Showing posts with label කතන්ද්‍රකාර් චින්තනම්. Show all posts
Showing posts with label කතන්ද්‍රකාර් චින්තනම්. Show all posts

Friday, 30 August 2013

සමලිංගික ("ගේ" සහ "ලෙස්බියන්" ලා ගේ) අයිතිවාසිකම් ගැන මගේ අදහස් - My two cents worth about the rights of Homosexuals


සමලිංගිකත්වය ගැන අන්තර්ජාලයේ සිංහලෙන් කතා බහ කෙරෙන තැන්වලදී දකින්නට ලැබෙන දේ අනුව අපට පෙනී යන්නේ අද ලංකාව පසුවන්නේ ඉතා පසුගාමී තත්වයක බවයි. අප යාන්තමින් හෝ ඉදිරියෙන් සිටින්නේ අරාබිකරයට සහ පූටින් ගේ රුසියාවට පමණි!

සමාජයක තිබිය හැකි සෑම බෙදීමකදීම සිදුවෙන්නාක් මෙන් මෙහිදී ද බහුතරය වන විෂමලිංගිකයින් ගේ හෝමෝපෝබියා කෙනෙහිලිවලට මුහුණ දීමට සුලුතරය වන සමලිංගික "ගේ" සහ "ලෙස්බියන්" ලා ට සිදුවී ඇති බව පෙනේ.

මේ හෝමෝපෝබියා තත්වයට එක් හේතුවක් නම් සමහර විෂමලිංගිකයින් තුල පැලපදියම් වී ඇති "මා මිස අන් අය වැරදිය!" යන ෂෝවිනිස්ටික් (අවිචාරාත්මක භේදවාදී) හැඟීමයි.

ඊට අමතරව නොදන්නාකමද, අණුවනකමද මේ විෂමලිංගිකයින් විසින් සමලිංගිකයින් කෙරෙහි දක්වන විරුද්ධත්වයට හේතු වෙන බව මගේ අදහසයි.

මට වැටහී ඇති පරිදි සමලිංගිකයින් පිළිබඳව හෝමෝපෝබියාවෙන් පෙළෙන විෂමලිංගිකයින් තුල ඇති වැරදි අදහස් කිහිපයක් මෙසේය. මේවා බොහෝවිට කියවෙන්නේ පිරිමි සමලිංගිකයින් සම්බන්ධයෙනි.

1. සමලිංගිකත්වය මානසික රෝගයකි.
සැබෑ මානසික රෝගය නම් එලෙස සමලිංගිකයින් රෝගීන් යැයි සිතීමයි. සංඛ්‍යාත්මකව මානසික රෝගීන්ගෙන් බහුතරය විෂමලිංගිකයෝය.

2. සමලිංගිකයෝ නපුංසකයෝය.
නපුංසකයන් යනු ලිංගිකත්වයක් නැති ලිංගික ක්‍රියාවක නොයෙදෙන්නෝය. නමුත් සමලිංගිකයන් යනු ප්‍රායෝගිකව ලිංගිකව හැසිරෙන්නෝ වෙති.

3. සමලිංගිකයෝ කෞමාරකාමය (පෙඩොප්හීලියා) ඇත්තෝය.
කෞමාරකාමයේ හැසිරීම හෙවත් බාලවයස්කරුවන් සමග ලිංගික ක්‍රියාවන් හි යෙදීම යනු සාපරාධී ක්‍රියාවකි. එලෙස හැසිරෙන්නන් ගෙන් යම් ප්‍රතිශතයක් ඒ සඳහා ගොදුරු කරගන්නේ තමන් හා සමාන ලිංගික දරුවන් විය හැක. එසේ වූ පමණින්, කෞමාරකාමයේ හැසිරීම සමලිංගිකත්වය ලෙස සැලකිය නොහැක. බාලාපරාධකාරයන් අතර බහුතරයක් විෂමලිංගිකයින් යැයි මට සිතේ.

4. සමලිංගිකයෝ බහු-ආදර සම්බන්ධතාවල (පොලිඇමරි) බැඳෙන්නෝය.
සමලිංගිකයින් අතර බහු-ආදර සම්බන්ධතා තිබෙනවා විය හැක. නමුත් ඒ සමාජයේ ම බහු-ස්ත්‍රී සේවනය මෙන්ම බහු-පුරුෂ සේවනය ද නො-අඩුවම ඇත.

මීට අමතරව සමලිංගිකත්වය පුනරුත්පත්තිය හා සම්බන්ධ කරමින් ග්‍රැන්විල් ධර්මවර්ධන වැන්නෝ ද ලිපි ලියා තිබේ.

ඉහත කරුණු අනුව වැටහෙන්නේ පෙර කී කිසිවක් සමලිංගිකයින්ට පමණක් සුවිශේෂී වූ දේ යැයි වෙන් කළ නොහැකි බවයි. ඒ සියළු දේ සමලිංගික හෝ විෂමලිංගික වෙනසකින් තොරව පොදුවේ මුළු මිනිස් සංහතියටම අදාල දේ වේ.

ලිංගිකත්වයේ ඇති වෙනසට අමතරව සමලිංගිකයින් සහ විෂමලිංගිකයින් අතර කිසිදු වෙනසක් මට නම් නොපෙනේ.

සමලිංගිකයෝ ද මනුෂ්‍යයෝ ය!

අන් අයසේ සමාජයේ ජීවත්වීමේ සමාන අයිතිය සමලිංගිකයින්ට ද හිමිය.

මානබව හිමිකම් සැමට පොදුය. ඒවා එක් එක් කණ්ඩායම්වලට වෙනස් වශයෙන් නොයෙදේ!

සමාජයක අසාධාරණයට ලක්වෙන සුළුතරයේ අයිතිවාසිකම් පිළිබඳව කතා කළ යුත්තේ ඒ සුළුතරයේ අය පමණක් නොවන බව අමුතුවෙන් කිව යුතු නැත. එය බහුතරයේ ප්‍රගතිශීලී අදහස් දරණ අය ගේ යුතුකමද වෙයි. වර්ණබේදවාදය, සුළු ජාතීන් ට කෙරෙන අකටයුතුකම්, කුල බේදය, ආගම් බේදය වැනි ලෝකයේ විවිධ ස්ථානවල විවිධ කාලවකවානුවල දක්නට ලැබුණු අසාධාරණකම් හමුවේ ඒවාට විරුද්ධව සටන් කලේ ඒ අසාධාරණකම්වලින් පීඩා ලැබුවන් පමණක් නොවේ.

සමලිංගිකයින් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කතා කිරීම ප්‍රගතිශීලි අදහස් දරන, සමාජ අසාධාරණය නොඉවසන, සමානාත්මතාවය අගයන විෂමලිංගික අපේ ද වගකීමක් බව මම සිතමි.

විෂමලිංගිකයින් පෙළන හෝමෝපෝබියාව නම් මානසික තත්වය නැතිවේවා, ලංකාවේ සමලිංගික අයිතීන්ට එරෙහිව සම්පාදනය වී ඇති මානව හිමිකම් උල්ලංඝණය කෙරෙන අසාධාරණ නීති අහෝසි වී ගොස් "ගේ" සහ "ලෙස්බියන්" විවාහ නීතිගත කෙරෙන දිනයක් නුදුරේදී ම උදාවේවා යැයි මම ප්‍රාර්තනා කරමි!

-කතන්දරකාරයා

ප/ලි:
මේ අදහස් කිහිපය මෙසේ ලියා තැබීමට සිත්වූයේ ඊයේ W3Lanka අඩවියේ පලවූ "සමලිංගික විවාහය හා ද්වි ලිංගිකයන්ගේ ආශා" නම් ලිපියට ලැබී තිබුණු ප්‍රතිචාර සහ මා ඒ ලිපියට දැමූ ප්‍රතිචාරයට ඇතමුන් දක්වා තිබූ අදහස් කියවීමෙන් පසුවය.

ප/ප/ලි:
කලින් ලියූ ලිපියක්.
බැන්කි මූන් ගේ බටහිර අධිරාජ්‍යවාදී ගේ-ලෙස්බියන් සමරිසි කුමන්ත්‍රණය - කතන්දකාරයා ගේ සමාජමාමක හෙලිදරව්වකි :: Ban Ki Moon's gay-lesbian conspiracy revealed!
http://kathandara.blogspot.com/2012/02/ban-ki-moons-gay-lesbian-conspiracy.html


(image: http://www.bubblews.com/news/715868-human-rights-not-quotgayquot-rights)

Monday, 8 April 2013

ඇනෝනිමස් පුදුම ආතල් - Get a life mate!


වෙබ් එක වනාහී අරුම පුදුම තැනකි. මෙතනට ඇබ්බැහි වුනොත් ඉන් ගැලවීමක් නැත. මේ ගැන මා කලින් ලියු කතන්දරයක් මෙතනින් බලන්න.

බ්ලොග් ඇබ්බැහි රෝගය - Blogcoholic Anonymous: http://kathandara.blogspot.com/2012/09/blogcoholic-anonymous.html

අපේ පුතා ගේ වයස තවමත් අවුරුදු දොළහක් නැත. ඒත් ඔහු පාසල නිමවී නිවසට එන්නේම කම්පියුටරය ගැන සිහින මවමිනි. මා නෝර්ටන් මාමා ගේ පිහිටෙන් විවිධ සම්බාධක පනවා නොතිබුණා නම් රාත්‍රියේ නින්දට යන තෙක්ම මයින්ක්‍රාෆ්ට් කරමින් ඉන්නට ඔහුට හැකිය.

කයිය ගැහැව්වාට මා ද මේ බ්ලොග් කෙරුවාව සඳහා දවසෙන් පැයක් දෙකක් වැය කරමි. ලිවීම විනෝදාංශයකි. සථත අභ්‍යාසයකි. ලිවීමෙන් මෙන්ම කියවීමෙන් ද මානසික සුවයක් ලැබේ. කොටින්ම කියනවා නම් ආතල් වැඩකි.

හැබැයි ඔය ආතල් එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ.

එයට හොඳම උදාහරණය සපයන්නේ මේ දිනවල මගේ කතන්දර බ්ලොගයට ඇබ්බැහි වී සිටිමින් ඇනෝනිමස් කමෙන්ටු හරහා විහිළු සපයන දෙදෙනෙකි.

මින් එක් අයෙක් එක හා සමාන සිංගිලිස් කමෙන්ටුවක් ඉංගිලිසි කැපිටල් අකුරෙන් සපයයි. සාමාන්‍යයෙන් සිංහල බ්ලොගයක ඉංගිලිසි අකුරෙන් ලියන ලද දෙයක් කියවීම අපහසු මෙන්ම තරමක් හෝ අප්‍රසන්න අත්දැකීමකි. කැපිටල් අකුරු නිසා ඒ අප්‍රසන්නත්වය දෙගුණ තෙගුන වේ.


මා සාමාන්‍යයෙන් එ කමෙන්ටුව දෙස බලනවා මිස කියවන්නේ නැත. කමෙන්ටු කියවන බොහෝ දෙනෙකුද එසේ යැයි සිතමි.

මට අද මේ කතන්දරය ලිවීමට සිතුනේ ඒ කැපිටල් ඇනෝනිමස් අංකල් නිසාම නොවේ.

මගේ කතන්දර සාමන්‍යයෙන් පලවෙන්නේ දිනක් හැර දිනක් උදෑසන හයටය. මේ දිනවල කතන්දර බ්ලොගයේ කමෙන්ටු පලවෙන්නේ මොඩරේෂන් කිරීමෙන් පසුවය. මට මේ සඳහා බොහෝ විට ඉඩ ලැබෙන්නේ හවස් යාමයේය. එලෙස කමෙන්ටු පලවීමට පෙර පැය දෙකෙන් දෙකට මෙහි පැමිණෙන තවත් ඇනෝනිමස් පාඨකයෙක් කරන්නේ දැන් පැය දෙකක් ගියා, හතරක් ගියා කිසිම කමෙන්ටුවක් නෑ, හරිම බංකොලොත් බ්ලොග් එකක් යනුවෙන් දිගින් දිගටම කමෙන්ට් කිරීමයි.



මේ අතර තවත් ඇනෝනිමස් කමෙන්ට්කරුවෙක් කරන්නේ මේ අඩවියේම ලැග සිටිමින් පැයෙන් පැයට මෙන් කමෙන්ටු දමමින් සිට අවසානයේ, අද මගෙන් කමෙන්ටු හතයි, දහයයි, දාහතයි යනුවෙන් තවත් කමෙන්ටු විටින් විට එක් කිරීමයි.



මේ අවසානයට සඳහන් පුද්ගලයා ගේ හැසිරීම දැක මට ඇත්තටම ඇතිවූයේ ඔහු ගැන, ඔහුගේ රසාස්වාදය ගැන, ඔහුගේ කාලය ගැන, ඔහු ගේ දවස ගෙවෙන හැටි ගැන, ඔහු ගේ ජීවිතය ගැන ඉතා දුකකි.

මේ ලෝකයේ කරන්නට තව කොපමණ දේ තියෙනවාද? කියවන්නට පොත පත, වෙනත් බ්ලොග් අඩවි, අසන්නට ගීත, බලන්නට සිනමා සිත්තම්, රූපවාහිනී වැඩ සටහන්!

ඇයි කඩන්නට මල්?

ඒ කිසිවක් නොමැතිව පැය කිහිපයක් තුල විටින් විට මෙහි පැමිණෙමින්, කමෙන්ටු දමමින්, ඒවා පිළිබඳ සංඛ්‍යා ලේඛන සදමින් කාලය ගත කරන්නට ඔහු කවර තරමේ පවක් කර ඇත්ද?

මේ සේරම ලිව්වේ කතන්ද්‍රකාර් චින්තනම් හි තවත් ක්ලෝස් එකක් ඉදිරිපත් කරන්නයි.

මේ බ්ලොග් එක ලියන්නේ මෙය කියවන අය දිනකට විනාඩි පහක් පමණ කාලයක් උපරිමය ලෙස ඒ සඳහා වැය කරයි යන අදහස ඇතුවය.

යමෙක් ඊට වඩා වැඩි කාලයක් මේ එක කතන්දරයක් සඳහා යමෙකු වැය කරනවා නම් එය අපරාධයකි.

අපරාධයක කොටස්කරුවෙක් වෙන්නට මට අවශ්‍ය නැත.

ඇනෝ, ප්ලීස් ගෙට් අ ලයිෆ් මේට්!

ස්තුතියි.

-කතන්දරකාරයා


(image: http://getalife2000.tumblr.com/)

Wednesday, 2 January 2013

මං වාරණයට අකමැතියි නංගියේ - I hate censorship


මා කුඩා කල වාලම්පූරි නම් වූ සිංහල චිත්‍රපටයක් තිරගත වුණි. මෙය අධක්‍ෂණය කරන ලද්දේ බර්මින් ලයිලි ෆර්නැන්ඩූ වැනි නමක් ඇති, ඉන් පසුවද සිංහල චිත්‍රපට කිහිපයක්ම බිහිකළ අධ්‍යක්‍ෂකවරයෙකි.

මෙහි ප්‍රධාන චරිත රඟපෑවේ විජය කුමාරතුංග සහ ගීතා කුමාරසිංහ ය.

මේ කාලය වන විට දේශපාලන පටලැවිලි නිසා අද සමහර විටෙක මහා ප්‍රජාතන්ත්‍රවාදියෙකු යැයි හැඳින්වෙන ජේ.ආර්. පප්පා ගේ ආණ්ඩුවෙන් විජය කුමාරතුංග හා සම්බන්ධ සියළුම දේ ගැන වාරණයක් පැනවී තිබුණි.

මෙනිසා,
• වාලම්පූරි චිත්‍රපටියේ කටවුට්වල හිටියේ ගීතා ඇන්ටි පමණකි.
• කිසිදු ප්‍රචාරක දැන්වීමක විජේ කොල්ලා ගේ නම හෝ කටහඬ හෝ ඇතුළත් නොවිණි.
• රේඩියෝ ප්‍රචාරක දැන්වීම්වලදී විජේ කොල්ලා වෙනුවට වෙන අංකල් කෙනෙකුගේ කටහඬ යොදා ගන්නවා සමහර විටෙක ඇසුණි.
• කොටින් ම මෙය මළ විකාරයක් විය.

මට ද මේ චිත්‍රපටය නරඹන්නට බැරිවිය.

විජය නමැති අංකුර දේශපාලඥයා සමග ඇති කෝන්තරයේ වාඩුව ගැනීමට විජය නමැති නළුවාට වාරණයක් පනවන්නේ ඇයිද යන්න එක් ප්‍රශ්නයකි.

ඊටත් වඩා බරපතල ප්‍රශ්නයක් වූයේ උසාවි තීන්දුවක් හෝ නොමැතිව දේශපාලයෙකු සඳහා වුවද එසේ තහණමක් පනවන්නේ කෙළෙසකද යන්නයි.

මේ සියල්ල කෙරුණේ සාමාන්‍ය නීතිය යටතේ නොව හදිසි නීතිය යටතේ ය.

එක් තර්කයකට අනුව හදිසි නීතියද නීතියකි. ඒ නිසා, ඒ මත පදනම්ව පණවන ලද සියළු බාධක, බන්ධන, තහනම් යනාදිය ඒඅනුව නීතිමය වේ. නීති විරෝධී නැත.

ඒ කෙසේ වෙතත් මට මෙකී වාරණය සම්බන්ධයෙන් ඇතිවූයේ මහා විරෝධයකි. පිළිකුළකි.

පසු කළෙක අප විශ්ව විද්‍යාලයේ සිටි සමයේ එක් ශිෂ්‍ය ප්‍රශ්ණයක් පැන නැගි කල්හි විශ්ව විද්‍යාල සම්බන්ධ සියළු පුවත් වාරණයට ලක්විය.

පුවත් වාරණය සඳහා නිසි බලධාරියෙක් පත් කොට තිබුණි. මා තේරුම් ගත් ආකාරයට, ආණ්ඩුවේ නොවන සියළු පුවත්පත් කතෘවරුන් විසින් තම පසුවදා පුවත්පත් අන්තර්ගතය අද දින මේ නිසි බලධාරියා ගේ කාර්යාලයට ඉදිරිපත් කළ යුතුය.

නිසි බලධාරියා තම රජයේ අවශ්‍යතාවය අනුව ඇතැම් පුවත් වාර්තා මුළුමණින්ම කපා දැම්මේය. සමහර ඒවාගේ කොටස් කපා දැම්මේය. සමහර වාර්තා ප්‍රශ්නයක් නැති නම් එළෙසම තියෙන්නට ඉඩ ඇරියේය.

සමහර පුවත්පත් මේ ආකාරයෙන් වාරණයට ලංවූ කොටස් ඉවත් කර පුවත පළ කළ අතර තවත් සමහර කතෘවරු බලධාරියා විසින් කපා දමන ලදී යන වැකිය සමග පුවත්පතේ හිස් තැන් තැබූවෝය. (මෙය බ්ලොග් පොස්ටයකට තබන කමෙන්ටුවක අන්තර්ගතය ඉවත් කර සැකිල්ල ඉතුරු කරනවා හා සමානය).

අද ලංකාවේ සිදුවන්නේ මෙය නොවේ. පුවත්පත් වාරණය සිදුවන්නේ ඊට වඩා ඉහල මට්ටමකිනි. වෙනත් ආකාරයකට කියනවා නම් ප්‍රධාන මාධ්‍යවල අනවශ්‍ය පුවත් පල නොවේ. ඒ අතර ලංකා ඊ නිවුස්, සහ ලංකා නිවුස් වෙබ් වැනි මාධ්‍ය සහමුලින්ම තහනම් කර ඇත. ඒවා කියවිය හැකිවන්නේ ප්‍රොක්සි සර්වර් හරහා පමණකි. නැතිනම් ෆේස් බුක් හරහා සම්බන්ධ වීමෙනි.

මේ සියළු කරුණු කියුවේ වාරණය සම්බන්ධයෙන් මගේ ඇති බලවත් නොකමැත්ත, විරෝධය ප්‍රකාශ කිරීමටයි.

වාරණය යනු තම අදහස් ප්‍රකාශ කිරීමේ අපට ඇති මූලික අයිතිය උදුරා ගැනීමක් ලෙස මම සළකමි.

මගේ කතන්දර බ්ලොගයේ සියළුම අයගේ ප්‍රතිචාරවලට ඉඩ සලසා දීමේත්, ලැබෙන ප්‍රතිචාර වාරණය නොකිරීමේත් ප්‍රතිපත්තියක් එදා සිට අද දක්වාම මා අනුගමනය කරන්නේ එනිසා ය.

1. මට පුද්ගලිකව අවලාද කරන, සරදම් කරන, බණින, මඩ ගසන කිසිදු කමෙන්ටුවක් මා තවමත් වාරණය කර නැත.

2. වෙබ් බොට්ලා විසින් තබනවා යැයි සැක සිතෙන, විවිධ වෙබ් අඩවිවලට සබැඳි දී ඇති කමෙන්ටු මට රාශියක් ලැබේ. මේවා බ්ලොගර් විසින්ම ස්පෑම් ලෙස වර්ගීකරණය කෙරේ.

3. සම්මත කුණුහරුප හෙවත් අසැබි වචන වලින් සමන්විත වූ කමෙන්ටු කීපයක් පමණක් මේ දක්වා කපා දමා ඇත්තෙමි.

4. තුන්වැනි පාර්ශවයන්ට නොයෙකුත් උපහාස රැගත් ප්‍රතිචාර මගේ අඩවියේ දැමීමට සමහර නිර්නාමික පුද්ගලයින් පසුගිය දිනවල සිට කටයුතු කරමින් සිටිති. මේවා සියල්ල ඉහත අංක 3 සීමාවට යටත්ව පලකිරීමට මම මේ දක්වා කටයුතු කළෙමි. එසේ වුවද, ඒ තුන්වන පාර්ශවයක් විසින් මගෙන් ඉල්ලීමක් කළහොත් එවැනි කමෙන්ටුද ඉවත් කිරීමට මම සලකා බලමි. උපහාසය සහ සරදමින් අපහාසය වෙන්කර සැලකිය යුතුයි.

මෙය කතන්දරයක් නොව, "කතන්ද්‍රකාර් චින්තනම්" හි තවත් කොටසක් සේ සලකන්න.

-කතන්දරකාරයා


(image: http://www.films.lk/ArtistDetails.php?id=11)