Wednesday 31 August 2011

මට අරුං ගේ, මුං ගේ වැරදි විතරක්ම පේන්නේ ඇයි! - Pot calling kettle black


මේ ලඟදී මං සහභාගී වුණා එක්තරා පුහුණු පාඨමාලාවකට.

දන්නවනේ ඔය තියෙන්නේ මැනේජ්මන්ට් ට්‍රේනිං කියලා. ඕවගේ වැඩිපුර තියෙන්නේ මැනේජ්මන්ට් ගුරු ලා, කන්සල්ටන්ට්ස් ලා ඇවිත් ටෝක්ස් දෙනවා, සහභාගී වෙන අයට පොඩි පොඩි ඇසයින්මන්ට් දෙනවා වගේ වැඩ තමයි.

මාස හයක් තිස්සේ තුන් පාරකට, එක පාරකට දවස් තුන ගානේ තිබුණු මේ කෝස් එකේදී අහපු, කරපු, හිතට වැදුණු දේවල් දෙක තුනක්ම තියෙනවා.

අද ඒවායින් එකක් කියන්නයි මේ සෙට් වෙන්නේ.

මේකේ ලොකු කතාවක් නං නෑ. හැබැයි කියවන කොට ඔහේලට නං කතා එකක් නෙමේ පහ හයක් වුනත් මතක් වෙන්න ඉඩ තියෙනවා.

ඔන්න ඉතිං අන්තිම දවසේ අපේ කණ්ඩායම් ව්‍යාපෘතිවල ප්‍රසන්ටේෂන් ඉවර වෙලා අපිට කිව්වා අනිත් කණ්ඩායම් ඉදිරිපත් කරපු දේවල් ගැන අපිට කියන්න තියෙන හොඳ පොසිටිව් දේවල් ගැන කතා කරන්න කියලා අපේ කණ්ඩායම් ඇතුලේ.

මේ කතාව අපිට උදේ පාන්දරමත් කියපු හින්දාත්, අපේ පාඨමාලාවේ පොතේ ඒවා ලියන්න පිටුවක්මත් වෙන්වෙලා තිබුණු හින්දාත් මං ඒ ඒ ප්‍රසන්ටේෂන් යන වෙලාවේ හිතට ආපු ඒවා කුරුටු ගෑවා, එවෙලේම.

අන්තිමේදී අපේ ගෲප් එකේ උං එක්ක මගේ නිරීක්‍ෂණ ගැන කතාකරන්න ගියාම මොකක්ද දන්නවද මට තේරුණේ?

මං නිරීක්‍ෂණය කරළා තියෙන්නේ, සටහන් පොතේ ලියාගෙන තියෙන්නේ මෙන්න මේ වගේ දේවල්.
  • අරුං ගේ කණ්ඩායමේ ප්‍රසන්ටේෂන් එකේ වැඩි කාලයක් ගියේ යූ ටියුබ් එකෙන් වීඩියෝවක් පෙන්නන්නයි
  • මුං ගේ කණ්ඩායමේ එකෙක් විතරයි කතා කලේ. අනිත් උං නිකං ට්‍රැෆික් ලයිට් කණු වගේ හිටගෙන හිටියා
  • අර අනිත් උං ගේ ස්ලයිඩ්ස් වල අකුරු පොඩි වැඩියි
  • අන්තිමට හිටිය කණ්ඩායමේ එකෙක් කියපු එකට හාත්පසින්ම විරුද්ධ දෙයක් අනිත් එකෙක් කිව්වා
තේරුණා නේද? අන්තිමේදී බැලින්නං අනිත් උං කරපු වැරදි මිසක උන් ගේ ප්‍රසන්ටේෂන් ගැන හොඳ ධණාත්මක දේවල් නෙමේ මට පෙනිලා තියෙන්නේ.

එතකොට තමයි මට තේරුණේ, අපි පොඩි කාලේ ඉඳලාම පුරුදු වෙලා තියෙන්නේ අනුන් ගේ වැරදි හොයන්න නේද කියලා.

මංතුමා නං අවුරුදු ගාණක් ඔය කොල්ලෝ කුරුට්ටන් ගේ ප්‍රසන්ටේෂන් අහගෙන ඉඳලා ඒවට ලකුණු දෙන වැඩේ බඩ-රස්සාවට කරපු කෙනෙක් නිසා මේ තත්වය තවත් දරුණුයි.

මේ ලඟදී මං කියවපු ලිපියක තිබුණා මෙන්න මෙහෙම කතාවක්.

අසූවේ දශකය අවසාන වෙනතුරුම වාගේ බටහිර රටවල පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ළමයින්ට ලැබී තියෙන ප්‍රතිචාරවලින් 95% ක් ම, සෘණාත්මක ඒවා ලු.

අද පවා ළමයින්ට නිකරුනේ ගුටි බැට දෙන අපේ ලංකාව වගේ රටවල මේ තත්වය තවත් දරුණුව තියෙන්න ඇති.

කෙසේ නමුත් ඒ තත්වය දැන් ඊට වඩා හොඳ අතට වෙනස් වෙමින් තියෙනවාය කියලයි කියන්නේ ඒ වාර්තාවේ.

නමුත් සෘණාත්මක ප්‍රතිචාර මැද ඉගෙන ගත්තු අයට ඒ රාමුවෙන් ගැලවෙන එක ලේසි වැඩක් නෙමේ.

-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරය සම්පූර්ණ වෙන්නේ ඔහෙලා ගේ සම්මාදමින් විතරයි.

කරුණාකර සෘණාත්මක උදාහරණ මෙන්ම ධනාත්මක උදාහරණ ද දෙන්න!

(image: http://wendymills.hubpages.com/)

Monday 29 August 2011

නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!


මං කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ හිටිය කාලේ දවසක් තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක ගමණක් ගියා. අපි ගියේ ඒ දිනවල දුර පලාතක පටන් ගන්න ෆීසිබිලිටි ස්ටඩි එකක් කෙරෙමින් තිබුණු ව්‍යපෘතියක වැකේෂන් ජොබ් එකක් කරමින් හිටිය අපේ බැචාලා කීප දෙනෙක් මුණ ගැහෙන්නයි.

බස් එකේ පැය දෙකතුනක් නොනවත්වා ගිහින් උං කට්ටිය නතරවෙලා හිටිය බෝඩිං පොල හරියෙන් බහින කොට මට ඇවිද ගන්න බැරි තරමට චූ බරයි.

දන්නවනේ චූ බරෙත් හොඳ එක ආපුවාම කටට ලුනු රහකුත් එනවා. අන්න ඒ ගානට පම්ප් ටයිට් එකක් තමයි මට තිබුනේ.

බස් එකෙන් බැහැලා මග සලකුණු අනුව ඉස්සරහට ඇවිදින කොටම ආපු වංගුව ලඟදී මං කලේ පාර අයිනට අල්ලා පම්ප් එකක් දාන්න සෙට් වෙන එකයි.

"උඹට පිස්සුද බං? යකෝ මේ ගම!"

මා එක්ක ගිය විජේ කාරයා කෑ ගහන්න පටන් ගත්තා.

"ඔව් බං, මේ ගම තමයි. ඒක හින්දනේ මේ විදියට පාර අයිනේ පම්ප් එකක් දාන්න සෙට් වෙන්න පුළුවන්!" මං උත්තර දුන්නා. "ඇයි උඹ පාර අයිනේ පම්ප් දාන්නේ ටවුන් එකේද?"

විජේ සයිලන්ට්!

මට ඔය කතාව එක්කම මතක් වෙන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් නුගේගොඩ දී චු බරක් හැදිලා වෙච්ච අකරතැබ්බයයි.

නුගේගොඩ යන අයට චූ කරන්න තැනක් සුපර්මාකට් එකේ තියෙන බව මං දන්නවා. මතකනේ මට ඒ ඔතන කාර් පාක් එකේදී තමයි මගේ රතු කොරොල්ලා කාර් එක ගත්තු බයර් හෙවත් මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ.

නමුත් මේ කියන දවසේ අප්සෙට් එක වුනේ මං හිටියේ හයිලෙවල් පාරේ සව්සිරි බිල්ඩිමේ වීමයි.

මේකත් ෂොපින් සෙන්ටර් එකක් නේ! ඉතිං මං කොහේ හරි කොනක ඇති නේද ටොයිලට් එකක් කියලා පොඩ්ඩක් හොයලා බැලුවා.

ඒ හිතුවා වගේම මට හම්බ වුණා උඩ තට්ටුවේ වම් පැත්තේ පස්සට වෙන්න තියෙනවා ටොයිලට් එකක්.

මං ඒකට යන්න හැදුවාම මෙන්න බොලේ සෙකුරිටිකාරයෙක් ඉඳලා කියනවා, ඒකට යන්න දෙන්න බැරිලු. යන්න පුළුවන් ඒ ගොල්ලන් ගේ කෂ්ටියට විතරලු. මට මතක විදියට ඒක මොකක් හරි කෝස් එකක ක්ලාසස් තියෙන තැනක්.

ඉවසං ඉන්න බැරිම හින්දා මං ගියා එතන රිසෙප්ෂන් එකට. ඒකේ නෝනාගෙන් ඇහැව්වාම ඒකිත් කිව්වා නේ යන්න දෙන්න බැරිමය කියලා.

මට අහන්නත් හිතුණා, "දැන් මට මෙතන චූ ගියොත් ඔයා මොනවාද කරන්නේ?" කියලා.

අද වුනා නං මං එහෙම අහනවා. නමුත් මේ මට මතක හැටියට 1999 කාලේ.

මං කලේ අමාරුවෙන් පහලට බැහැලා, හිමින් හිමින් සුපර්මාකට් එකට ගාටපු එකයි.

-කතන්දරකාරයා

ප/ලි:
රටක දියුණු බව මනින්න විවිධ නිර්ණායක තියෙනවා. ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදනයේ ඒක පුද්ගල අගය, ළදරු මරණ අනුපාතිකය, ආයු අපේක්‍ෂාව, ජනගහන සහ වෛද්‍ය අනුපාතිකය වගේ ඒවා තමයි එයින් ප්‍රධාන.

මට හිතෙන විදියට ජනගහනය සහ ප්‍රසිද්ධ වැසිකිලි සංඛ්‍යාවේ අනුපාතිකයත් රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සලකන්න පුළුවන්.

කොටින්ම රට දියුණුවෙන් දියුණුවට යනකොට, යන යන තැන පබ්ලික් ටොයිලට් හැදෙන්න ඕනෑ!

ප/ප/ලි:
මෙන්න වෙනත් චූ කතා -කියවලා නැති අයට.

1. ඔන්ඩච්චිගෙ ආච්චිගෙ කතන්දරේ

2. අපි චමරියේ දි චූ කරපු හැටි

3. කැතීටර් ගැන කතන්දරේ

4. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ

5. ඔන්න බබා තෙමාගෙන (පාඨකයෙකුගෙන්)

6. සරමේ චූ ගිය කතන්දරේ හෙවත් පාප මිත්‍රයෝ - මෙන්න මගේ විශ්ලේෂණය

7. හන්දියේ හෝටලේ චූ කතාව

(image: http://upalijayasingha.com/Abacus/Centers.html)

වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුවට මාස හයක් පිරෙයි - To write or not to write!


මං වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුව ප්‍රසිද්ධ කලේ 2011 පෙබරවාරි 27 වෙනිදා. මාස හයක් ගතවුනා.

ඒකට හේතුව වුනේ ටිකක් හිනාවෙන්න සහ බ්ලොග් ගඩොල් කියන බ්ලොග් දෙකේ ශතක පුර්ණ ලිපි එකම දවසේ පලවීම සහ තවත් හේතුවක්.

ඒ සේරම විස්තරෙයි -මං කියන මේ වෙන් කතන්දර සීයේ ලයිස්තුවයි මෙන්න මෙතනින් බලන්න පුළුවනි.

http://kathandara.blogspot.com/2011/02/blog-post_27.html

ඉස්සරහට දාන්න හිතාගෙන ඒ වෙන්ඩ කතන්දර සීයක ලයිස්තුව දාලා මාස හයක් ගිය වෙලේ මට හිතුනා පොඩි ප්‍රගති වාර්තාවක් ලියන්න.

මේ මාස හය ඇතුලත මං කතන්දර 101 ක් පල කරලා තියෙනවා.

ඒත් ඒවායින් වෙන්ඩ ලයිස්තුවේ තිබුණු ඒවා තියෙන්නේ 13 යි.

ඒ කියන්නේ මාස හයකට කලින් "වෙන්ඩ කතන්දර සීයේ ලයිස්තුව" දැන් "වෙන්ඩ කතන්දර 87 ක ලයිස්තුවක්".

නමුත් ඇත්තටම කියනවා නම් මගේ ඇත්තම වෙන්ඩ කතන්දර ලයිස්තුවේ දැන් කතන්දර 180 ක් තියෙනවා.

ඒ කියන්නේ එදාත් මගේ පොතේ සහ හිතේ දෙකේම කතන්දර 268 ක් තිබිලා තියෙනවා කියන එකයි.

මේවා කවදා ලියලා ඉවර කරන්නද මන්දා?

මේ 180 ලියලා දාන්න තව අවුරුද්දක් යයි.

එතකොට ඒ අතරේ හිතේ තිබිලා පොත ට එන කතන්දර?

බුදු අම්මෝ!

-කතන්දරකාරයා

ප/ලි:
මේ පොස්ට් එක මං මේ ආකාරයට පල කරන්නට සිටි එකක් නොවේ. නමුත් අතපසුවීමකින් අනාගත කතන්දරයක් වැරදීමකින් පසුගිය දිනයක් සහිතව පලවුණු නිසා ඒ වරද වසාගන්නට වෙනම ටැබ් එකක් දමා තිබු මේ පොස්ට් එක වැරදුණු එක වෙනුවට ආදේශ කරන්නට සිදුවිය.

Sunday 28 August 2011

සමලිංගිකතාව ස්වාභාවික ප්‍රවණතාවයකි – ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන :: Homosexuality is a natural tendency - Dr Granville Dharmawardena


අද සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් තීරුව යටතේ විවාදාත්මක මාත්‍යකාවක් ගැන ලඟදී ලියවී ඇති ලිපියක සිංහල පරිවර්තනයක් ඉදිරිපත් කිරීමට සිතුනා.

මේ ලිපිය ඉංගිරිසියෙන් ලියූ ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන කියන්නේ න්‍යෂ්ටික විද්‍යාඥයෙක්. පොර කොළඹ යුනිවසිටියේ, පරමාණුක බල අධිකාරියේ හෙම සේවය කළා. දැන් නං එහෙන් පැන්ෂන් මයෙ හිතේ. කාලෙක ඉඳලා පුනරුත්පත්තිය ගැන පරීක්‍ෂණ කරනවා.

මෙන්න ලිපියේ පරිවර්තනය.

සමලිංගිකතාවය යනු බටහිරෙන් එන අස්වාභාවික රෝගයක් ලෙස ඉන්දියානු සෞඛ්‍ය ඇමති විසින් සමච්චලයට ලක්කර ඇත. අපේ විමර්ශනවලින් පෙනෙන්නේ එය එසේ නොවන බවයි.

සමලිංගිකතාවය යනු ස්වාභාවික ප්‍රවණතාවක් වන අතර එය කිසිසේත්ම රෝගයක් හෝ අස්වාභාවික දෙයක් නොවේ.

සමහර ගැහැනුන් හා මිනිසුන් සමලිංගිකයින් වන්නේ ඇයි දැයි යන්න අද දක්වා මනෝවද්‍යාවෙන් විසඳා නොමැති පැණයකි. වෘත්තීමය වශයෙන් න්‍යෂ්ටික විද්‍යාඥයෙක් වුවද මා විනෝදාංශයක් ලෙසින් කරන මෝහන චිකිත්සාව සහ පුනරුත්පත්තිය සහ එහි ප්‍රතිවිපාක පිළිබඳ විද්‍යාත්මක ක්‍රමය මෙම ප්‍රශ්ණය තරමක් දුරට පැහැදිලි කරගත හැක.

අතීතයේ දී මේ ගැන සාකච්ඡා කිරීම ජුගුප්සාජනක දෙයක් ලෙස සැලකුනමුත් සමලිංගිකතාවය සෑම සමාජයකම රහසේ පැවත ඇත. අද සමාජයේ නම් සමලංගිකතාවය ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ හැකි විෂයයක් වී ඇති අතර එහි ප්‍රතිඵලක් ලෙස සමලිංගික උද්ගෝෂකයින් තම මානව අයිතිවාසිකම් ඉල්ලීමට පටන් ගෙන ඇත.

සමහර කාන්තාවන් ඔවුන් ගර්භනී කාලයේ දී සමහර කෑම වර්ග එක්කෝ අතිශයින් ප්‍රිය කිරීමට හෝ නැත්නම් අතිශයින් පිළිකුල් කිරීමට පටන්ගන්නා අතර ඔවුන් ගේ එවැනි අවශ්‍යතා සපුරා දීමට සියළු දෙනාම සාමාන්‍යයෙන් පෙළඹෙති. දැන් අප දන්නා පරිදි මේ ආහාර පිළිබඳ සුවිශේෂී රුචිය හෝ අරුචිය ඇතිවන්නේ කාන්තාවගේ කුසයේ සිටිනා දරුවාගේ පෙර ආත්මයේ තිබු කැමැත්ත හෝ අකමැත්ත අනුවය.

උදාහරණයක් ලෙස සාමාන්‍යයෙන් මස් සහ මාළු සමග තම ආහාර ගැනීමට පුරුදු වී සිටි එක්තරා කාන්තාවක් ගර්භණී අවධියේ දී එළවළු පමණක් කෑමට ගන්නට පටන්ගත් අතර, දරු ප්‍රසූතියෙන් පසු ඇය නැවත සුපුරුදු මස් සහ මාළු සහිත ආහාර ගැණීමට පටන් ගත්තාය. දරුවා වැඩුනේ උපතින්ම ශාක භක්‍ෂකයෙකු ලෙසිනි. දරුවා පෙර ආත්මයේ දැඩි ශාකභක්‍ෂකයෙකු වී සිට ඇති බව පසුව සොයාගන්නා ලදී.

මේ ආකාරයට, යම් පුද්ගලයෙක් මිය ගොස් නැවත උපත ලබන විට ඔහුට හෝ ඇයට පෙර ආත්මයේ තිබුණු ජීවන ආශාවන් වත්මන් ජීවිතයට ගෙනෙන බව පෙනේ. ඔහු හෝ ඇය එම ආශාවන් උපත ලැබීමෙන් පසු සපුරා ගැනීමට උත්සාහ කරනවා පමණක් නොව ඔහුගේ හෝ ඇයගේ අනාගත මව ලවා ද ඒ ආශාවන් සපුරා ගැනීමට බලපෑම් කරන බව පෙනේ.

මේ ආකාරයටම, යම් පුද්ගලයෙක් මියගොස් නැවත ඉපදෙන විට ඔහු හෝ ඇය විසින් තමන් ගේ ලංගික ආශාවන්ද මේ ජීවිතයට ගෙනැවිත් නැවත උපදින්නා ගේ සිතෙහි තැන්පත් කරනු ලබයි. එවැනි ආශාවන් උපවිඥානයෙහි පතුලේ සැඟවී තිබෙන අතර, දරුවා වැඩී ලිංගික වශයෙන් සංවේදී වන කාලයේදී සිත මතුපිටට පැමිණේ. සමලිංගිකතාවය ඇතිවන්නේ හොඳින් ලිංගිකව ක්‍රියාශීලි පුද්ගලයෙකු මියගොස් නැවත උපත ලබන විට ස්ත්‍රී පුරුෂ බව වෙනස් වී ඉපදුණු විටය.

පිරිමියෙක් මියගොස් නැවත මිනිස් ලෝකයේ ඉපදුනු විට ඒ ඉපදීම පිරිමියෙකු ලෙස හෝ කාන්තාවක ලෙස හෝ සිදුවිය හැකිය. ඒ ආකාරයෙන්ම කාන්තාවක් මියගොස් නැවත මිනිස් ලෝකයේ ඉපදුනු විට ඒ ඉපදීම කාන්තාවක් ලෙස හෝ පිමියෙක් ලෙස හෝ සිදුවිය හැකිය.

පිරිමියෙකු නැවතත් පිරිමියෙකු ලෙස උපත ලද විට, වත්මන් සිරුරේ ලිංගිකත්වය නිසා ඇතිවෙන ලිංගික ආශාවන් පිරිමි ලිංගික ආශාවන් වන අතර, තම සිත ඇතුලේ ඇති පෙර ආත්මයෙන් ගෙනා ලිංගික ආශාවන්ද එලෙසම පිරිමි ලිංගික ආශාවන් නිසා ඒවා එකිනෙක පෑහී සවි ගැන්වේ. එවිට ඔහුට දැඩි පුරුෂ අවශ්‍යතා සහිත පෞරුෂත්වයක් හිමිවේ. එවැනි පිරිමියෙකු හා විවාහ වන කාන්තාවක ඉතා වාසනාවන්ත අයෙකු වන අතර ඇයට සම්පුරණයෙන් ම තෘප්තිමත්වූ අපිස් විවාහ ජීවිතයක් ලැබෙනු ඇත.

කාන්තාවක් නැවතත් කාන්තාවක් ලෙසින්ම ඉපදුනහොත් ඒ අවස්ථාවද මෙයට සමාන වන අතර ඇයට කාන්තා ආශාවන් සහ ස්ත්‍රීත්යෙන් පිරි පෞරුෂත්වයක් හිමිවෙනු ඇත. එවැනි කාන්තාවක් හා විවාහවන පිරිමියෙකු ඉතා වාසනාවන්ත අයෙකු වන අතර ඔහුට සම්පුරණයෙන් ම තෘප්තිමත්වූ අපිස් විවාහ ජීවිතයක් ලැබෙනු ඇත.

පිරිමි සහ කාන්තාවන් බහුතරය අයත් වන්නේ ඉහත දැක්වූ දෙවර්ගයටය.

උපතේ දී ලිංගික වෙනස්කමක් ඇතිවන පුද්ගලයන් ඉතා සුළු ප්‍රතිශතයක් ඇත. එවැනි අවස්ථාවන් හි දී පිරිමියෙකුගේ පිරිමිබවද, කාන්තාවක ගේ ස්ත්‍රීබවද නිසි පරිදි වර්ධනය නොවේ.

පිරිමියෙකු මියගොස් කාන්තාවක ලෙස උපත ලැබුවොත් ඇගේ සිරුරේ ඇති කාන්තා ආශාවන් සහ ඇගේ සිත පතුලේ ඇති පිරිමි ආශාවන් එකිනෙක ගැටේ. සාමාන්‍යයෙන් මේ ප්‍රතිවිරුද්ධ ආශාවන් සම්පුර්ණයෙන්ම හෝ අඩ වශයෙන් එකිනෙක උදාසීන කර දමයි. මේ ජීවිතයේ කාන්තා ආශාවන් අඩ වශයෙන් උදාසීන වුවහොත් ඇයට හිමිවනුයේ දුර්වල කාන්තා ආශාවන් වන අතර ඇගේ ස්ත්‍රීත්වය සහ ලංගික ආශාවන් දුරවල වී අයට පිරිමින් පිළිබඳව වැඩි උනන්දුවක් ඇති නොවේ. නමුත් සමාජ පීඩනය නිසා ඇය විවාහ දිවියට පත්වීමට ඉඩ තිබේ.

එවැනි කාන්තාවක් හා විවාහ වන පිරිමියෙකු එතරම් වාසනාවන්තයෙකු නොවන අතර ඔහුට තෘප්තිමත් අපිස් විවාහ ජීවිතයක් නොලැබෙනු ඇත.

මෙවැනි කාන්තාවක ගේ ප්‍රතිවිරුද්ධ ආශාවන් එකිනෙක මුලුමනින්ම පාහේ උදාසීන වී ගියහොත් ඒ කාන්තාවට කාමයේ හැසිරීම හෝ විවාහය උවමනා නොවන මුත් බලකිරීම් උඩ අවාසනාවන්ත පිරිමියෙකු හා ඇය විවාහ වීමටද ඉඩ තිබේ. උපවිඥානයේ රැඳී තිබෙන පිරිමි ආශාවන් ඉස්මතු වුවහොත් ඇයට පිරිමි භූමිකාවක් රඟපෑමට අවශ්‍යවනු ඇත. ඇගේ කැමැත්ත අනෙකුත් කාන්තාවන් වෙත ඇදී යන අතර ඇය සමලිංගිකත්වය කරා යොමුවනු ඇත.

කාන්තාවක් මිය ගොස් පිරිමියෙකු ලෙස උපත ලැබූ විට ද ඇතිවන්නේ මෙවැනිම දෙයකි. නව පිරිමි ජීවිතය එක්කෝ දුර්වල පිරිමි ආශාවන් සහිත වීම හෝ පිරිමි ආශාවන් රහිත වීම හෝ පෙර ආත්මයෙන් ගෙනෙ කාන්තා ආශාවන් ඉස්මතුවීම හෝ සිදුවී ඔහු සමලිංගිකතාවය කරා යොමුවෙනු ඇත.

මේ අනුව පෙනී යන්නේ සමලිංගිකතාවය යනු ස්වභාවික මිනිස් ප්‍රවනතාවයක් මෙන්ම එය ඉතරලිංගිකතාවය (heterosexuality) තරම්ම ස්වාභාවික වුවක් බවයි.

වරක් කුඩා පැල්පතක දුප්පත් ජීවිතයක් ගත කළ අවුරුදු විසි පහක පියකරු තරුණියක් සහ ඇගේ මව මා හමුවීමට ආවෝය. ඔවුන් ගේ ප්‍රශ්ණය වූයේ මේ තරුණිය සමලිංගික වූ අතර ඇය ඇගේ මව තමාගේ සහකාරිය ලෙස බලෙන් යොදාගැනීමයි. ඔවුන් පරීක්‍ෂා කළ මා සොයා ගත්තේ මේ කාන්තාව ඉහත ආත්මයේ දී ලංකාවේ ප්‍රධාන රෝහලක පිරිමි දොස්තරවරයෙක් වී සිට ඇති අතර ඇගේ මව ඔහුගේ නිවසේ මෙහෙකාරිය සහ අනියම් බිරිඳ වී සිට ඇති බවයි. කාන්තාවක් ලෙස නැවත ඉපිදී ඇත්තේ ලිංගික වෙනස්කමක් ලබා වුවත් ඇගේ මව එලෙස වෙනස් කමක් ලබා නැත.

මට කොළඹ දී නිරූපිකාවක් ලෙස කටයුතු කළ තරුණ කාන්තාවක් හුවූ අතර ඇය විවාහ වී වසර දෙකක් ගත වී තිබුණි. මේ කාලයේදී මා සමලිංගිකතාවය යන සංසිද්ධිය සහ නැවත උප්පත්තියේදී ලිංග මාරුව පිලිබඳව පරීක්‍ෂණ පවත්වමින් සිටි අතර එනිසා ඇය තමන්ගේ වත්මන් ජීවිතයේ සහ පෙර ආත්මයේ පුද්ගලික තොරතුරු මට හෙලි කළාය.

ඇය විවාහ වී වසර දෙකක් ගතවී තිබුණද, ඇය තම ස්වාමිපුරුෂයා සමග හෝ වෙනත් අයෙකු සමග කිසිදු ලිංගික සම්බන්ධයක් සිදු කර තිබුනේ නැත. ඇගේ පෙර ආත්මයේ ඇය පිරිමියෙකුව සිට ඇති අතර ඔහු සහ වයස දාහතේ සිට එකට සිටි ඔහුගේ පෙම්වතිය ලිංගික වශයෙන් ඉතා ක්‍රියාකාරීව සිට ඇත. ඇගේ වත්මන් ස්වාමිපුරුෂයා පසුගිය ආත්මයේ කාන්තාවකි. පසුගිය ආත්මයේ ඔවුන් ඉතා කිට්ටු මිතුරන් ව සිට ඇත. ඔහුද නැවත ඉපදීමේදී ලිංගිකව වෙනස් වී ඇති නිසා වත්මනෙහි ලිංගික අවශ්‍යතා නොමැත. නමුත් ඔවුන් දෙදෙනාගේ ඉහත ආත්මයේ තිබූ මිතුරුකම නිසා ඔවුන් විවාහ වී, ලිංගික සම්බන්ධයක් නොමැතිවද ඉතා සාමකාමීව , සමගියෙන් ජීවත්වෙති.

දකුණේ පාසලක සිටි අවුරුදූ පහළොවක සිසුවියක් වෙනත් සිදසුවියක් සමග සමලිංගික සබඳතාවයක් ඇතිකර ගැනීමට උත්සාහ කළාය. මෙය දුටු ගුරුවරියක් සිසුවියට ඉතා තදින් තරවටු කළාය. මෙම තරවටුවෙන් සිසුවිය කෙතරම් බිය වූයේ ද යත් එහි ප්‍රතිඵලයක් ලෙස ඇය වහාම ගොළු බවට පත්වූවාය. ඇගේ ගොළුබව ගැන සන්ත්‍රස්ත වූ දෙමව්පියෝ මගෙන් උපදෙස් විමසූහ.

මා සොයාගත් ආකාරයට ඇය පෙර ආත්මයේ දකුණු ඉන්දියාවේ ගොළු තරුණයෙක් ලෙස වාසය කර ඇති අතර වයස අවුරුදු දා හතේ දී මිය ගොස් ඇත. ඒ දකුණු ඉන්දියානු ආත්මයට පෙර ආත්මයේ ඇය උතුරු ඉන්දියාවේ බොධිගයාව අසල මාර්ගයේ පලතුරු විකුණූ අකුරු නොදන්නා පිරිමි ළමයෙකි. නැවත උපතේදී සිදුවූ ලිංග මාරුව ඇයට සමලිංගිකතා ප්‍රවණතාවය ගෙන දී ඇති අතර ගුරුවරියගේ තරවටුව ගැණ ඇතිවුණු දැඩිබිය ඇයව ආරක්‍ෂක පියවරක් ලෙස පෙර ආත්මයේ ගොළුබව කරා යොමු කර ඇත. මෝහනයෙන් නිදිගන්වා ඇගේ ගොළු බව නිවරද කරන ලදී.

වයස අවුරුදු දහනවයක තරුණියක් ඇගේ සිරුර වෙනත් තරුණියක් ලඟින් සිටිනා විට ඉතා ප්‍රාණවත් වන බවත්, එහෙත් තරුණයින් කෙරේ ඇගේ කිසිදු සංවේදීතාවයක් නැති බවත් මට පැවසුවාය. ඇය නැවත ඉපදීමේදී ලිංග මාරුවක ලක් වූ අයෙකි. මෝහනයෙන් නිදි ගන්වා ඇයව ඉතරලිංගිකතාවයට පත් කරන ලද අතර ඉන් පසු ඇය පෙම්වතෙක් සොයා ගත්තාය.

වයස විසි අටක පිරිමියෙකුට තරුණියන් කෙරෙහි කිසිදු සංවේදීතාවයක් නොතිබුණු අතර තරුණයින් කෙරෙහි ඉතා සංවේදීතාවයක් තිබුණි. ඔහුව මෝහනයෙන් නැවත ඉතරලිංගිකතාවයට පත් කරන්නට නොහැකිවිය.

මේ කරුණු අනුව සමලිංගිකයින් අස්වාභාවික රොගීන් ලෙස නම් කර ඔවුන් ට නොයෙකුත් වෙනස්කම් කිරීම නොමිනිස් කමක් බව කිව හැක.

- ග්‍රැන්විල් ධර්මවර්ධන

මෙන්න ග්‍රැන්විල් ගේ විද්‍යුත් ලිපිනය:
granvilled@gmail.com

මෙන්න පහන නම් සඟරාවේ අගෝස්තු මැද කලාපයේ පලවූ ග්‍රැන්විල් ධර්මවර්ධන ගේ ලිපියට සබැඳියක්.
http://www.pahana.com.au/Sites/Pahana/Documents/MidMonth%20issue/23.pdf

-කතන්දරකාරයා

(image: http://www.news.com.au/national/wong-gay-push-sparks-fears-of-labor-hijacking/story-e6frfkw9-1225962418126)

Friday 26 August 2011

දුප්පත් සරොං කඩමාල්ලේ ඇති විවිධ ප්‍රයෝජන - Many uses of the humble Sarong


සරම කියන්නේ අපේ ජීවිතවලට හරිම සම්බන්ධ ඇඳුමක්. ඒත් මං තාම සරොං ගැන කතන්දර ලියලා තියෙන්නේ තුනෝම තුනයි!

රත්නායක මහත්තයා බඳින්න කලින් රමණී මැඩම් ගේ ගෙදර ගිහිං වෙච්ච සරොං පටලැවිල්ල එයින් එකක්.

ඒ-ලෙවල්ස් කරන කාලේ මං පන්සලට කලිසමක් ඇඳං ගිය බව දැකපු සිංහල බෞද්ධ තලිබාන් වංශයේ නාලන්ද පියතිලක ලා මට අවවාද කරපු කතන්දරේ දෙවෙනි එක.

සරොං අස්සේ ජොක්කු තියෙනවාද බලන්න පත්කිරීමට යෝජිත කාන්තා බලකාය ගැන ලියපු කතාව තමයි අනික.

සරොං වලින් මං නං වැඩිපුරම කැමති "බතික් සරොං" වලටයි. තුල්හිරිය, වේයන්ගොඩ පිජාමා සරොං ඇඳ, ඇඳ හිටිය අපිට "බතික් සරොං" කියන්නේ ඒ දවස්වල "ෆයිව් ස්ටාර්" සංකල්පයක්.

ඒ හැබැයි ඉස්සර -පොඩි කාලේ.

දැන් නං හිත යන්නේම, හොඳ වෛයිවර්ණ "ටෙලිවිෂන් මාක්" එකේ සරොං වලටයි.

බතික් වුණත්, ටෙලිවිෂන් වුණත්, කොහොමටත් පාට තද වැඩි වුණාම, අර "ඝන්ඨාර මාක් සරොං" ගණයට නොවැටී බේරෙනවානේ.

සරම හරිම වර්සටයිල් ඇඳුමක්.

1. තාත්තලා ට දිගට අඳින්න, කැහැපොට ගහන්න, වලාපොට ගහන්න, ක්‍රම තුනකට අඳින්න පුළුවන්. මැක්සි, මිඩි සහ මිනි ස්කර්ට් වගේ. මට මතකයි අපි චූටි කාලේ තාත්තා පුටුවක වාඩිවෙලා ඉන්න කොට අපි තාත්තා ගේ සරමේ වාඩිවෙලා ඔන්චිලි පදිනවා.

2. අම්මලාට නාන්න අඳින්නත් පුළුවන්.

3. ළමයින්ට රෑට නිදාගන්න කොට පොරවන්නත් පුළුවන්.

හැබැයි ඉතිං ඔය දිය රෙද්දට, පෙරෝන රෙද්දට සරම ගන්න පුළුවන් වෙන්නේ සරමේ අයිතිකාරයාට එක සරමකට වඩා තියෙනවා නං විතරයි.

අපි පොඩි කාලේ මට මතකයි අපේ බාප්පා ට තිබුනේ එක සරමයි. පොර සෙනසුරාදා ට ජොකා ගහගෙන සරම හෝදලා, සරම වේලෙන කං ජොකාට උඩින් පත්තර කොළයක් ඇඳගෙන ඉන්නවා.

විවිධාකාරයේ ෂර්ට්, කලිසං තිබුණත් පොර කවදාකවත් සරොං දෙකක් ගන්න නම් හිතුවේ නෑ!

සරමක තියෙන අනිත් අති වැදගත්ම පහසුව තමයි, අපි පිරිමි හොඳින් දන්නවා වගේ සරම අඳින්න හරිම ලේසියි. ගලවන්න ඊට වඩා ලේසියි.

ඇත්තටම කියනවා නං, ගලවන්න ඕනෑත් නෑ, ටොයිලට් ගියාම හෙම නිකං උස්සන්න විතරනේ තියෙන්නේ.

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න කාලෙකට කලින් මට චාන්ස් එකක් ලැබුණා රටින් පිට පනින්න. වෙන මොකකටවත් නෙමේ මං අර නිතරම කියන පස්තාච්චි කුපාඩි වැඩේටයි.

ඔතන ඉන්න කාලේ සරොං ඇඳිම ටිකක් යට ගියා. කැම්පස් එකේම ජීවත්වුණු හින්දා, උදේ ඉඳන් රෑ නිදාගන්න යනතුරුම දිග කලිසම ගහගෙනයි හිටියේ. රෑට නිදාගත්තේ ෂෝටක් ගහං.

ඒ දවස්වල අපි දවල්ට, රෑට කෑවේ, හය දෙනෙක් සෙට්වෙලා චමරියක් දාලා කෝකියෙක් ලව්වා කෑම උයාගෙනයි. "අයි කුක් සී-ලංකා" වර්ගයේ කෝකියෝ හිටියා අපේ උදව්වට.

කාලා අත හෝදලා අත පිහදාන්න අපි පාවිච්චි කළේ ටොයිලට් පේපර් රෝල්. මේවා දාන්න ම සුවිශේෂී ප්ලාස්ටික් උපකරණයක් හදලා තිබුණා තායිලන්තේ වැසියෝ.

ටොයිලට් පේපර් රෝලේ මැද තියෙන කාඩ්බෝඩ් රවුම අයින් කරලා, ඒක මේ ප්ලාස්ටික් ටින් එකක වගේ එක ඇතුලට දාලා උඩ තියෙන හිලකින් ටොයිලට් පේපර් අවශ්‍ය දිගට ඇදලා කඩාගන්න පුළුවන් අත පිහදාගන්න. (උඩ තියෙන පින්තූරය බලන්න).

ඕකට පුරුදු වෙලා ඉන්න අතරේ, මට දවසක් හදිසියේම වගේ මතක් වුණා, බොලේ, අපිට ලංකාවේ දී මෙහෙම ටොයිලට් පේපර් රෝල් තිබුණේ නෑ නේ අත පිහදාන්න කියලා.

එතකොට කොහොමද ලංකාවේ දී අපි කාලා, අත හෝදලා, අත පිහ දැම්මේ?

වෙන කොහොමද, සරමේ අත පිහ දැම්මා මිසක්?

සරොං අඳින අයට මොකටද අත පිහදාන කොළ?

සරම කියන්නේ විවිධාකාර ප්‍රයෝජන තියෙන ඇඳුමක් නේ.. .!!!

-කතන්දරකාරයා

ප/ලි:
සමහර අයගේ සරොං නං භූගෝලය ඉගෙන ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්.

(image: පස්තාච්චි කුපාඩි ආයතනයේ අචාන්වරයෙකු ගේ සාදර අනුග්‍රහයෙනි!)

Wednesday 24 August 2011

ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)

සඳුදා මං දාපු ඩේසි-වේසි කතන්දරේ කාන්තා පක්‍ෂය මග හැරිය හින්දා මං මේ අද කතන්දරය කාන්තාවන් ට තහනම් කළා!

මේ සිද්ධිය වුනේ පහුගිය දෙසැම්බරයේ. ඒ කාලේ පැල් බැඳගෙන වහිනවා අපේ ගෙවල් පැත්තට. දානේ ගෙදරක් තිබුණු හින්දා ඔන්න මට ඕනැ වුණා සුදු කමිසයක් ගන්න. තිබුණු සුදු කමිසේ හෝදලා දැම්මත් කොහේ වේලාගන්නද ඒ වැස්සේ?

එදා හවස මං වැස්සේම ගියා හොරණ පැත්තේ අපේ නෑදෑ ගෙදරක. ආපහු එන කොටත් මොර සූරණ වැස්ස. හොඳ වෙලාවට අතර මගට කාර් එකකින් ලිෆ්ට් එකක් ලැබුණා. බස්සෙකක් එනකං කඩයක් අයිනේ හිරිකඩෙන් බේරිලා ඉන්න වෙලේ මට මතක් වුණා සුදු කමිසයක් ගත්තොත් හොඳයි නේද කියලා.

මං ගොඩ වැදුණා මේ රෙදි කඩේට. හොඳ වෙලාවට මේ කඩ රෑ හතටත් ඇරලා!

"සෑර්, ජෙන්ට්ස් ලා ගේ ඇඳුම් උඩ තට්ටුවේ!" පල්ලෙහා කෑල්ලේ හිටිය මල් ගවුමක් ඇඳලා හිටිය කෙලි පැටික්කියෙක් මට කීවා.

උඩ තට්ටුවට නැගලා බැලින්නං සුපුරුදු පරිදි පාට පාට ටී ෂර්ට් පුරෝලා දිගට හරහට. ඔන්න ඒ අතරින් මතුවුණා වෙළඳ සේවිකාව. මේ ඇත්තී දිග කලිසමක් ඇඳලා, මැන්චෙස්ටර් වර්ගයේ අත් දිග ෂර්ට් එකක් ඇඳලා යි හිටියේ. මේක කොහොමටත් ජෙන්ට්ස් ලා ගේ සෙක්ෂන් එකනේ.

"සෑර්, වඩ් ඩූ යූ වෝන් ටු බයි?"

"සුදු කමිස තියේද?"

"යර්ස් සෑර්, වට් සයිස් සෑර්?"

"සික්ස්ටීන් ඇන්ඩ් හාෆ්."

"හියර් සෑර්, දිස් වේ සෑර්."

ඔන්න ෂර්ට් කෑලි ගොඩක් මේසේ උඩට ඇදලා දැම්මා. මං ඉතිං එකක් තෝරලා ගත්තා. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකදාස් ගානක එකක්.

"දැට් වන්, වැරි ගුඩ් සර්ට් සෑර්!"

"තෑන්ක් යු!"

"සැර්, යු වොන්ට් ටී ෂර්ට්ස් සෑර්?"

ඔන්න ඉතිං මට ටී ෂර්ට් එකකුත් ගන්න හිතුණා. ඒවායේ සයිස් තියෙන්නේ මීඩියම්, ලාර්ජ් සහ ඇක්ස්ට්‍රා ලාර්ජ්.

මට හරියන්නේ "ඇක්ස්ට්‍රා ලාජ්" බලාගෙන යන කොට. අන්තිමේදී ඒකට ගෙඩි රුපියල් හත්සීයක් ම ගියා!

"ඇනිතිං ඇල්ස් සෑර්?"

"නෑ ඒ ඇති."

"සෑර්, හව් අබවුට් සම් අන්ඩර් වෙයාර් සෑර්?"

අන්ඩර් වෙයා? ඔන්න එතකොට මටත් හිතුණා, ජොක්කු දෙක තුනකුත් ගත්ත නං හොඳයි නේද කියලා.

"හියර් සෑර්, දැට් සයිඩ්."

බැලින්නං එතන එක එක වර්ගයේ බ්‍රෑන්ඩ්වල ජොක්කු පෙට්ටි පුරෝලා. ඇපල්, දෙල්, ඒසර්, ඇච්පී, ලෙනොවෝ, ටොෂිබා, බුදු අම්මෝ තියෙන චොයිසස්.

"වට් සයිස් සෑර්? මීඩියම්, ලාජ්, ඇක්ස්ට්‍රා ලාජ්?"

"දෙන්න බලන්න."

මං ජොක්කු පෙට්ටි දෙක තුනක් අරං බලන කොට ඒවාගේ ඉනේ සයිස් එක දාලා තියෙනවා. මගේ ඉනේ සයිස් එක අඟල් තිස් අට බව මතක නිසා මං පෙට්ටියේ ප්‍රින්ට් කරලා තිබුණු වගුවට අනුව එක්ස්ට්‍රා ලාජ් පෙට්ටියක් තෝරා ගත්තා. එක පෙට්ටියක ජොක්කු තුනක් ම තියෙනවා.

"සෑර්, චැක් ද සයිස්, චැක් ද සයිස්!" සේල්ස් සහකාරිය කියුවා.

"අයි ඩිඩ්, මගේ ඉන තර්ටි එයිට්. ඒකයි මං එක්ස්ට්‍රා ලාජ් ගත්තේ."

"සෑර්, ඕපන් ඇන් සී සෑර්, ඕපන් ඇන් සී සෑර්, ඇරලා බලන්න සෑර්!"

මට ඕනෑ වුනේ නෑ, මේ ජොක්කු පෙට්ටි ඇරලා බලන්න. මගේ සයිස් එක මං දන්නවානේ!

අනික මං ගත්තු සුදු ෂර්ට් ඇඳලා තියා කවරෙන් ගලෝලාවත් බැලුවයැ? ටී ෂර්ට් එක නං හැඟර් එකක දාලයි තිබුනේ ඒ නිසා ඇඟට තියලා බලලයි ගත්තේ.

ඒත් මේ මනුස්සයා ඒකට කැමති නෑ.

මේන් බොලේ මේ මනුස්සයා ජොක්කු පෙට්ටිය ඇරලා, ජොකෙක් අතට අරං, හිමින් සීරුවේ මේසේ උඩ හොඳට දිග ඇරලා අතින් හොඳට හරි ගැස්සුවා ෆ්‍රන්ට් ඉලෙවේෂන් එක.

එතකොට තමයි මට වැඩේ තේරුණේ. මේකට දාන්න නං ඉතිං දෙන්නෙක් ගේ වස්තු කන්දරාවම ඕනෑ වෙයි!

"සෑර් දිස් ටයිප් - සයිස් ඕකේ. දිස් ටයිප් - සයිස් ප්‍රොබ්ලම්. ඇක්ස්ට්‍රා ලාර්ජ්, ටූ බිග්!"

සේල්ස් ඇත්තී කිව්වා. බැලින්නං මේ ජොක්කු වර්ගයේ පෙට්ටියේ තියෙන වගුව වැරදියි.

මොනවා කරන්නද ඉතිං. මං මිනිහෙකුට කරන්න පුළුවන් මෝස්ට් හියුමිලියේටින් පරාජය පිළිගැනීම කළා.

"හොඳයි, එහෙනං මට මේ ඇක්ස්ට්‍රා ලාජ් එක නෙමේ, ලාර්ජ් එකෙන් පෙට්ටියක් දෙන්නකෝ!"

-කතන්දරකාරයා

ප/ලි:
අද කතන්දරේ තියෙන අතුරු කතාවේ අරමුණ මට තෑග්ගකට ෂර්ට් එකක් හරි, ටී ෂර්ට් එකක් හරි දෙන්න කාට හරි හිතුනොත්, ඒකට ඕනෑ කරන සයිසස් ටික දන්වන එකයි.

හැබැයි බුදු අම්මෝ, ජොක්කු නං එපෝ!

ප/ප/ලි:
මැන්චෙස්ටර් කමිස ගැන සඳහන තේරෙනවා නේද? ටියුබ් ලයිට් එකේ ස්ටාටර් එක ගහලා ගිහින් නං, මට ඊ-මේල් එකක් එවන්න.

ප/ප/ප/ලි:
අද නං ඇනෝවා ලා මට නාර්සිසිසම් රෝගය තියේය කියලා කමෙන්ටු දාන එකක් නෑ!

උඩ පින්තුරයේ ඉන්නේ සංචාරක ක්‍රිකට් කණ්ඩායමේ ක්ලාක් ගොයියා බොන්ඩ්ස් නම් වූ අන්ඩවෙයා වර්ගයේ ඇඩ් එකකට ගත් ෆොටෝ එකකි.(image: http://www.heraldsun.com.au/)

Monday 22 August 2011

ඩේසි වේසි - පොඩි ළමයින්ට නං මේ කතන්දරේ හොඳද මන්දා? :: Dharmaraja Vs Maharaja


අප මහා බෝසතාණෝ බුදුවෙන්නට දස මහා පාරමිතා පෙරුම් පුරන කාලයේ එක් පෙර ආත්මයක ක්‍ෂාන්තිවාදී නම් වූ තාපසයෙක් ව ඉපිද සිටියහ. එකල රජ කළ දුෂ්ඨ රජෙකුගේ අණින් තම අත්, පා, කන්, නාසා කැපෙද්දීත් තාපසතුමාණෝ ක්‍ෂාන්තිවාදීවම වැඩ සිටියහ.

සාදු, සාදු!

ඔය කියන ක්‍ෂාන්තිවාදී ජාතක කතාව ගැන කියවෙන සින්දුවක් තමයි:
"ලෝනා ශ්‍රී ධර්මරාජා ක්‍ෂාන්තිවාදී තාපස කාලේ... ...."
කියන එක.

අහල නැති අයට මෙන්න ලින්ක් එකක්.
http://123ravindra.blogspot.com/2011/05/lona-sri-darma-raja.html

මෙතන "ධර්මරාජා" කියන්නේ බුදු හාමුදුරුවන්ට කියන තව නමක්.

අර තව සින්දුවක, "නාමෙ නොදිරනා කුණු කය දිරණා, ධර්මෙකි සෝබා සංසාරේ... ..." කියන එකේ, තියෙන්නේ මෙන්න මෙහෙම.

"මුණි රාජා, ධර්ම රාජා, බුදු රාජා, අග්ග රාජා... ..."

මං සුදාලගෙ කඩේ ප්‍රේමේ කියන සින්දුව කියපු කාලේ ඔය "ලෝනා ශ්‍රී ධර්මරාජා" පැරණි රසාංගය කිව්වේ මෙන්න මෙහෙමයි

"ලෝනා ශ්‍රී ධර්මරාජා ගම්පහ පොලිසියෙ ඉන්නා කාලේ... ..."

මේකට හේතුව තමයි, අපි ඒ දවස්වල දැනගෙන හිටිය විදියට "ධර්මරාජා" කියන්නේ මිනිහෙකු ගේ නමක්. පොර පොලිස්කාරයෙක්, මං හිතන්නේ ඒ දවස්වල එස්අයි කාරයෙක් ද කොහෙද මගෙ හිතේ.

ඉතිං ඇස්.අයි. ධර්මරාජා දෙමල මනුස්සයෙක්. මිහිහට හොඳට සිංහල කතාකරන්න පුළුවන් වුණාට, පොඩි ඇක්සන්ට් එකක් තියෙනවා.

අනික පොර ගේ සිංහල කෝෂ්ඨාගාරය, ඒ කියන්නේ වොකැබියුලරි එක, එච්චරම පෝසත් නෑ. වචන අඩුයි. නමුත් ඒ කියල පොර ටවුමෙ චණ්ඩින්ට බණින්ණ ගියාම අතහරින්නේ නෑ. දෙනවා නිකං සකස්කඩෙත් මස්තබාල්දු වෙලා යන්න.

ඔය කාලේ ඒ පැත්තේ කඩ මණ්ඩියක හිටියා ඩේසි කියල ගෑණු කෙනෙක්.

දවසක් මොකක් හරි කේස් එකක් වෙලා මේ පැත්තේ. ඇස්.අයි. ධර්මරාජා ආවා වීරය සේ පොර ගේ මෝටර් බයික් එකේ.

ගියා ඩේසි ගේ කඩේට. මොනවද ප්‍රශ්ණ වැලක් අහලා අන්තිමේදී ඩේසි ගේ ප්‍රතිචාර ගැන හෝ ප්‍රතිචාර නැතිකම ගැන අම්බානක මල පැනලා ධර්මරාජා ඩේසි ට බණින්න පටන් ගත්තා.

"ඩේසි වේසි, ඩේසි වේසි"

කේන්තිය වැඩිකමටද කොහෙද ඇස්.අයි. ධර්මරාජා ට වෙනිං ඩේසිට බණින්න වෙනිං සිංහල වචන මතක් වුනේ නෑ.

පොර දිගටම බැණ ගෙන බැණගෙන ගියා!

"ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි, ඩේසි වේසි... ...."

දෙමල මනුස්සයෙක් වෙච්ච ධර්මරාජා ඔය අමුම අමු කුණුහබ්බේ ඉගෙන ගෙන තිබුනේ පොර ගේ ලොකු අයියා, මහාරාජා ගෙන්.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ඇස්.අයි. ධර්මරාජා ගේ අයියා මහාරාජා අර දොස්තර ක්‍රොස් එක කාර් එකේ ගහං ගිය මිස්ටර් මහරාජා නෙමේ.

ප/ප/ලි:
සමහර වචන අපි කුණුහරුප කියලා හිතාගෙන හිටියාට, බලාගෙන ගියාම එහෙම නොවෙයි.

පුක කියන්නේ කුණුහරුපයක් නොවෙන බව කියලා මං කතන්දරයකුත් ලිව්වා නේ.

මේ ලඟදී දවසක මං දැක්කා බදුල්ල පැත්තේ උසස් පෙළ කරණ පාසල් සිසුවෙකු ගේ බ්ලොග් එකක් තියෙනවා මීහරක් පිඩියා කියලා.

මට එකපාරටම හිතුනේ මේ පිඩිය කියන්නේ අති දරුණු කුණුහරුපයක් නේද බොලේ කියලයි.

හැබැයි පස්සේ මධුර ඩික්ෂනරි එකේ චෙක් කරලා බලද්දී "පිඩිය" කියන්නේ ෆික්ෂර් (fixture), ජිග් (jig) හෝ නොබ් (knob) කියන තේරුමටයි.

හරියට වොලට්, මඩිස්සලේ, පසුම්බිය තේරුම දෙන්න "පයිය" කියලා කියනවා වගේ.

(image: http://en.wikipedia.org/wiki/File:MTV_Logo_2010.png)

Sunday 21 August 2011

සුද්දො අපෙන් කොපි කරපු සින්දු මෙන්න අහන්න - From English to Sinhala or Sinhala to English?


මේ පෝස්ට් එකට මුල් වුනේ මං සිකුරාදා දාපු "පෙම්බර මධු කාගේද?" කියන කතන්දරේ නං නෙමේ. හින්දි උර්දු හෝ ඉන්දියානු චිත්‍රපට ගීතවල තනුවලට සිංහල සින්දු කියපු එක අද ඊයේ වෙච්ච දෙයක් නෙමේනේ.

පහුගිය දවස්වල පිණිපලසේ සහා මාළු ටැංකියේ ගිය සින්දු දෙකක් ගැන පෝස්ට් දෙක තමයි අද දාන මේ පෝස්ට් එකට මුල් වුනේ. ඒ දෙකේම තිබුනේ බටහිර ගීත තනු කොපි කරලා කියපු සිංහල සින්දු ගැනයි.

ඉංගිරිසි ටියුන්ස්වලට සිංහල පද දාලා ගායනා කරපු එකත්, අනාදිමත් කාලෙක ඉඳලා තිබුණු දෙයක් මේ කල්හාර ලා අළුතින් කරපු දෙයක් නෙමේ.

දැන් මෙන්න බටහිර තනුවලට අනුව හදපු පැරණි සින්දු කීපයක්. සමහර ඒවා යූ ටියුබ් එකේ තාම නෑ. (කවුරු හරි දාන්න එපායැ!).

ඉරිදා දවසේ විවේකීව බලන්න.

1. කඳුකරයේ සීතලේ - ක්ලැරන්ස් විජේවර්ධන සහ ඉන්ද්‍රාණි පෙරේරා
(මේ ඔරිජිනල් සින්දුව. වීඩියෝ එක්ක තියෙන ඒවා කියන්නේ ඉන්ද්‍රාණි එක්ක වෙනත් ගායකයෝ.)


English original - "By the rivers of Babylon" - The Melodians


English popular version - "By the rivers of Babylon" - Bonny M




2. ඔබ දකින්නට කාලෙකට මම මුහුදු වෙරළට එන්නේ නෑ (මුල් ගායනය එම්.එස්. ප්‍රනාන්දු? මොරිස් දහනායක)

(ස්තුතියි හද ගී පොත)

English original by Harry Belafonte




3. අද අපි ඉන්නේ විනෝදෙන්ම මත්වී - මීනෝන් රත්නම්
(සිංහල සින්දුවේ යූටියුබ් වීඩියෝව සඳහා යෙදිය හැක්කේ සබැඳියක් පමණි.)
http://www.youtube.com/watch?v=F8qmy9EwMWY

English original by Diana Coupland in James Bond movie Dr No.




4. හැඩට වැඩට හරි සූරයෝ - එම්. එස්. ප්‍රනාන්දු වෝල්ටර් ප්‍රනාන්දු සහ ජෝතිපාල
මේ කියන්නේ නං වෝල්ටර් ප්‍රනාන්දු


English original - Obladi Oblada - The Beatles




5. ලුණු දෙහි - ජිප්සීස්


English version - Tiny Winey - Byron Lee



6. පෙම් ලෝකේ පුරා - ක්‍රිස්ටෝපර් පෝල්


English Original - Wooden Heart by Elvis Presley




මේවත් බලන්න.
ජිප්සීස් ල ගේ කුරුමිට්ටෝ :: Smurf song - Father Abraham



රෑට කමු අපි වම්බොටු - You can kiss me by Billy Towne



-කතන්දරකාරයා

ප/ලි:
මේ සින්දු හොයා ගැනීමට මට උදව් කළ මැක්ස් බූවා, අසංක බූවා සහ ලාල් බූවා කියන පොරවල් ත්‍රිත්වයට මගේ ස්තුතිය.

(image: http://rohantruth.blogspot.com/2011/06/kandyan-convention-by-rohan.html)

Friday 19 August 2011

"පෙම්බර මධු කාගෙද?" හෙවත් ඉච්ඡාභංගත්වය - Can a video bring this much anomy?


මඩු කියන්නේ මූදූ මාළුවෙක්. නිකං කුල්ලක් වගෙයි සයිස් එක. මුගේ දිග වලිගයක් තියෙනවා. මේකට තමයි මඩු වලිගේ කියන්නේ. අර වේවැලෙන් ගහනවා වගේ මඩු වලිගෙන් ගහනවා කියලා කියනවා අහලා ඇතිනේ.

මඩුවාගේ වලිගය තමයි උගේ ආරක්‍ෂක අවිය. ඒකේ තුඩ තියුණුයි. මඩුවෙක් වලිගෙන් ඇනලා තමයි බින්ඩි ගේ තාත්තාත් මැරුණේ දැනට අවුරුදු පහකට කලින්.

සමහර විට මාළු දැල්වලට මඩු මාළුවෙක් දෙන්නෙක් අහුවෙනවා. මං දැකලා තියෙනවා ගනේමුල්ලේ මාළු ලෑලිවල මඩු මාළු තියෙනවා විකුණන්න.

අපේ සීයා නං මඩු මාළුන්ට ඒ දවස්වල කිව්වේ "පෙම්බර මඩු" කියලයි!

ඒකට හේතුව තමයි "පෙම්බර මධු" කියන චිත්‍රපටිය. සිංහල සිනමාවේ සංධිස්ථානයක් විදියට සැලකෙන මූවි එකක් තමයි ඒක. ඒකට නං හේතුව බිරිඳක් සැමියාට ද්‍රෝහී වෙනවා තියෙන නිසාද කොහෙද මයෙ හිතේ. මං මේ මූවි එක නං දැකලා නෑ.
         ප/ලි:
මට මෙතනදී වැඩේ ටැපලිලා. මං මුලින් ලියලා තියෙන්නේ දුහුළු මලක් චිත්‍රපටිය ගැනයි.
පල්ලෙහායින් ඇනෝ කෙනෙක් දාලා තියෙනවා කතාව.
ඇනෝ මට ඒක ලියලා ඊමේල් කල හින්දා මං නං ඇනෝ ගේ නම දන්නවා හරිය?
වෙනත් කෙනෙක් කියපු විදියට මේ චිත්‍රපටිය අවසානයන් දෙකක් එක්කයි හදලා තියෙන්නේ.
එදා අයිටී එන් එකේ දාලා තියෙන්නේ සුඛාන්තයයි.
හෝල් එකේ පෙන්නන කාලේ දවසක් ඇර දවසක් සුඛාන්තය සහ දුඛාන්තය පෙන්නලා තියෙන්නේ.


හැබැයි ඔය චිත්‍රපටියේ තිබුණු "පෙම්බර මධු මගේ" කියන සින්දුව නම් කවදාකවත් අමතක වෙන එකක් නෙමේ!

"පෙම්බර මධු මගේ" සින්දුව කියන්නේ වික්ටර් රත්නායක. මා ගාව තියෙන ස ප්‍රසංගයේ ලයිව් රෙකෝඩින් තියෙන ද්විත්ව සංඝත තැටි වල දෙවෙනි එකේ තමයි මේ සින්දුව තියෙන්නේ. මං ඒ සින්දුව සියපාරක් විතර අහලා ඇති.

ඒක එච්චර මගේ හිත ගත්තු සින්දුවක්. ගායනය විතරක් නෙමේ, මියුසික් සහ තනුවත් අසමසමයි. උපරිමයි. මැක්සා. එළ!

මෙන්න සින්දුවේ පදමාලාව. රචනය කරුණාරත්න අබේසේකර ගේ. (දිලීප ගේ තාත්තා).

පෙම්බර මධු මගේ මා නැතේ ඔබෙන් මිදුනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

ලොවේ හි ඈත අනන්තේ පැලක් තුලේ නොපෙනී
ඇතත් හොරෙන් හැංගීලා මගේ දුකත් නොදැනී
අරං එමී ඔබ කැන්දා ඇසිල්ලකින් පැමිණී
සුරූපි දේව විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

වඩාලා දෝත පුරාලා පරෙවි කුමාරිය සේ
සුගන්ධ මල් යහනාවේ හොවා පෙමින් සිතු සේ
පවන් සලා ඔබ සනසම් ළදල්ලකින් සුවසේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

අපේ ම පාළු විමානේ නිසංසලේ සහනේ
අමා පැණින් මත් මත්වීලා ඔබේ දෙතොල් බඳුනේ
විඳින්නෙමී රස මදිරා පෙරුම් පිරූ ලෙසිනේ
සුරූපි දේහ විලාසේ මැවේ මැවේ නයනේ
පෙම්බර මධු මගේ පෙම්බර මධු මගේ

සංගීතය-පී.එල්.ඒ.සෝමපාල (චිත්‍රාල් ගේ තාත්තා)
ගායනය වික්ටර් රත්නායක (ලෙලුම් ගේ තාත්තා)

මෙතනින් අහන්න.
http://www.sinhalajukebox.org/cgi-bin/smi.cgi?s=A0250011C01

ඉතිං මේ සින්දුවට මගේ තිබුණු ආශාව කොච්චරද කියලා කියනවා නං මේන්න මේ පහත තියෙන යූ-ටියුබ් වීඩියෝ එක ඊයේ රෑ ෆේස් බුකියේ තිබිලා දැක්ක වෙලේ මට ඇති වුණු ඉච්ඡාභංගත්වය වචනවලින් විස්තර කරන්න බෑ.


(Masood rana- Meri dua hai ke- film CHIRAGH KAHAN ROSHNI KAHAN)

මෙච්චර කාලයක් අග්‍ර ගනයේ නිර්මාණයක් කියලා මං හිතාගෙන ඉඳලා තියෙන්නේ උර්දු මූවි එකක කොපියකට නේ!

අනේ අපොයි!

-කතන්දරකාරයා

ප/ලි:
මට අර අහවල් වීඩියෝ එක දැකපු වෙලාවේ වත් මෙච්චර ඉච්ඡාභංගත්වයක් දැනුනේ නෑ.

අපේ කෂ්ටිය බැෂ්ටිය දුන්නු හැටි හිතාගන්න නං අපිට අමුතුවෙන් වීඩියෝ ඕනැද? නෑ, නේ?

(image: www.caglecartoons.com)

Wednesday 17 August 2011

මළ ගෙදරක ගිය ෆ්‍රෙඩී සිල්වා - Freddie Silva goes to a funeral


ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදරක ගිය කතාව අහලා තියෙනවාද?

ඒ කතාව මෙහෙමයි.

අපි කවුරුත් දන්නවා වගේ ෆ්‍රෙඩී සිල්වා කියන්නේ හිටපු විකට නළුවෙක්. පොර මුලින් විකට සින්දු කියලා, පස්සේ මං හිතන්නේ හැට ගණං වල වගේ තමයි චිත්‍රපටිවලට සම්බන්ධ වෙලා තියෙන්නේ.

ඒ දවස්වල තිබුණු වට්ටෝරු ගත චිත්‍රපටිවල, කොල්ලා, කෙල්ල දුෂ්ඨයා, කොල්ලාගේ සපෝටර්, කෙල්ලගේ සපෝටර් ට අමතරව ජෝකර් ලා එකෙක් දෙන්නෙක් විතරත් හිටියා පොඩි පොඩි සිල්ලර ජෝක්ස් දාන ජොබ් එකට. ෆ්‍රෙඩී සිල්වා ආවේ මෙන්න මේ ජෝකර් චරිත කරන්නයි.

ටිකක් කල් යන කොට "කොස් කටිං" හින්දාද කොහෙද ඒ කොල්ලාගේ සපෝටර් චරිතයයි, ජෝකර් ගේ චරිතයයි දෙකම එකක් කරලා නිෂ්පාදකවරු චිත්‍රපටිවල ඵලදායිකත්වය වැඩිකර ගත්තා.

මේ කම්බයින්ඩ් රෝල් එකත් හොඳට ම කරපු නළුවෙක් තමයි ෆ්‍රෙඩී සිල්වා කියන්නේ. මට මතකයි විජය කුමාරතුංග කොල්ලා ට හිතපු යසපාලිත නිර්මාණයක් රස සාගරයක් බ්‍රෑන්ඩ් එකේ චිත්‍රපටි කීපයක ෆ්‍රෙඩී සිල්වා මේ "සපෝටර් කුම් ජෝකර්" රෝල් එක කළා.

ඇත්තටම කියනවා නං මේ චරිතවල ලොකු දෙයක් තිබුනේ නෑ කරන්න. මට තේරුණු විදියට ස්ක්‍රිප්ට් එකක්වත් තියෙන්න නැතුව ඇති මේ රඟපෑම් වලට.

කෙල්ලගේ පැත්තෙනුත් පෙර කී කොස් කටිං මෙෂර් එක ගත්තු නිසා "ජෝකරී කුම් සපෝටරී" චරිත මතුවෙලා ආවා. මේ චරිතයකට ස්ටීරීයෝ ටයිප් කාස්ටින් කරලා හිටපු සමන්ති වගේ නමක් තියෙන නිළියෙක් එක්ක තමයි ෆ්‍රෙඩී සිල්වා අන්තිමේදී දීග කෑවේ.

අන්තිමේදී කියන්නේ තව දුරටත් චිත්‍රපටි හම්බවෙන්නේ නැති කාලේ සිල්ලර කඩයක් දාං හිටියනේ මේ දෙන්නා. අන්න ඒ කාලේ!

මං මුලින් ෆ්‍රෙඩී ගේ ජෝකර් රෝල්වලට තිර රචන පිටපත් තිබුනේ නෑ කියල කිව්වේ මේ චිත්‍රපටිවල ෆ්‍රෙඩියා එහෙට හැරුණත්, මෙහෙට හැරුණත්, ඇවිද්ත්, දිව්වත්, "අපෝ බං උඹේ මූනෙ හැටි දාපංකො ඕක ලොන්ඩරියට!" කියල කීවත්, වෙන මොනවා හරි එවෙලේ කටට එන එකක් කීවත්, අපි ප්‍රේක්‍ෂක ජනතාව කළේ ඔහේ හිනාවෙන එක තමයි.

පොරගේ මූණ, අතපය විසි කරන විදිය, කටහඬ සහ ගමන් විලාසයට තමයි මිනිස්සු හිනාවෙන්නනේ!

ඉතිං අත කතන්දර කෑල්ල මේකයි.

දැන් දශකයට විතර උඩදී සරසවිය පත්තරේට ද කොහෙද ඉන්ටර්වීව් එකක් දීලා තිබුණු ෆ්‍රෙඩී සිල්වා කියලා තිබුණා මෑන් අකමැතිම වැඩේ මළ ගෙවල්වල යන එකය කියලා.

මොකද දන්නවද, ඔන්න පොර ඉතාම කණගාටුවෙන් මළ ගෙදරට ගිහින් ගෙට ගොඩ වෙන්නත් කලියෙන්ම, පොරව අඳුණාගන්න අයට හිනා යනවාලූ.

කොටින්ම මේ මැරිච්ච එකාගේ ලඟම ඥතියන්ට පවා හිනා යනවාලු ෆ්‍රෙඩී සිල්වා ව දැක්ක හැටියෙම.

මේ දුක්බර මුහුණින් ඉන්න ඕනෑ මළ ගෙදරක් වගේ තැනක හිනා වෙවී ඉන්න එක බුදු අප්සෙට් වැඩක් නේ. ඉතිං ෆ්‍රෙඩී සිල්වා කරලා තියෙන්නේ මළ ගෙවල්වලට යන එක නතර කරන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතාවේ මට තියෙන සම්බන්ධය මෙන්න මේකයි.

මාත් මේ කතන්දර බ්ලොග් එක පටන්ගත්තේ විහිළු කතන්දර ලියන්නනේ. දැනට ලියලා තියෙන කතන්දර 430+ වලින් අති බහුතරයක් පොඩි පොඩි හරි විහිළු කතා තමයි.

නමුත් පහුගිය ඉරිදා හවස මගේ හිත ඇතුලට කඩාගෙන ආපු එක්තරා සිතුවලි ධාරාවක් නිසා මට ඇත්තටම හිතුණා, මොකක්ද මේ විදියට මේ කතන්දර බ්ලොග් එක කිරීමේ ප්‍රයෝජනේ. පොඩි බ්රෙක් එකක් අරං මේ ගැන හොඳට හිතලා මතලා බැලුවොත් නරකද කියලා.

ඒකයි මං කතන්දර බ්ලොග් එක තාවකාලිකව වහලා දැම්මේ! ඒ වෙනකොට ලියලා ඔටෝ පබ්ලිෂ් වෙන්න දාලා තිබුණ කතන්දර අවුරුදු පනහකින් ඉස්සරහට දැම්මා

වැඩේ කියන්නේ මටත් වුනේ ෆ්‍රෙඩී සිල්වා මළ ගෙදර ගියා වගේ වැඩක්. සමහරු හිතුවා මං මොකක් හරි බොරුවක්, ට්‍රික් එකක් කරනවා කියලා. කමක් නෑ, ඒත් සමහරවිට විහිළුවටම වෙන්නත් ඇතිනේ.

කොහොම හරි ඉරිදා රාත්‍රියේ හිටන් මේ ගැන හිත, හිත ඉඳලා අඟහරුවාදා වෙනකොට මගේ හිතට ටිකක් පොසිටිව්-තාවයක් ආවා. මේ ෆ්‍රෙඩී සිල්වා ගැන කතන්දරය මතක පොතෙන් උපුටා අරගෙන ලිව්වේ එවෙලෙයි.

මං අද බදාදා උදේ පාන්දර හයයි හතලිස් පහට තීරණය කළා ආපහු පිටියට බහින්න.

හොඳයි! එහෙනං කොරලා බලමු!

(image: http://www.sarasaviya.lk/2010/10/28/_art.asp?fn=sa10102818&pn=18)

Monday 15 August 2011

නැවත දැනුම් දෙන තුරු කඩේ වසා ඇත - Shop closed until further notice!


කතන්දර බ්ලොග් එක නැවත දැනුම් දෙනතුරු වසා දමමි.

පසුගිය අවුරුදු දෙකයි මාසය තුල මට අනුග්‍රහය දැක්වූ ඔබ සැමට ස්තුතියි.

-කතන්දරකාරයා

ප/ලි:
මෙය කිසිසේත්ම කළබලවීමට හේතුවක් නොවේ. පුද්ගලික කරුණකි.

මේක මෙව්වා එකක් හෝ එහෙම නැත්තම් මෙව්වා එකක් නොවේ.

ඇත්තටම කියනවා නං මෙන්න මෙව්වා එකකි.

සමහර විට ආපසු බදදා කඩේ විවෘත කරන්නට ඉඩ තිබේ. සමහර විට ඊට වඩා කල් යන්නටද ඉඩ තිබේ. සියල්ල කාලය විසින් විසඳනු ඇතැයි සිතමි.

එතෙක් මා මෙතෙක් ලියා ඇති කතන්දර 400+ කියවන්න.

ඊයේ, ඉරිදා, කතන්දර බ්ලොග් එක නොබැලූ අයට සෝමරත්න දිසානායක සාකච්ඡාවේ දෙවෙනි කොටස නොහොත් "කඩේ යාම=xx දීම" මෙතනින් කියවිය හැක:
http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

(image: http://www.shoutingatco.ws/blog/2011/05/10/ten-worst-shop-chains/)

Sunday 14 August 2011

කඩේ යාම = xx දීම : සෝමරත්න දිසානායක සමග සාකච්ඡාව : A chat with Soma


සරෝජා හදපු සෝමරත්න දිසානායක කියන සිනමාකරුවා එක්ක කතන්දරකාරයා කරපු සාකච්ඡාවේ මුල් කොටස පසුගිය ඉරිදා සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකේ දැම්මා.

ඒක ඉවර වුනේ මං අහපු ප්‍රශ්ණයකින්. අද එතැන සිට කියවන්න.

කතන්දරකාරයා: සමහරු කියනවා මෙහෙම. සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ ඒ මට්ටමට ආවේ නෑ, ඒවායෙන් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?

සෝමා: විවිධ මතධාරීන් විවිධාකාරයෙන් මගේ නිර්මාණ විචාරය කරනවා. සරෝජා සංවේදී චිත්‍රපටියක්. සමහරුන්ට එයයි මගේ හොඳම චිත්‍රපටිය. තව සමහරුන් වඩාත් කැමති සූරිය අරණටයි. ගුණදාස අමරසේකර මහත්තයාට මගේ හොඳම චිත්‍රපටිය සමනල තටු.

මගෙන් කතන්දරකාරයා ඇහුවොත් මගේ හොඳම චිත්‍රපටිය මොකක්ද කියලා, මං කියන්නේ මං දැනට හඳලා තියෙන චිත්‍රපටි හයම නෙමේ මං ඊලඟට හදන්න ඉන්න චිත්‍රපටියයි කියලයි. නමුත් මගේ හැම නිර්මාණයකටම මම එක සේ ආදරෙයි.

කතන්දරකාරයා: හොඳයි, එහෙනං මං ඇහැව්වොත් ඔබේ චිත්‍රපටිවලින් යම්යම් දුර්වලතා තිබුණු චිත්‍රපටි මොනවාද කියලා, ඔබ මොනවගේ උත්තරයක් ද දෙන්නේ?

සෝමා: මගේ හැම චිත්‍රපටියකම දුර්වලතා මං දකිනවා. ඕනෑම නිර්මාණකරුවෙකුට එය එසේ විය යුතුයි. තමන්ගේ නිර්මාණයක් දෙස හැරී බලා ස්වයං විවේචනයක් කිරීමට හැකියාව තිබිය යුතුයි. මගේ ඕනෑම නිර්මාණයක් මා නැවත වරක් කළොත්, ඊට වඩා හොඳ නිර්මාණයක් බිහි කිරීඟට මට හැකිවේවි.

කතන්දරකාරයා: මා සිරි රජ සිරි චිත්‍රපටිය නරඹන වෙලේ මට හිතුණු එක් දෙයක් තමයි එහි අවසානයේ කුඩා දරුවාගේ සියළු ප්‍රශ්ණ, හරියට හින්දි චිත්‍රපටියක මෙන්, අපූරුවට විසඳෙනු දැක්වීම කොතරම් දුරට යථාර්තය නිරූපනය කරනවාද කියන එක.

ඒ එක්කම, ඔය ගමෙන් නගරට පැමිණෙන ළමයා ගේ කතාව මීට දශක ගණනාවකට කලින් කතාවට ලක්වුණු එකක් නොවේද කාරණයත් මට සිහිවුණා.

සෝමා: මෙහෙමයි, මෙවැනි කතා තවත් තියෙන්න ඇති. නමුත් එකවාගේ මූලාශයකින් වුනත් විවිධ නිර්මාණ බිහිවෙන්න පුළුවන්. එකවාගේ ආදර තේමා යටතේ විවිධ නිර්මාණකරුවන් විවිධ ආකාර වලට නිර්මාණ ඉදිරිපත් කරන්නාක් හා සමාන දෙයක්.

කතන්දරකාරයා: මිනිසුන් වශයෙන් අප හැමෝටම පුද්ගලික දේශපාලන මතවාද තියෙන බව සත්‍යයක්. නමුත් ප්‍රසිද්ධ කලාකරුවන් මැතිවරණවලදී ප්‍රසිද්ධියේ පක්‍ෂ දේශපාලනයේ යෙදීමේ යම් ගැටළු තියෙනවා නේද?

සෝමා: කලාකරුවෙක් ස්වාධීන පුද්ගලයෙක් විය යුතුයි. මගේ මතය හැටියට කලාකරුවෙක් යම් දේශපාලන පක්‍ෂයක හෝ නායකත්වයක එල්බගෙන සිටීම වැරදියි. මම දේශපාලන වේදිකාවේ මගේ දේශපාලන මතය කතා කලේ කිසිම පක්‍ෂයක සාමාජිකයෙක් විදියට නෙමේ.

නමුත් මම ඒ මොහොතේ රටේ අවශ්‍යතාවය මට දැනෙන විදියට ජනතාවට කීම මගේ යුතුකමක් යැයි සිතුවා. මගේ මතය සමහර දේශපාලන පක්‍ෂවලට වාසි සහගත වීමටත් සමහර දේශපාලන පක්‍ෂවලට අවාසි සහගත වීමටත් ඉඩ තියෙනවා. සිදුවුනේ එයයි. ඒ සමගම තීරණාත්මක මැතිවරණයකදී එක් කණ්ඩායමකින් මා විශ්වාස කරන අපේකමට අවාසියක් ඇතැයි මට සිතුනොත් මට සිදුවෙනවා ඔවුන් බලයට ඒම වලක්වා වෙනත් කණ්ඩායමක් ගේන්නට ක්‍රියාකරන්න.

පසුගිය මැතිවරණයේදී මං පෙනී සිටියේ මහින්ද රාජපක්‍ෂ කියන පුද්ගලයා වෙනුවෙන්වත්, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වෙනුවෙන්වත් නොවේ. මං ඒ බව වේදිකාවේදීත් කිව්වා.

කතන්දරකාරයා: "කඩේ යාම" යනුවෙන් අළුතෙන් ජනවහරට එකතු වී ඇති යෙදුමෙන් හැඳින්වෙන්නේ මෙය නේද?

සෝමා: ඔව්, ඒ කලාකරුවාගේ මතය එක දේශපාලන පක්‍ෂයකට වාසි සහගත වෙද්දී ඔහු හා එකඟ නොවන අනෙක් පක්‍ෂවල අය කලාකරුවා ව හඳුන්වන විදියයි. ඒ සඳහා ඔයිට වඩා දරුණු වචනත් පාවිච්චි වෙනවා. මේක දාන්න එපා. සමහර අය ඕකට කියනවා xx දෙනවා කියලා. (ඔන්න දැම්මේ නෑ, හරිය?) ඒවා මාව හෙළා දකින්න අනිත් කණ්ඩායමේ අය පාවිච්චි කරන වචනයි.

ඇත්තටම ඔතන සිද්ධ වුනේ මොකක්වත් දීමක් වත්, කඩේ යාමක්වත් නොවෙයි. මම මගේ මතය ප්‍රකාශ කළා, සමහරු ඒකට එකඟයි, සමහරු විරුද්ධයි.

කතන්දරකාරයා: නමුත්, කලාරසිකයින් වශයෙන් අපිට හිතෙනවා නේද කලාකරුවා එක් දේශපාලන පක්‍ෂයකට වාසි සහගත ප්‍රකාශ කිරීම තුලින්, දෙන්නෙක් අතර චන්දයකදී එක පැත්තක් ගැනීම තුලින්, තම ස්වාධීනත්වය පාවා දුන්නා කියා? නිර්මාණකරුවෙක් හැටියට ඔබ එය දකින්නේ කොහොමද?

සෝමා: ඇත්තටම මෙය නිර්මාණකරවෙකුට ඉතා අවාසිදායක දෙයක්. මට වාසිසහගත දේ තමයි කට පියාගෙන ස්වාධීනව සිටීම. මා සිනමා නිර්මාණකරන්නේ එක දේශපාලන පක්‍ෂයක අයට විතරක් නොවෙයි. මගේ දේශපාලන අදහස්වලට විරුද්ධ අයත් මගේ චිත්‍රපට නැරඹිය යුතුයි. එහෙම නොවුනොත් එය නිර්මාණකරුවාට වෙන විශාල පාඩුවක්.

නමුත් මා හැම විටම ඒ ගැන, මගේ වාසිය අවාසිය ගැන නොසලකා, රටේ යහපත සඳහා ඉවහල් වෙයි කියා මා සිතන මතය ඉදිරිපත් කිරීමටයි. මං හිතන්නේ කලාකරුවා කියන්නේ එක්තරා ආකාරයකට ජනතා නියෝජිතයෙක්. ඒ නිසා කලාකරුවෙකුට යම් කිසි වගකීමක් තියෙනවා.

තමන් ආදරය කරන ජනතාවට යම් අනතුරක් වෙන බව දකිනවානම් එයින් ඔවුන් මුදවාගන්න තමන් ගේ මතය ප්‍රකාශ කිරීම කලාකරුවෙකු ගේ යුතුකමයි.

කතන්දරකාරයා: හොඳයි ඔබ ඔබේ මතය දරමින් ඔබේ ගමන යනවා. බලයේ සිටින පක්‍ෂය හෝ නායකත්වය ඔවුන් ගේ මතය දරමින් ඔවුන් ගේ ගමන යනවා. මා දකින්නේ මේ මොහොතේ මේ ශ්‍රිතයන් දෙකේ යම් සමපාත වීමක් සිදුවී ඇති බවක්. යම්කිසි විදියකින් අනාගතයේ දිනක මේ මතවල යම් කිසි පරස්පර විරෝධී බවක් ඇතිවුණොත් අපට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද ඔබ තවදුරටත් තම මතයෙන් බැහැර නොවී ස්වාධීනව ඉඳීවි කියා?

සෝමා: මා දැනටමත් යම් යම් කරුණු වලදී පවතින රජයේත් නායකත්වයේත් තීරණ විවේචනය කරනවා. මේ සඳහා හොඳම උදාහරණය තමයි ලංකාවේ ඉඳිවුණු සිනමා ගම්මානය. කලකට ඉහත සිනමා කලාකරුවන් ගේ අදහස් විමසීමේ දී අපේ මූලික අවශ්‍යතා ලෙස අප දැක්කේ අද අපට නැති රසායනාගාර, ශබ්දාගාර සහ අනෙකුත් තාක්‍ෂණික පහසුකම් ස්ථාපිතකර ගැනීමයි. සිනමා ගම්මානයක් කිසිසේත්ම අපේ මූලික අවශ්‍යතාවයක් නොවන බව අප රටේ නායකයාට කියා සිටියා.

සිනමා ගම්මානයක් කියන්නේ මොකක්ද? පසුතල! අපේ මුළු රටම සිනමා ගම්මානයක්. සිනමා පට, ටෙලි නාට්‍ය සඳහා අවශ්‍ය හැම පරිසර පසුබිමක්ම අපේ රටේ ස්වභාවිකවම තියෙනවා. අපේ යෝජනාව වුනේ තාක්ක්‍ෂණික ව්‍යාපෘති. අපි ටෙලි සිනමා ගම්මානය ප්‍රතික්‍ෂේප කළා.

අපේ උපදෙස් නොතකා රජය සිනමා ගම්මානයට මුල්ගල තැබුවා. ඉන් පසුව අපව කැඳවා මේ ගැණ ප්‍රශණකරන විට මම ජනාධිපතිතුමගෙන් ඇසුවා, අපේ කමිටුව, රවීන්ද්‍ර, ජැක්සන්, මාලිනී, රෝහණ සහ මම ඇතුළු, මේ ගම්මානය හැදීම වෙනුවට ඉල්ලා හිටියේ තාක්‍ෂණික ආධාරයි. එහෙනම් මේ මුල්ගල තැබුවේ කාගේ යහපත සඳහා කවුරු කළ යෝජනාවක් අනුවද කියා. ඔහු කීවේ එය තමන්ගේ අවශ්‍යතාවය මත තමන් කරන දෙයක් බවයි. මා කීවා එහෙනම් අපේ කමිටුවෙන් ඇති වැඩක් නැහැ නේද කියා. එය මෙන්ම වෙනත් දේවලුත් අප විවේචනය කරනවා වැරදි තීරණ ලෙස.

මැතිවරණයේ දී මා මගේ මතය ප්‍රකාශ කර, ජනතාවට ඡන්දය දෙන්නැයි ඉල්ලා සිටියාට, මම කිසි ලෙසකත් රජය හෝ එක්තරා නායකයෙක් හෝ ආරක්‍ෂා කිරීමට බැඳී නැහැ. මා හැම විටම සිටින්නේ රටට, ජනතාවට, අපේ කමට යහපතක් සිදු කළ යුතුයි යන ස්ථාවරයේ දී. පවතින රජයෙන් හෝ එහි නායකත්වයෙන් හෝ රටට, ජනතාවට, අපේ කමට, මහා විනාශයක් සිදුවේ යැයි ඉදිරියේ දී මට වැටහුණොත්, ඉදිරියේ දී මා එයට විරුද්ධව කතා කරනවා.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය උඩින් තියෙන ෆොටෝ එක හොයා ගත්තු වෙලාවේ තමයි තේරුනේ, මං මුලින් හිතං හිටපු ඈයෝ විතරක් නෙමේ, නීලා, කපිල සහ සුමිත්‍රාත් කඩේ ගිය බව. ඩබ්ලිව් ජයසිරිත් අනිත් පොරට කඩේ ගියා ටෙලිවිෂන් එකේ දැක්කා. ඇයි පබා බබා?

ප/ප/ලි:
මීලඟ නේම් ඩ්‍රොපින් කතන්දරේ එන්නේ මං දන්න තරමින් කඩේ නොගිය කලාකරුවෙක් ගැනයි. පසුගිය දිනයක බොරලැස්ගමුවේ මනෝරත්න නිවසේදී කතන්දරකාරයා මනෝරත්න සමග කළ කතාබහ ටයිප් කිරීමට ඉඩ ලැබුණු වහාම සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකක් විදියට අනිවා ඩෙෆා දාන්නයි ඉන්නේ.

(image: http://www.dinamina.lk/2009/12/12/default.asp)

Friday 12 August 2011

වගකීම බාර ගැනීම එක හෙළා ප්‍රතික්‍ෂේප කළත් ඒක පිළි නොගන්නේ ඇයි? - Rejecting denials and denying rejections!


අද කතන්දරේ නං, මෙලෝ රහක් නැති, එක්කෝ ටියුබ් ලයිට් බලපෑම හෝ නැත්තං අලුතින්ම ස්ටාටරයක් ඕනෑ වෙන එකක් හෝ වෙන්නයි වැඩිය ඉඩ තියෙන්නේ.

මොනවා කරන්නද, නේද? අට-ලෝ-දහම අනුව හැම දෙයක්ම වෙන්න පුළුවන් බව පිළිගන්න වෙනවානේ. මං අදට නියමිත කතන්දරේ අයින් කරලා, හදිස්සියේම ඊයේ මේක කොටලා දැම්මේ ඒ බව හොඳින් දැනගෙනයි.

ඔන්න අපේ වත්තේ වැට අයිනට වෙන්න තිබුණා පොඩි වල් පැළෑටි ගොන්නක්. මේවායේ කටු පුරෝලා. නිතරම වල් පැල කපලා කොටලා මර්දනය කොරන්න හැදුවාට වැඩේ හරි ගියේම නෑ. ආපහු, ආපහු, නැගගෙන එනවා. මහ හිසරදයක්. කරදර ගොඩක්.

ඒ මදිවට මේවායේ එන නිකං කූඩලු වගේ ගෙඩි ජාතියක් පුපුරලා ගිහින් වත්තේ අනිත් පැතිවලටත් බලපෑම එන්න පටන් ගත්තා.

අන්තිමේදී අපි කළේ, වල් පැලවලට උඩින් වල් නාශකයක් ඉහින එකයි.

වැඩේ එතනින්ම කෙලවරක් වුණා. වල් පැල මැරුණට පස්සේ වත්ත අයිනට නවෝදයක් උදාවුණා වගෙයි පෙනුනේ.

ඒ ජයග්‍රහණය නිසා ජොළියෙන් ඉන්න කොට මෙන්න බොලේ අල්ලපු වත්තේ උන් අපිට චෝදනා කරන්න පටන් ගත්තා, අපි වල් පැළ විතරක් නෙමේ වැට අයිනේ තිබුණු මල් පැලත් විනාශ කරලාය කියලා, අර වල් නාශකයෙන්.

අපි එක හෙළා කිව්වා අපි වල් පැලවල මුල් හරියට විතරක් වැදෙන්න සැහැල්ලු බේත් විද්ද මිසක් උඩින් ගිහින් බර බේත් ජාති දැම්මේ නැහැමයි කියලා.

මෙන්න බොලේ එතකොට මුං අපිට පෙන්නවා වීඩියෝ එකක්. අපි බරටම හර්බිසයිඩ් ස්ප්‍රේ කරනවා මුං වීඩියෝ කරලා.

අපි කළේ ඒ චෝදනා නැවතත් එකහෙළා ප්‍රතික්‍ෂේප කිරීමයි. හොරට හදපු වීඩියෝ එකක්ද කොහෙද ඒක! අපි අහුවෙයි ඕවාට, හුහ්!

අනික, ඕන්නං මල් පැල කීපයක් විතර මැරෙන්න ඇති, නමුත් ඔය කියන විදියේ මහා විනාශයක් නං වෙලා තිබුණේ නෑ.

ගෙදර මිදුලේම නිකං රතුපාට වල් ජාතියක් ආපු වෙලේ අපි වැඩේ දුන්න හැටි බැලුවාම මේක මොකක්ද?

තවත් එකක්. අපි වැට අයිනේ තිබුණු මල් පැල ගෙනැල්ලා වෙනම තවානක් දාලා, පස්සේ ටික ටික ආපහු හිටුවනවාත් එක්ක. උන් ඒව ගැන කිසි කතාවක් නෑ.

අනික ඔය අල්ලපු වැටේ එවුන්, උංගේ කුඹුරු කෑල්ලට හර්බිසයිඩ් විතරක් යෑ ගහන්නේ පෙස්ටිසයිඩ් ස්ප්‍රේ කරන්නේ ගජරාමෙට. අපි කවදාක්වත් ගියාද ඒවා හොයන්න බලන්න, වීඩියෝ කරන්න. උන් කරනවා නං ඇයි අපිට කරන්න නරක, නේද මෙයාලා? හුහ්!

ඒත් වල්නාශකවලින් මල්නාශනය කළාය කියන චෝදනා ඒ විදියට අපි කොච්චර ප්‍රතික්‍ෂේප කළත් අල්ලපු වැටේ උන් ඒක පිළිගන්නේම නෑ. හුහ්! ඒ උන්ගේ වීඩියෝ හොර ඒවාය කියලා කොච්චර කිව්වත් උං පයිසෙකට ගනං ගන්නේ නෑ. හුහ්!

ඔය චෝදනා කිරීම් සහ චෝදනා ප්‍රතික්‍ෂේප කිරීම් ඇදෙමින් තියෙන අස්සේ ගිය සතියේ මොකද දන්නවද වුණේ?

අල්ලපු ගෙදර ඉඳලා අපේ වත්ත පැත්තට සරුංගලයක් එවලා. මේක අපේ ගෙදර ඇත්තෝ හොඳට දැකලා තියෙනවා. අපරාදේ, ඒත් ඒක වීඩියෝ කරගන්න නං බැරි වෙලා නේ!

මේක මාර කේස් එකක්. ඊළඟට මොනව එවයිද කවුද දන්නේ? අපි වහාම උන්ට මේ ගැන චෝදනා කළා වැටට උඩින්.

උං ඒ කතාව කොහෙත්ම පිළිගන්නේ නෑනේ. බලන්නකෝ, ඒ චෝදනාව උං එකහෙළා ප්‍රතික්‍ෂේප කරනවා!

අපිට කළ බොරු චෝදනාව අපි ප්‍රතික්‍ෂේප කළාම, ඒක ගාණකට ගන්නේ නැතුව, නැවත නැවත චෝදනා කරන මුං, දැන් අපි කරන ඇත්තම ඇත්ත චෝදනාව ප්‍රතික්‍ෂේප කරන්නේ රෙදි ඇඳගෙනද කියලයි මට නං හිතෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි:
මේ ඉරිදා ට බලාපොරොත්තු වෙන්න, සෝමරත්න දිසානායක, සරෝජා සහ කඩේ යාම ගැන කතාවේ දෙවෙනි කෑල්ල.

ඇත්තටම ප/ලි:
මට තේරෙන විදියට අපි කරන චෝදනාව උං ප්‍රතික්‍ෂේප කරන කොට අපිට ඒක බොරු කියලා හිතෙන්නේ, උං කරපු චෝදනාව අපි ප්‍රතික්‍ෂේප කළාට ඇත්ත සීන් එක යටි හිතෙන් අපි දන්න නිසයි.

දෙහිවල සතුන් වත්තේ මේ ලඟදී පැටව් ගහලා තියෙන්නේ සීබ්‍රා ලා ද, පැස්බරු ද?

(iamge: http://dranil-marketingmusings.blogspot.com/)

Wednesday 10 August 2011

මහරාජා ගේ දොස්තර ක්රොස් එක - Mr Maharaja's doctor cross


කාලයක් අපි කොළඹට කිට්ටුව පදිංචි වෙලා හිටිය කාලේ අපේ අල්ලපු ගෙදර හිටියේ රාජසිංහ කියලා මහත්තයෙක්. ඒ කියන්නේ රාජසිංහලා තමා අපේ නේබර්ස් ලා.

රාජසිංහ ජෝඩුව හරිම කරුණාවන්ත හොඳ ගුණ යහපත්කම් තියෙන දෙන්නෙක්. අපිට විටින් විට විවිධාකාරයේ උදව් උපකාරත් කළා. දෙන්නම විශ්‍රාමික හින්දා නිවාඩු පාඩුවේ ගෙදරට වෙලා හිටියා. මහත්තයා නම් කාලයක් මොකක්දෝ මන්දා කන්සල්ටින් වැඩක් ද කොහෙද කළා මට මතක විදියට.

මං රාජසිංහ මහත්තයාට පොඩි නික් නේම් එකක් දාලයි තිබුනේ මහරාජා කියලා. නෝනා මහරානී. මට කියන්න අමතක වුනා. මේ දෙන්නට හිටියනේ පුතෙක්. පොරට කීවේ යුවරාජා කියලයි.

හැබැයි, මේ සේරම නම් ගම් ඉතිං මායි කතන්දර හාමිනේ යි අතර විතරයි පාවිච්චි වුනේ!

මං ඉඳල හිටල දවසක වීක් එන්ඩ් එකේ මිස්ට රාජසිංහ එලියේ පහලියේ ඉන්නව දැක්කොත් ඒ පැත්තට ගිහින් පොඩ්ඩක් කතා කරනවා. සමහර වෙලාවට ඉරිදා ඔබ්සෝවර් එකයි, දිවයින යි බලන්නේත් මහරාජා ගේ ගෙදරින්. මොකද මංතුමා ඒ දවස්වල ගත්තේ ඉරිදා ලක්බිමයි, සන්ඩේ ටයිම්ස් එකයි නේ!

මං මේ වගේ එක දවසක දැක්කා මහරාජා කාර් එක එළියට අරං හෝදනවා. මාත් ඉතිං ගියා ඒ පැත්තේ. මොකද කියනව නං මාත් ඔය කාලේ කාර් ගැන පොඩ්ඩක් ඇලර්ට් එකේ හිටිය නිසා. ඔයිට මාස කීපෙකට පස්සේ තමයි මං අර රතු කොරොල්ලා එකක් ගත්තේ? දන්නවනේ මෙගා සීරීස් එක?

මං ඒ පැත්තට එනව දැකල මහරාජා ඒ කියන්නේ රාජසිංහ අංකල් කරපු වැඩේත් නවත්තල මාත් එක්ක කට පුරා හිනාවුණා.

"ආ, අංකල් කාර් එක හෝදනවා වගේ?"

"නෑ, මං මේ කාර් එක හෝදනවා!"

"ආ, ඇත්තද? මං හිතුවේ කාර් එක හෝදනවා ය කියලයි."

මහරාජා ගේ කාර් එක මට මතක හැටියට නිසාන් සනි එකක්. බටු සනි මොඩල් එක වගේ නෙමේ ඊට වඩා අළුත්, හැබැයි ඩොක්ටර් සනි එකට වඩා පරණයි, අමුතුම ජාතියේ බඩුවක්.

"මොකක්ද අංකල් මේ කාර් ජාතිය. මං නං දැකලම නෑ."

"මේක සනී කූපර් එකක් නේ මහරාජා කියනවා. මේඩ් ඉන් ජැපෑන්."

"ආ ඇත්තද?"

"ඔව්, මේක කෙලින්ම ඇමරිකන් මාකට් එකට හදපු එකක්. ඒකයි මේ මොඩල් එක ලංකාවේ දකින්න නැත්තේ."

"ආ ඇත්තද?"

"ඔව්, බලන්න ස්පිඩෝ මීටර් එකයි, මයිලේජ් කවුන්ටර් එකයි, සේරම තියෙන්නේ මයිල්ස් වලින්, කිලෝ මීටර් නෙමේ."

මං දොර ඇරලා ඔළුව දාලා බැලුවා. ඇත්ත නේන්නං!

"ඒ විතරක් නෙමේ, මේකේ ඔය සයිඩ් කණ්ණාඩි තියෙන්නේත් ඇමරිකන් පැටර්න් එකටනේ."

ඇත්ත නේන්නං!!

"අංකල් මේක ගත්තේ කොහෙන්ද?"

"මං මේක ගත්තේ ජෙනරල් හොස්පිටල් එකේ ඩොක්ට කෙනෙක් ගෙන්. ඩොක්ටර් අරං තිබුනේ කාර් එක ඇමරිකාවේදී බ්‍රෑන්ඩ් නිව් අරගෙන මෙහෙට ගෙනාපු කෙනාගෙන්මයි."

ඒ කතාවත් ඇත්ත වෙන්න ඇති!

මොකද මහරාජා ගේ කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකේ ඇතුලෙන් ගහලා තියෙනවා අව්වට වේලිලා, වේලිලා, හොඳටම ෆේඩ් වෙලා ගිය ඉස්පිරිතාල ගේට් පාස් එකක් හෙවත් දොස්තර ක්රොස් එකක්.

"අංකල් මේක අරං දැන් කොච්චර කල් වෙනවද?"

"අපෝ, දැන් අවුරුදු පහක් විතර වෙනවා."

බුදු අම්මෝ, ඒ කියන්නේ මහරාජා අර දොස්තර ගේ ගේට් පාස් එක අවුරුදු පහක් තිස්සේ ඒ විදියටම ගහගෙන ඉඳලා, අව්වට වේලිලා, වේලිලා, හොඳටම ෆේඩ් වෙලා යනකන්ම!

මට ඉවසිල්ලක් නැතුව ගියා.

"එතකොට අංකල් මේ ගේට් පාස් එක ඒ දොස්තර ගේ එකක්ද?"

මහරාජා ගේ මූණට නැගුනේ පොඩි ඇපොලොජටික් හිනාවක්.

"ආ, ඔව්, ඕක මේ මේ මට බැරිවුණා නේ තාම ඕක ගලවලා දාන්න. අදම අයින් කරලා දාන්න ඕනෑ."

-කතන්දරකාරයා

ප/ලි:
හැබැයි ඔයිට මාස ගාණකට පස්සෙත් ඒ අව්වට වේලිලා, වේලිලා, හොඳටම ෆේඩ් වෙච්ච ගේට් පාස් එක ඒ විදියටම පේන්න තිබුණා කාර් එකේ වින්ඩ්ස්ක්‍රීන් එකේ.

(image: http://www.stemcellresearchprosx.com/stem-cell-therapy-quackery-or-truth/)

Monday 8 August 2011

හරි හුරතල් කොලු පැටියා-තාත්තා වගේමයි-උම්මා : Like father like son, xoxoxo!


දරු නැලවිලි ගීත තුනක් එක්ක, අපේ පුතා ගැන පොඩි සඳහනක් කරමින් මං ලියපු උගෙ අම්මයි දුන්නේ කතන්දරෙන් ඉපදුණු දෙවෙනි පසු කතාව මේක. මුල් කතන්දරේ -බබා ගේ තාත්තා හපනා.

දැන් ඔය පොඩ්ඩක් විතර තුනී වෙලා, ඇඳල පැදිලා, උස ගිහිල්ලා හිටියට, පුංචි කාලේ අපේ කොලු පැටියා නිකං බෝල ගෙඩිය වගේ.

ඉතිං අහල පහල, දන්න අඳුණන ආන්ටි ලා ගේ, ඒ කියන්නේ බබා ගේ අම්මී ගේ මිතුරියන් ගේ නොමද ආදරයට පාත්‍ර වෙන්න ඌට සිදුවෙනවා.

ඉතිං මේ ලේඩීස් කෂ්ටිය ගෙදර ආපුවාම මටත් හරි ජොලි මොකද දන්නවද? බබෙක් දැක්ක ගමන් කරන කාන්තාවන් ගේ ප්‍රියතම දේ තමයි බබා තාත්තා වගේ ද, අම්මා වගේ ද කියලා හොයන එක.

ඉතිං ඔන්න මේ ලේඩීස් ලා බබාව වඩා ගන්නවා.

"බලමු, බලමු කවුරු වගේද මේ හුරතල් ලස්සන පැටියා කියලා!"

"තාත්ත වගේද? අම්ම වගේද?"

"අනේ හරීම කියුට් අනේ. බලන්නකෝ පොඩි කමට හිටියට හිනාවෙන ලස්සන!"

"මං නං හිතන්නේ තාත්තා වගේමයි කියලා. උම්මා, උම්මා, උම්මා!"

"ඔව් අනේ, තාත්තා වගේමයි, ලොකු වුණාම හරිම හැන්ඩියෙක් වෙයි, උම්මා, උම්මා, උම්මා!"

අනේ පව්, තාත්තා වගේ කියුට් වුණු වරදට කොලු පැටියාට මේ ඇන්ටිලාගේ උම්මා වරුසාවලට ලක් වෙන්නත් වෙලා.

මං ඉතිං ඕව බලාගෙන කරන්නේ අර උන්මාද චිත්‍රසේන කාලේ ගැන සිහිකරලා තනියෙන්ම හිනා වෙන එකයි.

-කතන්දරකාරයා

ප/ලි:
ඔන්න පස්සෙන් පහු කොලු පැටියාට අවුරුදු තුනක් හතරක් විතර කාලේ අපි පුතා හාෆ් ෂීට් එකක ඇඳපු චිත්‍රයක් අපි කෑම කන කෑල්ලේ බිත්තියේ ගහලා තිබ්බා.

දවසක් අපේ ගෙදර පාටියක් වෙලේ ඒකට ආපු මිතුරියක් කොලු පැටියාව වඩාගෙන ඔය චිත්‍රය බලනවා මං දැක්කා.

මේ වෙන කොට පුතාට හොඳට අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්.

ඉතිං පහුවදා පුතා මගෙන් ඉල්ලනවා තාත්තේ සුදු කොල ගොඩාක් දෙන්න කියලා.

මං ඇහැව්වා:
"ඇයි?"

"චිත්‍ර අඳින්න."

"මොකටද ඉතිං කොල ගොඩාරියක්?"

"ගොඩාරියක් චිත්‍ර අඳින්න."

"ඇයි ඉතිං ගොඩාරියක් චිත්‍ර අඳින්නේ?"

මොකද දන්නවද කොල්ලා කිව්වේ?

"ගොඩාරියක් චිත්‍ර ඇඳලා බිත්තියේ එල්ලනවා. එතකොට ගෙදරට එන ආන්ටිලා ඊයේ කළා වගේ මාව වඩාගෙන මට උම්බ එකක් නෙමේ ගොඩාරියක් දේවි!"

එදා තමයි මට හිතුනේ ඇත්තටම පුතා නම් තාත්තා වගේමයි කියලා! Like father like son.

Sunday 7 August 2011

සෝමා, සරෝජා සහ කඩේ යාම - සෝමරත්න දිසානායක සමග පිළිසඳරක් :: KK chats with Somaratna Dissanayake


සෝමරත්න දිසානායක අද අප කවුරුත් හඳුනන්නේ ජාත්‍යන්තර සම්මානලාභී සිනමාකරුවෙකු ලෙසිනි. ඒ සමගම රාජපාක්‍ෂිකයෙකු ලෙසිනි. සරෝජා, පුංචි සුරංගනාවී, සූරිය අරණ, සමනල තටු, සිරි රජ සිරි චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළ ඔහු ගේ නවතම නිර්මාණය වූයේ බිංදු නම් වූ ළමා චිත්‍රපටයයි.

පසුගිය වසරේ අග භාගයේ දිනක කතන්දරකාරයා ගේ ප්‍රශ්න කිහිපයක් සහ ඒවාට සෝමරත්න දිසානායක දුන් පිළිතුරු ඇසුරින් වැඩි සංස්කරනයකින් තොරව මේ ලිපිය සැකසේ.


කතන්දරකාරයා-මුලින්ම අහන්න ඕනෑ, සෝමා කියලා කතා කළාට කමක් නැද්ද කියලා?

සෝමා-එහෙම තමයි මට කතා කරන්න ඕනෑ, වෙන විදියකට කතා කළොත් තමයි ප්‍රශ්නේ තියෙන්නේ.

කතන්දරකාරයා- හොඳයි සෝමා, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය අතරින් ආ ඔබ සිනමාවට පිවිසියේ සරෝජා නිර්මාණය තුළින්. මා ඔබ සමග මුලින්ම කතා කළේ සරෝජා චිත්‍රපටියේ විශේෂ දර්ශනයකදී එහි විවේක කාලයේදී යි. එදා ඔබ මගෙන් ඇහුවා මල්ලී මොකද හිතේනේ චිත්‍රපටිය ගැන? කියලා. මම ඔබ සමග කතා කරන්න පටන් ගත්තේ චිත්‍රපටියේ මුල් කොටස බලා ඒ කඳුළු අතරින්. ඒ තරමට මගේ හිතට වැදුණු චිත්‍රපටියක් සරෝජා.

මට හිතෙන විදියට, සරෝජා කියන්නේ ඒ දිනවල, මීට වසර දොළහකට පෙර, ලංකාවේ පැවති ත්‍රස්තවාදී ප්‍රශ්නය දෙස මානුෂික ඇසකින් බලා ඒ පිළිබද අපේ අවධානය යොමු කළ, සමාජ දේශපාලනික වශයෙන් ඉතාම වැදගත්කමක් තිබූ චිත්‍රපටියක්.

ඒත් එදා ඔබට සමහරුන් චෝදනා කළා ඔබ සරෝජා චිත්‍රපටිය තුළින් කොටින්ට උඩ ගෙඩි දෙනවාය කියා.

මේ පිළිබද අද වසර දශකයකට පමණ පසු ඔබ හැරී බලන්නේ කොයි ආකාරයටද?

සෝමා- සරෝජා චිත්‍රපටිය ගැන මට ඇත්තටම කියන්න තියෙන්නේ මේකයි. ලංකාවේ සාමකාමීව සමගියෙන් ජීවත්වෙන සිංහල සහ දෙමළ බුද්ධිමත් මිනිසුන් අතර සිටි එක්තරා අන්තවාදී දේශපාලනයක් මතයක් දරණ පිරිසක් විසින් ජාතිවාදී ප්‍රශ්නයක් ලෙස වැරදියට හැඳින්වුණත් ලංකාවේ තිබුණේ ඇත්තටම ත්‍රස්තවාදී ප්‍රශ්නයක්. ප්‍රභාකරන් සහ ඔහුට උඩගෙඩි දුන් ඔහුගේ උල්පන්දංකාරයෝ විසින් ලංකාවේ සිටින සිංහල සහ දෙමළ මිනිස්සුන්ට සමගියෙන් ඉන්න බැහැ, මේ හතුරු ජාතින් දෙකක් යැයි කියා පතුරවපු ඒ මතය නිවරද කිරීම අවශ්‍ය වුණා.

ස්වාධීන මත දරණ, රටට ආදරය කරණ, සමස්ත ශ්‍රී ලාංකික ජනතාවටම, සිංහල, දෙමළ, මුස්ලිම් බර්ගර් කියන සකල ශ්‍රී ලාංකිකයින්ටම ආදරය කරණ, ස්වාධීන කලාකරුවන් ලෙස අපේ යුතුකමක් මේ ප්‍රශ්නය ටිකක් නිරවුල් කරලා, මේ ගැන හිතන්න මිනිස්සුන්ව යොමු කරන එක. සරෝජා චිත්‍රපටියෙන් මම කළේ ඒකයි.

මම මගේ නිර්මාණය තුළින් මිනිස්සුන්ව හිතන්න පෙලඹෙව්වා, ඇයි? මොකක්ද මේ වෙනස? මනුස්සකම කියන එක මේ දෙගොල්ලෝ අතරේම පොදු දෙයක් නේද? කියා

මං හිතුවා ඒ පණිවිඩය වැඩිහිටි වචනවලින් කියනවාට වැඩිය, පුංචි ළමයින් ගේ, ඒ ළමාවියේ චමත්කාරය තුළින් කියපුවාම ඒකේ තියෙන සංවේදීතාවය වැඩියි කියා.

ආපහු හැරිල බලන කොට කතන්දරකාරයා මම එදා ප්‍රාර්ථනා කරපු දෙය, එනම් සිංහල දෙමළ මිනිසුන් පීඩාවට පත් කරන මේ ත්‍රස්තවාදී ප්‍රශ්නය කවදා හෝ නිමාවට පත්වෙලා සිංහල දෙමළ මිනිසුන් සමගියෙන් ජීවත්වෙන දවසක් උදාවේවා කියන දේ, එය අද සඵල වෙලා තියෙනවා.

එක්තරා විදියකට මට පුංචි ආඩම්බරයක් තියෙනවා කතන්දරකාරයා. මගේ චිත්‍රපටිය තුළිනුත්, ඉන් පිට මා පැවැත්වූ විවිධ දේශනවලදී සහ විවිධ කථාබහේදී මා මේ පණිවිඩය ගෙන ගියා. අප ලැබූ සාමයේ එක්තරා දායක්වයක් මටත් තියෙනවා කියලා මට අද හිතෙනවා.

කතන්දරකාරයා- මෙතෙනදී අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා නේද? සරෝජා තුළින් ඔබ අදහස් කළ දේ එසේ වුණත්, ඔබට චෝදනා කළ අය කීවේ, ඒ චිත්‍රපටියේ දී ත්‍රස්තවාදියෙක් වූ සරෝජා ගේ පියා ගේ සමාජමය ප්‍රශ්න සහ සංවේදී මානුෂික පැත්ත පෙන්වීම තුළින් ත්‍රස්තවාදයට අනුබලදීමක් වෙනවා ය කියායි. ඒ ඔවුන් ගේ වැරදි වැටහීමද, නැත්තම් ඔබේ පණිවිඩය ඔවුන් අතරට හරියට ගියේ නැද්ද?

සෝමා- මං හිතන්නේ මෙහෙමයි. ඔය අන්තවාදීන් කියන අය ඉන්නේ දෙමළ ත්‍රස්තවාදීන් අතර පමණක් නෙමෙයි. සිංහල ජාතිකයින් අතරත් ඉන්නවා. ලංකාව මහා ජාතියවෙන සිංහලුන්ට මිස දෙමළ අයට අයිතියක් නෑ කියලා හිතන අයත් ඉන්නවා. ඔවුන් වැරදියි.

ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදීන් වගේම, ලංකාව සිංහලයින්ට පමණක් අයියතිය කියල හිතන අයත් මං හදුන්වන්නේ ජාතී විරෝධීන් හැටියටයි.

කවුරු හෝ කෙනෙක් ලංකාවේ ඉපදුනා නම් ඔවුන්ට අපේ රටේ අයිතිය තියෙනවා. මං සරෝජා චිත්‍රපටියේ කතා කරන්නේ ඒ මධ්‍යස්ථ මතයේ ඉඳගෙනයි. ලාංකික පුරවැසියන් සියලුම දෙනාට ලංකාව අයිතියි.ඒක මේ ඇණ කොටගෙන, වැටවල් ගහගෙන, බෙදා වෙන් කරගෙන ජීවත්වෙන්න නෙමේ, තියෙන දේ බෙදා හදාගෙන සතුටින් සාමයෙන් ජීවත්විය යුතුය කියන මතයේයි මං ඉන්නේ.

මගේ මතයේ නැති සිංහල ජාතිකයෝත් ඉන්නවා. ඔය චිත්‍රපටියේ එන සුන්දරම් ගේ චරිතය ගන්න. එයා කොටි සංවිධානයට බලෙන් වගේ බඳවා ගත්තු කෙනෙක්. ඔහු අසරණ වෙලා ඉන්න කොට සිංහල පවුලක් එයාව බලාගන්නවා. එතකොට අන්තවාදී සිංහලයන් කියනවා ඇයි මේ කොටි ආරක්‍ෂා කරන්නේ කියලා.

මම එතන බලන්නේ සුන්දරම් කොටියෙක් හැටියට නෙමේ මනුෂ්‍යයෙක් හැටියටයි. ඔහුගේ පුංචි දියණිය අපේ දුවෙක් විදියටයි මං දකින්නේ. ඒක තමයි මගේ පණිවිඩය. සමහර අයට මේ පණිවිඩය දිරවන්නේ නෑ. ඒ පටු විදියට හිතන අය එදා මාව සහ මගේ සරෝජා චිත්‍රපටිය ඔය කතන්දරකාරයා දැන් කියපු විදියට විවේචනයට ලක් කළා. ඒකට කමක් නෑ. මං ඒකට සූදානමෙන් තමයි චිත්‍රපටිය කළේ. මං දෙපැත්තේම අන්තවාදී මත හෙළා දකින ස්වාධීන පුද්ගලයෙක්.

කතන්දරකාරයා- ඔය කාලයෙන් පස්සේ, යුද්ධය දරුණුව පැවති අවදියේ දී, කවුරුන් හෝ දෙමළ ජනතාව පිළිබඳව වචනයක් හෝ කතා කළා නම් ඔවුන් සිංහල කොටින් ලෙස හැඳින්වෙන ප්‍රවණතාවයක් ආවා. ඒ වචනය එදා සරෝජා චිත්‍රපටිය කාලේ තිබුණා නම් ඔබවත් සිංහල කොටියෙක් ලෙස හැඳින්වෙන්නට ඉඩ තිබුණා කියලයි මට අද හිතෙන්නේ.

සෝමා පසුව හැදු චිත්‍රපටවල, ළමුන් ගැන සහ ඒ තුළින් වෙනත් සමාජ ප්‍රශ්න ගැන කතාකළත්, ලංකාවේ ලොකුම ප්‍රශ්නය වන යුද්ධය ගැන කතා කෙරුණේ නැහැ. ඒකට හේතුවක් වුණාද, එදා සරෝජා චිත්‍රපටියට ලැබුණු සෘණාත්මක විවේචන?

සෝමා- නෑ, කිසිසේත්ම නෑ, ඒවායින් මං කිසිම පසුබෑමකට ලක්වුණේ නෑ, තවත් ධෛර්යමත් වුණා විතරයි. ඇත්තටම කතන්දරකාරයා, සරෝජා චිත්‍රපටියෙන් පස්සේ මං හැදුවේ පුංචි සුරංගනාවී. එයිනුත් මං කතා කළේ සිංහල, දෙමළ මිනිසුන් අතර තියෙන සමගිය පිළිබදවයි.

මානසික පීඩනයකට ලක්වෙලා ඉන්න දරුවක්, දෙමළ දැරියක ගේ සෙනෙහස නිසා නිවරැදි, නීරොගී ළමයෙක් බව පත්වෙන කතාවයි එහි ඇතුළත් වුණේ. එතන තිබුණෙත් මනුස්සකමේ මහිමය.

මා ඒ කථාවේ අවසානයේදී 83 ජූලි කලබලය එයට සම්බන්ධ කළා. එතනදීත් මට සිංහල අන්තවාදීන් කිව්වා ජූලි කලබලය නැවත මතක් කළ එක වැරදියි කියලා. මං කවදාකවත් ඒ ලැබෙන විවේචනවලට බයේ මාතෘකාව වෙනස් කළේ නෑ.

සරෝජා චිත්‍රපටියේ පසු මා පුංචි සුරංගනාවී චිත්‍රපටය තුළින් ඇතැම් පිරිස් වලට පෙරට වඩා රිදෙව්වා වෙන්න පුළුවන්. මොකද, 83 ජුලි කලබලයේදී අපි පිළිගත යුතුයි අපේ අතින් වැරුද්ක් වූ බව. අපේ ඇතැම් සිංහල මිනිසුන් ක්‍රියා කළ විධිය වැරදියි. අමානුෂිකයි. ඒ වන්දිය තමයි අපි ගෙව්වේ අවුරුදු තිහක් පමණ දක්වා. අපට පිළිතුරු දෙන්න වුණා ඒ කරපු අපරාධවලට. ඒ වැරැද්ද අප පිළිගත යුතුයි.

පුංචි සුරංගනාවී චිත්‍රපටියෙන් පසු මා තවදුරටත් ඒ මාතෘකාව ගැන කතා කළේ නෑ. එහෙම කළා නම් මා නිර්මාණකරුවෙක් නොව එකම දෙයක් ගැන කතා කරන වාර්තාකරුවෙක් වෙනවා.

ඒ නිසා ඉන් පසු මම ලංකාවේ පවතින වෙනත් ප්‍රශ්න ගැන, සූරිය අරණින් පරිසරය, ආගම, සතා සීපාවා ගැන, සමනල තටුවලින් වීදි දරුවන් ගැන, සිරි රජ සිරි වලින් රටේ තියෙන අධ්‍යාපන ප්‍රශ්නය ගැන, බින්දු චිත්‍රපටියෙන් රටේ තියෙන අලි-මිනිස් ගැටුම පිළිබඳව කතා කළා.

කතන්දරකාරයා- ඔතනින්ම මතුවෙන තවත් ප්‍රශ්නයක් තමයි මේක. සමහරු කියනවා, සෝමරත්න මුලින්ම ත්‍රස්තවාදීන්ට උල්පන්දම් දෙන චිත්‍රපටියක් හැදුවා. අපි කිව්වා සෝමා, ඔය වගේ චිත්‍රපට හදනවා නම් අපි ඔයාගේ චිත්‍රපටි බලන්නේ නෑ කියලා. සෝමරත්න ඒ කතාව අහලා ඔන්න ඊට පස්සේ හදනවා හොඳ චිත්‍රපටි! ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

සෝමා- ඒ අය එහෙම හිතන්න පුළුවන්. නමුත් සත්‍යය තමයි මං මුලින් සඳහන් කළේ. මං වෙනස් වෙලා නෑ. කලාකරුවෙක් ලෙස පසුව රටේ වෙනත් ප්‍රශ්න දෙස බැලුවා පමණයි.

කතන්දරකාරයා- ඒ මතයේම අනිත් පැත්තේ ඉන්න අය කියනවා මෙහෙම. ඔවුන් කියන්නේ සෝමරත්න හොඳ සිනමාකරුවෙක්, නමුත් ඔහුගේ ප්‍රශ්නය තමයි තමන්ගේ මුල් කෘතියෙන්ම උච්චස්ථානයට පත්වීම කියලා. ඒ කියන්නේ සරෝජා තමයි ඔහු ගේ අග්‍රගණ්‍ය චිත්‍රපටිය. ඔහුගේ පසුකාලීන නිර්මාණ තුළින් එතරම් කම්පනයක් ජනතා සිත් සතන් තුළ ඇති කළේ නෑ කියලා. ඒ අදහස ගැන සෝමා මොකක්ද කියන්නේ?

ඒ ප්‍රශ්නයට සෝමරත්න දිසානායක දුන් උත්තරය සහ "කඩේ යාම" ගැන ප්‍රශ්ණෝත්තර ඊළඟ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් එකෙන් කියවන්න.

http://kathandara.blogspot.com/2011/08/xx-chat-with-soma.html

-කතන්දරකාරයා

මෙය තවත් නේම් ඩ්‍රොපින් කතන්දරයකි.

මේ ආකාරයේ වෙනත් කතන්දර මෙන්න.

1. ජැක්සන් ඇන්තනි සමග කළ කතා බහ
2. රෝහන බැද්දගේ සමහ පිළිසඳර
3. විජේරත්න වරකාගොඩ ගැන
4. අනුර කුමාර දිසානායක ගෙන් ඇසූ ප්‍රශ්ණය
5. අර්ජුණ රණතුංග ගේ විහිළු කතා

(image: http://www.colombopage.com/)

Friday 5 August 2011

ලක්‍ෂ්‍ය, චාප, ජාල සහ චක්කරේ - Nodes, Arcs, Networks and the Timestable


මං පොඩි කාලේ අපේ තාත්තා මට ගණං කරන්න උගන්වන්න මහන්සි වෙනවා මට තාම මතකයි. ඒ සඳහා තාත්තා කඩෙන් ගෙනා සීනිබෝල පාවිච්චි කළා ලු, මං හරියට ගණං කළොත් විතරක් ඒවා මට දුන්න ලු, ඒ අම්මා කියන හැටි.

ඒත් මට සීනිබෝල කනවා නං මතක නෑ. එක, දෙක, තුන ළඟට පහ, හත කියලා තාත්තා කණෙන් ඇදපු එක ගැන තියෙන මතකය මිස.

තුනේ පන්තියේ දී විතර තාත්තා නැවතත් කණෙන් ඇද ඇද මට චක්කරය ඉගැන්නුවා.

නමුත් මං හයේ පන්තියට ගිය දවසේ ඉඳලා, මුළු ජීවිතේටම ඒ විදියට දෙතුන් පාරක් විතරක් සිද්ධ වුණු, තාත්තා ගේ ගණිත පාඩම ඉවර වුණා.

ඒකට හේතුව තමයි මං හයේ පන්තියේ ඉඳලා ඉගෙන ගන්න පටන් ගත්තු ගණිතය, තාත්තා නොදන්න ගණිතයක් වීම.

හයේ පන්තියේ දී මං කාටිසියානු තලයේ ඛණ්ඩාංක මගින් ලක්‍ෂ්‍යයන් හඳුන්වන්න ඉගෙන ගත්තා.

මේ ලක්‍ෂ්‍යයන් යා කරන්නේ චාප මගින්.

එවැනි චාප ගොඩක් මගින් ජාලයක් හැදෙනවා.

ඕනෑම ජාලයක්, න්‍යාසයක් මගින් නිරූපණය කරන්න පුළුවන්.

ඒ හයවෙනි ශ්‍රේණියේ සිසුවෙකු ගේ ගණිත දැනුමෙන් කොටසක්.

ඒ දැනුමේ අදට වැදගත් කොරොලලි එක හෙවත් උප ප්‍රමේය තමයි, ලක්‍ෂ්‍යයන් යා කරන චාප නැත්තං අපිට ජාලයක් නැති බව. තියෙන්නේ ලක්‍ෂ්‍යයන් පමණයි.

මේ කතන්දරේ මතක් වුනේ ඇනෝවෙක් මට දුන්නු උපදෙසක් හින්දයි.

මං සමහර බ්ලොග් කියවන කොට, ඒවායේ තියෙන අන්තර්ගතය ගැන මගේ අදහසක් හෝ ඒ හා සමාන මගේ අත්දැකීමක් ගැන හෝ මං කතන්දරයක් ලියල තියෙනවනං මං කරන්නේ ඒ මුළු විස්තර ආපහු එතන කට් ඇන්ඩ් පේස්ට් කරන්නේ නැතුව, කෙළින්ම ලින්ක් එකක් දාන එකයි.

මං මේක වැඩියෙන් ම කරලා තියෙන්නේ W3Lanka ගේ බ්ලොග් එකේ මට මතක හැටියට. මේ ලඟදී මට මතක හැටියට නිහාල් ගේ කථාවක තිබුණු අල්ලපු කඩෙන් කාලා මේ කඩේ ටොයිලට් යෑම ගැන කියවෙන තැනක මං ලියපු කතන්දරයක ලින්ක් එකක් දැම්මා.

මගේ සඳුදා කතන්තරේ කියවපු ඇනෝවා මට කියනවා එහෙම කරන්න එපාලු! ලින්ක්ස් දාන්න එපාලු!!

මීට කලින් දවසක මං මගේ කතන්දර ඇතුළේ මගේ ම පෝස්ට්වලට ලින්ක්ස් දාන එක නතර කරන්නැයි කියලා කමෙන්ට් කරලා තිබුණෙත් මේ ඇනෝවා ම ද මන්දා?

මට මේ ඇනෝවා ට කියන්න තියෙන්නේ මේකයි.

අපි මේ රඟපාන කෙලිමඩල වෙන වෙබ් එක හෙවත් ජාලයේ මූලික පදනම තමයි එකිනෙකින් ස්වායත්ත ලක්‍ෂ්‍යයන් හෙවත් වෙබ් පිටු එකිනෙක යා කරන චාප නැත්තං ලින්ක්ස්. මේ ලින්ක්ස් නැත්තං අපිට ඉතුරු වෙන්නේ වෙබ් පිටු ටිකක් විතරයි. ජාලය බිඳ වැටෙනවා.

අපි හැමෝම නිකං ස්ථම්භ ප්‍රස්තාරයක කුළුණු ටිකක් වගේ ඔහේ ඉඳීවි වෙන් වෙන් වෙලා. (ඒ හයේ පන්තියෙන් තවත් පාඩමක්)

ඇනෝවා ලා මොනව කිව්වත් නිකං ජාලගත වෙලා ඉන්නව මිසක් නිකං කොනකට වෙලා ඉන්න නං මගේ කිසිම කැමැත්තක් නෑ.

මේ කතන්දරේ ලියන්න මුල් වුනේ ඇනෝවා ගේ කතාව වුණාට, මේ ලියන්නේ ඇනෝවා එක්ක වලියෙන් නෙමේ. ඇනෝවා දුන් උපදේශයට ස්තුතියි. මං අනවශ්‍ය පරිදි ලින්ක්ස් දාලා නං, ඒ,ඒ බ්ලොග්වල අයිතිකාරයෝ ඒවා මකලා දායි නොවැ.

කොහොමටත් මං වලියට බර පොරක් නෙමේ!

-කතන්දරකාරයා

ප/ලි:
ඒ එක්කම මං හයේ පන්තියේ දී ඉගෙන ගත්තු දෙයක් තමයි කුලක හෙවත් සෙට්.

අද පවතින ඔය සෙට් වෙමු කියන සංකල්පයේ උපත එතනයි.

ප/ප/ලි:
තව පොඩ්ඩෙන් මේ අද කතන්දරේ අවසාන කොටස අමතක වෙනවා.

ඒක තමයි චක්කරේ.

දන්නවද, චක්කරේ ට චක්කරේ කියන්නේ ඇයි ද කියලා?


ඇත්තටම පසුව ලියමි.
චක්කරේට චක්කරේ කියන්නේ ඇයි?

අපේ සීයා තාත්තා ට චක්කරේ ඉගැන්නුවා. සහමහර විට කණ මිරිකන්නත් ඇති!

තාත්තා මට චක්කරේ ඉගැන්නුවා. කණත් මිරිකුණා!

මං අපේ කොල්ලාට චක්කරේ ඉගැන්නුවා. මිරිකුවේ නෑ, අත තිබ්බා විතරයි.

පුතාත් ලොකු වෙලා තාත්තා කෙනෙක් වුණාම, එයාගේ පුතාට චක්කකරේ උගන්නයි!

පරම්මරාවෙන් පරම්පරාවට චක්කරේ අප හඹා එනවා.

ඒ නිසයි චක්කරේ කියන්නේ!

Wednesday 3 August 2011

ඉංජිනේරු මහත්තයෙක් වෙලා ආපහු එන්න! - Engineer and the Gentleman


ඉස්කෝලේ යන කාලේ කොල්ලෝ, කෙල්ලෝ, කාටත් කල්ලිය, ගැන්ග් එක, ගැන්සිය, ක්ලික් එක, සෙට් එක යනාදී මෙකී නොකී නම් වලින් හඳුන්වන යාළුවෝ සෙට් එකක් ඉන්නවානේ.

මං ඒ ලෙවල්ස් කරන කාලේත් හිටියා අපි හතර දෙනෙක් එකට සෙට් වෙලා. හැබැයි දෙන්නෙක් කලේ බයෝ, මායි තව එකෙකුයි මැත්ස්. එක ඉස්කෝලේ වුණාට අපි මුලින්ම සෙට් වුනේ කෙමිස්ට්‍රි ටියුෂන් එකක දී යි. පස්සේ පිසික්ස් ටියුෂන්වල දී ත් සමහර වෙලාවට සෙට් වුණා!

ඔහොම ඔහොම ගිහින් ඉතිං, ඒ ලෙවල් විභාගේ කරලා ඉවරවුණා ය කියමුකෝ. ඔන්න ඉතිං අපි විසිරිලා ගියා.

ගෙදර ඉඳන් වැඩි දුරක් නැති හින්දා මං නං ඉතිං ආපහු ඉස්කෝලේ එන්න පටන් ගත්තා මාසෙකින් විතර.

ඒ දවස්වල ඉතිං මොබයිල්, ෆේස්බුක්, ඊ-මේල්, ඉන්ටර්නෙට් චැට් නෑනේ. අපි එකිනෙකා එක්ක සම්බන්ධකම තියා ගත්තේ ලියුම් වලින්.

පුදුමයි නේද?

පුදුමයි, ඒත් ඇත්තයි!

ප්‍රථිපලත් ආවා. කාගේවත් හිතේ සන්තෝශයක් නං ඇතිවුනේ නෑ. මං විභාගෙට කලින් හිතන් හිටියේ ඒ හතරක් ගන්නවාය කියලනේ. විභාගෙට පස්සේ ඒ හීනේ පොඩ්ඩක් විතර හුලං ඇරල දාල තිබුණත්, අන්තිමේදී ආපු ප්‍රතිපලේ දැකලා දුකේ බැරිවුණා.

නමුත් ඉතිං කරුමයක් තියෙනවනං වලක්වන්න බැහැ! මං ඉල්ලපු විදියටම, මට පේරාදෙනියේ ඉංජිනියරිං ෆැකල්ටියට ඇතුලත් වෙන්න ලැබුණා.

මේ ආරංචිය ඇවිත් ටික දවසකින් ම අපි හැමෝටම ආරාධනයක් ලැබුණා, අපේ සෙට් එකේ එක යාළුවෙකු වුනු අමල් ගේ ගෙදර එන්න කියලා දවල් කෑමට.

ඔන්න ඉතිං, කලින් ලියුං වලින් කතාකර ගත්තු විදියට පානදුර ටවුමේ දී උදේ දහයට මුණ ගැහිලා, අපි තුන්දෙනා ගියා පොර ගේ ගෙදරට.

පැය දෙක තුනක් කයිවාරු ගහමින් ඉඳලා, දවල්ට කාලා, හවසට තේත් බීලා, ආපහු පිටත්වෙන්න වෙලාවත් ආවා දන්නෙම නැතුව.

ආ! මට කියන්න අමතක වුණා, අපේ පොර ගේ නංගී කෙනෙක් ඉන්නවා කියලා අහලා තිබුණට අපි ඒ කෙල්ලව ඇහැටවත් දැක්කේ නෑ. ටියුෂන් ගිහිල්ලා වෙන්න ඇති.. .!!!

දැන් ඉතිං එන්න ලැහැත්තිවෙලා අපේ පොර ගේ අම්මාට යන්නං ඇන්ටි කියලා කියන්න ගිය වෙලේ, ඒ අම්මා මට කියුවා මෙන්න මෙහෙම.

"හොඳයි පුතා ගිහින් එන්න. ඉංජිනේරු මහත්තයෙක් වෙලා එන්නකෝ ඊලඟට අපේ ගෙදර."

ඕ.එම්.ජී.! ඕක අහපු අනිත් උන් තුන්දෙනා බි.පෙ.සි.!

එකෙක් කියපි "ඇන්ටි මෙයාට ඉංජිනේරුවෙක් වෙලා නං ආපහු මෙහේ එන්න පුළුවන් වෙයි, හැබැයි මහත්තයෙක් වෙලා එන එකනං ෂුවර් නෑ!" කියලා.

ඊට පස්සේ ඇන්ටිත් බි.පෙ.සී.!

ඒ කිව්වත් වගේ එදායින් එදාමයි, මට නෙමේ ආපහු විහිළුවටවත් අමල් ගේ ගෙදර පැත්ත පලාතේ යන්න පුළුවන් වුනේ.

-කතන්දරකාරයා

ප/ලි
හ.දු.කා.කි.

(image: http://efacmemories.blogspot.com/2011/05/its-time-part-iv-life-after-e-fac.html)

Monday 1 August 2011

යකෝ, උඹ බැඳලා නේද බං? - Aren't you married, you bastard?


කතන්දරකාරයා බඳින්න කලින් ඇනෙක්ස් හොයන්න ගිය හැටි විස්තර, බැන්දට පස්සෙන් දා ගැන ඇඩල්ට්ස් ඔන්ලි දේවල් සහ පදිංචි වුණු ඇනෙක්ස් එකේ ඇන්ටි ගේ රිමෝට් කොන්ට්‍රොල් එක ගැන හෙම විවිධ කතන්දර මං කලින් කියලා තියෙනවානේ.

මේ සිද්ධිය වුනේ කතන්දර හාමිනේ යි මංතුමා යි ඔය කියන ඇනෙක්සි යේ වාසය කරන කාලේයි.

කතන්දරකුමාර කාලේ ඉඳලාම මං වැඩපොලට කෑම අරං ගියේ නෑ. බොසී ගේ පොට් එකේ හිටපු කාලේ නං උදේටත් නොකා තමයි වැඩට යන්නේ. මොකද එතන කැන්ටිමෙන් හොද රහට කිරි මාළු සහ පාන් කන්න පුළුවනි.

පස්සේ අර කැරුක්ටර් සර්ටිෆිකේට් එකේ කේස් සෙට් වෙලා මං සේවය අරඹපු තැන උදේ කෑම මඤ්ඤං නිසා පාන් කෑල්ලක් කාලා ගියා ගෙදරින්.

දවල් ට එක්කෝ ඉස්සරහ කඩෙන් බත් පාර්සලයක් අරං කෑවා, නැත්තං සීනියර් කොමන් රූම් එකේ විජයසේන ගෙන් බිත්තර පාන් එකකුයි, රෝල්ස් එකකුයි ගිලලා ටී එකක් බිව්වා.

බැන්දයින් පස්සේ කියල වෙනසක් නැතුව ඔය වැඩ පිළිවෙල ගෙන ගියා!

ඔන්න දවසක් මං දවල් වෙලාවක පල්ලෙහා කඩෙන් බත් පැකට් එකක් අරං කන්ද නගිනවා. මගේ ඉස්සරහටම හම්බ වුනේ තරමක් අඳුණන පොරවල් දෙකක්.

මුං දෙන්නගෙන් එකෙක් මටත් කලින් පවුල් පන්සල් වුණු එකෙක්. අනිකා නං එතකොටත් කොල්ලා.

මගේ අතේ තිබුණු කඩෙන් ගත්තු ලන්ච් පැකට් එක දැකලා බැඳපු එකාගේ ඇස් උඩ ගියා.

"ඇයි යකෝ, උඹ මේ ලඟදී බැන්ද නේද? මොකද මේ කඩෙන් කෑම අරගෙන කන්නේ?"

පොර හරියට කතා කලේ මං ගණිකා නිවාසයකින් එලියට බහින කොට ඌට හම්බ වුණා වගේ!

-කතන්දරකාරයා

ප/ලි:
මුගේ වයිෆ් ට, කතන්දර හාමිනේ එයාගේ වැඩපොල ඉස්සරහා කඩෙන් බත් පැකට් එකක් ගන්න වෙලාවක හම්බ වුනොත් මොනවා නං නො කියයි ද?

බැඳපු කාලේ එහෙම කළාට, හැබැයි දැන් නං මං කඩෙන් කනවා හරිම අඩුයි. ගෙදරින් මාළු සැන්ඩ්විච් එකක් හදාගෙන යනවා මිසක්.

ප/ප/ලි:
අද කතන්දරේ පේලි අතරේ තව පොඩි කතන්දරයක් තිබේ!

ප/ප/ප/ලි (ඇත්තටම)
ඒ පේලි අස්සේ කතාව, එනම් මං ඒ දවස්වල වැඩ කරපු තැන, අරවින්ද චන්ද්‍රපද්ම ට අහුවී තිබේ.

(image: http://mayuonline.com/)