
ඔන්න කතන්දර කුමාරයි, කතන්දර කුමාරියි බඳින්න කලින් කතා වෙච්ච එක දෙයක් තමයි බැන්දයින් පස්සේ ජෝඩුව කොහෙද පදිංචි වෙන්නෙ කියන එක.
මොකද ඒ දවස්වල මංතුමා හිටියේ තාත්ත යි, අම්ම යි, මල්ලිල යි එක්ක අපේ පවුලේ නිවසේ. ගෙදර ඉඳලා, වැඩට යන්න බස් තුනක ගමනට දවසකට පැය හතරක් විතර යනවා.
වෙන්ඩ කතන්දර හාමිනේ නං හිටියේ ගෙදරින් පිට. මොකද එයා ල ගේ මහගෙදර ඉඳලා එයා වැඩ කරපු තැනට එන්නම පැය පහකට වඩා යාවි. ඉතිං එයා හිටියේ කැම්පස් යාළුවෙකු ගේ අම්ම ගේ යාළුවෙකු වෙන ඇන්ටි කෙනෙකු ගේ ගෙදර බෝඩ් වෙලයි. ඒ ගෙදර තිබුනේ වෙන්ඩ කතන්දර හාමිනේ ගේ වැඩපොල කිට්ටුවෙන් ටවුන් එකේම වගේ.
මගේ මහගෙදර ඉඳලා හාමිනේ ගේ වැඩපොලට යන්න තියෙන්නේ මගේ වැඩපොලත් පාස් කරලා. ඉතිං, බැන්දයින් පස්සේ අපි දෙන්නා මගේ මහගෙදර නතර වීම කියන්නේ හාමිනේ කබලෙන් ලිපට වැටීමක්. බස් තුනක ගමනට පැය පහකටත් වඩා යාවි දවසකට.
මැත්ස් වලට ඔප්ටිමයිශේෂන් ඉගෙන ගෙන තියෙන අය දන්නව ඇති ඕනෑම කන්වෙක්ස් සෙට් එකක මැක්සිමම් වැලියුව්ස් තියෙන්නේ වර්ටිසස් වල බව.
තේරෙන භාෂාවෙන් මේ කියන්නේ අපි දෙන්නා ගේ එදිනෙදා රැකියාව සඳහා කරන මුළු ගමන් කාලය අවම කරගන්න නම් එක්කෝ දෙන්නාම මංතුමා ගේ වැඩපොළ ලඟ නැත්නම් හාමිනේ ගේ වැඩපොළ ලඟ දෙකෙන් එකක පදිංචි වෙන්න ඕනෑ.
අපි දෙන්නා මුලින්ම හිතුවා මගේ සේවාස්ථානය ලඟ තැනක් හොයා ගන්න.
මේ සඳහා ඒ දවස්වල තිබුණු සාමාන්‍ය ක්‍රමය තමයි ඉරිදා පත්තරයක් අරගෙන ඒකේ ලුහුඬු දැන්වීම් බලලා ඒ අනුව හොයා බලන එක.
හැබැයි ඊට වඩා හොඳ ක්‍රමයක් මං අනුගමනය කලේ. ඒ තමයි ගෙවල් තියෙන අය දැන්වීම් දානකං ඉන්නේ නැතුව අපි සල්ලි ගෙවලා අපේ ම දැන්වීමක් දැමීම.
රැකියාවැති තරුණ යුවලක් අහවල් ප්‍රදේශයෙන් ඇනෙක්සියයක් සොයයි - කියල සිළුමිණ පත්තරේ මං දැම්ම දැන්වීමක්. ඒක හරියටම පලවුනේ කතන්දර ජෝඩුව බැන්ද සතියේ අග ඉරිදාමයි.
දැන්වීමට ප්‍රතිචාර විදියට ආපු උත්තර කිහිපයෙන් මගේ හිත ගත්තු හොඳම ලිපිය එවල තිබුනේ මෙන්න මෙයා.
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්
හොඳ උගත් මහත්තයෙක් ගේ ඇනෙක්සියක් නේ කියල ඔන්න ඒ සතියේම ගියා මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් හමුවෙන්න.
"මං මේ හොයන්නේ හොඳම කපල් එකක් මේ ඇනෙක්සිය දෙන්න". මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් කිව්ව.
"ඒක හින්දම තමයි අපි මේ ආවෙ". මාත් අත හැරියේ නෑ.
ඉතිං ඔන්න ගේ පෙන්නන්නත් කලින් මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්, අපි දෙන්නගේ නම්, ජොබ්ස්, වැඩ කරන තැන් සේරම විස්තර ඇහැව්ව. මං අහවල් තිප්පොලේ ඉගෙන ගෙන දැන් අහවල් තිප්පොලේ වැඩ කරන බව, හාමිනේ අහවල් වැඩපොලේ සේවය කරන බව වගේ දේවල්. පොර ඒ කරුණු වලින් සෑහීමකට පත්වුණා වාගෙයි මට පෙනුනේ.
"ඉතිං ඩොක්ටර් කතන්දර ගේ ගම කොහේද?" මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් මගෙන් ඊ ලඟට ඇහැව්ව.
හැබැයි ඇහැව්ව සැනෙකින් ම ඒක නිවරැදි කළා. "ඕහ්, අයෑම් සොරි, යූ හැවන්ට් ගොට් යුවර් ඩොක්ටරෙට් යෙට් නෝ? ඉතිං මිස්ටර් කතන්දර ගේ ගම කොහේද?"
"මං කොළඹ පැත්තේ."
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ඔන්න කතන්දර හාමිනේ පැත්තර හැරුණා.
"ඩොක්ටර් මිසිස් කතන්දර කොයි පලාතෙද?"
මේ ආකාරයෙන් ප්‍රශ්ණ අහල අහල මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් තාමත් මේ බලන්නේ අපි දෙන්නා මේ ඇනෙක්සිය කුලියට දෙන්න තරම් වටිනා ජෝඩුවක් ද කියලයි.
මට නං ඒ වෙනකෙටත් හිතිල තිබුනේ බුදු අම්මෝ මේ මනුස්සය ගේ බිත්තියෙන් එහා පැත්තේ, එකම වහල යට, එකම මිදුල ෂෙයාර් කරගෙන මං කොහොම ඉන්නද කියල.
හොඳ වෙලාවට කතන්දර හාමිනේ ඒ ඇනෙක්සිය නොගන්න තීරණය කළා.
ඒකට හේතුව මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රශ්ණ කිරීම් මාලාව නං නෙමේ. මෙන්න මේකයි.
මේ ඇනෙක්සියේ සාලෙන් නිදන කාමරේටයි, කුස්සි කෑල්ලටයි දොරවල් දෙකක් තිබුණා. අනිත් පැත්තෙන්, නිදන කාමරේ ට මූණ දාලා තව දොරක්. මං ඒ ඇරල බැලුව. මෙන්න බොලේ කක්කුස්සියක් සාලෙ මැද්දේ!
පස්සෙ බැලින්නං වෙලා තියෙන්නේ මේකයි. මේ කක්කුස්සිය මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස්ගේ ප්‍රධාන ගෙදර පිටතින් තිබුණු වැසිකිලිය. ගෙට අල්ලල මේ ඇනෙක්සිය හදන කොට ඒක අළුත් කෑල්ලේ සාලේ මැද්දට ඇවිත්.
මිස්ට සෝමපාල, බී.ඒ. ඔනර්ස් ගේ වැඩ ගැන හිනා වෙවී ගෙදර ආපු අපිට තව සති දෙකක් විතර ඇතුලත වෙන තැනක් සෙට් වුණා.
ඒ විස්තර වෙනිං කතන්දරයකින් කියන්නම්.
-කතන්දරකාරයා
ප/ලි
හෝව්, හෝව් වැරදුණා!
කතන්දරකාරයා, බී.එස්.සී.ඉන්ජිනියරින් ඔනර්ස්, එම්. ඉන්ජිනියරින්, එම්. ඒ.