Showing posts with label ලෝයර්. Show all posts
Showing posts with label ලෝයර්. Show all posts

Friday, 24 June 2011

උසාවියේ දී බොරු කියූ කතන්දරකාරයා කූඩුවේ වැටේ! Liar Kathandara locked up in courts


කාර් කට්ටක් ගන්න තිබුණු මගේ සුළු ධනේශ්වර සිහිනය ඉවරවෙන්න යන්නේ හිර කූඩුවෙන්. ඒ උද්වේගකර, දුක්බර, ශෝකජනක කතන්දර කෑල්ල අද ඔබ හමුවට.

අරගත්තු අළුත, හැප්පිලා, රෙපයාර් කරන්න වැඩ අරගෙන, බබා ව ගෙදර ගෙනල්ලා, දඩ කොල ගෙවන්න අමතක වෙලා උසාවි එන්න වුණු වෙලාවේ යාන්තං කාක්කන් ගෙන් බේරිලා ඉන්න අල්ල පනල්ලේ, මගේ කේස් එක ඉක්මනට උසාවියට දාලා දුන්නු ට්‍රැෆික් ඕඅයිසී එක්ක කතාකරන කොට, මට තේරුණා මුං වැරදි කාර් නොම්බරයක් තමයි නඩුවට දාලා තියෙන්නේ කියලා.

මගේ අයි නෝ ද ලෝ තියරියට අනුව මේ කේස් එක විසි කරන්න ඕනෑ වැරදියට ෆයිල් කරපු නිසා!

හැබැයි මංතුමා ලෝයර් කෙනෙක් නැතුව ඔය නීති තර්ක ගේන්න ගිහින් වැඩේ දෙල් වෙයිද කියලා හිතට ආපු සැකේ මහා දරුණුයි, නඩුව විසිවෙයි කියලා ලොජිකලි හිතුණු එකට වඩා.

කොහොමටත් ආපහු කාක්කෙක් ගාවට යන්න නං මට හිතුනේ ම නෑ.

උදේට හරියට කාලා හිටියේත් නැති මං, දවල් ට තියා තේකක්වත් නැතුව උසාවි සාවියේ දෙගිඩියාවෙන් ලත වෙවී ඔහොම හිටියා කියමුකෝ හවස තුනත් පහු වෙනකංම.

ඔන්න එතකොට තමයි මගේ නඩුව අඬ ගැහැව්වේ.

මං ඉස්සරහට ගිහින් විත්තිකරු ඉන්න කොටුවේ හිට ගත්තා.

ෂහ්, මං මගේ හොඳම කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන විත්තිකාර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ!(*)

"අංක XX ශ්‍රී 4954 දරණ මෝටර් රථය අධික වේගයෙන් පැදවීම ගැන වරදකරුද? නිවරදකරුද?"

ඇත්තටම කියනවා නං කට වැරදිලා මට නිවරදකරු කියලා කියවෙන්නම ගියා.

නමුත් හොර බොරු නොකරන මං එදා උසාවියේ දී බොරුවක් කිව්වා!

"වැරදිකරු!"

නඩුකාරයා මොනවද මිමුණුවා.

"රුපියල් පන්සීයක් දඩ!" තෝල්කයා කෑ ගැහැව්වා. දැම්මා ෆයිල් එක පැත්තකට. අනිත් ෆයිල් එක අතට ගත්තා.

මට තේරුණා නඩුව ඉවරයි කියලා.

මං එතනින් අයින් වෙලා පර්ස් එක අරගෙන පන්සීයක් ඇද්දා ගෙවන්න.

මෙන්න බොලේ එතකොටම එතන හිටිය පොලිස් මහත්තැන් වගේ කෙනෙක් ඇවිත් මාට කියපි:

"කරුණාකරල යන්න අර කූඩුවට" කියල.

මේක තමයි උසාවියේ වරදකාරයින් දාන කූඩුව.

දැන් ඉතිං මං නීතිය ඉදිරියේ වරද පිළිගත්තු, දඬුවම් ලබපු වරදකාරයෙක් නේ. මට හිමි තැන කූඩුවයි!

"නෑ, මට දඩයක් නේ ගැහැව්වවේ, මං ඒක ගෙවන්නම්!" මං කිව්වා.

"ඔව්, ගෙවන්න පුළුවන්. හැබැයි ඉස්සෙල්ලා නඩු තීන්දුව පොතේ ලියලා, ඒකට නඩුකාරයා අත්සන් කරන්න ඕනෑ. ඊට පස්සේ තමයි දඩේ ගෙවන්න පුළුවන්".

අනේ ඉතිං ජීවිතේ පළමු වතාවට කතන්දරකාරයා උසාවියේ ලොක් අප් එකට වැටුණා.

අපරාදේ! කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, රතු ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න ෆොටෝ එකක් ගන්න විදියක් තිබුනේ නෑ නේ! (*)

කොහොම හරි, ඔය විදියට පැය භාගයක් විතර ගියාට පස්සේ යාන්තං පන්සීයේ දඩේ ගෙවලා නැවතත් නිදහස් මිනිහෙක් වෙන්න මට වරම් ලැබුණා.

උසාවියේ බොරු කියපු කතන්දරකාරයා ලොක් අප් එකේ වැටුනේ අන්න එහෙමයි!

-කතන්දරකාරයා

ප/ලි:
දැන් නං මේ කාර් වැඩේ මට ඇති වේගෙන එනවා.

ඇත්තටම කාර් එකක් නැති කාලේ කොච්චර ජොලියේ හිටියද, බස්වල හිර වෙලා ගියත්. අනික, කාර් එක තිබුණා කියලත් හිතුමතේ ගමන් යන්න පුළුවනි යෑ, පෙට්‍රල් ගහන්නත් ඕනැනේ.

"වෙලාවකට විකුණලා දාන්නත් හිතෙනවා මේ වෙඩිම!"

ඒ එදා රාත්‍රියේ මං හාමිනේ ට කිව්වේ එහෙමයි.

ප/ප/ලි:
කළු කලිසමයි, නිල් ඉරි ෂර්ට් එකයි, තායිලන්තෙන් ගත්තු රතු සිල්ක් ටයි එකයි දාගෙන හිර කූඩුවේ ඉන්න වෙලේ ෆොටෝ එකක් ගන්න බැරි වුණාය කියා මං දුක් වෙනවා අහං ඉන්න බැරුව විදෙස් සිත්තරෙක් විසින් ඔය උඩින්ම දාලා තියෙන සිත්තරේ මට එව්වා පැය කිහිපයක් ඇතුලත.

ඒ විදෙස් සිත්තරාට මගේ හිතාදර ස්තුතිය!

(image: විදෙස් සිත්තරා ගේ අඩවිය)

Monday, 20 June 2011

හපොයි මදෑ කාර් එකක් ගත්තා-උසාවියක ගෙවුණු දවසක් - A day at the traffic courts


මෙතෙක් කතාව ඔහෙලා දන්නවා නොවැ?

පෙරුම් පුරල ගත්තු රතු කොරොල්ල එකේ රෙපයාර් ටික යාන්තමට ඉවර කරගත්තු ගමන් වගේ කතන්දර හාමිනේ රෝස බබෙක් ගෙදර ගෙනල්ල මැටනිටි නිවාඩු පිට හිටිය කාලේ, හාමිනේව පඩි ගන්න වැඩපොළට එක්කගෙන යන වෙලාවක ස්පීඩ් කළාය කියල පොලිසියෙන් මට දුන්නු දඩ කොලේ වෙලාවට ගෙවන්න මට අතපසු වුණු නිසා මට නඩුවක් වැටුණා.

නඩු දවසේ උසාවියට ගිය වෙලේ මා වෙනුවෙන් පෙනී ඉඳල මගේ දඩේ ගාන අඩු කරල දෙන්න පොරකාපු ලෝයර්කාරයින්ගෙන් බේරිලා ඔන්න යාන්තං ඇතුළෙන් ගිහින් වාඩි වුණාය කියමුකෝ!

මගෙ නඩුව අහනවය කියල තිබුනේ උදේ නමේටයි. බුදු අම්මෝ එතන හිටිය සෙනග.

මං ලඟින් හිටපු එක පොරක් එක්ක කතාකරල බැලින්නං, පොරගේ නඩුවත් තියෙන්නේ උදේ නමයටලු. පොරට අනිත් පැත්තෙ හිටිය පොරටත් උදේ නමයටයි නඩුව. එතකොට තමයි මට තේරුණේ වැඩේ.

මේ දෙතුන් සිය දෙනාටම එන්න කියල තියෙන්නේ උදේ නමයට. කොහොමද අපේ වෙලාවට වැඩ කිරීමේ ක්‍රමයේ හොඳකම? නඩු ද අවනඩු ද?

මට පේනවා අර කළු කෝට් දාගත්තු පොරවල් ටික තාමත් ගේට්ටුව ලඟ කැරකෙනව නිකං නිලමැස්සො ටිකක් වගේ නඩු හොයන්න.

වහලේ උළු ගණං කර කර ඔහොම ටික වෙලාවක් ගෙවා ගත්තට පස්සේ ඔන්න එක පාරටම අර ලෝයර් ලා ටික උසාවිය ඇතුළට කඩා ගෙන වැටුණා.

බැලින්නං නඩුකාරය එනව නඩු අහන්න.

ටිකක් වෙලා යන කොට මට තේරුණා වැඩේ.

මෙන්න මෙහෙමයි වෙන්නේ.

ඔය ස්පීඩ් කළා වගේ පොඩි පොඩි කේස් වලදී, තෝල්කයා නම කෑ ගහල නම කියල නඩුව පටන්ගන්නවා.

එතකොටම කවුරු හරි ලෝයර් කෙනෙක් නැගිටලා කියනවා: "අ විල් ඇපියර් ෆෝ හිම් යුවර් ඔනර්!" කියලා.

නඩුකාරයා කියන දේවල් නං මෙලෝ දෙයක් ඇහෙන්නේ නෑ. හොඳ වෙලාවට ලවුඩිස්පීකරේ වගේ තෝල්කයෙක් දාලා තියෙන්නේ.

නඩුකාරයා: මොනවද කියනවා.
තෝල්කය කැගහනවා: "අහවල් දවසේ, අහවල් වාහනයෙන් අහවල් එක කරපු එකට වරදකරුද? නිවරදකරුද?"
ලෝයර්: "වී ප්ලීඩ් ගිල්ටි යුවර් ඔනර්."
නඩුකාරයා: මොකක්ද මන්දා හිමින් කියනවා.
තෝල්කයා: "රුපියක් දාහක් දඩ!"
ලෝයර්: "තෑන්ක් යු, යුවර් ඔනර්."

ලෝයර්කාරයා තමන්ගාව තියෙන කොලේ ටික් එකක් දාගන්නව. පස්සේ ලෝයර් ගාස්තුව එකතු කරන්න වෙන්න ඇති. ඇයි ඉතින් උසාවියේ විත්තිකාරයා වෙනුවෙන් පෙනී ඉඳල මහා බරපතල රාජකාරියක් කළා නොවැ!

ඔයිට වඩා වෙනස් නඩුවක් තිබුණොත්, ඒ කියන්නේ තුවාලයක්, මරණයක් වගේ වෙච්ච කේස් එකක්, ඒ හැම නඩුවක්ම වෙන දවසකට කල් දානව.

ඒ කියන්නේ එදාටත් උදේ නමේට ඇවිල්ල වාත වෙවී හිටපල්ලා කියන එකයි!

දැන් ඔන්න උදේ එකොළහ විතරත් වුනා. නඩුවෙන් නඩුවට, නම් කතා කරනවා, ලෝයර් ලා නැගිටිනවා, එක්කෝ වැරදිකරු කියලා කියලා දඩ ඉල්ලං කනවා නැත්තං නඩුව කල්දානවා.

හැබැයි මට හොඳට පෙණුනු දෙයක් තමයි හැම නඩුවකටම ලෝයර් ලා පෙනී ඉන්න බව. ගේට්ටුව ලඟ කාක්කෝ වගේ කැරකී, කැරකී හිටපු කොලු ගැට ලෝයර් ලා නං විත්තිකාරයින් වෙනුවෙන් එච්චර ඉදිරිපත් වෙන බවක් පෙනුනේ නෑ. නඩු වලින් අති බහුතරයකට පෙනී හිටියේ එකම නාකි ලෝයර් පප්පෙක්.

කොලු ගැට ලෝයර් ලා ගොන්නම, මේ පප්ප ගේ සහායට ඩැනී ලා වගෙයි මට පෙනුනේ.

ඔන්න ඔය වෙලාවේ තමයි අපේ නඩුකාරයා ට තේ බරක් හැදුනේ. උන්නැහේ කුටියට සැපත් වුණු අතරේ මං අතපය හිරි ඇරගන්න කියල පොඩ්ඩක් නැගිට්ටා.

තරමක බඩගින්නක් ආවත් මේ කියන කාලේ නං මෙතන කන්න බොන්න විදියක් තිබුනේ නෑ.

පොඩ්ඩක් දොරෙන් එළියට හොට දාලා ආපහු හැරෙන කොටම මාව ආයෙ වටකර ගත්තෙ නැතෑ කපුටු රැල!

මේ පාර ඒ ගොල්ලන් ගේ බයිලා එක පොඩ්ඩක් බිය ගෙන දෙන එකක්. ඒ මදිවට මං පොඩි ලෝ පොයින්ට් එකකුත් අල්ලා ගත්තා!

කාර් කතන්දර මෙගා සීරීස් එකේ ඊළඟ "ජන-අප්‍රිය" කොටසින් ඒ දේවල් කියවමු.

කතන්දරකාරයා ගේ "අයි නෝ ද ලෝ"

-කතන්දරකාරයා

ප/ලි:
මේ කොටස කියවලා මගේ ලෝයර් බෑයා සහ ලෝයර් නෑනා අද හවස් වෙන කොට අපහාස නඩුවකට එන්තරවාසියක් එවයිද මන්දා.

එහෙම වුණොත් මගේ ලෝයර් මාමා ව තමයි අල්ලන්න වෙන්නේ!

ප/ප/ලි:
කාර් මෙගා කතන්දරේ කලින් කොටසේ ප/ලි යේ මං කියපු මිණිවන් පී තිලකරත්න ලියූ තවත් නවකතාවක් තමයි "තෘෂ්ණාභරණ".
ඒ ගැන මෙතනින් කියවන්න.
http://www.silumina.lk/img/print.asp?fn=ar10100311

(image: http://www.eatstudent.co.uk/terms.aspx)

Friday, 17 June 2011

කතන්දරකාරයා උසාවි සාවියේ - Kathandarakaraya goes to the Courts


රතු කොරොල්ලා කාරෙකෙන් ගෙදර ගෙනාපු රෝස බබා බලාගන්න මැටනිටි ලීව් දාල හිටපු කතන්දර හාමිනේව මාසේ පඩිය ගන්න වැඩපොළට එක්ක යන්න ගිහින් කතන්දරකාරයා ට වැදුණනේ දඩ කොළයක්.

ගාන පොඩි උණාට ගෙවන්න අමතක වුණු නිසා වැඩේ කේස් වෙලා උසාවියෙන් පිට බේරගන්න බැහැයි කියලයි ට්‍රැෆික් ඕඅයිසී කිව්වේ. උදව්වක් හැටියට හැකි ඉක්මනින්ම උසාවියට දාල දෙන්නං කියල කිව්වවහම බෑ ය කියන්න හේතුවක් නෑනේ.

ඔන්න ඉතිං සිතාසි හෙම ඇවිල්ලා මට සැට් වුණා උසාවියකට යන්න ජීවිතේ මුල් වතාවට. නඩුව තිබුනේ මරදාන හරියේ ට්‍රැෆික් කෝට් එකේයි. උදේ නමේට වගේ වෙලාවකට.

කළු කලිසමයි, සුදු නිල් ඉරි කමිසෙකුයි ඇඳල කෝකටත් කියල රතු ටයි පොල්ලකුත් එල්ලගෙන මං ගිහින් කාර් එක අලුත්කඩේ හරියේ ගාල් කරලා, හරියට උදේ නමේට කලින් ට්‍රැෆික් කෝට් එකට කිට්ටු වුණා.

සූ ගාලා සෙනග!

මං දොරෙන් ඇතුළට යන කොටම මෙන්න බොලේ මා ළඟට ආවා කළු කෝට් දා ගත්තු පොරවල් දෙන්නෙක් විතර.

"ආ යූ අ විත්නස් ඕ අ ඩිෆෙන්ඩන්ට්?" (උඹ සාක්කිකාරයෙක්ද නැත්තං වග උත්තරකාරයෙක් ද) එකෙක් අහපි මගෙන්?

මං හිතුවෙ මුං දෙන්නා උසාවියේ ඔෆිසර්ලයි කියලයි, ඒත් එහෙනං ඇයි මේ කඩ්ඩ?

"ඩිෆෙන්ඩන්ට්!" මං කිව්ව.

"වටීස් දි ඔෆෙන්ස්?" (මොකක්ද කරපු වරද)

"ඕ, ජස්ට්, අයි වෝස් කෝට් ස්පීඩින් ඇන්ඩ් වෝස් ගිවන් එ ටිකට්. අයි ෆොගොට් ටු පේ ද ෆයින් ඔන් ටයිම් ඇන්ඩ් ද පොලිස් සෙඩ් දැට් ඉට් හැස් ටු බී සෙට්ල්ඩ් ඇට් ද කෝට්ස්."

"සෝ, ආ යූ ගොයිං ටු ප්ලීඩ් ගිල්ටි?" (ඉතිං උඹ වරද පිළිගන්නද යන්නේ)

"යර්ස්, අයෑම්!"

"ලෙට් මී ඇපියර් ෆෝ යූ දෙන්. අයි ඈම් අ ලෝයර්. අයි විල් රිප්‍රසන්ට් යූ ඇන්ඩ් ප්ලීඩ් ගිල්ටි. මයි ෆී ඉස් ඔන්ලි ෆයිව් හන්ඩ්රඩ් රුපීස්. දිස් ජජ් ඉස් ගුඩ්. හී විල් ෆයින් යූ මේ බී ෆයිව් හන්ඩ්රඩ් රුපීස්!" (එහෙනං මං උඹ වෙනුවෙන් පෙනී ඉන්නං. මං ලෝයර් කෙනෙක්. මගේ ගාස්තුව රුපියල් පන්සීයයි. මේ නඩුකාරය හොඳ පොරක්. උඹට ඔන්නං රුපියල් පන්සීයක් දඩ ගහයි)!

"ඉෆ් අයෑම් ගොයින් ටු ප්ලීඩ් ගිල්ටි වයි ෂුඩ් අයි නීඩ් අ ලෝයර් ?"(මං වරද පිළිගන්න යන එකේ මොකටද මට ලෝයර් කෙනෙක්)

"ඊෆ් යූ ගෝ දෙයා විතවුට් අ ලෝයර්, ද ජජ් විල් ෆයින් යූ මේ බී වන් තවුසන්ඩ් ෆයිව් හන්ඩ්‍රඩ් රුපීස්!" (උඹ ලෝයර් කෙනෙක් නැතුව නිකංම නඩුවට ගියොත් නඩුකාරයා උඹට රුපියල් එක්දාස් පන්සීයක් වුණත් දඩ ගහන්න ඉඩ තියෙනවා).

මට ඒ කතාව ඇල්ලුවේ නෑ! ඒ මොන විකාරයක් ද?

"දැට්ස් වෙරි ස්ට්‍රේන්ජ්!" කියාගෙන මං උසාවියේ ඇතුළට ගිහින් වාඩි වුණා.

-කතන්දරකාරයා

ප/ලි:
එහෙම කියල ඒ ලෝයර් කාක්කෝ නෙමේ වැඩේ අත හැරියේ.

ඒ විස්තර මේ කාර් කතන්දර මෙගා සීරීස් එකේ ඊලඟ ජන-අප්‍රිය කොටසින් (හපොයි මදෑ කාර් එකක් ගත්තා - උසාවියක ගෙවුණු දවසක්) බලාපොරොත්තුවන්න!

ප/ප/ලි:
මේ කතන්දර මෙගා එකේ අද කොටසේ මාතෘකාව ගැන වචනයක් කියන්න ඕනෑ.

උසාවි සාවිය කියන්නේ උසාවිය පරිශ්‍රය (කෝට් ප්‍රෙමිසස්) කියන අදහස දෙන ගරු ගාම්භීර වචනයක්. මං මේ වචනය ඉගෙන ගත්තේ මිණිවන් පී තිලකරත්න ලියු "උසාවි සාවිය" කියන නවකතාවෙන්.

අන්න බලනව නං හොයාගෙන බලන්න වටින පොතක්. ලංකාවේ උසාවි වල නඩු තියෙන කාලකණ්ණි ප්‍රමාදය ගැන මේ පොතේ අපූරුවට විස්තර කරල තියෙනවා.

මිණිවන් පී තිලකරත්න කියන්නේ සිංහල මහාචාර්යවරයා කැලණිය විශ්ව විද්‍යාලයේ 90 ගණං දක්වා. දැන් නම් මිය පරලොව ගිහින්.

මිණිවන් පී තිලකරත්න උපහාස කතා කලාවට උපන් හපනෙක්. පොර ගේ "මගෙ ගම සරිගම" කියන කෙටිකතා පොත උපහාසයේ උපත කියලා කියන්න පුළුවන්. පොර ලියපු අනිත් පොත් තමයි, පුංචි එක්නැලිගොඩ, කන්දෙන් ලන්දට වගේ ඒවා.

කන්දෙන් ලන්දට මරු නවල් එක. මට හිනා කාලා පණ යන්න ගියා කන්දෙන් ලන්දට කියවන වෙලේ!

නාථ දෙයියෝ එක්ක පරීක්‍ෂණ කිරීම වගේ වැඩ වලිනුත් අනුන්ව හිනස්සන පුළුවන්. නමුත් දන්නෙම නැතුව තමනුත්රටටම විහිළුවක් වෙනවා ඒසමගම.

කැලණිය විශ්ච විද්‍යාලයේ හිටපු මහාචාර්ය මිණිවන් පී තිලකරත්න උපහාසාත්මක කතා ලිව්ව විතරයි.

(image: http://psmc.wordpress.com/2007/08/)