෙලා තිබුණේ කෙල්ලෙක්. ඒ ශානිකා කිරිබත්ගොඩ.

හිතේ දුකෙන් රිපෝටර්ට් කාඩ් එක අරගෙන ගෙදර යන මං පොඩි දෙයක් නිරීක්‍ෂණය කළා. ඇත්තටම පොඩි දෙයක් නොවෙයි, ලොකු දෙයක්.

වාර විභාගයේ දී මට ලැබුණු ලකුණු 100, 90, 80 වගේ ඒවා දැන් රිපෝර්ට් කාඩ් එකේ බැලින්නම් 95, 85 වගේ විදියට "රවුන්ඩ්-ඕෆ්" වෙලා.

වතුවැඩ, අත්වැඩ, චිත්‍ර වගේ ටීචර්ට ඕනෑ විදියට ලකුණු දෙන විෂයයන්ට සහ රචනා ලියන්න තියෙන සිංහල සහ ඉංගිරිසි මිස අනෙක් විෂයන්ට මේක වෙන්න කිසිම විදියක් නෑ. මොකද අපට සාමාන්‍යයෙන් වාර විභාගේ කියලා දෙන්නේ ප්‍රශ්ණ දහයක් විතරයි. ඉතිං දහයේ ගුණාකාරයක් මිස ලකුණු වෙන විදියක් වෙන්න බෑ.

මං ඔය ගැන ගෙදර ගිහිල්ලා අම්මටයි තාත්තටයි කිව්වත් ඒ ගොල්ලෝ ඕව හොයන්න අද කාලේ දෙමව්පියන් සමහර විට කරනවා වාගේ අපේ ඉස්කෝලෙට ගියේ නෑ.

ඒ දවස්වල ඉස්කෝලේ වර තුනට විභාග තුනක්ම තියෙනවා.

දෙවෙනි වාර පරීක්‍ෂණයේ දී ත් ඒ වගේම මට පරාජය හිමිවුණා. ශානිකා කිරිබත්ගොඩ ජය ගත්තා. කොහොමටත් කෙල්ලෝ මැහුම් වලට ගන්න ලකුණු අපිට වතුවැඩවලින් මැච් කරන්න අමාරුයි!

තුන්වෙනි වාරයේ දී, ඒ කියන්නේ වසරේ අවසාන වාර පරීක්‍ෂණයේ දී ග්‍රහයෝ මගේ පැත්තට කැරකුණා!

මට හොඳට මතකයි අපේ පන්තිබාර මැගිලින් ටීචර් පන්තියේ ඉස්සරහා තියෙන තමන්ගේ මේසේ ලඟ වේවැල් පුටුවේ වාඩිවෙලා අපේ ලකුණු එන්ටර් කරනවා රිපෝර්ට් කාඩ්වලට.

ඒ දවස්වල ටීචර් ලා පාවිච්චි කෙරුවේ තීන්ත දාන ෆවුන්ටන් පෑන්. හතරේ දී අපි ලිව්වේ පැන්සල්වලින්. පහේ පන්තියේ දී තමයි පැනෙන් ලියන්න අවසර ලැබුණේ!

හැමෝගෙම රිපෝර්ට් කාඩ්වල ලකුණු දාලා, ඒවායේ එකතුවත් ලියලා, දැන් ඔන්න මැගිලින් ටීචර් "වෙනියා" දාගෙන යනවා.

රානිකා පළමුවෙනියා. මං දෙවෙනියා. නාලන්ද තුන්වෙනියා ද කොහෙද!

ඊට පස්සේ ටීචර් මොකක් දෝ හේතුවකට ආපහු ලකුණු එකතු කරලා බැලුවා.

මළ කෙලියයි! ටීචර්ට ලකුණු එකතු කරනකොට වරදක් වෙලා.

පන්තියේ පළමුවෙනියා කතන්දරකුමාර!

දැන් අපි සේරම ටීචර් ගේ මේසේ වටේ බලාගෙන ඉන්නවා. මැගිලින් ටීචර් සැලුනේ නෑ.

"කතන්දරකුමාර ගිහින් අල්ලපු පන්තියේ ධනවතී ටීචර්ගෙන් මිල්ටන් බෝතලේ ඉල්ලාගෙන එන්න!"

දැන්, දන්නෝ දන්නවා ඇති, ඔය මිල්ටන් කියන්නේ ඒ ටිපෙක්ස් නැති කාලේ තීන්ත පෑන්වලින් ලියපු දේවල් මකන්න පුළුවන් ද්‍රාවණයක්, නිකං තිනර් වගේ ජාතියක්!

මං ගිහින් මිල්ටන් බෝතලේ ගෙනවා.

ටීචර් ඉරටු කෑල්ලකින් මිල්ටන් ගාලා මගේ රිපෝටර් එකේ 2 කපලා 1 දැම්මා.

මංතුමා හතරේ පන්තියේ පළමුවෙනියා විදියට පහේ පන්තියට පාස් වුණා!

-කතන්දරකාරයා

ප/ලි:
පහුගිය අවුරුදු හතර ඇතුලත මේ බ්ලොග් කට්ට ඇදගෙන යන්නට මට උදව් කළ, මගේ කතන්දර අටසිය පනහෙන් එකක් හරි කියවූ, ප්‍රතිචාර දැක්වූ, මා සමග හිතවත් කම් ඇතිකරගත්, මා සමග වලියට ආ, මා සමග අමනාප වුණු ඔබ සියළු දෙනාටම මගේ ස්තුතිය මෙයින් පුද කරමි.

මා කිසිවෙකු සමග අමනාපයක් නැත.

මේ සේරම කරන්නේ හිතේ සතුටින් තබා ගන්නයි. හිතට සතුටක් නොලැබුණහොත් බ්ලොග් ලිවීමද එතැනින් නතර වෙනු ඇත.

ඒ කේසේ වෙතත්, මංතුමා හෙට සිට පහේ පන්තියේ ය!

Tuesday 9 July 2013

කඩේ යැවීම හෙවත් විනෝද් කුමාර ට එන්න එපා කියන්න - A love story in short


ස්වයංවරය කියන කේස් එක දන්නවානේ?

ඉස්සර රාජකුමාරිකාවන් ගේ අත පතා අවට රාජ්‍යවල කුමාරුවරු පෝලිමේ ආපුවාම ඒ අය අතරින් එක්කෙනෙක් තෝරාගන්න වරම ලැබෙන්නේ කුමාරිකාවටයි.

කුමාරවරු සිංහාසන වගේ පුටුවල උජාරුවට වාඩි වෙලා ඉඳිද්දී කුමාරිකාව සබේට ඇවිල්ල මල් මාලේ දානවා තමන් ගේ සිත ගත් පොරට.

ඊට පස්සේ කේස් ක්ලෝස්. කපල් එක හනිමූන් යනවා. පැරදිච්ච එවුන් දුකටත් එක්ක තරලසාර බඳුනක් බීලා අස්සයා පිටේ නැගලා ගමට යනවා.

ඔය වගේ දර්ශනයක් තිබුණා හද්ද පරණ සිංහල චිත්‍රපටියක. ගාමිණී ෆොන්සේකා කොණ්ඩයක් දාගෙන රඟපෑවේ.

යුනිවසිටිවලට අලුතින් යන කෙල්ලන්ටත් ඔය වගේම ස්වයංවර අවස්ථා එළැඹෙනවා. මොකද කැම්පස් එකට අලුතින් කණ්ඩායමක් ආපුවාම ඒකේ ඉන්න කෙල්ලෝ වටේ කැරකෙන එක සීනියර් බැචස්වල කොල්ලන් ගේ පාරම්පරික කාර්යභාරය නේ.

සමහර වෙලාවට ඒ සීනියර් ලා පරදවලා එකම බැච් එකේ කොල්ලොත් (තාවකාලිකව හෝ!) ජය ගන්නා අවස්ථා ඉතිහාසයේ නැතුවාම නොවෙයි.

මං මේ කියන්න යන්නේ ඒ වගේ ඓතිහාසික කතන්දරයක්.

ඔන්න එකෝමත් එක රටක එකෝමත් එක විස්ස විජ්ජාලෙකට ආපු අළුත් බැච් එකේ හිටියා ටිකක් ඇහැට කනට පේන හැඩකාර කෙල්ලෙක්. ඔය ඉටිකිරිස් කියන්නේ, අන්න ඒ ආකාරයේ.

සති තුන හතරක් යන කොට මුළු විශ්ව විද්‍යාලේම ෆැකල්ටිවලින් අඩු වශයෙන් එකෙක් හරි මේ කෙල්ලට ට්‍රයි කරනවා. මං හිතන්නේ ලයිස්තුවේ ඉන්න ඇති දහ දෙනෙක්වත් අඩු තරමේ. ෆර්ට් ඉයර් එකේ ඉඳලා ෆයිනල් ඉයර් එක වෙනකං විතරක් නොවෙයි, ගිය අවුරුද්දේ විභාගේ කරලා දැන් අධ්‍යයන කාර්ය මංඩලයේ වැඩ කරන අය පවා.

ඒ එක්කම විශ්ව විද්‍යාලේ එක කොනක තියෙන "කම්මලේ" ඉඳලා අනිත් කොනේ තියෙන "කෘන්තක රදනක පීඨය" දක්වාම පොරවලුත් මේ ලයිස්තුවේ හිටියා.

මාස දෙකක් යන කොට මේ පෝලිමේ හිටිය හුඟ දෙනෙක් අර
මට බෑහ්
අපි සහෝදරයෝ වගේ ඉම්මු
මා එක්ක තරහා වෙන්න එපා
ඉගෙනීම අවසාන කරලා ඉම්මු
වගේ සම්මත කෑලි සෙට් එකෙන් එකක් අහගෙන පැත්තකට වුණා. තවත් සමහරු ඒවායින් උකටලී නොවී දිගටම සටනේ හිටියා.

මේ අතරේ තවත් අය පෝලිමට එකතු වුණා.

ඉතිං, ඔහොම යනකොට මේ අය අතරින් එක වාසනාවන්ත පොරකට ආවා ආරාධනාවක්. රජමාළිගාවට ඇවිල්ලා කුමාරිව මුණ ගැසෙන්න කියලා.

ඔන්න ඉතිං අපේ පොර ළමයාත්, තමන් ගේ ඉස්තරම්ම ලා නිල්පාට අත් කොට කමිසේ යි, කළු කලිසමකුයි ඇඳගෙන හොඳාවයින් බාටා දෙකක් දාගෙන ඒ අහවල් දවසේ කුමාරිකාව බැහැ දැක්කා.

අතීත කතා කතා කරලා, ටික ටික මාතෘකාව ඇවිත්, කෙල්ල ඔන්න කිව්වාලු කොල්ලාට මෙහෙම.

"එදා මං ඔයා ගේ යෝජනාව අරහෙම කියලා රිජෙක්ට් කළායින් පස්සේ මට හරියට දුක හිතුණා. මං ඒ ගැන පහුගිය මාසෙම කල්පනා කළා. අන්තිමේදී මට තේරුණා මං ඔයාට ඒ කියපු කතාව වැරදියි කියලා. අයෑම් සොරි, රනුක!"

ඔන්න ඔහොමයි රනුක ස්වයංවරණයෙන් ජය ගත්තේ.

හැබැයි පොඩි කේස් එකක් තිබුණා.

ලව් එක ඔෆීෂියලි පටන් ගන්නවාත් එක්කම කුමාරිකාව ගෙන් පොඩි ඉල්ලීමක් ආවා මෙන්න මෙහෙම.

"රනුක, මං මේක ඔයාට කියන්නමයි කියලා හිටියේ. මට අර අහවල් බැච් එකේ ඉන්න විනෝද් මේ දවස්වල හොඳටෝම ට්‍රයි කරනවා."

"එයා මගෙන් ඊයේ ඇහැව්වා. ආයේ හෙට එනවාය කිව්වා ඒ ගැන මගේ තීරණය දැන ගන්න. ඉතිං, එයා මෙහේ ඇවිල්ලා මාව මුණ ගැහිලා මගෙන් ඒ බව අහගන්නවාට වඩා හොඳයි නේද, ඔයාම එයාට ඒ පණිවිඩේ දුන්නා නම්?"

"ඔයාට පුළුවන්ද අද ආපහු යන ගමන් එයාට හෙට මාව හම්බවෙන්න එන්න එපා කියලා පණිවිඩයක් දීගෙන යන්න, ප්ලීස්?"

රනුක ආදරේ වෙනුවෙන් ඉස්-ඉස්සෙල්ලාම කඩේ ගියේ එහෙමයි.

-කතන්දරකාරයා

ප/ලි:
ස්වයංවරය ද, ස්වයංවරණයද?

මා දැන සිටිය වචනය ස්වයංවරයයි. නමුත් ඊයේ මධුර ඔන්ලියන් එකේ චෙක් කළ විට යන්නට ස්වයංවරණය නිවරදි බව දැඛ ඒ වචනය මෙහි යෙදුවා.

අද මගෙන් තිසර ඒ ගැන ප්‍රශ්ණ කළ පසු සරසවි ශබ්දකෝෂය බලා එය ස්වයංවරය ලෙස වෙනස් කළා.

ස්වයංවරණය යන්න බහුවරණය මෙන් තමන්ගේ තේරීම යන නිවරදි සේ පෙනෙන අරුත දෙන බව මට හිතුණත් මෙතනට අවැසි අදහස තමාටම වරයක් දී ගැනීම විය යුතුයි.

ස්වයංවරය (http://www.sinhaladictionary.org/)


(image: http://commons.wikimedia.org/wiki/File:Joker_playing_cards.jpg)

Sunday 7 July 2013

කම්මැලිකමට හේතුව මොකක්ද? - Sunk in Laziness


අද මහා කම්මැලි දවසක්.

උදේ හතට විතර ඇහැරුණත් ඇඳෙන් බැස්සේ නමහමාරට. ඒකත් කලේ හාමිනේ රත්කරලා ආපහු ගෙනත් දුන්නු තේ මග් එකේ පිහිටෙන්. උදේට කෑවේ දහයට!

නිකං ඈලි මෑලි දුබල ගතියක් තමයි ගතට සිතට දැනෙන්නේ. ගමන බිමනත් නිකං අනේපිඬු සිටුතුමා වැස්ස වෙලාවේ ඇවිදිනවා වගේ තමයි කෙරෙන්නේ. වෙනදා වගේ කඩිසරව ඩබල් එකේ ඇවිදින්න හිතෙන්නේ නෑ.

මං කාලෙකට ඉස්සර කියෝලා තියෙනවා චිත්ත පරිපෝෂිතයෝ කියලා පරිවර්තන පොතක්. මට මතක හැටියක මේකේ තියෙන්නේ පිටසක්වලින් ආපු ජීවීන් කොට්ඨාශයක් මිනිස් සිත් ඇතුලේ පරපෝෂිතයෝ විදියට ජීවත් වෙන සීන් එකක්. මේ වගේ චිත්ත පරපෝෂිතයෝ බෝ වුණාමද මන්දා මේ කම්මැලිකම එන්නේ.

ඉස්සර ලංකාවේ තිබුණා මට මතකයි ඩියුරෝල් කියලා විටමින් ටොනික් එකක්. මේ කියන්නේ අර තරලසාර ජාති මාකට් එකට එන්න ඉස්සර.

ඩියුරෝල් ගැන ඒ දවස්වල රේඩියෝ එකේ වෙළඳ සේවයේ ගිය ජීංගල් එකක් තිබුණා මෙන්න මෙහෙම. මේක කියන්නේ කෙල්ලෙක් තමන්ගේ බෝයි ෆ්‍රෙන්ඩ් ගැනයි.

දිනෙක ආව මගෙ සුපෙම්වතා
කල්පනාවෙනි නැතුව කතා
ඇහුවාම විමසලා මොකැදැයි කියා
ඔහු කිව්වා,
කම්මැලියි ඇඟට පණ නෑ කියා
මා කීවා ගන්න
ඇඟ පතට පණ එන්න - ඩියුරොල්
කඩිසරව ගැවසෙන්න - ඩියුරොල්
යකඩ චෙරි රස ඇතී - ඩියුරොල්
මිහිරි විටමින් ටොනික් - ඩියුරොල්


මං හරියටම දන්නේ නෑ දැන් මේ ඩියුරෝල් කියන විටමින් ටොනික් එක ලංකාවේ මාකට් එකේ තියෙනවද කියල. ඔය උඩ තියෙන ෆොටෝ එක නං හොයා ගත්තේ වෙබ් එකෙන්.

මෙන්න තවත් පරණ රේඩියෝ ජිංගල් දෙකක්.
http://kathandara.blogspot.com/2012/06/sunlight-jingle.html

-කතන්දරකාරයා

ප/ලි:
කම්මැලිකම හෙට වෙනකොට දුරුවේවා!

(image: http://www.afipaafricanmarket.com/store/product160.html)

Friday 5 July 2013

කතන්දරකාරයා කණ්ණාඩි පොළඟා වුණු හැටි - Four eyed monster


"සාමා සහ අමර සල් මල් කඩනවා"
"අම්මේ අන්න මාමා එනවා"
වැනි දශක කිහිපයකට පසුවත් මතකයේ රැඳී ඇති වැකි අඩංගු වූවද, සමස්තයක් වශයෙන් බැලූ කල, පළමුවෙනි ශ්‍රේණියේ සිංහල කියවීමේ පොත ඉතා නීරස එකක් වූ බව මගේ මතයයි. පස් වසරක දරුවෙකු ගේ කුතුහලය අවුස්සන, කියවීමේ හෝ ලිවීමේ උනන්දුව නිසි පරිදි ඇතිකරවන වැඩි දෙයක් එහි අඩංගු වූවා යැයි මම නොසිතමි.

මා "කුමර දිවිය" ගත කළ ඒ කාලයේ අද මෙන් ළමා කියවීමේ පොත් සුලභව නොතිබුණි. ගම්බද කණිෂ්ඨ පාඨශාලා පරිසරයේ දී පුස්තකාලය යන්න කිසිදා අසා නොතිබුණු මහාප‍්‍රාණ පිරි අමාරු වචනයක් ම විය.

දෙවන තුන්වන ශ්‍රේණිවලදී මේ තත්වය තරමක් හෝ හොඳ අතට වෙනස් විණි.
ඩෙංකුටු, ඩෙංකුටු පෙරහැර එනවා කවි පන්තිය,
මෙන්න අපේ පූසී
ඉල්ලනවා දෝසී
ඌට ටිකක් වීසි
කරන්න කෝ සීසී
එහෙම දෝසි වීසී
කරන්නේ නෑ සීසී
ඕනෑ නම් දෝසී
දෙන්න ඕනැ කාසී
යනාදී වශයෙන් කියවුණු දෝසි කවි,
විලියම් ටෙල් ඔහු ගේ පුතා ගේ හිස මත තැබූ ඇපල් ගෙඩියකට දුන්නෙන් විදි වීර කතාව,
වැනි සිංහල පොතේ ආ පාඩම් අපේ කියවීමේ රුචිය වැඩි දියුණු කළේය.

පෙර කී පරිදි ළමුන් සඳහා ලියවුණු අමතර කියවීමේ පොත් නොතිබුණු ඒ කාලයේ ඒ අඩුව පිරවුණේ පිරවුනේ ලේක් හවුසියෙන් පල කළ “මිහිර” ළමා පත්තරයෙනි.

මා දෙවෙනි ශ්‍රේණියේ සිටියදීම වාගේ මගේ පියා මා වෙනුවෙන් මිහිර ළමා පත්තරය මිලට ගන්නට පටන් ගත්තේය. මිහිර පත්තරයට මුහුදු වෙරළ ගැන කවියක් ලියා මා තුන්වෙනි ශ්‍රේණියේ දී ම කවියෙකු බවට පත්වූ හැටි ගැන කතාව මම මින් පෙර මෙහි සඳහන් කර ඇත්තෙමි.

මිහිර ළමා පත්තරයට අමතරව සිළුමිණ පත්තරයේ ළමා පිටුවද, එහි පලවූ බන්දුල හරිශ්චන්ද්‍රගේ චිත‍්‍රකතාව ද මා ඉතා ආශාවෙන් කියවූවෙමි.

කුඩා කළ සියට එලෙස කියවීමට හුරුවීම ඉතා හොඳ දෙයක් බවට කිසිදු විවාදයක් නොමැත. නමුත් ඒ ඇබ්බැහි වීමේ යම් අනිසි ප‍්‍රතිපල ද ඇති බව මට නොබෝ කලෙකින් වැටහිණි.

එයට හේතුව නම් මා පුවත්පත් කියවන විට ඒවා දෙඇසට ඉතා ලංකරන බව තාත්තා ගේ ඇස ගැටීමයි.

"මාත් දැක්කා ලොකු පුතා හැම තිස්සේම පත්තරේ මූණේ ඇලවෙන තරමට ලං කරළා තමයි කියවන්නේ!" අම්මා ද තාත්තාගේ නිරීක්ෂණය තවත් තහවුරු කළාය.

මේ කාලය වෙන විට මගේ පියා හතළිස් හතලිස් ඇඳිරිය ලබා කණ්ණාඩි පලඳින්ට පටන් ගෙන බොහෝ කල් ගොස්ය.

"මං මෙයාව මේ සෙනසුරාදාම සිරිවර්ධන එකට එක්කරගෙන යනවා ඇස් බලවලා කණ්ණාඩි දෙකක් අරං දෙන්න" තාත්තා කීවේය.

කණ්ණාඩි සාප්පුවේ දී කරණ ලද විවිධ අක්ෂී පරීක්ෂාවන් ගැණ මගේ මතකයේ වැඩි විස්තරයක් නැතත් එහි අවසාන ප‍්‍රතිපලය ලෙස සතියකට පසුව මට කුඩා කණ්ණාඩි දෙකක සාඩම්බර හිමිකරුවා වීමට මට ඉඩ ලැබුණි.

මගේ උපැස් යුවල දුම්මල පැහැ ගත් ප්ලාස්ටික් රාමුවකින් ද, ඕවාලාකාර වීදුරු කැබලි දෙකකින් ද සමන්විත විය. එය පාසලේදී ද, පොත්පත් කියවන වේලාවේදී ද නිතිපතා පාවිච්චි කළ යුතු යැයි මට උපදෙස් ලැබුණි.

තුන්වන ශ්‍රේණියේ දෙවන වාරයේ පමණ එක් සඳුදාවක මා පාසල් ගියේ කොණ්ඩය පීරන්නට පහසුවෙන පරිදි ගෑ පොල් තෙල් බිදු කාන්දුවෙන නළලට මදක් යටින් දෙඇස වැසෙන සේ පැළඳි මගේ දුම්මල පාට කණ්ණාඩි කුට්ටමෙන් සැරසීගෙන ය.

අපේ පන්තියේ පමණක් නොව, අපේ මුලූ ප‍්‍රාඨමික පාසලේම සිටි කණ්ණාඩි දැමූ එකම සිසුවා මා වී යැයි සිතමි. ඉදින් එදිනම කණ්ණාඩි පොළඟා යනුවෙන් වූ සුරතල් නමක් අපේ පන්තියේ සිටි කවුදෝ මදාවි කොල්ලෙක් මට පට බැඳීම එතරම් පුදුමයක් නොවේ.

ඒ කණ්ණාඩි පොළඟා යන අන්වර්ථ නාමයේ සුරතල් බව කොතරම් ද යත්, මා ඒ කණ්ණාඩි යුවල පැළඳ පසල් ගියේ එකම එක සතියක් පමණි.

ඉනික්බිතිව (තවත් වසර දහතුනක් යනතෙක්ම) මගේ කණ්ණාඩි පැළඳීම ගැන මගේ පියාටත් මටත් අමතකව ගියේය.

මම ද මිහිර ළමා පත්තරයෙන්, සිළුමිණ පත්තරේ ළමා විශේෂාංගයෙන්, චිත‍්‍රකතාවෙන් ඔබ්බට ගොස් නවකතා කියවන්නට පටන් ගත්තෙමි.

මා එලෙස මුලින්ම කියවූයේ ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම්කොට" නමැති නවකතාවයි.

එතෙක් මිහිර ළමා පත්තරය කියවූ "කණ්ණාඩි පොළඟා" ඒ පිම්මත් සමගම මිහිරෙන් මිහිරට පත් වූයේය.

-කතන්දරකාරයා


(image: http://kidglasa.info/harry-potter-prescription-glasses-frames/)

Wednesday 3 July 2013

යාද්වි තිදාද ම්යනවි - topsy turvy!


ඔය මං දාලා තියෙන මාතෘකාව අප්සෙට් වගේ පේන අයට පස්සේ කේස් එක තේරේවි කියලා හිතනවා.

දැන් ඉස්කෝලවල තියෙනවා නේද විවිධ මොටෝ, ඒ කියන්නේ ආදර්ශ පාඨ?

ඉස්කෝල කිව්වාම ඉස්සෙල්ලාම කියන්න ඕනෑ, මං ජීවිතේ ඉස්කෝල තුනකට ගිහින් තියෙනවා.

වැඩිපුරම කාලයක්, ඒ කියන්නේ පළමුවෙනි ශ්‍රේණියේ ඉඳලා පස්වෙනි ශ්‍රේණිය දක්වා අවුරුදු පහක්, හිටියේ ගමේ කණිෂ්ඨ විද්‍යාලයේ. ඒ ඉස්කෝලේ මං ගිය කාලේ මොටෝ එකක්, ඒ කියන්නේ ආදර්ශ පාඨයක් තිබුණේ නෑ. පසු කාලෙක ඉස්කෝලේ ලොකු මහත්තයා "සූර්යාලෝකයෙන් පුෂ්පයෝ පිබිදෙති, විද්‍යාලෝකයෙන් ශිෂ්‍යයෝ පිබිදෙති!" කියලා කෑල්ලක් දා ගත්තා.

මං ඊළඟට ගියේ අපේ ගමේ ඉඳලා කිලෝ මීටර් පහක විතර දුරින් තිබුණු මධ්‍ය මහා විද්‍යාලයටයි. අවුරුදූ හතරක් කල් ගතකරපු ඒ ඉස්කෝලේ ආදර්ශ පාඨය වුණේ "මා නිවත්ත අභික්ඛම" කියන එකයි. ඒ පාලි පාඨයේ තේරුම "නොනැවතී ඉදිරියට යන්න!" වගේ එකක් බවයි මගේ මතකය.

දහයේ පන්තියෙන් පටන් අරගෙන පාසල් අධ්‍යාපනය හමාර කරලා අස්වීමේ සහතිකය ගන්න දවස වෙනතුරු සිව් වසරක් ගතකරන්න ඊළඟට මං ගිය ඉස්කෝලේ ආදර්ශ පාඨය "අප්පමාදෝ අමතපදං" කියන ධම්මපදේ කෑල්ලයි.

සිංහල බෞද්ධ ඉස්කෝලවලට පාලි කෑලි දාන්න ඇත්තේ එදා ඕල්කොට්ලා බෞද්ධ මිෂනාරි පාසල් හදන කොට යුරෝපීයන් ගේ කතෝලික සහ ක්‍රිස්තියානි පාසල්වලට දාලා තිබුණු ලැටින් කෑලිවලට හරි හරියට මැච් කරන්න වෙන්න ඇත. හරියට අර කැරොල් වගේ කියන්න භක්ති ගීත පටන් ගත්තා වගේ!

මේ වගේ සිංහල ඉස්කෝල කීපෙකම ආදර්ශ පාඨය හැටියට දාගෙන තියෙන කෑල්ලක් තමයි "විද්‍යා දදාති විනයං" කියන්නේ.

මේකේ තේරුම තමයි විද්‍යාවෙන් ඒ කියන්නේ අධ්‍යාපනයෙන් ලැබෙන දැනුමෙන් විනය ඒ කියන්නේ හික්මීම ලැබෙනවා ය කියන එකයි.

අර මං කලින් කියපු "අප්පමාදෝ අමතපදං" වගේ තවත් බණ පදයක් කියලයි සමහරු හිතන්නේ මේ "විද්‍යා දදාති විනයං" කියන එක. මං දැක්කා එක්තරා පාසලක සිසුන් විසින් කරගෙන යන වෙබ් අඩවියකත් මේක ධම්ම පදයේ ගාථාවක කොටසක්ය කියලා ලියලා තියෙනවා.

නමුත් මං අහල තිබුණු විදියට නම් මේක පාලි නොවෙයි සංස්කෘත පාඨයක්. පොඩ්ඩක් තව හොයල බැලින්නම් මේක සංස්කෘත ශ්ලෝකයක මුල් පදය.

සම්පූර්ණ ශ්ලෝකය මෙන්න මෙහෙමයි.

විද්‍යා දදාති විනයම්, විනයාධ්‍යාති පාත්‍රතාම්
පාත්‍රත්වාධනමාප්නෝතී, ධනාද්ධර්මම් තතා සුඛම්


ඒ කියන්නේ අධ්‍යාපනයෙන් (දැනුමෙන්) විනය ලැබෙනවා, විනයෙන් කීර්තිය ලැබෙනවා, කීර්තියෙන් ධනය ලැබෙනවා, ඒ ධනයෙන් හොඳ වැඩ කිරීමෙන් සතඔට ලැබෙනවා වගේ අදහසක්.

සියල්ලටම මුල් වෙන්නේ දැනුම. ඒ දැනුම, අධ්‍යාපනය ලබා දෙන පාසල්වලට මේ පාඨය යොදන්නේ ඒ හින්දයි.

ඒත් මේ පහුගිය දවස්වල සිදුවුුන "ගවුම් වාටි", "පොසොන් කුඩූ" වගේ කේස්වලදී සිද්ධවෙලා තියෙනවා වගේම, මං කලින් ලියලා තියෙන "නපුරු ගුරුවරු" කතන්දරවල දී (*)ළමයින්ට මුහුණ පාන්නට සිදුවුණු අනතුරු ගැන හිතන කොට මට තේරුණේ මේ විසි එක්වෙනි සියවසේ දෙවෙනි දශකයේ දී ත් අපේ පාසල් ගුරුවරු බොහෝ දෙනා හිතන්නේ "අධ්‍යාපනයෙන් විනය බිහිවේ!" කියලා නොවෙයි, "විනය හැදුවොත් අධ්‍යාපනය ලැබෙයි!" කියලා බවයි.

ඒකනේ ළමයින්ට හරියට උගන්වන්න කලින්ම ඉස්සෙල්ලා දඬුවම් කරන්නේ. එහෙම කරන්නේ විනයගරුක කරලා අධ්‍යාපනය ඉබේම පිහිටුවන්නයි.

"විද්යා දදාති විනයම්" කියන සංස්කෘත ශ්ලෝකයේ මුල්පදය කණපිට පෙරළිලා.

ඒ හින්දා තමයි මං අද ටයිටලේ - යාද්වි තිදාද ම්යනවි - කියලා යෙදුවේ!

-කතන්දරකාරයා

(*) මෙන්න පාසල්වල නපුරු ගුරුවරු ගැන කතන්දර කීපයක්.

1. මිලාගිරියේ St Pauls නපුරු විදුහල්පති සහ අපේ කාලයේ නපුරු ගුරුවරු
2. මිලාගිරියේ St Pauls වල විතරද නපුරු ගුරුවරු ඉන්නේ?
3. රුපියල් දෙකේ නපුරු ගුරුවරු
4. නපුරු ගුරුවරුන් ගෙන් ගැලවෙන්නම බැරිද?
5. රසික නානායක්කාර ලියා එවූ දුක හිතෙන කතාවක් - නොකළ වරදට ඇයි මේ දඬුවම්?


(image: http://www.stephenhicks.org/tag/immanuel-kant-on-education/)

Monday 1 July 2013

එංගලන්තේ අංකල් ගේ කතන්දර කීපයක් - Once upon a time in England


අපේ අංකල් කෙනෙක් මං පුංචි කාලේ මා එක්ක කියපු කතන්දර කීපයක් කිසිදු විශේෂ හේතුවක් නැතුවම මට අද සිහිවුණා.

ඇත්තටම මේ සිහිවීම මහා පුදුමයක්, මොකද මේ කියන අංකල්ව මං ජීවිතේටම දැකලා තියෙන්නේ එකෝම එක දවසයි, ඒකත් මං හතරේ පන්තියේ විතර ඉන්න කාලේ දවසකයි.

අංකල්ව මං ඉන් පස්සේ දැකලා නැත්තේ පොර ඉන්නේ එංගලන්තේ නිසයි. එදා මං පොරව දැක්කේ පොර නිවාඩුවකට එංගලන්තයේ ඉඳලා ආපු කාලෙකට මටත් මගුල් ගෙදරක් වැනි දෙයකට සහභාගී වෙන්න ඒ ආච්චිගේ ගෙදර ගිහින් රාත්‍රිය ගත කරන්න සිදුවුණු නිසයි.

ඉන් පස්සෙත් පොර විටින් විට ලංකාවට එන්න ඇති, නමුත් අපි දෙන්නගේ ජීපීඑස් කෝඩිනේට්ස් ආහපු සමපාත වෙලා නෑ මේ වෙනකම්ම.

මෙන්න අංකල් කියූ කතන්දර කීපයක්.

1. ස්විමිං පූල් එකේ චූ කිරීම
අංකල් පාසල් ගිහින් තියෙන්නේ කොළඹ රාජකීය විද්‍යාල අහල පහල තියෙන ඉස්කෝලෙකටයි.

පොර ගේ පන්තියේ හිටපු එක හොඳම සගයෙක් තමයි අද එක්තරා රටක රජකම් කරන්නේත්.

අංකල්කාරයා කියපු විදියට පොරවල් අල්ලපු ඉස්කෝලේ තියෙන පිහිනුම් තටාකයේ යටට කිමිදිලා චූ කරලා එනවාලු.

උඩ ඉඳිද්දී චූ නොකරන්නේ මං හිතන්නේ කහපාට දිය වැල අනිත් අයට පේන නිසා වෙන්න ඕනෑ.

2. සුද්දන් ගේ තේ බීම
ඒ දවස්වල අපි තේ හදන්නේ මෙහෙමයි.

තේ කොල කහට අඩුවෙන්
සීනි හැඳි තුනයි
කිරි පිටි හැඳි දෙකයි

අපේ අංකල් කාරයා කියපු විදියට එංගලන්තේ මිනිස්සු තේ බොන හැටි මෙහෙමයි.

හොඳට කහට තේ
සීනි පොඩ්ඩයි, නැතිනම් ඇත්තෙම නෑ
කිරි ඉතාම ටිකයි

පස්සේ දවසක මං එහෙම තේ එකක් හැඳුවා, කට හරියේ තියන්ණ බැරිවුණා

3. අංකල් ගේ ජොබ් එක
අංකල් එංගලන්තේ ජොබ් එක විදියට වැඩ කෙරුවේ මානසික රෝහලකයි. පොර ගේ රාජකාරිය තමයි ගෙවල්වල ඉන්න පිස්සන්ව අල්ලලා හොස්පිටල් එකට ගේන එක.

කොහේ හරි ගෙදරක පිස්සෙක් ඉන්නවා නම්, අල්ලපු ගෙවල්වලින් හොස්පිටල් එකට කෝල්ස් එනවලු. ඉතිං පොරවල් කරන්නේ වාහනේක ගිහින් ඒ කියන පිස්සන්ව අල්ලගෙන හොස්පිටල් එකට ගේන එකයි.

අංකල් ගේ කතන්දර කට ඇරගෙන අහං හිටපු මට පොරගේ කයිවාරුවේ තරම තේරුණේ ඊලඟට පොර මගේ අහපු ප්‍රශ්නය හින්දයි.

අංකල්: පුතා ගේ වයස කීයද? කීයේ පන්තියේ ද දැන් ඉන්නේ
මම: මට දැන් නමයයි. මං ඉන්නේ හතරේ පන්තියේ
අංකල්: දැන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවාද?
මම: නිරුත්තරව ඇඹරෙමි
අංකල්: අයියෝ ඔය කාලේ මට ගර්ල් ෆ්‍රෙන්ඩ්ලා දෙන්නෙක් විතර හිටියා.

පොර ගේ අනිත් කතන්දරවලත් හරය හොයන්න ඒ වගේ අතිශයෝතිය ඇරලා ගන්න වේවි!

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් අංකල් ලා ගේ කතන්දර කීපයක්!

1. අංකල් ල ගෙ කතා - Uncle 1
2. අංකල් ල ගෙ කතා - අංකල් නම්බර් ටූ සහ අංකල් නම්බර් ත්‍රී
3. අනේ අපොයි අංකල් ගෙ බයිලා
4. මේක විට්ටර් අංකල් ගේ අන්තිම ලාස්ට් සීඩී එකද? - Victor Ratnayake's Nil Kandu Yaye
5. අංකල් කාල් ගේ තේ හැදීම - Uncle Carl makes Tea
6. සීයලා පස් දෙනෙක් අංකල් ලා කාලේ ඡායාරූපයක් - Who's who of Sinhala literature
7. අංකල් ගේ පුත්තු දෙන්නා - Uncle and his two sons
8. ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!
9. ගුවන් විදුලි ප්‍රශ්ණ විචාර තරගය - Take it or leave it!


(image: http://www.gooverseas.com/study-abroad/england)