Showing posts with label බුද්ධාගම. Show all posts
Showing posts with label බුද්ධාගම. Show all posts

Monday, 27 May 2013

පන්සිල් නොගෙන සිටි කතන්දර කුමාර ට සීයා ගෙන් දෝස්මුරයක් - Trotting against the herd


මා ආනන්දයේ ඉගෙන ගනිමින් සිටි කාලයේ එක් දිනයක උදැසන අවසන්වරට පන්සිල් ගත් හැටි ගැන පෙරේදා කතන්දරෙයෙන් විස්තර කළෙමි.

පන්සිල් ගැනීම යනු තමන් තමන්ටම දෙන පොරොන්දුවක් මිස අනෙකක් නොවේ. පන්සිල් නොගත්තා කියා සිදුවෙන පවක් නැත. එසේ නොව පන්සිල් ගෙන ඉන්පසු ඒවා කැඩීමෙන් නම් සාමාන්‍ය පවට අමතරවත් පව් සිදුවෙනවා විය හැක.

අප කළ යුත්තේ පන්සිල් ගැනීම නොව, පව් නොකර සිටීමයි. ඊටත් වඩා දුර ගොස් පින් ලැබෙන වැඩ සිදු කිරීමයි.

ඒ දාහත් හැවිරිදි මා එදා සිතූ ආකාරයයි.

කෙසේ වෙතත් එදායින් පසු අනෙක් අය සිල් ගන්නා තැන්වලදී මම අත් බැඳගෙන සිටියෙමි.

මින් වසරකට පමණ පසු දිනයක මගේ මෑණියන් ගේ මහගෙදර මහා දානමය පුණ්‍ය කර්මයක් පැවැත්වුණි. අපේ පවුලේ සියලු දෙනාම ඊට සහභාගී වූහ. රැස්ව සිටි සියලු දෙනා අත් බැඳ ගෙන පන්සිල් පද කියද්දී සුපුරුදු පරිදි මම නිහඬව සිටියෙමි.

සීයා මෙය දැක ඇත.

එදා දානයේ කටයුතු අවසාන වී භික්ෂූන් වහන්සේලා නික්ම ගිය පසු අපේ ගිහි දානයේ කටයුතු ආරම්භ විය. මෙහිදී අපේ සීයා මා වෙත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළේ ආගමික කටයුතු සිදුවෙද්දී පන්සිල් නොගෙන සිටීමෙන් මා මහා පාපකර්මයක් සිදුකළාක් මෙන් හඟවමිනි. පින්, පව් සහ පන්සිල් පිළිබඳ මා එදා නැගූ තර්ක ඔහු කනකට ගත්තේ නැත.

වයස අවුරුදු හැත්තෑව ද ඉක්මවා සිටියෙකුගේ බැණ වැදීමක් අවුරුදු දහ අටක් වයසැති තරුණයෙකු සලිත කරවන්නක් නොවේ. එසේම දිගින් දිගටම මෙවැනි දෙයක් ගැන කතා කිරීම වයස අවුරුදු හැත්තෑවක අයෙකුට ද සරි නොවේ.

එසේ වුවද, අපේ සීයා මගේ පංචශීල ප්‍රතිපත්තියට එරෙහිව කතාව දිගු වේලාවක් යනතුරුම නැවැත්තුවේ නැත. ඒ දොඩමළු කමේ රහස මට පසුව එළිවිය.

එදා දානය හමාර වී හාමුදුරුවරු ආපසු වැඩම කළ විගස තම කාමරයට ගිය සීයා, නිරතුරු තම ඇඳ යට තිබෙන පොල් අරක්කු බෝතලයෙන් ”කාලක්-ක්‍රියා” කර ඇත. මෙහිදී ඔහුගේ සහයට සිටියේ, දානමය පුණ්‍ය කර්මයට සහභාගී වීමට නිවසට පැමිණ සිටි තම මස්සිනා ය.

මේ බෝතල් පාටිය අපේ දානේ ගෙදරට පමණක් සුවිශේෂී සංසිද්ධියක් නොවේ. බොහොමයක් සාංගීක දානේ ගෙවල් වල ගිහියන්ට කරන සංග්‍රහයට රහමෙර ද ඇතුළත් ය. වෙසක් දන්සැල් දෙන අතර තුරේ මෙන්ම පොසොන් එකට මිහින්තලාවේ හෝ සීසන් එකට සමනොළ කන්දේ යන අතරතුරේ ද බෝතල් සීල් කැඩෙන බව නොරහසකි.

තව ස්වල්ප වේලාවකින් තමන් විසින් සිල් බිඳීමට නියමිත බව හොඳ හැටි දැන සිටියද, එදා පින්කමේ දී සුරාමේරය මජ්ජපමා සීලය සමාදන් වීම අපේ සීයා ට ප්‍රශ්නයක් නොවීය.

නමුත් ඔහුට පර ප්‍රශ්නයක් වී තිවුණේ මා පන්සිල් නොගෙන සිටීමයි.

මද පමණින් රහමෙර පාවිච්චි කර සිත් සතොසින් දහවල් කෑම ගත් සීයා, අවශ්‍ය වූයේ නම් සවස් වරුවේ නැවතත් පන්සිල් ගැනීමට ද, රාත්‍රී ආහාරයට පෙර නැවතත් පොල් අරක්කු බෝතලය ඇඳ යටින් එළියට ගෙන "කාලක්-ක්‍රියා" කිරීමට ද නොපැකිලෙනු ඇත.

අත් බැඳ සිල් නොගත්ත ද, මා සිල් රැකි බව අපේ සීයා ට නොවැටහුණි. ඒ වන විට වසර පනහකටත් වඩා කාලයක් රහමෙර ඇසුරු කර තිබූ සීයා ගේ මොළේ මගේ තර්ක වටහා ගැනීමට අවශ්‍ය නියුරෝන සෛල ඉතුරු වී නොතිබෙන්නට ද ඇත.

සීයා මට කුමන වලියක් දැම්මද, මා එදා එකොළොස් වෙනි ශ්‍රේණියේ දී පන්සිල් ගත්තායින් පසු අද වෙනතුරුමත් නැවත පන්සිල් ගෙන නැත.

මා මේ කතන්දරයේ මුල් කොටසේ ලියුවා සේ, එදා සිට අද දක්වා කැඩුණු සිල් පද කැඩුනි. රැකුණු සිල් පද රැකුණි.

සැවොම පන්සිල් ගන්නා වෙලේ මා අත් බැඳ ගෙන සිටිනු දකින සමහරු මගෙන් ඒ ගැන විමසන හැම විටකම මා කියන්නේ අවශ්‍ය නම් මට ඔවුන්ට පන්සිල් දීමට ද හැකි බවය.

-කතන්දරකාරයා

ප/ලි:
බුදු දහම පිළිපැදීම යනු නොපෙනෙන, නොවැටහෙන දේ දේව වචනයක් ලෙස ඇදහීම නොවේ. ඒ සැමෙකක්ම ප්‍රශ්න කිරීමයි. චිචාර බුද්ධියෙන් විමසීමයි.

මා ඉගෙන ගෙන ඇත්තේ එලෙසය.

බුදු දහම ගැන කතා කිරීම ආනන්තර්ය පාප කරමයක්, අපහාසයක් ලෙස සලකා, එසේ කරන අය හා ආරවුල් ඇති කරගන්නා කණ්ඩායමක් අද බිහිවෙමින් පවතී.

මේ අන්තවාදය බුදු දහමට නිගා දෙන්නකි. බුදු දහමට සැබෑ අපහාසය ඒ අන්තවාදයයි.


ප/ප/ලි:
එදා දෙකක් අනුමත වී මට එලෙස වලියක් ඇද්දේ වුවද සීයා ට මගේ ජාන ස්වල්පයක් හෝ ගොස් තිබෙන බවට මෙන්න මේ කතන්දරය සාක්‍ෂි සපයයි.
http://kathandara.blogspot.com/2010/11/blog-post_22.html


(image: http://megaanswers.com/why-do-crabs-walk-sideways/)