Showing posts with label තේ බීම. Show all posts
Showing posts with label තේ බීම. Show all posts

Wednesday, 21 September 2011

තේ පැන් සාදයි තම්බි කඩේ - Splitting the bill


ඉස්කෝලේ යන කාලේ, ක්ලාස් යන කාලේ, පස්සේ වැඩිදුර ඉගෙන ගන්න කාලේ, යාළුවෝ එක්ක ගමන් බිමන් ගියාට, කඩවල්වලින් තේ බිව්වට, ඒ වියදම සේරම දෙනා නූලට බෙදා ගන්නවා නේ. මොකද ඒ කාලේ දෙමව්පියන් ගේ සල්ලි නේ අපි වියදම් කලේ!

පස්සේ ජොබ් කරන්න පටන් ගත්තු කාලේ නං ඉතිං පොඩි පොරත්වයක් ගහලා සමහර වෙලාවට හිතෙනවා අනුන්ගේ බිල් පවා ගෙවන්න.

මේ ඒ වගේ සිද්ධියක්.

ඔන්න මං පේරාදෙනිය තිප්පොලෙන් ගැලවිලා සුන්දර සීතල පරිසරයක පිහිටා තියෙන නගරයක තියෙන කම්මලක සේවය කරන්න පටන් ගත්තා. මෙතන කොච්චර වැඩද කියනවා නං ඉරිදට විතරයි නිවාඩු.

ඒ මදිවට සමහර මාසවල ඉරිදා දවස්වලින් දෙක තුනක්මත් වැඩ කරන්න වෙනවා.

සමහරු කැමතියි ඉරිදා වැඩ කරන්න, මොකද, ගෙවීම ඩබල් එදාට!

ඒත් මට නං ඉරිදා වැඩ කරන එකේ තිබුණ අවුල වුනේ ඇඳුම් ටික හෝදාගන්න, නිකං ඇඟේ නාන්නේ නැතුව හොඳට නා කියා ගන්න නැතිවෙන එක විතරක් නෙමේ. කඩේට ගිහින් සන්ඩේ ඔබ්සෝවර් එකක් අරගෙන ජොබ් ගැන හොයලා ඇප්ලිකේෂන් එකක් දාන්න තිබුණ වෙලාවත් ඉරිදා වැඩ කරන එකෙන් ඇහිරුණු එකයි.

ඔන්න එදා මාසෙකට විතර පස්සේ ඉරිදාක නිවාඩුවක් හම්බ වුණු හින්දා අපි කෂ්ටියක් හවස් වරුවේ ටවුන් එකට ගියා. එතනදී හම්බ වුණා තවත් අපේ ෆැක්ටේරියේ ම වැඩ කරන පොරවල් දෙතුන් දෙනෙක්.

ටික වෙලාවක් කයිය ගහං ඉඳලා ඔන්න සෙට් වුණා තේ බොමු කියලා එතන තිබුණු මුස්ලිම් හෝටලයට. ඊට වැඩි දේකට සෙට් වෙන්න බැරිවුනේ මොකද අපේ සමහර වුන් එදා රෑ දහයට වැඩ!

සඳුදා දවසේ වැඩ පටන් ගන්නේ ඉරිදා රාත්‍රී දහයටයි.

ඉතිං කෂ්ටියම තමන් කැමති පරිදි ත්‍රිකෝණාකාර මස් රොටි, චතුරශ්‍රාකාර එළෝළු රොටි, සමචතුරශ්‍රාකාර බිත්තර රොටි කාලා තම්බිගේ කඩේ හදපු කිරි තේ බිව්වා.

මේ කියන කාලේ කිරි තේකක් රුපියක් පහකටත් අඩුයි. රොටී වගේ ජාතිත් එහෙමයි.

ඔන්න ඉතිං වේටර් මල්ලී බිල අරං ආවා. බිල රුපියල් හැත්තෑ පහක් වගේ ගාණක්. අපි සේරම හය දෙනෙක් හිටියා.

ඔන්න එකෙක් රුපියල් විස්සක් දැම්මා. තව පොරක් රුපියල් පනහක් දාලා අර විස්ස අරං තියාගත්තා.

තව එකෙක් රුපියල් සීයේ කොළයක් දාලා කිව්වා මං ගෙවන්නං කියලා. පොර එතන තිබුණු පනහේ කොලේ ගත්තා.

වේටර් මල්ලී සීයේ කොලේ අරං ගිහින් ඉතුරු සල්ලි අරං ආවා.

සීයේ කොලේ දාපු එකා ඒ ඉතුරු සල්ලි ටික ගන්නයි යන්නේ. මොකද උගේ සීයේ කොළෙන් නේ බිල ගෙව්වේ.

දැන් මෙතන පොඩි අවුලක්. කාටද මේ ඉතුරු සල්ලි අයිති?

මුලින් පනහ දාපු එකා ඇහැව්වෙත් ඒකමයි. "කවුද දැන් බිල ගෙව්වේ? කාටද මේ ඉතුරු සල්ලි අයිති?"

-කතන්දරකාරයා

ප/ලි:
අන්තිමේදී හය දෙනාම දොලහයි පනහ ගානේ දාලා හරි ගානට බිල බෙදා ගත්තා!

පොරත්වය පෙන්නන්න යන්නේ නැතුව ඕක මුලින්ම කළා නං ඉවරයිනේ?

ඔන්න, කෙල්ලෝ කට්ටියක් එක්ක ගිහින් බිල ගෙවන එකනං තව කමක් නෑ කිව්වැහැකි.

(image: http://gratrueities.wordpress.com/)