
මාරයාගේ හෝරාව ලියන බ්ලොග් සහෘදයාට ගෙදරින් පිටවෙලා යන්න වෙලා තියෙන්නේ සෙනසුරා ලබපු කාලේ දී බව පසු කලෙක පොර කේන්දර බලන්න ඉගෙන ගත්තායින් පස්සේ දැනගත්තාය කියා ගිය සතියේ බස් රෙදෙව්වෙන් අහන්න ලැබුණා.
ඔය සෙනසුරා ලබපුවාම ගණ දෙයියා පවා බටකොළ කෑවා ය කියනවානේ.
ඒ අනුව බැලුවාම නං මට සිද්ධවුනු පරිප්පු කෑම නං මහ ලොකු දෙයක් නෙමේ. කොහොමටත් මං කන්න කැමතිම කෑමක් තමයි පරිප්පු!
මෙන්න එහෙනං, අද මේ සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා යටතේ මගේ පරිප්පු කෑම ගැන විස්තරයක්.
අවශ්‍ය ද්‍රව්‍ය
1. පරිප්පු
2. ලොකු ලූණු සහ සුදු ලූණු
3. කරපිංච, තක්කාලි
4. කිරිපිටි හැඳි එකහමාරක් පමණ
5. මිරිස්කුඩු, තුනපහකුඩු, කහකුඩු, ලුනුකුඩු යනාදිය
7. තෙල්, අබ ඇට ස්වල්පයක්
සාදන ක්‍රමය
පරිප්පු සෝදා සාස්පානකට දමා එයට මිරිස් තුනපහ කහකුඩු, කපාගත් ලොකු ලූණු සහ සුදු ලූණු, කපාගත් තක්කාලි, කරපිංච, ලුනු සහ වතුර ඇති පමණ දමා ලිපේ තබන්න.

පරිප්පු ඇට යාන්තමට තැම්බී ගෙන එන විට එයට කිරිපිටි කවලම් කර හොඳින් හැඳි ගාන්න.

ඉදුණු පරිප්පු භාජනයකට අයින් කොට, සාස්පානට තෙල් දමා නැවත ලිපේ තියන්න. තෙල් රත්වී ගෙන එනවිට අබ එයට දමා අබ ඇට පිපිරෙන අවස්ථාවේ දී පරිප්පු හොද්ද සාස්පානට දමා තෙම්පරාදු කරගන්න.

විනාඩියකින් පමන ලිපෙන් බා ඇසුරුම් දිසියට දාන්න.
මේ සමගම සාදා ගත හැකි තවත් හොඳි මාළුපිණි වර්ග මේවාය.
1. ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස් ඇන්ඩ් සොයි සෝස්
2. පොටැටෝ කරි
3. බීෆ් කතන්දර ස්ටයිල්
ඒ සියල්ල සාදා භාජනවලට අසුරාගන්න.

ඉන්පසු මෙන්න මේ පහත පෙනෙන ආකාරයේ දර්ශනයක් දුටුව හොත් එය නොසලකා ඉන්න හෝ කොටු දාන්න හෝ එපා!

අවසානයේ මෙන්න මේ ගීතයට සවන් දෙන්න. එවිට සියල්ල වැටහෙනු ඇත!
-කතන්දරකාරයා
ප/ලි:
අනිකුත් මාළුපිණි [ටෙම්පර්ඩ් බීන්ස් විත් පීනට්ස් ඇන්ඩ් සොයි සෝස්, පොටැටෝ කරි, බීෆ් කතන්දර ස්ටයිල්] සාදාගන්නා ක්‍රමය, කවුරුන් හෝ මහත්තැන් කෙනෙක් ඉල්ලා සිටියොත් නුදුරු දිනයක ලියන්නට අපේක්‍ෂා කරමි. නෝනාමහත්තැන් ලා ද මේ කෑම ජාතිවලට කැමති බව මංතුමා දනිති! ඉල්ලා සිටියොත් සාදන හැටි කියාදෙමි.
අද නම් ඒවා ලියමින් ඉන්නට වෙලාව නැත.
ඉවූ පිහූ කෑ දේ අස්පස් කරන්නට යා යුතුයි!
