Saturday 30 March 2013

මුරලිදරනුත් පොරක් ද බං? - Is Muralitharan a hero?


ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් කරනු ලැබුවා යැයි කියවෙන දේශපාලන ප්‍රකාශයක් ගැන මේ දිනවල ලංකාවේ ජනතාව අතර යම් සංවාදයක් පවතී. ඔහු ගේ රුව සහ එම වදන් ඇතුලත් ග්‍රැෆික්ස් නිර්මාණ මුහුණු පොතේ හිටු කියා ෂෙයාර් වේ. ලයික් වේ. ඒ පිළිබඳව කමෙන්ට් කෙරේ.

සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවක් ලෙස පලකරන්නට අද මේ කතන්දර කෑල්ල ලිවීමේ මගේ අරමුණ මුරලිදන්ගේ ඒ ප්‍රකාශය ගැන කිසිවක් කීම නම් නොවේ.

මුරලිදරන් ගේ ප්‍රකාශය ගැන කෙරෙන කතා බහේදී සමහරවිට පැන නැගිය හැකි ප්‍රශ්නයක් නම් මෙයයි.

"මුරලිදරනුත් පොරක්ද බං?"

මගේ අරමුණ අන්න ඒ ප්‍රශ්නයට පොඩි උත්තරයක් දීමයි.

උත්තරය කෙටියෙන් මෙසේය.

ඔව්, මුරලිදරන් පොරකි!
ඒ ඔහු ස්පින් දන්නා නිසාය.
තමන් දන්නා ස්පින් වලින් ටෙස්ට් විකට්ටු 800 ක් ලබා ලෝක වාර්තාවක් පිහිටවූ නිසාය.

දැන් මෙන්න ඒ වාර්තාව පිළිබඳව අපි හැම දෙනාම ඉතා හොඳින් දන්නා වැඩි විස්තර.

මුරලිදරන් ගේ විකට් 800 ලෝක වාර්තාව නුදුරු දිනෙක බිඳ හෙලනු ලැබේ යැයි සිතිය නොහැකි වාර්තාවකි. කිසි දිනෙක එම වාර්තාව බිඳ හෙලනු නොලැබෙතැයි ද ඇතමුන් අනාවැකි ද පවසා ඇත.

මුරලිදරන් තම 800 වෙනි ටෙස්ට් විකට්ටුව ලබා ගත්තේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ටෙස්ට් තරග මාලාවක අවසාන තරගයේ අවසන් විකට්ටුව ලෙසය.

කලින් සැලසුම් කර තිබූ අයුරින් එය මුරලිදරන් ගේ අවසාන ටෙස්ට් ඉනිම ද විය. ඉන්දියන් පිලේ අවසන් ක්‍රීඩකයා වෙනත් පන්දු යවන්නෙකු ගේ පන්දුවකට හෝ දුවද්දී හෝ දැවී ගියේ නම් මුරලිදරන්ට මෙම 800 සීමාවට ඒමට නොහැකිවෙන්නට ඉඩ තිබුණි. නමුත් චිත්‍රපට තිර රචනයක ලියා තිබුණාක් මෙන් සියල්ල අපූරුවට සිදුවුණි.

මුරලිදරන් පොරක් යැයි නොපැකිල කිව හැක්කේ එ නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
අතුරු කතාවක් කියනවා නම්, ඕස්ටේ‍ර්ලියානු හිටපු ටෙස්ට් නායක ස්ටීව් වෝ තම ගමේ ක්‍රීඩා පිටියේ, එනම් එස්සීජී යේ දී ඕස්ට්රේලියානු පිලේ ක්‍රිකට් පිටියේ පරම හතුරා වන එංගලන්ත කණ්ඩායමට එරෙහිව තමන්ගේ අවසාන ටෙස්ට් තරගය ක්‍රීඩා කරමින් එම තරගයේ දෙවන දිනයේ අවසාන පන්දුවට හතරේ පහරක් ගසා ශතකයක් වාර්තා කිරීම ද මේ ආකාරයේ අපූරු සිදුවීමකි. තම ඉනිමේදීම ඔහු තම 10,000 ටෙස්ට් ක්‍රිකට් ලකුණ ද ලබා ගත්තේය.

වසර 2009 ජූලි මස 11 දා සිට පවත්වාගෙන එන මගේ මේ කතන්දර බ්ලොගයේ ලබන සඳුදා පලකෙරෙන 801 වෙනි කතන්දරය ස්ටීව් වෝ පිළිබඳව ලියන්නට මට සිතේ.


(image: http://eu.fotolia.com/id/10692793)

Thursday 28 March 2013

ජා-ඇල ඇන්ටි ගේ චීන මොලේ - One dollar goes a long way


ඇත්තටම මේ ඇන්ටි ජා-ඇල කෙනෙක් නොවේ. නමුත් ඇන්ටි සම්බන්ධව මේ කතන්දරය මතක් වුනු වේලේ මට සිහිවූයේ ජා-ඇලයි.

එයට හේතුව නම් "ඔය මොලේ හොඳයි ජා-ඇලේ දාන්න!" යැයි අප කුඩා කාලේ අසා තිබුණු කියමන යැයි සිතමි.

මේ කතන්දරය කියවූ පසු ඔබට ද සමහර විට එලෙස සිතෙනු ඇත.

අප කුඩා කල වාසයකල නිවෙස්වල විදුලි බලය නොතිබුණි. අප රාත්‍රිය ගත කලේ භූමිතෙල් කුප්පි ලාම්පු, චිමිනි ලාම්පු සහ සමහර දිනවල පැට්‍රොල්මැක්ස්වල ආධාරයෙනි.

විදුලිබලය නොමැති කල නල ජලය කොහෙන්ද? නිවසේ පාවිච්චිය සඳහා ලිදෙන් වතුර බාල්දයෙන් ඇද කළයකට දමා ගෙන ආ යුතුවිය. අපට තිබුනේ එක ඇලුමිනියම් කළයකි. එනිසා එයට දිනකට දෙතුන්වරක් වතුර ගෙන ආ යුතු විය.

වතුර ගෙන ඒම සැලකුනේ නිවසේ කෑම ඉවීමේ ක්‍රියාවලියේ ම කොටසක් ලෙසයි. එනිසා මේ කර්තව්‍යය සාමාන්‍යයෙන් කලේ අපේ අම්මා ය.

මේ කියන දිනවල මගේ වයස අවුරුදු දොලහකි. මල්ලිලා ගේ වයස අවුරුදු එකොලහක් සහ නමයක් විය. අප සඳහා නිවසට මිලට ගන්නා ලද පුවත්පත් වූයේ ලේක් හවුසියේ නවයුගය සඟරාව සහ මිහිර පත්තරය සහ මල්ටිෆැක්ස් ප්‍රකාශනයක් වූ සිත්තර චිත්‍රකතා පත්තරයයි. සිත්තර බාලම මල්ලීටය. සතුට පත්තරය අනෙකාටය. මගේ පත්තරය වූයේ නවයුගය සඟරාවයි. මේ සඳහා මුදල් දුන්නේ තාත්තා බව අමුතුවෙන් කිව යුතු නැත.

ජා-ඇල ඇන්ටි කතාවට ඇන්ටර් වෙන්නේ මෙහිදී ය. ඇය මේ දිනවල අප නිවසේ නැවතී සිටිමින් ආණ්ඩුවේ රැකියාවක් කළාය.

"අක්කා මේ ලිඳෙන් වතුර ගේන්න කරදර වෙන්නේ ඇයි?" ඇය අපේ අම්මාගෙන් ඇසුවාය.

"පුතාලාට පුළුවනිනේ අම්මට උදව් කරන්න!" ඊලඟට ඇය පැවසුවේ අප දෙස බලමිනි.

අප කිසිවක් පවස්නට පෙරම ජා-ඇල ඇන්ටි තම යෝජනාව මෙලෙස ඉදිරිපත් කළාය.

"හොඳයි, පුතාලා අම්මාට වතුර ගෙනත් දෙන්න. මං ඒ වෙනුවට පුතාලාට පත්තර ගන්න සල්ලි දෙන්නම්."

"එහෙම හොඳයි නේද අයියේ?" ඇය ඊලඟට අපේ තාත්තා විමසුවාය.

තාත්තාට හෝ අම්මාට හෝ මල්ලිලාට හෝ මට හෝ මේ යෝජනාවට විරුද්ධ වෙන්නට කිසි හේතුවක් තිබුනේ නැත.

මල්ලිලා දෙනෙනාට සතියේ දින දෙකක් බැගින්ද, මට දින තුනක්ද වතුර ගෙන ඒමේ රාජකාරිය පැවරිණි.

එදා සිට වසර දෙකක් පමණ ගොස් අප වෙනත් නිවසකට යන තුරුම අප තිදෙනාට පෙරකී පත්තර ලැබුනේ ජා-ඇල ඇන්ටිගේ සාදර අනුග්‍රහයෙනි.

ඒ සඳහා ඇය ඒ කාලයේ මිළ ගණන් අනුව මසකට රුපියල් දහයක්, පහලොවක් පමණ වැය කරන්නට ඇත.

නමුත් එහි ප්‍රායෝගික වටිනාකම ඒ මෙන් තුන් ගුණයකි. මේ බලන්න.

1. අප තිදෙනාට මසකට රුපියක් දහයක් වටිනා පත්තර ලැබේ.
2. අපේ අම්මාට මසකට රුපියක් දහයක් වටිනා වතුර ලිදෙන් ගෙන ඒමේ සේවයක් ලැබේ.
3. අපේ තාත්තාට මසකට රුපියල් දහයක් ඉතුරුවේ.

සතියකට දින තුනක් වතුර ගෙනා මා වෙනුවෙන් මිලට ගත් පත්තරය මිලෙන් අඩුම එක වීම හැර මට මේ වැඩ පිළිවෙල ගැන කිසි ප්‍රශ්නයක් නොතිබුණි. ඇත්තටම කියනවානම් නවයුගය මිළෙන් අඩු වුවද, සීඔට සහ සිත්තර චිත්‍රකතා පත්තර හා සසඳා බලන විට වටිනාකමින් වැඩිම එක විය.

මට මේ කතන්දරයත් සමග ජා-ඇල සිහිවුණු හේතුව මුලින් කීවෙමි.

ජා-ඇල ඇන්ටිගේ මොලය චීන මොලයක් යැයි මා කීවේ මේ කතන්දරයත් සමගම මට විදේශ ණයවලින් සිදුවෙන සංවර්ධන ව්‍යාපෘති සිහිවුණු නිසාය.

-කතන්දරකාරයා

ප/ලි:
වැඩි විස්තර සහ පැහැදිලි කිරීම් කමෙන්ට්ස් මගින් ලැබෙනු ඇතැයි සිතමි.


(image: http://bpfaus.com/Free-Loan-Health-Check.php)

Tuesday 26 March 2013

හාෆ් ඩේ එකක් දැම්මෙමි - Half day casual leave


ඉස්සර මං අර කෝපරේසොමේ (බොසී යටතේ) වැඩ කරන කාලේ අපිට අවුරුද්දට දවස් හතක් අනියම් නිවාඩු තියෙනවා. ඊට අමතරව දවස් විසි එකක් ලෙඩ නිවාඩු තියෙනවා. තවත් දවස් හතක්ද කොහෙද ඇනුවල් ලීව්!

කැෂුවල් ලීව් දැම්මට ඔය ලෙඩ නිවාඩු විසි එකෙන් දවස් බාගයක් හරි ගන්න එක හැබැයි හරිම පාඩු වැඩක්.

මොකද දවස් විසි එකම ලෙඩ නිවාඩු දාන්නේ නැතුව ඉතුරු කර ගත්තොත් ඊලඟ අවුරුද්දේ ජනවාරියට දවස් තිහක අමතර පඩියක් බෝනස් විදියට ලැබෙනවා.

ඒත් ඒකෙන් දවස් බාගයක් හරි අඩුවුනොත් කෙලින්ම තුනෙන් එකක් කැපෙනවා. දවස් විස්සයි දශම පහක පඩිය විතරයි ලැබෙන්නේ. ඉන් පස්සේ ගන්න හැම දවසක ලෙඩ නිවාඩුවකටම දවසක පඩියක් අර බෝනස් එකෙන් අඩුවෙනවා.

ඉතිං ඒ දවස්වල අපිට අසනීප වෙන්නේ එහෙමත් දවසක ඉතාම කලාතුරකින්. කොහොමටත් ඒ දවස්වල මං යුනිවසිටියෙන් අවුට් වෙලා අවුරුදු දෙකක්වත් නොගිය කොල්ලා!

පස්සේ අර චරිත සහතිකය හෙම අරගෙන එක්තරා තිප්පොලක වැඩට ගියාට පස්සේ නම් නිවාඩු දාන්න වුනේ නෑ කසාඳ බඳින්නවත්. කොන්ෆරන්ස් එකකට සට යන්නයි පොඩි පස්තාච්චි වැඩකට ගිහින් එන්නයි විතරයි නිවාඩු දැම්මේ.

ඒකටත් එක්ක මේ කාලේ!

දැන් ඉතිං පවුල් පන්සල් වෙලා නිසාත්, ක්ලොක් එක කැරකෙන නිසාත්, විටින් විට නිවාඩු දාන්න වෙනවා.

ඔන්න අද මං දැම්මා හාෆ් ඩේ එකක්.

උදේ නමය හමාර විතර වුණා වැඩ පොලට යනකොට. අපේ බොසා අද නෑ. පොර ගිහින් පොඩි කන්ෆරන්ස් එකකට මැලේෂියාවේ එන්නේ ලබන සුමානේ.

හදිසි වැඩ දෙක තුනක් අහවර කරලා, තේ කෝප්යක් බීලා, දවල්ට හාමිනේ හදලා දුන්නු සැන්විච් දෙක කාලා දවල් එක හමාරට විතර ඔෆීසියෙන් ආවා.

සති දෙකකට පාරක් අපිට මේ වගේ කැෂුවල් හාෆ් ඩේ එකක් දාන්න පුළුවනි.

හැබැයි පුතෝ මේකයි කේස් එක!

නිවාඩු දාන්න ලේසියි. නමුත් හෙට වැඩට ගියාට පස්සේ මංතුමාම මගේ වැඩ ටික කරන්න ඕනෑ. ආයේ වෙන කවුරුවත් නෑ මං නැති වෙලාවේ මගේ වැඩ ටික කරලා තියන්න.

එහෙම බැලුවාම ඉතිං නිවාඩු දැම්මත් නිකං නොදැම්මා හා සමානයි.

මේකට තියෙන එක විකල්පයක් තමයි වැඩ ගෙදර ගේන එක. ඉස්සර මං එක, එක තිප්පොලවල්වල වැඩ කරන කාලේ මගේ රාජකාරිවලින් සෑහෙන කොටස් කෙරුවේ ගෙදරදී.

ගොනා මං විකුණුවා මීට අවුරුදු හයකට කලින්.

දැන් නං ඉතිං ඔෆිස් එක ගෙදර ගේන්නේ නෑ, නෑ, නෑ ම යි!

දෙවෙනි විකල්පය තමයි කෝච්චියක් එලවනවා වගේ ජොබ් එකකට මාරු වෙන එක. මොකද එහෙම වුනොත් මං නැති වුනත් කොච්චිය දුවනවානේ. මං හෙට ගියාම තියෙන්නේ අළුත් කෝච්චියක්. ඊයේ එක නොවෙයි!

-කතන්දරකාරයා

ප/ලි:
ගෙදර පොඩි ඉලෙක්ට්‍රික් වැඩක් තිබුණා කාලයක් තිස්සේ අතපසු වුණු. අද කලින් ආපු නිසා බාස්සුන්නැහේ කෙනෙකුට එන්න කියලා ඒක අහවරක් කර ගත්තා.

කළුවර වැටුනාට පස්සේ මිදි යුෂ ටිකක් එක්ක හැප්පුණා. සියේට දහතුන හමාරක් වුණාට ඒවත් නරකම නෑ!


(image: http://erikagsimon.com/unemployed-and-overqualified-the-benefits-of-underachieving/lazy-rubics-cube/)

Sunday 24 March 2013

ගෑල්ළමයින් ට පොඩි කුකිං පාඩමක් : හස්බන්ඩලාටත් ලකුණු ලබා ගත හැකි ක්‍රමයකි - Roti making for dummies : A reference for the rest of us


ඊයේ සවස් යාමයේ අප නිවසේ ඇති වූ දෙබසක් මෙසේය.

ඇය: කතී (ඒ ඇය ආදරයෙන් මා අමතන ආකාරයයි), අද රෑට බත් නැතුව වෙන මොනවා හරි කමුද?

මම: හා! ඔයා මොනවද හදන්න යන්නේ?

ඇය: මට නං අද හරිම කම්මැලියි අනේ. ආප්පවත් ගේමු.

මම: ඔයා කිව්වට මට නේ කඩේ යන්න වෙන්නේ……. වෙන මොනවා හරි කමු.

ඇය: එහෙනං අර ඔයා හරිම රසට හදන රොටී හදන්නකෝ මෙයා, කාලෙකින් හැදුවෙත් නෑනේ?

මම: හ්ම්!

මෙවැනි රාජකාරී මට විටින් විට පැවරේ. එවැනි වේලාවට මා ගයන ප්‍රියතම ගීතය වන මිල්ටන් පෙරේරා ගේ "වැඩ කරලා ඉවර නොමැත දෙවියනේ..." ගයමින් මම කුස්සියේ වැඩ ඇරඹීමි.

මෙන්න මං ඊයේ රොටි හදපු හැටි අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රාවෙන්.

උවමනා ද්‍රව්‍ය:
තිරිඟු පිටි සහ ගා ගත් පොල් ඇති පමණ
ලුනු ස්වල්පයක්


සාදන ක්‍රමය:
පලමුව පිටි, පොල් සහ ලුනු භාජනයකට දමා වතුර ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණයට වතුර වැඩි වුනොත් පිටි සහ පොල් එකතු කර ගන්න.


දැන් පිඟානක් මත පිටි ස්වල්පයක් ඉස, මිශ්‍රණයෙන් කොටසක් ගෙන එය ඔබ දැක ඇති රොටියක හැඩයට සාදා ගන්න. මෙය රොටිය වැඩිම ලෙස හැඳින්වේ.


රොටි පුච්චන්නේ තාච්චියේය.


එක රොටියක් පිච්චෙන අතර තව එකක් වඩවා රෙඩි කර තබා ගත යුතුයි.


අවශ්‍ය නම් පැරලල් ප්‍රොසෙසින්ද කළ හැක.


මෙන්න බලන්න සාදාගත් රොටි වැජඹෙන අපූරුව.


හාමිනේ කට්ට සම්බලයක් සහ ෆීෂ් කරියක් සාදා සහයෝගය දැක්වූවාය.


රොටි සියල්ල අළෙවි විය.


රොටි සාදන්නාට වේතනය ලෙස උම්බා එකක් නොව දෙකක්ම ලැබුණි.


-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න තවත් විස්තර.
1. රොටි මිශ්‍රණයේ පදම එක්වරම ගන්නට තරමක පුරුද්දක් අවශ්‍ය වේ.
2. ගා ගත් පොල් නැති නම් ඒ වෙනුවට ඩෙසිකේටඩ් කොකනට් ද භාවිතා කළ හැක.
3. රොටිය වඩවා ගැනීමේදී තෙල් ඉතා ස්වල්පයක් එක් කර ගැනීමෙන් රොටි කර වීම වැලකේ. නිමාවද පියකරු වේ.
4. කට්ට සම්බෝලය සෑදීමට ගන්නා ද්‍රව්‍ය රොටි මිශ්‍රණයටම එකතු කර අනා කට්ට සම්බල් රොටි සාදා ගත හැක. එවිට එහි ඇති ලොකු ලූණූ බැදී හොඳ රසක් ලැබේ.
5. වෙනත් වෑංජන් කතන්දර ද ඇත.

(image: http://www.agr.state.il.us/programs/bees/pages/bee_with_flower.htm & http://www.kateathome.com/love-birds/)

Friday 22 March 2013

වැඩක් නොකර තැග් ගැසිම සහ මූණු පොතේ ටැග් කිරීම - Evil FB tagging


"කොහෙද මේ උඹ යන්න හදන්නේ?" මා බයිසිකලයට ගොඩවෙනවා දකින තාත්තා විමසයි.

"යාළුවෙකු ගේ ගෙදර යනවා, යාගොඩ."

"ගියාට කමක් නෑ, තැග් ගැහි ගැහි ඉන්නේ නැතුව ගිය තැනකින් ඉක්මනට ආපහු වරෙං!"

තැග් ගැසීම - එය තාත්තා භාවිතා කළ වචනයකි. එයින් ඔහු අදහස් කලේ අප යම් ස්ථානයකට ගොස් ඒ ගමනේ අපේ අරමුණ ඉෂ්ඨ කරගත්තායින් පසුව වහාම ආපසු නොපැමිණ තවදුරටත් එහිම කල් ගතකරමින් කරන අනවශ්‍ය රස්තියාදු වීමයි. රස්ටිෆයි වීමයි.

අප ඒ කාලයේ නිතරම යාළුවන්ගේ ගෙවල්වල, ගම් සභා පුස්තකාලයේ රස්තියාදු ගැසූ නිසාත්, යම් වැඩක් කිරීමට පටන් ගෙන සුළු මොහොතකින් එය අමතක කර වෙනත් කතාබස්වල නියැලීම නිතරම කළ නිසාත්, මේ තැග් ගැහීම යන වචනය තාත්තා ගේ මුවින් නිතරම පිටවිය.

එදා කළ ඒ ආකාරයේ තැග් ගැසීම් අද නැති වුවද, දැන් අප අන්තර්ජාලයේ පැය ගණන් තැග් ගැසෙමින් ඉඳිමු. ඊ-මේල් බලමු, පත්තර බලමු, නැවත ඊ-මේල් බලමු, බ්ලොග් කියවමු, නැවතත් ඊ-මේල් බලමු, ෆේස් බුක් එකේ කල් මරමු, නැවතත් ඊ-මේල් බලමු, සයිබර් අවකාශයේ තැග් ගැහි ගැහි ඉඳිමු.

මා මේ අතත්‍ය ලෝකයේ කරන තැග් ගැසීමෙන් ගලවාගෙන නිසි මගට යොමු කරවන්නට තාත්තා අද නැත!

තාත්තා අද සිටියා වුවද, මා ගලවා ගන්නට නොහැකි වන එක් දෙයක් ඇත. එනම් මගේ තැග් ගැසීමක් නොව මා අනුන්ගේ ටැග් කිරීමට ලක්වීමයි.

මේ ටැග් කිරීම යනු මුහුණු පොතේ සිදුවෙන ටැගින් බව මා අමුතුවෙන් නොකිව්වාට ඔබට වැටහෙනු ඇත.

බොහෝවිට කණ්ඩායම ඡායාරූපයක් මුහුණු පොතට එක් කළ පසු එහි සිටින අය හඳුණාගැනීමට පහසුවෙනු පිණිස ඔවුන් නම් කිරීම නොහොත් ටැග් කිරීම සාමාන්‍යයෙන් සිදු කෙරේ. අප දන්නා පරිදි මෙමගින් ඒ ඒ පුද්ගලයින්ගේ මුහුණු පොතේ මුල් පිටුව මෙකී ඡායාරූපයට සම්බන්ධවෙන අතර ඔවුන්ටද, බොහෝවිට ඔවුන්ගේ මිතුරන්ටද මේ ගැන ක්‍ෂණිකව දැන ගැනීමට ඉඩ ලැබේ.

මෙය සමාජ සම්බන්ධතා ජාලයක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකිය හැක.

නමුත් ප්‍රශ්නය එය නොවේ. කිසිසේත්ම අදාල නැති ඡායාරූප, චිත්‍ර, ප්‍රචාරක දැන්වීම් යනාදියට අපව බලෙන් ම ටැග් කිරීමයි.

මේ ලඟදී මා අත්විදි එවැනි එක් සිදුවීමක් මෙසේය.

පසුගිය දා කොලඹ පැවති එක්තරා උපන් දින සාදයකි. එය විශ්‍රාමිකයෙකු ගේ හැට පස්වෙනි උපන් දිනයයි. මේ පුද්ගලයා ගේ ක්ලාස් මේටයෙකු වූ "අහවලා" ද මේ උපන් දින සාදයට පැමිණ ඇත. මගේ ඥාතියෙකු ගේ දෙමව්පිය යුවල ද "අහවලා" මෙන්ම මේ බර්ත් ඩේ බෝයි ගේ ක්ලාස් මේට් වීම හේතුවෙන් මේ සාදයට ඒ හේතුව නිසාම ඇරයුම් ලැබ සිටියහ.

මෙවැනි තැනකදී අනිවා ඩෙෆා සිදුවෙෆන පරිදි "අහවලා" සමග සිට සමූහ ඡායාරූප වලට මේ දෙමව්පිය යුවල ද පෙනී සිටියහ.

මගේ ඥාතියා පසුවදාම කලේ ඒ "අහවලා" වටකරගෙන තම දෙමව්පියන් සහ අනෙකුත් ක්ලාස් මේට්ස් ලා සිටින ඡායාරූප දෙකක් මුහුණු පොතට අප්ලෝඩ් කර ඒවාට මංතුමාව ටැග් කිරීමයි.

මා මෙය දැක්කේ දිනක් පමණ ගෙවී ගිය පසුය. ඒ වෙන විට අප සැම දැක පුරුදු, නයිස් ෆොටෝ, වෝව්, බියුටිෆුල්, ආයිස් අප්පා, ෂෝයි යනාදී කමෙන්ටු ඒ ඡායාරූපයට ලැබී තිබුණි.

මා සම්බන්ධ නැති ඡායාරූපයකට මා ටැග් කිරීම කෙසේ වෙතත් "අහවලා" සිටින ඡායාරූපයකට මගේ නම ඈඳීම ගැන නම් මට කෙන්තියක් ඇතිවිනි.

දැනටමත් මගේ මිතුරන්ට ද "අහවලා" ගේ මූණත්තහඩුව සහිත මේ ඡායාරුපය පෙනෙනු ඇත. හතර විලිලැජ්ජාවකි.

මට වහාම මාව අන්ටැග් කර ගැනීමට හැකිය.

නමුත් එසේ කළා නම් මගේ ඥාතියා මේ කල වරදෙන් පාඩමක් ඉගෙන නොගනී.

එනිසා මා කලේ "කොහොමද මේ ෆොටෝ එකෙන් මාව අන්ටැග් කර ගන්නේ?" යනුවෙන් එහි කමෙන්ටුවක් දැමීමයි.

ඉන් මිනිත්තු කීපයකට පමණ පසු, "කරුණාකර මාව අන්ටැග් කරන්න. මෙය අපහාසයකි!" යනුවෙන් දෙවන කමෙන්ටුවක් දැමීමයි.

එමගින් බොහෝ අයට මේ ගැන මගේ විරෝධය දැන ගැනීමට සැලැස්වීමට මට හැකිවිය.

පැයකට පමණ පසු මා එයින් මා අන්ටැග් කරගෙන නොනැවතී නැවතත් මගේ අනුමැතියෙන් තොරව එලෙස කළ නොහැකිවන සේ මගේ මුණු පොතේ ආරක්‍ෂාව දැඩි කළෙමි.

-කතන්දරකාරයා

ප/ලි:
සිහිනෙන් ඔබ මට පෙනෙනව නම් -
නොනිදා මම ඉන්නම්

(image: http://jessicajttaylor.wordpress.com/2012/06/21/facebook-ethics-im-flattered-but-please-stop-tagging-me-its-annoying/)

Wednesday 20 March 2013

වික්‍රමතුංග ගේ සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් - Gravis iocos et low-gradu iocos secundum Udareous Vickramathungeous


පසුගිය දා තම සංගීත දිවියේ පනස්වෙනි වසර සම්පූර්ණ කළ නිහාල් නෙල්සන් එක විදියක පොරකි.

පොර ගැන අප බොහෝ දෙනෙකු අසා ඇති එක කතාවක් මෙසේය.

කලෙක ඉහත, ඒ කියන්නේ ජෝතිපාල ද ජීවත්වෙන කාලයේ, සිංහල විදග්ධයෝ ඇසුවේ අමරදේව ගේ, වික්ටර් රත්නයාක ගේ, නන්දා මාලනී ගේ සින්දු ය. මේවා හින්දුස්ථාන සංගීයට අනුව නිමවුණු, ගැයුණු, තබ්ලා, වයලීන්, බටනලා වැනි පෙරදිග වාද්‍ය භාණ්ඩ මගින් සංගීතය සැපයුණු ප්‍රබුද්ධ ගීත විය.

ඒ ගී ගැයුවෝ ප්‍රබුද්ධ ගායකයෝ ය.
ඒ ගී ලියූවෝ ප්‍රබුද්ධ කවියෝ ය.
ඒ ගී අසා රස වින්දෝ ප්‍රබුද්ධ ශ්‍රාවකයෝ ය.

දිනක් පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන අදහස් දැක්වූ ජෝතිපාල "ඒ අය ප්‍රබුද්ධ ගායකයෝ, අපි නිකං පීචං ගායකයෝ!" කියා තමන් පරාජය බාර ගෙන තිබුණි.

මේ වල විට තම ගී ඇතුලත් කැසට් පට බර ගාණක් නිමවා ජනප්‍රියක්වයේ ඉහල තැනක සිටි නිහාල් නෙල්සන් එසේ පරාජය බාර ගන්නා අයෙකු නොවීය.

ඊලඟ සතියේ පැවැත්වුණු සාකච්ඡාවකදී ඔහු පුවත්පත් කලාවේදියා සමග කියා තිබුණේ, "මල්ලී ඔවුන් ප්‍රබුද්ධ නම් අපි සුප්‍රබුද්ධ!" කියායි.

මේ කතාව මට සිහිවුනේ මගේ මිතුරෙකු ගැන අද සිහියට නැගුණු වෙලාවේ ය.

නමින් උදාර වික්‍රමතුංග වුණු ඔහු ද, රත්නායක මහත්තයා, දුමින්ද වැනි කතන්දර මවන්නෙකි. අද මේ කෙටි කතන්දරය මා ලියන්නට සිතුවේ උදාර ගේ උදාර වික්‍රම ගැන කියවෙන කතන්දර මාලාවක ඇරඹුම ලෙසය.

විශ්ව විද්‍යාලයට ඇතුලත් වු දින සිටම පාහේ අප හැම එකාටම විවිධ අන්වර්ථ නම් පට බැඳුණි. පොලා, ඇඩ්ඩියා, ලැම්බා, බෙලෙක්කයා, බොලොක්කයා, නට් ඇන්ඩ් බෝල්ට් යනාදී මේ සමහර නම්වල යම් කිසි තේරුමක් හෝ පසුබිමක් හෝ තිබුණද, බහුතරයක් පටබැදි නම්වලට කිසිදු පදනමක් තිබුණේ නැත.

එකිනෙකාට මේ ආකාරයට නම් හෙවත් කාඩ් දැමීමෙන් ද, එවායින් එකිනෙකා ඇමතීමෙන් ද අප එදා ලැබුයේ අවුරුදු දහනමයේ කොල්ලන් ලබන සරල සොමියක් පමණි. එසේ නොමැතිව, මේ නම්වල කිසිදු නින්දාවක් හෝ අපහාස කිරීමක් හෝ ගැබ් වී නොතිබුණි.

අපේ මේ නම් පට බැඳීමට නිතරම වාගේ භාජනය වූ එක් අයෙක් වූයේ උදාර යි. ඔහුට කොතරම් මේ ආකාරයේ නම් පට බැඳුනේද කිවහොත් ඉන් වැඩි හරියක් පැවතුනේ සතියක් හෝ දෙකක් පමණි. ඒ ඉන් පසු තවත් නමක් පබැඳුණු නිසාය. කොටින්ම දැන් ඒ උදාරගේ අන්වර්ථ නම් බහුතරයක් දැන් මගේ මතකයේ නැත.

"උඹලා මට මේ විදියට කාඩ් ගැහැව්වට දැනගනිල්ලා අපේ ගම්වල අපිට කියන්නේ 'අප්පෝ' හරි 'හාමු' හරි කියලා!" දිනක් උදාර අප සමග පැවසීය.

අපි එදා ඔහුට 'අප්පුහාමි' යැයි නමක් පට බැන්දෙමු!

තමන්ට උපහාසාත්මක කතා කියනු අසා එය ඉවසා සිටිය හැක්කේ කලාතුරකින් අයෙකුටයි. උදාර ට ඒ කුසලතාවය ඉතා කෙටි කලකින්ම ප්‍රගුණ කර ගැනීමට සිදුවිය. ඔහු ගැන කතන්දර කියමින් අප සිනා සයුරේ ගිලෙන අතරතුර උදාර ඒ නොඇසුණා සේ මුවින් නොබැණ සිටියි.

"උඹලා ගේ ඔය ජෝක්ස් සිරා ජෝක්ස් නොවෙයි, ඕවා මහ පීචං ජෝක්ස්!" උදාර එවැනි දිනක අප සමග කීවේය. "උඹලා දන්නවාද සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් අඳුනගන්නා විදිය?"

ඇත්තටම අපේ කණ්ඩායමේ එකෙක්වත් ඒ නිර්වචනයන් එදා අසා තිබුණේ නැත.

"ජොක් අහපු උන්ට වැඩියෙන් ජෝජ් එක දාපු එකාම හිනාවෙනවා නම් ඒක පීචං ජෝක්ස් එකක්!"

"සිරා ජෝක්ස් කියන්නේ ජෝක් එක අහපු උන් කොච්චර හිනා වුනත් ජෝක් එක දාපු එකා හිනා නොවෙනවා නම් විතරයි."

ඒ උදාර වික්‍රමතුංග අප සමග "සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස්" නිර්වචනය කළ ආකාරයයි.

-කතන්දරකාරයා

ප/ලි:
රත්නායක ජෝක්ස් සහ රත්නායක නොවන ජොක්ස් ගැන අසා නොමැති නම් මෙන්න එතැනට සබැඳියක්.
http://kathandara.blogspot.com/2010/03/new-classification-of-jokes.html

ඒ කතන්දරයේ ද මේ සිරා ජෝක්ස් සහ පීචං ජෝක්ස් ගැන සඳහනක් ඇත.


(image: http://lankanstuff.blogspot.com.au/2013/03/50-years-of-nihal-nelsons-music.html)

Monday 18 March 2013

දුමින්ද කඩේ යයි - Duminda goes shopping


දුමින්ද ගේ එයාපෝර්ට් ට්‍රිප් එක ගැන කතන්දරේ ලිව්වාට පස්සේ මට පොර ගැන අමතකම වෙලා ගියා. බැලුවාම දැන් අවුරුදු දෙකකටත් වැඩිය ගතවෙලා.

කතන්දර බ්ලොග් එක මුල කාලේ ඉඳලා කියවන අයට නම් සමහර විට තාමත් මතක ඇති දුමින්ද ගැන කියවුණු මෙන්න මේ කතන්දර දෙක.

1. කෝක් වානා - අරක්කු ඕනා
2. යුග දිවියක් ගායනා කිරීම

අද කතන්දරේ දුමින්ද කඩේ ගිය හැටි ගැනයි. මේතන කඩේ යනවාය කියන්නේ අනියම් අරුතෙන් නොවෙයි අර කතන්දරකාරයා කඩේ ගියා වගේ කඩේ යාමක්. වෙත් විදියකින් කියනවානම් විජේකෝන් නාන්න යනවා වගේ කේස් එකක් ගැනයි.

මේ කාලේ දුමින්ද හිටියේ පස්තාච්චි අදින්න ගිහින් තායිලන්තයේ. අපිට වඩා සීනියර් පොරක් වුණු දුමියා ඒ දවස්වලත් බැඳලා, තමන්ගේ සුන්දර බිරිද සුරංගි එක්කයි කැම්පස් එකේ විවාහක සිසුන් සඳහා තිබුණු ගෙදරක වාසය කෙරුවේ.

සුරංගි උයන්න පිහන්න දස්සයි. නිකම්ම නිකං, පරිප්පු, බෝංචි, බොම්බිලි කරෝල නොවෙයි, හොඳ මැකරෝනි, පාස්ටා, බුරියානි වගේ පොෂ් කෑම බීම හදන්නත් එයා එක්ස්පර්ට්. හොඳ හොඳ තායි කෑම, චීන කෑම ජාති හෙමත් හදලා ඒ දවස්වල සුරංගි දුමින්දට කවන්න ඇති.

ඔය කාලේ අපි කෂ්ටිය සතියේ දවස් හයක්ම කෑවේ චමරියක් දාගෙනයි. අපි කැම්පස් එකේම තිබුණු කඩේකට එලවලු බඩු ලයිස්තුව දෙනවා. උන් බඩු ගෙනත් දෙනවා. තායි කුක් කෙනෙක් ඇවිත් උයල දීලා යනවා.

බැඳපු කෂ්ටියට ඒ ක්‍රමය හොඳ මදි. ඒ ගොල්ලෝ පවුල් ටික එකතුවෙලා සති අන්තයේ කැම්පස් එකට ලඟ ටවුමක පොළට යන්නයි කැමති.

මුල කාලේ සුරංගි සහ දුමින්ද කපල් එක අනිත් අය එක්ක බස් එකේ ටවුමට ගිහින් බඩු අරගෙන එනකොට වෑන් (ලූත්) එකක් කුලියට අරගෙන ආපහු එන්නයි පුරුදු වෙලා හිටියේ.

ඉතිං ඔහොම කාලය ගතවෙන කොට සුරංගි ගර්භනී වුණා. නමුත් සති අන්ත ෂොපින් ගමන සුපුරුදු ලෙස කෙරුණා. හැබැයි තවත් මාස කිහියක් ගියාට පස්සේ සුරංගිට මේ ගමන ඔරොත්තු දුන්නේ නැති නිසා කඩේ යන වැඩේ මුළුමණින්ම බාරවුණා දුමින්ද ට.

දුමින්ද ඒ දවස්වල උයන්න තියා කුළු බඩු මොනවද කියලාවත් අඳුණන පොරක් නොවෙයි. ඉතිං සුරංගි කරන්නේ අර කතන්දර හාමිනේ මට නුගේගොඩින් ගේන්න ලියලා දෙනවා වාගේ බඩු ලයිස්තුවක් ලියලා දෙන එකයි.

1. පොටෑටෝස්
2. ටුමෑටෝස්
3. ෆිෂ්
4. බිග් අනියන්
5. මැකරෝනි
6. බීන්ස්
7. චිකන්
8. ගාර්ලික්
9. එග්ස්
10. කොරියන්ඩර් ලීව්ස්

මෙන්න රත්නායක මහත්තයා මට විස්තර කළ විදියට දුමින්ද තායි පොලෙන් බඩු ගන්න හැටි.

මුලින්ම එලවළු කඩේකින් අර්තාපල් ගන්නවා. ඒවානේ සුරංගි ගේ ලයිස්තුවේ අංක එකට ලියලා තියෙන්නේ. රත්නායක ලාත් ඔන්න එතනින්ම ගන්නවා තමන්ට අවශ්‍ය දේවල්. ඊට පස්සේ දුමින්දත් රත්නායක කපල් එක එක්ක යනවා.

දැන් කට්ටිය ඇතුල් වෙන්නේ මස් ජාති තියෙන කෑල්ලටයි. නමුත් දුමින්දට ඕනෑ මස් ගන්න නොවෙයි, ලයිස්තුවේ අංක දෙකට තියෙන තක්කාලි ගන්නයි.

"මේ ටුමෑටෝස් ගන්න තියෙන්නේ කොතනද රමණී?" දුමින්ද අහනවා.

"අයියෝ දුමින්ද අර අපි අර්තාපල් ගත්තු කඩේට අල්ලලු තැන තිබුණනේ!"

"ඇත්තද? එහෙනං මං ගිහින් අරගෙන එන්නම්."

ඉතිං දුමින්ද ආපහු එලවළු කඩ තියෙන පැත්තට ගිහිල්ලා තක්කාලි අරං එනකං රත්නායක ලා චිකන් ගන්නවා.

"හොඳයි මට දැන් ඕනෑ මාළු ගන්න" දුමින්ද කියනවා. ඔන්න කට්ටියම මාළු ලෑලි තියෙන පැත්තට ගිහින් මාළු ගන්නවා.

දැන් ඔන්න දුමින්ද බඩු ලයිස්තුව අරගෙන අංක තුනට ඉස්සරහින් ටික් එකක් දාලා රමණී ගෙන් අහනවා මෙහෙම.

"රමණී කොහෙන්ද මේ ලොකු ලූණු ගන්නේ. බොම්බයි ලූණූ?"

"ඇයි දුමින්ද අර අර්තාපල් ගත්තු තැන තිබුණනේ. ගත්තේ නැද්ද එතනින්?"

දැන් ඉතිං දුමින්ද යනවා ආපහු අර මුලින්ම ගිය කඩේට.

ඔන්න ඔහොමයි වැඩේ වෙන්නේ.

බඩු ලයිස්තුව සේරම අරං ඉවරවෙන කොට දුමියා පොළ වටේ පස් හය සැරයක් ගිහිල්ලා! රත්නායකලාටත් හොඳටම හති වැටිලා.

මං ඔය කාලේ හිටියා නම් දුමින්දට කියලා දෙනවා අර ඔපරේෂන් රිසර්ච්වල තියෙන ක්ලැසික් ප්‍රශ්නයක් වෙන ට්‍රැවලින් සේල්ස්මන් ප්‍රොබ්ලම් එක විසඳන ඇල්ගොරිතම් එකක්වත්.

සේරටම මුලින් සුරංගිට කිව්වා නම් බඩු ලයිස්තුව වර්ගීකරණයක් කරලා කොටස් කීපයකට හදන්න, දුමින්ද ගේ ෂොපින් ප්‍රශ්නය ටිකක්වත් ලේසි කරගන්න තිබුණා!

-කතන්දරකාරයා

ප/ලි:
මේ වෙනකොට නම් දුමින්ද බත් ටිකක්, පරිප්පුවක් වත් උයා ගන්න ඉගෙන ගෙන ඇති!


(image: http://www.bangkokpost.com/)

Saturday 16 March 2013

තායි කෑම රස බැලුවෙමි - Delicacies from Thailand


කාලෙකට පස්සේ තායි කෑම ජාති කීපයක රස බලන්න පුළුවන් වුණා.

මේකයි කේස් එක.

අපේ අසල්වැසි අංකල් කෙනෙකුගෙයි ඒ ඇන්ටිගෙයි වෙඩින් ඇනිවසරි එක ගිය සුමානේ තිබිලා තියෙන්නේ. අපි දැන ගෙන හිටියේ නෑ, අංකල්ලා ගේ දුව කියනකම්ම.

ඉතිං ඒ හේතුව පිට දාලා අද සෙනසුරාදා හෝටලයකට ගිහින් කෑම ගනිමු කියලා යෝජනාවක් ආවා.

හාමිනේයි, මායි දෙන්නත් එක පයින් කැමති වුණා වැඩේට. මොකද, උයන්න ඕනැත් නෑනේ!

ඉතිං අපි පිරිසම ගියේ තායි කෑම තියෙන හෝටලේකටයි.

මංතුමා නම් වැඩිපුර මේ තායි කෑම කන්න කැමති නෑ. මොකද අර පස්තාච්චි කුපාඩි කාලේ තායිලන්තේදී ඔරිජිනල් තායි කෑම කාලා තියෙන කෙනෙකුට, මේ හෝටල්වල තියෙන තායි කෑම ටිකක් වෙනස් බවකුයි දැනෙන්නේ.

අද නං හැබැයි කෑම වේල නැගලා ගියා.

මෙන්න අපි කාපු ඒවා.

1. තායි ජැස්මින් බත්


2. තායි ග්‍රීන් කරි (ටෝෆු)


3. චිකන් විත් කැෂු නට්ස් ස්ටර් ෆ්‍රයිඩ්


4. පඩ් තායි (නූඩ්ල්ස්)


5. බීෆ් සැලඩ්


මේ කෑම කන අතරේ හාමිනේ මතක් කළා එයා අර පොඩි චීනේ ගිහින් කාපු කෑම ජාතිවල රස ගුණ ගැන.

මට නම් මතක් වුනේ ඒ වගේ හාමිනේ රට ගිය දවසක දවසක මට රත්නායක මහත්තයාලා ගේ ගෙදරින් ලැබුණු කෑම ජාති ගැනයි.

තායි කැම නං රහයි. ලඟදීම දවසක හදලා බලන්න ඕනෑ. ඊට පස්සේ හදන විදිය ගැන ලියන්නම් කෝ.

එතකං හොඳ ළමයි වගේ කෙල ගිලින්නේ නැතුව මෙන්න මේ කෑම ජාතිවලින් එකක් දෙකක් හදාගෙන කන්න.

1. පරිප්පු
2. බීෆ් කතන්දර ස්ටයිල්
3. බීන්ස් විත් පීනට්ස්
4. බොම්බිලි කරෝල

-කතන්දරකාරයා

ප/ලි:
මෙය සන්ඩේ ඉස්පැෂල් ඇක්ස්ට්‍රාවකි.

(image: http://www.tigerwoods.com/news/article/2010100715480762/news)

Friday 15 March 2013

කොලඹ දියකිරි ගමට ගෙනගොස් කැකිරි කරි හදමු! - Random thoughts on school education in Sri Lanka

මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියකි.
ලිඛිත ඉතිහාසයේ ආරම්භයේ සිට මෑත අතීතය දක්වාම ලංකාවේ අධ්‍යාපනය මූලිකවම කේන්ද්‍ර වී තිබුණේ පන්සල් වටා බව පැහැදිලිය. ගමේ ගුරු ගෙදර යන සංකල්පය ගැන අසා තිබුණද, ඒ සේවය සාමාන්‍ය සාක්‍ෂරතාවය ලබා දීමෙන් ඔබ්බට ගියේ ද යන්න සැක සහිත වේ. වෙදකම, නක්‍ෂත‍්‍රය හැරුණු කොට ඉගෙනීමට තිබුණු එකම විෂයය වූයේ ආගම ධර්මය විය යුතුය. ඒ පන්සල් අධ්‍යාපන ක‍්‍රමයේ වත්මන් ස්වරූපය පිරිවෙන් ලෙසින් අද ද දක්නට ඇත.

පන්සල් ආශ‍්‍රිත පිරිවෙන් අධ්‍යාපනයේ එක් සීමාවක් වනුයේ එහි විෂයය පඨයයි. එය සිංහල, පාලි, සංස්කෘත ආදී භාෂාවන් සහ බුද්ධ ධර්මය ඉගෙනීමෙන් පිට යතැයි මම නොසිතමි.

ඒ ආකාරයේ ම එකල පැවති තවත් සීමාවක් වූයේ මේ අධ්‍යාපනයෙන් ප‍්‍රයෝජන ලැබිය හැකි වූයේ වැඩවසම් සමාජයේ තරමක් හෝ ඉහල පවුල්වල පිරිමින්ට පමණක් වීමයි. පැහැදිලි හේතූන් මත කාන්තා පක්‍ෂයට පිරිවෙන් අධ්‍යාපනය ලබාගත් නොහැකි විය. පැරණි සිංහල පතපොත ලියූ අය අතර කාන්තාවන් නොමැත්තේ ඒ නිසා යැයි සිතමි. භික්‍ෂුණී සසුණ සාපේක්‍ෂකව කෙටි කාලයකින් ම ලංකාවෙන් තුරන් වී තිබීම මේ කාන්තා උගතුන් නොමැති වීමට හේතුව විය හැක.

මෑත අතීතයේ දී විසූ කිවිඳියක වන ගජමන් නෝනා කුඩා කළ පිරිවෙන් අධ්‍යාපනය ලබාගෙන ගත්තේ පිරිමි ළමයෙකු ලෙස වෙස් ගැනීමෙන් පසුව බව කියවේ.

බටහිර ක‍්‍රිස්තියානි සමාජයේ ද අධ්‍යාපනය මුල් බැස්සේ ආගම වට කොට ගෙන පල්ලිය කේන්ද්‍රය කොට ගෙන බව පෙනේ. ලංකාව බි‍්‍රතාන්‍ය පාලනයට නතුවෙන කාලය වන විට එකී පල්ලියේ අධ්‍යාපනය හුදෙක් පූජකයින් ට පමණක් සීමා නොවී විවිධ ජන කොටස්වලටද ප‍්‍රයෝජනවත් වන පාසල් අධ්‍යාපනයක් බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පෙරලී තිබුණු බව කිව හැක. මිෂනාරී අධ්‍යාපනය ලෙසින් හැඳින්වෙන්නේ ඒ වැඩ පිළිවෙලයි. ලංකාවේ කොළඹ, යාපනය, මහනුවර ආදී ප‍්‍රධාන නගරාශ‍්‍රිතව කතෝලික සහ අනෙකුත් ක‍්‍රිස්තියානි නිකායන්ට අනුබද්ධිතව පාසල් ගොඩ නැගුනේ මේ මාර්ගයෙනි.

සෑම ක‍්‍රිස්තියානි නිකායකම පාහේ කාන්තා පූජ්‍ය පක්‍ෂයක් තිබුණු හෙයින් කන්‍යාරාම ආශ‍්‍රිතව ගැහැණු ළමුන් සඳහා ද පාසල් බිහිවිය.

විවිධ විෂයයන් ඉගැන්වීම කෙරුණද, මේ මිෂනාරී අධ්‍යාපනයේ මූලික අරමුණ වූයේ ද, පිරිවෙන් ක‍්‍රමය මෙන්ම ආගම වැඩි දියුණු කිරීම බව පැහැදිලිය.

බටහිර ගොඩ නැගුණු තියෝසොෆිකල් හෙවත් පරමවිඥාර්ථවාදීන් ගේ නායකයින් වන ඕල්කොට් සහ බ්ලැවැස්කි දහනමවන සියවසේ ලංකාවට පැමිණි විට එවකට පැවති ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල් පද්ධතිය සහ ඒවායේ ඉගැන්වීම් හරහා ලංකාවේ බෞද්ධයින් ක‍්‍රිස්තියානිකරණය වන බව පෙනෙන්නට ඇත. එය වැලැක්වීම සඳහා ඔවුන් ගේ උපායයික ක‍්‍රියාමාර්ගය වූයේ ඔවුන් දන්නා බටහිර අධ්‍යාපන රටාව මතම නමුත් බුද්ධාගම සහ ඒ ආශ‍්‍රිත විෂයයන් ද උගන්වන බෞද්ධ මිෂනාරි පාසල් පද්ධතියක් මෙරට ස්ථාපිත කිරීමයි.

ඒ මෙයින් වසර එකසිය විසිපහකට පෙරය.

බි‍්‍රතාන්‍ය පාලන සමයේ දී ඇති කළ ක‍්‍රිස්තියානි මිෂනාරි පාසල් ද ඒ අනුකාරකව බිහි වූ බෞද්ධ පාසල් ද අති බහුතරය කොළඹ සහ ප‍්‍රාදේශිය ප‍්‍රධාන නගරබදව පිහිටවනු ලැබීය. මේ පාසල් බොහොමයක් ක‍්‍රි‍්‍රයාත්මක වූයේ නේවාසික අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස බැවින් රටේ විවිධ පළාත් වල ඇති-හැකි පවුල්වල සිසුන් ට ඒවාට බැඳී නේවාසිකව ඉගෙනුම ලැබිය හැකි විය. නිදහසින් හැට වසරකට පසුව අද ද ලංකාවේ අධ්‍යාපනය වසාගෙන ඔඩු දුවා තිබෙන තිබෙන ”කොළඹට කිරි - ගමට කැකිරි” පිලිළයේ ආරම්භය එයයි.

ලංකාවට අවශ්‍යවන්නේ ප‍්‍රධාන නගරවල තිබෙන සුපිරි පාසල් කිහිපයක් නොව, සෑම තදාසන්න ප‍්‍රදේශයකටම විහිදුණු හොඳ පාසල් ජාලයක් බව මගේ අදහසයි. එවැන්නක ආරම්භය ලෙස විසිවන සියවසේ මුල් අර්ධයේ ඇරඹුණු මධ්‍ය මහා විද්‍යාල ජාලය සැලකිය හැක. මුල් යුගයේ විශාල වර්ධනයක් පෙන්වා ඇති වුවද, පසු කාලීන ව සිදුවූ රාජ්‍ය මට්ටමේ කුඩම්මාගේ සැළකිළි නිසා මධ්‍ය මහා විද්‍යාලවලට සිය උපරිම විභවය කිසි දිනක ලඟා කර ගත නො හැකි විය. ඒවා අද ද ප‍්‍රාදේශීය දරුවන් ගේ තෙවන පෙළ තේරීම් පමණකි.

එක්කෝ මධ්‍ය මහා විද්‍යාල ජාලය පුනරුත්තාපනය කර ගැනීම හෝ නැවතත් එවැනි ප‍්‍රාදේශීය පාසල් ජාලයක් පිහිටුවීම කරනතුරු, අපට කළ හැක්කේ ප‍්‍රාථමික ගෝත‍්‍රවාදී සංකල්පයක් ලෙස මට පෙනෙන ආදී ශිෂ්‍ය සංගම් හරහා ඇති-හැකි අයුරින් පවතින ක‍්‍රමයට ම දර දිය ඇදීමයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ලංකාවේ බෞද්ධ මිෂනාරි අධ්‍යාපනයට වසර එකසිය විසිපහක් පිරීම සැමරීම පිණිස 2011 නොවැම්බරයේ දී ලියූ ලිපියකි.


(images: http://en.wikipedia.org/)

Wednesday 13 March 2013

ජන්මෙ ද නැත්තං පරිසරය ද - මහැදුරුකාරයෙකු ගේ කතාවක් : Genetic or environmental factors?


පෙරේදා මං දාපු අතිජාත, සහජාත සහ අවජාත Genes or environment? කතන්දරේ ලියන වෙලාවේ පරණ කතන්දර දෙක තුනක්ම සිහිවුණා.

මෙන්න ඒවායින් කීපයක්.

මේ මුල් කතන්දරේ නං තුනේ පන්තියේ බුද්ධාගම පොතෙන් හැමෝම කියවලා ඇති.

ඔන්න එක කැලේක කුරුළු කූඩුවක ගිරා පැටව් දෙන්නෙක් හිටියා. දවසක් මහ සැඩ සුළඟකින් මේ කූඩුව කැඩිලා එක පැටියෙක් හුළගේ පාවෙලා ගිහින් තාපසයින් ඉන්න කුටියක් ලඟ වැටුණා. තාපසයෝ මේ ගිරා පැටියාව තමන් ගේ කුටියේ හදා වඩා ගත්තා.

අනිත් ගිරා පැටියා හුළගේ පාවෙලා ගිහින් වැටුණේ පල් හොරු රැලක් ඉන්න ගල් ගුහාවක් ලඟයි. මූ එතන හැදුණා.

කතාවේ අවසානයේ දී කියවෙන විදියට මේ එක ගිරා ජෝඩුවගේ පැටවුන් දෙන්නා තමන් හැදුණු පරිසරය අනුව එකෙක් තාපසයින් වගේ ඉතාමත් නිවුණු සංවර වචන කතාකරන්නයි, අනිකා පල් හොරුන් වගේ පරුෂවචන කතා කරන්නයි ඉගෙන ගත්තා.

ජන්මය කෙසේ වෙතත් පරිසරය අනුවයි ගතිගුණ තීරණය වෙන්නේ කියන එකයි මේ කතාවෙන් කියවෙන පාඩම.

දෙවෙනි කතාව අපේ ආච්චි කියපු කතාවක්.

ඔන්න අපේ ගමේ එක ලොක්කෙක් ඉඳලා තියෙනවා. මේ සුද්දගෙ කාලේ. මේ මහත්තයාට ඇල්ශේෂන් බල්ලෙක් ඉඳලා තියෙනවා. මූ මස් විතරයි ලු කන්නේ. බත්, එළවළු කෑමක් නෑ.

මහත්තයා රට අත හැරලා එංගලන්තේ ගිහින්. මෙහෙම ගිය සමහර මහත්තුරු බල්ලන්ව මරලා යි ගිහින් තියෙන්නේ. උන්ට සැප නැතුව දුක් විඳින්න වේවි කියලා. නමුත් මේ බල්ලාව ගමේ පවුලකට දිලා ගිහින්.

බල්ලා මුලින් මස් නැති හින්දා කිසිම දෙයක් කාලාම නෑ. අළුත් අයිතිකාරයා කරෝල හොඳි එක්ක දුන්නු බත් දිහා මූ ඇහැක් ඇරලාවත් බලලා නෑ.

ඔහොම දවස් දෙකතුනක් විතර ගිහින් තියෙනවා.

අන්තිමේ දී හැබැයි බල්ලා පොල් එක්ක අනලා දුන්නත් බත් කන්න පුරුදු වෙලා!

මේ කතාවෙනුත් කියවෙන්නේ ජන්මෙට වඩා පරිසරය වැදගත් සාධකයක් බවයි.

දැන් මෙන්න තුන්වෙනි කතන්දරේ.

මේක කිව්වේ මං තරමක් දන්න කියන මහැදුරෙක්. මෙයා නිකං මහැදුරු කෙනෙක් නොවෙයි වෛද්‍ය මහැදුරෙක්.

ඔන්න දවසක් මේ මහැදුරා රෝග නිධාන ගැන පොඩි ටෝක් එකක් දෙනවා.

"ඕනෑම රෝගයක් හැදෙන්න බලපාන හේතු වර්ග දෙකකට බෙදන්න පුළුවනි. ඒ එක වර්ගයක් තමයි ජානමය කරුණු. ජෙනටික් ෆැක්ටර්ස්. අනිත් වර්ගය පාරිසරික කරුණු, එන්වයර්මෙන්ටල් ෆැක්ටර්ස්."

"දැන් මේ වර්ගීකරණය තේරුම් ගන්න දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි මේක" මහැදුරා කිව්වා "හිතන්න තමන්ගේ බිරිඳට උපන් ළමයා තමන් වගේය කියලා. අන්න ඒක තමයි ජෙනටිකල් ෆැක්ටර් එක."

"හැබැයි ළමයා අල්ලපු ගෙදර මිනිහා වගේ නම්, අන්න එන්වයර්මෙන්ටල් ෆැක්ටර් එක."

-කතන්දරකාරයා


(image: http://www.squidoo.com/doctor-who-online)

Monday 11 March 2013

අතිජාත, සහජාත සහ අවජාත - Genes or environment?


මට මගේ හොඳ මිතුරෙකුගෙන් ළඟදී (2013 ජනවාරි තිස් වෙනි දා) හොඳ තෑග්ගක් ලැබුණා.

ඒකේ ඡායාරූපයක් තමයි ඔය උඩින් දාලා තියෙන්නේ. (සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂය, දෙවන මුද්‍රණය (2011 අගෝස්තු), සරසවි ප්‍රකාශකයෝ, නුගේගොඩ, මිළ රුපියක් 1,450/-, පිටු 1536)

එවැනි හොඳ ත්‍යාග දෙන්නේ හොඳ මිතුරන්ම තමයි.

ඇත්තටම මේ මට ලැබුණු මිතුරෙකුගෙන් තෑගි ලෙස ලැබුණු තුන්වැනි ශබ්ද කෝෂයයි.

මුලින්ම මට ඔක්ස්ෆර්ඩ් ඉංගිලිසි ශබ්දකෝෂයක් ලැබුණා මගේ පාසල් මිතුරෙකුගෙන්. ඒ 1995 අගෝස්තු දහඅට වෙනි දා, මං ජීවිතේ පොඩි පහේ පිම්මක් පැන්න දවසක. (The Pocket Oxford Dictionary, Eight Edition, 1992, Clarendon Press, Oxford, 1074 pages)



ඊලඟට මට මලලසේකර ඉංගිලිසි-සිංහල ශබ්දකෝෂයක් ලැබුණා සාහිත්‍ය හිතකාමී මිතුරෙකුගෙන්. (මලලසේකර ඉංග්‍රීසි-සිංහල ශබ්ද කෝෂය, සිව්වන සංස්කරණය, 2006, ඇම්.ඩී ගුණසේන සමාගම, කොළඹ, රුපියල් 890/-, පිටු 1250). ඒ 2007 පෙබරවාරි හයවෙනි දා.



කාලවකවානු තුනකදී ලැබුණු මේ ශබ්දකෝෂ තුන එකිනෙකට වෙනස් ඒවා නිසා මට එකසේම වටිනවා.

නමුත් සරසවි සිංහල-සිංහල ශබ්දකෝෂය සුවිශේෂී එකක්. ඒ වචනයක තේරුම හොයන්න භාවිතා කරනවාට වඩා ඉඩ ලැබෙන විදියට පොතේ පිටුවක් පෙරළලා ඒකේ කලින් නොදන්නා සිංහල වචන හෙම තිබුණොත් ඉගෙන ගන්න ඉඩ ලැබෙන නිසා.

අපේ සිංහල භාෂාවේ අප නොදන්නා වචන බොහොමයක් තියෙනවා. අප අසා පුරුදු වුණත් නිවරද තේරුම නොදන්නා වචනත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා.

අද කතන්දරයේ මාතෘකාවට මං දාලා තියෙන්නේ ඒ වගේ වචන තුනක්.

මේ වචන තුන එකිනෙක හා සම්බන්ධයි. මෙන්න ඒවායේ තේරුම.

අතිජාත: කියන්නේ දෙමව්පියන්ට වඩා උසස් ගතිගුණ ඇති, උසස් ජන්මයක් ඇති කියන එකයි. උදාහරණයක් විදියට මහෝෂධ පණ්ඩිතයා තමන්ගේ පියා වූ සිරිවර්ධන සිටාණන් ගේ අතිජාත පුත්‍රයා ය කියන්න පුළුවනි.

සහජාත: කියන්නේ දෙමව්පියන් හා සම තත්වයේ ගතිගුණ ඇති, ජන්මයක් ඇති කියන අදහසයි. මෙයට අනුජාත කියා ද කියනවා ලු.
http://www.silumina.lk/punkalasa/20100221/_art.asp?fn=ar1002211

අවජාත: කියන්නේ දෙමව්පියන්ට වඩා පහත් ගතිගුණ ඇති, ජන්මයක් ඇති කියන අරුතයි. නමුත් මෙහි විශේෂණ පදය වන අවජාතක කියන වචනයෙන් බොහෝවිට අදහස් කෙරෙන්නේ අනියම් ලිංගික සම්බන්ධයකියන්, ඒ කියන්නේ නීතිප්‍රකාර හෝ සම්මත විවාහයකින් බැහැරව උපත ලද යන්නයි. ඒ කියන්නේ බාස්ටර්ඩ් (bastard) යන්නයි.

මා ලියූ "පරගස්දෙනියේ බුද්ධවංශාභිදාන කතා වස්තුව" කතන්දරයේ කතානායකයාට සියම් නිකායට අයත් ගමේ පන්සලේ මහණවීමට අවසර නොලැබුණේ ඒ නිසයි.

නමුත් මට හිතෙන විදියට නම් මේ අවජාත යන වචනය කසාදෙන් පිට අනියම් සම්බන්ධකමකින් දරුවෙකු ලැබීම යන්න හැඳින්වීමට යොදා ගැනීම වැරදියි.

පිරිමියෙක් සහ ගැහැණියෙක් ලිංගිකව එක්වීම සහ එමගින් දරුවෙකු පිළිසිඳ ගැනීම යන ස්වභාවික ක්‍රියාදාමය කසාද බැඳලා හිටියාද නොහිටියාද කියන කෘතිම රාමුවට අහුවෙන දෙයක් නොවෙයි.

ඒ ආකාරයට අනියම් සම්බන්ධයකින් උපදින දරුවෙකු අවජාත වචනයේ නියම අරුත වන මාපියන්ට වඩා පහත් ගතිගුණ ඇත්තෙකු වේය කීමත් අතාර්කිකකයි. ඇත්තටම එවැනි දරුවෙකුට වෙනත් ඕනෑම දරුවෙකුට වාගේම දෙමව්පියන්ට වඩා උසස් ගතිගුණ පිහිටීමටත් එක හා සමාන ඉඩක් තියෙනවා.

ඒ සමගම කිව යුතු අනිත් කරුණවන්නේ යම් අයෙකු ගේ වැරදිවලට ඔහුගේ හෝ ඇයගේ දෙමව්පියන්ට වරද පැටවීම සහ ඔහුගේ හෝ ඇයගේ නරක ගතිගුණ ඔවුන්ගේ දරුවන්ට ලැබේ යැයි උපකල්පනය කිරීම මා දන්නා තරමින් ජාන විද්‍යාව අනුවත්, බුදු දහම අනුවත් නිවරද නොවන බවයි.

අපේ වැරදිවලට අපේ දෙමව්පියන් පලි නෑ. ඒ වාගේම අපේ නරක වැඩ කටයුතු මතු දිනක අපේ දරුවනුත් කරාවිය කියා උපකල්පනය කිරීමත් වැරදියි.

ජන්මයෙන් නොව ක්‍රියාවෙන් වසලයෙක් වෙනවාය කියා ධම්පදයේ කියන්නේ මේ කරුණයි.

මෙන්න මගේ අළුත්ම ශබ්දකෝෂයෙන් මා උගත් වචන කිහිපයක්.

1. අවකරණය: අඩුකීරීම, හීන කිරීම, ඌණ කිරීම
2. අවකල්පනය: ඇදහීම, ගුණ සලකා නිශ්චය ලෙස පැහැදීම
3. අවකීර්ණ: විසිරුණු
4. අවක්‍රාන්තිය: බැසගැනීම, පිහිටීම, ප්‍රතිසන්ධිය, ගැබ් ගැනීම
5. අවක්සා: නිසා,අ රබයා, උදෙසා
6. අවගමය: දැනීම
7. අවඝාතය: පහරදීම, නැසීම

-කතන්දරකාරයා

Saturday 9 March 2013

හිසරදයට SEX හොඳ බෙහෙතක් බව සොයා ගැනේ - Sex therapy for migrane


කාන්තා දිනය වෙනුවෙන් ය කියලා පෙරේදා ලියන්නා ලියා තිබූ "දෙයියෝ සාක්කි" කතන්දරේ කියෙව්වද?

ඒ කතන්දරේ කතානායිකාව සිය සැමියා සමග මේ කියන දිනයේ උදේත් සවසත් එක දවසක දෙපාරක්ම sex කරනවා.

මේ කතන්දරයට ප්‍රතිචාරයක් දාපු තිසර මෙන්න මෙහෙම කියලා තිබුණා.

"දවසට දෙපාරක් ඔච්චර කැමැත්තෙන් වැඩේට පැනලා එන්නේ පිරිමියෙක් ගෑනියෙක් වෙච්ච දවසට තමයි ඉතිං... නැත්තං 'අනේ අද ඔලුවේ කැක්කුමයි', 'මහන්සියි', 'අද හොඳ නෑ'... අර ෆේමස් ලිස්ට් එකක් තියෙන්නෙ ඔය ගැන.."

ඔය කියන ජාතියේ ලිස්ට් එකකට මෙන්න පාර.
http://www.realbuzz.com/articles/top-5-excuses-for-not-having-sex-au-en/

මට ඒ තිසරගේ ප්‍රතිචාරය මතක් වුනේ ඊයේ කියෝපු පත්තර කඩමාල්ලක තිබුණු නිවුස් අයිටම් එකක් දැක්කාමයි.

මෙන්න පත්තර කෑල්ල.



මෙන්න වැඩි විස්තර සහිත වෙබ් පිටුවක්.
http://www.livescience.com/27642-sex-relieves-migraine-pain.html

මේ නිවුස් අයිටම් එකේ තියෙන විදියට "මට අද ඔළුවේ කැක්කුමයි අනේ!" කියන එක තවදුරටත් නිදහසට කාරණයක් නොවෙන්න ඉඩ තියෙනවා.

මිග්‍රේන් කියන දරුණු හිසරදය තියෙන අයගෙන් සැලකිය යුතු කොටසකට sex මගින් ඒ වේදනාව නැතිකර ගන්න පුළුවනි ලු.

මේ විස්තරය තියෙනවාය කියන්නේ මේ මාර්තුවේ ජර්නලයක පලවුණු පර්යේෂණ පත්‍රිකාවකයි.

හිසරදයට අළුත්ම ප්‍රතිකාරය sex කරන එක වෙයිද?

මේ පර්යේෂණය කළ ජර්මනියේ මන්ස්ටර් විශ්ව විද්‍යාලයේ ස්ටෙෆාන් එවර්ස්ගෙන් ම අහලා බලන්න ඕනෑ ඒ කතාව ඇත්තක් වේවිද කියලා!

-කතන්දරකාරයා

ප/ලි"
අද සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රාවෙන් කාළෙකට පස්සේ මේ ආකාරයට කතන්දර දැනුම් සාගරයෙන් බිඳක් ගෙන ඒමට ලැබීම ඉතා සතුටකි.


(image: http://www.diyhealth.com/sex-headaches.html)

Thursday 7 March 2013

කොච්චි, කෝච්චි සහ කෝපරේට් නිදිමත මැද්දේ කතන්දරකාරයා ගේ දවස ගෙවුණු හැටි - Red hot chillies


ඉස්සර අපි සමහරු දිනපොත් නැත්තම් ඩයරි ලිව්වා මතකද? පස්සේ කාලේ කම්මැලිකමටම මං නම් මේ වැඩේ අතහරලා දැම්මා.

දැන් ඉතිං බ්ලොග් ලිව්වාට ලියන්නේ බොහෝවිට පරණ කතන්දර මිසක් එදිනෙදා සිදුවෙන දේවල් නොවෙයිනේ.

හැබැයි බ්ලොග් එහෙම නැත්නම් වෙබ් ලොග් එහෙම නැත්නම් ජාල සටහන් කියන එකේ මුල් අරුත නම් ජාලයේ දින සටහන් කියන එකයි මට හිතෙන විදියට.

ඒ මොනවා වුනත් මට අද හිතුණා මංතුමා ගේ ජීවිතයේ 2013 මාර්තු 6 බදාදා දිනය ගෙවි ගිය හැටි ගැන කෙටි සටහනක් ලියලා දාන්න ඕනෑ කියලා කතන්දර බ්ලොග් එකට.

ඔන්න මං අද වෙනදා නොකරන විදියට උදේ හයටත් කලින් නැගිට්ටා. එලාම් එකට ඇහැරුණත් තව පොඩ්ඩෙන් ආපහු නින්ද යනවා.

කලින් නැගිට්ට හින්දා අද මං හැදුවේ එක තේ කෝප්පයයි. හාමිනේට තේ දීලා නැගිට්ටවන්න හිතුවේ නෑ.

හාමිනේ නැගිට්ටා නං මට දවල්ට කන්න දෙයක් හදලා දෙනවා. ඒත් අද ඒක අනවශ්‍යයයි.

තේ එක බොන ගමන් ඊ-මේල් බලලා, බ්ලොග් එකේ පෙරේදා දාපු "දේශප්‍රිය ලංකාපුත්‍ර යුවලගේ ඉන්දියානු සංචාරය" කතන්දරේට ඇවිත් තිබුණු කමෙන්ට් කීපයක් අනුමත කළා.

ඉන් පස්සේ දඩිබිඩි ගාලා, ඇඟ හෝදලා, ඇඳ පැලඳගෙන කෝච්චිය අල්ලන්න දිව්වා.

ඔෆීසියේ අද දවස පුරා මීටිමක්. අපේ මාසික රැඟුම. උදේ අටහමාරට පටන් ගත්තු තොවිලේ ඉවර වුනේ හවස පහත් පහුවෙලයි.

මීටිමේ කතාබහ නතර කෙරුණේ උදේ හවස තේ බොන්නයි, දවල්ට කන්නයි විතරයි. ඔෆිසිය ගානේ ලැබුණු ලන්ච් එකට නම් වරදක් කියන්න බෑ.

ප්‍රාදේශීය කාර්යාලවලින් මීටිමට ආපු අයත් එක්ක හවස් වරුවේ පොඩි සෙට් වීමක් තිබුණත් මං ඒකට නොහිට ගෙදර ආවා.

මොකද හෙටත් (මාර්තු 7) උදේ අටහමාරේ සිට මුළු දවසම ලොකු වර්ක්ෂොප් එකක් තියෙනවා. ඒකේ වැඩ කටයුතු කීපයක්ම බාරව ඉන්නේ මංතුමා නිසා හෙටත් උදේ ම යන්නත් ඕනෑ.

දැන්නම් රෑට කාලා, බීලා, බ්ලොග් කියෝලා, දවසේ සේවා කටයුතු කරලා අහවරයි.

මේ පෝස්ට් එක එහෙට උදේ පබ්ලිෂ් වෙන්න දාලා නිදා ගන්න යන්න විතරයි තියෙන්නේ.

උදේත්, හවසත්, කෝච්චියේ යන එන ගමන් පොඩි නින්දක් ගහන්න ලැබුණු එකයි, බෝතලේකින් සෙන්ටිමීටර් එකක් විතර අඩුවෙච්ච එකයි ඇරුණාම අද වෙච්ච වැඩි දෙයක් නෑ.

ඔබ සැමටත් එසේම වේවා!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය උඩින් තියෙන්නේ හාමිනේගෙන් මට දැන් සති තුනකට කලින් පෙබරවාරි 14 දා ලැබුණු වැලන්ටයින් ත්‍යාගයයි.

ඒක හදවත් හැඩයේ රතු කොච්චි මිරිස් පැලයක්. මෙන්න ඒකේ ක්ලෝස් අප් එකක්.

Tuesday 5 March 2013

රූපියල් සීයට හෙළකම පාවාදීම නොහොත් දේශප්‍රිය ලංකාපුත්‍ර යුවලගේ ඉන්දියානු ගමන - Mr and Mrs Lankaputhra's Indian Tour


දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා හෙළයෙකි. හොඳ හෙළ කකුලකි. ඇත්තටම කියනවා නම්, එක කකුලක් පමණක් නොව දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා ගේ කකුල් දෙක, අත් දෙක සහ මුළු ශරීරයම හෙළ වේ.

ලංකාපුත්‍ර මැතිණිය ද එසේමය.

ලංකාපුත්‍ර ලා ගේ සිව් පාර්ශවයෙන්ම සියවස් ගණනක් ඈතට විහිදී යන හෙළකමක් ඇත. එය බලි, තරු, රාවණ කාලයටම විහිදී යන්නක් යැයි සිතේ. එයට හේතුව නම් විජය ගේ සිට වීර පනික්කිලා දක්වා විවිධ කාල වකවානුවල ඉන්දියාවේ සිට ලංකාවට පැමිණ සිංහල වංශය සෑදූ අයටත් වඩා ලංකාපුත්‍ර ලා මුළු ඇඟ පුරාම හෙළ ලේ තියෙන අය වීමයි.

ඔය ආන්ද්‍ර ප්‍රදේශයෙන්, කේරලයෙන්, ගුජරාටියෙන්, ඇසෑමයෙන් ලංකාවට පැමිණි අරුන් මුන්ටත් වඩා ලංකාපුත්‍ර ලා දේශපාලනිකව ඉන්දියානු වීරෝධී වෙන්නේ එනිසා ය.

ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නවලට කෙරුණු ඉන්දියානු අත දැමීම්වලට ලංකාපුත්‍රලා එක හෙලා විරුද්ධ වූහ.

පරතසාරතී ලා ගේ, ඩික්සිත් ලා ගේ සිට රාවෝ ලා දක්ව වූ ඉන්දියන් ඒජන්තයින් ලංකාපුත්‍රලා ට වහකදුරු සේය.

විජයගේ ලංකාගමනය කෙසේ වෙතත් ඉන්පසු සිදුවූ එළාර, මාඝ, සේන, ගුත්තික, අලකේෂ්වර, කන්නසාමි, අරිට්ඨ කී වෙන්ඩු පෙරුමාල් ආදී සියළු ඓතිහාසික ඉන්දීය ආක්‍රමණ ලංකාපුත්‍ර ලා නිරතුරු මතක් කරමින් හෙළා දකිති.

පරිප්පු ගුවණින් හෙලීම, ඉන්දු ලංකා ගිවිසුම, සාම සාධක හමුදාව යනාදිය කරුණාකර මතක් නොකරන්න.

කරුණු එසේ හෙයින් දේශප්‍රිය ලංකාපුත්‍ර යුවල ඉන්දියාවේ සංචාරයක් කිරීමට තීරණය කිරීම අප වැනි පුඟුළන් ගේ විමතියට කාරණයක් විය.

නමුත් ඒ මොහොතේ අපට නොවැටහුණු කරුණක් වූයේ ලංකාපුත්‍රලා ගියේ ඉන්දියාවට නොව දඹදිව නමැති දිවයිනකට බවයි. (දඹදිව යනු ඉන්දියාවේ ඇතැම් කොටස් ද, නේපාලයද අයිති මනෝ රාජ්‍යයකි!)

ලංකාපුත්‍ර ලා ගේ ඉන්දියානු සංචාරයේ එක් අරමුණක් වූයේ ටජ්මහල නැරඹීමයි.

ටජ්මහල වනාහී සාමාන්‍යයෙන් දඹදිව වන්දනාවේ යන පැන්ෂන් ගිය ඉස්කෝලේ හාමිනේලා ගේ චාරිකාවලට අයත් වෙන ස්ථානයක් නොවේ. නමුත් ලංකාපුත්‍රලා ගියේ පෙරකී ආකාරයේ පැන්ෂන්කාරයින් ගේ චාරිකාවක් නොවේ. ස්පැෂල් එකකි. කාලය දින දාහතකි. වියදම එක් අයෙකුට ගෙඩි රුපියල් ලක්‍ෂයකි.

අනෙක් අතට ටජ්මහල වනාහී කෙලින්ඟ රාමා-හනුමාන් ලා ගේ බූදලයක් නොවේ. සාජහන් ලා, මුම්ටාස් ලා ඉන්දියාව ආක්‍රමණය කලේ බටහිර දෙසින් පැමිණය. ටජ්මහල නැරඹීමට ලංකාපුත්‍ර ලා ට අවශ්‍ය වූයේ ඒ නිසාද විය හැක.

නේපාලයේ සහ ඉන්දියාවේ පිහිටි විවිධ බෞද්ධ ඓතිහාසික ස්ථාන වැඳ පුදා ගත් ලංකාපුත්‍ර මැතිතුමා සහ එම මැතිණිය තම ගමන් සගයින් කිහිප දෙනාද සමග දිගු ගමණකින් පසු එක් රාත්‍රියක අග්‍රාවට ලඟා වූහ.

පසුදා උදේ පාන්දරින්ම ටජ්මහල නැරඹීමට යාමට සිතා සිටියද එදින සිකුරාදාවක් වූ බැවින් ටජ්මහල වසා තිබුණි. අවට පිහිටි අනෙකුත් සංචාරක ස්ථාන නැරඹීමේදී ලංකාපුත්‍රලාට පෙනී ගියේ ඇතුළු වීමේ ටිකට් පතක් වෙනුවෙන් ඉන්දියානුවෙක් ගෙවන මුදලට වඩා දෙගුණයක් පමණ ලංකාවේ සිට පැමිණෙන සංචාරකයෙකු සඳහා ගෙවිය යුතුවන බවයි.

"මේක මහා අසාධාරණයක් නේ!" දේශප්‍ර්‍රිය ලංකාපුත්‍ර තම අප්‍රසාදය පල කළේය.

"හැබැයි ඉතිං ලංකාවෙත් ඔහොම තමයි, දළදා මාලිගාව (දතේ පන්සල) බලන්න යන්නත් ෆොරිනර්ස්ලාට ටිකට් ගන්න වෙනවානේ" ලංකාපුත්‍ර මැතිණිය කිව්වාය.

හොඳම අසාධාරණය පෙනෙන්නට තිබුණේ පසුදා නැරඹීමට නියමිත වූ ටජ්මහල සඳහාය. ඉන්දියානුවෙකු ගෙවිය යුතු වන්නේ ඉන්දියානු රුපියල් විස්සකි. ලාංකිකයෙකු සඳහා එය ඉන්දියානු රුපියල් පන්සීයකි. පනස් ගුණයකි.

පලපුරුදුකාරයෙකු වූ නඩේ ගුරා ගෙන් වටිනා උපදෙසක් ලැබුනේ මේ මොහොතේය.

"අපිට පුළුවන් වෙයි ඉන්දියන්කාරයෝ වගේ ගිහින් ටිකට් ගන්න. සමහරු ඕක කරනවා. හැබැයි සමහරු ඉබේම අහුවෙනවා. මිසිස් ලංකාපුත්‍රට පුළුවනි නම් අර සල්වාර් ඇඳුමක් වගේ එකක් ඇඳන් යන්න ප්‍රශ්නයක් වෙන එකක් නෑ!"

ඒ උපාය වැඩ අපූරුවට වැඩ කලේය.

ලංකාපුත්‍ර මැතිණිය හෙළ ඔහොරිය ගලවා අළුතින්ම ගත් සල්වාර් කමීස් සහ බාච්චු කලිසමකින් සැරසී ගොස් ඉන්දියානු කාන්තාවක් ලෙස රඟ පා රුපියල් විස්සේ ටිකට් ගත්තාය.

"විශ්වාස කරන්න මිස්ටර් කතන්දර, ඒ ඇඳුමට ගියේ ඉන්දියන් රුපියල් දෙසීයද කොහෙද. නමුත් ඒකෙන් අපිට සෑහෙන්න වාසියක් වුණා!" දේශප්‍රිය ලංකාපුත්‍ර මැතිතුමා මා සමග තම වික්‍රමය පිළිබඳ පම්පොරිය ගැසුවේ එසේය.

රුපියල් දෙතුන් සියයක වාසියකට තමන් ගේ හෙළකම සහ ඉන්දියානු විරෝධය පාවා දුන්නා නොවේදැයි මම ලංකාපුත්‍ර මැතිතුමාගෙන් නොඅසා මුවින් නොබැන සිටියෙමි.

-කතන්දරකාරයා


(image: http://www.flickr.com/photos/maciejdakowicz/7906595100/)

Sunday 3 March 2013

මේක සුනිල් ආරියරත්න නන්දා මාලනී ට ලියපු සින්දුවක් ද? - Is this a song about Anuradhapura or about an aging woman?


අහලා තියෙනවද අර එක එක වයසේ ගෑල්ළමයින්ව ලෝකයේ මහාද්වීප එක්ක සසඳන කතන්දරේ?

නොදන්න අයට මෙන්න ඒක.
Women Vs the Continents

Between the ages of 16 and 18, she is like Africa, virgin and unexplored.

Between the ages of 19 and 35, she is like Asia, hot and exotic.

Between the ages of 36 and 45, she is like America, fully explored, breathtakingly beautiful, and free with her resources.

Between the ages of 46 and 56 she is like Europe, exhausted but still has points of interest.

After 56, she is like Australia, everybody knows its down there but who gives a damn.

මෙන්න අද කතන්දරේ.

අපේ ළමා සමාජයේ කොන්සර්ට් එකට මොනවාගේ අංගයක් ද ඉදිරිපත් කරන්නේ කියලා තීරණය කරන්න පොඩි සාකච්ඡාවක් තිබුණා. මේ පාර කොන්සර්ට් එකේ තේමාව ඉතිහාසය නිසා එක එක පන්තිවලින් ඉතිහාසයේ විවිධ වකවානු ගැන සඳහන් වෙන අයිටම් කෙරුණොත් හොඳයි කියන එක තමයි පොදු අදහස වුනේ.

අපේ පන්තියට බාරවුනේ අනුරාධපුරය ගැන සම්තින් කරන්නයි.

"අපි අනුරාධපුරේ ගැන හොඳ සින්දුවකට ඩාන්ස් එකක් කරමු!" එක යෝජනාවක් ආවා.

"එහෙම නම් හොඳයි අමරදේව ගේ ස්වර්ණමාලියේ සින්දුව?" මංතුමා කිව්වා. "ඒක රුවන්වැලි සෑය හදන එකට සම්බන්ධයි."

"හැබැයි ඒක ස්ලෝ වැඩියි නේද ඩාන්ස් අයිටම් එකකට?" ඒ තව අදහසක්.

"මං කියන්නම් හොඳ සින්දුවක්. අර අබේවර්ධන බාලසූරිය කියන අනුරාධපුරය ඔබයි නරකද? ඒකේ තාලෙත් නැගලා යන එකක්!" තවත් යාළුවෙක් යෝජනා කළා.

"ඒකේ තාලෙනං හොඳයි, ඒත් මට හිතෙන්නේ නම් ඒ සින්දුවෙන් කියවෙන්නේ අනුරාධපුරය ගැන නෙමෙයි වයසට යන ගෑණු කෙනෙක් ගැනයි!" මං කිව්වා.

පස්සේ මං හොයලා බැලින්නම් මේ සින්දුව ලියලා තියෙන්නේ සුනිල් ආරියරත්න. සංගීතය අපේ විට්ටර් අංකල්.

මේක සුනිල් ආරියරත්න ඒ දවස්වල ලියලා තියෙන්නේ නන්දා මාලනී ගැන ද කියලා මට හිතුනේ සින්දුවේ වචන සැට් එක ස්ටඩි කරලා බලන කොටයි.

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

වල් බිහිවන්නට නාරිනු මැන කෙත්යාය නිල දිලෙනා
සිඳ බිඳලන්නට නාරිනු මැන තුඟුවාපි රැළි නැගෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

යටගිය ඉසුරයි අහස සිඹින මහ තූප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසට මිණි පාන නෙත ගැටෙනා

අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ


මෙන්න යු ටියුබ් ක්ලිප් එක.



මේ තවත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයකි.

-කතන්දරකාරයා


(image: http://srilanka.for91days.com/2012/03/12/echoes-of-the-past-anuradhapuras-ruins/)

Friday 1 March 2013

පිස්සන් වර්ගීකරණය - Four categories of loonies


කතන්දර බ්ලොග් එකේ මං කියවන බ්ලොග් රෝල කොටස් හතරකට පහකට කඩලායි තියෙන්නේ.

ගෑල්ළමයි ලියන බ්ලොග්, මං කියවන පොලිටිකල් බ්ලොග්, මං කියවන කතන්දර බ්ලොග් සහ මං (සමහර විට) කියවන කවි බ්ලොග් තමයි ඒවායින් මූලිකම කොටස්.

මේ ලියන 28 බ්‍රහස්පතින්දා දවල් වෙනකොට මෙන්න බොලේ මේ බ්ලොග් රෝලේ පොලිටිකල් බ්ලොග් කොටසේ හැර අනිත් තැන් වලින් අපිට පිස්සු ඕයි කියලා පෝස්ට් මතුවෙන්න පටන් ගත්තා.

සංජුට, දිල්සරාට, බීට්ල්ට, ඕනයාට, අමිලට, සුදු පූසාට, පසන්ට, ලීෂාන්ට විතරක් නොවෙයි අනේ අපොයි ඇනෝනිමස් ආතල්ටත් පිස්සු ලු!

හැබැයි පොලිටිකල් ලිපි ලියන පැරාට, මාතලන්ට, කළාමැදිරියාට, ලූප්හෝල්ට, දයල් බතීට, චාර්මීට, බූවාට හෙම තවම බෝවෙලා නෑ!

මේක දැකලා මට මතක් වුණා පිස්සන් ගැන පරණ විශ්ලේෂණයක්.

පින්වතුනි,

මේ ලෝකයේ පිස්සෝ වර්ග හතරක් වෙති.

1. ඉන් එක වර්ගයක පිරිසට පිස්සුය. ඔව්හූ තමන්ට පිස්සු බව දනිති.

2. තවත් වර්ගයක පිරිසට පිස්සු නමුත් ඔව්හූ තමන්ට පිස්සු බව නොදනිති. ඒ වෙනුවට අන් අයට පිස්සු ය කියා සිතති.

3. තවත් වර්ගයක පිරිසට පිස්සු නැත. එහෙත් ඔව්හූ අනුන්ට පිස්සු යැයි සිතති. එනිසා ඔවුන් පිස්සෝ ය.

4. අවසාන වර්ගයේ පිරිසට ද පිස්සු නැත. එහෙත් ඔවුන් සැබෑ පිස්සන්ට පිස්සු යැයි නොසිතති. එනිසා ඔවුන් ද පිස්සෝ ය.

සාදු, සාදු, සාදු!


පිස්සු නැත්නම් මදක් සිතා බලන්න.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න පරණ පිස්සු කතන්දරයක්.

ඔන්න පිස්සන් කොටුවේ තියෙන පොල් ගහකින් කුරුම්බා කඩලා බොන්න පිස්සෝ දෙන්නෙක් ප්ලෑන් කළා. මේ දෙන්නා මහ රෑ ටෝච් එකකුත් අරගෙන වාට්ටුවෙන් පැනලා පොල් ගහ ගාවට ගියා.

එතනදි තමයි පිස්සන්ට මතක් වුනේ ගහට නගින්න වළල්ලක් හරි ඉණිමගක් හරි නැති බව.

"මං කියන්නම් හොඳ ක්‍රමයක්. මං චෝච් එක පත්තු කරළා එල්ල කරන්නම් පොල් ගහ මුදුණට. උඹ ඒ බීම් එක දිගේ නැගලා කුරුම්බා කඩපං!" එක පිස්සෙක් අනිකාට කිව්වා.

"එහෙම නැගලා කුරුම්බා කඩන එක නම් ප්‍රශ්ණයක් නෑ. ඒත් මං ගහ මුදුනේ ඉඳිද්දී උඹ ටෝච් එක ඕෆ් කළොත් මං කොහොමද බිමට බහින්නේ?"


(image: http://blogs.phoenixnewtimes.com/valleyfever/crazy%20uncle%20jesters.jpg)