Showing posts with label අපේ සිරිත්. Show all posts
Showing posts with label අපේ සිරිත්. Show all posts

Wednesday, 22 February 2012

පොඩිරාජා ගේ වෙඩින් ඇනිවසරිය - Podi Raja's Wedding Anniversary


පොඩිරාජා කියන්නේ අර හන්දියේ රාජා ගේ කඩේ හිටිය පොඩි කොලුවා නෙමේ. මේ කියන්නේ අපේ අසල්වැසි රාජසිංහ අංකල් ගේ පුතාටයි.

රාජසිංහ අංකල්ට මහරාජා කියපු නිසා, පුතා නිකංම වගේ පොඩිරාජා වුණා!

පොඩි රාජාත් මැවිසුරුවෙක්. මට වැඩිය අවුරුදු තුන හතරක් විතර බාලයි. මං මහරාජා ගේ අසල්වැසියා විදියට පදිංචියට යද්දී පොර ගෙදර හිටියේ නෑ. කොහේද මන්දා දේශ දිපංකරයක ගිහින් හිටියා ඉගෙන ගන්න. පොර ලංකාවට නිවාඩුවකට ආපු වෙලාවෙයි ඉස්සෙල්ලාම අඳුණා ගත්තේ.

ඔන්න ඉතිං පොර ඉගෙනීම අහවර වෙලා ඇවිත් කසාඳ බඳින්න සෙට් වුණා. ඔය කාලේම මාත් ගියා පොඩි විදේශ සංචාරයක්. ඒ ගිහින් ආපහු එන්න තිබුනේ හරියටම වෙඩින් එකට පහුවදා, ඒක හින්දා මට පොර ගේ වෙඩිම මිස් වුණා.

පොඩිරාජා ගේ වෙඩිම දවසේ, ඒ කියන්නේ පිටරට සංචාරය නිම කරලා ගෙදර එන්න කලින් දවසේ හාමිනේට කතා කළ වෙලේ දැන ගත්තා, අපේ සීයා කෙනෙක් අවසන් ගමන් ගිය බව.

ඉතිං මං ගෙදර ආපු ගමන් පහුවදා කළේ සීයා ගේ අවමගුලට යන එකයි. ඊට පහුවදා පොඩිරාජා ගේ හෝං කමිං එකට ගියා. කෝකටත් අපි මනමාලයාගේ පාර්ශවයේ නේ!

ඔය සේරම කිව්වේ මේකටයි. විවිධ සිද්ධීන් ගොඩක්ම එක ලඟ වෙච්ච හින්දා, මට පොඩිරාජා ගේ වෙඩිමේ දවස හොඳට මතක හිටියා.

පොඩිරාජායි අපියි තව දුරටත් අසල්වැසියෝ නොවුනත් මං ඉතිං කළේ, මතක් වෙන පරිදි පොඩි රාජා ගේ වෙඩිං ඇනිවසරියට සුභ පතලා එක්කෝ ඊයක් දාන එක. එහෙම නැත්තං කෝල් එකක් දෙන එක.

ඔහොම ගිහින් ඔන්න එක දවසක පරණ සිද්ධි ගැන කතා කර කර ඉන්න වෙලාවක මට මතක් වුණා ඒ අවුරුද්දේ නේද පොඩිරාජා ගේ දහවෙනි වෙඩින් ඇනිවසරිය කියලා.

මේක අමතක වෙන්න ඉඩ නොදී ෆෝන් එකේ පොඩි රිමයින්ඩරයක් හෙම දාගෙන ඉඳලා, මං හරියටම එදා වැඩ ඇරිලා ඇවිත් රාත්‍රියේ පොඩිරාජා ට කෝල් එකක් දුන්නා.

"ආ! පොඩිරාජා කොහොමද, මං මේ කතන්දර කතා කරන්නේ!"

"ආ! කතන්දර කොහොමද?"

"හැපි ටෙන්ත් ඇනිවසරි පොඩිරාජා!"

"ආ! කතන්දර මෙන්න අපේ අම්මයි තාත්තයි ඇවිත් ඉන්නවා. මෙන්න කතා කරන්න."

පොර ෆෝන් එක මහරාජාට දුන්නා. මං අංකල් එක්ක කතා කළාට පස්සේ ඇන්ටිට ඕනැ වුණා කතන්දර හාමිනේ එක්ක කතා කරන්න.

කෝල් එක එතනම ඉවර වුණා!

පස්සේ තමයි මට තේරුණේ, පොඩිරාජා මා එක්ක කතා කරනවා තියා මගේ සුභ පැතුමට ස්තුති කළේවත් නෑ නේද කියලා.
මං හිතා ගත්තා ආයේ පොර මට කෝල් කරන කං, මං නං ඌට කෝල් කරන්නේවත්, ඊ-මේල් දාලා සුභ පතන්නේවත් නෑ කියලා.

දැන් අවුරුදු දෙක තුනක් ගියා. ඌ මට කතා කළේත් නෑ, මං ඌට කතා කළේත් නෑ!

-කතන්දරකාරයා

ප/ලි:
මං හිතන්නේ එදා වෙන්න ඇත්තේ මේකයි.

පොඩිරාජාට දහවෙනි වෙඩිං ඇනිවසරිය මතක්වෙන්න ඇත්තේ මහ රෑ මං කෝල් කරපු වෙලාවෙයි. මගේ සුභ පැතුමට ස්තුති කළොත් ඒක පොර ගේ වයිෆරේට ඇහිලා වැඩේ දරුණු වෙන්න ඉඩ තියෙන නිසා පොර මාව මග අරින්න ඇති!

මට නං පොඩිරාජා ගේ ඇනිවසරිය විතරක් නෙමේ හාමිනේගෙයි මගෙයි ඇනිවසරියත් හොඳට මතකයි.

දුමින්ද ගේ යුග දිවිය කතන්දරේත් බලන්න ඔය ගමන්ම.

(image: http://www.anniversarygift.org/wedding-anniversary-clip-art/)

Wednesday, 15 February 2012

මේව්ව උඹට හොඳ පාඩම් නොහොත් බෝංචි ග්‍රීන් කරිය - How not to cook Beans


අපේ එක්තරා ඇන්ටි කෙනෙකු ගේ සහ එම අංකල් ගේ එක් වීරයෙකු වූයේ ඉස්කෝලේ යන කාලේ ඉඳලාම මේ දෙන්නාම හොඳින් දන්න අඳුණන පොරක් වුණු සන්තියාගෝ අයියා යි.

මේ සන්තියාගෝ අයියා ඉස්කෝලේ යන කාලේ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරයෙක්ව ඉඳලා තියෙනවා. මා දන්නා කාලෙදීත් පොර බඩ රස්සාවට කළේ එක්කෝ අධ්‍යාපන අමාත්‍යංශයේ හෝ නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ වගේ තැනක ශාරීරික පුහුණු උපදේශකවරයෙක් විදියට වැඩ කරන එකයි.

සන්තියාගෝ අයියා ගේ ප්‍රිය බිරිඳ සන්තියාගෝ අක්කාත් ඒ වගේම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ ම කෙනෙක් ද කොහෙද?

ඊටත් වඩා වැදගත් කාරණය වුනේ මේ යුවලගේ දරුවන් දෙන්නා ජාතික මට්ටමින් විවිධ ක්‍රීඩා ඉසවු වලට සහභාගී වුණු ශූරයෝ දෙන්නෙක් වුණු එකයි.

ඔන්න දවසක් අපේ ඇන්ටියි අංකලුයි ගිහින් සන්තියාගෝ ලා ගේ ගෙදර. ගිහින් දවල්ට කාලා හවස් වෙලා තමයි ඇවිත් තියෙන්නේ.

එදා ගමන ගැන පස්සේ වුනු කතාවකින් මං එක් වැදගත් දෙයක් ඉගෙන ගත්තා. ඒක බෝංචි උයන එක ගැන ලොකු වැදගත් රහසක්.

සන්තියාගෝ ලා ගේ ගෙදර තිබුණු බෝංචි කරියේ බෝංචි කෑලි බාගෙට අමුවට තමයි තිබිලා තියෙන්නේ. කිරි, මිරිස්, ලුනු රහ හෙම නිකං ලාවට ලාවට වගේ වදින්න.

එළවළුවල මුළු ගුණම ඇඟට ගන්න නම්, ඒවා තැම්බෙන්නම උයන්නේ නැතුව නිකං ලාවට අමුවට හැපෙන ගානට උයන්න ඕනෑයි කියලයි ශරීරවර්ධනය ගැන හෙම හොඳට ගැන දන්න කියන සන්තියාගෝ ලා අපේ ඇන්ටි ට කියලා දීලා තිබුණේ.

බෝංචිවලට විතරක් නෙමේ, කැරට්, බීට්, පලාවර්ග වගේ බොහොමයක් එළවලුවලට මේ කතාව අදාලයි!

අර "වඩේ බදිනකොට අඩුවෙන් බදින්න!" කියනවා වාගේ එළෝළු උයන කොට බාගෙට ඉදෙන්න තමයි උයන්න ඕනෑ.

ඇන්ටිගෙන් මේ කතාව ඇහැව්වයි කියලා අපේ අම්මා නං එයා ගේ පාරම්පරික උයන ක්‍රමය වෙනස් කළේ නෑ. නමුත් මේ කතාව මගේ හිතේ ඇතුලේ තැන්පත්වෙලා තිබුණා මේ වෙන කොට ලියා පල කරපු පන්සීය පනහක් කතන්දර සහ තවත් පන්සීයක් විතර ලියන්න තියෙන කතන්දරත් එක්ක.

දවසෙන් දවස, සතියෙන් සතිය, මාසෙන් මාසේ, වසරෙන් වසර කාලේ ගෙවිලා ගිහින් මංතුමා ඒ-ලෙවල් කරලා, පේරාදෙනියේ රස්තියාදු වෙලා, බොසී ලා යටතේ මැවිසුරුකම් කරලා, තායිලන්තයේ මහන වෙලා ඉඳලා, කසාද බැඳලා යනාදී සියළුම කරණං ගහලාත් තව අවුරුදු කීපයක් ගතවුණාට පස්සේ ඔන්න මට නොමිලේම වගේ ලැබුණා උයන පිහන කටයුතු ගැන පොඩි උනන්දුවක් ඇති කරගන්න චාන්ස් එකක්.

මං මුලින් උයන්න ඉගෙන ගත්තේ බත්, පරිප්පු වගේ සරල දේවල්.

පස්සෙන් පහු මං ටික ටික එක්ස්පරිමන්ට් කර කර පුරුදු වුණා අනිත් එළවලු වර්ගත්, මස් වගේ දේවලුත් උයන්න.

බෝන්චි උයන එක රෙසිපියක් මං කලින් දැම්මානේ, ඒක නං හැබැයි හාමිනේ ගේ එකක්.

මේ වගේ තවත් මං ඉගෙන ගත්තු බෝංචි හදන ක්‍රමයක් තමයි තායිලන්තේ තියෙන ග්‍රීන් කරි එක. මේ කරිය හදන එකේ තියෙන ජොලිම වැඩේ තමයි කඩෙන් පැකට් එකක් අරගෙන කෙලින්ම හොද්ද ඒදන්න පුළුවන් හරියට අර ඇන්ටි ටින් එකක් දානවා වගේ.

දෙතුන් දවසක් උයලා, හාමිනේ එක්ක ටේස්ට් කරලා වැඩේ හොඳට පුරුදු පුහුණු වුණාට පස්සේ, මං මේ තායි ග්‍රීන් කරි පැකට් එකක් දවසක් අරං ගියා අපේ අම්මයි තාත්තයි බලන්න ගිය දවසක එහේ.

එදා මගේ ප්ලෑන් එක වුනේ අම්මටයි තාත්තටයි මගේ අතින්ම උයලා කන්න දෙන්න. (අන්න බලන්න අපේ කාලේ හැදුණු රත්තරං කෑලි වගේ පුතා ලා ගේ හොඳ වැඩ!)

ඔන්න ඉතිං, බත් ඉව්වා, පරිප්පු උයලා තෙම්පරාදු කළා. කුකුල් මස් කරි එකකුත් හැදුවා. ඒ එක්කම මේ කියපු තායි ග්‍රීන් කරියත් හැදුවා බෝන්චිවලින්.

දැන් ඔන්න මේසේ සූදානම්. දෙකෙලවර දේශනාවට මඩුව මත්වුණා!

අපේ ගෙදර පොර ළමයා තාත්තා නේ. පොර තමයි ඉස්සෙල්ලාම කන්නේ. තාත්තා ආවා, බෙදා ගත්තා බත් පොඩ්ඩකුයි, හොදි මාලුපිණියි, පොඩ්ඩ පොඩ්ඩ අනලා කන්න පටන් ගත්තා.

"මේ බෝංචි මාලුව හරියට ඉදිලා නෑ, අමුයි!" එක බෝංචි කෑල්ලක් හපපු තාත්තා කීවේ එච්චරයි.

බෙදාගත්තු බෝංචි ටික එහෙමම පිඟානේ පැත්තකට ඉතුරු කරළා අනිත් දේවල් එක්ක බෙදා ගත්තු බත් වලින් ටිකක් කාපු තාත්තා පිඟන් කොටේ එතන තියලා කුස්සියේ සින්ක් එකෙන් අත හෝදාගෙන යන්න ගියා.

තාත්තා කාලා ඉතුරු කරපු පිඟානේ කරපිංචා කොළ ටිකකුයි බත් කටවල් දෙක තුනකුයි එක්ක මගේ තායි ග්‍රීන් කරි බෝන්චි ටික දිලිසි දිලිසී තිබුණා.

අම්මා සුපුරුදු පරිදි කළේ තාත්තා ගේ බත් කොටේ ඉතුරු වෙලා තිබුණු දේවල්වලට තව බත් හැන්දකුත් දාලා, මස් හොඳි ටිකකුත් දාලා, කලවම් කරලා ගෙදර ඉන්න බූලා ගේ පිඟානට දාලා පිලිකන්නෙන් තියපු එකයි.

මං නං එදා තායි ග්‍රීන් කරි එක එක්ක රහ කර කර බත් කෑවා.

හවස් වරුවේ ගෙදර පිටිපස්සට පැත්තට ඇස් යොමු වෙච්ච වෙලාවේ තමයි දැක්කේ අපේ බූලා බල්ලා කරලා තිබුණු අළුගුත්තේරු වැඩේ!

ඌ පිඟානේ තිබුණු අම්මා කලවම් කරලා දාපු බත් ඇටයක් ඉතුරු නොකර, කරපිංචා කොලත් එක්කම කාලා තිබුණා.

පිඟානේ දිලිසි දිලිසී ඉතුරු වෙලා තිබුණේ, මගේ තායි ග්‍රීන් කරි එකේ බාගෙට තැම්බුණු බෝන්චි කෑලි ටික විතරයි.

-කතන්දරකාරයා

ප/ලි:
තායි ග්‍රීන් කරි රෙසිපිය පසු දිනක සිතුවම් සහිතව පල කෙරෙනු ඇත.

ප/ප/ලි:
බෝංචි ඇට ගැන මං ලියපු කතන්දරය මතකද?
http://kathandara.blogspot.com.au/2010/09/blog-post_24.html

Wednesday, 5 October 2011

මගේ මතය තමයි හරි මතය, හරිද ඩෝ? - My way or no way!


කාලෙකට ඉස්සර ඉඳලා අද දක්වාම මං නිතරෝම වගේ පාවිච්චි කරන ජෝක් එකක් තමයි මෙන්න මේක.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් ඔබේ පැත්තය, අනික හරි පැත්තය!"

මං ජොලියට ඔය කතාව කිව්වට අපේ සමහර ගොයියලා ඉන්නවා, ඇත්තටම හිතන්නේ මෙන්න මෙහෙමයි.

"ඕනෑම ප්‍රශ්ණයක පැති දෙකක් ඇත, එකක් මගේ පැත්තය, අනික වැරදි පැත්තය!"

මෙන්න ඒ වගේ තමන්ගේ මතයම හරි කියලා හිතපු පොරක් ගැන පොඩි කතාවක්.

ඔන්න මං පේරාදෙනියේ ඉගෙන ගන්න කාලේ කාලයක් තිස්සේ දන්න කියන මගේ යාළුවෙක් පේරාදෙනියට තේරුණා.

මේ කියන දවස්වල අපිට යුනිවසිටියේ ෆර්ස්ට් ඉයර් අවසානයේ තියෙන දිගු නිවාඩුව. ඉතිං, පොර මට එහේ යන්න තියෙන දවස මට දන්නපු නිසා මාත් සෙට් වුණා එදාම පේරාදෙනියේ යන්න.

පොරයි තාත්තයි දෙන්නම ආවා. අපි කොළඹ ඉඳලා කෝච්චියේ යි පේරාදෙනියේ ගියේ.

ඉතිං එදා මං වීරයා සේ අංකල්වයි, ෆ්‍රෙන්තාවයි, පොර ගේ ෆැකල්ටියටයි, රෙසිඩන්ෂල් හෝල් එකටයි, සෙනෙට් එකටයි යනාදී මෙකී නොකී තැන්වලට එක්ක ගෙන ගියා.

එදා අපි එහේ නතර වුණා. ෆ්‍රෙන්තා හිල්ඩා එකේ. මං අක්බාර් එකේ. අංකල් ගියා නුවර නෑදෑ ගෙදරක. පහුවදා අංකල්ට ඕනෑ වුණා පුතා එක්ක නුවර දතේ පන්සලට (=ටෙම්පල් ඔෆ් ද ටූත්) ගිහින් වැඳ පුදා ගන්න.

පහුවදා නුවරින් තුනයි ගානට පිටත්වෙන කෝච්චියේ ආපහු තුන් දෙනාම එකට කොළඹ යන්නයි අපි කතා වුනේ. තාත්තයි පුතයි නුවර ඉඳලා එන කෝච්චියට මං පේරාදෙනියෙන් නගින්න මං පොරොන්දු වුණා.

ඔන්න මං පේරාදෙනිය හන්දිය දුම්රිය ස්ථානයේ ඉන්නවා. මගේ මිත්‍රයා ජනේලෙන් ඔළුව දාලා අත වනාගෙන ආපු නිසා මං දුවලා ගිහින් ඒ පෙට්ටියට ම නැග්ගා.

අපි දෙන්නා ඊයේ කතාව එතන ඉඳන් පටන් අරගෙන ඔන්න කොළඹ යනවා.

කඩුගන්නාව හරියෙදී මෙන්න පොර ඇහැව්වා මෙහෙම.

"මචං කතන්දර, අක්බාර් හෝල් එකේ ඉඳලා සරසවි උයන ස්ටේෂමට එන්න විනාඩි කියක් යනවාද?"

සරසවි උයන කියන්නේ මහනුවර ස්ටේෂමත්, පේරාදෙනිය හන්දිය ස්ටේෂමත් අතර තියෙන එකම ස්ටේෂන් එකයි. මේක තියෙන්නේ විශ්ව විද්‍යාල සීමාව මැද.

"මං නං දන්නේ නෑ මචං!" මං කිව්වා "මං කවදාවත් අක්බාර් එකේ ඉඳලා සරසවි උයන ස්ටේෂන් එකට ගිහිල්ලා නෑ."

"මොනවා? ඇයි බං උඹ අද මේ කොච්චියට නැග්ගේත් සරසවි උයනෙන් නේ!"

"නෑ මචං, මං නැග්ගේ පේරාදෙනිය හන්දිය ස්ටේෂන් එකෙන්."

"අනේ පලයං බං යන්න බොරු කියන්නේ නැතුව! මං ජනේලෙන් බලාගෙන නේ ආවේ. උඹ නැග්ගේ සරසවි උයන ස්ටේෂන් එකෙන්මයි."

"මචං, සරසවි උයන තියෙන්නේ ගලහ පාර කිට්ටුව. අක්බාර් හෝල් එකේ ඉඳලා මාර දුරයි. මං මොකටද ඒකට යන්නේ, මේ විනාඩි දෙක තුනෙන් එන්න පුළුවන් පේරාදෙනිය හන්දිය ස්ටේෂම තියෙද්දී?"

මූ වැඩේ අතහරින්නේම නෑ.

"මට නං හොඳටම ෂුවර් කතන්දර, උඹ අද නං නැග්ගේ සරසවි උයනෙන් බව!"

අන්තිමේ දී මං මෙන්න මෙහෙම කිව්වා.

"මචං මං දැන් පහුගිය අවුරුද්දම හිටියේ පේරාදෙනියේ. සිකුරාදාට ගෙදර යන්න කෝච්චියට නැග්ගේ පේරාදෙනිය හන්දියේ ස්ටේෂන් එකෙන්. නමුත් ඉතිං උඹනේ මට වඩා මං කරන කියන දේවල් දන්නේ! උඹ කියනව නං මං පිළිගන්නම් කෝ මං නැග්ගේ සරසවි උයනෙන් කියලා!"

එච්චරයි ඒ කතාව.

අපි වෙනිං මාතෘකාවක් පටන් ගත්තා.

"මචං අර පේන කන්ද, බතලේගල ද, බයිබල් රොක් ද?"

-කතන්දරකාරයා

ප/ලි:
තවත් මේ වාගේම කතාවක් තියෙනවා කියන්න.

මේ අවූරුදු විස්සේ කොල්ලෙක් ගේ එකක් නෙමේ, ඒ වගේ දෙගුණයක් වයස කාන්තාවක ගේ එකක්. ඒ කතාව මීලඟට.

(image: http://maps.google.lk)

Monday, 3 October 2011

කොහෙද යන්නේ? ක්ලාස් යනවද? - Conversation starters


අපේ කෂ්ටියගේ ප්‍රියතම ප්‍රශ්ණයක් වෙන "කොහෙද යන්නේ?" කියල අහන එක ගැන කතා කීපයක් තමයි මේ ලියාගෙන යන්නේ.

සමහරු ඉන්නවා "කොහෙද යන්නේ?" කියලා නෙමේ අහන්නේ, ඒ ප්‍රශ්ණයට තමන්ම උත්තරයකුත් හිතලා, ඒ උත්තරේ ප්‍රශ්ණයක් විදියට අහනවා.

මෙන්න මේ වගේ.

"ආ, කඩේ යනවා වගේ?"
"ආ, උදේම වැඩට යනවා වගේ?"

මේ වැඩේ දෙපාරක් විතර මට වෙලා තියෙනවා. දෙපාරම මට මල පනින්න කේන්ති ආවා.

මං පේරාදෙනියේ සෙකන්ඩ් ඉයර් එකේ ඉන්න කාලේ දවසක් පොඩි වැඩකට ටවුමට යන්න පාරට වෙලා ඉන්නවා බස් එක එනකං.

ආපහු ගෙදර එන ගමන ප්‍රාදේශිය සභා ලයිබ්‍රියට ගිහින් පොත් දෙක මාරු කරගන්නත් තිබුණු නිසා ඒකත් කිහිල්ලේ ගහගෙනයි හිටියේ.

ඔන්න ඔතනට ආපු බවලතෙක් අහනවා

"ආ මල්ලී කොහේද මේ උදෙන්ම, ක්ලාස් යනවද?"

මං ක්ලාස් යනවනං ඉතිං ඒ ජනප්‍රිය පස්වෙනි පාරට විතර A/L විභාගේ කරන්න වෙන්න ඕනැ!

ඒක කමක් නෑ කියමු. ඊටත් අවුරුද්දකට, එකහමාරකට විතර පස්සේ දවසක මං ඔය විදියටම බස් එකක් එනකං ඉන්න කොට ගමේ පොරක් අහනවා මගෙන්.

"ආ මල්ලී විභාගෙට යනවා වගේ."

බැලින්නම්, ඒ උසස් පෙල විභාගේ තියෙන කාලේ.

මෙන්න අද අන්තිම කතන්දරේ.

කාලෙකට ඉස්සර රූපවාහිනියේ ටෙලි නාට්‍යයක් ගියා දූ දරුවෝ කියලා. රචනය සෝමවීර සේනානායක අධ්‍යක්‍ෂණය නාලන් මෙන්ඩිස්.

මේක දැකලා තියෙන අයට මතක ඇති, දූවරු හතර දෙනෙක්, ඒ අයගේ අම්මා (අයිරාංගනී සේරසිංහ) ඇතුළු පවුලේ කතාවක් මේක. මෙගා කියන වචනය භාවිතයේ නොතිබුණාට මේක මුල්ම මෙගා-ටෙලිය විදියට සලකන්න පුළුවන්.

කසාඳ බැඳලා හිටිය ලොකු දූවරු දෙන්නාගේම (වීනා ජයකොඩි සහ නීල් අලස් ජෝඩුව සහ පුතා, සුනේත්‍රා සරච්චන්ද්‍ර සහ එච් ඒ පෙරේරා ජෝඩුව සහ දුව) පවුල් ඉන්නේත් මේ මහ ගෙදරයි.

ගෙදර හිටිය බාලම දුව (චාන්දනී සෙනෙවිරත්න) බඳින පොර පුන්සිරිත් (ජයලත් මනෝරත්න) මේ ගෙදරම පදිංචි වෙනවා.

ආණ්ඩුවේ ලිපිකරු රැකියාවක් කළ පුන්සිරි පරිපාලන සේවා විභාගය (SLAS) පාස් වෙනවා.

මේ ගැන ගෙදර ලොකු අක්කා තමන්ගේ මිනිහා වෙන ඩයස් මහත්තයා ට කියනවා මෙන්න මෙහෙම.

"අන්න පුන්සිරි ලොකු විභාගයක් පාස් වෙලා ය කියන්නේ!"

ඩයස් මහත්තයා ගේ උත්තරේ වුනේ මේකයි.

"මොනව මේ හාදයා කසාද බැඳලා වෙලත් තාමත් ඉස්කෝලේ යනවද?"

-කතන්දරකාරයා

ප/ලි
තව කතාවක් මතක්වුනා! සීයලා දෙන්නෙක් අතර වෙච්ච කතාවක්. (මේ කතාව කීප දෙනෙක්ම කමෙන්ට් ගැටියට දාලා තිබුණත් ඒවායේ පොඩි අඩුපාඩුවක් තිබුණා)

එක සීයා කෙනෙක් තුවායකුයි, බාල්දියකුයි, සරමකුයි අරගෙන වෙල අයිනේ තියෙන ලිඳ පැත්තට යනවාලු.

ඕක දැකපු අනිත් සීයා අහනවාලු මෙහෙම.

"කොහෙද මචං යන්නේ, නා ගන්න යනවද?"
"නෑ, මචං මේ නා ගන්න යනවා!"
"ආ, ඇත්තද මචං? ඒත් මං හිතුවේ උඹ මේ බාල්දියකුයි, තුවායකුයි අරං යනකොට නා ගන්න යනවා කියලයි."

පස්සේ බැලින්නං සීයලා දෙන්නටම කන් ඇසීම අඩුයි!


(image: http://jaymckinnon.com/)

Friday, 30 September 2011

කොහෙද යන්නේ රුක්මණී? Where are you going my pretty maid?


"කොහෙද යන්නේ?" කියල අහන එක, අපේ කෂ්ටියගේ ප්‍රියතම ප්‍රශ්ණයක් හරියට සුද්දෝ "හව් ආ යූ?" කියල අහනවා වගේ.

හැබැයි "හව් ආ යූ?" කියල ඇහැව්වාම, මොන මහලෙඩේ හැදිල තිබුණත්, "අයෑම් ෆයින්, තෑන්ක් යූ!" කියනවා මිසක් "අයෑම් නොට් වෙල්, අයි හෑව් අ හෙඩේක්" වගේ ඇත්ත කියන්න යන්න නම් හොඳ නෑ!

නමුත්, "කොහෙද යන්නේ?" කියල කවුරු හරි හිංගලෙන්ම අහන කොට නම් අපිට වෙනවා මොකක් හරි පිළිගත හැකි උත්තරයක් දෙන්න.

"ඇයි අහන්නේ? මගේ පුද්ගලික ගමන් බිමන් පිළිබඳ විස්තර මක්කටෙයි ඔහේට?" වගේ පොර ටෝක් දෙන්න යන එක නං ඇඟට ගුණ නෑ.

මේ වෙලාවට කරන්න තියෙන හොඳම දේ තමයි, "මං මේ ලඟට යනවා" හරි එහෙම නැත්තං, "මං මේ පොඩි ගමණක් යනවා" වගේ හරි උත්තරයක් දීලා ඇඟ බේරගන්න එක.

නැතුව "මං මේ කොටුවක් පනින්න යනවා", "මං මේ ගෑල්ලමයෙක් හම්බ වෙන්න යනවා", "මං මේ මුල්ල පටස් ටිකක් බොක්කට දාගන්න යනවා", "මං මේ අයිස් ක්‍රීම් උම්මා එකක් දෙන්න යනවා" වගේ ඇත්ත කතන්දර කියන්න නං යන්න එපා!

මේ "කොහෙද යන්නේ" සීන් එක ගැන කතන්දර ගොඩයි. අද එකක් විතර කියන්නම්.

ඔන්න අපේ ඇන්ටි කෙනෙකුට දොස්තරලා උපදෙස් දුන්නා හැමදාම පැය භාගයක් විතර ඇවිදින්න. ඇන්ටි ඉතිං කලේ පහුවදා ඉඳලාම ගමේ පාරේ ඇවිදින්න පටන් ගත්තු එකයි.

නමුත් ඒක දවසක් දෙකකින් ම නතර වුණා.

හේතුව අහල බැලුවාම මෙන්න මේකයි වෙලා තියෙන්නේ.

ඔන්න එදා මුලින්ම ඇවිදින්න පටන් ගත්තු දවසේ, ඇන්ටි ගෙදර ඉඳන් යාර සීයක් ගියා විතරයිඃ

"ආ, මිස් කොහෙද මේ බෑරක්ද?"

ඉතිං ඇන්ටි නැවතිලා ඒකට උත්තර දුන්නාලු.
තව අඩි කීපයක් ගියා.

"ආ, මිස් මොකද මේ අද පයින්ම?"
තවත් විනාඩියක් ඒකට.

"මිස් හවස් වෙලා නෑගං යනවා වගේ?"
"අනේ මිස්ව මං හම්බවෙන්නමයි හිටියේ."
"මිස් අපේ ගෙදරටත් ගොඩවෙලා තේකක් බීලා යන්නකෝ"

මුල් දවසේ ඇවිදිල්ල එච්චරයි.

මේ දෙවෙනි දවසේ.

"ආ මිස් අදත් මොකද පයින්ම?"
"මිස්, කොහෙද යන්නේ, වීල් එකක් හම්බ වුනේ නැද්ද?"
"මිස්, මොකද තනියම? කෝ රාලහාමි?"
"ආනේ මේ මිස් නේ? මට ඒත් ඊයේ කුසුමා කීවා එහේ ඇවිත් තේ බීලා ගියා කියලා. යං යං මිස් අපේ ගෙදරටත් ගොඩ වැදිලා යන්න."

දෙවෙනි දවසේ ඇවිදිල්ල එච්චරයි.

තුන්වෙනි දවසේ මිස් ගෙදර!

ඔහෙලා දන්න "කොහෙද යන්නේ?" කතන්දර තියෙනවා නං යටින් ලියල යන්න. මගේත් තව ලියපු තියෙනවා දෙක තුනක් සඳුදා ට විතර දාන්නං.

-කතන්දරකාරයා

ප/ලි:
ඔය පොලිටිකල් බ්ලොග්වල ඇතිවෙන විවාද වලදී නම් "කොහෙද යන්නේ?" ප්‍රශ්ණෙට ලැබෙන්නේ "මල්ලේ පොල්!" වර්ගයේ උත්තර විතරයි!

(image: http://healthjunction.org/)