Showing posts with label රයිටර්ස් බ්ලොක්. Show all posts
Showing posts with label රයිටර්ස් බ්ලොක්. Show all posts

Wednesday, 14 September 2011

රෂ්මි ලියන "ඊසි-පීසි" නවල් එක - Rashmi Kurukulasooriya's easy way to write a novel


රෂ්මි කුරුකුලසූරිය කියන්නේ මගේ හිතවතෙක්. පොර ඉතිං ඔය කයියට, කලාවට හිතැති, හිත හොඳ පොරක් කියලා හඳුන්වන්න පුළුවන්.

ඔන්න දවසක් රෂ්මි ගෙන් මට කෝල් එකක් ආවා.

"හලෝ! කතන්දර මං මේ කතා කරන්නේ පොඩි උදව්වක් ඉල්ලන්නයි."

"මොකක්ද රෂ්මි?"

"මං නවල් එකක් ලියන්න පටන් ගත්තා. දැන් තරමක් ලියල ඉවරයි. ඒකට කතන්දරගෙන් පොඩි උපදෙසක් ගන්න ඕනෑ වෙලා තියෙනවා."

"නවල් එකක් ලියනවා! මරුනේ රෂ්මි. ඒත් ඉතිං මගෙන් මොනවද ගන්න තියෙන උපදෙස්? මං නවල්ස් ලියලා නෑනේ."

ඇත්තම කියනව නං මං මේ කියන කාලේ කතන්දර බ්ලොග් එකවත් පටන් අරන් තිබුනේ නෑ. කවියක් දෙකක් නං ලියල තිබුණා.

"එහෙම කියන්න එපා කතන්දර. ඔයාට ලිවීම ගැන හොඳ හැකියාවක් තියෙන බව මට තේරිලා තියෙනවා. මේ උදව්ව මට කරන්න, බෑයි නොකියා."

"රෂ්මිට පුළුවන් උදව්වක් නොකර ඉන්න හේතුවක් නෑනේ. මං නවල්ස් ලියලා නැති වුණාට පොඩි කාලේ ඉඳලා නවල්ස් කියෝලා තියෙනවා. රසිකයෙක් විදියට මගේ අදහස් දෙන්නංකෝ."

"හොඳයි එහෙනං අපි හමුවෙලා කතාකරමු."

"හොඳයි, එහෙනං මේ ඉරිදා හවස වගේ අපේ ගෙදර එන්න."

"තැන්කියු, චෙරියෝ, ටටා, බායි."

"චෙරියෝ, ටටා, බායි."

මට මාර ජොලි මේ වැඩේට. මා වැනි බිළින්දා කිව්වලු!

ඔන්න ඉරිදා හවස හතරට විතර රෂ්මි කරුකුලසූරිය අපේ ගෙදර ආවා. අපි දෙන්නා සාලෙට වෙලා තේ බිබී කතාකරන්න පටන් ගත්තා.

මෙහෙමයි කතන්දර මේ මං ලියාගෙන යන නවල් එකේ කතාව යන්නේ. රෂ්මි කියන් පටන් ගත්තා.

     "ඔන්න එක ජෝඩුවකට, ලොකු මහත් වෙච්ච පුතාලා දෙන්නෙකුයි, දුවෙකුයි ඉන්නවා. දරුවෝ හොඳට ඉගෙන ගෙන රැකියාකරන අය. තුන් දෙනාම ඉන්නේ ගෙදරින් පිට. පුතෙකුයි, දුවෙකුයි බැඳලා, ළමයිනුත් ඉන්නවා. බාල පුතා විතරක් තනිකඩයා.

දරුවන්ට හොඳට උගන්වන්න සල්ලි වියදම් කළ හින්දා මේ ජෝඩුව ඉන්නේ කුලී ගෙයකයි.

මේ දවස්වල මේ තාත්තා පැන්ෂන් යනවා. ප්‍රොවිඩන්ට් ෆන්ඩ් එක අරගෙන දරුවන්ට බෙදලා දෙනවා. ඉන් පස්සේ නාකි ජෝඩුව ප්ලෑන් කරන්නේ කාලෙන් කාලෙට දරුවන් ගේ ගෙවල්වල ඉන්නයි.

නමුත් දරුවෝ එක්ට මුළුමණින්ම කැමති වෙන්නේ නෑ. ගෙවල්වල ඉඩකඩ ප්‍රශ්ණ, වයිෆ් ලා ගේ, හබී ලා ගේ ප්‍රශ්ණ නිසා. අන්තිමේ දී ජෝඩුවට කැමති වෙන්න වෙනවා, වෙන් වෙලා අම්මා බැඳපු පුතාගේ ගෙදරයි, තාත්තා දුවගේ ගෙදරයි ජීවත්වෙන්නේ.

වෙන්වෙලා ඉන්න එක විතරක් නෙමේ, ඉන්න ගෙවල්වලදීත් දෙන්නටම හරියට ප්‍රශ්ණවලට මුහුණ දෙන්න වෙනවා.

දුවගේ ගෙදර ඉන්න තාත්තට එතන මුල් තැන නෑ, බෑනා ඉන්න නිසා.

පුතාගේ ගෙදර ඉන්න අම්මා තමන් ගේ තරුණ වයසේ ඉන්න මිණිබිරී ගේ හැසිරීම ගැන ප්‍රශ්ණ කරනවා. ඒ ළමයා යුනිවසිටි ඉඳලා මහ රෑ වෙලයි ගෙදර එන්නේ. ඒ ගැන කතා කෙරුවයි කියලා පුතායි දූයි අම්මාට බණිනවා.

ඔන්න එක දවසක් මේ මිනිපිරී යනවා පාටියකට. මෙතන පොඩි මත්කුඩු සීන් එකක් තියෙනවා. ඒ අතරේ, මිණිපිරීව එතන හිටපු මදාවියෙක් දූෂණය කරන්න යනවා. මිණිපිරී ගැන තියෙන ආදරේ නිසා, එයා ගැන සෝදිසි කරන්න ආපු ආච්චි අම්මා නිසයි එයා බේරෙන්නේ.

මෙතන ඉඳන් මිණිපිරී, ආච්චීට හරි ආදරෙයි...
"

රෂ්මි කුරුකුලසූරිය තමන් ලියාගෙ යන නවකතාවේ ස්ටෝරි ලයින් එක මට කියාගෙන, කියාගෙන යනවා. මගෙන් උපදෙස් ගන්න නේ ආවේ. ඊට කලින් ඉතිං ප්‍රශ්ණය විස්තර කරන්න ඕනි නේ!

"ඉතිං රෂ්මි, මගෙන් ඕනෑ, මොන වගේ උපදේශයක්ද?"

"මේකයි කතන්දර, මට දැන් ඕනෑ, මේ ආච්චියි මිණිපිරියි, පවුලේ ප්‍රශ්ණය විසඳන හැටි ගැන චැප්ටර් එකක් ලියන්නයි. ඒක තමයි මට ටිකක් පැටලෙන්නේ. නිකං රයිටර්ස් බ්ලොක් එකක් වගේ."

"රෂ්මි, ඔයා බලලා තියෙනවද, භාග්-බාන් කියන හින්දි චිත්‍රපටිය?"

"ම්හ්, මං හින්දි චිත්‍රපටි නිතරම බලනවා. දැන් සිය ගාණක් බලල ඇති පහුගිය අවුරුදු තුන හතරේ විතරක්. නම කිව්වට මතක් වෙන්නේ නෑ."

"අර අමිතාභ් බච්චනුයි, ජයා බහදූරියි ඉන්නේ වයසක කපල් එකකට, අන්න ඒක?"

"ඔව් මං හිතන්නේ ඒක බලලා තියෙනවා."

"ඉතිං, දැන් ඔයා මට කිව්ව කතාව භාග්-බාන් එකේ කතාවනේ. ඉතුරු හරියත් ඒකේම ඇති!"

අපි දෙන්නගේ ඒ කතාබහ එදා එතනින් අවසාන වුණා.

ටිකක් රෑ බෝ වෙලා තිබුණු නිසා රෂ්මි කුරුකුලසූරිය මාත් එක්ක මුලින් පොඩ්ඩක් මුද්‍රික පානයකින් සළු වෙලා, පස්සේ හාමිනේ හදපු සියයක් රස නහර පිනා යන, චිකන් විත් සෝයි සෝස්, ටෙම්පර්ඩ් බ්‍රොකොලී, බීන්ස් විත් පීනට්ස් රසමසවුළු සහ මං හදලා තිබුණු "පරිප්පු තෙල් දාලා" එක්ක බත් කාලා හෙම තමයි ගෙදර ගියේ.

-කතන්දරකාරයා

ප/ලි:
එදා රෂ්මි කුරුකුලසූරිය ගේ ඒ විදියට හැසිරුණේ ඇයි මට මුලින් නම් හිතාගන්නම බැරුවයි හිටියේ.

ඒත් එක දවසක් ඉංගිරිසි චිත්‍රපටියක් බලන වෙලේ වැඩේ ටක් ගාලා ක්ලික් වුණා!

ඒ චිත්‍රපටියේ තිබුණා එක පොරක් තව කෙනෙකුගේ හොඳ හිත දිනාගන්න, මේ දෙවෙනි පොරගෙන් නිකං බොරු දේවල් ගැන උපදෙස් අරගෙන මෑන්ස්ව නග්ගලා තියනවා මුරුංගා අත්තේ.

මං හිතන්නේ රශ්මි කුරුකුලසූරිය භාග්-බාන් හින්දි චිත්‍රපටිය විතරක් නෙමෙයි මේ කියන ඉංගිරිසි චිත්‍රපටියත් බලලා තියෙනවා වගේ!

(image: http://www.planetbollywood.com/Film/Baghban/)