
කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.
අරගත්තු අළුත, හැප්පිලා, රෙපයාර් කරන්න වැඩ අරගෙන, බබා ව ගෙදර ගෙනල්ලා, දඩ කොල ගෙවන්න අමතක වෙලා උසාවි එන්න වුණු වෙලාවේ යාන්තං කාක්කන් ගෙන් බේරිලා ඉන්න අල්ල පනල්ලේ, මගේ කේස් එක ඉක්මනට උසාවියට දාලා දුන්නු ට්‍රැෆික් ඕඅයිසී එක්ක කතාකරන කොට, මට තේරුණා මුං වැරදි කාර් නොම්බරයක් තමයි නඩුවට දාලා තියෙන්නේ කියලා.
මගේ අයි නෝ ද ලෝ තියරියට අනුව මේ කේස් එක විසි කරන්න ඕනෑ වැරදියට ෆයිල් කරපු නිසා!
හැබැයි මංතුමා ලෝයර් කෙනෙක් නැතුව ඔය නීති තර්ක ගේන්න ගිහින් වැඩේ දෙල් වෙයිද කියලා හිතට ආපු සැකේ මහා දරුණුයි, නඩුව විසිවෙයි කියලා ලොජිකලි හිතුණු එකට වඩා.
කොහොමටත් ආපහු කාක්කෙක් ගාවට යන්න නං මට හිතුනේ ම නෑ.
උදේට හරියට කාලා හිටියේත් නැති මං, දවල් ට තියා තේකක්වත් නැතුව උසාවි සාවියේ දෙගිඩියාවෙන් ලත වෙවී ඔහොම හිටියා කියමුකෝ හවස තුනත් පහු වෙනකංම.
ඔන්න එතකොට තමයි මගේ නඩුව අඬ ගැහැව්වේ.
මං ඉස්සරහට ගිහින් විත්තිකරු ඉන්න කොටුවේ හිට ගත්තා.
ෂහ්, මං මගේ හොඳම කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන විත්තිකාර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ!(*)
"අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම ගැන වරදකරුද? නිවරදකරුද?"
ඇත්තටම කියනවා නං කට වැරදිලා මට නිවරදකරු කියලා කියවෙන්නම ගියා.
නමුත් හොර බොරු නොකරන මං එදා උසාවියේ දී බොරුවක් කිව්වා!
"වැරදිකරු!"
නඩුකාරයා මොනවද මිමුණුවා.
"රුපියල් පන්සීයක් දඩ!" තෝල්කයා කෑ ගැහැව්වා. දැම්මා ෆයිල් එක පැත්තකට. අනිත් ෆයිල් එක අතට ගත්තා.
මට තේරුණා නඩුව ඉවරයි කියලා.
මං එතනින් අයින් වෙලා පර්ස් එක අරගෙන පන්සීයක් ඇද්දා ගෙවන්න.
මෙන්න බොලේ එතකොටම එතන හිටිය පොලිස් මහත්තැන් වගේ කෙනෙක් ඇවිත් මාට කියපි:
"කරුණාකරල යන්න අර කූඩුවට" කියල.
මේක තමයි උසාවියේ වරදකාරයින් දාන කූඩුව.
දැන් ඉතිං මං නීතිය ඉදිරියේ වරද පිළිගත්තු, දඬුවම් ලබපු වරදකාරයෙක් නේ. මට හිමි තැන කූඩුවයි!
"නෑ, මට දඩයක් නේ ගැහැව්වවේ, මං ඒක ගෙවන්නම්!" මං කිව්වා.
"ඔව්, ගෙවන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා නඩු තීන්දුව පොතේ ලියලා, ඒකට නඩුකාරයා අත්සන් කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි දඩේ ගෙවන්න පුළුවන්".
අනේ ඉතිං ජීවිතේ පළමු වතාවට කතන්දරකාරයා උසාවියේ ලොක් අප් එකට වැටුණා.
අපරාදේ! කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, රතු ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ! (*)
කොහොම හරි, ඔය විදියට පැය භාගයක් විතර ගියාට පස්සේ යාන්තං පන්සීයේ දඩේ ගෙවලා නැවතත් නිදහස් මිනිහෙක් වෙන්න මට වරම් ලැබුණා.
උසාවියේ බොරු කියපු කතන්දරකාරයා ලොක් අප් එකේ වැටුනේ අන්න එහෙමයි!
-කතන්දරකාරයා
ප/ලි:
දැන් නං මේ කාර් වැඩේ මට ඇති වේගෙන එනවා.
ඇත්තටම කාර් එකක් නැති කාලේ කොච්චර ජොලියේ හිටියද, බස්වල හිර වෙලා ගියත්. අනික, කාර් එක තිබුණා කියලත් හිතුමතේ ගමන් යන්න පුළුවනි යෑ, පෙට්‍රල් ගහන්නත් ඕනැනේ.
"වෙලාවකට විකුණලා දාන්නත් හිතෙනවා මේ වෙඩිම!"
ඒ එදා රාත්‍රියේ මං හාමිනේ ට කිව්වේ එහෙමයි.
ප/ප/ලි:
කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න වෙලේ ෆොටෝ එකක් ගන්න බැරි වුණාය කියා මං දුක් වෙනවා අහං ඉන්න බැරුව විදෙස් සිත්තරෙක් විසින් ඔය උඩින්ම දාලා තියෙන සිත්තරේ මට එව්වා පැය කිහිපයක් ඇතුලත.
ඒ විදෙස් සිත්තරාට මගේ හිතාදර ස්තුතිය!
(image: විදෙස් සිත්තරා ගේ අඩවිය)

