Saturday 30 November 2013

තාත්තා ගැන නයි පැට්ටෙක් - Is it wrong to boast about one's father?


තාත්තලා කියන්නේ දරුවන් ගේ වීරයෝ ය කියන කතාව අවිවාදාත්මක එකක්.

ඒ හින්දා තමන් ගේ තාත්තා ගැන පුතෙක් හෝ දුවෙක් පම්පෝරියක් ගැසීමේ කිසිම පුදුමයක් නෑ. මේ විදියට කියන කතාවක් නයෙක් ද නැද්ද කියන එක නම් මං අර කලින් කතන්දරයේ කිව්වා වගේ අසන්නාට සාපේක්‍ෂ කාරණයක්.

දැන් මෙන්න, වහෙන් ඔරෝ නැතුව කෙලින්ම පොල්ලෙන් ඔළුවට ගැහැව්වා වගේ මගේ තාත්තා ගැන පොඩි නයි පැට්ටෙක්.

මගේ තාත්තා උපාධිධරයෙකි.

තවත් විස්තර කියනවා නම්, ඔහු වසර 1962 දී විද්‍යොදය (දැන් නම ජයවර්දෙනපුර) විශ්ව විද්‍යාලයෙන් තම උපාධිය ලබා ගත්තෙකි.

දැන් මේ කතාව නයෙක් වෙන්නේ කොහොමද?

මේක නයෙක් වෙන්නේ මෙලෙස ප්‍රකාශයක් කරන්නට හැකි අය අඩු හින්දයි. විශේෂයෙන්ම මේ කතාව කියන්නට පුළුවන් මගේ සමවයසේ අය ඉතාමත් අඩුයි, මා දන්නා තරමට.

නමුත් මේ උපාධි කතාවේ පසුබිම සලකා බැලුවොත් නයා ගේ පෙනේ තරමක් හැකිලී යන්නට ද ඉඩ තියෙනවා.

මගේ තාත්තා උපන්න කාලයේ ගමක හැදෙන වැඩෙන, සාමාන්‍ය ගොවිතැනෙන් දිවි රැකගන්නා පවුලක ළමයෙකුට සිංහලෙන් උගන්වන ගම්බද පාසල් ක්‍රමය යටතේ ලබා ගත හැකි වුනේ සීමිත අධ්‍යාපනයක් පමණි. මේ කියන ගමට කොළඹ කොඩිගහ යට සිට ඇත්තේ සැතපුම් පාළහකටත් වඩා අඩුවීම මෙයට අදාල නෑ.

මේ කාලයේ අටේ පන්තියෙන් උඩට හෝ ඉගෙන ගත්තේද ඉතා අඩු පිරිසක්. ඊට වඩා ඉහලට ඉගෙන ගෙන වුවද ලබාගත හැකි එකම රැකියාව වූයේ ගුරුවරයෙක් වීම පමණයි. ආයුර්වේද වෛද්‍යවරයෙක් වීම හෝ නොතාරිස් කෙනෙක් වීම වැනි පොඩි ඔප්ෂන් දෙක තුනකුත් තිබුණා ලු.

මගේ තාත්තාත් ඒ ආකාරයට ග්‍රාමීය අධ්‍යාපනය ලබා ප්‍රාරම්භය, අවසානය ආදී විභාග තරණය කරලා රජයේ උප ගුරු තනතුරක් ලබා ගත්තා. ඔහුගේ ආරම්භක මාසික වැටුප රුපියක් තිස්පහක් පමණ මුදලක් ලු. නමුත් මේ ආප්පයක් තුට්ටුවට විකිණෙන කාලය නිසා ඒක සැලකිය යුතු මුදලක්.

තාත්තා ඉංගිරිසි ඉගෙන ගෙන තියෙන්නේ පාසලෙන් නොවේ. ටික කලක් තිස්සේ සතියකට වරක් උදේ පාන්දර හතරට නිවසට ආ ගුරුවරයෙකු ගෙන්. ඒ අතරතුර දිනපතා දිණමිණ සහ ඩේලි නිවුස් පුවත්පත මිළට ගෙන එහි කතුවැකි සංසන්දනාත්මකව කියවීමත් කර තියෙනවා.

නමුත් තාත්තා එතැණින් නතර වුනේ නෑ!

ඔහු මුලින්ම මරදානේ කාර්මික විද්‍යාලයේ ඉගෙන ගත්තා.

ඉන්පසු මීරිගම ගුරු විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා.

ඊටත් පසු තනිවම ඉගෙන ගෙන ලන්ඩන් ඒ-ලෙවල් විභාගය සමත් වුණා.

එතැනිනුත් නොනැවතී ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර උපාධිය ලංකාවේ සිට හදාරන්නට ලියා පදිංචි වුණා. පසුව තාත්තා ජී.ඒ.කිව් නමින් හැදින්වෙන ලන්ඩන් උපාධියේ පළමු වසර විභාගයත් සමත් වුණා.

මේ අතරතුර ලංකාවේ සිදුවුණු දේශපාලන පෙරළි නිසා රටේ සාමාන්‍ය ජනතාවට ද බටහිර මොඩලයේ උසස් අධ්‍යාපනය ලබන්නට ඉඩ සලසමින් විද්‍යෝදය සහ විද්‍යාලංකාර කියන රජයේ විශ්ව විද්‍යාල දෙක ඇරඹුණා. ගුරු සේවයේ සිටි තාත්තාට අධ්‍යාපන නිවාඩු ලබා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දෙවෙනි වසරට ඇතුලත්ව උපාධිය ලබා ගන්නට එනිසා ඉඩ ලැබුණා.

තාත්තා උපාධිය ලබා ඇත්තේ භූගෝලය, ඉතිහාසය සහ සිංහල යන විෂයන්ගෙනුයි. සිරිල් වික්‍රමගේ නළුවා තාත්තා ගේ විශ්ව විද්‍යාල සමකාලීනයෙක් බව තාත්තා මා සමග කිය තියෙනවා.

ඉතිං, කොහොමද, තාත්තා ගැන ලියවුණු මගේ නයි පැට්ටා හොඳඳ?

-කතන්දරකාරයා

ප/ලි:
ඇත්තම කියනවා නම් මේ කතන්දරේ මං ලිව්වේ නයි ඇරීම ගැන උදාහරණයක් සපයන්නටම නොවේ.

මගේ තාත්තා මිය ගොස් දෙසැම්බර් මස දෙවෙනි දිනට වසර තුනක් සම්පුර්ණ වෙනවා. එය සමරන්නටයි මේ කතන්දරය අද පළකෙරෙන්නේ.

තාත්තා ගැන සඳහන් මා ලියූ වෙනත් කතන්දර කීපයක් මෙන්න.

1. මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans

2. පරම්පරා හතරක් පැරණි ඓතිහාසික කැවුතුකාගාර කොලිටියේ උදැල්ලක් - A page from the Guinness Book of Records

3. ලියුං කැඩීම - තාත්තා ට පාඩමක්

4. බ්ලොග් අවකාශයේ "පඩ ෂෝ" එක!

5. කිරි ඉබ්බෝ සහ ගල් ඉබ්බෝ

6. ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි

7. තාත්තා ගැන මතකයෙන් බිඳක්

8. අද ඉරු දිනයේ තාත්තා සිහිවී - Father's Day

9. තාත්තේ මට සමාවෙන්න - Thaththe, please forgive me!

Thursday 28 November 2013

මෙන්න මගෙන් නයෙක් - Catch it if you can!


නයෙක් දාන්න යැයි කවුදෝ නිර්නාමික බ්ලොග් පාඨකයෙක් මගෙන් ඉල්ලා තිබේ.

ඒ දුටු විට මගේ සිහියට ආවේ මේ "නයා ඇරීම" යන කතාව මා මුලින්ම දැනගත් ආකාරයයි.

මා හතරේ පන්තියේ පමණ ඉගෙන ගන්නා කාලයේ එක් දවසක මට එවකට කොළඹ නතර වී විභාගයකට සූදානම් වෙමින් සිටි මගේ පුංචි අම්මා කෙනෙක් සමග අම්මලා ගේ ගමේ යාමට අවස්ථාවක් ලැබුණි.

ගමේ යාම යනු එකල අපට ඉතා සතුටක් ගෙන දෙන අවස්ථාවකි. ගමන නම් අපුලය. බස් රථවල ඩීසල් ගඳට සහ වංගු ගන්නා විට ඇතිවන හෙල්ලුම් පෙරලුම් නිසා මට නිතිපතා වමනේ යයි. නමුත්, ඒ සියල්ල අවසානයේ මා එළැඹෙන්නේ තිත්තයෝ ද, බුලත් හපයෝ ද, තවත් නම් නොදන්නා විවිධ මාළු ද පිරි ගලා යන වතුර පාරවලින්ද, කුඩැල්ලෝ සැරිසරන හරිත කඳුවැටි, රබර්වතු වලින් ද වටවූ සුන්දර ගම් පෙදෙසකටයි.

මා පුංචි අම්මා සමග පිටකොටුවේ බස් නැවතුමට යන විට එතැන එක්තරා අමුත්තෙක් අප එනතුරු බලා සිටියේය.

මා පසුව දැනගත් පරිදි ඒ අපේ වෙන්ඩ බාප්පා ය.

රත්නපුර බසයට අපි ගොඩ වුනෙමු. මට එක් අසුනකත් මා පිටුපස අසුනේ වෙන්ඩ බාප්පා සහ පුංචි අම්මාත් අසුන් ගත්හ.

මොහොතකට පසු බස් රථයට ගොඩ වැදුනේ පොත් වෙළෙන්දෙකි. ඔහු අත තිබූ එක් පොතක් මිළට ගත් බාප්පා එය මා අත තැබූවේ, පොත් ගුල්ලෙක් වන මා එතැන් සිට ඔවුන් දෙදෙනාට කිසිදු ප්‍රශ්නයක් නැතුව රත්නපුරය දක්වා ගමන් ගන්නා බව දන්නා සේ ය.

චන්ද්‍ර අනගිරත්න විසින් එවකට තිබූ රිවිරැස නම් සති අන්ත පුවත් පතට ලියන ලද "සුරලොව ඇල්මන් ගේ නරලොව හොල්මන්" නමැති තීරු ලිපිවල එකතුවක් වූ ඒ නරලොව හොල්මන් නම් වූ පොත එදා මට රස සාගරයක් විය.

මේ පොතෙන් මා කියවූ, අද දශක කිහිපයකට පසුවද මගේ මතකයේ රැඳී ඇති කවියක් මෙසේය.

පුංචි කෝච්චිය යයි හරි වේගෙන්
පැය හතරට එක සැතපුමෙ වේගෙන්
කෙල්ලයි කොල්ලයි නැග්ගම කොටුවෙන්
දරුවෙක් බිහිවෙයි ඕපනායකින්


මෙන්න වෙනත් කවි පන්තියකින් කවි කිහිපයක්.

කෙල්ලෙක් පසුපස මම ලුහු බඳිමී
ඇය එනතුරු මහ මග පැල් රකිමී
ඇයට ඇහෙන්නට බොරුවට කහිමී
තව එක සිගරැට් උගුරක් අදිමී

ඔබ මගෙ රන්කඳ පින් කඳ පොල් කඳ
මාසේ පෝයට පායන පුන් සඳ
ආ බව ඇත්තයි පොල් කඩමින් ඉඳ
නාලයි ආවේ දැන් නෑ ගස් ගඳ

කට්ලට්, ඔම්ලට්, ෂර්බට්, මස්කට්
දෙන්නද ඩාලින් කැඩ්බරි චොකලට්
මම වෙමි රෝමියො ඔබ මගෙ ජුලියට්
වයි නොට් යූ ට්‍රයි වන් මෝ බිස්කට්


මේ කවි පන්තියෙන් තවත් කවි කීපයක්ම මගේ මතකයේ ඇත.

මේ පොතේ තිබූ කතන්දර අතරින් එකක් වූයේ ඇල්මන් ගේ නිවසට අල්ලපු නිවසට නයෙක් ආ කතාවයි. අප කවුරුත් දන්නා පරිදි මේ නයා ඒ නිවසේ එවකට තිබූණූ සුඛෝපභෝගී ගෘහභාණ්ඩ අතරින් රිංගා යයි.

මේ තීරු ලිපි ලියවී ඇත්තේ හැටේ දශකයේ අග හෝ හැත්තෑවේ දශකයේ මුල විය යුතුයි. ඒවා පසුව පොතක් ලෙස මුද්‍රණය වී බොහෝ විට අළෙවි නොවුනු නිසාවෙන් කලකට පසු මෙලෙස බස් නැවතුමේ පොත් විකුණන වෙළෙන්දන් අතට පත්වෙන්නට ඇත.

නයා ඇරීම යන්න ව්‍යවහාරයට ආවේ ඒ අනගිරත්න ගේ කතාවෙන් දැයි මම නොදනිමි. සමහර විට මේ කියමන අනගිරත්න ගේ කාලයට කලිනුත් තියෙන්නට ඇත.

දැන් ඉතිං, නයා ඇරීම ගැන සිතමු.

අපේ සිංහල බ්ලොග් අවකාශයේ සැරිසරන්නන් අතර විවිධ වයස්වල, විවිධ වෘත්තීන්වල, විවිධ සමාජ මට්ටම්වල අය සිටිති.

අතත්‍ය බ්ලොග් ලෝකයේ දී අප සැම සමානයන් වනමුත්, සැබෑ ලෝකයේ දී එසේ නොවේ. අප අතර විවිධ වෙනස් කම් ඇත.

එකෙකු ගේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් තවෙකෙකු ගේ මිම්මෙන් නයෙක් වෙන්නට ඉඩ ඇත්තේ ඒ නිසාය.

පාර දිගේ ටයරයක් කරකවමින් යන කොලුවෙකුට බයිසිකලයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

බයිසිකලයක යන එකෙකුට, මොටර් සයිකලයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් වෙයි.

මෝටර් සයිකලයක යන එකෙකුට, මරුටියක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

මරුටියක යන එකෙකුට, බෙන්සයක යන එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

ගුවනින් ගොස් නැති අයෙකුට, මදුරාසියට හෝ ගුවන් ගමනක් ගිය එකෙක් ඒ ගැන කරන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

සාමාන්‍ය කැට්ල් ක්ලාස් එකේ ගුවන් ගමනක් ගිය අයෙකුට බිස්නස් ක්ලාස් එකේ යන එකෙක් ඒ ගැන කියන කතාවක් නයා ඇරීමක් ලෙස පෙනෙන්නට ඉඩ ඇත.

ඒ මනුස්ස ස්වභාවයයි.

මෙතෙක් කල් මේ ආකාරයේ නයි ඇරීම් යැයි නම් කරන්නට හැකි කිසිවක් කතන්දර බ්ලොගයේ නොලියන්නට මම වග බලාගත්තෙමි.

නමුත් දැන් පාඨකයෙකුගෙන් ඉල්ලීමක් ලැබී ඇත. එනිසා මගේ මීළඟ කතන්දරයේ සිට නයි ඇරීම් කිහිපයක් කරන්නට මම අදහස් කරමි.

-කතන්දරකාරයා

Tuesday 26 November 2013

මිදුලේ බුදුන් සහ ගේ ඇතුලේ බුදුන් - A few sketches on personal shrines


මෙන්න මුලින් ම තුන් තේරවිල්ලක්.

"බුදු කුස්සිය"

මං දන්නා පිළිතුර පසුව දාන්නම්.

අද මං ලියන්න යන්නේ කතන්දරයක්ම නොවෙයි. පසුව කතන්දර කීපයකටම පාදක කරගන්න පුළුවන් පොඩි සටහන් කීපයක්.


1.
අපි පොඩි කාලේ පාසල් නිවාඩුවට අම්මගේ දෙමව්පියන් ගේ නිවසට යනවා. සාමාන්‍යයෙන් අවුරුද්දට දෙපාරක් විතර.

ආච්චිලා ගේ ගෙදර මිදුලේ ඉස්සරහින් පැත්කට වෙන්න තියෙනවා කණු හතරක් උඩ හිටවපු පොඩි ගෙදරක් වගේ එකක්. ඒකට දැල්වලින් හදපු දොරක් තියෙනවා.

මේ පොඩි ගෙදර තමයි "බුදු පැල", එහෙමත් නැත්තං "බුදු කුටිය". හැමදාම හවසට ආච්චී මේ අට්ටාලය ඇතුලේ තියෙන බුදු පිළිමය ඉස්සරහා පොල් තෙල් පානක් පත්තු කරලා, මල් පුජා කරලා, පන්සිල් අරගෙන අනෙකුත් ගාථා යනාදිය කියලා වඳිනවා.


2.
මේ දවස්වල අපි පදිංචි වෙලා හිටියේ තාත්තා ගේ මහ ගෙදරයි. ඒ නිවසේත් මිදුල ඉස්සරහා පැත්තකට වෙන්න තනි ගල් කණුවක් තිබුණා. ඒ කණුව උඩ කලකට පෙර "බුදු කුටියක්" තියෙන්න ඇති. නමුත් මට මතක ඇති කාලය වෙන කොට ඒක හිස් කණුවක් විතරයි.

මං කොළඹ පාසල් යන කාලයේ කාලයේ අපේ ආච්චී වත්තේ පොල් කඩවා මිදුලේ ගොඩක් ගසා තිබුණා පසුවදා ලෙළි ගස්සවා පොල් මුදළාලි කෙනෙකුට විකිණීමට. ආච්චී ගේ ආදායම වුනේ මේ පොල් විකුණා ලැබෙන සුළු මුදළයි.

නමුත් එදා රෑම මේ පොල් ගොඩෙන් වැඩි හරියක් හොරෙන් ගෙන ගොස් තිබුණා.

මේ සොරකම නිසා ආච්චී කොයි තරම් දුක් වුණාද කිවහොත් ඇය පසුවදා රාත්‍රියේ අර කණුව උඩ පානක් පත්තු කර හතරවරම් දෙවිවරුන්ට කණ්ණලවු කරමින් පොල් හොරකම් කළ අයට පළි ගසන්නට පටන් ගත්තා. ඇය මේ වැඩේ සතියක් පමණම කළා. ඊට පසුත් අර පහන ඒ කණුව උඩ දැල්වුණා මට මතකයි.


3.

කතන්දර හාමිනේ ලා ගේ මහ ගෙදර තත්වය මීට වඩා හාත්පසින්ම වෙනස් එකක්.

ඒ ගෙදර සුද්ද ගේ කාලේ හැදු එකක්. එහි කෑම කාමරය වටා යන කොරිඩෝරයේ එක් කොනක ඉතා කුඩා කාමරයක් පිහිටා තිබුණා. මෙය තමයි ඔවුන් "බුදු මැදුර" ලෙස පාවිච්චි කලේ. හැමදාම හවසට නැන්දම්මා මේ කුටිය තුල තිබුුණු බුදු පිළිමයට මල් තබා වැඳ පාන් පත්තු කර පන්සිල් ගැනීම යනාදිය කරනවා.

මං හිතන විදියට මේ කාමරය සුද්දා ගේ කාලේ භාවිතා කෙරුණේ කොහු ආදී නිවස පිරිසිදු කරන උපකරණ තැබීමට (broom closet) විය යුතුයි.


4.

දිගු කාලයක් මහ ගෙදර පදිංචිව සිටි අපේ තාත්තා පසුව අළුතින් නිවසක් තනා එහි පදිංචියට ගියා. මේ නිවසේ මිදුලේ "බුදු කුටියක්" හෝ නිවස තුල "බුදු මැදුරක්" හෝ සැකසුනේ නෑ.

ඒ වෙනුවට සාලයෙන් නිවස තුලට පිවිසෙන ආරුක්කුවට උඩින් බුදු පිළිමයක් සවි කෙරුණා. නමුත් එහි කිසිදා පොත් තෙල් පහන් දැලවුණේ නෑ.

ඒ වෙනුවට බුදු පිළිමයට යටින් සෑදුණු වක්‍රාකාර හෝල්ඩරයක දිගැටි විදුලි බුබුලක් සවි කෙරුණා. මේ දිගැටි බුබුල දැල්වූ විට එයින් නිරූපනය වුනේ සැලෙමින් දැල්වෙන පහන් සිළුවක්.

මේ පහන නිවෙන්නේ ලංවීම කෂ්ටිය අප හා අමනාප වූ දිනට විතරයි. මහ දවාලේත් එය දැල්වුණා.

පසුව කාලයක සමහර නිවෙස්වල මේ නිවෙස් තුල කෙරෙන පහන් දැල්වීම් සඳහා PLC වලින් දුවන LED බුබුලු සහිත පුවරු ද භාවිතා කෙරෙනු මා දැක තියෙනවා.


මේ කෙටි සටහන් කිහිපයක් පමණයි. තව ටික කාලයකින් මේ ඇසුරෙන් කතන්දර කීපයක්ම ලියන්නට හැකිවේවි!

-කතන්දරකාරයා

ප/ලි:
"බුදු කුස්සිය" - තුන් තේරවිල්ලට පිළිතුර දන්නවාද? මං දන්නා පිළිතුර පසුව දාන්නම්.


(images: copyright reserved, KK)

Sunday 24 November 2013

ඉස්කෝලේ නම නිසා ලැබෙන අනියම් ප්‍රයෝජන - Nepotistic tribalism and OBAs


පසුගිය දවසක මට එක්තරා ඉස්කෝලෙකට සම්බන්ධ ආදී ශිෂ්‍ය සංගමයක පොඩි සැඳෑ සාදයකට සහභාගීවීමට සිදුවිය.

පොඩිය කීවාට පොඩිමත් නැත.

සූ ගාලා සීයක් පමණ පිරිසක් එහි පැමිණ සිටියහ. මුලින්ම රටකජු බිකක් හැපීමටත්, දෙවනුව සින්දු වතුර කෝප්පයක් බීමටත්, ඉන්පසු සින්දු දෙකාමාරකට අත්වැල් ඇල්ලීමටත් අපට ඉඩ ලැබුනි.

බුෆේ ක්‍රමය බෙදාගත් බත් පිඟානක් අල්ලේ තියාගෙන වළඳා රෑ බෝවී ගෙදර ආවෙමු. සාදයේ හොඳම හරිය, එනම් බයිලා නැටීම අපට මිස් වීම නම් දුකකි.

මෙහිදී මා සිත් ගත් හොඳම අංගය වූයේ පාටියේ ඇම්.සී. කෙරුවාව කළ සංජීව ගේ කතා කෑලි කීපයයි.

එයිනුත් වඩාත්ම ජොලියක් ලැබුනේ මෙන්න මේ කෑලි දෙකෙනි.

"අපේ ඉස්කොලේ ආදි ශිෂ්‍යයෝ ලෝකේ නැති තැනක් නැති තරම්. ඔන්න දැන් අවුරුදු කීපෙකට කලින් අපි එකට වැඩකරන කට්ටියක්ම රට ඉඳලා ලංකාවට එන්න එයා ලංකා ප්ලේන් එකකට නැග්ගා. ටික වෙලාවකින් ෆ්ලයිට් ඇටෙන්ඩන්ට් කොල්ලෙක් ඇවිත් මගෙන් අහනවා - අයියා අහවල් ඉස්කොලේ නේද? මට මතකයි අයියා ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙලා හිටියා වගේ අපි හයේ පන්තියේ ඉන්න කාලේ - කියලා. ඉතිං ඒ වෙලාවේ ඉඳලා අපි කටුනායකින් බහිනකල්ම විස්කි වලින් නෑවා!"

"තව දවසක් මං ඔය වගේ ඇවිත් ආපහු යන්න ගිහින් බැලින්නම් මගේ බෑග් කිලෝ පාළහක්ම බර වැඩියි. හොඳ වෙලාවට එතකොටම මං දැක්කා අපේ ඉස්කෝලේ වගේ කොල්ලෙක් චෙකින් කවුන්ට‍රේක ඉන්නවා. මං ගිහින් ඌට කිව්වා, මල්ලී අහවල් ඉස්කෝලේ නේද? මගේ බෑග් පොඩ්ඩක් විතර බර වැඩියි, බැරිද මොනවා හරි කරන්න? කියලා. ඒ එක වචනෙන් වැඩේ ෂේප්!

අන්න එහෙමයි අපේ සහෝදරත්ව‍ය!"

"සහෝදරත්වය වුනාට වැඩේ අසාධාරණයි නේද?" මම පොඩ්ඩක් හයියෙන් කිව්වෙමි.

අනේ ඒත් මේ පාටියේ හිටිය කෂ්ටිය ඒ වෙනකොට ඉස්කෝලේ නම නිසා තමන්ට ලැබෙන්නට ඉඩ තියෙන අනියම් වාසි ගැන හිතමින් හිනා වෙමින් හිටිය නිසාදෝ මං කියපු කතාව වැඩිය කාටවත් ඇහුනේ නැත.

මා ළඟම වාඩිවෙලා හිටිය හාමිනේට නම් මගේ ප්‍රකාශය ඇහුනා වගේ බවක් පෙණුනි. ඇය මා දෙස රවා බැලුවේ ඒ නිසා විය යුතුය!

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරය ලියන ලද්දේ සති දෙකක නිවාඩුවක අවසානයේ නිවෙස බලා එමින් සිටින අතරතුර ගුවනේ දී ය.

මේ මා මුළුමනින්ම ජංගම දුරකතනයකින් ටෙක්ස්ට් එඩිටරයක් සහ හෙළකුරු යතුරු පුවරුවේ ආධාරයෙන් ටයිප් කරන ලද පළමු කතන්දරයයි.

(image: http://en.wikipedia.org/wiki/Nepotism)

Friday 22 November 2013

අහසෙන් යන මන්තරේ හෙවත් ඉංගිරිසි වචන තුනක් - Munaweera's adventure


මේක ඉතාම කෙටි කතන්දරයක්.

මාත් එක්ක අහවල් ඉස්කෝලේ දහයේ පන්තියට අළුතින් ඇතුල් වුණු සිසුන් සියයක් පමණ පිරිස අතර හිටි අයෙක් තමයි මුණවීර.

මුණවීරයි මායි දෙන්නාම එකිනෙකට ආසන්න ගම් දෙකක සිට දුම්රියෙන් පාසල් ආ නිසාත්, ඊටත් වඩා අපි දෙන්නාම එකම පන්ති කාමරයේ දහයේ, එකොලහේ සහ දොළහේ ශ්‍රේණිවල ඉගෙනුම ලබා උසස් පෙළ ලියූ නිසාත්, මුල් කාලයේ එකම ටියුෂන් පන්තිවලට ගිය නිසාත් හොඳ හිතවතුන් වුණා.

කොටින්ම පසු කාලයේ මුණවීර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුවෙකු ගෙන් පුද්ගලික ටියුෂන් ගන්නට පටන් ගත් කාලේ එය කුඩා කණ්ඩායම් පන්තියක් කරන්නට ඔහුගෙන් ආරාධනාව ලැබූ එක් අයෙක් වුණේ මායි.

මා ඒ පන්තියෙන් මාසෙකින් දෙකකින් හැලුනත් ඔහු මා හා අමනාප වුණේ නෑ.

මුණවීර ගේ මාමා කෙනෙක් ඒ දිනවල පදිංචිව සිටියේ (අපේ බ්ලොග්කරුවන් කීප දෙනෙක්ම ඉන්නා) මැලේසියාවේ යි.

ඉතිං අපි දහයේ පන්තියේ ඉගෙනුම ලබන කාලයේ මුණවීරටත් මැලේසියා යන්න මාමාගෙන් ආරාධනාවක් ලැබුණා.

ගමන එයාලංකා එකේ.

"ඉතිං ප්ලෙන් එකේ තනියම පිටරට යන්න හොඳට ඉංගිරිසි දැන ගන්න ඕනෑ නේද?" මං ඇහැව්වා.

"වැඩිය ඕනෑ නෑ. වචන දෙක තුනයි දැන ගන්න ඕනෑ!" මුණවීර කිව්වා.

"ප්ලේන් එකේ දී මුලින්ම පලතුරු බීම දෙනවා. එතකොට ඔරෙන්ජ් ජූස් කියන්න ඕනෑ."

"ඊළඟට දවල්ට කන්න දෙන කොට ෆිෂ් ඕ චිකන් කියා අහනවා. එතකොට චිකන් කීවාම ෂේප්."

ඉතිං ඒ වචන දෙක තුනේ බලයෙන් මුණවීර මැලේෂියා ගිහින් සති දෙකක් විතර එහේ ඉඳලා ආපහු ආවා.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ සති දෙකක සංචාරයත් දැන් අවසානයට ම වාගේ පැමිණ තිබේ. ඉරිදා ආපසු නිවසට!

(image: http://www.ceylonlanka.info/2012/02/gampaha-city-guide.html)

Wednesday 20 November 2013

රනිල් වීරයෙක් වෙන්නේ සහ මහින්ද ද්‍රෝහියෙක් වෙන්නේ කොහොමද - වික්‍රමබාහු කියයි! - Have you seen this YouTube Clip?


නිවාඩු චාරිකාවේ මේ ගෙවෙන්නේ දෙවෙනි සතියයි.

මේ කාලය තුල අප මුහුණ පෑ ප්‍රධානම අභියෝග දෙකකි.

එකක් නම් තුන් වේලම කඩෙන් කෑමයි. විවිධ විකල්ප කෙතෙක් තිබුණත්, මේ වැඩේ ලේසි එකක් නොවේ!

අනිත් අභියෝගය නම් පසුගිය සතියම සූට් කේස් එකකින් ජීවත්වීමයි.

අපි පොඩි කාලේ පාසල් නිවාඩුවට අම්මා ගේ ගමේ ගොස් සති දෙක තුනක් ගත කිරීම සිරිතක්ව පැවතිණි. මේ කාලයේ අපට ඇඳීමට අවශ්‍ය ඇඳුම් අම්මා ට්‍රැවලින් බෑගයක් පුරවා ගෙන ගියා මට මතකයි.

ඊලඟට වයස දහනමයක් වෙන්නට ඔන්න මෙන්න තියා එක් දිනයක මම ඇඳුම් බෑගයක් රැගෙන පේරාදෙනිය සරසවියේ ජීවත්වීමට ගියෙමි.

ඇත්තටම එදා එලෙස නිවසින් පිටවූවායින් පසු ආපසු නිවසට ආවේ අවුරුදු අටකට පසුවය. ඒ කාලය තුල නිවසට ගියේ නිවාඩුවක් සඳහා පමණි.

සූට්කේස්වලින් ජීවත්වෙමින් ඒ ලැබූ අත්දැකීම්වලට වඩා අද ලබන අත්දැකීම සහමුලින්ම වෙනස්ය.

දවස් ගෙවෙන්නේ ඉතා වේගයෙනි. ජීවිතය වෙනදාටත් වඩා අවිවේක වී ඇත. ඒත් පසුගිය දිනවල බ්ලොග් කීපයක් බැලුවෙමි.

මා පෙරේදා බැලූ මේ වීඩියෝව සමහරවිට ඔබ දැක ඇති?



-කතන්දරකාරයා

ප/ලි:
වීඩියෝව නරඹන වෙලේ පරණ කතාවක් සිහිවිය.

බාහුට අනුව රනිල් වීරයෙක් වෙන්නේ 2002 දී පමණ සාම ගිවිසුමක් අත්සන් කර යුද්ධය (තාවකාලිකව හෝ) නතර කළ හෙයිනි.

මේ ගිවිසුමට විරුද්ධ වූවෝ ද වූහ.

මෙයින් මා දන්නා හඳුණන එක් අයෙක් සාමයට විරුද්ධව පෙත්සමක් අත්සන් කිරීම ඇරඹීය.

මගේ අත්සන ඉල්ලූ විට මා ඔහුට කීවේ මෙයයි.

මචං ඔයයි මායි චන්දේ නොදුන්නාට ඔය ආණ්ඩුව පත් වුනේ මහජන චන්දෙන්. දැන් උං ආණ්ඩුව කරනවා. මේක ඒකේ කොටසක්.

ඒ වුනාට මේවට ඉඩ දෙන්න බෑ නේ!

ඇයි උඹට මතක නැද්ද 1994 දී ගහපු සාම ගිවිසුම? උඹ එදාත් පෙත්සම් අත්සං කළාද?

මිතුරා නිහඬවිය.

Monday 18 November 2013

කාගෙද පී. නෝනිස්? - What if P Nonis?


නෝනිස් නමැත්තෙක් කළ කතාවක් ගැන ඔපීනියන් රැසක් ෆේස් බුකියේ දකින්නට ලැබුණි.

මේ දිනවල නිවසින් බැහැරව ස්වයං නිවුස්වාරණයකට අසුව සිටින බැවින් ඒ කිසිවක් වටහා ගැනීමට උත්සාහ නොකළද, මේ නෝනිස් නම නිසා පරණ මතකයන් කීපයක් අවදිවිය.

මේ එයින් දෙකකි.

කලකට ඉහත නෝනිස් නමින් ටියුෂන් ව්‍යාපාරික ගුරුවරයෙක් වී ලු.

මෙහි දී මා "ලූ" යැයි කීවේ මේ නෝනිස් ඉගැන්වූයේ සත්ව විද්‍යාව නිසා මැත්ස්කාරයෙක් වූ මට මේ කතාව අහන්නට ලැබුණු එකක් පමණක් වෙන නිසාවෙනි.

මේ කියන දිනවල උසස් පෙළ සත්ව විද්‍යා විෂය නිර්දේශයේ එක් කොටසක් වී ඇත්තේ ගෙම්බා පිළිබඳ ඉගෙනීමයි. අපේ උසස් පෙළ ජීව විද්‍යා සගයො ගෙම්බන් අල්ලා ෆෝමලීන් දා මරා විච්ජේදනය කරන්නටද ඇත.

එක් දිනයක සත්ව විද්‍යාව පන්තියක් කිරීමට ටියුෂන් ශාලාව වෙත ආ නෝනිස් ගුරුවරයා මෙලෙස පවසා ඇත.

"ළමයි! අද අපි ඉගෙන ගන්න යන්නේ ගෙම්බා ගැනයි. දැන් හැමෝම මා දිහා බලන්න!"

ඒ පළමු කතාවයි.

හැමෝටම හිනා යන්නට ඇතැයි සිතමි.

දෙවෙනි කතාව ඇත්තටම කතාවක් නොව ප්‍රශ්ණයකි. සැබෑ ප්‍රශ්නයකි!

-කතන්දරකාරයා

මෙන්න පොඩි ඉඟියක්. මේ කතන්දරයත් බලන්න.

මැදපු කමිස මොකුත් නැත!
http://kathandara.blogspot.com/2010/10/blog-post_29.html


(image: https://soundcloud.com/dj-peter-a/peter-a-id-original-mix)

Saturday 16 November 2013

මෙන්න බුද්ධාගමට අපහාස කරන්න කදිම අවස්ථාවක් - When will they release the sex video?


ඊයේ මං ඊ-මේල් බලන කොට යාළුවෙකුගෙන් පණිවිඩයක් ඇවිත් තිබුණා.

මේක ආරාධනාවක්!

නිකම්ම නිකං එකක් නොවෙයි මේක වාදයකට ආරාධනාවක්!!

නිකම්ම නිකං වාදයකටත් නොවෙයි. මේක කවි වාදයකට ආරාධනාවක්!

මේ කවි වාදයට ආරාධනාව ගෙනාපු කවි දෙක කියවපුවාම නං මට හිතුනේ මේක බුද්ධාගමට අපහාස කරන්න හොඳම අවස්ථාවක් ය කියලයි.

කණගාටුවට වගේ ලෝකේ වටා චාරිකාවක යෙදෙන මේ දවස්වල මට ඔය කවි වාදවලට ටැපලෙන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි.

අපරාදේ!

වෙන කාලෙක නං කවියක් දෙකක් ලියලා, අර වෙසක් එකට කවි ලියපු වෙලාවේ වගේ බුද්ධාගමට අපහාස කරලා, අර බ්ලැක්මේල් තලිබාන් ඇනෝ ගාව තියෙනවාය කියන, මං ඉන්න සෙක්ස් වීඩියෝ එක බලන්න චාන්ස් එකක් හදාගන්න තිබුණා!

සමහර විට ඒකට පොටක් පෑදෙන්නත් ඉඩ තියෙනවා.

එතකං මෙන්න කියවන්න මට ඊ-මේල් එකෙන් ලැබුණු කවි කුට්ටම.

පන්සල් බිම තුල දේවාල තිබීම සුදුසු ද, නැද්ද?

බුදු දම් සහ සඟ තෙරුවන් නමදින්න
පෝයට සැදැහැ සිත් පෙරටුව සිල් ගන්න
ඒ හා සමග තම දෙවියන් වැඳගන්න
දෙවොලක් එහි තිබිය යුතුමය දැනගන්න

තෙරුවන් නමැද දෙවියන්හට පින් දීම
කෙරුවට බෑ කියනු වරදක් එහි කිසිම
එනමුත් දෙවොල් අටවා පන්සල් බිමෙම
ගසා කෑම, වැරදියි, වැරදියි බොහොම!


හැකියාව සහ වෙලාව තියෙන කෙනෙක් ලියන්න කෝ බලන්න මේකට පිළිතුරු කවියක් දෙකක්.

මෙන්න ඒ සඳහා පසුබිමක් හදා ගන්න අවශ්‍ය නම්, මං කලින් ලියපු කතන්දරයකට පාර.
http://kathandara.blogspot.com/2012/05/wesak-thoughts.html

-කතන්දරකාරයා

ප/ලි:
නිවාඩුවේ සතියක් ගියා. තව සතියයි, දවසයි ආපහු ගෙදර යන්න!


(image: http://lankacnews.com/sinhala/miraculous/mathu-buduwana-natha-deviyo/)

Thursday 14 November 2013

ලව් සෝංග් එකක් ලියන හැටි - Lyrics writing for dummies


කතන්දරකාරයා ස්වීප් එකක් ඇදී මේ දිනවල ලෝක සංචාරයක යෙදෙන බැවින් කතන්දර බ්ලොගයේ රටකජු-අයිස් චොක්ස් ඉන්ටිබල් එකක් දැන් ඇරඹී ඇති බව එදා මං කිව්වා.

මේ නිසා සුපුරුදු කතන්දර පසෙක දා මට හිතුණා අද දවසේ පලවෙන්න පොඩි පහේ සින්දු ලියන හැටි ගැන පාඩමක් සෙට් කරන්න.

මං මීට කලින් දවසක කියලා දුන්නා මතකද සින්දු ෆැක්ටරියක් ගැන පාඩමක්? අද පාඩම ඉගෙන ගන්න කලින් ඒ පාඩම පොඩ්ඩක් මතක් කරගෙන එන්න අමතක අය සහ එදා ඉස්කෝලේ ආපු නැති ළමයි.

http://kathandara.blogspot.com/2013/02/factory-produced-songs.html

මුලින්ම කියන තියෙන්නේ ලව් සෝංග්වලත් හොඳම ඒවා තමයි කෙල්ල කොල්ලා එක්ක අමනාප වුණාම කොල්ලා දුකට කියන ඒවා.

මෙතෙනදී අපි ගනිමු සරල උපමාවක්.

"ඉරයි සඳයි අමනාප වෙලා" වගේ එකක්.

ඉතිං අපිට පාන් ද කියලා අහන්නේ නැතුව දැන් මෙන්න මෙහෙම ලියමු.

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ


ඉස්සර නං ඉතිං කොල්ලෝ කෙල්ලෝ ගණුදෙනු කෙරුවේ ලියුංවලින් නේ. දැන් තත්වය වෙනස්.

ඔන්න ඒ ගැන ලියන්න පුළුවන් දේවල්.

මගෙ ජංගම දුරකතනය අද ඇතිය ගොලුවෙලා
ඇමතුම් නැත කෙටි පණිවිඩ නැත ලොව නිහඬ වෙලා
මුළු ලොව නිහඬ වෙලා


ඇයි, එතකොට ඊ-මේල්, ෆේස්බුක් හෙම නේද?

ශීත සිසිර නින්දක පරිගනක හිරවෙලා
පිළිතුරු නැති විද්‍යුත් ලිපි අතරමං වෙලා
අප අතරමං වෙලා


මෙන්න දැන් සින්දුව ලියලා ඉවරයි.

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ

මගෙ ජංගම දුරකතනය අද ඇතිය ගොලුවෙලා
ඇමතුම් නැත කෙටි පණිවිඩ නැත ලොව නිහඬ වෙලා
මුළු ලොව නිහඬ වෙලා

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ

ශීත සිසිර නින්දක පරිගනක හිරවෙලා
පිළිතුරු නැති විද්‍යුත් ලිපි අතරමං වෙලා
අප අතරමං වෙලා

සඳ ඉරත් එක්ක අමනාපයි
ඉර සඳත් එක්ක අමනාපයි
ඇය මාත් එක්ක අමනාපයි
ඒ ඇයිද නොතේරේ


මේක ලියන්න මට ගියේ විනාඩි දහයකටත් අඩු කාලයක්.

දැන් ඕනෑ, මේකට තනුවක් දාලා, මියුසික් කරලා කියන්න සහභාගී වෙන්න දෙතුන් දෙනෙකු ගේ සහයෝගය.

ඒවා ඉතිං කල් යන අමාරු වැඩ!

ඒ අතරතුරේ ලියන්න බලන්නකෝ මේ වගේ සරල සින්දුවක්.

-කතන්දරකාරයා

ප/ලි:
මං මේ වගේම අදහසක් තියෙන පදමාලාවක් කලිනුත් ලියලා තියෙනවා. මෙන්න ඒක.

ඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය
http://kathandara.blogspot.com/2012/06/when-cyber-love-fails.html


(image: http://123-tattoos.blogspot.com/2012/04/sun-and-moon-tattoos.html)

Tuesday 12 November 2013

ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි - Stretching your dreams further


ජොලියෙනුත් හොඳම ජොලිය මේකයි කියලා ලියලා පටන් ගත්තට එහෙමමයි ම කියන්නත් බෑ තමයි ඉතිං.

මොකද ජොලිය කියන එක සාපේක්‍ෂ සංකල්පයක් නේ!

ඔබේ ජොලියේ ජොලිය ඔබටය.
මගේ ජොලියේ ජොලිය මටය.

මේකයි කතන්දරේ.

මේ දවස්වල මගේ එක ජොලියක් තමයි ලොතරැයියක් ගන්න එක. හැමදාම නොවෙයි, ජැක්පොට් එක එකසිය ගාණට වැඩි වැඩිවුණු දවසට තමයි මං ලොතරැයියක් ගන්නේ.

ඒ ගන්න එකත් ගන්නේ එකයි. ඊට වඩා ගන්නේ නෑ. මොකද ඇදෙනවා නං ඇදෙනවා නේ.

මං මේ ලොතරැයි ගැන කලින් කතන්දර දෙකක් විතර ලියලා තියෙනවා.

1. කතන්දරකාරයාට ලොතරැයි දිනුමක්?
2. කතන්දරකාරයාට තවත් ලොතරැයි දිනුමක්?

කවදාකවත් ලොතරැයියක් මට ඇදිලා නැති වුණත්, ඇදෙන්න තියෙන සම්භාවිතාවට කොච්චර අඩු වුණත්, මං ඉඳලා හිටලා ලොතරැයියක් ගන්නේ එක්තරා හේතුවක් ඇතුව.

ඒක තමයි, ලොතරැයිය ගත්ත දවසේ ඉඳලා, මේකෙන් ජෑක්පොට් එක ඇදුණොත් මෙන්න මෙහෙමයි කරන්නේ කියලා ලොකු ලොකු ප්ලෑන් හදන්න පුළුවන් වීම.

සේරම හොඳ හොඳ සිහින.

1. රස්සාවෙන් අස්වෙනවා.
2. චිත්‍රපටියක් හදනවා.
3. පොත් ප්‍රකාශන සමාගමක් පටන් ගන්නවා.
4. සඟරාවක් පටන් ගන්නවා (ආ, පොඩි වැරදීමක්, ඒක නං සිහිනයක් නොවෙයි නේද?)
5. ලෝකේ වටේ සංචාරයක් යනවා. (හැබැයි ඒකටත් ඉතිං ලොතරැයි ඇදෙන්නම ඕනෑ නෑ)

ඔය සැලසුම්, සිහින විමාන සේරම තියෙන්නේ ලොතරැයිය ඇදෙන දවස වෙනකං විතරයි.

ප්‍රථිපල බලපු ගමං බැලුමේ හුලං බහිනවා. සිහින බොඳ වෙනවා. සැලසුම් සුලඟේ යනවා. දුක්බර සිතාර් වාදනයක් ගුවනට මුසුවෙනවා.

දැන් මං හොයාගෙන තියෙන්නේ මේ බලාපොරොත්තු කඩවීමෙන් ඇතිවෙන දුක පොඩ්ඩක් විතර මගහරවා ගන්න ක්‍රමයක්.

ඒක තමයි ලොතරැයිය ඇදිලාද කියලා බලන එක ප්‍රමාද කරන එක.

එහෙම පහු කරන, පහු කරන දවසක් පාසා හිතට ලැබෙන ජොලිය තව තවත් වැඩි වෙනවා. මොකද, ඒ කාලේ අර මුලින් කියපු සිහින, සැලසුම් සේරම අතරේ හිතෙනවා නේ, මං මෙහෙම හිටියට මේ වෙනකොටත් කෝටිපතියෙක් වෙන්නත් ඉඩ තියෙනවා ය කියලා.

ඒක තමයි ජොලියෙනුත් හොඳම ජොලිය!

-කතන්දරකාරයා

ප/ලි:
කතන්දරකාරයා 'ලොතරැයියක් ඇදී' මේ දිනවල සිය පවුල සමග ලෝක සංචාරයක යෙදෙන බැවින් කතන්දර බ්ලොගයේ සිලි-සීසන් එක දැන් ඇරඹී ඇති බව සලකන්න.

රටකජු, රටකජු, අයිස් චොක්ස්, අයිස් චොක්ස්, ....

(image: http://www.dlb.lk/dlb/images/stories/Front%20Superball%20jack.jpg)

Sunday 10 November 2013

වයිෆරේ එක්ක කේන්ති ගියාම හස්බන්ඩලා කරන හොර වැඩ - Things husbands do to please wives...


මේක කියවන බැඳපු පිරිමි අය අත උස්සන්න.

මං හිතන්නේ නෑ තමන්ගේ වයිෆරේ එක්ක පොඩ්ඩක් හරි තරහ නොගිය හස්බන්ඩෙක් හොයා ගන්න පුළුවන් කියලා මේ තුන් ලෝකේ.

අර බුදු සාදු පටාචාරාට කිව්වා වගේ කෙනෙක් නොමළ ගෙයකින් අබ ඇට ටිකක් හොයා ගන්න එක ඊට වඩා ලේසි ඇති.

කොහොමටත් අබ එච්චර සුලබ කුලු හරකගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් නොවෙයි නේ!

මං කියන්නේ කසාද ජීවිතේදී එහෙම පොඩි තරහක්වත් නොගියොත් ඒක තමයි අස්වාභාවිකත්වය කියන එකයි.

මට සමහර වෙලාවට, ඒ කියන්නේ සති දෙකක විතර කාලෙකට දුර ගමණක් යන්න වගේ සැරසෙන වෙලාවලට පොඩි ආතති තත්වයක් එනවා.

වෙනදාට නිකං බෝ පැලේ වගේ හිටියා වුනාට, පොඩි දේකටත් කේන්ති යන්න පටන් ගන්නවා. උස් හඬින්, සැරෙන් වචන පිටවෙනවා.

ඒ අර ස්ටේ‍රස් එක නිසා.

ඉතිං ඔය වගේ වෙලාවල්වලට හොඳයි තමන් ගේ බිරිඳ ගැන පොඩි කවියක් දෙකක් හොරෙන්ම වගේ ලියන එක.

බිරිඳට ලියූ කවි

නෙත ගැටුණු දා විසි එක් වසරකට පෙර
වත මදහස දුටිමි පෙර නොම විරු අයුර
සිත මා සසල විය හදවත විවර කර
කත ඔබ මගෙම බව දැන ගත්තෙමි එවර

යා දෙක රතය පෑහීමේ කිම අරුම
මා දිවි සුවඳ ඔබගෙයි මට නැත උරුම
බාධක මැදින් ආවෙමු මේ මුළු දුරම
ආදර සොඳුර කුසුමකි ඔබ සැම දිනම

හෝරා අටක් මහජන සේවය සලසා
දිවවිත් නිවස වෙත නොමගෙන කිසි වෙහෙසා
පිස දෙයි අමරසැති අහර ද මා සනසා
ඔබ දෙව්දුවකි මට නැත කිසි ලෙස කුකුසා

දින පෙර ලෙසින හෙට දිනයෙද පෙම් කරමූ
යන දිනයක එකට අපි දෙව්ලොවට යමූ
පින ගෙවුණු දා ආපහු මනුලොවට එමූ
පණ ඇති තුරා යලි යලි සසරේ බැඳෙමූ


කලින් පාරක මං නාඩගම් ගිතයකුත් ලිව්වා.

ඒ වගත් මෙසේම,

-කතන්දරකාරයා

ප/ලි:
හා, දැන් අර අත උස්සන්න ඉන්න හස්බන්ඩලාට අත් පාත දාන්න පුළුවන්.

වයිෆරේ කියනකං ඉන්න ඕනි නෑ!

(image: http://nwso.net/2009/12/15/the-death-of-black-love-why-do-black-relationships-fail/)

Friday 8 November 2013

දෙකේ පන්තියේ දී විතර ඇතිවෙන මනමාල බය - Was that love or what?


මුලින්ම කියන්නං, මේ මනමාල බය කියන කෑල්ල මගේ එකක් නෙමේ. මං මේක අහුලා ගත්තේ ලියනගේ අමරකීර්ති ලියපු "අටවක පුත්තු" නවකතාවෙන්.

දැන් ඔය ගෑල්ළමයෙක් ගැන කොල්ලෙක් ගේ හිතේ ආදරබර මියුරු කල්පනාවක් ඇතිවෙන්නේ හරියටම කොයි කාලෙද කියන එකට නීතියක් නෑ නේ.

මේක එක්කෝ ඒ ලෙවල්ස් කරන කාලේ එන්න පුළුවන්.

නැතිනං, ඊට කලින් ඕ ලෙවල් කරන කාලේ එන්න පුළුවන්.

නැත්තං, ඊටත් කලින් ප්‍රාථමික පාසලේ ඉගෙන ගන්න කාලේ එන්නත් පුළුවන්.

මොන්ටිසෝරියේ දී වෙන්නත් පුළුවන්.

මට මතකයි මං දෙකේ පන්තියේ ඉන්න කාලේ, ඒ කියන්නේ මගේ වයස හරියටම අවුරුදු හයයි මාස හයක් කාලේ, අපේ පන්තියේ හිටපු ශානිකා කියන ගෑල්ළමයා මට වෙසක් කාඩ් එකක් දුන්නා.

ඒක දෙකට නවපු, අරක වරෙක දාන ජාතියේ හොඳවායින් එකක්. ඒ දවස්වල තැපැල් පත් වගේ, එහෙමත් නැත්තං පික්චර් පොස්ට්කාඩ් වගේ ලාබ වෙසක් කාඩ් තිබුණා!

පිට කවරේ බුදු සාදු හිනාවෙලා ඉන්න ලස්සන ෂෝක් චිත්‍රයක්.

ඇතුල පෙරළලා බැලුවාම උඩින් කවියක් තියෙනවා. ඊට යටින් තිත් ඉර උඩ මෙන්න මෙහෙම ලියලා තිබුණා.

කතන්දරකුමාර.......ට
ශානිකා...............ගෙන්
වෙසක් සුභ පැතුම්!


මේ වෙසක් කාඩ් එක ශානිකා මට දුන්නු වෙලේ මං ගත්තා වුනාට මට ඒ ගැන ඇති වුනේ මහා ලැජ්ජාවක්.

නිකං විලිලැජ්ජාවක් වගේ එකක්.

මං දැන් මොකක් කරන්න ඕනෑද කියලා මට හිතා ගන්න බැරුව ගියා මුලින්ම.

දැන් කවුරු හරි අපිට වෙසක් කාඩ් එකක් එව්වාම අපි කරන්න ඕනෑ, එයාටත් වෙසක් කාඩ් එකක් යවන එකනේ.

මට මේක කරන්න එකම විදියයි තිබුණේ.

ගෙදර ගිහින් අම්මට කියනවා මට ශානිකා වෙසක් කාඩ් එකක් දුන්නා ය කියලා.

ඊට පස්සේ අම්මාගෙන් ඉල්ලනවා ශානිකාට දෙන්න මට වෙසක් කාඩ් එකක් අරගෙන දෙන්නය කියලා.

වැඩේ කෙරෙන්න ඕනෑ විදිය නං අති සරලයි.

ඒත් කොහොමද මං ඒක කරන්නේ, මේ විලිලැජ්ජාව එක්ක?

ඉතිං මං මොකක්ද දන්නවාද කෙරුවේ?

ශානිකා දුන්නු වෙසක් කාඩ් එකේ අපි දෙන්නාගේ නම් දෙක උඩින් ඉරක් ඇඳලා ඊට උඩින් දෙන්නා ගේ නම් දෙක මාරු කරලා ලිව්වා.

ශානිකා..................ට
කතන්දරකුමාර..........ගෙන්
වෙසක් සුභ පැතුම්!


ඊට පස්සේ වෙසක් කාඩ් එක ශානිකාට දුන්නා.

කතන්දරේ එච්චරයි!

මොකද, ශානිකා නොවෙයි මට ඊට පස්සේ වෙසක් කාඩ් එකක් හෝ නත්තල් කාඩ් එකක් හෝ දුන්නේ!

මගේ විලිලැජ්ජාව එක්ක මං ජීවත්වුණා ටික දවසක්. පස්සේ ඒක ඇරිලා ගියා.

දැන් මේකයි කේස් එක.

එදා මට ඒ වෙසක් කාඩ් කේස් එකේදී ඇතිවුණු හැඟිම මොකක්ද?

ඒක ආදරයක මූලික අවස්ථාවක්ද?

මං හිතන් හිටියේ එහෙමයි.

නමුත් ලියනගේ අමරකීර්ති ගේ "අටවක පුත්තු" නවකතාව කියවපු දවසේ ඉඳලා මට හිතෙන්නේ එදා මට ඇතිවුනේ මේ පොර කියන මනමාල බය බවයි.

අටවක පුත්තු ගැන ලියවුණු ලිපි කිහිපයක් මෙන්න.
1. අටවක පුත්තු එකේ ‘අඩ හදයා’ කොටස

2. අටවක පුත්තු- නූතන සිංහල ප්‍රබන්ධකතාවේ පෙරටුගාමී සලකුණ

3. අටවක පුත්තු, නිර්මානකරනය, වියරනය සහ භාශා මූලධර්මවාදයේ වත්මන් තත්වය

4. හෙටට පෙර අටවක පුත්තු

-කතන්දරකාරයා

ප/ලි:
මනමාල බය හෙම හැදිලා තියෙනවාද?

(image: http://pincel3d.deviantart.com/art/First-love-Honey-79346733)

Wednesday 6 November 2013

විස්ස විජ්ජාල මාතාව නමදිමු? මොන විකාරක් ද ඕයි ඒ? - Worshiping a university, WTF?


පසුගිය දිනක ෆේස් බුකියේ සැරිසරන මොහොතක මගේ මිතුරෙකු විසින් එහි බෙදා හදා ගෙන තිබූ යූ-ටියුබ් වීඩියෝවක් නරඹන්නට අවස්ථාව ලැබුණි.

මා සිව් වසරක් කාලය ගත කළ පේරාදෙනිය විශ්ව විද්‍යාලය පිළිබඳව පබැඳී ගැයුනු ගිතයක් පසුබිමෙන් යොදා ඡායාරූප රැසක් එකට ඈඳා නිමවා තිබුණු ඒ වීඩියෝව නරඹද්දී මට මුලින් සතුටක් ද, ඊලඟට විමතියක් ද, ඊටත් පසුව සිනහවක් ද ඇතිවිය. අවසානයේ මා සිතේ රැඳුණේ කෝපයක් සහ සංවේගයකි.

මගේ සිත සතුටින් පිනා යන්නට හේතු වූයේ ඒ වීඩියෝවේ පෙළ ගස්වා තිබුණු පෙර කී ඡායාරූප එකතුවයි. විශ්ව ඬිද්‍යාල බිමේ නෙක රූ විසිතුරු සහිත ඒ දසුන් මා නෙත ගැටෙන විට සිත අතීතයට දිව යෑම වැලැක්විය නොහැක. පුරා සිව් වසරකුත් මාස දෙකක් මා පේරාදෙනියේ ගතකළ දිවිය සිහියට නැගී සිත සතුටෙන් පිරී යාම පුදුමයට කරුණක් නොවේ.

මගේ සිතේ විමතියක් ඇති වූයේ පසුබිමෙන් ගැයුණු ගීතයේ පද වැල ඇසෙත්දී ය.

විශේෂයෙන්ම මුලින්ම එන මෙන්න මේ පද කිහිපය නිසාය.

නමදිමු බැති පෙමිනී
පේරාදෙනි සරසවි ජනනී


වාට්? WTF?

මොන විහිළුවක් ද ඒ?

මොන කෙහෙල්මලකටද ඕයි විස්ස විජ්ජාලෙකට වඳින්නේ?

මට සිනා ගියේ "කවුද හලෝ මේ විශ්ව විද්‍යාලයක් නිකම්ම නිකං ඉස්කොලෙක දෙකේ කොලේ සයිස් එකට දාපු එකා?" යැයි සිතුණු විටය.

මෙන්න ඕනෑ අයට මෙතනින් ගිහින් බලන්න පුළුවන් මේ මොන්ටිසෝරි වීඩියෝ එක.



ඉස්කෝලවලට ඉන්නවා සේ මා දන්නා තරමින් නම විශ්ව විද්‍යාලවලට අයිතිකාරයින් නැත. මට කෝපයක් ඇති වුනේ කවුරුන් හෝ එලෙස මා උගත් විශ්ව විද්‍යාලය අයිතිකරගන්නට යනවාදෝ කියාය.

විශ්ව විද්‍යාලයට වැඳීම වැනි අඳ බාල සංකල්ප ඇති අය ගැන මට ඇතිවුණේ මහත් සංවේගයකි.

කලින් දවසක කීවාක් සේ මා විශ්ව විද්‍යාල කිහිපයකටම විවිධාකාරයෙන් සම්බන්ධ වී සිට තිබේ.

ඒත් මෙහෙම විහිළුවක් මේ දැක්කාම ය!

-කතන්දරකාරයා

ප/ලි:
ඔය කිව්වාට මා ද පේරාදෙනිය විශ්ව විද්‍යාලයට වැඳ තිබේ. ඒ පේරාදෙනියට පය තැබූ මුල්ම දවසේ ජ්‍යේෂ්ඨ සිසුන් දෙනෙනෙකු ගේ අණ කිරීමකට අනුවය.

මේ ඒ ආකාරයේ රැග් එකක දිගුවක් ද?

Monday 4 November 2013

මුලින් උතුම් සුපෙම් කුසුම් පස්සේ උලව් ලව් හෙවත් මල ඉලව් වූ විට - When the tide turns


ඔය ලව් කරනවාය කියන මැන්ටල් සංසිද්ධිය තියෙනවා නේද? ඕක බොහෝ වෙලාවට කොරන කොට හරීම චෝක්. හැබැයි, එහෙන් මෙහෙන් චොර වෙලා, දියාරුවෙලා ගිහින් ලව් එක ඉලව් වුනාම නං සංසාරේ එපා වෙනවා.

ලව් එක නැගලා යන කාලේ පෙනුණු සුන්දර මල් ගොමු පස්සේ නිකං බුර බුරා නගින් ගිණි ජාලා වගේ වෙනවා.

කලින් ඇසුණු සවන සනසන ඒ කොවුල් ගී නාදය පස්සේ නිකං මාලිගාවත්ත ලී මෝලේ සද්දේ වගේ වෙනවා.

මුළු ලෝකෙම කණපිට ගහනවා.

කොල්ලා අනාථ වෙනවා.

මෙන්න නෝනාවරුණි මහත්වරුණි, ඒ වගේ අවස්ථාවක් අළලා මිට වසර ගණනාවකට කලින් ලියවුණු කවියක්.

ළඳේ ඔබේ ආදරේ - හරිම මළ වදේ!

ඈත ඉඳන් බලන වෙලේ
පීත වර්ණයෙන් පූර්ණ පුෂ්ප මාලයක්
ලඟට ඇවිත් සිඹින කලේ
බුරා නගින රක්ත වර්ණ අග්නි ජාලයක්
ළඳේ ඔබේ ආදරයත්
මට තේරුම් ගන්නට බැරි ඉන්ද්‍ර ජාලයක්

දුර ඈතට රසාලිප්ත ගීත ඇසෙන්නේ
ලඟ මෑතට කර්ණ කටුක විලාප වැන්නේ
ළඳේ ඔබේ ආදරයත්
ස්‍රෘතියෙන් පිට ගැයෙනා දුක් ගීයක් වැන්නේ

සුවඳයි ගව් ගනන් දුරට පිච්ච මල වගේ
වැනසෙයි බඹරුන් ඔබ බාඳුරාවකි ලඳේ
ළඳේ ඔබේ ආදරයත්
හද පාරන, හිත හූරන පතොක් මල වගේ


මේ කයි-කතන්දරය එක්ක පිරිමි බහුතරය එකඟ වෙන බව මට හොඳටෝම විශ්වාසයි!

ඒ වගත් මෙසේම

-කතන්දරකාරයා

ප/ලි:
ඒ වගේම මේ කයි-කතන්දරයේ වචන පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා, උපමා ටික වෙනස් කරලා අපේ ගෑල්ළමයින්ට එකඟවෙන්න පුළුවන් නිර්මාණයක් කරන්නත් පුළුවන් බව කිව යුතුයි.

මට නං එහෙම එකක් ලියන්න ටිකක් විතර අමාරුයි. මෙන්න හේතුව.
http://kathandara.blogspot.com/2013/10/blog-post.html

ඇහැකි කෙනෙක් ලියන්න.

ඇ/ප/ලි:
මෙන්න කාන්තා පිළිතුරක් ලිව්වා!

සුහද ඔබේ ආදරේ - හරිම මළ වදේ!

ඈත දුරට පෙනෙන කලේ
ආදරයෙන් මුසපත් වූ බෲංග රාජයෙක්
ලඟට ඇවිත් සිඹින කලේ
දුම්බොන, මත්පැන් බොන ඔබ හරිම වාතයෙක්
සුහද ඔබේ ආදරයත්
මගෙ කරුමෙට මට හිමි පූරුවේ පාපයක්

දුර ඈතට ගුම් ගුම් බිඟු ගීත ඇසෙන්නේ
ලඟ මෑතට කැහි සෙම හොටු නාදය එන්නේ
සුහද ඔබේ ආදරයත්
ලී මෝලෙන් නැග එන සංගීතය වැන්නේ

පණ දෙන්නට කතා බහෙන් හරිම සූරයා
පොඩි දේටත් කෑ කොස්සන් ගහන මාරයා
සුහද ඔබේ ආදරයත්
කරුණාකර අරන් යන්න යලිත් මට එපා



(image: http://adambrettocean.wordpress.com/2012/10/26/tide-turns-a-wave-painting-by-adam-brett/)

Saturday 2 November 2013

මට ම අයිති මගේ ම නොවන ඉඩම් කෑල්ලේ ඔහේලාට නම් ඉඩ නැත, හරිය? - How big is your patch?


ළමයි හම්බවෙන්න ඉන්න ඔන්න මෙන්න ඉන්න බඩදරු අම්මලා ගේ වෝටර් බ්‍රේක් වුණා ය කියලා කියනවා අහලා තියෙනවා නේද?

මව් කුසේ ඉන්න කාලේ අපි හැමෝම ඉන්නේ වතුර බෑග් එකක පාවෙමින් ලු. ඒ සීල් කරපු වතුර බෑග් එක හිල්වෙන්නේ උපත සිදුවෙන්න ටික වෙලාවකට පෙරයි.

අර මොකාද මන්දා කියපු විදියට කොහෙමටත් සත්වයාගේ උපත සිදුවුනේ වතුරේ ය කියනවා නේ.

එහෙම වතුරෙන් ඉපදුනා වුණාට, වතුරට වඩා මිනිස්සුන්ගේ ආසාව තියෙන්නේ පොළොවටයි. ඉඩකඩම්වලටයි.

මං හිතන්නේ සෝවාන් වෙච්ච කෙනෙකු මිසක් මේ ලෝකේ ඉඩම්වලට ආශාවක් නැති මනුස්සයෝ නැතුව ඇති.

මං කලින් දවසක කිව්වා මතකයි නේද අර තමන්ගේම සහෝදරියට අයියා කෙනෙක් කරපු වැඩේ ඉඩම්වලට ඇති කෑදරකම නිසා.

ඒ වගේ උදාහරණ නං තව බොහොමයි.

ඒ අපතයෝ අමතක කරමු.

තමන්ගේ ම කියා ඉඩමක අයිතිකාරයෙක් වෙන්න, ගෙයක් හදාගන්න අපි හැමෝම කැමතියි. මේ ලෝකේ හැමෝටම ඒ අයිතිවාසිකම තියෙන්න ඕනෑ.

ඔය බණ ටික මතක් වුනේ මේ ළඟදී සෙනසුරාදා දවසක උදේ ඉඳලා දවල් ගිනි අව්ව එනකම්ම කිලෝමීටර් ගාණක් ඉඩම් හොයන්න පැද්දට පස්සේයි.

ඉඩම් කෑලි කීපයක්ම තියෙනවාය කියලා කියපු තැනකට හියත් නිකං රස්තියාදු වුණා විතරයි. ඉට පස්සේ එතැනින් තවත් තැනකට පැද්දා, එතැනිනුත් තවත් තිප්පොලකට ගියා. අන්තිමේදී හිස් අතින් ගෙදර ආවා.

කොච්චර මහන්සියක් ද දැණුනේ කියනවා නම් මිලි ලීටර් 500 ක විතර වතුර බෝතලයක් එක හුස්මට බීගෙන බීගෙන ගියා. අව්වේ වාත වෙලා ඒ තරමට වේලිලායි හිටියේ.
වතුර ටික බීලා ඇඟ සිසිල් වෙන අතරේ මෙන්න මේ පරණ කතාව මතක් වුණා.

එකෝමත් එක රටක මිනිහෙකුට ආරංචි වුණාලු අල්ලපු ප්‍රාන්තයේ ඉන්න ස්වදේශික ජන කොටස් තමන් ගේ ඉඩම් කුණු කොල්ලෙට විකුණනවාය කියලා. ඉතිං මේ මනුස්සයා කහවනුත් අරගෙන ගිහින් තියෙනවා ඉඩම් ගන්න.

ගෝත්‍ර්‍රික නායකයා ලඟට ගිහින් ගණං හිලව් ඇහැව්වාම කිව්වලු, කහවනු සීයක් දීලා තමන්ට අවශ්‍ය ප්‍රාමණයක් වෙන්කරගන්න කියලා. ඒ කියන්නේ එක තැනක ඉඳලා පටන් අරගෙන ඇවිදගෙන ගිහිල්ලා ඉර බහින්න කලින් ආපහු එතැනටම ආවාම, ඒ ගමන් මාර්ගයෙන් වටවුණු මුළු ඉඩමම කහවනු සීයට ගන්න පුළුවනි!

ඉතිං මේ මනුස්සයත් ඔන්න කහවනු සීය දීලා තමන් ගේ ඉඩමේ මායිම් ලකුණු කරන ගමන පටන් ගත්තා. හැකි තරම් ලොකු ඉඩමක් අල්ලා ගන්න ඕනෑ හින්දා ඈතට ඇතට ගියා.

කොච්චර මහන්සි දැනුණත් විඩාව නිවා ගන්න හෝ වතුර ටිකක් හොයාගෙන බොන්න හෝ කෑම කන්න හෝ නතර වුණේ නෑ. ඉඩම තව තවත් ලොකු කර ගන්න එක තමයි මූලික අරමුණ. ඉර අවරට යන කොට ලොකු ප්‍රමාණයක් මැදි කරගෙන ආපහු ඇවිදගෙන එන්න පටන් ගත්තා. දැන් හොඳටම බඩගිනියි, තිබහයි, මහන්සියි. ඒත් නතර වෙන්න බෑ. කොහොම හරි ඉර බහින්න කලින් පටන් ගත්තු තැනට යන්න ඕනෑ.

අන්තිමේදී වෙලා තියෙන්නේ ඉඩමේ මායිම සම්පුරණ කරන තැන පෙනි පෙනී මේ මනුස්සයා මැරී වැටීමයි.

මේක දැකපු ගෝත්‍රික නායකයා මෙහෙම කිව්වලු.

"අන්න, ඔහු ඔහුට අයත් හතර රියනක බිම් ප්‍රමාණය මායිම් කළා. දැන් ඔහුව එතැන වලක් හාරා වල දමන්න!"

කොච්චර ඉඩම් තිබුණත්, අන් අයගේ ඉඩම්වලට කැදරකම තිබුණත් අන්තිමේදී අපි හැමෝටම අයිතිවෙන්නේ ඔය හතර රියන තමයි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ සෙනසුරාදා වාත වුණා ය කියලා එහෙම මේ ඉඩම් හොයන වැඩේ අතහරින්න විදියක් නෑ.

ඊලඟ සෙනසුරාදාත් උදේම යන්න ඕනෑ දඩයමේ!

(image: http://www.spygun.com/)