Monday 30 November 2009

දුටුගැමුණු ලා ගේ වැඩ - අයි ඩෝන්ට් නෝ වයි!


මේ කතන්දරේ සෑහෙන්න කාලයක් තිස්සෙ මගේ හිතේ තිබ්බ එකක්. ඔන්න අද තමයි ලියවුනේ!

දුටුගැමුණු "රජ්ජුරුවෝ" තරම් සිංහල අපේ සයිකි එකට බලපාපු රජෙක් නැති තරම්. ඒ ඉතිං "එතුමා" [පොර] ගැන අපි අහල තියෙන විවිධ වීර කතා, ජන කතා සහ බණ කතා හින්ද තමයි. බයිලත් නැත්තෙම නෑ.

ඒ කතන්දර කොච්චර අපට බලපාල තියෙනවද කියනව නම් "එතුමා" [පොර] ලංකාවෙ හිටියෙ මීට අවුරුදු 2300 කට ඉස්සර කියන සත්‍යයවත් අපිට විශ්වාස කරන්න අමාරු තරම්. මේ ඊයෙ පෙරේද වෙච්ච දේවල් විදියටයි අපේ මතකයෙ තියෙන්නේ.

දුටුගැමුණු සම්බන්ධ කතා බොහොමයක් "එතුමා" [පොර] ගැනම විතරක් නෙමේ. කැළණිතිස්ස ල, ගෝටයිම්බර ල ත් ඕවට සම්බන්ධයි. ලාවට නෙමේ, සිරාවටම.

දුටුගැමුණු පුරා වෘත්තයට සම්බන්ධ තවත් පොරක් තමයි සාලිය කුමාරය. සාලිය කියන්නෙ දුටුගැමුණු "රජ්ජුරුවන්" ගෙ පුතා.

ලව් කරන, ලව් එකට ලව් කරන, අපි බොහෝ දෙනෙකුට නම් සාලිය කාරයව පේන්නෙ එළකිරි පොරක් වගේ. අශෝක වනය මැද්දේ, අශෝක මල් නෙලමින් සිටි අශෝකමාලා කියන සැඩොල් කෙල්ලට ඇතිවුනු ලව් එක නිසා සාලිය මාගම් පුරේ රජ පවුලෙන් කැපුනනේ.

තමන් ගෙ තාත්ත එලාර ට බැෂ්ටිය දීල මුළු රටේම පාලනය අල්ලගත්ත. ඊලඟ ට, ඌව වෙල්ලස්ස යි මාගමයි විතරක් නෙමේ මුළු රටම හිමි වෙන්න තිබුනෙ සාලියට යි. ඒ සේරම රජ සැප ආදරය වෙනුවෙන් පූජා කලා. අපේ ලව් සික් කාරයෝ සාලිය වීරයෙක් විදියට සලකන්නේ අන්න ඒ නිසයි. නියම එස්.පී.බී.ආර්. [SPBR] කෙනෙක් හෙවත් සත්‍ය ප්‍රේමෙ බෲංග රාජයෙක්!

අපි වගෙ ලව් සික් කෂ්ටිය එහෙම හිතුවට ලව් එක නිසා පවුල් පන්සල් වෙලා දැන් උලව් ලව් මල ඉලව් වෙලා ඉන්න උන් නං හිතනව ඇති සාලිය කියන්නෙ පොල් බූරුවෙක් කියල. කෙල්ලෙක් නිසා රජකම දාල යන්නෙ නැතුව පොරට තිබුනෙ ඉස්සෙල්ල රජකම අරගෙන පස්සෙ හිමින් සැරේ අශෝකමාලා ව අන්තඃපුරේට සෙට්කර ගන්න එකනේ.

ඒ දවස්වල ඕක ලීගලි ම කරන්න තිබුනනෙ, අද වගෙයැ.

අර සුනිල් පෙරේරා ගෙ සින්දුවෙ කියනව වගේ - ඒ කාලෙ නෙ ඉන්න තිබුනෙ - අයි ඩෝන්ට් නෝ වයි!

දුටුගැමුණු "රජ්ජුරුවො" සහ "එතුමා" ගෙ [පොර ගෙ] පවුලෙ කෂ්ටිය ගැන තව කතන්දර කීපයක් ම තියෙනව. ඒව ලඟදීම ලියන්නං.

දෙවෙනි කොටස මෙන්න.
http://kathandara.blogspot.com/2009/12/2-visa-on-arrival.html

-කතන්දරකාරයා

Saturday 28 November 2009

[කතන්දර] - යුග දිවියක් "ගායනා කිරීම"....?


අරුම පුදුම මාතෘකාවක් නේද? යුග දිවියක් කොහොමද ගායනා කරන්නේ?

ඒක ම තමයි ප්‍රශ්ණය. ඒක ම තමයි අද කතන්දරයත්.

අර මගේ ඉන්දියන් උපාධිකාර යාළුවා මතකයි නේද? නෑ, නෑ, ගෙදරින් උපන් දින සුභපැතුම් කාඩ් එකක් ලැබුණු ඉන්දියන් කාරයා නෙමේ. අර අරක්කු ඕනා කෝක් වානා කතාවෙ ප්‍රධාන චරිතය. මතකයිනේ? අන්න මෑන්ස් තමයි අද කතන්දරේ ප්‍රධාන චරිතයත්. එදා කියන්න අමතක වුනා - පොරගෙ නම දුමින්ද. දුමින්ද සිරිවීර.

ඔන්න අපේ පොඩි පාටියක් තිබුණා. කිහිප දෙනෙක් වෙන්වී රට යෑම නිමිත්තෙන්. අපේ පොරත් එක් කෙනෙක්.

එදා හවස කට්ටියම පාටියට සෙට් වුනා. දුමින්ද ආවෙ තමන්ගෙ ප්‍රියම්භිකාවත් එක්කයි. පොර බැඳල ඒ වෙන කොට අවුරුද්දක් විතර ඇති මයෙ හිතේ.

දුමින්ද මියුසික් වලට කැමති කෙනෙක්. කී බෝඩ් එක ගහන්න පුළුවන් ඉතා හොඳට. ගායනයටත් හැකියාවටත් වඩා යන උනන්දුවක් තියෙනව.

ඉතිං ඔන්න, බීමෙන්, කෑමෙන් පස්සෙ සින්දු කියන වෙලාවත් ආව. දෙතුන් දෙනෙක් ඉස්සරහට ගිහින් මයික් එකත් අරගෙන සින්දු කිව්ව. මට හොදට මතකයි සුදාකරන් කියන අපේ යාපනෙන් ආපු හිතවතා කිව්ව "අකුරු මැකී නෑ" කියන සින්දුව නිකං ඇට්ටි හැලෙන්න. කොහොමටත් පරණ හෝඩි පොතේ වාක්‍ය ඒ විදියටම තියෙන හින්ද ද කොහෙද අකුරක් වත් වැරුද්දුවෙ නැහැ.

ඔන්න දුමින්ද ගෙ ටර්න් එක ආව. පොර ලස්සනට කිව්ව මා බාල කාලේ කියන සින්දුව.

ඒක ඉවර වුනාට පස්සෙ හැමෝම සුපුරුදු පරිදි වන් මෝ, වන් මෝ කියල කෑ ගහන්න ගත්ත. කොහොමටත් විස්කි පදමට ඇවිල්ල ඒ වෙලාව වෙනකොට බීපු උන්ගෙ.

ඔන්න අපේ එකෙක් කියපි එහෙනං දුමින්ද සුරංගි එක්ක යුග ගීතයක් ම කියන්න කියල. සුරංගි කියන්නෙ දුමියගෙ වයිෆරේ.

ඒක ඇහුණු මෙන්න බොලේ දුමින්ද කාරය මයික් එකෙන් මහ හයියෙං කිව්ව, "ආ! යුග ගීතයක් කියන්න අවුරුදු බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනැ නෙ. අපි බැඳල තාම අවුරුද්දක් වත් ගියේ නෑ. දැන්ම ම මොන යුග ගීත ද?" කියල.

අපි බැරිවුනා විනාඩි ගාණක් යනකං දුමින්ද කිව්ව හරුපෙ තේරුම් ගන්න.

ඔන්න තේරුණාට පස්සෙ මල පනින්න හිනා හැමෝටම.

කතාව මෙහෙමයි. දුමින්ද කොහොමටත් කඩු කාරයා. පොර ඉගෙන ගෙන තිබුණෙත් ඉන්දියාවෙනෙ? ඉතිං මෑන් දන්නෙ නෑ "යුග ගීතයක්" කියන එකේ තේරුම. ඒ හින්ද පොරට අපේ ඉල්ලීම ඇහිල තේරුම් අරං තියෙන්නෙ යුග ගීතයක් කියල නෙමේ, "යුග දිවියක්" කියලයි.

ඒ මදිවට පොර යුග දිවිය කියන යෙදුමේ සැබෑ තේරුමත් හරියට දැනගෙන ඉඳල නෑ. සමහර විට දෙමව්පියන් ගෙ අවුරුදු විසිපහේ යුග දිවි සංවත්සරය ගැන මතක් වෙන්න ඇති. ඒකයි පොර අර කිව්වෙ යුග දිවියක් වෙන්න බැඳල අවුරුදු විසිපහක් වත් යන්න ඕනෑනෙ කියල.

ඔන්න ඔහොමයි දුමින්ද යුග දිවියක් ගායනා කළේ!!!

දැන් අවුරුදු කිහිපයක් ගිහිල්ලත් අපිට තමවත් හිනා ඔය කතාව මතක්වෙන කොට.

කතන්දර කාරයා
දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

[ SBU කට්ටියගේ හමුවීම : 2009, දෙසැම්බර් මස, 19වැනි සෙනසුරාදා, උදේ 11am සිට සවස 3වන තුරු. Excel World හිදී.]

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Wednesday 25 November 2009

[කතන්දර කාරයා] ලංකේන්ඩියා Lankendia - ලංකාවටයි ඉන්දියාවටයි පොදු භාෂාවක්


මට මේ කතාව කිව්වෙ පිටරට ඉගෙන ගත්තු මගෙ යාළුවෙක්. නෑ, නෑ, මේ කියන්නෙ අර අරක්කු ඕනා කෝක් වානා කතන්දරේ කතා නායකයා වුනු ඉන්දියාවෙ ඉගෙන ගත්තු මගෙ යාළුව නෙමේ.

මේ කියන පොර රුසියාවෙයි ඉගෙන ගෙන තියෙන්නෙ. හැබැයි මේ කතාවට ඉන්දියන්කාරයෙකුත් සම්බන්ධයි. එයත් අර බර්ත් ඩේ කාඩ් එක ගැන කතන්දරේ හිටිය ඉන්දියන්කාරය නං නෙමේ. වෙනිං එකෙක්.

ඔන්න ඉතිං මගෙ හිතවතා ගියා රුසියාවෙ ඉගෙන ගන්න ස්කොලර්ෂිප් එකක් ලැබිලා. මිනිහ එහෙදි නතරවුණු විශ්ව විද්‍යාල නේවාසිකාගාරයේ හිටියෙ ඉන්දියන්කාර රූම් මේට් කෙනෙක්.

මුලදි, මුලදි දෙන්න කතාබහ කළේ දන්න ඉංගිරිසියෙන්. ටික ටික රුසියන් භාෂාව ඉගෙන ගන්න කොට නොදන්න රුසියන් වලිනුත් කතා කරන්න හැකිවුනා.

හැබැයි විවිධ අවස්ථා ඇවිල්ල තියෙනව මේ දෙන්නට, රුසියන් සහ ඉංගිරිසි වලට අමතරව වෙන භාෂාවකින් කතාකරන්න අවශ්‍ය වුනු. ඒ අනිත් අයට, විශේෂයෙන් ම රෂියන්ලටයි, ඒ එක්කම ඉංගිරිසි දන්න අයටයි නොතේරෙන්න.

මේ වෙනකොට දෙන්නට තේරිලා තිබුනෙ, ඉන්දියන්කාරයගෙ හින්දි භාෂාවටයි, ශ්‍රී ලාංකිකයගෙ සිංහල භාෂාවටයි පොදු සංස්කෘත භාෂාවෙ වචන තියෙන බව. හොඳම උදාහරණය තමා භාෂා කියන වචනයම. මේ සංස්කෘත වචන ඉන්දියන්කාරයටයි, අපේ පොරටයි දෙන්නටම තේරෙනව, හැබැයි වෙන උන්ට අණ්ඩර දෙමල!

ඉතිං මුං දෙන්න දන්න දන්න වචන පාවිච්චි කරමින් හදාගත්ත මං මේ කියන ලංකේංඩියා භාෂාව. (මේ නම දැම්මෙ මමයි 2009 නොවැම්බර් වල).

ඔන්න උදාහරණෙකට හිතමු මුං දෙන්න කොහෙ හරි ගිහින් ඉන්න කොට පිටි පස්සෙ ඉන්නව කියල හොඳ ලස්සන කෙල්ලෙක්. මේ බව මුලින් දකින එකා අනිකට කියනව මෙන්න මෙහෙම.

දක්‍ෂිණ දිශා, සුන්දර් ස්ත්‍රී.

හොරුහෙන් ඒ දිහා කාටවත් නොතේරෙන විදියට බලන අනිකා උත්තර දෙනව මෙහෙම.

උත්කර්ෂ ස්ත්‍රී! විශාල් පයෝධර්. චිත්තහ් ප්‍රීතී!

වැඩේ තේරුණා නේද?

මුං දෙන්න ඔය ආකාරයට මේ ලංකේන්ඩියා භාෂාවෙන් කතාකර කර හරි ජොලියක් වින්ද. භාෂාවත් එන්න එන්නම දියුණු වුණා. හැබැයි ඔන්න එක දවසක් වැඩේ වැරදුණා.

ඒ කතාව පස්සෙ දවසක කියන්නම්!

- කතන්දර කාරයා -
දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Saturday 21 November 2009

[කතන්දර කාරයා] - දිනපොතේ රහස්


අපි හැමෝම වගේ දින පොත් ලියල තියෙනව කෙටි කාලෙකට හරි මගෙ හිතේ. සමහර දිනපොත් ලෝක ප්‍රසිද්ධ කෘති බවට පත්වෙලාත් තියෙනව. හොඳම උදාහරණය තමයිඃ නාට්සි ජර්මනියේ ඇන් ෆ්‍රෑන්ක් ලියූ දිනපොත.

මං ඉස්සෙල්ලාම දිනපොතක් ලියන්න පටන් ගත්තේ හයේ පන්තියෙ ඉඳිද්දී වගෙයි මට මතක. ඒ දිනපොත අඟල් 4*3 විතර කුඩාම කුඩා ප්‍රමාණයේ අර කුඩා සටහන්, ඇපොයින්ට්මන්ට්ස් වගෙ දේවල් ලියන්න ගන්න ජාතියෙ එකක්. ඒ මදිවට ඒක ඊට කලින් අවුරුද්දෙ එකක්. ඉතිං හැම සටහනක් ම ලිව්වෙ දවස වෙනස් කරලායි.

අපි කුලියට හිටපු ගෙදර අයිතිකාරයින් ගේ ගෙදර තිබුනෙත් ඒ අක්කර දෙකක් විතර විශාල වත්තේ ම යි. ගෙවල් දෙක මැද්දෙ හරියෙ තිබුන විශාල වෙරළු ගහක්. මං ඉස්සෙල්ලාම දිනපොතේ සඳහන් කරන්න පටන් ගත්තෙ හැමදාම උදේට නැගිටල ගිහින් ඇහිඳපු වෙරළු ගෙඩි ගණනයි.

වෙරළු අවාරෙ ආවහම ඒ දින පොත ලිවීමත් ටිකෙන් ටික අඩුවෙලා අන්තිමේ දී නතර වෙලා ගියා.

එහෙම වුනත්, ඊලඟ අවුරුද්දෙත් මට පරණ දිනපොතක් හම්බ වුනා. වැඩිහිටියෙක් පාවිච්චි කරපු. ඉඳහිට දවසක ඉලක්කං කීපයක්, වියදම් වුණ ගණන් විය යුතුයි, විතරයි ලියල තිබුනෙ.
ඒව කටු ගාල ආයෙත් මං දිනපොත ලියන්න පටන් ගත්ත. වෙරළු ගැන, අඹ ගැන, පාසල් ගියා, ගියේ නෑ වගේ කෙටි සටහන්.

ඔහොම අවුරුදු කීපයක් ගතවුනා.

මගේ දිනපොත් ලිවීමේ උච්ඡතම අවස්ථාව එළඹුනේ මං ඒ ලෙවල්ස් කලාට පස්සෙ අවුරුද්දෙයි.

විභාගෙන් පස්සෙ අම්මලගෙ ගමේ ගිහින් සැප්තැම්බර්, ඔක්තෝම්බර් කාලෙ ගත කරපු මට ආපහු ගෙදර එන්න කලින්ම ගමේ අංකල් කෙනෙකුගෙන් තෑගි ලැබුනා ඊලඟ අවුරුද්දෙ අළුත් ම අළුත් දිනපොතක්. බී.සී.සී. කියන කොම්පැණියෙ එකක්.

ජීවිතයේ පලමු වතාවට ජනවාරි පලමුවෙනිදා දවසක, ඒ අවුරුද්දේම දින පොතක ලියන්න මට වරම් ලැබුණා.

ඒක එසේ මෙසේ දින පොතක් නෙමේ. විශාල එකක්. සතියේ දිනකට පිටුවයි. ඉරිද සෙනසුරාදට පිටු බාගෙ ගානේ. එක පිටක පේලි 25 ක් රූල් ගහල තිබුනා. මං කොච්චර ලියන්නෙක් වුනාද කියනව නම්, ඒ රූල් අතරත්, මාජින් වලත් ලියල එක පිටක පේලි 55 ක් පිරෙන්න ලිව්ව. වචන 500 ක් විතර එක දවසකට විතරක්.

එදා දවසෙ වුනු දේවල්. කෝච්චියෙදි, ටියුෂන් පන්තියෙදි දැක්ක, නොදැක්ක කෙල්ලො ගැන විස්තර, සිත් තැවුල්, දුක් අඳෝනා විතරක් නෙමේ හැමදාකම මා සිත් ගත් සින්දුවක පදමාලාවත් ලිව්ව.

ඒ දින පොත අද තිබුන නම්, මගේ විශාලතම මැනුස්ක්‍රිප්ට් එක වෙන්නෙ ඒක.

එච්චර ලොකු දිනපොත් ඊට පස්සෙ කාගෙන්වත් හම්බ උනේ නෑ. ඒ නැතිවුනත්, මීට අවුරුද්දකට විතර පස්සෙ වෙන කොට වෙනත් විනෝදාංශවල පැටලීම නිසා තිබුණු පොඩි පහේ දින පොත් වුනත් පිරවුනේ යාන්තමට පේලි දෙක තුනකින් විතරයි.

නමුත් ලියපු දිනපොත් පුච්වන්නයි, අළුතින් ඒ වාගේ පෞද්ගලික විස්තර, සිත් තැවුල්, දුක් වේදනා, සංතාප, අඳෝනා යනාදී මෙකී නොකී දේවල් ආයෙ නොලියන්නයි හේතුව උනේ, අපේ ගෙදර කට්ටිය හොරෙන් මගේ දින පොත බලනව කියල තේරුණාට පස්සෙයි. අම්ම විතරක් නෙමේ මල්ලිලත්!

බුදු අම්මෝ, වස ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ.

අර එක එක කෙල්ලො ගැන සිහින මවමින් සිත ඇතුලෙ තියාගෙන ඉඳල අන්තිමේ දී උන් කොල්ලො එක්ක සෙට් වෙලා ඉන්න හැටි දැකල ලියපු දේවල්, පස්සෙ ඇඟ පුරා බූට් කාල දුකෙන් ලියපු අඳෝනා සේරම ගෙදර අය කියෙව්ව කියල දැන ගත්තහම ඇතිවුනේ මහ මුස්පේන්තු හැඟීමක්.

දින පොත් ලිවිල්ල මං අල්ලල දැම්මා සදහටම.

හැබැයි පුච්චපු දිනපොත් ගැන නං මට දැං හොඳටෝම දුකයි.

අපරාදෙ නේද? දවසට එක ගානෙ කතන්දර ලියල බ්ලොග් එකට දාන්න තිබුන ඒව ආශ්‍රයෙන්.

කතන්දර කාරයා
- දෙසැම්බර් 19 දා Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Thursday 19 November 2009

වලිය ට බර පොරවල්


සමහරු වලියට බරයි. ඒ කියන්නෙ නිතරම රණ්ඩු වල පැටලෙනවා. ගහ ගන්නව කියන එක සාමාන්‍ය එදිනෙදා සිදුවීමක්. තේ බොනව බත් කනව වගේ.

මේ වගේ අයට කියනව අපේ අම්ම නං කියන්නෙ රණ්ඩු කෙකි කියල. හැම තිස්සෙම මොකක් හරි රණ්ඩුවක පැටලෙන්නමයි බලන්නේ.

මං නං පොඩි කාලෙ තියා අදවත් වලියට බර පොරක් නෙමේ.

අවංකවම කියනව නං මං මගේ මල්ලිලා දෙන්න එක්ක ගහ ගත්තු දෙතුන් පාරට අමතරව කා එක්ක වත් රණ්ඩුවක පැටලිලා නෑ.

රංඩු වල ට මූලික හේතුව කණ්ඩායම් ගැසීම. එහෙම නැත්තං ගැන්සි වලට එකතු වීම.

හොඳටම හිතවත් යාළුවො කීප දෙනෙක් එකතු වෙනව. බස් එකේ, කෝච්චියේ, ඉස්කෝලේ, ග්‍රවුන්ඩ් එකේ, ටියුෂන් ක්ලාස් එකේ නිතරම එකට හැසිරෙනව. කෙල්ලන්ට ලයින් දානව. කෙල්ලන් ව අයිති කරගන්න යනව.

ඔන්න වලි පටන් ගන්නව. වෙනත් කොල්ලො එක්ක. වෙනත් ගැන්සි එක්ක.

මම නම් ඔය වැඩ කරන්න ගියේ තට්ට තනියමයි. ගැන්සි තිබුනෙත් නෑ. වලි තිබුනෙත් නෑ.

ඒත් එකම එක දවසක් පොරක් මට ගහන්න ආව.

ඒක උනේ මෙහෙමයි.

අපේ ගමට වැඩ කලේ එකම එක බස් එකයි. ඒකෙ කොන්දොස්තර ල දෙන්නම සාමාන්‍යයෙන් ගමේ හැමෝවම අඳුනනව. අපේ සීසන් ටිකට්ස් චෙක් කරන්නේ නෑ.

ඔන්න අපේ ගමේ කොල්ලෙක් ගියා ටවුමෙ කෙල්ලෙකුට ලයින් එකක් දාන්න. උගෙ සපෝට් එකට ටවුමෙන් කොල්ලො කිපදෙනෙකුත් සෙට් වුනා.

දවසක් මං ගෙදර යන්න බස් එකට නගින කොට ගමේ කොල්ලයි, ටවුමෙ ගැන්සි නායකයි බස් එකේ. ගමේ කොල්ලට සීසන් එකක් තිබුන. ඌ ඒක ටවුමෙ එකාට දීල. මොකද කොන්දොස්තර සාමාන්‍යයෙන් ගමේ කොල්ලන් ගෙ සීසන් බලන්නෙ නෑනෙ.

නමුත් එදා වැඩේ වැරදුනා.

එකට වාඩි වෙලා හිටපු දෙන්න ගෙන් ටවුමෙ එකා සීසන් එක පෙන්නුව. මේක දැන ගෙනද කොහෙද කොන්දොස්තර ඉල්ලුව ගමේ කොල්ලගෙනුත් සීසන් එක මාක් කරන්න. ඉතිං ඌ කිව්ව අමතක වෙලා කියල. ඒත් ටිකට් ගන්න ඌ ලඟ සල්ලි නෑ. ටවුමෙ කොල්ල අතේ හරි ගානට සල්ලි තිබුනනෙ. ඌ ඉල්ලුව ටිකට් එකක්. කොන්දොස්තර ගෙන්.

මේ ජවනිකාව බලා හිටපු මට බකස් ගාල හිනා ගියා.

ඔන්න ඒ සති අන්තයෙ මං ටියුෂන් එකකට යන්න ඉන්නව ස්ටේෂන් එකේ. මට වෙනද යන කෝච්චිය වැරදිලා. තනියමයි හිටියෙ. අනිත් පැත්තට යන කෝච්චියකින් බැස්ස ටවුමෙ ගැන්සි නායකය. මාව දැක්ක ගමන් ඌ කෙලින්ම ආව මා ලඟට.

අඩෝ! උඹ එදා අපිට නක්කලේ දැම්ම නේද බස් එකේ දී. ඕව තියා ගන්න එපා හරිද?

මූ මගේ කොලර් එකෙන් ඇදල නොගත්ත විතරයි.

මගෙ කට වේලිල, දිව ගොත ගැහුණ. මූ මට වැඩිය එච්චර ලොකුත් නෑ. ඒත් ඉතිං, ගැන්සියක ලීඩර් කෙනෙක්නෙ. අද ගහගෙන දිනුවත් හෙට පැරදෙනවා. ජීවිතය පුරාම බයෙන් තමයි ටවුන් එකට එන්න වෙන්නෙ.

නෑ, නෑ, ඔයාට වැරදිලා, මං ඔයාට හිනා වුනේ නෑ.
මං යන්තං ගොත ගහ ගත්ත.

ඌට තේරෙන්න ඇති මේ හාල්දණ්ඩෙක් මරල ඇති වැඩක් නෑ කියල. ආයෙත් මට තර්ජනය කරල ඌ යන්ඩ ගියා.

මං ලැජ්ජාවෙන් වට පිට බැළුව. කවුරුවත් දැක්ක බවක් පේන්න තිබුනෙ නෑ. කොහොම වුනත් වෙනද ඉරිද ට ටියුෂන් යන්න ස්ටේෂන් එකට එන කෙල්ලො රැල කලින් කෝච්චියෙ ගිහින් නෙ ඒ වෙනකොට.

උන් ටික හිටිය නං වස ලජ්ජාවයි!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා හමුවෙමු!

එතකං මගේ පරණ කතන්දර බලන්න.

1. ජූලි කතන්දර
2. අගෝස්තු කතන්දර
3. සැප්තැම්බර් කතන්දර
4. ඔක්තෝබර් කතන්දර
5. නොවැම්බර් කතන්දර

Tuesday 17 November 2009

අනේ අපොයි අංකල් ගෙ බයිලා



මං කවියෙක් වුනු හැටියි, මං පෙම් කවියක් ලිව්ව හැටියි ගැන ලියපු කතන්දර දෙක මතකද?

ඔය ගැන හිත හිතා ඉන්න වෙලේ, මට හදිස්සියෙම මතක් වුනා අපේ අංකල් කෙනෙක් ලියපු කවියක්. මේක ඇත්තටම අංකල් ලියපු කවි හතර පහක් තිබුණු කවි පන්තියකින් මට මතක එකම එක කවිය.

මෙන්න කියවලා බලන්නකො ඒ කවිය.

කන්න නොමැතිව බොන්න නොමැතිව අපට ඇතිමුත් පුරුදු වී දුක
බැන්ද බලකොටු රැකිය යුතු වෙමු තවත් බලකොටු තනමු සිරි ලක
පන්තියේ උවමනාවන් මත රටම ඇති සැරසෙමින් නෑ සැක
කන්දසාමි ගෙ සෝමපාල ගෙ නමින් සහතික කරමු ඒ ටික

අපුරු කවිය. හොඳ අදහස. එහෙම නේද?

හැබැයි ඕක නිකං බයිලා එකක්.

මේ අංකල් ගැන මං කලින් කතන්දරයක් ලියල තියෙනවා.

මෙන්න ඒකට ලින්ක් එක. http://kathandara.blogspot.com/2009/08/blog-post_06.html

කලින් ඒ පරණ කතාව කියවලා නැති අය කියවලා බලන්න. එතකොට තේරෙයි, අර කවිය බයිල එකක් වෙන්නෙ ඇයි කියලා!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 Sinhala Bloggers Union සාදයේ දී හමුවෙමු.

එතකං මගේ පරණ කතන්දර බලන්න.

ජූලි කතන්දර

අගෝස්තු කතන්දර

සැප්තැම්බර් කතන්දර

ඔක්තෝබර් කතන්දර

නොවැම්බර් කතන්දර

Monday 16 November 2009

ෆිෆ්ටි පර්සන්ට් (50%) ආදරේ නිසා ලියවුනු කවිය


ෆිෆ්ටි පර්සන්ට් (50%) ආදරේ නිසා ලියවුනු කවිය

මෙන්න නිවරදි Link එක.

http://kathandara.blogspot.com/2009/11/blog-post_14.html

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා SBU සාදයේ දී හමුවෙමු.

Saturday 14 November 2009

කතන්දර කාරයා පෙම් කවියක් ලියූ වගයි!


ඔය ළමා ගායකයො ඉන්නව නේද? උදාහරණයක් විදියට හර්ෂන දිසානායක වගේ අය. (මට මතකයි ඉස්සර කාලෙ හිටිය රුවන් දල්පතාදු කියල පොඩි කොල්ලෙකුත් ලස්සනට සින්දු කියන.)

ළමා ගායකයින් ට තියෙන එක ප්‍රශ්ණයක් තමයි හැමදාම ළමා කාලෙ ඉන්න බැරි එක. කවුරු කවුරුත් ලොකු වෙනවා නේ. ඉතිං ලොකු උනාට පස්සෙ, අර පොඩි කාලෙ වගේ ළමා ගී කියන්න බැරි වෙනවා තව දුරටත්.

අකමැත්තෙන් වුනත් පෙම් ගී තමයි කියන්න වෙන්නෙ. හැබැයි පරණ ළමා ගී රසිකයින් ට ඉතිං මේක අල්ලන්නෙ නෑ.

අනික උගුරු ගැටේ කැඩිල කටහඬ වෙනස් වුනාට පස්සෙ කියන සින්දු වලින් මේ ගොල්ලන්ව කෙලින්ම අඳුනගන්නත් බැරි වෙනව. ඉතිං ජනප්‍රිය ළමා ගායකයො වැඩිහිටි ගායකයො විදියට වැඩිය නැගල යන්නෙ නෑ. ඉස්සර ජනප්‍රියව හිටපු ළමා ගායකයො වැඩි දෙනෙක් ගැන දැන් දැන් අහන්නවත් නැත්තෙ මේ හින්ද වෙන්න ඇති.

ළමා ගී වලින් පෙම් ගී වලට පනින්න තියෙන පිම්ම ලේසි පාසු පිම්මක් හෙම නෙමේ!

මටත් ඔය වගෙ වැඩක් වුණා. පොඩි කාලෙ සින්දු කියල නෙමේ. කවි ලියල. ඒ කතන්දරේ මෙන්න මෙහෙමයි.

මං තුනේ පන්තියෙදි ලියපු මුල්ම කවිය මිහිර පත්තරේ පලවුනු හැටි ගැන කියපු කතන්දරේ මතකයි නේද? මෙතන බලන්න අමතක නම්.
http://kathandara.blogspot.com/2009/11/blog-post_08.html

ඒ කවිය ලිව්වෙ මුහුදු වෙරල ගැන. ඊට පස්සෙ මං කවි ලියන්න ගියේ නෑ. හයේ පන්තියෙදි ලොකු ඉස්කෝලෙට ගියාට පස්සෙ සිංහල පාඩමට අවුරුද්දකට එක සිව්පද කවියක් විතර ලියන්න උනත් ආයෙත් කවි ලිවීම ගැන සීරියස් උනන්දුවක් ඇතිවුනේ අවුරුදු දාසයේ දී එකලොස් වෙනි වසරෙ ඉගෙන ගන්න කාලෙයි.

අර මීට කලින් ලියපු කතන්දර වලින් කියපු පහේ හයේ පන්තිවල සංසිද්ධි වුන කාලෙට වඩා ලොකු වෙනසක් තිබුණ.

මේ, ටෙස්ටෙස්ටොරන් හෝමෝන ටික ටික මෝරලා ඇවිත් හිතට වද කරන කාලෙ.

කෝච්චියෙ යද්දි එද්දි දකින කෙල්ලන් ගැන අමුතු සිතුවිලි එන කාලෙ.

ආදර සිතුවිලි හොඳටම සිතට වදින කාලෙ වීම.

උදේ හවස කෝච්චියෙ යන එන කොට දකින සම වයසෙ කෙල්ලෙක් ගැන කතන්දරගෙ හිත ගියා. ඉතිං ඒක පාර්ශවික ආදර කතන්දරයක් ඇරඹුනා.

මෙන්න බොලේ දන්නෙම නැතුව කතන්දර අතින් ලියවුනා කවියක්. පෙම් කවියක්. මෙන්න ඒ කවිය.

ඔබ නිසාය

ඈත අහසෙ පාවි පාවි
හෙමින් හෙමින් ඇදිලා යන
පුළුන් වලාකුළු වල ඇති
සුන්දර බව මා දුටුවේ

සඳ පෑවූ රෑ යාමේ
එහෙන් මෙහෙන් පොකුරු පොකුරු
පිපිලා ඇති තරු මල් වල
අමුතු ලස්සනක් දුටුවේ

කිචි බිචි ගා කෑ ගසමින්
ලිය ගොමුවල දුව පනිනා
පුංචි බටිති මලිතන් ගේ
ගී නාදය කණ වැටුනේ

සුපිපුණු අරලිය මල්වල
සුවඳින් මා සිත පිරුනේ
බැස යන හිරු ගේ දසුනේ
නොදුටු ලස්සනක් දුටුවේ

කුමරිය ඔබගේ දෙනෙතින්
මා හද පණ ලැබු නිසාය

ඔබ දෙනෙතේ මුව මඩලේ
රුඳී තිබුණු ඒ කැල්මෙන්
මා සිත පිබිදුණු නිසාය
මා ජීවය ලද නිසාය

මුහුදු වෙරළ ගැන මිහිර පත්තරේට කවි ලියපු කතන්දර කාරයා පෙම් කවියෙක් වුනේ ඔන්න ඔහොමයි. ඔය මුල්ම පෙම් කවිය ලියන කොට වයස කියනව නම් හරියටම අවුරුදු දාසයයි මාසයයි!

මේ කවිය පත්තරේට දැම්මට උන් පල කළේ නෑ!

ඉතිං කතන්දරගෙ මේ මුල්ම පෙම් කවියට වස්තු බිජය සපයපු ඒ බාලිකාවිය ගැනත්, අත් දෙකේ ඇඟිලි මදිවෙන තරමේ ගණනාවක් තවත් මානවිකාවියන් ගැනත් තවත් කවි ටොන් ගණනාවක් ලියවුනා.

ඒ කවි ටීනේජර් අකුරෙන් ලියපු පරණ ඇක්සයිස් පොත් ටික විතරක් තාම මා ලඟ තියෙනවා!

කතන්දර කාරයා - දෙසැම්බර් 19 දා හමුවෙමු.

Wednesday 11 November 2009

නොට්ටිගෙ පුතා - තාත්ත ගෙන් පුතාට


තාත්ත කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගෙ පුතා ලු!

මේ කතාවෙන් කියවෙන්නෙ පුතාලා තාත්තලා වගෙයි කියලනෙ. මේ කතාව ඇත්තද?

අපේ සීයට තිබුන උඩු රැවුලක්. ඒත් තාත්තත් ඇතුළුව සීය ගෙ පුතාල කවුරුවත් ම රැවුල වැව්වෙ නෑ. ක්ලීන් ෂේව් කරල තමයි ඉන්න කැමති හැමෝම.

අපේ තාත්ත දිනපතා රැවුල කැපුවට තාත්ත ගෙ පුතාල නම් හැමෝම රැවුල වවනව!

අපේ තාත්ත මත්පැන් කට හරියෙ තියන්නෙ නෑ.

ඒකට එයා ගෙ පුතාල. තාත්ත ගෙ පාවිච්චි නොකරපු කෝටා එකත් අරගෙන වගෙ වැඩකිඩ නම්. ඒ කෝටා එකයි, තමන් ගෙ කෝටා එකයි මදිවට ඊලඟ පරම්පරාවෙ කෝටා එකත් දැම්මම ඉවර කරයි ද මන්ද?

මේ සේරටමත් වැඩිය තාත්තගෙයි මගෙයි තියෙන වෙනස් කම තමයි දේශපාලන අදහස්.

ඕක මට තේරුණේ එක සැරයක් ඡන්දයක් කාලෙ අපේ ගෙදරට කැන්වසිං ආපු යූ.ඇම්.පී. කාරයො දුන්න ලීෆ්ලට් තොගේ ගන්නෙ නැතුව බිමට වැටෙන්න ඇරල, මං කාමරේට වැදුන වෙලේ තාත්තට තද වෙච්ච හින්දයි.

තාත්ත ඒ වෙලාවෙ නං කිව්වෙ, ගෙදරට ආපු මිනිස්සුන් ට එහෙම කරපු එක වැරදියි කියලයි. ඒ වුනාට මං හිතන්නෙ ඒකෙන් තේරුණේ තාත්තගෙ හැංගිලා තියෙන යූ.ඇම්.පී කමයි.

හොඳ වෙලාවට තාත්තයි මායි කවදාවත් ලංකාවෙ දේශපාලනය ගැන කතා කරල නෑ. ඒ වගේම තාත්තා කවදාවත් මට අනවශ්‍ය දේශණා දෙන්න ගිහිල්ලත් නෑ ඒ වගෙ මාතෘකා ගැන.

මේ කතන්දරේ ලියන්න ගත්තට පස්සෙ මට මතක් වෙච්ච එකක් තමයි, ජනවාර්ගික ප්‍රශ්ණය ගැනත් තාත්තයි මායි කවදාවත් කතා කරල නැති බව. ඇත්තටම කියනව නම්, ඒ සම්බන්ධයෙන් තාත්තගෙ අදහස් මොනවගේද කියල මට අනුමානයක් මිසක් කිසිම පැහැදිලි අදහසක් නෑ.

සමහර විට මං නොට්ටිගෙ පුතෙක් වෙන්න ඇති!

(මේ කතන්දරය පල කෙරෙන්නේ අද නොවැම්බර් 11 දිනට යෙදී ඇති මගේ තාත්තා ගේ උපන් දිනය වෙනුවෙනි.)

-කතන්දරකාරයා

Sunday 8 November 2009

මං කවියෙක් වුනු හැටි


මං ඉස්-ඉස්සෙල්ලාම කවියක් ලිවුවෙ තුනේ පන්තියෙදි. එතකොට මගෙ වයස අවුරුදු හත හමාරක් විතර ඇති. ඇයි මට හිතුනෙ ඒ විදියට එදා කවියක් ලියන්න කියල නං දැන් මතක නෑ. කොහෙම වුනත්, මෙන්න මේකයි මට මතක හැටියට ඒ පුංචි කවිය.

මූදු වෙරල


රැල්ල ගහනවා
වැල්ලෙ වදිනවා
මාළු ඉන්නවා
මුහුදේ පීනනවා
ළමයි ඉන්නවා
සරුංගෝල යවනවා
රෑ බෝ වෙනවා
අපි ගෙදරට එනවා

ලියපු කවිය මං කාටවත් පෙන්නුවෙ නෑ. කවියක් ලිව්ව කියල කාටවත් කිව්වෙත් නෑ. මං කලේ හොරෙන්ම කවිය පොස්ට් කාඩ් එකක ලියල, මේකට තාත්තගෙ තීන්ත පෑන හොරෙන් පාවිච්චි කරන්න වුනා, තුනේ පන්තියේ ළමයි ලිව්වෙ පැන්සලෙන් නෙ, මිහිර පත්තරේට තැපැල් කල එකයි.

මිහිර කියන්නෙ ඒ දවස් වල තිබුණු එකම ළමා පත්තරේ. ලේක් හවුස් එකෙනුයි ගැහැව්වෙ.

සති දෙක තුනක් ගියාම මෙන්නෙ බොලේ මගේ කවිය පත්තරේ පලවෙලා තිබුණ. හරිම ජොලි එදා. හැමෝගෙන් මට පැසසුම්. ලියපු මුල්ම කවිය පත්තරේක පලවෙනව කියන්නේ කොච්චර ලොකු දෙයක්ද?

මේ ගැන සිහි කරන මෙවෙලෙ මට හිතෙන්නෙ, එදා ඒ මට ආපු ජොලිය මං ජීවිතේ ඉස්-ඉස්සෙල්ලාම හූරණ ලොතරැයියක් ගත්තු දවසෙ ඒකට දිනුමක් තිබුණ වෙලේ ඇතිවුනු ජොලියට සමානයි කියල. තමන් ගත්තු මුල්ම ලොතරැයියෙන් දිනල තියෙන්නෙ කීයෙන් කී දෙනාද? එදා ඉඳල ගත්තු කිසිම ලොතරැයියක් ඇදිල නෑ. ඒක වෙනම ම කතාවක්.

කොහොම හරි මගෙ කවිය මිහිර පත්තරේ ගිය එකෙන් එක හොඳක් උනා. ඒක තමයි, අපේ පන්තියෙ කීප දෙනෙක් ම කවි කියන්නට හැදීම. හැබැයි ඒ නිකං ආසාවට නෙමේ, කෙලින් ම මිහිර පත්තරේට දාන්නයි.

මට තවමත් මතකයි එක ළමයෙක් එයා පත්තරේට දාන්න යන පෝස්ට් කාඩ් එක මට පෙන්නුව. ඉස්කෝලෙ ගැන ලියල තිබුණු ඒ එලිසමය සහිත සිව්පද කවියෙ අන්තිම පදේ විතරයි මට මතක.

"පාසල් මවුනි වඳිනෙමි ඔබ පා තඹර"

මේ කොළුව මට වැඩිය මාස කිහිපයක් වැඩිමල් ඇති වැඩිම උනොත්. අවුරුදු අටක ළමයෙක් කොහොමද ඔච්චර දෙයක් ලියන්නේ?

කවිය හදල තිබුනෙ විතරක් නෙමේ පොස්ට් කාඩ් එකේ ලියල තිබුනෙත්, අටේ පන්තියෙ හිටපු උන් ගෙ අක්කා!

පෝස්ට් කාඩ් එකේ ලියල තිබුණු නම විතරයි තුනේ පන්තියෙ මල්ලි ට අයිති.

මං දැක්ක මේ එකම එක කවියවත්, අපේ පන්තියෙ හරි ඉස්කෝලෙ හරි ළමයෙක් ලියපු වෙන කිසිම කවියක් වත් මං දන්න තරමින් මිහිර පත්තරේ පලවුනේ නෑ.

මාත් ඊට පස්සෙ කවියක් ලිව්ව නං ලිව්වෙ හතේ පන්තියෙ විතර ඉඳිද්දී, සිංහල පාඩමේ අභ්‍යාසයක් විදියට කවියක් ලියන්න ජයසෝම ටීචර් ගෙන් අණ ලැබුණු වෙලාවල් වලට විතරයි.

බ්ලොග් කාරයෙක් වෙන එක වගේ නෙමේ, කවියෙක් වෙන එකනම් ලේසි පාසු වැඩක් නෙමේ!

මෙන්න මං හතේ පන්තියෙ දි විතර ලියපු කවියක්

සුලඟ

දොරකට ලඟ ලොවි ගහේ
මල් පිපිලා සුවඳ හමයි
හැම තැන යන සුලඟ ඇවිත්
බඹරිඳු හට එය පවසයි
පොඩි ළමයා අවදි වෙයි
කැරකෙන පෙත්තක් හදයි
හැම තැන යන සුලඟ ඇවිත්
විගහට එය කරකවයි
හිරු රැස් වැඩි වී ගොසින්
පීඩා එයි දස අතින්
හැම තැන යන සුලඟ ඇවිත්
අපගේ ගිම් රැස් නිවයි
(තව පදයක් තිබුනේය. දැන් අමතකයි.)

හැබැයි පොඩි කාලෙ ඉඳලම කොච්චර පොඩි පොඩි ක්‍රෂ් තිබුනත් මුලින් ම කෙල්ලෙක් ගැන කවියක් ලිව්වෙ නං අවුරුදු දාසයේ දි විතර.

ඒ කතන්දරේ වෙනම ලියන්නං පස්සෙ දවසක.

කතන්දර කාරයා.

Friday 6 November 2009

යුනිකෝ සහ මේඝ - අපේ කාලයේ වීරයෝ


මං පොඩි කාලෙ අපේ වයසෙ කොල්ලන් ගෙ වීරයො හිටියෙ ටෙලිවිෂන් එකේ නෙමේ චිත්‍රකතා පත්තර වලයි. ඒ දවස් වල ජනප්‍රිය වෙලා තිබුණු සතුට කියන චිත්‍රකතා පත්තරේ අපේ කාලේ වීරයෝ දෙන්නෙක් තමා යුනිකෝ සහ මේඝ කියන චිත්‍ර කතා චරිත දෙක.

යුනිකෝ කියන්නෙ බැට් මෑන් වගේ ඇස් දෙක වහගත්ත, ආදි යුරෝපීය යුගයකට අයිති චරිතයක්. කෑවෙ මස් පුච්චලා. සටන් කළේ කෘර රජවරුන්, නපුරු සෙනෙවියන් එක්ක. නමුත් මිනිහ සේරම කලේ මසල් පවර් එකෙන්. කඩු ෆයිට් කෝටියයි. කොහොම හරි කුමාරි ව බේරගන්නව අන්තිමේදි.

මේඝ කියන්නෙ ටාසන් වගේ කැලෑවක ඉන්න වීරයෙක්. හැබැයි තනිකරම දේශීය චරිතයක්. කෑවෙ පලතුරු තමා බොහෝ විට. සටන් කළේ කෑලේ වනසන්න එන අය එක්ක. පොදුවේ දුෂ්ඨයො එක්ක. බාහු බලේ තමයි නැවතත්. රූමතියෙක් දෙන්නෙක් බේර ගන්න එකත් රූටින්ලි කළා.

ඔය දවස්වල මං හතේ පන්තියෙ විතර හිටියෙ ලොකු ඉස්කෝලෙ. අපේ පන්තියෙ හිටිය උසට මහතට කැපිල පේන කොල්ලො දෙන්නෙක්. එකෙක් සුනිල්. අනිකා පියතිලක. මේ දෙන්නම එකම ගමේ එක ලඟ ගෙවල් දෙකක ඉඳලයි ඉස්කෝලෙ ආවෙ. සුනිල් ගෙ තාත්ත පුද්ගලික සමාගමක කල ජොබ් එකමයි පියතිලක ගෙ තාත්ත ආණ්ඩුවෙ සංස්ථාවක කලේ. පවුල් දෙක හිතවත්. ඒ හින්දද කොහෙද මුලිං යාළුවො වුනු මුං දෙන්න අතර මේ වෙන කොට ඇතිවෙලා තිබුණ ටිකක් නෙමේ සෑහෙන්න තරහක්.

සුනිලුයි, පියතිලකයි දෙන්නම අපේ පන්තියෙ අනිත් කොල්ලො එක්ක ගත්තහම නිකං යෝධයො වගේ. උසින් මහතින් දෙකෙන් ම. ඉතිං ටික දවසකින් ම මුං දෙන්නට නම් දෙකක් පට බැඳුණ.

සුනිල් තමා යුනිකෝ. පියතිලක මේඝ.

වෙන සරදම් නම් වලට වගේ නෙමේ, යුනිකෝ, මේඝ වගේ වීරයින් ගෙ නම් වලට කවුද අකමැති වෙන්නේ.

ඒ විතරක් නෙමේ පන්තියෙ හිටපු කොල්ලො කීප දෙනෙක් නීරෝ සහ මේඝ වටේ කල්ලි ගැහුණ.

චිත්‍රකතාවෙ යුනිකෝ ගෙ හොඳම යාළුවා ගෙ නම ඔමෙගා. සුනිල් ගෙ හොඳම සගයා තමන් ට ඒ නම දා ගත්ත.

කැලේ හිටිය මේඝ ගෙ යාළුවො සේරම අලි, කොටි, වඳුරො වගේ වන සත්තු. ඒ නිසා, අපේ පන්තියෙ මේඝ ගෙ පිලේ උන්ට වෙනත් නම් තිබුනෙ නෑ.

කාලය ගෙවී ගියා. අපි ඉස්කොලෙන් විසිරිලා ගියා ඕ ලෙවල් වලින් පස්සෙ. ඔහොම කාලයක් ගතවෙලා, අවුරුදු හතකට පස්සෙ මට සුනිල් ව යි, පියතිලක ව යි දෙන්නව වෙන වෙනම හම්බ වුනා අහම්බෙන් වගේ.

එදා හයේ පන්තියෙ දි උස මහතට හිටපු, යුනිකෝ සහ මේඝ කියන වීරයින් ගෙ නම් වලින් හැඳින්වුනු වීරයො දෙන්න, අනේ අවුරුදු නමයකට පස්සෙ බැලින්නම් අඩි පහේ මිට්ටො දෙන්නෙක් විතරයි.

දෙන්නම මා එක්ක කතා කලේ ඔළු උඩට උස්සගෙන. මට තේරුණේ මං උං දෙන්නට වැඩිය අඩියක් විතර උසයි කියල. ඒ කෙසේ වෙතත් මං දෙන්නටම වැඩිය අඟල් අටක් විතර උසයි.

සුනිල් ගෙ යි, පියතිලක ගෙ යි ශරීර වර්ධනය නමයේ පන්තියෙන් නැවතිලා වගේ. උං දෙන්න එදා යෝධයෝ අද කුරුමිට්ටෝ.

එදා කුරුමිට්ටා, මං, අද යෝධයෙක් වෙලා.

අනේ පව් යුනිකෝ!

අනේ පව් මේඝ!!

අපේ කාලයේ වීරයන් කී දෙනෙකුට ඕක උනාද? ශාරීරීකව විතරක් ම නෙමේ!

ඉස්සර සමහර සිංහයෝ දැන් හුරතල් බැටළු පැටවු වෙලා ඔය ඉන්නෙ.

කතන්දරකාරයා

Tuesday 3 November 2009

තිතට මත!!! ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්! නෑ, නෑ, නෑ, නෑ, නෑ!!




බොහොමයක් කන්තෝරුවල තවමත් ඉන්නව "පියන්" කියන සේවයේ නිරත වෙන පිරිසක්. මේ තමයි සාමාන්‍යයෙන් කාර්්‍යාල සේවාවේ තියෙන පහලම මට්ටමේ රැකියාව. ඒ වගෙම ඉතිං පඩියත් අඩුයි.

මේ පියන් කියන ජොබ් එක සුද්දගෙ කාලෙ ඉඳල තියෙන රැකියාවක් මං දන්න හැටියට. ටී.බී. ඉලංගරත්න ගෙ "තිලක" නවකතාවෙ තියෙන හැටියට ඒ කාලෙ ප්‍රධාන පියන් ගෙ පඩිය මූලික තලයේ ලිපිකරුවා ගේ පඩියට වඩා වැඩියි.

පියන් ල ගෙ ප්‍රධාන රාජකාරිය ඔෆීසියේ එක එක අංශ අතර ලිපි එහා මෙහා ගෙන යෑම. මීට අමතරව සුළු සුළු කඩේ යෑම් කිරීමත් කළ යුතුව තිබුණ.

කොළඹ විස්ස විජ්ජාලෙ සරත් විජේසූරිය ලොක්ක ගෙ "මගේ නඩුව ඉවරයි" කියන නවකතාවෙ අපූරුවට විස්තර කරල තියෙනව ලොක්කන් ගෙ ජඩ වැඩ වලට පියන් ල ව යොදා ගන්න හැටි, නිළ බලය පෙන්නල පියන් ල ගෙ අසරණ කමෙන් අනිසි ප්‍රයෝජන අරගෙන.

අපි හුඟ දෙනෙක් දන්න විදියට පියන් කියන ඉංගිරිසි වචනය වෙනුවට භාවිතා වෙන සිංහල නම තමයි කා.කා.ස. එහෙම නැත්නම් කාර්යාල කාර්ය සහායක. ඔෆිස් ඇසිස්ටන්ට් කියල කියන්න පුළුවන් ව්‍යවහාරික භාෂාවෙන්.

අද මං කියන්න යන්නෙ මං වැඩ කරපු තැනක හිටිය කාර්යාල කාර්ය සහායක ගැනයි.

ජයසේන හරිම හොඳ මනුස්සය. වයස හතලිස් පහක් විතර ඇති. අපේ ඔෆිස් එක තිබුනෙ කොළඹින් පොඩ්ඩක් දුර පලාතක. මිනිහ වැඩට ආවෙ පොඩි මෝටර් සයිකලේක. මිනිහ කසාඳ බැඳල. පාසැල් යන දරුවො තුන් දෙනෙකුත් උන්න.

ජයසේනට ආවේණික වුනු හරිම අපූරු ලක්‍ෂණයක් තමා මිනිහ ගෙ කටේ කවදාවත් ඔව්, නෑ, බෑ, හා වගේ කෙටි වචන තිබුණෙ නෑ. මිනිහ මේ වචන පාවිච්චි කළේ කිසි ලෝබ කමක් නැතුවයි.

ජයසේන හෙට වැඩට එනවද?
ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව්.

ජයසේන මේ ලියුම ගිහින් එකවුන්ට් ඔෆිස් එකට දෙන්න පුළුවන්ද?
හා, හා, හා, හා, හා.

ඔය විදියට තනි වචනෙ කතාවක් මිනිහ ගෙ තිබුනෙම නෑ.

නමුත් එක හොඳක් තිබුනෙ ඇත්තටම අපි එක පාරක් ඔව් කියන්න කලින් මිනිහට පුළුවනි පස් පාරක් ඔව් කියන්න ඒ විදියට. ඒ වේගෙන් එක පාරක් විතරක් ඔව් කිව්ව නම් අපිට නොතේරෙන්නත් ඉඩ තිබුණ.

ජයසේන ගෙ නරක පුරුද්දකට තිබුණෙ නිතරම බුලත් විට කන එක විතරයි කියලයි මං හිතන් හිටියෙ. ඒත් ඔන්න එක දවසක, එදා ඔෆිස් එකේ සැලරි ඇඩ්වාන්ස් දෙන දවස, මිනිහ ගාවින් පොඩි සුවඳක් ආව. දන්නවනෙ මොන සුවඳද කියල. මිනිහ පොඩ්ඩක් පාවිච්චි කරල හිටිය බවකුයි මට හිතුනෙ.

ඊට පහුවදා ඔෆිස් එකේ දි, ඇතුළුවෙන දොර ලඟම තිබුණු ජයසේන ගෙ මේසෙ ලඟින් යන ගමන් මං නිකමට වගේ කිව්ව මෙහෙම.

ඊයෙ ජයසේන ලඟින් පොඩි සුවඳක් ආව නේද?
මිනිහ සද්ද නෑ.

පොඩ්ඩක් පාවිච්චි කරල නේද හිටියෙ?
නෑ, නෑ, නෑ, නෑ, නෑ!

එහෙම කියපු මිනිහ මෙන්න බොලේ එක පාරටම මං නොහිතපු විදියට පරල වුනා.

සර්, මං කිසිම දෙයක් කට හරියෙ තිබ්බෙ නෑ. සර් ට සැක හිතුන නං ගුණසිංහ මහත්තයට කියල මාව මෙඩිකල් එකකට යවන්න තිබුණනේ!

මං මිනිහට කිව්ව මෙහෙම.

මේ ජයසේන මේ, මට වැඩක් නෑ ඔයා බිව්වත් නැතත්. මං නිකමට මතක් කලේ හිතවත් කමට. මට ඔහේව මෙඩිකල් ගන්න යවන්න ඕනැ නම් අද වෙනකං ඉන්නවද මේක කියන්න? හැබැයි මතක තියා ගන්න එක දෙයක්. රෑ වෙලාවකට, එහෙම නැත්නං සති අන්තයට බොනව වගේ නෙමේ මේ මහ දවාලෙ ඔෆිස් එකේ දි බොන එක.

මිනිහ කට වහ ගත්ත.

රජයේ ආයතනික සංග්‍රහය අනුව සේවා වේලාවේ බීමත් ව සිටීම වැරද්දක්. වෛද්‍ය පරීක්‍ෂණයකින් ඔප්පු උනොත් වැඩ තහනම් වෙන්නත් පුළුවනි. එදා ජයසේන කලබල වුනේත්, මට චැලේන්ජ් කරල පොර ටෝක් දුන්නෙත් ඒකයි.

මේ කතාවෙ අවසානය දුකයි. අපේ කාර්යාල කාර්ය සහායක ජයසේන මේ සිද්ධියෙන් මාස කීපයකට පස්සෙ මැරුණ.

ජයසේන මැරුණෙ කොහොමද කියල හිතාගන්න පුළුවන් නේද?

එදා ටිකක් පොද වැස්සකුත් තිබුණු රාත්‍රියක, ජයසේන මෝටර් සයිකලෙන් ගෙදර යද්දි බස් එකකට ඉස්සර කරන්න යනකොට ඉස්සහට ආපු ලොරියක හැප්පිලා. ඒ තුවාල නිසා ඉස්පිරිතාලෙට ගෙනියන කොටමත් මිනිහ මැරිල.

එදා රෑ අනතුර වෙනකොට ජයසේන ගෙදර යමින් හිටියේ යාළුවෙකු ගේ අම්මගෙ මළ ගෙදර ගිහින් ඉඳලයි. දුකටත් එක්ක වගෙ එදා කට්ටිය පොඩ්ඩක් පාවිච්චි කරල තියෙනව. ඒ කික් එකත් එක්කයි ජයසේන ගෙදර යන්න පිටත් වෙලා තියෙන්නේ.

මාර්ග අනතුරු වලට එකම හේතුව ඩ්‍රයිවර්ල මත්පැන් බීල වාහන පදවන නිසාම නෙමේ. නමුත් බීල කාර් එලවන්න, මෝටර් සයිකල් පදින්න ගියා ම අනතුරකට ලක් වෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි වෙනව. රෝද දෙකේ වාහන වල අනතුරුදායක කම කොහොමටත් වැඩියිනේ රෝද හතරේ ඒවට වඩා.

අන්තිමේදි ඉතින් මල හිරු බසිනා සැන්දෑ යාමෙක ජයසේන අපෙන් සමුගෙන අවසන් ගමන් ගියා. බිරිඳ වැන්දඹු වුනා. දරුවො තුන් දෙනෙක් අසරණ වුනා.

එදා ජයසේන දවල් වරුවෙ ඔෆිස් එකේ බීල ඉන්න ගඳ මට දැනුන වෙලේ මං ලොක්කට පැමිණිලි කරල විනය පරීක්‍ෂණයක් තිබ්බ නම් සමහර විට ජයසේන ට මේ ඉරණම අයිති නොවෙන්න තිබුණ කියල මට හිතුණ.

ජයසේන හිටිය නම් කියයි සමහර විට ඔව්, ඔව්, ඔව්, ඔව්, ඔව් කියල.

ඒත් ඒක නිකම් කල්පිත සිතුවිල්ලක් මිස කිසිම ප්‍රයෝජනයකට ඇති එකක් නෙමේ.

කතන්දර කාරයා
I am Facebook. Add me.