Showing posts with label පේරාදෙනිය. Show all posts
Showing posts with label පේරාදෙනිය. Show all posts

Wednesday, 28 December 2011

ජොකා නිවරදිව ඇඳීමට තියොඩොලයිට්ටුවේ පිහිට - A Theodolite assisted method to correctly wear male underpants


කෙල්ලෝ ජංගි අඳිනවා වගේ නෙමේ කොල්ලෝ ජොකා අඳිනවා කියන්නේ පොඩි ආට් එකක් සහ සයන්ස් එකක් තියෙන ක්‍රියාවක්!

මොකද මූලිකව බැලුවොත් ජොකා අඳින්නේ ගොනා කානුවේ යන එක වලක්වා ගන්නනේ. දෙවෙනි හේතුව තමයි පරම්පරා කුට්ටම ආරක්‍ෂා කර ගන්න එක.

ඉතිං ඒ වැඩේ හරියට කෙරෙන්න නම් ඔය ජොකා ගේ හිල් දෙක අතරින් කකුල් දඬු දෙක දාලා ජොකා උඩට ඇද්දට පමණටම හරියන්නේ නෑ. ඉන් පෙර සහ ඉන් පසු නිවරදව කළ යුතු පොඩි පොඩි ඇජස්ට්මන්ට් තියෙනවා!

මේ කලාව සහ විද්‍යාව නිවරදිව ප්‍රගුණ කළ කෙනෙක් තමයි මගේ බැචා සහම්පති ජයසූරිය.

සහම්පතියා වුනත් ඒ ඇජස්ට්මන්ට්ස් සහිතව නිවරදිව ජොකා අඳින ක්‍රමවේදය හරියම විද්‍යාත්මකව සහ කලාත්මකව වැඩි දියුණු කරලා ගත්තේ පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ ඉන්න කාලේ දී යි.

තවත් පැහැදිලිව කියනවා නම් මේ සඳහා සහම්පතිට ගුරු හුරුකම් සැපයුනේ අපේ පළමු වසරේ විෂයයක් වුනු සර්වෙයින් හෙවත් බිම් මිනුම් ශිල්පය ඉගෙන ගන්න අපි භාවිතා කරපු තියොඩොලයිට්ටුවෙනුයි.

දැන් නං කොහොමද දන්නේ නෑ, අපේ කාලේ දී නං පස්සෙන් පහු මිකැනිකල්, කෙමිකල්, ඉලෙක්ට්‍රිකල්, ට්‍රොනික්ස් තියා මොන මගුල කරන්න හිතේ තිබුණත් ෆර්ස්ට් ඉයර් එකේදී අනිවාර්යෙන්ම සර්වේයින් ඉගෙන ගන්න ඕනෑ.

සර්වේයින්වල මුලින්ම තිබුණේ දම්වැල් මිනුම හෙවත් චේන් සර්වේයින්. ඊලඟට ආවේ ලෙවලින්. එකෙනුත් පස්සේ තමයි අපි තියොඩොලයිට්ටුව පාවිච්චි කරන්න පටන් ගත්තේ. තියොඩොලයිට්ටුවයි, ට්‍රයිපොඩ් එකයි, අනිත් පොලු ටිකයි, පෙග්ස් ටිකයි සහ මිටියයි කර ගහගෙන ගිනි කාෂ්ඨක දවල් වරුවේ කැම්පස් එකේ හතර කොනේ කරක් ගහන එකත් ජොලි වැඩේ ඒ දවස්වල.

තියොඩොලයිට්ටුවක් පාවිච්චි කරන්න කලින් ඒක හරියට ලෙවල් කරගන්න ඕනෑ. අපේ කාලේ තිබුණු මිකැනිකල් තියොඩොලයිට්ටු හරියට ලෙවල් කරගන්න අනුගමනය කළ යුතු එක්තරා ක්‍රියා පටිපාටියක් තිබුණා.

ඒක 100%ක් නිවරදිව කියන්න මගේ මතකයේ නෑ. නමුත් මෙන්න අපිට කියා දීලා තිබුණු ක්‍රමවේදයේ තිබුණේ එක පැත්තක් ලෙවල් කරලා, අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරලා, ආපසු අංශක ගානක් කරකෝලා, ආපසු ලෙවල් කරනවා වගේ පියවර ගණනාවකින් කළ යුතු සංඛීර්ණ කතාවක්.

දැන් මෙන්න ඒ විද්‍යාත්මක ක්‍රමය අනුසාරයෙන් අපේ සහම්පතියා විසින් මූලිකව සකසා, අත්හදා බලා, ෆයින් ටියුනින් මගින් වැඩි දියුණු කර ඉදිරිපත් කරන ලද ජොකා ඇඳීමේ ක්‍රමවේදය.

පෙර සැකසුම්
  1. ඔබේ අදාල අවයව නිසි පරිදි නිව්ටන් ගේ දෙවන ගුරුත්වාකර්ෂණ නියමයට අදාලව තිබේදැයි බලන්න.
    (නොදන්නා අයගේ දැනගැනීම පිණිස ගුරුත්වාකර්ෂණය පිළිබඳ නිව්ටන් ගේ දෙවෙනි නියමය මෙසේය. ඕල් හැන්ගින් තින්ග්ස් මස්ට් බී වර්ටිකල් - All hanging things must be vertical)
  2. එසේ ඇතිනම් සාමාන්‍ය පරිදි ජොකා අඳින්න.
  3. එසේ නැතහොත් ඒවා අදාල නියමයට අනුව සකසා ගන්න. ඉන්පසු ජොකා අඳින්න.

පසු සැකසුම්
  1. ජොකා ඇඳි පසු තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  2. දැන් අංශක 90ක් හැරෙන්න.
  3. පෙර පරිදිම තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  4. වහාම අංශක 180ක් හැරෙන්න.
  5. තනි කෙලින් සිටගෙන යටිපතුල් තිබෙන තැනින් නොසොල්වා දණහිස් ඉදිරියට නවා ඒවා දෙපසට ඈත් කරන්න. උපකරණයේ අංගෝපාංගවල සුළු සුළු ස්ථාන වෙනස්කම් සිදුවෙනු ඇත.
  6. දැන් උපකරණ නිසි පරිදි සමතුලිතව තිබේ දැයි පිරික්සා බලන්න.
  7. එසේ නොමැති නම් ඉහත අංක 1 පියවරට යන්න.
  8. නිවරදිව සමතුලිත වී ඇති නම් පසු සැකසුම් අවසානයි. දැන් කලිසම අඳින්න.

මුලින් ජොකා ඇඳ පසුව ඊට උඩින් කලිසම ඇඳීමෙන් පසුවද ඉහත පසු සැකසුම් ක්‍රියාවලිය අනුගමනය කළ හැක.

අත්දුටුවයි! සත්තයි!!

-කතන්දරකාරයා

ප/ලි
එනි සිස්ටම් කැන් බී ටියුන්ඩ් (Any system can be tuned) කියලා කියනවානේ. ඇත්තම කියනවා නං මාත් මුල් "සහම්පති මෙතඩ්" එක පොඩ්ඩක් ෆයින් ටියුන් කරලා හැඩ වැඩ දාලායි මේ ලිව්වේ!

ප/ප/ලි
කාට හරි පුලුවන්ද මේකට විසියෝ වගේ එකකින් ෆ්ලෝ චාට් එකක් ඇඳලා එවන්න?

සිතුවම් නම් එපෝ!

Friday, 9 December 2011

පේරා පොරවල් සහ කට්ටෝ - Deciding between Peradeniya and Katubedda


දෙතුන් පාරක්ම එහෙන් මෙහෙන් ටච් කරපු කතන්දරයක් ටිකක් විස්තරාත්මකව කියන්නයි මේ යන්නේ.

මුලින්ම මං අර සිවකුමාර් ගේ ප්‍රශ්නය ගැන ලියද්දී තමයි පේරා පොරවල් සහ කට්ටෝ කියලා මට ලියවිලා තිබුනේ. ඒ හිතලා ලියලා නෙමේ නිරායාසයෙන් ම ලියවුණු කෑල්ලක්. ඒකට හේතුව මංතුමා පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත්තු පොරක් වීම බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ.

ඔතන කට්ටෝ කියන්නේ කටුබැද්දේ (ඔෆිෂියලි කියනවා නම් මොරටුව විශ්ව විද්‍යාලයේ) ඉගෙන ගත්තු පොරවල්වලටයි.

අපේ කාලේ උසස් පෙලට මැත්ස් කරලා වැරදිලා හරි හොඳට පාස් වෙච්ච කොයි එකාටත් එක දවසක බැරෑරුම් තීරණයක් ගන්න වුනා. ඒක තමයි ඉංජිනියරින් ඩිග්‍රියට ඉගෙන ගන්නවානම් ඇතුළත් වෙන්න අයැදුම් කරන්නේ පේරාදෙනියට ද, කටුබැද්දට ද කියන එක. ඒ කියන්නේ මනාප ලයිස්තුවේ උඩින් ම දාන්නේ ඔය තැන් දෙකෙන් මොකක්ද කියන එක තීරණය කිරීම. (දැන් නං මං හිතන්නේ රුහුණ සහ තව තිප්පොලකුත් තියෙනවද කොහෙද!)

ඒ දිනවල අපේ පවුල පදිංචි වෙලා හිටියේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ගම් පළාතේ වුනත් කොළඹ ඉස්කෝලෙකින් උසස් පෙළ කරපු මට ඔය තීරණය ගන්න එක ලේසි වැඩක් වුනේ නෑ.

කටුබැද්ද ද? පේරාදෙනිය ද?
පේරාදෙනිය ද? කටුබැද්ද ද?

නමුත් එකක් කියන්න ඕනෑ. මං තාත්තේ මට සමාවෙන්න ලිපියේ ලිව්වා වගේ, මගේ දෙමව්පියන් නම් මට තීරණය ගන්න ඉඩ හැරියා මිස කිසිම බලපෑමක් කරන්න ආවේ නෑ.

අපේ ඉස්කෝලෙන් උසස් පෙළ මැත්ස් කරලා පාස් වෙච්ච වුන් අහන අහන එකා යන්න ඉන්නේ කටුබැද්දේ. අන්තිමේදී ඒ අවුරුද්දේ තිස් තුන් දෙනෙක් විතර කොල්ලෝ ගියේත් කටුබැද්දටම තමයි!

පේරාදෙනියේ ස්ටාෆ් එක ළමයින් ට හොඳ නෑ මේ ගැන දන්න කියන මගේ යාළුවෙක් මට අවවාදයක් දුන්නා.

අපේ නෑදෑයෝත් ඉන්නවා කටුබැද්දට අල්ලපු ගමේ. ගණේමුල්ලේ ඉඳලා කෝච්චියේ දිනපතා යන්න දුර වැඩි නම් එහේ නතර වෙන්නත් පුළුවනි. එහෙම වුණොත් දෙමව්පියන්ට වියදමත් අඩුවෙයි.

කොටින්ම, පේරාදෙනියට යනවා කියන්නේ උඩුගම් බලා පීනීමක්, වචනයේ අර්ථපරිසමාප්තාර්ථයෙන් ම!

නමුත්, හන්තාන කඳුවැටිය, මහවැලි නදිය, මල් පිපුණු තුරු ලතා, ආදරවන්තයින් ගේ මාවත වගේ නවකතා, කෙටිකතා, සින්දු, චිත්‍රපටි වලින් කියවලා, අහලා, දැකලා තිබුණු දේවල් කොහෙම අමතක කරන්නද?

ටැක්නිකල් හන්දිය, ජේම්ස් ජෝර්ජ් හෝල් එක, බොල්ගොඩ වගුර ගැන නවකතා ලියවිලා තිබුණෙ නෑ ඒ කාලේ. දැනුත් තියෙනවද මන්දා ඒවා නම්!

ඉතිං මං පසුබට නොවී ඒ තීරණය ගත්තා.

මාස දෙක තුනකට පස්සේ පේරාදෙනියේ ගිහින් බැලින්නම් අපේ ඉස්කෝලෙන් හෝ ගාලා තුන් දෙනෙක් ඇවිත් හිටියා!

අද මේ තීරණය ගන්න කොල්ලෝ කුරුට්ටන්ට නම් අපේ කාලේ වගේ නෙමේ ආදුරුසෙට ගන්න තවත් පිරිසක් ඉන්නවා.

මෙන්න කටුබැද්ද ඉංජිනියරිං යන අය සඳහා: ආශ්චර්යමත් අනාගතයක් ගැන සිතන්න!




මෙන්න පේරාදෙනිය ඉංජිනියරිං යන අය සඳහා: මොනවා කියන්නද, දුක තමයි චමින්ද!




-කතන්දරකාරයා

ප/ලි:
තම තම නැණ පමණින් දැන ගත යුතු!

ප/ලි:
අවසාන ඡායාරූපය එකතු කරන ලද්දේ 2012 අප්‍රියෙල් 8 දිනය.

(images - various web sources)

Saturday, 29 October 2011

දැන්වීමයි-දිග ඒවා කෙටිකර දෙනු ලැබේ : Too long? Let me shorten it for you


ඉස්සර කාන්තා සඟරාවක් තිබුණා "ශ්‍රී" සඟරාව කියලා. දැන් නං දෙවෙනි ආත්මෙනුත් යන්න ගිහිල්ලා මයෙ හිතේ. අපේ අම්මා ඒ කාලේ ශ්‍රී සඟරාව එකතු කරලා තියෙනවා පොත් පෙට්ටියක්ම පුරෝලා.

මට මතක හැටියට, මේ සඟරාවේ තිබුණු එක විශේෂාංගයක් තමයි "මහ දිග කතාව".

ඕක "මහ දිග කතාව" කිව්වට මොකද සාමාන්‍ය කෙටිකතාවක්. සඟරාවේ තිබුණු අනිත් ලිපි එක්ක බැලුවාම, පිටු ගානක් දිගට යන හින්දයි මේ මහදිග කතාව කියලා නම වැටිලා තිබුනේ!

ඕනෑම මහදිග කතාවක් කෙටියෙන් කියන්න පුළුවන්.

ඒකට හොඳම ක්‍රමය තමයි කවි. විශේෂයෙන්ම අර -හයිකු- වගේ කෙටි කවි.

මෙන්න ඒ වගේ මහදිග කතා කෙටියෙන් කියවෙන කවි දෙකක්.

රිවර්ස් ඉංජිනියරිං දන්න අයට ඕන්නං මේ කෙටි කවි අනුකලනය කරලා අදාල මහදිග කතා ලියා ගන්නත් පුළුවන් වේවි. මෙන්න පලමුවෙනි කවිය.

1. ඒක දිග කතාවක්

ලෝකය කුරිරුය
කටුකය රුදුරුය

නිදහස අහිමිව
සිව් අවුරුදු සිර දඬුවමක් නියමව

හැම අතම අසහනය

... ...

අල්විස් පොකුණේ වතුර සීතලය
මල් පෙති සිනිඳුය
ලෝකය සොඳුරුය෴



මෙන්න දෙවෙනි එක.

2. සසර

පැතුම් සුන්විය
සිතුම් බොඳවිය
පියුම් පරවිය
සුසුම් හිමිවිය෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
මෙන්න කෙටි දේවල් දිග් කරගන්න ඕනෑ අයට මගෙන් උදව්වක්.

කෙටි කතන්දර දිග කරන හැටි මෙතනින් බලන්න.
නොදන්න දෙමලේ - නැවත කියවීම

(image: http://www.today-i-want.com/2011/06/mini-midi-maxi.html)

Tuesday, 25 October 2011

බූට් කාලා තියෙනවාද? - Never give up hopes!


චොකලට් කන්න කවුද අකමැති? කන නොකන එක තම තමන්ගේ කැමැත්ත අනුවයි.

ඒත් බූට් කෑම නං එපා වෙන දෙයක්. අනික බූට් කන්න ලැබෙන්නේ තමන් ගේ කැමැත්තම මත නොවෙයි. අනුන් ගේ නොකැමැත්තම මතයි!

හැබැයි, බූට් කෑවා කියලා, බලාපොරොත්තු අතහරින්න නම් නරකයි. කීප් ඔන් මාචින් සෝල්ජර්!

මෙන්න මං පේරාදෙනියේ දෙවෙනි අවුරුද්දේ දී ලියපු තවත් කවියක්.

තනිකමේ ගීතය

කුරිරු නියඟය රුදුරු විලසින්
තෙතමනය ලොව සිඳින්නට පෙර
පුරා වසරක් එපිට දිනයක
සිහින් සිරිපොද වැටුණ මතකයි

නැවුම් දිය බිඳු ගත ගැටෙන සඳ
සියුම් හැඟුමින් සිත පිරීලා
සුළං පහරක පුළුං විලසින්
සිහින ලොවකට ගියා මතකයි

එදා පොද වැසි වැටුණු දින සිට
මෙදා ගිනිගෙන දැවෙන දින තෙක්
නිදාගෙන ඇත වැසි කුමාරිය
පුරා වසරක් එක ලෙසින්

නිවා සියොළඟ දැවෙන දාහය
පොවා ජීවන නිමල පානය
සදා දිවියට මිහිර වෙන දෙන
අමා වැසි නුදුරෙම වසින්෴


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මා විසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

-කතන්දරකාරයා

ප/ලි:
චොකලට් කන්න අකමැති අයත් ඉන්නවා, දැනුයි මතක් වුනේ. ඒ තමයි රත්නායක මහත්තයා සහ රමණී මැඩම් දෙපොල.

(image: http://www.chocolate.com/products/chocolate-boot/)

Thursday, 13 October 2011

විස්ස විජ්ජාලය ගැන කයි දෙකක් - Eternal truth about University life?


ඔය උඩින් තියෙන්නේ ඉංජිනේරු පීඨ කලා කවයේ ෆේස් බුක් පිටුවෙන් උපුටාගත් ඡායාරූපයකි. මගේ කවියක් නොවේ!

මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ එක විනෝදාංශයක් වුනේ කවි ලියන එක. මේවා පල කෙරුණේ ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේයි.

මං කලා කවයට මුලින්ම සෙට් වෙන්න හේතුවත් කවිම තමයි. කැම්පස් යන්න කලින් ලියපු කවි එකතු කරලා හස්තද්වාරයෙන් ප්‍රකාශනය කරපු කවි පොතක්, ඒ දවස්වලම අපේ ඇන්ටි කෙනෙක් ඔෆිස් එකට ගිහින් එතන වැඩකරපු කවියෙකුට පෙන්නලා තිබුණා. මෑන්ස් ගේ යාළුවෙක් හිටියා ඉංජිනේරු පීඨයේ ඉගෙන ගන්න. මංතුමා පේරාදෙනි යන කොට ඒ පොර තුන්වන වසරේ.

පොර තමයි ඒ වසරේ අපේ ඉංජිනේරු පීඨ කලා කවයේ සභාපති වුනේ. මාත් කමිටු සාමාජිකයෙක් වුණා.

ඊටත් කලින්ම කළේ ලියවුණු කවි කලා කවයේ පුවරුවේ පළකරන්න දුන්නු එකයි.

සෙකන්ඩ් ඉයර් එකට ගියාම මට බාර වුණා කලා කවයේ එඩිටර් තනතුර.

මේ කවි දෙක ලියවුනේ ඒ කාලේ. මං කැමතිම කවි දෙකක් බව කියන්න පුළුවනි.

විස්ස විජ්ජාලය

ඈත ඉඳන් බලන කලදි
කහ පාටින් බැබලෙනවා
මල් විමනක් කියා සිතී
එන්නට සටනක් දෙනවා
ලඟට ඇවිත් බලන කලදි
රස්නය ටික ටික එනවා
මල් නොවේ ය
ගිණි ගොඩක් ය
ආපු එවුන් පිච්චෙනවා!෴


ඒකට සාක්‍ෂි දෙන්න ඕනෑ තරම් අය ඉඳීවි!

දැන් මෙන්න දෙවෙනි කවිය.

දම්වැල

ඔවුන්ට ද කිසිවෙකු
එසේ කියන්නට ඇත
ඔව්හූ අපට එය
පැවසුවෝය
අපි ද තව පිරිසකට
එය පවසන්නෙමු
ඔවුන් ද මතුදා මෙසේ
කියනු ඇත
අපේ කාලේ කැම්පස් එක
මෙහෙම නෙමෙයි හරි ශෝක්!෴


-කතන්දරකාරයා

ප/ලි:
තුන්වෙනි වසරේදී මං කලා කවයේ ලේකම් විදියට කටයුතු කළා. ෆයිනල් ඉයර් එකේදී ඊට වඩා බරපතල වැඩවලට කර ගහන්න වුනු නිසා, කලා කවයේ සංවිධාන කටයුතුවලින්, දුකෙන් වුනත්, ඈත් වෙන්න වුණා.

ඒ කතන්දර පසුවට.

(image: http://www.facebook.com/groups/170520374022/)

Wednesday, 12 October 2011

දුකට පුං! Am I a pessimist?


සමහර නවකතා, කෙටිකතා හෙම බැලුවාම ඒක නිකං හින්දි චිත්‍රපටියක් වගේ ය කියලා කියවෙනවා නේද?

ඒකට හේතුව තමයි, හින්දි විත්‍රපටි කියන්නේ කෙල්ලටයි, කොල්ලටයි මොන බාධක, හිරිහැර, කරදර, දුක්, කම්කටොලු ආවත් අන්තිමේදී දුෂ්ඨයාව පරදලා, තාත්තා ගේ කැමැත්ත එක්ක බඳින්න හම්බවෙන නිසයි.

හරියටම ඔය මොහොතේ අර නැතිවෙච්ච නිවුන් සහෝදරයාත් ඔතනට එනවා.

මඩොල්දූව, අඹ යහළුවෝ වගේ අපිට කියවන්න ලියපු ළමා කතා පවා ඉවරවුනේ ජොලි මූඩ් එකෙන්.

මං නං සාමාන්‍යයෙන් කැමති දුක්බර කතන්දරවලටයි, විරහ ගීතවලටයි, කඳුළු චිත්‍රපටිවලටයි.

ඒ හින්දමද මන්දා මං කවියක් වුනත් ලියන කොට ටිකක් දුක වැඩියෙන් හිතට අරගෙන තමයි ලියන්නේ.

මං පේරාදෙනියේ ෆස්ට් ඉයර් එකේ ඉන්න කාලේ ලියපු ඒ වගේ දුක්බර කවි රාශියක් පහුගිය දවස්වල මේ කතන්දර බ්ලොග් එකේ දැම්මා. පේරාදෙනි යන්න නොලැබුණ නිසා පොඩ්ඩක් හරි දුකක් හිතේ තියන් හිටපු සමහරු ඒ කවි කියවලා, ඒ ආකාරයෙන්ම හිතට අරං, තමන් ගේ හිත සතුටු කරගත්තා. මටත් සතුටුයි!

මගේ දුකට බර ගතිය අද මට වුනත් පෙනෙන හොඳම උදාහරණය තමයි මේ පහලින් තියෙන දුක කියන කවිය.

මේ කවිය ලියවුනේ අපේ ෆර්ස්ට් ඉයර් විභාග ප්‍රතිපල ආපු කාලේ. අපේ බැච් එකේ හිටිය 250 දෙනාගෙන් විෂයයන් සේරම පාස් වුනු 89 දෙනාගෙන් එකෙක් මංතුමා.

ඒ ජොලිය මගේ හිතේ තිබිලා මගේ ආකෘතියේ කවියක් විදියට එළියට ආවේ මෙන්න මෙහෙමයි. බලන්න එකෛත් හැටි නේද?

දුක

ආණ්ඩුවෙ විභාගය
සමත්වුණු වරදට
දඬුවම
කම්මලක හිරගෙයට
බරපතල වැඩ ඇතුව

මුල් වසරෙ විභාගය
සමත් වුණු වරදට
දඬුවම දිගු විය
තවත් තුන්වසරකට


-කතන්දරකාරයා

ප/ලි:
ෆේල් වුණා නම් මොනවා ලියවෙන්න තිබුණාද මන්දා?

(image: http://www.defensivepessimism.com/)

Saturday, 8 October 2011

කැම්පස් අයියාගෙන් ඒ ලෙවල් කරන මල්ලී ට ලිපියක් - A letter never sent


ඉස්කෝලේ උසස් පෙල කරන කාලේ අපි හැමෝගෙම සිහිනය වුනේ කැම්පස් යන එකයි. ලංකාවේ තියෙන ආර්ථික ප්‍රශ්ණ නිසා තාමත් හැමෝටම ඒ සිහිනය සැබෑ කරගන්න බැහැ.

යන්න ඕනෑ හැමෝටම කැම්පස් යන්න ප්ලෑන් එකක් ගැන කතන්දරයක් මං මේ දවස්වල ලියාගෙන යනවා.

කැම්පස් සිහිනය සැබෑවෙලා මං පේරාදෙනි ගිහින් එහෙදී ලියපු කවි මේ කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර විදියට සෑහෙන්න දාලා තියෙනවා. ඒවා බහුතරය මං දැම්මේ සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනුයි. අද සෙනසුරාදා නිවාඩු පාඩුවේ ඉන්න දවස නිසා හිතුනා ඔන්න ඔහේ තව එකක් දාන්න.

මේක මං ලිව්වේ මං පේරාදෙනියේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්න කාලේ දෙවෙනි පාර ඒ ලෙවල්ස් කරන මගේ මල්ලී ගැනයි.

කැම්පස් අයියාගෙන් ඒ ලෙවල් කරන මල්ලී ට ලිපියක්

සරසවියට පිවිසෙන්නට සිතූ පැතූ ඒ දිනයේ
තුන් යාමෙම නිදිමරාන පාඩම් කළ නමුත් මලේ
අද නුඹ වෙහෙසෙන හැටි දැක
දුකක් නැගේ මගේ සිතට
සිතේ මැවෙන සරසවි බිම සක්වල තුල නැතේ මලේ

ලස්සන මල් නැතිය පිපී මුළු ලෝකෙම වේලිලා ය
මහවැලි ගඟ ගැයූ ගීත වැලිගොඩ මැද හිරවෙලා ය
ලස්සන කඳුවැටි නැත අද පිච්චිලාය කරවෙලා ය
හිතන් උන්නු ලෝකෙ නෙමේ වෙන කොහේද තනිවෙලා ය

නැතේ කුසට රස ආහාර කුස ගින්නෙන් හැකිළිලා ය
නැතේ සිතට සැනසිල්ලක් දහසක් බර පැටළිලා ය
හිතේ තිබුණු නිදහස් බව අද ඉබේම නැතිවෙළා ය
සිව් වසරක් සිර ගෙය තුල දුක් විඳින්න සිදුවෙලා ය

සිතන සිතුම් බොඳවෙනවා
පතන පැතුම් සුන්වෙනවා
සරසවි ජීවිතය අග්නි ජාලා මැද ගෙවේ මලේ
ඒත් එපා පැකිලෙන්නට
තව තව උත්සාග හනිං
අයියණ්ඩී වැටුණු වලේ උඹත් වැටි බලන් මලේ


-කතන්දරකාරයා

ප/ලි:
මල්ලී ට ලිපියක් කිව්වට මේක පොර කවදාකවත් දැකලා නැතුව ඇති. බ්ලොග් එක බැලුවොත් ඔන්න අද දැක ගනියි!

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මවිසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://dearbrotherletters.wordpress.com/)

Wednesday, 5 October 2011

මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ? - My way or no way!


කාලෙකට ඉස්සර ඉඳලා අද දක්වාම මං නිතරෝම වගේ පාවිච්චි කරන ජෝක් එකක් තමයි මෙන්න මේක.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් ඔබේ පැත්තය, අනික හරි පැත්තය!"

මං ජොලියට ඔය කතාව කිව්වට අපේ සමහර ගොයියලා ඉන්නවා, ඇත්තටම හිතන්නේ මෙන්න මෙහෙමයි.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය!"

මෙන්න ඒ වගේ තමන්ගේ මතයම හරි කියලා හිතපු පොරක් ගැන පොඩි කතාවක්.

ඔන්න මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ කාලයක් තිස්සේ දන්න කියන මගේ යාළුවෙක් පේරාදෙනියට තේරුණා.

මේ කියන දවස්වල අපිට යුනිවසිටියේ ෆර්ස්ට් ඉයර් අවසානයේ තියෙන දිගු නිවාඩුව. ඉතිං, පොර මට එහේ යන්න තියෙන දවස මට දන්නපු නිසා මාත් සෙට් වුණා එදාම පේරාදෙනියේ යන්න.

පොරයි තාත්තයි දෙන්නම ආවා. අපි කොළඹ ඉඳලා කෝච්චියේ යි පේරාදෙනියේ ගියේ.

ඉතිං එදා මං වීරයා සේ අංකල්වයි, ෆ්‍රෙන්තාවයි, පොර ගේ ෆැකල්ටියටයි, රෙසිඩන්ෂල් හෝල් එකටයි, සෙනෙට් එකටයි යනාදී මෙකී නොකී තැන්වලට එක්ක ගෙන ගියා.

එදා අපි එහේ නතර වුණා. ෆ්‍රෙන්තා හිල්ඩා එකේ. මං අක්බාර් එකේ. අංකල් ගියා නුවර නෑදෑ ගෙදරක. පහුවදා අංකල්ට ඕනෑ වුණා පුතා එක්ක නුවර දතේ පන්සලට (=ටෙම්පල් ඔෆ් ද ටූත්) ගිහින් වැඳ පුදා ගන්න.

පහුවදා නුවරින් තුනයි ගානට පිටත්වෙන කෝච්චියේ ආපහු තුන් දෙනාම එකට කොළඹ යන්නයි අපි කතා වුනේ. තාත්තයි පුතයි නුවර ඉඳලා එන කෝච්චියට මං පේරාදෙනියෙන් නගින්න මං පොරොන්දු වුණා.

ඔන්න මං පේරාදෙනිය හන්දිය දුම්රිය ස්ථානයේ ඉන්නවා. මගේ මිත්‍රයා ජනේලෙන් ඔළුව දාලා අත වනාගෙන ආපු නිසා මං දුවලා ගිහින් ඒ පෙට්ටියට ම නැග්ගා.

අපි දෙන්නා ඊයේ කතාව එතන ඉඳන් පටන් අරගෙන ඔන්න කොළඹ යනවා.

කඩුගන්නාව හරියෙදී මෙන්න පොර ඇහැව්වා මෙහෙම.

"මචං කතන්දර, අක්බාර් හෝල් එකේ ඉඳලා සරසවි උයන ස්ටේෂමට එන්න විනාඩි කියක් යනවාද?"

සරසවි උයන කියන්නේ මහනුවර ස්ටේෂමත්, පේරාදෙනිය හන්දිය ස්ටේෂමත් අතර තියෙන එකම ස්ටේෂන් එකයි. මේක තියෙන්නේ විශ්ව විද්‍යාල සීමාව මැද.

"මං නං දන්නේ නෑ මචං!" මං කිව්වා "මං කවදාවත් අක්බාර් එකේ ඉඳලා සරසවි උයන ස්ටේෂන් එකට ගිහිල්ලා නෑ."

"මොනවා? ඇයි බං උඹ අද මේ කොච්චියට නැග්ගේත් සරසවි උයනෙන් නේ!"

"නෑ මචං, මං නැග්ගේ පේරාදෙනිය හන්දිය ස්ටේෂන් එකෙන්."

"අනේ පලයං බං යන්න බොරු කියන්නේ නැතුව! මං ජනේලෙන් බලාගෙන නේ ආවේ. උඹ නැග්ගේ සරසවි උයන ස්ටේෂන් එකෙන්මයි."

"මචං, සරසවි උයන තියෙන්නේ ගලහ පාර කිට්ටුව. අක්බාර් හෝල් එකේ ඉඳලා මාර දුරයි. මං මොකටද ඒකට යන්නේ, මේ විනාඩි දෙක තුනෙන් එන්න පුළුවන් පේරාදෙනිය හන්දිය ස්ටේෂම තියෙද්දී?"

මූ වැඩේ අතහරින්නේම නෑ.

"මට නං හොඳටම ෂුවර් කතන්දර, උඹ අද නං නැග්ගේ සරසවි උයනෙන් බව!"

අන්තිමේ දී මං මෙන්න මෙහෙම කිව්වා.

"මචං මං දැන් පහුගිය අවුරුද්දම හිටියේ පේරාදෙනියේ. සිකුරාදාට ගෙදර යන්න කෝච්චියට නැග්ගේ පේරාදෙනිය හන්දියේ ස්ටේෂන් එකෙන්. නමුත් ඉතිං උඹනේ මට වඩා මං කරන කියන දේවල් දන්නේ! උඹ කියනව නං මං පිළිගන්නම් කෝ මං නැග්ගේ සරසවි උයනෙන් කියලා!"

එච්චරයි ඒ කතාව.

අපි වෙනිං මාතෘකාවක් පටන් ගත්තා.

"මචං අර පේන කන්ද, බතලේගල ද, බයිබල් රොක් ද?"

-කතන්දරකාරයා

ප/ලි:
තවත් මේ වාගේම කතාවක් තියෙනවා කියන්න.

මේ අවූරුදු විස්සේ කොල්ලෙක් ගේ එකක් නෙමේ, ඒ වගේ දෙගුණයක් වයස කාන්තාවක ගේ එකක්. ඒ කතාව මීලඟට.

(image: http://maps.google.lk)

Saturday, 1 October 2011

කැම්පස් ජීවිතේ මල් (මල් වැනි කෙල්ලන් ගැන හෝ ඔතපු මල් ගැන හෝ නොවේ!) - Oh, what a feeling!


දැන් ජීවිතේ ගෙවෙන්නේ අක්බාර් එකේ. මාකස් එකේ ඉන්න කාලේ වගේ උදේටයි හවසටයි ඇවිදින්න නැති නිසා දැන් වැඩිපුර පැය බාගයක් ජීවිතේට එකතු වෙලා.

ඒ මදිවට ඉතිං දැන් අපිට රෑට බත් කන ගමන් බලන්න ටෙලිවිෂන් එකකුත් තියෙනවනේ.

ජීවිතේ මල් කියන්නේ මෙන්න මේකටයි.

මේ කතාව කැම්පස් කෙල්ලෝ ගැන හරි ඔතපු මල් ගැන හරි නොවේය කියලා මං කිව්වේ ඒකයි!

අක්බර් භෝජනාගාරයේ සිට ලියමි

ගල් තිබුණා බත්වල
ගෙඩි ගෝවා මැල්ලුම
පතෝල සහ මුංඇට
කාට හැකිද කන්නට

ඒ ඉස්සර

ගල් හැපුනාවේ ඔහේ
දිය රහ සිහියට නොයේ
බත් කෑවත්, නැතත් මොටද?
ටී.වී. අප හට තියේ

රස ගුණ නොම සිතපල්ලා
විගහට බත් ගිලපල්ලා
ටෙලිවිෂණය නරඹන්නට
බංකුවෙ පෙල ගැහියල්ලා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි
මීට අමතරව ඒ දවස්වල ජීවිතේ මල් තිබුණා නං ඒ ඉතිං බගන්දරා මල් තමයි!

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී මවිසින් හස්තද්වාරයෙන් එලිදක්වන ලද "හන්තානේ කඳු පාමුල" කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: )

Thursday, 29 September 2011

අක්බාර් හෝල් එකට ටෙලිවිෂන් එකක් ලැබේ - All problems solved!


මට පේරාදෙනියේ ගිය ගමන් නතර වෙන්න නේවාසික පහසුකම් ලැබුනේ මාකස් ප්‍රනාන්දු හෝල් එකේයි. මේ හෝල් එක තිබුනේ කන්දක් මුදුනේ, මාර ලස්සන තැනක්. ඒත් ඉතිං දුර වැඩියි කම්මලට එතන ඉඳලා.

කොහොම හරි අන්තිමේ සෙකන්ඩ් ටර්ම් එකේ ඉඳලා යාන්තං අක්බාර්-නෙල් එකේ ගජේකට සෙට් වෙන්න පුළුවන් වුණා.

මේ කාමර පොඩියි. ඇඳන් දෙකයි, මේස දෙකයි, රවුම් මේසයයි ඇඳි පුටුවයි තිබ්බහම ඇවිදින්න ඉඩ නෑ. බොහොම අමාරුවෙන් තමයි ජීවත් වුනේ.

හැබැයි මාකස් ප්‍රනාන්දු ශාලාවට වඩා අක්බාර් එකේ ඉන්න එකේ ෆැකල්ටියට ලඟ එකට අමතරව තව එක වාසියක් තිබුණා.

ඒක තමයි අක්බාර් එකේ තිබුණු ටෙලිවිෂන් එක!

මේ කවිය ඒ සුන්දර වස්තුව ගැන ලියවුණු එකක්.

ටෙලිෆන්කන්ට් කුමාරියේ

කම්මල් බිම තුල ගෙවෙනා දිවියේ
ඉතිරිව ඇති සැණසුම ඔබ වේ
පාළුව අඳුරුව ගිය ජීවිතයට
මිහිර ගෙනෙන කුමරිය ඔබ වේ

මල හිරු අහසේ සැඟවෙන මොහොතේ
මගේ ලොවට විත් තනිය මකන්නේ
විසිතුරු දේදුණු සමනල පැහැයෙන්
හදවත සතුටින් පුරවාලන්නේ

අද සවසත් මා වෙතට තුරුලූ වී
ලොවේ සොඳුරු බව කියා දියන්නේ
හෙට හවසත් යළි හමුවෙන අටියෙන්
අඳුරු අහස තුල සැඟවීයන්නේ

මගේ ලෝකයට සැනසුම ගෙන එන
රූපවාහිනී කුමරි ඔබයි
සදා අඳුරු මේ ලොව වසනා තුරු
මගේ ආදරය ඔබට හිමියි෴



අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
ගංගා ගැන, මුහුදු ගැන, කළුගල් ගැන කවි ලියන්න හොඳ නං, මේ කතාකරන, සින්දු කියන ප්ලාස්ටික් මෙටල් පෙට්ටිය ගැන කවියක් ලිව්වහම මක්ක වෙනවද?


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.marcelstvmuseum.com/)

Tuesday, 27 September 2011

හොඳම කවි බූට් කවි ද? Realisation


සාහිත්‍ය මාසය වෙනුවනේ මං මේ කයි-කතන්දර පලකරන්න පටන් අරං සතියකට විතර පස්සේ මං දාපු එක කවියක්, ඊට කලින් දාපු ඒවට වැඩිය චෝයි කියල බින්දි කියල තිබුණා. මං එදා කිව්වේ, කොහෙමටත් බූට් කවි තමයි නියම රහ තියෙන්නේ කියලයි. හරියට විරහ ගී වගේ.

අමරදේවගේ කඳුළු කතාවේ නිමක් දුටුව දා කියන හැපි එන්ඩින් ලව් සෝන්ග් වඩා මං කැමති මගේ කඳුලින් ඔබේ දෙනුවන් දොවා ලන්නට වරම් නෑ කියන විරහ ගීතයටයි.

මට මතකයි රෝහණ බෝගොඩ කියලා ගායකයෙක් හිටියා (ලඟදී සින්දුවක් ඇහුනේ නෑ ඒකයි හිටියා කියලා ලිව්වේ) මිනිහා කියන්නේම විරහ ගී විතරයි.

මේ පල්ලෙහා දාලා තියෙන කවි දෙකත් මං පේරාදෙනියේ හිටිය මුල් අවුරුද්දේ ලියපු මං කැමතිම කවි දෙකක්.

I: උපමාව

ඔබයි මමයි සඳුයි හිරුයි සේ කියා
උවම් යොදා කවක් ගෙතූයෙමි එදා
එනමුදු මට නොම සිහිවිය ඒ වෙලේ
සඳුයි හිරුයි කිසි කලකදි එක් නොවේ!෴



II: සත්‍යය

ඔබ
සඳ මෙනැයි මම සිතූයෙමි

මා නිවරදිය

සඳ දෙස බලා සැනසුනද
සඳට ලංවිය නොහැක

සඳෙන් බිඳුණද අඳුර
හිමිකර ගත නොහැක සඳ සදා!෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
සාහිත්‍ය මාසය ඉවර වෙන්න තව දින කීපයයි තියෙන්නේ. ඔහොම යමු, ඔහොම යමු!

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: Microsoft Clip Art)

Saturday, 24 September 2011

ගෙදර යන්න කලින් දා - A day before the vacation


පේරාදෙනියේ ඉංජිනේරු පීඨයේ අපේ පළමුවෙනි වසර ඇරඹුනේ ඔක්තෝම්බර් මාසේ පළමු සතියේ සඳුදා.

ඒ දවස්වල අධ්‍යයන අවුරුද්දකට වාර තුනක් තියෙනවා. මැද්දේ නිවාඩු දෙකයි, දෙසැම්බර් සහ අප්‍රියෙල්වල. වසර අවසානයේ තමයි විභාග.

මේ කවිය මං ලිව්වේ අප්‍රියෙල් මාසේ.

දැන් නං මේ කයි-කතන්දර (කියවපු අයට) එපාවෙලා ඇති නේද? මොනව කරන්නද ඉතිං සාහිත්‍ය මාසෙ වෙච්චි කොට?

විඳගන්න බැරිනම් විඳවන්නම වෙනවා!

අවුරුද්දට ගෙදර යන්න කලින් දා

පේරාදෙනි ගිණි අව්වේ තැම්බී ගිය සිතට ගතට
කෝස් වර්ක් ඩ්‍රෝවින් කඩු පොත් මැද ගෙවෙනා දිවියට
සිසිලක් සතුටක් සුවයක් සැනසිල්ලක් ලබා දෙන්න
අවුරුදු එනවා, නව වසරක් එළැඹෙනවා

මැස්සන් මකුණන් පිරිච්ච කාමරවල දුක් විඳිමින්
කැන්ටින් බත් ගිල දමමින් දිනෙන් දිනම කෙට්ටු වෙවී
නිදි නොලබා දුක් විඳි දිවියට හෙට සිට විරාමයක්
අවුරුදු කුමරිය එනවා මාත් එක්ක හිනාවෙවී

අම්මා උයනා රසවත් බත් කන්නට හැකිවෙන්නේ
සයිකලයෙන් ගම පුරාම ඇවිදින්නට හැකිවෙන්නේ
නිදි නොමරා සුව යහනේ නිදාගන්න හැකිවෙන්නේ
සියල්ල අමතක කරළා සිනාසෙන්න හැකිවෙන්නේ

පොල්පිති බැට් එක අරගෙන මිදුල පුරා ක්‍රිකට් ගසා
වතුර මලෙන් මලකඩ නොව සීතල ලිඳකින් නාලා
අවුරුදු දා පන්සල් ගොස් වේලුණු සිත සනසාගෙන
තුටින් සිටිය හැකි වේවී කැවුම් කෙසෙල් ගෙඩි කාලා

කම්මල් බිම දුක් විඳින්න හිරගෙය වෙත එන්න කලින්
ජීවිතයේ නියම සුවය විඳිමින් කල් යැවූ ලෙසින්
ආයෙත් සති දෙකක් තුනක් සිත සතුටින් කල් යවන්න
අවුරුදු එනවා, නව වසරක් එළැඹෙනවා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි
ගෙදර යනවා කියන එකත් ඉතිං මෙහෙමයි වෙන්නේ. මුල් මාසේ හැම සතියෙම ගියා සිකුරාදා හවස ගිහින් ඉරිදා හවස එන්න.

පස්සේ ඒක සති දෙකකට වරක් යන්න අඩු කළා.

ඊලඟට මාසෙකට පාරක් වගේ.

ඒත් ඉතිං, ඒ මට ගෙදරට තිබුනේ හැතැප්ම පනස් පහක් විතර හින්දා. යාපනේ, මඩකළපුව, ත්‍රිකුණාමලේ කෂ්ටිය නං මං හිතන්නේ ගෙදර ගියේ වාරාවසාන නිවාඩුවට විතරයි.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.primeradio.lk/)

Thursday, 22 September 2011

කොට ඒවද හොඳ, දිග ඒවද? - More short poems from my Peradeniya days


මං නං හිතන්නේ ඔය "කවිය කියන්නේ රසවත් වැකියකි!" ද මොකක්ද කියන පරණ සංස්කෘත පඬිවඳන නම් මහ පිස්සු කතාවක් තමයි.

මේක අහල කවි හදන්න හිතන සමහරු වාක්‍යයක් තුනට හතරට කඩල දාන්නත් ඉඩ තියෙනවා. එහෙම කවි ලියන්න පුළුවන් නම් මාසෙකට කවි පොත් දෙකක් විතර ලියන්න පුළුවනිනේ.

මේ පහලින් තියෙන "වෙනස" කියන කවිය ලියන්න මට මාස පහක් හයක් ගියා.

පේරාදෙනියේ දෙවෙනි වාරයේ (ඒ දවස්වල අධ්‍යයන වර්ෂයකට වාර තුනයි) මුලදී හිතට ආපු සිතුවිල්ල ඒ දවස්වල ජනප්‍රිය කෙටි කවි රටාවෙන් කවියක් විදියට ලියවුනේ ෆර්ස්ට් ඉයර් එක්සෑම් එකත් කිට්ටුවෙලා!

වෙනස

වදන් දහසකින්වත්
නොහැකිවිය වටහා දෙන්නට
ඇයට
ආදරයේ මිහිරි බව

නමුදු

එකදු වදනක් නො දොඩා
වටහා දුන්නීය ඇය මට
ආදරයේ කටුක බව෴



ඊලඟට තියෙන "කණපිට" කියන කවියත් ඒ වගේම සෑහෙන්න තටමලා, තටමලා එළියට දාපු එකක්. මාස ගණනක් ගියා මේක ලියන්නත්!

කණපිට

ආදරය යනු
සිසිල සැණසුම සුවය ගෙන දෙන
හදෙහි සොම්නස සතුට පුරවන
සිතෙහි ඇතිවන හැඟීමක් යැයි
අසා තිබුනෙමි පෙර දිනේ

ආදරය යනු
දුක ද කඳුළ ද නිබද හිමිවෙන
හදෙහි දොම්නස සුසුම රඳවන
සිතෙහි නොරුඳෙන සිහිනයක් යැයි
හැඳින ගත්තෙමි අද දිනේ෴


මේ කවි ගැන තව විස්තර කියන්නත් පුළුවනි ඔන්නම්. ඒත් මොකටද, නේද?

අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://usbottlesandfriends.wordpress.com/2011/02/10/let-it-burn/)

Tuesday, 20 September 2011

බ්‍රහ්මදත්ත කාලේ සිට පැවතෙන තක්සලා වේ ගීතය අද නව රිද්ම (රැප්) සමග - Cover version of a golden oldie


අර බ්‍රහ්මදත්තලා (ඔව්, එක්කෙනෙක් නෙමේ කප්පරක් හිටියා එකම නම තියෙන රජ පොරවල්) බරණැස් නුවර රජ කොරන කාලේ රජ්ජුරූස් ලා ගේ පුත්‍ර රත්නර්ස් ලා ට, තව තව සිටු කෂ්ටියගේ කොල්ලන් ට යන්න දාල තිබුණ ප්‍රයිවේට් යුනිවසිටියක් තක්සලා කියන නගරේ.

ඔය බණ කතාව හින්දා ලංකාවේ යුනිවසිටිවලටත් සාමාන්‍යයෙන් මේ තක්සලාව කියන නික් නේම් එක පාචිච්චි කෙරෙනව තවමත්, විශේෂයෙන්ම ඔය සාහිත්‍යමය වැඩ කටයුතුවලදී.

අපේ පොරවලුත් ඉතිං කැම්පස් සිලෙක්ට් වුණාම, "දෙඤ්ඤං ජම්බු!" කියල හිතල ශිල්ප දක්වල කුමාරියවත් සැට් කරගන්න තමයි එහේ යන්නේ.

මේ කවිපෙල මං ලිව්වේ ෆර්ස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ටර්ම් එකේ විතර.

තක්සලා වේ ගීතය

"(පරණ කෑල්ල)
අල්ලට සිඟාවත් රස නැති අහර කකා
වල් කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉඳිරි වැඩ තකා"

(රැප්)
ජීවිතේ කිසි කලෙක දැක නොමැති බත(*) සමග
ගෙඩි ගෝව මුං ඇට ද තක්කලි ද අනමිනා
බඩේ ගින්දර නිවා ගනු පිණිස ගිල දමමු
කැන්ටිමේ ශුද්ධ වූ බත් තැටිය සසොබනා

මැසි මදුරු උවදුරෙන් කෙසේ හෝ බේරිලා
මකුණන් ට ලේ පිනට දිදී කල් යවමිනා
කැඩී ගිය සයනයේ කොහු නොමැති මෙට්ට මත
නිදා ගමු වැතිරිලා රෑ පුරා සතොසිනා

දිවි ගෙවන්ණට පවා හිමවූ කල මිළ මුදල්
අළුත් ඇඟලුම් ඇඳුම් ගන්න නොම සිතමිනා
මෙහේ එන්ණට කලින් ගත් ඇඳුම් කල් ගියද
තව තවත් අළුත් සේ සෝදමින් අඳිමිනා

හිස මතට පැටවි ඇති සියළු බර දරාගෙන
කෝස් එකෙ සිරත්වය ගැන තවත් හිතමිනා
ඇල්මකින් නොවූවද, කළ යුතුව ඇති හෙයින්
ශිල්ප උගනිමු ඉතින් දුක් ගීත ගයමිනා

(අළුත් කෑල්ල)
දිව රවටවා හෝ නීරස අහර කකා
රන් බග් ගසා නිදමින් පින් පව් නොතකා
ගජයක් ගසා වැරහැලිවල අඩුව මකා
ඇල්මක් නැතත් උගනිව් ඉදිරි වැඩ තකා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
(*)මෙතන දී, අර බත ගැන කියල තියෙන කතාව මේකයි.

මං පේරාදෙනියේ දී බත් කාපු මාකස් ප්‍රනාන්දු, අක්බාර්, වූස්, ගෙම්බා වගේ හැම කැන්ටිමකමත්, බත් අම්මලා විකුණපු බත් පාර්සල් වලත් තිබුනේ එක හා සමාන නීරස, ඇට ලොකු හාල් ජාතියකින් උයපු බත්. ගෙදරදී, මිල්චාට්, රතු කැකුළු සහ සම්බ කාල පුරුදුවෙලා තිබුණු මට මේ බත් නං දිරෙව්වෙම නෑ.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://artofthaimassage.com/page/2/)

Monday, 19 September 2011

පරිප්පු හොද්දා - Dining @ Sangamtta Hall, Peradeniya


අපේ කාලේ පේරාදෙනියේ නේවාසිකාගාරවල නැවතිලා හිටිය සමහර කොල්ලෝ දවල්ට, රෑට භෝජනාගාරයේ දී කන්න ගිහින් මුළු මුදල ගෙවලා බත් පිඟානක් අරගන්නේ නැතුව ඒකෙන් 25%කටත් අඩුවෙන් ගෙවලා වෙන කෙනෙකුගේ පිඟානට "අඩු"වක් ගැනීම ගැන ලියපු කතන්දරේ මතකයි නේද?

මෙහෙමෙ "අඩු" කාපු සියළු දෙනාව සියළු දෙනාවම ඒක කලේ මුදල් පිරිමසා ගන්න බවට කිසිම සැකයක් නෑ. දෙමව්පියන් ගේ එවන සල්ලිවලින් යැපෙන ගමන් පූර්ණකාලීනව ඉගෙන ගන්නව කියන එකත් ලේසි වැඩක් නෙමේ ජීවිතයේ ඇතිවෙන අවශ්‍යතා ගැන බලන කොට.

එහෙම "අඩුව" ගහලා ඉතුරු වෙන සල්ලිවලින් කෑමෙන් පසු අතුරු පස විදියට සිගරුට් එකක් ගහන උනුත් හිටියා. එහෙම බැලුවොත්, තමන් අරං සිගරැට් නොබී, අනුංගෙන් බට් එක ඉල්ලගෙන බොන උං පවා කොච්චරක් කියල හිටියද?

නේවාසිකාගාරයේ කැෆටේරියා එකෙන් කනවයි කියලා හැමදාමත් මුං ඇටයි, රාබුයි, කොල ගෝවා මැල්ලුමයි කන්න පුළුවනියැ.

ඉතිං කොල්ලෝ හුඟ දෙනෙක් පුරුදු වෙලා හිටිය විශේෂයෙන් ම සති අන්තයේ රෑට සංඝමිත්තා හරි රාමනාදන් වගේ කෙල්ලන් ගේ හෝල් එකකට ගිහින් කන්න. මේ තැන් දෙකේම ගෝදම්බ රොටි කන්න පුළුවන්. පරිප්පු එක්ක රොටි දෙකක් කෑවොත් මස් කෑම එකකට වැඩිය සුළු ගාණයි වැඩිපුර යන්නේ.

ඊටත් වැඩිය වැදගත් දේ තමයි සංඝමිත්තා භෝජනාගාරයේ කැෆටේරියාව කරපු මුදළාලි "අඩු"වලට සල්ලි ගත්තේ නැති වීම.

කෙල්ලෝ බහුතරයක් දෙන බත් එකෙනුත් බාගයයි නේ කන්නේ. ඉතිං, මුදළාලි ට "අඩු" නිකං දෙන එක ලොකු දෙයක් නෙමේ. ඇත්තටම කියනව නං පොඩි ඇඩ්වටයිසින් ටූල් එකක්.

ඔන්න දවසක් අපේ කට්ටියක් ගියා සංගමිත්තා හෝල එකට රෑට කන්න. මෙතන කැෆටේරියා එකේ මුදලාළි ගේ ගොදම්බ රොටී වලට අමතරව, ඉඳි ආප්ප හෙමත් තිබුණා.

රොටී දෙකයි, පරිප්පුයි අරගෙන කාපු අපේ එක පොරක ගේ බඩගින්න ඒකෙන් ඇරුනේ නෑ. ආපහු රොටී අරං කන එකටත්, අළුතින් ම බත් පිඟානක් අරං කන එකටත් වැඩිය හොඳම වැඩේ, මුදළාලි නිකං දෙන බත් "අඩුව" අරං කන එක.

ඉතිං අපේ පොර ගිහිල්ලා මුදලාළිට පිඟාන දීලා "අඩුවක්" ඉල්ලුවා.

මුදලාළි ගේ මතකය හොඳයි. පොරට මතක තිබිලා අපේ මෑන් කෑවේ ගොදම්බ රොටි ය කියන එක.

මුදලාළි කලේ, පිඟානට පරිප්පු හොදි ටිකක් බෙදලා දෙන එකයි.

බත් පිඟන් කාලක් නිකං කන්න ගිහින් පරිප්පු හොඳි ටිකක් විතරක් පිඟානට ලැබුණු අපේ බූවා ට එදා ඉඳලා අපි කියන්නේ "පරිප්පු හොද්දා" කියලයි.

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං "පරිප්පු හොද්දා" ලොකු සිරා පොරක්! හැබැයි තාම මතක ඇති මං හිතන්නේ මේ කතන්දරේ.

නේද මචෝ?

http://curryworld.wordpress.com/)

Saturday, 17 September 2011

කයි-කතන්දර ~ ආදරය ගැන කෙටි කවි දෙකක් : Is love short?


මේ දවස්වල ෆේස් බුකියේ මං දැක්කා හයිකු වගේ කෙටි කවි පෝලිමේ ලියවෙනවා ටොන් ගණනේ, මාත් ලයික් කරල ඉන්න මොකක්ද කයියට බර ගෘප් එකක.

හයිකු කියන්නේ නම් එක්තරා මාත්‍රා රටාවකට අනුව බොහෝ විට පරිසරය ගැන ලියවෙන ජපන් කවි විශේෂයක්.

දැන් වගේම කාලෙකට ඉස්සර සිංහල කවියන් අතරත් මේ ආකාරයේ කෙටි කවි විශේෂයක් ඉතා හොඳින් ජනප්‍රිය වෙලා තිබුණා.

මේ ඒ කාලයේ මංතුමා ලියපු කවි දෙකක්.

මේ කවිවලත් තේරුම වගේම පොඩි පහේ ආකෘතියකුත්, තාලයකුත් තියෙනවා!

ඒ එක්කම කියන්න ඕනෑ, පුංචියට, කොටට, තිබුණයි කියල මේ කෙටි කවි ලියනවාය කියන්නේත් ලේසි වැඩක් හෙම නං නෙමේය කියන එක.

1. ප්‍රහේලිකාව
ලොවෙහි සියළු දුක් දොම්නස්
මැද සැනසුම
ආදරයයි

ලොවෙහි සියළු සැනසුම් මැද
දුක දොම්නස
ආදරයයි෴


2. ආදරය සහ ජීවිතය
ආදරය සුන්දරය
ආදරය නොහඳුනන්නන්හට නොව
ආදරය හඳුනන්නන්හට

ජීවිතය කටුකය
ආදරය නොකරන්නන්හට නොව
ආදරය කරන්නන්හට෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
මගේ මිතුරෙක් මට ඊයක් එවලා තිබුණා මං කතන්දර මාතෘකාවේ සිංහල පදය ඉංගිරිසියට පරිවර්තනය කරන විදිය හරි නෑ කියලා.
මං පොරට කියලා යැව්වා, ඒ සේරම (මාතෘකාවේ දෙකොටසමයි, කතන්දරයයි, ප/ලියයි) කතන්දරයේම කොටස් බව!


(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.themattefinish.com/blog/tag/too-many-electronics/)

Friday, 16 September 2011

මුදළාලි ගෙ මෝඩ පුතා - A case for private universities!


පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන විවිධ අදහස් ආපහු ඇහෙන්න පටන් අරන්. මේ දවස්වල නං ඒකට මූලික හේතුව වෙලා තියෙන්නේ මාලඹේ දාලා තියෙනවා ය කියන ඇම්බීබීඇස් දෙන ස්ථානයයි.

අපේ යුනිවසිටි කාලේත් ඔය වගේ කචල් තිබුණා විටින් විට. ඇම්බීබීඇස් දෙන තිප්පොලවල් ගැන විතරක් නෙමේ පොදුවේ පෞද්ගලික විශ්ව විද්‍යාල ගැන.

ඒ වෙන කොට උසස් අධ්‍යාපන පනතට කරලා තිබුණු සංශෝධන නිසා පෞද්ගලික ආයතනවලට උපාධි දෙන්න බලතල පවරන්න ආණ්ඩුවට බලය ලැබිලයි තිබුනේ.

මේ සංශෝධනවලට එරෙහිව මහා විරෝධතා ව්‍යාපාරයක් පටන් ගත්තා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මංඩලය හෙවත් අපි කියපු විදියට අයියුඑස්එෆ් එකෙන්.

පේරාදෙනියේ අපි පිහිටුවලා තිබුණු ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව හෙවත් ඒසී එකෙන් ඒ හා සම්බන්ධ වැඩකටයුතු කරන්න පටන් ගත්තා.

විශ්ව විද්‍යාලයම පුරා විතරක් නෙමේ ඒ දවස්වල පේරාදෙනියේ ඉඳලා නුවරටමත් අපි පෝස්ටර් ගහනවා. සිගරට් බට් එක තීන්තවල ඔබලා, අලි මුඩුක්කුවෙන් ගන්න පෝස්ටර් කඩදාසිවල අකුරු අඳින එක හරිම ජොලි වැඩේ.

මේ දවස්වල අපි හිටපු නේවාසිකාගාරයේ තිබුණු කැෆටේරියා එක කලේ හොඳ ජොලි මුදලාලි කෙනෙක්. නියම කට්ට පෙනුමක් තිබුණු හින්දා කොල්ලෝ පොරට කාඩ් එකක් ගහලා තිබුණා නරියා මුදළාලි කියලා.

නරියා මුදළාලි ගැනත් කන්දරයක් දෙකක් තියෙනවා පස්සේ කියන්න. ඒත් මේ අද කතන්දරේ මුදලාලි ගේ පුතා ගැනයි.

මුදලාලි කොල්ලාත් උදේ හවා හිටියේ අක්බාර් එකේ කැෆටේරියා එකේම තමයි. මුදලාලි තාත්තා එතන නැති වෙලාවට කැෂියර් වැඩේ කලේත් පුත්‍ර රත්නයයි.

පොර අනිවාර්යෙන්ම අපිට වඩා බාල එකෙක්. ඒත් ඉස්කොලේ යන පාටක් නම් පේන්න තිබුනේ නෑ. සමහර විට ඕලෙවල් වලින්ම ඉස්කෝලෙන් අස්වෙලා තාත්තා ගේ බිස්නස් එක පුරුදු වෙන්න පටන් ගන්න ඇති. කොහොම වුනත් තාත්තා වගේ නෙමේ ටිකක් මෝඩ පාටක් තමයි කොල්ලාගේ මූණේ තිබුනේ.

සමහර විට මේ බත් තම්බන රස්සාවට තිබුණු අකමැත්ත හින්දා ඇතිවුණු දුක මූණෙන් පිළිබිඹු වුණා වෙන්න ඇති.

ඔන්න එක දවසක් අපි මහා පන්ති වර්ජනයක් කරළා, පිකටින් කරලා, විශ්ව විද්‍යාලය පුරා පෙළපාලියක් ගිහින්, ගලහ හන්දියේ රැස්වීමක් තියලා අන්තිමේදී දවල්ට කන්න අක්බාර් එකට ආවා.

මුදළාලි හිටියේ නෑ. කැෂියර් එකේ හිටියේ පුත්‍රයා.

පොර හිටියේ මාර ජොලියෙන් බව පෙණුනා. අර මූණේ මෝඩ පාට පැත්ත පලාතේවත් නෑ.

පස්සේ තමයි අපිට වැඩේ තේරුණේ!

කවුන්ටරේ දෙපැත්තේ තියෙන සින්ක් දෙක ලඟ ලොකු නෝටිස් බෝඩ් දෙකේ මහා පෝස්ටර් දෙකක් ගහලා.

දෙකේම තිබුණේ එකම සටන් පාඨය.

මුදළාලි ගෙ මෝඩ පුතුට
සල්ලිවලට උපාධියක්!  


-කතන්දරකාරයා

(image: http://www.thebadgeronline.co.uk/?p=183)

Thursday, 15 September 2011

අභිනිෂ්ක්‍රමණය කියන්නේ ප්‍රශ්ණ වලින් පලා යාමක් ද? Renunciation or running away from problems?


පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ මං හිටපු කාලේ ගැන කියවෙන කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සති දෙකකටත් වැඩියෙන් ගතවුණා.

එහේ ගිය ගමන් ඇතිවුණු ඉච්ඡාභංගත්වයක් හරි ගෘහදායක ව්‍යාධිය හරි නිසා මුලින් මුලින් ලියවුනේ දුක්බර කවි තමයි. කවිය කියන්නේ කොහෙමටත් භාවාත්මක ප්‍රකාශනයක් නේ. ඒ එක්කම අතිශයෝක්තියත් නැතුවම බෑ, හරියට අර තිසර තන කේස් එකේ දී වගේ.

ඒ එක්කම ඉතිං කියන්නෝනැ, වැලිකතරේ, පතොක් ගස් අතරේ, කහමල්, රෝසමල් නොතිබුණේමත් නැතිය කියන වග!

ඔය කාලේ වෙනකොට පළමු වසරේ මුල් වාරය ගෙවෙන්නත් ආවා. ඒ කියන්නේ මුලු දෙසැම්බරයම අපිට නිවාඩු.

ඒ ගැන හිතද්දී හිතේ ජොලියට වගේ ලියවුණු කවියක් තමයි මේ.

අභිනිෂ්ක්‍රමණය

හාෆ් ෂීට් ෆයිල් කවර
කෝස්වර්ක් මැද හිරවුණු
ජීවිතයට සිසිලක් සැණසුම් සුවයක් ඕනෑ
මේ සීතල කඳු අතරේ
තවත් බැරිය හිරවෙන්නට
හැකි තරමින් ඉක්මන් කර ගෙදර යන්න ඕනෑ

අම්මා ගේ අත් ගුණයෙන්
රසවත් වුණු බත් කන්නට
උදේ අටට ඇහැරෙන්නට
රෑ නමයට නිදියන්නට
හැන්දෑවට සයිකලයෙන් පොඩි රවුමක් කැරකෙන්නට
සන්තෝසෙන් හිනැහෙන්නට
ගෙදර යන්න ඕනෑ

කාලසටහනින් තොර වූ
ඒ සුන්දර ලෝකය වෙත
අපාය අත්හැර දාලා නික්ම යන්න ඕනෑ
කම්මල් ගොරහැඩි බව නැති
සොබා දහම් රූ අතරට
හදවත තුටියෙන් පුරවා නික්ම යන්න ඕනෑ෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
මරුමුස්කාරයා නං ඔය මං උඩින් කියපු වැලිකතරේ මල් කතාව එක්ක එකඟ නෑ වගේ.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://wetravelworld.com/2009/05/23/letting-the-train-take-the-strain-p5484/)

Tuesday, 13 September 2011

පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවේ - The Spring springs in Pera desert!


මෙන්න පේරාදෙනියේ හිටපු අය, නොගිය අය, යන්න ඉන්න අය එන එකී නොකී සියළු දෙනාගේම සතුට හේතු වේ යැයි හිතෙන කවියක්.

සමහර විට හිතෙන්න පුළුවන් මං මේ සාහිත්‍ය මාසයේ දැම්ම හොඳම කවි පන්තියත් මේකය කියලා!

පේරාදෙනියේ වැලි කතරට වසන්තය උදාවිය!

පෙර කරුමෙට මලකඩ පිරි කම්මලකට කොටු වූවා
බැලු බැලු හැම අතකින් කරදර දුක් සිත වෙත ආවා
සරසවි බිම ගැන ඇතිවුණු ප්‍රාර්ථනා බොඳ වූවා
සිසිලක් සැනසුම් සුවයක් ගැන හදවත මොර ගෑවා

පාලුව දුක වේදනාව සිත ඇතුලේ තෙරපුනේය
දහස් ගණන් දුක් සුසුමන් හද පතුලේ හිරවුනේය
ඇගෙ දසුනෙන් සිතට හදට සැනසිල්ලක් එළැඹුනේය
හදවත තුල නිසංසලේ ආදරයක් ඉපදුනේය

හද පතුලේ ඇය වෙනුවෙන් ආදරයේ මල පිපුණා
දහස් ගණන් සොඳුරු සිහින ඇය මැදිකරගෙන මැවුණා
දිනෙන් දිනම වැඩිවුණු ආදරයෙන් හදවත පිරුණා
සිත ඇතුලේ උපන් හැඟුම් ගී පදයක් වී ගැයුණා

කම්මල් බිම ගොරහැඩි බව මකා දැමූ දසුන ඇයයි
කඩු පන්තියෙ නිදිමත බව නසා දැමූ පහන ඇයයි
අවිවේකෙන් හෙම්බත්වුණු සිතට සිහිල් පවන ඇයයි
කෝස්වර්ක් මැද හිරවුණු ජීවිතයට මිහිර ඇයයි

පරිසරයේ අඳුර මකා තරු දහසක් සිනාසුනා
දාහය පලවා හරිමින් මුදු පවනක් ලඟාවුණා
ප්‍රාර්ථනා මල් ගොමුවේ සුවඳ මලක් මෝදුවුණා
සීතල උදුවප් මාසෙක වසන්තයක් උදාවුණා

සත් සතියක් පැතූ පැතුම් ඒ විලසින් සඵල වෙලා
සත් සතියක් දුටු සිහිනය නෙත් ඉදිරියෙ සැබෑ වෙලා
සතර අතේ සුවඳ විදා මල් ගොමුවක් පුබුදු වෙලා
ආදරයෙන් පිරුණු සිතක් තව සිතකට එකතු වෙලා

උදාගිරෙන් රන් අරුනළු රැස් දහරා වැටෙන්නේය
රන් චාමර සෙමෙන් සලා මහවැලි ගඟ ගලන්නේය
හන්තානේ සීත සුලං ආසිරි ගී ගයන්නේය
කඳු මුදුනේ වළාකුලෙන් මල් වැස්සක් වසින්නේය෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
කවි වලටත් ලින්ක්ස් දාන්න පුළුවන් වෙයි කියලා ටිම් බර්නර්ස්-ලී වත් එදා හිතුවද මන්දා?

ප/ප/ලි:
වැඩිය හිට් නොවිච්ච මෙන්න මේ පරණ කතන්දරේ දැකලා තියෙනවාද?
http://kathandara.blogspot.com/2009/11/50.html

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://www.funlogg.com/index.php/2010/10/26/university-of-peradeniya)

Friday, 9 September 2011

අඩුව ගැසීම (පේරාදෙනියේ කතන්දරයක් ) : Poverty-stricken students of Peradeniya


පේරාදෙනිය විශ්ව විද්යාලය තමයි මං හිතන්නේ ලංකාවේ තියෙන හොඳම නේවාසිකාගාර පහසුකම් තියෙන විශ්ව විද්යාලය.

මේවා නේවාසිකාගාර, හෝල්ස් ඔෆ් රෙසිඩන්සස්. හොස්ටල්ස් නෙමේ.

හොස්ටල් තියෙන්නේ ඉස්කෝලවලයි. මං අවුරුදු හතරක් විතර කල් මරපු මරියකඩේ පැත්තේ ඉස්කෝලෙ නම් අන්න හොස්ටල් එකක් තිබුණා.

අනාදිමත් කාලෙකට ඉස්සර නම්, මේ පේරාදෙනියේ නේවාසිකාගාරවල නතරවෙලා ඉන්න කොල්ලන්ට කෙල්ලන්ට විශ්ව විද්යාaලෙන් ම කෑම බීම දීලා තියෙනවා. නමුත් අපි යන කාලේ වෙන කොට මේ භෝජනාගාර පවත්වාගෙන ගියේ කොන්ත්රාත්තු ක්රමයට මුදළාලි ලා විසින්. එදා වේල සල්ලි ගෙවලා ගන්නයි අපිට තිබුනේ.

නැවතත් මේවා භෝජනාගාර (කැෆටේරියා) මිස කැන්ටින් නෙමේ. අන්න මං ඒ ලෙවල්ස් කරපු මරිකඩේ ඉස්කෝලේ නං කැන්ටිමක් තිබුණා.

කැන්ටින් නැතුව කැෆටේරියා තියෙන, හොස්ටල් නැතුව හෝල්ස් ඔෆ් රෙසිඩන්සස් තියෙන මේ වැදගත් වෙනස ගැන මං පස්සේ දවසක වෙනම ම කතාවක් ලියන්නම්.

ගෙදර ඉන්න කාලේ ඉස්සෙල්ලා උදේ කිරි තේ බොනවා. ඊට පස්සේ කනවා. ආයේ කිරි තේකක් හරි ප්ලේන් ටී එකක් හරි බොනවා.

පේරාදෙනියේ ගියාම පුරුදු වුණා, කෙලින්ම උදේට කාලා ඊට පස්සේ කිරි තේ එක බොන්න. උදේට හැමදාම මං කෑවේ පාන් භාගයයි, පරිප්පු දීසියයි. මේක නිකං ඒ දවස්වල මට අමෘත්යය වගේ. තාමත් ලැබුනොත් කනවා.

ඉඳිආප්ප වගේ ජාති තිබුණට, ඒව කන්න හිතුවේ නැත්තේ මූලිකවම වියදම වැඩි නිසයි. අනික කොහොමටත් මං ඉඳිආප්ප වලට කැමති නෑ.

දවල් ට සහ රෑ ට ඉතිං බත් ම තමා.

මුලින් නං මට මේ බත් සහ මාළුපිනි උගුරෙන් පහලට යවා ගන්න බෑ. ඇඬෙන තරමට නීරස ජරාවක්. මං හිතන්නේ මේක කාටත් පොදු දෙයක් ගිය අළුත.

මේ කාරණය හොඳින් දන්න අපේ ජ්යෙෂ්ඨ උත්තමයෝ කලේ අපිට බත් එක එක ඇටයක්, කරපිංච කෑල්ලක් පිඟානේ ඉතුරු නොකර කන්න අණ කිරීමයි. ඒ උත්තමයින් ට පින් සිද්ධ වෙන්න රැග් සීසන් එක ඉවර වෙන කොට අපි හොඳට මේ බත් එකට සීසන් වෙලයි හිටියේ.

බත් කනවා නම් චොයිසස් දෙකක් තිබුණා. එළවළු. නැත්තං මස්. මස් කියන්නේ ඉතිං "ජහ් කොටියා" තමා. චිකන් කියන්නේ ඒ දවස්වල සුඛෝපභෝගී කෑමක්. මං නං ඉතිං කොහොමටත් එළවළු ජීවිතයක් නෙමේ නේ. ඉතිං දිවා, රෑ මෂ් ම තමා.

බිත්තරත් ගන්න තිබුණා මගේ හිතේ. වෙනම සල්ලි දෙන්න ඕනෑ. මං කවදත් ඔය කොලොස්ටරෝලි ගුලි වලට කැමති නෑ.

බත් පිඟානේ ප්‍රමිතිය රැක ගන්න, කැන්ටිමේ ටෙන්ඩරය ගන්න මුදළාලි ලා ට නීති කීපයක් දාලා තිබුණා යුනිවසිටි එකෙන්.

1. එළවළු ජාති තුනක් තියෙන්න ඕනෑ.
2. ඉන් එකක් පරිප්පු හරි බෝන්චි හරි අල හරි වෙන්න ඕනෑ.
3. තව එකක් මැල්ලුමක් වෙන්න ඕනෑ.

ඕනෑ නීතියක හිලක් තියෙනවා නේ. ඉතිං, අපිට කවදාවත් බත්වලට බෝන්චි හෝ අල තිබුනේ නෑ. ඉඳලා හිටලා හරි තිබුනේ පරිප්පු ඇට වැටුණු හොද්දක් විතරයි. අනිත් හැම දවසටම තිබුනේ මුං ඇට. මුං ඇටත් පියලි වෙන්කලාම මුං ඇට පරිප්පු වෙනවානේ අර දැන් වැඩිය දකින්න නැති කඩල පරිප්පු, තෝර පරිප්පු වගේ.

මැල්ලුමටත් ගොටුකොල, මුකුණුවැන්න, සාරණ, කංකුං, තිබුණාය කියල හෙම හිතන්න එපා. හැමදාම තිබුනේ කොළ ගෝවා මැල්ලුම තමයි.

එළවළු බත් එකක් ගත්තත්, මස් එකක් ගත්තත් පිඟානේ තිබුනේ නං බත් පීරීසියක් විතර ප්රාමාණයක් තමයි.

අපේ සමහර උන්ට ඕක මදි. ඒකට ප්‍රතිකර්මයක් විදියට තිබුනේ අඩුවක් ගන්න එකයි.

අඩුවක් කියන්නේ බත් පිඟානෙන් බාගයක් විතර එළවළු ඩිංග, ඩිංග එක්ක බෙදලා දෙන එකටයි. මේකට ගෙවන්න ඕනෑ වුනේ සාමාන්ය එළවළු බත් එකේ මිලෙන් සියයට විසිපහක් විතරයි.

බඩගිණිකාරයින් ට කේටර් කරන්න හදලා තිබුණු මේ අඩුව ගැනීමේ ක්රමය වැඩිපුරම පාවිච්චි කලේ වැඩිපුර කන්න ඕනෑ වුණු උන් නෙමේ. අතේ වියදමට මුදල් ප්‍රශ්න තිබුණු කොල්ලෝ.

මේකට කියන්නේ අඩුවක් ගහනවා කියලයි.

මෙහෙමයි ඕක කරන්නේ. ඔන්න එක කොල්ලෙක් කාල ඉවර වෙන කොට, අනිකා කරන්නේ ඌට සල්ලි දීලා අඩුවක් ගෙන්න ගන්නවා. ඒක කාලා, පස්සේ මූ ම ගිහින් තව අඩුවක් අරං කනවා.

මුල් අඩුව මුලින් පිඟානේ කන එකාට කියලා ගෙන්න ගන්නේ ඉඳුල් ගෑවිලා තියෙන්නේ උගේ අතේ නිසයි. එහෙම රහසින් වගේ මේක කළාට, කොහොමටත් එළවළු ජීවිත නොවෙන උන් මුල් අඩුවට වැඩිපුර ගාණක් ගෙවලා මස්, බිත්තර දාගන්න නිසා, මං හිතන්නේ මේක ප්‍රසිද්ධ රහසක්.

දැන් විශ්ව විද්යාවලවල කොල්ලන් ඉස්සර තරං දුප්පත් නැති වුනත්, සමහර විට මේ අඩුවක් ගහන එක තාමත් භාවිතයේ ඇති.

මේ අඩුව ගැසීමේ කතාව නිවරදිව විස්තර කරන්න නම් රුපියල් සත එක්ක කතා කරන්න වෙනවා. මේ මිළ ඇත්ත ඒවා නොව උදාහරණ පමණකි.
(ඇත්තටම පසුව ලියමි).

කෑම පිඟානක් එළවළු එක්ක රුපියක් 25
කෑම පිඟානක් මස් එක්ක රුපියක් 32.50
කෑම අඩුවක් (සාමාන්‍ය ප්‍රමාණයෙන් බාගයයි, බත් සහ එළවළු විතරයි) රුපියල් 7.50
මස් කරි පිඟානට දාන්න රුපියල් 7.50

අඩුව ගහන අයට මේ අනුව රුපියල් 22.50 ක මුදලට මස් කෑම එකක් කන්න පුළුවන් (මුලින් ගන්න අඩුව, මස් කරි, පස්සේ
ගන්න අඩුව).

එය එක වේලකට රුපියල් 10 ක ඉතුරුවක් හෙවත්, මසකට රුපියක් 600 ක ඉතුරුවකි.


-කතන්දරකාරයා

ප/ලි:
අපේ සමහරු අඩු දෙකක් කාලා ගානක් ඉතුරු කර ගත්තේ, ඒ සල්ලි වලින් කෑමෙන් පසු සිගරට් එකක් බොන්නයි.

මතකනේ අර කුකුල්ලු දෙන්නා ගේ කතාවට පදනම් වුණු විශ්ව විද්යානලයේ කොල්ලන් ගේ බීම සම්බන්ධයෙන් මං ලියපු අරක්කු ඕනා, කෝක් වානා කතාව?

ඒ කතන්දරේ ඉකොනොමික්ස් තියරිය වැඩිදුර විස්තර කරන්න මට දෙවෙනි පෝස්ට් එකකුත් ලියන්න වුනා!

ප/ප/ලි:
මේ අද කතන්දරේ නැගලා ගියොත්, පේරාදෙනිය ෆුල් සීරීස් එකක් ලියන්නත් හිතේ තියෙනවා. දැනට මං ලියල තියෙන්නේ මට ලියන්න පුළුවන් පේරාදෙනිය කතන්දරවලින් සීයට පහක් විතරයි.

පේරාදෙනිය ජීවිතේ ගැන කයි-කතන්දර සීරීස් එක නංතාම පටන් ගත්තා විතරයි නේ.

http://www.panoramio.com/user/2946631/tags/Kandy%20-%20Peradeniya?photo_page=2)