Sunday, November 8, 2009

මං කවියෙක් වුනු හැටි


මං ඉස්-ඉස්සෙල්ලාම කවියක් ලිවුවෙ තුනේ පන්තියෙදි. එතකොට මගෙ වයස අවුරුදු හත හමාරක් විතර ඇති. ඇයි මට හිතුනෙ ඒ විදියට එදා කවියක් ලියන්න කියල නං දැන් මතක නෑ. කොහෙම වුනත්, මෙන්න මේකයි මට මතක හැටියට ඒ පුංචි කවිය.

මූදු වෙරල


රැල්ල ගහනවා
වැල්ලෙ වදිනවා
මාළු ඉන්නවා
මුහුදේ පීනනවා
ළමයි ඉන්නවා
සරුංගෝල යවනවා
රෑ බෝ වෙනවා
අපි ගෙදරට එනවා

ලියපු කවිය මං කාටවත් පෙන්නුවෙ නෑ. කවියක් ලිව්ව කියල කාටවත් කිව්වෙත් නෑ. මං කලේ හොරෙන්ම කවිය පොස්ට් කාඩ් එකක ලියල, මේකට තාත්තගෙ තීන්ත පෑන හොරෙන් පාවිච්චි කරන්න වුනා, තුනේ පන්තියේ ළමයි ලිව්වෙ පැන්සලෙන් නෙ, මිහිර පත්තරේට තැපැල් කල එකයි.

මිහිර කියන්නෙ ඒ දවස් වල තිබුණු එකම ළමා පත්තරේ. ලේක් හවුස් එකෙනුයි ගැහැව්වෙ.

සති දෙක තුනක් ගියාම මෙන්නෙ බොලේ මගේ කවිය පත්තරේ පලවෙලා තිබුණ. හරිම ජොලි එදා. හැමෝගෙන් මට පැසසුම්. ලියපු මුල්ම කවිය පත්තරේක පලවෙනව කියන්නේ කොච්චර ලොකු දෙයක්ද?

මේ ගැන සිහි කරන මෙවෙලෙ මට හිතෙන්නෙ, එදා ඒ මට ආපු ජොලිය මං ජීවිතේ ඉස්-ඉස්සෙල්ලාම හූරණ ලොතරැයියක් ගත්තු දවසෙ ඒකට දිනුමක් තිබුණ වෙලේ ඇතිවුනු ජොලියට සමානයි කියල. තමන් ගත්තු මුල්ම ලොතරැයියෙන් දිනල තියෙන්නෙ කීයෙන් කී දෙනාද? එදා ඉඳල ගත්තු කිසිම ලොතරැයියක් ඇදිල නෑ. ඒක වෙනම ම කතාවක්.

කොහොම හරි මගෙ කවිය මිහිර පත්තරේ ගිය එකෙන් එක හොඳක් උනා. ඒක තමයි, අපේ පන්තියෙ කීප දෙනෙක් ම කවි කියන්නට හැදීම. හැබැයි ඒ නිකං ආසාවට නෙමේ, කෙලින් ම මිහිර පත්තරේට දාන්නයි.

මට තවමත් මතකයි එක ළමයෙක් එයා පත්තරේට දාන්න යන පෝස්ට් කාඩ් එක මට පෙන්නුව. ඉස්කෝලෙ ගැන ලියල තිබුණු ඒ එලිසමය සහිත සිව්පද කවියෙ අන්තිම පදේ විතරයි මට මතක.

"පාසල් මවුනි වඳිනෙමි ඔබ පා තඹර"

මේ කොළුව මට වැඩිය මාස කිහිපයක් වැඩිමල් ඇති වැඩිම උනොත්. අවුරුදු අටක ළමයෙක් කොහොමද ඔච්චර දෙයක් ලියන්නේ?

කවිය හදල තිබුනෙ විතරක් නෙමේ පොස්ට් කාඩ් එකේ ලියල තිබුනෙත්, අටේ පන්තියෙ හිටපු උන් ගෙ අක්කා!

පෝස්ට් කාඩ් එකේ ලියල තිබුණු නම විතරයි තුනේ පන්තියෙ මල්ලි ට අයිති.

මං දැක්ක මේ එකම එක කවියවත්, අපේ පන්තියෙ හරි ඉස්කෝලෙ හරි ළමයෙක් ලියපු වෙන කිසිම කවියක් වත් මං දන්න තරමින් මිහිර පත්තරේ පලවුනේ නෑ.

මාත් ඊට පස්සෙ කවියක් ලිව්ව නං ලිව්වෙ හතේ පන්තියෙ විතර ඉඳිද්දී, සිංහල පාඩමේ අභ්‍යාසයක් විදියට කවියක් ලියන්න ජයසෝම ටීචර් ගෙන් අණ ලැබුණු වෙලාවල් වලට විතරයි.

බ්ලොග් කාරයෙක් වෙන එක වගේ නෙමේ, කවියෙක් වෙන එකනම් ලේසි පාසු වැඩක් නෙමේ!

මෙන්න මං හතේ පන්තියෙ දි විතර ලියපු කවියක්

සුලඟ

දොරකට ලඟ ලොවි ගහේ
මල් පිපිලා සුවඳ හමයි
හැම තැන යන සුලඟ ඇවිත්
බඹරිඳු හට එය පවසයි
පොඩි ළමයා අවදි වෙයි
කැරකෙන පෙත්තක් හදයි
හැම තැන යන සුලඟ ඇවිත්
විගහට එය කරකවයි
හිරු රැස් වැඩි වී ගොසින්
පීඩා එයි දස අතින්
හැම තැන යන සුලඟ ඇවිත්
අපගේ ගිම් රැස් නිවයි
(තව පදයක් තිබුනේය. දැන් අමතකයි.)

හැබැයි පොඩි කාලෙ ඉඳලම කොච්චර පොඩි පොඩි ක්‍රෂ් තිබුනත් මුලින් ම කෙල්ලෙක් ගැන කවියක් ලිව්වෙ නං අවුරුදු දාසයේ දි විතර.

ඒ කතන්දරේ වෙනම ලියන්නං පස්සෙ දවසක.

කතන්දර කාරයා.

10 comments:

Anonymous said...

ha ha podi kalema vada pennala ehenam

Anonymous said...

Mage oluwa kerakenawa me wage pissu kathandara ahewama....pls thawath mewa liyanna epa sudu malli...

Supun Sudaraka said...

එළ එළ! :)

පූර්ණ සංජීව said...

wdagathma de passe liyannamlunee

poorna sanjeewa said...

wdagathmade passe liyanne ei

කතන්දර කාරයා said...

@ Poorna Sanjeewa:

eka thamai kathandara keeme kalaawa....!!!

මුචලින්ද said...

uba niyamai machang !

malee_msg said...

ෂා.. මරුනේ..! දෙක වසරෙදි ඔය තරම් වැඩක් කලා කියන්නේ ඉතිං..! ඉතිරි කාල ගැන කවර කථාද කිව්වලු!

Dawson said...

ෙම් ලිපිය ෙබාෙහා් ෙද් සිතට ෙගන අාවා. මට දැෙනන ෙද්වල් ලියන්න ෙමතන ඉඩ මදි බවක් දැනුනා.

W3Lanka said...

සුලඟ

දොරකට ලඟ ලොවි ගහේ
මල් පිපිලා සුවඳ හමයි
හැම තැන යන සුලඟ ඇවිත්
බඹරිඳු හට එය පවසයි
පොඩි ළමයා අවදි වෙයි
කැරකෙන පෙත්තක් හදයි
හැම තැන යන සුලඟ ඇවිත්
විගහට එය කරකවයි
හිරු රැස් වැඩි වී ගොසින්
පීඩා එයි දස අතින්
හැම තැන යන සුලඟ ඇවිත්
අපගේ ගිම් රැස් නිවයි

මේ කවිය ඇත්තෙන් ම සුන්දර කවියකි.

Post a Comment