Sunday 28 February 2010

තේ එකක් බොමුද මචං?


අඳුණන ගෙදරකට ගිහිං කතාබස් කරකර හිටියට තේ එකක් වත් හම්බ වුනේ නැත්තං, කරන්න පුළුවන් පොඩි ට්‍රික් එකක් ගැන සඳහන් කරල මං ලිව්ව කතන්දරේ මතකනේ?

ඕක කියවපු දිනේෂ් සිල්වා කිව්ව පොර දන්නව කියල එක දවසක් තේ හම්බ වුනේ නැති වුනහම පහුවදා ප්ලාස් එකක තේ අරං ගිහිං ගෙදර අයට දුන්න කෙනෙක් ගැන!

දුකා ලියල තිබුණ පොර නං කරන්නේ මේ ගෙදර සීනි තේකොල හෙම ඉවර වෙලා වගේ නේද කියල අහන එකයි කියල.

අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ, ලංකාවෙ අපි කවුරුත් තේ බොන්න හරි කැමතියි. ගෙදරට ආපු කෙනෙකුට තේ එකක් හදල දෙන එක, මගදි හම්බ වෙච්ච යාළුවෙකුට කඩේකින් තේ එකක් අරං දෙන එක හොඳ ආගන්තුක සත්කාරයක්. මිත්‍රත්වයේ සංකේතයක්!
අද මං කියන්න යන කතන්දරයත් ඒ වගේ එකක්.

මේක සිද්ද වුනේ තුම්මුල්ල හන්දිය හරියෙ තිප්පොලකදියි. අපේ බ්ලොග්කාරයො වෙන චමිල, ශාකුන්තල ඇතුළු අය දැන් කරක් ගහන පැත්තනෙ ඕක. ටැබූ විෂයය බාර ගුරුතුමාත් හරිම කැමතියි තුම්මුල්ලෙ තිප්පොල ගැන කතන්දරවලට.

මං පොඩි අධ්‍යාපන වැඩකට සෙට් වෙලා හිටිය කාලෙ මුණ ගැහිල යාළුවුනු පොරක් හිටිය. ඔන්න අවුරුදු දෙකකට විතර පස්සෙ දවසක් මට පොර හම්බවුණා ඔය තුම්මුල්ල හරියෙදි ම මිනිහගෙ ඔෆිස් එකට කිට්ටුව. ඔය කොම්පීටර් බිල්ඩිම හරියෙදි. ඉතිං ටිකක් වෙලා ආගිය තොරතුරු කතා කර ඉඳල මං ඇහැව්ව මොනව හරි බොමු නේද කියල. පස්සෙ මං පොරටයි මටයි ගත්ත එතන තිබුනු ස්පොට් එකකින් හයිලන්ඩ් කිරි පැකට් දෙකක්. (එතන තේ තිබුනෙ නෑ මයෙ හිතේ).

තවත් ටික කාලෙකට පස්සෙ මට පොරව ආයෙත් හම්බ වුනා, ඒ පාරෙන් එහා පැත්තෙ තියෙන සෙනේට් බිල්ඩින් එක හරියෙදි. මං ඒක පිටිපස්සෙ තියෙන බිල්ඩිමේ පොඩි අර්ථශාස්ත්‍ර වැඩකටයි ගිහිනුයි හිටියෙ. පොරව මං එදා එක්කරගෙන ගිහින් එතන කැන්ටිමෙන් වඩේ යි තේයි අරං දුන්න. ඒකත් ආගන්තුකයාගෙන් පදිංචිකාරයාට සංග්‍රහයක්.

හැබැයි ඔය දෙපාරම මට පොරව හමුවුනේ පොර ගේ සේවා ස්ථානය හරියෙදි වුනාට එළිමහන් තැන් වලයි.

අවුරුදු දෙකක් විතර ගෙවිල ගියා. ඔන්න මට සිද්ධවුනා එක දවසක් තුම්මුල්ලෙ තිප්පොලේ පැය දෙක තුනක් කල් මරන්න. ඒ හවස් වරුවෙ මං ගියා පොර ගෙ ඔෆීස් එකටම.

වෙලාවත් තිබුන හින්ද පැයක් විතර කල් මර මර ආගිය තොරතුරු කතා කර කර හිටිය. හැබැයි පොර නෙමේ කටක් ඇරල මට තේ එකක් බොන්න යන්න කතා කලේ.

මාත් එදා වෙනකොට හිතං හිටියෙ ආයෙ නං, ආගන්තුකයාගෙන්, පදිංචිකරුවාට සංග්‍රහ කරන්නේ නෑ කියලයි.

ඉතිං පස්සෙ, අපි දෙන්නම පහල බැස්ස. පොරට බායි කියල යන ගමං මං ලඟ තිබුණු අර ලොකු කැන්ටිමෙන් තේ එකක් බීල මං යන ගමන ගියා.

කතන්දරකාරයා

Friday 26 February 2010

ජොලි සීයගෙ කතන්දරේ


අපෝ නෑ! කලබල වෙන්නෙ නැතුව ඉන්න. මේ කතන්දරේ එයා (ලංකාවෙ මේ දවස්වල ප්‍රසිද්ධ එක්කෙනා) ගැන නං නෙමේ. මේක කතන්දරකාරයගෙ අම්මගෙ තාත්ත, ඒ කියන්නෙ සීය ගැන කතන්දරයක්!

මං මේ කතන්දරේ ඔය විදියට පටන් ගත්තෙ මේකෙ මාතෘකාව දැකල අපේ ඇඩ්මින් කෂ්ටිය කතන්දර බ්ලොග් එකත් අර පොලිටිකල් ටැබ් එකට ඇදල දායි කියල හිතුන හින්දයි.

මාතෘකාව නිසා පොට වරද්ද ගත්තු අය ඉස්සෙල්ලාම මෙන්න මේ ටික අහල ඉන්නකෝ.

අපේ සීය හරිම ජොලි පොරක්. මට මතක ඇති කාලෙ ඉඳල පැන්ෂන් සුවයෙන් තමා කාළෙ ගත කලේ. හැබැයි පොර බෝතලේට නං පැන්ෂන් දීල තිබුණෙ නෑ. දිව්‍යලෝකෙ යන්න කලින් සීය අසනීප වෙනකම්ම හොඳ ජොලියෙන් ජීවිතේ ගත කළා. අපි බොහෝ දෙනෙකුට ආදර්ශමත් විදියට. ඒකයි මං ජොලි සීය කියල කිව්වෙ. උන්දෑට නිවන් සුව ලැබේවා!

දින දෙකතුනකට කලින් ලියපු මේ කතන්දරේ අදම දාන්න හිතුනෙ මගේ පොර ළමයා කතන්දරේ බලල ඉන්දික ලියල එවපු සීය බූව ගෙ කතන්දරේ හින්දත් ඒක දැකපු ටැබූ සර් ලියල එවල තිබුණු බ්ලූ බලපු සීය ගෙ කතාවත් නිසයි.

මෙන්න දැන් ජොලි සීයගෙ කතන්දරේ.

සීයා පැන්සොන් අරං හිටියෙ රජයේ ගුරු සේවයෙන්. මුලින් උපගුරුවරයෙක් විදියට වැඩ කරල පස්සෙ අවුරුදු ගණනාවක් ම එක එක කණිෂ්ඨ විද්‍යාලවල මුල්ග්‍රරුවරයා ලෙස වැඩකරල තිබුන. මේක අපේ සීය උප ගුරුවරයෙක් විදියට ගම්බද පාසැලක උගන්වන කාලෙ වෙච්ච කතාවක්.

කොයි ඉස්කෝලෙත් තියෙනවනෙ ගුරු කාමරයක්. ඕෆ් පීරියඩ්ස් වල, ඉන්ටර්වල් එකේ ගුරුවරු ඕකට තමයි සෙට් වෙන්නෙ. ගෙදරින් ගෙනාපු පාං, සීනි සම්බෝල, රොටී, ඉඳි ආප්ප මුල් අරගෙන, උණුවතුර ප්ලාස්ක් වල දාපු ප්ලේන් ටී අරගෙන විවේක පාඩුව සප්පායං වෙන්න.

සීය වැඩ කරපු ඉස්කෝලෙ මුල් ගුරුවරය තමයි ජෝන් මහත්තය. පොරත් හැමදාම ඉන්ටර්වල් එකේ එනවළු ගුරු කාමරේට තේ බොන්න. මිනිහ කාමරේට ඇතුල් වෙලා අනිකුත් ගුරුවර ගුරුවරියො තේ බොන පැත්ත බලල අහනවළු මෙන්න මෙහෙම.

"කව්ද අද පාන් නොකා ඉන්නේ.. .. ..?"

එහෙම අහන්නෙ පොරටත් පාන් පෙත්තකුයි, සීනි සම්බෝල ටිකකුයි ඉල්ල ගන්නයි. ඕක ඇහෙන ඔතන ඉන්න ගුරුවරියො ටික ලැජ්ජාවෙන් බිම බලා ගන්නවළු.

අපේ සීයට මේ වැඩේ ඇල්ලුවෙ නෑ, ඒ ඉස්කෝළෙට ගිය දවසෙම. දවසක් දෙකක් බැළුව. ජෝන් මහත්තය ගුරු කාමරේට තේ බොන වෙලාවට ආවොත් නොවැරදීම ඔය ප්‍රශ්ණෙ අවනවමයි.

හැබැයි, ජෝන් මහත්තය ගෙ ඒ පුරුද්ද එක දවසකදි නතර වුනා.

ඒක වුනේ මෙන්න මෙහෙමයි.

ඔන්න එදත් ජෝන් මහත්තය ආව ගුරු කාමරේට ගුරුවරු තේ බොන වෙලේ මෙහෙම කියාගෙන.

"කව්ද අද පාන් නොකා ඉන්නේ.. .. ..?"

අපේ සීය කිව්වළු මෙන්න මෙහෙම.

"පාන් නොකා නෙමේ, ජෝන් මහත්තය, පාන් ජොකා!"

කොහොමද කතන්දරකාරය ගෙ ජොලි සීයගෙ වැඩ?

කතන්දරකාරයා
ප/ලි (28/02/2010)ඃ
ඔය ෆොටෝ එකේ ඉන්නෙ කවුද කියල දන්නවනෙ?

Thursday 25 February 2010

පොර ළමයා කතන්දරේ බලා ඉන්දික උපශාන්ත ලියා එවූ කතාව - සීය බූවා


මං ඊයෙ පල කරපු පොර ළමයා කතන්දරේ කියවපු ඉන්දික උපශාන්ත මට කතාවක් ලියල එවල තියෙනව.

මට මතක් වුනේ කාළෙකට ඉස්සර මේ වගෙම මට මං එදා මී මැස්සිය කියල හැඳින්නුව අක්කණ්ඩි කතාවක් ලියල එවපු හැටි. පස්සෙ අක්කණ්ඩි වෙනම බ්ලොග් එකක් පටන් ගත්ත.

ඊට සති දෙක තුනකට පස්සෙ - මෙන්න බොලේ තුන්වැන්නී ත් මට කතා ලියල එවන්න පටන් ගත්ත. එයත් ටික දවසකින්ම තමන්ගෙම බ්ලොග් එකක් පටන් ගත්ත.

ඉනදිකටත් තමන්ගෙම බ්ලොග් එකක් (දැනට නැත්නං) ලැබේවා කියා පතමින් දැන් ඉන්දික ලියා එවූ කතාව බලමු.

================= ඉන්දික ගේ කතාව ඇරඹුම ==================

ඔය කතාව මාත් අහල තියෙනවා. ඒත් මන් මේ කියන්න යන්නෙ ඇත්තම සීන් එකක්ල මගේ යාලුවෙකුගෙ ගෙදරදි අත් දැකපු.

මගේ යාලුවෙකුගෙ තාත්ත, එයාගෙ තාත්තව ගමේ බලාගන්න කෙනෙක් නෑ කියල ඒ ගොල්ලන්ගෙ ගෙදර ගෙනාව. සීය රියල් අහින්සක ගමේ මිනිහ. හැබැයි වයස නිසා ඇස් පේනව, කන් ඇහෙනව ටිකක් අඩුයි. දැන් ඔන්න සීය ඉස්සරහ කාමරේ නැවතිල ඉන්නව.

අපේ පොරටයි, උගෙ අයියටයි මේ කාලෙ Michael Jackson ඔලුවට ගහල තිබුනෙ. ඉතින් උන්ගෙ T-shirt වල school bags වල හැම එකේම ලියල තියෙන්නෙ BAD, Thriller වගේ කතා. ඉන්නෙ යකඩ එල්ලන් කොර ( අසනීපෙන් නොවේ) වෙලා.

දැන් මුන්ගෙ මදන විසෙට අර අහින්සක සීයගෙ shirt වලත් අනන්-මනන් ටිකක් ලියල, කොර කරල. දැන් සීයත් ඉන්නෙ Michael Jackson ගෙ fan කෙනෙක් වගේ.

සීයට පේන්නෙ නැති හින්දත්, හවසට අම්මල එන්න කලින් මුන් සීයව හොදල shirt මාරු කරන හින්දත් වැඩේ කාටවත් නොන්ඩි නෑ. දන්නෙ දවල්ට ගේ ඉස්සරහ වල බහින උන් ටිකයි පාරෙ යන එන උන් ටික දෙනෙකුයි විතරයි.

අපිත් හුඟක් දවසට වලට පාඩම් කරන්න set වෙන්නෙ මුන්ගෙ ගෙදර. පාඩමට වැඩියෙ වල තමයිල මොකද බරේ දාන්න ගෙදර වැඩිහිටියො කවුරුත් නැති හින්ද.

ඉතින් මුලදි මුලදි අපි ගිහින් කතා බහ කරනකොට සීය ඉස්සරහ ඉන්දන් අහනනව "කව්ද පුතේ කතා කරනව ඇහෙන්නෙ?" කියල.

එතකොට අරුන් දෙන්නගෙන් එකෙක් කියනව, "ආ සීයෙ ඒ අපේ බුවෙක් ඇවිත් හරි හරි" කියල.

එතකොට සීයත් "ආ බුවෙක්ද? එහෙනම් කමක් නෑ" කියල සද්දෙ වහල ඉන්නව.

ඉතින් ඔහොම යනකොට දවසක් මුන්ගෙ තාත්තගෙ අයිය කෙනෙක් දවල් අවේලාවෙ ගමේ ඉන්දන් ඇවිත්. දැන් මූ ඉඳගන්න එහෙම කියල කතා කර කර ඉන්නවලු අම්මල එනකල්.

මේක මුන්ගෙ සීයට ඇහිලල සීය පුරුදු විදියටම "කවුද පුතේ බුවෙක්ද" කියල ඇහුවලු. අපේ එකා මුකූත් උත්තරයක් නොදී හිටියලු ලොකු තාත්තට වැඩේ මාට්ටු වෙයි කියල හිතල. සීය ආයිත් මහ හයියෙන් ඇහුවලු "බුවෙක්ද පුතේ ඇවිත් ඉන්නෙ?" කියල. තව කට වහන් හිටියොත් බුවා බලන්න Jackson සීය room එකෙන් එලියටම එයි කියල බයටම අපේ බුවා හෙමීට room එකට ගිහින් volume අඩු කරල සීයට කිව්වලු, "ඔව්, ඔව්, බුවෙක් තමා!" කියල.

සීයට මේක හරියට ඇහිල නැතුව ආයි ටිකක් සද්දෙ දාලම මුගෙන් ඇහුවලු "ඇයි පුතේ බුවෙක් නෙමේද ඒ?" කියල.

දැන්නම් සීය මට කෙලන්න තමා හදන්නෙ කියල අපේ බුවත් සීයගෙ කනට වදින ගානට එහා ගෙදර kitchen එකට යන්තන් විතර අහෙන සද්දෙට කිවුවලු "ඔව්, ඔව්, බුවෙක් තමා!" කියල.

මේ කතා බහ ඇහිල කොර වෙච්චි ලොකු තාත්ත විදගෙන කාමරේට ගියාලු මොකද්ද මේ තාත්ත කියන්නෙ කියල බලන්න.

ඊට පස්සෙ නාකි Jackson නුයි පැටිය Jackson නුයි කතා කරේ මොකද්ද කියල හරියට දැනගෙන, තමන්ගෙ තාත්තාට සලකන උජාරුව ගැන මලයට ස්තූති කරල එහෙම ලොකු තාත්ත ගියාට පස්සේ අපේ උන් දෙන්නාට උන දේයි අපි දැක්කම උන්ගෙ දෙමාපියො කරපු ස්තූති ගායනාවයි (හැම දෙමාපියෙක්ම හිතන්නෙ යාලුවො තමා තමන්ගෙ දරුවො නරක් කරන්නෙ කියලනෙ, ඒත් ඇත්ත දන්නෙ අපිමනෙ!) නම්....හ්ම්.....එල ම තමයි.

================ ඉන්දික ගේ කතාව අවසානය ==================

වයසක අසරණ මිනිස්සුන් ට මේ විදියට සලකන එක අන්තිම නරක වැඩක් බව අමුතුවෙන් කියන්ණ ඕනැ නෑනේ.

කතන්දරකාරයා

Wednesday 24 February 2010

පොර ළමයා


බයිලකාරයො බයිල ගහන ශෛලියක් තියෙනව. කතන්දරකාරයොත් එහෙමයි.

මං කතන්දර කියන්නෙ, කතන්දරකාරයා හෙවත් කතන්දරශූරී හෙවත් කතන්දර රජා හෙවත් කතන්දර-වාලා වන මගේ ශෛලියටයි. කතන්දර කියන්න මං පාවිච්චි කරන වචන සෙට් එක, ලැන්ග්වේජ් එක, වාක්‍ය ගැලපීම, පද බෙදීම ආදී මෙකී නොකී සේරම දේවල් මං හදාගත්තු සම්මුතියකට අනුවයි කරන්නෙ.

වෙනත් නම් වලින් (ඒවා දන්නෝ දනිති!) මං ලියන දේවල්වල ගතිගුණ මේ කතන්දර බ්ලොග් එකට වඩා වෙනස්. සමහර තැන්වල අම්බානකට වෙනස්.

කතන්දරකාරයගෙ භාෂාවෙ එන ප්‍රියතම වචනයක් තමා "පොර" කියන සර්වනාමය. "තමුසෙ" කියන්නෙ, "තමුන්නාන්සෙ" කියන එකේ ෂෝට්න් ෆෝම් එක කියනව වගේ "පොර" කියන්නෙත් හොඳ නමක කෙටි යෙදුම වෙන්න ඕනැ.

කතන්දර බ්ලොග් එකේ මුළ ඉඳලම මං ඔය "පොර" කියන සර්වනාමය පාවිච්චි කළා. කාලෝ ෆොන්සේකා ට, ස්කෝඩා එක එලවපු ප්‍රින්සිපල් ට, බන්දුල ගුණවර්ධන ට, අරූට, මූට වගේ බොහෝ දෙනෙකුව හඳුන්වන්න.

හැබැයි කතන්දර කොට්ටෝරුවට වැරදුනේ දුටුගැමුණුට පොර කියපු දවසෙයි. ඒක ටැබූ මාතෘකාවක් ලංකාවෙ. ඉතිං ටැබූ විෂයය භාර ගුරුතුමා තමන්ගෙ ලිපි අකුල ගත්ත වගේ, මාත් දුටුගැමුණු පොරක් නෙමේ කියල ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරල මගේ ලිපිය සංස්කරණය කළා.

ඉතිං මේකයි අද කතන්දරේ. කෙටි කතාවක්. මාත් අහල තියෙන එකක් මිස මගේම අත්දැකීමක් නම් නෙමේ. හැබැයි ඇත්ත වෙන්න ඕනැ.

ඔන්න එක්තරා කැම්පස් එකක කොල්ලෙක් නිවාඩු දවසක ගෙදර යනකොට බෝඩිමේ හිටපු බැචෙකුත් සෙට් වුණා ගමනට.

දෙන්න ගෙදර ගියා. ගෙදර හිටිය අම්මට යාළුවව අඳුන්වල දුන්න.

"අම්මෙ මේ අපේ කැම්පස් එකේ පොරක්. අපි දෙන්න එකම බෝඩිමෙයි ඉන්නෙ".

ඉතිං යාළුවො දෙන්න කාමරේට සෙට් වෙලා තෙලක් බෙද බෙද හිටිය. ටික වෙලාවකට පස්සෙ අම්ම කතා කරනව ඇහුණ සාලෙ පැත්තෙ ඉඳන්.

"පුතේ ඔය පොර ළමයත් එක්ක එන්න බත් කන්න".

-කතන්දරකාරයා

ප/ලිඃ
දැන් මෙන්න මේ ලියන මොහොතේ මගේ හිතට ආපු ප්‍රශ්ණයක්.

තමුසෙ කියන්ණෙ තමුන්ණාන්සෙ කියන එකේ කෙටි යෙදුම නම්, අයිසේ (I say) කියන්නෙ මොන වචනේ කෙටි යෙදුමටද?

තවත් ප්‍රශ්ණ දෙකක් මෙන්න. මේව ඇත්තටම තේරවිලි. දවසක් රෑක රේඩියෝ එකකින් මට ඇහුන ඒව.

1. මාළුවගෙ girl friend ට කියන්නෙ මොකක්ද?
2. කුළු හරක ගෙ girl friend ට කියන්නෙ මොකක්ද?

(ඉඟිය- මේ ලිපියට සම්බන්ධයි.)

Tuesday 23 February 2010

සාරි අඳින පුටු


මට මතකයි මං ඒ ලෙවල්ස් කරල වාත වෙවී ඉන්න කාලෙද කොහෙද එක දවසක් ගියා යාළුවෙකු ගෙ ගෙදර නිකං ගිහින් එන්න.

පොර මාව පිලි අරගෙන කිව්ව වාඩි වෙන්න කියල. ඒ ගෙදර ඉස්තෝප්පුවක් නෑ. කෙලින්ම දොර ඇරෙන්නෙ සාලෙට.

ඒ කාලෙ හැටියට හොඳ පුටු සැට් එකකුයි, තව පොඩි පුටු කීපයකුයි, කෑම මේසෙ, ටී.වී. එක, කැබිනට් එක යනාදී සුපුරුදු බඩු තිබුන සාලෙ.

ඔන්න මං වාඩිවෙන්න බලන කොට තමයි දැක්කෙ අර හොඳ පුටු සැට් එක සාරි වලින් වහල බව.

පුටු වහල තිබුනෙ සුදු සාරියකින් උනා න සහ මං හාමුදුරුනමක් නං ඔන්නවාඩිවෙන්න තිබුන ඒ සැප පුටුවල පිරුවට උඩින්ම.

මක්කොරන්නද? මං වාඩි වුනා බිත්තිය අයිණෙ තිබුණු සාමාන්‍ය පුටුවක, පොඩි පහේ තරහවකුත් හිතේ අරාගෙන, හැබැයි මුවින් නොබැන.

ඔය විදියට බඩු පරිස්සං කිරීම අපේ කට්ටියගෙ සිරිතක් නේ! ගෙදරට බඩුවක් ගේන්නත් කලිනුයි, ඒක වහන්න කවර මහන්නේ!!

කොට්ට වලට කොට්ට උර දානව තමා, ඒත් පුටුවලට පුටුකවර, මේසවලට මේස රෙදි, පොත්වලට පිට කවර, .. .. .., කවර දැමිල්ලෙ ඉවරයක් නෑ.

ඒ විතරක් නෙමේ දැන් කාලෙ උනත් ඔය අළුතින් පුටු ගන්නකොට ෆැක්ටරියේදී ම දාපු පොලිතීන් කවර තියෙනව නේද? සමහරු ඔය පොලිතීන් එක කීතු, කීතු ඉරිල යනකංම ඒව ගලවන්නෙ නෑ. කැතේ බෑ.

මේ වගේ අපේ අයගෙ විහිළු වැඩ ගැන කතා දෙක තුනක්ම තියෙනව. හෙට අනිද්ද දිහාට ලියන්නං.

-කතන්දරකාරයා

ප/ලිඃ
අද කතන්දරේ වැඩි ආතල් එකක් නැති හින්ද තව පොඩි කෑල්ලකුත් කියන්නං කෝ.

කවද හරි යාළුවෙකු ගෙ ගෙදර ගිහින් කතා කර කර ඉඳල ආපහු යනකං ම තේකක්වත් හම්බ වුනේ නැති නං මොකක්ද දන්නවද කරන්න ඕනැ?

යන්න නැගිටල යාළුවගෙන් අහනව මෙන්න මෙහෙම.

"මචං මේ ලඟ තියෙනවද කඩයක් හෙම?"

පොර අහයි "ඇයි මොනව ගන්නද මචං?" කියල.

"නෑ, මේ යන ගමං තේ එකක් බොන්න"!

(මට නං එහෙම කියන් වෙලා නෑ කවදාක්වත්).

Monday 22 February 2010

රෝස පාට තුවා - Pink Coloured Towels



අවශ්‍ය ද්‍රව්‍ය
1. ඉන්දියාවේ නිෂ්පාදිත රතු/දුඹුරු පැහැති ටේබල් ස්ප්‍රෙඩ් (මේස ඇතිරිලි) එකයි
2. සුදු පාට හෝ ලා පැහැති තුවා කිහිපයක්
3. රෙදි සෝදන කුඩු අවශ්‍ය පමණ
4. රෙදි සෝදන යන්ත්‍රයක්

සාදන ක්‍රමය
මේස ඇතිරිල්ල සහ ලා පැහැති තුවා කිහිපය රෙදි සෝදන යන්ත්‍රය තුලට දමන්න.

අවශ්‍ය ප්‍රමාණයට රෙදි සෝදන කුඩු එකතු කරන්න.

යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න.

රෙදි සෝදන ක්‍රියාවලිය අවසාන වූ පසු තුවා සහ මේස ඇතිරිල්ල අව්වේ දමා මනාව වේලාගන්න.

රෝස පාට තුවා ඔබේ සහකාරිය ඉතා සතුටට පත්කරන නිර්මාණයක් වනු නිසකය.

අත්දුටුවයි! ප්‍රත්‍යක්‍ෂයි!!



ඔය උඩින්ම තියෙන්නේ ඉන්දියානු මේස ඇතිරිල්ලයි. යටින් තියෙන්නේ මේ ක්‍රමයට නිෂ්පාදනය කරගත් රෝස පාට තුවා.

-කතන්දරකාරයා

(සැ.යු. මෙම ක්‍රමය සාර්ථක වීමට නම් ඔබේ සහකාරිය නිවසේ නොමැති වේලාවක් මේ සඳහා තෝරාගත යුතුය).

Sunday 21 February 2010

කතන්දර-වාලා - ටැබූ ගේ ප්‍රියතම බ්ලොග් අඩවිය?


මං කතන්දර බ්ලොග් එක ලියන්න පටන් ගත්තෙ දන්න දන්න ජොලි කතන්දර බලන අය එක්ක බෙදා හදා ගෙන දුකින් පිරී මේ ජීවිත වලට පොඩි සැනසුමක් ලබා ගන්නයි.

ඒත් ඉතිං ඉඳල, ඉඳල දුක හිතෙන කතාත් ලියවුනා.

කතන්දර අස්සෙ මට ඕනැ බයිලාත් ගහල ඇරිය දන්නෙ නෑ වගේ.

මං හිතන්නෙ මලී තමයි මට කියන්න ගත්තෙ කතන්දරේ කියල. එහෙම නැත්තං දැන් බ්ලොග් ලිවීම නොකරන තුන්වැන්නී. පස්සෙ රාජකීය සම්මානෙ ලැබුනහම මට හිතුන කතන්දර ශූරින් කියල නම වෙනස් කරගන්න ජොලියට වගේ. කීප දෙනෙක් මට ශූරින් කියලත් කමෙන්ට්ස් දාල තිබුණ. ටෑබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් එක ලියන ටැබූ එයින් එක්කෙනෙක්. මං "කකා" කියල අත්සන් කරන එක හරි නෑ කියල ටැබූ යෝජනා කළා මට කතන්දරසූරීන් - "කසූ" කියල ලියන්න.

ඉතිං අළුත් ම නිව්ස් එක (ටිකක් පරණයි) මේකයි.

ටැබූසූරින් ලඟදි දාපු පොස්ට් දෙකකම මා ගැන ලියල තිබුණ. මුල් ලිපියේ තව බ්ලොග් කීහිපයක් ගැණ තිබුනත් ඊලඟ එකේ තිබුණු කතාවෙන් බැලුවට පස්සෙ මට හිතුනේ කතන්දර බ්ලොග් එක තමා ටැබූසූරීන් ගෙ ප්‍රියතම බ්ලොග් එක කියල. (ලියල තිබුනෙ නං, හරියටම එහෙම නෙමේ මෙන්න මෙහෙමයි: "Kathandara – (Stories) one of my favorite Sinhala blogs carry no politics. I wish I too were a story-wallah.".)

ජොලිම කතාව තමා - ටැබූසූරීන් මට අළුත් නමක් දැමීම.

ඒක තමයි කතන්දර-වාලා (Kathandara-wallah). මේක හින්දි භාෂාවේ එන, චායි-වාලා (මතකනේ ස්ලම් ඩෝග් මිලියනර්) වගේ එකක්. හින්දි වලින් කතන්දරකාරයා (storyteller) ට වලට කියන්නේ - कथाकार - Kathākāra. කතන්දර (stories) වලට කියන්නේ - कथाएँ - Kathā'ēm.

ටැබූසූරින් ගෙ පෝස්ට් එක ගැන ලිව්වෙ මා ගැන පම්පෝරි ගහන්න විතරක් ම නෙමේ!

දන්නවනෙ, මේ දවස්වල සින්ඩිකේටර් එකේ පක්‍ෂ දේශපාලනය ගැන ලියන බ්ලොග් ප්‍රධාන පිටුවෙන් ඉවත් කළ එක ගැන වාද විවාද යන බව. මං ඒක ගැන මගේ අදහස් ලියන්න යන්නෙ නෑ මෙතන.

හැබැයි මං එක වැඩක් කළා දැන් දවසකට විතර කලින් කතන්දර බ්ලොග් එකේ.

ඒක තමයි මගෙ බ්ලොග් රෝල අළුත් කරල, විශාල කරල එයින් මං කියවන දේශපාලන අඩවි වෙන් කරල ඉහලින්ම පල කළා.

හැබැයි එකක් කියන්න ඕනැ.

මගෙ බ්ලොග් රෝලෙ ඇයි ඒක දාල නමුත් මේක නැත්තෙ ආදී ප්‍රශ්ණ නං අහන්න එපා. දන්නවනෙ කොන්තනෝන ගෙ කතාව.

මං කියවන වෙනත් ගද්‍ය අඩවි ඊලඟට දාල තියෙනව. පද්‍ය අඩවිත් වෙනම දාන්නයි ඉන්නෙ. හොඳයි නේද?

කතන්දරකාරයා හෙවත් කතාකාර්-වාලා

Friday 19 February 2010

ඉතිං ඊට පස්සෙ?
බස් එකේ දී මුණ ගැසුණු ටීචර් ගේ කතන්දරේ අවසාන කොටස


හැම කතන්දරේම මුල, මැද, අග සේරම කියන්නයි, කිව්වත් ඒ සේරම එක පිළිවෙලට කියන්නයි ඕනැම නෑ.

ඒත් ඔන්න මේක නොකියා ඉන්න බෑ ම කියල හිතුනා.

මතකනේ බස් එකේ දී මුණ ගැසුනු ගෑණු ළමයා, ඉස්කෝලෙක ටීචර් කෙනෙක් කියල මං කියපු හැටි.

ඒ බව මං දැනගත්තේ කොහොමද කියලා මං මාස ගණනකට පස්සේ එයාට කීව බව.

මෙන්න ඒ කතාවේ අවසානය. ලිඛිත වචන වලින් නොවෙයි, ගායනා, මියුසික් සහ රූප රාමු මගින්.



දුකයි නේද? දුකයි තමයි. ඒත් ඉතිං මොනව කරන්නද? ලෝකෙ හැටි ඔහොම තමයි.

කතන්දරකාරයා

Thursday 18 February 2010

චූටි ටීචර් ගෙ දිව උලුක්කුව


ඉස්සර දවසක, ලස්සන හවසක මට බස් එකකදි හම්බ වුනු ලස්සන කෙල්ලෙක්
ටීචර් කෙනෙක් බවත්,
එයා හරිම කරුණාවන්ත කෙනෙක් බවත්,
පාසැලේ ළමයි එයාට හරීම ආදරෙයි බවත්
මගේ විජාණන ඥානයකින් හොයා ගත්තු හැටි ගැන කියවුන කතන්දරේ මතකයි නේද?

මගේ ඒ වික්‍රමය ගැන කරුණු පැහැදිලි කරන්න මට තවත් කතන්දර පොස්ට් එකක් දාන්න වුනා.

ඕව ලියන අතරේ මට මතක් වුනා "දිව උළුක්කු" වෙන වැකියක්.

"චූටි ටීචර් ගෙ චූටි ටෝර්ච් එක"

ඕක කියාගෙන කියාගෙන යන්න බලන්න පුළුවනි නම් වරද්දන්නෙ නැතුව දහපාරක් විතර. මිෂන් ඉම්පොසිබල්!

ඕක මං පොඩි කාලෙ ඉඳල අහල තිබුණු එකක්. ඔය වගෙ තවත් tongue twisters එකක් නැත්නම් සිංහළෙන් "දිව උළුක්කුවක්" තමයි මේක.

"රතු චීත්ත දෙජාතියයි"

ඉංගිරිසි tongue twisters නම් ඕනි පදං හොයාගන්ණ පුළුවන් වෙබ් සර්ච් එකක් කරල.

ඒත් සිංහල ඒව?

කවුරු හරි මේ වගෙ දිව උළුක්කු දන්නව නං කියන්නකො, ප්ලීස්.

කතන්දරකාරයා
kathandara@gmail.com

Monday 15 February 2010

කතන්දරකාරයා ගේ පර-රක්‍ෂා විජාණන ඥාණයඃ මෙන්න විසඳුම


කතන්දරකාරය මේ බ්ලොග් එක ලියන්න පටන්ගත්තෙ නම් ලව් ස්ටෝරීස් ලියන්න නෙමේ. ආදර කතන්දර විතරක් ම ලියන අයත් ඉන්නව නෙ ඕන තරම් මේ සිංහල බ්ලොග් අවකාශයෙ.

ඒ නැති වුනත් දැන් ඔය ලව් කතා ටික ටික අමතක වෙලා යන කාලෙ.

එත් ඉතිං ඉඳල ඉඳල ලව් ස්ටෝරීස් මතක් වෙනව.

මුලින්ම මං ලිව්ව ලව් ලෙටර් එකක කතාවක්. ඊලඟට පෙම් කවියක් ලියූ හැටි ගැන කතන්දරේ. ඊටත් පස්සෙ මේ ගිය සුමානෙ තමයි ඔය බස් එකේ කතන්දරේ ලිව්වෙ.

ගිය සුමානෙ කතාව, මූලිකවම කතන්දරකාරය ගෙ ස්ථානෝචිත ප්‍රඥාව සහ සුවිශේෂී පර රක්‍ෂා විජාණන ඥාණය ගැන ලියවුනත් ඒකෙ පොඩ්ඩක් ලව් එකක් ගැන සඳහනකුත් තිබුණ. ඇත්තම කියනව නම් ඒක ලව් ස්ටෝරියක ආරම්භයක් කියල කියන්න පුළුවන් ඉඟියක් ඒ කතන්දරේම තිබුණ.

ඒ කොහොම වුනත් අද මේ මං සෙට් වෙන්නෙ එදා ලංගම බස් එකේ දී හම්බ වෙච්ච ඒ සුන්දර යුවතිය ඉස්කෝල ටීචර් කෙනෙක් බවත්, එයා පාසැලේ ළමයින් ට හරිම කරුණාවන්ත බවත්, ළමයි එයාට හරිම ආදරේ බවත් ටක්කෙටම කියන්න මං දැනගත්තෙ කොහොමද කියල ඒ බව මේ වෙනතුරු හරියට තේරුනේ නැති අයට කියල දෙන්නයි.

ඕකෙ මහ මැජික් එකක් තිබුනෙ නෑ. ඒ වෙනකොට අවුරුදු හතරක විතර බස්හෝල්ට් වල රස්තියාදු වෙලා තිබුණු පලපුරුද්දයි, ක්‍ෂණිකව නමුත් තර්කාණුකූලව හිතන්නයි, සෑබෑ වීමේ සම්භාවිතාවය වැඩි උපකල්පන කරන්නයි පුළුවන් වීමයි විතරයි ඕනැ වුනේ! (ඔය සේරම එකතු වුනාම තමයි පර-රක්‍ෂා විජාණන ඥානය ලැබෙන්නේ).

මෙන්න මගේ තර්කයඃ
1. බස් එකේ දි කතා කළ කෙල්ල ඇඳගෙන හිටිය ඇඳුම්:
මං ඒ කාලෙ ඉගෙන ගත්තු තිප්පොලේ කෙල්ලො දිනපතා අඳින ඇදුම් වලට වඩා පොෂ් ඒවා. ඒ කියන්නෙ මේ කෙල්ල ට සල්ලි තියෙන්න ඕනැ.

2. උරහිසේ දමා ගෙන හිටපු හෑන්ඩ් බෑග් එකඃ
ඒකෙන් තේරුණා ජොබ් එකක් කරන කෙනෙක් බව.

3. බාහිර උපාධිය ට ක්ලාස් යෑමඃ
බාහිර උපාධියකට ගන්න ඉගෙන ගන්න එක තරම් කට්ටක් කන්න ගැට්ටක් තියෙන්නෙ ඉගෙනීම ගැන උනන්දුවක් තියෙන කෙනෙකුටනෙ. ඒ කියන්නෙ මෙයා ගුරුවරියක් විය යුතුයි. වෙන ජොබ් එකක් කරන කෙනෙක් නම් සිමා (CIMA) හරි චාටර්ඩ් එකවුන්ටින් වගෙ කෝස් එකක් නෙ කරන්නෙ සාමාන්‍යයෙන්.

අනික මගෙ තාත්තත් ඉස්කෝලෙ ගුරුවරයෙක් විදියට වැඩ කරන අතර තමයි ලන්ඩන් යුනිවසිටි එකේ බාහිර උපාධියට සෙට් වෙලා තියෙන්නෙ. ජී.ඒ.කිව්. පාස් වෙලා තමයි විද්‍යෝදයෙ කට්ට කන්න ගිහින් තියෙන්නෙ.

තත්පරයක් ඇතුලත ඔය සේරම තර්ක විතර්ක හරහා මං උපකල්පනය කළා, මේ කෙල්ල ඉස්කෝල ටීචර් කෙනෙක් වෙන්න ඕනැ කියල. එයා ජී.එස්.කිව්. වලට ක්ලාස් ගියා කියල කිව්ව ගමං මං කොයි ඉස්කෝලෙද ඔයා උගන්නන්නෙ කියල අහල කෙල්ලව තක්බීර් කලේ ඒ උපකල්පනය මතයි.

හොඳ වෙලාවට මං ක්‍ෂණිකව හිතපු දේ හරිගියා.

අනික එහෙම හරි නොගිය වුනත්, මට වෙන අමුතු පාඩුවකුත් නෑනෙ, සිංහල බ්ලොග් අවකාශයට කතන්දර කොටස් දෙකක් අහිමි වීම හැර.

තවත් කතන්දරයකින් නැවත හමුවෙමු.

කතන්දරකාරයා

ප/ලිඃ
පොඩ්ඩක් හෝව්!
දැං ඉතිං මේ ටීචර් පාසැලේ ළමයින් ට හරිම කරුණාවන්ත බවත්, ළමයි එයාට හරිම ආදරේ බවත් එවෙලෙම කියන්න මං දැන ගත්තෙ කොහොමද කියලත් කියල දෙන්න ඕනැද?

අපේ කාන්තා පක්‍ෂයට නං ඔය වගෙ කතා අහල අහල හොඳට පුරුදු ඇතිනෙ.

ඕක දන්නෙ නැති කොල්ලෙක් ඉන්නවනං ඒ අයට මල් පාත්ති වගාව පිළිබඳව හෝඩියේ ඉඳල කියල දෙන්න වෙනව. ඩිමාන්ඩ් එකක් තියෙනවනං ලියන්න පුළුවන් උපදෙස් මාලාවක්ම - Flirting for Dummies වගේ title එකකින්!

Friday 12 February 2010

ලව් කතා - කතන්දරකාරයා ගේ ස්ථානෝචිත ප්‍රඥාව


කොයි කොල්ලගෙත් ජීවිත වල තියෙනව, ඔය බස් හෝල්ට්වල, ස්ටේෂන්වල, පාර තොටේ, වැඩි වැඩකුත් නැතිව රස්තියාදු වෙන කාලයක්. ගෙදර යන්න හෙම කිසිම හදිස්සියක් ඇතිවෙන්නෙ නෑ.

ඕක වෙන්නෙ එක්කෝ උසස් පෙල ලියල ගෙදර ඉන්න කාලෙ. නැත්තං, වැඩිදුර ඉගෙන ගන්න කියල කාලෙ නාස්තිකරන කාලෙ ලැබෙන අනවශ්‍ය නිවාඩු වල.

අපේ කාලෙ ඒවගෙ නිවාඩුවලින් අඩුවක් නං තිබුණෙ නෑ.

ඔන්න ඔය වගේ දවසක මං, එක්තරා නගරයකින් බස් එකකට ගොඩවුනා යාළුවෙකුගෙ ගෙදර යන්න. ඉතිං බස් එක අද්දන්න ඔන්න මෙන්න කියල තියෙද්දි මෙන්න බොලේ සුන්දර ගෑණු පරාණයක් නැග්ග බස් එකට.

ලස්සන සායකුයි බ්ලවුස් එකකුයි ඇඳපු, කොණ්ඩෙ ගොතපු, අවුරුදු විසි දෙකක තුනක විතර යුවතියක්. එක අතකින් ෆයිල් කවරයක්. උරහිසේ හෑන්ඩ් බෑග් එකක්.

වාසනාවට හරි අවාසනාවට හරි මේ කෙල්ල කෙලින් ම ඇවිත් වාඩි වුනේ මා ලඟයි. මං හිටියෙ බස් එකේ පස්ස පැත්තෙ සීට් එකක. කෙල්ල නැග්ගත් එක්කම වගේ බස් එක පිටත් වුනා.

ඔන්න කොන්දොස්තරකාරය ටිකට් දීගෙන එනව ඉස්සරහ ඉඳන්. අන්තිමට මිනිහ මං හිටිය පේලිය ගාවට ආව. මුලින්ම මේ කෙල්ලගෙ වාරය. එයා රුපියක් විස්සක් දීල කිව්ව "පන්සල ගාව!" කියල. සල්ලි ගත්තු කොන්දොස්තර මගෙන් ඇහැව්ව "කොහෙටද?" කියල. මට යන්න තිබුනෙ පන්සල ගාවට වඩා ටිකක් ලඟ තැනකට. ඒත් මාත් ඔන්න ඔහේ "පන්සල ගාවට!" කියල දුන්න විස්සෙ කොලයක් ටිකට් එකට.

ඒ දවස්වල ඔය පන්සල ගාව කියන තැනට ගාස්තුව රුපියල් දහයයි. ලංගම බස් එකක් හින්දද කොහෙද කොන්දොස්තර ගාව තිබුනෙ නෑ අපි දෙන්නට දෙන්න ඉතුරු සල්ලි.

පොර රුපියල් විස්සෙ එක කොලයක් කෙල්ලට දීල කිව්ව "දෙන්නම පන්සල ලඟින් නෙ බහින්නෙ. දෙන්න මේක බෙදාගන්න" කියල.

මරු වැඩේ නේද?

මේකෙන් වෙච්ච එකම හොඳ වැඩේ තමයි මට මේ සුන්දර යුවතිය එක්ක කතාකරන්න ලැබීම. ඇත්තටම කියනව නං එයයි මුලින් කතා කලේ.

"දැන් මොකද කරන්නෙ?" එයා මගෙන් ඇහැව්ව.

"පන්සල ලඟ හන්දයෙ කඩෙන්වත් මාරු කර ගමු!" කියල මං කිව්ව.

මං ඔය කියන හන්දියට කවදාවත් ගිහිං තිබුනෙ නෑ. මං දැනගෙන හිටියෙත් නෑ පන්සල ලඟ කඩයක් තියෙනව කියල. ඒත් කොයි හන්දියෙ ද කඩයක් නැත්තෙ, ලංකාවේ?

දැං ඉතිං මගේ වාරේ කතාව දිගටම ගෙනියන්න.

"ඔයා කොහෙද ක්ලාස් යන්නෙ?" මං ඇහැව්ව.

ඒකත් අනුමානෙට ඇහැව්වෙ. අතේ ෆයිල් එකක් තිබුණු නිසා. ඒත් මගේ අනුමානය හරියට හරි.

"මං ජී.එස්.කිව් බාහිර උපාධිය කරනව!" එයා කිව්ව.

"කොයි ඉස්කෝලෙද ඔයා උගන්වන්නේ?" මං ඇහැව්ව ඊලඟට.

කෙල්ල මා දිහා බැළුවෙ මං සාස්තරකාරයෙක් ද කියල සැක හිතිල වගේ.

"ඔයා කොහොමද දන්නෙ මං ටීච් කරනව කියල?"

මගෙ උපකල්පනය හරි. එයා ඇත්තටම ටීචර් කෙනෙක්.

"මට තියෙනව පර රක්‍ෂා විජාණන ඥානය!" මං හිනාවෙලා කිව්ව. "අනුන් ගෙ රක්‍ෂාවල් ගැන මූණ බලල කියන්න පුළුවන්."

කෙල්ල ලැජ්ජාවෙන් වගේ ඇඹරුණා හිනාවත් තද කරගෙන.

හෝව්, හෝව්, කෙල්ල කියන එක හරි නෑනෙ, මේ ටීචර් කෙනෙක් නෙ! උසස් පෙල කලායින් පස්සෙ අපි වගෙ එක එක තිප්පොලවල් වල අවුරුදු ගණං නාස්ති කරගන්නෙ නැතුව කෙලින්ම ටීචින් වලට ගිය කෙනෙක් එයා.

ඊලඟට මං කිව්ව එයා ට මෙන්න මෙහෙම.

"මට පුළුවන් තව තව දේවල් කියන්න මූණ බලලා."

ඔන්න එයා බැළුව මා දිහා.

"මට කියන්න පුළුවන් මේ ටීචර් ළමයින් ට හරීම කරුණාවන්ත කෙනෙක්, ඒ හින්දම මේ ටීචර් ට ඉස්කෝලෙ ළමයි සේරම ආදරෙයි කියල."

ඔය සිද්ධිය වෙලා මාස ගානක් යනකම්ම එයා මගෙන් අහනව, අහනව, අනේ කතන්දර, කියන්නකෝ ඔයා කොහෙමද දැන ගත්තෙ මං ටීච් කරණවයි කියන එක කියල.

මං ඉතිං කිව්ව ඒ කොහොමද කියල.

ඕගොල්ලන් ට නං මං නොකිව්වට හිතාගන්න පුළුවන් නේද?

කතන්දරකාරයා

Monday 8 February 2010

අරක්කු බොන්නෙ නැතුවට කමක් නෑ අපේ බයිට් එක ඉතුරු කරපං!


මුලින්ම කියන්න ඕනැ, මේ කතන්දරේ ලියන්න ඕනැ කියල මට කල්පනා "ම" හෙවත් "ම - රේ" ලියන මගේ මරණය බ්ලොග් එකේ අරක්කු ගැන ආයි කතාවක් පොස්ට් එක කියවපු වෙලෙයි.

මගේ මරණය රචකයා තමයි සිංහල බ්ලොග් අවකාශයේ ඉන්න හොඳම අරක්කු (පොදුවේ මත් පැන්) ලෝලියා.

අරක්කු නං "මගේ මරණය", "මගේ මරණය" නං අරක්කු කියල හිතාගන්නකො!

ගූගල් වලට ගිහින් අරක්කු ගැන සර්ච් එකක් කළොත් මේ ලඟක් වෙනකං ඒකෙ උඩින්ම රෑන්ක් වෙලා තිබුනෙ මගේ මරණය බ්ලොග් ලිපි තමයි. නමුත් ලඟදි ඉඳල ගූගල් සර්ච් එන්ජින් එකේදි අරක්කු කියල ලියල [I'm feeling lucky!] බොත්තම එබුවොත් කෙලින්ම යන්නෙ කතන්දරකාරය ලියපු අරක්කු ඕන කෝක් වානා කියන කතන්දරයටයි.

මං වත් දන්නෙම නැතුව මං අන්තර්ජාලෙ හොඳම අරක්කුකාරය වෙලා!

මං ලියපු පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව කතන්දරේදිත් කිව්ව වගේ කතන්දරකාරය අමද්‍යප සංගමයෙ සාමාජිකයෙක් නං නෙමේ. හැබැයි නොබී ඉන්න බැරි කමකුත් නෑ. උදාහරණෙකට කියනව නං මීට අවුරුදු දෙකකට කලින් රට ගිහින් එනකොට duty free එකෙන් ගෙනාපු ජොනී වෝකර් එකක් තාමත් තියෙනව බාගයකටත් වැඩිය කුස්සියෙ කබඩ් එකක.

ඉතිං අද කතන්දරේ මේකයි. ඇත්තටම කියනව නං මේක කතන්දර බාගයක් විතරයි.

ඔන්න මං මුලින්ම ජොබ් එකකට ගිය දවස්වල අපි කොල්ලො කට්ටිය සෙට් වෙලා හිටිය එතන ක්වාටර්ස් එකට. ඉතිං සතියකට පාරක් විතර බෝතල් වීදුරු සද්ද වෙනව. දන්නවනෙ, සල්ලි අතේ තියන තනිකඩයො ගැන.

ඒ දවස්වල සෙට් වෙනව කියන්නෙ එකම ප්‍රොජෙක්ට් එකක්. සල්ලි එකතු කරන්න ඕනැ. එම්ටීස් හොයන්න ඕනැ, බියර් වලට විශේෂයෙන්ම, බයිට් හදන්න ඕනැ. කෝක් ගේන ඕනැ. වැඩ කෝටියයි.

අපේ එක පොරක් හිටිය අපිට වඩා ටිකක් සීනියර්. පොර අමද්‍යප. ඒ නිසා සල්ලි සම්මාදමක් නෑ. හැබැයි පාටියට සෙට් වෙනව. වැඩි කතාබහකුත් නෑ. එක දිගට බයිට් එකටයි, කෝක් වලටයි වැඩේ දෙනව.

මුලදි, මුලදි අපි ගනං ගත්තෙ නැති වුනාට, පස්සෙ කීප දෙනෙකුට මේකෙ අප්සෙට් එක තේරුණා. පොරව කපල දාන්නත් බෑ. අර කවුද කිව්ව වගේ ඌ බිව්වෙ නැති වුණාට හොඳ පොරක්.

මේ බව තේරුණු තවත් සීනියර් පොරක් කියපු කතාවකින් පස්සෙ අපේ ඒ තරහ සන්සිදිල ගියා. මොකක්ද දන්නවද ඒ කතාව? අපි මේ අමද්‍යපයි කියල හිතන් හිටපු අපේ මිත්‍රයා - එහෙම වෙලා තියෙන්නෙ වෛද්‍ය උපදෙස් මත.

ජොබ් එකට ඇවිත් අවුරුදු හතරක් පහක් යන්නත් කලින් මිනිහගෙ කෝට එක ඉවරවෙලා!

පව් නේද?

කතන්දරකාරයා

ප/ලිඃ
මේ දිනවල මගේ කතන්දර වලට නිමිති ලැබෙන්නේ අපේ සහෝදර බ්ලොග්කරුවන්ගෙන්. මගේ ලඟදී ලියූ කතන්දර සේරම ඒ වගේ ඒවා.
1. අනේවාසික නිසා - පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව

2. අරුණි ශැපිරෝ නිසා - නොදන්න දෙමලේ

3. කමු බොමු නිසා - කීප් එසයිඩ්: අන්තර්ජාලේ ඉහුං පිහුං

ඒ සැමට මගේ ස්තුතිය.

Saturday 6 February 2010

පාටි ජෝක්ස් - තිස්ස ගේ ආගම් මාරුව


බ්ලොග් අවකාශයට ලඟදි එකතු වුනු අනේවාසිකයා ගේ අඩවියේ පලවුණු ධර්ම දූත සේවය හොඳ නං මිෂනාරි වැඩ නරක ඇයි? කියන ලිපිය කියවපු වෙලේ මට මතක් වුනා හොඳ කතන්දරයක්.

මෙන්න අහගන්නකෝ!

දවසක් අපි යාළුවො කීප දෙනෙක් එකතු වෙලා පොඩි සාදයක් තිබුණු වෙලාවක ඔන්න මං දැක්ක එතන හිටපු කාන්තාවො කීප දෙනා එක්කහු වෙලා බර කතාවක් බව. මං ඉතිං කොහොමටත් කෝක් වානා අරක්කු ඕනා වර්ගයේ කෙනෙක් වුනත් කෝටා එක පිළිබද පොඩි පොඩි ගැටළු තියෙන හින්ද "මධ්‍ය ප්‍රමාණයෙන් දෂ්ඨ කරල" පැත්තක් ගහලයි හිටියෙ ඒ වෙනකොට. පාළුවටත් එක්ක මං අර මහිලා සමිතිය පැත්තට ඇදුන.

ඔන්න එතන හිටිය මයුරී ලොකූ කතාවක්.

"ඉතිං අනේ එයා දැන් මුළුමනින්ම ක්‍රිස්තියානි ආගමට හැරිල නෙ!" එයා හරි විස්සෝපයෙන් කතාව. "මේ සේරම පටන් අරගෙන තියෙන්නෙ නිකං පාරෙ යනකොට අඳුනන්නෙත් නැති එක්කෙනෙක් එක්ක කතා කරල, ඊට පස්සෙ කතාවට වැටිල, හිතවත් වෙලා, ගෙදරත් ඇවිල්ල. අන්තිමේදි ආගමත් මාරු කරල. හිතන්න පුළුවන් ද අනේ?"

මට තේරුණා මේ මොකක්ද කතාබහ යන මාතෘකාව කියල.

"මාත් අහල තියෙනව ඔය විදියම කතාවක් ආගම මාරු කරපු එකක් ගැන" මං කිව්ව.

හැමෝම දැං මා දිහා බලාගෙන.

"ඔන්න මේ කියන මනුස්සය එක දවසක් අනුරාධපුර පැත්තෙ කැලෑ පාරක යනකොට කවුද කතා කළා ලු නමෙන් ම තිස්ස තිස්ස කියල".

"ඉතිං?"

"ඉතිං තමා, එතන එදා කතාව ඉවරවෙලා තියෙන්නෙම මේ මනුස්සය විතරක් නෙමේ එයා දන්න අඳුණන හැම දෙනාම ඒ ආගමට හැරිලයි".

"ආනේ!" මයුරි ඇස් දෙකත් ලොකු කරගෙන පුදුමෙන් වගේ. "කවුද අනේ ඔය තිස්ස කියන්නෙ, කොහේ කෙනෙක්ද ඔය ඔයාගෙ යාළුව?"

"මගෙ යාළුවෙක් නං නෙමේ, මේක මාත් තුන් හතර පාරක් ම අහල තියෙන මේ පරණ කතාවක්".

"මං නං ඔය කතාව ඇහුවෙම මේ අදයි".

"වෙන්න බෑ, ඇයි ඔයා තුනේ පන්තියෙදි බුද්ධාගම ඉගෙන ගත්තෙ නැද්ද?"

කතාව තේරුණු වනිතා පක්‍ෂය ලාමක කිචි බිචියක් පටන් ගත්ත. මයුරි ගෙ අතේ තිබුණු වඩේ එකෙන් ඔගෙ මුණට දමල ගහන්න කලින් මං එතනින් මාරු වුනා.

කතන්දරකාරයා

Wednesday 3 February 2010

කීප් එ සයිඩ් - Keep aside - අන්තර්ජාලයේ ඉවුං පිහුං



අපි පොඩි කාලෙ අපේ අම්ම ගියා කුකිං ක්ලාස් එකකට.

එතනදි එයා ඉගෙන ගත්තෙ කේක්, පුඩිං, ඩෙසර්ට් හදන හැටි, අයිසිං කරන හැටි වගේ දේවල්. අපේ අම්ම පොඩි කාලෙ ඉගෙන ගෙන තිබුනෙ අග්ගල, හැලප, ලැවරිය හදන්න විතරනෙ. ආච්චිල ගෙ ගෙදර දර ලිප් වල මොන කේක් ද?

අම්මගෙ කුකරි ක්ලාස් නිසා අපිත් ඉගෙන ගත්ත අළුත් වචන කීපයක්ම. "රෙසිපි එක", "ඉන්ග්‍රේඩියන්ට්ස්", "මෙතඩ් එක" වගේ දේවල්.

ඒ සේරටම වැඩිය අපි කැමති වුනේ පන්තිය ඉවර වෙලා ගෙදර එකකොට අම්ම අරං එන කේක් කෑල්ලටයි. ඒකට කිව්වෙ "ෂෙයාර් එක" කියල.

දැං නං අපි කාට කාටත් ඔය කෑම හදන හැටි ගැන ටෙලිවිෂන් එකෙන්, අන්තර්ජාලෙන් හෙමත් ඉගෙන ගන්න පුළුවන්නෙ. කෑම බීම ගැන අපේ මරේ ල, නොදරුවල, මුචලින්ද ල, බූරුබබාල ඇතුළු කිහිප දෙනෙක් එකතුවෙලා "කමු බොමු" කියල බ්ලොග් එකකුත් පටන් අරගෙන. ඒක කියවන වෙලාවෙ තමයි මේ කතන්දරේ මතක් වුනේ.

මේක අන්තර්ජාලෙන් කුකිං ඉගෙන ගන්න ගිය මගෙ යාළු පොරකට වෙච්ච වැඩක්.

ඔන්න පොරගෙ වයිෆ් සති අන්තයෙ ජොබ් එකක් කරන්න පටන් ගත්ත. එයා බැඳපු කාළෙ ඉඳල ළමයි බලාගෙන ගෙදර හිටිය රැකියාවක් නොකර. නමුත් "වැඩ රුපියල් පඩිය ඩොලර්" ආකාරයේ ජොබක් සෙට්වුනු නිසාද කොහෙද මේ ජොබ් එක පටන් ගත්ත.

මේ වෙනසත් සමගම මගෙ යාළුව පටන් ගත්ත උයන්න ඉගෙන ගන්න. මුලින්ම බත් එකක් රයිස් කුකර් එකේ. ඊට පස්සෙ පරිප්පුවක් හදන හැටි. සොසේජස් බදින හැටි වගේ සරල දේවල් ඊළඟට.

පොරට මේ කුකිං වැඩේ නැගල ගියා. මෑන්ස් ටිකෙන් ටික පටන් ගත්ත විවිධ කෑම ජාති හදන්න. කොහෙද මන්ද ඉන්දියන් කඩයකින් කාපු බටර් චිකන් ද, කොර්ම ද මොකක්ද එකක් රහ වැටිල ඔන්න පොර අන්තර්ජාලෙ සැරිසරල ඒකෙ රෙසිපි එක හොයාගෙන එක සෙනසුරාදාවක සෙට් වුනා උයන්න.

ඔන්න ඉස්සෙල්ලාම, මස් ටික කෑලි කපල, ලුනුයි, විනාකිරියි, කහයි මිශ්‍ර කරල ශීතකරණයේ තිබ්බ ඉන්ටර්නෙට් එකේ කියල තිබුණු හැටියට.

ඒ අතරේ තුනපහ, මිරිස්, අබ, සියඹලා මිශ්‍ර කරල හැදුව පේස්ට් එකක්. ඒක "කීප් එ සයිඩ්", දැනට පැත්තකින් තියන්න කියලයි කියල තිබුනෙ.

දැං, භාජනයක් ලිපේ තියල, තෙල් දාල, ටිකකින් අර ෆ්‍රිජ් එකේ දාල තිබුණු මස් ටික තෙම්පරාදු වෙන්න දැම්ම. ඊට පස්සෙ කිරි ටික මිශ්‍ර කරල මදගින්නේ විනාඩි 30 ක් විතර උයා ගන්න කියලයි උපදෙස් තිබුනෙ.

පොර ප්‍රින්ට් අවුට් එක කුස්සියෙ මේසෙ උඩ තියාගෙන ඒ උපදෙස් අකුරට ම ෆලෝ කළා.

පැය භාගයක් විතර ගියා, වයිෆුත් ආව ගෙදර "මොනවද අනේ ඔයා උයන්නෙ අද?" කියල අහගෙන.

අපේ පොර වීරය වගේ සාස්පාන ඇරල පෙන්නුව බටර් චිකන් එක!

හැබැයි, අර කඩේදි කාපු එක තරම් සුවඳක්, පාටක්, රසක් නැහැ!!

මේ මොනවද මේ කියල වයිෆ් අහන කොටයි පොරට මතක් වුනේ අර "කීප් එ සයිඩ්" කියල තිබුණු නිසා පැත්තකින් අරං තියපු කුළුබඩු අඹරපු පේස්ට් එක මස් වලට දැම්මෙ නෑ කියල.

ඇයි එහෙම කරන්න කියල තිබුනෙ නෑනෙ ඒ අන්තර්ජාලෙන් ගත්තු රෙසිපි එකේ!!!

කතන්දරකාරයා