

පන්සල් ලඟින් යනකොට පස්ස පැත්ත උස්සන එක ගැන මං කලින් දවසක ලියල තියෙනවා. ඒ වගේම පන්සල් ලඟින් යනකොට කප්පං දෙනවා වගේ සල්ලි දාන එකත් අපි සමහරු කරන වැඩක්.
මට කොහේදෝ දැක්කා කවුද ලියලා තියෙනවා අපේ සමහරු පන්සල් ගිහින් වැඳලා පින් පෙට්ටියට රුපියලක් දාලා පාරට ආපු ගමන් රැපියල් විස්සක් දීලා ලොතරැයියක් ගන්නවාය කියලා ඒ කරපු පින එදාම රෑට පල දීලා කෝටි දෙකක් දිනාගන්න ලැබුණොත් කියලා!
ඔය කතා දෙක මං ලිව්වේ මේ සාහිත්‍ය මාසයේ අද පොත්-කතන්දරය ලෙස මං ඉදිරිපත් කරන විචාරයට මුල පිරීමක් විදියටයි.
දැන් මෙන්න කියවන්න අද පොත්-කතන්දරේ.
දානයේ ආනිසංස (දීමේ බල මහිමය)
ඩී.බී. කුරුප්පු ගේ කෘතිය පිළිබඳව කෙටි සටහනකි
මීට දශයකටත් වඩා ඉහත දිනයකදී සිනමා පටයක් නැරඹීම සඳහා අපට ටිකට් පත් දෙකක් ලැබුණි. ජනප්‍රිය හොලිවුඩ් නළුවෙකු වන කෙවින් ස්පේසී පාසල් ගුරුවරයෙකු ලෙස රඟපෑ, ”පේ-ඉට්-ෆෝවර්ඩ්” නම් වූ එහි කතාව ගොඩ නැගී තිබුනේ එතෙක් මා අසා නොතිබුණු අපූරු සිද්ධාන්තයක් පදනම් කර ගෙනය.
අපේ ජීවිත කාලය තුල විවිධ පුද්ගලයින් ගෙන් අපට විවිධාකාරයේ උදව් උපකාර ලැබේ. එවැනි සමහර උදව් උපකාර අපට අතීතයේ දී නොලැබුනේ නම් සමහර විට අපේ ජීවිත මීට වඩා හාත්පසින්ම වෙනස් වී වඩාත් දුක්බර වන්නටද ඉඩ තිබුණි. අප සමාජයේ මෙවැනි උදව් උපකාර සම්බන්ධයෙන් පිළිගත් මතය වන්නේ එසේ අපට උදව් කළ අයට හැකි සෑම විටකම ප්‍රතිඋපකාර කළ යුතු බවයි. එසේ නොකර සිටීම කෙලෙහි ගුණ නොදන්නා කමක් ලෙස සැලකේ.
"පේ-ඉට්-ෆෝවර්ඩ්" චිත්‍රපටියෙන් ඉස්මතු කර පෙන්වූ ඉහත ප්‍රතිඋපකාර කිරීමට වෛකල්පික මතය නම් යමෙකුගෙන් උදව්වක් උපකාරයක් ගත් අප කළ යුත්තේ, එවැනි උදව්වක් උපකාරයක් වෙනත් අයට ද කිිරීම බවයි. එයින් සැමට උදව් උපකාර කරන ගුණෝත්තරව ප්‍රසාරණය වන සුවිශාල ජාලයක් ඇතිවේ. මුළු සමාජය ම එකිනෙකාට උදව්කරන්නා වූ එකක් බවට පත් වේ.
අප බොහෝදෙනකු ගේ සිතේ ඇති එක්තරා කණගාටුවක් නම් අපේ දෙමව්පියන් එදා අප කුඩා කල අපට කළ උදව් උපකාරවලට කෙසේ නම් ප්‍රතිඋපකාර කරන්න ද, එසේත් නැත්නම්, දෙමව්පියන්ට ඇති ඒ ණය කෙලෙස ගෙවන්නද යන්නයි. "පේ-ඉට්-ෆෝවර්ඩ්" සිනමාපටය නැරඹීමෙන් පසුව මට වැටහුනේ අපට අපේ දෙමව්පියන් වෙනුවෙන් කළ හැකි හොඳම කළගුණ සැලකීම නම් අපේ දරුවන්ට හොඳ දෙමව්පියන් වීම බවයි!
අප කරන්නේ "පේ-බැක්" ද, "පේ-ෆෝවර්ඩ්" ද යන්න කෙසේ වෙතත්, වෙනත් අයෙකුට අඩුතරමේ වචනයකින් හෝ සිනාවකින් හෝ උදව්වක් උපකාරයක් කළ හැකි නම් එය ඉතා වටිනා මානුශීය ක්‍ර්‍රියාවක් බව ආගමික පසුබිමක් නොමැති කෙනෙකුට වුවද එකඟ විය හැකි කරුණකි. කෘතහස්ත ලේඛක ඩී.බී. කුරුප්පු විසින් රචිත දානයේ ආනිසංස (දීමේ බල මහිමය), මේ බව මනාව සාධනය කර පෙන්වන්නකි.
උවැසියක් බුදුන්ට ආහාර පූජා කරන කංචුකයකින් මේ කෘතිය සැරසී තිබුණද, එහි අන්තර්ගතයේ සුවිශේෂීව බුද්ධාගමට පමණක් වෙන් වූ සිද්ධාන්තයක් අඩංගු නොවන බව කිවයුතු ම ය.
දානය හෙවත් දීම පිළිබඳව සහ ඒ හා අදාල විවිධ මාතෘකා යටතේ ලියවී එකට ඈඳුණු කුඩා පරිච්ඡේද විසි පහකින් සමන්විත මේ කෘතිය සඳහා ඩී.බී. කුරුප්පු මුලිකව පාදක කරගෙන ඇත්තේ ඇමරිකන් ජාතික අසීම් ජමාල් සහ හාවේ මැකිනොන් විසින් රචිත "ද පවර් ඔෆ් ගිවින්" නම් වූ කෘතියයි. එසේ වතුදු මේ කෘතියේ එන විවිධ කරුණු සනාථ කිරීම සඳහා දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාව, එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව වැනි රටවල දී තමා ලබා ඇති අත්දැකීම් සහ විවිධ අදහස්, ඔහු ගේ අනෙකුත් කෘති සහ ලිපිවල අප කියවා ඇති සුවිශේෂී ආකාරයටම ඩී.බී. උපයෝගී කොට ගෙන ඇති හෙයින් මෙය හුදු පරිවර්තනයකට වඩා බෙහෙවින්ම ස්වායත්ත වූ කෘතියක් ලෙස සැලකිය යුතුය.
දානය හෙවත් දීම යනුවෙන් සැමවිටම අදහස් වන්නේ යම් කිසි භෞතික වස්තුවක් පරිත්‍යාග කීරීම ම නොවේ. එසේම දීම යනු පින් තකා කෙරෙන කටයුත්තක් විය යුතුම නැත. මේ සරල කරුණු කිහිපය අවබෝධ කර ගත් විට දානය යන්න අපේ එදිනෙදා ජීවිතයට කෙතරම් ලේසියෙන් සම්බන්ධකරගත හැකිද යන්නත්, එයින් පුද්ගලිකව අපටත්, පොදුවේ අප වෙසෙන සමාජයටත් කොයි ආකාරයේ ධනාත්මක බලපෑමක් කළ හැකිද යන්නත් මනාව පැහැදිලි වෙයි.
වරෙක සිතට හාස්‍යය ගෙන දෙන, වරෙක සිත සසල කරවන, වරෙක සිත හැඟුම් බර කරවන විවිධ උදාහරණ සහිතව, පහසුවෙන් කියවිය හැකි ඩී.බී. කුරුප්පු ගේ සරල සුමට භාෂා ශෛලියෙන් ලියවී අනාකූලව ගලා යන මේ වැදගත් කෘතිය කියවීමෙන් අප සැම දෙනෙකුටම පාහේ අළුතින් හිතන්නට යමක් ලැබෙන බව ඉඳුරාම කිව හැකිය.
මේ පොත කියවන තැනැත්තෙක් එයින් යමක් උකහා ගත්තොත් ඉන් පසු කළ යුත්තේ එය සම්පාදනය කළ ඩී.බී. කුරුප්පු ට ස්තුතිවන්න වීමට වඩා, ඒ තමා අවබෝධකරගත් කාරණය තව අයෙකුටත් වටහා ගැනීමට ඉඩ ලබාදීම පිණිස පොත තවත් පිරිසක් අතර සංසරණය කිරීම බව අවසාන වශයෙන් පවසමි.
පෙර කී "පේ-ඉට්-ෆෝවර්ඩ්" සිනමා පටය නැරඹීමෙන් අනතුරුව "පිය සමර" නමින් කවි පන්තියක් ලියා මා කලේ ද, අද මෙම කෙටි සටහන ලිවීම තුලින් මා සිදු කරන්නේද එවැනි ම වූ ක්‍රියාවන් ය.
මෙම ග්‍රන්ථයේ රචක ඩී.බී. කුරුප්පු පරිවර්තනය කළ මැංචෝසන් චාරිකා කෘතිය ගැන මගේ ලිපිය කියවලා තියෙනවා නේද?
-කතන්දරකාරයා
ප/ලි:
1. පෙර කී "පිය සමර" කවි පන්තිය මෙතනින් කියවන්න.
http://kathandara.blogspot.com/2010/04/for-those-who-have-sensitive-hearts.html
2. අසීම් ජමාල් සහ හාවේ මැකිනොන් විසින් රචිත "ද පවර් ඔෆ් ගිවින්" නම් වූ කෘතිය පිළිබඳ විස්තර සහ පළමුවෙනි පරිච්ඡේදය මෙතනින් කියවන්න.
http://thepowerofgiving.org/home
3. පේ-ඉට්-ෆෝවර්ඩ් සිනමා පටය පිළිබඳ විස්තර
http://www.imdb.com/title/tt0223897/