Friday 29 June 2012

කසාඳ බැඳපු ගැණියෙකුට තමන් ගේ මිනිහාට කළ හැකි ලොකුම අපහාසය කුමක්ද? - The worst insulting thing a wife can say to her husband


මා අසා ඇති එක්තරා විහිළු කතාවක මෙසේ කියවෙයි.

ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දෙවෙනි දරුණුතම අපහාසය මෙසේය.

Is that in?

ගැහැණියකට පිරිමියෙකු අමතා කළ හැකි දරුණුතම අපහාසය මෙසේය.

Is that all?

ඒ අපහාස සඳහා මගේ අද මාතෘකාවේ කියවෙන කසාඳ බැඳීමක් අදාල නොවේ.

එසේනම්, කසාඳ බැඳි ගැහැණියකට තම කසාද මිනිහා අමතා කළ හැකි මා මේ කියන අපහාසය කුමක්ද?

"ඔහේ මහා නුවණැත්තෙක් කියලද හිතන්නේ ඉන්නේ? ඔහේ හරි මෝඩයෙක්. එහෙම නැතුව ඔහේ හරි නුවණක්කාරයෙක් නං ඇයි මාව බැන්දේ?"

මෙය ඇත්තටම රත්නායක ජෝක්ස් වර්ගයේ අපහාසයකි. නමුත් සෑහෙන බළපෑමක් කළ හැකි එකක් බව පෙනේ.

ඉහත අපහාස වැකි තුන සහිත මගේ මේ කෙටි කතන්දරය සම්පූර්ණ කිරිම සඳහා, මම ගැහැණියකට අපහාස කිරීම සඳහා මිනිහෙකුට කිව හැකි දේ මොනවාදැයි දහ අතේ සිතා බැළුවෙමි.

මට කිසිත් සිතා ගත නොහැක.

පිරිමි අප කොච්චාර හොඳඳ?

නේද?

-කතන්දරකාරයා

ප/ලි:
අන්තර්ජාලෙන් මෙන්න මේක හම්බ වුණා.

"මං ඔයාට මගේ නංගී කෙනෙකුට වගේ ආදරෙයි!"

(image: http://www.andrewmatthews.com/gallery.php)

Thursday 28 June 2012

UPDATED: සන්ලයිට් ජිංගල් - Sunlight Jingle - කතන්දරකාරයා ගයයි!

ජිංගල් එකක් කියන්නේ අර වෙළඳ දැන්වීම් එක්ක යන පොඩි සින්දු කෑල්ලටයි. ඕවායින් සමහර ඒවා තියෙනවා නැගලා යන.

මට අද මතක් වුණා අපි පොඩි කාලේ රේඩියෝ එකේ ගිය සන්ලයිට් සබන් ජිංගල් දෙකක්.

මෙයින් එකක් නං මට සම්පූර්ණයෙන් මතකයි. අනිකේ නං අග හරිය හිස්.

මේවායේ ඕඩියෝ ට්‍රැක් නං මං හිතන්නේ නෑ හොයා ගන්න පුළුවන් කියලා. කියෝලා බලලා දන්ණ අය අඩු තැන් පුරවන්න කෝ!

මෙන්න මුල් එක.

සුනිලා පාසලට ගියේ
අම්ම සේදු ඇඳුම් ඇඳන්
ඒවා සුදු මදිය කියල මිස් පැවසූවා

යලි ගෙදරට ආ සුනිලා
ඒ බව අම්මට කීවා
අනේ මොකද මා කරන්නෙ
ඈ දුක් වූවා

අල්ලපු ගෙයි සිටි වසන්ති
රෙදි හෝදන්නට ගන්නේ
සන්ලයිට් සබන් ය කියා
රහස එලිවුණා

ඉන් පසු සුනිලගේ අම්මත්
ගත්තේ සන්ලයිට් සබන්
ඇගෙ ඇඳුම් සුදු පාටට
හොඳට බැබලුණා

ඇඳගෙන ගිය ඇඳුම් බලා
පන්තියෙ වැඩ ගැනත් සිතා
සුනිල පන්ති නායිකාව
ලෙසට පත් කළා!


මෙන්න මං රෙකෝඩ් කරපු සවුන්ඩ් ට්‍රැක් එක.



පැහැදිලියි නේ පණිවිඩය?

මෙන්න දෙවෙනි එක. මේකේ අග හරිය මගේ මතකයෙන් ගිලිහිලා ගිහින්. මේක දෙබසක්.

එන්න නිමල් වාඩිවෙන්න
එනතුරු අපි බලා උන්නේ
ඔබේ උසස් වීමට සිදු
වුණෙ මොනවාදැයි අහන්න

ඉන්ටර්වීව් ගියා තමයි
හරි වැඩේනෙ සිද්ධ වුනේ
ලොක්ක කියපු කතා අහල
මට හරි ලැජ්ජා හිතුනේ

මොකද මොකද ලොක්ක කීවෙ?

දක්‍ෂකම ම විතරක් මදි
මේ වගෙ තනතුරු දරන්ණ
පිරිසිදු ඇඳුමත් ඕනෑ
සමාජයේ තැන ලබන්න

ඒ කතාව ඇත්ත තමයි!

කතාව නං ඇත්ත තමයි
බලන්නකෝ ඇඳුම් මගේ
කොතරම් හේදුවත් නෑනෙ
ඔපයක් ඔය ඇඳුම් වගේ


මෙන්න මෙතන ඉඳලා ටික තමයි අමතක.

මෙන්න මං රෙකෝඩ් කරපු සවුන්ඩ් ට්‍රැක් එක.



මේකෙත් සීන් එක නං කලින් එක වගේමයි. නිමල් ගේ යාළුවා ඇඳුම් හෝදන්නේ සන්ලයිට්වලින්. නිමලුත් සන්ලයිට් සබන්වලින් ඇඳුම් හෝදන්න පටන් ගන්නවා.

ඇඳුම් සුදු වෙනවා.

ලොක්කා ප්‍රමෝෂන් එක දෙනවා.

-කතන්දරකාරයා

ප/ලි
අනේ බලන්න ඒ අපේ පුංචි කාලේ කොච්චර සුන්දර කාලයක්ද කියලා?

(image: http://www.zazzle.com.au/sunlight_soap_vintage_art_postcard-239218065027968929)

Tuesday 26 June 2012

අපි නොදන්න ටැබූ (නමැති හිටපු බ්ලොග්කරුවා) හෙවත් රාවණා ගේ 2012 අවතාරය - Big Foot, Yetee and Taboo Subjects Blogger


ටැබූ, ටැබුවා, ටැබූ සර්, ටැබූකාරයා වැනි විවිධ නම් වලින් හැඳින්වුණු ටැබූ සබ්ජෙක්ට්ස් නමැති සිංහල බ්ලොග් අවකාශය දැපනේ දාගෙන හිටපු මහා බ්ලොග්කරුවා හිටි හැටියේම කැපිලා ගිහිල්ලා දැන් අවුරුද්දකට වැඩියි.

අවුරුද්දේ සංවත්සරය වෙනුවෙන් මං ලියපු ලිපියට ප්‍රතිචාර දක්වපු අයගෙන් සමහරු තමන් ලඟ පරිස්සමින් සේව් කරලා තියාගෙන හිටපු පරණ ලිපි කමෙන්ටු විදියට එතන දැම්මා, ටැබූ ගේ රචනා විලාශය දැකලා නැති අයගේ ප්‍රයෝජනය පිණිස.

ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොගය හදිස්සියේම වැහිල ගියාම මුලින්ම කියවුනේ ඒක හැක් වුණා කියලයි.

ඊට පස්සේ තියරියක් ආවා මේක සෙල්ෆ් ඉන්ෆ්ලික්ටඩ් හැකිං එකක් ය කියලා. හේතුව- ඩප්පි සිරා වැනි වෙනත් ආරුඪ නාමයකින් පෙනී සිටින්නෙත් ටැබූම බව හෙලිවීමලු.

ඒ කොහොම වෙතත් ටැබූ සර් ඉතිං නොකියාම යන්න ගියා ගියාමයි.

දැන් මාස තුන හතරකට කලින් මට ඊ-මේල් දෙක තුනක්ම ආවා ටැබූ කියන්නේ අන්න අහවලාය කියලා සඳහන් වුණු. ඒ කතාව ඔප්පු කරන්න සුළු සුළු සාධකත් සපයලා තිබුණා, ඒ ඊ-මේල්වල.

නමුත් මට පෙණුනේ නම් ටැබූ කියන්නේ අහවලා නොවෙන්න ඊට වඩා ප්‍රභල සාධක තියෙන බවයි.

ඉතිං මං කෝකටත් කළේ අහවලාගෙන් ම මේකේ ඇත්ත නැත්ත අහන එකයි.

අහවලා නැහැය කිව්වා, නිකං නෙමේ ටැබූ ගේ දේශපාලන දරශනයත් පාච්චල් කෙරෙන උත්තරයක් එක්ක.

ඊට පස්සේ මං ඒ කතන්දරේ අමතක කරළා දැම්මා.

හැබැයි දැන් තත්වය වෙනස්. අද කේස් එක ටැබූ කවුද කියන එක නෙමෙයි. තරමක වෙනස් එකක්.

දැන් සතියක දෙකක වගේ ඉඳලා තැනින් තැන, විටින් විට ටැබූ දර්ශනය වෙන්න පටන් අරං. හරියට අර බිග් ෆූට් එහෙම නැත්තං යෙටී හිම මිනිහා වගේ.

අඩු වශයෙන් ලොකු අඩි සටහන් දෙකක් දකින්න තියෙනවා. මේවා එක්කෝ ටැබූ විසින් උවමනාවෙන්ම තැබූ අඩි සලකුණු. එහෙම නැත්තං නියම නිර්මාණශීලි කොපි කැට් කෙනෙකු ගේ සුපිරි වැඩක්.

මෙන්න පළමුවැනි බිග් ෆූට් අඩි සලකුණ. මගේ ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය කතන්දරේට දාපු කමෙන්ටුවක්.

[http://kathandara.blogspot.com/2012/06/misfired.html?showComment=1340438067147#c315476184848376694]

මේ භාෂා ශෛලිය ටැබූ ගේ ම තමයි. රාජ් ගේ නවාතැන ලියන රාජ්ට පවා මේ බව තේරිලා කමෙන්ටුවකුත් දැම්මා. (හැබැයි පස්සේ පොරම ඒක කපා දාලා).

අද බ්ලොග් ගඩොල් බ්ලොග් එකේ 150 සංවත්සරය වෙනුවෙන් පලවුණු පෝස්ටුවෙත් ටැබූ ගේ ම කියලා හිතෙන බිග් ෆූට් සලකුණු කමෙන්ටුවක් වැටිලා.

[http://bloggadol.blogspot.com/2012/06/150.html?showComment=1340688036958#c8506218492705020153]

පූස් ලා ගේ කතන්දර ලියවෙන බ්ලොග් ගඩොල් එක ටැබූ ගේ ප්‍රියතම බ්ලොගයක්. පූස් ලාත්, ටැබූත් එම පාසලේ සිසුවෝ කියලයි සඳහන් වුනේ. බ්ලොග් ගඩොල් ලියන පුරු-පුරු ගියෙත් ටැබූත් ගියාය කියන (මේ අයගේ ඉස්කෝලෙන් අල්ලපු වැටේ) කැම්පස් එකටමලු. ඉතිං මේ කමෙන්ටුව දැමීමේ නම් ලොකු පුදුමයක් නෑ.

හැබැයි අද මේ පා සටහනේ පොඩි වෙනසක් තියෙනවා.

ඒකේ කියවෙන විදියට ටැබූ, මාව පෞද්ගලිකව අඳුණනවා ලු, හම්බවෙලා කතා කරළා තියෙනවා ලු.

පිස්සු හැදෙන සඳ!

කවුද බොලේ මේ ටැබූ?

මට ඇතිවුණු අනිත් ප්‍රශ්ණය තමයි, ටැබූකාරයා කාළෙකට පස්සේ මෙහෙම මතුවෙලා මේ වගේ ප්‍රකාශ කරන්නේ ඇයිද කියලා.

ටැබූ කියන්නේ අර 2012 එනවාය කියපු රාවණා ගේ අවතාරයද?

-කතන්දරකාරයා

(image: http://idleeflthoughts.wordpress.com/)

Monday 25 June 2012

මටත් තියෙන ප්‍රශ්න - Oh, these problems


විවිධ පුද්ගලයින් ට විවිධ ප්‍රශ්න ඇත.

එක් පුද්ගලයෙකුට විවිධාකාරයේ ප්‍රශ්න රැසක් තියෙන්නට බොහෝ ඉඩකඩ ඇති අතර, පුද්ගලයින් රාශියකට පොදු ප්‍රශ්න එකක් හෝ කීපයක් තියෙන්නට ද පුළුවන.

මේ අනුව, පුද්ගලයින් සහ ප්‍රශ්න අතර ඇත්තේ බහු-බහු සම්බන්ධයකි. එය අපට ඇති අමතර ප්‍රශ්නයක් නොව ඩේටාබේස් ඩිසයින් කරන්නන් ගේ ප්‍රශ්නයකි.

පුද්ගල ප්‍රශ්න ගැණ කතා කරනවා නම්, සපත්තු දා වැඩට යන මිනිසුන්ට ඇති එක්තරා ප්‍රශ්නයක් ගැන මම පසුගිය දිනයක ලියූවෙමි. ඒ සඳහා සුවිශේෂී විසඳුමක් ද ඉදිරිපත් කළෙමි.

මට ඇතිවුණු වෙනත් ආකාරයක ප්‍රශ්නයක් වූයේ, "ලෝකයේ මිනිසුන් බහුතරයක් පින් අතේ වැඩම කර නිවන් යන්නට පටන් ගත්තොත් ලෝක ජනතාවට කුමක් සිදුවේද?" යන්නයි.

සියළු දෙනාට අටසිල් අරගෙන බ්‍රහ්මචරියාවෙන් කල් ගතකළහොත් සිදුවන්නේ කුමක්දැයි යන්න නම් ඉතා පැහැදිලිය.

පසුගිය දිනයක එලියකන්ද වධකාගාරය පසුබිම් කරගෙන ලියවුණු නවකතාවක් බලා ඊරියක සේ ඇඬීමෙන් පසු මට ඇතිවුණු ප්‍රශ්නය ඉහත පිං අතේ ප්‍රශ්නයේ ම අනිත් පැත්තයි.

එනම්, ඒ වධකාගාරයේ දුක් වින්ඳවුන්ට, දුක්විඳ මරණයට පත්වුනුවුන්ට, ඒ ඉරණම ලැබුණේ ඔවුන් මේ ආත්මයේම හෝ පෙර ආත්මයක හෝ කළ දිට්ඨ ධම්ම වේදනීය කර්මයක හෝ උපපජ්ජ වේදනීය කර්මයක හෝ අපරාපරිය වේදනීය කර්මයක හෝ හේතුවෙන් නම්, ඒ කර්මයන් මෙලෙස වධකාගාරයේ දී පටිසන් දීම සඳහා යටිතල පහසුකම් සැපයූ, කලමනාකරණය කළ, පටිසන්දෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කළ සහ එය අධීක්‍ෂණය කළ පුද්ගලයින් ඒ කළේ පාපකර්මද යන්නයි.

එය එසේනම්, ඔවුන් ඒ රැස්කරගත් පව් පටිසන්දීම සඳහා යටිතල පහසුකම් සපයන්නට, කලමනාකරණය කරන්නට, පටිසන්දෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට සහ එය අධීක්‍ෂණය කරන්නට තවත් පිරිසක්ද අනාගතයේදී මේ පව්-චක්‍රයට සම්බන්ධ විය නොවේද යන්නයි.

ඒ කියන්නේ මේ පව් පටිසන්දීමත්, කිසිදින අවසන් නොවෙනා, එක්තරා ආකාරයක සර්වකාලීන යන්ත්‍රයක් හෙවත් පර්ෆෙචුවල් මෝෂන් මැෂිමක් නොවේද?

-කතන්දරකාරයා

ප/ලි:
රජතුමණි, ඒ ප්‍රශ්නත්, නො-ප්‍රශ්නත් හැර වෙනත් ප්‍රශ්න තිබේද?

(image: http://www.lhup.edu/~dsimanek/museum/models/build-pm.htm)

Sunday 24 June 2012

සුදු කළු බේදය සිරි ලංකාවේ? - Black vs White: Sri Lankan Style


දකුණු අප්‍රිකාවේ තරම් දරුණු නොවුණට ලංකාවේත් මේ කළු සුදු බේදය තිබිලා තියෙනවා. තාමත් තියෙනවාද මන්දා?

අහලා තියෙනවා නේද මේ සින්දුව?

නුඹෙ අප්පත් ඉතා කළුයි
නුඹෙ අම්මත් ඉතා කළුයි
නුඹ නළවන මාත් කළුයි
නුඹ විතරක් තලඑලලුයි

අපේ අම්මාට පොඩි කාලේ ඉඳලාම ගෙදරට කියපු නම තමයි සුදු හාමිනේ. අවුරුදු දෙකේ තුනේ විතර කාලේ ඒයාට කවුද කියලා හමේ පාට අනුන්ගෙන් ගෑවෙනවාය කියලා. ඉතිං මේ පොඩි බබා එයා ගේ පැහැපත් පාට හමක් නැති මාමා කෙනෙකුට එයාව වඩා ගන්න දීලා ම නෑ.

කාළෙකට කලින් ටෙලියක් ගියා, ඒකේ තිබුණේ දිව්‍ය ලෝකේ ඉඳන් ආපු දෙවියෙකු ගේ බලයෙන් මේ ලෝකේ අපි අතර ඉන්න දෙවිවරු සහ යක්කු අඳුණා ගන්ණ පුළුවන්. මෙතෙන්දී යක්කුන්ට අරගෙන තිබුණේ කාලවර්ණ ඡවි කළ්‍යාණයක් ඇති අයවයි. සුමින්ද සිරිසේන, විජය නන්දසිරි වගේ හොඳ පැහැපත් පොරවල් තමයි දෙවිවරුන්ට හිටියේ.

ගමේ පන්සලේ බිතු සිතුවම්වල වුණත් ඔය වර්ණ බේදය තියෙනවා.

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් මට හිතුණා අපේ කළු-සුදු වර්ණ බේදය සිංහල ගීත කලාවෙන් එලියට ඒම ගැන උදාහරණ වශයෙන් ගන්න පුලුවන් සින්දු කීපයක් දාන්න.

මෙන්න මේ සින්දුව මුලින් ගායනා කරලා තියෙන්නේ හැටේ දශකයේ දී විතර ලොස් ෆ්ලැමෙන්කෝස් කණ්ඩායමයි.



ඒකේ කියවෙන විදියට කළු කෙල්ල හොඳයි සුදු කෙල්ලන්ට වඩා. මොකද එහෙම විශේෂයෙන්ම නොකිව්වා නම් කළු කෙල්ල සාමාන්‍යයෙන් කැතයි, නරකයි කියලයි සැලකෙන්නේ.

මේ සින්දුව නං කියවෙන්නේ කළු කෙල්ලගේ ම දෘෂ්ඨිකෝණයෙන්. ත්‍රී සිස්ටර්ස් (ඉන්ද්‍රාණි පෙරේරා).



මේ සින්දුවේ කියවෙන කෙල්ල කළු වුනත් එයා ගේ හදවත හොඳලු.



ශිරෝමී ප්‍රනාන්දු කියන (හිටපු) ළමා ගායිකාව කියන මේ සින්දුව අහලා තියෙනවාද?

කළු ම කළු, කට්ට කළු
කළු ම කළු, කට්ට කළු
ලිපේ තියෙන දැලි අඟුරු
අහසේ පාවෙන කළු වැහි වලාකුළු
වත්තේ වැඩ කරන කළු
නමත් කළු, හමත් කළු
කළුවර මාසෙ පෝය දවස වගේලූ



මට තියෙන දුක මේකයි. අර ලොස් ෆ්ලෙමිකෝස් ලා ගේ, ත්‍රී සිස්ටර්ස්ලා ගේ සින්දුවල වගේ නොවෙයි, කළු-සුදු බේදය සහ ළමා අපයෝජනය ගැන අන්තිම නරක සින්දුවක් තමයි මේ ළමා ගීතය.

ඒ සින්දුව කාලයේ වැලි තලාවෙන් වැහිලා යන්න නොදී මේ විදියට අළුත් කරළා අරගෙන වීඩියෝ ක්ලිප් හදන්නේ කවුද මන්දා?

තවත් මේ වගේ සින්දු තියෙනවද?

-කතන්දරකාරයා

ප/ලි
කළු කොල්ලන් ගැන කියවෙන සින්දු නම් නෑ වගේ!

(මේ තවත් සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා කතන්දරයකි).

(image: http://www.art.com/products/p10099449-sa-i853558/black-and-white-cats.htm)

Friday 22 June 2012

ලොකු බණ්ඩාර සහ ක්‍ෂණික මෝචනය - Misfired!


මං දැන් අවුරුද්දක විතර වෙලේ ඉඳලා සාමාන්‍යයෙන් කතන්දර බ්ලොගේ කතන්දර පල කරන්නේ එක්තරා රටාවකටයි.

සඳුදා, බදාදා සහ සිකුරාදා සාමාන්‍ය කතන්දර දානවා. ඉරිදාට සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා දානවා. සතියකට හතරයි. අවුරුද්දකට දෙසිය අටයි.

ඔය කියන සතියේ හැමදාකම හරියට උදේ හයටයි කතන්දරේ පලවෙන්නේ. ඒක කරන්නේ බ්ලොගර් අයියාට පින් සිද්ධ වෙන්න ඔටෝ පබ්ලිෂින් සෙට් කරලායි කලින් දවසක රාත්‍රියේ දී.

කාලයක් තිබුණා මං සති දෙක තුනකට සෑහෙන්න කතා ලියලා කලින්ම සෙට් කරලා තියෙන. නමුත් දැන් නං එදා වේල ටුවර්ස් තමයි.

මේ සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේ මං කතා පොඩ්ඩක් ලියලා වෙන වැඩක් සෙට් වුණු නිසා නිකං සේව් බට්න් එක එබුවා. පොඩි පැටලැවිල්ලක් වෙලා එබිලා තියෙන්නේ පබ්ලිෂ් බොත්තමයි.

ඔය වැඩේ මට කලිනුත් වෙලා තියෙනවා. ඉතිං මක්කැයි දැන් කරන්නේ? ඔන්න ඔහේ තියෙන්න ඇරියා. පස්සේ අද උදේම ටිකක් අප්ඩේට් කෙරුවා.

අන්න ඒ වෙලාවෙයි මේ අද දාන්න යන කතන්දර පොඩ්ඩ මට මතක් වුණේ.

මීට කාලයකට කලින් යකාගේ පෙට්ටිය හෙවත් ටීවී එකේ අර දොරමඩලාව වගේ නිකං සමාජ ප්‍රශ්ණ සාකච්ඡා කරන වැඩ සටහනක් ගියා.

මේ වැඩ සටහනේ අර සූරියප්පෙරුම ගේ රෝල් එක කලේ තාමත් කොයි කවුරුත් දන්නා ලොකු බණ්ඩාර යි. පොර ඒ දවස්වල එක්කෝ කතානායක. නැත්තං වෙන ඇමැත්තෙක්.

වැඩ සටහන මෙහෙයවන පොර, ලොකු බණ්ඩාරගෙන් ඇහැව්වා ප්‍රශ්නයක් නිකං මෙන්න මේ වගේ.

"දැන් ඔබතුමාට හිතෙන්නේ මොනවාද අද පුවත්පත් ගැන හෙම?"

මෙන්න ලැබුණු උත්තරේ.

"අද පුවත්වල වැඩි හරියක් තියෙන්නේ වෙළඳ දැන්වීම්. ඒවාත් නිකං මේ ක්‍ෂණික මෝචනයට පිළියම් දෙන බෙහෙත් ගැන ඒවා. ක්‍ෂණික මෝචනය, හුහ්!"

පොඩ්ඩක් විතර තද වුනත් එක්ක පොරට.

අන්න ඒ වගේ දැන්වීමක්වත් දැකපු කෙනෙක් ඉන්නවාද මේ වැරදිලා වගේ නියමිත වේලාවට කලින් පෝස්ට් වැටෙන එක වලක්වාගන්න බේතක් හොයා ගන්න, ප්ලීස්?

මාත් පොඩි කාලේ දැකලා තියෙනවා කලින් වෙන ඒවා වලක්වන්න නෙමේ ප්‍රමාද වෙන ඒවා නිට්ටාවටම සුව කරන බේත් ගැන දැන්වීම් නම්.

මෙන්න ඒ කතන්දරේට ලින්ක් එක. නොකියවපු අය සඳහා.
http://kathandara.blogspot.com.au/2011/05/blog-post_30.html

-කතන්දරකාරයා

ප/ලි:
මේ කතන්දරේ සෙනසුරාදා උදේ හයට ඉබේ පබ්ලිෂ් වෙන්න සෙට් කරන්නයි මේ යන්නේ. බලමු අද වැඩේ ගැස්සෙන්නේ නැතුව කරගන්න පුළුවනිද කියලා?

(image: http://www.allfordmustangs.com/forums/2005-2010-mustang-gt-tech/77809-2006-mustang-gt-misfire-question.html)

UPDATED: මේ කවුද? මොනවද කරන්නේ? - Who is this? What's he doing?


මං නං ඇස් දෙකෙන් දැකලා නෑ, අහලා තියෙනවා විතරයි.

මීට කාලෙකට ඉස්සර එක්තරා ජනාධිපතිවරණයක දී පෝස්ටර් වගයක් ඇවිල්ලා තියෙනවා සාමාන්‍යයෙන් පිළිගත්තු මැතිවරණ පෝස්ටර් සම්ප්‍රදාය වෙන කෙහෙල් ඇවරිය දාගත්තු ගුටි කන මූණ ප්‍රින්ට් නොකරපු.

මේ කියන පෝස්ටර්වල තිබිලා තියෙන්නේ පොඩි ප්‍රශ්ණ දෙකක් විතරයි.

මේ කවුද? මොනවද කරන්නේ?

අද මේ කතන්දරෙන් ඉදිරිපත් කරන්නේත් ඔන්න ඔය ප්‍රශ්න දෙකම තමයි.

ඔය උඩින් තියෙන ෆොටෝ එක බලන්න?

මෙන්න ඒක යටිනුත්.

දැන් කියන්න බලන්න, මේ කවුද? මොනවද කරන්නේ?

-කතන්දරකාරයා

ප/ලි:
නිවරදි පිළිතුර ලැබෙන තුරු කමෙන්ටු මොඩරේට් වෙනු ඇත!

ප/ප/ලි:
පිලිතුරු දුන් සියළු දෙනාටම ස්තුතියි.

මෙන්න සම්පූර්ණ ඡායාරූපයම.



මට නම් උඩ නම නැතඔව මේ ෆොටෝ එක අඳුනා ගන්න බැරි වුණා. ඇස්, නාසා කෙසේ වෙතත් වික්ටර් ගේ සයිඩ් බර්න්ස්වල නම් අදටත් සමානත්වයක් තියෙනවා.

අවසාන ඒක පුද්ගල ප්‍රසංගය පවත්වලා වික්ටර් ගායන ලොවෙන් සමුගන්නයි යන්නේ.

දැන් තියෙන දැවෙන ප්‍රශ්නය නම්, වික්ටර් ගේ පුත්තු වන ලෙලුම් සහ ජයන්ත රත්නායක ලා තාත්තා ගේ සින්දු කියන්න අදහසක් නැති නිසා ඉදිරියේ දී කවුද මේ සින්දු නව රිද්ම කරන්නේ කියන එකයි.

Wednesday 20 June 2012

සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ : Love, Rejection, Arrack and Cemetery .OR. Love, Rejection, Prozac and Psychiatric Clinic?

කරුණාසේන ජයලත්බොල්ඩ්වින් කුරුප්පු

මාසික සඟරාවකට මා ලියූ ලිපියක් "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" නමින් මං සඳුදා බ්ලොග් එකේ පළ කළා.

ඒකේ ප/ලි යේ මං ලිව්වේ මෙන්න මේකයි.

"මෙහි සඳහන් වන ගොළු හදවත නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුණු එක්තරා ප්‍රසිද්ධ ගීත රචකයෙකු මගේ ලිපියට පිලිතුරු ලිපියක්ද ලියූ බව ප්‍රීතියෙන් සඳහන් කරමි!"

එදා සඟරා ලිපියට ආපු ඒ ප්‍රතිචාරයට සමාන ප්‍රතිචාර තුනක් විතර මට ඊයේ ලැබුණා.

1. නිහාල් ගුරුසිංහ [http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html?showComment=1340050511515#c6084952498341684753]

2. බ්ලොග් විචාරක [http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html?showComment=1340072164134#c8028944356743141916]

3. දම්මී [http://kathandara.blogspot.com/2012/06/montessori-love-affairs.html?showComment=1340089509637#c8968749302898331133]

මේ අයට පොදු පිළිතුරක් ලෙසත්, මගේ ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ කතන්දර පෝස්ටුවට දිගුවක් ලෙසත් අද මං පළ කරන්නේ එදා අර ප්‍රසිද්ධ ගීත රචකයාගේ පිළිතුරු ලිපියට ප්‍රතිපිළිතුරක් ලෙස මා ලියූ ලිපියයි.

දැන් මෙන්න ඒ ලිපිය.

සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ

මේ සඟරාවේ මැයි කලාපයට මා ලියූ ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ නමැති ලිපිය කියවු කීප දෙනෙකුගේ සිත් රිදී ඇති බව මට ලැබුනු ප්‍රතිචාර වලින් පෙනී යයි.

මොව්හූ, හැටේ දශකයේ හැදී වැඩුනු, ගොළු හදවත නව කතාව වන පොත් කළ, මා සඳහන් කළ ආකාරයේ 50% සාර්ථක මොන්ටිසෝරි ප්‍රේමාදරයන් ගේ පැටළුනු සහ තවමත් එවැනි රෝමෑන්ටික් සිහින ලෝක වලට විටින් විට පිවිස උන්මාදනීය රසයක් ලැබීමට කැමැත්තා වූ පෘතග්ජන පුද්ගලයෝ වෙති.

මුලින් ම කිව යුත්තේ මට ඔවුන් සමග කිසිම වාදයක් නැති බවයි. ඔවුන්, ඔවුන් ගේ සමනල වර්ණ සිහින ලෝක වලම සදාකල් රැඳී සිටිත්වා!

මා "ගොළු හදවත" කෘතියට මොන්ටිසෝරි ආදරේ යැයි තවමත් සුගත් දම්මිලාගේ ලෝක වල සිටින්නන් ගේ සිත් රිදෙන පරිදි සරදම් කළද, කරුණාසේන ජයලත් ම ලියූ තවත් එලෙසම 50% ආදර කතාවක් වූ "ලස්සන ඇස්" ගැන එසේ නොකියමි.

එයට හේතුවක් ඇත. එනම් "ලස්සන ඇස්" හී කතා නායකයා, ගොළු හදවතේ සුගත් මෙන්ම 50% ක ආදරයක් ගැන පසු තැවුනෙකු වුව ද ඔහු සුගත් මෙන් ලව්-සික් බලයෙන් බේබද්දෙක්, උන්මත්තකයෙක් බවට පත් නොවීමයි.

"ගොළු හදවත" කතාවේ ප්‍රාරම්භය බලන්න.

සුගත් තරුණ මහතා හෝටල් කාමරයකට වී බියර් බොමින් විනාශ මුඛයට යමින් සිටී.

ඒ කවර හෙයින් ද? කිසිදාක ප්‍රකාශ නොකලා වූ මොන්ටිසෝරි ආදරයක් නිසාවෙනි.

පසුව "බඹා කෙටූ හැටි" ලියා ජයලත් උන්නැහේ සුගත් ව යන්තම් ගලවා නොගත්තා නම්, ඔහු නතර වීමට නියමිතව තිබුනේ එක්කෝ පොලිඩෝල් මාර්ගයෙන් හොරණ කැරකෝප්පුවේ ය.

නැතිනම්, ප්‍රෝසැක් මාර්ගයෙන් මුල්ලේරියාවේ ය.

මගේ "ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ" යන කොලමේ මාතෘකාව වෙනස් වී එය "සිලි-හදවත හෙවත් මුල්ලේරියා ආදරේ" යනුවෙන් ලියවෙන්නට ද ඉඩ තිබුනි.

අවසාන වශයෙන් කිව යුත්තේ මෙයයි. අප අනුකරණය කළ යුත්තේ බිබී මිය යන සුගත් ලා නොව, හැකි අයුරින් "සැන්දෑවට හෝ පායා" ලොවට ආලෝකය ගෙන එන්නෝ ය.


පසු සටහන 1:
එම කලාපයේ ම තිබූ තවත් ලිපියක ද "ගොළු හදවත" නවකතාව ගැන සඳහනක් විය.

එහිදී "ගොළු හදවත" හදුන්වා දී තිබුනේ, අහිංසක ආදරයක් ලෙසිනි.

ඒ උපමාව මා මතය තව දුරටත් තහවුරු කරන්නකි. මොන්ටිසෝරි යන වයසේ අපේ නොදරුවන් තරම් අහිංසකයින් තවත් ඇද්ද? එනිසා අහිංසකම ආදරය මොන්ටිසෝරි ආදරය වේ.

පසු සටහන 2:
කරුණාසේන ජයලත් මගේ සිත දිනු ගත් කතු වරයෙකි.

ඔහුගේ හොඳම කෘතිය ලෙස මා සලකන්නේ යහළු-යෙහෙලි නවකතාවයි.

ඔහු ගේ නවකතා පිළිබඳ සමහර විට ඔබ නොසිතූ කරුණක් මම කලක සිට දනිමි. එනම් ඔහු තම සියළු නවකතා නම් කර ඇත්තේ අකුරු හයකින් සමන්විත වන පරිදි බවයි.

අප දන්නා මුල්ම කෘතිය වන "ගොළු හදවත" අකුරු දෙකක වචනයක සහ අකුරු හතරක වචනයක සංයෝගයකි.

මේ රීතිය අනුගමනය කරමින් කරුණාසේන ජයලත් "මුව දඩයම" සහ "රීදී නිම්නය" නම් කර ඇත.

ඔහු ලියු අකුරු 3-3 අච්චුවේ කෘති මෙසේ ය:
ගැහැණු ළමයි,
හතුරු හිතක්,
යහළු යෙහෙළි,
සතීගේ කතාව.

අකුරු 2-2-2 අච්චුවෙන් නම් කර ඇත්තේ "මව සහ දුව" සහ "බඹා කෙටූ හැටි" නවකතාවන් ය.

මේ හැම කෘතියකම ඇත්තා සේ "ලස්සන ඇස්" නමේ ඇත්තේ ද අකුරු හයකි.

කරුණු මේ හැටි වූවද කරුණාසේන ජයලත් ලියූ එකම ගුවන් විදුලි නාට්යැය වන "ගිම්හාන ගීතය" නම් මේ අකුරු හයේ නීතියෙන් පිට පැන ඇත.

(image: http://www.dailynews.lk/2010/08/25/art14.asp)

Monday 18 June 2012

ගොළු හදවත හෙවත් මොන්ටිසෝරි ආදරේ - Montessori love affairs


කවට කමට ඔබෙයි මගෙයි නම ලියා
යහළු ළමයි විහිළු තහළු මට කළා
ඔබ ආදරේද ඇ(හැ)ව්වා - මම දන්නෙ නැහැයි කිව්වා


දිගු කලකට ඉහත ජනපි‍්‍රය වී තිබූ ඉහත ගීතයෙන් කියවෙන්නේ පාසැල් යන තරුණ වියේ සිසුවෙකු සහ සිසුවියක අතර ආදර සම්බන්ධයක් ක‍්‍රම-ක‍්‍රමයෙන් ඇතිවූ ආකාරය යි.

කතාවේ හැටියට සියල්ලටම මුලවී ඇත්තේ යහළු යෙහෙලියන් ගේ කවට කතා හෙවත් නම් පට බැඳීම යි. මිශ‍්‍ර පාසැල් හි ඉහල පන්ති වල සිසු සිසුවියන් අතර ආදර සම්බන්ධකම් එදා මෙන්ම අදත් තිබෙන බව පුවත්පත් කියවන විට දකින්නට ලැබෙන කතා වලින් පෙනේ.

නමුත් ඇත්ත වශයෙන් ම මේ ආදර සිතුවිලි ඇතිවන්න ට පටන් ගන්නේ ඉහල පන්ති වලදී නොව සමහර විට ඉතා පහල පන්ති වලදී සිට ය. කොටින් ම කියනවා නම් මොන්ටිසෝරි කාලයේ සිටම ය.

ඒ ප‍්‍රාථමික විදුහල් ආදර සිතුවිලි අනිවාර්යෙන් ම ඉතා ලඳ බොලඳ ඒවා ය. ඉහත සඳහන් ගීයේ විස්තර කෙරෙන පරිදි බොහෝ විට අනෙක් සිසුන් ගේ නම් ලියා කවට කම් කරන්න ට සිතෙන්නේ ද මේ බොලඳ ආදර සිතුවිලි වල එක් අතුරු ඵලයක් ලෙස යැයි මට සිතේ.

මා කණිෂ්ඨ පාඨශාලවේ උගත් සමයේ ප‍්‍රථමයෙන් ම එලෙස නම් පට බැඳීමකට ලක් වූයේ තුන් වන වසරේ දී යැයි සිතමි.

කොයි ලෙසක ඇරඹිණි දැයි දැන ගත නොහැකි වුනත් එක් වරම අප පන්තියේ සිසු සිසුවින් කොළ කැබලි වල ගැහැණු-පිරිමි නම් යුගලයන් ලියා අතිනත යවන්න ට වූහ. මේ සිද්ධිය අවසන් වූයේ මෙයින් කොළ කැබලි කිහිපයක් මිදුළ අමදිමින් සිටි ඉහල පන්තියක සිසුවියන් කිහිප දෙනෙකු අතින් විදුහල්පති තුමා කරා යොමුවී, අපේ පන්තියේ සිටි දඩබ්බරයෙකු වේවැල් පහර කිහිපයක් කෑමෙනි.

මේ කාලය වන විට මගේ සිතේ ද සම වයසේ දැරිවියන් පිළිබඳව යම් යම් පහන් සංවේග මතු නොවී නොතිබුනා නොවේ. එහෙත් ඒවා, කඩදාසි කැබලි වල නොම ලියවී සිතට පමණක් සීමා වූ ඒවා විය.

එසේ වතුදු, එලෙස ප‍්‍රාඨමිකයේ දී ඇරඹි මෙවැනි සිතුවිලි, මධ්‍ය විද්‍යාලය, උසස් විද්‍යාලය සහ විශ්ව විද්‍යාලය හරහා, පසු කාලයක විවාහ සහකාරිය හමු වෙනතුරුම විවිධ කාල වකවානු තුල දී විවිධ ආකාරයෙන් මතුවිය. ඒ බොහොමයක් සිතුවිලි 50% ක් පමණක් සාර්ථක වූ ඒවා ලෙස උපහාසාත්මකව හැඳින්විය හැකිය. මේ කාල පරිච්ඡේදය තුල දී, කෙමෙන් කෙමෙන් මේ සිතුවිලි ධාරාවෝ ගද්‍යයටත්, පද්‍යයටත් නැගෙන්නට ද පටන් ගති.

ගැටවර වියේ දී මේ පද්‍යා රසය දෝරේ ගලා ගියේය.

ඒ කවි වට්ටෝරු පමණක්, කාවුන් කෑ අභ්‍යාස පොත් මැද්දේ, අද ද ඉතිරිව ඇත.

ඒ කෙසේ වෙතත්, මගේ කෝෂ්ඨාගාරයේ මොන්ටිසෝරි ආදරය යන දෙපදයෙන් අර්ථ දැක්වෙන්නේ නම්, ගැහැණු පිරිමි යුවලක් අතර පවතින, හිතින් මිස ගතින් ලං නොවූ ආදර සම්බන්ධයකි. වෙනත් වචන වලින් කිවහොත්, සිප ගැනීමක් කෙසේ වෙතත් අඩු වශයෙන් අතින් ඇල්ලීමකින් හෝ තොරව දෙදෙනෙක් අතර ඇතිවී පැවතෙන ආදර සම්බන්ධයකි.

මෙහි මොන්ටිසෝරි යන පදයෙන් අදහස් වන්නේ, අදාල යුවලගේ වයස් සීමාව නොව, ආදර සම්බන්ධයේ ස්වභාවයයි. මෙවැනි මොන්ටිසෝරි ආදර සංසිද්ධීන් අර්ථ දැක්වීමෙන් ම බාලාංශ මට්ටමේ ඒවා වන බව මෙයින් හැඟේ.

තවදුරටත් මෙම වදනේ මගේ අර්ථය පැහැදිලි කිරීම උදෙසා පහත උදාහරණය ඔබ හමුවේ තබමි.

මා පොඩි අවදියේ සිටම, සිංහල ආදර කතා ඉතිහාසයේ අසිරිමත් මග සළකුණක් ලෙස පතල වී තිබූ, එක්තරා නවකතාවක් ගැන අසා දැන සිටියෙමි. මගේ මතකයේ හැටියට 60 දශකයේ මුල් කාලයේ පමණ ලියවී තිබුනු එම කෘතිය ඉතා සංවේගාත්මක වූ, ශෝකාන්තයක් ලෙස නම් දරා තිබිණි. මා ඇසූ, කියවූ පරිදි මෙම පේ‍්‍රම කතාව ප‍්‍රථම සිංහල ශෝකාන්තය යි. එතෙක් පලවී තිබූ සියළු නවකතාවන් හී පෙම් සටන් සියල්ල ජයග‍්‍රහණයෙන් අවසන් වු, සුඛාන්තයන් වී තිබුණි.

මෙම නවකතාවෙන් ශෝකාන්ත නවකතා රැල්ලක් ඇරඹුනු බව කියනු ලැබේ.

වෙනත් නොයෙකුත් නවකතා, පොත් පත් යනාදිය නිරතුරු කියෙවූවද, අපේ නිවසේ හෝ මා භාවිතා කළ පුස්තකාලයක හෝ මෙම කෘතියේ පිටපතක් නොතිබුනු හෙයින්, උස් මහත් වී වසර ගණනාවක් යන තුරුම මා මෙම කෘතිය කියවා තිබුනේ නැත. කෙසේ වෙතත්, ඒ වන විට මම මේ කෘතියේ දෙවන භාගය යැයි සැලකෙන එම කතුවරයා ගේම වෙනත් නවකතාවක් නම් කියවා තිබුනෙමි.

අවසානයේ අහම්බෙන් මෙන් පිටපතක් ලැබී ඉහත කී අසිරිමත් පෙම් කතාව කියවු පසු, ඒ ගැන ලියවී තිබුණු බොහෝ දේ කියවා, බොහෝ දෙනා ඒ ගැන කී කතා අසා, මහා පේ‍්‍රම වෘතාන්තයක් යැයි එම නවකතාව පිලිබඳව මා එතෙක් සිතා සිටි සියළු දේ හුදු විහිළුවක් ම පමණක් නොවේදෝ යැයි මට සිතිණි.

මෙම නවකතාව නම් කරුණාසේන ජයලත් ලියූ "ගොළු හදවත" යි. කිසි දින ආදරයක් ගැන කතා නොකලා වූ, ආදර බස් නෙම තෙපලූ, සිප ගැනීමක් තබා අතකින් අතවත් ස්පර්ෂ නොකලා වූ, සුගත් සහ දම්මි යුවල ගේ ආදර කතාව යි.

මට නම් සුගත් සහ දම්මි ගේ "ගොළු හදවත" ආදරය වචනයේ අර්ථ පරිසමාප්තයෙන් ම මොන්ටිසෝරි ආදරයක් ම පමණි.

-කතන්දරකාරයා

ප/ලි:
ඉහත ලිපිය මා කලකට ඉහත එක්තරා සඟරාවකට ලියන ලද එකකි. මෙහි සඳහන් වන ගොළු හදවත නම් නවකතාවේ ප්‍රේම වෘතාන්තය මා මොන්ටිසෝරි ආදරයකට කරන සම කිරීම අසා සිත රිදුණු එක්තරා ප්‍රසිද්ධ ගීත රචකයෙකු මගේ ලිපියට පිලිතුරු ලිපියක්ද ලියූ බච ප්‍රීතියෙන් සඳහන් කරමි!

"කවට කමට ඔබෙයි මගෙයි නම ලියා" - සීඩී ෆොන්සේකා ගයන ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ලියූ ගීතය මෙතනින් නරඹන්න.
http://youtu.be/nInPaL5fmXo

(image: http://www.thesundayleader.lk/archive/20060618/arts.htm)

Sunday 17 June 2012

සු කී වෙනුවෙන් නැගුණු කඳුලක් - Aung San Suu Kyi



වයස හින්දා ද මන්දා නවද්වාරයම ඕනෑවට වඩා විවෘත වෙනවා මේ දවස්වල.

චිත්‍රපටියක, නවකතාවක දෙමව්පියෝ ගැන කියවෙන කෑලි වලට කඳුළු එන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා.

මේ ඊයේ පෙරේදා අර එලියකන්ද ගැන පොත කියවලා මං ඇඬුවේ නිකං ඊරියෙක් අඬනවා වගේ.

ඊයේ රාත්‍රියේ බුරුම ජාතික අංග් සාන් සූ කී ඔස්ලෝ නුවර නෝබල් ත්‍යාගය පිළිගැනීමේ කතාව අහගෙන ඉන්න වෙලේත් ඇහැට කඳුලක් නැගුණා.

අංග් සාන් සූ කී ගේ ඒ කතාව මීට අවුරුදු විසි එකකට කලින් කරන්න තිබුණු කතාවක්.

මං හිතන්නේ, මං විතරක් නොවෙයි, ලෝකේ හතර දිග්බාගෙම ඉන්න අහස් ගණනක් මිනිස්සු, ගෑණු කඳුළු හෙලන්න ඇති.

අවුරුදු විසි ගණනක් තිස්සේ නිවාස අඩස්සියේ ඉඳිමින්, මිලිටරි ජුන්ටාවකට විරුද්ධව සාමකාමී දේශපාලන සටනක් ගෙනගිය අංග් සාන් සූ කී ඇත්තෙන්ම ධෛර්ය සම්පන්න කාන්තාවක්.

ඇයට බුරුමයෙන් පිටවෙලා එංගලන්තයට ගිහින් දරුවන් සහ සැමියා එක්ක ජොලියේ ඉන්න හොඳටම ඉඩ තිබුණා. ඒත් ඒ සේරම අමතක කරළා, බුරුම ජනතාව වෙනුවෙන් ඇය කැපවුණු හැටි පුදුමෙණුත් පුදුමයි.

තමන්ගේ සහෝදර ජනවාවගේ මානව හිමිකම් ගැන කතාකරන අයට බටහිර ඩොලර් වෙනුවෙන් කෑ ගහනවාය කියලා අපහාස කරන අයට අංග් සාන් සූ කී හොඳ සරදමක්.

කොයි තරම් දරුණු ජුන්ටාවකට වුනත් එක්ෆයරි ඩේට් එකක් තියෙනවා. යුක්තිය, සත්‍යය ජයගන්න ඕනෑ කවදා හරි.

ඒක තමයි දැන් බුරුමයේ වෙමින් පවතින්නේ.

එහෙම නොවුණොත් අපි පොඩි කාලේ ඉඳලා ඉගෙන ගත්තු දේවල් සේරම, ලොකු වෙලා හොඳ මිනිහෙක් වෙන්න කළ යුතු, නොකළ යුතු යැයි ඉගෙන ගත්තු දේවල් සේරම බොරු වෙනවා නේද?

අංග් සාන් සූ කී ගැන වැඩි විස්තර විකිපීඩියාවෙන් බලාගන්න පුළුවනි.

http://en.wikipedia.org/wiki/Aung_San_Suu_Kyi

අංග් සාන් සූ කී ඔබට ජය!

-කතන්දරකාරයා

Friday 15 June 2012

ආඩම්බරකම නිසා කොලුවෙක් තුට්ටු දෙකට කෙලවාගත් හැටි (පාරිභෝගික අවවාදය-මෙය තවත් Xක්කු කතාවකි) - The mind set of a teenager



මේක තවත් ජොක්කු කතන්දරයක්. ජොක්කු ගන්න කඩේකට ගිය වෙලාවක වෙච්ච දෙයක් ගැන (තවත්) කතන්දරයක්.

ජොක්කු කතන්දරවලට අකමැති අංකල්ලා, ඇන්ටිලා හෙම මේක නොකියෙව්වාට කාරි නෑ.

හැබැයි කියනව අයට තේරේවී මේක ජොක්කු ගැන කතන්දරයකත් වඩා මිනිස් සිතේ හැසිරීම ගැන මෙව්ව එකක් බව.

එහෙම බලනවා නං මං මුලින් ලියපු මැන්චෙස්ටර් සේල්ස් ඇත්තී ගේ කඩෙන් ජොක්කු ගන්න ගිය කතාවේ හරය, සේල්ස් ඇත්තී ගේ ජොක්කු අත ගෑමේ ආශාව ගැනයි. පිළියන්දල කඩෙන් ජොක්කු ගන්න ගිය කතන්දරේ හරය පාරිභෝගික සේවාව සහ ආචාරශීලීකම ගැනයි.

දැන් මෙන්න අද කතන්දරය.

මේ සිද්ධිය වුනේ මං උසස් පෙළ කරන්න කියලා අයිතිකාරයෝ ඉන්න අහවල් ඉස්කෝලෙට යන්න පටන් ගත්තු කාලෙයි. ඔය එක දවසක මං ගනේමුල්ලේ කඩේකට ගියා අළුතින් ජොකෙක් ගන්න.

ඒ දවස්වල අපේ වයසේ කොල්ලෝ අඳින්න කැමති පටි ජොක්කු. වෙයාවෙල්, ඩී.එස්.අයි වගේ වෙළඳ නාම කීපයකින්ම පටි ජොක්කු තිබුණා කඩවල.

චමින්දලා ඇඳපු වවුල්ලු හෙවත් ලන්කට් කඩේ ඉස්සරහා සුළඟේ වැනි වැනී ප්‍රදර්ශනයේ තිබුණත්, මේ පටි ජොක්කු තිබුණේ පෙට්ටිවල ඇහිරිලා කඩේ ඇතුලේ ෂෝ-කේස්වලයි.

මං කඩේ ඇතුලට ගිහින් ජොක්කු දාලා තිබුණු ෂෝ කේස් එක ලඟට ගියාම සේල්ස්-මෑන් කෙනෙක් මගේ ඉස්සරහට ආවා.

"මොනවද ඕනෑ?"

මං පටි වීදුරුවට යටින් පෙණුනු පටි ජොක්කු පෙට්ටි ගොඩ දිහා බැලුවා. මට ගන්න තිබුණේ ඩී.එස්.අයි එකක් ගන්නවා ද, වෙයාවෙල් එකක් ගන්නවා ද වගේ ඉතා සරල තීරණයක්.

මොන බ්‍රෑන්ඩ් එකේ පටි ජොකෙක් වුණත් දෙළහයි පනහයි!

ඔන්න ඔය මොහොතේ තමයි මට පෙණුනේ පටි ජොක්කු පෙට්ටි වලට එහායින් තවත් ජොක්කු රාජයෝ විශේෂයක් වැඩ ඉන්නා බව.

ජොකා ගේ කොන්වලින් විතරක් නවලා, වයි අකුර පේන විදියට පොලිතීන් කේස්වල පැතලියට අහුරලා තිබුණු ඒ ජොක්කු සුදුම සුදු පාටට දිලිසුණා.

නිකං අපේ කුමර බඹසරේ සංකේතයක් වගේ!

මට හිතුණා නිකමට වගේ මේ අළුත් ජොක්කු ප්‍රභේදය ගැන මදක් විමසා බලන්න.

"අරව එකක් කීයද?" ඒ අලුත් පන්නයේ ජොකෙකුට ඇඟිල්ල දිග් කරලා මං සේල්ස්-මෑන් ගෙන් ඇහැව්වා.

සේල්ස්-මෑන් ගේ කට කොණකට නැගුනේ මහා සරදම් කිච හිනාවක්.

"මේ පටි ජොක්කු ගහන ඉස්කෝලේ කොල්ලෙක් එනවා අර ජැන්ටල්මෑන් ජොක්කු ගැන අහන්න, හුහ්!" ඌට හිතෙන්න ඇති.

"ඒ එකක රුපියල් විසි පහයි!" ඌ කිව්වේ උපහාසාත්මක කටහඬක් ආරූඪ කරගෙනයි.

සේල්ස්මන් ගේ කිච හිනාවයි, අවඥා සහගත කට හඬයි නිසා ඔන්න මටත් තද වුණා.

මට කිණ්ඩි ටෝක් දාන්න මූ කවුද? දෙන්න ඕනෑ මූට බැෂ්ටිය!

ටියුෂන්වලට දෙන්න ගෙදරින් දුන්නු සල්ලිත් මා ලඟ තිබුණා.

"මට දෙන්න ඒවායින් එකක්" මං කිව්වේ රුපියල් විසි පහක් අරගෙන ෂෝ කේස් එක උඩට දාමිනුයි.

එදා මං ගෙදර ගියේ, පටි ජොක්කු දෙකක ගාණ දීලා ගත්තු එක ජෙන්ටල්මන් ජොකෙක් ගේ සාඩම්බර අයිතිකාරයෙක් විදියටයි.

ආර්ථික වශයෙන් පාඩු වුනත්, සේල්ස්-මෑන්කාරයාට හොඳ පාඩමක් ඉගැන්නුවාය කියන සතුට මගේ හිතේ පිරිලා ගිහින් තිබුණා.

-කතන්දරකාරයා

ප/ලි:
ගෙදර ගිහින් බැලින්නම් ජොකා සයිස් 28. ඒ දවස්වල මගේ ඉන සයිස් 26. මේ ජොකා ඇඳලා පහලට නොවැටී බේරා ගත්තේ කලිසමේ පිහිටෙන්.

ඒත් මොකද? මං අර සේල්ස්-මෑන්කාරයා ට කට උත්තර නැති කළා නේ?

දැන් මොකද හිතෙන්නේ? මේක නිකංම නිකං ජොක්කු කතාවක් ද, නැත්තං වෙන මෙව්වා එකක් තියෙනවා ද?

(image: http://www.giggleberries.co.uk/blog/index.php/ego-boots-mens-underwear/)

Wednesday 13 June 2012

අයෑම් කමින්, අයෑම් කමින් - I am coming, I am coming!


දවස් දෙක තුනකට කලින් ඩ්‍රයි දවසක මං පොඩි ඩ්‍රයි කතා දෙකක් ලියලා දැම්මා. ඒ දෙකේම තිබුණේ ඉංගිරිසි වචන සිංහලෙන් ඇහිලා ඇති වුණු විහිළු සහගත තත්වයන් ගැනයි.

ඒ කතා දෙකම නිකං සරල ඒවා තමයි. ඒ එක්කම ඒවා ගොතපු කතාද ඇත්ත කතාද කිලත් මං දන්නේ නෑ.

හැබැයි මේ අද කියන්න යන අයෑම් කමින් කතන්දරය නම් ඇත්තම ඇත්ත සිද්ධියක්.

ඒ දවස්වල අපි හිටියේ තාත්තා ගේ මහ ගෙදරයි. ගමේ බස් එක, එක පැත්තකට යන්නේ පැයකට එක පාරයි. ගෙදර ඉඳලා ගමණක් යන කොට ඒක වැරදුණොත් කිලෝමීටර් දෙකක් විතර පයින් යන්න වෙනවා අල්ලපු පාරේ යන බස් එකක් අල්ල ගන්න. ඉතිං, අපි කවුරුත් බස් ගමනාගමනය ගැන උදේ හවා උනන්දුවෙනුයි ඉන්නේ.

අපේ ගෙදර ඉඳලා බස් යන පාරට, ගුරු පාර දිගේ මීටර් පස්සීයක් විතර ඇවිදගෙන යන්න ඕනෑ. හැබැයි හොඳ වෙලාවට බස් එක වෙළට එහායින් කන්ද පහලට එනකොට අපිට සද්දේ ඇහෙනවා. ඒ හරියේ ඉඳලා අපේ බස් හෝල්ට් එකට බස් එක ඉන්ණ කලින් තව හෝල්ට් එකක් තියෙන නිසා, අපිට වෙලාවට බස් එකට දුව ගන්න පුළුවනි.

එදා සති අන්තයේ දවසක මට ටවුමට යන්න තිබුණා, මං දොළහමාරේ බස් එකේ යන්නයි හිතුවේ. මගේ මලයාත් ඒ බස් එකේම යනවාය කිව්වා. පොර ගම්පහ පැත්තේ ටියුෂන් එකකට යන්නද කොහෙද.

ඔන්න මං දවල්ට කාලා, බීලා, ඇඳ-පැළඳ ඝෙන සෙරෙප්පු කබල් දෙක හොය හොයා ඉන්න වෙලාවේ තමයි මට ඇහුණේ වෙළට එහා කන්ද දිහාවෙන් බස් එක එන සද්දේ.

අතට අහුවෙච්ච බාටා දෙකක් දාගෙන මං පාර පැත්තට දුවන්න ගත්තේ මලයාටත් අනතුරු හැඟවීමක් කරමිනුයි.

"ඕයි, ඉක්මනට එනවා, අන්න බස්සෙක එනෝ!"

"අයෑම් කමින්, අයෑම් කමින්!" මල්ලී ගේ ඇතුලේ ඉඳලා කෑ ගහලා කිව්වා.

මං පාරට දුවලා හති අරින වෙලේ තත්පර කීපෙකින් අපේ බස් රාජයා හෝල්ට් එකට ලඟා වුණා. එත් මල්ලීකාරයා ඈතින් දුවගෙන එනවාවත් පෙනුණේ නෑ "අයෑම් කමින්, අයෑම් කමින්" කිලා කිව්වාට!

මං පොර ගේ සෙරෙප්පු දෙක දාගෙන ඇවිත්ද මන්දා?

මං රෑ වෙලා හතාමාරේ බස් එකේ ගෙදර යනකොට මල්ලී ගෙදර හිටියා.

"තමුසේ අද ටියුෂන් ගියේ නැද්ද?"

"ගියා, මං හයේ බස් එකේයි ආවේ."

"දවල් මොකද වුනේ? ඇයි තමුසේ දුවලා ආවේ නැත්තේ?"

"මං බත් කකා යි හිටියේ, බස් එක වැරදුණා."

"එහෙනං ඇයි මං එනවෝ කියලා කෑ ගැහැව්වේ? මං බස් එකට නැගලාත් බැලුවා තමුසේ ඈතින්වත් එනවාද කියලාත් බස් එක නවත්තා ගන්න."

"මං කිව්වේ මං එනවෝ කියලයෑ? මං කිව්වේ අයෑම් කමින් කියලායි. ඒ කියන්නේ අයෑම් බත් කමින්. මං එවෙලේ බත් කමින් නේ හිටියේ!"

-කතන්දරකාරයා

මල්ලී ගැන ලියවුණු වෙනත් කතන්දර මෙන්න.

1. තාත්තා කෙනෙක් වෙන්න ආසයි
2. කැම්පස් අයියාගෙන් ඒ ලෙවල් කරන මල්ලී ට ලිපියක්
3. මල්ලී උසස් පෙල විභාගේ ෆේල්!
4. ඒ-ලෙවල් ෆේල් වුණු මල්ලී ගේ කයි-කතන්දරවල අවසානය

මේ වෙනත් අයිය-මලෝ ගැන කතන්දර:
1. අයියා මල්ලී වාගේ අයියා මල්ලී...
2. අයිය ගේ යාළුවා සහ මල්ලි ගේ යාළුවා

මේක අයිය-මලෝ නොවෙන අය ගැන කතන්දරයක්:
අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි)

Monday 11 June 2012

කසාඳ බැඳපු නෝනාවරු හොඳින් දන්නා වූ පිරිමින් ගේ එක්තරා දැවෙන ප්‍රශ්නයකට ප්‍රායෝගික විසඳුමක් - A practical solution to a burning issue faced by most men


මේව ඉතිං කියලත් බෑ, නොකියත් බෑ.

ඇත්තම කියනවා නං මේ ප්‍රශ්නය හින්දා මං වඳ විඳින්නේ අද ඊයේ ඉඳලා නොවෙයි, කතන්දර හාමිනේ එක්ක විවාහ වෙන්න ඉස්සර කාලේ ඉඳලායි.

හැමදාම මේ ප්‍රශ්ණය හින්දා වැඩේ ප්‍රමාද වෙනවා. දැන් දැන් නම් අන්තිම දරුණු තත්වයකට ඇවිල්ලායි තියෙන්නේ. හාමිනේ මේ ගැන හොඳින්ම දන්නවා වුණාට, එයාට මගේ ප්‍රමාදය ගැන කිසිම තැකීමක් නෑ.

මේ ප්‍රධාන කතන්දරයට යන්න කලින් පොඩි අතුරු කතන්දර දෙකක් තියෙනවා කියන්න. සමහර විට ඔහේලා කලින් අහලාත් ඇති.

ඔන්න නෝනලා දෙන්නෙක් පොඩි පම්පොරි කතාවක්.

"මං ඊයේ පැෂන් පැලස් එකට ගිය වෙලේ හොඳ පෑන්ටීස් සෙට්ස් තිබුණා මෙයා. මං ගත්තා පෑන්ටීස් හතක සෙට් එකක්. ඒවායේ ගහලා තියෙනවා, සන්ඩේ, මන්ඩේ කියලා දවස් හතේ නම්. අද ඉඳලා කිසීම ප්‍රශ්ණයක් නෑ, උදේට අඳින්න පෑන්ටි එකක් තෝරන්න."

අනිත් නෝනා ගේ පම්පොරිය ඊට වඩා දරුණුයි.

"මාත් දැක්කා මෙයා ඔය ෆැෂන් පැලස් එකේ තිබුණු පෑන්ටීස් හතේ සෙට්ස්. ඒත් මං ගත්තේ ඩිසයින් සෙන්ටර් එකේ තිබුණු දොළහේ සෙට් එකක්. ඒවායේ ජැනුවරි ඉඳලා ඩිසෙම්බර් වෙනකං නං ගහලා තියෙනවා."

ඒ පළමුවෙනි අතුරු කතන්දරේ. දැන් මෙන්න දෙවෙනි එක.

මේක ඇත්තටම කතන්දරයක් නොවෙයි. මං හතේ පන්තියේදී විතර ගණිතය වාර විභාගෙක තිබුණු ප්‍රශ්ණයක්.

මල්ලක රතු පාට මේස් කුට්ටමක් ද, නිල් පාට මේස් කුට්ටමක් ද, සුදු පාට මේස් කුට්ටමක් ද තිබේ. මල්ලෙන් අහඹු ලෙස මේස් එකක් එලියට ගත් විට එය රතු මේස් එකක් වීමේ සම්භාවිතාව කීයද? එකම වර්ණයේ මේස් කුට්ටමක් අවශ්‍ය නම් මල්ලෙන් එලියට ගත යුතුවන උපරිම මේස් සංඛ්‍යාව කීයද?

දැන් මෙන්න අද කතන්දරය.

කොයි කවුරුත් වගේ මංතුමාත් උදේ වැඩට යන්න ලැහැත්ති වෙන්නේ මහා කඩිකුලප්පුවකිනුයි.

ඔරලෝසුවේ වෙලාව වැඩියෙන් තියලයි තියෙන්නේ. අංක දෙක ශරීර කෘත්‍යය විජහට කරන්නත් නොයෙකුත් උපක්‍රම භාවිතා කරනවා. උදේට සින්දුවක් කිය කිය ඇඟ හේදුවාට රැවුල කපන්නේ සතියකට එක පාරයි. තට්ටේ ගාන්නේ නං මාසෙකට දෙපාරක් විතරයි.

උදේට වැඩට යන්න ලැහැත්තිවෙන වෙලාවෙන් එක විනාඩියක් හරි ඉතුරු වුණොත් ඒකේත් බ්ලොග් කොටන්න පුළුවනි නේ.

උදේට අඳින් ජොකෙක් හොයාගන්න නං මටත් අර නෝනලාට වගේ කිසීම ප්‍රශ්ණයක් නෑ. ජොක්කු ලාච්චුව ඇරියා, එකෙක් ගත්තා, ඇතුලට පැන්නා, වැඩේ ඉවරයි.

ඒත් අමාරුම වැඩේ තමයි මේස් කුට්ටමක් තෝරා ගන්න එක!

ඔන්න අත දාලා එකක් ගත්තා. ඒක කළු. තව එකක් ගත්තා, ඒක දුඹුරු. එව එකක් ගත්තා, ඒක දුඹුරු. ඊලඟ එක කළු, හැබැයි ඩිසයින් එකක්. අන්තිමේදී විනාඩි දෙක තුනක් යනවා ගැලපෙන කුට්ටමක් තෝරා ගන්න.

හෝඳලා වේලා ගත්තු මේස් ලාච්චුවට දාන්න කලින් තෝරලා සෙට් කර ගන්නත් ඔය වගේම වෙලාවක් යනවා.

ඒ විතරක් නං මදෑ. කුට්ටමෙන් එක කකුලක් අස්ථානගත වෙලා වැන්දඹු තත්වයට පත්වෙච්ච මේස් තනි කකුල්වල ප්‍රශ්නේ! ඒක සේරටම වඩා දරුණු එකක්. මේවා විසිකරලත් බෑ, මොකද නැතිවුණු කකුල කොහේ හරි තිබිලා හම්බ වෙන්න ඉඩ තියෙන නිසා. ඒත් තියාගෙනත් බෑ, ඒවා හින්දා ගැලපෙන කුට්ටමක් හොයාගන්ණ යන වෙලාව තවත් වැඩි වෙනවා.

මේක මට විතරක් නොවෙයි වැඩට යන්න සපත්තු දාන කොයි කාටත් තියෙන ප්‍රශ්නයක්.

අසව්! අසව්!! අසව්!!!

ගිය සුමානේ දවසක මං මේ සර්වලෝක, සර්වකාලීන අපේ මේ දැවෙන ප්‍රශ්නයට සාර්ථක විසඳුමක් හොයා ගත්තා.

බලව්! බලව්!! බලව්!!!

මෙන්න ඒ විසඳුම පින්තූරානුසාරයෙන්.






කොහොමද මගේ මෙගා මොලේ?

මේ අයිඩෙන්ටිකල් මේස් කුට්ටම් දොලහ ගන්න පොඩි සම්තින් එකක් වියදම් වුණා තමයි.

ඒත් ඒ වගේද? දැන් කලුවරේ වුණත්, දවාලක ඇස් වහගෙන වුණත් ගැලපෙන මේස් කුට්ටමක් හොයලා ඇඳගන්න එක සිම්පල් වැඩක්!

-කතන්දරකාරයා

ප/ලි:
මළ කෙලියයි!
සඳුදා ට සෙට් කරන්න ගිය කතාව අදම වැටුණෝ!!!!

(image: http://estefaniaromero.com/michelle-rory-hofmeyr-cathcart/)

Sunday 10 June 2012

දුක් ගීතයට ජොලි මූඩ් එකක තනුවක් - Jolly mood tune for a sad song!


දැන් අවුරුදු හත අටකට කලින් නිකං ඉන්න වෙලාවක මා අතින් පොඩි කයි-කෑල්ලක් ලියවුණා. ඒක පොඩ්ඩක් විතර දුක් ගීතයක්.

ඊට ටික කාලෙකට පස්සේ (2005) මං පටන් ගත්තු ගී පදමාලා බ්ලොග් එකේ මේක දාලා තියෙනවා දැකපු ඉතාලියේ හිටිය වෙන්ඩ ගායක ලෝලිත විජේසිංහ තනුවක් දාලා මියුසික් දාලා රෙකෝඩ් කරලා මට එව්වා 2007 ජූලි මාසයේ.

පොර ගේ වොයිස් එක නං මරු. ඒත් මට හිතුනේ සින්දුවේ තනුව සහ සංගීතය අනුව නං මේකට දුක් ගිතයක් කියලා කියන්න බෑ කියලයි.

මුලින් කියවන්න කවිය.

සමුගැනීම

දුර හන්තානේ උස් කඳු මුදුනේ
පායා දිලෙනා පුංචි තාරුකා
කාටද පාර කියන්නේ
මහවැලි ඉවුරේ මදනල අතරේ
මුසුවී ඇසෙනා මියුරු ගීතිකා
කා වෙනුවෙන්ද ගැයෙන්නේ

සරසවි උයනේ මන්දිර සෙවනේ
ගතකළ සමයක සොඳුරු නිමේෂය
නෙත් ඉදිරියෙහි මැවෙන්නේ
පෙර සංසාරේ කළ පින් මදිදෝ
හදවත මඩිනා විරහ වේදනා
මේ ලෙස දෑස තෙමන්නේ

මේ ගංගාවේ සුදු මල් පාවේ
මිය ගිය සෙනෙහස නටඹුන් අභියස
කණ කොක් සුදය දිලෙන්නේ
විහඟ ගීතයේ වැයෙන තාලයේ
ජීවිතයේ කොටසක් ලියවුනිදෝ
හෙට ඇයි හිරු පායන්නේ


දැන් අහන්න ලෝලිත තැනූ සින්දුව. මේක රියල් ඕඩියෝ ට්‍රැක් එකක්.

http://www.divshare.com/download/18244260-604

ලෝලිත මියුසික් දාලා ගායනා කරපු අනිත් සින්දුව ගැන ගැන තමයි මං "එක අදහසක්, කවි දෙකක් සහ සින්දු දෙකක්" කියන කතන්දරේ ලිව්වේ!

-කතන්දරකාරයා

ප/ලි:
අද මේ ගීතය පලවෙන්නේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකක් ලෙසිනි.

(image: http://grahamf-art.blogspot.com.au/2010/05/sad-sad-song.html)

Friday 8 June 2012

මේක ලියවුනේ පුදුම දුකක් දැණුනු වෙලාවකයි - Fate?


මගේ මිතුරු යුවලක් ගැන ඔවුන්ගෙන් ම අහන්නට ලැබුණු එක්තරා දුක්බර පුවත් පිළිබඳව ඇතිවුණු කණගාටුව නිසයි මේක ලියවුනේ.

වැඩි විස්තර ලියන්නේ නෑ.

කියෝලා බලන්න.

ප‍්‍රාර්ථනා

රුධිර බිඳු බිඳු එක්වෙලා
බිළිඳු කළලය බිහිකලා
රුධිර බිඳු බිඳු වෙන්වෙලා
සිහින ලෝකය සුන්කලා

තෙවෙනි වරටත් පෙරුම් පිරුවේ
යලිත් මේ ලෙස දුක් විඳින්නද?
මෙවැනි දහමක් ලොවේ සැදුවේ
දෙවිඳ! මා නොමරා මරන්නද?

මගේ තුරුලට නො-ආ බිළිඳුනි
සිහිනයක නොම රුඳීයන්
සැබෑ ලෝකෙක ඔබ දකින්නට
දිනෙක මට පින ලැබීයන්


-කතන්දරකාරයා

ප/ලි
මේක සින්දුවක් විදියට කියන්න ගායිකාවකට දෙන්න ඕනෑ!

(image - http://markconner.typepad.com/catch_the_wind/2010/11/abortion.html)

Wednesday 6 June 2012

මෙන්න විසි එක්වෙනි සියවසේ සයිබර් ලව් එකකින් ලැබුණු බූට් එකක් ගැන කයි කතන්දරයක් - When Cyber Love Fails!


සාහිත්‍ය ලෝකයේ වැජඹෙන මගේ හිතවතෙක් දැනට අවුරුදු ගණනාවකට කලින් කොටස් වශයෙන් පලවුණු නවකතාවක් ලිව්වා එක්තරා සඟරාවකට.

ඒ නවකතාවේ තමයි මං මුලින්ම දැක්කේ තනිකරම සයිබර් ලෝකයේ ඇතිවෙන පොඩි පහේ ලව් එකක් ගැන ප්‍රබන්ධයක ඇතුලත් වෙනවා.

ඒ කතාවේ කොල්ලයි කොල්ලයි දෙන්නාගේ සම්බන්ධය තනිකරම යන්නේ චැට් ලෝකයේ.

පසුකාලෙක බ්ලොග් ලෝකයේත් මේ වගේ ලව් ගැන කතන්දර ගියා තමයි, නමුත් මං මේ කියන්නේ 2004 පමණ කාලයේ. මට හිතාගන්න බැරිවුණා සැබවින් නොදැකපු දෙන්නෙක් කොහෙමාද ලව් කරන්නේ කියලා.

ඒ අදහස මගේ හිතේ වැඩ කරලා අන්තිමේදී මෙන්න මෙහෙම තමයි එළියට ආවේ.

මේ කවියෙන් අහන්නේ ඒ වගේ සයිබර් ලෝකයේ වරචුවල් ලව් එකකින් පස්සේ එන වරචුවල් බූට් එක කොයි වගේ වෙයිද කියන එකයි.

ඊ-පෙම ගැන බැඳුනු ඊ-විරහ ගීය

ඉස්සර වාගේ එවන්න ලිපියක් අන්තර්ජාලිත රැහැන් දිගේ
ඉස්සර වාගේ කරන්න දෙඩුමක් එම් එස් එන් සේවයෙන් අගේ
ඉස්සර වාගේ ගයන්න ගීයක් සිත ගත හද මත් කරන මගේ
ඉස්සර වාගේ ලබන්න සතුටක් අද මට කල පින් මදියි වගේ

එදා වගේමත් පේරාදෙණියේ හඳ පායනවද කඳු මුදුනින්
එදා වගේමත් මහවැලි නදියේ රැළි පෙරලෙනවද පෙණ නගමින්
එදා වගේමත් ගලහ හන්දියේ මල් පෙති විසිරෙනවද සුළඟින්
එදා වගේමත් මා සියුමැළියේ මා ගැන සිහිවෙනවද සුසුමින්

පරිඝණකයෙ විද්‍යුත් ලිපි ගොණුවට වෛරස් ආසාදනයක් දෝ
දුරකථනයෙ පිරිවැය සීමා බිඳ අන්තර්ජාලය ගොළුවුනි දෝ
විශ්ව ගමේ නිතරම දුටු සැවුළිඳු කරමළ සුදු පැහැ ගැන්වුනි දෝ
අන්තර්ජාලෙදි දී බැඳි ඊ-පෙම්දම අන්තර්ජාලෙම මියගියෙ දෝ


-කතන්දරකාරයා

ප/ලි
ඔය අන්තිම කවියේ දුරකතනයෙ පිරිවැය සීමා බිඳ කියලා කියන්නේ ඒ දවස්වල තිබුණු ඩයල්-අප් ඉන්ටර්නෙට් එකවුන්ට්ස් ගැන හිතලායි.

දෙවෙනි කවිය නං කෙලින්ම මේ සයිබර් ලව් සීන් එකට අදාල නෑ. ඒත් ඉතිං දන්න අත්දැකීම් උපයෝගී කරගන්නේ නැතුව වර්චුවල් එක්ස්පීරියන්ස් හදාගෙන කවි ලියන්න ඇහැකියැ?

(image: http://www.spiritisup.com/cyberlovebl.html)

Monday 4 June 2012

ඩ්‍රයි දවසකට ඩ්‍රයි කතා දෙකක් - Dry Jokes


වසර තුනකටත් වඩා වැඩි කාලයක් තිස්සේ ලිපි දහසකටත් වඩා පල කරමින් පවත්වාගෙන යන W3Lanka බ්ලොග් අඩවියේ සංස්කාරක අජිත් පැරකම් ජයසිංහ ලියූ ශාස්තෘ පොත ගැන මා ලියූ කතන්දරය නිසා මහා ආන්දෝලනයක් ඇති විය.

කොටින්ම ටැබූ පවා මා සමග වලියට පැමිණියේය.

ඒ ලිපිය නිස මා ලද අවලාදවලට පිළිතුරු ලෙස මා ලියූ අසව්, අසව් නමැති ලිපිය මා අවසාන කළේ මෙලෙසිනි.

"හෙට සිට බිස්නස් ඈෂ් යුෂුවල්!"

ඉන් මා අදහස් කළේ පසු දින සිට නැවත සුපුරුදු කතන්දර පළ කරන බවයි.

මෙය දුටු සොඳුරු සිතැති වත්සලාවෝ, "ඇයි? බ්ලොගේකරණය ඔහේට බිස්නසුවක්"දැයි මගෙන් සරදම් බසින් විමසා සිටියාය.

එකල්හි අප මහා නිරීක්‍ෂකයාණෝ බිස්නස් ඇස් යුෂුවල් යනු කුමක්දැයි විචාරා වදාළෙන් ඒ ප්‍රශ්නය ෂේප් විණි.

ඔය අල්ල පනල්ලේ මට ඊ-මේලයකින් දමා ගැසූ කතන්දර බ්ලොගය කියවන එක්තරා උසස් රාජ්‍ය නිලධාරිණියක් අපූරු කතා දෙකක්ම මට පැවසූවාය.

ඒ කතා දෙකම ඉංගිරිසි පද සිංහලෙන් අවබෝධ කරගන්නට යෑමේදී සිදුවන විහිළු සහගත තත්වයන් ගැණයි.

අද මේ ඩ්‍රයි දවසේ ඒ කතා දෙක මෙලෙස දිග හරින්නට මට අවසර.

1.
"කෝ නැන්දේ අපේ යාළුවා පේන්න නැත්තේ මේ දවස්වල ගෙදර නැද්ද?"

"අනේ මන්දා පුතේ, ඔන්න රස්සාවෙනුත් නිවාඩු දාලා කෙහේද මන්දා ගියා."

"කොළඹ පැත්තේ ගියාවත්ද නැන්දේ?"

"නොම්පෙන් යනවයි කියලයි ගියේ නම්."

"නොම්පෙන්, ඒ කියන්නේ කාම්බෝජයේ නේ. වෙන්න බෑ, එහෙනම් දකුණු කොරියාවටයි යන්න ඇත්තේ. එහේටනේ ලංකාවේ අයව ගන්නේ."

"අනේ මං දන්නෑ පුතේ. ලබන සුමානේ එනවාය කියලනේ ගියේ. එතකොට අහගන්න බැරියැ?"

"මොනවා නැන්දේ? එච්චර දුරු රටකට ගිහින් ඔහොම සතියෙන් දෙකෙන් එන සිරිතක් තියේයැ?"

"කවුද පුතේ රට ගියේ?"

"ඇයි, නැන්දාම නේ දැන් කිව්වේ සිරිල් අයියා නොම්පෙන් ගියා කියාලා."

"නෑ බං, ඒකා මේ යාළුවෙකුගේ වැඩකට උදව්වෙන්න කියලානේ ඔය ගියේ."

අන්තිමේදී බැලින්නම් කේස් එක මේකයි. සිරිල් අයියා රස්සාවෙන් නෝ-පේ නිවාඩු දාලා තමයි ඒ ගමන ගිහින් තියෙන්නේ!

2.
"දැන් මොකක්ද ළමයෝ ඔයා ඔය දෙවෙනි පාරට විභාගේ කරන්නේත් නැතුව කරන්න ඕනෑය කියන්නේ?"

"ඒක කොම්පියුටර් ගැන වන්-ඉයර් කෝස් එකක් තාත්තේ."

"අනේ ළමයෝ, කොම්පියුටර් ගැන ඉගෙන ගන්න ඕනෑ තරම් මේ කොළඹ පැත්තේ තැන් තියෙන්නේ. ඕකට මොකකට යනවද වන්නියට?"

-කතන්දරකාරයා

ප/ලි:
අයෑම් කමින් කතන්දරේ දන්නවාද?

ඒක පස්සේ කියන්නම්. එතකං මේ කතන්දරේ බලන්න.
http://kathandara.blogspot.com/2010/02/blog-post.html


(image: http://claretownhill.typepad.com/weblog/2007/09/style-over-subs.html)

Sunday 3 June 2012

ලාම් පු රේ ප්යාර් කෙරේ - Hindi movies and songs


නවසිය හැට හැත්තෑ ගණං වල තිබිලා තියෙනවා ලංකාවේ හින්දි සින්දු පිස්සුවක්. මේකට මූලික හේතුව තමයි හින්දි චිත්‍රපටිවල ජනප්‍රියත්වය. ඒ හින්දි සින්දු සේරම වගේ චිත්‍රපටි ගීත.

මගේ අම්මා ගේ නංගී, පුංචි අම්මා, ඒ හැට ගණං වල අග කාලේ වගේ ලොකු මොනිටර් පොතක් අරගෙන හින්දි සින්දු සිංහලෙන් ලියාල හින්දි නළු-නිළියන් ගේ රූප අලෝලා එක විකාරයක් කරපු පොතක් තාමත් තියෙනවාද කොහෙද!

ඒ කාලේ අලි මදිවට හරක් කිව්වා වගේ ඒ ජනප්‍රිය හින්දි සින්දුවල තනුවලට සිංහල වචන දාලා අපේම සින්දු විදියට කියලා ජෝති අංකල්ලා, ඇන්ජලීන් ඇන්ටිලාත් සෑහෙන්න ජනප්‍රිය වුණා.

පසු කාලෙක මං හිතන්නේ හින්දි චිත්‍රපටි ලංකාවට ගෙන්නන එක නැවැත්තුවාද කොහෙද මයෙ හිතේ. ඒ හින්දා හොඳ වෙලාවට මට නං කවදාකවත් ඔය හින්දි චිත්‍රපටි සින්දු පිස්සුව පරම්පරාවෙන් බෝ වුණේ නෑ.

ඒත් මේ ළඟදී නං, සර්කාර සහ සර්කාර් රාජ් කියලා හොඳ හින්දි චිත්‍රපටි දෙකක් බැලුවා. ඒ දෙක නං රස වින්දා. නිකං ලංකාවේ කතාවක් වගෙයි දැනුණේ.

හින්දි චිත්‍රපටි ලංකාවට ගෙන්නන එක තාවකාලිකව නතර වෙලා තිබුණු කාලේ සිංහල සින්දුත් ස්වතන්ත්‍ර සංගීත නිර්මාණ සහිතව බිහිවෙන්න පටන් ගත්තා.

ඒත්, තමන් හිරිමල් වියේ දී හින්දි චිත්‍රපටිවලට කැමැත්තක් ඇති කරගත්තු අය කවදත් කොතැනත් තාමත් කැමති ඒ සින්දුවලටමයි!

අද සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකෙන් මං ඉදිරිපත් කරන්නේ හින්දි සින්දුවලට කැමති ගායකයෙක්. නම හේමාල් ජයවික්‍රම. පොර ඒ කාලේ උසස් පෙළ පන්තිවල දී කොච්චර හින්දි සින්දු පිස්සෙක්ද කියනවා නං පන්තියේ කොල්ලෝ කියලා තියෙන්නේ "ලෝකල් මොහෙමඩ් රාෆී" කියලයි.

දැන් මෙන්න හේමාල් ජයවික්‍රම, පරණ හින්දි සින්දු දෙකක තනුවලට, කවි පන්ති දෙකක් කපලා කොටලා දාගෙන කියන සින්දු දෙකක්.

එන්න, නරඹන්න, රස විඳින්න.

තෙමහල් මැදුරේ

මෙන්න ඔරිජිනල් හින්දි සින්දුවට ලින්ක් එක: http://youtu.be/2ca43nTQUL0


තාරකාවියේ

මෙන්න ඔරිජිනල් හින්දි සින්දුවට ලින්ක් එක: http://youtu.be/1_AfFkaX7dQ

-කතන්දරකාරයා

ප/ලි:
මං දන්න හින්දි චිත්‍රපටියක නමක් තමයි අද ඔය මාතෘකාවට දැම්මේ. තව මේ වාගේ චිත්‍රපටි තියෙනවා මයෙ හිතේ.

(image: http://www.indiapicks.com/stamps/Forces/1407_IPKF.htm)

Friday 1 June 2012

සුදු හාමිනේ ට මොකටද සල්ලි හෙවත් බබාලයි අම්මා ගේ අවාසනාව - Lucky child, unlucky mother!


තුනේ පන්තියේ බුද්ධාගම පොතේ කියවුණු පරිදි සිදුහත් බබා ඉපදී සුළු කලකින් බබාලයි අම්මා මිය ගියාය.

ඒ බබා ගේ අවාසනාවයි!

ඒ "බබා ගේ අවාසනාව" කතාව බුද්ධාගම පොතේ කෙලින්ම නොකියවුණද එය අප විසින් විසින් තම තම නැණ පමණින් යුතුව අවබෝධ කර ගත යුතු කාරණයකි.

අපේ පුතු පැටියා ඉපදෙන්නට සති දෙකකට කලින් එන්ඩ බබාලයි වෙන්ඩ අම්මා විරැකියාවට පත්විය. ඒ තමන් කරමින් සිටි ජොබ් කට්ටෙන් ඉල්ලා අස්වීමෙනි. එය බබා ගේ වාසනාවයි. මක්නිසාද යත් අම්මා සමග මාස දහයක්ම උදේ හවා තුරුළු වී සිටින්නට පැටියාට හැකිවීමයි.

කතන්දරහාමිනේ පුර්ණකාලීන රැකියාවකට ගියේ දරු ප්‍රසුතියෙන් මාස පහලොවක් ගතවීමෙන් පසුවය.

මංතුමා ගේ මෑණියෝ රැකියාවක් නොකළහ. සැමදා මා ද මගේ දෙබෑයන් ද වෙනුවෙන් නිවසේ රැඳී සිටියාය.

උදේ පාසල් යන අපට පාතරසය සාදා දී සමුදෙන ඕ තොමෝ අප පාසල නිමවා නිවසට එනවිට දිවා ආහාරය සකසා පෙරමග බලමින් සිටියාය.

ඒ අපේ වාසනාවයි. නමුත් එය ඇගේ අවාසනාව වෙන්නට ඇත.

ඇගේ ඒ අවාසනාව පිළිබඳ මුල්ම සාක්‍ෂි වාර්තාවෙන්නේ කතන්දර බබා ඉපදී දින දෙකක් ඇතුලත දී ය.

මේ ඒ කතන්දරයයි.

කතන්දර බබා ඉපදුනේ ද, අපේ රෝස බබා ඉපදුණු කොළඹ කුරුදුවත්තෙන් පාරෙන් එහා පැත්තේ පිහිටි හොස්පිටිතාලේදීම ය.

ඒ වාසනාවන්ත කොලු පැටියා බැලීමට ජොන්සන් බේබි තෑගි පෙට්ටියක්ද රැගෙන පසුවතදාම වාගේ එහි පැමිණියේ බබාලයි අම්මා ගේ ලඟම ඥාතියෙකු වන "පෝසත් නැන්දා" සහ එම මාමා ය.

පෝසත් නැන්දා යනු කතන්දර බබා ගේ සීයා ගේ එක කුස උපන් නැගෙණියයි. ඇය පෝසත් වූයේ පරම්පරානුගත බූදලයකින් නොව සැමියා ගේ පොහොසත්කම නිසාය.

පාසල් ගුරුවරුන් වූ සීයාත්, ආච්චීත් දෙන්නා දෙපොලේ දැක්කු නිසා බබාලයි අම්මා කුඩා කළ කාලය ගත කර ඇත්තේ මේ පෝසත් නැන්දා ගේ නිවසේ ය.

එදා ඒ වාසනාවන්ත බබා ගේ පුර සඳවන් මූණත්තහඩුව දැක බලා සිත් සතන් පහන්කරගත් පෝසත් නැන්දා සහ මාමා යුවල, බබාලයි අම්මා සමගද සතුටු සාමීචියේ යෙදී සිට ලෙඩුන් බලන වෙලාව අවසානයේ පිටත් වෙන්නට සැරසුණි.

සිය බුරුත කබාය මෑත්කර බඳ පටියේ පොකැට්ටුවෙන් ලොකු නෝට්ටුවක් අතට ගත් මාමා "ආ! දුවේ මේක තියා ගනිං!" යනුවෙන් පවසා එය ඇඳේ වැතිර සිටි බබාලයි අම්මා ගේ අත මත තැබීය.

"තැන්කියු අංකල්!" යැයි කියන්නට කට අරින්නටවත් බබාලයි අම්මාට නොහැකි විය.

ඊට කලින් උකුස්සෙකු මෙන් වහා ක්‍රියාත්මක වූයේ පෝසත් නැන්දායි.

"සුදු හාමිනේ ට මොකටද සල්ලි මේ ඉස්පිරිතාලේ?" යැයි පැවසූ පෝසත් නැන්දා හිමින් සීරුවේ මුදල් නෝට්ටුව බබාලයි අම්මා ගේ අතින් රැගෙන තමාගේ හැට්ටය අස්සේ රුවා ගත්තාය.

අම්මා ගේ අවාසනාවන්ත කාලයේ ආරම්භය එයින් සංකේතවත් වුණි.

-කතන්දරකාරයා

ප/ලි: අම්මා ගේ අවාසනාවන්ත කාලය අවසන් වූයේ කතන්දර හාමිනේ ගේ වාසනාවන්ත කාලයේ අවසානයත් සමග එකම දිනයකදීය! එදා අම්මා ගේ අවාසනාව හාමිනේට සංක්‍රමණය විය. එහි සංවත්සරය පසුගිය දිනක යෙදුනි.


(image: http://www.lakehouse.lk/budusarana/2012/01/22/PrintPage.asp?REF=vision06)