
මං පොඩි කාලෙ මට හොඳට මතකයි, අපේ සීය කන්න ගියාම මුලින්ම කරන්නේ බත්, මාළුපිනි ටිකක් අනල එක කටක් විතර ප්‍රමාණයක් පිඟානේ පැත්තකට කරන එක. හරියට අර බුද්ධ පූජාව අයින් කරනවා වගේ දානේ ගෙදරක.
ඉතිං ඔය මුල් බත් කට පිඟානේ ඉතුරු කරනවා මිසක් සීයා කවදාකවත් කන්නේ නෑ, පස්සෙ පිඟානට තව බතුයි හොදියි බෙදාගෙන කෑවත්.
මං මුලින් හිතුවේ සීය ඔය විදියට පොඩ්ඩක් පිඟානේ ඉතුරු කරන්නේ කාල ඉවරවෙලා පිඟාන හෝදන වැඩෙන් ෂේප් වෙන්න කියලයි.
මං ඉතිං පොඩි ළමයෙක් හින්ද නොදන්න කමට නේ එහෙම හිතුනේ.
සීය ඒ බත් කටක් ඉතුරු කරන්නේ ඉස්සෙල්ලාම බත් කට දන් දෙන චේතනාවෙන්.
සීය කාල ඉවරවෙලා පිඟාන තියල ගියාට පස්සේ, ඒ බත් කට බල්ල ගේ කෑම එකට එකතු කරලා පිඟාන හෝදනවා කවුරු හරි ගෙදර ඉන්න කෙනෙක්.
තවත් මං පොඩි කාලේ මගේ පොඩි කමට කරපු වැරදි දෙයක් තමයි, කාගේද ගෙදරකට ගිය වෙලේ මට දුන්නු ක්‍රීම් සෝඩා වීදුරුව බින්දුවක්වත් ඉතුරු නොවෙන්නම බීල දාපු එක.
එහෙම නෙමේ ලු කරන්ඩ ඕනේ. වීදුරුවේ අඩියේ චුට්ටක් ඉතුරු කරන්න ඕනෑ ලු.
ඒව තමයි මැනර්ස් කියන්නේ!
ඉතිං, දැනුත් පිට ගෙදරකට ගිහින් තේ එකක් හෙම බොන්න දුන්නහම මං පොඩ්ඩක් ඉතුරු කරනවා. කෝප්පෙ හෝදන කොට ඒ ටික හේදිලා යනව ඇති සින්ක් එකෙන් පහලට.
මේ වැඩේ නාස්තියක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. කොටින්ම තේ දහනමයක් විතර බොන කොට විසිවෙනි තේ එක කෙලින්ම වීසි කරනවා වගේ වැඩක්.
අපේ මැනර්ස් වලින් හොඳම එකක් වෙන මේ තේ මැනර්ස් එකේ වැදගත්කම ගැන කාරණා දෙකක් මට හිතාගන්න පුළුවනි.
මේ ආකාරයට තේ කෝප්පයේ ටිකක් ඉතුරු කීරීම තුලින්:
1. තේ කෝප්පේ අඩියේ තැන්පත් වී තියෙන්නට පුළුවන් තේ මණ්ඩි කටට ඇවිත් කට සවුත්තු වීමෙන් වැලකීමට ලැබෙනවා.
2. තේ කෝප්පේ අඩියේ දිය නොවී තියෙන්නට පුළුවන් සීනි වලින් සහ එනිසාම දියවැඩියාව වැනි රෝගවලින් වැලකෙන්නට ලැබෙනවා.
තවත් හේතු තියෙනවාද මන්දා?
-කතන්දරකාරයා
ප/ලි
රස්පුටින් ගේ වයින් වලට වගේ තේ එකකට වස දැම්මොත් ඒවා තේ එකේ උඩින් පාවෙනවා නේද?
ප/ප/ලි
බ්ලොග් ලියන කොට අනුගමනය කළ යුතු මැනර්ස් වලින් එකක් මෙන්න.
අනෙකුත් බ්ලොග්කාරයින් ගේ බ්ලොග් වල පලවෙන අදහස් ගැන විවේචන ඒ ඒ බ්ලොග්වල මිසක තමන් ගේ බ්ලොග් එකේ නො ලියන්න.
තවත් "බ්ලොගින් මැනර්ස්" තියෙනවාද මන්දා?