Wednesday 30 November 2011

සකලදේශවාසී සියළු පුරුෂයිනි එක් වෙයව්! නෑසී යන පුරුෂභාවයේ හඬ : Calling all men - Get up, stand up!


ඇත්තටම කියනවානම්, "කාන්තාවන්ට මේ කතන්දරේ කියවන්න තහනම්!" කියලා දාන්න හිතුනත් පස්සේ හිතුණා කමක් නෑ ඕ.පු. කියවනවානම් කියවපුවාවේ කියලා.

ලංකාවේ ජනප්‍රිය වෙච්ච නාට්‍ය අතරින් දෙකක් තමයි ලුෂන් බුලත්සිංහල ගේ "තාරාවෝ ඉගිළෙති" සහ සෝමරත්න දිසානායක ගේ "මී පුර වැසියෝ".

"තාරාවෝ ඉගිළෙති" එකේ සින්දු ටික ඉතාම ජනප්‍රියයි. ඒ වගේම තමයි "මී පුර වැසියෝ" සින්දුත්. මේ නාට්‍ය දෙකෙන් එකක් වත් මං නරඹලා නෑ. හැබැයි ඉතිං නැරඹුවා වගේ තමයි. ඒකට හේතුව තමයි අයිටීඑන් සහ ජාතික රූපවාහිනී නාලිකා දෙක.

මේ නාට්‍යයන් දෙක මුලින්ම පෙන්නපු කාලේ, ඒවායේ දර්ශන සංවිධානය කරලා තිබුණා මේ රූපවාහිනී නාලිකාවල සේවක සුභ සාධක සංගම්වලට ආධාර පිණිස. මේ ලේබල් එක නිසා ඒ දවස්වල හැම දවසකටම දෙතුන් පාරක් නාට්‍යයේ සින්දු, දෙබස් කෑලි අඩංගු වෙළඳ දැන්වීම් ප්‍රචාරය වුණා.

මං හිතන්නේ සල්ලි ගෙවලා දැම්මා නම් ඒ දැන්වීම්වල වටිනාකම නාට්‍යයේ එක දර්ශනයක ගාස්තුව වගේ දා පාලොස් ගුණයක් විතර වෙන්න තිබුණා.

ඒ තරමට ඇට්ටි හැලෙන පබ්ලිසිටියක් නේ දුන්නේ.

"තාරාවෝ ඉගිලෙති" නාට්‍යයේ සින්දු ටික තමයි වැඩියෙන්ම ප්‍රසිද්ධ වුනේ.

ඒවායිනුත් නැගලාම ගියේ "සෝබාව දේ" කියන සින්දුවයි. මට මතක හැටියට මුලින්ම ඔය සින්දුව කිව්වේ යූ ආරියවිමල් සහ ගාමිණී සමරනායක සමරකෝන් කියන නළුවෝ දෙන්නා. මුලින් හිටිය නළුවෝ සමහර දෙනා අස්වුණාට පස්සේ තමයි ඔය ජැක්සන් ලා ට චාන්ස් එක ආවේ. දැන් නම් හුඟ දෙනෙකුට මතක තියෙනවා ඇත්තේ සෝබාව දේ එකේ ජැකායි, රොඩ්නි වර්ණකුලයි කියන වර්ෂන් එකයි.

ඊට අමතරව "තාරාවෝ ඉගිළෙති" එකේ සින්දුවලින් අපි අහලා තියෙන සින්දු මෙන්න.

1. මඩේ ලගින තාරාවන් නාවන්නද මං? - ගායනය මර්සි එදිරිසිංහ
2. කඩේට පලයං චෑං චූං - ගායනය රොඩ්නි වර්ණකුල
3. තට්ටු කරන්න සෙමින් - අනුලා බුලත්සිංහල
4. ඉගිලී පල කළු තාරාවා - අනුලා සහ ලූෂන් බුලත්සිංහල

ඉතිං ඒ ආකාරය ඔය කඩේ යන තාරාවෙන්ට තට්ටුවෙන අතරේ කවදාවත් රූපවාහිනියේ පෙන්නලා නැති හින්දද කොහෙද අපේ මතකයට එන්නෙම නැති සින්දුවක් ගැන කියන්නයි මේ කතාව ලිව්වේ.

මෙන්න සින්දුවේ පද මාලාව.
රචනය සහ ගායනය ලුෂන් බුලත්සිංහල
සංගීතය ගුණදාස කපුගේ (විය යුතුයි)

සූර විරුවනේ අසව්!
ගෘහ මූලිකයිනේ අසව්!!

පුරුෂ භාවයයි අපේ ආයුදේ
ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ

පුරුෂ භාවයයි අපේ ආයුදේ
ඔබ නිදා වැටුණොතින් හොරු ගනී ආයුදේ
පිබිදියව් පුරුෂයින් මිහිතලේ

පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තතන්න
වීදුරු නල වල සිරවී බැරි වෙතේ

පුරුෂ ශක්තියෙන් සුගන්ධ
පුෂ්පයෙන් ලොවක් තතන්න
වීදුරු නල වල සිරවී බැරි වෙතේ

නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ

නව ආරක තටු මැවෙන්න
ඉපැරණි තටු හලව් බිමට
කුරුළු වේශයෙන් නැගී යමව් අම්බරේ

ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ

ජන්මයෙන්ම ස්ත්‍රි චිත්තයේ
පුරුෂ ප්‍රතිබිම්භය පුංචි වී තියේ

මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ

මෙහෙම ඩිංග ඩිංග පුංචි වී ගියොත් අපේ බලේ
පුරුෂ ප්‍රාණියා පොළෝ තලේ නැතේ අනාගතේ

මෙතනින් අහන්න.
http://www.infolanka.com/miyuru_gee/eee/e158.ram

මේ සින්දුව අද දවසේ දෙතුන්පාරක්ම අහපු මට හිතුනේ මේක රූපවාහිනියේ නොගියේ ස්ත්‍රීන් ගේ කුමන්ත්‍රණයක් නිසාදෝ කියලායි!

-කතන්දරකාරයා

ප/ලි:
තාරාවෝ ඉගිළෙති බලපු පින්වතෙක් ඉන්නව නං කියන්නකෝ මේ සින්දුව තියෙන ජවනිකාව ගැන විස්තරයක්. ඒ කන්ටෙස්ට් එක දැන ගත්තනම් මේ වචනවල අදහස හොඳින් තේරුම් ගන්න පුළුවන් වේවි!

නාට්‍යකාරයෙක් වෙන ආනන්දවර්ධන නම් මේ සරල ජනප්‍රිය නාට්‍ය ගැන උනන්දුවක් නැතුව ඇති.

(image: http://www.dailynews.lk/2010/04/28/art22.asp)

Monday 28 November 2011

රමණී නෝනා මහත්තයා ගේ ආගන්තුක සත්කාරය - A few quick recepies from Ramani Ratnayake


මේ දවස්වල පොඩි පහේ 'කලේ පැන් නැත!' කේස් එකක් නිසා මායි පුතු පැටියායි නිකං කරකෝලා අත ඇරලා වගේ තමයි ජීවිතේ ගෙවන්නේ.

මුල දවස් දෙක යාන්තං ගෙදර උයලා ෆ්‍රිජ්කරණය කරලා තිබුණු ඒවායින් ජාම් බේරා ගත්තා. තුන්වෙනි දවසේ, ඒ කියන්නේ සෙනසුරාදා, දවල් ට ඔන්න ඔය අධිවේගී පාර හරිනේ අයිල කඩේකින් රොටි දෙකකුයි, අල වගේකුයි බඩට දාගෙන ෂේප් වුණා.

එදා හවස් වරුවේ කෑම බීම තියෙන උත්සවයක් යෙදිලා තිබුණු හින්දා 'දෙඤ්ඤං බත්!' කියලා තමයි මං හිටියේ.

ඒකට සෙට් වෙන්න පැය දෙකක් විතර තිබුණ හින්දා මොකද කරන්නේ කිය කියා හිතන වෙලේ පූරුවේ වාසනාවකට වගේ මතක් වුණා බොලේ රත්නායක මහත්තයා ලා ගේ ගෙදර පැත්තෙන් ගියොත් නරකද කියලා.

අපිට කොයින්ද ඉතිං "උපහාර" ෆෝන්? මා ලඟ තිබුණු "අපහාස" ෆෝන් එකෙන් දුන්නා කෝල් එකක්. ජෝඩුවම ගෙදර එවෙලේ හොඳ වෙලාවට.

ඉතිං බලෙන් ම වගේ අපි දෙන්නා එහෙට කඩාගෙන වැදුණා හිස් අතින් ම. අපි යනකොට රමණී සහ රත්නායක ජෝඩුව කඩි-බිඩියේ, දඩි-මුඩියේ උයනවා.

මොකද මේ කියලා අහලා බැලින්නම්, ඒ ලඟ ගෙදරක ඉන්න වයසක ජෝඩුවක් අසනීප වෙලා. මාත් හොඳට දන්නවා ඒ ඇන්ටියි, අංකල්වයි දෙන්නාවම. ඉතිං ඒ කෂ්ටියට දෙන්නයි මේ උයන්නේ.

ඔය අතරේ මගේ කටෙන් නිකමට වගේ පිටවුණා, "අනේ හාමිනේත් දුරු රට වැඩියා නේ!" කියලා. ඒක අහපු රමණී නෝනා මහත්තයාගේ හිත නිකං වෙඬරු පිඩක් වගේ උණු වෙලා ගියා.

සාධු කියන්න පින්වතුණි!

දන්නවනේ සර්වලෝක නියාමයක් තියෙනවා හිස් අතින් ගියොත් අත් දෙකම පුරවන් එන්න ලැබෙනවා කියලා? ඉතිං පුතු පැටියයි මායි එහෙන් පිටවුනේ බරටම කෑම මල්ලක් ම අරගෙනයි.

ඒ ආනුභාවයෙන් ඉරිදා දවල් අපි නිකං රජ ගෙදර වගේ තමයි කෑවේ.

කාලා බීලා රාමතෙල් ඇර ඇර මාතරේ ගෙයි, මල්යා කෲස් ගේයි හරඹය කියවමින් ඉන්න අතරේ තමයි මට හිතුනේ මේ රසවත් ආහාර වේල ගැන ලියලා දාන්න.

මෙන්න තියෙනවා බඩු!


බණ්ඩක්කා
ලූණූ, කරපිංච තෙම්පරාදු කර, උම්බලකඩ, කුරුඳුපොතු කැලි මිරිස්, කහ මිශ්‍ර කර කපාගත් බණ්ඩක්කා දමා උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


මාළු
මිරිස් කුඩු, ගම්බිරිස් කුඩු, බැඳපු තුනපහ, කහ, උළුහාල්, කරදමුංගු, එනසාල්, කුරුඳු, සුදු ලූණු, ලූණූ, ඉඟුරු, ඇඹරූ ගොරක, කරපිංච, රම්පේ, අමුමිරිස් දමා හොඳින් අතගා යාන්තං වතුර දමා ඉදෙන්නට අරින්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


කුකුළු මස්
ලූණූ, මිරිස්, බැඳපු තුනපහ, සුදු ලූණූ, කරපිංච, කරදමුංගු, කරාබුනැටි, උළුහාල් තෙම්පරාදු කර, මිරිස්, ගම්බිරිස්, තක්කාලි සහ විකන් කෑලි එකතු කර වතුර දමා උයා ගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


කජු
පැය දෙකතුනක් පමණ පොඟවන්න. ලූණූ, කරපිංච තෙම්පරාදුකර, මිරිස්, තුනපහ සහ පොල්කිරි දමා ප්‍රෙෂර් කුකරයේ උයාගන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.


බෝංචි
කපාගත් ලූණූ, කරපිංච, සුදු ලූණූ, අමු තුනපහ, සූදුරු කුඩු, උළුහාල් දමා තෙම්පරාදු කර පොල්කිරි ස්වල්පයක් එකතු කර උයන්න. අවශ්‍ය පමණට ලුනු දමන්න.

සබ්බේ සත්ථා ආහාරට්ඨිකා

-කතන්දරකාරයා

ප/ලි
රමණී නෝනා මහත්තයා ආගන්තුක සත්කාරයට බර කෙනෙක් බව දැන් තේරෙනවානේ?

අපරාදේ කියන්න බෑ රත්නායක මහත්තයාත් ඒ වගේම තමයි. මං ගිය ගමන් ෆ්‍රිජ් එකෙන් කාල්ස්බර්ග් ම තමයි එලියට ගන්නේ.

අර යාළුවෙක් ජපානේ ඉඳන් ගෙනත් දුන්නු "සාකේ" බෝතලේයි, තව කෙනෙක් ඩියුටි ෆ්‍රී එකෙන් ගෙනත් දුන්නු "ෂිවාස් රීගල්" එකයි ඉතිං කබඩ් එකේ දාගෙන හිර කරං ඉන්නේ.

අපිට කොයින්ද ඉතිං ඒ හයි ෆයි? අපි ගෙනිච්චොත් ඉතිං ඔය "සිංහ වංසේ" දෙකක් තුනක් තමයි!

(image: http://massagetherapyworks.businesscatalyst.com/_blog/Boston_Healing_Blog/page/3/)

Saturday 26 November 2011

අයියා මල්ලී වාගේ (පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උන්ට පමණයි) - Comradery or Decadency?


ඔය පේරා උන්ට විතරයි කියලා දාලා තියෙන්නේ අහිතකින් නෙමේ. දිගටම කිවගෙන ගියොත් තේරෙයි!

මංතුමා පොඩි කාලේ ගියේ කොයි යුනිවසිටි එකටද කියලා මේ කතන්දර බ්ලොග් එක කියවන කවුරු කවුරුත් දන්නවානේ?

බ්ලොග් එක පටන්ගත් මුල් කාලේ ඒ හා අදාල සිද්ධීන් ගැන ලියන කොට මං පාවිච්චි කලේ නුවර පැත්තේ තිප්පොලක් කියන උපහාසාත්මක පදයයි. ඉස්කෝලවලට ඉන්නවා වගේ විශ්ව විද්‍යාලවලට අයිතිකාරයෝ නැති නිසා කවුරුත් මා එක්ක වලියට ආවේ නෑ.

හැබැයි ඊට පස්සේ, විශේෂයෙන්ම මේ ලඟදී මං සැප්තැම්බර් සාහිත්‍ය මාසය වෙනුවෙන් මං පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ගතකළ අවුරුදු හතරයි මාස දෙකයි දවස් පහේ කාලයේ ලියලා අපේ කලා කවයේ බිත්ති පුවරුවේ පලකරපු කවි වලින් කොටසක් කයි-කතන්දර විදියට දාන්න පටන් ගත්තට පස්සේ නම්, ඒ තිප්පොල කියන වචනේ අත හැරලා කෙලින්ම සෑබෑ නම් භාවිතා කළා.

මං ඒ කයි-කතන්දර පලකරන කාලේ නිතරම කමෙන්ට් දාපු බ්ලොග්කරුවෙක් තමයි චතු කියන්නේ. මගේ කතන්දර ගැන චතු ගේ උනන්දුව වැඩිවෙන්න එක හේතුවක් තමයි පොරත් පේරාදෙනියේ ඉංජිනේරු පීඨයට තේරී තිබීම. (ඕනයා ගේ සහ තවත් ඇනෝ කෙනෙකු ගේ ප්‍රශ්ණයට උත්තර ඔන්න ඒ වාක්‍යයේ තියෙනවා).

කම්මලට ගිය ගමන් චතු අතුරුදහන් වුණා වගේ පෙණුනත් ටික දවසකින්ම ඔන්න ලව් ස්ටෝරියක් ලියන්න පටන් ගත්තා. ඇත්තටම කියනවා නම් බූට් ස්ටෝරියක්. (ඒකත් පොරත්වයේ අනිවා ලක්‍ෂණයක් මගේ හිතේ!)

ඒ නවකතාව කොටස් වශයෙන් කියාගෙන ඇවිත් එක පාරටම නවත්තලා දාපු කෑල්ල බලන කොට මට නෝට් වුණා, මං කලිනුත් නිරීක්‍ෂණය කරලා, කීප දෙනෙකුගෙන් ම අහපු එක්තරා කාරණයක් නැවතත්.

ඒක තමයි දැන් පේරාදෙනිය යුනිවසිටියේ කොල්ලෝ එකිනෙකාට කතාකරන්නේ "අයියා-මල්ලී" කියලයි!

දැන් මං ඔය කම්මලෙන් අවුට්වෙලා කල්පයක් ගතවෙලා. ලෝකේ වෙනස් වෙනවා තමයි.

නමුත් අපේ කාලේ නං ඔය "අයියා-මල්ලී" කෑලි තිබුනේ නෑ. හැමෝම එක්කෝ "මචං" කියලා නැත්තම් දෙමව්පියෝ දුන්නු නමින් නැත්නම් වාසගමින් තමයි එකිනෙකා ආමන්ත්‍රණය කළේ. බැචා ලා - බැචා ලා ට, ජූනියර්ස් ලා - සීනියර්ස් ලා ට, සීනියර්ස් ලා - ජූනියර්ස් ලා ට!

මල්ලී, අයියා කියන වචන දෙක ඔය කම්මලේ තියෙන අග්නිදිග ආසියාවේ දිගම කොරිඩෝරය ඇතුලේදීවත්, අක්බාර්, නෙල්, නිව් වින්ග් ඇතුළු නේවාසිකාගාරවලවත් ඇහුණු වචන දෙකක් නෙමේ, එකම පවුලක දෙන්නෙක් ගැන ඇරුණහම!

මට මේ උදේ පාන්දර ඇතිවුණු බරපතල ප්‍රශ්ණ තමයි මෙන්න මේවා.

1. මේ වෙනස සිදුවුනේ කවදාද?
2. මේක ප්‍රගතියක්ද?
3. ආපස්සට යෑමක්ද?

මේ මුල්ම සැටඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එක ලියලා දාන්න හිතුනේ ඒ නිසයි. එහෙම නැතුව මේක මං ඒ දවස්වල ලියපු මෙන්න මේ පෝස්ට් එකේ තියෙන දෙවෙනි කවියට අදාලයි කියලා කියන්න නම් නෙමේ!

-කතන්දරකාරයා

ප/ලි
උඩ මාතෘකාවේ පේරා උන්ට විතරයි කියලා දැම්මේ අහිතකින් නෙමෙයි, මේක පොඩි සමීක්‍ෂණයක් වගේ එකක් නිසයි.

ඒ එක්කම මේක හොඳ අවස්ථාවක් බ්ලොග් ලියන-කියවන, පේරා ඉන්න-හිටපු, ඉගෙන ගන්න-වැඩ කරන කෂ්ටිය අඳුණා ගන්න.
මෙන්න කීප දෙනෙක්. ලයිස්තුව සම්පූර්න කරන්න කරුණාකර උදව් දෙන්න.

Engineering
මකරා
මධුරංග
ගීතක
මරුමුස්
චමිත
චතු
මකුළුදැල
පිටුව සොයාගන්නට නැත
බූඩිගේ තීරුව
බැලීම සහ දැකීම
රූ සිරිනි
බිඟු නද
කස්සා

Science
ප්‍රියන්ත
පිසාචයා
රත්ගමයා
BleedingPencil
ජීවිතේ මල්

Arts/Other
ඩීප්ස්
නිහාල්
අකීකරු හිත
කළු කුමාර ලියමන
බුමුතුරුණු

Medical
ගෝඩොනියා සිලනිකා

Veterinary Medicine and Animal Science
හා පැටික්කි


(image: http://www.mbapdn.lk/mbapera/mbapera.html)

Friday 25 November 2011

සංගීතයක් බලන්න ගිහින්..... At a musical show....


ලඟදි නැද්ද සංගීතයක් හෙම බලන්න ගියේ?

ඉස්සර මං හරි කැමතියි සංගීත සන්දර්ශන බලන්න යන්න. මේ කියන්නේ නොමිලේ තියෙන ඒවා. දාහේ පටි ඕනෑ කරන ඒවා නෙමේ.

මේ සංගීත සන්දර්ශන තිබුනේ මහ රූට. ගෙදරින් කාලා හෙම තමයි අපි යන්නේ. ඒ ගිහින් සංගීතේ ඉවර වෙන කල්ම ඉන්නවා වතුරවත් නැතුව. සමහර විට කඩල ගොට්ටක් කනවා. ෂෝ එක ඉවර වෙන වෙලාව වෙන කොට ගෙදර යන්න බස් නෑ. ඉතිං, හැතැප්ම ගාණක් පයින්ම කොටනවා.

පුදුමෙකට වගේ අපේ තාත්තා මං ඒ වගේ සංගීත සංදර්ශන බලන්න යන එකට කිසිම තහනමක් දැම්මේ නෑ. තාත්තා කොල්ල කාලේ නං කවි මඩු මිසක අපේ කාලේ වගේ සංගීත සංදර්ශන තියෙන්න නැතුව ඇති.

දැන් නං ඉඳලා හිටලා වගේ ගියත් යන්නේ ඒ වගේ එළිමහන් සංදර්ශන හිටගෙන බලන්න නෙමේ. ශාලාවල තියෙන ඒවා පුටුවල ඉඳගෙන බලන්නයි.

ලඟදී දවසක එහෙම ගිය වෙලාවකදී මගේ නිරීක්‍ෂණයට අහුවුණු කාරණා කීපයක් ලියන්නයි මේ හදන්නේ. මේක පොඩි කතා කෑලි දෙකක් විතරයි, ඊට වඩා ඇති දෙයක් නෑ!

මේක එක්තරා ආධුනික ගී ප්‍රසංගයක්. හැමෝම කිව්වේ ඉතිං සුරෙන්ද්‍ර ලා ගේ, මලිත් ලා ගේ, මිහිරංග ලා ගේ මාලිනී ලා ගේ, දමිතා ලා ගේ සින්දු තමයි. හැබැයි ගායක ගායිකාවෝ සැට් එක නං කබ්බොම නෙමෙයි.

අර පොත් එළි දැක්වීමේ උත්සවයේ ඒකාකාරීත්වය මකන්න කතා අතරට සින්දු කෑලි ඔබපු කතාව මතකයි නේද?

මෙතනදීත් වුනේ ඒ වගේ වැඩක්. සින්දුවල ඒකාකාරීත්වය මකන්න හිතිලද කොහෙද අපේ නිවේදක බූවා මහතා සින්දු අතරට තමන්ගේ කතා කෑලි ඔබන්න ගත්තා.

ඔන්න මැදි වියේ පොරක් ආවා. කිව්වා නියම නැගලා යන අපේ බාප්පලා ගේ කාලේ සින්දුවක්.

"ඇල දොල ගංගා යාවි ගලා,
දිය රැලි හංගා මූද සොයා
රන්වන් සමනලු රන් තටු සලලා
යයි පියඹාලා මල් සොයලා
ලල් ලල් ලල් ලා ලා....."

බාප්පලා ගේ කාලේ කිව්වේ, ඉස්සර අපි පොඩි කාලේ මට මතකයි අපේ බාප්පා එල්පී තැටි වාදක යන්ත්‍රයක් ගෙනල්ලා ඔය සින්දුව වීක්එන්ඩ් එකේ උදේ ඉඳන් රෑ වෙනකං දානවා. රෙකෝඩ් ප්ලේයර් එකක් ගෙනාවාට එක තැටියයි නේ පොර ගෙනවිත් තිබුනේ. අන්තිමේදී අපිට එපා ම වුණා ඒක. හොඳ වෙලාවට පොර ඒක කාටදෝ විකුණලා දැම්මා සතියකින් දෙකකින්.

ඒ වැඩිහිටි ගායකයා සින්දුවෙන් පස්සේ ස්ටේජ් එකෙන් බැහැල යනවත් ඒ එක්කම ඔන්න ආවා නිවේදකයා.

"ඔව්, ප්‍රිය රසික රසිකාවියනි, මද සිසිල් සුලං දෙරණ තලය පිසගෙන හමායන මේ සුන්දර සන්ධ්‍යාවේ ඔබ ආනන්දයෙන් ප්‍රඥාවට රැගෙන යමින් ඒ මියුරු ගීතය ගායනා කළේ අපේ හිතාදර ගායක දයාසිරි ගුණවර්ධන.

දැන් ඔබේත් අපේත් ගී සා පවස නිවන්නට මා වේදිකාවට කැඳවන්නේ තරුණ ගායකයෙක්.

ඔව් සහෘද රසික රසිකාවියනි, තාරුණ්‍යයේ මධුර රාවය අප අතරට ගෙනෙන මේ ගායකයා ගේ තියෙන සුවිශේෂීත්වය තමයි ඔහු ගායක පරපුරක එක් පුරුකක් වීම.

මීට කලින් ඔබ සිත සනසා ඇළ දොළ ගංගා ගීතය ගායනා කළ ඒ අපේ හිතාදර ගායක දයාසිරි ගුණවර්ධන ගේ කණිටු පුත්‍ර රත්නයටයි මේ ආරාධනය!

වේගවත් අත් පොළසන් නාදයකින් පිළිගන්න තාරුණ්‍යයේ මධුර මනෝහර රාවය, දයාන් ගුණරත්න....."

"මළ කෙලියයි කෙලිය නේද මහරජ තාප්පෙටම!" කිව්වලු

ඇල දොල ගංගා ගීතයෙන් අපිව කොහොමද ආනන්දයෙන් ප්‍රඥාවට අරං ගියේ කියන එක වෙනනම ප්‍රශ්ණයක්.

කොහොමද බං ගුණවර්ධන ගේ පුතා ගුණරත්න වෙන්නේ?

කොහොම හරි ඉතිං ඔන්න වරද නිවරදි කරලා ඔන්න දයාන් ගුණවර්ධන වේදිකාට ඇවිත් සින්දුව කියන්න පටන් ගත්තා.

පොර කිව්වේ ජෝතිපාල යි ග්‍රේෂන් ආනන්ද යි එක ගෙයි කාපු සින්දුව.

දන්නවනේ අර "නීල අහසේ වසන්තේ" කියන සින්දු කෑල්ල?

එක ගෙයි කෑව කියන්නේ මේ එකම සින්දුව ගායකයෝ දෙන්නම ප්ලේ කරපු නිසයි.

දැන් ඔය විවිධ ගායකයෝ වේදිකාවලදී හැසිරෙන විදි විවිධාකාරයි නේ.

සමහරු මිල්ටන් මල්ලවාරච්චි වගේ මෝල් ගස් ගිලපු ඉරියව්වෙන් සින්දුව කියනවා.

සමහරු නිහාල් නෙල්සන් වගේ මයික් එක එහාට මෙහාට විසිකර කර සින්දුව කියනවා.

සමහරු ඉරාජ් වගේ ස්ටේජ් එක දිගේ එහාටයි මෙහාටයි දුවනවා.

අපේ අබේවර්ධන ගේ පුතා අබේරත්න වේදිකාවේ සින්දුව කිව්වෙ නිකං මිල්ටන් මල්ලවාරච්චි වගේ මොල්ගස් ගිලලා. හැබැයි නිහාල් නෙල්සන් ගේ නාදින් දිනක නදින් සුවඳ පොට්ටු නළලෙ තියන් නටන්නේ කාවඩි බයිලා වගේ කකුල් දෙක සැරෙන් සැරේට මැන්ඩලීන් ගැහෙව්වා.

ඊටත් වඩා ජොලි වැඩේ තමයි, පොර කියපු සින්දුවේ එන මා හදේ තරුත් ඔබයි, මා හදේ සඳුත් ඔබයි කියන හැම වෙලාවෙම මිෂෙල් ඔබාමා ලා, අරුණි ෂපීරෝ ලා ජාතික ගීතය කියනවා වාගේ පපුවේ වම් පැත්තෙට දකුණු අත තියනවා.

හැබැයි එච්චරයි. සින්දුවේ අනිත් පදවලට එහෙම නර්තන විලාශ දක්වන්නේ නෑ.

උදාහරණයක් විදියට නීල අහසේ කියන කොට අත උඩට දික්කරලා අහස පෙන්නන්න තිබුණා.

තාරුකා මල් කියන කොට ඇඟිලිවලින් තරු හදලා පෙන්නන්න තිබුණා.

කුරුල්ලෝ කොහේ පියඹා ගියාදෝ කියන කොට ඔන්නම් අත් දෙකෙන්ම පියාපත් ගහන්න තිබුණා!

එහෙම නොකර පොර කෙරුවේ තමන්ට ම සම්බන්ධ දේවල් පෙන්නීම විතරයි.

මට හිතුනේ හොඳ වෙලාවට අබේවර්ධන ගේ පුතා අබේරත්න පිබිදෙන ගායකයා අමරදේවගේ කුමරියක පා සළඹ සැලුණා සින්දුව නොකිව්වේ කියලයි.

එහෙම කිව්වා නම් මොන මොන අවයවවලට අත නොතියයිද?

-කතන්දරකාරයා

ප/ලි:
නිකම්ම නිකං චොකා බයිලා සින්දුවලට වගේම මං ශාස්ත්‍රීය සංගීතෙටත් කැමතියි.

මං කැමතිම රාගය තමයි ගූපාලී. ඒකේ ආලප් ද මොකක්ද එක ගැයෙන්නේ මෙන්න මෙහෙමයි.

"සා..රී..මගධමධමා..
මා..රී..රිරී..පාගපාගා..නිධාගනී.."

ප/ප/ලි
ඔය උඩ තියෙන ෆොටෝ එක කොහොමද හොය ගත්තේ කියලා දන්නවාද?
මං "සංගීත සන්දර්ශනය" කියලා කොටලා ගූගල් ඉමේජ් සර්ච් එකක් කළාම අග හරියේ ඕක තිබුණා!

(image: http://t2.gstatic.com/images?q=tbn:ANd9GcSg95hyQMkFwLdUMr1ynfjTZc74GTJ8cXMjjQy7tVGCqPY59WFba_nA4TM0)

Wednesday 23 November 2011

කවද කාපු ටකරන්ද? - Martin Wickram's Dumb Heart


මතකද රත්නායක මහත්තයා ගැන ලියපු පොඩි විස්තරයක මං ලිව්වා පොර ට මං කුලසේන ෆොන්සේකා ගේ "උඩු බිරුම" පොත කියවන්න ගිහින් දුන්නට අවුරුද්දක් ගියත් එක පිටුවක්වත් කියවලා නොතිබුණු බව.

මං හිතුවේ පොතේ අන්තර්ගතය ගැන පොඩි සඳහනක් මං කරපු නිසා පොර ඒක වහාම කියවයි කියලායි.

නමුත් අර කූඩැල්ලන් ව කොට්ටේ තියන්න බෑ වගේ පොඩි කාලේ ඉඳලා පොත් කියවලා නැති අය ලොකු බැඳපු මිනිස්සු වුණාට පස්සේ පොත් කියවන කෙනෙක් වෙන්නේ හරිම කලාතුරකින් විතරයි.

රත්නායක මහත්තයා ඉන්නේ හොඳ ක්ලබ් එකක!

අර ෂේන් වෝන් කියන ක්‍රිකටරයා පොර ගේ "බයෝග්‍රැෆි" එක එළි දක්වන දවසේ කියලා තිබුණා ජීවිතේ කිසි දාක නවල් එකක් කියෝලා නෑ ය කියලා. කියවලා නැති අයට සාමාන්‍යයෙන් ලියන්නත් බෑ. වෝනා ගේ පොත ලියලා තිබුණේ වෙන එකෙක්.

ඒ එලීට් ක්ලබ් එකටම අයිති නෝනා කෙනෙක් ගැනයි අද කතන්දරේ.

නෝනා ගේ නම සාමා.

ඔව්, ඔව්, අර හෝඩි පොතේ අමර එක්ක සල් මල් කඩ කඩ හිටපු පොඩි කෙල්ල තමයි. දැන් ඉතිං ලොකුයි නේ.

පොඩි කාලේ ඉඳලා පොත්වලින් බොහෝ දුරට දුරස්තව හැදුණාට සාමා හොඳට පොත්-පත් වගේ ඒවා ගැන කරුණු කාරණා දන්නවා. ඇත්තටම කියනවා නම් තමන් දන්නවා කියලයි හිතාගෙන හිටියේ මේ කතන්දරේ වෙනකල්ම.

දවසක් සාමා කැම්පස් යෙහෙලියෝ කණ්ඩායමක් ටික කාලෙකට පස්සේ හමුවෙලා ඔහේ නිකං ඕපීඩී කතාවක් දාගෙන ඉන්න වෙලේ එතන හිටපු කවුදෝ කිව්වා, ළමයාව සෙනසුරාදා උදේ ටියුෂන් එක්කං ගිහිල්ලා, පන්තිය ඉවර වෙනකං පැය තුනක්ම පොත් කියවන එක තමයි කරන්නේ, ඒ හින්දා මේ දවස්වල සතියකට එක ගානේ විතර නවකතා කියවනවාය කියලා.

ඔය කතාව අහලා සාමා ගේ හිත යට තිබුණු කියවීමේ රුචිය නිකං සෝඩා බෝතලයක් වගේ බුබුළු දාගෙන උඩට නැගලා ආවා.

පහුවදාම ගියා වීරවරියක් වගේ පොත් සාප්පුවට.

බුදු අම්මෝ! පොත් පුරෝලා එතන. නවකතා ද, කෙටිකතා ද, අරවද, මේවද?

මේ වෙන කොට සාමා හිතෙන් හදාගෙනයි හිටියේ මුලින්ම කියවන්න ඕනෑ නවකතාකාරයෝ සහ නවකතා ලයිස්තුව. නමුත් ඒවා හොයා ගන්නේ කොහොමද ඒ ගොඩේ? වැඩි හරියක් තිබුණේ අහලා නැති නවකතාකාරයින් ගේ අළුත් පොත්.

හොඳම වැඩේ තමයි එතන වැඩ කරන කෙනෙකුගෙන් අහන එක!

"මොනවද මිස් හොයන පොත්?" සාමා හිටපු තැනට ආපු අර පොත් කඩවල්වල සාරි ඇඳලා ඉන්න කෙට්ටු සේල්ස් කෙල්ලෙක් ඇහැව්වා.

"මට ඕනෑ නවකතා පොත් දෙක තුනක් ගන්න."

"මොනවද මිස් ඒවායේ නම්?"

ඕගොල්ලෝ ගාව තියෙනවාද මේ.. අර.. මාර්ටින් වික්‍රමසිංහ ගේ "ගොළු හදවත"?

-කතන්දරකාරයා

ප/ලි:
ඔච්චර මහ ලොකු පොත් සාප්පුවක් වෙලත් ඒ පොත තිබිලා නෑ එතන.

පස්සේ කරුණාසේන ජයලත් ගේ "රතු රෝස", කුලසේන ෆොන්සේකා ගේ "රෝහිණී", කුමාර කරුණාරත්න ගේ "පාළම යට" වගේ පොත් තුන හතරක් අරං ගෙදර ඇවිත්.

Monday 21 November 2011

මහින්ද රාජපක්‍ෂ ට හොඳ පාඩමක් ඉගැන්විය යුතුය - Its my turn to teach Mahinda Rajapaksha a good lesson


ඉස්සර මහින්ද රාජපක්‍ෂ කියන්නේ පොඩ්ඩක් විතර මගේ වීරයෙක්.

ඒ කාලේ තිබුණු ආණ්ඩුවේ අනුදැනුම ඇතුව පාරවල් අයිනේ මරල දාල, ටයර් සෑයේ බාගෙට පුච්චල දාල, බෙලි කපල ලයිට් කණුවල එල්ලල දාල තිබුණු කොල්ලන් ගේ ෆොටෝ එකතු කරගෙන, ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණය ගැන මානව හිමිකම් කොමිසමට කරුණු කියන්න, මහින්දයි වාසුදේවයි ගිය කතාව අපි සිහි කළේ පොඩි කාලේ සමාජ අධ්‍යයනය පොතෙන් කියවපු ඊ.ඩබ්ලිව්. පෙරේරා ගේ කතාව වගේ හරිම ජාතිමාමකත්වයෙනුයි.

ඒ සමාජ අධ්‍යයන පාඩම මතක නැති අයගේ ප්‍රයෝජනය පිණිස කියනවා නම්, ඊ.ඩබ්ලිව් පෙරේරා තමයි 1915 සිංහල මුස්ලිම් කෝලාහලය කාලේ ඒ පිටින් දාලා ඉංගිරිසි ආණ්ඩුව දේශීය නායකයෝ මර්ධනය කරපු හැටි ගැන කරුණු සහිත පෙත්සමක් සපත්තුව අස්සේ හංගාගෙන එංගලන්තෙට ගිය පොර ගේ නම.

ඒ වෙනුවෙන් එයාට පස්සේ කාළෙක රීලීස් කරපු ජාතික වීරයෝ කියන සීරීස් එකේ මුද්දරයක් වෙන්න වාසනාව ලැබුණා.

මහින්ද ගේ වීරත්වය තවත් වැඩියෙන් පෙණුනේ ප්‍රේමදාස ආණ්ඩුවට විරුද්ධව උදෙඝෝෂණ පා ගමනක් කොළඹ ඉඳලා කතරගමට ඕගනයිස් කරපු වෙලාවෙයි.

ඉතිං දාහත් වසරක දූෂණය සහ භීෂණය නැති කරන්න චන්ද්‍රිකා ගේ ආණ්ඩුව පිහිටුවෝලා මහින්දට කම්කරු ඇමතිකම ලැබිලා, කම්කරු ප්‍රඥප්තියක් ද මොකක්ද මහා විප්ලවීය දෙයක් කරනවාය කියලා ඇහුවාම අපි හිතුවේ වැඩේ හරි කියලායි. නමුත් වැඩි කාලයක් යන්න කලින් පොරව මාරු කළා ධීවර ඇමතිකමට.

මට මතක හැටිය ඔය ඇමති වෙන්න කලින් විපස්ස කාලේ තමයි මහින්ද ටෙලි නාට්‍යයක (ජයන්ත සිල්වා අධ්‍යක්ෂණය කළ "උදාගිර") පොඩි චරිතයක් රඟපෑවේ. වැඩේ කියන්නේ පොර ඒකේ ඉල්ලාගෙන තිබුණේ ඇමති කෙනෙකුගේ චරිතයක්.

මේ ටෙලි නාට්‍ය ඇමති මාර වීර ක්‍රියාවක් කරනවා. ඒක තමයි, තමන් දැන් ඇමති කමේ හිටියා ඇති, තරුණයින් ට තැන දෙන්න ඕනෑ කියලා, ඇමතිකමෙන් අස්වෙලා ඒ වෙනුවට තරුණ මන්ත්‍රී කෙනෙකුව පත් කර ගන්නවා. මතක තියාගන්න මේ චරිතය අවුරුදු 75 පන්නපු ජ්‍යෙෂ්ඨ හෙම ඇමතියෙක් නෙමේ. මේ කාලේ (1993 විතර) මහින්ද අවුරුදු හතලිස් ගාණක කොල්ලෙක්!

ටෙලි නාට්‍යයේ රචකයා මවාපු ඒ අති ප්‍රභන්ධිත ඇමති චරිතයෙන් අපිට ලැබුණේ හොඳම ආදර්ශයක්.

අද කතන්දරය තමයි ඒ නාට්‍යය බලපු මංතුමා, ඒක හරහා මහින්දතුමා ගෙන් ඒ උගත් පාඩම ක්‍රියාවට නංවපු හැටි ගැනයි.

ඔන්න මං අර පස්තාච්චි කාලෙන් පස්සේ ලංකාවට ඇවිල්ලා කලින් කරපු මැවිසුරු සේවයටම ගියත් ටික කළකින්ම එතනින් චුත වෙලා පොඩ්ඩක් විතර අධ්‍යාපනයට බර තැනක ජොබ් කට්ටක් හොයා ගත්තා. මේ සම්බන්ධයෙන් තමයි මං අර කැරැක්ටර් සර්ටිෆිකේට් එක ගත්තේ. (දාං ඇදලා ගත්තු ඒවා වැඩක් නෑනේ මේ කාලේ වෙන කොට!)

මං මේ තිප්පොලේ වැඩ අරඹලා ටික කාලෙකින් ම එතන තිබුණ කොමිටි දෙකකදී ම අපේ අංශය නියෝජනය කරන්න මට අවස්ථාව ලැබුණා.

මෙයින් පළමුවැන්න තමයි කම්පියුටර් යූසර් කමිටි. කම්පියුටර් සෙන්ටර් එකේ ප්‍රධානියා ගේ සභාපතිත්වයෙන් තිබුණු මේ කමිටුවේ අපේ ආයතනයේ කම්පියුටර් පාවිච්චි කරන අංශවල නියෝජිතයෝ හිටියා. මේ කොමටියෙන් තමයි පොඩි පොඩි පුහුණු වැඩ සටහන් සැලසුම් කරළා ක්‍රියාත්මක කළේ.

දෙවෙනි කොමිටිය ඊට වඩා බරපතල එකක්. ඒකේ සභාපති තමයි අපේ මුළු ආයතනයේම ලොක්කා. මුළු ආයතනයේම පරිගනක ගැන ප්‍රතිපත්තිමය තීරණ ගත්තේ ඒ කොමිටියෙන්. අපේ අංශයටත් ඒකේ නියෝජිතත්වයක් ලැබිලා තිබුණා අපි සෑහෙන කොම්පියුටර්කාරයෝ නිසා.

ඔහොම අවුරුදු දෙකාමාරක් විතර යන කොට, අපේ අංශයේ ඉඳලා නිවාඩු අරගෙන පීඑච්ඩී එකක් කරන්න එංගලන්තේ ගිය කොලුවෙක් ආපහු ඇවිත් වැඩ බාර ගත්තා.

පොර මට වැඩිය අවුරුදු තුනක් විතර බාලයි මයෙ හිතේ. ඒ වුණාට මං වගේ යැ, දැන් පොර පීඑච්ඩී කාරයෙක් නේ!

ඉතිං මං මොකක්ද දන්නවාද කළේ. ගිහින් පොරට කිව්වා මෙන්න මෙහෙම.

"ජයන්ත, මං හිතන්නේ අර අහවල් කොමිටි දෙකේ දී අපේ අංශය නියෝජනය කරන්න මට වඩා සුදුස්සා ඔහේ තමයි. ඒ නිසා, ඔහේ ඒ තනතුරු දෙක බාරගන්න!"

අන්න බලන්න එදා මා උගත් පාඩම් වල අගේ! වඩා සුදුස්සා ට තැන ලැබුණා.

දැන් ඔය කියන කොමිටි තනතුරු දෙක ස්වේච්ඡා ඒවා මිස අමතර ගෙවීමක් ලැබෙන ඒවා නොවෙන හින්දා මං දීලා දැම්මා කියලා කවුරු හරි කියනවා නම් ඒ අයට කියන්න තියෙන්නේ දීමනා කෙසේ වෙතත් මේ වගේ තනතුරු උසස්වීම් වල දී ඉතා වැදගත්වෙන බවයි.

මෙන්න ඊටත් වඩා හොඳ කාරණයක්.

මං මේ කියන කාලේ සෙනසුරාදා හවස් වරුවේ වෙනත් තැනක බාහිර දේශකයෙක් විදියට වැඩ කළා. ඒ ජොබ් එකේ ඉතුරු ටික කරගෙන යන්න මං ජයන්තයාට ම බාර දුන්නා! අඩු වශයෙන් පොර ගේ වෑන් කට්ටට ඩීසල් ගහන්නවත් ගාන හම්බ වෙන්න ඇති.

එක පඩියකින් වාහනයක් නඩත්තුව අමාරුයි අපිට ඒ දවස්වල. මට නං කාර් එකට පෙට්‍රෝල් ගහන්න හාමිනේගෙන් ගාණක් ඉල්ලා ගන්න පුළුවනි.

-කතන්දරකාරයා

ප/ලි:
මහින්ද රාජපක්‍ෂගෙන් මා උගත් පාඩම පිළිබඳ කතා වස්තුව එසේය.

ප්‍රතිඋපකාර ලෙස මංතුමා එතුමාට කවර නම් පාඩමක් උගන්වන්නෙම්දැයි සිතමින් සිටිමි.

(image: http://www.silumina.lk/2010/11/14/_art.asp?fn=av10111410)

Sunday 20 November 2011

අපේ අයියලා ගේ ලෙස්බියන් භීතිකාව නොහොත් සිංහල බෞද්ධ ලේබල්කරුවන් ගේ ප්‍රලාප - What's wrong with being Gay or Lesbian?


මං සිංහල. ඒ කියන්නේ මං මූලිකවම කතා කරන්නේ, ලියන්නේ සිංහලෙන්. මගේ දෙමව්පියෝ, ඒ අයගේ දෙමව්පියෝත් සිංහල.

මං හැර තවත් සිංහල අය ඉන්නවා. අපිව එක කණ්ඩායමක් විදියට පොදුවේ සිංහල කියලා හඳුන්වනවා නම් ඒ අපේ පොදු චාරිත්‍ර රටාවක්, භාෂාවක් තියෙන නිසාය කියලා කියන්න පුළුවන්.

මං හැකි විදියෙන් බුදු දහම අනුව ජීවත්වෙන කෙනෙක්. මගේ දෙමව්පියෝ, ඒ අයගේ දෙමව්පියෝත් එහෙම තමයි ජීවත් වුනේ.

මං හැර තවත් බුදු දහම අනුව ජීවත්වෙන්න බලන අය ඉන්නවා. අපිව එක කණ්ඩායමක් විදියට පොදුවේ බෞද්ධයෝ කියලා හඳුන්වනවා නම් ඒ අපේ සිතුවිලි රටාවේ තියෙන සමානකම් නිසාය කියලා කියන්න පුළුවන්.

එතකොට, මම සිංහල බෞද්ධයෙක්. මං වගේ තව අය ඉන්නවා. ඒ එක්කම බෞද්ධ නොවන සිංහල අයත්, සිංහල නොවෙන බෞද්ධ අයත් ඉන්නවා.

හරකා මේ වටෙන් වටෙන් එන්නේ මෙන්න මේ පොල් පැලේටයි.

මට තේරුණු විදියට ඕස්ට්‍රේලියාවේ මෙල්බරන් නගරයේ වගේ තැනක තිබුණු ලෙස්බියන් (ස්ත්‍රී සමලිංගික) විවාහ උත්සවයක් ගැන කස්සා කියන බ්ලොග්කරුවා ලිපියක් ලියලා තිබුණා. ඊට කලිනුත් මේ වගේ ලිපි දෙකතුනක් බථලොග් අවකාශයේ පලවුනා. මේ ලඟදී තවත් ලිපියක් තිබුණා කොඃඟ කොන්ඩම් වගයක් බෙදුවාය සහ ඒ ගැන සර්වෝදය ලොක්කා ආරියරත්න කියපු කතා ටිකක් හෙම එක්ක. ඒ ලිපි කෙසේ වෙතත් මේ ගේ-ලෙස්බියන් කතා ගැන යන ලිපිවලට එන ප්‍රතිචාරවලින් සමහර ඒවායින් යම් කිසි භීතිකාවක් ඉස්මතුවෙනවාය කියලා මට පෙණුනා.

ඒ තමයි අපේ සිංහල බෞද්ධ රටේ අගතියට මේ ගේ-ලෙස්බියන් ලිංගිකත්වය හේතුවෙනවාය වගේ භීතියක්! ෆෝබියාවක්!

ඒ ගැනයි මේ ලියන්නේ. මෙතන මගේ පඬිවදන් මිස කාමාශාව ඇතිකරවන ජූසි කතන්දරයක් නම් නැහැ.

කස්සා ගේ ලිපිය හෝ ඒ වගේ වෙනත් ලිපි කියවන වෙලේ සිංහල බෞද්ධ මට නම් කිසිම ලේ කෝප වීමක්, සාංකාවක්, අරකක් මේකක් ඇති වුනේ නෑ.

මගේ සිහියට ආවේ එකම දෙයයි. අර අප්‍රසිද්ධ සිංහල ලෙස්බියන් සින්දුව විතරයි.

කාලෙකට කලින් මං පරිවර්තනය කරලා පෝස්ට් කරපු ලිපියක, ඩොක්ටර් ග්‍රැන්විල් ධර්මවර්දන උත්සාහ කරලා තිබුණා සමලිංගික සබඳතා ස්වභාවිකයි කියලා ඔප්පු කරන්න. පොර ඒ සඳහා පාවිච්චි කරලා තිබුණු නීරීක්‍ෂණවල වලංගුභාවය කෙසේ වෙතත්, මගේ අදහස නම් සමලිංගික සබඳතා, විරුද්ධ ලිංගික සබඳතා තරමටම ස්වභාවිකයි කියන එකයි.

ස්වභාවිකය කියන්නේ නිරුත්සාහීව සිදුවෙන, ඉර නැගීම, බැසීම, මල් පිපීම වගේ කරුණුනේ. සමලිංගිකත්වය අස්වාභාවිකයි කියනවානම් ඒකෙන් කියන්නේ සමලිංගිකත්වය බලෙන් ඇතිකරගත් එකක් ය කියන එකයි. එතනයි වැරදීමේ මුල!

එහෙම බැලුවාම ඇත්තටම අවශ්‍ය වෙන්නේ සමලිංගිකත්වය අස්වාභාවිකය කියලා ඔප්පු කරන එක මිසක් සමලිංගිකත්වය ස්වාභාවිකය කියලා ඔප්පු කරන්න නෙමෙයි.

සමලිංගිකත්වය අස්වාභාවිකය කියලා සාධක ඇතිව ඔප්පු කරන කං, ඒක ස්වාභාවිකයි මට පේන විදියට.

ලෙස්බියන්ස් ලා ට හරි සමලිංගික පිරිමින්ට හරි ආදර සම්බන්ධකම් තියාගන්නයි, විවාහ ජීවිත ගෙවන්නයි තියෙන අයිතිය අහුරන්න අපි කවුද? මගේ සිංහලකමයි, බෞද්ධකමයි මගේ. ඒවා වෙනත් අයගේ විරුද්ධ ලිංගිකත්වය එක්ක ගැටුමක් තියෙන බවක් මට නම් පේන්නේ නෑ.

සිංහලකමටයි, බෞද්ධකමටයි එරෙහිව යන්නේ සමලිංගිකත්වය නෙමෙයි, බෞද්ධ භික්‍ෂුන් අතර තියෙන කෞමාරකාමය නොහොත් පිඩොෆිලියාවයි!

ලෝකයේ විවිධ රටවල කාලයක් තිස්සේ කතෝලික සහ ක්‍රිස්තියානි නිකායවල පූජකයින්ගේ පිඩොෆිලියා වැඩ මේ වෙනකොට එළිදරව් වෙලා එක පුලියේ තියෙන්නේ.

-කතන්දරකාරයා

ප/ලි
මෙය කතන්දරයක් නොවේ. ඉරිදා දවසේ පලකෙරෙන සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා එකකි!

අමුතුවෙන් කිව යුතු නොවුනත්, පෙර කී ලිපි දැමූ අය සමග හෝ එහි කමෙන්ට් කළ අය සමග මගේ කිසිදු අවුලක් නැත.

ඇත්තටම ප/ලි:
මගේ අදහස විමසූ ට සහ එයට ප්‍රතිචාර දැක්වූ අයට,

යම් පුද්ගලයෙකුගේ ලිංගික රැචිය ඔහුගේ හෝ ඇයගේ අයිතිවාසිකමකි.

මගේ ලිංගික රුචිය හෝ හැසිරීම ගැන මගේ දෙමව්පියන් මොනවා කරන්නද?

එලෙසම මගේ දරුවන් වැඩි වියට පැමිණි පසු ඔවුන් ගෙවන ලිංගික ජීවිතයට ඇඟිලි ගැසීමට මට ඇති අයිතිය කුමක්ද?

අපි අපේ දරුවන් විවාහ වී දරුවන් සෑදීම ගැන සතුටුවෙන්නේ එමගින් අපේ ජාන ඉදිරියට යෑම ගැන ඇති තන්හාව නිසාය. දරුවන් බිහිවීමේදී දෙමව්පිය ජාන හරස්-මාරු (cross-over) වෙන අතර සමහර ජාන නිශ්ශබ්ද (mute) වීම, ඉස්මතුවීම ස්වාභාවිකවම සිදුවේ. සෑබෑ සමලිංගික එකතුවීමකදී දරුවන් නොලැබෙන නිසා ඒ ජාන ස්වාභාවික තේරීම් පටිපාටියෙන් ඉවත් වේ.

සංමලිංගිකත්වය මානසික රෝගයක් බවත්, එය මානසික ප්‍රතිකාර මගින් සුව කළ හැකි බවත් සිතන්නෝ සිටින්නේ අඳුරේය.

වමතෙන් ලිවීම අසුභ දෙයක් බව සිතූ කාලයක් ද තිබුණු බව අමතක කරන්න එපා.

මේකත් බලන්න: Homophobia

(iamge: http://allieiswired.com/archives/2009/02/ellen-and-portia-have-baby-plans/)

Friday 18 November 2011

හව් ඊස් යුවර් ප්‍රොබ්ලම් නව් සිවකුමාර්? - How's your problem now Sivakumar?


(බ්ලොග් එකේ ටෙම්ප්ලේට් අවුලකි. කමෙන්ට් බලන්න සහ කමෙන්ට් කරන්න කතන්දර මාතෘකාව උඩ ක්ලික් කරන්න).

සමහර කතන්දර තියෙනවා නේද, අහල ඉවර වුණාම හිතෙනවා දැන් හිනාවෙන්නද? අඬන්නද කියලා? මෙන්න මේ මං කියන්න යන කතාව අන්න ඒ ජාතියේ එකක්!

සිද්ධිය වුනේ මං කාලයකට ඉස්සර රජයේ සංස්ථාවක මැවිසුරුවෙක් විදියට සේවය අරඹපු කාලේයි.

මාත් එක්ක අළුත කැම්පස්වලින් අවුට් වුණු කොල්ලෝ කෙල්ලෝ තවත් හත් අට දෙනෙක්ව ම බඳවා ගත්තා සංස්ථාවට. පේරා පොරවල්, කට්ටෝ විතරක් නෙමේ රුස්සෝත් දෙන්නෙක් විතර හිටියා මේ කණ්ඩායමේ.

වැඩ පටන් අරන් මුල් සති දෙකේ අපිට තිබුණේ පොඩි ඉන්ඩක්ෂන් එකක්. සංස්ථාවේ එක එක අංශවල මැනේජර්ස් ලා ඇවිත් තමන් ගේ අංශවල වැඩ කටයුතු ගැන විස්තර කරනවා, අපි අහගෙන ඉන්නවා. ඒ උදේ වරුවේ. හවස කෑමෙන් පස්සේ, ෆැක්ටරියේ ඒ ඒ අංශ බලන්න යනවා.

මේ කාලයේ අපේ කණ්ඩායම බාර වුනේ, සංස්ථාවේ පුහුණු කළමණාකරු ක.කු.ල. මහතාටයි. එතුමා ගේ වාසගම ම තියෙන තවත් මහතෙක් හිටිය නිසා තමයි ඒ විදියට ඒ දෙන්නවම ඔවුන් ගේ මුලකුරුවලින් හැඳින්වුනේ.

'කකුල' මහතා හරිම හොඳයි. පරණ උපාධිධාරියෙක්. ප්‍රියමනාප පුද්ගලයෙක්. වැඩි වැඩකුත් නැති හින්දා පොර මේ කියන දවස්වල වැඩිපුර ගත කළේ අපේ ශුභසාධන සහ පුහුණු කටයුතුවලටයි. ඉතිං, පුහුණු වැඩසටහනේ තියෙන හිඩැස් වෙලාවලදී කකුල මහත්තයා අපිත් එක්ක නොයෙකුත් කරුණු ගැන කයිය ගහමින් ඉන්නවා.

අපේ කණ්ඩායමේ හිටිය එක පොරක් තමයි සිවකුමාර්. කොළඹ පොරක් හින්දා හොඳට සිංහල පුළුවනි. ඒත් ඉතිං අපි මැවිසුරවන් වශයෙන් ඉංගිරිසියෙන් තමයි කතා බහ කළේ.

දවසක් 'කකුල' මහත්තයා අපි කට්ටිය එක්ක කයියයක් ගහමින් ඉන්නවා. බෝඩිං ගැන, බස් ගැන, කාලගුණේ ගැන වගේ සරල කරුණු ගැන.

මේ කතාව යන අතරේ, මෙන්න 'කකුල' මහත්තයා සිවකුමාර්ගෙන් ගහෙන් ගෙඩි එන්නාවාගේ ඇහැව්වා මෙහෙම.

"සෝ සිවකුමාර්, හව් ඉස් යුවර් ප්‍රොබ්ලම් නව්?" (ඉතිං සිවකුමාර් කොහොමද ඔයා ගේ ප්‍රශ්ණය දැන්?)

මං හිතුවේ සිවා මොකක් හරි තමන් ගේ ප්‍රශ්ණයක් ගැන 'කකුල' මහත්තයාට කියලා වෙන්න ඇති, ඒක ගැන තමයි මේ අහන්නේ කියලා.

මොකද, වැඩට ගිහිල්ලා තවම සති දෙකක්වත් නොගියාට අපි මේ වෙනකොට, සංස්ථාවේ ක්වාටර්ස්වල නවතින්න, සංස්ථා වාහනවලින් වැඩට යන්න එන්න වගේ දහසකුත් එකක් ඉල්ලීම් දාලයි තිබුණේ.

ඒත් සිවාට නං මේ 'කකුල' මහත්තයා ගේ ප්‍රශ්ණයේ අගක් මුලක් තේරිලා තිබුණු බවක් පෙනුණේ නෑ.

"වට් ප්‍රොබ්ලම් මිස්ට 'කකුල'?" සිවා ඇහැව්වා. (මොන ප්‍රශ්ණය ද කකුල මහත්තයා?)

"අයි හර්ඩ් ඔන් ද නිවුස් ලාස්ට් නයිට් දැට් ද ගවර්න්මන්ට් ඉස් විලින් ටු නිගෝෂියේට් විත් ද එල්ටීටීඊ!" 'කකුල' කිව්වා.
(මට ඇහුණා ඊයේ නිවුස්වල කියනවා ආණ්ඩුව ඇල්ටීටීය එක්ක සාකච්ඡා කරන්න යනවාය කියලා)

මල්ලේ පොල් උත්තරයක් වගේ මුලින් පෙණුනට පස්සේ තමයි අපේ ටියුබ් ලයිට් වැඩ කළේ.

මේ කාලේ ලංකාවේ වර්ගවාදී යුද්දේ නැගලා යන කාලේ. 'කකුල' මහත්තයා මේ "හව් ඉස් යුවර් ප්‍රොබ්ලම් සිවකුමාර්?" කියලා තියෙන්නේ උතුරේ යුද්ධය ගැන කතාව පටන් ගන්න ආරම්භයක් ලෙසටයි!

මුලින්ම කිව්වා වගේ, හිනාවෙන්නද, අඬන්නද කියලා මට හිතාගන්න බැරිවුණා.

-කතන්දරකාරයා

ප/ලි:
සිවකුමාර් ට මොනවා හිතුණද මන්දා?

ප/ප/ලි
මේ කතාවේ තේරුම කාට හරි (ස්ටාටර් ගහල ගිය) ටියුබ් ලයිට් වුනොත් නම් ඉතිං අඬන්න තමයි වෙන්නේ.

Wednesday 16 November 2011

රත්නායක මහත්තයා ගේ අනන්‍යතාව හෙලිවේ! - Mr Ratnayake's identity revealed


කතන්දර බ්ලොග් එක බලන අයට රත්නායක මහත්තයා අමුතුවෙන් අඳුන්වා දෙන්න ඕනෑ නෑනේ? පොර නැත්තං මං තාමත් කතන්දර 500 සැතපුම් කණුවට ඇවිල්ලා නැති වෙන්න ඉඩ තිබුණා.

මට කීප දෙනෙකුනේම දැනගන්න ලැබුණු විදියට පහුගිය කාලේ අපේ බ්ලොග්කරුවන් ගේ විවිධ කණ්ඩායම් අතර මේ රත්නායක මහත්තයා ය කියන්නේ සිහි සටහන් ලියන චානුක වත්තේගම විය යුතුයි කියලා කතාවක් ගිහිල්ලා තියෙනවා.

ඒකට එහ හේතුවක් සිහි සටහන් අඳුන්වා දෙමින් මා ලියූ මෙන්න මේ සටහන ලු!
http://kathandara.blogspot.com/2011/04/blog-post_10.html
අපේ සිංහල කියවා අවබෝධ කර ගැනීමේ හැකියාව ගැනත් ප්‍රශ්ණයක් ආවා ඒ කතාව අහලා!

ඉතිං මට හිතුණා මේ ගැන පොඩි සඳහනක් කරන්න අද කතන්දරේට යන්න කලින්.

මෙන්න රත්නායක ගැන මෙතනට අදාල විස්තරයක්.

රත්නායක මහත්තයා කොළඹින් පිටයි පාසල් ගියේ. සතර පත්තරේ මිස විදුසර බැලුවේ නෑ. ඒ ලෙවල් පාස් වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකයි ඉගෙන ගත්තේ. මැවිසුරු උපාධිය ගත්තා. පස්සේ පස්තාච්චි වැඩ සඳහා පිටරට ගියා.

ලේඛණ කටයුතු කියලා පොර කරන්නේ ජොබ් එකේ වැඩට ලියන කියන එක විතරයි. පොර ගේ ප්‍රොෆෙෂනල් වැඩවලට අදාල පොත් පත් හැර පොත් සමග වෙනත් ලොකු ගණුදෙණුවක් කවදාකවත් නෑ. නවකතා අරහං.

මං කුලසේන ෆොන්සේකා ගේ "උඩු බිරුම" කියන නවල් එක බලන්න කියලා ගෙදරටම ගෙනිහිං දීලා තිබිලා අවුරුද්දකට පස්සේ ආපහු ගෙනාවා. පොර එක පිටුවක්වත් කියවලා තිබුණේ නෑ, පොත කියවපං කියලා මං දුන්නු දවසේ ඒකේ අන්තර්ගතය ගැන හොඳට පැහැදිලි කළා වුනත්.

හැබැයි ඔන්න දැන් නං පොර ටිකක් සිංහල, අඩු තරමේ කතන්දර බ්ලොග් එකවත්, කියවනවා වගේ.

අන්තිම කරුණ මෙන්න. රත්නායක මහත්තයා මට නිතරම හමුවෙනවා. කොටින්ම අද කතන්දරෙත් ඒ හමුවීමක් ගැනයි.

වත්තේගම මහත්තයා මා දැක ඇත්තේ දින දෙකයි. මුලින්ම 2009 දෙසැම්බර් සිංහල බ්ලොග් සංගමයේ හමුව දවසේ. එදා වචන කීපයක් කතා කළා. හොඳින් කතාබස් කලේ දෙවෙනියට හමුවුණු මගේ පියා ගේ අවමගුල කාලයේයි. ඒ 2010 දෙසැම්බරයේ.

ඒ සේරම ලිව්වේ රත්නායකයි, වත්තේගමයි දෙන්නා දෙන්නෙක් බව පෙන්නන්නයි.

දැන් මෙන්න අද දවසේ කතන්දරය.

පහුගිය දවසක මං රත්නායක මහත්තය ලා ගේ ගෙදර ගියා. රමණී මැඩම් තමයි ඒ නිවසේ එක්සෙකටිව් චෙෆ්. හැබැයි මෙදා රත්නායකත් හදලා තිබුණා සලාදයක්.

අර කීප් අ සයිඩ් කුළුබඩු ටික දැම්මාද මං මුලින්ම ඇහැව්වා.

මොකද ඔය පරණ කතන්දර මතක් කරනවාට රත්නායක වැඩි කැමැත්තක් නෑ. කබර පෲෆ් මෙතඩ් කතාව නම් අරහං!

ඔන්න කාලා-බීලා ඉවර වෙලා (ඇත්තම කියනවා නං, බීලා-කාලා ඉවර වෙලා) මං රත්නායක ට මෙහෙම කිව්වා.

"මචං, මට කියන්න පුළුවන් ද මේ සැලඩ් එක හදපු ක්‍රමය හරියටම විස්තර ඇතුව?"

රත්නායකට පොඩි හිනාවක් ගියා.

"ඇයි මොකටද? උඹ මේක කතන්දර බ්ලොග් එකේ දාන්නද අර පරිප්පු, මස්, බෝංචි හදපු විදිය හාමිනේ ගෙන් අහගෙන උඹේ වගේ හිතෙන්න දැම්ම විදියට?"

"අපෝ නෑ මචං, එහෙම දාන්න නෙමේ, අර බොම්බිලි කරෝල හදපු හැටි දැම්මා වගේ, මෙන්න මේ විදියට නං සැලඩ් හදන්න එපා කියලා දාන්නයි උඹේ රෙසිපිය මට ඕනෑ!"

-කතන්දරකාරයා

ප/ලි:
හොඳම කුක් මං ද, රත්නායක ද කියන එක නම් අමාරු වැඩක්.

හැබැයි, චානුක වත්තේගම ගේ ලංකාවේ හොඳම රාජ්‍ය නිලධාරියා ලිපිය කියවපු දවසේ මට මොනවට පැහැදිලි වුණා ලංකාවේ ශූරම බ්ලොග්කරුවා කවුද කියන එක.

චානුක ට ජයවේවා!

(image: http://www.lankantunes.com/)

Monday 14 November 2011

ප්‍රථම ප්‍රේමය කියන්නේ... මොන මගුලක් ද? - What the hell is first love


ලව් ඉස් ෆර්ස්ට් ලව් කියල කිව්වලු මැක්සිම් ගෝර්කි ද කොහෙද!

ඒ කියන්නේ ප්‍රථම ප්‍රේමය නැත්තම් කුළුඳුල් ආදරේ තමයි සැබෑම ප්‍රේමය කියන්නේ.

ඔය කියමන තියෙන්ගේ ගෝර්කි ගේ "ප්‍රථම ප්‍රේමය" නම් වූ කෙටිකතාවේ ම තමයි මං හිතන්නේ.

නමුත් මෙතන මට ඇතිවෙන ප්‍රශ්ණාවලියක්ම තියෙනවා. ඒකෙන් මූලිකම ප්‍රශ්ණය තමයි මොකක්ද මේ කුළුඳුල් ආදරේ කියන්නේ.

පොඩි පන්තිවලදී අර කවට කමට ඔබෙයි මගෙයි නම ලියා යාළු ළමයි විහිළු තහළු මට කියා කේස්වලින් ඇතිවෙන නිකං මොන්ටිසෝරි ලව් එකක්ද?

පස්සේ නැට්ට පොඩ්ඩක් දිග් වෙන කාලේ වෙන කොට කෙල්ලෙක් දැකලා කිං කිං හැඟීමක් ඇතිවෙන මුල්ම කේස් එකද?

ඒ කේස් බේස් අතරේ, සීරීයස්ලි ම ට්‍රයි එකක් දෙන්න ඕනෑ කියලා හිතෙන, කවි ලියවෙන, ඩිප ගහන මුල්ම ෆිෆ්ටි පරසන්ට් ආදරේ කේස් එකද?

කෙල්ලන්ගෙන් අහගෙන ගිහිල්ලා ගිහිල්ලා, මුලින්ම හා කියලා උත්තරේ ලැබෙන කේස් එකද? (ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එක විදියට වාර්තාව තියලා තියෙන්නේත් මේ වගේ කේස් එකක්!)

ඒ සේරම නොවේ නම්, දෙන්නම දෙන්නට සීරියස් ලි ලව් කරන මුල්ම කේස් එකද?

මේ විදියට බලාගෙන යනකොට එක්කෙනෙකුට ෆර්ස්ට් ලව් පහ හයක් ම තියෙන්න පුළුවන් වගේ නේද?

එතකොට, යම්කිසි ලව් කේස් එකක් කෙල්ලගේත් කොල්ලගේත් දෙන්නගේම ෆර්ස්ට් ලව් නම්, ඒක තුන් කුළුදුල් ලව් කේස් එකක් වෙනවාද?

ප්‍රශ්ණ ගොඩයි!

ඔය ප්‍රශ්ණ ටික තේරුම් බේරුම් කරගන්න උපකාරී වෙන හොඳ උදෘතයක් දෙන්න පුළුවන් මුලින් කියපු රුසියන් ජාතික මහා ලේඛක මැක්සිම් ගෝර්කි වගේම තවත් අතීතයේ සිටි මහා ලේඛකයෙකු වූ ප්‍රංශ ජාතික Victor Hugo ගේ "ල මිසරාබ්ල" කියන නවකතාවෙන්. (Thanks Ano for correcting it. I got the quotation below by Googling Victor Hugo).

මෙන්න ඒකේ ඉංගිරිසි පරිවර්තනය.

"The first symptom of love in a young man is shyness; the first symptom in a woman, it's boldness."

සිංහලෙන් කියනවා නම් මෙහෙමයි.

"තරුණයෙකු ගේ ආලයේ ප්‍රථම ලක්‍ෂණය නම් ඔහු ලැජ්ජා වීමයි. තරුණියකගේ නම් ඉතා එඩිතර බවයි."

-කතන්දරකාරයා

ප/ලි:
අත්දුටුවයි! සත්තකයි!!

කවුරුත් නෑ නේද මේ කියමන වැරදියි කියන?

http://stink-bomb.blogspot.com/2011/08/love-is-love.html)

Sunday 13 November 2011

මැන්චෝසන් චාරිකා - Baron Munchausen and Kathandara Karaya


අප බොහෝ දෙනෙකු කුඩා කළ සිටම කතන්දර ඇසීමට පි‍්‍රය කළ අය වෙමු. අකුරු නොදන්නා කුඩා කාලයේ අපේ කතන්දර ඇසීමේ සා පවස නිවුනේ වැඩිහිටියන් කියූ ”එකමත් එක කාලයක” අච්චුවේ කතන්දර ඇසීමෙනි. පරම්පරා ගණනාවක් තිස්සේ පැවතෙන ඒ ගැමි කතා අපේ සිත්වල ඇති කලේ අපූරු චමත්කාරයකි.

පසුව කෙමෙන් කෙමෙන් අකුරෙන් අකුරු ගැට ගසන්නට අපට හැකිවුණු සමයේ දී, "සාමා-අමර" පාඩම් පොතෙන් ඔබ්බට කියවන්නට ළමා කතන්දර පොත් අපට එතරම් නොතිබුණි. පාසලේ පහල පන්තිවල දී අමතර කියවීම් ලෙස අභව්‍ය සුරංගනා කතන්දර පොත් කිහිපයක් ද රුසියන් ළමා කතා පරිවර්තන පොතක් ද කියවු බව මගේ මතකයයි. අද තරම් ප‍්‍රමාණයක් ළමා කතා පොත් එකල ලංකාවේ මුදුණය නොවුණු බව පැහැදිලිය.

ළමා පොත් වෙනුවට අපට ලේක් හවුස් ප‍්‍රකාශනයක් වූ "මිහිර" පත්තරය තිබුණි. "ටිකිරි" නමින් ද ළමා පුවත් පතක් ටයිම්ස් ආයතනයෙන් මුද්‍රණය වූ බවක් මතකයේ ඇති නමුත් අප මිළදී ගත්තේ මිහිර පත්තරයයි. මා ප‍්‍රාථමික පාසලේ උගන්නා කාලයේ මිහිර පත්තරයට ලියූ කවියක් එහි පලවීම නිසා අමන්දානන්දයට පත්වූ හැටි තවමත් මගේ සිතේ රැඳී ඇති තවත් එක් සොඳුරු මතකයකි.

මිහිර පත්තරය වසර කිහිපයක් කියවීමෙන් පසු ළමා සිතක් එයින් ඔබ්බට පය තබන්නට සිතනු අපේක්‍ෂා කළ යුතුය. මා එම පිම්ම පැන්නේ පාසලේ හතරවැනි ශ්‍රේණියේ ඉගෙණුම ලබමින් සිටි අවදියේ දී අපේ නිවසේ තිබී හමුවුණු ගුණදාස ලියනගේ ලියූ "මුළු හදින් මම ඇයට පෙම් කොට" නමැති නවකතාව කියවීමෙනි.

මම මිහිරෙන් මිහිරට පත්වූයෙමි.

"අඹ යහළුවෝ" සහ "මඩොල්දූව" ළමා නවකතා මා කියවූයේ ඉන් පසුව පස්වෙනි ශ්‍රේණියේ දී ය.

ද්විතීයික අධ්‍යාපනය සඳහා මධ්‍ය මහා විද්‍යාලයට ගිය පසු අපට ලැබුණු එක් වරප‍්‍රසාදයක් වූයේ පාසල් පුස්තකාලයෙන් පොත් නිවසට රැගෙන ගොස් කියවීමට හැකිවීමයි. නමුත්, මේ කර්තව්‍යය සිදුවුනේ අප අද පුස්තකාලයකින් පොත් ලබා ගන්නා ආකාරයෙන් නම් නොවේ.

මේ වැඩ පිළිවෙල පටන් ගත් දිනයේ දී පුස්තකාලයට ගිය අපේ පන්තිය භාර ගුරු ගුණරත්න පන්තියේ සිටි සිසුන් ගණනට සමාන පොත් සංඛ්‍යාවක් ඔහු විසින් තෝරා ගෙන එන ලදී. මේ පොත් සිසුන් අතර බෙදා දුන් ඔහු ඒ විස්තර පන්ති නායකයා වූ මා ලවා අභ්‍යාස පොතක ඇතුලත් කළේය. අපට උපදෙස් ලැබුනේ තමන් ගේ පොත කියවා ඊලඟ සතියේ නියමිත දිනට පාසලට රැගෙන එන ලෙසයි. එදින තමා ලඟ තිබෙන පොත වෙනත් සිසුවෙකු සමග හුවමාරු කර ගත යුතුය. පොත නියමිත දින පන්තියට නොගෙනාවොත් ශත දහයක දඩයක් හිමිවේ.

මේ වැඩ පිළිවෙල නිසා අපේ පන්තියේ සිසුවන් කියවීමට හුරු වන්නට ඇත. මගේ ප‍්‍රශ්ණය වුයේ, ලැබෙන පොත එදිනම කියවූ පසු, සතියේ ඉතිරි දින හය තුල කුමක් කියවන්නද යන්නයි. පාසල් පුස්තකාලය අප වැනි සිසුන් ට යා හැකි තැනක් නොවුණි. ඒ සඳහා නිර්දේශිත කාල පරිච්ඡේදයක් ද කාල සටහනේ නොවීය.

මගේ කියවීමේ රුචිය වැඩිකර, ලේඛණ කටයුතු කෙරෙහි ඇල්මක් ඇති කිරීමට සමත් වූ එක්තරා සුවිශේෂී සිදුවීමක් වූයේ "ගුණසේන ළමා පොත් සමාජය" ට බැඳීමයි. මේ වනාහී තැපැල් මගින් පොත් ගෙන්වා ගන්නා සේවයක් මිස අන් කිසිවක් නොවේ. අපට එවන පොත් ලයිස්තුවලින් අප කැමති පොත් තෝරා, නියමිත මුදලට මුදල් ඇනවුමක් සමග යැවීමෙන් මේ ආකාරයට පොත් ලබා ගත හැකිවිය. මෙලෙස මා කියවූ බොහෝ පොත් භාෂා විලාසය අතින් අති නීරස ඒවා විය. එයට හේතුව, ගුණසේන සමාගම විසින් අඩු මුදලක් නියම කර ළමා පොත් සමාජයට එක් කරන්නේ විකුණාගත නොහැකි නීරස පොත් නිසා විය යුතු බව මට පසුව වැටහිණි. මෙනිසා දෝ මා මෙලෙස තැපැල් මාර්ගයෙන් ගෙන්වා ගෙන කියවූ එකදු පොතක් පිළිබදව වත් මගේ මතකය අවදිකරගත නොහැක.

මේ සියල්ල වෙනස් වූයේ මා අටවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී උදාවුණු සැප්තැම්බරයේ එක් සෙනසුරාදාවක ය. එදා මම ජීවිතයේ මුල්වරට පිටකොටුවේ "ගුණසේන" පොත් සාප්පුවට පිය නැගුවෙමි.

මහල් ගණනාවක පැතිරුණු ඒ විසල් ආයතනය දැක මට "කඩවත" නම් වූ නවදැළි හේනත්, රුපියල් 100 කට වඩා වටිනා පාසල් පොත් මිලදී ගතහොත් පාසල් කාල සටහනක් නොමිලේ දෙන "මහජන පොත්හල" නමැති වැඳිරියත් වහා සිහිවිය.

මගේ ආදරණීය පුංචි අම්මා ගේ අනුග‍්‍රහයෙන් මට එදා ලැබුණු පොත් අතරින් අද ද මගේ මතකයේ රුඳී ඇති සුවිශේෂී කෘති දෙකක් වේ. මේ පොත් දෙකම පරිවර්තන කෘති වීම ද විශේෂයකි. ඉන් පලමුවැන්න නම් "ඇලෙක්සැන්ඩර් ඩූමා" නම් ප‍්‍රංශ ජාතික නවකතාකරුවා ගේ "ද කවුන්ට් ඔෆ් මොන්ට කි‍්‍රස්ටෝ" නවකතාවේ සිංහල පරිවර්තනයවූ මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා නම් වූ කෘතියයි. මෙය, තරමක් කටුක බසකින් යුක්ත වූවද, එහි අන්තර්ගතයේ ඇති රසවත් කම නිසාම, දෙතුන්වරක් කියවා රස විඳීමට තරම් මා සිත ගත් කෘතියක් විය.

මුදල් බලයෙන් මොන්ත කි‍්‍රස්තෝ සිටුවරයා කළ කී දේ පිළිබදවා කියවා සිත කුල්මත් වූවද, එය එක්තරා ආකාරය පරාජිත කතාවක් විය. ඒ සිතුවිලිවලින් මා ගලවා වචනයේ අර්ථ පරිසමාප්තාර්ථයෙන්ම මා සිතට වික‍්‍රමාන්විත සිතුවලි ගෙන දුන්නේ එදා මට ලැබුණු දෙවන පොත, එ නම්, "රුඩොල්ෆ් රාස්ප්" ගේ "ද සර්ප‍්‍රයිසින් ඇඞ්වෙන්චර්ස් ඔෆ් බැරන් මැන්චෝසන්" කෘතියේ සිංහල පරිවර්තනය වූ මැංචෝසන් චාරිකා නමැති කෘතියයි.

කතාවේ අන්තර්ගතයටම නිවරුදිව ගැලපෙන පරිදි සැකසුණු බසකින් ලියවී තිබුණු මේ පරිවර්තන කෘතිය අද ඕස්ටේ‍්‍රලියාවේ වෙසෙන ඞී.බී. කුරුප්පු ගේ හපන්කමක් විය.

මැංචෝසන් සාමි ගේ වික‍්‍රමයන් පිළිබඳව කියවන්නට පටන් ගත් විගසම ඒවා අමූලික බොරු බව හොඳින් තේරුම් ගියද, ඒ කතන්දර ලියා ඇති සරල භාෂා විලාශය සහ අන්තර්ගතයේ ඇති අපූර්වත්වය නිසා පොත දෙතුන් වරක් කිය වූව ද කිසිසේත්ම එය නැවතත් කියවීමේ ආශාව අඩු නොවේ. මේ පොත් පිංච, උපහාසය හා හාස්‍යය කැටිකොට ගත් රචනා විලාශයක් ප‍්‍රිය කරන රචකයෙකුට අත් පොත් ම වන බව පසුගිය දා මෙහි දෙවන මුද්‍රණයේ පිටපත් කියවද්දී මට සිතුණි.

මා කතන්දර නමැති බ්ලොග් අඩවිය වසර දෙක හමාරක් පමණ පෙර අරඹා අද දක්වාම නොකඩවා පවත්වාගෙන යන්නේ ද, මේ බ්ලොග් අඩවිය සඳහා විවිධාකාරයේ කතන්දර පන්සියයක් පමණ කතන්දර කීමේ ශෛලියෙන් ම ලියා ඇත්තේ ද මේ මැන්චෝසන් චාරිකා කියවා එදා මා වින්දනය නිසා යැයි මට සිතේ.

වෙනත් වචන වලින් කිවහොත්, එදා අටේ පන්තියෙන් ඇරඹූ ඒ අපූරු "මැන්චෝසන් චාරිකාවේ" මම අද ද නිරතව සිටිමි.

මැන්චෝසන් සාමි ගේ අන්දර සිංහලෙන් ලියා මගේ සිත උත්තේජනය කළ ඞී.බී. කුරුප්පු ලේඛකයාට මේ ලිපිය උපහාරයක් ම වේවා!

-කතන්දරකාරයා

ප/ලි
මෙය මා මාසික සඟරාවක් සඳහා ලියූ තීරු ලිපියකි. සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා වෙනුවෙන් පළ කෙරේ!

Saturday 12 November 2011

ලෝකයේ දිගම ලව් ලෙටර් එකේ වාර්තාවත් ලංකාවෙන් ද? Longest love letter world record set in Sri Lanka!


ලෝකයේ කෙටිම ලව් අෆෙයාර් එකේ වාර්තාව තියෙන්නේ ලංකාවේ ද කියලා හිතෙන තරමේ කෙටිම කෙටි ආදර කතාවක් ගැන කතන්දරයක් මං කාලෙකට කලින් ලිව්වා.

ඒ කතාව නම් පේරාදෙනියේ යුනිවසිටියට සම්බන්ධ එකක්.

හැබැයි මේ අද ලියන දිගම ලව් ලෙටර් එකේ වාර්තාව ගැන කතන්දරේ නම් කෙලින්ම විස්ස විජ්ජාලෙකට සම්බන්ධ නෑ.

දිගම ලව් ලෙටර් එකට ගැන විතරක් නෙමේ මේ කතන්දරේ තවත් අසම්මතයක් ගැනත් සඳහනක් තියෙනවා.

මං උසස් පෙල කරන කාලේ මුලින්ම ටියුෂන් ගියේ යාළුවෙක් ඕගනයිස් කරපු පොඩි පන්තියකට. ටියුෂන් දුන්නේ කැලණිය කැම්පස් එකේ කොල්ලෙක්. ඇත්තටම කියනවා නම්, ඒ පන්තියෙ සෙට් කරලා තිබුණේ මගේ යාළුවා ගේ පුද්ගලික කෝචින් එකේ වියදම බෙදාගන්නයි.

විශ්ව විද්‍යාලයේ යන්න කලින්ම සමහරු ටියුෂන් දෙන්න පටන් ගන්නවා. මගේ යාළුවෙක් හිටියා එහෙම පටන් අරගෙන මෙඩිකල් ෆැකල්ටියේ විභාග ෆේල් වෙන එක පවා නොතකා ටියුෂන් කරලා තමයි ජීවන වියදම හොයා ගත්තේ. තව එකෙක් උසස් පෙළ ඒ හතර ගත්තා කියලා පෝස්ටර් පවා ගහලා ටියුෂන් කළා. කැම්පස් එකේ විභාග ෆේල් වෙන එක ගැන නම් දැම්මේ නෑ.

මේ සේරම කොල්ලෝ! ඒක තමයි සම්මතය!!

එන්න එක්තරා නගරාසන්න ගමක හිටියා කෙල්ලෙක්. ලස්සනයි, වගේම බ්‍රයිට් (එ රෙයා කම්බිනේෂන්, හුහ්!) මේ දැරීවී ඉතාමත් හොඳින් ඒ ලෙවල් පාස්වුණාට පස්සේ ලඟපාත ගෙදර කොල්ලෙකුට මැත්ස් ටියුෂන් දෙන්න පුළුවන් ද කියලා ඒ කොල්ලා ගේ අම්මා ගෙන් ආරාධනාවක් ආවා. කැම්පස් යන්න කලින් ගෙදර කල් මරණ කාලේ බෑ කියන්න හේතුවකුත් නෑ නේ.

ඉතිං ටියුෂන් ව්‍යාපාරය ඇරඹුණා.

කොල්ලා ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා හවසට එනවා කෙල්ල ගේ ගෙදරට. පියෝ මැත්ස් සහ ඇප්ලයිඩ් මැත්ස් අහගන්න.

ඉතිං ඔහොම මාස දෙක තුනක් ගතවුණාය කියමුකෝ.

දවසක් කෙල්ල ටවුමට ගිහින් ආපහු ඇවිත් ගෙදර ලඟින් බස් එකෙන් බහින කොට මෙන්න කොල්ලා එතන ඉන්නවා.

"මං මේ හේවගේ පොතේ තිබුණු සාපේක්‍ෂ ප්‍රවේගය ගණං ටිකක් හැදුවා. හරිද බලන්න පුළුවන්ද?" කොල්ලා ඇක්සයිස් පොතක් දෙන ගමන් කිව්වා.

කෙල්ල පොත අරගෙන බෑග් එකේ දාගෙන ගෙදර ආවා.

එදා රෑ පොත පෙරළලා බලද්දී මේකේ සාපේක්‍ෂ ප්‍රවේගය ගණං වලට උත්තර නෙමෙයි තියෙන්නේ ජීව විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් ගැන වාක්‍ය රචනාවක්!

පිටු හැටහතරක එක්සයිස් පොතේ මුල සිට අගටම තිබුනේ කොල්ලා කෙල්ලට ලියපු දිගම දිග ලව් ලෙටර් එකක්.

ඒක තමයි මං මේ දක්වා අහලා තියෙන ලෝකයේ දිගම ලව් ලෙටර් එක!

දැන් මෙන්න චැලේන්ජ් එකක්. පිටු හැටහතරකට වැඩිය දිග පෙම් හසුන් ගැන දන්නවා නම් ඒ ගැන ලියලා යන්න.

-කතන්දරකාරයා

ප/ලි

පොඩි කාලේ ඉඳලාම කොච්චර ලියන්න කැමති එකෙක් වුණත්, මංතුමා මේ දක්වා ලියලා තියෙන දිගම ලව් ලෙටරය ඔන්නං පිටු හයක් වෙන්න ඇති උපරිමය.

ඉතිං මේ ලෝක වාර්තා ලව් ලෙටර් එක ගැන දැන ගත්තාම ඒක ලියපු එකා මගේ මිම්මෙන් වීරයෙක් වුණා.

මගේ ජීවිතයේ මං ලබපු ලොකුම අභූත චෝදනාව සහ නින්දා අපහාසය මං ලැබුවේත් මේ ලව් ලෙටර් ලියපු වීරයා කවුද බොලේ කියලා ඒ ඇතිවුණු උනන්දුව හින්දයි!

ඒකත් කේස් එකත් නියම කතන්දරයක්.

සමහර විට තව අවුරුද්දකින් විතර ලියවෙන්න ඉඩ තියෙනවා.

(image: http://www.dreamstime.com/stock-image-cartoon-exercise-book-image9475371)

Thursday 10 November 2011

මුං මේ ලියන්නේ කවි ද? නැත්තං වාක්‍ය රචනා ද? pseudo code of poetry


කතන්දර බ්ලොග් එකේ කයි-කතන්දර දාන්න පටන් අරං දැන් සෑහෙන කාලයක් වෙනවා. මුලින්ම එකක්, දෙකක් දැම්මා නිකං අවාරෙට වගේ.

නමුත්, පහුගිය සැප්තැම්බරයේ සාහිත්‍ය මාසය සමරන්න කියලා පටන් අරං ඔක්තෝබරේ ඉවර වෙනකම්ම දැම්ම පේරාදෙනියේ ගතකරපු මුල් දෙවසරේ ලියපු කවි තමයි හුඟ දෙනෙක් කියවලා තියෙන්නේ.

පාඨක ප්‍රතිචාර අනුව නම් මෙච්චර කල් මං දාපු කවි වලින් හොඳම කවිය තමයි අර "අභිනිෂ්ක්‍රමණය" කියන කවි පන්තිය. ලිව්වේ මොකා වුනත්, හැබැයි මං නං වැඩියෙන්ම කැමති "දේශපාලන විද්‍යා තල කැරළි වෙළඳාම" කියන එකටයි.

සොඳුරු සිත ලියන වත්සලා නම් කැමති "දෙව්ලොව ගමන" කියන සඳැස් කවි පන්තියටයි. මා මිතුරු රත්නායක මහත්තයා නම් කැමති "කටුබැද්දේ කුකුලා" ගේ කතන්දරයටයි!

ඔය කවිවලින් මොකක් හොඳ වුණත්, හොඳම කවිය දැනටම පලකරලා ඉවරයි කියන්නේ මෙතන ඉඳන් ඉතිං ඩවුන් ද පල්ලං තමයි!

ඔන්න නොකිව්වයි කියන්නෙපා.

කවිය යනු රසවත් වැකියකි කියල කවුද පරණ සංස්කෘත පඬියෙක් කියලා තියෙනවා ලු. ඒක නං මහ මෝඩ කතාවක්. ඒ වගේ කියමන්වල තියෙන භයානක පල විපාකය තමයි, ඕක අහපු අපි වගේ උං නිකං වාක්‍ය රචනා ලියලා කවි වගේ පාස් කරන්න හදන එක.

මං පේරාදෙනියේ හිටපු දෙවන අවුරුද්දේ ලියපු මේ කවියත් මට හිතෙන්නේ කවියකට වඩා වාක්‍ය රචනාවක් විදියටයි.

බොරු නං කියවලා බලන්න.

පෙම්වතුන් ගේ ලෝකය

ඔවුන්
ප්‍රේමයේ නමින් හෙලූ
කඳුළු බිඳු එක්වී
මහා ගංගාවක් සේ ගලා ගියේය
ඔවුන්
ප්‍රේමයේ නමින් හෙලූ
දුක් සුසුම් එක්වී
මහා මාරුතයක් සේ හමා ගියේය

ඒ ගංගාවේ ගැලුයේ
ගස සිත සනසන සිසිල් ජලය නොව
උණුසුම් කඳුළු බිඳු ය
ඒ මාරුතයේ හැමූයේ
ගස සිත පිනවන මුදු සුලං රැලි නොව
උණුසුම් සුසුම් ය

දෙගොඩ තලා ගිය ඒ ගංවතුරින්
ඔවුන් ගේ ලෝකය යටවී ගියේය
කුරිරු වෙසින් හැමු ඒ මාරුතයෙන්
ප්‍රේමයේ මන්දිරය වැනසී ගියේය

උණුසුම් කඳුළින් යටවූ ලෝකයෙ
වසන්තයේ උයනේ
පෙම් කුසුමන් සැම මැලවී ගියේය
පෙම් ලොව දස අත ආලෝකය දුන්
ආදර සඳ තරු
උණුසුම් සුළඟින් නිවිලා ගියේය

අවසානය එය විය෴


-කතන්දරකාරයා

ප/ලි:
මට හිතෙනවා මෙන්න මෙහෙම. මේක කවියක් නෙමේ කවි සිතුවිල්ලක් සහ කවියක් අතරමැද තියෙන ටිකක් කලටි පොල් අවස්ථාවක්.

නිකං pseudo code එකක් වගේ කියන්න පුළුවනි.

හරියට අර රිවර්ස් ඉන්ජිනියරිං කරලා කෙටි කවි වලින් මහදිග කතාවක් ලියන්න පුළුවන් වගේ ඕනැ නම් පුළුවන් වෙයි මේකෙන් කවියක් ලියන්න.

(image: http://www.usenix.org/event/nsdi05/tech/full_papers/fonseca/fonseca_html/)

Tuesday 8 November 2011

කක්ක පාට මොන පාටද? - If its brown, flush it down!


මං පොඩිම පොඩි කාලේ, ඒ කියන්නේ ඉස්කෝලේ හෝඩියේ, දෙකේ පන්තිවල ඉන්න කාලේ, මූදු වෙරලක දර්ශනයක්, චීත්ත මෝස්තරයක් වගේ චිත්‍ර ඇන්දට, ඒවා කළු-සුදු ඒවා විතරයි මට මතක විදියට. වෛවර්ණ චිත්‍ර අඳින්න පටන් ගත්තේ තුනේ පන්තියේ දී යි.

ඇත්තටම, තුනේ පන්තියේ දී සතියට එක පීරියඩ් එකක් තිබුණා චිත්‍රවලට. වාර විභාගවලට විභාගයකුත් තියලා ලකුණුත් දුන්නා.

අපිට චිත්‍ර අඳින්න කියලා තිබුනේ සුදුපාට කොළ තියෙන චිත්‍ර පොතේ පැන්සලෙනුයි. ඊට පස්සේ තමයි පාට කරන්න ඕනෑ.

මේ චිත්‍ර පාට කරන්න ක්‍රම කීපයක් තිබුණා.

අපිට අමාරුම ක්‍රමය තමයි දිය සායම් වලින් පාට කරන එක. මේ දිය සායම් පොඩිත්තං ටියුබ්වලයි එන්නේ. පොඩ්ඩක් වතුරේ දිය කරගෙන පින්සලෙනුයි පාට කරන්න ඕනෑ. මේක මහා වාතයක්. වතුර හැලෙනවා, හැම තැනම පාට ගෑවෙනවා, මල ජරාවක්.

ඊට වැඩිය ලේසිම ක්‍රමය තමයි පාට පැන්සල්. පාට හයේ, දොලහේ පාට පැන්සල් පෙට්ටි තිබුණා. උල් කරලා අරගෙන සාමාන්‍ය ලියන පැන්සල් වගේ පාවිච්චි කරන්න පුළුවනි. හැබැයි පාට පැන්සල් වැඩේ එච්චර කලර්ෆුල් නෑ!

අපි හුඟ දෙනෙක් ගේ ප්‍රියතම ක්‍රමය වුනේ ඉටි වගේ ජාතියකින් හදල තිබුණ පැස්ටල් කූරු වලින් චිත්‍ර පාට කරන එකයි.

පැස්ටල් කූරු කියන්නේ හුණු කූරු වගේ, හැබැයි ඊට වඩා පොඩි පාට පාට සිලින්ඩිකා-කාර කූරු ජාතියක්. කූරට කවරයක් අන්දෝලා, එක පැත්තක් විතරක් උල් කරලා තිබුණා. ඒ පැත්තෙන් තමයි පාට කරන්නේ.

මං හිතන විදියට ඒ දවස්වල ලංකාවේ තිබුණු එකම පැස්ටල් කූරු ජාතිය හොම්රන් පැස්! ඒ ෆැක්ටරිය තිබුනේ දළුගම කැම්පස් එක පැත්තේ.

අපි දන්නවා නේ මූලික වර්ණ තුනයි තියෙන්නේ කියලා. ඒවා එකිනෙක අඩුවැඩි ප්‍රමාණයෙන් කවලම් කරගෙන තව විවිධ වර්ණ මිලියන් ගාණක් හදාගන්න පුළුවන්.

මිලියන් ගාණක් පාට කෙසේ වෙතත්, ඒ දවස්වල අපේ ප්‍රශ්ණය වුනේ හොම්රන් පැස් පාට විසිහතරේ පෙට්ටියේ තියෙන පැස්ටල් පාට විසි හතරෙන් සුදු, කළු, රතු, නිල්, කොල වගේ කීපය හැරුණ්ම ඉතුරු ඒවා, වචනයෙන් අඳුණාගන්න එකයි.

අපි බොහෝ විට මූලික වර්ණවල විවිධ ප්‍රබේධ අඳුණාගන්නේ අපි දන්නා වෙනත් ස්වභාවික දේවල්වල පාටවලට සාපේක්‍ෂවයි. කෙහෙල් දලු කොල පාට, ස්කයි බ්ලූ ඒ කියන්නේ අහසේ නිල් පාට, ලේ රතු පාට, මඩ පාට වගේ නම්වලින් පාට තියෙන්නේ ඒ අනුවයි.

මේ ලඟදී කිරිකෝපි ගේ බුකියේ දාලා තිබුණා මේකට අදාල මරු කෑල්ලක්.

ඒකේ අහලා තිබුනේ දොඩම්වලට ඔරේන්ජ් කියනවා නම්, ඔරේන්ජ් පාටට තැඹිලි පාට කියනවා නම්, තැඹිලිවලට කිං කොකන්ට් කියනවා නම්, එහෙනං දොඩම් කියන්නේ කිං-කොකනට් ද වගේ කතාවක්.

අපිත් ඉතිං ඔය වගේ තැඹිලි කුරුම්බා නම් වලින් එක එක හොම්රන් පැස් පාට නම් කරලයි තිබුනේ.

හැබැයි හොම්රන් පැස් විසි හතරේ පැක් එකේ කිසිම මලක, පලතුරක අහලින්වත් තියන්න බැරි පාටක් තිබුණා.

මේක දුඹුරු පාටට වඩා රතු පාටයි, හැබැයි රතු පාටට වඩා කහ පාටයි. කහ පාටට වඩා කළු පාටයි. ඔය පාට තුන හතර මැද්දේ තිබුණු මහා විජ්ජුම්බර, අළුගුත්තේරු, මස්තබාල්දු පාටක් මේක.

පලතුරු, මල්, අහස, මුහුද, පොළොව වගේ නොවුණත් වෙනත් ස්වාභාවික දෙයක් හරියටම මේ පාට වගේ නේද කියලා අපි කොයි කාටත් හිතුනේ ස්වභාවිකවමයි.

ඇත්තම කියනවා නම් මේ පාට අපි හොඳ ශරීර සෞඛයෙන් ඉන්නවා නම් අඩු ගානේ දවසට එක පාරක් විතර දකින පාටක්.

අමුතුවෙන් කියන්න ඕනි නෑනේ, මේක තමයි කක්ක පාට!

-කතන්දරකාරයා

ප/ලි:
යුනිවසිටියෙන් අවුට් වෙලා රෙදි මහන පැක්ටේරියක වැඩට ගියවෙලේ ඔන්න ඉගෙන ගත්තා මේ පාටේ ඉංගිරිසි නම බේජ් ය කියලා.

හැබැයි එහෙම නම් ඇයි,
    If it's yellow,
        Let it mellow
            If it's brown,
                Flush it down
කියන කවියේ බේජ් කියලා නැත්තේ?

මං චාට් එකක බලද්දී නං ඒකේ හැටියට බේජ් කියන්නේ වෙනිං ලා පාටක් (RBG=#f5f5dc). මට හිතෙන්නේ ඩාක් ඔරේන්ජ් තමයි හොඳම නම. ඒ කියන්නේ තද King Coconut!

ඒ කොහොම වුනත්, ඉංගිරිසි කාරයින් ගේ කක්කා, කක්ක පාට නෙමේ!

(image: http://www.shawwallace.lk/fmcg/index.php)

Sunday 6 November 2011

පෑන බිම වැටුණා! - Drop the pen moment


කාලෙන් කාලෙට විවිධ කළමණාකරණ වැඩ සටහන්වලට සහභාගීවෙන්න ඉඩ ලැබෙනවා. මේවායේ ජොලිය තියෙන්නේ උදේ හවස තේ සහ දවල් රසවත් කෑම සමට පොඩි සංකල්පයක් දෙකක් අල්ලා ගෙන දවසක්ම, කයිය දෙමින් තෙල බෙදමින් ඉන්න ලැබීමයි.

මේ වාගේ එක වැඩසටහනක දී වෙච්ච සිද්ධියක් තමයි මං කලින් දවසක කිව්වේ අර අනුන් ගේ වැරදි පෙනීම ගැන.

ඊට කලින් මං කිව්වා මතකද කියත මුවහත් කිරීම ගැනත් කතන්දරයක්?

මේ වගේ කතන්දර තවත් රාශියක්ම තියෙනවා ලියන්න සන්ඩේ ස්පැෂල් ඇක්ස්ට්‍රා සීරීස් එකට.

මෙන්න අද පෑන බිම වැටුණා!

මේ කතන්දරේ කතා නායිකාව, ඩිලානි කියලා කියමු, රාජ්‍ය ආයතනයක එක අංශයක් බාර මැනිජර කෙනෙක්. මේ අංශය වෙනත් දෙපාර්තමේන්තුවකට අනුයුක්ත වුනා මොකක්ද මන්දා රීෂෆලින් කේස් එකක් හින්දා.

අළුත් දෙපාර්තමේතුවේ සහකාර ලේකම් හෙවත් පොඩි බොස් ඩිලානි ව කැදෙව්වා ඒ අංශයේ වැඩ කටයුතු ගැන වාර්තාවක් ගන්න.

මනුස්සය මේ මීටිමට ගිහින් තියෙන්නේ සෑහෙන්න හිතේ චකිතයෙන්. සටහන්, වාර්තා, ලිපි ගොනු පුරෝලා අරගෙන, හොඳට කොණ්ඩේ හෙම පීරලා, වතුර වීදුරුවක් බීලා ගියත් බඩේ සමනල්ලු අඩුවෙලා නෑ.

අළුත් ලොක්කා තඩි මේසේ එහා පැත්තේ පුටුවේ වාඩි වෙලා අත් දෙක මේසේ උඩ වැලමිටි දෙකෙන් රඳවාගෙන ඇඟිලි දහය එකිනෙක තට්ටු කරමින් දෙන බොඩි ලැන්ග්වේජ් එකත් එච්චර සුභවාදී බවක් පෙනිලා නෑ.

ලබ් ඩබ්, ලබ් ඩබ්, ලබ් ඩබ්!

වාර්තාව ඉදිරිපත් කරන්න පටන්ගන්න හදන කොටම මොකද දන්වාද වෙලා තියෙන්නේ?

හදිස්සිය නිසාම ඩිලානි ගේ අත පැටලිලා පෑනක් බිම වැටිලා!

ඩිලානි ඔන්න දැන් පෑන ගන්න බිමට නැවුනා පුටුවේ ඉඳගෙනම. තමන්ට පැත්තකින් බිම වැටිලා තිබුණු පෑන ඇහිඳ ගත්තා.

පෑන අහුලාගෙන ආපහු උඩට එන තත්පර කෑල්ල තියෙනවා නේද? ඔන්න ඒ ක්‍ෂණයේදී ඩිලානි ට මෙහෙම හිතුණා!

"දැන් මං මේ අංශයේ අවුරුදු හතක් සේවය කරලා තියෙනවා. අංශ ප්‍රධාන කලමණාකරු විදියටත් අවුරුදු දෙකක්ම. මං තරම් මේ අංශයේ වැඩ ගැන දන්න වෙන කෙනෙක් නෑ මෙතන."

"ලොක්කා මට එන්න කිව්වේ මගෙන් මේ ගැන අහගන්නයි. ඒ එයා දන්නේ නැති හන්දායි. මගේ යුතුකම මට හැකි උපරිම ආකාරයට එයාට මගේ අංශය ගැන පහදලා දීමයි."

පපර පපර පෑං!

පෑන ගන්න බිමට නැමුණු ඩිලානි නෙමේ උඩට මතුවුනේ.

එතන ඉඳන් පැය භාගයක් දීලා තියෙනවා ඇට්ටි හැලෙන්න.

ලොක්කත් හැපි, ඩිලානිත් හැපි.

සභාතොමෝ සතුටින් විසිර ගියහ.

අන්න බලන්න පින්වතුනි, පෑන් බිම වැටීමේ තියෙන ආනිසංශේ. මාත් දැන් නිතරම පෑන් දෙකතුනක් අතේ අරන් තමයි මීටින්වලට යන්නේ!

-කතන්දරකාරයා

ප/ලි:
මේ වගේ සුගුණපාල ධනවර්ධන අත්දැකීම් අපි හැමෝටම ඇති මට හිතෙන්නේ.

(image: http://terrynwilliams.wordpress.com/2011/10/05/positive-thinking-can-set-you-up-to-fail/)

Friday 4 November 2011

චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්! - Four noble truths, an open source concept?


දැන් අවුරුදු දෙකකට විතර කලින් දවසක අපි මාතර පැත්තේ ඇන්ටි කෙනෙකු ගේ ගෙදර නෑගම් ගිහින් ඉන්න වෙලේ ඒ ඇන්ටි පොඩි පොඩි විහිළු කතන්දර දෙක තුනක් කිව්වා, බත් කාලා කෑම දිරවන්න කයියක් ගහං ඉන්න වෙලේ.

මෙයින් කතන්දර තුනක් මං පස්සේ දවසක බ්ලොග් එකේ පල කෙරුවා.

මාස විසි දෙකකට පස්සේ මේක කියෝපු ඇනෝවෙකුට දුක හිතිලා. මටත් ඒ ඇනෝවා ගැන දුකයි. මොකද අපේ සමහරු ලිඳ ඇතුලේම ඉන්නවා මිසක්, ජාතිය සහ ජාතිවාදය අතර වෙනස, ආගම සහ ආගම්වාදය අතර වෙනස, විහිළුව සහ අපහාසය අතර වෙනස අඳුණන්නේ නෑ.

රෝමයේ පෙන්නපු ඩා වින්චි කෝඩ් මූවි එක ලංකාවේ තහනම් වුනේ ඒ වගේ බබා ජෝක් කාරයෝ හින්දයි.

ආගම් දේශණා කරපු අය ඒ දහම මුලු ලෝකෙටම දායාද කළා මිසක්, එක එක පුද්ගලයින් ට හෝ, කණ්ඩායම්වලට හෝ ආණ්ඩුවලට කොපි රයිට්, පේටන්ට් කරලා බාර දුන්නු බවක් නං මං අහලා නෑ.

කොටින්ම හැම ආගමක්ම ඕපන් සෝස්!

මං පේරාදෙනියේ ඉංජිනියරිං ෆැකල්ටියේ දෙවන වසරේ ඉඳිද්දී ලියපු මේ පහත තියෙන කවිය පදනම් වෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍යය මතයි.

චතුරාර්ය සත්‍යයත් ඕපන් සෝස් සංකල්පයක්. සුවිශේෂී පුද්ගලික අයිතිකාරයෝ නෑ. හැමෝගේම දායාදයක්!

සත්‍යාවබෝධය නොහොත් නොකෙරෙන වෙදකම සහ කෝඳුරු තෙල් හත්පට්ටය

දුක දනිමි!

තෙතක් සිසිලක් නැති
වාලුකාවක තැණුනු
කම්මලෙහි ඉගෙනීම දුකක් වේ

ඉඳින්නට තැනක් නැත
හත් දෙනෙකු සිරවෙමින්
පුංචි සිර මැදිරියක
බෝඩිමේ ජීවිතය දුකක් වේ

පර බසැති පොත් බලා
මහ රැයේ නිදි මරා
කෝර්ස්වර්ක් ගැසීමද දුකක් වේ

පෝලිමේ හිරවෙලා
රසය ගුණ නොහිතලා
කැන්ටිමේ බත් කෑම දුකක් වේ

දුකට හේතුව දනිමි

අනඳ විදු පියසෙහි
පස් මහල් ශාලාවෙ
පන්තියක ඉගෙනීම හේතුවය

චැපල් ටෙම්පල් ලේන්
රේල්වේ ඇවනියු
පුද්ගලික පන්තිවල
තෙරපෙමින් ඉගෙනීම හේතුවය

වසර දෙකකට කලින්
උසස් පෙළ විභාගය
උසස් ලෙස දා ගැනුම හේතුවය

මහවැලියෙ ඉවුරු තෙර
මරු කතරෙ කම්මලට
පෙර පවට පැමිණීම හේතුවය

දුක නැසුම මම දනිමි

අම්මගේ අතින් හැදු
රස අහර බුදින සඳ
කැන්ටිමේ අද විඳින දුක නැතිය

ඉස්සරහ කාමරේ
හුරු පුරුදු ඇඳට වී
සිතු ලෙසින් නිදන විට
බෝඩිමේ අද විඳින දුක නැතිය

හැන්දෑවෙ ගම වටේ
සයිකලය පදින විට
කම්මලේ අද විඳින දුක නැතිය

මැජෙස්ටික් එම්පයර්
රියෝ රීගල් තුලදි
කෝස්වර්ක් නැති නිසා දුක නැතිය

දුක නසන මග දනිමි

දේශණාගාරවල
නිදි කිරා වැටෙද්දී
ලියාගත් නෝට්ස් පොදි ඉවත විසිකළ යුතුය

කෝස්වර්ක් ගහන්නට
පුස්තකාලයෙන් ගත්
පොත් ගොන්න එතැනටම දිය යුතුය

ඇඳුම් කඩමාලු ටික
ගමන් මළු තුලට දා
පැනිදෙනිය හන්දියට යා යුතුය

ටිකට් පත මිළට ගෙන
තුනයි විසි පහට එන
කොළඹ යන දුම්රියෙන් යා යුතුය

දනිමි හඳුනමි හොඳින්
දුකෙන් මිදෙනා එමග
නමුදු කෙලෙසක කරම්
අවැසි අභිනික්මන?

දහසකුත් එකක් බැඳුමෙන් බැඳී ඇත
දහසකුත් එකක් නෙත් යොමුව ඇත

පැහැදිලිය චතුර් සත්‍යය
අපැහැදිලිය අභිනිෂ්ක්‍රමණය


-කතන්දරකාරයා

ප/ලි:
ආගම්වලට වගේ වගේ ඉස්කෝලවලට නම් අයිතිකාරයෝ ඉන්නවා, දන්නවා නේද?

(image: http://dougal.union.ic.ac.uk/scc/buddhist/buddhist2010/?page_id=75)

Wednesday 2 November 2011

කඩ්ඩෙන් ලව් කළ හැකිද? - Can you express love in a third language?


වඩාත් සාධාරණීය කරල මේ මාතෘකාව ඇත්තටම කියවෙන්න ඕනෑ, තමන් ගේ මුල් භාෂාවලින් හැර වෙනත් තුන්වන භාෂාවකින් ආදරය කළ හැකිද? කියලයි.

මට මේ ප්‍රශ්ණය ආවේ මීට හරියටම පරම්පරාවකට විතර කලින් මං කැම්පස් එකේ ෆර්ස්ට් ඉයර් එකේ ඉන්න කාලේදීයි.

ඔන්න මේ කියන දවසේ හවස් වරුවේ මං පොඩි උවමනාකවකට කැම්පස් එක මැදින් ආට්ස් ෆැකල්ටිය හරියේ ඉඳලා ගෙම්බා කැන්ටිම ලඟින් වැටිලා තිබුණු අඩි පාරේ ගලහ පාර පැත්තට යනවා.

මා ඉස්සරහට ආවා කපල් එකක්. මේ දෙන්නාම මං හොඳට දන්නවා සිංහල. කපල් එක මාව පහු කරගෙන යන කොට මට තේරුණා මේ දෙන්නා කතා කර කර ගියේ කඩ්ඩෙන් බව.

එතකොටයි මගේ හිතට ඔය උඩින් තියෙන ප්‍රශ්ණයේ එක් උප ප්‍රශ්ණයක් වන සිංහල දෙන්නේකුට කඩ්ඩෙන් ලව් කළ හැකිද? කියන ප්‍රශ්ණය හිතට ආවේ.

ආදරේ වගේ අති සියුම් අදහස් තමන් ගේ මව් භාෂාවෙන් හැර වෙනත් භාෂාවකින් ඒ අවශ්‍ය ආකාරයටම ප්‍රකාශ කරන්න පුළුවන්ද කියන එකයි මට එවෙලේ ආපු ගැටළුව වුනේ.

දැන් අවුරුදු කීපෙකට කලින් රාජිනී සහ දයාපාල තිරානගම දෙන්නා ගේ ලව් අෆෙයාර් එක ගැන "නෝ මෝ ටියර්ස් මයි සිස්ටර්!" කියන වාර්තාමය චිත්‍රපටිය බලද්දීත් මට මේ කරුණම තමයි සිහියට ආවේ.

අපේ පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, සිංහල, දෙමල භාෂා කතාකරන සිසුන් දෙපිරිසම හිටියත්, අන්තර් භාෂා ආදර සම්බන්ධකම් හෙම තිබුනේම නෑ මං දන්න තරමින් අපේ කාලේ.

අපිට කලින් කාලේ වුනත් දුරාවරේ එකකට දෙකකට වැඩිය තිබිලා නෑ කියලයි ආරංචිය.

xx xxxx වගේ දෙමල කෙල්ලො හිටිය අපේ බැච් එකේ, සිංහල කොල්ලන් අතර නිරතුරු කතාබවට ලක්වෙච්ච. ඒත් මං හිතන්නේ නෑ, සිංහල කොල්ලෙක් ඇතින් ඒ පිච්චමල් දිහා බලමින් සතුටු වුණා මිස, මල් කඩන්න ගියාය කියල.

ඒ වගේම, xxxx වගේ සිංහල කෙල්ලෝ හිටියා, මං හොඳට දන්න විදියට දෙමල කොල්ලන් අතර නිරතුරු කතාබහට ලක්වුණු. නමුත් ඒ රෝසමල් දිහා බලමින් සතුටු වුණා මිස, මං දන්න තරමින් දෙමල කොල්ලෝ කවුරුත් මල් කඩන්න ගියාය කියලා මං හිතන්නේ නෑ.

මේකට හේතුව භාෂාව ද, නැත්තම් බයක් ද මන්දා?

ඒ එක්කම මං පස්තාච්චි කුපාඩියක් කොරන්න ගිය ආසියානු තාක්‍ෂණික ආයතනයේත් විවිධ රටවල්වලින් විවිධ භාෂා කතාකරන ශිෂ්‍ය ශිෂ්‍යාවෝ හිටියා වුනත් තුන්වෙනි භාෂාවකින් කරගෙන යන අන්තර් භාෂා "සෙම් සබඳතා" තිබුනේ අතේ ඇඟිලි ගාණටත් අඩුවෙන්.

ඒ විදියට ලව් කරලා විවාහ වෙච්ච මං දන්න ජෝඩු දෙකක්ම දැන් අවුරුදු කීපෙකට කලින් ඩිවෝස් වෙලා බවත් කණගාටුවෙන් වුණත් මෙතන ලියන්න වෙනවා.

අපේ පොරවල් රුසියාවට හරි වෙනත් බටහිර රටකට හරි ගිහින් එහේ දේශීය කෙල්ලෝ එක්ක සෙට් වුණාම ඒකට තුන්වෙනි භාෂාවක් සම්බන්ධ නැති නිසා ඒ කේස් මේ ගොඩට දාන්න බෑ.

ප්‍රතිවිරුද්ධ නිදර්ශනයක් විදියට මං දන්නේ එකම එක කේස් එකයි. මං දන්න කපල් එකක් ඉන්නවා දෙන්නා හම්බවෙලා තියෙන්නේ නැගෙනගිර ජර්මනිය හරි බල්ගේරියාව වගේ රටක ඉගෙන ගන්න ගිහින් ඉන්දැද්දීයි.

දෙන්නා ලව් කරන්නේ ඒ රටේ භාෂාවෙන්.

මෙන්න මේ ලිපියට අදාල වෙනත් කතන්දර.

1. කඩ්ඩෙන් සිතීම

2. තායි කෙල්ලෙකුට ලව් කිරීම

-කතන්දරකාරයා

ප/ලි:
කොල්ල කාලේ ඕනෑවට වඩා Blue චිත්‍රපටි බලපු සිංහල පොරකට "ලව් මේකින්" වෙලාවේ දී විතරක් සිංහල අමතක වෙනවා කියලා කවුද මන්දා තීරු ලිපියක ලියලා තියෙනවා මං දැක්ක බව මතකයි.


(image: http://www.whitegadget.com/pc-wallpapers/140319-love.html)