
පොඩිරාජා කියන්නේ අර හන්දියේ රාජා ගේ කඩේ හිටිය පොඩි කොලුවා නෙමේ. මේ කියන්නේ අපේ අසල්වැසි රාජසිංහ අංකල් ගේ පුතාටයි.
රාජසිංහ අංකල්ට මහරාජා කියපු නිසා, පුතා නිකංම වගේ පොඩිරාජා වුණා!
පොඩි රාජාත් මැවිසුරුවෙක්. මට වැඩිය අවුරුදු තුන හතරක් විතර බාලයි. මං මහරාජා ගේ අසල්වැසියා විදියට පදිංචියට යද්දී පොර ගෙදර හිටියේ නෑ. කොහේද මන්දා දේශ දිපංකරයක ගිහින් හිටියා ඉගෙන ගන්න. පොර ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවෙයි ඉස්සෙල්ලාම අඳුණා ගත්තේ.
ඔන්න ඉතිං පොර ඉගෙනීම අහවර වෙලා ඇවිත් කසාඳ බඳින්න සෙට් වුණා. ඔය කාලේම මාත් ගියා පොඩි විදේශ සංචාරයක්. ඒ ගිහින් ආපහු එන්න තිබුනේ හරියටම වෙඩින් එකට පහුවදා, ඒක හින්දා මට පොර ගේ වෙඩිම මිස් වුණා.
පොඩිරාජා ගේ වෙඩිම දවසේ, ඒ කියන්නේ පිටරට සංචාරය නිම කරලා ගෙදර එන්න කලින් දවසේ හාමිනේට කතා කළ වෙලේ දැන ගත්තා, අපේ සීයා කෙනෙක් අවසන් ගමන් ගිය බව.
ඉතිං මං ගෙදර ආපු ගමන් පහුවදා කළේ සීයා ගේ අවමගුලට යන එකයි. ඊට පහුවදා පොඩිරාජා ගේ හෝං කමිං එකට ගියා. කෝකටත් අපි මනමාලයාගේ පාර්ශවයේ නේ!
ඔය සේරම කිව්වේ මේකටයි. විවිධ සිද්ධීන් ගොඩක්ම එක ලඟ වෙච්ච හින්දා, මට පොඩිරාජා ගේ වෙඩිමේ දවස හොඳට මතක හිටියා.
පොඩිරාජායි අපියි තව දුරටත් අසල්වැසියෝ නොවුනත් මං ඉතිං කළේ, මතක් වෙන පරිදි පොඩි රාජා ගේ වෙඩිං ඇනිවසරියට සුභ පතලා එක්කෝ ඊයක් දාන එක. එහෙම නැත්තං කෝල් එකක් දෙන එක.
ඔහොම ගිහින් ඔන්න එක දවසක පරණ සිද්ධි ගැන කතා කර කර ඉන්න වෙලාවක මට මතක් වුණා ඒ අවුරුද්දේ නේද පොඩිරාජා ගේ දහවෙනි වෙඩින් ඇනිවසරිය කියලා.
මේක අමතක වෙන්න ඉඩ නොදී ෆෝන් එකේ පොඩි රිමයින්ඩරයක් හෙම දාගෙන ඉඳලා, මං හරියටම එදා වැඩ ඇරිලා ඇවිත් රාත්‍රියේ පොඩිරාජා ට කෝල් එකක් දුන්නා.
"ආ! පොඩිරාජා කොහොමද, මං මේ කතන්දර කතා කරන්නේ!"
"ආ! කතන්දර කොහොමද?"
"හැපි ටෙන්ත් ඇනිවසරි පොඩිරාජා!"
"ආ! කතන්දර මෙන්න අපේ අම්මයි තාත්තයි ඇවිත් ඉන්නවා. මෙන්න කතා කරන්න."
පොර ෆෝන් එක මහරාජාට දුන්නා. මං අංකල් එක්ක කතා කළාට පස්සේ ඇන්ටිට ඕනැ වුණා කතන්දර හාමිනේ එක්ක කතා කරන්න.
කෝල් එක එතනම ඉවර වුණා!
පස්සේ තමයි මට තේරුණේ, පොඩිරාජා මා එක්ක කතා කරනවා තියා මගේ සුභ පැතුමට ස්තුති කළේවත් නෑ නේද කියලා.
මං හිතා ගත්තා ආයේ පොර මට කෝල් කරන කං, මං නං ඌට කෝල් කරන්නේවත්, ඊ-මේල් දාලා සුභ පතන්නේවත් නෑ කියලා.
දැන් අවුරුදු දෙක තුනක් ගියා. ඌ මට කතා කළේත් නෑ, මං ඌට කතා කළේත් නෑ!
-කතන්දරකාරයා
ප/ලි:
මං හිතන්නේ එදා වෙන්න ඇත්තේ මේකයි.
පොඩිරාජාට දහවෙනි වෙඩිං ඇනිවසරිය මතක්වෙන්න ඇත්තේ මහ රෑ මං කෝල් කරපු වෙලාවෙයි. මගේ සුභ පැතුමට ස්තුති කළොත් ඒක පොර ගේ වයිෆරේට ඇහිලා වැඩේ දරුණු වෙන්න ඉඩ තියෙන නිසා පොර මාව මග අරින්න ඇති!
මට නං පොඩිරාජා ගේ ඇනිවසරිය විතරක් නෙමේ හාමිනේගෙයි මගෙයි ඇනිවසරියත් හොඳට මතකයි.
දුමින්ද ගේ යුග දිවිය කතන්දරේත් බලන්න ඔය ගමන්ම.
(image: http://www.anniversarygift.org/wedding-anniversary-clip-art/)



