Showing posts with label ජගත් ජේ. එදිරිසිංහ. Show all posts
Showing posts with label ජගත් ජේ. එදිරිසිංහ. Show all posts

Wednesday, 25 September 2013

ජනප්‍රිය නළු අනුරාධ තම අනියම් පෙම්වතිය නිශාදි සමග සමග වාහනයේ යද්දී රිය අනතුරකට! So, what happened next?


සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට විවිධාකාරයේ නවකතා පල කෙරුණා. මා හිතන විදියට ඒවායින් වඩාත් ම සාර්ථක වුනේ "අපි නොදන්න ලේඛකයා" ලියපු සමනල විප්ලවය කියන නවකතාවයි.

සමනල විප්ලවයේ ඒ සාර්ථකත්වයට මුලිකම හේතුව ඒ දේශපාලන නවකතාවේ අන්තර්ගතයේ තිබුණු ආකර්ශනය බව අවිවාදාත්මකයි.

ඒ එක්කම තවත් වැදගත් හේතුවක් වුනේ, ලේඛකයා මේ නවකතාව කොටස් වශයෙන් ඉදිරිපත් කරපු නවතම ආකාරය මගින්, සාමාන්‍ය අච්චුවේ රේඛීය කතාවක් කොටස් වශයෙන් කාල පරතරයක් එක්ක කියවන විට පාඨකයාට දැනෙන වෙහෙස සහ දුරස්තබව සමතික්‍රමණය වීමයි.

මේ ලඟදී මං ෆේස් බුක් එකේ දැක්කා ජනක රත්නායක විත්‍ර ඇඳලා කොටස් වශයෙන් පලකරපු එක්තරා චිත්‍රකතාවක රචකයා වුණු චානුක වත්තේගම මෙහෙම කියලා තිබුණා.
මා ජනක රත්නායකට කතාවක් ලියන කාලයේ ඔහු හැමදාමත් කීවේ "මල්ලි කුතුහලය දැනෙන තැනකින් සතියේ කතාව ඉවර කරන්න" කියාය.
සාමාන්‍ය අච්චුවේ කතාවක් සතිපතා කොටස් වශයෙන් පල කරන්න ලියන එක අමාරු වැඩක්. කතාව පලවෙන්නේ මාසික සඟරාවක වුණොත් ඒ වැඩේ තවත් අමාරු එකක් වෙනවා.

අද සාහිත්‍ය මාසයේ පොත්-කතන්දරයෙන් මං කියන්න යන්නේ ඒ ආකාරයට මාසික සඟරාවක මුලින් පලවෙලා පස්සේ පොතක් විදියට මුද්‍රණය වුණු නවකතාවක් ගැනයි.


ජගත් ජේ. එදිරිසිංහ අප නෙත් ඉදිරියේ මවන තාරකා විජිතයේ රුසිරු

සතියේ දිනවල උදෑසනම අපි අවදිවෙමු. දරුවන් පාසලට යවමු. ලක ලැහැත්ති වී සේවයට යමු. ඩොලර් කිහිපයක් සඳහා දිවා කාලය කඹුරමු. සවස් වී නිවසට එමු. කා බී මෝඩයාගේ පෙට්ටිය ඉදිරියේ කාලය ගතකොට හෙට දවසේ ද මේ කර්තව්‍යයේ ම නිරතවන්නට ඇති බව මෙනෙහි කර දුක්මුසු සිතින් නින්දට වදිමු.

අප සති අන්තය ගත කරන අයුරුද මෙලෙසම පුර්ව නිගමනය කෙරී ඇත. අපටම කඩේ යාම, ගෙදර දොර පිරිසිදු කිරීම, වත්ත පිටියේ වැඩ, දරුවන් ට ටැක්සි සේවා සැපයීම ඒ සති අග නිති පිළිවෙත වේ.

අපේ ජීවිත කතා නවකතාවලට වස්තුබීජ නොමසපයන්නේ මේ ඒකාකාරීබව නිසාය. නවකතා ලියවෙන්නේ අසාමාන්‍ය ජීවිත ගතකරන, අසාමාන්‍ය මිනිසුන්ගේ, අසාමාන්‍ය ජීවන අත්දැකීම් පසුබිම් කරගෙන බව පැහැදිලිය.

ජගත් ජේ. එදිරිසිංහ ගේ සිව්වන මුද්‍රිත නවකතාව (2010) වන "තාරකා විජිතය" එවැනි අසාමාන්‍ය අන්තර්ගතයක් රැගත් නවකතාවකි.

නවකතාකරුවෙකු, කවියෙකු, සඟරා සංස්කාරකවරයෙකු, කවියෙකු, සහ තිරනාටක රචකයෙකු ලෙස සිංහල සාහිත්‍යයට නොමද සේවයක් සපයන ජගත් ජේ. එදිරිසිංහ ගේ මුල් නවකතා යුගල වන ”අසුර අඩවිය” සහ "ගිම්හාන සුලඟ" මෙන්ම "තාරකා විජිතය" කෘතියද මුලින් ම ලියවුනේ ද සන්නස නම් වූ සඟරාවේ මාසිකව කොටස් වශයෙන් පලකරන්නට ය.

කොටස් වශයෙන් පලකෙරෙන නවකතාවක් රචනා කරන ලේඛකයා එහිදී අභියෝග කීපයකට මුහුණ දෙයි. සෑම වාරිකයක් ම ප්‍රමාණයෙන් සීමාසහිත විය යුතු නමුත් ඒ සෑම වාරිකයකම නවකතාවේ ප්‍රමාණාත්මකව සෑහෙන කොටසක් අඩංගුවිය යුතුය. වාරිකය අවසාන විය යුත්තේ ඊලඟ කොටස ද නොවරදවා බැලීමට පාඨක සිත තුල අවශ්‍යතාවයක් ජනිත කරවමිනි.

මේ කරුණු සමග ගැටෙමින් නවකතාවක් රචනා කිරීමේදී රචකයාට එහි අන්තර්ගතයේ මෙන්ම ආක්‍යතියේ ද ගුණාත්මකභාවය ගැන යම් යම් කේවල් කිරීම් කරන්නට සිදුවෙන බව මගේ විශ්වාසයයි. අද සිංහල ටෙලිනාටකයට වී ඇති ව්‍යවසනයෙන් මේ කරුණ හොඳින් පැහැදිලි වෙන බව අපි දනිමු.

තම මුල් නවකතා යුගලය වූ "අසුර අඩවිය" සහ "ගිම්හාන සුලඟ" කෘති රචනයේ දී ජගත් ජේ. එදිරිසිංහ මේ අභියෝගය සාර්ථකව ජයගත්තේ ය. ඕස්ටේ්‍රලියානු සිංහල ප්‍රජාවේ උප ප්‍රධාන අංශ වන, සරණාගතයින් සහ ජාත්‍යන්තර සිසුන් ප්‍රධාන භූමිකා සඳහා උපයෝගී කර ගනිමින් ඔවුන් ගේ ප්‍රශ්ණ පිළිබඳව සාකච්ඡා කරමින්, මනා සමාජීය විශ්ලේෂණයක් ඉදිරිපත් කරමින් ප්‍රභල අන්තර්ගතයක්, සාර්ථක ආකෘතියක් මගින් ව්‍යක්තව ජගත් ජේ. එදිරිසිංහ එදා අපට ඉදිරිපත් කළ බව මගේ මතයයි.

එසේ නමුදු, "තාරකා විජිතය" නවකතාව රචනයේ දී ඒ තිරසාර පදනම බිඳ ගනිමින් රචකයා තම හැකියාවේ යම් පසු බැසීමක් පෙන්නුම් කර ඇත්දෝයි මා සිත තුල කුකුසක් ඇතිවන බව කිව යුතුය. එය කෙතරම් සාධාරණ විවේචනයක්දැයි මදක් සොයා බලමු.

"තාරකා විජිතය" නවකතාවේ කතා වස්තුව සැකෙවින් මෙසේය.

පවුල් දිවියට වඩා තම ආචාර්ය උපාධියේ පර්යේෂණ මුල්කොට සලකන දිලීප ගේ බිරිඳ ලෙස ඕස්ටේ්‍රලියාවේ පස්වසරක් ගතකර සැමියා ගේ අණ කිරීම මත ලංකාවේ නිවාඩුවකට යන නිෂාදි එහිදී ජනප්‍රිය නළුවෙකු වන අනුරාධ හා ලිංගිකව හැසිරී පසුව ඔහු හා පෙමෙන් බැඳේ. රිය අනතුරක් නිසා ඔවුන් දෙදෙනාගේ අනියම් සම්බන්ධය රට තුල ප්‍රසිද්ධියට පත්වේ. ලංකාවට පැමිණෙන දිලීප ඇගේ නොකමැත්ත නොසලකා නිෂාදිව නැවත මෙල්බර්න් රැගෙන යයි. එහිදී නිෂාදි අනුරාධ නිසා ගැබ්ගෙන ඇති බව දැනගත් පසුව ද දිලීප ඇය අතහැර නොදමන්නට තීරණය කරයි. එය නොතකා දිලීප හැර යන නිෂාදි පසුව තමන් රඟන සිනමා පටයක් තිරගත කිරීමට ඕස්ටේ්‍රලියාව එන අනුරාධ සමග නැවත එක්වේ. ඒ අනුරාධව මරා දමා තමා ද මිය යාමට දිලීප කරන සැලසුම ඔහුගේ දුර්වල සිත නිසා ව්‍යවර්ථ වීමෙන් අනතුරුවය.

ප්‍රථමයෙන්ම කිව යුත්තේ "තාරකා විජිතය" නවකතාවේ ඉහත කී අන්තර්ගතය වනාහී සෑබෑවීමට අතිශයින්ම අඩු සම්භාවිතාවයන් සහිත සංසිද්ධීන් කිහිපයක සමපාතවීමක් ලෙසින් පමණක් සාධාරණීකරණය කළ හැක්කක් බවයි. තනිව ලංකාවට ගොස් සිටියදී විනෝද ගමනක් යන නිෂාදී ට අනුරාධ නම් නළුවා හමුවීම, ඔවුන් වචන කිහිපයක් පමණක් කතාබහ කරන දෙවන දිනයේම ලිංගිකව එක්වීම, එක් ලිංගික එක්වීමකින් පමණක් කාන්තාවක් ගැබ් ගැනීම, ඔවුන් එක්ව මෝටර් රථයක යන ප්‍රථම අවස්ථාවේදීම එය අනතුරකට ලක්වීම මේ ආකාරයෙන් සමපාත වී ඇති අසම්භාවී සිද්ධීන් කිහිපයකි.

එපමණකුදු නොව, "තාරකා විජිතය" නවකතාවේ විශ්වාසනීත්වය බිඳෙන තවත් අතාත්වික කරුණු කිහිපයක් ද වේ. ජනප්‍රිය නළුවෙකු වූ අන්සතු තරුණ බිරිඳකට උන්මත්තකව මෙන් ආදරෙන් බැඳීම, පූර්ණකාලීන ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් කිසිදු ආර්ථික ප්‍රශ්ණයක් නැතුවා සේ හැසිරීම, තරුණ සැමියෙකු අනාචාරයේ හැසිර අවජාතක දරුවෙකු ද කුස තුල දරා සිටින තම බිරිඳ ගේ දැඩි ප්‍රතික්ෂේප කිරීම් ද නොසලකා ඇය ම පැතීම, උගත් තරුණියක් වසර පහක් පැරණි විවාහයක බැඳී සිටින මිනිසෙකු පැතීම ඒ අතර වේ.

තාත්විකත්වය සොයන විචාරකයෙකු ලෙස මා එලෙස දුටුවද මේ අසාමාන්‍ය සිද්ධීන් සහ තරමක් අතාත්වික ලෙස පෙනෙන හැසිරීම් මාලාවම ජගත් ජේ එදිරිසිංහ ගේ "තාරකා විජිතය" නවකතාව ලාංකික සිංහල නවකතා පාඨකයින් ගේ බහුතරයක ජනප්‍රියත්වයේ හිණිපෙත්තට නැංවෙන්නට හේතුවිය හැකි බව ද මට පෙනේ. වෙනත් වචන වලින් කියතොත් ”තාරකා විජිතය” නවකතාවේ අන්තර්ගතය තුල ජයග්‍රාහීත්වයේ සූත්‍රය ගැබ්ව ඇත.

ඒ සමගම පෙනීයන තවත් කරුණක් වන්නේ "තාරකා විජිතය" නවකතාව කෙලින්ම ජනප්‍රිය වට්ටෝරුවේ සිනමා පටයක් කරන්නට හොඳින් ඉඩකඩ තිබෙන බවයි. සුදුම සුදු සේ සහ කළුම කළු සේ බැළු බැල්මට පෙනෙන චරිත, ලෝකාන්තයේ දී සිදුවෙන අහඹු හමුවීම්, නුවර එලියේ දර්ශන, මෝටර් රථ අනතුරු, ගුවන් තොටුපොලේ කෙරෙන සමුගැනීම් සහ මුණ ගැසීම් මෙන්ම මාරාන්තික මෝටර් රථ පැදවීම් ද මෙහිදී සිත් ඇද ගන්නා දර්ශන මවනු ඇත.

කරුණු එසේ වුව ද, මේ ජනප්‍රිය කතාව අති සරලව ඉදිරිපත් කරන්නට ජගත් ජේ. එදිරිසිංහ නවකතාකරුවා තුල සිටින ව්‍යක්ත ලේඛකයා ඉඩ නොදීම සතුටට කරුණකි. අද ලංකාවේ දුසිම් ගණනින් ප්‍රකාශයට පත්වෙන ”මිල්ස් සහ බූන්” වර්ගයේ අති සරල නවකතාවල මෙන් නොව ”තාරකා විජිතය” නවකතාව පුරාම භාවාත්මක මෙන්ම භාවපූර්ණ දෙබස් සහ ස්වයංභාෂණ මගින් එහි අඩංගු අසාමාන්‍ය චරිතවල අසාමාන්‍ය ක්‍රියාකාරකම් දෙස යම් දුරකට විශ්ලේෂණාත්මකව බැලීමක් සිදුවී ඇති බව කිව යුතුය. එහෙත් එමගින් ආවාර්ය උපාධි ශිෂ්‍ය දිලීප ගේ සංඛීර්ණ චරිතය මුළුමනින් සාකච්ඡා නොවීම කණගාටුවට කරුණකි.

අවසාන වශයෙන් සඳහන් කළ යුත්තේ මගේ නිර්ණායකයන්ට අනුව සාපේක්ෂව අඩු තක්සේරුවක් ලැබුනද ජගත් ජේ. එදිරිසිංහගේ "තාරකා විජිතය" නවකතාව සිංහල නවකතා කියවන්නන් ගේ පොදු රසාස්වාදය ඉහල නංවන කෘතියක් බවට සැකයක් නැති බවයි.


ජගත් එදිරිසිංහ ගේ අනෙක් පොත් ගැන ලියවුණු පොත්-කතන්දර.
1. ඉස්කෝලෙ කාලේ
2. අදිසි
3. අසුර අඩවිය

-කතන්දරකාරයා


Saturday, 14 September 2013

ජේ.වී.පී. කාලේ ඕස්ට්‍රේලියාවට පැන්න ජෙප්පෙක්, පොලිස්කාරයෙක්, පිම්පියෙක්, කෙල්ලෙක් (සහ කොල්ලෙක්) ගේ කතාවක් - Asura Adaviya by Jagath J Edirisinghe


දැන් කාලෙක ඉඳලා ලංකාවෙන් මිනිස්සු බෝට්ටුවල නැගිලා ඕස්ට්‍රේලියාවට පලා යනවා සරණාගතයින් විදියට. මේ අයගෙන් බහුතරයක් දෙමළ මිනිස්සු.

තමන් ගේ ජීවිතය උගස් කරලා එහෙම අවදානම් ගමනක් යන්න හේතුව අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ?

දැන් අවුරුදු විසි ගාණකට කලින් ජේවීපී කලබල කාලේ මේ වගේ ඕස්ට්‍රේලියාවට සරණාගතයින් විදියට ගිහින් තියෙන්නේ බහුතරයක් සිංහල මිනිස්සු. ඒ අය ගිහින් තියෙන්නේ අද යන අය වගේ ජීවිතය පරදුවට තියලා බෝට්ටුවල නැගිලා නොවෙයි. බොහෝ විට ප්ලේන් එකේමයි.

ඒ විදියට සරණාගයින් ලෙස ඕස්ට්‍රේලියාව පැන්න චරිත කීපයක් වටා ගෙතුණු නවකතාවක් මට කියවන්න ලැබුණා මීට අවුරුදු හයකට විතර කලින්.

මෙන්න ඒ ගැන සඟරාවක පළවුණු විචාරයක් මං සාහිත්‍ය මාසය වෙනුවෙන් පළකරන පොත්-කතන්දරයක් විදියට.


ජීවිතය ගීතයක් යැයි සමහරු කියති. නමුත් වඩාත් පුළුල් ලෙස අර්ථ දැක්වුවහොත් ජීවිතය මහා සංගීත සංධ්වනියක් හෝ ගීතමය ඔපෙරාවක් යැයි පැවසීම වඩා උචිත වෙනු ඇතැයි මම සිතමි. මේ සංගීත සංධ්වනියේ, අනිවාර්්‍යයෙන් ම පියකරු මෙන්ම බියකරු සංගීත අනුඛණ්ඩ ද, සිතට සතුට දනවන මෙන්ම හදවත දුකට පත් කරවන සංගීත අනුඛණ්ඩ ද, දෙතොලට හසරැල් නංවන මෙන්ම නෙතඟට කඳුලැලි නංවන සංගීත අනුඛණ්ඩ ද, අඩු වැඩි ආකාරයෙන් අඩංගු වී ඇත.

ඕස්ට්‍රේලියාවේ වෙසෙන, පුවත්පත් කලාවේදියෙකු, කවියෙකු, ගීත රචකයෙකු මෙන්ම ගුවන් විදුලි ශිල්පියෙකු ද වන ජගත් ජේ එදිරිසිංහ ගේ අසුර අඩවිය නවකතාව ඉහත සඳහන් ආකාරයේ ජීවිතය පිළිබඳ ගැයෙන සංගීතමය සංධ්වනියක් මෙන් යැයි මට සිතේ. සමහරවිට මෙහි වැඩි වශයෙන් දුක්බර සංගීත අනුඛණ්ඩ අඩංගු වෙනවා විය හැක. එහෙත් මෙම නවකතාව හුදෙක් ම දුක සහ පරාජය දනවන්නක් නොවේ. නවකතාව අවසාන වෙන්නේ පාඨකයා තුළ බලාපොරෙත්තු, අධිෂ්ඨානය සහ සැනසුමක් ද ඉතුරු කරමිනි.

අසුර අඩවිය ගෙතී ඇත්තේ ශ්‍රී ලංකාවේ සිට විවිධ හේතු නිසා ඕස්ට්‍රේලියාවට පැමිණ අනේකවිධ කරදර බාධක මැද ජීවිතය ගෙවන පස් දෙනෙකු වටායි. මින් එක් අයෙක් වන සුරංග, නිරපරාදේ පහර දීමකට ලක් වී, දිගු කලක් තිස්සේ රෝහලේ සිහි විරහිතව සිටී. ඔහුගේ මිතුරා වූ සුසන්තත්, ඉහත පහර දීමට මූලික හේතුව වූ කුමාරිත් අතර ඇතිවන, එක්තරා ආකාරයක දුරස්තර වූ පෙම් කතාව අසුර අඩවියේ ප්‍රධාන පුවතයි. පහර දීම සිදුකළ හේමන්ත නමැති මැරයාත්, මේ සියල්ල දෙස උපේක්ෂාවෙන් බලන තරමක වැඩිහිටියෙකු වන වීරසේකරත් මෙහි අනෙකුත් චරිත වේ. කතාව අවසාන වන්නේ සුරංග ගේ මරණයත්, හේමන්ත පොලීසිය විසින් අත්අඩංගුවට පත්වීමත්, කුමාරි ආගමන දෙපාර්තමේන්තුවේ රඳවා ගැනීමට ලක්වීමත් සමගය.

මේ නවකතාවේ සුවිශේෂ වැදගත්කම නම් එහි ප්‍රධාන කතා පුවතට යටින් විහිදෙන ගැඹුරු සමාජමය දෘෂ්ටියයි. මේ සම්බන්ධයෙන් ප්‍රධාන කරුණු දෙකක් පමණක් විස්තර කර ගැනීමට මම මෙය අවස්ථාව කර ගනිමි.

අප බොහෝ දෙනෙකුට ක්‍රමයෙන් අමතක වී යන්නාවූ, එසේත් නැත්නම් අද පවතින විවිධ දේශපාලන අවශ්‍යතාවයන් මත අමතක කර දැමීමට උත්සාහ කරන්නාවූ, එක් දෙයක් වන්නේ 1987/89 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති භීම සමයයි. තමන් ගේ මතවාදයන් ට වෙනස් වූ මත දරන පිරිස් නුරුස්සීමේ ක්‍රියාවලියේ අන්තයටම යමින් 1986 දෙසැම්බරයේ කොළඹ සරසවියේ දයා පතිරණ මරා දැමීමෙන් ඇරඹුණ ම්ලේච්ඡ සටන, සත්‍යපාල වන්නිගම, විජේදාස ලියනාරච්චි, විජය කුමාරණතුංග, තී්‍රමා විතාන යනාදී ඝාතන හරහා තරුණ ජීවිත දස දහස් ගණනක් විනාශ කරමින් ඇදී ගියේය. ඒ දිනවල ශී්‍ර ලංකාවේ වෙඩි තැබීම්, වධකාගාර සහ ටයර් සෑයේ ආදාහනය යනාදිය සාමාන්‍ය දේවල් බවට පත්විය.

අසුර අඩවිය නවකතාවේ චරිත දෙකක් වන සුරංග සහ වීරසේකර දෙදෙනා ඒ නිෂ්ඵල විනාශකාරී සටනේ විරුද්ධවාදී කඳවුරු දෙකේ ඉත්තන් දෙදෙනෙකු ලෙස ක්‍රියාන්විතව සිට ඉන් කෙසේ හෝ බේරී පලාවිත් ඕස්ට්‍රේලියාවේ සරණාගතයන් ලෙස එකම වහලක් යට ඉඳිමට සිදුවීම හැදින්විය හැක්කේ පරණ සිංහල යෙදුමක් වන දෛවයේ සරදමක් ලෙසින් පමණි. මේ කතාව අවසානයේ සුරංග මැර පහර කා දුක් විඳ මිය යනමුත් වීරසේකර ගේ ප්‍රශ්න ක්‍රමයෙන් නිරාකරණය වී ජීවිතය යහපත්වීම තුළින් කතුවරයා යම් කිසි දෙයක් ව්‍යංගාර්ථයෙන් අදහස් කළේ යැයි මම නොසිතමි. කෙසේ වෙතත් මෙහිදී වීරසේකර තමන්ගේ අතීතය පිළිබඳ කරන පාපෝච්චාරණ මා පෙර කී භීම සමය පිළිබඳව අපේ මතකය අළුත් කරවයි. එය මෙම නවකතාවේ එන ඉතා වැදගත් අංගයක් ලෙස මම සලකමි. 

නමුත් සුරංගව ඔහුගේ අධිමූර්ච්ඡාව තුලම මරා දැමීම තුළින් කතුවරයා සුරංගගේ පාපෝච්චාරණ දැන ගැනීමට පාඨකයාට තිබූ ඉඩකඩ අහුරා ඇති බව පෙනේ. සුළු ධනේශ්වර විප්ලවකාරයෙකු වූ සුරංග සිය අධිමූර්ච්ඡාව තුළදී ද රොමෑන්ටික් සිහින දැකීමේ කිසි වරදක් නොතිබුන ද අඩු වශයෙන් ඔහු ගේ මරණාසන්න මොහොතේ දී හෝ ඒ සිහින අතරට පසුගිය භීම සමය පිළිබඳ ඔහුගේ පාර්ශවයේ අත්දැකීම් කිහිපයක් ඇතුළත් කළ හැකිව තිබුණා යැයි මට හැඟේ.

අප බොහෝ දෙනෙකු නොදන්නා, සමහර විට උනන්දුවක් ද නොදක්වන, මා මෙහිදී සඳහන් කිරීමට අදහස් කරන දෙවන කරුණ නම්, විවිධ හේතූන් මත සරණාගතයන් ලෙසින් හෝ නැතිනම් වෙනත් නීත්‍යානුකූල නොවන මාර්ග වලින් ඕස්ට්‍රේලියාවට පැමිණෙන ජන කොටසේ ජීවන අරගලයයි. මුලින් සඳහන් කළ පරිදි වීරසේකර සහ සුරංග යුද්ධයෙන් පණ ගලවාගෙන සරණාගතයන් ලෙසින් මෙහි පැමිණි දෙදෙනෙකි. මීට අමතරව, කුමාරි සහ හේමන්තත් තමන්ගේ ආර්ථික ප්‍රශ්න වලට විසඳුමක් සොයා සංචාරකයින් ලෙසින් පැමිණ අනවසරයෙන් මෙහි ජීවත් වන්නන් වේ. ඔවුන් ගේ අතීතය දුක්බර ය. වර්තමානය ව්‍යාකූල ය. අනාගතය අවිනිශ්චිත ය.

පසුගිය දිනවලත් විශාල තරුණයින් පිරිසක් යුද්ධයෙන් මිදී ඕස්ට්‍රේලියාවට පලා ගිය බව අපි අසා ඇත්තෙමු. ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතාකරන්නට අපි තැතක් නොදැරුවෙමු. සහෝදර ජන කොටසක් වශයෙන් අප මේ සරණාගත පිරිස් ගැන දක්වන ඒ නොසැලකිල්ල අසුර අඩවිය නවකතාව තුළින් ප්‍රබලව ප්‍රශ්න කරන බව මට පෙනේ.

අසුර අඩවිය කෘතිය තුළින් නවකතාකරුවා අපේ බුද්ධි මණ්ඩලය තුළ ඇතිකරන තවත් කතිකාවතක් නම් සමාජයේ දුරාචාර යැයි සැලකෙන වේශ්‍යා සහ පිම්පි වෘත්තීන්, කප්පම් ගැනීම, රාජ්‍ය ත්‍රස්තවාදය ඇතුළු දාමරික කම් යනාදිය සමාජ ක්‍රියාවලි මගින් ඇතිවන අනිසි ප්‍රතිඵලයන් ම නොවේද යන්නයි.

අසුර අඩවිය රචනා කිරීමේ දී, නවකතාකරුවා විසින් කාව්‍යමය භාෂා විලාසයක්, සරල වදන් වැලක් සහ නිරායාසයෙන් ගලායන ප්‍රකාශන ආකෘතියක් විශිෂ්ට ලෙස උපයෝගී කොට ගෙන තිබේ. මේ අනුව බලන කළ, ජගත් ජේ. එදිරිසිංහ ගේ අසුර අඩවිය නවකතාව එක හුස්මට කියවාගෙන යා හැක්කක් ලෙස විස්තර කළ හැකිය.


මෙන්න ජගත් ලියූ තවත් පොත් දෙකක්.

1. පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics
http://kathandara.blogspot.com.au/2012/08/book-review.html

2. ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia
http://kathandara.blogspot.com.au/2013/07/kathandara-nostalgia.html

පොර තවත් පොත් පහ හයක් ලියලා තියෙනවා!

-කතන්දරකාරයා

ප/ලි:
හෙට ඉරිදා මගේ ම කතන්දරයකින් ද, යළි සඳුදා පොත්-කතන්දරයකින් ද හමුවෙමු!

Wednesday, 17 July 2013

ඉස්කෝලෙ ගිය කාලෙට හිතෙන් ආපහු යන්න අපි කැමති ඇයි? - Nostalgia


අප හුඟ දෙනෙක් සිතින්වත් ඉස්කෝලෙ ගිය කාලෙට ආපහු යන්න කැමතියි.

ඒකට විවිධාකාර හේතු තියෙන්න පුළුවනි. එදාට වඩා හොඳට ඉස්කෝලේ වැඩ කරන්න, අර කියා ගන්න බැරි වුණු ඒවා කියා ගන්න, නපුරු ටීචර් ලා ගෙන් බේරිලා ඉන්න. ලයිස්තුව තව දිගයි!

මාත් විටින් විට ඉස්කෝලේ ගිය කාලේ ගැන කතන්දර ලියලා තියෙනවා.

ඒත් අද මං මේ කියන්න යන්නේ ඉස්කෝලේ කාලේ ගැන ලියවුනු පොතක් ගැනයි. මේක මං සඟරාවකට ලියපු පොත් විචාරයක්.


ඉස්කෝලෙ කාලේ
සුන්දර ළමා වියට අප යළි ගෙනයන ජගත් ජේ. එදිරිසිංහ සෑදූ මැජික් දොරටුව

කුඩා දරුවන් මල් මෙන් යැයි අපි නිතර කියමු. ඔවුන් ගේ දසුන සුන්දරය. වර්ණවත්ය. අහිංසකත්වයේ, අවංකත්වයේ සහ අව්යානජත්වයේගුණ සුවඳ ඔවුන්ගෙන් විසිරේ. ඔවුන් ගේ බස් අප සවනට පිය තෙපුල් ය. ඔවුන් ගේ චර්යාව, හැසිරීම, ගති පැවතුම සුසිනිදු මල් පෙත්තකමටසිලිටු බව සිහි ගන්වයි.

නමුත් මේ මල් වැනි කුඩා දරුවන් හැදෙන්නේ, වැඩෙන්නේ ඕජස් ගලන ගුජුප්සාජනක කුණු කන්දලින් පිරී ගිය මේ අශීලාචාර සමාජයේ බවඅපට අමතක කළ නොහැක.

පොහොට්ටුවෙන් සුපිපි කැකුලට පෙරළෙන මේ සුන්දර, පියකරු, මටසිලිටු, සුවඳ විහිදුවන මල් සමූහය චණ්ඩ හිරු රැස් මැද පීඩා විඳිති. සැඩ සුළඟට හසුව සැලෙති. බඹර පහරට අසුව කිලිටි වෙති. නැඩ වර්ෂාවෙන් පීඩා විඳිති. අවසානයේ ඒ සුපිපි පුෂ්පයෝ මුකුලිතව මිලානව ගොස්තමන් සිටින පෙරකී පරිසරයටම එකතු වෙති.

මේ ලෝක ස්වභාවය මිනිස් සමාජයද පොදුය. තමා වෙසෙන සමාජය විසින් මිනිසා හදනු ලබන බව කියවෙන්නේ නිකමට නොවේ.සමාජයේ ගොදුරක් වීමෙන් ගැලවී සදහටම වර්ණවත්ව බබළමින් ගුණ සුවඳ විහිදන්නෝ ඉතා අල්පය.

මේ හැඳින්වීමත් සමගම මා සැරසෙන්නේ, සුන්දර ළමා විය පිළිබඳව අප බොහෝ දෙනෙකුගේ චිත්ත සන්ථානයන් හි යට ස්ථරවල ස්ථිරව තැන්පත් වී ඇති මිහිරි මතක නිධානයන් කිරිමුහුද කළඹවා කල්ප වෘක්ෂතය මතුකරගත්තාක් සේ පාදාගන්නට ඉවහල්වෙන, තත්වයෙන් මහාමේරු පර්වතයක් සේ සැලකිය හැකි නමුදු ප්‍රමානයෙන් කුඩා, නවකථා පොතක් පිළිබඳව ඔබට පවසන්නටයි.

කුඩා පාසලක, කුඩා පන්තියක ඉගෙනුම ලබන කුඩා කොලු ගැටයෙකුගේ ජීවිත කථාවේ රසබර, දුක්බර, ප්‍රීතිජනක, ශෝක ජනක කතාන්දරය අපට කියන මේ කුඩා නවකතාව "ඉස්කෝලෙ කාලේ"
නම් වේ. එය ලියා ඇත්තේ ජගත් ජේ එදිරිසිංහ නම් කෘතහස්ත ලේඛකයාය.

ජගත් ජේ. එදිරිසිංහ ගේ අසුර අඩවිය, ගිම්හාන සුළඟ, තාරුකා විජිතය සහ අදිසි යන නවකථා අප කියවූයේ දයාවංශ ජයකොඩි ප්‍රකාශන ලෙසිනි. ඉස්කෝලෙ කාලේ නවකතාව අප අතරට එන්නේ ගොඩගේ සමාගමේ යොවුන් නවකතාවක් ලෙසටය. යොවුන් නවකතා යනු සිංහල ප්‍රභන්ධ කලාවේ එක් ප්‍රධාන උප අංගයක් විය යුතු නමුදු තරමක් නොසලකා හරින ලද අංශයකි.

මඩොල්දූව, අඹ යහළුවෝ, වනගත දරුවෝ සහ තුන් යහළු වික්‍රමය වැනි නවකථාවලින් මග සලකුණු තැබූ සිංහල යොවුන් සාහිත්‍යය යනු සිංහල නවකතාවේ උපත සහ පෝෂණය සිදුවූ පසුගිය සියවසක පමණ කාලය තුළ එතරම් දියුණුවට පත් නොවූ අංශයකි. අප දන්නා බටහිර ඉංගිරිසි යොවුන් සාහිත්‍යය හා සසඳා බලන කල මෙය ඉතා හොඳින් කැපී පෙනේ. මෙයට හේතුව විශ්ලේෂණය කිරීම වෙනමම මාතෘකාවක් නිසා ඉතා සරලව පැවසිය හැක්කේ ශ්‍රී ලංකාවේ ළමා මන්දපෝෂණයත්, සිංහල යොවුන් සාහිත්‍යයේ මන්දපෝෂණයත් එකම කාසියේම දෙපැත්ත බවයි. ශාරීරික මන්දපෝෂණයට අඩු තරමේ ත්‍රිපෝෂවත් ලැබේ.

මෙවන් පසුබිමක් යටතේ ජගත් ජේ. එදිරිසිංහ, ඉස්කෝලෙ කාලේ රචනා කිරීමෙන් පොදුවේ සිංහල සාහිත්‍යයටත්, සුවිශේෂීව බටහිරයොවුන් සාහිත්‍යය කෘතිවල සරල පරිවර්තන කියවීම වෙනුවට වෙනත් විකල්ප හිඟයෙන් පෙළෙන යොවුන් නවකථා පාඨකයින් ට කරඇත්තේ කාලීන මෙන්ම අගනා සේවාවක් බව නොබියව කිව හැක.

මා එලෙස යොවුන් නවකතාවක් ලෙස ඉස්කෝලෙ කාලේ කෘතිය හඳුන්වා දුන්නද, මේ නවකතාවේ රසය උපරිම වශයෙන් විඳින්නටලැබෙන්නේ තම ළමා කාලය කලකට ඉහත ගත කළ අප වැන්නන්ට යැයි මම සිතමි.

ඒ එසේ වන්නේ, ඉස්කෝලෙ කාලේ නවකතාවේ පිටු අතරින්, පරිච්ඡේද අතරින්, ඡේද අතරින්, වාක්යං අතරින්, අකුරු අතරින් අපට දැන්දැන් මතකාබාද වැලි තලාවෙන් වැසීයන අපේ සුන්දර ළමා කාලයට යළි පිවිසෙන්නට, යළිත් සුදු අත් කොට කමිසයකින් සහ කොටකලිසමකින් හෝ සුදු රැළි ගවුමකින් සැරසී පාසල් යන්නට අපට මානසිකව ඉඩ ලැබෙන බැවිනි.

ඉස්කෝලෙ කාලේ නවකතාව ගෙතී ඇත්තේ ප්‍රාථමික පාසලක ඉගෙනුම ලබන කුඩා දරුවෙකු වන සමන් ගේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ඇසුරිනි. මෙහිදී සමන් ගේ පාසලේ කතා මෙන්ම, ඔහුගේ පවුලේ කතා ද, ඔහු වසන ගම්මානය පසුබිම් කරගත් කතා ද, එකිනෙකසම සමව මුසුකරමින්, වරෙක හාස්‍යය ද, වරෙක අනුකම්පාව ද, වරෙක සංවේගය ද, වරෙක කෝපය ද, වරෙක සතුට ද පාඨක සිත් සතන් තුල ජනිත කරමින් නිදහසේ ගලායන නවකතාවක් රචනා කීරීමට ජගත් ජේ. එදිරිසිංහ සමත්වී ඇත.

සම වයසේ යහළු යෙහෙළියන් සමග සමන් සිසුවා පාසලේ ඉගෙන ගන්නා හැටි, කොල්ලන් සමග ගම පුරා කරක් ගහනා හැටි මෙන්ම සමාජ අසාධාරණයන් සහ නපුරු ගුරුවරුන් නිසා තබ්ලාව වැයීම ඉගෙන ගන්නට, විවිධ ප්‍රසංගයන් හි නාට්‍ය , ගායනා යනාදිය ඉදිරිපත් කිරීමට, දිස්ත්‍රික් ගායනා තරග සඳහා සහභාගීවන්නට සමන්ට ඉඩ ඇහිරෙන අයුරු ජගත් ජේ. එදිරිසිංහ සරල සිංහල බසින් විස්තර කරන්නේ පාඨක සිත නවකතාවේ අවසානය දක්වාම බැඳ තබා ගනිමිනි.

සමස්ත කතා වස්තුව සලකා බලන කල, මා මේ ලිපිය ආරම්භයේ භාවිතා කළ මල් සහ පරිසරය පිළිබද උපමාව මෙහිදී තරමක් නොගැලපෙතැයි මට සිතේ. එසේ වන්නේ, ළමුන්ට අසාධාරණකම් කරන ගුරුවරුන් අතර තම යුතුකම් සහ වගකීම් නිසි අයුරින් ඉටු කරන හොඳ ගුරුවරුන්ද, තබ්ලා ඉගෙනුම අහිමි වු පුතුට ඩෝලැක්කියක් හෝ ගෙනැවිත් දෙන දෙමව්පියන් ද ඉස්කෝලෙ කාලේ නවකතාවේ සිටින බැවිනි.

එය එසේ වුවද, ජගත් ජේ. එදිරිදිසිංහ මේ නවකතාව අවසානයේ නපුරු සමන්මලී ගුරුතුමිය ක්ෂගණිකවම හොඳ චරිතයකට පරිවර්තනයකරමින් ද, සමන් ට කවි ගායනා තරගයේ ජය ලබා දෙමින් ද කර ඇත්තේ පැවති සහ පවතින සමාජීය යථාර්ථයෙන් ඉවත්ව යෑමක් බව නම් මම ඉඳුරාම පවසමි.

”අවසානයේ යුක්තිය, සත්යභය සැමවිටම ජය ගනී” යන ලොව පිළිගත් මිත්යා විශ්වාසය තවදුරටත් ඉදිරියට ගෙනයාමට මෙමගින් නවකතාකරුවා අනියම්ව සහය දෙන බව මගේ විචාරක ඇසට පෙනේ. කෙසේ නමුත් එලෙස සුඛාන්තයක් සහිතව නවකතාව අවසාන කිරීමමගේ පාඨක සිතට නම් මහත් වූ අස්වැසිල්ලක් ම විය.

හැත්තෑව දශකය පමණ නුදුරු අතීතයක් මත පදනම් වූ ඉස්කෝලෙ කාලේ නවකතාවේ කතානායක සමන් දිවි ගෙවන්නේ මිරිහාන, මාදිවෙල, ඇඹුල්දෙණිය වැනි මුළුමනින්ම නොවූවද බොහෝ දුරට සම්ප්‍රදායානුකූල ග්‍රාමීය පරිසරයකයි. අද හතළිස් වසරක් ලබන විට ඒ ප්‍රදේශ කෙතරම් දුරට නාගරීකරණය වී ඇතිද, දුෂණය වී ඇතිද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.

කෝට්ටේ කලාලේ කිසිල්ලේ ද?

ප්‍රධාන කතා පුවතෙන් බාහිරව නවකතාවේ වාක්‍යය පේළි අතර සැකෙවින් ලියවී ඇති ඒ ගම්පෙරළියේ කතාව ද මා මෙහිදී පාඨකයින්ගේ විශේෂ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි.

අවසාන වශයෙන් කිව යුත්තේ, ජගත් ජේ. එදිරිසිංහ රචනා කරන ලද ඉස්කෝලෙ කාලේ නවකතාව සුන්දර ළමා වියට අප යළි කැටුව යන මැජික් දොරටුවක් ම බවයි. ඒ දොරටුවෙන් ඔබ්බට ගොස් රිසි පරිදි අතීතකාමයේ ගැලෙන්නට මම ඔබට ආරාධනා කරමි.

-කතන්දරකාරයා

ප/ලි: (12:30pm)
සියළු දොනටම ආදරයෙනි.

අද උදේ සිට ඔෆීසියේ වැඩ රාජකාරි අධික දිනයකි. තේ බිව්වේ ද දවල් කැම කන අතරය. කමෙන්ට්ස් කියවා අනුමත කිරීමට වේලාවක් නොතිබුණි.

මේ ගැන විරෝධය පාමින් ඇනෝනිමස් පාඨකයෙකු (හෝ දෙන්නෙකු) දිගින් දිගටම ප්‍රතිචාර දක්වා ඇති බව දැක්කෙමි. එවැන් ප්‍රතිචාරවලින් ඇති ප්‍රයෝජනයක් නැත. මට කමෙන්ට්ස් කියවා අනුමත කළ හැක්කේ විවේකයක් ලද විටදී පමණි!

Monday, 6 August 2012

පක්‍ෂ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳ කතන්දරයක්- "අදිසි" : The garbage dump otherwise known as party politics


ජගත් ජේ එදිරිසිංහ ගේ නවතම කෘතිය වන "අදිසි" නවකතාව කියවා හමාර කළ මා සිතට සිතුවිලි ත්‍රිත්වයක් ම ගලා ආවේය.

ඉන් පළමු සිතුවිල්ල නම්, අපේ ලාංකීය සමාජයේ තත්කාලීන අවගමනයට බලපාන තීරණාත්මක සාධකයවන දූෂිත දේශපාලනයේ කසල ගොඩ පිළිබඳව ඇති වූ ජුගුප්සාව, සංවේගය සහ කෝපය සම්මිශ්‍රිත එකකි.

දෙවැනි සිතුවිල්ල වූයේ, කෙතරම් අප්‍රසන්න අන්තර්ගතයක් වූයේ වුවද, ජගත් ජේ එදිරිසිංහ තම "අදිසි" නවකතාව තුලින් ඒ දේශපාලන කසල ගොඩෙන් බිඳක් පිළිබඳව මේ කතාන්දරය අපට ඉදිරිපත් කිරීමේ සමාජමය වැදගත්කම පිළිබඳව ඇතිවූ ප්‍රසාදජනක එකකි.

මා සිතට ගලා ආ තෙවැනි සිතුවිල්ල වූයේ, ජගත් ජේ එදිරිසිංහ මේ නවකතාව කෙතරම් තාත්විකව නිර්මාණය කර තිබේද යන්නත්, එනිසා ම "අදිසි" නවකතාව සඳහා කිසියම් ආකාරයක සාහිත්‍ය සම්මානයක් හිමි විය යුතු නොවේදෝ යි යන්නයි.

ඇතැම් කාලයක, ඇතැම් දේශයක විසුවා යැයි කියනු ලබන අවංක දේශපාලකයෙකු ගැන ඉඳහිට අපට අසන්නට ලැබුණේ වුවද, පක්‍ෂ දේශපාලනය යනු මඩ ගොහොරුවක් ය, කසල පිරි පතහක් ය යන්න සර්වලෝක, සර්වකාලීන සත්‍යයකි.

අදින් අඩ සියවසකටත් වඩා ඉහත කාලයයේ වුවද ලංකාවේ දේශපාලනය වනාහී දූෂිතව තිබූ එකක් බව "හතර අපායට යන්නට අවැසි නම් ලංකාවේ අගමැති කම එක දිනයකට කර බලන්න" යන අරුතින් යුතු කවියක් පූජ්‍ය යක්කඩුවේ ප්‍රඤ්ඤාරාම තමන් විසින් පරිවර්තනය කරන ලද කාව්‍ය ග්‍රන්ථයක ඇතුලත් කිරීමත්, ඒ කරගත්තාවූ පාප කර්මයේ බලයෙන් දෝ එම පුස්තකය රාජ්‍ය මර්ධනයට හසුව තහනම් වීමත් ගැන සිතන විට හොඳින් පෙනේ.

දේශපාලන පලිගැනීම් වනාහී දුෂ්කර පලාතකට කෙරෙන ස්ථාන මාරුවක් වැනි සරල ක්‍රියාවකට සහ දුෂණ යනු කරවල හෝ පරිප්පු රාත්තලකට වැනි සිල්ලර කටයුත්තකට බොහෝ විට සීමා වී තිබුණු ඒ යුගයෙන් ඇරඹුණු අපේ සමාජයේ බිඳ වැටීම 1980 සිට අති ධාවනාකාරී ගමනක යමින් මිනීමැරුම්, අතුරුදහන්කිරීම් සහ මිලියන ගණනින් පිල්ලි යැවීම් තත්වය දක්වා අද වෙනවිට අති මහත් ප්‍රගතියක් ලබා ඇත.

"හක්කේ බුදු රැස්, බොක්කේ දඩමස්" නියමය මනාව අනුගමනය කරන අද දේශපාලකයෝ උදේ වරුවේ සමන්මල් වට්ටි රැගෙන රුවන්වැලි සෑය වන්දනා කිරීමටත් හවස් යාමයේ රා කල හතක් පෙවූ මැරයින් යවා ජේතවනාරාමයට ගල් ගැසීමටත් එක සේ සමත්හු ය.

මිරිසවැටිය අග්ගලාවක් හෝ කොණ්ඩ කැවුමක් ලෙස සලකා අනුභව කිරීම ද ඔවුනට සරල දෙයකි.

දේශපාලන විරුද්ධවාදීන්ට හිමිවන්නේ දඹකොළපටුනට ස්ථාන මාරුවක් නොව කැරකෝප්පුවට කෙටි පාරකි.

අද පරම්පරාවේ දේශපාලකයින් දුෂණයෙන් අයථා ලෙස රැස්කර ගන්නා රන් කහවණු මැනීමට විශාල ප්‍රමාණයේ කුරුණි ඇවැසි වේ.

ජගත් එදිරිසිංහ ගේ "අදිසි" නවකතාවෙන් නිරාවරණය කෙරෙන්නේ පසුගිය දශකයේ මැද භාගයේ ශ්‍රී ලංකාවේ පැවති මැතිවරණයක් හා සමගාමීව දිග හැරෙන කොළඹ නගරාසන්න පෙදෙසක වෙසෙන සුවිශේෂී චරිත කිහිපයක නිරුවතයි.

සුනන්ද නගරබද වත්තක වෙසෙන හිතහොඳ චණ්ඩියෙකි. ඔහු ගේ සහයෝගයෙන් පෙර මැතිවරණයකින් ජයගත් රණසිංහ දේශපාලන ඉණිමගේ ඉහලට නැගීමට වැර දරයි. ඒ ගමනේ ජය තහවුරු කරගැනීම සඳහා අනිවාර්ය තත්කාලීන අවශ්‍යතාවයක්වන විවිධ නීති විරෝධී ක්‍රියාවල නිරතවීමට සුනන්ද ගේ සහය තවදුරටත් නො ලැබෙන හෙයින් රණසිංහ හමුදාවෙන් පැන එන අජිත් තම මැර පිරිසට එකතුකර ගනියි. අජිත් ගේ නැගෙණිය සමදරා සුනන්ද ගේ පෙම්වතිය වන අතර විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි.

දුෂණය සහ භීෂණය මත යැපෙමින් තම මැතිවරණය මෙහෙයවන රණසිංහ ට ඒ සඳහා සහය ලැබෙන්නේ නාගරික ලුම්පන් පන්තියෙන් පමණක් නොවේ. ධනපති පන්තිය හා සභායට යන වාමවාදී නායකයින් නිසා බිම් මට්ටමේ වාමාංශික කේඩරයින් ට ද රණසිංහට කඩේ යමින් පෝස්ටර් අලවන්නටත්, වේදිකා ගොඩ නංවන්නටත් සිදුවේ.

සිය දේශපලාන අරමුණු වෙනුවෙන් පන්සලට පවා බෝම්බ ගසන රණසිංහ, ඒ ආනන්තර්ය පාප කරමය හේතුවෙන් දෝ ඡන්දයෙන් පැරදුණු කළ ඒ අඩුව පුරවන්නට කල්යල් බලා පවතින ක්‍රමයට අනුගතවෙන්නේ සමදරා ය.

මේ ප්‍රභල කතා වස්තුවේ මට ඇති එකම නොගැලපීම නම් ජගත් ජේ එදිරිසිංහ, නවකතාවේ ප්‍රධාන චරිතයක් වෙන සුනන්ද නම් හිත හොඳ චණ්ඩියා ට කරන ශ්වේතවර්ණාලේපයයි. ඒ සමගම ස්ත්‍රී සොඬ රණසිංහ ව හැරදා යන ඔහුගේ තරුණ බිරිඳ සමග මැරවර සුනන්ද අරඹන නීති විරෝධී හෝටල් ව්‍යාපාරය ද, ජගත් ජේ එදිරිසිංහ ගේ සානුකම්පික සුදු බුරුසුවට අසුවේ.

ළමා වියේ පටන් ලේඛක උණ සන්නිපාතයෙන් පීඩා විඳි ජගත් ජේ එදිරිසිංහ මේ වන විට නවකතා පහක් ඇතුළු මුද්‍රිත ග්‍රන්ථ අටක කතුවරයෙකි. එවැනි පලපුරුදු අශ්වාරෝහකයෙකුගෙන් බලාපොරොත්තු විය යුතු ලෙසටම "අදිසි" නවකතාව සඳහා ජගත් උපයෝගී කරගෙන ඇති භාෂා විලාශය ප්‍රභල එකකි. නවකතාවේ අන්තර්ගතය ඉදිරිපත්කර ඇති ආකෘතියද ආකර්ශනීය වේ.

කොටින්ම "අදිසි" කියවන අපට හැඟෙන්නේ මෙය ප්‍රබන්ධයක් කියා නොවේ. එය එතරම්ම තාත්වික ය.

"අදිසි" නවකතාව තුලින් ජගත් ජේ එදිරිසිංහ නොදැනුවත්වම වාගේ අපට උලුප්පා පෙන්වන තවත් පාඩමක් ඇත. එනම්, පීඩිත පන්තිවල සියළු සටන් ඉතිහාසය පුරා නිසැකවම පරාජය වී ඇත්තේ නිරායාසයෙන්ම සිදුවන පාලක පන්තිය හා සභාගයට යැමේ පාවාදීම නිසා බවයි.

ජගත් ජේ එදිරිසිංහ ගේ "අදිසි" නවකතාව කියවන ඔබේ සිතට මා මුලින් සඳහන් කළ සිතුවිලි ත්‍රිත්වයට අමතරව සිව්වැනි සිතුවිල්ලක් ද නැගුණහොත් එය කෙලෙස වේ දැයි මම මදකට සිතුවෙමි.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගැලවේවා යැයි ප්‍රාර්ථනයක් ඔබ සිතට නැගුණහොත්, එය අපේ ජීවිත කාලයේ ඉටු නොවන නිසරු පැතුමක් වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි බව කණගාටුවෙන් වුවද කිව යුතුව ඇත.

අද රට වෙලාගත් පිළිලයක් බඳු වූ මේ දේශපාලන ව්‍යවසනයෙන් හෙට රට ගලවා ගනිමි යැයි අධිෂ්ඨානයක් ඔබ සිතට නැගුණ හොත් එය අතිශය එඩිතර ගමණක මුලාරම්භය විය හැකි බව කිව හැක. නමුත් මින් වසර කිහිපයකට කලින් ජගත් ජේ එදිරිසිංහ සිය "ගිම්හාන සුළඟ" නවකතාවෙන් අපට කිවු පරිදි එවන් ගමණක අවසානය තත්කාලීන ව්‍යවහාරික භාෂාවෙන් අප "සොරි ඩොට් කොම්" ලෙස හඳුන්වන තත්වය වෙනු ඇත. මක් නිසාද යත්, ඉතිහාසය පුරාම සිංහ සෙයියාවෙන් එවන් ගමන් ආරම්භ කළ වුන් එක්කෝ පවතින දුෂිත ක්‍රමය මගින් ඉවත්කර දමන්නට යෙදුණු අතර එයින් බේරී ඉතිරි වූවෝ ඔවුන් විසින්ම පසු කලෙක තම දිශානතිය උඩුයටිකුරු කරගන්නා ලදුව හිමින් සීරුවේ පවතින ක්‍රමය හා අනුගත වූ බැවිණි.


දයාවංශ ජයකොඩි සමාගමේ ප්‍රකාශනයකි