Showing posts with label රැප්. Show all posts
Showing posts with label රැප්. Show all posts

Tuesday, 20 September 2011

බ්‍රහ්මදත්ත කාලේ සිට පැවතෙන තක්සලා වේ ගීතය අද නව රිද්ම (රැප්) සමග - Cover version of a golden oldie


අර බ්‍රහ්මදත්තලා (ඔව්, එක්කෙනෙක් නෙමේ කප්පරක් හිටියා එකම නම තියෙන රජ පොරවල්) බරණැස් නුවර රජ කොරන කාලේ රජ්ජුරූස් ලා ගේ පුත්‍ර රත්නර්ස් ලා ට, තව තව සිටු කෂ්ටියගේ කොල්ලන් ට යන්න දාල තිබුණ ප්‍රයිවේට් යුනිවසිටියක් තක්සලා කියන නගරේ.

ඔය බණ කතාව හින්දා ලංකාවේ යුනිවසිටිවලටත් සාමාන්‍යයෙන් මේ තක්සලාව කියන නික් නේම් එක පාචිච්චි කෙරෙනව තවමත්, විශේෂයෙන්ම ඔය සාහිත්‍යමය වැඩ කටයුතුවලදී.

අපේ පොරවලුත් ඉතිං කැම්පස් සිලෙක්ට් වුණාම, "දෙඤ්ඤං ජම්බු!" කියල හිතල ශිල්ප දක්වල කුමාරියවත් සැට් කරගන්න තමයි එහේ යන්නේ.

මේ කවිපෙල මං ලිව්වේ ෆර්ස්ට් ඉයර් එකේ සෙකන්ඩ් ටර්ම් එකේ විතර.

තක්සලා වේ ගීතය

"(පරණ කෑල්ල)
අල්ලට සිඟාවත් රස නැති අහර කකා
වල් කොල බිම අතුට නිදි නොලැබ දුක් තකා
කල් ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා
ඇල්මෙන් අකුරු උගනිව් ඉඳිරි වැඩ තකා"

(රැප්)
ජීවිතේ කිසි කලෙක දැක නොමැති බත(*) සමග
ගෙඩි ගෝව මුං ඇට ද තක්කලි ද අනමිනා
බඩේ ගින්දර නිවා ගනු පිණිස ගිල දමමු
කැන්ටිමේ ශුද්ධ වූ බත් තැටිය සසොබනා

මැසි මදුරු උවදුරෙන් කෙසේ හෝ බේරිලා
මකුණන් ට ලේ පිනට දිදී කල් යවමිනා
කැඩී ගිය සයනයේ කොහු නොමැති මෙට්ට මත
නිදා ගමු වැතිරිලා රෑ පුරා සතොසිනා

දිවි ගෙවන්ණට පවා හිමවූ කල මිළ මුදල්
අළුත් ඇඟලුම් ඇඳුම් ගන්න නොම සිතමිනා
මෙහේ එන්ණට කලින් ගත් ඇඳුම් කල් ගියද
තව තවත් අළුත් සේ සෝදමින් අඳිමිනා

හිස මතට පැටවි ඇති සියළු බර දරාගෙන
කෝස් එකෙ සිරත්වය ගැන තවත් හිතමිනා
ඇල්මකින් නොවූවද, කළ යුතුව ඇති හෙයින්
ශිල්ප උගනිමු ඉතින් දුක් ගීත ගයමිනා

(අළුත් කෑල්ල)
දිව රවටවා හෝ නීරස අහර කකා
රන් බග් ගසා නිදමින් පින් පව් නොතකා
ගජයක් ගසා වැරහැලිවල අඩුව මකා
ඇල්මක් නැතත් උගනිව් ඉදිරි වැඩ තකා෴


අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දිනවල කතන්දර බ්ලොගයේ මේ කයි-කතන්දර පල කෙරෙනුයේ 2011 සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙනි.

-කතන්දරකාරයා

ප/ලි:
(*)මෙතන දී, අර බත ගැන කියල තියෙන කතාව මේකයි.

මං පේරාදෙනියේ දී බත් කාපු මාකස් ප්‍රනාන්දු, අක්බාර්, වූස්, ගෙම්බා වගේ හැම කැන්ටිමකමත්, බත් අම්මලා විකුණපු බත් පාර්සල් වලත් තිබුනේ එක හා සමාන නීරස, ඇට ලොකු හාල් ජාතියකින් උයපු බත්. ගෙදරදී, මිල්චාට්, රතු කැකුළු සහ සම්බ කාල පුරුදුවෙලා තිබුණු මට මේ බත් නං දිරෙව්වෙම නෑ.

(පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ දී මා විසින් ලියන ලද ඉහත පදවැල ඉංජිනේරු පීඨ කලා කවයේ බිත්ති පුවරුවේ මුල්වරට පලකරන ලදුව දෙවන වසර අවසානයේ දී හස්තද්වාරයෙන් එලිදක්වන ලද හන්තානේ කඳු පාමුල කාව්‍ය සංග්‍රහයට ඇතුලත් කරන ලදී.)

(image: http://artofthaimassage.com/page/2/)

Sunday, 3 July 2011

ජැක්සන් ඇන්තනි කතන්දරකාරයා සමග භාතිය සන්තූෂ් ලා ගැන කියපු සවුදම් - Jackson Antony raps about Bathiya and Santhush with Kathandarakaraya


මේක මගේ සන්ඩේ ඇක්ස්ට්‍රා ස්පැෂල් සීරීස් එකේ තවත් නේම් ඩ්‍රොපින් කතන්දරයක් කියලා කියන්න පුළුවනි.

ජැක්සන් ඇන්තනි හෙවත් ජැකා හෙවත් පනාපුත්‍ර කුහුඹු පැණියා මා එක්ක මේ සාකච්ඡාවට සහභාගී වුනේ මීට අවුරුදු කීපයකට කලින් 2006 දී යි.

මං අහපු මේ ප්‍රශ්ණ ඒ කාලේ ට ගැලපෙන ඒවා බව කරුණාවෙන් සලකන්න.

කතන්දරකාරයා: වැඩිහිටි පරම්පරාවත් තරුණ පරම්පරාවත් අතර මත ගැටුම, පරම්පරා ඝට්ඨනය, සැලකෙන්නේ සදාතනික ප‍්‍රශ්ණයක් ලෙසටයි. නමුත් සීඝ‍්‍රයෙන් වෙනස් වන අද ලෝකයේ මේ ගැටුම තීව‍්‍ර වෙලා යැයි මට හැගෙනවා. මේ ගැන ඔබේ අදහස් මොනවාද?

ජැක්සන්: දියුණුව කියන්නෙ පැවැත්ම ඒ ලෙසම පවත්වාගෙන යෑමවත්, පැවැත්මට පරිබාහිර, ප‍්‍රතිවිරුද්ධ දේ වෙනත් තැනකින් ගෙනැල්ල පැවැත්ම මත පටවන එකවත් නෙමේ. ද්වන්ධාත්මක භෞතිකවාදයට අනුව, දියුණුව යනු "එකක් මත එකක්" ගොඩ නැගීමයි. මෙයට සිංහල වචනය සමතික‍්‍රමණයයි.

මෙයටම අදාල තවත් සංකල්ප දෙකක් තමා, ප‍්‍රතික්‍ෂේපණය සහ අතික‍්‍රමණය. ප‍්‍රතික්‍ෂේපණය යනු දියුණුව නෙවේ. පැවැත්ම එලවා දමා, ප‍්‍රතික්‍ෂේප කොට, අළුත් දෙයක් කිරීමයි.

අතික‍්‍රමණය කියන්නේ පැවැත්ම පසුකර යෑම. පැවැත්ම හරහා, එහි ගුණ අගුණ සියලක්ල රැගෙන, ඊට වඩා ඉහල තැනකට යෑම. අතික‍්‍රමණය කිරීම.

සරලව කියනවා නම් තාත්තට වඩා පුතා උසස් වීම. තාත්තගෙ මට්ටමටම පුතා හිටිය වුනත් එය දියුණුවක් නොවෙයි.

මෙන්න මේ කාරණාව තමා පරම්පරා ගැටුමට හේතුව. තාත්ත දකින දේ නෙමේ පුතා දකින්නේ. පුතා දකින දේ නෙමේ තාත්ත දකින්නේ. මේක සිංහබාහුලගෙ කාලෙ ඉදල තිබුන දෙයක්.

ඔබ නිවරැදිව කිව්වා වගේ අද තත්වය ඊට වඩා තීව‍්‍රයි. ගෝලීයකරණය වුනු, ජාත්‍යන්තරකරණය වුනු යුගයකයි අපි ඉන්නේ. සන්නිවේදනය දියුණුයි. අන්තර්ජාලය හරහා, චන්ද්‍රිකා තාක්‍ෂණය හරහා මුළු ලෝකයම එකම කොදෙව්වක්, විශ්ව ගම්මානයක් බවට පත්වෙලා තියෙනවා. මෙන්න මේ තත්වය තුල මතුවෙන පරම්පරා ගැටුම තීව‍්‍රයි. ලංකාවේ තත්වයත් මේකයි. බටහිර රටවල මේ ගැටුම ඊටත් වඩා තීව‍්‍ර විය හැකියි.

කතන්දරකාරයා: ලංකාවෙ දැනට දැඩි ලෙස සාකච්චා වෙන කාරණයක් තමයි, රැප් සංගිතය මගින් සිංහල සංගීතයට ඇතිවෙන බලපෑම. මේ ප‍්‍රශ්ණ ඔබ කොහොමද දකින්නෙ?

ජැක්සන්: මේ කරුණු වලට නම් වැරදි කාරයො ලංකාවෙ වැඩිහිටි පරම්පරාවයි, අළුත් පරම්පරාව නෙමේ. ලංකාවෙ අධ්‍යාපනයෙ තියෙන ගැටළුව තමයි. රට දියුණු වුනාට, අපේ පාලකයින් වත්, අපේ ප‍්‍රජාවවත්, ඊළඟ පරම්පාරාව ගැන නිවැරදි වැඩ පිළිවෙලක් කි‍්‍රයාත්මක කළේ නැහැ. ඊළඟ පරම්පරාව අතරමං වුනා. මේකට හේතුව මේකයි. ඉස්සෙල්ලාම අපි අපේ දේ ඉගෙන ගත යුතුයි. අපේ සංස්කෘතිය දැනගත යුතුයි.

මේ රැප් කියන එක අළුත් දෙයක් නෙමේ. රැප් කියන නම අළුත් වුනාට, අපි සවුදම්, බෙර පද, ස්ලෝක, සැහැලි කියන නමින් අහල තියෙන්නෙ රැප්. රැප් කියන්නෙ, වේග රිද්ම වචන එකතුව.

සවුදම අපේ රටේ හැදෙන්නෙ, කි‍්‍රස්තු පුර්ව පලමුවන සියවසේ සිටයි. ඒ කාලේ සිට රැප් තිබුනා. මේ අහන්න සිරිපා සවුදම.

තත් තත් තරිකිට තෙයි,
සිරීපාද පුද සමනල ගිරි හිස තෙයි
සුමන සමන් දෙවි
පූජා හිමි කරතෙයි....

ඔබ සිංහල නිසා මේක සවුදමක් කියල තේරුනාට, බටහිර අයෙකුට මේක හිතෙන්නේ රැප් එකක් කියලයි. අපට රැප් අළුත් දේවල් නෙමේ.

අපි අපේ ස්ලෝකය, සැහැල්ල, සවුදම වර්තමානයට ගෙනාවෙ නැහැ. ගෙනාව නම් අපේ කොල්ලො කෙල්ලො අද ඇමරිකාවෙන් එන රැප් කියන්නෙ නැහැ. අපි අපේ සවුදම හිර කූඩුවෙ දාල, රැප් වලට බනිනව.

අද ඊයෙ විතරක් නෙමේ, තරුණයන්ට වේග රිද්මය අවශ්‍යයයි. එදා, එම් එස් ප‍්‍රනාන්දුටත් බැන්න වේග රිද්මයට. හැබැයි ඒ ගොල්ලො කිව්වෙ, පාර පුරා මල් ඉහිරුණු චීත්තෙ, වගෙ අපේ දේවල්. ඒ ගොල්ලන්ට ඒ දැනුම තිබුන. වර්තමාන පරපුරට, ඒ දැනුම, අපේ දැනුම, ඇතුල් කරල නෑ. තිබුන නම් අද ඔවුන් කියන්නේ සවුදම්. මේ දෙපැත්ත යා කරන පාලම අපි බඳින්න ඕනැ දැන්වත්.

හැම රටකම ජන සංගීතයක් තියෙනව. ලංකාවෙ මේව දියුණු කරල නැහැ. සංස්කෘතික කේන්ද්‍රයක් වත් නැහැ මේ කරුණු ගැන සොයන. නමුත් අපේ රටේ ජන සංස්කෘතිය විනාශ කල නොහැකි එකක්. මුහුදු වෙළඳ මාර්ගයක පිහිටල තියෙන නිසා අනාදිමත් කාලයක ඉඳලම නොයෙකුත් විදේශ බලපෑම් තිබුන. ඒත් අපේ ජන සංස්කෘතිය ඒවයින් පෝෂණය වුනා මිස විනාශ වුනේ නැහැ.

අපිට වර්තමානය ප‍්‍රතික්‍ෂේප කරල නම් දියුණු වෙන්න බැහැ.

කතන්දරකාරයා: සාමාන්‍යයෙන් පිළිගැනීම තමයි, ජාතියක සංස්කෘතිය යනු එක තැන, එක ලෙස නොතියෙන, සදාකාලිකව වෙනස් වෙන දෙයක් බව. නමුත් සමහර විට මේ වෙනස් කම් වලට සමහරු විරුද්ධ වෙනව. භාතිය සහ සන්තූෂ් ගැනත් නොයෙකුත් විරෝධතා තියෙනවා. මේ කාරණය ගැන ඔබේ අදහස් දැන ගන්න මම කැමතියි.

ජැක්සන්: ජාතික සංස්කෘතියක් එක තැන පල් නොවී දියුණු විය යුතුයි. මේකට දැනුම අවශ්‍යයි.

මම මේ භාතිය සහ සන්තූෂ් දෙස බලන මගේ දෘශ්ථි කෝණය පටන් ගන්නේ අද ඊයේ නොවෙයි. උන් දෙන්නාගේ බිහිවීමේ ම සිටයි. ඒ දිනවලම මම දැක්ක දෙයක් තමා, මේ තරුණයින් ඉතාමත් මැනවින් බටහිර සංගීතය ඉගෙන ගෙන තියෙන බව. සරල ජනපි‍්‍රය සංගිතය නොවේ, සම්භාව්‍ය සංගීතය. මේ අපේ ළමයි දෙන්නෙක්. අපි උන්ව ප්‍රතික්‍ෂේප කලොත් වෙන්නෙ, උන් අපේ සංස්කෘතියට, අපේ කමට, සම්බන්ධතාවයක් නැති පාරක ගමන් කරනවා.

මම "සවන" ගුවන් විදුලියෙ හිටියෙ ඒ කාලෙ. මම මේ දෙන්නව කැඳවල අවවාද කලා මෙහෙම. ඔබේ සංගීත දැනුම අතිශයින් ඉහලයි. ගමට යන්න. අපේ ජන සංස්කෘතිය, සංගීතය පිළිබඳව අත්දැකීම් ලබන්න. ඔවුන් එය කළා. එයින් පස්සෙ බෙර පද, රබන් පද, ජන කවි, සැහැලි අරගෙන ඒවා ඇසුරින් ඔවුන්ගෙ සංගීත නිර්මාණයන් කළා.

අපේ රටේ තිබුන ප‍්‍රශ්ණයක් තමයි, ජනපි‍්‍රය සංගීතය ඉදිරිපත් කළ, මුලින්ම ජෝතිපාල, මිල්ටන් පෙරේරා, එම්. එස්., මිල්ටන් මල්ලවආරච්චි, ඊලඟට, ක්ලැරන්ස් සහ රූකාන්ත වැනි අයව බැණ ඇඬුම් වලට ලක් කිරීම. ඔවුන්ව ගනන් ගත්තේ නැහැ. නමුත් රස්තියාදුකාරය කියල බැණුම් අහපු ජෝතිපාලගෙ මළගමින් පස්සෙ, කනත්තය ආ සෙනඟ දැකල, ජනපි‍්‍රය සංස්කෘතිය පලවා හැරිය යුතු දෙයක් නොවේ කියල උගතුන් මත ඉදිරිපත් කරන්න පටන් ගත්ත. අද මිල්ටන්ල ව, ක්ලැරන්ස්ල ව හරි ඉහලින් අගය කෙරෙනව. නමුත් ජීවත්ව සිටින කාලය තුල පරිභව කළා. ක්ලැරන්ස්ට කිව්වෙ කිසිම සංගීත විචාරයක් නැති කෙනෙක් කියල. මිල්ටන් මල්ලවආරච්චි ගසල් එකක්, රාගයක් කියාගන්න බැරි කෙනෙක් කියල.

වර්තමානය තුලදීම, ජනපි‍්‍රය සංගීත කරුවන් අගය කළ යුතුයි.

රූකාන්තට පස්සෙ, මේ ජනපි‍්‍රය සංගීත ගේට්ටුවෙන් ඇතුල් වුන දෙන්න තමයි, භාතිය සහ සන්තූෂ්. අපි උන්ව ආදරයෙන් පිළිගත්ත නම් උන් අපේ කම රකිනව. උන්ව ප‍්‍රතික්‍ෂේප කලාම වෙන්නෙ, උන් ආපු ඒ ගේට්ටුව දුර්වල වෙනවා. අද ඒ ගේට්ටුවෙන් විශාල පිරිසක් ඇතුළු වෙනව. ඒ පිරිස නන්නත්තාර වෙච්ච සංගීතයක් අපේ රටේ ගායනා කරනවා.

රැප් කියල සංගීතය විනාශ කලේ භාතිය සහ සන්තූෂ් නෙමේ. ඉන් පසුව ඒ ගේට්ටුවෙන් ආපු අය.

ජාත්‍යන්තර පාසැල් හරහා ගොඩ නැගිච්ච, අපේ සංස්කෘතිය ගැන අබ ඇටයක දැනුමක් නැති, අපේ භාෂාව කතා කරන්න බැරි, යැංකි පරම්පරාවක් අද රටේ ඉන්නවා. ඒ අය තමා අපේ සංගීතය විනාශ කරන්නේ.

නමුත් අපි අපේ භාතිය සහ සන්තූෂ්ලට මල් මාලාවක් දාල පිළිගත්ත නම්, අපි උන්ට වග කීමක් පිරිනැමුව නම්, ඒ ගේට්ටුව ශක්තිමත් වෙනවා. ඔය තරම් පිරිසකට ඒ ගේට්ටුවෙන් එන්න බැරි වෙනවා. මේ අය භාතිය සහ සන්තූෂ් තරම් සංගීත දැනුමක් නැති අය. වෘත්තීය මට්ටමක් නැහැ.

භාතිය සහ සන්තූෂ් ලාව ප‍්‍රතික්‍ෂේප කිරීම තුලින්, අපි ඊලඟ පරම්පරාවම ප‍්‍රතික්‍ෂේප කලා වෙනව. ප‍්‍රතික්‍ෂේප කරන්න නෙමේ උන්ව අපේ කමට දිනාගන්නයි ඕනැ.

මේකට පිළිගත් සංවේදීතාවටන් කිහිපයක්ම අද දකින්න පුළුවනි. එකක් තමා අද භාතිය සහ සන්තූෂ්ල ඉන්දියාවට සංගීතය ආනයනය කරනව. එදා අමරදේවල, සුනිල් ශාන්තල ඉන්දියාවෙන් සංගීතය ඉගෙන ගෙන ආව, පසුකාලෙක හින්දි චිත‍්‍රපට සංගීතය අපේ අය කොපි කලා. අද මේකෙ අනෙක් පැත්තයි සිද්ධ වෙන්නෙ. ඒක ලොකු දෙයක්.

ඊලඟ කාරණය තමයි, මීට වසර දෙකකට කලින් බක් මහ රංගන සංදර්ශණයේ මෙහේ තරුණ කොටස් නැටුවේ, ඉන්දීයානු නූතන බටහිර පන්නයේ සංගීතයටයි. නමුත් අද ඔවුන් නටන්නේ භාතිය සහ සන්තූෂ් ලගෙ සංගීතයටයි.

අද තරුණ පරපුර ආකර්ෂණය කරගන්න පුළුවන් අය සිටිද්දි, ඔවුන් අපේ දරුවන් බවට පත් කරගෙන, අපේ කිරි පොවන්නෙ නැතුව, අපේ කම හදුන්වල දීල, දීප්තිමත් තරුණයින් හැටියට පිළිගත්තෙ නැතිනම් මොකද වෙන්නෙ? මුළු පරම්පරාවක්ම අපිට නැති වෙනවා.

අප භාතිය සහ සන්තූෂ් ආරක්‍ෂා කර ගත යුතුයි.

මේ සාකච්ඡාව සිදු කෙරුනේ 2006 අප්‍රියෙල් මාසයේ දී බව කරුණාවෙන් සලකන්න. අද හම්බ වුනා නං මං අහන්නේ ඔය ප්‍රශ්ණ නෙමේ!

සඟරාවකට සැකසූ ලිපියකින් කොටසක් නිසා වෙනද මං කතන්දර කියන භාෂා විලාසය අදත් නෑ. අදත් හරියට රෝහණ බැද්දගේ ගැන දාපු ලිපියේ වගේ තමයි භාෂාව.

-කතන්දරකාරයා

ප/ලි:
කාර් මෙගා කතන්ර සීරීස් එකේ අවසන් කොටස් දෙක ලබන සඳුදා සහ බදාදා බලාපොරොත්තු වෙන්න.