Showing posts with label සිංහල බ්ලොගින් මැනර්ස්. Show all posts
Showing posts with label සිංහල බ්ලොගින් මැනර්ස්. Show all posts

Monday, 23 April 2012

මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එකෙන් කතන්දරකාරයාට ආරාධනයක් - An invitation to KK from Manamalaya dot com site


පහුගිය දොහක උදේ පාන්දරම මගේ එකවුන්ට් එකට ඊ-මේල් එකක් ඇවිත් තිබුණා.

     "සුහද ආරාධනා

ආයුබෝවන්!

අන්තර්ජාලයේ වෙබ් පිටු අතර සැරි සරමින් සිටියදී එක තැනක මම නැවතුනෙමි. (http://kathandara.blogspot.com.au/). ඒ ඔබේ අනර්ඝ නිර්මාණ එකතුවත් සමගිනි.

ඔබගේ නිර්මාණ ලොව පුරා විසිරී සිටින මිලියන 1.5 ක් වූ මනමාලයා ඩොට් කොම් ((The most favorite sri lankan web site) - සාමාජික පිරිසට රසවිදීමට අවස්ථාව ලබා දීමට අපි කැමැත්තෙමු.

දැනට අප සමග බොහෝ නිර්මාණ කරුවන් පිරිසක් එකතු වී ඇත.

ඔබේ නිර්මාණත් අප සමග බෙදාගැනීමට කැමතිනම් ඔබගේ දුරකථන අංකය සමග අපට පණිවිඩයක් තබන්න."

ඊ-මේලයේ අගින් තිබුණු සිග්නේචර් බ්ලොක් එක අනුව මේක මට එවලා තියෙන්නේ මනමාලයා ඩොට් කොම් එකේ කලමනාකරන අධ්‍යක්‍ෂක ළමයා!

මා වැනි බිළින්දා කිව්වලු.

ඒ විතරක් යෑ, මේ බලන්න කෝ මුළු අත්සන.

අහවලා ගේ අහවලා
BSc (Hons) in IT, University of Moratuwa


මේ අපේ කාල් අංකල්ලා ගේ, රත්නායක මහත්තයලා ගේ යුනිවසිටියේ ග්‍රැජුවේට් ළමයෙක් නේ. මේ වගේ කෙනෙකුට උදව් කරන එක අපේ යුතුකමක් නේ.

අනික, මිලියන එකහමාරක් පාඨකයෝ ඉන්න තැනක කතන්දර බ්ලොගේ ප්‍රොමෝට් වෙනවා කියන්නේ එසේ මෙසේ දෙයක් යෑ.

මං හැරෙන තැපෑලෙන් උත්තරයක් දැම්මා. මෙන්න ඒකේ අනුවාදයක්.

     "ප්‍රිය අහවලා

ඔබ එවූ ඊ-මේලයට ස්තුතියි.

ඔබේ යෝජනාව ක්‍රියාත්මක කරන්න.

ඔබට එක්කෝ:

(1) මගේ බ්ලොගයට සබැඳියක් ඔබේ වෙබ් අඩවියෙන් ලබා දිය හැක

(2) මගේ පෝෂකය සම්බන්ධ කොට ගෙන කතන්දර බ්ලොගයේ අළුත් කිරීම් කෙලින්ම ලබා ගත හැක,

නැතහොත්

(3) ඔබට මගේ බ්ලොගයෙන් අවශ්‍ය කතන්දර පිටපත් කරගෙන ඔබේ අඩවියේ පල කළ හැක - නමුත් එසේ කරන්නේ නම්, ඒ ඒ කතන්දරවලට සම්පූර්ණ සබැඳියක් කරුණාකර ලබාදෙන්න.

ස්තුතියි

-කතන්දරකාරයා
BScEng Hons (Peradeniya)"

මනමාලයා වෙබ් එකේ බොස් ගෙනුත් මට වහාම පිළිතුරු ලැබුණා.

     "හායි කතන්දරකාරයා,

ඉක්මන් පිළිතුර ගැන ස්තුතියි. ඔබේ ලිපි අපේ ජාලය හා බෙදා ගැනීමට ලැබීම සතුටකි.

ඔබ කියා තිබූ (3) ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අප කැමතියි, නමුත් ඒ යම් යම් වෙනස් කම් සහිතවයි.

අපි ඔබේ බ්ලොගයට සබැඳියක් ලබා දුන්නොත්, අපේ පාරිභෝහිකයෝ කෙලින්ම ඔබේ අඩවියට හොස් ලිපි කියවනු මිස අපේ අඩවියට නොඑනු ඇත. එනිසා අප කැමති අපේ අඩවිය හරහා ලිපි පල කිරීමටයි.

සබැඳියක් ලබාදීමට නොහැකි අතර ඒ ගැන මම කණගාටුවෙමි. අපට ඔබේ ලිපිවලට ප්‍රචාරක් ලබාදිය හැකි නමුත් ඔබේ බ්ලොග් අඩවියට ප්‍රචාරයක් ලබා දිය නොහැක.

අප ඔබ ගැන හැඳින්වීමක් අපේ අඩවියේ දී කරන නිසා ලිපිවල හිමිකම ඔබ සතුවම තිබේ යැයි සිතමු.

මගේ යෝජනා ගැන ඔබ සිතන්නේ කුමක්ද?

ස්තුතියි.

අහවලා ගේ අහවලා
BSc (Hons) in IT, University of Moratuwa
"

මට පොඩි ජොලියකුයි, ඒ එක්කම කේන්තියකුයි ආවා මේක දැකලා.

ජොලිය ආවේ මේ ළමයාගේ කපටි කතාව නිසයි. මෙයා හදන්නේ මගේ කතන්දර එයාලාගේ වෙබ් සයිට් එකේ දාලා ඒකෙන් ආර්ථික වාසියක් ගන්නයි. ආර්ථික වාසියක්ය කියන්නේ මේ කියන මනමාලයා ඩොට් කොම් වෙබ් සයිට් එක ඇඩ්වර්ටීස්මන්ට්වලින් පිරුණු කැඳ හැලියක් වගේ එකක් වීම නිසයි.

මගෙන් කොපි-පේස්ට් කරන කතන්දරවලට ලින්ක්ස් දෙන්න බැරි හේතුව මොකක්ද දන්නවාද?

මේ ගොල්ලෝ අනුංගේ කතන්දර ඟෙතන පල කරන්නේ ඉමේජස් විදියට මනමාලයා ඩොට් කොම් කියලා වෝටර්මාක් එකකුත් එක්කයි.

ඒ ජොලිය මැද්දේට මට කෙන්ති ආවේ මෙච්චර දන්න කියන ළමයෙක් බීඇස්සීද, මොරටුවද, අරවද, මේවද කියලා දාගෙනත් පිළිගත් ආචාර ධරමවලට පටහැනි යෝජනා කිරීම නිසයි.

මාත් වහාම ලිපියක් ලිව්වා.

     "අහවලා ළමයා,

ඔවුන් ඔබට මොරටුවේ දී මොනවා ඉගැන්වූයේදැයි නොදනිමි. මා වසර ගණනාවක් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරයෙකු ලෙස සේවය කර ඇති අතර වෘත්තීමය ආචාර ධරම යනු අප සිසුන්ට ඉගැන්වූ එක විෂයකි."

IT Ethics යන්න BCS සහ ACS වැනි ආයතනවලද නිර්දේශිත විෂයක් බව ඔබ දන්නේ යැයි මම සිතමි.

ඔබ පහත විෂයය අවසාන වසරේදී හෝ ඉගෙන ගත්තාද?

IS 4200 Professional Practice

මා එය උපුටා ගත්තේ මෙන්න මේ ස්ථානයෙනි. http://www.itfac.mrt.ac.lk/newsite/files/2010/12/Curriculum_2009.pdf

ඉහත විෂයය යටතේ ආචාර ධර්ම ගැනද ඔවුන් උගන්වනවා ඇතැයි මම උපකල්පනය කරමි.

ඔබ යෝජනා කරන්නේ මගේ බ්ලොගයෙන් අන්තර්ගතය ගෙන ඔබේ මනමාලයා ඩොට් කොම් අඩවියේ එය මූලාශ්‍රය පිලිබඳව කිසිදු සඳහනක් හෝ නොකර පලකිරීමයි. එය කොතරම් සදාචාර සම්පන්නද?

මොරටුවේදී ඔවුන් ඔබට ආචාර ධර්ම ඉගැන්වූයේ නැති යැයි සිතූවද, මූලාශ්‍ර සඳහන් කිරීම පිළිබඳව උගන්වා තිබිය යුතුය.

මෙය ඉතාමත්ම විහිළු සහගත අවස්ථාවක් බව පමණක් සඳහන් කරමි. ඇත්තටම කියනවා නම්, මෙතැන මගේ බ්ලොගයට තවත් කතන්දරයක් ඇත.

මගේ කතන්දර බ්ලොගයේ අන්තර්ගතය ඔබේ අඩවියේ පලකිරීමට ඔබට කිසිදු අවසරයක් නැති බව කරුණාවෙන් සලකන්න.

වෙබ් ලෝකය ක්‍රියාත්මක වෙන ආකාරය ගැන ඔබට මූලිඛ අදහසක් හෝ ඇතිනම්, යම් දෙයක් එක්වරක් ප්‍රකාශනය කරණ ලද පසු අවශ්‍ය වන්නේ එයට සබැඳි යෙදීම පමණක් බව ඔබට වැටහිය යුතුය.

එසේ වුවද, පහත සඳහන් කතන්දර කිහිපය පමණක් ඔබේ බ්ලොගයේ පලකීරීමට මම ඔබට අවසර දෙමි.

1. http://kathandara.blogspot.com/2011/12/deciding-between-peradeniya-and.html

2. http://kathandara.blogspot.com/2011/04/tale-of-two-cocks-of-katubedda-campus.html

3. http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-campus-contd.html

4. http://kathandara.blogspot.com/2011/04/two-cocks-of-katubedda-secret-revealed.html

මේ අවසරය පහත සබැඳි වලින් යාවෙන කතන්දර සඳහා ම පමණකි. ඉහත 2, 3 සහ 4 කොටස් එකට සම්බන්ධ බව සලකන්න.

මගේ බ්ලොගය පිළිබඳ ඔබේ උනන්දුව ගැන ස්තුතියි.

මෙයට කතන්දරකාරයා"
ඔන්න ඔහොමායි වුනේ!

-කතන්දරකාරයා

ප/ලිඃ තව ඊ-මේල් දෙකක් විතර හුවමාරු වුණා. අවශ්‍ය නම් පස්සේ දාන්නං.

(image: A cartoon by Anjana Indrajith)

Friday, 28 October 2011

බ්ලොග් ලෝකයේ දී මා උගත් හොඳ හොඳ පාඩම් - Lessons learnt in the Sinhala Blogsphere


දැන් ඉතිං කතන්දර 500 ක් ලියලා දාලා, පොර සේ, විවේකෙන් ඉන්න නිසා, මට හිතුනා පොඩි පොර ටෝක්ස් ටිකක් දෙන්න.

මුලින්ම එකක් කියන්න ඕනෑ. කතන්දර 500 ක් දැම්මාය කියල අමුතුවෙන් පොරක් වෙන්න දෙයක් මගේ තිබුණේ නෑ.

මං පොඩි කාලේ ඉඳලාම පොරක්!

දැන් මෙන්න 2009 ජූලි 11 දින ඇරඹුණු මගේ අවුරුදු දෙකයි මාස තුනයි සති දෙකක් වයසැති බ්ලොග් ජීවිතයේ දී මං ඉගෙන ගත්තු හොඳ හොඳ පාඩම් කීපයක්.

1. අනුන් ගේ දුකේ දී හිත උණුවෙන හොඳ මිනිස්සු මේ බ්ලොග් ලෝකේ ඉන්නවා-I

මගේ තාත්තා ගේ අසනීප වුණු වෙලේ, මට ලෝකේ හැම පැත්තෙන්ම පණිවිඩ ගලාගෙන ආවා තාත්තාට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරලා.

ඒවායෙන් මට අමතක නොවෙන එක තමයි තිස්ස දොඩංගොඩ කියන හිත හොඳ මනුස්සයා ගෙන් ලැබුණු මේ පණිවිඩය.

http://kathandara.blogspot.com/2010/04/blog-post_18.html?showComment=1271847607676#c8543242532756802621

කිසිදාක දැකලා, මුණ ගැහලා කතා කරළා නැති, ආරූඪ නමකින් විතරක් දන්න කෙනෙකුට උදව් කරන්න මෙහෙම හිතෙන්නේ (පුණ්‍ය කටයුතුවලට වෙන් කරන්න) සල්ලි තියෙන හින්දම විතරක් නෙමේ. පින්බර හිතකුත් තියෙන හින්දයි.

ඊලඟට මගේ තාත්තා ගේ මරණය සිදුවෙච්ච වෙලාවේ, ශෝකය පල කරලා මට එවපු පණිවිඩ සිය ගණනත් මට කිසිදා අමතක වෙන්නේ නෑ. අහල පහල හිටපු කීප දෙනෙක් මළ ගෙදරටත් ආවා.

තාත්තා මැරෙනවා කියන්නේ මට විතරක් නෙමේ, මගේ දුවටයි පුතාටයි මුහුණ දෙන්න වෙන සිදුවීමක් බව කොච්චර දන්නවා වුනත්, හිතේ ඇතිවුනු දුක නිවා ගන්න ඒ සේරම දේවල් උපකාරී වුණා.


2. අනුන් ගේ දුකේ දී හිත උණුවෙන හොඳ මිනිස්සු මේ බ්ලොග් ලෝකේ ඉන්නවා-II

ඉලන්දාරියා ගේ සිද්ධියේ දී බ්ලොග් ලියන කියවන අති බහුතරය, ඒ කොල්ලා ගේ කේස් එක ගොඩ දාන්න සල්ලි හොයන්න දායක වෙච්ච හැටිත් ආශ්චර්යජනකයි!

එතනින් නතර නොවී ඒ එකතු කරපු සල්ලි, ඒ වගේම පුණ්‍යකර්මයකට යොදා ගන්න බවත් ලඟදී ආරංචි වුණා.


3. සිංහල බ්ලොග් අවකාශය සමාජයේ නිවරදි හරස් කඩක්

බ්ලොග් අවකාශයේ සැරිසරන්නේ සාමාන්‍ය සාක්‍ෂරතාවය සහ පරිගණක සාක්‍ෂරතාවය තියෙන අය බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ. එහෙම වුණාට, අපි පොදු සමාජයට වඩා උසස් මනසකින් යුතු සුවිශේෂී පිරිසක් කියලා හඳුන්වාගන්න නම් බෑ මේ කපේට.

විභාග පාස් කරලා විශ්ව විද්‍යාලෙට ගියා කියලා, එතන ඉන්න උං හරි විශ්ව විද්‍යාලයෙන් පිටවෙන උං හරි අමුතු බුද්ධිමතුන් වෙන්නේ නෑනේ.

ඒ වගේම තමයි බ්ලොග් අවකාශයේ සැරිසරණ පිරිසත්. බුද්ධිමතුන් මෙන්ම මන්දබුද්ධිකලාත්, ඥාණවන්තයින් මෙන්ම මහදැණමුත්තලාත්, බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තන් මෙන්ම සියල්ල දත්තෝත්, සිංහයෝ මෙන්ම සිංහවෙස් ගත් සිඟාලයෝත් ඔය සේරම කෂ්ටිය අඩු වැඩි වශයෙන් මෙතන ඉන්නවා.

ඒ කියන්නේ සිංහල බ්ලොග් අවකාශයත්, බාහිර සමාජයේ නිවරදි හරස්කඩක් කියන එකයි!

-කතන්දරකාරයා

ප/ලි:
ඊයේ ට යෙදුනු කතන්දර බ්ලොග් එක ලියන මනුස්සයා ගේ උපන් දිනය සහ 500 වෙනි කතන්දරේ වෙනුවෙන් සුභ පැතූ සැමට මගේ ස්තුතිය!

Friday, 23 September 2011

ඉස්කෝලේ නම හංගන්නේ ඇයි? I have nothing to hide!


තමන්ගේ ජීවිතයේ විවිධ අත්දැකීම් ඇසුරෙන් ලියන බ්ලොග්කාරයෝ හුඟ දෙනෙක් තමන් ඉස්කොලේ කාලෙන් පස්සේ වැඩිදුර අධ්‍යාපනය ලබපු ටෙක් එක, ඉන්ස්ට්ටිටියුට් එක, යුනිවසිටිය ගැන එලිපිට නම සඳහන් කරමින් ලිව්වාට, බොහෝවිට ඊට වඩා කාලයක් තමන් ගත කළ ඉස්කෝලේ ගැන ලියන කොට නම ලියන්නේ නෑ.

මේ ලඟදී මං බ්ලොග් එකක කියෙව්වා පාසල් ගුරුවරයෙක් ළමයෙකුට කළ පහර දීමක් ගැන කතාවක්. ඒක දරුණු චෝදනාවක්. නීතියෙන් දඬුවම් දිය හැකි වරදක්. නමුත් මේ කතාවේ ඉස්කෝලේ මොකක්ද කියලා කෙලින්ම සඳහනක් නෑ. (පස්සෙ දැනගත් විදියට මේක "ලූ!" කතාවක්! ගීතක ගේ පාසල ගැන ගීතක ගේ අත්දැකීමක් නෙමේ).

මාත් ඇතුළු අපේ හුඟ දෙනෙක් යුනිවසිටිය ගැන නමින් ම ලියන්නයි, ඉස්කෝලේ ගැන කොලේ වහලා ලියන්නයි හේතුවක් තියෙනවා.

මට හිතෙන හැටියට ඒකට හේතුව තමයි ඉස්කෝලවලට, විශේෂයෙන්ම ඔය කොළඹ, නුවර, වගේ තැන්වල තියෙන ලොකුයි කියන ඉස්කෝලවලට, සුවිශේෂී අයිතිකාරයෝ ඉන්නවා.

අපි මොකක් හරි දෙයක් ලිව්වොත් උන් ට තද වෙනවා.

යුනිවසිටි ගැන තත්වය එහෙම නෙමේ. යුනිවසිටියට ගිය හැමෝටම යුනිවසිටිය එක සමානව අයිතියි.

මේ ගැන මගේ අත්දැකීමක් "වහෙන් ඔරෝ" කියන්නම්.

ඔන්න මං එක්තරා ලිපියක් ලිව්වා, සඟරාවකට.

මේකේ තියෙන්නේ මං ඒ ලෙවල්ස් කරපු ඉස්කොලේ ගුරුවරියක් ළමයෙකුට බණින එකක් ගැන.

උදාහරණක් ලෙස හිතන්න මේ ළමයා හම් සපත්තු වෙනුවට කැන්වස් සපත්තු දෙකක් දාගෙන ඉස්කොලේ ආවා කියලා. අන්න ඒ වගේ කේස් එකක්. මං ලියපු ලිපියෙන් කියවෙන්නේ දුප්පත්කම නිසා කැන්වස් සපත්තු (උදාහරණයක් පමණි) දාගෙන ආ එක ගැන ගුරුවරිය බැන්න එක වැරදියි කියලායි.

මේ ලිපිය කියවපු මං ගිය මේ කියන ඉස්කෝලෙටම ගිය, හැබැයි මට වඩා ඉස්කෝලේ ගැන අයිතියක් තියෙන, බූවෙකුට තදවෙලා!

පොර කියන්නේ මෙහෙමයි.

"කතන්දර, ඔයා මේ වගේ කතා ඉස්කෝලේ නම දාලා ලියන එක වැරදියි. ඒක ඉස්කෝලේ හොඳ නමට කැළලක්.

ඔයාට තියෙන්නේ මේ විදියට ලිපි ලියන එක නෙමේ, ඉස්කෝළෙට ගිහිල්ලා, කැන්වස් සපත්තු දාන ළමයි ඉන්නවද හොයලා බලලා, ඒ අයට හම් සපත්තු අරං දෙන ව්‍යාපෘතියක් පටන්ගන්න එකයි."

මොකද හිතෙන්නේ පොර ගේ කතාව ගැන? මම ද මෝඩයා? මේ බූවා ද මෝඩයා? නැත්තං දෙන්නාම ද?

-කතන්දරකාරයා

ප/ලි:
බූවා ගේ ඒ කතාව එතනින් නතර වුනේ නෑ. පොර මෙහෙමත් කිව්වා.

"කතන්දර, මං මේ ලිපිය ගැන කීප දෙනෙකුට කිව්වා, ඒ අයත් මා එක්ක එකඟ වුණා. ඔයා දිගටම මේ වගේ ලිපි ලිව්වොත් අපිට ඒ ගැන තීරණයක් ගන්න වෙනවා!"

මං වලියට බර පොරක් නොවෙන නිසා හොඳයි, නැත්තං කියන්නේ "අනේ පලයං මෙයා යන්න නිකං විහිළු නොකර!" කියලයි.

ප/ප/ලි:
මේ කතන්දරේ මුලින් කියද්දී මං කැන්වස් සපත්තු කියා දැම්මේ උදාහරණයක් ලෙසිනි.

පසුව මේ ඔරිජිනල් ලිපියම පල කළා.

මෙතනින් බලන්න.
http://kathandara.blogspot.com/2011/09/self-appointed-owners-out-there-need.html

ස්තුතියි!

(image: http://anandaraox.blogspot.com/)

Monday, 10 January 2011

මැනර්ස් ටිකක් කෝප්පේ ඉතුරු කරමු!


මං පොඩි කාලෙ මට හොඳට මතකයි, අපේ සීය කන්න ගියාම මුලින්ම කරන්නේ බත්, මාළුපිනි ටිකක් අනල එක කටක් විතර ප්‍රමාණයක් පිඟානේ පැත්තකට කරන එක. හරියට අර බුද්ධ පූජාව අයින් කරනවා වගේ දානේ ගෙදරක.

ඉතිං ඔය මුල් බත් කට පිඟානේ ඉතුරු කරනවා මිසක් සීයා කවදාකවත් කන්නේ නෑ, පස්සෙ පිඟානට තව බතුයි හොදියි බෙදාගෙන කෑවත්.

මං මුලින් හිතුවේ සීය ඔය විදියට පොඩ්ඩක් පිඟානේ ඉතුරු කරන්නේ කාල ඉවරවෙලා පිඟාන හෝදන වැඩෙන් ෂේප් වෙන්න කියලයි.

මං ඉතිං පොඩි ළමයෙක් හින්ද නොදන්න කමට නේ එහෙම හිතුනේ.

සීය ඒ බත් කටක් ඉතුරු කරන්නේ ඉස්සෙල්ලාම බත් කට දන් දෙන චේතනාවෙන්.

සීය කාල ඉවරවෙලා පිඟාන තියල ගියාට පස්සේ, ඒ බත් කට බල්ල ගේ කෑම එකට එකතු කරලා පිඟාන හෝදනවා කවුරු හරි ගෙදර ඉන්න කෙනෙක්.

තවත් මං පොඩි කාලේ මගේ පොඩි කමට කරපු වැරදි දෙයක් තමයි, කාගේද ගෙදරකට ගිය වෙලේ මට දුන්නු ක්‍රීම් සෝඩා වීදුරුව බින්දුවක්වත් ඉතුරු නොවෙන්නම බීල දාපු එක.

එහෙම නෙමේ ලු කරන්ඩ ඕනේ. වීදුරුවේ අඩියේ චුට්ටක් ඉතුරු කරන්න ඕනෑ ලු.

ඒව තමයි මැනර්ස් කියන්නේ!

ඉතිං, දැනුත් පිට ගෙදරකට ගිහින් තේ එකක් හෙම බොන්න දුන්නහම මං පොඩ්ඩක් ඉතුරු කරනවා. කෝප්පෙ හෝදන කොට ඒ ටික හේදිලා යනව ඇති සින්ක් එකෙන් පහලට.

මේ වැඩේ නාස්තියක් බව අමුතුවෙන් කියන්න ඕනැ නැහැනේ. කොටින්ම තේ දහනමයක් විතර බොන කොට විසිවෙනි තේ එක කෙලින්ම වීසි කරනවා වගේ වැඩක්.

අපේ මැනර්ස් වලින් හොඳම එකක් වෙන මේ තේ මැනර්ස් එකේ වැදගත්කම ගැන කාරණා දෙකක් මට හිතාගන්න පුළුවනි.

මේ ආකාරයට තේ කෝප්පයේ ටිකක් ඉතුරු කීරීම තුලින්:
1. තේ කෝප්පේ අඩියේ තැන්පත් වී තියෙන්නට පුළුවන් තේ මණ්ඩි කටට ඇවිත් කට සවුත්තු වීමෙන් වැලකීමට ලැබෙනවා.

2. තේ කෝප්පේ අඩියේ දිය නොවී තියෙන්නට පුළුවන් සීනි වලින් සහ එනිසාම දියවැඩියාව වැනි රෝගවලින් වැලකෙන්නට ලැබෙනවා.

තවත් හේතු තියෙනවාද මන්දා?

-කතන්දරකාරයා

ප/ලි
රස්පුටින් ගේ වයින් වලට වගේ තේ එකකට වස දැම්මොත් ඒවා තේ එකේ උඩින් පාවෙනවා නේද?

ප/ප/ලි
බ්ලොග් ලියන කොට අනුගමනය කළ යුතු මැනර්ස් වලින් එකක් මෙන්න.

අනෙකුත් බ්ලොග්කාරයින් ගේ බ්ලොග් වල පලවෙන අදහස් ගැන විවේචන ඒ ඒ බ්ලොග්වල මිසක තමන් ගේ බ්ලොග් එකේ නො ලියන්න.

තවත් "බ්ලොගින් මැනර්ස්" තියෙනවාද මන්දා?