Saturday 10 April 2010

නැවත පල කරමි - පුංචි පහේ පන්ති නායකයා

මා ප්‍රිය බ්ලොග් රසිකයිනි,
තාක්‍ෂණික දෝශයක් නිසා මේ කතන්දර කොටස නැවත පල කරන්නට සිදුවිය. සමාවන්න.
කතන්දරකාරයා
=======================================================

අපි කවුරුත් දන්න විදියට පන්ති නායකයින් කියන්නේ පන්තියේ පරිපාලන වැඩ කරගන්න ගුරුවරුන්ට උදව්වෙන්න, ගුරුවරුන් විසින් ඔවුන් ගේ කැමැත්ත මත පත්කරගන්න ශිෂ්‍යයින්ට නේ.

හුණුකුරු සම්පත් කලමනාකරණය, ඇටෙන්ඩන්ස් රෙජිස්ටර් ප්‍රවාහනය, කළුලෑල්ලේ දෛනික පුනර්ජීවනය වගේ මැනුවල් ලේබර් වැඩ සහ ෆ්‍රී පීරියඩ් වල පන්තියේ ඝෝෂාව අඩුකරල ආංබාං කිරීම වගේ සෙකුරිටි වැඩ මිස පන්තියේ ළමයින්ට නායකත්වය දීම මේ නායකයන්ගේ රාජකාරියක් නෙමේ.

කතන්දරකාරය පොඩිකාලෙ, ඒ කියන්නෙ කතන්දර කුමාර කාලේ, එක වතාවක් නෙමේ තුන්වතාවක්ම ඔය පන්ති නායක කම කොරල තියෙන බව මං ඊයෙ දාපු පෝස්ට් එකේ ලිව්ව මතකයිනේ?

මුල් වතාවෙ මං පන්ති නායකයා වුනේ "පුංචි පහේ මං කාලෙ" නියම ප්‍රජාත්‍රාන්තික විදියට. මේ දවස්වල තමයි මට අර ලඬ්කාංඩුවේ අටපට්ටම් පැන්සල තෑග්ගකට හම්බ වුනේ. අද මං කියන්න පටන්ගන්න යන්නේ ඒ උදාර නායකත්වයේ කතන්දරයයි.

මං මුලින්ම පන්ති නායකයා කියන යෙදුම, වචන දෙක, ඇහැව්වෙ හතරෙ පන්තියෙදියි. ඔය කියන්නෙ අර මයි ෆ්‍රස්ට් ක්‍රෂ් එක ඇති වුණු කාලේ. මගේ වයස අවුරුදු අටයි මාස දෙක තුනයි.

මේ දවස්වල මං ගිය කණිෂ්ඨ විදුහලේ ප්‍රින්සිපල් වුනේ අර මීට මාස කීපයකට පස්සෙ වේවැලෙන් ගහල මගේ ලේ හොලවපු ලොකු මහත්තය තමයි.

ඔන්න දවසක් උදේ රැස්වීම ඉවරවෙලා අපි පන්තියට ආපු ගමන් ලොකු මහත්තය කඩාගෙන වැදුන. මේ වෙන කොට අපි දන්නව මෑන් යන යන තැන ජාතික ඇදුමෙ දකුණු අත අස්සෙ දිග වේවැලක් ගහගෙන යන බව. ඉතිං පොර පන්තියට ආව විතරයි, අපි සේරම සයිලන්ස්, මීයො වගේ. මේ අපි කියල කියන්නෙ සේරම අවුරුදු අටේ, නමයේ පුංචි ළමයි.

ඔන්න ඒ වෙන කොට අපේ පන්ති භාර ටීචරුත් ආව පන්තියට.

"මං බලං හිටියෙ මේ ළමයි දැන් රැස්වීම ඉවර වෙලා පන්තියට ආවෙ කඩාගෙන බිඳගෙන. ඔහොමද ළමයි හැසිරෙන්නෙ පාසලේ? කවුද මේ පන්තියේ නායකයා?" ලොකු මහත්තය ඇහුව.

"මේ නාලන්ද තමයි" අපේ ටීචර් කිව්ව. කිව්ව විතරක් නෙමේ ඒ වචන වලින් අර "ඒහි පස්සිකෝ" ක්‍රමයට නාලන්දව පන්ති නායක කමට පත්කළා!

"කෝ කවුද ඒ?"

නාලන්දය හෙමින් හෙමින් පන්තියේ ඉස්සරහට ගියා!

අපි සේරම චූ බර වෙලා බලං ඉන්නව. පව් නාලන්ද!

"හොඳයි, අදට කමක් නෑ, හෙට ඉඳල, උදේ රැස්වීමට යනකොටයි, එන කොටයි සේරම ළමයි එක පිළිවෙලකට යන්න එන්න ඕනැ." ලොකු මහත්තය කිව්ව. වේවැල එලියට ආවෙ නෑ!

නිකං දේවදත්ත සිල්ගත්ත වගේ නේද? සොරි, සොරි, දේවදත්ත කොහොමටත් මහණවෙලානෙ හිටියෙ, අමුතුවෙන් සිල් ගන්න ඕනැයැ?

ඉතිං ඔය සිද්ධිය වෙච්ච දවසෙ ඉඳල කාලයක් යනතුරු මං හිතං හිටියෙ මෙන්න මෙහෙමයි.
  • පන්තියෙ නායකයා කියන්නෙ කොල්ලන්ගෙන් එක් කෙනෙක්.
  • ඒ නායකයා කවුද කියල අපිට කියන්නෙ අපේ ටීචර්.
  • පන්තියෙ නායකයා කරන්න ඕනැ, අනිත් ළමයින් පෝලිමේ එලියට යන එකයි, ආපහු එන එකයි බලාගන්න එක.
මේ ගොඩක් දේවල් වෙනස් වුනේ ඊලඟ අවුරුද්දෙ මං පහේ පන්තියට ගියාමයි.

ඔන්න ඔහොමයි පුංචි පහේ පන්ති නායකයා ගේ උදාර කතන්දරය ඇරඹෙන්නේ.

හෙට මෙතැන සිට.

කතන්දරකාරයා
=======================================================
මෙන්න කලින් පෝස්ට් එකට ලැබුනු කමෙන්ට්ස්ඃ
=======================================================
Hasitha has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

කසු මම උදේ ඉදන් බලන් හිටියේ මොකද තාම කතාව නැත්තේ කියලා............

ඔහොම යන් ඔහොම යන්
=======================================================
ත‍රිඳු has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

ඒහි පස්සිකෝ නෙමේ.. ඒහි භික්ඛු නේද ?
=======================================================
gamini has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

Boring !
=======================================================
nadeesthoughts (http://nadeesthoughts.wordpress.com/) has left a new comment on your post "පුංචි පහේ පන්ති නායකයා":

ඉතිං ඊට පස්සෙ...
නාලන්දට වැටුන ලෙඩ ගැන කථෘ නැද්ද?
=======================================================

3 comments:

  1. තැහැණු ළමයින්ගේ ඉස්කෝලවල පන්ති නායිකාව තෝරන විදිහ වෙනස් මම හිතන්නේ. අනේ ලොකු කමකට කියනව නෙමෙයි මාව නම් පන්තිනායිකාව කරේ මගේ අකුරු ලස්සන නිසා. ඈයි ඉතින් ගුරුවරු පුරවන්න ඕන වාර්තා ඔක්කම මට කියල පැහැදිලිව පිරිසිදුව ලියා ගන්න පුලුවන් නෙව.

    ReplyDelete
  2. මෙ මාර කුමාරත් ඉතින් 1කේ පන්තියේ ඉදන් 6යේ පන්තියට යනකල්ම ඔය ජොබ් එක කලා නෙව.
    හැබැයි ඉතින් ඔකේ වඩාත් හොද පැත්තකුත් තිබ්බා.
    මතකද අර ඒ දවස්වල බිස්කට් ඛෙදිල්ලක් තිබ්බා.
    එක් කෙනෙකුට 8 ගානේ...

    නායකයා වශයෙන් ඔවා ඛෙදා දීම ඉතින් මගේ පුල් අධීක්ෂණය යටතේ නෙව සිද්ධ උනේ.
    අර විස්කෝතු පෙට්ටිය උස්සන් එන කොල්ලෝ දෙන්නයි මටයි ඉතින් පෙට්ටියේ ඉතිරි වෙන විස්කෝතු කොන් කෑලි ටික නිරායාසයෙන්ම ලැඛෙනවා.
    (සමහර දවස් වලට අරුන් දෙන්නා මගේ අනු දැනුමත් ඇතිව පෙට්ටිය පොඩ්ඩක් බිම දාලා ගේන අවස්ථාත් තියෙනවා. එතකොට කෑලි වැඩියිනේ. මෙවා මෙහෙම කියන එක හරිද මන්ද..?)

    ReplyDelete

මා ලියූ කතන්දරයට අදාල නැති කරුණු ඔබේ ප්‍රතිචාරවල ඇතළත් නොකරන මෙන් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි.

අදහස් වාරණයක් නොකෙරේ. කුණුහරුප සහ තුන්වන පාර්ශවයන්ට නින්දා කෙරෙන ප්‍රතිචාර ඉවත් කෙරෙනු ඇත.