Thursday 31 December 2009

ආච්චි ලා ගේ බබා ලා ගේ නම් - IV


අද මෙන්න මගේ බබා ලා ගේ නම් සීරීස් එකේ "අන්තිම ලාස්ට්" කතාව.

මේක නං අමුතුම ආකාරයේ එකක්. මේ කතන්දරේ අස්සේ තව හොඳ හොඳ කතා තියෙනවා වගේ මට හිතෙන්නේ.

ගිය පාර කිව්ව ආච්චි ගෙ නම තියෙන මිණිපිරී ගැන කතන්දරේ මතකයි නේද? ඒක මගේ යාළුවෙක් සම්බනධ එකක්.

මේකත් ඒ කතාව වගේමයි. හැබැයි මං මේ කෂ්ටිය අඳුනන්නේ නං නෑ. වෙබ් එකෙන් හොයාගත්තේ.

වෙබ් එකේ තියෙන කතා සේරම ඇත්ත නෙමේ. හැබැයි මෙතන බලන්න.

http://www.anusha.com/daya.htm

දැක්ක නේද? ඒ අම්මගෙ නම "රන්කොත් පේඬිගෙදර දයාවතී". ඒ අම්මගෙ එක දුවෙකුගෙ නම අනුෂා.

http://www.anusha.com/anusha.htm

ඒ නම දාල තියෙන්නෙ බබා ගෙ ආච්චිව මතක් වෙන්නලු.

ආච්චිගෙ නම අනුෂා. අම්මගෙ නම දයාවතී. මිණිපිරී ගෙ නමත් අනුෂා.

වෙන්න බෑ නේද? අනුෂා කියල නමක් තියෙන කෙනෙක් තමන්ගෙ ළමයට දයාවතී කියල නම දායිද?

ඔය වෙබ් සයිට් එකේ තව හොඳ ලස්සන කතන්දර තියෙනව වගේ. හොඳට කියවල බලන්නකෝ.

ජොලි ගුඩ් නව වසරක් වේවා!

කතන්දරකාරයා

Wednesday 30 December 2009

අම්ම ගෙ නම දුවට - බබා ල ගෙ පබා ල ගෙ නම් ගැන කතන්දර III කොටස


මං ලියාගෙන යන බබා ල ගෙ නම් ගැන කතන්දර වලින් මේක තමා මං කැමතිම කතන්දරේ.

කලින් කොටස් වලට ලින්ක්ස් මෙන්න.
1. පලමුවෙනි කොටස
2. දෙවෙනි කොටස

සිංහල අපේ නම් වල බොහෝ විට තියෙන එක ලක්‍ෂණයක් තමා, මුල් නමෙන් තමන් ඉපදුනු කාල සීමාව හඳුනා ගන්න බොහෝ විට පුළුවන් වීම.

උදාහරණයක් විදියට, ලංකාවෙ නිදහසට කලින් ඉංගිරිසි ආණ්ඩු කාලෙ බොහෝ විට තිබුනෙ එක්කෝ සයිමන්, කරෝලිස්, ඇසිලින් වගේ විදේශීය නම් නැත්තං සිරිවර්ධන, සුමනදාස, කරුණාවතී වගේ දිග නම්.

ඊට පස්සෙ පරම්පරාවලට, ආනන්ද, නිමල්, සමන්, මල්ලිකා, රංජනී වගෙ කෙටි නම් වැටුන. හෂාන්, කුෂාන්, ඉෂිනි, ශෂිකා වගේ සොෆිස්ටිකේටඩ් නම් ආවෙ ඊටත් පස්සෙ පරම්පරාවලටයි.

හැබැයි මේ මොන නං සෙට් එක උනත් නගරයෙන් ගමට කාන්දුවෙන්න පරම්පරාවක් දෙකක් විතර ගියා. නමුත් මාපිය - දූ පුත් පරම්පරා වෙනස එහෙමමයි.

මේ හින්ද, මගෙ යාළුවෙක් ලියපු කෙටි කතාවක අම්මගෙ නම නිෂානි කියලත් දුවගෙ නම රංජනී කියලත් දාල තියෙනව දැක්කම මං කෙලින්ම කිව්ව ඒක අතාත්විකයි කියල. ඕක වෙන්න පුළුවන් අනිත් පැත්තටයි.

බටහිර ක්‍රිස්තියානි ක්‍රමය අනුව බොහෝ විට බයිබලයේ තියෙන ඩේවිඩ්, මැතිව්, මේරි වගේ නමක් දානවාමයි. දැන් දැන් අළුත් නම් පවා හදාගන්නව. නමුත් බොහෝ විට එකම නම් සෙට් එක තමයි කැරකෙන්නේ.

සම්ප්‍රදායානුකූලව බයිබලයේ නම් දාන අය කරන්නේ තමන්ගේ තාත්තා, අම්මා, මාමා, නැන්දා කෙනෙකුගේ නමක් ළමයින් ට දාන එකයි.

මේකයි අද කතාව.

මං අඳුණන සිංහල පොරක් ඉන්නව විදේශීය කාන්තාවක් බැදපු. දෙන්නම ඉන්නෙ පිටරටක. මේ දෙන්නගෙ පොඩි දුවගෙ නම මොකක්ද දන්නවද?

මල්ලිකා!

අවුරුදු පහක විතර ළමයෙකුට ඒ වගෙ නමක් තියෙන්න විදියක් නෑනෙ ලංකාවෙ ගම්බද පලාතක වුනත්.

පස්සෙ අහල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ. පොර දාල අම්මගෙ නම දුවට. වයිෆ් ලංකාවෙ නොවෙයි නිසා ඒ මනුස්සයට ඕව තේරෙන්නෙ නෑනෙ.

කොහොම හරි අන්තිමේදි වෙලා තියෙන්නෙ ශානුක වගේ හොඳ පොෂ් නමක් තියෙන මගේ යාළු පොර ගෙ දුවගෙ නම මල්ලිකා කියන පරණ පරම්පරාවෙ එකක් වීමයි.

-කතන්දරකාරයා

මෙන්න බබා ලගේ නම් ගැන කතන්දරෙ සීරිස් එකේ හතරවෙනි කොටස
ආච්චීලා ගේ බබා ලා ගේ නම්

Friday 25 December 2009

බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස


සිංහල බ්ලොග්කරුවන්ගේ සාදයට එන අතරතුර පළ කරපු "පබා ල ගෙ සහ බබා ල ගෙ නම්" ගැන ලියවුනු බ්ලොග් පොස්ට් එකේ දෙවෙනි කොටසයි මේ.

මෙන්න අද තව පොඩි කතන්දර දෙකක්.

2.
මගෙ හොඳ යාළු කපල් එකක් තමන් ගෙ දුවට දාල තියෙන නම තමා හඳුණි!

මේක අහපු වෙලේම මට ඒ නමේ මොකක් හරි වැරුද්දක් තියෙන බව හිතුනා.

සඳුනි කියන නම නං නිතරම ඇහෙනව. ඒත් හඳුණි?

මේ නම ස්පිට්ල් ගෙ කතාවකින් ගත්තු එකක් කියලයි මට දැනුනෙ! ඒකයි අවුල.

මොකක්ද ඔහේලට හිතෙන්නෙ?

3.
තව මං දන්න කපල් එකක් හිටිය. ගෑනු මනුස්සයගෙ නම සැන්ඩි. මිනිහගෙ නම ජෑම්.

ටිකක් කල් යනකොට තමයි දැනගත්තෙ මේ කාන්තාවගෙ නම සඳලතා. එච්චර ලස්සන නමක් සැන්ඩි කියල විකෘති කර ගත්තු එක නං ප්‍රාණ ඝාතයකට සමානයි මට හිතෙන විදියට.

පිස්සු ඩබල් වුනේ ජෑම් කියන පොරගෙ නම ජයම්පති කියල දැන ගත්තට පස්සෙයි.

මේ ඇමරිකාවෙ හරි යුරෝපයෙ හරි වෙච්ච කතාවක් නෙමේ. ලංකාවෙ නගරබද තැනකදි මට හමුවුණු පවුලක් මේ දෙන්න.

ටික දවසකින් ආයෙ හමුවෙමු.

කතන්දරකාරයා

-මෙන්න තුන්වන කොටස:
මගේ අම්ම ගේ නම මගේ දුවට

Friday 18 December 2009

පබා ල ගෙ, බබා ල ගෙ නම් ගැන කතන්දර කිහිපයක් - මුල් කොටස


ලංකාවෙ අපි හුඟ දෙනෙකුගෙ නමේ අඩු වශයෙන් කෑලි දෙකක් තියෙනවා. මුල් නම -ඒ කියන්නෙ අපේ ම නම සහ වාසගම - ඒ කියන්නෙ පරම්පරාවෙ නම. ඒ මදිවට සෑහෙන්න පිරිසකට තවත් නමක් තියෙනවා ඔය තමන්ගෙ නමයි වාසගමයි මැද්දෙන්.

ඉන්දුනීසියාව වගේ රටවල් වල නං එක නමක් විතරක් තියෙන අයත් ඉන්නවා. උදාහරණයක් විදියට හිටපු නායකයො වෙන සුකර්ණෝ සහ සුහර්තෝ දෙන්නම ඒක නාමධාරීන්.

තමන්ගෙ නම ඉස්සෙල්ල දාල, පරම්පරාවෙ නම අන්තිමට ලියන එක යුරෝපීය ක්‍රමයයි.

ඉස්සර කාලෙ අපේ ඇත්තො ලිව්වෙ පරම්පරාවෙ නම මුලින් ම -ගේ යන්නක් එක්ක. ඊ ලඟට තමන්ගෙ නම. දෙමල අයගෙ නං සම්ප්‍රදායික ලෙස මුලින් එන්නෙ තාත්තගෙ නම. ඊලඟට තමන් ගෙ නම. පරම්පරා නාමයක් නෑ. සමහර විට තාත්ත ප්‍රසිද්ධ කෙනෙක් වුණාම, ඒ නම වාසගම විදියට අරගෙන ඉස්සරහට අරං යන අයත් ඉන්නව.

ඔය පරම්පරා නමින් එහෙම නැතිනම් වාසගමින් පරම්පරාවෙ ඉතිහාසය හොයාගන්න පුළුවන්. ඉස්සර මට මතකයි පත්තර වල පොඩි තීරුවල පල කරනව තමන්ගෙ වාසගම වෙනස් කරල මිනිස්සු දාන දැන්වීම්. ඒ නොයෙකුත් කුල පිළිබඳ ප්‍රශ්ණ නිසයි.

මේ ලඟදි ටැබූ ගෙ ලිපියක් කියවල එතනින් මෙතනට ගිය මට වාසගම් ගොඩක් වර්ගීකරණය කරල තියෙනව දකින්න ලැබුණ.

හැබැයි මං මේ සැරසෙන්නෙ ඒ වාසගම් ගැන කතන්දර ලියන්න නෙමේ. මුල් නම් ගැන කියන්නයි.

මෙන්න මුල් නම් ගැන කතන්දර පොදියෙන් මුල් එක.

1.
වාසගමෙන් විතරක් නෙමේ මුල් නම් පවා කාලෙකට ඉස්සර වර්ගීකරණය කෙරිල තිබුණු බව මට කුසල් පෙරේරා ගෙ ලිපියක් කියෙව්වට පස්සෙ තේරුණේ.

මේ ලිපියෙ තියෙනව මෙන්න මෙහෙම. ඉස්සර ග්‍රීලන්ඩ්ස් (දැන් ඉසිපතන) විද්‍යාලෙ ඉගෙන ගත්තු ළමයෙකුගෙ නම හිරාන් කියල කිව්වහම ගුරුවරය අහනව ඔයා ක්‍රිස්තියානි නේද කියල?

ඒ කියන්නෙ අවුරුදු පනහකට, හැටකට ඉස්සර හිරාන් කියන එක බෞද්ධ පවුලක ළමයෙකුට දාන නමක් නෙමේ. දැන් නම් ඒ විශ්ලේෂණය වලංගු නෑ.

පුදුමයි නේද?

තව මේ ජාතියෙ නං ගැන කතන්දර ගොඩක් තියෙනව. ටික ටික දාන්නං.

කතන්දරකාරයා

මෙන්න දෙවන කොටස.
බබා ල ගෙ නම් ගැන කතන්දර - II කොටස

Tuesday 15 December 2009

කැම්පස් කවි සහ චිත්තරපටි - දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 3



සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු ගැන කතන්දර කීපයක් තමා මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස අයි ඩෝන්ට් නෝ වයි ඔන්න මෙතනින් බලන්න. දෙවන කොටස වීසා ඔන් ඇරයිවල් ලියමින් ඉන්න වෙලේ කැම්පස් ඉන්න කාලෙ ලියපු කවියක් මතක් වුනා.

මෙන්න ඒක.

මවඃ
මිදුණු කඳුළැලි දෙනෙත වසාගෙන සිරවෙලා
නැමුණු හිස වකුටු වුනු සිරුර තුල සැඟවිලා
ගැමුණු ඔබ කිමද පුත නිදන්නේ ගුලිවෙලා
කියණු කිම කාරණා, කියනු නොම සඟවලා

පුතාඃ
එක පසෙක තුවක්කුය හිසට ඇත එල්ල කර
අනෙක් පස කැන්ටිමය කුසම ඇත මෙල්ල කර
අනෙක් පස ෆැකල්ටිය සිහිය ඇත විකල් කර
මා කෙලෙස නිදන්නද සුවෙන් අත පය දිගැර

ගියපාර දාපු දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2: වීසා ඔන් ඇරයිවල් කතාවෙදි මං කිව්ව නේද දුටුගැමුණු කොළු ගැටය කාලෙ තාත්ත එක්ක ඔරොප්පු වෙලා තාත්තව කිච කරන්න බ්‍රෙෂියර් පාර්සලයක් ඇරිය කියල.

මං දන්න තරමින් 1979 දී විතර, ලංකාවෙ මුල්ම කාටූන් චිත්‍රපටිය හැදුවෙ දුටුගැමුණු ගැනයි. අධ්‍යක්‍ෂණය කලේ ප්‍රියසාද් සහ අර්ථසාද් කියන දෙසොහොයුරෝ. හැබැයි ඒ ෆිල්ම් එක එක දවසෙන් ම තහනම් කළා ආණ්ඩුවෙන්. හේතුව ඔය තාත්තට බ්‍රෙෂියර් පාර්සලේ යවපු සීන් එක වගේ ඒව වෙන්න ඕනැ. කොහොම වුනත් දුටුගැමුණු ලොක්ක වගෙ කෙනෙක් ගැන කාටූන් චිත්‍රපටියක් හදන එක හොද නැහැයි කියලත් සමහරු හිතන්න ඇති.

දන්නව නේද? පහුගිය දවස්වල දුටුගැමුණු ගැන ෆීචර් ෆිල්ම් එකක් ම හදන්න පටන් ගත්තු බව. මේක අධ්‍යක්‍ෂණය කරන්නේ "දඬුබස්නාමානය", "අකාල සන්ධ්‍යා", "අග්නි දාහය" වගේ ඓතිහාසික පසුබිම ඇති නිර්මාණ ගොඩක් කරපු ජයන්ත චන්ද්‍රසිරි.

ඒ විත්‍රපටියෙ රඟපාන නිළියො ටික තමයි මේ ෆොටෝ එකේ ඉන්නේ!

එලාර ට ඉන්නෙ "අබා" හදපු ජැකා ලු.

බලමු මොනව වෙයි ද කියල!

දුටුගැමුණුල ගැන තව කතන්දරයක් තියෙනව. ලඟදීම ලියන්නං.

මෙන්න හතරවෙනි කොටස:

http://kathandara.blogspot.com/2011/03/blog-post_11.html

කතන්දරකාරයා -
දෙසැම්ර් 19 සාදයේ දී හමුවෙමු.

Saturday 12 December 2009

[කතන්දරකාරයා] චාල්ස් ඩයනා - පිට රට දේ, සිරි සැප දේ!


සිංහල භාෂාවෙ තියෙනව හරි අරුම පුදුම කියමන්. ඒව පොතේ තියෙන කොට හරි ලස්සනයි. හොඳ අදහස්. හැබැයි ක්‍රියාවට නැංවීම නම් විරලයි. ඒ ප්‍රායෝගික බවක් නැති නිසා.

මේකට හොඳ උදාහරණයක් තමා - "සිය රට දේ, සිරි සැප දේ" කියන කියමන. ලස්සන වචන ටික. හොඳට රයිම් වෙනවා අර "කළ කළ දේ - පල පල දේ" කියන වාක්‍ය ඛණ්ඩය වගේ.

හැබැයි රටින් එන ෆොරීන් බඩු වලට කැමති අපට නං ඔය "සිය රට දේ, සිරි සැප දේ" කියන කියමන නිකං විහිළුවක් විතරයි. අපේ උදාන වාක්‍යය තමා "පිට රට දේ - සිරි සැප දේ" කියන එක. එකම අඩු පාඩුවකට තියෙන්නෙ මුල් වාක්‍ය ඛණ්ඩය වගේ හොදට රයිම් වෙන්නෙ නෑ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං මීට අවුරුදු පහලොවකටත් වඩා ඉස්සර දවසක ගියා දන්න අඳුනන ගෙදරක. ලොකු ගෙදරක්. හැබැයි සාලෙ හරිම පොඩියි. ඒ ගෙදර හදපු කාලෙ තිබුණු ක්‍රමයලු ඒක.

සාලෙ ට ගිය මට මුලින්ම පෙනුනෙ එතන මූලික තැනකින් තියල තිබුන මගුල් ෆොටෝ එකක්. මේ ගෙදර ලොකු පුතා බැඳල ඒ වෙන කොට. හැබැයි ඒ කපල් එකේ ෆොටෝ එකක් නම් නෙමේ ඒ තිබුනෙ. ඊට වඩා වැදගත් දෙන්නෙකු ගෙ එකක්.

හිතාගන්න පුළුවන්නේ, ඩයන ගෙයි, චාලි ගෙයි මගුලෙ ෆොටෝ එක තමයි එතන ප්‍රධාන ඡායාරූපය විදියට වැඩ හිටියෙ.

අර මේ ගෙදර පවුලෙම බැඳපු හාදයගෙ ෆොටෝ එකකුත් තිබුන, හැබැයි ඒ බඳින්න කලින් ගත්තු එකක්.

මෙයෙම ටික කලක් ගියාම, මේ ගෙදර තව ළමයෙක් කසාඳ බැන්ද. ඒ මගුල් ගෙදරට නම් මාත් ගියා මට මතකයි.

හැබැයි, අළුත් කපල් එකේ ෆොටෝ එකක් නම් සාලෙට ආව කියල පෙනුනෙ නෑ.

මං අන්තිමට දකින කොටත් ඩයනයි, චාලි යි තමයි සාලෙට වෙලා අපූරුවට හිටියෙ. උන් දෙන්නගෙ මගුලත් කැඩිල ගිහින් ඒ වෙනකොට එංගලන්තෙ.

ගෙදර උන්ගෙ මගුල් ෆොටෝ වගේ ද, රාජ කුමාරයින් ගෙ, කුමාරියන් ගෙ රාජකීය ගණයේ ඒවා!

පිට රට දේ - සිරි සැප දේ!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා සාදයේ දී හමුවෙමු!
මගේ පරණ කතන්දර බලන්න
1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Thursday 10 December 2009

දුටුගැමුණු ලා ගේ වැඩ කිඩ 2 - වීසා ඔන් ඇරයිවල් - Visa on Arrival


සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ දුටුගැමුණු කතන්දර කීපයක් තමා මං මේ දවස්වල ලියන්නේ. මේකෙ මුල් කොටස "අයි ඩෝන්ට් නෝ වයි?" බලන්න මෙතනින්. දන්නවනෙ, ඒ මුල්කොටස මං එඩිට් කළ බව ළමා කෂ්ටියගෙ සිත් සතුටු කරන්න.

දුටුගැමුණු රජතුමා තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම් කියල මං කිව්වනේ. ඒකට හේතුව පොර ගැන අපිට කියල දීල තියෙන, තාමත් අපේ මතකයේ තියෙන කතන්දරයි.

ඕනැම කතන්දරකාරයෙක් කියන්නෙ තමන්ට කියන්න අවශ්‍ය, තමන් කැමති කතන්දර, තමන්ට ඕනැ විදියටයි. එදත් එහෙමයි. අදත් එහෙමයි.

දීපවංස, මහාවංස, චූලවංශ ඔය කොයි කොයි වංසෙ අය වුනත් කතන්දරකාරයෝ කතන්දරකාරයෝ ම යි.

මෙතනදි අපි මතක තියාගන්න ඕනැ දෙයක් තමයි කියන්නා කෙසේ කිව්වත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන. ඇත්තම කියනව නං මං ඔය කියමන මුලින්ම ඇහැව්වෙ ළමා කාලෙදි අපේ ආච්චිගෙන්. මසුරං කතාව. හැබැයි අර එඩ්වඩ් ජයකොඩි කියනවා වගේ "හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා"!

මං මේ කතන්දරේ මුල් කොටසින් කිව්ව වගෙ අපි නොදැනුවත්වම අමතක කරන සත්‍යයක් තමයි දුටුගැමුණු ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2200 කට විතර ඉස්සරයි කියන එක. ඒ දවස්වල සමාජ දේශපාලනික තත්වය අදින් කොච්චර වෙනස්ද? අද තියෙන සංයුතියේ සිංහල ජනකොටසක් වත් අද ලංකාවෙ කතා කෙරෙන සිංහල භාෂාවක්වත් එදා තිබුණ කියල හිතන එක විහිළුවක්.

ඒ දවස්වල ලංකාව නිකං කටුනායක වගේ. ඔන්න විජය ල එනව, ඊලඟට පඬුවස්දෙව් ල එනව, බද්දකච්ඡායනා ල එනව, පස්සෙ මිහිඳු ල එනව, සංඝමිත්ත ල එනව. හරියට අද සුද්දො, යුරෝපාකාරයො, ඕස්ටේ්‍රලියන්කාරයො, ඇමරිකානුවො ලංකාවට එනව වගේ.

වීසා ඔන් ඇරයිවල්.

ඇත්තටම කියනව නං වීසා තියා "පාස්පෝට්" වත් නෑ. කෙලින්ම ගොඩ බහිනව. සමහර විට "පූස්-පාට්" එකෙන්. සමහර විට "රැස්පොට්" එකෙන්. නමුත් බොහෝ විට "බයි-ෆෝස්" එකෙන්.

මේ කෂ්ටිය ආවෙ මුළුමනින්ම ඉන්දියාවෙන් බව කියන්න ඕනැ නෑනෙ. ඉන්දියාවෙත්, ඒ කියන්නෙ ඒ දවස්වල තිබුනු ජම්බුද්වීපයෙත්, එදා සමාජ දේශපාලන තත්වය අද වගේ නෙමේනෙ. කොහොමටත් ඉන්දියාව විවිධ ජනවාර්ගික කොටස් ඉන්න රටක්. වීසා ඔන් ඇරයිවල් අරගෙන ජම්බුද්වීපයෙ ඉඳල ලංකාද්වීපයට ගොඩබැස්ස විවිධ කොටස් සමහර විට මව් රටේ ඉඳිද්දිම වලි දාගත්තු වලියට බර අය වෙන්න ඕනැ.

ඇයි ඒ මදිවට මෙහෙ හිටපු කෂ්ටිය. සුමන සමන් ල වගෙ උපාසක පොරවල් හිටිය තමා. නමුත් චුලෝදර ල, මහෝදර ල, මණිරක්ඛිත ල වැනි අති බහුතරය කවදත් වලියට බර පොරවල් නේ.

ඒ දවස්වල වලියක් ආවොත් ඔස්ලෝ යන්නෙ නෑ. කෙලින්ම කඩු ෆයිට් තමා.

ඉතිං මට හිතෙන හැටියට වෙන්න ඇත්තෙ මේකයි. විජය ඉන්දියාවෙන් ඇවිල්ල කුවේණිව ඩබල් ක්‍රොස් කරල රටෙන් කොටසක් අල්ලගත්ත. එදා ඉඳල කවදත් එහෙං මෙහෙං වලි තිබුණ රටේ එක එක පැති පාලනය කරපු අය අතර. සුභ සහ යස කොමඩියෙන් පස්සෙ සේන ල ගුත්තික ල වීසා ඔන් ඇරයිවල් අරං ලංකාව ට ඇවිත් රටේ රජකමට සෙට්වුනා.

අවුලක් නෑ, විජය ල, පඬුවස්දෙව් ල ත් කළේ එහෙමනෙ.

ටික කාළෙකට පස්සෙ එලාර සීන් එකට එන්ටර් වෙලා දැහැමෙන් සෙමෙන් ඒ පැත්ත පාලනේ කරන්න පටන්ගත්ත. එලාර රටේ අනෙකුත් පලාත්, ඒ කියන්නෙ, කැලණිතිස්ස ල ගෙ කැලණිය යි, කාවන්තිස්ස ල ගෙ මාගම යි යටත් කරගන්න හැදුවයි කියල නං මං අහල නෑ. කෂ්ටිය සාමකාමී සහජීවනයෙන් ද මොකක්ද එකෙන් ඉන්න ඇති.

අම්මගෙ පැත්තෙන් සීයයි, තමන්ගෙ තාත්තයි තම තමන්ගෙ පාඩුවෙ රජ කරගෙන හිටියට අපේ ගැමුණු කොල්ල පොඩිකාලෙ ඉඳලම ඒකට කැමති වුනේ නෑ.

දන්නවනෙ තාත්තට බ්‍රෙෂියර් යවපු කතාව?

අන්තිමේදි කොහොම හරි පොර ඉස්සෙල්ල රජවෙලා පස්සෙ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු බලවේගය එක් රැස්කරගෙන විජිතපුරය වට කළා. බර අවි යොදා ගෙන සම්ප්‍රදායානුකූල යුද්ධයක් කළොත් සිවිලියන් කැෂුවලිටීස් වැඩි වෙන නිසා එලාරයි දුටුගැමුණුයි ද්වන්ධ සටනක් කරල වැඩේ අවසානයක් කලා.

නමුත් එලාරව පරදල මුළු රටම අල්ලගත්ත කියල වීසා ඔන් ඇරයිවල් වැඩේ නැවතුනේ නෑ. චෝරනාග, මහානාග ල, නිශ්ශංකමලල ල, කන්දසාමි ල විතරයැ ලොරෙන්සෝ ද අල්මේද ල, වී.ඕ.සී ල, ජුසේ වාස් ල, ටොරිංටන් ල,.. ... ...

බුදු අම්මෝ ලැයිස්තුවෙ දිග.

අනික ඔය ආපු අය ආවෙ ට්‍රෑන්ගල් එකයි, බීච් එකයි බලල තැඹිලි ගෙඩියක් බීල ආපහු යන්න නෙමේ.

වීසා ඔන් ඇරයිවල් විතරක්යැ, ඒ දවස්වල ආපු ගමන් ග්‍රීන් කාඩ් එකත් දෙනව!

අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ!

දුටුගැමුණු ල ගෙ වැඩ කිඩ ගැන තව කතන්දරයක් දෙකක් තියෙනව. ඒවත් ලඟදීම ලියන්නං.

මෙන්න තුන්වෙනි කොටස:
http://kathandara.blogspot.com/2009/12/3.html

කතන්දරකාරයා

- December 19 සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමයේ සාදයේ දී හමුවෙමු.
http://groups.google.com/group/sinhala-bloggers

Tuesday 8 December 2009

ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ?


ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතුයැයි මට සිතේ.

මෙය නිකං විහිළු කතන්දරයක් නොවේ. සිරාම සිරා ටෝක් එකකි.

පොඩ්ඩක් සිතා බලන්න.

ලංකාවේ දේශපාලනය අද වැටී ඇති මඩ ගොහොරුව ගැන සුනිල් පෙරේරා තරම් හොඳින් සොයා බලා, විශ්ලේෂණය කර, එය ඉතා සරලව නමුත් ප්‍රභල ලෙස ජනතාව අතරට ගෙන ගිය වෙනත් කෙනෙක් ලංකාවේ අද සිටිනවාද?

සුනිල් පෙරේරා මෑත ඉතිහාසයේ ලියු, සංගීතය, තනුව සකසා ගායනා කළ, රඟ පෑ සියළුම ගීත සහ රංගන සැමෙකක්ම පාහේ පදනම කොට ගෙන තිබුනේ ලංකාවේ දේශපාලන මඩ ගොහොරුව ගැනම නොවේද?

මේ ගැන ඔහු ඉදිරිපත් කළ මතවාදය සමග රටේ බහුතරයක් ජනතාව එකඟ වෙනවා නොවේද?

දූෂිත යැයි පැවසෙන අද දේශපාලනය පිරිසිදු කර ටර නිසි මාර්ගයට යොමු කිරීම සඳහා ජිප්සීස් නායක සුනිල් පෙරේරා තරම් සුදුස්සෙක් නොමැති තරම්ය.

කොටින්ම සුනිල් සොමි පොරකි. නායකයෙකි. රුවුල ද තිබේ.

ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට ඉදිරිපත් විය යුතු යැයි මා පවසන්නේ එනිසාය.

ඔබ මා සමග එකඟ නම් ජිප්සීස් නායක සුනිල් පෙරේරා ජනාධිපතිවරණයට යන මූණු පොත් (Facebook) අඩවිය හා එකතු වන්න.

http://www.facebook.com/n/?group.php&gid=219679882151&mid=186eb45G28bf1e60G4337077G6

නිර්පාක්‍ෂික සුනිල් පෙරේරා ට ජයවේවා!!!

අපි සුනිල් ට සුනිල් අපි ට!!!

කතන්දරකාරයා

Sunday 6 December 2009

ලෝ කට් බ්ලවුස් - පෙන්නීම සහ හැංගීම


ඇත්තම කියන්නම්. මේ කතන්දරේ ලියන්න ඕනැයි කියල හිතුන වෙලේ ඉඳලම මගේ හිතේ වැඩ කළේ කතන්දරේ ලියන්න ඕනැ කොහොමද කියන එකට වැඩිය, මේ කතන්දර පෝස්ට් එකට දාන පින්තූරය මොකක්ද කියන එකයි.

හිකිස්!

අන්තර්ජාලයෙ නං මේකට අවශ්‍ය පින්තූර ඕනැ පදං තියෙනව. ඒත් ඉතිං බහු ජන හිතාය බහු ජන සුඛාය කියල හිතල ඔන්න ඔය ඓශ්චර්යා ළමයගෙ ෆොටෝ එක තෝරා ගත්ත.

දැං අද කතන්දරේ ට යමුකෝ.

පහුගිය දවස්වල වී.සී.ඩී. බණක් ආව මතකයි නේද අර ජොලි කතා කියන හාමුදුරුකෙනෙකු ගේ? මං දැක්ක යූ ටියුබ් එකෙත් තියෙනවා.

ඒකෙ තිබුණ එක සොමිම සොමි කෑල්ලක් තමා අර කෙල්ලො අඳින ඇඳුම් ගැන තියෙන උඩත් ඒ.සී. යටත් ඒ.සී. සායෙ දෙපැත්තෙන්ම පලල එතන ඩබල් ඒ.සී. කියන එක.

ඇත්තම කියමු තමන්ට කැමති ඇඳුම අඳින්න තමන්ට අයිතියක් තියෙන්න ඕනැ. මයි කාර්, මයි පැට්‍රොල්.

අපි කාගෙ කාගෙත් අකමැත්තක් නෑ, ඕනැ කෙල්ලෙක් ඕනැ ඇඳුමක් ඇඳන් ඕනැ තැනක ගියාට. හැබැයි, ඒ අපේ නංගි හරි, දුව හරි නං, ඒක වෙනනම විසඳගන්න ඕනැ කාරණාවක්.

ප්‍රශ්ණෙ මේකයි. අපි හිතමු කෙල්ලෙක් ලෝ කට් බ්ලවුස් එකක් ඇඳන් යනව කියල තමන්ට ඕනැ විදියට. මේ තැනැත්ති හොඳට පුද්ගලික වත්කම් තියෙන කෙනෙක් නම්, ඔන්න උඩින් බලන කොට ළය මඩලේ සුන්දර දැක්මක් ලැබෙන එක වලක්වන්න බෑ. මූණ දිහා කෙලින් බලාගෙන කතාකරන කොට වුනත් අපේ ඇස් දෙක ක්‍ෂණයකට වත් ඒ පැත්තට දුවන එක වලක්වගන්න පුදුමාකාර වෙහෙසක් වෙන්න ඕනැ.

නමුත් ඇයි ඒ වගේ අහක බලන්න මහන්සි වෙන්නෙ? වත්කම් හෙලිවෙන බව නොදැනයැ ඇඳන් යන්නෙ?

ඉතිං අද කතන්දරේ මේකයි.

ඔන්න ටික දවසකට ඉස්සර තිබුණ පොඩි සාදයක්. එකම ෆීල්ඩ් එකේ වැඩ කරන අය එකට එකතු වෙන. අපි එක්ක එකට ඉගෙන ගත්තු ගොඩ දෙනෙකුත් එතැනට එන බව දන්න නිසා ඔන්න මාත් ගියා.

ආප්ප පිච්චෙන කං කෝක් එකක් බීබී හිටපු මං දැක්ක, අපිත් එක්ක එක කාලෙ ඉගෙන ගත්තු ගීතිකා යි, ශමීන්ද්‍රාණි යි කතා කර කර ඉන්නව. හුඟ කාලෙකින් නෙ මේ දෙන්නව දැක්කෙ. මාත් එතනට ගියා හලෝ කියන්න.

ඉතිං අපි විනාඩි කිහිපයක් ආගිය තොරතුරු කතා කර කර හිටිය. ශමීන්ද්‍රාණි ඇඳල හිටියෙ කළු පාට සිල්ක් බ්ලවුස් එකක් පපුවෙ මැද හරියට විතර වෙනකං පලපු. මේ වගෙ ඇඳුමක් ඇඳන් ඉන්න කෙනෙකුගෙන් සාමාන්‍යයෙන් ලැබෙන දර්ශනය එතන තිබුන මං දැක්ක.

සමහර විට මං ඒ බව තුන් හතර පාරක් විතර දකින්න ඇති!

වෙනත් වචන වලින් කියනව නං, මං උවමනාවෙන් ඒ දිහා බැළුවෙ නෑ. අනිමිසලෝචනයක් දැම්මෙත් නෑ. ඒ එක්කම, මගෙ ඉදිරියෙ තියෙන දර්ශනයෙන් මගෙ ඇස් වෑයමකින් අයින් කරගන්නත් මං අමුතු මහන්සියක් ගත්තෙ නෑ.

විනාඩියක් දෙකක් යනකොට මෙන්න බොලේ ශමීන්ද්‍රාණි හිමිහිට අර සුන්දර දර්ශනය තමන්ගෙ අතින් කවර් කළා! එක අතකින් එයාගෙ මාලෙ අල්ලමින් කතා කරන්න පටන් ගත්ත.

ඒකෙ අවුලක් මට ආවෙ නෑ.

ඊලඟට උනේ මෙන්න මේකයි. ශමීන්ද්‍රාණි අතින් තමන්ගෙ ක්ලිවේජ් එක වහගන්න හැටි දැකපු ඒ ලඟින් හිටිය ගීතිකා එක පාරටම කලබල වෙලා අතින් එයා ඇඳන් හිටපු බ්ලවුස් එකේ කොලර් එක වහ ගත්ත.

මට ඇතිවුනේ ලැජ්ජාවටත් වැඩිය කේන්තියක්.

හේතුව මේකයි. ගීතිකා ඇඳල හිටියෙ බෙල්ල ලඟටම උඩටම බොත්තං දාපු බ්ලවුස් එකක්. ඒ කොහොම උනත්, සමාවෙන්න මෙහෙම කියනවට, ඒ පලාතෙ ඇස් යන විදියෙ කිසිම දෙයක් තිබුනෙත් නෑ.

ඇත්තම කියනව නං සමහර විට ගීතිකා කවදාවත් ලෝ කට් බ්ලවුස් අඳින කෙනෙකුත් නොවෙන්න හේතුව ඒකයි මං හිතන්නෙ.

මට හිතෙන විදියට පස් පව් කියන ඒව පව් වෙන්නෙ, අපි ඒව කළාම වෙනත් අයට ඒකෙන් අයහපතක් වෙන නිසයි. පර පණ නැසීම, හොරකම, කාමයේ වරදවා හැසිරීම, බොරු කීම කියන පව් හතර ඉතා පැහැදිලියි. මත් පැන් බීම වුනත් බීල සිත විකල් වෙලා අනුන්ට කරදරයක් වෙන දෙයක් නෙ. ඒකයි පව. (හැබැයි රෑට රෑට පොඩි ෂොට් එකක් දාලා නිදාගන්න එකෙන් නං වැඩි පවක් නෑ වගේ. රෑට වයින් බීපු ජේ.ආර් කාරය මේ ආත්මෙන් ම නිවන් යන්න සෙට් වුනේ ඒ හින්දනෙ.)

ඉතිං මගේ තර්කය මේකයි. තමුන් කරන දෙයකින් අනුන්ට කරදරයක් වෙනව නං ඒක පාප ක්‍රියාවක්.

අර සොමි බණ හාමුදුරුවෝ කිව්ව වගේ ඩබල් ඒ.සී. දාල යන යන එන කොට අහල පහල ඉන්න සීලාචාර කොල්ලන් ට වැර වෑයමෙන් තමන් ගෙ ඇස් හසුරුවන්න කරදර වෙන්න වෙන එකත් මේ ආකාරයට වර්ග කරන්න බැරිද?

කතන්දර කාරයා
- අපි දෙසැම්බර් 19 සිහල බ්ලොග් කරුවන් ගේ සංගමයේ සාදයේ දී හමුවෙමු.

Friday 4 December 2009

කතන්දර රහ අඳුනන සන්නසකාරයා


රාජකීය සාහිත්‍ය සම්මානලාභී කතන්දර ශූරින් ලියන කතන්දර වල රහ මුලින් ම හඳුනා ගත් පොරක් තමා සන්නසකාරයා.

සන්නසකාරයා ඉන්නේ Australia වේ මෙල්බර්න් වල. සන්නස කියන්නේ මෙල්බර්න් වල මාසිකව කෙරෙන සඟරාවක්. අන්තර්ජාලය හරහා මුළු ලෝකෙ පුරාම ඉන්න සිංහල කියවන්න කැමති දස දහස් ගණනකට ඒකෙන් සාහිත්‍ය සේවයක් සැලසෙනව. සන්නස සඟරාව වැඩියෙන් ජනප්‍රිය ලංකාවෙන් පිටත සිටින අය අතරයි.

කෙසේ වෙතත් සන්නසකාරයා මගේ බ්ලොග් එකේ පලවුනු කතන්දරය බැගින් තම සඟරාවේ දාන්නට පටන් ගත්ත.

මුලින් ම අගෝස්තු වල.

ඊ ලඟට සැප්තැම්බර් මාසෙයි ඔක්තෝබර් මාසෙයි.

මේකෙන් සන්නස බලන කීපදෙනෙකුට හරි කතරන්දර බ්ලොග් බලන්න ඉඩ ලැබුනා.

මාත් කළේ ඔය ආරංචිය කතන්දර බ්ලොග් එකේ දාපු එකයි. ඒකෙන් කතන්දර බලන ලෝකෙ පුරාම ඉන්න අයට සන්නස හඳුන්වා දෙන්න මට පුළුවන් වුනා.

ඔන්න මේ නොවැම්බර් මාසෙ සන්නසකාරයා කතන්දර එකක් නෙමේ දෙකක් ම දාල සන්නස සඟරාවේ.

එකක් අර බන්ස්, පාන්ස් සහ බෑග්ස් කතන්දරේ. අනික බේසික්, ෆෝට්‍රාන් සහ ජාලිය කියන කතන්දරේ.

මෙන්න ලින්ක් එකඃ http://sannasa.sinhalajukebox.org/2009/Nov/2009Nov_page33.pdf

අවුරුදු පහක සන්නස සඟරා මෙතනින් බලන්නඃ http://sannasa.sinhalajukebox.org/

සන්නස වෙබ් එක මේකයිඃ http://www.sannasa.net/

සන්නසකාරයා ට ත්, සන්නස සඟරාවටත් ජයෙන් ජය වේවා!

කතන්දරකාරයා
(මතකනේ දෙසැම්බර් 19 Sinhala Bloggers Union හමුවීම)

Thursday 3 December 2009

දුටුගැමුණු කෙසේ වෙතත් මම නම් පොරක් මි. - "සාහිත්‍ය" සම්මානයේ සතුට!


මං දුටුගැමුණු රජතුමා පොරක් කියල හිතන් හිටිය එක නිවරද කරගෙන ඒ ගැන පෝස්ට් එකක් දාල විනාඩියක් දෙකක් ගියා විතරයි මෙන්න එනවා ඊ මේල් අසෙනිය කුසුම සම්මානයක් ගැන සුභ පැතුම් එක්ක.

මුලදි මගෙ මීටරේ ට වැටුනෙ නෑ මේ මොකක්ද කියල.

පස්සෙයි කතන්දරේ තේරුනේ - කතන්දර බ්ලොග් එකට සම්මානයක් ලැබිල.

මෙන්න මෙතන බලන්න කෝ.
http://www.sahithya.lk/2009/12/01/aseniya-kusuma-2009-3/

මං මේ කතන්දර කියන්න පටන් ගත්තෙ 2009 ජූලි වල. මුලින්ම සින්ඩියට සෙට් වුනා. එතනින් ගොඩ දෙනෙක් මාව අඳුන ගත්ත.

ටික කාලයක් ගියාම මගෙ කතන්දර තව දුරටත් බෙදා හදා ගන්න ඕනි නිසා තමයි සාහිත්‍ය එකෙත් රෙජිස්ටර් වුනේ. එදාම මං පරණ කතන්දර වලට අළුත් ලින්ක් දාන්න පටන් ගත්ත. ඒ අළුතින් කතන්දර කියවන්න එන අයගේ ප්‍රයෝජනයටයි.

කොහොමින් කොහෙමින් හරි අන්තිමේදි මට හොඳම වින්දනාත්මක බ්ලොග් අඩවියට හිමි සම්මානය ලැබිලා.

අනේ සාදු!

මේ විනිශ්චය දුන්නෙ කවුද කියලනම් පැහැදිලි නැහැ. සමහට විට සාහිත්‍ය සංගමයේ කෂ්ටිය වෙන්න ඕනැ.

කොහොම හරි ඉතින් සම්මානය දුනනෙ සාහිත්‍ය සංගමයක් නිසා මේ සම්මානය සාහිත්‍ය සම්මානයක්.

මේ සාහිත්‍ය සංගමය රාජකීය විද්‍යාලයේ සංගමය නිසා - මේක රාජකීය සාහිත්‍ය සම්මානයක්.

පුහ්ඃ ලේසි පාසු නෑ.

රාජකීය සාහිත්‍ය සම්මානයක් ලැබුන කියන්නෙ - මං පොරක්!

දුටුගැමුණු ගෙ අඩුව මං පිරිමහන්නංකො!

එළාරගෙ භෂ්මාවශේෂ ටික හොයාගන්න ඕනැ ඉස්සෙල්ලාම.

ඒ වගත් මෙසේම,

හොඳම සිංහල වින්දනාත්මක බ්ලොග් අඩවියේ නිර්මාතෘ
රාජකීය සාහිත්‍ය සම්මානලාභී කතන්දරකාරයා

ප/ලිඃ
දැං ඉතිං සම්මානෙකුත් ලැබුන නිසා කතන්දරකාරයා කියල හඳුන්වා ගැනීම හොඳ මදි නේද?

"කතන්දර ශූරින්" කියමු හොඳේ.

Tuesday 1 December 2009

දුටුගැමුණු රජෙක් මිස පොරක් නෙමේ - කතන්දරේ එඩිට් කළෙමි



මං දුටුගැමුණු "රජතුමා" ගේ පුත්‍ර රත්නය වන සාලිය "කුමාරයා" ගැන ලියූ කතන්දර බලා ළමුන් කීප දෙනෙකුට දුක හිතී ඇති බව ඔවුන් එවූ කමෙන්ට් අනුව පැහැදිලිය. ඒ එතුමාට "පොර" යැයි කීම නිසා බව පෙනේ.

මං එතුමා ට "පොර" කියා ලිව්වේ එතුමා "පොරක්" යැයි විශ්වාස කළ නිසාය.

නමුත් මගේ කතන්දර මගින් කිසිවෙකුගේ සිත රිදවීමට මට අවශ්‍ය නොවන නිසා මං මගේ කතන්දරය Edit කළෙමි.

සංස්කරණය කරන ලද කතාව මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post_30.html

මින් පසු මගේ කතන්දර වල දුටූගැමුණු යනු රජෙක් මිස පොරක් නොවනු ඇත.

කතන්දරකාරයා