Showing posts with label එයාපෝට්. Show all posts
Showing posts with label එයාපෝට්. Show all posts

Wednesday, 26 January 2011

දුමින්ද ගේ එයාපෝට් ට්‍රිප් එක


අපේ දුමින්ද කියන්නේ එක විදියක පොරක්, ඒ කියන්නේ මං දන්න අඳුණන බොහෝ දෙනකුට වැඩිය වෙනස් ගති පැවතුම් තියෙන කෙනෙක්. අපිට ඉවෙන් වගේ තේරෙන සමහර දේවල් පොරට මීටර් වෙන්නේ ම නෑ.

ඒකට නම් හේතුව එක්කෝ පොර ඉන්දියාවෙ ඉගෙන ගත්තු නිසා හරි, නැත්තං සමාජ ආර්ථිකමය වශයෙන් දුමින්ද ගේ පවුල අපේ අනිත් කොල්ලන් ගේ පවුල්වලට වඩා පරම්පරාවක් ඉස්සරහින් හිටිය නිසා හරි වෙන්න ඕනෑ. බොහෝවිට ඔය කාරණා දෙකම නිසා, මයෙ හිතේ.

අර අරක්කු වානා කෝක් ඕනා කතන්දරේ, යුග දිවියක ගීතයක් කතන්දරේ හෙම ප්‍රධාන චරිතය වුනේ දුමින්ද තමයි.

ඔන්න අපි සේරම පස්තාච්චි කුපාඩි වැඩ කරන්න තායිලන්තේ ඉන්න කාලේ, විටින් විට ලංකාවට යනවනේ. සමහරු යනවා නිවාඩුවට,

සමහරු යනවා ගොවියන් කැමති කරවන්න (ඒක වෙනම ම කියන්න ඕනැ කතන්දරයක් -පස්සෙ දවසක බලමු), සමහරු යනවා මනමාලියෝ බලන්න, සමහරු යනවා කසාද බඳින්න.

ඔන්න ඉතිං දුමින්දත් ටිකක් මනමාල වැඩකට වගේ ලංකාවට යන්න සෙට් වුණා කියමුකෝ. අපේ කීප දෙනෙකුත් ගියා පොරව එයාපෝට් එකෙන් දාල එන්න. ඒක තමා සාමාන්‍ය සිරිත. ඉතිං ගිය අය කට්ටිය දුමියව එයාපෝට් එකේ දාල, බායි, බායි කියල ආපහු ආව.

ඒ ගිය යාළුවෙක් පහුවෙනිදා හවස කැෆටේරියා එකට යනකොට මෙන්න බොලේ දුමින්දයා ඉන්නවා ලු එතන ලොකූ කේක් කෑල්ලකුත් කකා.

"මින්ද, උඹ ගිහිල්ලත් ආවද බං මේ ඉක්මනට? අපි උඹව එයාපෝට් එකෙන් දාල ආවෙ මේ ඊයෙ රෑ නේද?"

කතාකරල බැලින්නං මේකයි වෙලා තියෙන්නෙ.

දුමින්දය, ලගේජ් චෙක් ඉන් කරල, එයාපෝට් එකේ ඇතුලට ගිහින් බැලින්නං තව පැයක් විතර තියෙනවලු ප්ලේන් එක යන්න. ඉතිං පොර කරල තියෙන්නේ තේ එකක් බොන්න යන එකයි.

සමහර විට තේ බොන අතරේ, ලොකු කේක් කෑල්ලක් කන්නත් ඇති. කොහොම හරි ඉතිං පොරට ඇහිල නෑ, ලාස්ට් කෝල් ෆෝ චෙකින් ඉන් එනවුන්ස් කරනව තියා, ඊලඟට දෙතුන් පාරක් ම පොරගේ නම ම කියල එනවුන්ස් කරනව වත්.

අන්තිමේ දි දුමින්දගේ බෑග් ටික එළියට ඇදල දාල, ප්ලේන් එක ගිහින් එයාගෙ ගමන කොළඹ බලා. බඩු පොදි බැඳගෙන, ඇඳ පැළද ගෙන ලක ලෑස්ති වෙලා ගිය දුමින්ද ගෙ එදා ට්‍රිප් එක එයාපෝට් එකට විතරක් සීමා වුණා.

හැබැයි ඉතිං අර මල් බිස්නස් අත හරින්න පුළුවන් යැ? දුමින්දය කොහොම හරි තව දවස් දෙක තුනකට පස්සේ ගියා ලංකාවට.

මේ පාරනම් ඇත්තටම ගියා...!!!

-කතන්දරකාරයා

ප/ලි
මේකනං ඇත්තටමපසුව ලියූවකි.

අමුතුවෙන් නොකිව්වාට, මේ දුමින්ද කියන නම මං දාපු නමක් මිස පොර ගේ ඇත්ත නම නෙමෙයි.

අනිත් දුමින්ද ලා - සොරි හොඳේ.