Friday 31 December 2010

අනිච්ඡාවත සංඛාරා - සුදු සාරියේ ශෝකය


එදා සුදු සාරියක් ගැන ලියන්න ගිහිල්ල ලියවිලා තිබුනේ මගේ කහ සාරිය ගැන කතන්දරයක්. මෙන්න අද කියවන්න මං මුලින් ලියන්න හිටිය ඒ සුදු සාරියේ ශෝකය කතන්දරේ.

ජීවිතය අනියතයි, මරණය නියතයි කියනවනේ. අපි පොඩි කාලේ අපේ සීය ලා ආච්චි ලා මැරුණා. ඊ ලඟට වැඩිහිටි ඥාතියෝ අවසන් ගමන යන්න පටන් ගත්තා. ඉඳලා හිටලා කවුරු හරි පෝලිමෙන් පිට නොපැන්නෙමත් නෑ. කොච්චර දුක වුනත්, දවසක අපේ දෙමව්පියෝ විතරක් නෙමේ, අපේ දරුවන් ගේ දෙමව්පියන්ටත් ඔය ගමන යන්න වෙනවා.

ඉස්සර මං කල් මරපු වැඩපොලේ කාන්තා පක්‍ෂයේ -බවලත්- උදවිය තමන් ගේ අම්ම හරි, තාත්ත හරි වගේ පවුලේ කෙනෙක් මිය ගිහින් නිවාඩුවෙන් පස්සේ වැඩට එන්නේ සුදු සාරියක් ඇඳගෙන.

එදා ඉඳං සති දෙක තුනක් ඔන්න සුදු සාරි අඳිනවා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගන්නවා.

තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බහිනවා.

තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරිවලට බහිනවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී දන්නෙම නැතුව මෙන්න සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගන්නවා. එතනින් ශෝක කාලය අවසානයි කියලා අපි දැනගන්න ඕනෑ.

ඔන්න අපේ වැඩ පොලේ අපිට වඩා සීනියර් පොරක් හිටියා, හොඳ කොල්ලා. පොර බැඳලා හිටියේ අපේ එකවුන්ට්ස් සෙක්ෂන් එකේ රූබර අංශයක්. දෙන්න ලඟ ඇනෙක්සියක තමයි නතරවෙලා හිටියේ.

ඉතිං පොරගේ අම්ම මිය ගියා. ගම දුර පලාතක. අපේ කීප දෙනෙක්ම මළ ගෙදරත් ගියා.

සතියක් විතර ගියාට පස්සේ ඔන්න ජෝඩුවම වැඩට ආවා. මට දෙන්න හමුවුණා වැඩපොලේ ගේට්ටුව ලඟදී.

අපේ පොර වෙනදා ඇඳල ඉන්නවා දැකල පුරුදු හොඳ නිල් පාට එමරල්ඩ් කමිසෙකුයි, දුඹුරු කලිසමකුයි ඇඳල හිටියේ.

ඒකටත් එක්ක වයිෆරේ.

සුදුම සුදු සාරියකුයි, හැට්ටෙකුයි විතරක් නෙමේ සුදු පාට කාන්තා සපත්තුත් දාලයි හිටියෙ.

අම්ම මැරිච්ච පොර වෙනද ඇන්ද ඇඳුම් සෙට් එකම ඇඳගෙන වැඩට ආවට, නැන්දම්ම ගේ මරණයේ ශෝකයට ලේලි සති තුනක් විතර සුදු සාරි ඇන්දා.

ඊට පස්සෙ, සුදු සාරියේ පොඩි කළු තිත් වැටිච්ච, එහෙමත් නැත්තං ලොකු කළු තිත් වැටිච්ච සාරි එහෙම අඳින්න පටන් ගත්තා.

තවත් සති දෙක තුනක් යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට තිත් වැටිච්ච සුදු සාරිවලට බැස්සා.

තවත් සති දෙක තුනක් විතර යනකොට ඔන්න ලා කහ පාට, ලා නිල් පාට, ලා රතු පාට සාරි ඇඳීම ඇරඹුවා. සුද නැහැ. පාට. හැබැයි ලා.

අන්තිමේ දී සුපුරුදු පරිදි "පාට, පාට, මල් වැටිච්ච සාරි" අඳින්න පටන් ගත්තා.

මං හිතන්නේ ඒ විදියට ශෝක කාලය අවසානය සනිටුහන් වුනේ තුන් මාසේ දානෙන් පස්සෙයි.

අන්න නැන්දම්ම ලා ට, ලේලි ලා ගේ ආදරේ.

ඒකටත් එක්ක පුතාලා!

-කතන්දරකාරයා

ප/ලි
හහ්, හා!
මේ කතාවේ අන්තිම වාක්‍යය ටයිප් කරල ඉවර වෙන කොටම තවත් සාරි කතන්දරයක් මතක් වුණා.

දැන් ඉතිං, ඒකත් ලියන්න වෙනවා.

දැන්ම නෙමේ, පස්සෙ දවසක.

Wednesday 29 December 2010

කහ සාරිය සහ මල් සාරිය -කොල්ලන් ට නොතේරෙන කතන්දරයක්!


බාරිය අප පොරණ පටන් ඇන්දේ සෝබන සාරිය
සාරිය මිස ගවුං කොටේ දුවේ උඹට නැත කාරිය

ඔය විරිදු පදේ අපේ අම්මලා ගේ කාලේ දුවකට අවවාද කියන නමින් ප්‍රසිද්ධ වුණු විරිදු පෙලක කොටසක්.

දැං ඔය සාරි කිව්වාම ජාති දෙකක් තියෙනවානේ. සාමාන්‍යයෙන් සාරිය කියන්නේ ඉන්දියානු සාරියටයි. ඒ කියන්නේ අර අනාදිමත් කාලෙක ජයා බහදූරිලා, හේම මාලිනී ලා වගේ අය හින්දි චිත්‍රපටිවල ඇඳපු සාරියයි. දැන් ඉන්න හින්දි නිලියෝ නං අඳින්නේ අමුතුම සාරි ජාතියක්. තාමත් සෝනියා ගාන්ධි ලා අඳින්නේ ඒ පරණ සාරියම තමයි.

සිංහල සාරියට කියන්නේ ඔසරිය කියලයි. අර මාල හතක් දාන්නේ ඒ ඔසරිය අඳින කොටයි.

අපේ ආච්චී, අම්ම ගේ අම්මා ඇන්දේ ඔසරිය. එයාගේ ගම හොරණ පැත්තේ. හැබැයි අපේ අම්මා අපි ලොකු කාලේ වෙනකම්ම ඇන්දේ ඉන්දියානු සාරියයි.

කොළඹ පැත්තේ ඉපදුණු අනිත් ආච්චී, තාත්තා ගේ අම්මා, ඇන්දේ ඉන්දියානු සාරිය. එයා ගේ දූවරු, අපේ නැන්දලා, ඇන්දෙත් ඒ ඇඳුම ම යි.

කතන්දර හාමිනේ නං සාරි අඳින්නෙම නෑ හා සමානයි. අපේ වෙඩිම දවසෙයි, හෝම් කමින් එක දවසෙයි ඇන්දට පස්සේ ආයෙ සාරියක් ඇන්දේ මාස හයකට විතර පස්සේ යාළුවෙකු ගේ මගුල් ගෙදරක යන්නයි.

මං හා හා පුරා කියල එයාට තෑග්ගකට අරං දුන්නු සාරිය නං එයා කවදාවත් ඇන්දෙ නෑ!

මේ අපි බඳින්න ඉස්සර කාලේ. ඒ සාරිය ටික දවසකින්ම මාත් අඳුනන ඇන්ටි කෙනෙකුට තෑගි දුන්නා මං කඩෙන් ගන්න කොට දාල දුන්නු බ්‍රව්න් පේපර් බෑග් එකේ තියෙද්දීම.

මල් පොඩි වැඩියි කියන්නෙ!

අනේ පව් කතන්දරකාරයා නේද?

එතකොට ඒ ඇන්ටිට ඒ මල් පොඩි වැඩි නැද්ද, අනේ මන්දා?

මගේ ඒ දවස්වල මාසෙක පඩියෙන් පහෙන් එකක් ම (20%) දීල සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුවයි ඒ තෑග්ග ගත්තෙ.

ඒ පාඩුව ගැන හිතේ ඇතිවුණු දුකයි, තෑග්ග රිජෙක්ට් වීම ගැන දුකයි දෙකම වසං කරගෙන, තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග නේ දෝ කියල මං ඔන්න ඔහේ හිත හදා ගත්ත.

-කතන්දරකාරයා

ප/ලි
මං ලියන්න ගියේ මේ කතන්දරේ නෙමෙයි, වෙන එකක්. ලියන්න ගියේ සුදු සාරි ඇඳීම ගැනයි. ලියවුනේ කහ සාරිය ගැනයි.
සුදු සාරි කතාව ඊලඟට බලාපොරොත්තු වන්න.

ඒක සුදු කොඩි කතන්දරේට වඩා ඒක වෙනස් එකක්.

Monday 27 December 2010

අපේ සීයා අහපු අපූරු සාත්තරේ


සීය ගැන මේ කතාව මට කිව්වේ සීය ගේ බාල දුව, ඒ කියන්නේ මගේ පුංචි අම්මා. එයා මේ දවස් වල අපේ ගෙදර ඇවිත් පොඩි නිවාඩුවකට. මං සීය ගැන කතන්දර ලිව්වට, පුංචි අම්මා ගැන නම් කතන්දර ලියන්න ඉන්නේ ඉතිං එයා ආපහු එයා ගේ ගෙදරට ගියාට පස්සෙ තමයි. මොකටද නිකං ටොකු කන්නේ නේද?

ඔන්න අපේ සීය තරුණ කාලේ, මේ කියන්නේ ලෝක යුද්දෙ කාලෙටත් කලින් වෙන්න ඕනැ, ගමේ ඉඩමකට වැටක් ගහන්න කටු කම්බි රෝල් වගයක් ගෙනත් තියෙනවා.

මේව ඒ දවස්වල හරි ගණං බඩු.

ඉතිං වැට ගහන්න කලින් කවුද මහ රෑක කම්බි රෝල් ටික හොරකම් කරලා.

අපේ කෝට්ටෙ ගෙදරට හොරු පැනලා කතන්දර හාමිනේ ගේ රත්තරං බඩුයි අපේ මගුල් මුදුයි හොරකම් කළ වෙලේ මං පොලිසියට පැමිණිලි කරපු කතන්දරේ මතකයි නේද? මට වැඩිය මොලේ තිබුණු අපේ සීය ඔය පොලිසි ගානෙ ගිහිල්ල නෑ.

සීය කරල තියෙන්නෙ සාත්තරයක් අහන්න යන එකයි. ඒ හොරා කවුද, බඩු කොහෙද තියෙන්නෙ වගේ විස්තර සාත්තරේ බලෙන් දැන ගන්නයි.

ඒ ටික දන්නව නං ඉතිං ප්‍රශ්ණේ විසඳාගන්න පුළුවන්නේ.

මේ සාත්තරයක් අහන්න ගිය තැන හරිම හාස්කම් තියෙන තැනක්. දේව ආරූඪයෙන්, පරල වෙලයි සාත්තර කියන්නේ මේ ස්ථානයේ.

ඔන්න අපේ සීයයි, යාළුවෙකුයි ගිහින් තමන් ගේ වාරේ ආපුහාම සාත්තර කියන කුටිය ඇතුලට ගියා. බුලත් කොලේක තියල රුපියලකුත් ශත දහයක් තියන්න ඕනෑ පඬුරු විදියට.

ශත දහය දෙවියන්ට මගෙ හිතේ. නිකං 10% සම්තිං එකක් වගේ එකක්.

ඔන්න පඬුරු දුන්නු ගමං සාත්තරකාරය පරල වුණා.

"යුෂ්මතුන් මෙහි පැමිණ සිටින්නේ නැතිවූ යමක් පිළිබඳව අහන්නටයි."

ඔය කියවෙන්නේ කිරි ගහට ඇන්න වගේ. සීයටයි යාළුවටයි හරිම ජොලි.

"කියව, කියව, වහා කියව!" සාත්තරකාරය කෑ ගහනව.

"එහෙයි කියපං!" යාළුව කිව්ව සීයට. සීයත් කිව්ව "එහෙයි" කියල.

"මෙය වටිනා දෙයක්. ඉතා වටිනා දෙයක්. සත්‍යදැයි කියව, සත්‍යදැයි කියව."

"එහෙයි."

"මේ භාණ්ඩය ගෙන ගොස් ඇත්තේ යුෂ්මතුන් හොඳින් දන්න කෙනෙක්."

ඔන්න වැඩේ නියම ට්‍රැක් එකට වැටෙනව.

"හොඳමයි."

"ඒ චෞරයා මෙය රැගෙන ගොස් ඇත්තේ තමන් ගේ ඉනේ සඟවා ගෙනයි."

අපේ සීයට බකස් ගාල හිනා ගියා. අර එකක් රාත්තල් පනහේ කටු කම්බි රෝල් කොහොමද ඉනේ හංගගෙන යන්නේ?

ඔන්න සාත්තරකාරයාට තද වුනා.

"යුෂ්මතා සිනාසෙන්නේ ඇයි? යුෂ්මතා මට අපහාස කරනවා නොවේද? වහා මේ කුටියෙන් පිටවෙව!"

එහෙම කොහේ යන්නද, මේ සල්ලිත් ගෙවලා, නේද? අපේ සීය අහුවෙයි ඕවට.

සීය ඇහැව්වලු නිකං නක්කලේට වගේ:

"එතකොට ස්වාමීණි පඬුරු"?

"තගේ කිලිටි පඬුරුත් රුගෙන වහා මගේ විමාණයෙන් පිටවෙව!"

සාත්තරේ එතනින්ම ඉවර වුණා.

සීය කරල තියෙන්නේ අර රුපියලයි ශත දහයයි ආපහු අරගෙන යාළුවත් එක්ක දේව කුටියෙන් පිටවෙලා ගෙදර යන එකයි.

හොරා කවුද කියල සාත්තරෙන් හොයා ගන්න බැරි වුණු හින්ද සීය කරල තියෙන්නේ ඊලඟට තියෙන හොඳම වැඩේ.
ඒක තමයි වස් කවියක් කියන එක.

මේ හොරකම කරපු එකාට ලේ බඩ යන්න කියල වගේ සාප කරල හොඳ වස් කවියක් ලියව ගෙන අල්ලපු ගමේ ද කොහෙද තිබුණු දේවාලෙට ගිහිං එක දවසයි කියල තියෙන්නේ.

මෙන්න පහුවදා උදේ වත්ත අයිනට ගෙනත් දාල තිබුණලු අර හොරකම් කරපු කටු කම්බි රෝල් ටික සේරම.

කොහොමද වස් කවි වල බලේ?

-කතන්දරකාරයා

ප/ලි
සීයා ගේ අනිත් කතන්දර කියවල නැති අයට මෙන්න ලින්ක්ස්.
1. ජෝන් මහත්තයා සයිලන්ස් කරපු හැටි
2. සීය කොල්ල කාලේ
3. සීය ගේ කෝට් එක නැතිවෙලා
4. හාමුදුරුවෝ සරෙන්ඩර්

මෙන්න ආච්චි ගැන කතන්දර
1. මහා භය වීම
2. ආච්චි ගේ පෙට්ටගම
3. ආච්චි ගේ රෙද්ද (පොලිසියට බයේ දුවපු කොල්ලා)
4. ආච්චි ගේ සීනි බෝතලේ

Saturday 25 December 2010

දොස්තර හේවා ගැන හෙළිදරව්වක් - Dr Hewa's real identity revealed...!!!


අපි හැමෝම අහල තියෙනවනේ පිං මාළු වලේ කුසල්හාමි මාළු බානවා කියන සින්දුව. මේ සින්දුවෙන් කියවෙන්නේ තමන්ගේ නමේ සැබෑ තේරමට හාත්පසින්ම වෙනස් හැසිරීම් තියෙන මිනිස්සු ගැනයි. කුසල්හාමි අකුසල් කරන කෙනෙක් වුනා වගේ.

ඒක මහ අසාධාරණ කතාවක් එක අතකට. මොකද අපි කාගෙවත් නම දාල තියෙන්නේ අපෙන් අහල නෙමේ නේ. මං හිතන්නේ නෑ, අපේ මාරයා ගේ තරිඳු ගේ පැවිදි නම්වත් ඒ ගොල්ලන්ගෙන් අහල දැම්මයි කියලා ගුරු හාමුදුරුවරු!

අපේ ඉරණම අනුව නම් දානව නං ඉතිං ලංකාවේ ජනගහණයෙන් 99.9% කට දාන්න වෙන්නේ "පාලිත" කියලා තමයි!

ඔය කතාවෙම අනිත් පැත්ත තමයි තමන්ගේ නමෙන් හැඟවෙන ආකාරයයේ රැකියාවක් ද කරන්නේ කියන එක.

ඔන්න ඉස්සර අපේ ඉස්කෝලෙ විද්‍යාව උගන්න ගුරුවරයෙක් හිටිය පොරගෙ නම විද්‍යාරත්න. අපේ පැත්තෙ දොස්තරවරයෙක් හිටිය වෛද්‍යසේකර කියන නමින්.

වෛද්‍යසේකර කියල ගායකයෙකුත් හිටිය තමයි, ඒත් ඉතිං ඒකෙ අවුලක් නෑනෙ. වෛද්‍යසේකර කියල ලෙඩ්ඩුත් ඇති එහෙම නං ඕනැ පදං.

අද මගෙ කතන්දරේත් දොස්තර ලෙඩ්ඩු සෙල්ලමක් ගැන.

ඔන්න එක දොස්තර කෙනෙක් හිටිය, පොර ළමයින් ගේ ලෙඩ ගැන ප්‍රසිද්ධ කෙනෙක්.

ඔන්න දවසක් පොරට තමන්ගේ ළමයව පෙන්නන්න තාත්ත කෙනෙක් ඇවිත්.

"අර - ඩොක්ටර් හේවා - ව හම්බ වෙන්න පුළුවන් ද අද?"

"ඩොක්ටර් හේවා, කවුද ඒ? එහෙම ඩොක්ටර් කෙනෙක් මෙහෙ නෑනේ?"

"මොකද නැත්තෙ, අපි දන්න කියන කීප දෙනෙක්ම ඩොක්ටර් හේවා ව හම්බ වෙලා තියෙනව මෙතනදී."

"අනේ මන්ද? සමහර විට නම වැරදිලා වෙන්න ඇති. ඉතිං කාට බෙහෙත් ගන්නද මේ? මොකක්ද ලෙඩේ?"

"මේ අපේ බබාව පෙන්නන්න."

"ඩොක්ටර් හේවා කියල ළමයින් ට බේත් කරන පීඩිට්‍රීෂියන් කෙනෙක් නම් නෑ!"

ඔන්න ටික වෙලාවකින් තේරුණා වැඩේ!

මේ හොයන්නේ ඩොක්ටර් ළමාහේවා වයි. පොර ළමා රෝග විශේෂඥයෙක්. අසනීප වෙච්ච ළමයගේ තාත්ත හිතල තියෙන්නේ දොස්තර ගේ නමේ ළමා කියන්නේ අර නීතිඥ සුමනසේන කතන්දරේ වගේ පොර ගේ ටයිටල් එකේ කෑල්ලක් කියලයි.

-කතන්දරකාරයා

ප/ලි
ඔය කතාව අහපු දාම මං හිතාගත්ත ගයිනකොලජිස්ට් කෙනෙක් වෙන්නෙ නෑ කියල ඊලඟ ආත්මෙවත්.

Thursday 23 December 2010

ලෝක වාර්තාවක් තැබූ කෙටිම ලව් එෆෙයාර් එක ලංකාවෙන්...!!! World record shortest love affair - set in Sri Lanka


සාමාන්‍යයෙන් සලකල බලමු සාමාන්‍ය ලව් එෆෙයාර් එකක් ඇරඹෙන සාමාන්‍ය විදිය.

ඔන්න කොල්ලෙක් දකිනව කෙල්ලෙක්ව. පොඩි අදහසක් පහල වෙනව. ටිකක් වටේ කැරකෙනව. හිනාවෙන්න, කතා කරන්න හදනව. ඔහොම ගිහින් අන්තිමේදි අහනව. කෙල්ල දෙන තීරණය අනුව වැඩේ 50% ඉඳල 100% දක්වා යන නොඑන එක තීරණය වෙනව.

වැඩේ 100% වුනා කියන්නේ ලව් එක ඔෆීෂියලි ඇරඹුණා කියන එකයි.

ඒ සාමාන්‍ය කතන්දරේ එක එක අදියරවලදී පොඩි පොඩි වේරියේෂන්ස් වෙන්න පුළුවන්. ඒ වෙනසකම් එක්ක එන කම්බිනේෂන්ස්, පර්මියුටේෂන්ස් සේරම ගණං කලොත් සාමාන්‍ය ලව් ස්ටෝරීස් දාස් ගානක ආකෘති ලැබෙයි.

එයින් තුන හතරක් අසාමාන්‍ය ඒවා වේවි.

සමහරු ලව් කරන්නේ එක පාරයි. ඒ මුල්ම ලව් ප්‍රොජෙක්ට් එක ඉවරවෙන්නේ කසාද බැඳලා. පස්සෙන් පහු දරු මල්ලො ලැබිල, නාකි වෙලා, මිය පරලොව යනකං මහා දීර්ඝ කාලයක් ඒ වගේ ප්‍රේම සම්බන්ධ පවතිනවා වෙන්න පුළුවනි. ඒ වගේ දීර්ඝතම ලව් එෆෙයාර්ස් ගැන නම් ඉතිං ලෝකේ වාර්තා අපමණයි.

අද මං මේ කියන්න යන්නේ මං දන්න කෙටිම කෙටි ප්‍රේම සම්බන්ධය හෙවත් ලව් එෆෙයාර් එක ගැනයි. මේක තමයි තාමත් ලෝක වාර්තාව උසුලන්නේ, මං හිතන විදියට.

ඔන්න අපි දන්න කියන පොරක් හිටිය. කෙල්ලන් ගේ හිත යන පිං පාට හැන්ඩි කොල්ලෙක්. සිකුර ඔළුවට ගහල ඔන්න ටික කාලෙකින්ම කෙල්ලෙක් ගැන අදහසක් ඇතිකර ගත්ත. වටින් පිටින් විපරම් කරල, පණිවිඩ ඇරල ඔන්න ටිකක් තත්වය පොසිටිව් වගේ තේරුණා කියමුකෝ.

පොර මොන ආකාරෙකින් හරි ප්‍රශ්ණය ඇහැව්ව, කෙල්ල කැමති වුණා කියලයි අපිට ආරංචි වුනේ.

කොහොම හරි ඉතිං ඔන්න පොර හා හා පුරා කියල කෙල්ලව බලන්න එයා ඉන්න නේවාසිකාගාරයට එකට යන්න පිටත් වුණා.

මෙන්න බොලේ හැරෙන තැපෑලෙන් පොර ආපහු එනවා.

"මොකද මචං ගිය පයින් ම ආපහු?"

ම්හු! නෝ කතා, නෝ සිනා.

පස්සෙ ආරංචි වෙව්ව විදියට මෙන්න මෙහෙමයි වෙලා තියෙන්නෙ.

කෙල්ල බලන්න ගිහිං දෙන්න කතාකරන්න නේවාසිකාගාරයේ බංකුවක වාඩි වෙච්ච ගමං, පොර ඇහැව්වලු කෙල්ල ගෙන් මෙන්න මෙහෙම.

"ඉතිං මට කියන්න බලන්න ඇයි ඔයා මට කැමති වුනේ?"

කෙල්ල ගත් කටටම කිව්වලු මෙන්න මෙහෙම.

"කවුද ඉතිං ඔයාට කැමති වුනේ?"

ලෝක වාර්තාගත කෙටිම ප්‍රේම සම්බන්ධයේ ආරම්භය සහ අවසානය අන්න එහෙමයි වුනේ!

-කතන්දරකාරයා

ප/ලි
මේ වාර්තාව බිඳින්න පුළුවන් ලව් ස්ටෝරීස් හෙම කවුරු හරි දන්නවද?

Tuesday 21 December 2010

මහදැණමුත්තා ගේ ශිෂ්‍යාව කවුද කියලා දන්නවද?


අපි පොඩි කාලේ ඉඳලා ම අහලා තියෙන විදියට මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ, එහෙම නැත්තං ශිෂ්‍යයෝ විතරයි නේ.

දන්නවනේ, රබ්බඩ අයියා, පුවක් බඩිල්ලා, පොල් බෑ මූණා, කෝටු කිතයියා සහ ඉඳිකටු පැංචා කියන කෂ්ටිය. කාලෙකට කලින් කතාවක තවත් නමක් තිබුණා වගේ මතකයකත් තියෙනවා. නමුත් උන්නැහැහේ ගේ නම නං සිහියට එන්නේ නෑ.

මට ලඟදි ආරංචියක් ආවා ඔය මහදැනමුත්තාට හිටියේ පිරිමි ගෝලයෝ විතරයි කියන එක බොරුවක් ලු, මහදැණමුත්තාගේ ගෝල පිරිස අතරේ ශිෂ්‍යාවක් දෙන්නෙකුත් හිටියාලු කියලා.

මේ එක් කාන්තා ගෝලයෙක් (ගෝලි කියල කියන්න බෑ නේද?) එහෙම නැත්තං ගෝලිච්චියෙක් සම්බන්ධ වුණු කතන්දර දෙක තුනකුත් මට අහන්න ලැබුණා.

මේ කතන්දර ටික බ්ලොග් එකේ දාන්න හිතාගෙන ලියන්න ගිය වෙලේ මට ආපු ලොකුම ප්‍රශ්ණය තමයි, ගෝලිච්චිට හරි හමං නමක් නැති එක.

හිතුවා, හිතුවා, හිතුවා, එක එක නම් හිතට ආවා, ඒත් ඒ එකක් වත් හරි හමනකට හිතට ඇල්ලුවේ නෑ.

ඒක හින්දා මට හිතුණා කතන්දර බ්ලොග් එකේ ආදරණීය පාඨක පිරිසගේ මේකට උදව් ඉල්ලන්න.

කරුණාකරලා මහදැනමුත්තා ගේ අපි නොදන්න ගෝලිච්චිට ගැලපෙන නමක් යෝජනා කරන්න ප්ලීස්!

ඒ එක්කම මේ මහදැණමුත්තා ගේ ගෝලිච්චි ගැන කතන්දර දන්න අය ඉන්නවා නං, ඒවත් එක්කෝ මෙතනම ලියන්න. දිග වැඩිනම් වෙනම ලියලා එවන්න.

-කතන්දරකාරයා

ප/ලි
හැබැයි ඔන්න,
සොඳුරු සිත,
අක්කණ්ඩී,
හරී,
ෆා ද බ්ලොගී,
ටී.එම්.ජී,
ඇන්ශ් ලකී ශ්‍රී ජේ,
චේජනා,
හා පැංචි,
පොඩි කුමාරිහාමි,
කලිකාල,
ජීවිතේ මල්
හිරු ප්‍රභා වගේ නම් නං ඔට්ටු නෑ, හොඳඳ?

අරුණි ශපීරෝ නං ඉතිං ගෝලයෙක් නෙමේ මහදැනමුත්තියක් නේ!

Sunday 19 December 2010

ඒ සල්ලිත් දාන්න අංකල් දෑවැද්දට...!!!


මේක මං අහපු කතන්දරයක්. ඒ කියන්නේ සෙකන්ඩ් හෑන්ඩ් අත්දැකීමක්. නමුත් අවිස්වාස කරන්න හේතුවක් තිබුනෙ නෑ කියපු කෙනා මගේ හොඳ මිත්‍රයෙක් වෙන රත්නායක මහත්තය නිසා.

මේ කතන්දරේ ඇහැව්වාම මට මුලින්ම ආවේ නවත්තගන්න බැරි හිනාවක්. හැබැයි ටිකක් වෙලා යනකොට, කතන්දරේ බලපතල කම තේරුණාම, ආවේ නං අමුතුම හැඟීමක්, ඒ කියන්නේ බය, ලැජ්ජාව, තරහ, කණගාටුව, මේ සේරම කවලම් වෙච්ච හැඟීමක්!

මගේ හොඳම යාළුවෙක් වෙන රත්නායක එක්ක එකට වැඩපොලේ ඉඳල තියෙනව එක විදියක පොරක්. එක විදියක් කියන්නේ මේ පොර ගැන පැතිරිලා තිබුණු විවිධ කතන්දර හින්දයි.

එයින් එක ජොලි කතාවක් කියන්නම් කෝ ඉස්සෙල්ලාම පොඩි ඇපිටයිසර් එකක් විදියට.

කොල්ලෝ කැම්පස් එකේ ඉන්න කාලේ ගෙදරින් සල්ලි දෙනවනේ ජීවත් වෙන්න. ෆයිනල් එක්සෑම් ලිව්වට පස්සේ පොරට කැම්පස් එකේම ඩිමොන්ස්ටේ්‍රර් ජොබ් එකක් සෙට් වුණා. විභාගෙ ඉවර වෙලා, ලැබ් රිපෝට්ස් හෙමත් ඉවර කරල පොර ගෙදර ගිහිං දවසෙන් දෙකෙන් ජොබ් එකට ආපහු ආවා. ඉතිං වෙනද වගේම, කලින් හිටිය බෝඩිමේ ඉඳල කැම්පස් යන්න ගත්තා.

ඔය ජොබ් කතා ගෙදරට කියන්නේ මොකටද?

ඉතිං වෙනද වගේම පොරට ඒ මාසේ අන්තිමටත් ගෙදරින් සල්ලි දුන්නා. ඔය අතර ඉස්ඉස්සෙල්ලාම පඩියත් හම්බ වුණා නේ කැම්පස් එකේ ජොබ් එකෙන්.

අපේ පොර කරලා තියෙන්නේ ගෙදරින් හම්බ වෙච්ච සල්ලි වලිනුත් ගාණක් දාලා මුළු පඩියම බැංකුවේ දාපු එකයි.

මාස ගණනාවක්ම පොර ඔය වැඩේ කෙරුව කියලයි ආරංචිය. මං හිතන්නේ විභාග ප්‍රතිපල ඇවිල්ලා පොර ආණ්ඩුවේ තැනක වැඩට යන්න වෙන පලාතකට ගියාට පස්සේ තමයි ගෙදරින් සල්ලි ගැනීම නවත්තලා තියෙන්නේ.

දැන් මෙන්න අද ප්‍රස්තූත කතන්දරේ.

ඔහොම අවුරුදු තුන හතරක් ගියාට පස්සේ අපේ පොර බඳින්න සෙට් වෙලා තියෙනවා. ප්‍රපෝසල් එකක් ද, ලව් මැච් එකක් ද කියල විස්තර නං මං දන්නේ නෑ. කොහොම වුණත් හොඳ පවුලක, හොඳ කෙල්ලෙක් කියල තමයි ආරංචි වුනේ.

ඉතිං වැඩපොලේ හුඟ දෙනෙකුටත් වෙඩිමට ආරාධනා කරල තිබුණ. අපේ කට්ටිය කතා වුණා, වෙඩිම දවසේ උදේ දහයට විතර වැඩපොල ලඟට සෙට් වෙලා සේරම කට්ටියම එකට යන්න. කාර් තුන හතරකුත් ලෑස්ති කරගත්තා, තියෙන තියෙන හැටියට.

කට්ටිය පිටත් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දී මෙන්න බොලේ අපේ පොර එනවා මෝටර් සයිකලේක හති දාගෙන.

මගුල කැන්සල් කියලා කට්ටියට කියලා හැරුණු පයින් ආපහු දිව්වා.

අපේ කට්ටිය අන්දුං කුංදුන්.

සතියකින් විතර ඔන්න ආරංචි වුනා වෙලා තියෙන සන්තෑසිය.

වෙඩිමට කලින් දා කෙල්ල ගේ ගෙදර පිරිතක් ලු. මගුල් ගෙදරකට කලින් දානයක් දීල පිරිතක් කියන සිරිතක් සමහරුන් ගේ තියෙනවනේ.

පොරත් ගිහින් තියෙනවා පිරිතට ආරාධනය අනුව. ඔතනදී, දානේ, පිරිතෙ කටයුතු ගැන කතාකර කර ඉන්න ගමං මූට කියවිලා තියෙනවා මෙන්න මෙහෙම.

"අනේ මේ දාන වලට, පිරිත් වලට, වියදම් කරන සල්ලිත් දෑවැද්දට දුන්න නං ඉවරයිනේ!"

ඕක ඇහිච්ච කෙල්ලගේ තාත්තට කෙල කෝටියට කේන්ති ගිහිං.

එච්චරයි.

-කතන්දරකාරයා

ප/ලි
කෙල්ලගේ තාත්තට කේන්ති ගියාට පස්සේ වෙච්ච දේ ගැන ආයෙ දෙවෙනි පාරටත් ලියන්න ඕනැ නෑනේ, නේද?

Thursday 16 December 2010

ස්ට්‍රෝබෙරි ජෑම් කාපු හැටි


ස්ට්‍රෝබෙරි කියන කොට මට මුලින්ම මතක් වෙන්නෙම ස්ට්‍රෝබෙරි අයිස්ක්‍රීම්. ස්ට්‍රෝබෙරි ගෙඩි නං ඉතිං වැඩිය කොළඹ පැත්තේ දකින්න නෑනේ. නුවරඑලිය වගේ පලාත්වල නං හැදෙනවා.

පිං කරන්න ඕනැ ඉතිං ඒව කන්න. පින පල දීලා මාත් කාල තියෙනවා නුවරඑලියේ දී.

ස්ට්‍රෝබෙරි වලින් හදන්න පුළුවන් රසම කෑමක් තමයි ස්ට්‍රෝබෙරි ජෑම්. කතන්දර හාමිනේ පොඩි කාලේ, ඒ කියන්නේ ඒ ලෙවල් කරන්න සෙන්ට්‍රල් එකට යන්න ගෙදරින් පිටත්වෙන්න කලින් කාලේ, ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා තියෙනවාලු ඕනැ පදං. සමහර විට කෂ්ටිය දැකලත් ඇති "ස්ට්‍රෝබෙරී ජෑම් ෆෝ සේල්" කියලා ගේ ඉස්සරහා බෝඩ් එකක් ගහලා තියෙනවා හෙම.

මෙන්න නැන්දම්මා ගේ රෙසිපි එක.

අවශ්‍ය ද්‍රව්‍ය
ස්ට්‍රෝබෙරි කිලෝ බාගයයි
සීනි කිලෝ බාගයයි

ක්‍රමය
කුඩාවට කපන ලද ස්ට්‍රෝබෙරි වලට සීනි සහ අවශ්‍ය නම් වතුර ස්වල්පයක් දමා මද ගින්නේ රත්කරමින් හොඳින් කවලම් කරන්න. හරි පදමට සෑදුණු පසු ලිපෙන් බා උණුවතුරේ තැම්බූ බෝතලයකට දමා හොඳින් වසන්න.

ඔය කිව්වට මං දන්න කාලෙක නං කතන්දර හාමිනේ ගෙදර ස්ට්‍රෝබෙරි ජෑම් හදලා නෑ. ඊට වඩා ලේසියි නේ අර කාර්ගිල්ස් එකෙන් ගත්තනං කියලයි එයා කියන්නේ!

මං පොඩි කාලේ කෑවේ නං එක්කෝ වට්ටක්කා ජෑම්. එහෙම නැත්තං තක්කලි ජෑම්. අපේ අම්මා හැදුවේ ඒ ජාති දෙක විතරයි. අපි ඉතිං පිං කරල තිබුනේ නැහැනේ ස්ට්‍රෝබෙරි හැදෙන පලාතක ජීවත්වෙන්න –ඔය කතන්දර හාමිනේ වගේ.

ඉතිං, පොඩි කාලේ ඉඳලම මගේ හිතේ තිබුණු එක්තරා සිහිනයක් වුනේ ස්ට්‍රෝබෙරි ජෑම් කන එකයි. මට අවුරුදු දොලහක් විතර කාලේ ඒකට චාන්ස් එකක් ලැබුණා.

මේ දවස්වල මං ඉස්කෝලේ නිවාඩුවට ගිහිං හිටියා අපේ පුංචි අම්මා කෙනෙකු ගෙදර. ඉතිං එහෙ ඉන්න අතරේ දවසක මායි පුංචි අම්මයි ගියා එයා ගේ යාළුවෙකු ගේ ගෙදරට.

කතා බහ, ඕපා දූප මැද්දේ ඔන්න තේ වෙලාව ආවා. තේ බොන්න කලින් එතනට ආවා ස්ට්‍රෝබෙරි ජෑම් ගාපු සැන්ඩ්විචස් පිඟානක් ම.

දැක්ක ගමන් කටට කෙල ඉනුවා කිව්වොත් -ඔබ හරි.

පැනපු ගමං මං සැන්ඩ්විච් එකක් අරගෙන මාර ජොලියෙන් කටේ දාලා කෑල්ලක් හපලා කෑවා.

බුදු අම්මෝ.. .!!!

මේ ස්ට්‍රෝබෙරි ජෑම් සැන්ඩ්විච් නෙමේ. තෙල් බේරෙන ලුණු මිරිසක් නේ පාන් වලට ගාල තියෙන්නේ. ලුණු මිරිසෙත් හොඳ බ්‍රෑන්ඩ් එක.

-කතන්දරකාරයා

ප/ලි
කොහොම හරි ඉතිං, මං මුලින්ම ස්ට්‍රෝබෙරි ජෑම් කෑවේ වෙන්ඩ කතන්දර හාමිනේව හමුවෙන්න ගිය දවසක එයාට ගෙදරින් එවල තිබුණු බෝතලයකින්.

බුදු අම්මෝ ඒවයේ රහ!

පොඩි කාලේ ඉඳල තිබුණු මගේ ස්ට්‍රෝබෙරි සිහිනය සැබෑ වුනේ එදායි!!!

Monday 13 December 2010

අම්මා ට ටී.වී. එකක් - To Mother with love


ආදරය කරන කෙල්ලට නං පුදයි ජීවිතේ
පව් නේද? මව්ට කුස්සියෙ වැඩ ඉවරයක් නැතේ!

අහල තියෙනව නේද ඒ සින්දුව. මං හිතන්නෙ ඒක කියන්නෙ, මැක්ස්වෙල් මෙන්ඩිස්. අද මං මේ කියන්න යන කතන්දරයට අදාල හින්ද මට හිතුන ඒ සින්දුවෙන් පටන් ගන්න.

මේ කතන්දරය තරමක් වෙනස් එකක්. මගෙ වෙන බහුතරයක් කතන්දර වගෙ උපහාසාත්මක එකක් නොවේ. අම්මලා ගැන කවුද උපහාස, අපහාස කතා ලියන්නෙ නේද? (ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා කතන්දරේ පොඩ්ඩක් අමතක කරමු කෝ!)

මේ කතන්දරේ ලියන්න මූලිකම හේතුව වුනේ මගේ හිතවත් බ්ලොග්කාරියක් වන මනෝ ගේ අහස්ගව්ව බ්ලොග් එකේ කාළෙකට ඉස්සර තිබුණු කතාවක්.

මගේ පුතා හරි හපනා පනම් තුනක් පඩි කනවා ඉන් පනමක් මට දෙනවා කියන කවිය ඇත්තක් කරන්න පොඩි කාලෙ හිතාගෙන හිටියට, තුන්වැන්නී හෙවත් මනෝ තාමත් අම්ම දෙන සාරි අඳිනව මිසක් අම්මට හරි හමං තෑග්ගක් අරං දීල නෑ වගෙයි එදා ඒ කතාවෙන් මට තේරුනේ.

ඒ කතාව කියවල ටික දවසකට පස්සෙ උපුල් සන්නස්ගලකාරයා තමන්ගෙ අම්ම ගැන සිළුමිණ ට ද කොහෙද කියල තිබුණ කතාව මං කියෙව්ව. පොර ට කොච්චර බර තිබුණත්, අම්ම ජීවත්ව ඉන්න කාලෙ, අම්මට ආදරෙන් සලකල නෑ වගෙයි දැනුනෙ.

අම්ම මළා ට පස්සෙ වෙන අයට අගස්ති මාල අරං දීල ඒ දුක ගෙවාගන්න පුළුවන්ද?

ඒ මාල දානයත් පොර කරල තියෙන්නෙ ලංකාවෙ නෙමේ ඉන්දියාවෙදි. ඉන්දියාවෙ අගස්ති මාල වලට සැපයුම හොඳ ඇති ඉල්ලුම ට වඩා.

අනුංගෙ කතන්දර වලින් පස්සෙ මෙන්න මගේ කතන්දරේ.

අම්මල පුතාලට කොච්චර ආදරේද කියල අමුතුවෙන් ලියන්න ඕනැ නෑනෙ. පවුලෙ ලොකු පුතාට ඒ ආදරේ තවත් වැඩියි කියලයි මං හිතන්නෙ.

නමුත් ඉතිං, ලොකු එකාට නංගිල මල්ලිල හිටියොත් ඉතිං අම්ම කෙනෙකුට ඒ ආදරේ වැඩිකල් දක්වන්න වෙන්නෙ නෑ.

මං පොඩි කාලේ ඉඳලම දැකල තියෙන්නේ අපේ පවුලේ පොඩි එකා අම්මට හුරතල් වෙනව විතරයි. පොර තමයි පොඩි කාලේ හැමදාම අම්මට තුරුළු වෙලා නිදාගන්න ගියේ හෙම.

මට ලැබුනේ ඇඳේ බිත්තිය අයිනේ කොණ තමයි හැමදාමත්!

පිරිමි අපිට, අපේ තාත්තලා පොඩි කාලේ ඉඳලා අපි වෙනුවෙන් කරපු දේවල් වලට කළගුණ සැලකීම ලේසියි වැඩක්. අපිට කරන්න තියෙන්නේ අපිත් අපේ දරුවන් ට හොඳ තාත්තලා වෙන එකයි.

මේ අහස්ගව්ව බ්ලොග්කාරිය නොකළාට අම්මලාට හැකි පරිදි තෑගි බෝග අරන් දෙන එකත් අපේ යුතුකමක්. අඩු ගණනේ අවුරුද්දටයි, අම්මගේ බර්ත් ඩේ එකට වත්.

ඔන්න, මං කැම්පස් එකෙන් අවුට් වෙලා, ස්ථිර රැකියාවකට ගිහින් අවුරුද්දක් විතර යනකොට මට සිස්සස්සයක් ලැබුණා පස්තාච්චි අදින්න යන්න (හෙවත් පශ්චාත් උපාධියක් කරන්න යන්න). වැඩ කලේ රාජ්‍ය අංශයේ සංස්ථාවක නිසා අවුරුදු දෙකකට විතර පඩිත් එක්ක නිවාඩු ගන්නත් පුළුවන් වුණා.

පර්සනල් ඩිපාර්ට්මන්ට් එකෙන් ඇහුව්වාම තමයි මතක් වුනේ නිවාඩු ඉන්න කාලේ පඩිය යවන්න බැංකු ගිනුමක් ඕනැ බව. ඒ වෙනකං කලේ, මාසෙ විසිපස් වෙනිද හම්බ වෙන පඩි පැකට් එක කමිසෙ උඩ සාක්කුවේ දාගෙන, ඊලඟ මාසේ පඩිය හම්බ වෙනකං වියදම් කරපු එකයි.

ඔන්න ඉතිං රට පැටවෙන්න දවසකට කලින් ලංකා බැංකුවේ ගිනුමක් දාලා, ඒ ගිනුමෙන් තාත්තගේ ගිනුමට සල්ලි ටික යන්න ස්ටෑන්ඩින් ඕඩර් එකක් දැම්ම.

තාත්ත ගේ ගිනුමට සල්ලි ටික යන්න දැම්මෙ, ඒ දවස්වල තමයි තාත්ත අපේ ගෙදර හැදුවේ. ඒ වැඩපල වලට ගන්නයි.

ඉතිං, මං අර තායිලන්තෙ පස්තාච්චි ඇද ඇද ඉන්න කාලෙ, සංස්ථාවෙ පඩි වැඩි කළා අපි හැමෝගෙම. පඩි වැඩි වුණාට ඉතිං බැංකුවේ ස්ටෑන්ඩින් ඕඩර් එක වෙනස් කලේ නෑනෙ. අවුරුදු දෙකක් විතර ගිහින්, උපාධි ලෝගු දාල ෆොටෝ අරගෙන ආපහු ලංකාවට එනකොට මෙන්න බොලේ මගේ ගිනුමේ සල්ලි ටිකක් ඉතුරු වෙලා.

ගෙදර ආපු දාට පස්සෙන්දම මොකද දන්නවද කලේ.

ගියා බැංකුවට, ගත්ත සල්ලි ටික, එතනින් සිංගර් එකට ගියා, ගත්ත ඒ සල්ලි වලින් ගන්න පුළුවන් ලොකුම ටී.වී. එකයි, ඇන්ටෙනා එකකුයි. යාන්තං, ත්‍රී-වීලර් එකට රුපියක් දෙසීයක්(+) විතර ඉතුරු වුණා.

වීරය වගේ ගෙදර ඇතුලට ටී.වී. එක අරං ගිහින්, වොරන්ටි කාඩ් එක අම්මට දීල වැඳපු වෙලේ මගේ හිතට ආපු සන්තෝශය කියල නිම කරන්න බෑ.

ඒ වොරන්ටි කාඩ් එකේ තියෙන්නේ මගේ නම නෙමේ, අම්මගේ ම නම කියල දැක්ක වෙලේ, අම්මටත් ඒ වගේම සතුටක් දැනෙන්න ඇති.

දැන් මෙන්න එඩ්වර්ඩ් ජයකොඩි ගේ ගීතයකින් කොටසක්.

හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්
ගෙදර දොරට දුන්නේ මං, හිතේ මනාපෙන්

-කතන්දරකාරයා

ප/ලි
සින්දුවකින් පටන් අරගත්තු මේ ජීවිතේ සින්දුවකින්ම අවසාන කළා වගේ අපේ මුළු ජීවිතේම එකම ගීතයක් කරගන්න පුළුවන් නම්?

Friday 10 December 2010

තාත්තා ගැන මතකයෙන් බිඳක්


මං මේ බ්ලොග් එක පටන් ගත්තේ කෙලින්ම මගේ ජීවිතය ගැන ලියන්න නෙමේ. ලියපු හැම කතන්දරයක්ම මං ලිව්වේ හැකි උපරිම දුරට කතාවේ පෞද්ගලිකත්වය බැහැර කරලායි.

ඒ ප්‍රතිපත්තිය වෙනස් කලේ මුලින්ම 2010 අප්‍රියෙල් මාසයේ තාත්තා අසනීප වීම ගැන ලියන්නයි, ඊ-ලඟට තාත්තා ගේ මරණය ගැන ලියන්නයි විතරයි.

දැන් ඉතිං, ඒ සේරම ඉවරයි. තාත්තා ගේ මළගම නිමවී හත් දවසේ දානයත් දී හමාර වුණා.

ආපහු මගේ කතන්දර මූඩ් එකට එන්න කලින් කළ යුතු වැඩ දෙකක් තියෙනවා.

එයින් මුල්ම වැඩේ තමයි, තාත්තා ගේ මරණය ගැන මං දාපු සටහන බලා, තමන් ගේ කණගාටුව ප්‍රකාශ කළ අයට ස්තුති කිරීම.

දුක හිතට තදින් දැනෙන කාල වකවානුවක සිය ගණනක් වූ ඒ පණිවුඩ දැකීමෙන් මගේ සිත තරමක් සංසුන් වුණා කියල කියන්න පුළුවන්. ඒ හැම දෙනාටම මගේ ස්තුතිය.

ඉරිද උදෙන්ම මළ ගෙදර ආවා බුද්ධි ප්‍රසාද් (මැරියන් එක්ක) සහ හර්ෂනී නාකන්දල (ඥාති පුත්‍රයෝ දෙන්නෙක් එක්ක) දුර බැහැර පලාත්වල ඉඳලා. ඒ දෙන්න එක්ක කතා බහ කරන්න පටන් අරන් විනාඩි දහයකට විතර පස්සේ තමයි ඇත්තටම මං නින්දෙන් අවදිවුනේ. මළ ගෙදරින් ඔවුන් නික්ම යන්න සූදානම් වී ආචාර කළ මොහොත මට හරිම සංවේදී වූ අවස්ථාවක් වුණා.

එදා හවස මළ ගෙදර ආපු තිස්ස දොඩන්ගොඩ, වැප් නිශාන්ත, අභීත, පසන් මධුරංග, ජේ.ඩී. සහ දිල්ෂලා එක්ක කතා බස් කරමින් ඉඳින්න ලැබීමෙනුත් හිතට ලැබුනේ ලොකු සහනයක්.

චානුක වත්තේගමත්, ප්‍රසාද් වීරසේකර සහ මාලතී කල්පනා යුවලත් එදා හවස් වරුවේ මගේ දුක බෙදා ගත්තා.

පසුව දා අවසාන කටයුතු කෙරෙන මොහොතේදී ලිහිණි කියපු වචන කීපයටත් ස්තුතියි.

මීලඟට මට අවශ්‍යයයි තාත්තා ගැන වචන කීපයක් ලියන්න.

අපේ තාත්තා ගේ ජීවිතයේ ආදර්ශමත් ලක්‍ෂණ ගොඩක් තිබුණා.

තමා උපන් කාලයේ ගම්බදව තිබුණු අධ්‍යාපන රටාව අනුව යමින් වයස අවුරුදු දහනමයේ දී ගුරුවරයෙක් ලෙස සේවය පටන් ගත්තු මගේ තාත්තා, මුලින් ම සිංහල පුහුණු ගුරුවරයෙක් විදියටත්, ඊලඟට ඉංගිරිසි පුහුණු ගුරුවරයෙක් විදියටත් ගුරු විද්‍යාල වල ඉගෙනුම ලැබුවා. ඉන් පස්සේ ලන්ඩන් උසස් පෙල සඳහා ඉගෙන ගත් තාත්තා, වැඩිහිටි ශිෂ්‍යයෙකු විදියට විද්‍යෝදය සරසවියෙන් ඉතිහාසය, භූගෝලය සහ සිංහල විෂයයන් සඳහා බී.ඒ. උපාධිය අරගත්තේ වයස අවුරුදු හතලිස් තුනේ දී. ඉගෙන ගන්න වයස ප්‍රශ්ණයක් නෙමේය කියන එකයි මෙතනදී අපිට ගත හැකි ලැබුණු ආදර්ශය.

මගේ මතකයේ හැටියට, තාත්තා කවදාකවත් තමන් ගේ අදහස් මට බලෙන් පටවන්න ගියේ නෑ. තාත්තගෙයි මගෙයි දේශපාලන අදහස්, නොයෙකුත් සමාජ ප්‍රශ්ණ ගැන අදහස් වෙනස්. මට ප්‍රශ්ණ දෙස තුන්වෙනි ඇහැකින් වුනත් බලන්න හැකි වුනේ තාත්තාගේ ඒ නිවරැදි ක්‍රියා පිළිවෙත නිසයි.

තාත්තා ධාර්මික ජීවිතයක් ගත කළා. සුරාව, සූදුව දුෂ්චරිත ක්‍රියාවේ නිරත වුනේ නෑ. දිනපතා පන්සිල් ගන්න, පන්සල් යන, බණ පොත් කියවන උපාසකයෙක් නොවී ධාර්මිකව ඉන්න පුළුවන් බවට තාත්තා අපට දුන්නේ ඉතා හොඳ ආදර්ශයක්.

-කතන්දරකාරයා

ප/ලි
හැකි විගස සුපුරුදු කතන්දර යලි ඇරඹෙනු ඇත!

Friday 3 December 2010

ඉතා කණගාටුවෙන් දැනුම් දෙමි


මේ ලෝකේ උපදින හැම දෙනෙකුට ම වෙන දෙයකට මුහුණ දෙන්න දැන් සුළු මොහොතකට කලින් මට සිදු වුනා.

ඒ තමයි මගේ තාත්තා ගේ මරණය පිළිබඳ ආරංචිය ලැබීම.

හිතේ දුක් ගින්න දරාගැනීම මං මේ මොහොත වෙන තුරු හොඳට කරනවා.

මගේ තාත්තාට නිවන් සුව ලැබේවා!

මිතුරෙකු ගේ තාත්තා ගේ මරණය ගැන ආරංචි වී මා ඔහු වෙනුවෙන් ලියූ මේ කවි කිහිපය කියවන මෙන් ඉල්ලා සිටිමි.


මිතුරා ට ලියූ ලිපිය

පියා මිය ගිය පුවත
ලැබ සිත වුවද කම්පිත
සඟවා කඳුළු නෙත
මා කියන බස අසන් පිය මිත

උපන්නොත් මෙලොවේ
දිනක මරණය හිමිවේ
මෙය බුදු දහම වේ
සියළු දේ ලොව නැසෙන සුළු වේ

ඔබ අද ලැබූ එම
දුක් බරිත පණිවිඩයම
මතු දිනයකදි මම
ලබන්නෙමි නැත කිසි සැකක් හෙම

එය අවසන නොවේ
දුක එලෙස නිම නොමවේ
අප පුතුනට ලොවේ
දිනෙක මේ දුක් පුවත හිමි වේ

අප කුඩා කල දී
හොඳ නරක පහදා දී
ගුණ දම් කියා දී
පිය මෙහෙය දෙවි කමට පරදී

අප උපන්දා සිට
පියවරුන් කල සේවෙට
ඇති ණය ගෙවන්නට
කෙලෙස නම් හැකි වේද අප හට

දුක් වන්නට එලෙස
කාරණා නැත කිසි ලෙස
මා කියන මේ බස
අසා සැනසෙන් මා මිතුර යස

ගත් ණය ගෙවන්නේ
ආපස්සට නොවන්නේ
පිය නම රැකෙන්නේ
ඉදිරි පරපුර රැකුනොතින්නේ

පිය ගුණ සිහි කරමු
හොඳ දූ පුතුන් සාදමු
හොඳ පියවරුන් වෙමු
පියාණන් ණය එලෙස පියවමු

-කතන්දරකාරයා

Thursday 2 December 2010

සිංහල ලෙස්බියන් සින්දුව දන්නවාද? A Sinhala Lesbian Song?


කාලෙක ඉඳල මං මේ කතන්දර බ්ලොග් එකෙන් සින්දු ගැන කතන්දර ලියනව. මුලින්ම ලිව්වෙ මුහුදෙන් ගෙම්බෙක් ගැනයි. එම්.එස්. ප්‍රනාන්දු ගැන ගැන පොඩි කතාවතුත් ලිව්ව.

ඉන් පස්සෙ, අළුත්ම අළුත්, බ්‍රෑන්ඩ් නිව් සින්දු තුනකුයි, වෙන්ඩ සින්දු දෙකකුයි අපේ සිංහල බ්ලොග් අවකාශයේ මුදාහැරියා.

වෙන්ඩ සින්දු තමයි:
1. කතන්දරකාරයා හාමිනේට ලියූ නාඩගම් ගීතය සහ
2. නාන කාමරේ ගීතය

බ්‍රෑන්ඩ් නිව් සින්දු තමයි:
1. ඇම්.පී.ත්‍රී සහිත අම්මාට ද තාත්තාට ද වැඩිය ආදරේ?
2. ඇම්.පී.ත්‍රී සහිත හන්තානේ ලව් සෝන්ග් එක
3. යූ. ටියුබ් සහිත ටැබූ සබ්ජෙක්ට්ස් ගීතය.

තවත් ඇම්.පී.ත්‍රී සහිත සින්දු තියෙනවා, පසු කාලීනව බෙදාහරින්නම් ඉඩ ලැබෙන විදියට.

අද මාතෘකාවේ තියෙන ප්‍රශ්ණය මගේ හිතට ආවේ, අපි දන්න සමහර සින්දුවල ඒවා ලියපු, ගයපු අය සමහරවිට නොදැක්ක තේරුම් ශ්‍රාවක අපට තේරෙන බව මතක් වෙච්ච වෙලෙයි.

මෙන්න කවුරු කවුරුත් දන්න උදාහරණ කීපයක්.

1. මැවිලා පෙනේවි රූපේ
මං හිතන්නේ ඔය සින්දුව තියෙන්නේ කැලෑ හඳ කියන මූවී එකේ. කෙල්ලෙක් තමන්ට අතරමගදී හමු වුණු හැන්ඩ්සම් කොල්ලෙක් ගැන යි කියන්නේ - කොල්ලගේ රූපය කෙල්ලට මැවිලා පේනවාය කියලා.

නමුත් රුක්මනී දේවී ආච්චි ඕක කියන විදියට අපිට තේරෙන්නේ මැවිලා පෙනේ විරූපේ කියායි. ඒ කියන්නේ මේ කොල්ලව හීනෙන් දැකලා බය වෙලා කියන සින්දුවක්.

2. සන්නාලියනේ කාටද ඇඳුම වියන්නේ
සරෝජිනී නායිඩූ කියන ඉන්දියන් කිවිඳියගේ වීවර්ස් කියන කවිය ආශ්‍රයෙන් මහගම සේකර ලියලා, අමරදේව කියන මේ සින්දුවේ තියෙනවා වැරදි ගොඩක්. අපි දන්න පරිදි සන්නාලියෝ ඇඳුම් මහනවා. රෙදි වියන්නෝ රෙදි වියනවා. සන්නාලියෝ මහනවා මිස වියන්නේ වත්, රෙදි වියනවා මිස ඇඳුම් වියන්නේවත් නෑ.

3. වන දෙව් ලිය තුරුලේ
ක්ලැරන්ස් ලියපු, ඉන්ද්‍රානි කියන මේ සින්දුවත් කොමඩි ඔෆ් එරර්ස් වර්ගයේ එකක්.

මේ සින්දුවේ පෙර කල සිත්තරුවෝ, බිතු සිතුවම් නෙළුවෝ කියල කිව්වට අපි දන්නවනේ සිතුවම් අඳිනවා මිස නෙලන්නේ නැති බව. නෙලන්නේ පිළිම. හැබැයි ඒව නෙලන්නේ සිත්තරවෝ නෙමෙයි. සිත්තරුවෝ කරන්නේ චිත්‍ර අඳින එකයි.

ඊලඟට මේ සින්දුවේ තියෙනවා- දහස් ගණන් නරඹා සීගිරී බැස යනවා කියලා. මේ කියන්නේ සීගිරි කියන කෙල්ල කෝච්චියකින්වත් බැහැල යන එකක් ගැනද, නැත්තං, සීගිරි ගල දැන් තියෙන තැනින් පල්ලෙහාට බැහැල යාමක් ගැනද?

4. පිදුරු සෙවි කළ පැල්පතේ ඇති සාමෙ නැත මහ මන්දිරේ
සිසිර සේනාරත්න ගේ මේ සින්දුව අහන කොට අපිට වැඩිය ක්ලික් වෙන්නෙ නෑ මොකක්ද මේ සෙවි කළ කියන්නෙ කියල. සෙව්ව බැලුවා කියන එකද? ඔන්න පිදුරු සෙවිලි කළ පැල්පත් ගැන නං අපි දන්නවා.

මේ වගේ තව උදාහරණ දන්න අය ඉන්නව නං ලියල යන්නකෝ.

ඔය සේරම දේවල් දැන දැන සිද්ද වෙච්ච වචන වැරදි කියලයි මට හිතෙන්නේ.

සිංහල ලෙස්බියන් සින්දුව නං එහෙම එකක් නෙමේ, ලියපු, කියපු අය හිතන්නෙවත් නැතුව අහන අපි පස්සෙන් පහු හිතාගත්තු එකක්. ඔය සින්දුව ලියවුණු, කියවුණු, කාලේ ලෙස්බියන් කියන වචනේ වත් තියෙන්න නැතුව ඇති ලංකාවේ.

බලමු කවුද මේ ගැන දන්නේ කියලා?

-කතන්දරකාරයා

ප/ලි
පොඩි හින්ට් එකක් දෙනව නං, මේ සින්දුවේ මුල් ගායිකාවගේ පරණ වර්ෂන් එකයි දැන් කියන ගායිකාවගේ කොපි කැට් අළුත් වර්ෂන් එකයි දෙකක් තියෙනවා. හැබැයි දැං ඇහෙන්නේ අළුත් වර්ෂන් එක විතරයි. හුඟ දෙනෙක් පරණ වර්ෂන් එකක් ගැන අහලාවත් නෑ.

Tuesday 30 November 2010

ණයකාරයා



මතකනේ මං ඒක පුද්ගල බ්ලොග් මැරතන් එකක් කර කර ඉඳලා, පල්ලං පොල්ල දැම්මා. ඒකට එක හේතුවක් වුනේ කතන්දර හාමිනේයි මායි නිවාස ව්‍යාපෘතියක පැටලෙන්නට යෑමයි.

පොඩි ණයක් අරං ඉඩං කැල්ලක් නං අරං දැම්මා. ගෙදර ප්ලෑන් එකත් ඇඳලා ඉවරයි මේ වෙන කොට. හරියටම ඇස්තමේන්තුව දැන ගත්තට පස්සේ ගේ හදන වැඩේටත් ලොකු ණයක් ගන්නයි ඉන්නේ.

ඔය ණය කියන දේ මං පුංචි කාලේ, යාන්තම් බහ තෝරන කාලේ, ඉඳලාම දන්න දෙයක්. ඒ මං උපන්න ණයකාරයෙක් වීම නිසාවත්, මගේ දෙමව්පියෝ ඒ දවස්වල ණය අරගත්තු නිසාවත් නම් නෙමේ. වෙන හේතුවක් හින්දයි.

ඇත්තටම ඔය හේතුව නිසාම තමයි අපි සමහරු ඇණ ගැන දන්නේත් පොඩි කාලේ ඉඳලම.

දැන් දන්නවානේ හේතුව?

ඔව් ඒක තමයි සිංහල හෝඩියේ අකුරු ඉගෙන ගැනීම. ඔය මුර්තජ ණ-යන්නෙන් පටන් ගන්න එකම වචනය තමයි ණය කියන්නේ මගෙ හිතේ!

සමහර චිත්‍ර සහිත හෝඩි පොත්වල ණය කියන එක තේරෙන විදියට අඳින්න ක්‍රමයක් හිතාගන්න බැරි හින්දා වෙන්න ඕනෑ, මූර්තජ ණ-යන්නෙන් ඉවර වෙන ඇණ කියන වචනය යොදාගත්තේ.

අද කතන්දරේ මං හා හා පුරා ණයක් අරං, ණයකාරයෙක් වෙන්න ගිය හැටි ගැණයි.

මේ කාලේ මං වැඩ කලේ එක්තරා ආයතනයක. එතන තිබුණා ආපදා ණය ක්‍රමයක්. තමන් ගේ පඩිය වගේ හය ගුණයක් ණයට ගන්න පුළුවන්. එතන ඉඳන් අවුරුදු තුනක්ද කොහෙද ඇතුලත ගෙවන්න ඕනැ පඩියෙන් කොටස් වශයෙන් පොලියත් එක්ක.

මේ කාලේ තමයි, සිකුරා ලබලා උස්මුරුත්තාවටම ගිහින්, මට කතන්දර කුමාරි එක්ක විවාහ වෙන්න හිතුනේ.

ඉතිං මේ කතන්දරේ බලන බැඳපු කෂ්ටිය දන්නවා ඇතිනේ බඳිනවා කියන එකත් පණ යන වැඩක් බව. ඔය දවස්වල මාසේ විසිවෙනිදා විතර ලැබෙන පඩි පැකට් එක සාක්කුවේ දාගෙන, ගෙදර දොරට, දනට පිනට දීලා ඉවර කරලා දානවා මිසක් ඉතුරු කරන ක්‍රමයක් මට තිබුණේ නෑ.

ඉති ඔන්න මං කෝකටත් කියලා මාස හයේ ආපදා ණයක් ගන්න ඉල්ලුම් කළා.

ඕනෑම ආයතනයක ආපදා ණය දෙන්නේ සීමාසහිත අරමුදලකින්. හැම මාසෙම ආපහු ලැබෙන වාරික මුදල්වලින් තමයි අළුතින් ණය දෙන්නේ. ඒ හින්දා ණය අනුමත වෙන්න පොඩ්ඩක් කල් යනවා. ඒ හින්දා පොඩි පෝලිමකුත් ඇති වෙනවා.

ඇප්ලිකේෂන් එක දාලා මාස දෙක තුනකට විතර පස්සේ මං දැනගත්තු විදියට ඔය කියන පෝලිම ඇත්තටම පෝලිමක් නෙමෙයි. ණය අනුමත කරන අංශයේ ලොක්කා හම්බ වෙන්න ගියාම, ඒ යන යන අයගේ ඉල්ලුම් පත්තරේ උඩට එනවාලු!

ලොක්කා මුණ ගැහෙන්න යන්නේ නැති අයගේ ඇප්ලිකේෂන්ස් ඉතිං හැමදාම යටම තමයි.

කතන්දර කුමාරිව මං කරකාර බැඳපු දවසෙ තේක්ක ගහක් හිටේවනං, අද වෙන කොට ඒක කපල ඉරල අළුත් ගෙදරට ලී බඩු හදන්න ගන්න වුණත් තිබුණ.

මගේ ආපදා ණය ඇල්පිකේෂන් එකත් මං ඒ ආයතනයෙන් ඊට අවුරුදු කීපෙකට පස්සෙ අස්වෙන කොටත් හොඳට මුල් දාලයි තිබුණෙ.

-කතන්දරකාරයා

ප/ලි
කතන්දර කුමාරිව කසාද බඳින වෙඩින් එකට කලින් මං තාත්තගෙන් ලෝන් එකක් ගත්තා. බැන්දට පස්සේ කතන්දර හාමිනේගෙන් ලෝන් එකක් අරං තාත්ත ගේ ලෝන් එක ගෙවල දැම්මා.

සිම්පල්.

එදා ඉඳන් මං ණයකාරයෙක් නෙමෙයි!

Sunday 28 November 2010

W3Lanka ට පොඩි ප්ලග් එකක්


සෝමරත්න දිසානායක ගේ මීපුර වැසියෝ වේදිකා නාට්‍යයේ මීයෙකු ගේ චරිතයක් රඟපාමින්, මෙන්න මේ සින්දුව කියන්නේ සුමින්ද සිරිසේන නළුවා.

"පොත් හතක් අටක් දැනටත් ලියා දාලා තියෙනව
මත්තටත් තවත් ලියනට සිතේ ඇඳීලා"

පොත් ලියන්න මීයොත් හරි දක්‍ෂයෝ තමයි. උන්ට තරං ඉක්මණින් පොත් ලියන්න සුජීව ප්‍රසන්න ආරච්චි ල ට වත්, චන්දි කොඩිකාර ල ට වත් පුළුවන් කමක් නෑ මං හිතන විදියට.

කොහෙද මන්ද මං මේ ලඟදි දවසක කියෙව්ව, පුතෙක් හදන්නෙ නැතුව, පොතක් ලියන්නෙ නැතුව, කෙනෙකු ගේ ජීවිතය සම්පූර්ණ වෙන්නෙ නෑ කියලා.

පොතක් ලියන එක පණ යන වැඩක්. පුතෙක් හදන එකත් ඒ වගේම තමයි.

අවුරුදු හතරකට වඩා ඉස්සර එක දවසක, නොසිතූ නොපැතූ විදියට, "ඉන්නව ද?, යනව ද?" කියන වැදගත් තීරණය මට ගන්න වුනා ඉතාම කෙටි කාලයක් ඇතුලත දී. එවෙලෙ හිතට ආවෙ කරුණු දෙකයි.

එකක් පුතා.
මං දැං ම ගියොත්, ඌ ලොකු වෙන කොට, මං කවුද කියල මතක හිටින එකක් නෑ කියල මට එවෙලෙ හිතුන.

අනික පොත.
උපන්න දවසෙ ඉඳලම වගේ කවි ලිව්වට, කවි පොත් හය හතක් "හස්තද්වාරයෙන් "ප්‍රකාශනය කළාට, එක පොතක්වත් මුද්‍රණද්වාරයෙන් එළියට වඩම්මල නෑ නේද කියලත් ඒ මොහොතෙදි ම හිතුණ.

ඔය කරුණු දෙක නිසා ඉන්නවද යනවද කියන තීරණය එදා ගන්න එක නං ලේසි වුණා. මට තිබුණෙ ඇඟ ඇතුලට රිංග ගන්න එක විතරයි.

තිරස් තලයෙන් සිරස් තලයට සංක්‍රමණය වෙලා ගෙදර ආපු ගමන් කලේ පොත හදන්න පටන් ගත්තු එකයි. ඒ වුණාට ඒ පොත පොත මුද්‍රණද්වාරයෙන් එළියට ගන්න නං තවත් අවුරුදු තුනක් විතර ම ගියා.

එදා ඒ හයිලෙවල් පාර කිට්ටුව ප්‍රෙස් එකෙන් ඒ පොතක් අරං සුවඳ බලපු එක වගේ සතුටක් ඊට කලින් දැනුනේ මැටර්නිටි තියටර් එකේ දී දොස්තරල පුතාව උඩට උස්සල පෙන්නුව වෙලේ.

ඊටත් කලින් දවසක "ද සොයිසා එකේ" තියටර් එක ඉස්සරහ කොරිඩෝර් එකේ දී දුවගෙ සුදුමැලි ඇඟිලි තුඩුවලට රෝස පාටට ලේ පිරෙන හැටි දකින කොටත් ඒ වගේම සතුටක් ආව මතකයි.

මේ සේරම කිව්වෙ අපි හුඟ දෙනෙක් දන්න ආරංචියක් නැවත කියන්නයි.

අපේ සහෟද බ්ලොග්කාරයෙක් වෙන w3lanka.blogspot.com ලියන අජිත් පැරකුම් ජයසිංහ නවල් එකක් ලියල. ඒකෙ නම ශාස්තෲ.

පොර මීට කලින් කවි පොතක්, කෙටි කතා සංග්‍රහයක් හෙම පලකරල තිබුණට මේ අවස්ථාව සුවිශේෂී එකක්. නවකතාවක් ලියනව කියන එක ලේසි පාසු වැඩක් නෙමේ මං හිතන විදියට.

අජිත් පැරකුම් ජයසිංහ ගේ w3lanka බ්ලොග් එකට තමයි 2009 අසෙනිය කුසුම උත්සවේදී සමාරම්භක සම්මානය හිමිවුනේ හොඳම කාලීන බ්ලොග් අඩවිය වෙනුවෙන්.

"ශාස්තෲ" නවල් එක දොරට වඩින උත්සවේ තියෙන්නේ නොවැම්බර් 30 දා හවස තුනට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේ දී.

යුනිවසිටි ඩොන් ල ගේ ටෝක්ස් දෙක තුනක් සහ පොඩි පහේ පැදුරකුත් තියෙනවය කියන්නෙ.

ඇහැක් නං යන්න.

මාත් පොත බලපු ගමං විස්තරයක් ලියන්නං කො.

-කතන්දරකාරයා

ප/ලි
උඩ තියෙන සින්දුවෙ තවත් පද දෙකක් මතක් වුණා.

"ඇත්ත නැත්ත ගැන නැහැ මම වෙහෙසෙන්නේ
පත්තරෙන් ඇවිත් මගෙනුයි අහගන්නේ"

Friday 26 November 2010

උන්මාද චිත්‍රසේනව දැකල තියෙනවද?


ජැක්සන් ඇන්තනි හදපු අබා චිත්‍රපටිය මතකයි නේද? තව පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නං මායි ඔය චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නේ. මේ ගැන මං ලියපු කතන්දරේ කියවල නැති අයට මෙන්න මෙතනින් ඒක බලාගන්න ඇහැකි.

අබා ෆිල්ම් එකේ සබීතා පෙරේරා රඟපෑවේ උන්මාද චිත්‍රා ගේ චරිතයයි. පඬුවස්දෙව් රජ්ජුරුවන් ගේ බිසව භද්දකච්ඡායනා ට ලැබුණු දූ කුමාරි චිත්‍රා ට උන්මාද චිත්‍රා කියල කාඩ් එකක් වැදිල තිබුණෙ එයාව දැකපු දැකපු පොරවල් පිස්සු වට්ටන තරම් ලස්සන හින්දලු.

මං හිතන්නෙ අබා ෆිල්ම් එකට කාස්ටින් කරපු අය ඔය කතාව දැනගෙන ඉඳල නෑ!

එදා උන්මාද චිත්‍රාව එක්ටැම් ගෙයක හිර කරල තිබුණෙ නං, රටේ තරුණයො චිත්‍රාව දැකල පිස්සු වැටෙන එකෙන් වලක්වන්න නං නෙමේ.

රටේ තරුණයො ගැන හිතන්න කලින් ඕනැ රජෙක් හිතන්න ඕනැ තමන් ගේ පුත්තු ගැන නේ. චිත්‍රා ගේ කුසෙන් උපදින පුතෙකුගෙන්, රජකම හිමි මාමලා දුසිමටම මැරුම් කන්න වෙනව කියල අනාවැකියක් තිබුණු හින්දයි කෙල්ලව එක් ටැම් ගේ හිර කලේ.

දකින දකින අය පිස්සු වට්ටන උන්මාද චිත්‍රා ලා එදා විතරක් නෙමේ අපේ කාලෙත් හිටියා. අදත් ඉන්නවා වෙන්න පුළුවන් මං දන්නේ නැති වුණාට. මේ කතන්දරේ කියවන පිරිමි කෂ්ටිය සාක්‍ෂි දෙයි ඒ බවට.

මගේ ප්‍රශ්ණේ, ඒක නෙමේ, මෙන්න මේකයි.

උන්මාද චිත්‍රා ලා විතරද ලංකාවේ හිටියේ?

ඇයි උන්මාද චිත්‍රසේන ලා නැද්ද අපේ රටේ?

අපොයි හිටියා!

මෙන්න උන්මාද චිත්‍රසේන කෙනෙක් දැක්කොත් අඳුණා ගන්න ක්‍රමය. මේවා අදාල වෙන්නේ කාන්තා පක්‍ෂයට විතරයි, හොඳේ?

1. උන්මාද චිත්‍රසේන ව දැක්කහම කාන්තාවන් ගේ කකුල් ගැහෙනවා.

2. නිකං වතුර තිබහ වගේ ගතියක් දැනෙනවා. තොල් වේලිලා යනවා. දිවෙන් දෙතොල් තෙත් කරගන්න හිතෙනවා.

3. වලාකුලක් මැද්දේ වාඩි වෙලා පාවෙලා යනවා කියලයි හිතෙන්නේ.

4. හිතට නිකං කවි සිතුවිලි පවා පහල වෙනවා.

5. අනේ මට මෙයා එක්ක ලස්සන දිය ඇල්ලක් පාමුල තියෙන පුංචි පිදුරු පැලකට වෙලා ඉන්න ඇත්නං කියල වගේ සුන්දර සිතුවිලි හිතට ගලාගෙන එනවා.

6. අනේ මේ ආත්මේ බැරිනම්, ලබන ආත්මේ දී වත් ඒ වාසනාව උදාවේවා කියල හිතෙනවා.

කොහොමද මං මේව දන්නේ?

ඔය උඩින් තියෙන ෆොටෝ එක ගත්ත කාලෙ තමයි මට ඔය කතා සේරම ආරංචි වුනේ.

-කතන්දරකාරයා

ප/ලි
මේ මුළු කතන්දරේම තමයි අද ප/ලි එකකි!

Wednesday 24 November 2010

අර ලොකු ලස්සන ගෙදර


කලින් නොදන්න කෙනෙක් ඉස් ඉස්සෙල්ලාම අඳුණාගත්තහම අපි හුඟ දෙනෙක් අහණ ප්‍රශ්ණ ගැන මං ගනේමුල්ලේ කුරුවිට කතන්දරේ ලිව්වා.

නම, ගම, මියුචුවල් යාළුවො, කෙමිස්ට්‍රිවලට කොහෙද ටියුෂන් යන්නේ? වගේම තවත් හුවමාරු වෙන පොදු තොරතුරු ටිකක් තියෙනවා.

අද කතන්දරේ කියවෙන්නේ මෙන්න මේ දෙබසින්.

මම: කොහෙද ඔයාගෙ ගෙවල්?

ඔහු: ගනේමුල්ලේ.

මම: ගනේමුල්ලේ කොයි හරියෙද?

ඔහු: ජා-ඇල පාරේ

මම: ඒ කියන්නේ 276 ද, 266 ද, 278 ද?

ඔහු: 278

මම: කොයි හරියේද?

ඔහු: අර බස් එක හරෝලා ටික දුරක් යනකොට වෙලක් තියෙනව දන්නවද?

මම: ඔව්!

ඔහු: ඒක පහුකරපු ගමන් තුංමං හන්දියක් තියෙන්නේ.

මම: ඔව් මං දන්නවා, එතනින් කොයි පාරේද?

ඔහු: එතනින් වමට හැරෙන පාරේ, අර කළුපාට ගේට්ටුවක් තියෙන ගෙයක් තියෙන්නේ. ඒ පාරේ.

මම: ඔය කියන්නේ අර මිදුලේ අඹ ගහක් තියෙන...?

ඔහු: නෑ, නෑ, අනිත් පැත්තේ. අර තට්ටු දෙකේ ලස්සන ලොකු ලා නිල් පාට ගෙදර. ලොකු තාප්පයක් බැඳලා, කළු ගේට්ටුවක් දාලා, ගේ ඉස්සරහ ලස්සනට මල් වවලා තියෙන ගෙදර.

මම: ඉතිං ඔය ගෙදර තියෙන පාරට හැරිලා හුඟක් දුර යන්න ඕනැද?

ඔහු: නෑ, ඒක තමයි අපේ ගෙදර.

මම: ආ!

එදායින් පස්සේ මං ගියේ නෑ, ඔය වගේ විස්තර අහන්න.

මං වගේ උගත්, කඩවසම්, අවංක, එඩිතර තරුණයෙක් මොකටද හාර හාරා අනුන් ගේ විස්තර අහන්නේ?

-කතන්දරකාරයා

Monday 22 November 2010

හාමුදුරුවෝ සරෙන්ඩර්!


අපේ සීය ගැන මං කතන්දර කීපයක්ම කියල තියෙනව මතකයි නේද?

සීය කොල්ල කාලෙ බූරුව ගැහැව්ව හැටි, කෝට් එක නැතිවෙලා හොයන්න ගිය කතන්දරේ, ඒ එක්කම සීය විදුහල්පති ජෝන් මහත්තයව නිහඬ කළ හැටි.

මේකත් අපේ සීයගේ තවත් වික්‍රමයක්.

කාල වකවානුව මීට අවුරුදු හතලිහකටත් ඉස්සර. සීය වැඩ කලේ මහා දුෂ්කර පලාතක. ඒ පැත්තට එක බස් එකයි ලු ගියේ. ඒකේ පැයක් විතර ගිහින් ගඟෙනුත් එහොඩ වුනාම තමයි සීය මේ දවස්වල මුල් ගුරුකම කරපු ඉස්කෝලෙ තිබිල තියෙන්නෙ. වැහැල වැහැල කුකුලේ ගඟ පිටාර ගලපු දවසට ඔරුකාරය වැඩ නැවැත්තුවාම, සීය මේ පැත්තෙ ඉඳල හුවක් කියල, ඉස්කෝලෙ කැන්සල් කරල ආපහු එනවලු.

ඔන්න ඉතිං එක දවසක්, ඉස්කෝලෙ ඇරිල සීය ආපහු ගෙදර එන බස් එකට නැගල තියෙනව බඩ දරු අම්ම කෙනෙක්. මේ මනුස්සය මේ යන්නේ බබා හම්බ වෙන වැඩේට ටවුමෙ ඉස්පිරිතාලෙට ඇඩ්මිට් වෙන්නයි. බස් එක ටිකක් දුර එනකොම මේ මනුස්සයට විළි රුදාව ඇවිල්ලා කෑ ගහන්න පටන්ගත්තලු.

මේ බව දැනගත්තු ඩ්‍රයිවර් කරලා තියෙන්නේ කිසිම තැනක මිනිස්සු ගන්නවත්, බස්සන්නවත් නවත්තන්නේ නැතුව කෙලින්ම ඉස්පිරිතාලෙටම බස් එක අරං යන එකයි.

බස් එකේ ඉස්සරහ සීට් එකේ හිටිය ගරුතර ගමේ පන්සලේ හාමුදුරුවන්ටත් මේ හින්ද ඉස්පිරිතාලෙට කලින් තියෙන ටවුමෙ පන්සල ලගින් බහින්න බැරිවුණා.

බඩ දරු අම්මව ඉස්පිරිතාලෙ ලඟින් බස්සල, ආපහු එන අතරතුරේ, තරමක් තද වෙලා හිටිය හාමුදුරුවෝ කියවන්න පටන් ගත්ත.

"මේ අම්මණ්ඩිල දන්නෙ නැත්ද දරුවො ලැබෙන්න තියෙන කාල වකවානු? බස් එකේ විළි රුදාව එනකං ඉන්නේ නැතුව කලට වෙලාවට ඉස්පිරිතාලෙට ආව නං මේ මිනිස්සුන්ට රස්තියාදු වෙන්න ඕනැ නෑනේ!"

දන්නවනෙ අපේ සීය තුමා?

බස් එකේ පස්සෙ සීට් එකක හිටපු සීය මහ හයියෙන් මෙහෙම කිව්වලු.

"අනේ හාමුදුරුවනේ, අර මහමායා දේවියටත් තිබුණ නේද කලට වෙලාවට කපිලවස්තු පුරේට යන්න. මේ අතරමග ලුම්බිණි වනයෙදි විලි රුදා හදාගන්නේ නැතුව?"

මේ කතාව ඇහිච්ච හාමුදුරුවො, පිටි පස්ස හැරිල බලල මෙන්න මෙච්චරයි කියල තියෙන්නෙ.

"ආ, මේ අපේ ඉස්කෝලෙ මහත්තයනේ!"

-කතන්දරකාරයා

ප/ලි:
අපේ සීය ගේ ඔය ස්ථානෝචිත ප්‍රඥාව මගේ ජාන වලින් සීයට උරුම වුණු එකක්.

Friday 19 November 2010

බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ


මං ලෝයර්ස් ලා ගැන ලියපු කතන්දරේ කියවපු බැංකුකාරයෝ දුක් වෙන්න ඉඩ තියෙන නිසා මේ කතාවත් ලියල දාන්න ඕනැ කියල හිතුන.

ඔන්න අපේ කතන්දර හාමිනේ ගාව තිබුණ පොඩි කාලෙ ඉඳල එකතු කරගත්තු සල්ලි වගයක්. රුපියල් පනස්දාහක් වගෙයි මට මතක. ඕක නිකං ගෙදර පුස් කකා තියාගන්න ඕනැ නැති හින්ද, අපේ ඇනෙක්සිය ලඟම තිබුණු සෙයිලං බැංකුවෙ ස්ථාවර තැන්පතුවක දාලයි තිබුණෙ.

ඔහොම ඉන්න අතරේ, මං තුමාට අල්ලපු රටේ දවස් හතර පහක අධ්‍යාපන කටයුත්තකට යන්න කාරණා කටයුතු යෙදුණ. ඒ වැඩෙන් පස්සෙ පොඩි ට්‍රිප් එකක් දාන්නත් එක්ක හිතාගෙන හාමිනේත් මේ ගමනට සෙට් වුණා.

ප්ලෑන් කලාට විතරක් මදි, ට්‍රිප් යන්න නං සල්ලිත් ඕනි නේ. ටිකට් එක ගන්න, හෝටලේට වැඩිපුර ගෙවන්න, සාරි ගන්න, එනකොට ඩියුටි පී‍්‍ර එකෙන් බඩු ගන්න.

ඉතිං මේ වෙලාවේ සිහියට ආවේ අර සෙයිලං බැංකුවේ දාල තියෙන පනස්දාහේ ෆික්ස්ඩිපොසිට්ටුවයි.

ඔන්න ඉතිං පහුවදාම හාමිනේ ගියා අල්ලපු වැටේ බැංකුවට තමන් ගේ සල්ලි පොජ්ජ විත්ඩ්‍රෝ කොරං එඤ්ඤං කියල, එදා හවස කොළඹ ගිහින් ටිකට් එක ගන්නයි අපි ප්ලෑන් කලේ.

පැය භාගකට විතර පස්සෙ හාමිනේ ගෙට ගොඩ වැදුණ. මට දුන්න රුපියල් හතලිස් දාහක්.

ඇයි ඔයා ඉතුරු දහදාහෙන් ඩොලර්ස් ගත්තද? මං ඇහැව්ව.

කතා කරල බැලින්නං වෙලා තියෙන්නේ මේකයි.

සෙයිලං බැංකුවේ ෆික්ස්ඩිපොසිට්ටුව ගන්න ගිය වෙලේ එතන හිටිය බැංකුකාරය ගෙ ටෝක් එකට රැවටිලා හාමිනේ ෆික්ස්ඩිපොසිට්ටුව එහෙමම තියෙද්දී ගෙදර ඇවිත් තියෙන්නේ උං ගෙන් ලෝන් එකක් අරං.

ෆික්ස්ඩිපොසිට්ටුවට පොලිය සියේට දහතුනයි. ලෝන් එක අරං තියෙන්නේ සියේට දාසයක පොලියට.

ඒ මදිවට, දැන් මේ ලෝන් එක අරං තියෙන්නේ ෆික්ස්ඩිපොසිට්ටුව ඇපේට තියල නිසා, ලෝන් එකේ උපරිමය ෆික්ස්ඩිපොසිට්ටුවේ ගානෙං කොටසක් විතරයි.

සෙයිලං බැංකුකාරය කරල තියෙන්නේ හාමිනේ ගේ ම රුපියල් පනස්දාහෙන්, හතලිස්දාහක් හාමිනේ ට ම ණයක් විදියට දීල ඒ මදිවට ඒ ණයට සියේට තුනක පොලියක් අය කරන එක බව පහදල දෙන්න අන්තිමේදී මට පුළුවන් වුනා.

අල්ලපු රටේ රස්තියාදුව ගහල ඇවිල්ල පහුවදාම කලේ ෆික්ස්ඩිපොසිට්ටුව දියකරල ඒකෙං බැංකුවෙ ණය බේරපු එකයි.

මේ වැඩෙන් රුපියල් පන්සීයකට විතර කෙලවුණා විතරක් නෙමේ, තව පැයක විතර කාලයකුත් නාස්තිවුණා.

කොහොමද බැංකුකාරයෙන් ගේ වැඩ? බැංකුකාරයෝ - ලෝක අමාරුකාරයෝ

-කතන්දරකාරයා

ප/ලි
අපේ කතන්දර හාමිනේ ගැන කියනවනං, එතුමිය තමන් ගේ ෆීල්ඩ් එකේ විශේෂඥයෙක්.

ඒත් ඉතිං, බැංකුකාරයින් ගේ එක එක විජ්ජාවලින් - ගැලවිජ්ජා වෙන්න ඒවයින් බෑ.

ඒකටත් එක්ක ඉතිං මං තුමා. ජැක් ඔෆ් ඕල් ටෙ‍්‍රඩ්ස්!

Wednesday 17 November 2010

අයි නෝ ද ලෝ පුතා!


ඔය ටයිටල් එක ඉස්සර රූපවාහිනියේ ගිය ජනප්‍රිය ටෙලියක (අසල්වැසියෝ?) තිබුණු කැච් ෆ්‍රේස් එකක්.

ඒකේ ඔය කතාව කිව්වෙ හේමසිරි ලියනගේ රඟපාපු චරිතයයි. ඔය කෑල්ලයි, ඒ චරිතයයි, ඒ ටෙලියයි කොච්චර ජනප්‍රිය වුනාද කියනවනං ඒකේ පාට් ටූ එකත් හැදුවා.

ඒත් සෞම්‍යල ගේ තාත්තා ආවෙ නෑ නොවැ පාට් ටූ එකේ චරිතේ කරන්න. පොර කිව්වේ, දිගටම කොමඩි කලොත් කමීඩියන් කෙනෙක් වෙනවා, පොරට ඕනෑ සිරියස් නළුවෙක් වෙන්න කියලයි.

මට ඔය කතාව මතක් වුනේ ලෝයර්ස් ලා ගැන කතා කිහිපයක් සිහියට ආපු හින්දයි.

අඳුණන ලෝයර්ස් ලා හෙම ඉන්නවද? බුදු අම්මෝ නේද?

මේ ලෝයර්ස් ලා ගැන පොඩි කතන්දර දෙකක්.

ඔන්න මං හොඳට දන්න අඳුණන කියන, කොටින්ම එක කුසේ උපන් සහෝදරයෙක් කියල කියන්න පුළුවන්, පොර ළමයෙක් හිටිය. පොර කාලෙක ඉඳල මට නිව් ඉයර් කාඩ් එකක් එවනවා.

ඔහොම කාලයක් ගියාට පස්සේ මෑන් ඕපන් යුනිවසිටි එකේ ඇල්, ඇල්, බී ද, නීති විද්‍යාලෙද, අරහෙද, මෙහෙද, ඉඳල අන්තිමේදී නීතිඥයෙක් විදියට දිවුරුම් දුන්න.

මෙන්න බොලේ ඒ අවුරුද්දේ අග මට එවපු කාඩ් එකේ පොර අත්සන් කරල තියෙන්නේ නීතිඥ කියලයි. ඒ මදිවට නමට පස්සෙ, ඇල්. ඇල්. බී., ඇටෝර්නි ඇට් ලෝ වගේ කෑලි ගොඩයි.

අනේ මේ යසට හිටපු කොලුවට වුනු දේ!

මෙන්න දෙවෙනි කතා කෑල්ල. මට මතකයි මං පොඩි කාලේ ගියා නෑ කෙනෙකු ගේ ගෙදරක ඇට් හෝම් මගුල් සාදයකට. ඒ කාලේ ඔය වගේ තැන්වලට එන අයට සල්ලි දාල දෙන්න ලියුං කවර මිටියක් තියන එකයි චාලිස්තරේ.

කාල, බීල, පච කෙළ කෙළ ඉඳල, ඔන්න ආපහු යන වෙලාව කිට්ටු වුණාම, අපේ මාම වෙන පොරක් ඒ ලියුම් කවරයක් අරගෙන සල්ලි කොලයක් ඇතුලට දාල, කෙල සීල් එක ගහල, ඉස්සරහ පැත්තේ නම ලියනව මං බලාන හිටිය. පොරගෙ නම සුමනසේන විතානගේ. නම ලිව්වෙ මෙහෙමයි.

නීතිඥ සුමනසේන විතානගේ

ඔතන ඔය නීතිඥ කෑල්ල ඉස්සරහින් ලිව්වේ ඇයි කියල දන්නවද?

එහෙම ලිව්වේ නැත්තං, ඒ මගුල් ගෙදරටම ආපු නීතිඥ සුමනසේන විතානගේ ගේ නිඹුල් සොහොයුරු "නිකංම නිකං සුමනසේන විතානගේ" දෙන ලියුං කවරේ එක්ක පැටලෙයි කියල වෙන්න ඇති මගෙ හිතේ.

-කතන්දරකාරයා

ප/ලි
අර හේමසිිරි කිව්ව වගේ දිගටම කොමිකල් පාට් කර කර හිටියොත් ජෝකර් කෙනෙක් වෙන්න තමයි වෙන්නේ.

ඉතිං, දිගටම ලෝයර් පාට් කර කර හිටියොත්?

ඒක නිසා වෙන්න ඇති ලෝයර් පාට් එක ටිකක් කල් කරල සමහරු දේශපාලනේට යන්නේ!

Monday 15 November 2010

රාමකුමරා ගේ කපුටුපුක


කළබල වෙන්න කාරියක් නෑ. මේ කුණුහරුප කතන්දරයක් හෙම නෙමේ. මේක අපි හුඟදෙනෙක් පොඩි කාලේ, තුනේ පන්තියේදී විතර, අහල, දැකල, ලියල, බලල, ඉගෙන ගත්තු දෙයක්.

සමමිතිකත්වය ලස්සන බවේ මූලික පදනමනේ. අපි ලස්සනයි කියන හුඟ දෙනෙකුගේ මුහුණ හිතන්න බැරි තරමට සමමිතිකයි. පේනවානේ ඔය ෆොටෝ එක!

ඒ එක්කම, හොඳට බලන්න ඔය උඩ මාතෘකාවේ තියෙන වචන දෙකත් සමමිතික ඒවා.

රාමකුමරා
කපුටුපුක

අන්තිම අකුරේ ඉඳලා ආපස්සට කියවන කොට තියෙන්නෙත් එකම වචනයමයි.

මේ වගේ සිංහල වචන තව තියෙන්නේ කීපයයි. මේ මං දන්න ඒවා.

සවස
තාත්තා
කටක
සරස
වඩුමඩුව
රතුවතුර

තවත් තියෙනව නං ලියල යන්න.

-කතන්දරකාරයා

ඉංගිරිසියෙත් මේ වගේ වචන තියෙනවා. ඒ වගේම දිග වාක්‍යත් හදල තියෙනවා, දෙපැත්තේම ඉඳන් කියවන්න පුළුවන් ආකාරයේ. ඒවට කියන්නේ මං හිතන විදියට පැලින්ඩ්‍රෝම් කියලයි.

මෙන්න ඒවායින් කීපයක්.

eye
racecar
civic
kayak
level
madam
Malayalam
radar
refer
reviver
rotator
rotor
stats

මේ වාක්‍ය කණ්ඩ බලන්න.

Do geese see God
Was it Eliot's toilet I saw
Murder for a jar of red rum
Some men interpret nine memos
Never odd or even.

Saturday 13 November 2010

සුද්දිට ඉංගිරිසි උගන්නපු හැටි


කඩ්ඩ හොර අයට ශිෂ්‍යත්ව දෙන කතන්දරේ ලියන කොටයි මේ කතාව ක්ලික් වුනේ.

මතක නේද ලංකාවටයි, ඉන්දියාවටයි පොදු ලංකේංඩියා භාෂාව ගැන කතාව. මං පස්සේ ඒකෙ දෙවෙනි කොටසත් ලිව්වනේ මකර ගේ කරදරේ නිසා.

ජාතින් අතර සහයෝගීතාවය වැඩි දියුණු කරන අරමුණෙන් නේ ඔය රුසියාවෙන් ලංකාව වගේ රටවල කොල්ලන්ට, කෙල්ලන්ට එහෙ ගිහිං ඉගෙන ගන්න ශිෂ්‍යත්ව දුන්නේ. එහෙම රුසියාවට ගිය අපේ පොරවල්වලින් සමහරු ඒ සංස්කෘතික එකමුතුකම තවත් වැඩිකරගන්න හිතලා රුසියන් කෙල්ලන්ව කසාදත් බැන්දා. සමහරු එහෙම නතරවුණා. සමහරු ලංකාවට ආව. හුඟ දෙනෙක් හැබැයි දැන් ඉන්නේ එංගලන්තය, ඕස්ටේ්‍රලියාව වගේ තුන්වෙනි රටවල්වල.

ඉතිං අපේ පොරක් තමන් ගේ රුසියානු බිරින්දෑ, ශාෂා ත් එක්ක ලංකාවට ඇවිත් ජීවත්වෙන්න පටන් ගත්තා. දෙන්නම කොළඹ පැත්තේ රැකියාව කලේ.

සාමාන්‍යයෙන් සුද්දෝ කියන්නේ එංගලන්තේ, ඉංගිරිසි ජාතිකයින්ට නේ. නමුත් ඉතිං, හම සුදු නං අපිට කවුරුත් සුද්දෝ. ලේබල් ගහල තියෙනවැයි?

ඉතිං අපේ මේ රුසියන් සුද්දි ශාෂා ට ටිකක් සිංහල තේරෙනවා. ශාෂා බස් එකේ වැඩට යනකොට අපේ සමහර සිංහල පොරවල් කියනවාලු, අනේ මේ සුද්දියොත් එනවනේ හිරවෙලා බස්වල යන්න, කාර් එකක් අරං යන්නේ නැතුව කියලා.

ඉතිං අපිට සුද්දි වුනාට ශාෂා ගේ මව් බස රුසියන් නේ. එයාට ඕනැ වුණා තමන් දන්න ඉංගිරිසිය ටිකක් දියුණු කර ගන්න.

මගේ තව යාළුවෙකු ගේ තාත්තා හොඳ උගත් කඩු කාරයා. ඒ අංකල් ගාවට තමයි ශාෂා යන්න පටන් ගත්තේ ඉංගිරිසි දියුණුකර ගන්න.

දවසක් දෙකක් ශාෂා අංකල්ලා ගේ ගෙදරට එනව දැකපු පාර අයිනේ කඩේ මුදළාලි ඔන්න අංකල්ගෙන් මෙහෙම අහනවා.

"මහත්තයා මං දැක්කා සුද්දියෙක් එනවා දවස් දෙක තුනක් මේ ගෙදර පැත්තේ. ඒ කවුද මහත්තයා."

"ආ, ඒ අර අපේ පුතාගේ යාළුවෙකු ගේ නෝනා, පිටරට ඉගෙන ගන්න ගිහින් ඉඳලා එනකොට බැඳලා ආවේ, මේ ලඟදී."

"ඉතිං මහත්තයා මෙහේ නිතරම එන්නේ ඒ සුද්දී?"

"ආ, ඒ මේ මගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න."

"අනේ මේ, මහත්තයා මට විහිළු නොකර ඉන්න. සුද්දියො එයිද මේ මහත්තයගෙන් ඉංගිරිසි ඉගෙන ගන්න?"

-කතන්දරකාරයා

ප/ලි
ප/ලියක් නැතිවුනාම නිකං මොකක්ද මොකක්ද වගේ දැං!

Thursday 11 November 2010

ඔබේ කඩ්ඩ හොරද? එහෙනං මෙන්න ශිෂ්‍යත්වයක්!


මේ කතන්දරේ මගේ මතකයේ යට තිබිලා උඩ මතුවුනේ මං ලියපු වී.කේ. විරාජ් ගේ ජරමානු ගමන කතන්දරේටැබූ සර් දාපු කොමෙන්ට් එකට ප්‍රති උත්තර ලියන වෙලෙයි.

ටැබූ ගේ කොමෙන්ටුවේ මට සාපේක්‍ෂකව වැරදි දෙකක් තිබුණා.

එක. භාෂාවේ භාවිතය සහ උච්ඡාරණය සමාජ කොටස් අනුව වෙනස් වෙන්නේ ඉංගිරිසියේ පමණක් බව. ඒක ගැන අරුණිත් පිලිතුරක් ලියලා තිබුණා.

දෙක. ඉංගිරිසි දැනුම අඩු අයට සුද්දෝ පහත් විදියට සලකන බවත්, ජර්මානුවෝ සහ වෙනත් ජාතිකයෝ තමන් ගේ භාෂාව නොදන්නා අයට එහෙම කරන්නේ නැති බවත්.

සුද්දන් ගේ සුදු හුණු ගාන්න මට අවශ්‍ය නෑ. නමුත් මං දන්න මේ කතන්දරේ නම් නොකියාම බෑ.

මට මතකයි අපි නුවර තිප්පොලෙන් අවුට් වෙලා ප්‍රතිපල ආපු දවසේ ඉඳලා ක්ලාස් ගහපු පොරවල් වලට අමුතු උණක් හැදිලා තිබුණා. ඒ ටෝෆල් (Test of English as a Foreign Language) එග්සෑම් එක කරන්නයි. අවුරුදු දෙකකට විතර පස්සේ මං තුමාත් යාන්තං ඩොලර් ටිකක් හොයාගෙන විභාග ගාස්තු ගෙවලා, ෆ්ලවර් රෝඩ් එක පැත්තේ බඩ ගාලා, කැසට් අහලා, සී.එන්.එන්. බලලා, ඩික්ෂනරිය කට පාඩම් කරලා, යාන්තං ජාම් බේරගත්තා. ටෝෆල් එකේ අමාරුම හරිය තමයි අර යැන්කී ඇක්සන්ට් එක තේරුම් අරගෙන උත්තර ලියන එක.

ඔය ටෝෆල් වගේම තවත් ඉංගිරිසි විභාගයක් තමයි අයී.ඊ.එල්.ටී.එස්. මේක ලංකාවේ පැවැත්තුවේ බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන්. මට ඕක කරන්නත් වුණා. ඒත් ඒ, ටෝෆල් කරලා අවුරුදු හතර පහකට පස්සේ නිසා වැඩි කරදරයක් වෙන්න වුනේ නෑ.

ඔය කාලේ මං වැඩ කරපු තැනට ආවා එක්සත් රාජධානියේ ආණ්ඩුවෙන් ස්කොල් එකක්. මාස හයක ටෙක්නිකල් training එකක් කොම්පියුටර් හාඩ්වෙයාර් ගැන. මේක බ්‍රිටිෂ් කවුන්සිල් එකෙන් තමයි හැඬල් කලේ.

අපේ ආයතනයෙන් මේ සඳහා නිර්දේශ කළා තරුණ තාක්‍ෂණික නිලධාරියෙක්ව. නොමිනේෂන් එක ප්‍රොසෙස් කරන එකේ එක අවශ්‍යතාවයක් හැටියට එයාට අයී.ඊ.එල්.ටී.එස්. විභාගය කරන්න තිබුණා.

ඒත් ඉතිං අනේ මේ මනුස්සයා අයී.ඊ.එල්.ටී.එස්. විභාගය ෆේල් වුණා. විභාගේ ප්‍රතිපල ආපු දවසේ ඉතිං කාටත් හරි දුකයි මේ වෙච්ච වැඩේට. මොනව කරන්නද?

මෙන්න බොලේ තව දවස් දෙක තුනකින් බ්‍රිටිෂ් කවුසිල් එකෙන් ලියුමක් එනවා. අපේ ටැක්නිකල් ඔෆිසර් ගේ ඉංගිරිසි දැනුම අඩු නිසා, මෙන්න ස්කොල් එක මාස හයකින් දීර්ඝ කරලා.

මුලින් මාස හය ඉංගිරිසි ඉගෙන ගන්න ලන්ඩන්වල භාෂා ආයතනයක. ඊලඟ මාස හය අර මුලින් ලැබුණු ටෙක්නිකල් training එක. පොර අවුරුද්දක් එංගලන්තේ ඉඳලා, ඔරිජිනල් කැඩ්බරි චොකලට් හෙම අරගෙන, ආපහු ලංකාවට ආවා. මායි බොන්ඩ් එකට අත්සන් කලෙත්.

ඔන්න ටැබූ ගේ තර්කය බිඳෙන එක උදාහරණයක්.

Australia වගේ රටවලත් ඉංගිරිසි බැරි අයට නොමිලේ උගන්නනවා කියලා මං අඳුනන පොරක් කිව්වා. ඇමරිකාවෙත් එහෙමද කියලා අරුණි ෂැපිරෝගෙන් අහන්න ඕනැ.

මං පොඩි කාලේ මරදානෙදි සුද්දෙකුට පාර කියල දීලත් තියෙනවා නේ. ඉතිං ඕනෙ සුද්දෙකුට නොමිලේ සිංහල උගන්නන්න කැමතියි මාත්.

-කතන්දරකාරයා

ප/ලි
ඔය අන්තිම ලයින් එක ලියන කොට තවත් කතන්දරයක් මතකයේ යටින් උඩට ආවා. සුද්දියෙකුට ඉංගිරිසි උගන්නපු හැටි ගැන එකක්.
ඒක දාන්නං කෝ හෙට අනිද්දට.

Tuesday 9 November 2010

වී.කේ. විරාජ් ගේ ජර්මානු ගමන


අපි හුඟ දෙනෙකු ගේ හිත් ක්‍රියාකරන්නේ එකිනෙකට වෙනස් අමුතුම විදිවලටයි.

හොඳට හිතල බලන්න, අවුරුද්දකටත් වඩා කාලයක් බ්ලොග් එකක් ලියන අයත්, ඒ වගේම දිග කාලයක් උදේ හවා බ්ලොග් කියව කියව ඉන්න අයත් ඉතිං එක්තරා ආකාරයකට අමුතු කට්ටියක් කියලයි මට හිතෙන්නේ. එහෙම නේද?

වී.කේ. විරාජ් කියන්නෙත් අමුතුම පොරක් ඒ කාලෙ.

මුලින්ම කියන්න ඕනැ, ඔය වී.කේ. කියන්නේ පොර ගේ ඇත්ත මුලකුරු නෙමේ. ඒවා පාප මිත්‍රයෝ දාපු අකුරු.

විරාජ් ගේ වැඩ හරිම ඉක්මං. එක තැනක ඉඳලා අනිත් තැනට යන්නේ නිකං හන්ඩ්රඩ් මීටර්ස් දුවන්න පුරුදු වෙනවා වගේ. ඒ අතිං හරිම කාර්‍යක්‍ෂමයි. කතාවේ වේගය ඊට එහා. තත්පරේකට වචන හැටක් විතර කතාකරන්න පුළුවන්. ඒක නං හැබැයි එච්චර කාර්‍යක්‍ෂමයි දෙයක් නෙමේ. මොකද පොර අපි එක්ක කතා කරන කොට, එකම දේ දෙතුන් පාරක් කියන්න වෙනවා. ඒ නිසා අන්තිමේදී සාමාන්‍ය වේගයෙන්ම තමයි අදහස් හුවමාරුව වෙන්නේ.

ඒ කියල තමන් ගේ වේගය අඩු කරන පොරක් නෙමේ, වී.කේ. විරාජ්!

ඒක හින්දම තමයි ඔය වී.කේ. කියන මුලකුරු පට බැඳුණෙත්.

වී. කේ. කියන්නේ වෙඩි කෑ කියන එකටයි. ඒක විරාජ් ගේ අධි වේගය ගැන කෙරෙන ප්‍රශස්තියක් කියල කියන්නත් පුළුවන්.

වේගය අතින් විරාජ් ට කිට්ටුවෙන් යන තව පොරක් හිටිය. මිනිහට කොල්ලො කිව්වෙ ඩී.බී. කියලයි. ඒ කියන්නේ දඩි-බිඩි.

වී.කේ. එකක් කියන්නේ දඩි බිඩි දාහකට කියලයි අර්ථ දක්වලා තිබුනේ.

වි.කේ. ගැන හොඳම තමයි කියන්න තියෙන්නේ. කාර්‍යක්‍ෂමකමවිතරක් නෙමේ පුදුම ධෛර්යයකුත් තිබුණ පොරක්. කොටින්ම අපිට පොඩි රිපෝර්ට් එකක් ලියන්න තිබුණ කියල හිතන්න. දැන් තියෙන වර්ඩ් ප්‍රොසෙසර් හොඳ නෑ කියල හිතුනොත්, පොරට පුළුවන්, ඒ වෙනුවෙන් අළුත් වර්ඩ් ප්‍රොසෙසර් එකක් ලියන්න. ඔන්නං, ඒක ලියන්න තමන් දන්න C++ වෙනුවට අළුතින් JADE වගේ එකක් මුල ඉඳලා ඉගෙන ගන්නත්.

ඔන්න මේ කියන කාලේ වී.කේ.ලයි, රත්නායකලයි, අපියි පස්තාච්චි ඇදලා ඉවරවෙන කාලේ. මේක ඉවරකරලා දොස්තර විභාගෙට යන්නයි හුඟ දෙනෙක් ගේ කල්පනාව. මේ කට්ටිය ගේ වැඩේ ඉතිං, USA වල, UK වල, Australia වේ යුනිවසිටි ගැන කතාකරන එකයි.

වී.කේ. ඉතිං ඔය කතාබහට වැඩිය සම්බන්ධ වෙන්නේ නෑ.

"ඈ බං වී. කේ., උඹේ අදහස කොහේ ගිහින් පී.එච්.ඩී. කරන්නද?"

"මචංමංපීඑච්ඩීකරන්නයන්නඉන්නේජර්මනියටයි."

"මොකක්ද වී.කේ. කිව්වෙ?"

"මංපීඑච්ඩීකරන්නයන්නඉන්නේජර්මනියටයිමචං."

"යකෝ අපිට තේරෙන්න හිමිං කියපංකො බං. උඹ කොහේ යන්නද ප්ලෑන් කරන්නේ?"

"ජර්මනියට!"

"ජ ර් ම නි ය ට ?"

"ඔව්බංමංයන්නහිතන්ඉන්නේජර්මනියටතමා."

"ඇයි, ඒ?"

"මේකනේමචංපීඑච්ඩීඑකක්කරන්නතරංමගේඉංග්ලිෂ්දැනුමහොඳමදිමංහොයලාබැලුවාජර්මනියේපීඑච්ඩීකරන්නඉංග්ලිෂ්ඕනෙනෑජර්මන්වලින්පුළුවන්."

"ඉතිං උඹ ජර්මන් දන්නවද?"

"නෑබංහැබැයිමංහෙටඉඳලාජර්මන්ඉගෙනගන්නවා."

-කතන්දරකාරයා

ප/ලි
අළුතින්ම ජර්මන් ඉගෙන ගෙන, ජර්මනියට ගිහිං පී.එච්.ඩී. තීසිස් එකක් ලියන්න ට්‍රයි කරන්නේ නැතුව, ඊට වඩා කෙටි කාලයකින් දන්න ඉංගිරිසි ටික වැඩි දියුණු කරගන්න පුළුවන් බව වී.කේ. ට ම තේරෙන්න ඇති.

ආචාර්ය වී.කේ. විරාජ් ට ජයවේවා!

Saturday 6 November 2010

ඔය කලිසමේ නම මොකක්ද?


මැදපු කමිස ගැන ලියපු කතන්දරේටත්, මැදපු කමිස මොකුත් නැති එකේ රහස ගැන ලියවුණු දෙවෙනි කොටසටත් හොඳ ප්‍රතිචාරයක් ආපු නිසා, මට හිතුණා අද කලිසං ගැන කතන්දරයක් ලියන්න.

දැන් අපි මුලින්ම දැක අඳුණාගන්න කෙනෙකුගෙන්, අර ගනේමුල්ලේ කුරුවිට ගෙන් වගේ, "ඔයා ගේ නම මොකක්ද"? කියල අහන එක සාමාන්‍ය දෙයක් නේ. කොල්ලන් ට, කෙල්ලන් ට විතරක් නෙමේ බල්ලන්ටත් නම් තියෙනව.

සමහර ගෙවල්වලටත් නං තියෙනව, "ශ්‍රියාවාස", "නවාතැන" වගේ. ඒ වුණාට අපි ගෙදරක ඇඩ්‍රස් එක අහනව මිසක ගෙදර නම මොකක්ද කියල අහන්නේ නෑනේ.

එහෙව් එකේ, "ඔය කලිසමේ නම මොකක්ද?" කියල ප්‍රශ්ණයක් අහන්න වුනොත්?

ඔන්න මං ඒ ලෙවල් කරන කාලේ අපේ ගෙදර මල් පැළයක් තිබුණ අපේ අම්මගේ. මේක මල් බිස්නස් එකක් කරපු නෑයෙක්ගෙන් තෑග්ගකට ලැබුණ පැලයක්. අම්ම කිව්වෙ හරිම වටින එකක් කියලයි. මල් වර්ගයේ නම "ප්‍රයිඩ් ඔෆ් ජැපෑන්".

ඕක අපේ ගෙදර ගෙනැල්ල සාත්තු සප්පායම් කර කර සෑහෙන කාලයක් ගතවුණා. අනේ කොල දෙක තුන හෙමිහිට ඇවිත් මේක බොන්සායි පුවක් ගහක් වගේ කණාටුවට හැදෙනව මිසක් ආපු මලක් නම් නෑ.

අපි අම්මට ඕක ගැන විහිළු කරන්න පටන් ගත්ත.

ඔය දවස්වල, මං මරදානෙං රෙදි අරගෙන ගම්පහ "රෙස්ටන් ටේලර්ස්" එකෙන් මැහැව්ව දුඹුරු පාට කොඩ්රෝයි කලිසමක්. ඒ දවස්වල වීක් එන්ඩ් එකේ ටියුෂන් කඩවලට යන්න මං නිතරම ඇඳපු කලිසමක් තමයි ඒක. ඒ කාලේ මගේ ප්‍රියතම කලිසම ඒක කියල කිව්වොත් නිවරදියි.

ඒත් මොන හේතුවක් නිසා හරි අපේ අම්මා මගේ මේ කොඩ්රෝයි කලිසමට කැමති වුනේ නෑ.

මං මොකද දන්නවද කලේ? මගේ කොඩ්රෝයි කලිසමට නමක් දැම්මා. "ප්‍රයිඩ් ඔෆ් ශ්‍රියාලතා!"

අම්ම ගේ රියැක්ෂන් එක ගැන අමුතුවෙන් කියන්න ඕනැ නෑනේ?

ඉන් පස්සේ මට තේරුණා, කොල්ලන් ට, කෙල්ලන් ට, බල්ලන් ට වගේම කලිසම් වලටත් නං දාන්න පුළුවන් නේද කියලා.

මල්ලිගේ කලිසම් වලට තමයි මං ඊ ලඟට නම් දැම්මේ. මෙන්න ඒවායින් මට මතක කීපයක්.

"බෙල් මාටියා" - මේ නම දැම්මේ කාටූන් කැරුක්ටර් එකක් සිහිවෙන්නයි
"පීචං" - පොර ගේ කලිසම් වලින් සවුත්තුම එක.
"කපුටු කාක්" - අමුතුම කළුපාටකින් යුතු කලිසමක්.

අනේ මන්දා මට විතරද කියලා මෙහෙම කලිසම් වලට නං දානව වගේ පිස්සු කල්පනා ඇවිල්ල තියෙන්නේ?

-කතන්දරකාරයා

ප/ලි
මාස ගාණකට පස්සේ "ප්‍රයිඩ් ඔෆ් ජැපෑන්" මල් ගහේ එකම එක මලක් ආවා!

Thursday 4 November 2010

කාගෙන කාගෙන කාගෙන යෑම


මං 1994 ඉලෙක්ෂන් එක ගැන කතන්දර දෙක තුනක් ම පල කළා පහුගිය දොහේ. විකල්ප පත්තර නැතිවෙන්න ගිය හැටි. හබරල ගාලේ කබරගොයි විවාදය. රුපියල් විස්සේ පෙට්‍රෝල්.

මේ කතන්දරයත් ඔය කියන ඉලෙක්ෂන් එක ගැනයි.

ඒ දවස්වල, ටෙලිවිෂන් එකේ යන "ජන හඬ" වගේ විවාද බලනව වගේම මං කැමති දෙයක් තමයි, අර විනාඩි පාලහේ පොඩි දේශපාලන කතා බලන එක.

මේ දේශපාලන කතා පැවැත්වුනේ මැතිවරණ නීතියෙම කියල තිබුණ හින්දයි. පස්සෙ, විපස්සෙ හැමෝටම විනාඩි පාලහ ගානෙ ලැබුණ රේඩියෝ එකෙයි, රූපවාහිනියෙයි දෙකේම.

පොඩ්ඩක් අතීතය මතක් කළොත්, මේ මැතිවරණය කියන්නේ ලොකු දේශපාලන පෙරලියක් වුනු එකක්. තිබුණු ආණ්ඩුව අවුරුදු දා හතක් බලයේ ඉඳල රටේ, බහුතරයකට එපා වෙලයි හිටියෙ.

අපි හුඟ දෙනෙක් බලං හිටිය නෝන ආවට පස්සේ දාහත් අවුරුද්දක දුෂණයයි, 1993 මැයි මාසෙ ඉඳන් ටික ටික නැතිවෙලා ගිහින් තිබුණු භීෂණයයි නැත්තටම නැති වෙලා, උතුරේ ප්‍රශ්ණයත් විසඳිලා රටට සාමය උදාවේවි කියල.

ඉතිං මං මේ කියන දවසෙ, රූපවාහිනියේ ඔය කතාව කරන්න ඇවිල්ල හිටියෙ මං කලින් කතන්දරවල කියල තියෙන නුවර පැත්තෙ තිප්පොලක ඉගෙන ගත්තු කෙල්ලෙක්. මෙයා නියෝජනය කලේ, කතුර ප්‍රෝග්‍රෑම් එකේ භාෂාවෙන් කියනව නං, සහෝදර පස්සෙ.

හරිම චතුර කථිකත්වයක් තිබුණු කෙල්ලෙක් වගෙයි මට මතක. මුල් මිනිත්තු කීපය එයා ගත්තේ, ඒ වෙනකොට තිබුණු ආණ්ඩු පස්සේ හම පතුරු අරින්නයි.

ඊ ලඟට එයා මෙන්න මේ මගේ තක්සේරවේ හැටියට ඓතිහාසික ප්‍රකාශය කළා!

"සහෝදරවරුණි, දැන් මේ විපස්සෙ අය මැතිවරණයට ඇවිත් මොකද කියන්නේ දන්නවද?"

"අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන යනව. උං රට කාගෙන, කාගෙන, කාගෙන යන එක නවත්තල, ඒ නවත්තන තැන ඉඳන් රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න කියල තමයි සහෝදරවරුණි මේ විපස්සේ අය චන්දෙ ඉල්ලන්නේ!"

මරු කියමන නේද?

-කතන්දරකාරයා

ප/ලි
මං මේ පරණ ඉලෙක්ෂන් කතන්දර ලියන කොට දේශපාලන පක්‍ෂවල නං දාන්නෙ නැතුව පස්සෙ, විපස්සෙ කියල කියන්නෙ ඇයි කියල දන්නවද?

ඔය දෙගොල්ලො ඉන්ටර්චේන්ජබල් හින්දයි.

මේ කතන්දරවල උං වෙනුවට මුං දැම්මත්, මුං වෙනුවට උං දැම්මත් කිසි වෙනසක් වෙන්නේ නෑ!!!

ප/ප/ලි
ඔය රූපවාහිනී කතාව කරපු කෙනා දැං ලංකාවෙ නෑ මයෙ හිතේ.

Tuesday 2 November 2010

ටැබූ සබ්ජෙක්ට්ස් සින්දුවක්!


මං හිතන්නේ සිංහල බ්ලොග් කියවන හැම කෙනෙක් ම දන්න බ්ලොග් එකක් තමයි "ටැබූ හෙවත් ටැබූ සර්" ලියන ටැබූ සබ්ජෙක්ට්ස්.

ටැබූ ගේ බ්ලොග් එක මුළුමනින්ම කියවල නැති අයට මේ ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ ලංකාවේ සමාජ දේශපාලන මාතෘකාය කියල ටැපලෙන්නත් පුළුවන්. නමුත්, ටැබූ සබ්ජෙක්ට්ස් කියන්නේ සාමාන්‍යයෙන් එළිපිට කතා නොකරන, සමාජ තහංචි පැනවිලා තියෙන විෂයයන් ට නේ.

මං මේ කියන්න යන්නේත්, ඒ වගේ කාරණයක් ගැන ලියවිලා, ගායනා කරල තියෙන සින්දුවක් ගැනයි.

වැඩි විස්තර ලියන්නේ මොටද, මෙන්න සින්දුවේ පද මාලාව හෙවත් ගේය පදවැල. ඉස්සෙල්ලා කියවන්න.

රෝස මලේ නුඹ නාඬන්නේ
රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

නයන පිනන රුවිනි සපිරි රුසිරූ
නිබඳ සුවඳ දසත විහිදි මියුරූ
මලෙක විලස නුඹ සඳෙකි සරා සොඳුරූ
කිමද රොනට නොම ඇදෙන කරුණ බඹරූ

රෝස මලේ නුඹ නාඬන්නේ
නුඹ පැතු වන බඹරා
වෙනතක යයි පියඹා
කුමටද දුක් වන්නේ?
කුමටද දුක් වන්නේ?

සොඳින සිරුර සුවඳ දියර නහවා
සිනිඳු සළුව කිඳුරු ලෙසින පොරවා
බඹර තුඩග රස විඳින බඹරු පතලා
කුමන පලද නුඹ මෙලෙස කඳුළු සලලා

ගායනය- හේමාල් ජයවික්‍රම
සංගීතය- සිසිල් ෆොන්සේකා
පදවැල- රසික සූරියආරච්චි

දැන් මෙන්න ගායක හේමාල් විසින් සාදන ලද යූ ටියුබ් ක්ලිප් එකක්. හැබැයි මේකෙ ඇති වැඩි විෂුවල් එකක් නං නෑ. ඕඩියෝ විතරයි. ඒ හින්ද මේක ඩවුන් ලොඩ් කරන්න 3 MB ද කොහෙද යන්නේ.



පදමාලාව ගැන අදහස් තියෙනව නං ඔන්න ඔහෙ ලියල දාන්න පල්ලෙහායිං.

-කතන්දරකාරයා

Sunday 31 October 2010

මැදපු කමිස මොකුත් නැති එකේ රහස!


මං පෙරේද පෝස්ට් කරපු මැදපු කමිස මොකුත් නැත කියන කතන්දරේ නැගල ගියා. එදා පොරොන්දු වුණු විදියට මං මේ ලියන්න යන්නේ මගේ ඇඳුම් ගොඩේ මැදපු කමිස මොකුත් නැති එකේ රහස මොකක්ද කියලයි.

එදා කිව්ව වගේ මම් තුමාවත්, කතන්දර හාමිනේවත් සාමාන්‍යයෙන් ඇඳුම් මදින්නේ නෑ. මං හිතන්නේ මං තුමා නං අවුරුද්දකට එක දවසක්වත් මැදපු කමිසයක් ඔෆිස් ඇඳන් ගිහින් නෑ.

ඇත්තම කියනවා නං මේකේ ඇති රහසක් නෑ. ඇඳුම් මැද්දොත් තමයි ආපහු මදින්න වෙන්නේ. මදින්නේ නැති ඇඳුම් ආපහු මදින්න ඕනෑ වෙන්නේ නෑ.

මං කරන්නේ වැඩ ඇරිලා ගෙදර ආපුහාම එදා ඇඳපු කමිසය උංඩි කරලා හෝදන්න තියෙන ඇඳුම් ගොඩට විසිකරන්නේ නැතුව රැක් එකේ ඉල්ලන එකයි. සති අන්තයේ කරන්නේ මායි හාමිනේයි වැඩට ඇන්ද කමිස කලිසම් වගේ හොඳ ඇඳුම් ටික වොෂින් මැෂිමේ අඩුම තීව්‍රතාවයක් තියෙන සයිකල් එකේ දාලා, හේදිලා අහවර වෙච්ච සුනංගුවෙන් ප්ලාස්ටික් හැඟර්ස්වල දාලා අව්වේ වේලා ගන්න එකයි. මේ හැඟර්ස් ගන්න පුළුවනි ආර්පිකෝ වගේ තැනකින්.

සිරස් අතට එල්ලලා තියෙන කමිස, කලිසම්වලින් වතුර බේරිලා, ඒවා වේලිලා අහවර වෙන කොට ආයේ මදින්න ඕනැ වෙන්නේ නෑ.

තවත් ඉම්පොර්ටන්ට් කරුණු දෙක තුනක් තියෙනවා.

එක: හේදිලා ඉවර වුණු ගමන් රෙදි වනන්න ඕනෑ. පරක්කු වුනොත් ඇඳුම් පොඩි වෙනවා.

දෙක: මැදපු ඇඳුම් ඉක්මනින් පොඩි වෙනවා. කවදාකවත් මැදපු නැති ඇඳුම්, සෑහෙන කාලයක් පොඩි නොවී තියාගන්න පුළුවනි.

තුන: අතින් හෝදන ඇඳුම්, මිරිකලා වතුර යවන්නේ නැතුවම හැඟර්ස්වල දාලා එල්ලලා ඩ්‍රිප් ඩ්‍රයි වෙන්න ඉඩහැරියොත් වඩාත් හොඳයි. කතන්දර හාමිනේ ගේ ඉස්තරම් වර්ගයේ බ්ලවුස් රාජිණියන්ට සලකන්නේ එහෙමයි.

ඔය දෙවෙනි කාරණයට, ඒ කියන්නේ මැදපු ඇඳුම් ඉක්මණට පොඩි වෙන්න, හේතුව මට හිතෙන විදියට ෆයිබර්ස්වල තියෙන මෙමොරි ප්‍රොපටියක් වෙන්න ඇති. එක පාරක් මැද්දොත්, ඒක මතක තියාගෙන ඉඳලා ආයෙත් මදිනකං කීකරු වෙන්නේ නෑ.

-කතන්දරකාරයා

ප/ලි
දැං ඔය මකරගේ මොලේ නිකං මාකොෆ් චේන් එකක් කියනවනේ. මගේ මොලේ නං පොයිසොන් ප්‍රොසෙස් එකකයි තියෙන්නේ.

කොටන්-පොලියෙස්ටර් ෆයිබර්ස් මොන මොන ජංජාලවල පැටලිලා ද කියලා කවුද දන්නේ?

Friday 29 October 2010

මැදපු කමිස මොකුත් නැත!


ඔන්න දැන් අවුරුදු එකසිය පනහකට විතර කලින් ඇමෙරිකාවෙ ජනාධිපති වෙලා හිටිය ඒබ්‍රහම් ලින්කන්ව මුණ ගැහෙන්න ගියාලු දන්න අඳුනන පොරක්. ඒ යනකොට මෑන් සපත්තු කුට්ටමක් පොලිෂ් කර කර ඉන්නවලු!

මේක දැකපු හිතවතා ඇහැව්වලු ලින්කන්ගෙන් ආ, ඔහේම ද ඔහේ ගේ සපත්තු පොලිෂ් කරන්නේ කියල.

ලින්කන් ගත් කටටම කියල තියෙන්නේ ඇයි ඔහේ පොලිෂ් කරන්නේ කාගේ සපත්තුද කියලයි.
(මේ දෙන්නම දකුණෙ කට්ටිය හොඳේ? ඒකයි ඔය ඔහේ ඔහේ කියල කතාකරන්නේ).

මං ඔය කතන්දරේ කිව්වෙ වෙන කතන්දරයක් කියන්නයි.

ඔන්න මං දැන් අවුරුදු කීපෙකට කලින් රාත්‍රියක ගියා යාළුවෙකුගේ ගෙදර. මං යනකොට පොර දාඩිය දාගෙන ඇඳුම් මදිනවා. මාව දැක්ක ගමං පොර කියාපි "දැං ඉතිං අපිට මේවත් කරගන්න වෙලානේ!" කියල.

මං මුලින් හිතුවෙ පොර මේ කියන්නේ කලින් වයිෆරේ රෙදි මැදල දුන්න, දැන් මංඩලේ කචල් එකක්ද කොහෙද හින්ද පොරටම රෙදි මැදගන්න වෙලාය කියල. පස්සෙ බැලින්නං මේකයි. අපේ මෑන් එච්චර වෙනකං සතියේ ගමං බිමං වලට, වැඩට, අඳින රෙදි ටික සෝදල මද්දගෙන තියෙන්නේ ලොන්ඩරි සේවයකින්.

පුදුම වෙන්න දෙයක් නෑ. මේ තමයි අර කෝක් වානා කතාවේ මං ලියපු යාළුවා!

ලින්කන් ගේ කතාව අනිත් පැත්ත හරෝලා "ආ! ඔහේ මදින්නේ ඔහේ ගෙම රෙදිද? මම නං මදින්නේ අනුන් ගේ රෙදි" කියලා කියන්නේ නැතුව මං කිව්වේ මෙන්න මෙහෙමයි.

"මම නං රෙදි මැදපු කාලයක් මතක නෑ!"

ඒ කතාව බොරුවක් නෙමේ අමූලික ඇත්ත.

ඉඳල ඉඳල කතන්දර හාමිනේ බැගෑපත්ව ඉල්ලා හිටියොත් එතුමිය ගේ 100% කොට්න් බ්ලවුස් රාජිණියක්ව මං මැදල දෙනව. ඒ මිසක් අපේ ගෙදර නං, මම් තුමාවත්, හාමිනේවත් රෙදි මදින්නේම නෑ. මැදපු කමිස, කලිසම්, බ්ලවුස් ආදී ඇඳුම් අඳින්නෙත් නෑ.

කොටින්ම මගේ මැදපු කමිස මොකුත් නෑ!

ඔය උඩ තියෙන ෆොටෝ එක බලන්නකෝ. එකක්වත් මැදලා නෑ.

මේ කතන්දරේ කියවන හැමදාම මැදපු ඇඳුම් අඳින අයට අපි දෙන්නා හොඳ ආදර්ශයක් වේවි මයෙ හිතේ.

හොඳටම රෑ වුණා. මේ ගැන වැඩි විස්තර දවස් දෙකකින් විතර ලියන්නම්.

-කතන්දරකාරයා

ප/ලි
මේ කතන්දරේට මං දීල තියෙන ටොපික් එක කලින් අහල තියෙන අය මෙන්න මේකත් අහල ඇති.

මේ බල්ල බන බදා දාතු නටවා රිය පොලට එනවා.

Tuesday 26 October 2010

බින්දු බින්දු දා හතර


මේ කියන්න යන දේ අපේ සහෘද සිංහල බ්ලොග්කාරයින් වෙන මගේ මරණය, මාරයාගේ හෝරාව, බූරු බබා වගේ අය විතරක් නෙමේ ඕනෑම, කන-බොන කෙනෙක් දන්න කතාවක් කියල මං හිතනව.

වෙනද වගේ වහෙං ඔරෝ නැතුව මෙන්න ගහපං පොල්ලෙන් ඔළුවට ක්‍රමයට කෙලින්ම කතාව.

දැන් ඔන්න අපි පොඩ්ඩක් සෙට් වෙච්ච බොහොමයක් වෙලාවට ඉතිං බෝතල් සහ වීදුරු ගැටෙනවා නේ. ඕනෑම බෝතලයක තියෙන, අරක්කු හෝ ජින් හෝ වයින් හෝ බියර් හෝ සේරම වීදුරුවලට දාගත්තට පස්සෙත් අඩු ගණනේ තවත් බින්දු දාහතරක් ඒ බෝතලේ ඉතුරුවෙලා තියෙනවා, තියෙනවා ම යි...!!!

කොහොමද මං දන්නේ?

ඔය කතාව මුලින්ම අහපු වෙලාවේ විශ්වාස නොකරන අය ඒක චැලේන්ජ් එකක් විදියට බාර අරගෙන මේ දැන් ඇස් ඉදිරිපිට හොඳටම හිස් කරපු බෝතලයක් උඩ යට හරවලා වීදුරුවට උඩින් අල්ලං ඉඳලා මේ තියරිය ටෙස්ට් කරලා බලනවා දෙතුන් විටක් ම දැකලා තියෙන හින්දයි.

අන්තිමටම දැක්කේ ඊයේ රෑ. ඒ බෝතලේ බින්දු දාසයක් තිබුණා.

බොරුයි කියල හිතෙනවා නං ඇහැකි වෙලාවක, ඇහැක් විදියට චැක් කරල බලන්නකෝ.

මං ඉස්සෙල්ලාම මේ කතාව දැනගත්තේ ඉංගිරිසි සම්භවයක් තියෙන කාන්තාවකගෙන්. එතන හිටිය, ලාංකිකය විතරක් නෙමේ, වියට්නෑම්කාරය, පකිස්ථාන්කාරය, ඉන්දියන්කාරි, ඕස්ටෙ‍්‍රලියන්කාරි ඇතුළු මුලු අන්තර්ජාතික වට මේසයම ඕක දැන ගෙන හිටියෙ නෑ.

එදා ඉඳල ඒ හැමෝමත් ඕය විදියට බින්දු වක්කරගන්නව ඇති.

හැබැයි මං මේ බින්දු හොයන්නේ නං වයින් වගේ ජාතිවල විතරයි. රතු හෝ කළු ලේබල් නං ඊට වැඩිය හොඳයි බෝතලේට වතුර ටිකක් දාල කරකෝල වීදුරුවට දාගන්න එක.

බියර් නං මට අරහං.

මොනව වුනත්, මේ බින්දු හොයන වැඩේ මධුලෝලී කෑදරයින් ගේ වැඩක්ම නෙමේ. සම්පත් නාස්තිය අවම කරන්න ඕනැ නේ -ලෝක ප්‍රජාවගේ යහපත උදෙසා. අන්න ඒකයි.

-කතන්දරකාරයා

Saturday 23 October 2010

අරුණි ශපීරෝ ගෙන් පිළිතුරක්


මගේ ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද? කියන කතන්දරේ ට අරුණි ශපීරෝ මුලින් දාපු කමෙන්ට් එක ගැන සයිබර් යායේ බුද්ධි ගේ පිළිතුරට අරුණි ශපීරෝ ආයෙත් උත්තරයක් ලියාලා.

මොකක් හරි ප්‍රශ්ණයක් නිසා ඒක කමෙන්ට් එකක් විදියට දාන්න බැහැ. මට එව්වා, මටත් බෑ. ඒ නිසා මට හිතුනා ඒ පිළිතුර මේ විදියට වත් පබ්ලිෂ් කරන්න.

ස්තුතියි අරුණී!
=============================================================
From: Aruni Shapiro arunishapiro@gmail.com
Date: 2010/10/22
To: Kathandara Kaarayaa kathandara@gmail.com

කතන්දර සයිට් එකේ උත්තරයක් දාන්න ගියාම ඉඩ දෙන්න බැහැයි කියනවා. පින් අඩුවේගන යනවා ද මන්දා? :)

@බුද්ධි,

මට මෙහෙම ප්‍රශ්නයක් මේ දිනවල. මගේ අවුරුදු 15 ක බැල්ලිට දැන් ඇස් පෙනීම අඩුයි. දත් ටිකකුත් එහෙන් මෙහෙන් හැලිලා ගිහින්. ටිකක් අංශබාගය පස්සා ගාතයකට. ඇල්සයිමර්ස් වයස නිසා. කන්න බොන්න මතක් කරන්න ඕනා. ඉතින් මං වේල් හතරක් අතින් බත් හොදි අනල ගුලි කර කර කවන්නෙ. රෑට වේදනා නාශක පෙත්තක් දෙනවා.

එයා තවම ඇවිදින්න යන්න ආසයි. ඉතින් මාත් එක්ක ඇස් නොපෙනුනාට හැතැප්මක් දෙකක් හැමදාම ඇවිදිනවා. වේදනා නාශක පෙත්ත නිසා රෑට හොඳට නිදාගන උදේ වරුවේ හරි කඩිසරයි. දුකින් වේදනාවකින් ඉන්න පාටක් නැහැ. ආයෙ හවස් වෙනකොට තමා වේගෙ අඩු.

ඉතින් මං ඔය කරන ටික පින් ද?

ඌ ස්වභාව ධර්මයාට අනුව ඔය මුකුත් නොකළොත් (පින් නම් එය නොකර සිටීම) දිනයකින් දෙකකින් මරණයට පත්වෙන එක පවක් ද? පිනක් ද?

මං ඌට දුන්නු ජීවිතය නෙමෙයි නිසා මට ඒක නැතිකරන්න අයිතියක් ඇත් ද?

හරි වැඩේ, පව්-පින් කරන ස්කේල් එක කවුරුත් එහෙම ලියලා තියෙනවා ද?

කතන්දරගෙ සටහනට ආයෙත්.

ක්ෂුද්‍ර ජීවියා මැරුවම ‍කොච්චර පව් ද?
මදුරුවා මැරුවාම කොච්චර පව් ද?
තල්මසා මැරුවාම කොච්චර පව් ද?
බළු කපු‍ටු දානය දුන්නම ‍කොච්චර පින් ද?
කිරිමාතාවන්ට දානය දුන්නම කොච්චර පින් ද?
ස්වාමීන්වහන්සේලාට දානය දුන්නම කොච්චර පින් ද?

එහෙම ස්කේල් එකක් තියනවා නම් ඉතින් ඕනම වැරැද්දක් කරලා වයසට ගිහින් මැරෙන්න ඔන්න මෙන්න ළං වෙන‍කොට දාන ගොඩකුයි, ඇඟේ තියන බද්ධ කරගත හැකි සේරම අවයවයි දානය කරලා ගියොත් ඉතින් දිව්යසලෝකයට ද යන්නෙ? ඊ ළඟට හොඳ ආත්මෙකට ද යන්නෙ?

සමහර විට වයසට යද්දී දාන දෙන එක වැඩියෙන් සමහරු කරන්නෙ ඔය පව්-පින් ස්කේල් නිසා වෙන්නැති. ඉක්මනට අර තරුණ කාලේ කරපු පව් පියවන්න.

එහෙම බලනකොට, පිළිගත් දාන මාන වැඩිය කරල නැති නිසා මම පින් වැඩිය එකතු කරගෙන නැහැ. පව් නොකළාට!!!!

සමහර විට මම ගිය ආත්මෙත් පව් කරලා නැති හැඩයි!! මොකද මෙයාලා, මම මහළු වයසේ සිටියත් හරි නිරෝගීයි. දොස්තර කෙනෙක් දැක්කෙ අවුරුදු විස්සකට ඉස්සර දුව ප්ර්සූත කරන්නයි. අනික කන්න බොන්න කිසි අඩුපාඩුවකුත් නැහැ. තව ධන වස්තුව හොයාගත්තොත් ආණ්ඩුව බදු කපා ගන්න නිසාම කිසි විදියකින් ධන වස්තු වැඩි කරගන්න ආසාවකුත් නැහැ!!

ඉතින් දැන් පව් නොකර හිටියොත් ඒ ඉස්සර ආත්ම වලින් ආපු පින් දිගටම ඇදගෙන ගිහින් තවත් ආත්මයක නිරෝගී, සැප සුව ඇතුව උපදින්න බැරි ද? නැත්නම් ඒ පින් ටිකෙන් ටික අඩුවෙලා යනව ද දැන් තියන සැප නිසා? එතකොට ගෙවෙන පින්වලට දාන මාන කරල අළුත් පින් ඉන්ටරෙස්ට් එකක් හදා ගන්න වෙනවා ද?

කතන්දර කියනවා වගේ ඔක්කොම ඉතින් ඉස්සර ආත්මෙකුයි පස්සෙ ආත්මෙකුයි විශ්වාස කරනවා නම්නෙ. මං විශ්වාස කරන්නෙ මං මැරනට පස්සෙ මං නැතැයි කියල නිසා එතකොට පින්-පව් ඔක්කොම පූෆ් ගාලා ‍අහෝසි වෙලා යයි!!!

අපි මේ කතා කරන්නෙ බුද්ධාගම ද නැත්නම් හින්දු ආගම ද? බුද්ධාගම ගැන නම් හින්දු ආගමට වඩා ආත්මන් අදහන්නේ නැති මහා විප්ලවීය ආගමක් කියා බුද්ධාගමට නම වැටුනේ ඇයි?

=============================================================

පිං පව් ගැණ කියනවා නං: මේ විදියට බ්ලොග් ලියන්න, කියවන්න, මං පිං කරලා තියෙනවා කියන එක නං මට ෂුවර්.

ඒත් මගේ කතන්දරවලට එන ප්‍රතිචාරවලට මට හිතේ හැටියට පිළිතුරු ලියන්න වෙලාවක් හොයාගන්න බැරි එක නං මගේ පාරුවේ පුවක් තමයි.

-කතන්දරකාරයා

Thursday 21 October 2010

පූරුවේ පවක්...!!!


ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද? කියල කතන්දරයක් වගේ එකක් ලියන වෙලේ මට පොඩ්ඩක් විතර බණ දහම් මතක් වුණා.

දැන් ඔය පව්, පිං දෙක එහෙම නැත්තං කර්ම තියෙනව නේද? පාලියෙන් කම්ම කියන්නෙයි, අපේ භාෂාවෙන් කරුමේ කියන්නෙයි ඒකට තමයි. හැබැයි කරුමේ කියන කොට නං එන්නේ පව් කියන අර්ථය විතරයි.

හරියට ගඳ කියනකොට දුගඳ විතරක් මතක්වෙනවා වාගේ.

මොනව වුනත් ඔය කර්ම ප්‍රධාන වශයෙන් වර්ග හතරකට බෙදල විශ්ලේෂණය කරල තියෙනව බුදු දහමේ.

1. දිට්ඨ ධම්ම වේදනීය කර්ම
2. උප පජ්ඣ වේදනීය කර්ම
3. අපරාපරිය වේදනීය කර්ම
4. අහෝසි කර්ම

ඉස්සර කාලෙ ඉඳලම පැවත ගෙන එන පෙරදිග ඥාණය අනුව අපි කරන හැම ක්‍රියාවකටම (කර්මයකටම) ප්‍රතික්‍රියාවක් තියෙනව. අර නිව්ටන් කාරය එව්රි ඇක්ෂන් හෑස් එ රියැක්ෂන් කියල භෞතික ලෝකය ගැන කිව්වෙත් ඔය කතාවම තමයි.

භෞතික ලෝකයෙන් පිටස්තර කාරණාවලදි මේ ප්‍රතික්‍රියාවලිය හැඳින්වෙන්නේ පටිසන් දීම කියලයි.

ඉස්සෙල්ල කියපු කර්ම වර්ගීකරණයට පදනම වෙලා තියෙන්නේ කර්මය පටිසන් දෙන විදියයි.

දිට්ඨ ධම්ම වේදනීය කර්ම කියන්නේ මේ ආත්මයේ දී ම පටිසන් දෙන කර්මවලටයි. අවිගත්තෝ අවියෙන් නැසෙති කියල කියන්නේත් මේ මත පදනම් වෙච්ච ප්‍රස්ථා පිරුලක් මට හිතෙන විදියට.

අද මේ හොඳට ඉඳල එක පාරටම වාෂ්ප වෙලා ලෝකෙන් තුරන් වෙලා යන අය, පුටුවෙන් පැදුරට හරි රජගෙදරින් සිරගෙදරට යන අයට එහෙම වෙන්නේ දිට්ඨ ධම්ම වේදනීය පාප කර්ම හින්දයි කියලයි බණ පොතේ සඳහන් වෙන්නේ.

දිට්ඨ ධම්ම වේදනීය පුණ්‍ය කර්ම පලදීමත් ඔය වගේම තමයි. අද හිරේ හිටියට හෙට සුවිශේෂී ක්‍ෂමාවක් ලැබිල හිරෙන් නිදහස් වෙන්න පුළුවන්. අද කැලේ වන සතුන් වගේ දුක් වින්දට හෙට රාජ මන්දිරවල සැප විඳින්න පුළුවන්.

උප පජ්ඣ වේදනීය කම්ම කියන්නේ මේ ආත්මේ කිසිම අවුලක් නොවී ඊලඟ ආත්මේ ඉඳල පටිසන් දෙන කර්මවලටයි. හරියට අපේ ආණ්ඩුව තියෙන කාලේ අපි කරන හොර වැඩ රාජ බලලෙං යට ගහං හිටියට, ආණ්ඩුව වෙනස් වෙලා, අද විපස්සේ හෙට බලේට ආපුවාම අපිට හිරේ විලංගුවෙ වැටෙන්න වෙනව වගේ කේස්වලටයි.

මරණින් පස්සේ චෙනත් ආත්මයක් නෑ කියල හිතන අය මේ ගැන අවුලක් ඇතිකරගන්න ඕනැ නෑ.

අපරාපරිය වේදනීය කර්ම කියල කියන්නේ මතු ඉපදෙන ආත්මයක්, ආත්මයක් පාසාම පටිසන් දෙන විදියේ කර්මවලටයි.

මතකනේ, කර්ම කියන්නේ පව් පිං දෙකටමයි. අර සීවලී හාමුදුරුවෝ පෙර ආත්මෙක බඩගින්නේ හිටි බල්ලෙකුට බත් කටක් දීලා, ඊලඟට ඉපදුණු හැම ආත්මෙම පිඟාන පිරෙන්න කෑම ලැබුණාය කියන්නේ මෙන්න මේ වගේ කර්ම හින්දායි.

ආණ්ඩු වෙනස් වෙන විදියට පාට වෙනස් කරගන්න අපේ අයත් මේ වර්ගයේ පිං කාරයෝ.

ඒ වගේම, කොච්චර මැතිවරණ ආවත් හැමදාමත් විපස්සේ ඉන්න වීමත්, එක්තරා ආකාරයක අපරාපරිය වේදනීය කර්මයක් තමයි!

අහෝසි කම්ම කියන්නේ කර්මය සිද්ධ වුනාට ඒකෙන් ප්‍රථිපලයක් නොලැබෙන කොටයි.

ඕනෑම දිට්ඨ ධම්ම වේදනීය කර්මයක් හරි උප පජ්ඣ වේදනීය කර්මයක් හරි, ඉතාම ලේසියෙන් අහෝසි කර්මයක් කරගන්න පුළුවන් - පොඩි ඇනටොමිකල් අවශ්‍යතා දෙක තුනක් සපුරන්න ඇහැකි නං.

හොඳින් නම්‍යශීලි කශේරුකාවකුයි, ඇනලිටිකල් ග්ලෝබ් එක මියුට් කරපු මස්තිශ්කයකුයි, දෑත් ශක්තිමත් කරන්න තරමේ මසල් පවර් එකකුයි විතරයි අවශ්‍ය වෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි
තවත් ඇනටොමිකල් අවශ්‍යතා තියෙනවද මන්දා? දන්නෝ දනිති!

Tuesday 19 October 2010

ගැරඬි මැරුවොත් පව් සිද්ධ වෙනවද?


මං පොඩි කාලේ අපේ ගෙදර මෙට්ටෙකට මකුණො බෝ වෙලා තිබිල, ඒ බව තේරුනේ එක දවසක් මහ රෑ දෙගොඩහරි ජාමේ.

මල්ලියි, තාත්තයි බර අවි යොදා ගන්නෙ නැතුව කරපු මකුණු සමූල ඝාතන මහා මානුෂික මෙහෙයුමට මටත් හවුල් වෙන්න වුණා.

ඔය කතාව ගැන ලිපියක් මේ ලඟදි සඟරාවක පලකරන්න ලියන කොට මට මතක්වුනේ දහම් පාසලේ දී ඉගෙන ගත්තු ලෝවැඩ සඟරාවේ එන මෙන්න මේ කවි පද දෙක.

"පෙර අඟනක් එක් එළු දෙනක හිස සිඳා
ඇය ඇඟ ලෝම ගණනේ හිස් කැපුම් ලඳා"

මේ කවිය සිහිවුනාම මට හිතුනේ හොඳ වෙලාවට මකුණන්ට මයිල් නැත්තෙ කියලා එළිච්චියන් ට වගේ.

ඒ කොහොම වුනත් මකුණෙක් මැරුවාම ලැබෙන පව අඩුයි නේද එළුවෙක් මැරුවට වඩා?

මට තේරිලා තියෙන විදියට මරණයට ලක්වෙන සතා ගේ ඇඟේ සයිස් එකට අනුලෝමව සමානුපාතිකයි සිද්ධවෙන පව. සතා පොඩි නං පව පුංචියි, සතා ලොකුවෙන්න වෙන්න පවත් ලොකු වෙනවා.

බණ අහන ගමන් උනත් මදුරුවෙක් වගේ පුංචි සතෙක්ව ඇඟට පතට නොදැනි චටස් ගාල තලල දාන්න පුළුවන් ඒ හින්දයි.

අලියෙක් මැරුවොත්, තල්මහෙක් මැරුවොත් හෙම මුළු ලෝකෙම වගේ කම්පාවෙන්නේ ඒ හින්දයි.

ඒ එක්කම ඉන්දියාවෙ දුම්රිය අනතුරකින් දෙසීය ගාණක් මැරෙන එකට වැඩිය, යූ.එස්.ඒ. වල දෙන්නෙක් මිය යාම ලොකු ඉන්ටර්නැෂනල් නිවුස් එකක් වෙන්නෙත් ඒ නිසයි.

-කතන්දරකාරයා

ප/ලි
දැන් ඔය අපි වගේ පොඩි ජුන්ඩෙක් වරදක් කරල හිරේ වැටුනොත් ඉතිං ඒ පරණ පව් නිසානේ. අපිට ඉතිං සොරි ඩොට් කොම් විතරයි.

ඒකටත් එක්ක ලොකු තල්මහෙකුට ජම්පර් අඳින්න වුනොත් ඉතිං කළු කොඩි තමයි රට පුරාම.

ඒ තල්මහ පොර වෙලා හිටිය කාලේ විනාස කරපු හාල්මැස්සො කන්දරාව ගැන කාටද අනේ මතක?

තල්මසුන් රකින්න ඉන්ටර්නැෂනල් වේලිං කොමිසම තිබුණට, පොඩි හාල්මැස්සන්ට ඉතිං දෙයියංගෙ පිහිටවත් නෑ.

ප/ප/ලි
ටියුබ් ලයිට් අයට- කතන්දරේ අද නෙමෙයි හෙට!

ප/ප/ප/ලි
මෙන්න දෙවෙනි කොටස - පූරුවේ පවක්!