Showing posts with label උසාවිය. Show all posts
Showing posts with label උසාවිය. Show all posts

Friday, 24 June 2011

උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ! Liar Kathandara locked up in courts


කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.

අරගත්තු අළුත, හැප්පිලා, රෙපයාර් කරන්න වැඩ අරගෙන, බබා ව ගෙදර ගෙනල්ලා, දඩ කොල ගෙවන්න අමතක වෙලා උසාවි එන්න වුණු වෙලාවේ යාන්තං කාක්කන් ගෙන් බේරිලා ඉන්න අල්ල පනල්ලේ, මගේ කේස් එක ඉක්මනට උසාවියට දාලා දුන්නු ට්‍රැෆික් ඕඅයිසී එක්ක කතාකරන කොට, මට තේරුණා මුං වැරදි කාර් නොම්බරයක් තමයි නඩුවට දාලා තියෙන්නේ කියලා.

මගේ අයි නෝ ද ලෝ තියරියට අනුව මේ කේස් එක විසි කරන්න ඕනෑ වැරදියට ෆයිල් කරපු නිසා!

හැබැයි මංතුමා ලෝයර් කෙනෙක් නැතුව ඔය නීති තර්ක ගේන්න ගිහින් වැඩේ දෙල් වෙයිද කියලා හිතට ආපු සැකේ මහා දරුණුයි, නඩුව විසිවෙයි කියලා ලොජිකලි හිතුණු එකට වඩා.

කොහොමටත් ආපහු කාක්කෙක් ගාවට යන්න නං මට හිතුනේ ම නෑ.

උදේට හරියට කාලා හිටියේත් නැති මං, දවල් ට තියා තේකක්වත් නැතුව උසාවි සාවියේ දෙගිඩියාවෙන් ලත වෙවී ඔහොම හිටියා කියමුකෝ හවස තුනත් පහු වෙනකංම.

ඔන්න එතකොට තමයි මගේ නඩුව අඬ ගැහැව්වේ.

මං ඉස්සරහට ගිහින් විත්තිකරු ඉන්න කොටුවේ හිට ගත්තා.

ෂහ්, මං මගේ හොඳම කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන විත්තිකාර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ!(*)

"අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම ගැන වරදකරුද? නිවරදකරුද?"

ඇත්තටම කියනවා නං කට වැරදිලා මට නිවරදකරු කියලා කියවෙන්නම ගියා.

නමුත් හොර බොරු නොකරන මං එදා උසාවියේ දී බොරුවක් කිව්වා!

"වැරදිකරු!"

නඩුකාරයා මොනවද මිමුණුවා.

"රුපියල් පන්සීයක් දඩ!" තෝල්කයා කෑ ගැහැව්වා. දැම්මා ෆයිල් එක පැත්තකට. අනිත් ෆයිල් එක අතට ගත්තා.

මට තේරුණා නඩුව ඉවරයි කියලා.

මං එතනින් අයින් වෙලා පර්ස් එක අරගෙන පන්සීයක් ඇද්දා ගෙවන්න.

මෙන්න බොලේ එතකොටම එතන හිටිය පොලිස් මහත්තැන් වගේ කෙනෙක් ඇවිත් මාට කියපි:

"කරුණාකරල යන්න අර කූඩුවට" කියල.

මේක තමයි උසාවියේ වරදකාරයින් දාන කූඩුව.

දැන් ඉතිං මං නීතිය ඉදිරියේ වරද පිළිගත්තු, දඬුවම් ලබපු වරදකාරයෙක් නේ. මට හිමි තැන කූඩුවයි!

"නෑ, මට දඩයක් නේ ගැහැව්වවේ, මං ඒක ගෙවන්නම්!" මං කිව්වා.

"ඔව්, ගෙවන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා නඩු තීන්දුව පොතේ ලියලා, ඒකට නඩුකාරයා අත්සන් කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි දඩේ ගෙවන්න පුළුවන්".

අනේ ඉතිං ජීවිතේ පළමු වතාවට කතන්දරකාරයා උසාවියේ ලොක් අප් එකට වැටුණා.

අපරාදේ! කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, රතු ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ! (*)

කොහොම හරි, ඔය විදියට පැය භාගයක් විතර ගියාට පස්සේ යාන්තං පන්සීයේ දඩේ ගෙවලා නැවතත් නිදහස් මිනිහෙක් වෙන්න මට වරම් ලැබුණා.

උසාවියේ බොරු කියපු කතන්දරකාරයා ලොක් අප් එකේ වැටුනේ අන්න එහෙමයි!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං මේ කාර් වැඩේ මට ඇති වේගෙන එනවා.

ඇත්තටම කාර් එකක් නැති කාලේ කොච්චර ජොලියේ හිටියද, බස්වල හිර වෙලා ගියත්. අනික, කාර් එක තිබුණා කියලත් හිතුමතේ ගමන් යන්න පුළුවනි යෑ, පෙට්‍රල් ගහන්නත් ඕනැනේ.

"වෙලාවකට විකුණලා දාන්නත් හිතෙනවා මේ වෙඩිම!"

ඒ එදා රාත්‍රියේ මං හාමිනේ ට කිව්වේ එහෙමයි.

ප/ප/ලි:
කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න වෙලේ ෆොටෝ එකක් ගන්න බැරි වුණාය කියා මං දුක් වෙනවා අහං ඉන්න බැරුව විදෙස් සිත්තරෙක් විසින් ඔය උඩින්ම දාලා තියෙන සිත්තරේ මට එව්වා පැය කිහිපයක් ඇතුලත.

ඒ විදෙස් සිත්තරාට මගේ හිතාදර ස්තුතිය!

(image: විදෙස් සිත්තරා ගේ අඩවිය)

Wednesday, 22 June 2011

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ" - I know the law!!!


කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය සැබෑ කරගත්තත් ඒක අන්තිමේ දී නතර වුනේ හිර කූඩුවෙන්...!!!

මේ කියාගෙන යන්නේ ඒ මෙගා සීරීස් එකයි.

මැටනිටි ලීව් හිටි කතන්දර හාමිනේව පඩි ගන්න එක්කගෙන යන වෙලේ ස්පීඩ් කරල වැදුණු දඩ කොලේ උසාවිය දක්වාම ගියා. උසාවියේ දී හම්බ වුණු ලෝයර් කාක්කන්ගෙන් මුලින් පාර බේරිලා ඇතුලට ගිහින් නඩු අහනව බලන් හිටියත්, දෙවෙනි පාරටත් මෙන්න බොලේ මුං දෙන්නෙක් මාව වටකර ගත්තා.

"සෝ, ආ යූ ගොයින් ටු ඇපියර් විතවුට් අ ලෝයර්?" (උඹ නඩුවට ඉන්නේ ලෝයර් කෙනෙක් නැතුවද)

"යර්ස්, අයෑම් ගොයින් ටු ප්ලීඩ් ගිල්ටි ෆෝ ද චාජස් එනි වේ. අයි තින්ක් අයි කැන් ඩූ ඉට් මයි සෙල්ෆ්!" (මං කොහොමටත් වරද පිළිගන්න නේ යන්නේ, ඕක මටම කරගන්න පුළුවන්)

"යූ නෝ, දිස් ජජ් ඉස් අ වෙරි ටෆ් ජජ්. හී මයිට් ෆයින් යූ ඊවන් තවුසන්ඩ් ෆයිව් හන්ඩ්රඩ්. යූ ආ ඉන් සේෆ් හෑන්ඩ්ස් විත් වන් ඔෆ් අස් ඇපියරින් ෆෝ යූ." (දන්නවද, මේ නඩුකාරයා හරිම තදින් ඉන්න කෙනෙක්. උඹට රුපියල් එක්දාස් පන්සීයක් වුණත් දඩ ගහන්න ඉඩ තියෙනවා. අපි එක්කෙනෙක් පෙනී හිටියොත් කෝකටත් හොඳයි)

මුං දෙන්නා කියන්නේ ඇත්ත. ඔය නීති කියන ඒවා මහා අවුල් වියවුල් සහිතව, ලූප් හෝල් හෙම දාලා, හංගලා හදලා තියෙන්නේ, මේ ලෝයර්ස් ට ජොබ් හදල දෙන්නනේ. සාමාන්‍ය පුද්ගලයින්ට තියෙන හොඳම වැඩේ තමයි, නීතීඥයෙක් මගින් උසාවියේ දී තමන්ව නියෝජනය කරන එක!

සාමාන්‍ය පුද්ගලයින් ට එහෙම තමයි. හික්ස්...!!!

මං කලේ මුං දෙන්නව බ්‍රෂ් ඕෆ් කරල ආයෙත් උසාවිය ඇතුලට යන එකයි.

ඔන්න ඔය වෙලාවේ තමයි මං දැක්කේ අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් ඕ.අයී.සී මහත්තයා ඉන්නවා උසාවියේ ඉස්සරහ. තාම නඩුකාරය ආපහු ඇවිත් නෑ. වෙලාව දොළහටත් ලඟයි. ඉතිං මං ගියා ඕ.අයි.සී. ට පොඩි චැටක් දාන්න.

"කීයටද මගේ කේස් එක?"

"මහත්තයා ගේ එක තියෙන්නේ අපේ ලයිස්තුවේ උඩින්මයි. හැබැයි තව පැයක්වත් යාවි."

පොර මට පෙන්නුවා ලොකු කොළයක් චාජස් ලියල තියෙන.

නම: කතන්දර කාරයා
චෝදනාව: අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම

මට ටක්ගාල නෝට් වුණා අප්සෙට් එක.

"මේ මගේ කාරෙකේ නම්බර් එක නෙමේ නේ! මගේ එක 4945 නේ!"

"ආ, ඇත්තද? එහෙනං අපිට වැරදිලා!"

"ඉතිං?"

"දැන් කරන්න දෙයක් නෑ. මේක උසාවියේ ලයිස්තුවට දාලත් ඉවරයි. මං කියන්නං, මහත්තයා සද්ද නැතුව වරද පිළිගන්න. ඕක දැන් මෙතන ඇදලා වැඩක් නෑනේ?"

"හොඳයි, හොඳයි!"

මං ආපහු බංකුවෙන් ගිහින් වාඩි වුණා. නඩු අහන්නත් පටන් ගත්තා. හැබැයි දැන් මගේ කල්පනාව වෙන අතක.

මට ඔන්නං පුළුවන් මේ දාල තියෙන චෝදනාවට නිවරදකරු කියල කියන්න. ඒ එක්කම නිවරදකරු කියල ඔප්පු කරන්න. මොකද ඔය කියන 4954 වාහනේ මං එළවනව තියා ඇස් දෙකටවත් දැකල නැති හින්දා!

නඩුව ෆයිල් කරල තියෙනවා වැරදි හින්දා නඩුව විසි කරල මාව නිදහස් කරන්න වෙනවා!

කොහොමද මගේ ටිකිරි මොළේ?

නමුත් මේ කේස් එක මට තනියම හැන්ඩල් කරන්න පුළුවන් වෙයිද? අර ලෝයර් කොල්ලෙක්ව ගත්තනං හොඳ වගේද?

-කතන්දරකාරයා

ප/ලි:
ටිකිරි මොළේ කෙසේ වෙතත් මං අන්තිමට කූඩුවේ වැටිලයි නතර වුනේ.

ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල මේ මෙගා එකේ ඊලඟ එපිසෝඩ් එකෙන් (උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ!) බලාපොරොත්තු වෙන්න.

(image: http://www.simpsonstrivia.com.ar/)

Monday, 20 June 2011

හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක් - A day at the traffic courts


මෙතෙක් කතාව ඔහෙලා දන්නවා නොවැ?

පෙරුම් පුරල ගත්තු රතු කොරොල්ල එකේ රෙපයාර් ටික යාන්තමට ඉවර කරගත්තු ගමන් වගේ කතන්දර හාමිනේ රෝස බබෙක් ගෙදර ගෙනල්ල මැටනිටි නිවාඩු පිට හිටිය කාලේ, හාමිනේව පඩි ගන්න වැඩපොළට එක්කගෙන යන වෙලාවක ස්පීඩ් කළාය කියල පොලිසියෙන් මට දුන්නු දඩ කොලේ වෙලාවට ගෙවන්න මට අතපසු වුණු නිසා මට නඩුවක් වැටුණා.

නඩු දවසේ උසාවියට ගිය වෙලේ මා වෙනුවෙන් පෙනී ඉඳල මගේ දඩේ ගාන අඩු කරල දෙන්න පොරකාපු ලෝයර්කාරයින්ගෙන් බේරිලා ඔන්න යාන්තං ඇතුළෙන් ගිහින් වාඩි වුණාය කියමුකෝ!

මගෙ නඩුව අහනවය කියල තිබුනේ උදේ නමේටයි. බුදු අම්මෝ එතන හිටිය සෙනග.

මං ලඟින් හිටපු එක පොරක් එක්ක කතාකරල බැලින්නං, පොරගේ නඩුවත් තියෙන්නේ උදේ නමයටලු. පොරට අනිත් පැත්තෙ හිටිය පොරටත් උදේ නමයටයි නඩුව. එතකොට තමයි මට තේරුණේ වැඩේ.

මේ දෙතුන් සිය දෙනාටම එන්න කියල තියෙන්නේ උදේ නමයට. කොහොමද අපේ වෙලාවට වැඩ කිරීමේ ක්‍රමයේ හොඳකම? නඩු ද අවනඩු ද?

මට පේනවා අර කළු කෝට් දාගත්තු පොරවල් ටික තාමත් ගේට්ටුව ලඟ කැරකෙනව නිකං නිලමැස්සො ටිකක් වගේ නඩු හොයන්න.

වහලේ උළු ගණං කර කර ඔහොම ටික වෙලාවක් ගෙවා ගත්තට පස්සේ ඔන්න එක පාරටම අර ලෝයර් ලා ටික උසාවිය ඇතුළට කඩා ගෙන වැටුණා.

බැලින්නං නඩුකාරය එනව නඩු අහන්න.

ටිකක් වෙලා යන කොට මට තේරුණා වැඩේ.

මෙන්න මෙහෙමයි වෙන්නේ.

ඔය ස්පීඩ් කළා වගේ පොඩි පොඩි කේස් වලදී, තෝල්කයා නම කෑ ගහල නම කියල නඩුව පටන්ගන්නවා.

එතකොටම කවුරු හරි ලෝයර් කෙනෙක් නැගිටලා කියනවා: "අ විල් ඇපියර් ෆෝ හිම් යුවර් ඔනර්!" කියලා.

නඩුකාරයා කියන දේවල් නං මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. හොඳ වෙලාවට ලවුඩිස්පීකරේ වගේ තෝල්කයෙක් දාලා තියෙන්නේ.

නඩුකාරයා: මොනවද කියනවා.
තෝල්කය කැගහනවා: "අහවල් දවසේ, අහවල් වාහනයෙන් අහවල් එක කරපු එකට වරදකරුද? නිවරදකරුද?"
ලෝයර්: "වී ප්ලීඩ් ගිල්ටි යුවර් ඔනර්."
නඩුකාරයා: මොකක්ද මන්දා හිමින් කියනවා.
තෝල්කයා: "රුපියක් දාහක් දඩ!"
ලෝයර්: "තෑන්ක් යු, යුවර් ඔනර්."

ලෝයර්කාරයා තමන්ගාව තියෙන කොලේ ටික් එකක් දාගන්නව. පස්සේ ලෝයර් ගාස්තුව එකතු කරන්න වෙන්න ඇති. ඇයි ඉතින් උසාවියේ විත්තිකාරයා වෙනුවෙන් පෙනී ඉඳල මහා බරපතල රාජකාරියක් කළා නොවැ!

ඔයිට වඩා වෙනස් නඩුවක් තිබුණොත්, ඒ කියන්නේ තුවාලයක්, මරණයක් වගේ වෙච්ච කේස් එකක්, ඒ හැම නඩුවක්ම වෙන දවසකට කල් දානව.

ඒ කියන්නේ එදාටත් උදේ නමේට ඇවිල්ල වාත වෙවී හිටපල්ලා කියන එකයි!

දැන් ඔන්න උදේ එකොළහ විතරත් වුනා. නඩුවෙන් නඩුවට, නම් කතා කරනවා, ලෝයර් ලා නැගිටිනවා, එක්කෝ වැරදිකරු කියලා කියලා දඩ ඉල්ලං කනවා නැත්තං නඩුව කල්දානවා.

හැබැයි මට හොඳට පෙණුනු දෙයක් තමයි හැම නඩුවකටම ලෝයර් ලා පෙනී ඉන්න බව. ගේට්ටුව ලඟ කාක්කෝ වගේ කැරකී, කැරකී හිටපු කොලු ගැට ලෝයර් ලා නං විත්තිකාරයින් වෙනුවෙන් එච්චර ඉදිරිපත් වෙන බවක් පෙනුනේ නෑ. නඩු වලින් අති බහුතරයකට පෙනී හිටියේ එකම නාකි ලෝයර් පප්පෙක්.

කොලු ගැට ලෝයර් ලා ගොන්නම, මේ පප්ප ගේ සහායට ඩැනී ලා වගෙයි මට පෙනුනේ.

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ නඩුකාරයා ට තේ බරක් හැදුනේ. උන්නැහේ කුටියට සැපත් වුණු අතරේ මං අතපය හිරි ඇරගන්න කියල පොඩ්ඩක් නැගිට්ටා.

තරමක බඩගින්නක් ආවත් මේ කියන කාලේ නං මෙතන කන්න බොන්න විදියක් තිබුනේ නෑ.

පොඩ්ඩක් දොරෙන් එළියට හොට දාලා ආපහු හැරෙන කොටම මාව ආයෙ වටකර ගත්තෙ නැතෑ කපුටු රැල!

මේ පාර ඒ ගොල්ලන් ගේ බයිලා එක පොඩ්ඩක් බිය ගෙන දෙන එකක්. ඒ මදිවට මං පොඩි ලෝ පොයින්ට් එකකුත් අල්ලා ගත්තා!

කාර් කතන්දර මෙගා සීරීස් එකේ ඊළඟ "ජන-අප්‍රිය" කොටසින් ඒ දේවල් කියවමු.

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ"

-කතන්දරකාරයා

ප/ලි:
මේ කොටස කියවලා මගේ ලෝයර් බෑයා සහ ලෝයර් නෑනා අද හවස් වෙන කොට අපහාස නඩුවකට එන්තරවාසියක් එවයිද මන්දා.

එහෙම වුණොත් මගේ ලෝයර් මාමා ව තමයි අල්ලන්න වෙන්නේ!

ප/ප/ලි:
කාර් මෙගා කතන්දරේ කලින් කොටසේ ප/ලි යේ මං කියපු මිණිවන් පී තිලකරත්න ලියූ තවත් නවකතාවක් තමයි "තෘෂ්ණාභරණ".
ඒ ගැන මෙතනින් කියවන්න.
http://www.silumina.lk/img/print.asp?fn=ar10100311

(image: http://www.eatstudent.co.uk/terms.aspx)