Showing posts with label චූ කතන්දර. Show all posts
Showing posts with label චූ කතන්දර. Show all posts

Monday, 17 June 2013

හිටගෙන චූ කිරීම සහ සමාජවාදය බිහිකිරීම - Socialism? Piss off, mate!


සාමාන්‍යයෙන් පොලිටිකල් ලිපි පලවෙන W3Lanka බ්ලොග් එකේ පසුගිය දිනයක පාර අයිනේ චූ කරන සිද්ධියක් පසුබිම් කරගත් ලිපියක් පලවී තිබුණි.

එයින් කියවුනේ බ්ලොග්කරුවා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී පාර අයිනේ පාලු පෙදෙසක තරුණයෙක් වාහනවල ගමන් ගන්නා අය පිළිබඳ නොතකා මුත්‍රා කරමින් සිටි බවය.

මෙවැනි තත්වයන් ඇති වෙන්නේ රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සැලකිය හැකි පොදු වැසිකිලි සංඛ්‍යාවේ අඩුකම නිසා බව මා මීට පෙර කියූ කතන්දර කිහිපයකින්ම කියා ඇත්තෙමි.

මේ සිද්ධිය සිදු වූ මතුගම නගරයේ එකදු පොදු වැසිකිලියක් නැති බව ලියන අජිත් පැරකුම් ජයසිංහ හෙවත් පැරා මෙහි සඳහන් කර තිබුණද ඔහු ගේ ලිපිය මූලිකවම යොමු වී තිබුණේ ඒ පිළිබඳව නොව පෙර කී තරුණයා ගේ ක්‍රියාවේ ඇති නොමනා බව ගැනය.

මා සිත් ගත් වැදගත්ම කතාව අජිත් ලියා තිබුණේ මේ ලිපියට ලැබී තිබුණු කමෙන්ටුවකට ප්‍රතිචාරයක් ලෙසයි.

එය මෙසේය.

   මේ පුංචි සිද්ධිවල ගැඹුරු දේශපාලනයක් තිබෙනවා. ඒකයි ම මේවා ලියන්නේ.

   සමාජවාදය ගොඩනගන්න දියුණු මිනිස්සු අවශ්‍යයි.

   මිනිහෙකුගේ දියුණුකම මුත්‍රා කරන ආකාරයෙන් පවා පෙනෙනවා.


පාරේ මුත්‍රා කරන පිරිමියා වගේ ම තමයි කාර්යාලයේ පොදු කොමඩ් එකට හිටගෙන මුත්‍රා කරන පිරිමියාත්.

පැරා ගේ ඉහත කියමන අග සිට මුලට කියවන විට අපට පහත සඳහන් නිගමනයට බැසිය හැක.

පිරිමින් කොමඩ්වල හිටගෙන චූ කරනතාක් කල් රටේ සමාජවාදය බිහි කළ නොහැක. එසේම, රටේ සමාජවාදය බිහි කිරීමට නම් පිරිමින් කොමඩ්වල වාඩි වී චූ කළ යුතුය.

අපි කුඩා කල ගම්බද නිවාසවල තිබුණේ වල කක්කුස්සිය. ඒ වැසිකිලි සාමාන්‍යයෙන් පිහිටියේ නිසසේ සිට මද දුක් ඔබ්බෙනි. රාත්‍රි කාලයේ අංක දෙකේ කාර්යයේ යෙදීමට ටෝච් එකක් රුගෙන මෙහි යාම ඉතා ප්‍රියජනක කටයුත්තක් විය. එසේ වතුදු අංක එකේ කාර්යය, එනම් වූ දැමීම, සඳහා නම් එතරම් කරදර විය යුතව තිබුණේ නැත. අප බොහෝ දෙනෙකු කලේ නිවස පිටුපසට ගොස් සරම ඔසවා නිදහසේ හුලං පහර විඳිමින් කෝල් එකට උත්තර දීමයි.

පසු කලෙක වල කක්කුස්සි වෙනුවට ස්කොටින් පෑන් වර්ගයේ වතුර ගසා පිරිසිදු කළ යුතු වැසිකිළි ඉඳිවුණු අතර, ඒවා ඉඳිවුනේ, නිවසට යාබදවය. අංක දෙක සඳහා පෙර පරිදිම උක්කුටයෙන් ඉඳ ගත්තද, අංක එක නම් කවදත් කෙරුණේ පෙර පරිදි හිටගත්වනමය.

වල කක්කුස්සියේ සිට ස්කොටින් පෑන් වැසිකිලියට මාරුවීම එතරම් කජ්ජක් නොවේ. නමුත් එතැන සිට කොමෝඩයට පැනීම වනාහී ලොකු පිම්මකි.

පේරාදෙනියේ විශ්ව විද්‍යාලයේ මුලදී කාන්තා නේවාසිකාගාරව පැවතී පසුව කොල්ලන් සඳහා වෙන්වී තිබුණු හිල්ඩා ඔබේසේකර ශාලාවේ දී මා දුටුවේ එහි තිබුණු කොමඩ් වටා ගඩොලින් බැඳ ඒවා උක්කුටයෙන් වාඩි වී භාවිතා කිරීමට හැකිවෙන පරිදි සකසා ඇති බවකි.

මේ වැසිකිළියක අංක දෙක කර්තව්‍යය කිරීම සඳහා පඩියක් නැගිය යුතු වූ අතර මේ හේතුව නිසා එය හැඳින්වුනේ "ගස් බොග දැමීම" වශයෙනි. මා වසර දෙකක් පමණ වාසය කළ අක්බාර් ශාලාවේ ද, සියළු කොමෝඩ් ඉහත ආකාරයට ගඩොලින් බැඳ සකසා තිබුණි.

අංක දෙක සඳහා කොමොඩ් එකක වාඩි නොවන පිරිමින් කොයි ආකාරයකට වාඩී වී චූ කරන්නට ඉගෙන ගනී ද?

පැරා ගේ තියරියට අනුව, අපේ කාලයේ විශ්ව විද්‍යාලවල සමාජවාදය ගැන සැබෑ උනන්දුවක් දැක්වූ අය අඩුවෙමින් ගියේ ඒ නිසා විය යුතුය.

හිටගෙන චූ කල හැක්කේ පිරිමි අපට පමණක් නොවේ. දැනට කැනඩාවේ වෙසෙන ඉංගිරිසි මහාචාර්යවරයෙකු මෙන්ම ලෝ පතල නවකතාකරුවෙකුද වෙන මයිකල් ඔන්ඩච්චි සිය "රනින් ඉන් ද ෆැමිලි" කෘතියේ සඳහන් කර තිබුණු පරිදි යුරේසියානු ගැහැණියක වූ ඔහු ගේ මව් පසින් මිත්තණිය පවා හිටගෙන චූ කිරීම කළ කාන්තාවකි. ඇය වරෙක කොළඹ කාන්තා විදුහලක සැනකෙලියක දී ද මේ කර්තව්‍යය කළ බව ඔහු ලියා තිබුණි.

පැරා, ඔහු ගේ ප්‍රතිචාරයේ පොදු කොමඩ් එක යනුවෙන් අදහස් කර ඇත්තේ කාන්තාවන් සහ පිරිමි දෙකොටසම භාවිතා කරන කොමඩ් වැසිකිළි බව පෙනේ.

මයිකල් ඔන්ඩච්චි ගේ ආච්චි ගේ වර්ගයේ අය හැරුණු කොට සියළුම කාන්තාවෝ කොමඩ් එකේ සිට් එක උඩ වාඩි වී කෝල් ආන්සර් කරති.

පිරිමි අප අංක දෙක කෙසේ කළා වුවද, කොමඩ් එකට හිටගෙන චූ කිරීම වැරදිය, නොදියුණුය යන්න පැරා ගේ චෝදනාවයි.

එයට හේතුව වන්නේ පිරිමියෙකු හිටගෙන චූ කරනා විට මුත්‍රා බිඳු අවට විසිරෙන්නට ඉඩ ඇති නිසා, වැසිකිලිය අපවිත්‍රවීමයි.

එය සාධාරණ චෝදනාවකි.

එසේ වුවද, සාමාන්‍යයෙන් ලෝකයේ සැම තැනකම පාහේ සිදුවන්නේ එයම බව, එනම්, පොදුවේ පිරිමින් චූ කරන්නේ හිටගෙන පමණක් බව, විවිධ නවකතා, ලිපි, සිට්කොම්, කාටූන් සහ අත්දැමීම් මත පදනම්ව මට කිව හැක.

මෙහිදී පිරිමින් විසින් කිරීමට අපේක්‍ෂා කරන්නේ කොමෝඩයේ වාඩි වීම නොව, චූ කිරීමට පෙර කොමෝඩයේ සීට් එක ඉහලට දැමීමයි. එවිට විසිරෙන චූ බින්දු වෙතොත් ඒවායෙන් සීට් එක බේරෙනු ඇත. කාන්තාවක් ඉන් පසු එහි පැමිණි විට හිඳ ගන්නේ සීට් එක පහතට දමා ඒ මත නිසා සිදුවිය හැකි අපිරිසිදු තත්වය අවම වේ.

මේ සම්බන්ධයෙන් කුඩා පිරිමි දරුවන්ට අවවාද පිණිස ලියවුණු කවියක් මෙලෙස වේ.

ඉෆ් යු ස්ප්‍රින්කල්, වයිල් යු ටින්කල්
ප්ලීස් බී නීට් ඇන්ඩ් වයිප් ද සීට්
(ප්ලීස් බී අ ස්වීටී ඇන්ඩ් වයිප් ද සීටී)


අවසාන වශයෙන් මට කිව ඇත්තේ මෙයයි.

කොමෝඩ් වැසිකිලියකට චූ කිරීමට යන පිරිමියෙකු එය වාඩි වී කරන දිනයක් කෙදිනකවත් උදා වේ යැයි මට සිතිය නොහැක.

අහෝ! සමාජවාදය ගොඩ නැගීම සිහිනයක් පමණකි!


-කතන්දරකාරයා


(images: http://mbeachbywordofmouth.wordpress.com/2011/08/07/etiquette-hint-1/ & http://www.someecards.com/usercards/viewcard/MjAxMi0zNDI0NmEyMjA4NjQzZTEy)

Saturday, 24 March 2012

චූ ෂැම්පේන් සහ චූ මවුත්වොෂ් හෙවත් සුළු දිය දහරේ බහුවිධ ප්‍රයෝජන - Big uses of "wee"


පරම්පරාවකට විතර වගේ කලින් අපේ මිතුරු රට ඉන්දියාවේ හිටියා මොරාජි දේශායි කියලා අගමැතිවරයෙක්. ඉන්දිරා ගාන්ධිව පරදවලා බලයට ආව එකටත් වැඩියෙන් පොර ප්‍රසිද්ධ වුනේ වෙනත් කාරණයකටයි.

පොර දිනපතා පානයක් ලෙස චූ බොනවා.

හැබැයි තමන් ගේ ම චූ!

චූ බීමෙන් ඖෂධීය ප්‍රතිඵල ලැබෙනවා කියන විශ්වාසය තියෙන්නේ ඉන්දියාවේ විතරක් නෙමේ. පුරාණ ශිෂ්ඨාචාර වෙන ඊජිප්තුව සහ චීනය කියන දෙරටෙත් මේ අදහස මුල් බැසගෙන තියෙනවා.

දැන් මෙන්න මේ විශ්වාසය ඇමරිකා එක්සත් ජනපදය දක්වාත් පැතිරිලා.

මං මේ ලඟදී කියවපු ප්‍රවෘත්තියක් මෙන්න.



වැඩි විස්තර මෙතනින්.
http://www.dailymail.co.uk/femail/article-2115945/I-like-warm-pee--comforting-Meet-woman-drinks-bathes-urine.html?ito=feeds-newsxml

කැරී කියන මේ අවුරුදු 53 ක කාන්තාව කැමති උණුසුම් චූ වලටලු. ඒවා බීමෙන් හරිම සහනයක් ලැබෙනවා කියලයි කැරී කියන්නේ.

තමන්ට වැලඳිලා තියෙන පිලිකාවකින් සුවය ලබාගන්න හිතාගෙන දැන් අවුරුදු හතරක් තිස්සේ දවසකට වීදුරු පහ ගානේ තමන්ගේ චූ බීලා තියෙන කැරී චූ වලින් දත් මදින්නත් කැමතියි ලු.

ඒ මදිවට කැරී චූ වලින් තමන් ගේ ඇස් දෙකත් හෝදනවා ලු.

චූ ටිකක් පරණ කරලා අරගෙන ඒවායින් ආලේපයක් හදලා ඇඟ පුරා ආලේප කරන එකත් කැරී ගේ තවත් වෙද-හෙදකමක්.

කැරී නෝනා හොයාගෙන තියෙන විදියට තමන් කන කෑම වර්ග අනුව චූ වල රස වෙනස් වෙනවා. ඒ හින්දා එයා සමහර කෑම ජාති කන එක දැන් අතහැරලා.

"සමහර දාට චූ ලුනු රහයි. හැබැයි සමහර දවසට නං චූ හරියට පුහුලං වලින් හදපු ෂැම්පේන් වගේ!" කැරී කියනවා.

දියේ ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා වගේ පිළිකාවෙන් ගැලවෙන්න කැරී නෝනා චූ බිව්වාට, පෝෂණය පිළිබද විශේෂඥයෝ නං කියන්නේ ඒවායින් ප්‍රයෝජනයක් නැති බවයි.

ඒ කෙසේ වෙතත් චූ බීම ගැන ආයුර්වේදයේ එන විස්තර මහ වෙදනා මෙන් මෙහෙම කියලා තිබුණා.
http://wedagedara.blogspot.com.au/2011/07/blog-post_22.html

කැරී ගේ පිළිකාව සුව වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා ලෙස පලකෙරෙන කතන්දර දැනුම් සාගරේ ලිපිය මෙතනින් නිමයි. (ඉරිදා පත්තර සෙනසුරාදා බලනවා වගේ අද මේ සන්ඩේ ස්පෙෂල් ඇක්ස්ට්‍රා එක ඔන්න සෙනසුරාදාම බලන්න කලින් පලකළා).

-කතන්දරකාරයා

ප/ලි:
මං නං බොන්නේ වතුර තමයි වැඩිපුරම.

එක පොඩි ප්‍රශ්ණයක් තියෙනවා හැබැයි.

වතුර හරිම දිය රහයිනේ!

Sunday, 11 March 2012

ටොයිලට් එකේ සිට එස් එම් එස්, ෆේස් බුක්, ට්විටර් කරලා තියෙනවාද? Phone in the Loo


මොබයිල් ෆෝන් ලංකාවට ආපු කාලේ මට මතකයි, අපේ මස්සිනා ගඩොල් භාගයක් අරං එහෙ මෙහේ ගිය හැටි. ගෙදරකට ගොඩ වැදුණු ගමං පොර කරන්නේ ෆෝන් එක චාජ් කරන දාන එකයි. වාහන පදවන කොට ෆෝන් පාවිච්චි කරන්න එපාය කියලා නීති තිබුණෙත් නෑ ඒ කාලේ.

දැන් නං ඉතිං අපි කාගේ අතේ පොඩි හුරුබුහුටි ෆෝන් තියෙනවානේ. යන යන තැන ඕක සාක්කුවේ දාගෙන ගියේ නැත්තං අත කැඩුණා වාගේ තමයි.

ගෙදරදී කෙසේ වෙතත් ඔෆීසියේ දී නං ඉතිං ෆෝන් එක තියෙන්නේ කලිසං සාක්කුවේ නිසා, දවසට දෙතුන් පාරක් චූ කරන්න, ඉඳලා හිටලා දවසක කක්කි කරන්න හෙම ටොයිලට් එකට යනකොටත් ෆෝන් එකත් අපිත් එක්ක යනවා.

එහෙව් වෙලාවක කෝල් එකක් හෙම ආවොත් මංතුමා නං කරන්නේ කෙලින්ම සයිලන්ස් මෝඩ් එකට දාන එකයි රිං ටෝන් සද්දේ නොඇසෙන්න.

ඒකටත් එක්ක සමහරු ටොයිලට් එකේදී එන කෝල්ස්වලට උත්තර දෙනවා විතරක් නෙමේ, තමන් කෝල්ස් ගන්නවාලු, එස් එම් එස් අරිනවාලු, ෆේස් බුක්, ට්විටර් යනාදී මෙකී නොකී සමාජජාල වැඩ කටයුතුත් නොඅඩුව කරනවාලු!

ඇමෙරිකා එක්සත් ජනපදයේ සමීක්‍ෂණයකින් හොයාගෙන තියෙන්නේ, ඇන්ඩ්‍රොයිඩ් සහ අයිෆෝන් භාවිතාකරන අය තමයි මේ වැඩේ වැඩිපුර කරන්නේ කියලා. ඒ කියන්නේ ඒ ෆෝන් දෙවර්ගය තමයි වැඩිපුරම "ටොයිලට්-ෆ්‍රෙන්ඩ්ලි"!

මෙන්න මං බලපු නිවුස් අයිටම් එක.


වැඩි විස්තර මෙතනින්.
http://www.mobileburn.com/18411/news/bathroom-time-means-mobile-phone-time-for-many-users

කෝල් කරන කොට අනිත් පැත්තේ ඉන්න උංට මොන මොන සද්ද බද්ද ඇහෙනවා ඇද්ද? මට මතක් වුනේ අර ට්‍රැක්ටරයේ කතන්දරයයි.

-කතන්දරකාරයා

ප/ලි:
මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සහ දැනුම් සාගරේ ඒකාබද්ධ කතන්දරය ලියන වෙලේ මට මුලින්ම හිතුනේ මේ විදියට මොබයිල් ෆෝන් එකේ වැඩ කරන්න කක්කුස්සියට යන්නේ කොයිවගේ උන්ද මන්දා කියලයි.

පස්සෙයි මතක්වුනේ, නවකතා පොත්, පත්තර අරගෙන කක්කුස්සි යන පිරිසකුත් ඉන්නවා නේද කියලා!

ප/ප/ලි:
ඇයි, කක්කුස්සියේ සිට පෙම් හසුන් ලියන අය?

(image: http://www.worldofstock.com/stock_photos/HUM1122.php)

Monday, 29 August 2011

නුගේගොඩ දී චූ බරක් හැදුනෙමි - You gotta go when you gotta go!


මං කැම්පස් එකේ සෙකන්ඩ් ඉයර් එකේ හිටිය කාලේ දවසක් තවත් කොල්ලෝ දෙන්නෙක් එක්ක ගමණක් ගියා. අපි ගියේ ඒ දිනවල දුර පලාතක පටන් ගන්න ෆීසිබිලිටි ස්ටඩි එකක් කෙරෙමින් තිබුණු ව්‍යපෘතියක වැකේෂන් ජොබ් එකක් කරමින් හිටිය අපේ බැචාලා කීප දෙනෙක් මුණ ගැහෙන්නයි.

බස් එකේ පැය දෙකතුනක් නොනවත්වා ගිහින් උං කට්ටිය නතරවෙලා හිටිය බෝඩිං පොල හරියෙන් බහින කොට මට ඇවිද ගන්න බැරි තරමට චූ බරයි.

දන්නවනේ චූ බරෙත් හොඳ එක ආපුවාම කටට ලුනු රහකුත් එනවා. අන්න ඒ ගානට පම්ප් ටයිට් එකක් තමයි මට තිබුනේ.

බස් එකෙන් බැහැලා මග සලකුණු අනුව ඉස්සරහට ඇවිදින කොටම ආපු වංගුව ලඟදී මං කලේ පාර අයිනට අල්ලා පම්ප් එකක් දාන්න සෙට් වෙන එකයි.

"උඹට පිස්සුද බං? යකෝ මේ ගම!"

මා එක්ක ගිය විජේ කාරයා කෑ ගහන්න පටන් ගත්තා.

"ඔව් බං, මේ ගම තමයි. ඒක හින්දනේ මේ විදියට පාර අයිනේ පම්ප් එකක් දාන්න සෙට් වෙන්න පුළුවන්!" මං උත්තර දුන්නා. "ඇයි උඹ පාර අයිනේ පම්ප් දාන්නේ ටවුන් එකේද?"

විජේ සයිලන්ට්!

මට ඔය කතාව එක්කම මතක් වෙන්නේ දැන් අවුරුදු ගණනාවකට කලින් නුගේගොඩ දී චු බරක් හැදිලා වෙච්ච අකරතැබ්බයයි.

නුගේගොඩ යන අයට චූ කරන්න තැනක් සුපර්මාකට් එකේ තියෙන බව මං දන්නවා. මතකනේ මට ඒ ඔතන කාර් පාක් එකේදී තමයි මගේ රතු කොරොල්ලා කාර් එක ගත්තු බයර් හෙවත් මිස්ටර් පෙරේරා මුණ ගැහුනේ.

නමුත් මේ කියන දවසේ අප්සෙට් එක වුනේ මං හිටියේ හයිලෙවල් පාරේ සව්සිරි බිල්ඩිමේ වීමයි.

මේකත් ෂොපින් සෙන්ටර් එකක් නේ! ඉතිං මං කොහේ හරි කොනක ඇති නේද ටොයිලට් එකක් කියලා පොඩ්ඩක් හොයලා බැලුවා.

ඒ හිතුවා වගේම මට හම්බ වුණා උඩ තට්ටුවේ වම් පැත්තේ පස්සට වෙන්න තියෙනවා ටොයිලට් එකක්.

මං ඒකට යන්න හැදුවාම මෙන්න බොලේ සෙකුරිටිකාරයෙක් ඉඳලා කියනවා, ඒකට යන්න දෙන්න බැරිලු. යන්න පුළුවන් ඒ ගොල්ලන් ගේ කෂ්ටියට විතරලු. මට මතක විදියට ඒක මොකක් හරි කෝස් එකක ක්ලාසස් තියෙන තැනක්.

ඉවසං ඉන්න බැරිම හින්දා මං ගියා එතන රිසෙප්ෂන් එකට. ඒකේ නෝනාගෙන් ඇහැව්වාම ඒකිත් කිව්වා නේ යන්න දෙන්න බැරිමය කියලා.

මට අහන්නත් හිතුණා, "දැන් මට මෙතන චූ ගියොත් ඔයා මොනවාද කරන්නේ?" කියලා.

අද වුනා නං මං එහෙම අහනවා. නමුත් මේ මට මතක හැටියට 1999 කාලේ.

මං කලේ අමාරුවෙන් පහලට බැහැලා, හිමින් හිමින් සුපර්මාකට් එකට ගාටපු එකයි.

-කතන්දරකාරයා

ප/ලි:
රටක දියුණු බව මනින්න විවිධ නිර්ණායක තියෙනවා. ඒක පුද්ගල ආදායම, දළ ජාතික නිෂ්පාදනයේ ඒක පුද්ගල අගය, ළදරු මරණ අනුපාතිකය, ආයු අපේක්‍ෂාව, ජනගහන සහ වෛද්‍ය අනුපාතිකය වගේ ඒවා තමයි එයින් ප්‍රධාන.

මට හිතෙන විදියට ජනගහනය සහ ප්‍රසිද්ධ වැසිකිලි සංඛ්‍යාවේ අනුපාතිකයත් රටක දියුණුවේ නිර්ණායකයක් ලෙස සලකන්න පුළුවන්.

කොටින්ම රට දියුණුවෙන් දියුණුවට යනකොට, යන යන තැන පබ්ලික් ටොයිලට් හැදෙන්න ඕනෑ!

ප/ප/ලි:
මෙන්න වෙනත් චූ කතා -කියවලා නැති අයට.

1. ඔන්ඩච්චිගෙ ආච්චිගෙ කතන්දරේ

2. අපි චමරියේ දි චූ කරපු හැටි

3. කැතීටර් ගැන කතන්දරේ

4. වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ

5. ඔන්න බබා තෙමාගෙන (පාඨකයෙකුගෙන්)

6. සරමේ චූ ගිය කතන්දරේ හෙවත් පාප මිත්‍රයෝ - මෙන්න මගේ විශ්ලේෂණය

7. හන්දියේ හෝටලේ චූ කතාව

(image: http://upalijayasingha.com/Abacus/Centers.html)

Sunday, 12 June 2011

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න ගේ අනන්‍යතාවය හෙළිවේ - Dr Vickramabahu Karunaratne's identity revealed


මේ කතන්දරේ මට ලියා එව්වේ සචින් ජයනෙත්ති.

මෙන්න සචින් ගේ වචන වලින් ම. (වරහන් ඇතුලේ තියෙන්නේ මගේ කමෙන්ට්ස්.)

මේකත් චූ කතාවක්. (මතකනේ මගේ චු කතන්දර සීරීස් එක. මේකත් ඒ ගොඩටම දාගන්න.)

කතන්දර දන්නවා නොවැ ඩොක්ටර් වික්‍රමබාහු කරුණාරත්න. සමහර විට කම්මලේ ඉන්න කාලේ උගන්නලත් ඇති මයේ හිතේ. (කම්මල කියන්නේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයටයි.) මේ කතාව උන්නැහේ ගැන.

අවුරුදු විසිපහකට විතර කලින් වෙච්චි මේ සිද්ධිය මට කිව්වේ නව සමසමාජ පක්ෂයේ හිටපු ෆුල් ටයිමර් කෙනෙක්.

ඩොක්ටර් වික්‍රමබාහු දවසක් ගියාලු රැස්වීමකට පිට්ටනියක තිබුණු. හොඳ පහේ ස්ටේජ් එකක් ගහල තිබුනලු. සූ ගාලා සෙනග දෙතුන් සීයක් විතරත් හිටියලු.

ඔය අතරේ බාහුට ආවලු චූ බරක්. ඊළඟ කතාව තියෙන්නේ තමන්ට නිසා ඉවසගෙන හිටියලු ඉවර වුනු ගමන් ගිහින් කරන්න හිතාගෙන. ඒත් ස්ටේජ් එකේ කතාව දෙන පොර දෙනවලු පැය ගානක් ඇට්ටි හැලෙන්න.

බැරිම තැන මුලාසනයේ හිටපු සහෝදරයට කනට කරලා කිව්වලු තමන්ගේ අවශ්‍යතාවය.

මුලාසනයේ ලොක්ක ස්ටේජ් එක අයිනේ හිටපු අයෙකුට කතා කරලා "සහෝදරයා, මේ සහෝදරයාව එයාගේ අවශ්‍යතාවයට සුදුසු තැනකට එක්ක යනවද?" කිව්වලු.

ඔන්න ඉතින් මෑන්ස් බාහුව එක්ක ගියාලු ස්ටේජ් එක පිටිපස්සට.

"සහෝදරයා මෙතන වැසිකිලි හොයන්න බැහැ. වැඩේ කරගෙන යන්න මම කවර් එකක් දෙන්නම්."

ඔන්න දැන් බාහු චූ කරනවා. වට පිට බල බලා . දන්නා විදිහට මිනිහා ටිකක් ලජ්ජාකාරයා.

මෙන්න අර කවර් එක දෙන එකා අහනවලු මෙහෙම බාහුගෙන්.

"මේ සහෝදරයා හොඳට දැකලා පුරුදු මූණක්. සහෝදරයාගේ නම මොකක්ද?"

ඒ කාලේ පක්ෂයේ නායකයා බාහු වුනාට හැමෝම දන්නේ වාසුව විතරයි.

"මම වික්‍රමබාහු"

"ඒ කියන්නේ අපේ නායක බාහු සහෝදරයා!"

"ඔව්" බාහු උත්තර දුන්නාලු.

අර කවර් එක දුන්නු පොරට ඉස්පාසුවක් නැති වුනාලු.

බාහු කර කර ඉන්න කාරියත් අමතක කරලා "අපේ බාහු සහෝදරයාට ජයවේවා! අපේ නායක සහෝදරයාට ජයවේවා!!" කියලා කෑගහන්න පටන් ගත්තලු.

මගේ මිත්රයාට මේ කතාව කියපු බාහු කිව්වලු:

"මගේ චූ බර නිකම්ම හිඳිලා ගියා. ආයෙත් චූ දැම්මේ කොළඹ ඇවිල්ලා" කියලා.

මං මේ කතාව බාහු ට ඊ-මේල් එකකින් යැව්වා මොකද කියන්නේ බලන්න. සත්‍යතාවය ගැන අවුලක් නෑ වගේ. මොකද බාහු උත්තර එව්වේ නෑ!

-කතන්දරකාරයා

ප/ලි
වික්‍රමබාහු කරුණාරත්න ඉංජිනේරු ශිෂ්‍යයෙක් කාලේ විස්තරයක් ඔහුගේම වචන වලින් (in English) මෙතනින් බලන්න.
http://efacmemories.blogspot.com/2011/01/introduction-to-engineering-and.html

ප/ප/ලි
මෙන්න කැනඩාවේ සිට සචින් ජයනෙත්ති "යාත්‍රා" සිංහල සඟරාවට ලියන "දේශදෝහියාගේ කොලම" කොටස් කීපයකට සබැඳි.
1. හාමුදුරුවනේ තරහ අවසර
2. බටහිර ලෝකයේ අපේ සංගම්කාරයෝ
3. නිරුවත් සංස්කෘතිය
4. මුල්ලකට කොටු කර පහර දීම

(image: http://wn.com/Sri_Lanka_Sama_Samaja_Party)

Monday, 26 July 2010

ක්‍ෂණික බොගා- ඉකේයියා මෙන්න මෙයා කක්ක කතා ලියනෝ.. .. ..!!!


මං සෙනසුරාදා ලියපු එලාම් කතන්දරේ මතකයිනේ.

කොච්චර ලොකු මහැදුරු ලා කිව්වත් උදේට නැගිටින්න එලාම් එක සෙට් කරනවා වෙනුවට වතුර බීලා නිදාගන්න කියලා ඒ වැඩේ මට නං හරියන්නේ නෑ.

හේතුව මේකයි. නිදාගන්න කලින් වතුර බිව්වාම වෙන්නේ ඇඳට ගිය වෙලේ ඉඳන් විටින් විට නැගිටින්න වෙන එකයි. අන්තිමේදී නින්ද ගියත්, අඩු නින්ද සහ නින්දට වුනු බාධා නිසා පහුවදාට තවත් අමාරුයි.

වතුර පොඩ්ඩක් බීලා නිදාගෙන කෙලින්ම උදේ පාන්දරම ඇහැරුණොත් මට නම් වෙන්නේ නම් මෙන්න මේකයි. ඔන්න නැගිට්ටා, නින්දෙන් ඇවිදිනවා වගේ ටොයිලට් ගියා, අත සේදුවා, කට සේදුවා, ඉන් පස්සේ ආයෙ කෙලින්ම ඇඳට ගච්ඡාමි. වෙනදත් වැඩිය පරක්කු වෙනවා ෆයිනල් ඇහැරීමේ අවස්ථාවට.

මගේ අත්දැකීමේ හැටියන නං උදේට නැගිටින්න හොඳම විසඳුම චූ බරක් හදාගැනීම නෙමේ කක්ක බරක් හදා ගැනීමයි!

එතකොට වෙන්නේ මේකයි. ඔන්න ටොයිලට් යනවා. මේ නම්බර් ටූ වැඩේට ටිකක් වෙලාත් යනවනේ චූ සීන් එකට වඩා. ඉතිං ටිකක් නිදිමත ඇරෙනවා.

ඊලඟට මම නං කරන්නේ කෙලින්ම ෂවර් එකට යන එකයි. එතෙන්දි වතුර ටික ටික ඇඟට වැටෙනකොට සේරම හරි. පොඩි සින්දුවකුත් කියලා, විනාඩි දහයක් විතර ගත කරලා තමයි ආපහු එන්නේ නැවුම් එළකිරි ගතක් සිතක් ඇතිව.

නිදිමත කැලේ. අර ෂවර් එකේ ඉන්න වෙලාවේ හිතට ආපු කතන්දර ටික අමතක වෙන්න කලින් නෝට් කරගන්න එක තමයි හිතේ වැඩ කරන්නේ.

දැං මෙතන ප්‍රශ්ණය මේකයි. චූ බර වගේම අපිට ඕනැ වෙලාවට කක්ක බර හැදෙන්නේ නෑනේ. චූ බරට උත්තේජකයක් සපයන්න වතුර බීලා නිදාගත්තත් වැඩිපුර කන සිරිතක් නෑනේ. වැඩිපුර කෙසේ වෙතත් කාපු ටික යවා ගත්තොත් මදෑ.

ඒ හින්දා මේක උදේ නැගිටින්න ප්‍රායොගික ක්‍රමයක් නං නෙමේ.

ඒ මොනවා උනත් ඔන්න ඔය කක්ක කරන එකෙයි අද කතන්දරේ මූලික වස්තු බීජය තියෙන්නේ.

අවුරුදු බර ගාණකට කලින් මං අර මහනුවර පැත්තේ තිප්පොලට සෙට් වුණු කාලේ අපි එක්ක වැටිලා හිටියා සොමි කකුලක්. අපි හුඟක් දෙනෙකුට උදේට ටොයිලට් යන්න නං ඉතිං තේ එක බොන්න ඕනෑම නේ. තේ නැත්තං නෝ කතා නෝ සිනා.

ඒකට මෙන්න අපේ පොර. නැගිට්ට ගමන් ගියා ටොයිලට් එකට. විනාඩියෙන් වැඩේ කරලත් එලියට එනවා.

මිනිහ කොච්චර කාර්්‍යක්‍ෂමතාවයකින් මේ ශරීර කෘත්‍යය කරනවද කියනවනං, ඒ දවස්වල පොරට අපි කාඩ් එකක් ගහලා තිබුණේ ක්‍ෂණික බොගා කියලා.

පස්සේ මං අහල දැනගත්ත විදියට මේ ක්‍ෂණිකත්වයේ රහස මෙන්න මෙහෙමයි.

පොර උදේ නැගිට්ට ගමන් සිට්-අප්ස් අභ්‍යාසය දහ දොලොස් එක දිගට පාරක් කරනවා හිටු කියලා. පොර කියන විදියට, ඒ අභ්‍යාසයෙන් පස්සේ බඩ නිකං බබා වගේ වෙනවා.

ඉතිං දැන් තියෙන්නේඃ
ගියා
දැම්මා
ආවා.

ප්ලෑන් එක හරිම සිම්පල්. විනාඩියෙන් කර්තව්‍යය හමාරයි.

-කතන්දරකාරයා

ප/ලි
අපේ කට්ටිය දැන් පටන් ගනීද කක්ක කතා ලියන්න?

අනේ මන්දා බයේ බෑ, සුවරිතවාදයෝ මගේ ඇඟට ගොඩ වෙයි!

කරන්න හොඳ නං ලියන්න නරක ඇයි නේද මෙයාලා?

Sunday, 30 May 2010

ඡන්ද ප්‍රතිඵල විකාශන ඇන්ටර්ටේන්මන්ට් - හන්දියේ හෝටලේ චූ කතාව


සිංහල බ්ලොග් බලන ජනතාව වඩා කැමති කෙල්ල පෝසත් කොල්ල දුප්පත් ලව් ස්ටෝරීස් වලටද නැතිනම් කොල්ල පෝසත් කෙල්ල දුප්පත් ලව් ස්ටෝරීස් වලට ද යන්න සොයා ගැනීමේ මහා සමීක්‍ෂණය පැවැතවෙන බව දැන් මං දෙතුන් පාරක්ම කියලා කියලා එපා වෙලා ඇතිනේ.

මේ ඡන්ද ප්‍රතිඵල එනතුරු මෙකුත් ඇන්ටර්ටේන්මන්ට් කෑලි නැද්දැයි සයිබර් යාය ලියන කෙසෙල් කොටුවේ චූටි මහත්තයා අසා තිබේ.

මාසයක් මැලේසියාවේ හනිමූන් කා නොබෝදා පෙරලා ලංකාවට පැමිණි මුන්නැහේව අපි කොයි ලෙසින් ඇන්ටර්ටේන් කරන්නදැයි මට නොසිතේ.

කෙසේ වෙතත් හුදී ජන පාං සංවේගය පිණිස මෙන්න මේ පරණ කතාව ඇද බාන්නට සිතුවෙමි.

=====හන්දියේ හෝටලේ චූ කතාව==================

ඔන්න දුර ගමන් යන බස් පාරක එක් අප්‍රධාන හන්දියක පොඩි කඩයක් පටන් ගෙන තිබුණා. මුලින් ගමේ අයියලා බීඩියක් ගන්න, කහට එකක් බොන්න තමයි මෙතනට ආවේ.

පස්සෙන් පහු ඉඳහිට ලොරියක් දෙකක් නතර කරන්න පටන් ගත්තා. ඔන්න කඩේ ටික ටික දියුණු වෙනවා. කඩේ කරපු සිමියොන් අයිය සිමියොන් මුදළාලි වුනා. තේ ගහන්න කොල්ලෙක් ගත්තා. සීනි බනිස් දාන්න වීදුරු ෂෝ කේස් එකක් ගත්තා. පොඩියට කක්කුස්සියකුත් හැදුණා, කඩේට ගොඩ වෙන අයට එළියට පහලියට යන්න.

ඔන්න ඊට පස්සෙ මෙතන බස් නවත්තන්න ගත්තා. දවසකට දෙක තුනක්. බිස්නස් දැන් සරුයි.

මේ අව් අස්සෙ අල්ලපු ගමේ පොරකටත් පොඩි බිස්නස් අයිඩියා එකක් ආවා. මොකක්ද දන්නවද? මෙතනම තව තේ කඩයක් දාන්න.

හැබැයි මේ අළුතින් දාපු තේ කඩේට හැදුවෙ නෑ කක්කුස්සියක් අළුතින්. මෙතන තේ බොන අයත් යන්නෙ අර සිමියොන් ගේ කඩේ පිටිපස්සෙ තියෙන එකටමයි.

සිමියොන් ට මාර ජුවල්.

ඇයි වදේ, බිස්නස් දෙකෙන් එකට බැස්සා, ඒ මදිවට අළුත් කඩෙන් ගල් බනිස් කාල කහට ගහපු උනුත් චූ කරන්න එන්නේ තමන්ගේ තැනටයි.

ටික දවසකට පස්සෙ මෙන්න බොලේ කක්කුස්සියෙ දොරේ එල්ලා පොඩි පහේ දැන්වීමක්.

"අල්ලපු කඩෙන් තේ බී, මේ වැසිකිලියේ මුත්‍රා කරන්නා ද්‍රෝහියෙකි!"

=======පරණ ලංකාදීප පත්තරකින් උපුටා ගත්තකි===========

තවත් දන්න ඇන්ටර්ටේන්මන්ට් ස්ටෝරීස් හෙම තියෙනවනං ලියල යන්න.

ආ! වෝට් කරන්නත් අමතක කරන්න එපා.

කතන්දරකාරයා

Friday, 21 May 2010

ඔන්න බබා තෙමාගෙන


චූ කතන්දර නැගලා යනවා, ඔන්න මාතලං ගොයියත් දාලා එකක් ඊයෙ පෙරේදා. මේක බෝවෙන ලෙඩක් වගේ වෙලා!

ඔය අස්සෙ නම කියන්න අකමැති කතන්දර පාඨකයෙකුත් චූ කතාවක් එවා තියෙනවා මගේ බ්ලොග් එකේ දාන්න කියලා. මෙන්න ඒක.

=======================================================
අපි ඕ ලෙවල් කරපු කාලේ දවල් වරුවේ ගමේ ඇවිදිනවා සයිකල් වලින්.

අපේ යාළුවෙක් හිටියා පාලිත කියලා. දවසක් අපි ඉස්කෝලෙ ලඟින් යන කොට පොරට චූ බරක් ආවා.

අපි මිනිහට කිව්වා, "උඹ ඉස්සරහ වංගුව ගාවදි චූ කරපං, අපි බලන්නං කවුරුහරි එනවද කියලා".

ඔන්න අපි දැක්කා අපේ පන්තියේ කෙල්ලෝ ටිකක් එනවා, ඒත් අපි පාලිතට කිව්වේ නෑ.

කෙල්ලෝ ටික වංගුවෙන් මතුවෙන කොටම පාලිත දැක්කා උන්ව. පොරට වෙන මොකවත් කරගන්න බැරුව සරම පහලට දාලා අපි ගාවට ආවා. එතකොට කෙල්ලෝ ටිකත් අපි ගාවටම ඇවිත්.

දැන් අර කෙල්ලෝ අපිත් එක්ක කතා කරනවා. පාලිතත් මුකුත් වුනේ නෑ වගේ ඉන්නවා.

මං මිනිහ ගේ සරම දිහා බලනකොට සරම පහලට තෙත් වේගෙන යනවා. බැලින්නම් එතකොටත් මිනිහට කොන්ට්‍රෝල් නැතුව චූ යනවා.

ඊට පස්සේ වුනු දේවල් කියන්න ඕනැ නැහැනේ?
=======================================================

මට නං ඒ කරපු වැඩේ අනුමත කරන්න බෑ කොහෙත්ම. ඒත් ඉතිං ඕ ලෙවල්කාර කොල්ලන් ගෙ අඳ බාල වැඩනේ.

ඔය කතන්දරේ කියවපුවාම මට මතක් වුනේ මේකයි.

දැන් සති දෙක තුනකට විතර කලින් අරුණි ෂැපිරෝ ගේ බ්ලොග් එකේ මං දාපු කමෙන්ට් එකකට අරුණි කියල තිබුණු දේ නිසා මට තේරුණා, බුදුහාමුදුරුවෝ කියල දුන්නු "පාප මිත්‍රයෝ" හතර වර්ගය ගැන සමහරු දන්නේ නෑ කියලා.

නොදන්න අයට මෙන්න ඒ විස්තරඃ

අන්නදත්තුහර: අපේ තියෙන දෙයක් කඩා වඩා ගන්නම බලන, කවදාකවත් උදව්වක් නොකරන උං.

වචීපරම: කයිය නං දෙනව උදව්කරන්නං කියල, ඒත් කතාව විතරයි, වැඩ නෑ.

අනුපියභානී: මේ ගොල්ලො අපි මොකක් හරි වැරදි වැඩක් කරන්න ගියත් ඒක අනුමත කරනව. අපිට කවදාකවත් හොඳ ඇඩ්වයිස් එකක් දෙන්නෙ නෑ.

අපායසහාය: අපිව අමාරුවේ දාන්නමයි මේ කෂ්ටිය බලන්නෙ.

වැඩි විස්තර මෙතනින්:
http://www.dailynews.lk/2009/11/02/fea26.asp

කතන්දරකාරයා

ප/ලිඃ පුළුවන් නම් උත්දර දෙන්න!
අද කතාවේ ප්‍රධාන චරිතය වන උපාලි ට හිටියේ කවර වර්ගයේ මිතුරන්ද?

Wednesday, 19 May 2010

චූ කතා, කඳුළු කතා සහ හොටු කතා


මේක නං කතන්දරයක් නෙමේ, මගේ හිතේ පැන නැග්ග පොඩි ප්‍රශ්ණයක්.

ඔය ප්‍රශ්ණ විචාර තරගය ගැන කතන්දරයි, චූටි ටීචර්ගෙ කතන්දරයි ලියන්න කලින් මං පහුගිය දවස්වල චූ කතා සීරිස් එකක් ලිව්ව මතකයි නේද?

මුලින්ම - අර ඔන්ඩච්චිගෙ ආච්චිගෙ කතන්දරේ.

ඊ ලඟට - අපි චමරියේ දි චූ කරපු හැටි කතන්දරේ.

ඊටත් පස්සේ - කැතීටර් ගැන කතන්දරේ.

අන්තිමට වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය කතන්දරේ.

අන්තිමේ දි මං කිව්වා අදින් චූ කතන්දර ඉවරයි, හෙට ඉඳල "කඳුළු කතන්දර" පටන් ගන්නවා කියල.

මෙන්න ඒකට ප්‍රතිචාර සෑහෙන්න ආපි, "අනේ අප්පේ කඳුළු කතා නං එපා" ය කියල.

මට අද වෙනකං හිතාගන්න බෑ ඒ ඇයි කියල.

සමහරවිට ඔය "කඳුළු කතන්දර" එපාය කියන ඇත්තෝ එහෙම කියන්නේ ඒ කතන්දර කියවලා ඒ ගොල්ලන්ට අඬන්න වේවිය, තමන්ට ඇඬෙන එකට කැමති නැතිය වගේ හේතු කාරණා නිසා වෙන්න ඇති.

නමුත් මෙතන පොඩි ප්‍රශ්ණයක් තියෙනවා.

කඳුළු කතාවලට ඒ විදියට දුක හිතෙනව නං, ඊට පස්සේ ඇඬෙනව නං, ඒ කියන්නේ මං ලියපු චූ කතාවලට චූ බර හැඳිල, ඊට පස්සේ චූ ගියාද?

ඒ විදියට ඉතිං හොටු කතන්දර කියවනකෙට හෙම්බිරිස්සාව හැදෙයිනේ, නේද?

ළමයිනේ "කඳුළු කතන්දර" කියන්නේ කඳුළු එන කතන්දර නෙමේ. කඳුළු ගැන කතන්දර.

ඔය මොනව වුණත්, මගේ කතන්දර දාන්න කලින් මගේ රසිකයෝ එවපු කතන්දර දාන්න තියෙනව.

තරහ අවසර!

කතන්දරකරු

Monday, 17 May 2010

වැසිකිලිය, කැසිකිලිය සහ ගඳකිලිය


අද කතන්දරේ මං ලියපු චූ කතා (එක, දෙක, තුන) සීරීස් එකේ අතුරු කතාවක්.

චූ කතාවලට අකමැති අයත් හිටියට, කැමති අය ඊට වැඩියි මට තේරුණු විදියට. කොටින්ම මං ලියපු චූ කතා බලල නදී ගේ සිතුවිලි සහ ආගිය කතා බ්ලොග්කරුවන් දෙන්නාත් කතා ලිව්වනේ.

චමරියේ දී අපි චූ කල හැටි කියන කතන්දරේ කියද්දී මං වැසිකිලිය සහ කැසිකිලිය අතර වෙනස පැහැදිලි කළා මතකයිනේ මට තේරෙන විදියට.

අපේ චමරිය තිබුණු ගෙදර අයිතිකාර අංකල් හදල දුන්නු කැසිකිලිය, වැස්ස නැති නිසා, ටික කාලෙකින්ම ගඳ ගහන්න පටන්ගත්ත. මං නෙමේ ඉන් පස්සෙ ඒ පැත්ත පලාතෙ ගියේ, රෑ ජාමෙට වුනත්.

කැසිකිලිය ගඳ ගහන්න පටන්ගත්තට, ඒකට "ගඳකිලිය" කියල නං කියන්න එපා රජෝ.

මොකද පරණ සිංහල පොත්වල "ගඳකිලිය" කියල කියන්නෙ බුදුහාමුදුරුවන් වැඩ වාසය කරපු කුටියටයි.

සිංහල ව්‍යාකරණය ගැන පරණම පොතක් වෙන, සිදත් සඟරාවෙ තියෙනවලු මෙහෙම. (තියෙනව ලු කියල කිව්වෙ, අමුතුවෙන් නොකිව්වට, ඒක මං බලපු පොතක් නොවේ නිසා.)

"මහද ගඳකිලි කර
සවුනේ ගෙවා දත් හට
දුහුණන් දැණුම් සඳහා
කරනෙමි සිදත් සඟරා"

ගඳ කියන සිංහල වචනේ ඇත්තටම ජෙනරික් එකක් නේ. හොඳ ගඳක් නම් සුගඳ, නරක ගඳක් නම් දුගඳ. ගඳ කියන වචනෙ ඇහුණාව සාමාන්‍යයෙන් එන්නේ දුගඳ කියන තේරුම වුනාට ඒ තර්කයෙන් ම සුගඳ කියන තේරුම ගන්නත් පුළුවනි මගෙ හිතේ.

සමහර විට ගඳකිලිය කියන වචනේ වෙනස්ම තේරුමක් තියෙන්නත් ඉඩ තියෙනවා.


ඇත්තටම මේ පරණ සිංහල පොත්කාරයො මහ අප්‍රභංශ වචනනේ පාවිච්චි කරල තියෙන්නෙ.

ඔන්න මීට අවුරුදු බර ගාණකට කලින් අපි ඉස්කෝලෙ ඉන්න කාලෙ, ඔය සුපුන් සුදාරක ගෙ විතර වයසෙදි, මගෙ පන්තියෙ යාළුවෙක් ගියා ගුවන් විදුලි ප්‍රශ්ණ විචාරක වැඩ සටහනකට සහභාගීවෙන්න. (සුපුන් ල නං ඉතිං යන්නේ මුහුරත් උත්සව වලට නේ!)

මගේ යාළු පොරට ලැබුණු දෙවෙනි ප්‍රශ්ණෙ මෙන්න මේකයි.

"බුදු හිමියන් ගේ අසාධාරණ බුදු ගුණ යන යෙදුමේ, අසාධාරණ යන වචනයෙන් අදහස් වෙන්නේ කුමක්ද?"

දීපල්ලකො පුළුවන් නං උත්තර!

අර ගඳකිලිය වගේම අපිව කරකෝල අතහරින වචනයක් නේද? (ඇයි මුහුරත් උළෙල, නේද සුදාරක?)

කතන්දරකාරයා

ප/ලිඃ
මාත් ගියා ඒ වගේ radio show එකකට ඉස්කොලෙ යන කාලෙ. ඊලඟට ලියන්නං ඒක.

Thursday, 13 May 2010

තවත් චූ කතාවක් සහ අපේ තාත්තාගේ රෝගී තත්වය


මං කලින් දාපු චූ කතා දෙකට ආපු ප්‍රතිචාර අනුව සමහරු මේවට කැමතියි. තවත් සමහරු අකමැතියි. ඒත් මං හිතන්නේ බහුතරය විරුද්ධත්වයක් නෑ කියලයි.

ඒ හින්දා හිතුනා මේ කතන්දරෙත් කියල දාන්න.

තවත් හේතුවක් තියෙනවා මාතෘකාවේ දාලා තියෙනවා වගේ. ඒක කතන්දරේ අන්තිමේදි තේරෙයි.

මේක අද ඊයෙ සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. එක්දාස් නමසිය පොඩි ගනං වල කොළඹ අවට ගම් ප්‍රදේශයක සිදුවුනු දෙයක් ගැන කතන්දරයක්.

ඔන්න එදා මේ ගමේ ගෙදර ලොකු කයියක් තිබුනා. ටවුමෙ බබා ල ගේ දැන ගැනීම පිණිස කියනවා නම්, කයියක් කියන්නේ, කුඹුරු වපුරන දවසට, ගොයම් කපන දවසට තියෙන ගමේ හැමෝම එකට එකතුවෙලා වැඩ කරන වර්කින් බී (working bee) එකයි. මේ විදියට වැඩකරන එකට අත්තම් ක්‍රමය කියලාත් කියනවා. ඒ කියන්නේ ගමේ හැම ගෙදරකින්ම ඒ අයගේ කුඹුරු වල වැඩ කරන්න කෙනෙක් යවනවා. මුදල් හුවමාරුවක් නෑ. කුලියක් නෑ. ඒ වෙනුවට කරන්නේ අනිත් අයගේ කුඹුරු වැඩට ඒ හා සමානව උදව් වෙන එකයි.

අත්තම කියන්නේ මිනිස්-සේවා-දිනයක (man-day) මිණුමටයි.

එදා කුඹුරේ වැඩකටයුතු වලට සහය වෙන හැමෝටම සංග්‍රහ කරන්නේ කුඹුර අයිති පවුලේ ගෙදරිනුයි. කයිය කියන්නේ මේ දවසේ කෙරෙන සංග්‍රයටයි.

ගොයම් කයියකට උයනවා කියන එකත් ලේසි පාසු වැඩක් නෙමේ. ඇයි මුළු ගමේම සෙනඟ වගේ එකතු වෙනවානේ.

ඉතිං එදා මේ ගෙදර තිබුණු කයියට සම්බෝලයක් හදන්න පොල් ගෙඩි හතක් ම ගෑවාළු. එහෙම කියන්නේ මගේ ආච්චී, ඒ කියන්නේ තාත්තා ගේ අම්මා.

වැඩිම වුනොත් පොල් ගෙඩි තුනක් ගාලා තියෙන්න ඇති. එහෙම කියන්නේ මගේ තාත්තා, ආච්චී ගේ පුතා.

ඔය කාලෙ උඹලෑ තාත්තට වයස අවුරුදු හතක් විතර ඇති. එහෙම කියන්නේ මගේ ආච්චී.

අපො නෑ, මට ඔන්නං වයස අවුරුදු හතරක් ඇති. එහෙම කියන්නේ මගේ තාත්තා.

කවුරු මොනවා කිව්වත් වුනේ මේකයි. පොල් ගාලා, ගොයම් කයියට ආපු අයට කන්න මහා පතරංග සයිස් පොල් සම්බෝලයක් හදල තිබුණා.

එක පාරම ඔතනට දුවගෙන ආපු මේ ගෙදර ඉන්න කොළු පැටියා කෙලින්ම චූ පාරක් ඇල්ලුවා ඒ සම්බෝල පුරෝල තිබුණු තඩි කොරහට.

සේරම ඉවරයි!!!

ආච්චියි ගෙදර හිටපු අනිත් අයයි එකතුවෙලා විගහට ආයෙමත් පොල් ගෙඩි ගාණක් ගාලා හැදුවාලු ඒ වගේ ලොකුම ලොකු සම්බෝලයක්.

මොකද කොළුවට ගැහැව්ව කියල, සම්බෝලෙ පිරිසිදු වෙනවයැ.

ඔන්න ඕකයි ඉතිං කතන්දරේ.

කතන්දරකාරයා

ප/ලිඃ
දැන් කියන්නං මේ කතන්දරේ දාන්න දෙවන හේතුව.

කීප දෙනෙක් ම පහුගිය දවස් දෙක තුනේ දී මගෙන් අහල තිබුණා තාත්තාගේ සුව දුක්. මේ කතන්දරේ පිට දාලා ඒකටත් උත්තර දෙන්න පුළුවනි.

කෙටියෙන් කියනවා නම් තවම වැඩි සනීපයක් නෑ. අප්‍රියෙල් මාසේ වැටුනු එකේ ප්‍රතිවිපාක තමයි. ඉස්පිරිතාලෙ ඉඳලා ආව දවස්වලට වඩා නම් සාමාන්‍යයෙන් සුව ගතියක් තියෙනවා. වචන ගලපලා තරමක් කතාකරන්න පුළුවන්. ඒත් සම්පුර්ණ අවබෝධය එන්න නං කලක් යයි.

තාත්තා අද ඉන්න තත්වය ගැන හිතන කොට මට මතක් වෙන්නේ අවුරුදු කීපෙකට කලින් මං ඉස්පිරිතාලෙ ලැග්ග හැටි. මේ ගැන මං ලුහුඬු සඳහනක් කළා මෙන්න මෙතන. ඒ රෝගී ජීවිතේ එක් අමතක නොවෙන දෙයක් තමයි කැතීටර් එකක් හයිකරගෙන ඒකෙ බෑග් එක කකුලෙ එල්ලගෙන ඉන්න වුනු එක.

මං චූ කතන්දර තුනක් ම දාන්න හේතුව දැන් තේරෙනව නේද?

අදින් ඉවරයි මේ චූ කතන්දර සීරීස් එක. හෙට ඉඳලා කඳුළු කතා.

Wednesday, 12 May 2010

චමරියක තව කතාවක් - අපි චූ කළ හැටි


මාසෙකට විතර කලින් මං තනියම බ්ලොග් මැරතන් එකක් දුවන කාලෙ මං කිව්ව චමරියේ කතන්දරේ මතකයි කියල හිතනව. නැත්තං මෙතනින් කියවන්න පුළුවන්.

තාත්ත අසනීප වුණාම ගමේ ගිය නිසා බ්ලොග් ලිවීම ටිකක් අඩපණ වුණා. චමරියේ කතාව අගදි තව ගොඩක් චමරියේ කතා ලියන්නම් කියල කිව්වට ඒකට වෙලාවක් හම්බ වුනේ නෑ අද වෙනකං.

එහෙම බලනවනං, අර මං ලියන්න පටන් ගත්තු නපුරු ගුරුවරු සීරිස් එකේත් තව කතන්දර ගණනාවක් තියෙනව ලියන්න. ඒ සීරීස් එක මගදි පටන් ගත්තු පන්ති නායකත්වය ගැන අතුරු කතන්දර ටිකත් තාමත් අතරමග නවත්තපු තැනමයි.

ජූලි 11, උපන් දිනේ ට කලින් කලින් ඔය සේරම කතන්දර ලියල දාන්නයි ඉන්නෙ.

ඒ අව් අස්සෙ, ඊයෙ ලියපු චූ කරන කතන්දරේටත් හොඳ හොඳ ප්‍රතිචාර ලැබුණු නිසා මට හිතුන, චමරියෙ කතන්දරයි, චූ කතන්දරයි කියන දෙවර්ගයටම අහුවෙන එක කතන්දරයක් ලියන්න. මේ එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක්.

කවුරු හරි කියනවනං මේ චූ කතන්දර මහ අසික්කිත ඒව කියල මට කියන්නේ තියෙන්නේ කරුණු දෙකයි.

එකඃ චූ කරන එක තරම් නැචුරල් දෙයක් මේ ලෝකේ වෙන නෑ.

දෙකඃ වැඩි කතාවට ආවොත් මං ලියන්න ගන්නව කක්ක කතා, නොකිව්වයි කියන්න එපා.

චූ කිරීම, ඒ කියන්නෙ නම්බර් වන් එක, කක්ක කිරීමෙන් තරමක් වෙනස් දෙයක් නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් අඩුයි. චූ කළාම වතුර හෝ ටොයිලට් පේපර් නැතුවට කමක් නෑනෙ. අනික, මයිකල් ඔන්ඩච්චිත් කිව්ව වගේ ගෑනු පිරිමි දෙපක්‍ෂයටම ඕනි නම් හිට ගෙන චූ කරන්න පුළුවන්. මෙන්න මේ කරුණු නිසා, අපේ කාලේ ගමේ ගොඩේ සමහර ගෙවල්වල තිබුණ, චූ කරන්න වෙනම තැනක් හදල. මේකට කිව්වෙ අතු-කොටුව කියලයි.

වැසිකිලිය (ටොයිලට්) සහ කැසිකිලිය (යුරිනල්) කියන වචන දෙකේ තේරුම් වල වෙනස හොයල බැළුවොත් මේක පැහැදිලි වේවි. මේ අතු-කොටුව කියන ගම්බද කැසිකිලිය කියන්නේ පොල් අතු වලින් ආවරණය වෙච්ච චතුරශ්‍රාකාර තැනක්. උඩට වහලක් නෑ. පොළව සාමාන්‍ය පරිදිමයි, හිල්, ගුල්, වලවල් නෑ. ඇයි ඉතිං චූ කළාම ඒක පොලොවට උරා ගන්නවනෙ. ඊට පස්සෙ අර නැචුරල් ෆිල්ටරින් ප්‍රොසෙස් එක හරහා පෙරිල, අපද්‍රව්‍ය අයින් වෙලා ගිහින් නැචූරල් ස්ප්‍රිං වෝටර් බවට පත්වෙලා බෝතල් වල ඇහිරිලා රුපියල් තිහ ගානෙ විකිණෙනව. සොරි හොඳේ?

ඉතිං අද කතන්දරේ මෙන්න මේකයි.

ඔන්න මං කාලෙකට ඉස්සර ඔය මහනුවර පැත්තෙ තිප්පොලක කාලෙ නාස්ති කරන කාලෙ, අවුරුද්දක් විතර නැවතිල ඉන්න වුනා චමරියක. අපේ චමරිය තිබුන පොඩි ගෙදර තිබුනෙ අයිතිකාරයගෙ ගෙදර තිබුණු පොඩි ඉඩම් කෑල්ලෙම පැත්තකින්. කාමර දෙකයි, මැද කෑල්ලයි, කුස්සියයි තමයි මුළු ගෙදරම. මේකෙ නතර වෙලා හිටිය අපි අට දෙනෙක්.

අයිතිකාරයගෙ පරණ ගෙදර මේක. අළුත් ගෙදර එයාගෙ පවුලෙ ලොකු හතර දෙනාට අමතරව, අපේම යාළුවො පස් දෙනෙකුත් බෝඩිං වෙලා හිටිය. චමරියෙ අපි අට දෙනාටයි, බෝඩිං කාරයො පස් දෙනාටයි තිබුනෙ එකම එක වැසිකිලියයි. ඒක තිබුනෙ මේ පොඩි ඉඩමෙ අනිත් කොනේ.

මං මුලින් කිව්ව අර චූ කරන එකෙයි, කක්ක කරන එකෙයි තියෙන වෙනසින් ප්‍රයෝජන ගන්න හිතපු බෝඩිමේ අංකල් කාරය මොකද කලේ, අපේ චමරිය තිබුණු ගෙදර පිටි පස්සෙ අගුවෙ වතුර බහිණ කානුවට අල්ලල එක පැත්තකින් පොල් අතු ගහල හැදුව කැසිකිලියක්. ඒ අපි අට දෙනාට චූ කරන්න.

වැඩේ පහසුයි, කාර්්‍යක්‍ෂමයි, වැඩි දුරක් යන්නත් ඕනැ නෑ. රෑටත් ලේසියි.

නමුත් ඒ ජොලිය තිබ්බෙ දවස් කීපයයි.

ටික දවසකින්ම ඒ පැත්ත පලාතෙ යන්න බැරි විදියට ගඳ ගහන්න පටන් ගත්ත.

මොකද, අංකල් කාරය හිතපු විදියට, අපේ චූ හේදිලා ගිහින් පල්ලෙහා තිබුණු වෙල් යායට යූරියා පෝර හදන්න වැහි වතුර ආවෙ නෑ!!!

කතන්දරකාරයා

ප/ලිඃ
මගේ චූ කිරීම ගැන පෝස්ට් එකට ප්‍රතිචාරක් දෙන චානක මුණසිංහ කියනව මේක ටැබූ සබ්ජෙක්ට් එකක් කියල. ටැබූ සර් ලඟදි ලිව්වනෙ යටිවතට ඇයි මේ සරදම්? කියල ලිපියක්.

මට නං ඊයෙ කතන්දරේ ලියන්න හේතු දෙකක් තිබුණා.

එක: පිටස්තරයා ගේ පණිවිඩයට පොඩි ප්‍රචාරයක් දෙන එක.

දෙක: දන්නෙ නැති අයට මයිකල් ඔන්ඩච්චි කියන ලේඛකයව හඳුන්වා දෙන එක. මේ ක්‍රමය ලේසියි අටවක පුත්තු ගැන ටැබූ ලිව්ව ක්‍රමයට වැඩියෙන්!!!

Tuesday, 11 May 2010

අපේ අයියලා ගේ (සහ අක්කලා ගේ) චූ කිරීම


ආතල් ගන්න යාපනේ යන අපේ කාණ්ඩෙට වැදගත් කරුණු කිහිපයක් අඩංගු ලිපියක් ලියල තිබුන අපේ පිටස්තරයා කියන බ්ලොග්කරුවා.

ඔය යන සිය ගනං ජනතාවට හරියන්න ආහාර පාන, නවාතැන් පොලවල් විතරක් නෙමේ චූ කරන්නවත් පහසුකම් අඩු බවයි ඒ ලිපියෙ තිබුනෙ. ආතල් ගන්න කෂ්ටියයි, එහෙ වෙළඳාමට යන කෂ්ටියයි සේරම කෝවිල් ඉඩමක ශරීර කෘතයන් කරන බවයි ආරංචිය.

ලිපිය බලන වෙලේ තමයි මේ කතන්දරේ සිහියට ආවෙ.

අද කියන්න යන්නෙ එක විදියක ජරා කතන්දරයක් කියල සමහරුන්ට හිතෙන්න පුළුවන්. හැබැයි ඉතිං මේ සේරම කතන්දර අපේ ජීවිතවල කතන්දර. මවපු ගොතපු ඒව නෙමේ.

දැං අපි වැසිකිලියකට ගියාම කරන වැඩ දෙකක් තියෙනවනේ. නම්බර් වන් කියන්නෙ චූ දාන එක. නම්බර් ටූ කියන්නෙ කක්ක කරන එක.

අළුත් කොමොඩ් වැසිකිලිවල ඔය කර්තව්‍යයන් දෙක කරල ෆ්ලෂ් කරන්න දෙවිදියකුත් තියෙනව වතුර ඉතුරු කරගන්න. නම්බර් වන් කලොත් හාෆ් ෆ්ලෂ්. ෆුල් ෆ්ලෂ් කරන්න ඕනැ නම්බර් ටූ එකක් කළොත් විතරයි.

පිරිමි අයට නං ඔය නම්බර් වන් කරන එක මහ දෙයක් නෙමේ. ගමේ ගොඩේ නං ඔය ගහකට ගලකට මුවා වුනාම ඇති.

හැබැයි ඉතිං කාන්තා පක්‍ෂයට නං ඕක නම්බර් වන්, ටූ කියල වෙනසක් නෑ. මහා බැරෑරුම් සංසිද්ධියක්. ඇත්තම කියනව නං ලංකාවෙ හරි හමං වැසිකිලි පහසුකම් නැති නිසා කාන්තාවො හරියට දුක් විඳිනව.

සමහර අපේ කාන්තාවො උදේ ගමනක් පිටත්වෙලා හවස ගෙදරට එනකම්ම, අඳුනන ගෙදරකට ගොඩ වැදුනෙ නැත්තං, ඉවසං ඉන්නව වැසිකිලි යාම.

නමුත් මං දන්න තරමින් කාන්තාවන්ටත් පුළුවන් සාරියක් හරි දිග ගවුමක් හරි ඇඳල ඉන්නව නං හිටගෙනම පරිස්සමින් ඔය නම්බර් වන් කර්තව්‍යය කරන්න කාටවත් නොපෙනෙන්න.

පුදුමයි නේද? අද කාලෙ කෙල්ලො නං මේක විශ්වාස කරන එකක් නෑ. ඇත්තටම කතන්දර බ්ලොග් එකේ කාන්තා පාඨකයින්ව ටර්න් ඕෆ් කරන දෙයක් වෙන්න පුළුවන් ඒ කතාව.

නමුත් පොඩ්ඩක් ඉන්න.

මේ මං හිතල ගොතපු කතාවක් නෙමේ. මයිකල් ඔන්ඩච්චි ගේ (michael ondaatje) රනින් ඉන් ද ෆැමිලි (running in the family) කියන පොතේ එයාගෙ ආච්චි කෙනෙක් ගැන කියපු කතාවක් ඒ. මට මතක හැටියට මේ ආච්චි කොළඹ කොන්වන්ට් එකක කානිවල් එක දවසෙ දෙනෝදාහක් ඉන්දැද්දිත් මේ වැඩේ සාර්ථකව කරල තියෙනව.

සාර්ථකව කියන්නෙ කකුල් දෙකේ ගෑවෙන්නෙ නැතිවෙන්න වෙන්න ඕනෑ.

මට බනින්න එපා, ලංකාවෙ ඉපදිලා, අවුරුදු දොලහෙදී එංගලන්තයට ගිහිං, දැන් කැනඩාවෙ ඉංග්‍රිසි සාහිත්‍යය පිළිබඳ මහාචාර්ය කෙනෙක් වෙන, තමන් ලියපු ඉංග්ලිෂ් පේෂන්ට් කියන පොතට සම්මානනීය බුකර් ත්‍යාගය දිනාගත්තු මයිකල් ඔන්ඩච්චිට බනින්න.

කතන්දරකාරයා
ප/ලිඃ තවත් චූ කතන්දරයක් දාන්නංකො හෙටම. මොකද කියන්නෙ?