
මේ නෙට් එකෙන් ලව් කිරීම උගන්වන පාඩම් මාලාවේ පලමුවෙනි පාඩම බලපු අත්දැකීම් තියෙන සමහරු සාක්‍ෂි දුන්නා ඒ උපදෙස වැඩ කරන බව. ඒවත් අහලා කීප දෙනෙක් ම අත්හදා බලන්නත් පොරොන්දු වෙලයි තියෙන්නේ.
ඇත්තම කියනවා නං මේ පාඩම් මාලාවේ අංක බින්දුවේ සමාරම්භක පාඩමකුත් තිබුණා. ඒක කෙල්ලගෙන් අහලා, තරහ වෙන්න එපා කියන උත්තරේ ලැබුනහම කරන්න ඕනෑ දේ ගැනයි.
අද දෙන උපදෙස ලාවට වගේ වැඩේ සෙට් වීගෙන එන බව පේනවා නං අනිවාර්යෙන්ම නොකළ යුතු කාරණා කීපයක් ගැනයි.
තමන් මීට කලින් ට්‍රයි කරපුවා, ඒවයින් වැඩ කරපුවා, ලව් කරපුවා, බූට් කාපුවා ගැන හෙම විවිධාකාරයේ කතන්දර තියෙන අයටයි මේ මුල්ම උපදෙස.
වැරදිලාවත් ඒ පරණ කතන්දර හෙම මේ අළුත් ළමයා එක්ක නං කියන්න යන්න එපා පුතෝ!
මගේ අත්දැකීම අනුව කිසිම කෙල්ලෙක් කැමති නැහැ තමන් එක්ක සෙට් වෙන්නට ඉන්න කොල්ලා ගේ පරණ ලව් කතා අහන්න විනාඩියකට වත්.
මේක:
1. ට්‍රයි කරන කාලේ,
2. වැඩේ සෙට් වේගෙන එන කාලේ,
3. හා කිව්වට පස්සේ,
4. ලව් එක නැගලා යන කාලේ තියා
5. අවසානයේ බැන්දට පස්සේ
වුනත් නොකළ යුතු දෙයක්!
මගේ අදහස නං දෙන්න එකතුවෙලා එක සෙෂන් එකක් දාලා පරණ කතා හුවමාරු කරගත්තාට කමක් නෑ. හැබැයි අපි ඔය නිකං ඉන්න වෙලාවට වල් පල් කියවනව වගේ ඒ කතා ආපහු ආපහු උදාහරණ විදියට ගන්න හොඳ නෑ.
දෙවෙනි අවවාදය තමයි කලින් කෙල්ලන් ගේ ෆොටෝ, ඡායාරූප, ෆේස් බුක් ලින්ක්ස්, මොබයිල් අංක මෙකී නොකී කිසිම දෙයක් හෝ ඒවායේ අංශු මාත්‍රයක්වත් ඉතුරු කරලා තියාගන්න එපා.
අළුත් චැප්ටර් එකක් පටන් ගත්තට පස්සේ ඒ පරණ දේවල් සේරම දාන්න අතීතයේ කුණු බක්කියට.
ඉස්සර කාලේ නම් මේ කතාව ලව් ලැටර් වලටත් අදාලයි. නමුත් දැන් නං ඉතිං ඒ ලව් ලැටර් කියන ඒවා කොහෙමටත් තියෙන්නේ කෞතුකාගාර වල විතරයිනේ. ඔය වෙසක් කාඩ්, නිව් ඉයර් කාඩ්, වැලන්යින් කාඩ් වගේ දේවල් තියෙනවා නම්, ඒවාත් ඉතිං කුණු බක්කියට ඇරියොත් හොඳා.
මං දන්න තරමින් මේ ලෝකේ බහුතරයක් කෙල්ලෝ වැරදිලාවත් පරණ ලව් එකක අංශු මාත්‍රයක්වත් පේන්න තියෙනවාට කැමති නෑ.
මේවා ගණං නොගන්න අය ඉන්නත් පුළුවන්. ඒ වුනත් ඉතිං අහල තියෙනව නේද මේ උපදේශාත්මක කවිය?
ඇතත් නැතත් පරලොව සුදණෙනි මහත
හලොත් යෙහෙකි පව්කම් නොතබාම සිත
නැතොත් එපරළොව ඉන් වන අවැඩ නැත
ඇතොත් නැතැයි පව් කල හට වෙයි විපත
සූදානං ශරීරේ කියනවානේ.. .. .. !!!
-කතන්දරකාරයා
ප/ලි:
මෙන්න තවත් මේකටම අදාල කවියක්
අද අද එයි මරු පින් කර ගන්නේ
කෙලෙසද හෙට මරු නේති සිතන්නේ
කිකලද මහසෙන් මරු ඇප වන්නේ
කුමටද කුසලට කම්මැලි වන්නේ
මේ කවි දෙකම ලෝවැඩ සඟරාවෙනි. කැමති නං මෙන්න මේ තාලයට ගායනා කරන්නත් පුළුවනි.
(image: http://www.zazzle.com/)
