Showing posts with label Sinhalese. Show all posts
Showing posts with label Sinhalese. Show all posts

Saturday, 11 July 2009

ජාල සටහනක ඇරඹුම - දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වලු! - Going with the trend?


දුවන්නන් වාලෙ කෙට එළදෙනත් දිව්වලු!

ඒ ප්‍රස්ථා පිරුල අහල නැති, තේරෙන්නෙ නැති අයගෙ ප්‍රයෝජනය පිණිස ඒකෙ තේරුම මුලින් ම කියන්නම්. වෙනිං අය යම් දෙයක් කරනව දැක්ක පලියටම, කිසිම විචාරයක් නැතිව, ඒ දේ තමනුත් කරන්න යෑම ගැනයි ඔය කතාවෙන් කියන්නෙ. අපේ තාත්ත ඔය කතාව කියනව මං අහල තියෙනව පොඩි කාලෙ.

මාත් මේ සැරුසෙන්නෙ ඒ වගෙ වැඩකටයි. සිංහලෙන් බ්ලොග් එකක් ලියන්න. යුනිකෝඩ් ආශ්‍රයෙන්. මූලිකම හේතුව විශාල පිරිසක් මේ වෙන කොට සිංහලෙන් බ්ලොග් ලියන්න පටන් අරං නිසයි. මාත් ගොඩාක් බ්ලොග් කියෙව්ව. කීපයකටම නැවත නැවත ගිහින් බැළුව. අන්තිමේ දී මටත් හිතුන මගේ ම කියල බ්ලොග් එකක් පටන් ගන්න, සිංහලෙන්.

හැබැයි මේ මගේ මුල්ම බ්ලොග් එක නම් නෙමේ. මං ඉස්සෙල්ලාම බ්ලොග් එකක් පටන්ගත්තෙ 2005 දී. ඒ මං ලියපු කවි වගයක් දාන්න වෙබ් පේජ් එකක් විදියට පාවිච්චි කරන්නයි. ඒ දවස් වල මේ යුනිකෝඩ් ආදිය පාවිච්චි නොවුනු නිසා මං කළේ කපුටා වලින් ලියල ඉමේජ් විදියට අප්ලෝඩ් කරපු එකයි.

ඊට අමතරව මං ටෙම්ප්ලේට් එකයි, සී.එස්.එස්. ටිකයි පොඩ්ඩක් වෙනස් කලා. එච්චරයි. කවුදෝ වලත්තයෙක් පෝන් (porn) සයිට් එකකට ලින්ක්ස් දාල ගිහින් තිබුණු වෙලාවෙ, ඒව අයින් කරන්න සයිට් එක වෙනස් කලා මිසක්, ඒ බ්ලොග් එකේ අන්තර්ගතය නම් තවමත් ඒ 2005 දී දාපු කවි ටික විතරයි.

දැන් මේ අළුත් බ්ලොග් එක පටන්ගන්නෙ නම්, නිතිපතා අළුතින් දෙයක් එකතු කරන්න හිතාගෙනයි.

කවුරුත් දන්න විදියට බ්ලොග් කියන්නෙ වෙබ් ලොග් කියන එකේ කෙටි යෙදුමයි. එනිසා, මට මුලින් හිතුන මගෙ බ්ලොග් එක "ජාල සටහන්" කියල හඳුන්වන්න. ඒත්, පස්සෙ හිතුන "කතන්දර" කියන නම වඩාත් ගැලපෙනව කියල.

ඉතිං මගේ අරමුණ, මතකයට එන පරණ කතන්දර එකින් එක මේ කතන්දර බ්ලොග් එකට දාන්නයි. සතියකට එකක් දාගත්තොත් ලොකු දෙයක්.

බලමු. බලමු.

-කතන්දරකාරයා

(image: http://www.cartoonstock.com/)