
පෙරේදා මං දාපු "W3Lanka එකේ පරා ගේ පිහිටෙන් ඇනෝනිමස් නැති ආතල් එකක් ගැනීම හෙවත් ටැබූ කාරයා ට වැරදුණ (තවත්) තැනක් හෙවත් ඉන්ද්‍රනාම නමැති හිටපු ජෙප්පා ගේ වැඩ කිඩ හෙවත් ශාස්තෲ" කියන පොස්ට් එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නයි මේ හදන්නේ.
මගේ කතන්දර බ්ලොග් ටෙම්ප්ලේට් එකේ හැටියට ආපු කමෙන්ට්ස් වලට රියල් ටයිම් නොකරොත් වෙන වෙනම උත්තර බඳින්න බෑ. සේරම එක ගොඩටයි යන්නේ. වැඩ කරන දවස් නිසා ඒ විදියට රිප්ලයි කරන්න වෙලා නෑ. ඒ නිසයි මේ වෙනම ලිපියක් ලියන්නේ.
මුලින්ම කියන්න ඕනැ, මං පෙරේදා දාපු පෝස්ට් එකෙන් පොඩි පරීක්‍ෂණ කිහිපයක් කළා ය කියන එක. ටයිටල් එකෙන් පටන් අරගෙන අන්තර්ගතයේ සමහර කොටස් වලින් පවා.
ටයිටල් එක අද කාලෙට ඔබින, නමුත් ඒ පෝස්ට් එකට අදාල, වචන ටිකක් දාලා ඔච්චර දිගට සෙට් කෙරුවේ තනිකරම හොඳින් කැපී පෙනෙන්නටයි. ඒ පරීක්‍ෂණය සාර්ථකයි. මාස පහලොවක මගේ කතන්දර බ්ලොග් ඉතිහාසයේ දවසකට ලැබුණ වැඩිම හිට්ස් ගාන ලැබුණා පෙරේදා.
ආපු කමෙන්ට් වලින් මං දැක්කා සමහරු මගේ උප්පැන්නේ තියෙන නම හොයන්න හදල තියෙන හැටි. හැබැයි, පෙරේද පොස්ට් එකට මං දාපු ටයිටල් එකේම තිබුණ කෑල්ලක් තමයි "ඇනෝනිමස් නැතිය" කියන එක.
මං කවුද කියල දන්නෝ දනිති නේ. ගිය පාර සිංහල බ්ලොග් සංසදයේ සුහද හමුවෙදීත් කීදෙනෙක්ව හම්බ වුනාද? මේ පාර සුහද හමුවට එන්න බැරි වුනත්, ඊට කලින් සුමානෙ අපේ ගෙදරටම ආව බ්ලොග් ලියන, කියවන අර දහ දෙනෙක් විතර.
ඉතිං අහවල් දේකට යැ මගේ නම හොයන්න ඔච්චර මහන්සි වෙන්නේ.
ජොලිම වැඩේ කියන්නෙ මගේ නම ගැන කමෙන්ට්ස් දාපු අය ඒවා දාලා තියෙන්නේ ඇනෝ ලා විදියටයි. ඒ ගොල්ලන්ට ඇනෝනිමස් ආතල්. මට ඇනෝනිමස් නැති ආතල්. දැන් ඔය මගේ නම හොයන්න ලින්ක්ස් එක්ක ඇනෝ කමෙන්ට්ස් දාපු අයගේ නම් හොයන්නේ කවුද මන්දා?
ඊ ලඟට කතන්දර බ්ලොග් එක ගැන කියන්නම්.
එකක් දෙකක් ඇරුනහම, 2009 ජුලි මාසෙ පටන් ගත්තු දවසෙ ඉඳන් මං මේ බ්ලොග් එකේ දාපු හැම පෝස්ට් එකකින් ම උත්සාහ කලේ සරල වින්දනයක් එක්ක පොඩි කතන්දරයක් කියන්නයි.
මං මේ වැඩේට බැනුම් අහන තරම් ලොකු කාලයක් ගත කරනව. නමුත් හිතේ ජොලියක් මිස දුකක් නෑ, ඒ කැපකිරීම ගැන. වෙනදා ස්ට්‍රෝබෙරී ජැම් කාපු හැටි ගැන හරි, ලෝ කට් බ්ලවුස් ගැන හරි, සීය සාස්තර අහපු හැටි ගැන හරි ලියපු කතන්දරවලට වඩා පෙරේද දාපු පෝස්ට් එක වෙනස් වුනේ, ඒකේ මගේ විවිධ බක පණ්ඩිත මත, ආගිය විත්ති, උපුටා ගැනීම් වගේ දේවල් හැර වෙනත් සුවිශේෂී කතන්දරයක් නොතිබීමයි.
=======මගේ අදහස වටහා ගැනීම පහසුවෙනු පිණිස පසුව එකතු කරන ලදී.======
බ්ලොග් කියන වචනේ හැදිලා තියෙන්නේ වෙබ්-ලොග් කියන වචන වලින්. මං දන්න දරමින් ඒ කියන්නේ බ්ලොග් වල ප්‍රථම භාවිතය තමයි තමන් ගේ එදිනෙදා වැඩ කටයුතු පිළිබඳ වාර්තා තැබීම සහ තමන්ට හිතෙන දේවල් ලිවීම. මෙච්චර කල් කතන්දර ලියපු, තාත්ත අසනීප වුණු වෙලාවේත් ඒ ගැන කතා ලියපු, තාත්තා මිය ගිය වෙලාවේ කවියක් දාපු මං, මේ විවදාත්මක බ්ලොග් පෝස්ට් එකෙන් කලේ මගේ, අදහස්, එදිනෙදා ගමන් බිමන් යනාදිය ගැන ලිවීමයි. මීට කලින් මං එගෙම කරල තියෙන්නේ අන්තිම අඩුවෙන්. අර අවමංගල ස්තුතියේ දී විතරයි මට මතක හැටියට.
මාත් ආසයි දින සටහන් ලියන්න මගේ මති මතාන්තරත් එකතු කරලා.
============================================================
ඒ ලියපු ටිකට, එදා ගෙදර එනකොට හවස් වුණා, ගෙදර උයන්න එලවළු තිබුනේ නෑ, වැස්ස නිසා කඩේ යන්න කම්මැලියි, පරිප්පුයි සැමනුයි උයල කෑව, කබඩ් එකේ තිබුණු පරණ "හැනපියර්" බාගයක් තිබිල ඒකටත් වග කිව්ව, ඉන් පස්සෙ ඉහේ ඉඳල පොරවගෙන හොදටම නිදාගත්ත වගේ කෑලි ටිකකුත් දැම්ම නං වචනයේ අර්ථ-පරිසමාප්තාර්ථයෙන් ම මේක වෙබ්-ලොග් එකක් කරන්න තිබුණා.
අනෙක් කාරණය තමයි, මං හැදුවේ ශාස්තෲ පොත ගැන විචාරයක් කරන්න නෙමේ. මං පැහැදිලිවම කියල තිබුණනේ ඒ වැඩේ සමහර විට වෙන කෙනෙක් කරයි කියල.
මං මීට කලිනුත් පොත් ගැන පොඩි හැඳින්වීමක් දීල, ඒවායින් පොඩි පොඩි දේවල් උපුටා දක්වන එක කරල තියෙනව. සිව් සිත් කව් පොත ගැන එක පාරක් නෙමේ දෙතුන් පාරක්ම සහ තිරස තරණ පොත ගැනත් එකපාරක්.
ඒ පෝස්ට් ගැන ආපු නැති විරෝධයක්, මේ ශාස්තෲ ගැන ලියපු වෙලේ එන්නේ, අටවක පුත්තු ගැන හොඳ විචාරක් ලියපු ටැබූ සර්, ශාස්තෲ ගැන දෙඤ්ඤං බැටේ විචාරයක් ලියපු හේතුව වගේ මන් නොදන්න හේතුවක් හින්දයි කියල හිතන එක අසාධාරණයි මගේ හිතේ!
කීප දෙනෙක්අකමැති වෙලා තියෙන්නේ, මං ශාස්තෲ පොතෙන් උපුටලා පෙන්නපු සෘංඝාරාත්මක ඡේද දෙක නිසා වෙන්න ඕනැ. ඒ අයව දාන්න ඕනැ අර ගවුම්වල දිග හොයන කෙමිටියට හරි ඒ වගේ වෙන එකකට හරි.
ඔය අතර ටැබූ ලියල මං මඩ ගහනව කියල.
මගේ නං එහෙම අරමුණක් තිබුනෙ නැහැ කිසි විටකත්. මං මීට කලිනුත් ටැබූ ගැන කියවෙන කතන්දර එකක්, දෙකක් නෙමේ තුනක්, හතරක් විතර ලියල තියෙනව. ඊට අමතරව ටැබූ ගේ පෝස්ට් වල තියෙන නොයෙකුත් දේවල් ගැන විරෝධතා දක්වල තියෙනව.
මේ පෙරේද දාපු පෝස්ට් එකේ මං ටැබූ ගැන ලිව්වේ කාරණා තුනයි. ඒවා මඩ නෙමේ.
එකක් ලව් සහ කසාද ගැන ටැබූ ලියූ "තියරිටිකල්" ලිපිය සහ එයට මා, රංග සහ තවත් කීප දෙනෙක් දැමූ කමෙන්ට් වල සංක්‍ෂිප්තයක්. දෙවැන්න, පොත් ලිවීම නිශ්ඵල වැඩක් යැයි කියන ටැබූ ගේ කතාවට දැඩි විරෝධයක්. තුන්වැන්න, ටැබූ "අටවක පුත්තු" ගැන හොඳ විචාරයක් ලියා "ශාස්තෲ" ට වෙනත් හැන්දකින් බෙදුවේ ඇයි දැයි කියා ඇසූ අවංක ප්‍රශ්ණයක්. නැවතත් මේවා මඩ නෙමේ. මං ටැබූ ලියු ලිපිවල 'ඇන්ටි' වචනයට හෝ 'කටා' නමැති ගුරුවරයා ගේ කේස් එකට පෙන්වූ විරෝධය හා සමාන ඒවා.
අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේකයි. මං ජීවිතේටම එක දවසක් විතරක් දැකල තියෙන, අජිත් පැරකුම් ජයසිංහ ලියල පල කරපු, මං රුපියල් 250 ක් දීල අරගෙන කියෝපු, ශාස්තෲ කියන නවකතා පොත මගේ සිත ගත්තා. මං ඒ ගැන මගේ බ්ලොග් එකේ ලිව්වේ අජිත් පැරකුම් කියන්නේ අපේම සහෝදර බ්ලොග් කාරයෙක් හින්දයි.
එච්චරයි!
-කතන්දරකාරයා
ප/ලි
මං කලින් දවසක කමෙන්ට් එකක ලිව්ව වගේ මං ලියල ඉවර කරපු කතන්දර දහයක් තව තියෙනව. බාගෙට ලිපු ඒව පහක් විතර තියෙනව. ලියන්න තියෙන ලයිස්තුවේ 60+ තියෙනව.
ඉතිං, මගේ කතන්දර ලෝලීන් ට දුක් වෙන්න දෙයක් නෑ. සඳුද ඉඳන් බිස්නස් ඈස් යූෂුවල්!
