Showing posts with label සාහිත්‍ය මාසය. Show all posts
Showing posts with label සාහිත්‍ය මාසය. Show all posts

Monday, 1 October 2012

රෑ ඉස්කෝලේ හාමිනේ - Lady of the evening



රෑ ඉස්කෝලේ හාමිනේ කියලා කියන්නේ ලොව පැරණිම රැකියාව කරන ලාංකික කාන්තාවන්ටයි. රෑ බෝ වී ගෙන එන වෙලාවට හොඳින් ඇඳ පැළදගෙන සේවය සඳහා පිටත්ව යන නිසයි ඒ අන්වර්ථ නාමය පටබැඳිලා තියෙන්නේ.

එක දවසක් රාත්‍රියක මිතුරන් දෙදෙනකු සහ මම නුවර එළිය නගරයේ ඇවිදගෙන යන අතරතුරේ ඒ සේවා යෝජකයකු එනතුරු බලා සිටින රෑ ඉස්කෝලේ හාමිනේ කෙනෙක් දැක්කා.

ඒ ගැන ලියවුණු කවියක් තමයි මේ.

අම්බපාලී

කඩා වැටෙන කලුවරය දස අතින්
මීදුම් කඳු මැද
සීතල නගරය
දුම්වැටියෙන් නැත
සීතල මිදුණේ
උණුසුම ලැබුණේ

කහ එළි විසිරුණු පාළු මාවතේ
සෙමෙන් සැලෙන එක්
අඳුරු රුවක්

කඩා දැමූ මුදු කෙහෙරැල්ලයි
ගත සිත පොළඹන නෙතු කැල්මයි

කෝමල ඉඟි බිඟි
සිත තුල කැළඹිලි
නුපුරුදු සිතුවිලි
ආශාවක්
බියක්
?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසයේ අවසානය සැමරීම පිණිස පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා


(image: http://minivannews.com/politics/sri-lankan-prostitution-ring-busted-in-male-27649)

Sunday, 30 September 2012

වැස්සට වාගේ ගොඩ වැදුණා! - චූට්ටං ඡායාරූප කතන්දරයක් : A picture story


හායි මෙයාලා...!

පහුගිය දවසක වැස්සට වාගේ තැනකට ගොඩ වැදුණා.

මෙන්න එතනදී ගත්තු ඡායාරූප දෙක තුනක්.







එච්චරයි හොඳේ.

බායි මෙයාලා!

අපරාදේ සුපියල් පහ නේද? සොරි වෙන්න ඕනෑ.

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න එතනදී ගත්තු පොත.

මේකේ චිත්තරපටිය මෙතනින් බලන්න.
http://samanalaviplavaya.wordpress.com/2012/09/20/extra1/

(image: http://www.sl-spirit.com/)

Saturday, 29 September 2012

බිනර පෝ දා බණ පදයක් (දෙකක්, තුනක්) අහමු : A poem written in two languages


සාදු කියන්න පින්වතුනී,
සාදු, සාදු, සාදූ

මංතුමා ඉතිං තායිලන්තේදී මහණ වෙස් අරගෙන පවා හිටිය පොරක් නේ, ඒ හින්දා අද මේ පෝය දවසේ හිතුණා පොඩි බණ පදයක් (දෙකක්, තුනක්) කියලා දාන්න.

හැබැයි ඉතිං මේවා අපි නොදන්න ඒවාත් නොවෙයි, බණමත් නොවෙයි.

වැඩි විස්තර මොකටද? අපි කෙලින්ම කවියට බහිමු!

අනවබෝධය

දුකින් පිරි ජීවිතේ සුවය ආදරයයැයි
සිතා මුසපත් ලෙසින්
ආදරෙන් බැඳෙද්දී
නොසිතුණිද කිසි විටෙක
ප්‍රේමතී ජායතී ශෝකෝ?

පැමිණි දුක් පැණි රසයි මුසාබස් දොඩාලා
හැඟුම්බර සිත සිතම රවටවා ගනිද්දී
නොසිතුණිද කිසි විටෙක
දුක්ඛ සමුදය නිරෝධ මාර්ග?

දොලොස් මසකට පසුව ඉරිතලා බිඳෙන්නට
සිත් දෙකක් ආදරේ මාළිගා තනද්දී
නොසිතුණිද කිසි විටෙක
සබ්බේ සංඛාරා අනිච්ඡා?

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි
නිකිණි පෝයටත් බණ පදයක් දාන්නං කෝ!

(image: http://www.inspirational-friendship-poems.com/love-and-sad-poems.html)

Thursday, 27 September 2012

ලෝක විනාශය කවදා ද? (ලව් කේස් එකකි) - End of the world : A young lovers point of view


ලෝක විනාශය වෙන්නේ කවදාද කියන එක ගැන විවිධ මත තියෙනවා.

මං පොඩි කාලේ අපේ සීයා නං කිව්වේ කල්පාන්තයේදී සූර්යයන් හත් දෙනෙක් පායන දවසේ ලෝකෙට බඩු සෙට් වෙනවා කියලයි.

හැබැයි අපේ සීයා නම් ඒකට බය වුනේ නෑ.

මොකද සෑහෙන්න කල් තියෙනවානේ!

පස්සෙන් පහු ආරංචි වුණා මායා කෂ්ටිය ගේ කැලැන්ඩර් එක ඉවරවෙන දවසේදී අපිට වැඩේ සෙට් වෙනවාය කියලා.

මං අවුරුදු විසි එකේ දී ලියපු මේ කවියෙනුත් කියවෙන්නේ ලෝක විනාශයට කිට්ටු කේස් එකක් ගැනයි.

ලෝකාන්තය

ගිනියම් වූ හිරු
වියරු සිනාවෙන් මුව සරසාගෙන
ලොවම දවාලයි
වියලි සුලං රැල්
මරුවෙකු විලසින් දූවිලි පිසගෙන
කුරිරු ලෙස හමයි
වැට අද්දර පිපි
නිදිකුම්බා මල
පෙති අකුලාගෙන බලා සිටින්නේ
සිසිලස අහිමිව

ගත
සිත
කකියයි

මුව මත හසරැල් නැත
සුසුමන් මිස

සත් දිනකින් නැත ඇය හමුවූයේ
සත් දිනකින් නැත
හසුනක් ලැබුනේ
සත් දිනකින් නැත
පිණි බිඳුවක්වත්
පොළොවට වැටුණේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා



(image: http://econintersect.com/b2evolution/blog2.php/2012/06/17/the-end-of-the-world-as-we-know-it)

Tuesday, 25 September 2012

පන්සල් ළඟදී පස්ස පැත්ත ඉස්සීම - First class, second class and third class temples?


මං ඊයේ දෙහිවලින් 119 ක නැගිලා මහරගම පැත්තට එන කොට එකපාරටම බස් එකේ හිටිය සෙනග ගොඩෙන් බාගයක් විතර නිකං බහින්න වගේ සෙට් වුණා.

හැබැයි තත්පරෙන් ආපහු වාඩි වෙලා සැට්ල් වුණා.

පස්සේ බැලින්නම් මේ පන්සල් කේස් එකක්. අර ශ්‍රද්ධාවද, බට්ටිය ද මොකක්ද එක පෙන්නන්නයි සීට්වල ඉඳන් ඉන්න අය ලාවට වගේ පස්ස උස්සන්නේ.

හිටගෙන ඉන්න අසරණයින් ගේ නං කොහොමටත් පස්ස ඉස්සිලා නේ තියෙන්නේ!

තවත් විනාඩි පහකින් විතර පාරෙන් අනිත් පැත්තේ සාමාන්‍ය තර්ඩ් ක්ලාස් පන්සලක් පහු වුණා. මෙතන මං තර්ඩ් ක්ලාස් කිව්වේ බස් එකේ ඉඳන් හිටපු එකෙක්වත් පස්ස ඉස්සුවේ නැති හින්දයි.

මං නං කවදාකවත් පස්ස උස්සන්නේ නෑ තර්ඩ් ක්ලාස්, සැකන්ඩ් ක්ලාස් තියා ෆර්ස්ට් ක්ලාස් පන්සලක් ළඟදීවත්.

මෙතන ෆර්ස්ට් ක්ලාස් කියන්නේ පස්ස උස්සනවාට අමතරව පඬුරු පාක්කුඩම් දාන තැන්වලටයි.

ඔය 119 දෙහිවල-මහරගම ගමන නිසා මට මතක් වුණේ මං කැම්පස් ඉන්න කාලේ ලියපු කවියක්.

මෙතනදී කම්පෙයා වෙන්නේ ගැටඹේ පන්සලයි, තව ටිකක් නුවර පැත්තට වෙන්න පාරෙන් අනිත් පැත්තේ තියෙන පන්සලයි. ඔය දෙවෙනි එක ඒ කාලේ දුප්පත් පාට පොඩි පන්සලක්. පස්සේ නං ටිකක් පොර වැටිලා දළු දාලා ආවා.

කතන්දරේ ඒකයි. දැන් මෙන්න කයි-කතන්දරේ අනිත් කෑල්ල, එනම් කවිය.

මේක පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ යද්දී ලියවුණු කවියක්.

ශ්‍රද්ධාව

ගැටඹේ පන්සල පසුවෙද්දී
නැගිටිති සුදනෝ
දෑතම බැඳගෙන
ශ්‍රද්ධා සීලය හිසෙහි තබාගෙන
පඬුරු පුදති
පින් ලබන සිත් ඇතිව

සැතපුම් කාලක් ගෙවීයන්න පෙර
දුප්පත් පෙනුමැති
පන්සල පසුවෙයි

නිහඬය නිසලය
බස් රිය සුදනෝ
නැත සම්මාදම්

පසුපස බොදුකම හංගා
බලා සිටිති හිස් අහස දිහා


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


-කතන්දරකාරයා

ප/ලි:
පැණිදෙනිය-කටුගස්තොට බස් එකේ මාර්ග අංකය මොකක්ද? ඒක 484 ද?

(image: http://www.weloveitstudio.com/tripbag/thingstosee.php?seeid=9)

Monday, 17 September 2012

එහෙමත් කාලයක් තිබුණා! - That was the time that was!


ඇත්තටම දැන් නං හිතා ගන්නත් බෑ, නමුත් එහෙම කාලයකුත් තිබුණා.

ගම් පලාතේම ටෙලිෆෝන් තියෙන්නේ ටවුමේ තැපැල් කන්තෝරුවේ විතරයි.

මොබයිල් ෆෝන්, ඇස්ඇම්ඇස්, ඊ-මේල්, ස්කයිපි ගැන අහලා තිබුණේ ටයිම් ට්‍රැවල් කරලා ආපහු ඇවිල්ලා හිටපු අය විතරයි.

හැම දේටම ලියුම්. එහෙම නැත්තං ටැලිග්‍රෑම්. ගමට ලියුම් අරං බයිසිකලෙන් එන පියුං කාරයා නිකං දෙයියෙක් වගේ පොරක්.

මෙන්න ඒ කාලේ ලියපු කවියක්.

බවුන් වැඩීම

සීතල පිණිපොද වරුසා මැඩගෙන
වෙළට ඉහල කඳුවැටිය දිහාවෙන්
අළුයම හිරු රැස් කැරලි නැගෙද්දී
බලාපොරොත්තුව
සිතෙහි පිබිද එයි පියුමක් විලසින්
අදවත් ලිපියක් ඒ වී දෝ?

පිබිඳුණු හිරු රැස් වලළු විහිදමින්
කන්දෙන් ගොඩවී වෙළට උඩින් විත්
ටික ටික ලොව උණුසුම පතුරද්දී
බලාපොරොත්තුව
සිතෙහි දැඩිව ඇත තව ටික මොහොතයි
අදවත් ලිපියක් ඒ වී දෝ?

සෙවනැලි මකමින් දා බිඳු ගෙනෙමින්
වැඩිවුණු හිරු ගෙමිදුළටම අවුදින්
ඔච්චම් දෑසින් බලා සිටිද්දී
බලාපොරොත්තුව
කැඩී බිඳී යයි සුසුමන් සමගින්
හෙටවත් ලිපියක් ඒ වී දෝ?


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "මායාවෝ" කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.sundayobserver.lk/2011/12/18/jun08.asp)

Tuesday, 11 September 2012

ප්‍රොජෙක්ට් මීටිමේ දී ලියූ සංයුක්ත මෙව්වා එකක් - What a boring meeting!


සංයුක්ත කවි කියන ඒවා මං මුලින්ම දැක්කේ අජිත් තිලකසේන ගේ පොතකිනුයි. ඔය උඩින් තියෙන්නේ ඒවායින් එකක්.

මෑත කාලයේ දී බූන්දියෙන් අච්චු ගහපු අක්‍ෂර සෙනඟ පොතෙත් සංයුක්ත කවි කීපයක් ම පළකරළා තිබුණා.

අද සාහිත්‍ය මාසයේ මගේ කයි-කතන්දර ෂෙනාරය යටතේ මං පළකරන්නේ මං දැන් අවුරුදු තුනකට විතර කලින් හදපු සංයුක්ත කවියක්.

මේක හැදුණේ මාර බෝරිං ප්‍රොජෙක්ට් මීටිමක පැයක් වාත වෙන්න වෙච්ච වෙලාවකයි.



කලින් දවසක කියපු කතාවක් ආයේ කියනවා නම්, සංයුක්ත කවි තියෙන්නේ කියවන්න නෙමේ බලන්නයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://dileepaj.blogspot.com.au/2012/02/blog-post.html)

Monday, 10 September 2012

ඒ ලෙවල් කරපු කාලේ කේස් එකක් - Point of no return?


මං ඒ ලෙවල් කරපු අවුරුද්දේ විභාග ප්‍රතිපල එන්නත් කලින් අපිට ඊලඟ විභාගෙට සෙට් වෙන්න වුණා. ඒක නං මහ එපාම කරපු වැඩක්.

අන්තිමේදී ඒ දෙවෙනි පාර කරපු දේවල්වලින් කිසිම වැඩක් නැතුව ගියා.

අපදාරේ!

ඒ මොනවා වුනත් අවුරුදු ගාණක් මහන්සි වෙලා, ඉස්කෝලේ ගිහින්, ටියුෂන් ගිහින්, ගණං හදලා, පොත් කියෝලා අන්තිමේදී විභාගේ ඉවර වුණාම නිකං ඩීටොක්ස් වුණා වගේ තමයි. ආපහු පුරුදු ජීවිතේට පුරුදු වෙන එකත් සෑහෙන්න අමාරු වැඩක්.

මෙන්න ඒ ගැන මං අවුරුදු දහ අටයි මාස හතරේ දී ලියපු කවියක්.

කළ නොහැකි පරිවර්තනයක්?

පාසලේදී ඉගෙන ගතිමි
ඔක්සිකරණ පරිවර්තන
ඔක්සිහරණ පරිවර්තන

වනපොත් කෙරුවෙමි දින දින
පරිවර්තන කරනා හැටි

මධ්‍යසාර අම්ල බවට
අම්ලය කීටෝන බවට
කීටෝනය පෙරලූවෙමි
යළිදු මධ්‍යසාර බවට

පීනෝලය ඇල්කොහොලෙට
ඇල්කොහොලය පීනෝලෙට
තුත්තනායගම් දමලා
ආපසු බෙන්සීන් බවට

සියළු දේම වනපොත් කර
විභාගයට ඒ ලිව්වෙමි
එතුවක් කල් සිතේ තිබුණු
සියළු දේම හිස් කෙරුවෙමි

පරිවර්තන ඉගෙන ගන්න
කලින් උන්නු මගේ තත්වෙට
මාවම පෙරළා ගන්නට
යාන්ත්‍රණය අමතක වී
ගොළු වීලා බලා හිඳිමි


(උසස් පෙළ විභාගය නිමවා ගන්ධබ්බ ජීවිතයක් ගතකරමින් සිටි කාලයේ ලියන ලදුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද "සයදිනක සටහන් - වසන්ත පූර්ව නිර්මාණ සංග්‍රහය" කෘතියට අඩංගු කරන ලදී)

මෙන්න තවත් ඒ වගේ ඒ-ලෙවල් කාලේ කයියක්!
අවකලනය සහ අවනීතිය: http://kathandara.blogspot.com.au/2010/03/level.html

-කතන්තරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


(image: http://www.brilliantdreams.com/product/famous-dreams.htm)

Saturday, 8 September 2012

ඒ කාලේ අපි සහ මේ කාලේ චීන්නු - Oh, my goat!


ඔය උඩින් දාලා තියෙන පින්තුරේ මං මේ ඊයේ හවස බලපු පත්තරේක ගිය නිවුස් එකක්.

ඒකේ තියෙන්නේ ලොකු චීනේ ඉන්න චීන විස්ස විජ්ජාල කොල්ලන් කෙල්ලන් ගැන පුදුම හිතෙන කතන්දරයක්. උඩ ඉමේජ් එක පැහැදිලි නැති අයට සහ වැඩි විස්තර ඕනෑ අයට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් කියවන්න පුළුවනි.

http://www.dailymail.co.uk/news/article-2199381/Chinese-students-break-university-night-grab-best-seats-days-lecture.html

අනිත් අයට මෙන්න සරල සිංහල අනුවර්තනයක්.

චීනයේ ෂැන්ඩොන් ප්‍රාන්තයේ තියෙන ෂින්ඩාවෝ විශ්ව විද්‍යාලයේ දේශනවලට එතන ඉගෙන ගන්න කොල්ලන්, කෙල්ලන් ගෙන් කොච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවාද කියනවා නම්, පහුවදා ලෙක්චර්ස්වලට හොඳ සීට් එකක් අල්ලා ගන්න සමහරු කලින් දවසේ රෑ එළිවෙන තුරු දොර ලඟ නිදාගන්නවා ලු.

ඒ අතරේ ඊටත් වඩා ගැට්ටක් තියෙන සෙට් එකක් ජනෙල් කඩාගෙන ඇතුලට පැනලා!

මේ නිවුස් අයිටම් එක දැකපු ගමන් මට මතක් වුනේ මං පේරාදෙනිය කම්මලේ හිටිය තුන්වෙනි අවුරුද්දේ ලියපු කවියක්.

තුන්වෙනි අවුරුද්ද ලබපු ගමන් මං හිතුවා සෙකන්ඩ් ඉයර් එකේ වගේ නැතුව හැම දේශනයකටම යනවාය කියලා. නමුත් විවිධ බාහිර වැඩ නිසා ලෙක්චර්ස් කට්වෙන්න පටන් ගත්තා. ඉතිං මං කෙරුවේ දිනපොතේ ඒ කට් වෙන ලෙක්චර්ස් ගාන ගණං තියන එකයි.

හැබැයි අන්තිමේදී එකතුව සීය පැන්නාම මං ඒ වැඩේ අත හැරලා දැම්මා!

මෙන්න ඒ කාලේ මං ලියපු සංයුක්ත කවියක්, මාතෘකාව දේශන.

සංයුක්ත කවි තියෙන්නේ ගායනා කරන්න, කියවන්න නොවෙයි, බලන්නයි. සංයුක්ත කවි ගැන දන්නේ නැති අය මේ සටහන බලන්න.

http://kathandara.blogspot.com.au/2011/10/composite-poetry.html


     දේශන

     .
     .
     .
     .
     .
     කළු ද?                                               
     .
     .
     .
     .
     .
     සුදු ද?
     .
     .
     .
     .
     
     



(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

Friday, 7 September 2012

චක්කරේ ආපහු මුල් තැනටම? - Back to square one!


දැන් අර අට ලෝ දහම කියන එක තියෙනවා නේද?

ඒකෙන් කියවෙන්නේ මෙන්න මේ ටිකයි.

සැප, දුක, ලාභ, අලාභ, නින්දා, ප්‍රසංශා, යස, අයස කියන සෙට් එක එකක් පස්සේ එකක් අපිට සෙට් වෙනවා. හරියට අර කන්දකට පස්සේ පල්ලමක් එනවා වගේ.

කාලයක් ජොලියේ හිටියායින් පස්සේ මොකක් හරි වාත කේස් එකක සෙට් වෙලා චාටර් වෙන්න වෙනවාමයි. බැක් ටු ස්ක්ව්‍යා වන් කියන්නේ ඔන්න ඕකටයි.

හැබැයි දිය කෙලිමින් ජොලියේ ඉන්න කොට පස්සේ වතුර රත්වෙයිය කියලා නොහිතෙන්න පුළුවනි.

අන්න ඒකයි අද කතන්දරය.

මෙන්න අද කයිය.

ඉනික්බිතිව එළඹියේ වසන්තයයි

රුදුරු විලාසෙන් ගිණිගෙන දැවෙනා
කුරිරු ලෝකයෙන් පැන දුවනා සඳ
මියුරු සිනාවෙන් කෝල කතාවෙන්
සොඳුරු රුවෙන් යුතු ඔබ මුණ ගැසුණා

කුසුම් පිපී හිනැහුණු ඒ මොහොතේ
සිතුම් දහක් සිත පැන නැගුණා
පෙරුම් පුරා සිටි වදන් ගලද්දී
පැතුම් හදවතේ පිළිසිඳුණා


ඔය කෑලි දෙකම එකතු කළාම තමයි කයි-කතන්දරය හැදෙන්නේ.

(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.

(image: http://www.fantasticfailures.com/?p=37)

Tuesday, 4 September 2012

කවියෙන් පණිවිඩ ඇරීම - Message in a Poem


කවියෙන් පණිවිඩ අරිනවා කියන එක මේ අද ඊයේ වෙච්ච දෙයක් නොවෙයි.

කාලිදාස කියන ඉන්දියානු කවියා තමන්ගේ පෙම්වතියට ශෝක පණිවිඩයක් යවලා තියෙන්නේ මේඝ දූතය කියන කාව්‍ය නිර්මාණයෙන්. පණිවිඩකරුවා වලාකුළක්.

හංස, ගිරා, සැළලිහිණි වගේ සිංහල සංදේශ කාව්‍ය ලියවෙලා තියෙන්නේත් එක එකාට පණිවිඩ අරින්නයි සත්තු අතේ.

"දිලීප පොඩි පුතු" ගේ තාත්තා කරුණාරත්න අබේසේකර, දිලීපලැයි අම්මට පණිවිඩයක් යවලා තියෙන්නේත් සින්දුවකින්, ඒ සින්දුව තමයි "එන්න මදනලේ - ගොස් පවසන්න දුක මගේ".

එහෙව් එකේ අපිටත් නරකද පණිවිඩයක් යවන්න කවියකින්. හැබැයි ඉතිං අපිට කොහෙන්ද ඔය සොෆිස්ටිකේටඩ් දූතයෝ? නිකම්ම කවිය ලියලා ප්‍රදර්ශනයක කරනවා මිසක්.

ආයාචනයක්

අඩිතාලම සවි නොවූ නිසාවෙන්
අකලට වියැකී ගරා වැටී ගිය
ප්‍රථම ප්‍රේමයේ නටඹුන් අබියස
තවමත් මුනිවත රකින ළඳේ

හැරදා මිය ගිය අතීත සැමරුම්
හද පාරවනා සිත පාරවනා
ඔබේ ආදරය අයැදින හදකට
ලැගුම් දෙනු මැනවි ඔබේ හදේ


(පේරාදෙනිය ඉංජිනේරු පීඨ කලාකවයේ නිර්මාණ පුවරුවේ මුලින්ම පල විය. පසුව මවිසින් හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරන ලද මායාවෝ කෘතියට අඩංගු කරන ලදී)

-කතන්දරකාරයා

ප/ලි:
මේ 2012 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් පලකෙරෙන කයි-කතන්දරයකි.


(image: http://www.indianetzone.com/36/kalidasa_indian_litterateur.htm)

Saturday, 1 September 2012

කයි කතන්දර නැවත ඇරඹෙයි - The Spring has sprung or Autumn breeze and falling leaves or whatever!


ලිට්රේචර් කියලා කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් මාර සිරා ගේම් එකක් තියෙනවා, කවුද දන්නේ? මේක දිනන්න නම් හොඳ මතක ශක්තියක් තියෙන්න ඕනෑ. අන්තිමට මං ලිට්රේචර් සෙල්ලං කෙරුවේ දැන් අවුරුදු දහයකට විතර ඉස්සර දවසකයි.

හැබැයි අපි සාමාන්‍යයෙන් ලිච්රේචර් කියන්නේ සාහිත්‍යයට නේ. අපි ඉස්කෝලේ ගිය කාලේ අපිට සාහිත්‍යය වෙනනම විෂයයක් විදියට ඉගෙන ගන්න නොලැබුනත්, දෙකේ පන්තියේ පොතේ තිබුණු ඩෙංකුටු පෙරහැර කවිය, තුනේ හතරේ පහේ පන්තිවල පද්‍යා රසය පොත්, පහේ පොතේ තිබුණු සුබලයා ගේ පින කතාව වගේ ඒවායින් අපේ සාහිත්‍යය ගැන ඇල්ම ඇතිවුණාය කියලා හිතෙනවා.

අද සිට ඇරඹෙන සැප්තැම්බරය අපේ රටේ සැලකෙන්නේ සාහිත්‍ය මාසය විදියටයි පනස් ගණංවල ඉඳලා. ගිය අවුරුද්දේ සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පටන් ගත්තා "කයි-කතන්දර" කියලා අළුත් ෂෙනාරයක කතන්දර පල කරන්න.

ඇත්තටම කයි කතන්දර කියන්නේ කවි. හැබැයි පසුබිම් කතාව හරි රනින් කමෙන්ට්‍රියක් හරි දෙනවා කවි එක්ක. මොකද එහෙම නැතුව අපේ සමහර අයට කවි විතරක් දිරවන්න බෑ.

අන්තිමේදි මට මේ කයි-කතන්දර කොච්චර නැගලා ගියාද කියනවා නං, අපේ ඔබාමා දැන් සැප්තැම්බර් ඉවරයි, ඔක්තෝම්බර් උදාවුණා කියලා මට දැනුම් දෙන තුරුම මං කයි කතන්දර දාගෙන ගියා.

ගිය අවුරුද්දේ කයි-කතන්දර විදියට මං දැම්මේ මං පේරාදෙනිය තිප්පොලේ හිටිය මුල් අවුරුදු දෙකේ ලියපු කවි ටිකයි.

මේ අවුරුද්දේ හිතන් ඉන්නේ තුන්වන සහ හතරවෙනි අවුරුදු දෙකේ ලියපු කවි ඇතුලත් කරලා කයි-කතන්දර ගොතන්නයි.

කවි ලියනවා ගැන කිව්වාම මට මතක් වුනා මං පරණ ශ්‍රී සඟරාවක කියවපු කතන්දරයක්.

ඔන්න යාළුවෝ හතර දෙනෙක් ගමණක් යනවාලු. මේ අය ඉස්සරහින් ඇවිත් තියෙනවා කකුලක් නැති මනුස්සයෙක්.

අපේ සදාචාරය අනුව මේ වගේ අය කෙනෙක්ව සාමාන්‍යයෙන් හැදින්වෙන්නේ "කොටා" කියන සුරතල් නාමයෙන්. මේ හතර දෙනා දැකලා මේ කොටා පාර තිබුණු වලක වැටෙනවා.

දැන් ඉතිං මොකද කරන්න තියෙන හොඳම දේ?

ඔව්, අන්න ඒක තමයි!

යාළුවෝ හතර දෙනා කතා වුණා අපි මේ සිද්ධිය ගැන කවියක් කියමුය කියලා.

ඔන්න එකෙක් පටන් ගත්තා,

    එක දවසක් කොටා

දෙවෙනියාත් එකතු වුණා,

    ගමනක් යන කලටා

තුන් වෙනියා ගේ වාරය,

    වැටුණි ඌ වලටා

දැන් අන්තිමයා ගේ වාරය, නමුත් ඉතිං මුළු සිද්ධියම කවි පද තුනෙන් කියවිලා ඉවරයි.

ඒ කියලා කවිය සම්පුර්ණ වෙන්නේ නෑ නේ පද හතරක් නැතුව. පොරත් අත ඇරියේ නෑ. අන්තිම පදේ එකතු කළා මෙන්න මෙහෙම.

    හුටා!

දැන් මෙන්න ඒ අසහාය සාහිත්‍ය නිර්මාණය සම්පූර්ණයෙන්ම.

එක දවසක් කොටා
ගමනක් යන කලටා
වැටුණි ඌ වලටා
හුටා!


-කතන්දරකාරයා

ප/ලි:
මං ආපහු කයි-කතන්දර ලියනවාය කියලා දැක්කාම සමහරුන්ට ඔය අන්තිම පදේ කියවෙන්න ඉඩ තියෙනවා.


(image: http://www.lakehousebookshop.com/pdesc.php?id=599)

Thursday, 8 September 2011

වැලි කතරක මලක් පිපී - පේරාදෙනිය කතාව ඉදිරියට : Pera, oh, Pera!


පේරාදෙනිය විශ්ව විද්‍යාලය මල් උයනක්. හැබැයි ඒ ගඟෙන් උතුරු පැත්ත. මෙගොඩ, ඒ කියන්නේ අපේ කම්මල තිබුණු පැත්ත මට නම් පෙණුනේ වැලි කතරක් විදියටයි.

ගීතක ට, මරුමුස් ට, මකරා ට, බිඟුවා ට, මධුරංග ට, චමිත ට සහ අනෙකුත් අයට කොහොම පෙනුනාද මන්දා?

මොනවා වුනත්, වැලි කාන්තාරවලත් තෙතමනය තියෙනවා! මල් පිපෙනවා!

මෙන්න ඒ කාලේ ලියපු කවියක්. මං හිතන්නේ පේරා ගිහින් දෙවෙනි මාසේ විතර.

වැලි කතරක මලක් පිපී

විරාමයක තනිවුණු සිත
ඔබ නිසාම සිනා නගයි
බලාපොරොත්තුවක් යලිත්
සිත පුරාම පියා සලයි

සීතල සුලඟක දැවටී
අළුයම හිරු පායන විට
හන්තානේ හෙවනැල්ලයි
අර ඈතට තනනිල්ලේ වැටී තියෙන්නේ

දෙපස සුපිපි මල් සිපගෙන
ආසිරි ගී පද ගයමින
සුනිමල් වු මහවැලියයි
සරසවි බම දෙකඩ කරන් ගලා බසින්නේ

පාලු රුදුරු වැලි කතරේ
කම්මල් යන්තර අතරේ
පිපුණු රෝස කුසුමකි ඔබ
කුමාරියේ මන බඳනා

සුන්දර කෙටි කෙහෙරැල්ළයි
සිත නලවන නෙතු බැල්මයි
දුටු දින සිට මගේ සිතේ
ගීත ගැයේ ඔබ නමිනා෴


මේ කයිය සින්දුවක් කරලා කියන්න කැමති මියුසික්කාරයෙක් ඉන්නවද?
kathandara@gmail.com

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි
ඇත්තටම ගඟෙන් එගොඩ පැත්තේ, ගලහ පාරේ එක කොනක ඉඳන් අනිත් කොනට යන තුරුම පාට පාට මල් වැල් පිරුණු ගස් හිටවලා තියෙද්දී, ගඟෙන් මෙගොඩ හිටවලා තියෙන්නේ තල් ගස් විතරයි නේද?

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)


(image: http://azgsgirl.wordpress.com/)

Wednesday, 7 September 2011

ගෑණුන් ගේ තන සහ සාහිත්‍ය මාසය - Boobs and Literature, what a nice mix!



දැන් ඔය උඩින් තියෙන මාතෘකාවේ තියෙන තන කියන වචනය දැකපු ගමන් චකිතයක් ඇතිවෙන අයත් ඉන්න පුළුවන්. සමහරු හිතන්න පුළුවන් තන කියන වචනේ පුක කියන එක වගේ කුණුහරුපයක් ය කියලා.

පුක කියන එක කුණුහරුපයක් නෙමේ කියලා මං කලින් දවසක ලියලා තියෙනවා නේ. ඇත්තම කියනවා නම් පුකයි, තනයි අතර නම් ලොකු සම්බන්ධයක් නෑ.

හැබැයි නේකඩ් ඒප් (නිරුවත් වානරයා) පොතේ ඩෙස්මන් මොරිස් කියලා තියෙනවා ගෑණුන් ගේ තන් සහ තට්ටම අතර සමානත්වයක් තියෙනවා කියලා. ඒ එක්කම තොල් සහ භගමණිය අතරත් සමානත්වයක් තියෙනවාලු.

මොරිස් කියනවා, කාන්තා පක්‍ෂයේ හොඳින් කැපී පේන්න පරිනාමයෙන් නිර්මාණය වෙලා තියෙන තොල් සහ තන් වලින් කෙරෙන්නේ නිරුවත් වානරයින් ට තට්ටමට සහ භගමණිය ට කෙරෙන ආරාධනාවක් ලු.

තොල් රතු කරන්න, තන් ඉලිප්පෙන්න, කෝර්සට්, බොස්තරුක්ක වගේ ඇඳුම් අඳින්න ගෑණු පෙළඹෙන්නේ ඒ නිසා වෙන්නැති!

දැන් අර තන් කියන වචනය නරක එකක්ය කියල සලකන අයට ඒ වගේ තහනම් වචනයක් බ්ලොග් එකේ මාතෘකාවේ ම දිලිසි දිලිසී පේන්න දාපු එක වැරදිය කියලත් හිතන්න පුළුවන්. එගොල්ලෝ හිතන්න ඉඩ තියෙනවා තන වෙනුවට පියයුරු වගේ වචනයක් නොදැම්මේ කතන්දරයා කියලාත්.

නමුත් මේ කවිය බලන්න.

සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින
නිසි පුළුලුකුල රිය සකයුරු තිසර තන
දිසි රණ ලියෙව් රූ සිරි යුත් මෙපුරඟන
ඇසි පිය හෙලන පමණින් නොවෙති දෙවඟන

ගෑණුන් ගේ සිරුරේ කොටස් හොඳ හොඳ උපමා යොදමින් විස්තර කරලා තියෙන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල කියන හාමුදුරුවෝයි.

ඔය කවිය එන "සැළලිහිණි සංදේශය" කියන්නේ කවි සීයක විතර පොඩි පොතක් වුණාට සිංහල සාහිත්‍යයේ එන උසස්ම කෘතියක් විදියට සැලකෙන එකක්.

ඒ කවි පොත ගැන තව පොත් සීයක් විතර ලියවිලා ඇති මේ වෙනකොට. ඔය කියන තිසර තන කවියත් දස දහස් වාරයක් උපුටා දැක්විලා ඇති විවිධ ලේඛනවල එදා සිට අද දක්වා.

හාමුදුරුවෙකුට හොඳ නං තන කියලා ලියන්න අපි ලිව්වම අපිව පාරාජිකා වෙන්න විදියක් නෑනේ!

මං මේ කෙටි ලිපිය ලිව්වේ දැන් අපි ඉන්නා 2011 සාහිත්‍ය මාසය වෙනුවෙනුයි.

ගෑණුන් ගේ තනයි, තොලු යි, උකුළයි, භගමණියයි සාහිත්‍ය මාසෙට සම්බන්ධ වෙන්නේ මං සඳහන් කරල තියෙන ඩෙස්මන් මොරිස් ගේ නිරුවත් වානරයා (පරිවර්තනය එස් එම් බන්දුසීල) සහ තොටගමුවේ ශ්‍රී රාහුල ගේ සැළලිහිණි සංදේශය (විවරණ සහිත පොතක් ගන්න) කියන ග්‍රන්ථ දෙක හරහායි.

සාහිත්‍ය මාසයේ පොත් ගන්නා විට, මේ වෙනකොටත් කියවලා නැතිනම්, ඔය පොත් දෙකත් අමතක කරන්න එපා.

මං කැමති තවත් පොත් තුනක් මෙන්න.
1. සිව් සිත් කව් - විදර්ශණ ප්‍රකාශකයෝ
2. තිරස තරණ - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ
3. දකුණු කුරු දිව් කව් - දයාවංශ ජයකොඩි ප්‍රකාශකයෝ

-කතන්දරකාරයා

ප/ලි:
මේ පහත තියෙන කවි දෙපදය නම් එහෙම සාහිතමය වශයෙන් වැදගත් පොතකින් ගත්තු එකක් නෙමේ. මං හිතන්නේ කවි මඩුවක දී කවුදෝ කියපු එකක්.

නොම දැන ඇතුලතින් සවි වී ඇති මුක්කූ
රණ හංසයින් යයි රැවටෙති කණ කොක්කූ

Tuesday, 6 September 2011

පේරාදෙනියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ සිට ලියමි : Homesickness


මේ කවියත් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ගතකළ මුල් සති දෙක ඇතුලත ලියපු එකක්.

මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේයි. එතන ඉඳන් ගඟෙන් එගොඩ ෆැකල්ටියට යනවා කියන්නේම මාර රැග් එකක්.

ඇයි ඕයි, අක්බාර් එකේ ඉන්න වුන්ට විනාඩි දෙකක්වත් යන්නේ නැති ගමනට අපිට විනාඩි විස්සක් යනවා. තද වෙනවා, නේද?

ඒ මදිවට මාකස් ප්‍රනාන්දු ශාලාවේ කැෆටේරියා එක නොහොත් භෝජනාගාරය වහලා එලියේ පොඩි කඩ කෑල්ලක් විතරයි තිබුනේ. කියල වැඩක් නෑ.

ඉතිං ළමයි, ඔය හේතු නිසාද මන්දා මං ගිය බ්‍රහස්පතින්දා දාපු කවිය වගේම මේ කවියත් ටිකක් දුකෙන් ලියපු එකක්. හැබැයි හැමදාම ඔහොම ඔය දුක තිබුනේ නෑ. එක්කෝ මං දුකට හුරු වුණා, නැත්තං අට්ට ලෝක චක්කරේ කැරකුණා අනිත් පැත්තට.

දැන් කියවන්න කෝ පදවැල.

ජීවිතය

භෝජනාගාරයේ පෝලිමේ හිරවෙලා
ලැබගන්න බත්පතින් කුසගින්න නිවෙනවා
රස නහර පිනා යන ගෙදර බත සිහිවෙලා
නොදැනුවත්වම වගේ නෙත කඳුළු පිරෙනවා

කඳු නැගල, කඳු බැහැල ගත වෙහෙස දැඩි කරන්
උදයෙන්ම පෝලිමේ කම්මලට ඇදෙනවා
පරබසින් උගැන්වෙන දෙසුම් සවනෙහි හෙලන්
දේශණාගාරයේ නිදිකිරා වැටෙනවා

ඇල්මැරුණු තේ එකෙන් ගත වෙහෙස නිවාගෙන
හිරු බසින සැඳෑවේ කුටිය වෙත ඇදෙනවා
හිත වෙහෙස කෙසේ හෝ නිවන්නට සිතා ගෙන
හැකිතරම් ඉක්මනින් ගුලිවෙලා නිදනවා

සීතලේ මිරිකෙමින් රෑ කලේ නිදන විට
සිහිනයෙන් ගෙදර ගොස් ඉන්න හැටි පෙනෙනවා
පූරුවේ පවක් යැයි සිතාගෙන සැනසිලා
ජීවිතය දුකක් බව පසක්කර ගන්නවා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
සාහිත්‍ය මාසය පිටින් දාලා මං ලියපු කවි විතරක් පල කර කර ඉන්නේ නැතුව පොත් ගැනත්, පොත්වල කවි ගැනත් ලියන්නට හිතී ඇති බව සතුටින් දන්වමි.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.dailynews.lk/2010/03/27/fea60.asp)

Saturday, 3 September 2011

පේරාදෙනියේ කයි-කතන්දරයක් : Down the memory lane


යුනිවසිටි ගිය කොයි කෙල්ලත්, කොයි කොල්ලත් ඒ ගමන යන්නේ සෑහෙන්න බලාපොරොත්තු හිතේ තියා ගෙනයි. ඒ ලෙවල් කරන කාලේ කාපු කට්ට නිසා, ඇත්තටම හිතෙන්නේ දැන් ඉතිං ජීවිතේ මල් කියල තමයි.

ගිහිල්ලම බලන්න ඕනෑ ඒකේ රඟේ!

මෙන්න මං පේරාදෙනියේ ගිහින් සතියකින් දෙකකින් ලියපු තවත් කවියක්.

සරසවි සිහිනය බිඳී
(සරසවියට පැමිණි නවකයෙකු ගේ සිතුවිල්ලක්)

අනාගතය ගැන මියුරු කල්පනා
හද තුල ගොනුකර තුටු වූ සිතැතිව
ආවෙමි දුක් කරදර සැඟ මැඩගෙන
සිතේ මැවී තිබු සිහින ලෝකයට

නැත මා සිතු ලෙස කුමර කුමරියන්
මිහිරෙන් සතුටෙන් සැපෙන් හිනැහිලා
ආමාශයෙ දුක් ගින්න නිවන්නට
සියළු දිරිය වීරිය යොදවනු මිස

සිසිල් සුළං පොද සාපයක් වෙලා
උසැති කඳු මුදුන් සාපයක් වෙලා
සොබා දමේ කිසි සොඳුරු බවක් නැත
දකින හැම දසුන් තිත්ත රස වෙලා

මේ මා සිත තුල මැවු ලොව නොවේය
මේ මා එන්නට පැතු ලොව නොවේය
කුරිරු බවක් මිස සොදුරු කමක් නැත
වටහා ගත්තෙමි මම ද යථාර්තය!෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.liriandersson.com/)

Thursday, 1 September 2011

කල්පාන්තයක ආරම්භයක් - පේරාදෙනියේ දී ලියූ කවි


මේ කවිය මං ලිව්වේ පේරාදෙනියේ ඉංජිනේරු පිඨයට මුලින්ම ගිය දිනය ගැනයි.

මං හිටියේ මාකස් ප්‍රනාන්දු ශාලාවේ. උදේම නැගිටලා සීතලේම ඇඟ හෝදලා, සුදු ඇඳුම් ඇඳගෙන, පානුයි පරිප්පුයි ගිලලා, කඳු බැහැලා, ගඟ තරණය කරලා මං එදා උදේ හත හමාරට විතර ඔය උඩින් තියෙන රොකට් එන්ජිම තියෙන තැනට ගියා මට අද වගේ මතකයි!

අවුරුදු දාහතරක පාසල් ගමණක් අවසාන කරලා, වයස අවුරුදු දහනමයක තරුණයෙක් විදියට, එදා ඒ ගමන ගියේ කොච්චර සතුටක් හිතේ පුරෝගෙනද?

මුළු ලෝකෙම ජයගත්තා වගේ, හිමාල කන්ද තරණය කළා වගේ හැඟිමක් තමයි හිතේ තිබුණේ!

කල්පාන්තයක ආරම්භයක්

හිතේ හිරවුණු සතුට බිය සැකය එකට දරාගෙන
මද සිරිපොදයේ
අරුනළු වැටෙන පැයේ
කඳු මුදුනක සිට පහලට දිව විත්
මල්ගොමු ගංගා පසුකරගෙන විත්
වසන්ත උයනේ
කොණක ඉකිබිඳින
වැලිකතරක වූ
රොකට් එන්ජිමක් ලඟ නැවතුනු සඳ

හිමිදිරි උදයේ පිනි හා දිලිසෙන
තණපත් අතරින් හිස ඔසවන
නිදිකුම්බා මල් කැකුලක් සේ

සුපිපුණු පියුමක් සේ වූ වුවණයි
සුන්දර නෙත් කලු
කෙස් කළඹයි
තැඹිලි පැහැති සලු පටින් වැසී ගිය
පින්බර මුදු සිරුරයි

සිතට සතුට සැනසල්ල උදාකර
හදට මිහිර හසරැල්ල ලඟාකර
ඔබෙ රුව
නෙත ගැටුණා!෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි
අද සිට ඇරඹෙන සාහිත්‍ය මාසය වෙනුවෙන් මං මේ කයි-කතන්දර දාන්න හිතාගත්තා.

සුපුරුදු කතන්දර වලට බාදා නොකරමින් මේ කයි-කතන්දර පල කෙරෙනු ඇත්තේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවලයි.

සඳුදා, බදාදා සහ සිකුරාදා දිනයන් හි කතන්දර ද, ඉරිදා ට සන්ඩේ ඇක්ට්‍රා ස්පැෂල් එක ද සුපුරුදු ලෙස පල කෙරෙනු ඇති.