Showing posts with label කෂියා. Show all posts
Showing posts with label කෂියා. Show all posts

Monday, 4 April 2011

මටාටා ටිටා - රා බොමු ද?


මේ කතන්දරේ ලියන්න නිමිත්ත වුනේ ආණ්ඩුවෙන් කිතුල් මල් මදින්න පර්මිට් ගන්න ඕනෑය කියලා දාලා තිබුණු නීතිය අහෝසි කරන්න යනවාය කියන ආරංචිය ගැන W3Lanka දාලා තිබුණ ලිපියයි.

කිතුල් මල් කපල, මැදල, තෙලිජ්ජ අරගෙන රා පෙරනවා කියන්නේ හොඳට එලිමහනේ හැමෝටම පේන්න කරන්න සිද්ධ වෙන වැඩක් නේ. රා පෙරීම ගැන රටේ නීති තද කිරීම නිසා, හොර රහසේ කළ හැකි කෂියා නිෂ්පාදනය සහ කෂියා බීම මිනිස්සු අතර වැඩි වුණු බවයි පොදු පිළිගැනීම.

"සීනි කරිඤ්ඤං", "ගල් බමුණා", "අල හොඳි", "දෙංඤං මචං" වගේ අතීත කාල කෂියා වර්ග පරදවලා "කටු කම්බි" බජාර් එකට ඇවිල්ලා රජ කරන්න පටන් ගත්තේ, ඔය රා බිස්නස් බැස්සට පස්සෙලු.

ආයෙ කිතුලක් මදින්න ඉඩ දුන්න වුනත්, කෂියා ගහලා ඇඟ කුරෝලු කර ගත්තු උන් නම් කොච්චර කළත් ආපහු රා කට්ට ගහන්න සෙට් වෙයි ද කියන එක නං සැකයි.

මේ ලඟදි, අපේ රත්නායක මහත්තයා ගේ ගෙදරට ආපු කෂ්ටියකගෙන්, වයින් පොඩ්ඩක් බොමුද කියල ඇහැව්වහම, ඒ නෝන කිව්වලු, අනේ, වයින් නම් බිව්වට වැඩක් නෑ අනේ, කිසි ගතියක් නෑ! කියලා.

වයින් වලට වයින් නොවෙන කෂ්ටිය ගේ කැමැත්ත ජින් වලටයි මයෙ හිතේ!

මාත් එකම එක දවසක් රා බීල තියෙනව. කිතුල් රා. ඒ බිව්වේත් කිතුල්ගල දී. අර ඩේවිඩ් ලීන් ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි කියන මූවි එක හදපු තැන, ගං ඉවුරේ වාඩි වෙලා.

එදා රා බොන ගමන්, තම්බපු මයියොක්කා සැර ලුණුමිරිසක් එක්ක කාපු බවත් මතකයි.

ඔය කිතුල්ගල ගිය ගමනේ දී අහපු රා සින්දුවක් තමයි මේක. පොඩ්ඩක් විතර රස්ට් වෙලා දැන්.

(තාලය: මුණී නන්දන සිරි පාද වඳිම් සමනල කන්දේ)

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

නාලාගිරි ඇතා බිව්වෙ ඇම්බසඩර් රා
සිදුහත් හට බුදු වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි

මෛත්‍රිපාල සේනා-නායකලත් බොන රා
සිරිම ට අගමැති වෙන්නට උදව් වුනෙත් රා
වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා, වෙරි ගුඩ් රා

ඇගේ රා ටික නං හරිම හොඳයි
විස්කි වගේමයි
ගැහැව්වම හොඳට වදිනවා
ඇගේ රා ටික නං හරිම ප්‍රනීතයි


මේ සින්දුව රා බීලා, මයියොක්ක කන ගමන් විතරක් නෙමේ ගල් පොල් බීල උම්බලකඩ කන ගමන් වුනත් කියන්න පුළුවන් එකක්.

එදා කිතුල්ගලදී බිව්වට පස්සේ නං මං රා බීල නෑ, හැබැයි.

බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි මූවි එකේ සෙට් එක හදපු තැනට විතරක් නෙමේ, පස්තාච්චි කුපාඩි කාලේ, මං ඇත්තම ක්වායි ගඟේ පාලම තිබුණු තැනටත් ගිහින් තියෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
මත්පැන් ගැන මගේ අවවාදය මෙන්න මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2009/11/blog-post.html

ඩිස්ක්ලේමර්: දිස් බ්ලොග් ඩස් නොට් එන්ඩෝස් ඩ්‍රින්කින් ඇල්කොහොල් - ගල්, පොල්, කෂියා, රා, ඕ රංග මාකටින් බ්‍රෑන්ඩ්ස්. මටාටා ටිටා.

ප/ප/ලි:
මං කලින් දෙපාරම W3Lanka ගැන සඳහන් කරපු කතන්දර දැම්ම වෙලේ W3Lanka එක්ක ඔරොප්පු පොරවල් මාව කන්න සෙට් වුණා.

බලමු n=3 තත්වය...!!!


(image: http://en.wikipedia.org/wiki/File:Kitulgala-bridge.jpg)